මහා බ්‍රිතාන්‍යයේ ව්‍යවස්ථාවක් නැත. අපට ව්‍යවස්ථාවක් ඇත. එහෙම බැලුවහම අප සුද්දාට වඩා දියුණු ය.
සුද්දාට ව්‍යවස්ථාවක් නොතිබුනත් සුද්දා අපට ව්‍යවස්ථාවක් දුන්නේ ය. අප එය ඉවත දමා දෙවරක්ම ව්‍යවස්ථා හැදුවෙමු. දෙවැනි වතාවේ ඒක හැදුවේ ජේ ආර් ය. අප ඒකට කියන්නේ ජේ ආර්ගේ බහුබූත ව්‍යවස්ථාව කියා ය.
මේ ව්‍යවස්ථාව නිල නොලත් රජතුමා වෙත කෙතරම් බලයක් දුන්නේ ද යත් එතුමාට කළ නොහැක්කේ පිරිමියෙක් ගැහැණියක් කරන එක ය.
ජේ ආර්ම එය 16 වතාවක් සංශෝධනය කළේ ය. ඊට පසු ද සංශෝධන සිදු විය. ව්‍යවස්ථාව මේතරම් වාරයක් සංශෝධනය කිරීම ගිනස් වාර්ථාවකට හේතු වුවා ද යන්න පැහැදිලි නැත.
අවසාන සංශෝධනය එනම් 18, ව්‍යවස්ථාව මස්තක්ප්රාප්ත කළේ ය. දැන් තියෙන බලතල අනුව නම් ගැහැණියක් පිරිමියෙක් කරන එක වුව මහ ලොකු කජ්ජක් නොවන්නේ ය.
ජේ ආර් වැඩිපුරම බැණුම් ඇහැව්වේ ව්‍යවස්ථාවටත් විවෘත ආර්ථිකයටත් ය. ඒ දෙක ජේ ආර්ගෙන් පස්සේ වෙනස් වුනා නම් ඒ හොඳට නොව නරකට ය.
ඕනෑම නීතියකට ව්‍යාතිරේඛයක් තිබේ. ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් ද එය වෙනස් නැත. ව්‍යාතිරේඛය 17 වෙනි සංශෝධනය ය. එය සම්මත වුනේ ඒකමතිකත්වයෙනි. වැඩක් ඇති සංශෝධනයක් වුනා නම් එය පමණ ය. එය ව්‍යාතිරේඛයක් වන්නේ ඒ අර්ථයෙනි. ඒ නිසා දෝ එයට ආයුෂ තිබුනේ නැත. වැඩි ඡන්දයෙන් පමණක් සම්මත වූ අනිත් සංශෝධන සියල්ල වැජඹෙද්දී ඒක ඡන්දයෙන් සම්මත වූ එක පමණක් මිය ගියේ ය.
ව්‍යවස්ථාව වෙනස් කරන්නට පැමිණි අය ජේ ආර්ට බැණ බැණ ඒවා ශක්තිමත් කළෝ ය. ජනාධිපති ක්‍රමය අහෝසි කරන්නට පොරොන්දු දුන් පැමිණි අයට ජනාධිපති පදවියට ලැබුණාට පසු ඒ පොරොන්දු මතක් වුනේ නැත. ඒ නිසා තවමත් ඇත්තේ බහුබුත ව්‍යවස්ථාවම ය. ඒක දැන් නම් බහුබූත තත්වයෙනුත් පහළටම වැටිලා ය.
දැන් නම් ඒක ඉවත් කරන්න කවුරු කවුරුත් ලෑස්ති වගේ පේනවා ය. හැබැයි ලෑස්ති වෙනවා විතර ය. අමුඩ ගහනවා විතර ය. එතැනින් එහාට මොකක්වත් සිදුවන පාටක් නැත.
මුලින්ම සෝභිත හිමියන් ය. දැන් රතන හිමියන් ය.
ව්‍යවස්ථාව වෙනස් කරන්නට ආණ්ඩුවත් කැමති ය. ඒ මැතිවරණයෙන් පසු ය. කලින් ඉටු නොකළ ඒ පොරොන්දුව නැවතත් දෙන්නට ආණ්ඩුව සූදානම් ය.
එජාපයත් ඊට කැමති ය. කලින් දෙන්නා දුන්න විදිහට පොරොන්දුවක් වුව දෙන්නට ඔවුන් ද නොපැකිළෙනු ඇත.
එහෙම බැලුවහම කවුරුත් අකමැති නැත. එහෙම තිබියදීත් එය වෙනස් වන්නේත් නැත. සමහර විට එය හදා ඇති නැකතේ හයිය නිසා වෙන්නට ඉඩ තිබේ. නැත්නම් අපේ ලැබීම නිසා වන්නට ද පුලුවන. මේ මොකක් වුනත් අපට කොචොක් කරමින් ජේ ආර් ගේ බහුබූත ව්‍යවස්ථාව වසර 36 ක්ම පැවතියේ ය.
මේ ව්‍යවස්ථාව කොතරම් බලගතු ද යත් විප්ලවකාරීන් පූස් පැටවුන් කරන්නට ඊට පුළුවන් වුනේ ය. එය තවත් බහුබූත කරන්නට 18 ගෙනා විට ඒ 18 විරුද්ධ අය ද අන්තිමේ දී තම විරුද්ධත්වය හංගාගෙන පක්ෂව අත ඉස්සුවේ එහි බල පරාක්‍රමය නිසා ය.
එයට අත ඉස්සූ අය දැන් පසුතැවිලි වුව ද එවෙලේ ඔවුන්ට වගේ වගක් නැති වූයේ ද එහි බල පරාක්‍රමය නිසා ය.
ලෝකයේ දක්ෂම හමුදාපතිට අන්තිමට පදක්කම් ටික නැතිවුනේ ද ඒක නිසා ය. අගවිනිසුරුට නින්දා මැද්දේ ගෙදර යන්න වුනෙත් ඒ නිසා ය.
එහෙම බලයක් ඒකට තියෙන්නේ සුද්දාගේ කුමන්ත්‍රණයක් නිසා වෙන්නටත් පුලුවන. සුද්දාගේ කිව්වාට ඒකේ ගැම්මක් ඇත්තේ ම නැත. බටහිර අධිරාජ්‍යවාදීන්ගේ කිව්වා නම් ගතිය වැඩි ය. යුදෙව් ක්‍රිස්තියානි බටහිර බලවේගයන් කිව්වා නම් වඩාත් ආශික් ය. අන්තිමේ දී බලාගෙන ගියහම ඒකටත් වගකියන්නට ඕනෑ සුද්දා ය.
සුද්දා යැංකින්ට පක්ෂපාත ජේ ආර් ලවා මකවන්නට බැරි සාපයක් අපට කර අැත්තේ ය. දැන් ඉතින් මේ සාපයෙන් ගැලවීමක් අපට නැත්තේ ය. එහෙම හිත හදා ගත්තහම අප විතරක් නොව රටේ කවුරු කවුරුත් වගකීමෙන් නිදහස් ය. සුද්දාගේ කරේ ඕනෑම එකක් එල්ලා නිදහස් වීමට ඇති අපේ දක්ෂතාවය ගැන මට සමහර වෙලාවට පුදුමත් හිතෙන්නේ ය. අපේ රට ආශ්චර්යක් වන්නේ ඒ නිසාම විය නොහැකි ද?