දේව අඩවියේ දේව කරුණාවෙන් ගෙවෙන අපේ ජීවිත

දෙවියන් ඔබ සමග කතා කරතැයි ඔබ කියන විට ඔබට මානසික ‍රෝගියෙකු යැයි කියන මිනිසුන්ම ඔබ දෙවියන්ට කතා කරන විට ඔබ යාඥා කරතියි කියති. ඒ ගැන පුදුමය පළ කරන්නේ තෝමස් ත්සාස් ය.

මෙයින් කියවන්නේ අප දෙවියන් හමුවේ කියෙවුව ද දෙවියන් අප හා කියවන්නේ නැති බව ය. ඒ ගැන අප පුදුම වන විට දේවගැතියන් අපට කියන්නේ දෙවියන් අප හා කතා කරනු වෙනුවට කරන්නේ ප්‍රතිචාර වශයෙන් යමක් කිරීම යයි කියා ය.

සමහර විට ඔවුන් නිවැරදි වෙන්නට පුලුවන. දෙවියන් ගොලු නම් කෙසේ කතා කරන්න ද?

දෙවියන් ගොලුවුනත් බිහිරි නොවේ නම් හොද ය. නැත්නම් සිදුවන්නේ අපේ යාඥාද නොඇසී යාම ය. බිහිරි නොවී ගොලුවන්නට පුලුවන් ද?

අපට බැරි වුනාට දෙවියන්ට පුලුවන් වන්නට පුලුවන. දෙවියන්ට දෙවියන් යැයි කියන්නේ නිකම් ද?

එක පනුවෙක්වත් තමන් විසින් හදා ගත නොහැකි මෝඩ මිනිසුන් විසින් දෙවියන් නම් අඩුපාඩුවක් නැතිව කෝටි ගණනින් හදන බව කීවේ මයිකල්ද මොන්ටිග්නේ ය.

සියලු දේ දන්නා සියලු දෙයින් සම්පූර්ණ දෙවියන් අසම්පූර්ණ මිනිසෙකු මවා එහි වරද ද මිනිසා පිටම පැටවූයේ ඇයි දැයි තමාට තවමත් නො‍තේරෙන බව කීවේ ජීන් රොඩන් බෙරි ය.

නිට්ෂේට ප්‍රශ්නයක් වුනේ මිනිසා දෙවියන්ගේ මෝඩකම ඔප්පු කරන්නක් ද නැතිනම් දෙවියන් මිනිසාගේ මෝඩකම ඔප්පු කරන්නක් ද යන්න ය.

තමන්ගේ දේවාලයේ කොත නැතිවුනහම ඒක සොයා ගන්නට බැරිව කපුරාල පොලීසියට එවන දෙවිවරු අනුන්ගේ නැතිවුනු ඕනෑම මගුලක් හොයා දෙන්නේ කෙසේ දැයි තමන්‍ට නොතේරෙන බව කිව්වේ පොලීසියේ පැමිණිලි ලියා ගන්නා රාළහාමි ය.

දෙවියන් කියන්නේ අපෙන් පින් බලාපොරොත්තුවෙන් ඉන්නා හිගන්නන් රැලකැයි කීවේ පන්සලේ හාමුදුරුවන් ය. ඒත් ඒ හිගන්නන්ට මිනිසුන් පන්සල් භූමියේදීම දන ගසා වදිනවා දැක උන්වහන්සේ මුකුත් නොකියන්නේ ඇයි දැයි ඇහුවේ මගේ පුංචි පුතා ය.

දෙවියන් ගැන කියවෙන කතන්දර නම් බොහෝ ය. මිනිසුන් ගැන කතා කරලා ඇතිවුන නිසා දෙවියන් ගැන පොඩ්ඩක් කතා කළ යුතු යැයි සිතුවෙමි. එහෙත් ප්‍රශ්නය නම් මිනිසුන් ගැන කතා නොකර දෙවියන් ගැන කතා කළ නොහැකි වීම ය. මිනිසුන්ගෙන් පරිබාහිරව ස්වාධීනව දෙවියන් නොපවතින නිසා ය.

ඒ මොනවා වුනත් ඔබටත් මටත් තිස්තුන් දෙවි දෙවතාවුන්ගේ පිහිට හා ආරක්ෂාව ලැබෙන්නේ අප බුදුන්ගේ දේශයේ උපන් නිසා ය. ඒ මහා වංශයට අනුව ය. මොකකට අනුව හරි එහෙම එකක් ලැබෙනවා නම් බාර නොගෙන ඉදීමේ තේරුමක් නැත. ඒත් එකම ප්‍රශ්නය මේ දිවයිනට සුනාමිය ආදා මිනිසුන් වෙනුවට දෙවියන් බේරා ගත්තේ කොන්ක්‍රීට් හා සිමෙන්තිවලින් හදන ලද බුදු පිළිම පමණක් වීම ය.

තාගෝර්ට අනුව දෙවියන් හා එක්විය හැක්කේ පොළොව කොටන පාර හදන මිනිසුන්ට ය. ඒ ඔවුන් ඉන්නා අපායේ දී ය.

එක අතකට දෙවියන් ඇත්තේත් නැත. නැත්තේත් නැත. හරියට අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය හා යහපාලනය වගේ ය. එහෙමත් නැතිනම් රටේ අධිකරණ ක්‍රියාවලියේ සුජාතභාවය වගේ ය. එසේත් නැතිනම් දේශප්‍රේමීන්ගේ අධිරාජ්‍ය විරෝධය වගේ ය. ඇත්තේත් නැත. නැත්තේත් නැත.

මාතෘකාවෙන් පිට පනින්නට හදන බවක් පෙනෙන නිසා සමුගැනීම හොද ය. ඒ සමහර දේවල් නම් දෙයියන්ට කිව්වත් වැඩක් වෙන්නේ නැති නිසා ය.

මං නරක මිනිහයි කියන්න එපා

මට වැඩ බෑ. මම කිසි දේකට දක්ෂ නෑ. මගේම කියල ආඩම්බර වෙන්න පුලුවන් කිසිම නිර්මාණයක් කරලත් නෑ.

ඒ නිසා මට පොර වෙන්න ක්‍රමයක් නෑ.

මම ඒ නිසා මගේ ජාතිය උතුම් කරවනව. අනිත් පරයො මොන තුප්පහි ද කියල දෙකේ කොළයට දානව. මගේ ආගම ලෝකේ උතුම්ම ආගම කරවනව. අනිත් ආගම්වල තියෙන්නෙ බොරු කියල සහතික වෙනව. ඒව අදහන උන් අමනයො කියල සවුත්තු කරනව.

ජාතියත් ආගමත් උතුම් වුනහම ඒ පිනෙන් මාත් පිනා චාන්ස් එක වැදිල උතුම් වෙනව.

මට දැන් හරි සන්තෝසයි. ඔය ගොල්ලොත් මගේ ජාතියෙ නම් මගේ ආගමේ නම් සතුටු වෙන්න.

එක පර බල්ලෙකුටවත් මේ දෙකට අත තියන්න දෙන්න එපා. එහෙම කරන්න එකෙක්වත් ආවොත් එදාට මම නරක මිනිහයි කියන්නත් එපා. මරාගෙන මැරෙනව.

එහෙම කරන්න තරමට ගටක් ආවේ නැත්නම් උගෙ අම්ම මතක් කරල නොම්මර එකේ කුණුහරුපයකින් සංග්‍රහ කරනව.

එතකොට දැනෙන සතුට කියල නිම කරන්න බෑ. ලොකු අනාගතයක් එහෙමකට නැතිවුනත් ශ්‍රේෂ්ඨ අතීතයක් තිබුණු ජාතියක් වෙනුවෙන් මං දුන්නු බක්අප් ගැන එතකොට මට දරා ගන්න බැරි සතුටක් එනව.

ආගම ආරක්ෂා කරන්නට කරන දෙයින් එයට හානියක් වෙනව කියල සමහරු කිව්වට මම නම් ඒ්ක කොහොමටවත් පිළිගන්නෙ නෑ. ආගම නැතිවෙනව නම් කොච්චර උසස් ඉගැන්වීමක් තිබුණත් පලේ මොකද්ද? ඒ නිසයි දන්න ධෛර්යය දාල ඒක රැක ගන්න අවශ්‍ය වෙන්නෙ. හොඳින් හෝ නරකින් ඒ වැඩේ කරන්න වෙන්නෙ. ආගමේ කියන දේට පටහැනි හැසිරීමකින් හෝ එය කරන්න වෙන්නෙ.

එහෙම කිව්වට හේතුව ඒක ම නෙවෙයි. මම ආයෙ නොකිව්වත් ඔය ගොල්ලො ඒක දන්නව. නිකමට හිතල බලන්න. ආගමත් ජාතියත් උස්සල තිබ්බෙ නැත්නම් නිකම් නිකම් ඉන්න මට මොකද වෙන්නෙ. අන්තිමේ ඕනෑම ප්‍රශ්නයක් ඔතනින් නේද කෙළවර වෙන්නෙ?

“මට මොකද වෙන්නෙ?“