දානෙක ආනිශංස

See the source image

යම රජු – ඔබ හාමුදුරුවන්ට අල්ලස් දී දිව්‍ය ලෝකයට ටිකට් එකක් ලබා ගත් බවට චෝදනාවක් තියෙනව.

මම – යම රජතුමනි, ඔය ගතු කේලම් අහන්න එපා. මං හාමුදුරුවන්ට දන් දුන්න එක ඇත්ත. ඒත් අල්ලස් දුන්නෙ නෑ. දන් දුන්නෙ පින් ගන්න මිසක් ඔය කියන විදිහෙ එකකට නෙවෙයි.

යම රජු – ඒ කියන්නෙ දන් දෙන කොට තුන් හිතකවත් දිව්‍ය ලෝකෙ ගැන අදහසක් තිබුනෙ නැද්ද? මේ බලපං බොරු කිව්වොත් තව දඩුවම් ලැබෙනව.

මම – පින් කරන එක පාපයක් නෙවෙයි නේද රජතුමනි.

යම රජු – අහන ප්‍රශ්නෙට උත්තර දීපන්. මං නරක මිනිහයි කියල කියවගන්නෙ නැතුව. උඹ මැරිල හොඳ තැනක උපදෙන්න කරපු දහම් ගැටයක් නෙවෙයි ද ඔය දානෙ.

මම – අනේ පිනක් කරලත් අපායෙ යන්න වෙන බව දැනං හිටිය නං මං පින් කරන්න ඉස්සෙල්ල දෙතුන් පාරක් හිතනව. මේක නම් අසාධාරණ කතාවක්. මේ පැමිණිල්ල ඔබ තුමාට කරන්නට ඇත්තෙ මගෙ තරහ කාරයෙක්. මං මුල ඉඳලම කියන්නම් කො.

යම රජු – අන්න හරි පටන් ගමුකො

මම – හාමුදුරුවන්ට දන් දුන්නහම සුගතියක උපදින බව අපේ හාමුදුරුවො අනන්ත කියනව මං අහල තියෙනව. ඉතින් වල පයයි ගොඩ පයයි තියෙන කාලෙ යන තැනකට කියල දානයක් දුන්න එක ඇත්ත. මං නෑ කියන්නෙ නෑ. ඔච්චර ලේසියෙන් දිව්‍ය ලෝකෙ යන්න තියෙන අවස්ථාවක් අත අරින්නෙ මොන මෝඩය ද?

යම රජු – උඹ කරන තරමක් කරල තියෙන්නෙ පව්. ඒවා එහා මෙහා කරගෙන දිව්‍ය ලෝකෙ යන්න අන්තිම කාලෙ උඹට ඔ්න වුනා. ඉතින් පොඩි අල්ලසක් දුන්න.

මම – දානයක් දෙන එක අල්ලසක් කියල ඔබතුමා කියන්නෙ කොහොමද කියල මට නම් තේරෙන්නෙ නෑ. දානෙ අන්තිමට දෙව් මිනිස් සැප කෙළවර නිවන් සැප ලැබේවා කියල හාමුදුරුවො කියන කොට මං සාදු කිව්ව බව ඇත්ත.

යම රජු – හරි චේතනාවයි ක්‍රියාවයි දෙකම තිබුන බව උඹ ම දැන් කියල ඉවරයි. යමපල්ලනි, මූ ගෙනියපල්ලා.

කෑ ගහ‌ගෙන ඇහැරෙන විට මා සිටියේ ඇඳෙන් බිමට රෝල් වෙලා ය. අත් දෙක ඉණට තියාගෙන මා දෙස බලා සිටියේ යම රජු තුමා නොවේ. මගේ ඇඹේනිය ය.

මිත්‍යා විශ්වාස

See the source image

මිත්‍යාව යන වචනයට සරල ආදේශකය වන්නේ “බොරු” යන්න ය. එහෙත් බොහෝ මිත්‍යා විශ්වාස ගණයට වැටෙන දේ බොරු යැයි ඔප්පු කළ නොහැකි ය. විද්‍යාත්මක ප්‍රවේශයට අනුව බොරු යැයි ඔප්පු කළ නොහැකි යමක් ඇත්ත යැයි ඔප්පු කළ නොහැකි ය. ඒ නිසා අප මිත්‍යා විශ්වාස ලෙස සැළකිය යුත්තේ ඇත්ත යැයි ඔප්පු කළ නොහැකි දේ ය.

දෙවියන් සිටිනවා යන්න එවන් විශ්වාසයකි. එය බොරු කළ නොහැකි ය. ඒ නිසා එය විද්‍යාත්මක අර්ථයෙන් ඇත්ත යැයි ගත නොහැකි ය. එසේ සිටිනවා යැයි ඔප්පු කළ නොහැකි නිසා ය.

විද්‍යාවට අනුව ලෝකය පාලනය වන්නේ යම් නියමයන්ට අනුකූලව ය. භෞතික විද්‍යාවේ රසායනික විද්‍යාවේ ජීව විද්‍යාවේ සහ එවන් වෙනත් ක්ෂේත්‍රවල එවැනි නියමයන් ගණනාවක් ඇත.

මිත්‍යාව අදහන අය කියන්නේ මේ නියමයන්ට අනුකූල නොවන අධිස්වභාවික සංසිද්ධීන් තිබෙන බව ය. ඒවා ඇසට නොපෙනෙන පලියට විශ්වාස නොකිරීම මෝඩ කමක් බව ය.

යමක් විශ්වාස කිරීමට එය ඇසට පෙනිය යුතු ම නොවේ. කණට ඇසිය යුතු ම නොවේ. වෙනත් ඉන්ද්‍රියකට ඍජුව ම ගෝචර විය යුතු ම නොවේ. එහෙත් ඒ සඳහා පරම්පරාවෙන් එන පුරා වෘත්තියකට එහා ගිය සාක්ෂි තිබිය යුතු ය.

දෙවියන් බොරු කළ නොහැකි වුව ද නිශ්චිත දේව විශ්වාසයන් බොරු කළ  හැකි ය. ලංකාවේ එක එක වැයික්කියකට අදිපති යැයි සැළකෙන දෙවිවරු ඇසට නොපෙනුනත් ඒ දෙවියන් කරනවා යැයි කියන වැඩ දක්වා දෙවියන්ගේ පැවැත්ම සමහරු ඒ අනුව විස්තර කරති. බලා සිටියාක් මෙන් කියති. එයින් එක් වැදගත් සංසිද්ධියක් දෙකක් ගෙන දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ පරීක්ෂණයක් අපට කළ හැකි ය.

එක කාලයක දෙවියන් සිටින බව ඒත්තු ගත්තේ කට වරද්දා ගත් අයට දෙවියන් දඩුවම් කරති යි කියා ය. එහෙත් කාලෝ ෆොන්සේකා කට පමණක් නොව කය ද (පය ද) වරද්දා ගෙන ගිනි පාගා ඒ දේව පැවැත්මට අභියෝග කළේ ය.

ඇත්ත නම් ඇසට පෙනෙන සමහර දෑ පවා මායාවන් විය හැකි බව ය. මිරිඟුව එවැන්නකි. ඒ නිසා ම ඇසට පෙනුනු පලියට වත් යමක් විශ්වාස නොකළ යුතු ය. මිරිඟුව ඇති වන්නේ කුමක් නිසා දැයි භෞතික විද්‍යාව හදාරණ අය දනිති. එහෙත් ඒ දැනුම ලැබීමට පෙර මිනිසුන් එය යම් අභූත බලවේගයක නිර්මාණයක් ලෙස සළකන්නට ඇත.

පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන ඇතැම් දෑ උපකරණ වලට ගෝචර වන්නේ ය. ඒ නිසා ඒවා ආධාරයෙන් අපට සත්‍යය සොයා ගත හැකි ය.

තවමත් සොයා ගෙන නැති දේ බොහෝ ය. ඒත් එසේ සොයා නොගත් පලියට ඒවාට අධිභෙෘතික බලයක් ආරෝපනය කිරීම විද්‍යාව හදාරා ඇති අයට සුදුසු වන්නේ නැත.

අප කළ යුත්තේ කාලාම සූත්‍රය හරහා බුදුන් දෙසූ විචාර ක්‍රමය අනුව සිතීම ය. ඊට විද්‍යාත්මක ක්‍රමය ද එක් කර ගෙන නිශ්චිත පරීක්ෂණයන් පැවැත්වීම ය.

විද්‍යාත්මක ක්‍රමයේ දී නිරීක්ෂණ කිහිපයකින් පමණක් සෑහීමකට පත් වන්නේ නැත. සැළකිය යුතු නියැදියක් අරබයා කරන පරීක්ෂණ වලින් පමණක් නිගමනයකට එළඹීමට එය සූදානම් ය. ඒ සඳහා පරීක්ෂණයට අමතරව පාලක පරීක්ෂණයක් එකතු කර ගන්නේ නිකම්ම නිකම් සම්බන්ධයක් දුටු පමණින් ඊට වැඳ වැටීම විද්‍යාවට තරම් නොවන නිසා ය.

පරීක්ෂණයක මනෝමූලික අංග හැකිතාක් ඉවත් කිරීමට පියවර නොගත හොත් ඇතිවන ප්‍රතිඵලය විශ්වාසනීය වන්නේ නැත. ඒ නිසා විද්‍යාත්මක සමාජය එවැනි පරීක්ෂණයක ප්‍රතිඵල පිලි ගන්නේ නිසි ක්‍රමවේදයන් අනුගමනය කර තිබුනොත් පමණ ය. ප්‍රමාණවත් නියැදියක් ඒ සඳහා යොදා ගෙන තිබුණොත් පමණ ය.

විද්‍යාව හැදෑරූ අය පවා මිත්‍යා විශ්වාස පිටුපස යන්නේ ඔවුන් විද්‍යාත්මක නියමයන් මිසක විද්‍යාත්මක ක්‍රම වේදය නිසි ලෙස උගෙන නැති නිසා ය. එය පරීක්ෂණාගාරයේ පරීක්ෂණ වලට පමණක් සීමා කොට ජීවිතයට යොදා ගැනීමට ඔවුන් ඒ නිසා ම අසමත් නිසා ය.

උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි

See the source image

අහස් යානයක් උඩට යෑමට මත්තෙන් මහ පොළොව මත නිශ්චිත අධි වේගයක් ළඟා කර ගන්නා තුරු ධාවනය කිරීමට සිදු වෙයි. ඒ උත්සහය යානයට ඉහළ නගින්නට අවශ්‍ය ජවය ලබා දෙන්නේ ය. එක තැන උඩ යන්නේ නැතිව ධාවන පථයක සෑහෙන දුරක් ඒ සඳහා යා යුතු ය.

දේශප්‍රේමී සටන් පාඨ ඒ සඳහා යොදා ගත්තේ යැයි මොහොතකට සිතමු. ඒ කියන්නේ මේ රටේ සම්පත් විදේශ ආයෝජනයන්ට විකුණන්නේ නැති බවට කරන දෙඩවිලි ය. විදේශ ආයෝජනයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට තැත් කළ යට ගිය ආණ්ඩුව විදේශයන්ට රට විකිණීමට කටයුතු කළ බවට කරන අවලාද ය.

ජාතිවාදී සටන් පාඨ ද ජවය ප්‍රමාණවත් නොවේ නම් එකතු කර ගත හැකි ය. ඒ කියන්නේ මේ රට සිංහල බෞද්ධයාට ඔ්නෑ හැටියට භික්ෂුන්ගේ අවවාද අනුශාසනා වලට අනුව පාලනය කරන බවට කරන දෙඩවිලි ය. දෙමළ බසින් ජාතික ගීයවත් කියන්නේ නැති බවට කරන සපථ කෙරිලි ය. යට ගිය ආණ්ඩුව එසේ නොකර සිංහල බෞද්ධයා අනාථ කළ බවට කරන අවලාද ය.  

මේ සඳහා ඉදිරිපත් කළ හැකි තවත් දේ තිබෙතත් තත්වය තේරුම් ගැනීමට මේ ටික වුව ප්‍රමාණවත් ය. මේ සටන් පාඨ වලින් පන්නරය ලැබූ මිනිසුන් අහස් යානය තල්ලු කර ගෙන අවුත් ඊට අවශ්‍ය වේගය ලබා දුන්නෝ ය. ටිකක් නොව බොහෝ උසකට නගින්නට අහස් යානය සමත් විය.

ටික කලක් උඩට වී සිටියේ වුව ද පහළ ජනයා නඟන ඔල්වරසනින් තෙදවත් වුව ද ඉන්ධන මීටරය රතු කට්ටට ආසන්න බව පෙනෙන විට මහ පොළොවේ යතාර්ථය පයිලට්ලාට මතක් වන්නට විය.

ඉන්ධන ලබා ගැනීමට මහ පොළොවට බැසිය යුතු ය. දින 19 දී රුපියල් බිලියන 48 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ජාම බේරාගන්නට තැත් කළේ වුව ද දිගට ම මේ කාර්යය කළ නොහැකි ය. ඒ සඳහා විදේශ ආයෝජන අවශ්‍ය ය. ආර්ථිකය මනස්ගාත හරහා නොව එහි නියාමයන්ට අනුව පාලනය කළ යුතු ය.

අහස් යානය උඩට දා ගැනීමට වෙහෙස වූ මිනිසුන් ඊට කැමති නැත. එහෙත් මේ විදිහට උඩට වී සිටියොත් වන්නේ ඉන්ධන අවසන් වීමත් සමග හිටිහැටියේ කඩා ගෙන වැටීමට ය.

ආණ්ඩුව නැමැති අහස් යානයට සිදු ව ඇති සංගෙඩිය මෙය ය. විමල්ලාට නොපෙනෙන පයිලට්ලාට පෙනෙන සංගෙඩිය මෙය ය.

වරාය “විකුණන්නේ” නැතිව විදේශ ආයෝජන නැතිව යා හැක්කේ අමතර ඉන්ධන ටැංකිය වූ චීනයේ ආධරයෙනි. ඒත් ඒ කොයි කලකට ද? මොන කොන්දේසි යටතේ ද?

මතක් කර ගත යුත්තේ උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි යන ගීතය ය. ඒත් ප්‍රශ්නය වන්නේ එය මතක් කර ගන්නට තිබුනේ උඩ පනින්නට පෙර දී වීම ය.

මිනිසුන්ගේ පටු ආවේග අවුස්සා උඩට පනින්නට බලන් ඉන්නා අයට ද ආණ්ඩුවට තරමට ම මේවා හොඳ පාඩම් ය. උඩට පනින්නට හදන බොහෝ දෙනෙකු ඊට පසු රැඳී සිටින්නේ කෙසේ දැයි බලන්නේ නැත. කප්පරක් පොරොන්දු වහසි බස් කටමැත දකින්නට ලැබෙන්නේ ඒ නිසා ය. ඒ නිසා සෙසු අය ද ඉගෙන ගනී දැයි සැක සහිත ය.

තාවකාලික වුව ද ආතල් එක ආතල් එකකි.

See the source image

කෙනෙකුට තම අවධානය එකවර බොහෝ දේ කෙරෙහි යොමු කළ නොහැකි ය. එය වෙහෙස ගෙන දෙන කාරණයකි. එවන් විටක ඔහු කරන්නේ කිහිපයක් තෝරා ගෙන සෙසු ඒවා අමතක කර දැමීම ය. මෙය කිහිප ආකාරයකින් සහනයකි. අපේ අමිහිරි මතකයන් අමතක කරවන්නට එය උදව් වෙනවාට අමතරව අවධානය යොමු විය යුතු දේ නිවැරදිව තෝරා ගන්නේ නම් ඒ සම්බන්ධයෙන් වඩාත් විස්තීර්ණ මැදිහත් වීමකට අවශ්‍ය ඉඩ හසර ද එය අපට ලබා දෙන්නේ ය.

අපේ අවධානය පැහැර ගන්නා එක පාර්ශවයක් වන්නේ මාධ්‍යය ය. එය අපට අවධානය යොමු කළ යුතු දේ මේ යැයි ගෙන හැර දක්වන්නේ ය. ඒ අනුව අප මේ මොහොතේ අවධානය යොමු කළ යුත්තේ බඩු මිල ගැනවත් කොරෝනා උවදුර ගැනවත් නොවේ. විමල් වීරවංශගේ ඉරණම හා මානව හිමිකම් කවුන්සිලයේ මාර්තු මාසයේ දී ලංකාවට සිදු වීමට නියමිත දේ ගැන ය. දරට පමණක් ගන්නා සෙලනිකා ගහ වුව අහිමිවන වනාන්තරයකට වඩා වටිනාකමක් ලබන්නේ එය දුර්ලභ වීම නිසා ම නොවේ. අවධානය දිය යුත්තේ කුමකට දැයි අපට පෙන්වා දෙන්නට ය.

අපේ සාලයට රූප පෙට්ටිය හරහා වඩින මෙගා ටෙලි නාට්‍යය ද කරන්නේ ඒ කාර්යය භාරය ම ය. අපේ ගෙදර ඇති ප්‍රශ්න පිළිබඳ අවධානය අපෙන් බැහැර කර අපට යම් විනෝදයක් එයින් ළඟා කර දීම අපට වුව දැනෙන්නේ සද් කාර්යයක් ලෙස ය.

මේ අපේ අවධානය පැහැර ගැනීමේ මාධ්‍ය මෙහෙවරට අප හසු වන්නේ ඇයි?   

ප්‍රධාන වශයෙන් අපට විසඳන්නට අමාරු ප්‍රශ්න අපෙන් මග හැර වීම හරහා එය අපට එක්තරා සහනයක් ගෙන දෙන බැවිනි. එය එක්තරා දුරකට අබිං වලින් නැතිනම් මත්පැනින් ලබා දෙන ආකාරයේ සහනයකි.

වඩාත් වැදගත් වන්නේ තමන් පව්කාර වැඩක් කරන්නේ ය යන මානසික වදයෙන් මිදී මේ උගුලට සිය කැමැත්තෙන් අසු වී ඒ තුළ පළඟැටියාගේ භූමිකාව රඟන්නට අපට හැකි වීම ය. තාවකාලික වුව ද ආතල් එක ආතල් එකකි.

අපට අප මදි ය

See the source image

තනි පුද්ගලයෙකු හැම විටම දුර්වල ය. ඔහුට ඔහුගෙන් සෑහීමකට පත් විය නොහැකි ය. ඔහුට ඔහු මදි ය. ඔහුට අවශ්‍ය තමා වඩාත් ‌ශ්‍රේෂ්ඨ වඩාත් උත්කෘෂ්ට වඩාත් උතුම් දෙයකට කැප වී තමාගේ ඒ අඩුව පුරවාලීමට ය.

අපේ ජීවිතයේ එක් එක් අවදියේ දී මේ නිසා අපි එක් එක් දෙයකට කැප වන්නෙමු. කුඩා අවදියේ මෑණියන්ට ය. දෙමාපියන්ට ය. ඊළගට යහළු යෙහෙළියන්ට ය. ඊළගට ආදරයට ය. කෙනෙක් ආගමට ය. ජාතියට ය. රටට ය. තව කෙනෙක් දේශපාලනයට ය. තවෙකෙක් කලාවට ය. ඇතැම්හු ක්‍රීඩාවට ය. ඊළග අවදියේ දී රැකියාවට ය. වෘත්තියට ය. ඊළගට කුටුම්බයට ය. දරුවන්ට ය. සුරතල් සතුන්ට ය.

මේ අපට අප මදි නිසා ය.

මේවා අතරින් එකකට වඩා දේ ගැන කැප වෙන මිනිස්සු ද සිටිති. එහෙත් ඒ අතර ප්‍රමුඛතාවයන් තිබේ. මූලික යමක් තිබේ. ඒ තැන එක් එක් අවදියේ දී එක් එක් දේ වලින් පිරවේ.

මේ හැම විටකම පාහේ සිදු වන්නේ අපට හිමි යමක්, අපට උරුම යමක්, අප සතුටට පත් කරන යමක්, ඒ උත්තුංග අරමුණ වෙනුවෙන් අත් හැරීම ය. ඒ අපේ ධනය, අපේ සම්පත් හා වස්තුව, අපේ කාලය, විශේෂයෙන් අපට ම වෙන් වන විවේක කාලය, අප සතුටට පත් කරන නැටුම් ගැයුම් වැනි අවස්ථා හෝ අප කැමති ආහාර / බීම වැනි ඔ්නෑම දෙයක් විය හැකි ය. මෙහි දී අප කරන්නේ පරිත්‍යාගයකි. අහිමි කර ගැනීමකි. අත්හැරීමකි. පූජාවකි. පූජනීය වූ ඉලක්කය අභිලාෂය උදෙසා පෙරුම් පිරීමකි.

ගිහිගෙය අත්අරින ස්වාමීන් වහන්සේලා ද අවිවාහකව ඉන්නා කතෝලික පූජකයන් ද කරන්නේ පරිත්‍යාගයන් ය. නැටුම් ගැයුම් වාදනයෙන් විනිර්මුක්ත වන බවටත් බ්‍රහ්මචාරයේ හැසිරෙන බවටත් පිළිවදන් දෙන සිල් ඇත්තන් කරන්නේ ද පරිත්‍යාගයන් ය. දරු දෙදෙනා ජූජක බමුණාට පාවා දෙමින් වෙස්සන්තර රජ්ජුරුවන් කළේ ද “උතුම්” පරිතාග්‍යයන් ය. ඇඟේ කටු ගසා ඒවායින් එල්ලෙමින් ශරීරයට වද දෙන අය කරන්නේ ද පරිත්‍යාගයන් ය. කැපකිරීම් ය. පූජාවන් ය.

ඒ පූජාවන් තුළ ඔහු තමන් දෙවැනි තැනට පහළ හෙලීමට ඉදිරිපත් වේ. දණ ගහන්නට ඉදිරිපත් වේ. නමස්කාර කරන්නට ඉදිරිපත් වේ.

ඒ ක්‍රියාකාරිත්වය තුළ ඔහුට දැනෙනු ඇත්තේ ඔහු විමුක්තිය ලබන බව ය. යම් ආහ්ලාදයකට පත් වන බව ය. වෙන අයට ළඟා විය නොහැකි තත්වයකට උසස් කරනු ලබන බව ය.

මෙසේ අඩුව පුරවන දේ අතර ඉහළින් ම ඉන්නේ ආගම ය. කාලීනව වෙනත් දේ ඉදිරියට පැමිණියේ වුව ද ඒවා බොහෝ සෙයින් තාවකාලික වන්නේ ය. ආදරයට කරන කැප කිරීම බොහෝ තැනක විවාහයෙන් කෙළවර වන්නේ ය. දෙමාපියන්ට ඇති කැප කිරීම ඔවුන්ගේ මරණයෙන් අවසන් වන්නේ ය. දරුවන්ට ඇති කැප කිරීම ඔවුන් ලොකු මහත් වීමෙන් අවසන් වන්නේ ය. රැකියාවට ඇති කැප කිරීම විශ්‍රාම යෑමෙන් අවසන් වන්නේ ය. කලාවට ඇති කැප කිරීම අප අබල දුබල වීමෙන් අවසන් වන්නේ ය.

ආගමට එවන් අවසානයක් නැත. ඒ ආගමේ ඉලක්කය කිසි දා ළඟා කර ගත නොහැකි නිසා ය. මරණයෙන් මතු මිසක ළඟා කර ගත නොහැකි නිසා ය. අපට සිතන්නට පුළුවන් තාක් කල් එය පවත්වා ගෙන යා හැකි නිසා ය.

ඊට සමාන යමක් ඇත්තේ නම් ඒ දේශපාලනය ය. සමාජවාදය හෝ අපේ සිහින දේශය බිහි කිරිම ය. රට හා ජාතිය ගොඩ ගැනීම ය. ඒවා ද අපේ ඇස් මානයේ ළගා කර ගත නොහැකි ප්‍රපංචයන් ය. සාක්ෂාත් කර ගත නොහැකි ඉලක්ක ය. දේශපාලනය ද තවත් ආකාරයක ආගමක් වනුයේ ඒ නිසා ය.

විශාල කැප කිරීම් සඳහා විශාල භක්තියක් අවශ්‍ය ය. ප්‍රශ්න කිරීමෙන් තොර ඇදහීමක් අවශ්‍ය ය. එයින් අවසානයේ සිදු වන්නේ අපට අප ද නැතිවීම ය.