මූසිලගෙන් ගුත්තිල ඇදුරාට ඉල්ලීමක්

ගුත්තිල ඇදුරු වෙත ආදරයෙනි

ඔබතුමා මට සංගීතය ඉගැන්වූ බව ගෞරව පූර්වකව සිහිපත් කරමි. ඔබතුමාගේ පරිශ්‍රමය අපතේ නොයවා මාද හොඳින් ශිල්ප හැදෑරූ බව ඔබතුමා ද පිළිගන්නවා ඇත. ඔබ හොඳ ගුරුවරයෙකු වූ තරමට මම හොඳ ගෝලයෙකු ද වීමි.

මා අසා ඇති අන්දමට ගුරුවරයෙකුට ඇති ලොකුම සතුට සිය ගෝලයා තමාට වඩා ඉහළ යෑම ය. ඒ සතුට මම ඔබට ලබා දුන්නෙමි. අවසානයේ ඔබ පැරදවිය හැකි තරමට මම ශිල්ප ශාස්ත්‍රයෙහි නිපුණයෙකු වීමි.

එතකුදු වුව රාජ සභාවේ මා ලදුයේ ආරම්භයේ ලද වැටුප පමණ ය. මා අභියෝග කළේ ඔබට නොවේ. ඒ කරන ලද කුඩම්මාගේ සැළකිල්ලට ය. ඒ සඳහා ඔබ හා තරග වැදීමට සිදු වීම ගැන මම අදද පසුතැවිලි වෙමි.

මට ඔබ පැරදවිය හැකි බව දැනගත් විට ඔබ කළේ දෙව්ලොව ගුලි වල පිහිට පැතීම ය. වීණාවේ තත් කැඩීමෙන් ප්‍රාතිහාර්ය පා බලා සිටින්නන් වසගයට පත් කිරීම ය. එය කිසි ලෙසකින් වත් සාධාරණ තරගයක් නොවී ය. ඒ අසාධාරණ තරගයෙන් ඔබ ජය ගත්තෙහි ය.

මේ ලිපිය, තරගයේ තීරණය වෙනස් කිරීමට තෙවැනි විනිසුරුගේ අවධානයට යොමු කිරීමේ වෑයමක් නොවේ. දැන් ඒ තරගය අයිති අතීතයට ය. ඒ නිසා සාධාරණ තරගයක් පැවැත්වූයේ නම් ජය හිමි විය යුත්තේ මට යැයි කියා නැවත ඒ මිය ගිය අතීතය ඇවිස්සීමට මට අවශ්‍ය නැත.

ගුරු ගෝල සම්බන්ධය තුළ ගෝලයා සාදාකාලිකව පහත සිටිය යුතු ය යන සමාජ වටිනාකමක් හැදීමට මේ කතාව හේතු නොවූයේ නම් මා මේ ලිපිය කෙසේ වත් ලියන්නේ නැත. එ් සමාජ වටිනාකම ඇති කර ඇති බලපෑම අතිශයින් නිශේධනීය ය. ගුරුවරයෙකු වැරදි වුව ද එය ඉවසීමටත් ගුරුවරයාට වඩා දක්ෂ වුව ද ඒ බව සගවා ගෙන සිටින්නටත් අද ද ශිෂ්‍යයින්ට සිදු ව තිබීමේ ඛේදවාචකයේ ආරම්භය අපේ මේ කතාව ය. මගේ ප්‍රශ්නය ඇත්තේ එතැන ය.

මේ ලියුම ලිව්වේ ඔබෙන් එකම එක ඉල්ලීමක් කිරීමට ය.

හැංගී සිටීමට හා වැරැද්දක් ඉදිරියේ ද මුණිවත රැක සිටීමට සිදු වීමේ  සාපයෙන් වත්මන් ශිෂ්‍යයන් බේරා ගන්නට ඉදිරිපත් වන්නැයි ඉල්ලීමට ය. ගුරුවරයා ප්‍රශ්න කිරීමට සහ ගුරුවරයා අභිබවන්නට ඔවුනට අවසර දෙන්නැයි ඉල්ලා සිටීමට ය. එය කළ හැක්කේ ඔබට ය. ඒ කටයුත්ත කල් යල් නොබලා කළොත් ඉන් සිසුන්ට පමණක් නොව රටටම ඇති කරන යහපත කිව නොහැකි තරම් ය.

ධුරාවලියක බරින් යටපත් නොවී නිදහසේ අදහස් හුවමාරු කර ගත හැකි ස්වර්ග රාජ්‍යය මේ මිහිපිට තනන්න යැයි තාගෝර් කිවිඳු අනුව යමින් මම දෙවියන්ගෙන් ඉල්ලීමට අදහස් කර සිටින්නෙමි.

ඔබට ගුලි දුන්නාට මගේ මේ අහිංසක වරම ඉටු කර දෙන්නට දෙවියන් ඉදිරිපත් වෙතැයි යන්න සැක සහිත ය. මා ඔබ ඇමතුවේ එය ඔබට හැකි වෙතැයි අපේක්ෂා කළ නිසා ය.

රාහුබද්ධ ආරියවංශ විසින් රචිත යැයි මට හැගුනු මුහුණු පොතේ පළවුනු සටහනකින් පහළ කවි පෙල ලබා ගත්තෙමි. කර්තෘට තුති පුද කරමි.

Image may contain: one or more people

උස නම් සිකුයුරිටි මිටි නම් කම්කරු යන්නේ එයා ය.

දැනුම හරියට නැවුම් කිරි වගේ ය. අලුත් පිට කිරි ආහාර අතර රජෙකු මෙන් බැබළෙයි. එහෙත් ඉක්මණින් ඇඹුල් වී කල් ඉකුත්ව යයි. එවිට කටේ හරියට වත් ගන්නට බැරි තරම් අපුල ය. දේශද්‍රෝහීයෙකු රටින් පිටුවහල් කරන ඉක්මණට එය ඉවත් කර දැමිය යුතු ය. රටක් පාලනය කරන රටක් රකින රටක සියල්ලන් අභිබවා බබලමින් සිටින රජකු දේශද්‍රෝහියෙකු කරන්නේ කාලය ය. මා වැඩිමනත් කොට එසේ කීවේ කිරි ගැන ය.

දැනුම ද කල් ඉකුත් ව යයි. එතකොට කිරි වගේ ම පලේ පල් ය.

එක් කලෙක කිරි ලැබුනා සේ බොහෝ කලක සිට පාසල් යන ළමුන්ට ලැබෙන්නේ දැනුම ය. වන පොත් කළ යුතු දැනුම ය. බොහෝ විට කිසි දාක ජීවිතය සකස් කර ගැනීමට රුකුලක් ආධාරකයක් නොසපයන දැනුම ය.

වැටකොළු ගෙඩියක දාර ගණනේ සිට පෘතුගිසින් ලංකාවට පැමිණි වසර දක්වා එකී නොකී දේවල් ගෙන් සමන්විත අධ්‍යාපන බලධාරීන් විසින් දරුවන් විසින් දැන ගත යුතු යැයි සිතන වටිනාකමක් නැති දැනුම ය.

එය බොහෝ විට සීඝ්‍රයෙන් වෙනස් වන ලෝකය විසින් ඊයේ විසි කළ ඉවත දැමූ දැනුම ය. මේ දැනුම රැගෙන එලියට එන ශිෂ්‍යයෙකුට රජයෙන් රස්සාවක් ඉල්ලනවා ඇරෙන්නට කළ හැක්කේ ත්‍රී වීලරයක් හෝ ඩිමෝ බට්ටෙක් එලවීමට පමණ ය. ඒ ද තවත් පුද පූජා පවත්වා වෙනම ම ඉගෙන ගැනීමෙන් පසු ය.

පාසලේ සහතිකයෙන් ලබා ගත නොහැකි වූ දේ ලබා ගැනීමට ඊළගට බොහෝ දෙනෙක් යන්නේ යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් සහ ශාස්ත්‍රකරුවන් පස්සේ ය. කුමක් හෝ කුලියක් මලියක් කර හම්බ කර ගත් දෙය ඊළගට පූජා කරන්නේ පන්සල පල්ලියට හා කෝවිලට ය. ඊට පසු කවදාවත් ඇදෙන්නේ නැති ලොතරැයි කූඩුවට ය. ඒ දැනුම මිසක හිතන්නට උගන්වා නැති නිසා ය.

තියෙන තුට්ටු දෙක මේ වංචනිකයන් විසින් ඩැහැ ගත් පසු ඉතිරි වන්නේ ඉවත දැමීමට සිතෙන හපයකි. දේශපාලනඥයින් කඩේ අරින්නේ මේ හිතන්නට නූගත් හපයක් වූ ඉස්කොළේ ළමයා ය.

උස නම් සිකුයුරිටි මිටි නම් කම්කරු යන්නේ එයා ය.

තමන්ට වින කටින දේශපාලනඥයින් කර උඩා තියා පාද යාත්‍රා යන්නේ එයා ය. තමන්ගේ දේ හොරා ගෙන හිර ගෙදරට යන දේශපාලන තක්කඩියාට ජය වේවා කියන්නේ මෙයා ය.

කිසි දිනෙක සුන්දර නොවූ අතීතයක වරුණය කියමින් ඒ අතීතයට ගාටනු පිණිස අමුඩ ගසන්නේ මෙයා ය.

වටිනාකමක් නැති සම්ප්‍රදායන්ට මල් පහන් පූජා කරමින් සුවඳ දුම් අල්ලමින් කල් මරන්නේ මෙයා ය. අනුන් ගැන හෝ නොපෙනෙන බලවේග ගැන මිසක තමන්ගේම වූ කිසිම දෙයක් ගැන විශ්වාසයක් නැති මෙයා ය.

අකුරු දැනගත්තාට කියවන්නට දැනගත්තාට කියවිය යුත්තේ කුමක් දැයි තෝරා බේරා ගැනීමට නොදන්නා මෙයා ය.

අධ්‍යාපනයට අරක් ගෙන සිටින කුම්භාණ්ඩයින්ගෙන් අධ්‍යාපනය බේරා නොගෙන රට ගොඩ නැගිය නොහැකි යයි මට කියා දුන්නේ ද මෙයා ය.

වෙස්සන්තර පිය රජාණන් හට- ජාලිය කුමරුගෙන්

පිය රජුනි

ඔබ ඔබේ මනදොල පුරවා ගත්තෙහි ය. ඔබ සමග අමනාප වීමට හේතු බොහෝ ඇතත් මා එසේ කීවේ අමනාපයෙන් ම නොවේ. ඔබේ මනදොල ආත්මාර්ථය ඉක්මවන්නක් ද ලෙස දැකිය හැකි නිසා මට එක එල්ලේ ඔබ සමග අමනාප විය නොහැකි ය.

බුද්ධත්වය ලැබ එයින් නොනැවතී සෙසු මිනිසුන් ද දුකින් මුදවීමට ද ඔබ ක්‍රියා කළේ ය. ඇලීම හා ගැටීම දුරු කර ගෙන සැනසුම ලැබීමට ඔබ දෙසු දහම නිසා ඇතැම් මිනිසුනට හැකි විය.

එහෙත් ඒ සඳහා ඔබ ගත් මගේ සියල්ල නිවැරදි ද යන්න නැවත විමසිය යුතු ය. කාලාම සූත්‍රයේදී ඔබ දෙසූ අයුරින්ම විමසිය යුතු ය.

එදා ජූජක බමුණා මිය නොයන්නට මටත් ක්‍රිෂ්ණජිනාටත් සිදු වන්නේ වහ කන්න ය. අප ඔබගේ දරුවන් වූ බව ඇත්ත ය. ඔබ අප අත්හැරිය විට ජූජක බමුණු හා යෑම හැරෙන්නට අපට කරන්නට අන් දෙයක් නොවූ බව ඊටත් වඩා ඇත්ත ය. කිසිත් කර ගත නොහැකි කුඩා දරු දෙදෙනෙකුගේ අනාගතය බිල්ලට තබා බුද්ධත්වය ලබන්නට ඔබ කළ උත්සහය ඒ නිසා ම සාපරාධී ය. බුද්ධත්වය ලබන්නට ඊට වඩා සෞම්‍ය වූත් සාමකාමි වූත් මගක් තනන්නට ලෝකයට හෝ එය පාලනය කරන දෙවියන්ට හෝ නොහැක්කේ මන් ද යන්න සිතන විට මට එදා ඇති වූ කම්පනය ඔබ කළ ක්‍රියාව නිසා ඇති වූ කම්පනයට ද වඩා බලවත් විය.

ඔබ ගත් මග විමසන්නට මුල්ම අවස්ථාව ඒ භවයේදී ඔබ ලදුයේ සුදු ඇතා පවරා දීම සම්බන්ධයෙන් ඔබේම රටවැසියන්ගේ මැදිහත් වීම වූ වෙලාවේ ය.

රජ කෙනෙකුට රාජධානියක් පැවරෙන්නේ එහි ඇති සම්පත් භුක්තියට සවි කර ගන්නට හෝ ඒවා තමන් කැමති ඕනෑම අයුරකින් පරිහරණය කිරීමට හෝ නොවේ. වත්මන් යුගයේ රාජ්‍යත්වයට පත් වෙන සාමාන්‍ය මිනිසුන් මෙන්ම ඔබ ද හිතුවේ රාජ්‍ය සතු සම්පත් තමන්ට රිසි සේ භාවිතා කළ හැකි බව ය. ඔබ එහි තාවකාලික භාරකාරයා බව ඔබට අමතක විය. බුද්ධත්වය පිළිබඳ ඔබේ සිහිනය විසින් එය ඔබට අමතක කරන්නට සැලැස්වූවා යැයි කෙනෙකුට සාධාරණ චෝදනාවක් කළ හැකි ය.

දරුවන් සම්බන්ධයෙන් ද ඔබ ක්‍රියා කළේ ඊට සමාන අන්දමට ය. ඔබ විසින් ජාතක කළේ වුව ද ඔවුන් ද ලෙයින් මසින් සැදුනු මිනිසුන් බව ඔබ නොසළකා හැරියේ ය. ඔබ ඔවුන්ගේ තාවකාලික භාරකාරයා බව අමතක කර දැමුවේ ය. දරුවන් සම්බන්ධයෙන් ඔබට යම් අයිතියක් ඇත්නම් ඊට නොදෙවෙනි හෝ ඊට වඩා අයිතියක් ඔවුන්ගේ මවට ඇති බව මුලින් පිළිගෙන මන්ත්‍රී දේවිය එනතුරු තීරණය කල් දැමු ඔබ අවසානයේ එය බුද්ධත්වයට හිලව් කර අමතක කර දැම්මේ ය.

ඔබ බුද්ධත්වය ලබන දිනයේ මාරයාට චක්‍රායුධයක් සමග ඔබ වෙත පැමිණීමට හා ඔබව මෙල්ල කරනු වස් සෙල්ලම් කිරීමට ඉඩ ලැබී තිබුනේ මන්ත්‍රී දේවියගේ අනුමැතිය ලබා ගැනීමට ඔබේ දරු දානය පමා කළ පාපය හේතුවෙන් යැයි ඊයේ බණට කියනු මම අසා සිටියෙමි. මේ ලෝකයේ සාධාරණත්වය යන අංශු මාත්‍රයක් වත් නැතැයි ද පින් හා පව් වලට අර්ථකථන සපයන කරුමය නම් යාන්ත්‍රණය පවා සිනහ උපදවන විහිළුවක් යැයි ද මට සිතුනේ ඉන් පසුව ය.

මිනිසුන් 999 ක් මැරූ අංගුලිමාල නිවන් දකින විට කිසි දෙයක් කර ගැනීමට නොහැකි වූ මාරයාට ඔබ බුද්ධත්වය පත්වන විට දරු දානය පමා කිරීමේ වරදට චක්‍රායුධයක් ගෙන නටන්නට වරම් ලැබුනේ ඒ අපූරු කරුමයේ යාන්ත්‍රණය නිසා විය යුතු ය.

පුංචි දරුවන් මෙහෙකරුවන් ලෙස ද ලිංගික වහලුන් ලෙස ද නාකි මහල්ලන්ට දන් දීමේ චාරිත්‍රය ඔබ ගෙන් ආරම්භ වී යැයි කෙනෙකු යෝජනා කළොත් එය එසේ නොවේ යැයි කීමට මට නොහැකි ය. එය අද සමාජය තුළත් දරුවන් මිහිපිට අපායකට තල්ලු කරන සමාජ චාරිත්‍රයන් ලෙස වෙන වෙනත් ආකාර වලින් සමාජගත වී තිබිම සම්බන්ධයෙන් මට පුදුම විය නොහැක්කේ ඔබ වැන්නෙකු විසින් දී ඇති අතිශයින් නරක පූර්වාදර්ශය නිසා ය.

දරුවන් සම්බන්ධයෙන් වෙනත් ආකාරයක පූර්වාදර්ශයක් සපයන බෝධිසත්වයෙකු වෙන්නට මම ඉටා ගෙන ඇත්තෙමි. එකම ප්‍රශ්නයකට ඇත්තේ එසේ කොට බුදු විය හැකි ද යන්න ය. මා ඔබගෙන් අසන්නේ අන්න ඒ පැනයට උත්තරයක් ය. මේ ලියුම ලීවේ හැම දෙයක්ම ගැන දන්නා ඔබගෙන් ම ඒ බව අසා දැනගන්නට ය.

මාල හතක් සමග බඳිමු

නීල දිගැස වත වටකුරු
ආල කොමල බස පියකරු
පාන නෙතග බැල්ම මිතුරු
හීන ගෙනෙයි ඔබ නිරතුරු

පාද සළඹ හඩ විසිතුරු
නාද නගන මුව මන කළු
වාද නොමැත ඔබ නෙත් කළු
සාද පතමු බැතියෙන් මුළු

සාර කෙතක් හෙට වපුරමි
නෑර දිනක් හේන රකිමි
බාර ගන්න මග සරසමි
මාර සෙනග වුව පරදමි

ලෝල ඔබේ හදම පතමි
ආල සෙනේ මුවග නගමි
කෝල නොවී දැන්ම කියමු
මාල හතක් සමග බඳිමු