සංචාරක සටහන් 1 – බුදු රුවේ කලබැගෑනිය

(මේ ඡයාරූපය මගේ සංචාරක සටහන සමග ඍජු සම්බන්ධයක් නැත.)

මගේ ලෝක සංචාරයේ එක් නවාතැන් පොලක් වූයේ, ඉන්දියන් සාගරයේ ඉන්දියාවට කිට්ටුවෙන් තිබුනු, ශ්‍රී ලංකාව  වැනි ම දූපතකි. නමින් එය අමුතු ද්වීපය ය. එහි සිටියෝද අප වැනිම දුඹුරු පැහැගත්, වරින් වර ඉන්දියාවෙන් ම සංක්‍රමණය වූ, මිනිසුන් ය. බැලූ බැල්මට සාමකාමී ජනතාවක් සිටින රටක් වූ එහි එක් තැනක අසන්නට ලැබුණු කාල ගෝට්ටියක් හේතුවෙන් රට පිළිබඳ මගේ ඒ මතය දෙදරා ගියේ ය.

කහ සිවුරක් පෙරවා ගත්, බෞද්ධ භික්ෂුවක් ලෙස බැලූ බැල්මට පෙනෙන මිනිසෙක්, කාටදෝ බණිමින් සිටිනු ඈතට පෙනුනේ ය. ඔහුගේ ඉරියවු හා කෑගසන විදිහ අනුව ඒ නම් බෞද්ධ භික්ෂුවක් විය නොහැකි යයි මට සිතුන ද රූපය පෙන්නුම් කළේ මා වැරදි විය හැකි බව ය.

මම ද කිට්ටු කර සිදු වන්නේ කුමක් දැයි සොයා බැලුවෙමි. වයෝවෘද්ධ කාන්තාවන් දෙදෙනෙකු බිම බලාගෙන මේ ඝෝරනාඩුවට සවන් දෙමින් සිටිනු ලංවන ව්ට මම දුටුවෙමි. ඒ ඉරියවුවෙන් පෙනුනේ වැරැද්ද කරන්නට ඇත්තේ මේ දෙදෙනා බව ය.

මගේ මව මෙන් පෙනුමක් තිබූ මේ අහිංසක ගැහැණුන් දෙදෙන කුමන අපරාධයක් කර ඇද්දැයි පුදුමයෙන් මම තවත් ලංවීමි.

“පිරිමියෙක් නම් බලා ගන්න තිබුන මං කරන දේ. අල්ලල පොලොවෙ ගහනව.” ඒ අභීත සිංහ නාදයෙන් මගේ ඇඟ කිලිපොලා ගියේ ය. මේ රටට ආගන්තුකයෙකු වූ මා අතිශය ප්‍රවේසමෙන් කටයුතු කළ යුතු බව ද මම ඒ වැරද්ද කළේ නම් මේ පෝරිසාදයා මා පිරිමියෙකු බැවින් මා අල්ලා මාව ද පොළොවේ ගහන්නට ඉඩ තිබුනු බව ද වැටහීමෙන් මම සලිත වීමි.

කර ඇත්තේ බරපතල අපරාධයක් විය යුතු ය. නැත්නම් භික්ෂුවකට මෙහෙම පරල විමට, වියරු වැටීමට, හේතුවක් නැත. ශ්‍රී ලංකාවේ භික්ෂූන් වහන්සේ නමක් යනු අතිශය සුපේක්ෂශීලී, සන්සුන්, මෙත් සිත් පතුරුවන, වාග් සංයමය හා කායික සංයමය ඇති කෙනෙකු හෙයින් මට මේ හැසිරීම දරා ගත නොහැකි විය. පාරේ වඩින භික්ෂූන් වහන්සේ නමක් පෙන්වා බලන්න පුතේ අර ස්වාමීන් වහන්සේ වඩින සන්සුන් ස්වභාවය කියා මගේ මව කියූ සැටි මට මේ දැන් මෙන් මතකයට නැගුනේ ය. මේ නම් ඒ පරපුරේ කෙනෙකු නොවේ.

එහෙත් පොළොව නුහුලන අපරාධයක් දුටුවිට සාන්තුවරයෙකුට වුව කේන්ති යන්නට ඉඩ නැතැයි අපට සහසුද්දෙන් කිව නොහැකි ය. ඒ් නිසා මේ දරුණු අපරාධය කුමක් දැයි සොයා දැන ගත යුතු ය.

අපේ රටේ නම් සාහසික අපරාධයක් සිදු වූ විට අප ඒ අපරාධය කළ තැනැත්තාට දඩුවම් දෙන්නට යන්නේ නැත. අප කරන්නේ ඒ බව පොලීසියට දැන්වීම ය. පොලීසියට නීති ප්‍රකාරව පියවර ගන්නට මග සළසනවා මිසක, මග සිටින සෙසු මිනිසුන් විසින්  අපරාධකරුවන්‌ අල්ලා පොලොවේ ගසන සිරිතක් අපට නැත.

ප්‍රශ්නයේ මූලය

ස්වාමීන් වහන්සේ කෙනෙකු යැයි සැක සිතන තැනැත්තා දුර කථනයෙන් කාට හෝ අමතනු ඊළග මොහොතේ දකින්නට ලැබුනේ ය. ඒ් ඇමතුම පොලීසියට විය හැකි යැයි මිනිසුන්ගෙන් කතාවෙන් මට හැගී ගියේ ය. පොලීසිය එන අතරවාරයේ මිනිසුන්ගේ කතා බතා වලට සවන් දෙන්නට මට ලැබුනේ ය. එකෙක් කීවේ බුදුරුව ඇති ඇඳුම් පැලදීමට පෙර සිතන්නට තිබුනු බව ය. මා සාරි දෙක දුටුවේ එවර ය.

එහි මිනිසෙකුගේ මුහුණක් තිබුණු බව ඇත්ත ය. එය මා ඉන්දියාවේ බොහෝ දේවාලවල පවා දැක පුරුදු මුහුණකි. ඉන්දියාවේ ශුද්ධ වූූ කෙනෙකුගේ මුහුණකු දක්වන්නට වුවමනා වූ විට කලාකරුවන්ට ඇඳෙන්නේ මේ රුව ය. මගේ ගෙදර ද මේ රුව ඇති ප්‍රතිමා දෙක තුනක් තිබේ. ඒ මගේ ඉන්දීය සංචාර වල ප්‍රතිඵලයන් ය. ඇතැම් තැනක ඒ රුව විකුණුවේ විෂ්ණු දෙවියන්ගේ බව කියමිනි. තවත් තැනක එය මහා වීර නම් ජෛන ආගම් ශාස්තෘවරයාගේ බව කියන ලද්දේ ය. කෙනෙකුට අවශ්‍ය නම් එය බුදුන්ගේ රුව ලෙස ද ගත හැකි ය. ඒවා අතර පවතින්නේ ඒ තරම්ම සමාන කමකි.

මේ කිසිම කෙනෙකුගේ සැබෑ රුව දැක නැති අපට මේ කවරෙක් දැයි අඳුනා ගැනීම අපහසු ය. ඉන්දියාවේ එහෙම වුනාට මේ රටේ මෙය බුදුරුව ලෙස ද සළකනවා විය හැකි ය. බුදුරුව අපේ රටට මෙන් ම මේ රටට ද එන්නට ඇත්තේ ඉන්දියාවෙනි. ඒ් නිසා ඉන්දියාවේ දෙවියන් මෙන් අඳින සිත්තරුන් සියළු ශාන්තුවරයන්ගේ මුහුණු එකම හැඩයකින් දකිනවා විය හැකි ය. දක්වනවා විය හැකි ය.

වැඩි වේලාවක් යන්නට මත්තෙන් පොලිස් ට්‍රක් රථයක් සිද්ධිය වෙමින් තිබුණු ස්ථානයට වේගයෙන් පැමිණුනේ ය. ශ්‍රී ලංකාවේ පොලීසිය නම් මීට වඩා ලොකු අපරාධයක් සිදු වූ විට වත් මේ තරම් ඉක්මණින් එන්නේ නැත. මේ රටේ එහෙමකට අපරාධ සිදු නොවන නිසා මෙයත් පොලීසියට ලොකු අපරාධයක් ලෙස පෙනී ගියා වන්නට ඇත. ඒ් වෙනස ද මේ කාර්යක්ෂමතාවයට හේතුවන්නට ඇත. ඒ කොහොම වුනත් මේ රටේ පොලීසිය අපේ පොලීසියට වඩා ඉක්මණින් ප්‍රතිචාර දැක්වීම වුව සංචාරකයෙකුට හිත නිවන ප්‍රවෘත්තියකි.

අම්මලා දෙන්නා පොළොවේ ගසන්නට ඉදිරිපත් වූ විරයා පොලීසියට අපරාධය සැළ කර සිටියේ ය.

පොලීසියේ නිලධාරීන් ද අසරණ වී ඇති සැටියකි. එක් පසෙක පොලීසියට අණ දෙන භික්ෂූන් වහන්සේ නමකි. උන්වහන්සේ පෙනී සිටින්නේ බුදුන් වහන්සේගේ ගෞරවය වෙනුවෙනි. අනෙත් පැත්තෙන් ඉන්නේ තමන් කළ වැරැද්ද කුමක්දැයි හිතාගන්නට බැරිව අසරණ ව සිටින මව්වරුන් දෙදෙනෙකි. එක් පැත්තක සිටින්නේ වෛරයෙන් මුසපත් ව දැඩිම දඩුවම ඉල්ලා කෑ ගසන සද්ධන්ත පිරිමියෙකි. අනෙත් පැත්තෙන් සිටින්නේ සිදු වන්නේ කුමක් දැයි වටහා ගත නොහැකිව බයාදුව අසරණව බියෙන් වෙව්ලන වයෝවෘද්ධ ගැහැණුන් දෙදෙනෙකි. ඉටු කළ යුත්තේ යුක්තිය ද සංඝ ආඥාව ද යන්න පැහැදිලි කර ගැනීමට බැරිව තවත් වෙලාවක් පොලීසියේ මහත්වරු ලත වනු පෙනුනේ ය.

“පේන්නෙ නැද්ද? මේ කරල තියෙන අපහාසය, මේ බෞද්ධ රටේ. පොලීසියට එක්කන් ගිහිල්ල ගලවනව හොඳයි මේ ඇඳුම. පිරිමියෙක් නම් ඇඳල හිටියෙ මම පොලීසියට කිය කිය රස්තියාදු වෙන්නෙ නෑ. අල්ලල ගහනව පොළොවෙ.”

පොලිසීයේ රාළහාමිගේ කකුල් සට සට ගාමින් වෙව්ලනවා පෙනෙන්නට තිබුනේ ය. පොලීසියත් බය නම් අප ගැන කුමන කතා ද? මේ රටේ ඉන්නා කාලය තුළ දෙගුණයක් පරිස්සම් විය යුතු යැයි මම මට ම නැවතත් කියා ගත්තෙමි.

තරාදියේ බර පැත්ත

පොලීසිය තරාදියේ එක පැත්තක බුදුන් වෙනුවෙන් පෙනී සිටින ස්වාමීන්වහනසේත් අනෙත් පැත්තේ නොදැන වුව ද සහගහන අපරාධයක් කළ මෑණිවරු දෙදෙනාත් දමා බලන්නට ඇත. තරාදිය ස්වාමීන්වහන්සේ පැත්තට බර වෙන්නට ඇති බව සහතික ය. පොලිස් නිලධාරීන් අතර කවියෙකු සිටියා නම් ඔහුගේ සිතට නැගෙන කවිය මෙසේ විය හැකි ය.

සමාවෙයන් අම්මේ

මෙහෙම සළකන්න වූවාට නුඹළාට

කහ සිවුරක් යමක් කියන විට

මග හැර යන්න පුළුවන් ද?

කාකි පාටට වඩා කහ පැහැය බලවත් රටක

හිතකින් නොවේ ගෙනියන්නේ

තරහ අවසර

නැගපන් අම්මේ

මේ හිරිහැරයෙන් අහකට

නුඹ ගෙන යන්නට හනිකට

පොලිස් ට්‍රක් රථයට අම්මලා දෙන්නා පටවාගනු ලදුව ට්‍රක් රථය වේගයෙන් ඉගිල්ලී ගියේ ය. රැස්ව සිටි සෙනඟට ආමන්ත්‍රණය කළ අපේ විරයා දිස්වූයේ ආක්‍රමණයක් ජයගත් සෙන්පතියෙකු පරිද්දෙනි. ඔහු තම ආගම වෙනුවෙන් සිය යුතුකම ඕනෑවටත් වඩා ඉහළින් කර තිබේ. ඒ බුදුන්ට අවමන් කළ ගැහැණුන් දෙදෙනෙකුට අමතක නොවන පාඩමක් ඉගැන්වීම හරහා ය. ඔහු කවියෙක් නම් ඔහුට මෙවැනි සිතිවිල්ලක් පහල වූවා නොඅනුමාන ය.

මම වම්හ

ධීර වීර අභීත සෙන්පති

මහ හඩින් ගර්ජනා කොට

මරඟනන් මෙල්ල කර

උන් කුදලාගෙන ගොසින්

උන් ඇඳි වත ද උනා

බුදු ගෞරවය රැක ගත්

මා වැන්නන් නැති තැන

සසුනක් ද නැත

බුදුන්ට වුව ගරු සරු ද නැත

රකිමි දිවිහිමියෙන්

බුදුන්ගේ ගෞරවය

හෙටත් අද මෙන් ම මේ ලෙස ම

එයයි මගේ ආත්මය, දර්ශනය, ජීවිතය

වැරැද්ද කාගේ ද?

රැස්ව සිටි ඇතැමෙක් හාමුදුරුවන් මුළුමණින් නිවැරදි යයි කීවේ නැත. හාමුදුරුවනුත් වැරදි තමයි. ඒ්ත් ගෑනු දැන ගන්න එපැයි අඳින්න ඉස්සෙල්ලා ඇඳුමෙ මොනව තියෙනව ද කියල බලන්න. ලංකාවේ නම් මෙහෙම වෙන්නේ නැත. කවුරුවත් අඳින දෙයක් පිටුපස තවත් කෙනෙකු එලවා යන සිරිතක් අපේ රටේ නැත. ලංකාවේ කියන්නේ කොන්ත නෝනාගේ හැට්ටය  කොන්ත නෝනාට ඕනෑ පරිදි විය යුතු බව ය.

මේ රැස්ව සිටි පිරිස අතර කවියෙකු සිටියේ නම් ඔහු ලියනු ඇත්තේ මෙවැනි කවියකි.

වටිනවා නම් තමා සංයමය

ඒත් මේ අසම්මජාති වැඩේට

උරණ නොවී කොහොම ද?

බුද්ධ පුත්‍රයෙකු වුනත්

බුද්ධ පුත්‍රයෙකු වෙලත්

අඳින්නට පෙර

ගවුමක් සාරියක් හැට්ටයක්

බැලිය යුතු නැද්ද

සිතිය යුතු නැද්ද

අම්මලා වුනත්

රැස්ව සිටි සමහරුන්ට සිදු වූ දේ හරි නැත. ඒ අම්මලා දෙදෙන කුදලාගෙන ගිය සැටි ද හරි නැත. ඒත් කතා නොකරන්නට ඔවුන් ඉටා ගත් සේ ය. ඒ සෙස්සන් කුමක් කියනු ඇද්දැයි බියෙන් විය හැකි ය. ලංකාවේ නම් මිනිසුන් කර බා ගෙන යන්නේ නැත. ඔවුන් නිතරම යුක්තිය වෙනුවෙන් පෙනී සිටින්නේ පැත්තක් ගියත් කමක් නැතැයි සිතමිනි. බයට කිසිවක් නොකීවාට මේ පිරිස කියන දේ ඔවුන්ගේ මුහුණු වල ලියැවිලා ය.

හරි නම් නැ තමා

කුදලාගන ගිය විදිහ

අපේ අම්මලා වගේ

ගෑණු දෙන්නෙක්

අන්තිම නොහොබිනා වැඩක් කළ ගානට

අපි නම් හිතනවා ඔයිට වැඩි ය

අඳින්නට පළමුවෙන්

ඒ නිසා අපට වෙන එකක් නෑ

ඔහොම අලකලංචි

පව් නම් තමා

ඒ්ත් අපි මොනව කරන්න ද?

අමුතු රටක්

මේ රට අමුතු ය.  මා ගිය බොහෝ රටවල තමන්ගේ වීරයින්ගේ රුව යොදා ඇඳුම් ඇඳ ගෙන සිටීම සාමාන්‍ය දෙයකි. චේ, බොබ් මාලි, ඇතුළු අයගේ ඇඳුම් මම බොහෝ තැන්වල දැක ඇත්තෙමි. ජේසූස් වහන්සේගේ රුව ද ඇතැම් තැනක මට දැක ගත හැකි විය. එසේ කළාට ඔවුන්ට කාගෙන්වත් කතා අහගන්නට සිදු නොවන්නේ ය. පොලීසිය ලවා ඇඳුම් ගලවා ගැනීමට සිදු නොවන්නේ ය. ශ්‍රී ලංකාවේ මෙවැන්නක් වූයේ නම් කුමක් සිදු විය හැකි දැයි මම කල්පනා කළෙමි.

මේ රටේ මෙන් නොව අපේ රටේ ඉන්නේ සුපේක්ෂශීලී භික්ෂූන් වහන්සේලා ය. ඒ නිසා මෙවැන්නක් නම් සිදු නොවනු ඇත. බුදු රුවක් ඇඳුමකට යෙදීම ගරු කිරීමක් ලෙස නොසැළකුවේ වුව ද අපේ රටේ ඒ් සම්බන්ධයෙන් ලැබෙන ප්‍රතිචාරය මෙවැනි මුග්ධ එකක් නම් වන එකක් නැත.

ස්වාමීන් වහන්සේ නමක් නම් මෙවැනි දෙයක් දුටුවොත් දුටුවේය, දුටුවා පමණි, කියා තමන් යන ගමන සන්සුන් සිතින් යනු ඇත. ගිහියෙක් විසින් ස්වාමීන් වහන්සේ කෙනෙකුට මෙවැන්නක් ගැන ආරංචියක් කියුව ද ඇසුවේ ය, ඇසුවා පමණකි, සිතා ඒ වගක් අමතක කර දමන ලෙස කියා ස්වාමීන් වහන්සේ තම ගමන යනු ඇත.

ඇතැම් විට ගිහි බෞද්ධයෙකු නම් කාන්තාව අමතා බුදු රුව ඇඳුමකට යෙදීම සමහර අයගේ සිත් තැවුලට හේතුවනු ඇතැයි කරුණාවෙන් පැහැදිලි කර දී එවැන්නක් නොඇඳීමට පරිස්සම් වන ලෙස කියනු ඇත. එහෙත් මෙවැනි කෝලම් නම් දැකිය නොහැකි වනු ඇත. ඒ අපේ රට බුදුදහමින් පොහොසත් නිසා ය. ලංකාවේ නම් උපදෙස මෙසේ වෙතැයි මට හිතෙන්නේ ය.

අසනු මැන අම්මේ

ඇඳි වතේ ඇඳි රුව

කුමක්දැයි නොදන්නෙමි

නුඹ වුව දන්නේ යැයි

මම නම් නොසිතමි

සමහරුන්ට එය බුදුරුවකි

සළුවක පැළඳීම නිගරුවක් විය හැකි

නොකැඳවා කරදර

ඉවත් කර දමන්න ඔය ඇදිවත

නැවත නෑඳම

බෞද්ධ කොදෙව්ව

මේ කෙදෙව්ව බෞද්ධ යැයි කීවාට එහෙමට බෞද්ධ කමක් පෙනෙන්නේ නැත. ඒ අතින් අපේ රට කොතරම් නම් වාසනාවන්ත ද?

අපේ රටේ වැඩි දෙනෙකුට වෙන රටවල සංචාරයට වරම් ලැබී ඇත. එහෙත් මේ කොදෙව්වේ මිනිසුන්ට එහෙම වාසනාවක් නැත. ආරංචියේ හැටියට ඔවුන් මේ කොදව්වෙන් එහාට කිසිදා අඩියක් තබා නැත. ඔවුන් දන්නේ බුදුන් ගැන පමණකි. මහාවීරව ඔවුන් දන්නේ නැත. මහා වීරගේ රූපයක් කවදාවත් ඔවුන් දැක නැත. ලෝකය දැක ඇති, පත පොත කියවා ඇති, අපේ රටේ මිනිසුන්ට වඩා මේ කොදෙව්වෝ ඒ නිසා වෙනස් ය.

මේ රටේ මිනිසුන්ට ගැහැණුන් පෙනෙන්නේ සත්ත්ව කොට්ඨාෂයක් හැටියට ය. ශුද්ධ වූ දෙයින් වෙන් කළ යුතු අශුද්ධ වස්තූන් හැටියට ය. බුදු රුව  ඇඳ ගෙන සිටියේ පිරිමියෙකු නම් අල්ලා පොළොවේ ගසන බව කීව ද එසේ වූයේ නම් මෙහෙම කලබලයක් ඇතැම් විට වෙන එකක් නැතැයි කීවේ රැස්ව සිටි පිරිසේ ගැහැණියකි. ඒ ද හීන් හඩින් ඇසෙන නොඇසෙන ගාණට ය.

බුදුන් පිට දුන් බෝධිය ද බුදුන්ගේ දන්ත ධාතුව ද ලංකාවට වැඩම කළේ කාන්තාවන් ය. දන්ත ධාතුව නම් සඟවා ගෙන ආ බව කියන්නේ කෙස් කළඹේ ය. එහෙම බැලුවහම අපට මෙහෙම කාන්තාවන් කොන් කරන, වෙන් කරන, අශුද්ධ යැයි හංවඩු ගහන, වටපිටාවක් තිබුනේ ම නැත. ඒ අතින් මේ කොදෙව්වන්ට වඩා අප වාසනාවන්ත ය. මේ කොදෙව්වන්ට ලංකාවෙන් ඉගෙන ගන්නට බොහෝ දේ තිබේ. උනුත් අප වැනිම වූ මනුස්ස කොට්ඨාෂයක් නිසා ම උන් කෙරේ අනුකම්පාවෙන් අපේ රට දැක බලා ගැනීමට උන්ට අවස්ථාවක් සැලසිය යුතු ය. ඒහෙම වුනා නම් ඒ රට වාසීන් සියළු දෙනා පහත කවිය මුමුණමින් කුදලාගෙන ගිය මෑණියන් දෙපලට දණ බිම ඔබා වඳිනු ඇත.

ඇඳි වතේ ඔය කියන රුව නොදිටි

අම්මාවරුනේ

යකා නැටුවේ ඔබට බැන්නේ

නිවන් යන්නට පෙරුම් පුරනා

අපේ කාලයේ තවත් හිමි නමකි

අබසරණ නිකායේ බුදු පුතෙකි

සන්සුන්ව මෙත් සිතින්

මරඟනන් පැරද වූ බුදුන්ගේ ම

පට්ටපල් ගෝලයෙකි

ඔබ දෙපා නැමද

ඉල්ලමි සමා

සතට මෙත පැතිර වු

සම්බුදුන් වෙනුවෙන්

දකිමින් සිටි සිහිනයෙන් මා නැගිටින විට සිටියේ ඇඳේ දණ ගහගෙනම සිහිනයේ දුටු ගැහැණු දෙදෙනාට වඳිමින් ය.