ඇමරිකාවේ ඔරිගන් ප්‍රාන්තයේ අගනුවර පෝට්ලන්ඩ් ය. එය හඳුන්වනු ලබන්නේ රෝස නගරය ලෙස ය. ඒ නගරයේ අඩියක් ගානේ විවිධ වර්ගයේ රෝසමල් තිබේ. එහි ඉතා ආකර්ෂණීය රෝස උයනක් ද තිබේ.
මේ රෝස නගරය තුළ සෑම වසරකම එක් දිනයක නගරයේ හැම දෙනෙක්ම පාහේ සහභාගිවන සැනකෙළියක් තිබේ. ඒ සැනකෙළියේ ප්‍රධානම අංගය නගරය පුරා සැරිසරන රෝසමල් පෙරහර ය.
මේ පෙරහරේ විවිධ ආයතන විවිධ පාසල් විවිධ ජාතීන් නියෝජනය කරන රථ පෙරහරක් ද තිබේ. ඒ රථ මල්වලින් සරසලා බලන්න ලස්සණ ය.
මේ පෙරහැරේ නගරයේ වෙසෙන ස්කොට් ජාතිකයන් චීන ජාතිකයන් තායි ජාතිකයන් සහ වියට්නාම් ජාතිකයන්ගේ රථ විශේෂයෙන් මගේ මනසේ රැඳී තිබේ.
ඒ සියල්ල අතරින් වඩාත්ම ආකර්ෂණයට ලක්වූයේ වියට්නාම් රථය යි. එහි ලස්සණ යුවතියන් වියට්නාම් ජාතික ඇඳුමින් සැරසී මල් අතර සිටියේ තවත් මල් මෙනැයි සිතෙන තරමට ය. වැදගත් එය ද නොවේ. අාකර්ෂණය ඒ නිසා නොවේ. එහි වඩාත්ම සුවිශේෂය වූයේ මහත් ආඩම්බරයෙන් ඔවුන් රැගෙන ගිය බැනරයයි.
එහි සටහන්ව තිබුනේ අපේ මව්බිම වියට්නාමයයි යනුවෙනි.
මුන් ඇමරිකාවෙ පදිංචිවෙල ඒකෙ වරප්‍රසාද සියල්ල විඳින ගමන් මෙසේ කීම මොන තරම් සාධාරණ දැයි පෙරහැර නරඹන කිසිවෙකු ප්‍රශ්න කරන්නට ගියේ නැත. ඒ වෙනුවට පෙරහැර නැරඹු හැම දෙනම පාහේ ඒ රථය අත්පොලසන් නද දෙමින් පිළගනු දකින්නට ලැබිණි.
අපට මෙන් ඇමරිකානුවන්ට අන්‍ය ජාතීන් තවමත් තර්ජනයක් වී නැත. ඔවුන් අන්‍යයන් ගැන බියෙන් පෙළෙන්නේ නැත. රට තමන්ට ලියාගන්නට එයින් පරයන් එලවන්නට තරමේ හීනමානයක් උන්ට නැත.
රෝස පෙරහැර පිළිබඳ මතකයන් කෙමෙන් මැකී යාමට ඉඩ ඇත. එහෙත් ඇමරිකානුවන්ගේ මේ ප්‍රතිචාරය නම් කිසිදා අමතක වෙන එකක් නැත.
රෝසනගරයත් රෝස පෙළපාලියත් ලස්සණ මල් සමග මුසුකර ගෙන ආ පණිවුඩය ද ලස්සණ ය.