අංගුලිමාල ප්‍රශ්නය

අංගුලිමාල ප්‍රශ්නය අප මුල් වරට මතු කළේ 2016 සැප්තැම්බර් මාසයේ ය. එයට හරි හමන් උත්තරයක් එවකට ලැබුනේ නැත. මේ හදිසියේ මිතුරු සාදයක දී එය නැවතත් මතුව ආයේ ය. එවර ලැබුණු උත්තරය අප කාටත් ප්‍රයෝජනවත් විය හැකි නිසා මෙසේ පළකරමු.

කර්මයක මුල ඇත්තේ චේතනාවේ ය. බුදුන් දෙසුවේ චේතනාහං භික්කචෙ කම්මං වදාමි කියා ය (මහණෙනි, කර්මයට මුල චේතනාව යයි මම කියමි). අංගුලි මාල 999 ක් මැරුවේ මාලයක් ගොතන්නට ය. ගුරු දේවයන්ගේ අරමුණක් ඉෂ්ඨ කර දෙන්නට ය. ඒ නිසා චේතනාව මිනිසුන් මැරීම නොවන්නේ ය. ඒ නිසා එයින් පවක් ඇති නොවේ. එතැන සිටි බෞද්ධයන් වැඩි දෙනෙක් එය අනුමත කළ අතර සෙස්සො මුවින් නොබැණ සිටියහ. එයින් පෙනෙන්නේ මේ තර්කය කිසියම් ප්‍රමාණයකට බෞද්ධ අපට අනුමත කළ හැකි බව ය.

ඒ අනුව අප කරනවා යැයි සිතූ බොහෝ කර්මයෝ අහෝසි වී යනු ඇත. මසුන් මරන්නන් මාළු බාන්නේ උන් මැරීමේ චේතනාවෙන් නොවේ. දරු පවුලට කන්නට දෙන්නට ය. චේතනාව මැරීම නොවන තාක් පව් නැත. ඒ නිසා මසුන් මැරීම චේතනාව පිරිසුදු තාක් කර්මයක් වන්නට හේතුවක් නැත.

සොරකම් කරන බොහෝ මිනිසුන් ද කරන්නේ බැරි කමට ය. උන්ගේ චේතනාව ද දරුවන්ට කන්න අඳින්න යමක් ඉපයීම වනතාක් චේතනාව පිරිසිදු ය. ඒ නිසා ම පව් නැත.

කාමයේ වරදවා හැසිරෙන්නේ අනියම් සහකරු නැත්නම් සහකාරිය තුටු පහටු කිරීමට ය. එය කරන්නේ දානමය සිතුවිල්ලක් පෙරදැරි කරගෙන ය. තමන්ගේ ඇඹේනියන් හෝ සැමියන් ගැන අහිතකින් නොවන තාක් එය ද පවක් නොවන්නේ ය.

මත් පැන්  බොන්නේ යහළුවන් සමග කදේ වැටීමට ය. ඔවුන් සතුටු කිරීමට ය.

එහෙම බැලුවහම අප බොහෝ දෙනෙකු ගොඩ ය. පන්සිලුත් අරගෙන, එයත් රැක ගෙන ජීවත් වෙන්නටත්, ඒ අනුව හැකි ය. ප්‍රවේසම් විය යුත්තේ එක තැනකින් ය. ඒ චේතනාව හරියට තබා ගැනීමේ ය.

මේ බවක් කලින් දැන ගෙන හිටියා නම් දඹුලුත් වැද ගෙන තලගොයිත් මරා ගෙන (සමාවන්න, ගෙදර උදවියට කන්නට තලගොයි මස් ටිකකුත් අරගෙන) එන්නට තිබුනේ ය. දැනට කියා පරක්කු නැත. එහෙත් කරන දෙයක් කළ යුත්තේ හරියට දැන ගෙන ය.

පව් කාරයා කියා බනින්නේ නැතිව මේකට ඍජු සහ අවංක උත්තරයක් බලාපොරොත්තු වෙමි. මගේ චේතනාව පිරිසිදු ය. එ් සියල්ල සක් සුදක් සේ පැහැදිලි කර ගැනීම ය. ඒ නිසා මේක ලිව්වා කියා මට පව් සිදු වන එකක් නැත.

උත්තර දෙන්නට යද්දී ඔබේ චේතනාව අපිරිසුදු වූවොත් ඒකට මට කරන්නට දෙයක් නැත. එයින් පවක් වේ නම් එය ඔබ විසින් බාර ගත යුතු ය.

උස් තැන් දැක හැකිලෙන්නේ මිටි තැන් දැක පුප්පන්නේ

සමහර දෙනෙකු සෙසු අයට ගෞරව කිරීමට දන්නේ නැත. වෙන කෙනෙකු වෙනුවෙන් ඉඩ සළසන්නට නැමෙන්නට ඔවුන්ට බැරි ය. පාරක යතොත් ඒ යන්නේ පාරේ අයිතිකාරයා තමන් බව අඟවමින් ය. රථයක යන්නේ නම් නලාව හඩවමින් සියල්ලන්ට අයින් වන ලෙස සන් කරමින් ය. අනෙකාගේ මං තීරුවට දැනුම් දීමක් පවා නොකර බලාහාත්කාරයෙන් ඇතුළු වෙමින් ය. බස් රථයක වාඩි වුනොත් පුළුවන් තරම් ආසනයේ වපසරියක් පැතිරීමට වග බලා ගනිමින් ය. ඒ තුළ ඉදිරියට යන්නේ සෙසු උන් තල්ලු කර දමමින් ය. පෝලිම් කඩන්නේ තොපි කවුද යැයි අගවමින් ය.

පාසලක පස් පාගලා නැතැයි සිතුවත් මේ බොහෝ අය විභාග පාස් කර ඇති අය ය. පන්සලකට පල්ලියකට කෝවිලකට අඩිය තබා නැතැයි සිතෙතත් මේ සැවොම හොඳම බැතිමතුන් ය. අඩුවශයෙන් පිරිත් නූල් දුසිමක් වත් අත් වල බැඳ ඇති, නළලේ නිතර අලු ගා ගන්නා, කුරුස එල්ලා ගෙන සැම විටම ඒවා සිප ගනිමින් තමන්ට ආශිර්වාද ඉල්ලා සිටින බැතිමතුන් ය.

මේ හැසිරීම දෙස බලන විට කොහේදෝ වැරැද්දක් වී ඇතැයි සිතෙන්නේ ය. අතිමහත් බහුතරය මෙසේ නොවෙතැයි හිත හදා ගන්නවා විනා වැරැද්ද නිවැරදි කරගන්නා ක්‍රමයක් සිතට නොනැගෙන්නේ ය.

ඔහොම කොට කොට පලයන්. කෙහෙල් ගහක් අහුවෙනකම්. එසේ කියමින් හිත හදා ගන්නට බොහෝ දෙනෙකු පෙළඹී සිටින්නේ පැටලිලා අර්බුද ඇති කරගෙන ජීවිතය කොට කරගන්නට අකමැති නිසා ය.

එසේ වුව ද තත්වය ඊටත් වඩා බරපතල බව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැත.

මිටි තැන් දැක පුප්පන්නෝ

විශේෂයෙන් තමන්ට වඩා දුර්වල මිනිසුන්ට ගෞරව කිරීමට නම් අති මහත් බහුතරයක් ම කොහොමටත් දන්නේ නැත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙසු මිනිසුන්ට ඉඩ දෙන අය පවා මිටි තැන් දැක පුප්පන බව ය. ඒ උස් තැන් දැක හැකිලෙන ගමන් ය.

මේවා ඇතැම් විට ඉතා සියුම්ව සැගවී ගෙන ද ඇතැම් විට එලිපිට සිය නිරුවත සැමට ප්‍රදර්ශනය කරමින් ද කෙරෙන්නේ ය. වෙන විදියකින් ඔවුන් කියන්නේ පුංචි එකා පුංචි එකා විදිහට සිටිය යුතු බව ය. හැකිලී සිටිය යුතු බව ය. උන් හකුළුවනු පිණිස ලොකු එකා කරන්නේ තමන් පිප්පීම ය. ඝෝර නාඩු කිරීම ය. නැති පොරත්වයක් ආරූඪ කර ගැනීම ය.

පොඩි දරුවන්ට ගරු සරුවක් මේ උදවියගේ නැත. උන්ට ඔලොක්කු කර ඔච්චම් කර මේ ලොකු මිනිසුන් විනෝදය ලබන්නෝ ය.

මේ ඔලොක්කුවට ඔච්චමට අසුවන්නේ පොඩි දරුවන් පමණක් නොවේ. ඇතැම් විට එහි ගොදුර වනු ඇත්තේ ගැහැණිය ය. එසේ සිදුවන්නේ තමන් ගැහැණියකගේ බඩෙන් නොව වෙනත් තැනකින් පහළ වුනා යයි සිතන පිරිමින් අතිනි.

සමහර විට ගොදුරට හසු වන්නේ අබාධිතයන් ය. ශාරීරිකව හෝ මානසිකව යම් ආබාධයක් ඇති තැනත්තන් ය. නැතිනම් මහළු මිනිසුන් සහ ගැහැණුන් ය. ඒ තමන්ට කවදාවත් එවැනි ඇබැද්දියක් වෙන්නේ නැතැයි සිතන නැඩ පුරුෂයන් අතින් ය. නැතිනම් යකඩ ගැහැණුන් අතින් ය. සදාකාලිකව තිරිහන් වී ඉඳීමට නියමිත පරම්පරාවක් අතින් ය.

තවත් අවස්ථාවල ඉලක්කය සමලිංගික නැඹුරුතාවයක් ඇති මිනිසුන් හා ගැහැණුන් ය. ඒ විෂම ලිංගික බව ශ්‍රේෂ්ඨ යැයි සළකන විෂම ලිංගික මිනිසුන් හා ගැහැණුන් අතින් ය. ඇතැම් අවස්ථාවල ඒ පීඩනය එල්ල වනුයේ සංක්‍රාන්තික ලිංගික අනන්‍යතාවයක් ඇති මිනිසුන්ට ය. ගැහැණුන්ට ය. ඒ මේ ලෝකයේ සිටිය යුත්තේ තමන් පමණක් යැයි සිතන නොවෙනස් ලිංගික අනන්‍යතාවයකට උරුම කියන අය අතින් ය.

ඇතැම් විට ගොදුර වන්නේ අන්‍ය ආගමිකයින් ය. ඒ තමන්ගේ ආගම තරම් ලොකු අටමගලයක් ලෝකේම නැතැයි හිතා ඉන්නා ආගමිකයන් අතින් ය. මෙයිනුත් වැඩිම හිංසනයට ලක් වන්නේ සුළුතරයක් මිනිසුන් ඉන්නා ආගම් අදහන්නන්ට ය. ඒ මේ බුදුන්ගේ දේශය යයි කියමින් නැති අයිතිවාසිකමක් කියන බෞද්ධයන් අතින් ය.

ඊළග ගොදුර නිරාගමිකයන් ය. ඒ උන් නම් අන් ආගම් අදහන හැම කෙනෙකුටමත් වඩා නරුමයන් යැයි කියන ආගමිකයන් අතින් ය.

තව වතාවක දී අසුවන්නේ “සුළු“ ජාතිකයන් ය. ඒ නාමකරණය තුළ ම ඔවුන්ගේ තැන සළකුණු කර තිබීමම අමතර හේතුවක් හැටියට ගෙන ය. එයින් අදහස් වන්නේ බහුතර ජාතියට අයත් නොවන්නා වූ අන් ජාතිකයන් ය. ඔවුන් පරයින් ලෙස සැළකෙන්නේ තමන් භූමිපුත්‍රයන් යැයි සිතන බහුතර සිංහල ජාතියට අයත් මිනිසුන් අතින් ය.

තවත් විටෙක මේ තරවටුව පීඩනයට අසුවන්නේ කුල හීන යැයි සම්මත කර ගෙන ඇති මිනිසුන්ට ය. ඒ තමන්ගේ කුලය මහා ඉහළ යැයි පාරම්බාන කුලීනයන් අතින් ය.

හැම වැඩිහියෙක්ම දරුවන්ට ඔලොක්කු කරන්නේ නැත. හැම පිරිමියෙක්ම ගැහැණියෙක් තමන්ට වඩා අඩු යැයි සිතන්නේ නැත. අනිත් කාරණා ගත්තත් තත්වය එසේ ම ය. එහෙත් බොහෝ දෙනෙකු මේ සියල්ල ඉවසා දරා ගෙන මුණිවත රැකීම නිසා ම මේ අගතිගාමී කොටස්වල සහායකයන් බවට අනියමින් පත් ව සිටිති.

ආයතනය තුළ උස් මිටි තැන්

සමාජය තුළ මේ  සිදු වන හිංසනය ආයතනය තුළ මේ අන්දමට ම සිදු වෙනු දකින්නට පුළුවන. ඒ ආයතනය තුළ මීට අමතරව තවත් හිංසනයන් ගණනක් ද ක්‍රියාත්මක වෙද්දී ය.

එයින් එක් අරියාදුවක් සිදු වන්නේ ආයතනය තුළ බලය නැති අයට ය. බලය අඩු අයට ය. ඒ බලය නිසා තමන්ට කැමති දෙයක් කළ හැකි යයි විශ්වාස කරන බලපුළුවන්කාර නායකයන් අතින් ය.

අනෙත් අරියාදුව ආයතනයෙන් සේවය ලබා ගන්නට පැමිණෙන ගනුදෙනුකාර භවතුන්ට ය. ඒ එහි සේවය කරන කප්පරක් මිනිසුන් අතිනි. මුර කපොල්ලේ සිටින මුරකරුවාගේ සිට කාර්යාල කාර්ය සහායක හරහා ඉහළම ලොක්කා දක්වා ම ඉන්නා මිනිසුන් අතිනි. ලාභය පදනම්ව කර ගෙන ව්‍යාපාරික ආයතන තුළ මේ තත්වය එතරම් නරක නැතත් මුළුමණින්ම පහවී ඇතැයි අපේක්ෂා නොකළ යුතු ය. මේවා වඩාත් ප්‍රචලිතව දැක ගත හැක්කේ බලය හොබවන පොලීසිය, උසාවිය, ග්‍රාමසේවා කාර්යාලය වැනි ආයතන වල ය. විශේෂයෙන් ම මේවා සිදු වන්නේ අහිංසක මිනිසුන්ට හා ගැහැණුන්ට එරෙහිව ය.

ඒ ගණනට නැතත් පාසල තුළ ද ඊට තරමක් අඩුවෙන් විශ්වවිද්‍යාල තුළ ද මේ දේ ම සිදු වේ. පාසලේ ගුරුවරුන්ගේ විදුහල්පතිගේ පීඩනයට අමතරව ශිෂ්‍ය නායකයන්ගේ ගෑස් බැලීමට ද ඔවුන්ගේ ඔලොක්කු විඳීමට ද සෙසු දරුවන්ට සිදු වන අතර සරසවියේ ද ආචාර්ය මණ්ඩලයට අමතරව වඩා ජේෂ්ඨ ශිෂ්‍යයින්ගේ හා සරසවියේ දේශපාලන කරන ව්‍යාපාරයන්හි ශිෂ්‍ය නායකකාරකාදීන්ගේ ආඥාවන්ට යටත් වීමට ද සෙසු ශිෂ්‍යයින්ට සිදු වේ.

අපේ නිවෙස් පවා මේවායින් නිදහස් නැත. අයියලා විසින් මල්ලිලා නංගිලා ද තාත්තලා විසින් දරුවන් ද ස්වාමිපුරුෂයා විසින් බිරිඳ ද (කලාතුරකින් තැනක ගැහැණිය බලවන්ත නම් එහි ප්‍රතිපක්ෂය ද) මේ හිංසනයට ඔලොක්කුවට ලක් කෙරේ.

එහෙම බැලුවහම පෙනෙන්නේ බලය තියෙන්නේ කොහෙද ඒ ඕනෑම තැනකින් මේ පිප්පීම බලාපොරොත්තු විය යුතු බව ය.

බලයේ සොබාව

බලයේ ප්‍රභවයන් වෙනස් ය. ඇතැම් තැනක එය බහුතරය නිසා ය. තවත් තැනක එය පාරම්පරික උරුමයක් ලෙස සළකාගෙන ය. තවත් තැනක එය දරණ තානාන්තරයක් නිසා ය. පළඳින ඇඳුමක්, තරුවක් හෝ ඔටුන්නක් නිසා ය. ප්‍රභවය කුමක් වුව ද සැවොම කරන්නේ එක ම දෙයකි. ලැබුණු හා ලබා ගත් බලය අමු අමුවේ භාවිතා කර තවකෙකු හෙලීම ය. පෙලීම ය.

ඇතැම්හු මේවා කරන්නේ තමන්ට නැති පොරත්වයක් ලබා ගැනීමට ය. වීරයෙකු වීමට ය. තවත් සමහරු මෙසේ හැසිරෙන්නේ තමන්ගේ තේජස සෙසු අයට පෙන්වන්නට ය. බොරු ෂෝ එකට ය. තවත් අය තමන්ගේ හොරකමක් වසා ගැනීමට ය. අවධානය වෙන පැත්තකට යොමු කිරීමට ය. ගැලවිමේ මගක් හැටියට ය. තවත් සමහරු මතු ආරක්ෂාවට ය.

ඒ කුමන හේතුවක් නිසා කළ ද මේ එකක් වත් අහිංසක නැත.

බලය ඇති මුත් එසේ නොකරන මහත්මා ගති ඇති මිනිසුන්ට ද ඒ පිප්පීම් වලට එරෙහිව කතා කරන සෙසු මිනිසුන්ට ද සිදු වන්නේ අවමානයට ලක් වන්නට ය. ඔවුන්ව හැඳින්වෙන්නේ නිවටයන් හැටියට ය. පොන්නයන් හැටියට ය. ඒ අප කී පරිදි බලය අතට ගෙන ජවුසං නටන අර කී කිසියම් ආකාරයකට බලවත් වූ මිනිසුන්ගේ මුවෙන් ය.

මැර චීවරධාරීන් විසින් අන්‍යාගමිකයන්ට එරෙහිව කරනු ලබන මෙවැනි අපකීර්තිමත් රංගනයක් පිළිබඳව කිසිවෙක් විවේචනය කරතොත් අපේක්ෂා කළ යුත්තේ ගල් මුගුරු ය. කුණු බිත්තර ය. මුව නොසෑහෙන සේ වෑහෙන කුණුහරුප ය. ජාතකය පවා ප්‍රශ්න කෙරෙන කතා ය.

අන් ජාතිකයන්ගේ අයිතිවාසිකම් රැකිය යුතු යැයි කියන විට ඇසෙන්නේ දේශද්‍රෝහියෙකු බවට ජාති ද්‍රෝහියෙකු බවට කරන චෝදනා ය. එන්ජීඕ කාරයෙකු ඩොලර් කාක්කෙකු බවට කරන චෝදනා ය. ඇතැම් විට වෙඩි තබා මරණ බවට කරන තර්ජනයන් ය. මළ මිනියවත් දණ හිසෙන් ඉහළට ඔසවා ගෙන යෑමට ඉඩ නොදෙන බවට කරන බිය වැද්දීම් ය. ඒවා කතා කරන අජීවී ආයතන පවා බෝම්බ ගසා විනාශ කරන බවට කරන ඝෝරනාඩු ය.

හෙලීම හා පෙලීම සමාජගත කිරීම

එයින් කියන්නේ මේ තත්වය ඉවසා දරා ගෙන සෙසු මිනිසුන් සිටිය යුතු බව ය. ඒ තත්වයේ වෙනසක් වෙනුවෙන් කතා කිරීම ද ඒ තත්වයේ වෙනසක් කිරිම සඳහා ඉදිරිපත් වීම ද අතිශය අවදානම් සහිත ක්‍රියාවක් විය හැකි බවට මතයක් සමාජගත කිරීමට මේ බලය තිබෙන මිනිසුන් විසින් වුවමනාවෙන් කටයුතු කරමින් සිටින බව ය. මේ නිසා ම මෙම ක්‍රියාමාර්ග ඉදිරියේ මුණිවත රකින්නට මනිසුන් හිත හදාගෙන සිටින බව ය.

එසේ වුව ද අප තේරුම් ගත යුත්තේ එසේ මුණිවත රකින හැම ම, එය කරන්නේ සාධාරණ බිය නිසා වුව ද, මේ කටයුත්තට අනියමින් දායක වෙමින් සිටින බව ය.

වෙනස හා හිංසනය සාධාරණීකරණය කරමින් සමාජ ගත කිරීමට වුවමනා නිසා ම මේ වැඩි දෙනෙකු තමන් කරන වෙනස්කම් හා ඇති කරන පීඩනයන් හොර රහසේ කිරීමට පවා පරිස්සම් වන්නේ නැත. ඒ තර්ජනයන් ලස්සණ වචන තුළ සගවන්නට වත් ඔවුන්ට වුවමනා නැත. ඉතාම අමු අමුවේ ඇතැම් විට පරුෂ වචන ද යොදා ගනිමින් ඔවුහු ඒ තර්ජනයන්හි නිරත වෙති. ඇත්තටම කියතොත් ඔවුන් වඩාත් කැමති ඒ දේ ප්‍රසිද්ධියේ දෙනෝ දාහක් ඉදිරියේ කිරීමට ය. හැකි ඉහළම විදිහට පීඩනය එල්ල කරමින් කිරීමට ය. ගලගොඩ අත්තේ ඥානසාරගේ සිට කමල් ගුණරත්න දක්වා අයගේ හැසිරීමෙන් පෙන්වන්නේ මේ වුවමනාව ය. චන්දය නැතිවේය යන බියෙන් මේවා වෙනුවෙන් එලිපිට පෙනී නොසිටින දේශපාලනඥයින් පවා මේ උදවියට සැගවී සහය දෙන්නේ ද එසේ සමාජගත කිරීම ඔවුන්ගේ ද වුවමනාව නිසා ය.

එහෙම බැලුවහම අන් මිනිහෙකුට ගෞරව කිරීමට නොදන්නා මිනිසුන්ගේ සිට වුවමනාවෙන් ම අන් මිනිසුන් පාගා දැමීමට ඉදිරිපත් වන මිනිසුන් දක්වා අතිශය පළල් ලෙස විහිදී ගිය පරාසයක මිනිසුන්ගේ නොපනත් කම් වලින් මේ සමාජය පිරී ඉතිරී ඇති බව පෙනී යන්නේ ය. සිය නිහඩතාවය මගින් ඉතිරි මිනිසුන්ගෙන් සෑහෙන පිරිසක් ද මේ නිහීන හැසිරීම අනියමින් අනුමත කරමින් මේ පෙළට හිට ගෙන පරාසය තව තවත් දිගු කර ඇති බව දැනෙන්නේ ය.

ආදීනව හා උත්තර

මේ රටේ මත්පැන් පානය ඉහළ යෑමට, සිය දිවි හානි කිරීම් වැඩි වීමට, මානසික ආබාධයන් පැතිර යෑමට මේ තත්වය ද බල පා තිබේ. බොහෝ පුවත්පත්වල වැඩියෙන්ම  ඉඩ ගෙන ඇති ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනීමැරුම්, දික්කසාද, පවුල් ආරවුල් හා ගැටුම් ද මේ පෙලීම ද හෙලීම ද හේතු කොට ගෙන ඇති වන ඒවා ය. එකිනෙකාට ගරු කිරීමට අසමත් වීම හේතුකොට ගෙන ඇති වන ඒවා ය.

හැම වසර අටකට දහයකට වරක් රට තුළ පැන නැගී ජීවිත බිලිගන්නා ජන සංහාරයන් පිටුපස ද ඇත්තේ මේ හේතුව ම ය.

වසරකට පොලීසියට ලැබෙන සුළු පැමිණිලි සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවන්නේ මේ නිසා ය.

එපමණක් නොවේ. රටේ ව්‍යාපාර පසුබැසීමට ඒවායේ ඵලදායීතාවය අඩු වීමට මේ තත්වය හේතු සාධක වී තිබේ. රටක් හැටියට ඉදිරියට නොයෑමට ද මේ තත්වය හේතු සාධක වී තිබේ. ඒ අවස්ථා දෙකේ දී ම පසුබෑමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ පෙලීම හා හෙලීම හේතුවෙන් ඇති වන අනවශ්‍ය ගැටුම් සහ හිත් නොහොඳකම් ය.

මේ තත්වයේ වෙනසක් කිරීමට අප හිතන විදිහ උඩු යටිකුරු කළ යුතු ය. අපේ හර පද්ධතිය තුළ විශාල වෙනසක් සිදු විය යුතු ය.

දැන් අප ගෞරව කරන්නේ වැඩිහිටියන්ට ය. ජේෂ්ඨයන්ට ය. ගුරුවරුන්ට ය. දෙමාපියන්ට ය. පූජකයන්ට ය. ඉහළ කළමනාකරුවන්ට ය. මේ ගෞරවය දෙපැත්තටම සිදු වන එකක් බවට අප විසින් වග බලා ගත යුතු ය. පුංචි දරුවන්ට වැඩිහිටියන් ද කණිෂ්ඨයන්ට ජේෂ්ඨයින් ද සිසුන්ට ගුරුවරුද දරුවන්ට දෙමාපියන් ද අනුගාමිකයන්ට පූජකයන් ද ගෞරව කළ යුතු ය.

විවිධත්වයට වෙනස්කම් වලට ගෞරව කිරීමට අප උගත යුතු ය. අප තරමට ම අපට වඩා වෙනස් උදවියට ද මේ මහ පොළොවේ අයිතිය ඇතැයි පසක් කළ යුතු ය.

මිනිසෙකුට ගරු කළ යුත්තේ ඔහුගේ වයස, තරාතිරම, ඇඳුම පැළඳුම හෝ පසුබිම සළකා නොව ඔහුගේ ගතිගුණ හා හැකියාවන් සළකා බව අප තේරුම් ගත යුතු ය. හැම විටම පහසුවෙන් මග හැරෙන සුළුතරය ගැන විශේෂ වගකීමක් බහුතරය තුළ තිබිය යුතු ය.

අධිමානය පළකරමින් අනුන් පෙළන්නේ, ඇතුළත හිස්, තමන් පිළිබඳ හීනමානයෙන් පෙළෙන මිනිසුන් ය. එලියට පොරත්වයක් ප්‍රදර්ශනය කිරීමට සිදු වන්නේ ඇතුළත ඇති හිස් බව නිසා ය. ඇතුළතින් අභිමානවත් මිනිස්සු පිටතින් ප්‍රදර්ශනය කරන්නේ නිහතමානය ය. තමා දැනටමත් විශාල නිසා පිම්බී විශාලත්වය පෙන්නන්නට ආසාවක් ඔවුන්ට ඇති නොවේ. අප සෑදිය යුත්තේ ඇතුළතින් අභිමානවත් පිරිපුන් මිනිසුන්ව ය. එවන් මිනිසුන් සෙසු මිනිසුන්ට ද ගෞරවයෙන් සළකනු ඇත.

එකිනෙකා කෙරේ ගෞරවය පළවන විට එකිනෙකා පිළිබඳ ඇති සැකය, බිය හා අවිශ්වාසය ඉවත්ව යනු ඇත. ගැටුම් වලට තුඩු දෙන අඳුරු වළා පහව ගොස් සහෝදරත්වයේ සාමයේ එලිය උදා වනු ඇත.

ඇත්තටම මොකට ද? මල් තියෙන්නෙ

25398920_10211406276974197_1220997822086817340_n
මල් තියෙන්නෙ
පූජාසනය මත වියලිලා වියැකිලා යන්න ද?
මල් තියෙන්නෙ
විරුවකුගේ මළගමට එන මිනිස් පෙරහැරට
පෑගිලා මියෙන්න ද?
මල් තියෙන්නෙ
ලොකු ගෙයක සාලෙක
මල් බඳුන පුරන්න ද?
මල් තියෙන්නෙ
ළඳකගේ කෙස් වැටියේ
එතී සරසන්න ද?
මල් තියෙන්නෙ
සමනලුන්ට බඹරුන්ට සිත් සේ පැණි අරන්
බඩ පුරව ගන්න ද?
නෙතට රසඳුනක් වන්නට
සොඳුරු දසුනක් මවන්නට ද?

මල් තියෙන්නෙ

ඵල බරව ලොවට පුද දෙන්නට ද?
වර්ගයා බෝකරන
නොවරදින මගක් වන්නට ද?
ඇත්තටම මොකට ද?
දන්න කෙනෙක් කියනවා ද?
– කතා නොකරන මලක්

ඔබෙ යෙහෙළිය – ඇය ගැහැණිය

මේ මොණිකා රුවන් පතිරණ කිවිඳියගේ පොතක නම ය. ඇත්තටම ඇය – ගැහැණිය – යෙහෙළියක් ලෙස අප විසින් සළකන්නේ ද? මේ ප්‍රශ්නය ගැන අසන්නට සිතුනේ ඊයේ පෙරේදා සැමරූ උඳුවප් පෝය නිමිති කර ගෙන මතුවුනු සිතුවිලි පරම්පරාවක් නිසා ය.

උඳුවප් පොහොය ශ්‍රී ලංකා වාසීන්ට වැදගත් වන්නේ සංඝමිත්තා තෙරණිය විසින් ශ්‍රී මහා බෝධියේ ශාඛාවක් ලංකාවට වැඩම කළේ ද එවැනි පොහොය දිනක නිසා ය. සිතුවිලි පරම්පරාව හටගත්තේ ඒ බෝ මළුවට පය තැබීමටවත් ගැහැණුන්ට මේ ධර්මද්වීපය තුළ අවසර නැති නිසා ය.

වඩම්මන්නට හොඳ නම් මළුවට පිවිසීම හොඳ නැති වන්නේ කෙසේ ද? ඒ ගැහැණිය යෙහෙලියක් ලෙස සළකන්නට ඇති අකමැත්ත ය.

දළදා මැදුරේ ඇතැම් තැනක් ද තහනම් ය

දළදා වහන්සේ ලංකාවට ගෙනාවේ හේමමාලී කුමරිය ඇගේ කෙස් කළඹේ සඟවා ගෙන ය. ගැහැණියකට දළදාව සිය සිරුරේ රඳවා ගේන්නට හැකි ය. නමුත් දළදා මැදුරේ ඇතැම් තැනකට අඩිය තබන්නට ඇයට අවසර නැත. ඒ ඇය ගැහැණියක් නිසා ය.

නුවර දළදා මාලිගාවේ බස්නායක නිලමේ පදවියට තෝරා ගැනීම සඳහා චන්ද විමසීමක් තිබේ. ඒ සඳහා චන්දය දීමට ප්‍රදේශ කීපයක ප්‍රාදේශීය ලේකම් වරුන්ට හැකි ය. ඒ ඔවුන් පිරිමි වුවහොත් පමණ ය. එහෙම රටක ඇය යෙහෙලියක් ලෙස සළකනු ලබනවා යැයි කිව නොහැකි ය.

ආරංචියේ හැටියට මහනුවර දිසාපති වීමට කාන්තාවකට නොහැකි ය. ඒ ද දළදා මැදුර නිසා යැයි කියවේ.

මෙහෙණි සස්නට ද අවසර නැත

ලංකාවේ මෙහෙණි සස්නක් පිහිටුවනවාට පිරිමි හාමුදුරුවරු විරුද්ධ ය. ඕනෑ නම් දස සිල් විය හැකි ය. ඉන් ඉහළට යා නොහැකි වැට කඩොල්ලක් හදා තිබේ. ඒ බුදුන් දවස ද මෙහෙණි සස්නක් පිහිටුවන්න පමා වී හෝ අවසර ලබා දී තිබුණු පසුබිමක ය. ඒ සියල්ල වන පොත් කළ ස්වාමීන් වහන්සේලා ඉන්නා රටක ය.

ආගමික අඩම්තේට්ටම් පහසුවෙන් අවසන් වන්නේ නැත. එක් බෞද්ධ භික්ෂුවක් මේ මෑතක දී කීවේ ගැහැණියක් ලෙස උපත්පත්තිය ලබන්නේ පෙර ආත්මයේ කරන ලද පාප කර්මයන් නිසා බව ය. ඒ භික්ෂුවට අනුව ඒ පාප කර්මය වෙන එකක් නොව පරදාර සේවනයේ යෙදීම ය. ඒ කියන්නේ තුන්වෙනි ශික්ෂා පදය කඩ කිරීම ය. එය එහිමියන්ගේ අර්ථ කථනයක් ද ආගමික පොත පතේ සඳහන් දෙයක් දැයි අපි නොදනිමු. එහෙත් එයින් ඇඟවෙන කාරණය අතිශයින් අවමන් සහගත ය.

එයින් සිදු වන එක් නපුරක් නම් අපේ අම්මලා ද සොහොයුරියන් ද බිරියන් ද දූවරුන් ද පෙර ආත්මයක පරදාර සේවනයේ යෙදුනේ යැයි විශ්වාස කරන්නට අපට සිදු වීම ය. ඒ තුළ ම ඔවුන් පිළිබඳ අඩු තක්සේරුවක් හෑල්ලුවක් ඇති වීම ය. ඔවුන් පිළිබඳව ගෞරවයක් තිබුනේ නම් එය දියව යෑම ය. දෙවැනි නපුර, තවදුරටත් ස්ත්‍රීන් දෙවැනි මට්ටමක පහළ මට්ටමක පවත්වා ගෙන යෑමට ඉන් ඉඩ ලැබීම ය. එසේ පවත්වා ගෙන යෑම සාධාරණීකරණය වීම ය.

ගැහැණිය ගැන ඇති මනස් ගාත

ගැහැණුන් සම්බන්ධ කර ගෙන ගොතා ඇති සමාජ ගත ව ඇති කියමන් අතිශය දරුණු ය. සාවද්‍ය ය. ඉන් එකක් නම් ගැහැණියගේ නුවණ ඇත්තේ හැඳි මිටේ දිග ය. එයින් කියන්නට හදන කාරණා ගණනාවක් තිබේ. එකක් එය කුඩා බව ය. සීමිත බව ය. අනික එය කුස්සියේ වපසරියෙන් ඔබ්බට පැතිරෙන්නේ නැති බව ය. අනෙක් ප්‍රකාශනය ඊටත් අන්ත ය. ඒ ගැහැණු කවුරුද වරදෙ නොබැඳෙන යන්න ය. එයින් ද කියවෙන කරුණු රාශියකි. එකක් ඔවුන්ට තමන් ගැන පාලනයක් නැති බව ය. ඔවුන් දුර්වල බව ය. දෙවැන්න ඔවුන් තුළ පාපය නපුර එක් රැස් වී ඇති බව ය.

අපේ අත්දැකීම නම් ඉතා දක්ෂ බුද්ධිමත් ගැහැණුන් සේ ම ඉතාම අනුවණ පිරිමින් ද ඇති තරම් ඉන්නා බව ය. අනෙත් අතට අත් පුඩි ගසන්නේ එක් අතකින් නොවන නිසා හැම වැරදේ බැඳෙන ගැහැණියකටම තව එවන් පිරිමියෙකු ද ඉන්නා බව ය. එසේ තිබිය දී මෙවැනි ප්‍රකාශ සමාජ ගත ව ඇත්තේ ඒ හරහා ගැහැණිය පාලනය කිරීමට ය.

ඇය විසින් අනුගමනය කළ යුතු වත් පිළිවතේ ද බොහෝ ය. ඇය දසන් දක්වා සිනා නොවිය යුතු ය. ඇය මුවින් නොබැන සිටිය යුතු ය. අමනකම් තක්කඩිකම් හා හිරිහැර ඇතුළු බොහෝ දේ දරා ගත යුතු ය. එය කෙසේ කළ යුතු දැයි අපට පෙන්වා සිටින්නේ ජාතික පොතේ කතු තුමා ය. ඒ මහෞෂධ පණ්ඩිතයන් හරහා උම්මග්ග ජාතක කතාවේ ය.

ඉක්බිත්තෙන් එක් දවසක් උන් විමසන සේක්. “සොඳුර අමරා දේවිනි, සාල් මනාවක් පමණ ඇරැ ගෙනැ ඉන් මට කැඳැත් බතුත් අවුළුත් පිසව’යි වදාළ සේකැ. අමරා දේවිත්, ‘එක සාල් මනාවෙන් මෙ තෙක් දෑ කෙසේ පිසම් දැ’යි නොකියා, “යහපතැ”යි වදාළ බස ගිවිසැ, ඒ සාල් මනාව පැසැ, මුල් සාලින් බත් ද කඩා සාලින් කැඳ ද සුන් සාලින් කැව්ම් ද පිසැ, ඊට සුදුසු වු අවුළුත් පිසැ මහ බෝසතාණන් වහන්සේට අවුළු සහිත කැඳ දුන්හ. කැඳ කබලක් මුඛයට ගත් පමණෙකින් මැ සියලු රස නහර වැල් පිනා සිටැ ගත්තේ යැ. පණ්ඩිතයන් වහන්සේ උන් විමසන පිණිසැ, “‍සොදුර,තොප පිසමන් නො දන්නා කලැ කුමක් පිණිසැ මා ගේ සාල් නා පූදැ’යි කියා කෙළ හා සමඟ මුඛයට ගත් කැඳ කබල කාරා බිමට දමා පි සේකැ. අමරා දේවිත් නො කිපි මැ, “කැඳැ යහබත් නොවී නම් කැව්ම් කැවැ මැනවැ,ස්වාමිනි’ කියා කැවුම් අතට දුන් හ. කැවුම් මුඛයෙහි තිබූ පමණෙකින් මැ රස නහර වැල් පිනා ගියේ යැ. එයිත් එසේ මැ කාරා දමා පි සේකැ ඊටත් නො කි පි මැ, “එසේ වී නම් බත් අනුභව කරව’යි කියා බත් අතැ තුබූ හ. එයිත් ආලෝපයක් මුඛයෙහි තබන්නා මැ සිියලු රස නහර වැල් පිනා ගියේ යැ.බෝධි සත්ත්වයන් වහන්සේ , “තොප පිසමන් නො දන්නා කලැ, මා දුක සේ සොයා ගත් දෙය කුමට නැසූ දැ’යි කිපි කෙනෙකුන් මෙන් තුන් වගය මැ එක් කොටැ අඹරා පියා ,අමරා දේවින් ඉසැ පනේ ඇඟ මුළුල්ලෙහි ගල්වා දොර හව්වෙහි ඉන්නට වදාල සේකැ. අමරා දේවිත් ඊට මඳකුත් නො කිපී, “යහපතැ, ස්වාමිනි “ යි දොර හව්වෙහි හුන්නා හ.

ඒ අපේ ආදර්ශමත් ගැහැණිය ය. මේ සියල්ලෙන් පෙනෙන්නේ ගැහැණිය යටපත් කොට තබන්නට දෙවැනි තැන තබන්නට අප විසින් හැම දෙයක් ම කර ඇති බව ය.

මවට ගරු කොට ගැහැණියට පිටුපෑම

මේ කරුණු ඉදිරිපත් කරන කෙනෙකුට අනිවාර්යයෙන්ම මුහුණ දීමට සිදු වන කරුණු පහදා දීමක් තිබේ. ඒ අපේ රටේ තරම් වෙනත් කිසිම රටක මවට ගරු නොකරන බව ය. මේ නිගමනයට පැමිණියේ කෙසේ ද යන්න ගැන වෙනම විවාදයක් අපට තිබේ. එහෙත් මේ ඉදිරිපත් කරන කාරණය මග හැර යා නොහැකි ය. අනිත් රටවලට සාපේක්ෂව කෙසේ වෙතත් අම්මා කෙනෙකුට විශාල ගෞරවයක් අපේ රට තුළ ද තිබෙන බව ඇත්ත ය. එයින් මේ කියන ගැටළුව විසඳෙන්නේ ද?

අම්මා බුදු වේවා යැයි පච්ච කොටා ගෙන සිටින අය පවා ගැහැණියට කරන මේ අකටයුතු කම් ගැන කතා කරන්නේ නැත. අම්මා ගෞරව ලැබිය යුතු කෙනෙකි. කාන්තාව එසේ නැත. ඒ කියන්නේ ඇය අම්මා යන රූපය තුළ පමණක් ගෞරව ලබන වෙනත් රූප කායන් තුළ අඩුවෙන් සැළකෙන කෙනෙකු බව ය. ඒ පරස්පරය අප විසින් ප්‍රශ්නයක් කර නොගන්නා බව ය. අම්මලාට පමණක් නොව දෝණියන්දලාට හා සොහොයුරින්ට ද ලැබෙන සැළකුම් ගැහැණුන් ලෙස ඔවුන් ලබන්නේ නැත.

ඇයට ගෞරවය ලැබිය හැක්කේ ඇය ගෙදර තුළ කූඩු වී සිටින තාක් ය. සියලු ගෞරව ඒ තුළ ය. ඉන් පිටත එහි ප්‍රතිපක්ෂය ය. ඒ අතර වාචිකව පමණක් නොව ශාරීරිකව ද කෙරෙන ලිංගික අඩම්තේට්ටම් තිබේ. මහ මග ද පොදු ප්‍රවාහනයේ ද මේවා දැක ගත හැකි ය (සංචාරය සඳහා අප රටට පැමිණි ජර්මන් කාන්තාවන් කීප දෙනෙකුම කීවේ මහ මග සිදුවන හිරිහැර කිරීම් අතින් ලංකාව වෙන බොහෝමයක් රටවල් අභිබවන බවයි). ඒ අප කලින් කිවු අසාධාරණ කම් වලට අමතර වශයෙනි.

එක අතකින් අත්පුඩි ගැසීම

ඒ සියලු අඩම්තේට්ටම් ද සිදු වූයේ ඇගේම වරදින් බව කියන්නට පේවී සිටින සමාජයක ඇයට ජීවත් වීමට සිදු ව තිබේ. ඒ සමාජයට අනුව ඇය අඩම්තේට්ටම් ලබන්නේ ඇය අඳින ඇඳුම් පැළඳුම් හා ඇගේ පාලනයෙන් තොර හැසිරීම් රටාව නිසා ය. අඩම්තේට්ටම් කරන වුන්ගේ වරදක් නැත. තිබුනත් අවසාන විශ්ලේෂණයේ දි වැරදි කාරයා වන්නේ තමන් වෙතට මේ අඩම්තේට්ටම් කැඳවා ගත් ගැහැණිය ය.

අප රටේ ගණිකාවන්ට සළකන්නේ තුච්ඡ ලෙස ය. ගණිකාවකට “ගල්“ ගහන්නට ඉක්මන් වන අය ඔවුන්ගේ සේවය පතන පිරිමින් ගැන එහෙම හිතන්නේ නැත. ගැහැණිය ඔවුන් සේවය සළසන අතර නින්දා අපහාස ද විඳිය යුතු ය.

පිරිමියකුගේ දූෂණයට ලක්ව ඇගේ කුස තුළ ඇගේ අකමැත්තෙන් වැඩෙන කළලයක් ගැන ඇයට කළ  හැකි දෙයක් නැත. දූෂණය වීමට අමතරව ඉන් ලබන දයාදයන් ද ඇය විසින් එසේ දරා ගත යුතු බවට සමාජය විසින් තීරණය කර තිබේ.

බරපතළ වැඩ ඇතිව හිර කිරීම

ඇය විසින් ගෙදර දොරේ වැඩ කටයුතු නොඅඩුව අනලස්ව කළ යුතු ය. ඒ සඳහා කෙටි ක්‍රම සෙවීමට ඇයට අයිතියක් නැත. මිරිස් මෝලෙ කොටා හරි නැත. ගලේ ඇඹරිය යුතු ය. රස එන්නේ එවිට ය. ගෑස් ලිපේ උයා හරි නැත. දර ලිපක දුම් පිඹ පිඹ ඉවිය යුතු ය. පදම එන්නේ එහෙම කළාහම ය. නොන් ස්ටික් භාජන වල නොව මැටි හැලි වලං වල ඉවිය යුතු ය. සෞඛ්‍ය සම්පන්න එවිට ය.

ඒ සියලු දුක් ගැහැට විඳ ගෙන උයා පිහා මුලින් ගෙදර හැමට පිදිය යුතු ය. ඉතිරි වුනොත් පමණක් ඇයටත් යමක් කෑ හැකි ය. මීට අමතරව තව අපූරු දෙයක් ද මේ කෑම බෙදීමේ සිදු වෙයි. ඒ මේ කෑම පෝලිමේ ගැහැණු දරුවන්ට ඉදිරියෙන් පිරිමි දරුවන්ට හිටවන බව ය.

මේ සියල්ල ඇය කළ යුත්තේ දරුවන් පෝලිමක් හදන ගමන් ය. එකෙක් ජාතිය රැක ගැනීමට හමුදාවට දෙන්නට ය. අනෙකා ආගම රැක ගන්නට ශාසනයට පූජා කරන්නට ය. ඉතිරි අය ජාතියේ ඔලු ගෙඩි ගණන ඉහළ යවා ගෙන වෙන වාර්ගිකයන් අභිබවන්නට ජාතියට දායාද කරනු පිණිස ය. ඒ තර්කනයට ම අනුව කුඩා පවුල රත්තරන් වීම මේ කල්පයේ සිදු වූ මහා විපත්තියකි. එයට කිරි දීමෙන් රූපය වැහැරී යනු ඇතැයි බියපත් ජාතියේ අම්මණ්ඩිලා එනම් මේ රටේ ගැහැණුන් වැඩියෙන් වග කිව යුතු ය. දස මාසයක් කුසේ දරා ගෙන හැදුවා මදිවාට මේ වගේ නොසන්ඩාල කතා ද අසා සිටිය යුතු ය.

ඒ අතරේ පවුලට ගෙයක් හදා දීමට මැද පෙරදිග සියළු දුක්ගැහැට මැඳ කඹුරන්නට ද ඔවුන් පිටත් විය යුතු ය. පවුලේ වැඩකටයුතු උදෙසා ගාමන්ට් ෆැක්ටරිවලට සිය තරුණ දිවිය ඔවුන් විසින් කැප කළ යුතු ය. පවුල නඩත්තු කරනු සඳහා බර කූඩා හිසේ බැඳගෙන තේ දළු ද නෙලිය යුුතු ය. ඒ සියල්ල කරමින් රටට අවශ්‍ය විදේශ විනිමය උපදවා දිය යුතු ය. රිසි රිසි දේ ආනයනය කරමින් නුවරු සුර සැප විඳින්නේ ඇගේ පරිශ්‍රමයෙන් ලද විදෙස් විනිමය භාවිතා කරමින් ය. එ් වුනාට ඇය එහෙමකට වටින්නේ නැත. කොට අදින්නට විනා පෙරහැරේ යන්නට යොදා ගත යුතු තරම් වටින්නේ නැත.

මේ වටපිටාම මැද වුව ද තෝරාගත් සුරූපිනියන් කීප දෙනෙකුට ඉහළ යා හැකි ය. ඒ ද පිරිමින්ගේ මන දොළ පිනවනු පිණිස ය.

දියුණු රටක නිර්ණායක අතරට

රටක් දියුණු යැයි කීමට ගත හැකි එක් නිර්ණායකයක් නම් ඒ රට තුළ කාන්තාවට හිමි තැන ය. කාන්තාවක් අගමැති කිරීමෙන් හෝ ජනාධිපති කිරීමෙන් පමණක් එය ලගා කර ගත නොහැකි ය. රජයේ වෙනත් ඉහළ තානාන්තර ගණනාවකට පත් වීමෙන් වත් එය ලගා කර ගත නොහැකි ය. අප එසේ කියන්නේ තනතුරු ලැබීමෙන් සියල්ල සුන්දරව අවසන් නොවන නිසා ය.

මේ තනතුරු වල වැඩ කිරීමේ දී ඔවුන් අත්විඳින සුවිශේෂ දුෂ්කරතා රැසක් තිබේ. එකක් ඔවුන් අතින් සිදු වන වැරදි ඒ ඒ පුද්ගලයාගේ ගිණුමට නොව පොදු කාන්තා ගිණුමකට බැර වීම ය. ඒ තුළ මේ තනතුරු දැරුව ද ඔවුන්ගෙන් කාර්යය නිසි පරිදි ඉටුවන්නේ නැති බවට පොදු මතයක් සමාජ ගත කිරීම ය. එය ඔවුන්ට ඔරොත්තු නොදෙන්නේ යැයි කියා සිටීම ය. එවැනි මතවාදයන් දමා ගැසිය හැකි ආයුධයක් ලෙස භාවිතා වීම ය. දෙවැන්න, හැඳි මිටේ නුවණේ කතාවේ පටන් කාන්තාව ගැන තිබෙන සියළු බමුණු මත යොදා ගෙන එවැන්නෙකුට පහර දීමට කඳවුරු බැඳ ගැනීම ය. තෙවැන්න, ඔවුන් අපහසුතාවයට පත් වන පරිදි හැසිරීම ය. වචන භාවිතා කිරීම ය. ඇතැම් අවස්ථා වල මේ හිංසනය, උඩින් හා පහළින් එක විට පැමිණීම ය. සිව්වැන්න, කාන්තාවකට දෙවැනි වීමට සිදු වීමේ යටත් නිලධාරීන්ගේ හීනමානයට ගොදුරු වීම ය.

රටක් සැබෑ ලෙස දියුණු යැයි ශ්‍රේණි ගත කිරීම සඳහා කාන්තාවට ඇති තැන යොදාගන්නේ නම් ඒ සඳහා හැම ක්ෂේත්‍රයකම ඇගේ තැන තහවුරු වී තිබිය යුතු ය යන්න මිම්ම ලෙස ගත යුතු ය. පිරිමියෙකුට යන්නට අවසර ඇති ඕනෑම තැනකට පිවිසීමට ඇයට අයිතිය තිබීම මිම්ම ලෙස ගත යුතු ය. එවන් රටක ඇයට ඉදිරියට යෑමට ඇති සියලු බාධක ඉවත් විය යුතු ය. ඇය සෑම අතකින් ම සමානයෙකු ලෙස සළකන සමාජයක් ඇති විය යුතු ය. ඇයගේ නිලබලය පිරිමියෙකුගේ නිලබලය තරමට ම පිළිගන්නා සමාජයක් ඇති විය යුතු ය. ගෘහස්ථ හිංසනයෙන් තොර නිවහනක් ඇති විය යුතු ය. ගෙදර සීමාව තුළ පමණක් නොව මහ මගදී ද ගෞරවයෙන් සැළකුම් ලබන වටපිටාවක් ඇති විය යුතු ය.

ඇය ගැන ලියා ඇති ගීත නම් අපමණ ය. මහ පොළොව මත ඇගේ තැන ඇයට නොදෙන තාක්, අඩුවක් නැතිව නොදෙන තාක්, ඒ බයිලා වලින් පලක් නැත.