තාක්ෂණය හා අපේ අනාගතය

20170628 :Technology Innovation & Artificial Intelligence ...

“එම නවකතාවේ සැබෑ වීරයා වන්නේ බබා නැමැති දහඅට වියැති වැසිකිළි සෝදන කොලුවෙකි. උදේ අරඹන නවකතාව සවස අවසන් වෙයි. තමන්ට වැසිකිළි සෝදන්නට වීම නැවැත්විය හැකි මගක් සොයන මේ විප්ලවවාදී තරුණයා වරක් මෙසේ කියයි.

“උන් හිතනව ඇති අපි ජරාව කියල. මොකද අපි උන්ගෙ ජරාව පිරිසිදු කරන නිසා.”

මුල්ක් රාජ්ගේ සමාජ දැක්ම කියන්නට ඊට වඩා අටුවා අවශ්‍ය නැත. එහෙත් බොහෝ ඉස්සර කියවූ මේ නවකතාව මට මතක් වන්නේ එහි අපූරු අවසානය නිසා ය. බබා, දේශපාලකයින්, බුද්ධිමතුන්, පූජකයන්, වෘත්තීය සමිතිකාරයින්, විප්ලවවාදීන් පමණක් නොව සිය චාරිකාවේදී මහත්මා ගාන්ධි පවා හමුවෙයි. එහෙත් ඔහුට කිසිදු පිළිතුරක් ලැබෙන්නේ නැත. ඔහුට නියමිත පිළිතුර ලැබෙන්නේ හැන්දෑමානයේ හමුවන සාමාන්‍ය මිනිසෙකුගෙනි. ඔහු කියන්නේ ජල මුද්‍රිත පෝච්චි පාවිච්චි කරන්නට පටන් ගත් විට වැසිකිළි සේදීම නවතින බව ය.

මොන අපූරු කතාවක් ද? මේ ලෝකයේ කාල් මාක්ස්, එංගල්ස්, ලෙනින්, ට්‍රොට්ස්කි, ස්ටාලින් වැනි මිනිසුන්ටත් කරන්නට බැරි වූ සමාජ විප්ලවය ජල මුද්‍රිත පෝච්චියකට කළ හැකි හැටි!

(පිටු 26-27, සාහිත්‍ය සංසාර චාරිකා, ඩබ්ලිව් ඒ අබේසිංහ)

මේ සටහන අනාගත සමාජ විප්ලවය සිදු කරනු ඇත්තේ තාක්ෂණය විසින් බව කියන්නට අගනා ප්‍රවේශයකි.

ගැහැණිය නිදහස ලදුයේ ගෘහස්ථ වැඩ කළ හැකි යන්ත්‍ර සූත්‍ර නිසා ය. නැවතත් සැබෑ කාන්තා විමුක්තිය පිටුපස සිටි යෝධ සෙවනැල්ල බවට පත් ව සිටියේ තාක්ෂණය ම ය.

බොහෝ සෞඛ්‍යයට අහිතකර හා මානසිකව/ශාරිරිකව වෙහෙසකර වැඩ වලින් මිනිසුන් මුදවා ගෙන ඇත්තේ පීඩිත පන්තියේ නැගිටීම් වලින් නොව තාක්ෂණය විසින් ය.

අතිශය ධනවත් මිනිසුන්ට පමණක් භාවිතා කළ හැකි වූ බොහෝ දේ සාමාන්‍ය ජනතාවට ලබා ගත හැකි වූයේ ද සමාජ විප්ලවයන්ට වඩා තාක්ෂණයට පින්සිදු වන්නට ය.

වහල් ක්‍රමය වැඩවසම් ක්‍රමය වැනි හිංසනික පැරණි නිශ්පාදන සම්බන්ධතා බිඳ වැටුනේ ද තාක්ෂණයේ අනුහසින් ය. වෙළඳ පොල මත පදනම් වූ වත්මන් ධනවාදී ක්‍රමය පවා විවිධ සංශෝධනයන්ට ලක් වෙමින් තිබෙන්නේ මේ තාක්ෂණය නිසා ම ය. මිනිස් ශිෂ්ඨාචාරයේ හැම ඉදිරි පිම්මක් ම පාහේ තාක්ෂණයේ ප්‍රතිඵලයන් ය.

බොහෝ විට අද අප මුහුණ පා සිටින ගෝලීය උණුසුම වැනි පරිසර ගැටළු වලට ද එය සූර්ය බලශක්තිය  හා දියුණු කරමින් තිබෙන බැටරි මාධ්‍යයන් වැනි දෑ එක්කොට උත්තර ලබා දෙනු ඇත්තේ ය.

තාක්ෂණය මෙසේ එක් පැත්තකින් යහපත් දේ ගෙන ඒම සම්බන්ධයෙන් තුති ප්‍රශංසා ලබන විට අනෙත් අතට එය මහා ව්‍යාසනයන් ඇති කිරීමේ ශාක්‍යතාවයෙන් ද යුක්ත බව අප අමතක නොකළ යුතු ය.

ලෝකයම එක පැහැරින් විනාශ කළ හැකි න්‍යෂ්ඨික බෝම්බ ද එහි ම නිශ්පාදනයකි. එයින් අදහස් කරන්නේ එය පාලනයෙන් භාවිතා කළ යුතු බවකි. එය සමාන කළ හැක්කේ ගින්නට ය. ගින්නෙන් අපට බොහෝ දේ කර ගත හැකි ය. එහෙත් පාලනය නොකළ විට එයට ලෝකයක් දවා අළු කළ හැකි ය.

සමාජ දේශපාලන බලවේග වල පිහිට වඩාත් අදළා වනු ඇත්තේ තාක්ෂණයේ විපත් පාලනය කිරීමට ය. පාලනය කරන ලද තාක්ෂණය විසින් අපට අවශ්‍ය දේ ඊයේ මෙන්ම හෙටත් නොමසුරුව ලබා දෙනු ඇත.