සිවුරටවත් ගරු කරන්නට ඉගෙන ගනින් වේ.. පු…
මේ මගේ පසුගිය සටහනකට ලැබුණු එක් ප්‍රතිචාරයකි. ඒ ඥානසාර නම් චීවරධාරියා ගැන මා කළ සටහන නිමිත්තෙනි.
මේ කතාව කුඩා කාලයේ සිට මා අසා ඇති එකකි. සිවුරේ ඇතුළෙ ඉන්න කෙනා වැදගත් නෑ සිවුරට ගරු කරපං. ඒක කුඩාවුන්ට උගන්වන කතාවකි. මේ කතාව වන පොත් කළ එකෙකු ඒ ගැන කියා අපට කුණුහරුප වැස්සක් වැස්ස වූවාට අප කම්පා විය යුතු නැත. මක්නිසා ද යත් උන් ඉගෙන ගෙන ඇත්තේ ඒ උවදෙස් බැවිනි.
එහෙත් අප ඒ උවදෙස් පිළිගන්නට සූදානම් නැත.
එසේ ගරු කරන්නට පටන් ගත්තොත් සිදුවන්නේ මැරයන් හා වංචනිකයින් සිවුර අස්සට වී අපේ ගෞරවය දිනා ගැනීම ය. එවිට සිදුවන්නේ ශාසනය උන්ගෙන් පිරී යාම ය. එයින් සනිටුහන් වනු ඇත්තේ බුද්ධ ශාසනයේ පිරිහීම ය. මා එයට දායක විය යුතු නැත.
එයින් සිදුවන දෙවන අනර්ථය සිවුර ඇඳගත්තහම එයට මුවා වී ඕනෑ ම ගඳ ගසන දෙයක් කරන්නට පුළුවන් යැයි සිතීම ය. සිවුර දා ගන්නට පෙර ශාන්තුවරයන් ලෙස කල් ගත කළ අයටත් මැරයන් හා චන්ඩින් වීමට නීතිය අතට ගැනීමට සිත් පහළ වීම ය.
එයින් සිදුවන තෙවැනි අනර්ථය නම් ගරු කටයුතු වීමට සිවුරක් විතරක් අවශ්‍ය වුනාම වෙන කිසි දෙයක් නොකර සිටීමට වුව තත්වයන් නිර්මාණය වීම ය.
සිවුරට පමණක් නොව අප රටේ බොහෝ තානාන්තර වලට මේ පට්ට වරම ලැබී තිබේ. ගුරුවරයා ඉගැන්වූයේ නැතිවුව ද බොරු ඉගැන්වුව ද ඔහුට ඇයට මේ නිසා ගරු කිරීමට සිදුව තිබේ. පියා කණමදයෙක් මෙන් වෙරි වී ගමටම ඇසෙන්න කුණු හරුප කියමින් හතර ගාතයෙන් ගෙදර එන කෙනෙක් වුව ද මව දුක් මහන්සිවී උපයන තුට්ටු දෙකටත් කෙළවන එකෙක් වුව ද එම පදවියට දරුවන්ට ගරු කිරීමට සිදු ව තිබේ.
ගෞරවය දිනා ගත යුතු යමක් නොව තනතුරට පට්ටමට නිල කබායට සිවුරට ලැබෙන එකක් වූ විට ඒ අවසරය නොමග යන්නවුනට ඕනෑවටත් වඩා ඇති ය. පණින රිලවුනට ඉණිමං බැඳීමක් වැනි ය.
ගෞරවය සිය හැසිරීමෙන් ක්‍රියාවෙන් දිනාගත යුතු දෙයක් මිසක තනතුරට සිවුරට සින්නකරේට ලියා දෙන දෙයක් නොවන බවට පත් කළොත් මිසක මේ රට හදන්නට බැරි ය.