බෞද්ධ සාහිත්‍යයේ එන අංගුලිමාල කතාවස්තු වෙන් ඉගෙනීමට බොහෝ දේ අපට තිබේ. ඒ අප හරි හැටි එම කතාව විවරණය කිරීමට සමත් වෙතොත් ය.
අංගුලිමාලගේ මුල් නම අහිංසක ය. ඒ හෙතෙම අහිංසක දරුවෙකු වූ නිසා ය. සිය ගුරුවරයා විසින් නොමගට යවනු ලබන්නේ එවැනි කෙනෙකි.
අප දරුවනට කියන්නේ ගුරු උපදෙස් පිළිගන්නා ලෙසට ය. ප්‍රශ්න නොකර පිළිගන්නා ලෙසට ය. ගුරු උපදෙස් ගැන පමණක් නොව පොදුවේ වැඩිහිටියන් ගැන ම එය එසේ විය යුතු යැයි විශ්වාසයක් ඇදහිල්ලක් සමාජ ගත කර තිබේ.
වැඩිහිටියන්ට ඉහළින් කතා නොකළ යුතු බවට ද ඔවුන් ප්‍රශ්න නොකළ යුතු බවට ද ඔවුන් දෙන උපදෙස් ගුරුහරුකම් අවවාද හිස් මුදුණින් පිළිගත යුතු බවට ද නිතර කියනු අසන්නට ලැබෙන්නේ ඒ අනුව ය.
අපේ ඒ අවවාදය ම කොතරම් බුද්ධිමත් ද යන්න මේ කතාවෙන් ප්‍රශ්න කෙරේ. අහිංසක යයි නම් ලත් දරුවෙකු දරුණු අපරාධ කාරයෙකු වන්නේ වැඩිහිටිි ගුරු උපදෙස් අනුගමනයෙන් වීම ම අප වැටී සිටින නිද්‍රාවෙන් අයින් වන්නට අපට බල කරයි.
සැක ඇති තැන ප්‍රශ්න කිරීම
වැඩිහිටියන් පමණක් නොව ගුරු දෙගුරුන් දෙන අවවාද පවා ප්‍රශ්න කරන ලෙස අප දරුවන්ට ඉගැන්විය යුතු බව අංගුලිමාල කතා වස්තුව අපට මෙසේ ඇගිල්ලෙන් ඇන කියන්නේ ය. අප විසින් සමාජ ගත කර ඇති මතවාදයන් නැවත පිරික්සිය යුතු බව ද එය අපට කියන්නේ ය.
අහිංසක වඳින්න ගිය දෙවාලය අහිංසකගේ හිස මතට කඩා පාත් වන්නේ ය. ඕනෑම ඇදහිල්ලක් විශ්වාසයක් අපට නපුරට හිටිය හැකි බව එම කතා වස්තුව අපට කියන දෙවැනි පණිවුඩය ය. හැම ඇදහිල්ලක් ම ප්‍රශ්න කළ යුතු බවත් හැම විශ්වාසයක් ම නැවතත් පිරික්සිය යුතු බවත් එය අපට මතක් කර දෙන්නේ ය. මෙලෝ හසරක් නොදැන වඳින්නන් වාලේ හැම දේවාලයකට ම වැඳීම ද ඒ අනුව නැවත විමසිය යුතු ය.
මේ කතා පුවත ගුරුවරුන්ට ද පාඩමක් කියා දෙන්නේ ය. ඒ කේලාම් නාසන ලෙස ය. කේලාම් මත පදනම් ව සිසුන් කෙරෙහි කටයුතු නොකරන ලෙස ය.
ඒ අතර එය අප කාටත් තව පණිවුඩයක් දෙන්නේ ය. ඒ තමන්ට අසන්නට ලැබෙන හැම දෙයක්ම සත්‍යය නොවන බවත් දකින හැම දෙයක්ම තව වරක් නොබලා තව පැත්තකින් නොලබා බාර නොගත යුතු බවත් ය. තොරතුරු ද ඒවායේ ඇත්ත නැත්ත උරගා බලනු පිණිස විමසිය යුතු බව ය. තොරතුරු බොහෝ විට විවිධ අවශ්‍යතා සපුරාගැනීමට මිනිසුන් විසින් නිර්මාණය කරන ඒවා බව ය. ඒවා ඇත්තම නොවන බව ය. වෙනත් මිනිසුන් ගැන තීන්දු තීරණ ගැනීමේ දී අපට ලැබෙන තොරතුරු සම්බන්ධයෙන් අප වඩාත් ප්‍රවේසම් විය යුතු බව ය.
අහිංසක අංගුලිමාල වීම
මේ සියලු පාඩම් ලෝකයට හෙලි කරමින් අවසානයේ අහිංසක නම් අහිංසකයා මිනීමරුවෙකු වන්නේ ය. එක් කෙනෙකු නොව 999 ක් මැරූ මිනිමරුවෙකු වන්නේ ය. එසේ මරා ඇගිලි වලින් මාලයක් තනා කර පැළඳගෙන ඉන්නා සැබෑ ත්‍රස්තයෙකු වන්නේ ය. දුටු දුටුවන් බියේ පලා යන භයානක මිනිසෙකු වන්නේ ය.
තමන්ගේ මෑණියන් වුව මරා ඉලක්කය සම්පූර්ණ කර ගැනීමට වළිකන සිහි විකල්ලෙන් පෙළුනු කෙනෙකු වන්නේ ය.
එයින් කියවෙන තවත් පාඩමක් තිබේ. හැගීම් වලින් ප්‍රලය කරනු ලැබූ විට කෙනෙකුට හොඳ නරක අවබෝධ කර ගැනීමට බැරි වන බව ය. අම්මා අප්පා හඳුනා ගැනීමට නොහැකි වන තරමට මනස පිරිහෙන බව ය. ඒ හැගීම ගුරු ප්‍රේමයම වන්නට වුවමනා නැත. එය දේශප්‍රේමය ජාති ප්‍රේමය ආගම් ප්‍රේමය හෝ පන්ති ප්‍රේමය විය හැකි ය. ඒ කුමන ප්‍රේමයකින් අන්ධ වුව ද ප්‍රතිඵල එකම ය. තර්කයකට මුහුණ දී ගත නොහැකි වූ විට කුණු හරුප කියාගෙන අම්මා මතක් කරමින් බණින දේශප්‍රේමීන් හා ජාති ප්‍රේමීන් ද අපට පවසන්නේ අංගුලිමාලගේ ගුරු ප්‍රේමයේත් ඔවුන් අනුයන වෙනයම් ප්‍රේමයකත් එහෙමට වෙනසක් නැති බව ය.
අවසානයේ මේ මිනිසා අල්ලා ඔහුව දඩු කඳේ ගසන්නට රජයට බල කරන අපේ යුගයේ ස්වාමීන්වහන්සේ කෙනෙකු නොවී ඔහු යහ මගට ගැනීම තමන්ගේ වගකීමක් ලෙස බුදුන් වහන්සේ බාර ගන්නේ ය. ආයුධ සන්නද්ධ මිනිසුන් මැරීමට සපථ කර සිටින අපරාධකරුවෙකු ඉදිරියට ආයුධ නැතිව යන්නට උන්වහන්සේ තීරණය කරන්නේ ය.
මෛත්‍රියේ බලය
නීතියේ සරණ වෙනුවට මෛත්‍රියේ මහා බලය ගැන විශ්වාසය තබන්නට අපට උගන්වමින් උන්වහන්සේ අපරාධ කරුවා මෙල්ල කිරීමේ කර්තව්‍ය රජුට නෙපවරා තමන්ට පවරා ගන්නේ ය.
අංගුලිමාල මෙල්ල කිරීමට සේනාව යොදවන්නට රජු කටයුතු කරන්නට පොරොතුව ගොස් මැදිහත් වන්නේ ය. එ් සේනාවට සෙත් පිරිත් කියන්නට පිරිත් නූල් බඳින්නට ශෝස්ත්‍ර ගයන්නට ඉදිරිපත් නොවී ඔවුන් යුද්ධ කිරීමේ වගකීමෙන් නිදහස් කොට සාමය ඇති කිරීම තමන් වෙත පවරා ගන්නේ ය.
නයෙකු මරා නොදමා ඌ හුරතල් කරන්නට යන මෝඩයෙක්ය යන සමාජ අපවාදය ගැන තැකීමක් නොකර ම අංගුලිමාල ඉදිරියට බුදුන් වහන්සේ වඩින්නේ ය.
මේ සියල්ල අපට ඉදිරිපත් කරන විවිධ වර්ගයේ පාඩම් ය. ඒ ඉගෙන ගැනීමට සූදානම් අයට ය.
ඊළගට ඇත්තේ කතාවේ ත්‍රාසජනකම අවස්ථාව ය.
එක් පැත්තකින් ඉදිරියට එන මේ මහණුන් මරා ඉතිරි ඇගිල්ල සම්පූර්ණ කර ගැනීමට සපථ කරමින් හා සූදානමින් පසු වන අංගුලිමාල ය. අනෙත් පස මේ අපරාධකරුවා ගැන සහකම්පාවෙන් ඔහු ඒ පවින් මුදවා ගැනීමට අධිෂ්ඨානයෙන් තමන් දිවි ගැන නොතකා වඩින බුදුන් වහන්සේ ය. එක් පැත්තකින් ආයුධ දරා ගත් සිහිය අවුල් කරගෙන දුවමින් පැමිණෙන අපරාධකරුවා ය. අනෙත් පැත්තෙන් මෛත්‍රී සිතින් පමණක් සන්නද්ධව කරුණා පෙරදැරිව සංයමයෙන් ඉදිරියට වඩින බුදුන් වහන්සේ ය.
ඒ අතර පැත්තකින් ජනතාව ය. බුදුන් මරා දමතැයි බියෙන් ඉදිරියට නොවඩින්නැයි ආයාචනා කරනා මිනිසුන්ගෙන් ද මරණය ඉල්ලා ඉදිරියට යන මෙහෙමත් මෝඩයකැයි අපහාස කරනා මිනිසුන්ගෙන් ද සමන්විත ජනතාව ය.
බුදුන් ඒ සියල්ල බැහැර කොට ඉදිරියට වඩින්නේ සහකම්පාවෙන් පිරී ගිය නිවුනු සිතකින් ය.
අංගුලිමාල දමනය
මේ නම් ආශ්චර්යයකි. මා වැනි ආයුධ ගත් ඇගිලි මාලයක් එල්ලා ගත් මිනීමරුවෙකු ඉදිරියට ආයුධයක් වත් නැතිව සන්සුන් ගමණින් වඩින්නේ නිකම් මිනිසෙකු විය නොහැකි ය. මේ නිකම් ම නිකම් මහණෙකු ද නොවිය හැකි ය. අංගුලිමාලගේ සිතේ ඇති වූ සිතුවිලි පරම්පරාව එබඳු වූවා විය හැකි ය. ඔහු අවසානයේ දමනය වුනේ ඔහුට ම දරා ගත නොහැකි වූ මේ මෛත්‍රියට ය.
එයින් අපට ගෙනෙන පාඩම ආයුධවලින් සන්නද්ධ මිනිසුන් මැඩලීමට ආයුධ ම අවශ්‍ය නොවන බව ය. ඒ ආයුධ ගැනීම පිටුපස තිබෙන සාධක පරිස්සමින් අයින් කරන්නේ නම් ආයුධ නොමැතිව ම ඔවුන් ලවා ම ආයුධ බිම තැබීමට කටයුතු කළ හැකි බව ය.
යුද්ධයට යුද්ධයෙන් පිළිතුරු දී ඒ ගැන ඔජ වඩන අපට යුද්ධයට සාමයෙන් පිළිතුරු දුන් බුුදුන් වහන්සේගෙන් ඉගෙන ගැනීමට තවත් පාඩම් තිබෙන බව එයින් පෙනේ.
ඊළගට සිදු වන්නේ තවත් ආශ්චර්යයකි. මිනීමරු අංගුලිමාල දමනය වීමෙන් නොනැවතී බුද්ධ ශාසනයට ද එක් වන්නේ ය. ආර්ය මහා සංඝරත්නයේ කොටසක් වන්නේ ය. පසු කලෙක සෙස්සන්ගේ වැඳුම් පිදුම් ලබන මහ රහතන් වහන්සේ කෙනෙක් වන්නේ ය. ඒ පරිවර්තනය කිරීමේ දී බුදුන් වහන්සේගේ සහකම්පනය සහිත මෛත්‍රී සහගත හිත ම මුල් වන්නේ ය.
සෝපාක සුනීත වැනි කුල හීන අයට විවෘත කළ ශාසනය මිනීමරුවෙකු ලෙස ඉතිහාසයක් ඇති කෙනෙකුට ද එසේ විවෘත වන්නේ ය.
අපරාධ කාරයෙකු ශාසනයට ගත්තේ ය යන සමාජ අපවාදය නොතකා අංගුලිමාල එම නමින් ම මහණ කිරීමට බුදුන් වහන්සේ කටයුතු කළේ ය.
එල්ලුම් ගහ වෙනුවට ශාසනය
අපරාධ කරුවන්ට එල්ලුම් ගහ ම ඉල්ලන අපේ සැදැහැති බෞද්ධයින්ට වෙනස් ව අංගුලිමාලට නැවත අවස්ථාවක් දිය යුතු යැයි බුදුන් වහන්සේ සිතූ හ.
මේ තීරණය ද අපට තවත් අගනා පාඩම් දෙකක් ම ගෙන එන්නේ ය. මුල් පාඩම, කෙනෙකුගේ අතීතය තුළ යම් වැරැද්දක් වූ පලියට ඔහු හෝ ඇය සදාකාලිකව වැරදි කාරයෙකු ලෙස හංවඩු ගසා සමාජයෙන් ඉවත් නොකළ යුතු බව ය. තමන්ගේ වැරදි පිළිගෙන එයට සමාව ගෙන නිවැරදි වීමට කැමති කෙනෙකුට ඒ සඳහා අවස්ථාව තිබිය යුතු බව ය. දෙවැනි පාඩම, නිවැරදි දේ කිරීමේ දී නැගෙන සමාජ අපවාදයන් ගැන නොසළකා කටයුතු කළ යුතු බව ය.
ජන්මයෙන් උරුම වන කුලය වත් ශාසනයට ඇතුළු වන විට ද අත් හැරීමට අවසර නැති අපේ ධර්ම ද්වීපයේ මිනිසුන්ට ඉන් ලැබිය හැකි පාඩම් බොහෝ ය.
ඒ සියල්ල එතැනින් අවසන් වූයේ නැත.
අංගුලිමාල තෙරණුවෝ සුවිශේෂී වැඩකට ද අත ගැසූ හ. ඒ ලෝකයට නව ජීවිතයක් බිහිකරන්නට සූදානම් ගැබිණි මව්වරුන්ගේ විලි වේදනා අඩු කිරීමට සමත් පිරිතක් දෙසීමට මුල් වීම ය.
ඒ පිරිතෙහි අර්ථය මෙසේ ය.
“ නැගණියනි, මම යම් දවසක ආර්ය ජාතියෙහි උපනෙම් ද, එතැන් පටන් කොට දැන දැන සත්වයකුගේ දිවි තොර කළ බවක් නො දනිමි. එම සත්‍යයයෙන් ඔබට සෙත් වේවා, ගර්භයට සෙත් වේවා!” යනුයි.
එයින් කියවෙන්නේ ශාසනයට ඇතුළු වුනු පසු වැරදි නොකළ බව ය. එය සත්‍යය නම් එහි අනුභාවයෙන් රෝගී තැනැත්තේ නිදුක් විය යුතු බව ය. ගර්භයට සෙත් විය යුතු බව ය.
ඉතිහාසය අවසන් කොට ඉවත දමා නැවත උත්පත්තියකට එයින් කෙනෙකුට අවස්ථාවක් ඇති බව ය. පුනරුත්පත්තියකට ඉඩක් මේ ආත්මය තුළ ම ඇති බව ය.
ජීවිත විනාශ කළ කෙනෙකු ජීවිතයකට මග කියන කෙනෙකු බවට, අලුත් ජීවිතයකට මුල පුරන කටයුත්තේ දී ආශිංසනයක කරන කෙනෙකු බවට, අවසානයේ එසේ පත් වුනේ ය. ඒ පිරිතෙන් ම, පිරිතේ එන අදහසින් ම, අපට ද පාඩමක් උගන්වමිනි. කණගාටුවට කාරණය නම් අංගුලිමාල පිරිතේ ආනිශංස පතන මිනිසුන් ම අංගුලිමාල කතා වස්තුවෙන් ඉගෙනීමට උත්සුක නොවීම ය. ඒ ගැන පුදුම වෙන්නට දෙයක් නැත්තේ බණ ඇසීමෙන් ආනිශංස පතන බොහෝ දෙනෙකුට බණ අනුව ජීවත් වීමට වුවමනාවක් නැති නිසා ය.
අහෝසි කළ කර්මය
අංගුලිමාල කතා වස්තුව කර්මය පිළිබඳ අප සමාජයේ ඇති මතයට ද අතුල් පහරක් දෙන්නේ ය. ඒ පෙර කරන ලද කර්මයෙන් ගැලවිය නොහැකි බවට අප තුළ ඇති විශ්වාසයට ය. කරුමයක් කර ඇත්නම් කොහේ ගියත් එය පඩිසන් දෙන බවට අප තුළ ඇති කර තිබෙන විශ්වාසයට ය. කර්මය නිව්ටන්ගේ තුන්වෙනි නියමය මෙන් ක්‍රියාත්මක වන බවට, ඇතැම් විට ඊටත් එහා ගොස් එය ඩබල් ට්‍රිබල් වී දස දහස් ගුණයකින් වැඩි වී පඩිසන් දෙන බවට, ඇති විශ්වාසයට ය.
හැබෑ කරුමය නම් “මේක අපේ කරුමෙ. මේකෙන් ගැලවෙන්න බෑ“ යන නිශේධනීය සංකල්පය අප තුළ තිබීම ය.
අංගුලිමාල කතා වස්තුව කියන්නේ කර්මය ඉක්මවිය හැකි දෙයක් බව ය. එය ඉවත් කළ හැකි එකක් බව ය. අවශ්‍ය වන්නේ නිවැරදි මාර්ගයට පිවිසීමත් ඒ තුළ උත්සහවන්ත වීමත් ය. කළ යුත්තේ කරුමෙට හෝ ඇතැයි අප සිතන වෙනත් බාහිර බලයකට යටත් වී උකටලී වීමෙන් වැළකීම ය. එය අතික්‍රමණය කිරීමට වෙර දැරීම ය.