එන්න, අපි නතාෂා සංයමයකින් කියවා ගමු

ඇය කී කතාව තුළ තරහ යන්නට ඇති හේතුව එහි සුද්ධෝදනගේ පොඩි කොල්ලා ලෙස සිද්ධාර්ථ කුමරුන් හැඳින්වීම ය.

හාමුදුරුවන් සම්බන්ධයෙන් කරන කතා බහක අප ගිහියන් වෙනුවෙන් යොදන වචන යොදන්නේ නැත. අප කෑම කන නමුත් හාමුදුරුවන් කරන්නේ දන් වැළඳීම ය. ඒ කියන්නේ හාමුදුරුවන් කෑම නොකන බව නොවේ. එ‌සේ වෙනස් වචන භාවිතා වන්නේ, කරන්නේ එක ම දෙය වුව ද හාමුදුරුවන් විෂයෙහි ලා එයට ගෞරවාන්විත ස්වභාවයක තිබිය යුතු යැයි අප විශ්වාස කරන නිසා ය. අප ඇවිදින විට හාමුදුරුවන් කරන්නේ වැඩීම ය. අප යමක් කීවා යැයි කියන විට හාමුදුරුවන් සම්බන්ධයෙන් යෙදෙන්නේ උන් වහන්සේ වදාළ බව ය.

එක්තරා ටෙලි නාට්‍යයක කුඩා සාමනේර නමක් එක අවස්ථාවක දුවන්නට සිදු වූ බව කියන්නෙ වැඩ්ඩ වැඩිල්ලක් කියලා ය. බොහෝ දෙනෙකුට ඒ හුරතල් වදන් වැලට සිනහ ගිය නමුත් එය හාමුදුරුවන්ට අගෞරව කිරීමක් ලෙස සලකා ඩෝං ගියේ නැත.

හාමුදුරුවන් අප කරන කියන දෙය ම කරන විට එය එසේ නොහඳුන්වා මෙසේ විශේෂිත පද යොදමින් දක්වන්නේ ගෞරව පිණිස බව අපි සඳහන් කළෙමු. එතැනින් නොනවතින අප, හාමුදුරුවන්ට වඩා පහළ ආසනයක ඉඳ ගන්නටත්, එකත් පස් ව ඉන්නටත්, ශරීර භාෂාව ද උපයෝගී කර ගනිමින් අප කුදු යැයි පෙන්නන්ටත්, ගන්නා වෙහෙස අපමණ ය.

මේ නිසා සිදු ව ඇත්තේ ඇතැම් ස්වාමීන් වහන්සේ නමක් ඔලුව උදුම්මවා ගැනීම ය. තමන් සතු ව විශාල බලයක් ඇතැයි ඒ උන්නාන්සේලාට හැගී යාම ය. තමන්ගේ වචනය රජ්ජුරුවන්ගේ වචනය මෙන් ම අවසාන වචනය විය යුතු යැයි ඒ උන්වහන්සේලා විශ්වාස කිරීම ය.

රජවරු පවා තම වචනයට අවනත විය යුතු යැයි අවසානයේ උන්නාන්සේලාට සිතෙන්නේ ද ඒ නිසා ය. නීතිය ක්‍රියාත්මක කරන්නට ගිය විට පොලීසියට කුණුහරුපයෙන් බණින්නට හිතෙන්නේත් ඒ නිසා ය. උසාවිය පවා දෙකේ කොළයට දාන්නට ගොස් එක් ස්වාමීන් වහන්සේ නමක් හිරේ විලංගුවේ වැටුනේ ද ඒ අධිතක්සේරුව නිසා ය.

හාමුදුරුවන් (සිල්වත් හාමුදුරුවන්ට අගෞරවයක් වන නිසා ඔවුන් චීවර ධාරීන් ලෙස ඇතැම් අය විසින් හඳුන්වනු ලැබේ) කරන ඔ්නෑ ම ජඩ වැඩක් ගිහියන් විසින් මුවින් නොබැණ ඉවසිය යුතු යැයි මුතුගල සර් ඇතුළු බොහෝ බෞද්ධයෝ කියා සිටින්නෝ ය. ඒ සමාව නිසා ම සිදු ව ඇත්තේ තව තවත් වැරදි කිරීමට ඔවුන් පෙළඹවීම ය. සාමාන්‍ය ගිහියන් තුළ ඇති ලජ්ජා බය පවා ඔවුන් තුළින් ඉවත් ව තිබීම ය. ශාසනය බිංදුවට ම පිරිහීම ය.

හාමුදුරුවන් මෙසේ උස් තැනක තැබීමට නම් බුදුන් වහන්සේ ඊටත් උඩින් තැබිය යුතු වෙයි. ඒ නිසා ම බුදුන් වහන්සේ සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස නොව සුවිශේෂි කෙනෙකු ලෙස දැකිය යුතු ය. බෞද්ධ සාහිත්‍යය සකස් කර තිබෙන්නේ ඒ සුවිශේෂී මනුෂ්‍යයා නිර්මාණය කර ඉදිරිපත් කිරීම සඳහා ය.

ඉපැදුණු ගමන් පා තබමින් ගමන් කරන්නටත් මම ලොවට ශ්‍රේෂ්ඨ වෙමි අග්‍ර වෙමි යන වචන දේශනා කරන්නටත් සිද්ධාර්ථ කුමරුන්ට හැකියාව දී තිබෙන්නේ ඒ බෞද්ධ සාහිත්‍යකරුවා ය.

මේ එකක් වත් බුදුන් අනු දැන වදාළ දේ නොවන්නේ ය. බුදුන් වහන්සේ පැවසුයේ සිල් ගත් අයට සෙසු අය සමග අසුන් ගන්නට ය. ඔවුන්ට උපදෙස් දුන්නේ උස් ආසන හෝ මහා ආසන නොසොයන ලෙස ය. තමන් වහන්සේ ගැන පවා උන්වහන්සේ පැවසුවේ තමන් කියන දෙය පවා බුද්ධියෙන් විමසීමෙන් තොරව පිළි නොගන්නා ලෙස ය.

ඒ නිසා හාමුදුරුවන් උස් ආසන හා මහා ආසන සොයන විට ද තමන්ගේ උපදෙස් ම ගත යුතු යැයි විධාන පනවන විට ද අපට තේරුම් යන්නේ ඔවුන් යන්නේ බුදුන් වදාළ මග ඔස්සේ නොවන බව ය.

මේ සියල්ල අපට කියන්නේ ඉතිහාසයේ යම් තැනක දී අපට කොහේ හෝ වැරදී ඇති බව ය.

එය වඩාත් හොඳින් දැනෙන තව අවස්ථා කීපයක් ම තිබේ. එවන් තැනක දකින්නට ලැබෙන්නේ ගැහැණුන් පහත් ලෙස සළකා ඔවුන් කිලිටි වන අය ලෙස සලකා බැහැර කිරීමට කරන උත්සහයන් ය. එයින් එක් තැනක් ශ්‍රී මහා බෝධි උඩ මළුව ය. එය ගැහැණුන්ට තහනම් කලාපයකි. අනෙක දළදා මාලිගාවේ දළදා වහන්සේ වැඩ සිටින කොටස ය. මේ තහංචි දෙක ම සිදු කරන්නේ ඉතිහාසය අමතක කරමින් ය. එය නිශේධ කරමින් ය. අප එසේ කියන්නේ ශ්‍රී මහා බෝධිය ලංකාවට වැඩම කළේ සංඝමිත්තා තෙරණිය බව සිහිපත් කරමින් ය. දන්ත ධාතුව වැඩමෙව්වේ හේමමාලි කුමරිය සිය කෙස් කළඹේ සගවා ගෙන බව සිහිපත් කරමින් ය. එසේ තිබිය දී ගැහැණුන්ට වත්මන පනවා ඇති තහංචි වලින් ද නැවතත් පෙනී යන්නේ ඉතිහාසයේ යම් තැනක දී අපට වැරදුණ බව ය.

දැන් අපි නතාෂාට හැරෙමු. නාතාෂා ගෞරවාන්විත පද අත හරියි. ශුද්ධෝදන රජතුමාගේ පුතණුවන් යැයි සිද්ධාර්ථ කුමරුන් හඳුන්වනවා වෙනුවට ඇය කියන්නේ සුද්ධෝදනගේ පොඩි කොල්ලා කියා ය.

ඒ දෙකින් ම සිදු වන්නේ ගරු ගාම්භීර වචන වලින් සරසා ඇති උත්තුංග යමක් නිරුවත් කිරීම ය. සැබෑ ස්වභාවය නිරාවරණය කිරීම ය. සිද්ධාර්ථ කුමරු අතිශයින් සාමාන්‍ය කෙනෙකු බවට පත් කිරීම ය. කුඩා වයසේ දී වුව මහා මනුස්සයෙකු ලෙස දැකිය යුතු කෙනෙකු පොඩි එකෙකු ලෙස දැක්වීම ය. කුඩා කල සිද්ධාර්ථ කුමරු පොඩි එකෙක් ව සිටින්නට ඇත. එවන් දරුවෙකුට අප පොඩි එකා ලෙස අමතන්නේ හුරතලේට ය. සිද්ධාර්ථ කුමරුන්ට කුඩා කාලයේ වුව හුරතල් බසින් හඳුන්වන්නට සාමාන්‍ය අපට බැරි ය.

විශේෂයෙන් පත්තිරිප්පුවට හෝ උඩ මළුවට නැගීමට වරම් නැති ගැහැණියෙකුට බැරි ය.

ඊට අමතරව ඇය විසින් කර ඇත්තේ ඉපදුණ ගමන් ඇවිද්ද බවට කතා නිර්මාණය කළ සාහිත්‍ය කරුවාගේ චිත්‍රය අභියෝගයට ලක් කිරීම ය.

බුදුන් වහන්සේගේ ජීවිතය සාමාන්‍ය මිනිසෙකුගේ ජීවිතය වගේ ය යන්න වක්‍රොත්තියෙන් කීම ය. එවිට හාමුදුරුවන්ගේ ජිවිත වල ගාම්භීරත්වය ද පහළට යන්නේ ය.

නතාෂා භාවිතා කළ වචන භාවිත කරන්නට මගේ හිත නැමෙන එකක් නැත. ඒ මගේ වාග් විලාශය වෙනස් නිසා ය. මම ලේඛකයෙකු වන විට ඇය ‌comedian කෙනෙක් වන නිසා ය. එහෙත් ඇය එයින් ඉදිරිපත් කරන පණිවුඩය බෙදා ගැනීමට මම ද කැමැත්තෙමි. ඒ බුදුන් වහන්සේ ද අප වැනි සාමාන්‍ය මිනිසෙකු ලෙස දැකීමට ය. බුදුන් වහන්සේ ශ්‍රේෂ්ඨ වන්නේ ම ඒ නිසා බැවිනි.

අප පැතිය යුත්තේ පුද්ගල දියුණුව ද සාමූහික දියුණුව ද?

මේ ප්‍රශ්නයට වැඩිදුර නොහිතා උත්තර දෙන කෙනෙකුට හැඟෙන්නේ සාමූහික දියුණුව වැදගත් බව ය. එය වඩාත් පරාර්ථකාමී බව ය. තනියම ගොඩ යන අය දෙස සෙසු අය කොහොමටත් බලන්නේ වපර ඇසිනි. ඌට මුල අමතක වෙලා. ඒ සමාජය නිතර කියන කතාවකි. එයින් අනියම් ලෙස කියන්නේ පුද්ගල දියුණුව අතිශයින් ස්වාර්ථකාමි බව ය.

පුද්ගලයෙකුට දියුණු විය හැක්කේ කෙසේ ද? ඒ සඳහා ක්‍රම ගණනාවක් ඇත. සමාජය දෙස බලන අපට ඇතැම් විට පෙනෙන්නේ හොරකම් කර තමන්ගේ පෞද්ගලික දියුණුව ළගා කර ගත් මිනිසුන් ය. ඒ ක්‍රමය ඉක්මන් ය. නමුත් සබන් බුබුළක් මෙන් ම කෙටි කාලීන ය. බොහෝ රටවල හොරකම් කළ පාලකයන්ට නතර වන්නට වුනේ හිරේ විලංගුවේ ය. සමහර විට අපට ද රට බේරා ගැනීමට ජාතික ආරක්ෂාව සලසා ගැනීමට කැක්කුමක් ඇති නොවූයේ නම් ඒ බව සාක්ෂාත් කර ගැනීමට තිබුනේ ය. ඒ සියලු සීමාකම් මැද්දේ වුව ද අද වන විට ඒ හොරු අසරණ වී සිටින බවක් පෙනෙන්නේ ය.

වඩාත් තිරසාර ක්‍රමය වන්නේ සමාජයට ප්‍රයෝජනවත් දෙයක් දායක කිරීමෙන් ආදායමක් උපයා ගැනීම හරහා දියුණු වීම ය. බිල්ගේට්ස්ලා මැලිබන් මුදලාලිලා පමණක් නොව පාර අද්දර සිල්ලර කඩේ මුදලාලි ද අයිති වන්නේ ඒ ගණයට ය. සමහරු ඒ බව පිළිගැනීමට අකමැති ය. ඒත් කෝවිඩ් කාලයේ පාර අද්දර කඩේ වැහුනහම මුදලාලි කළ සමාජ මෙහෙවර මිනිසුන්ට තේරුණේ ය. උදේ සිට රෑ වන තුරු කඩය විවෘත කර තබමින් ඇතැම් තැනක සතියකට දින හතක් ම විවෘත කර තබමින් සේවයේ යෙදෙන මුදලාලි කරන්නේ අප‌ නොකරන කැප කිරීමක් බව බොහෝ දෙනාට කෝවිඩ් එනතුරු ම නොවැටහුනේ ය.

මුදලාලිගේ ගේ අපේ ගෙදරට වඩා ලොකු වීම අපට දරා ගැනීමට අමාරු ය. ඒ නිසා අප හිතන්නේ මුදලාලි අපව උලා කෑ තර වී ඇති බව ය. අපට ද කඩ කෑල්ලක් ඇර ගැනීමට බාධාවක් නැත. එහෙත් අප එයට කම්මැලි ය. කඩය අසාර්ථක වීමේ අවදානම බාර ගැනීමට ද අප අකමැති ය. කාට හෝ කඹුරා මාසේ අන්තිමට එන පඩියට අප කැමති ය. ඒ අතර තුර අපට අවශ්‍ය වන්නේ මුදලාලි අවදානමක් ගෙන කඩේ පවත්වා ගෙන යනු දැකීමට ය. මුදලාලි උදේ සිට රෑ වන තුරු අප වෙනුවෙන් වැඩ කරන අතරතුර අප මෙන් ම ජීවත් වෙනවා දකින්නට ය. කඩේ සරුසාර වුනාට පසු ගෝලයෙක් යොදවා නිදහස් වුන හම අප කැමති ඒක ගෝලයාව ද සූරා කෑමක් ලෙස දකින්නට ය.

බුදුන් වහන්සේ තනියම බුදු වීම අප දරා ගන්නේ සිදුහත් කුමරා අපේ කෙනෙකු නොවීම හේතුවෙන් ය. බැරි වෙලාවත් අප අතරින් කෙනෙකු බුදු වූවා නම් අප ඒ තැනැත්තාට ගරහනු ඇත්තේ තනියම බුදු වුනා යැයි කියා ය. ඇතැම් විට පස්වග මහණුන් කර හරින්නට තැත් කරන්නට ඇත්තේ ඒ නිසා විය හැකි ය.

පුද්ගල විමුක්තිය සමාජ විමුක්තියට මග පාදන බව තේරුම් ගන්නට බොහෝ දෙනෙකුට අමාරු ය. ඒ සියල්ලටත් වඩා අමාරු පුද්ගල විමුක්තිය නැතිව සමාජ විමුක්තිය සාක්ෂාත් කර ගත නොහැක්කේ මන් ද යන්නට පිළිතුරු සැපයීමට ය. එයින් අදහස් කරන්නේ තනි මුදලාලි කෙනෙකු කඩයක් දමන්නේ නැතිව ගමේ සියල්ලන්ගේ ම කඩයක් – සමූපකාරයක්- කළ නොහැක්කේ මන් ද යන්න ය.

“ලොවෙන් එකෙක් එක් දේකට වෙයි සමථ” යැයි කියන කතාවක් තිබේ. එය කට කහනවට කියූවක් නොවේ. එය සැබෑව ප්‍රකාශ කිරීමකි. සංගීතය දක්ෂ කෙනෙකුට ගණන් හැදීමට නොහැකි විය හැකි ය. ඊට අමතරව අපේ කැමැත්ත පවා ඇත්තේ එක් දේකට නොවේ. කෙනෙකු කවි ලියන්න කැමති වන අතර තව කෙනෙකුගෙ කැමැත්ත මල් වැවීම විය හැකි ය.

ලෝකය සුන්දර වන්නේ මේ විවිධත්වයට ඉඩ දීම තුළ ය. එපමණක් නොවේ. ලෝකය වඩා ඵලදායී වන්නේ ද මේ විවිධත්වයට ඉඩ දීම තුළ ය.

සාමූහික දියුණුව වෙනුවෙන් ඔවුන් හැම දෙනා වරින් වර කඩයට ගාල් කිරීම ඒ නිසා ම ප්‍රයෝජනවත් නැත. එසේ කිරීම මගින් කඩයක් පවත්වා ගෙන යා නොහැකි ය. කඩේ තොග පවත්වාගෙන යෑම ඒවා අවභාවිතයට නොවෙන බවට වග බලා ගැනීම සඳහා නිත්‍ය කළමනාකාරිත්වයක් අවශ්‍ය ය. ඒ අය සුවිශේෂ බලයක් අත් කර ගැනීම ඒ තුළ වැළැක්විය නොහැකි ය. එවැනි වගකීමක් දැරීමට කෙනෙකු ඉදිරිපත් වන්නේ ඒ සඳහා සාධාරණ ප්‍රතිලාභයක් තිබේ නම් ය. එය නිල මාර්ග වලින් නොලැබේ නම් නොනිල මාර්ග වලින් ඔවුන් එය අත්පත් කර ගන්නවා ඇත. එසේ කිරීමට අකමැති අය එවැනි වගකීමක් ගැනීමට ඉදිරිපත් වන්නේ ද නැත. ඒ නිසා ම ඒ වගකීම බාර ගන්නා අයට සෙසු අයට වඩා දියුණු වීමේ හැකියාවක් ද ඇත. රුසියාවේ චීනයේ සමූහ ගොවිපල වල් අසාර්ථක වුනේ මේ යථාර්ථය තේරුම් ගැනීමට අසමත් වීම තුළ ය. අවසාන ප්‍රතිඵලය වූයේ මිනිසුන් දහස් ගණනින් හාමතේ මිය යෑම ය. චීනයේ නම් ඒ මිය ගිය ගණන සඳහන් වුනේ මිලියන ගණනිනි.

පුද්ගලික දියුණුව සාක්ෂාත් කර ගන්නා ව්‍යාපාරිකයෝ සහ ශිල්පීහු තමන්ගේ ආදායමට සාපේක්ෂව බදු ගෙවීමට ද බැඳී සිටිති. සමහරු තමන් උපයා ගත් ධනයෙන් කොටසක් සමාජයේ ඉදිරි ගමනට තමුන් ම යොදවති. බිල්ගේට්ස් පදනම එවැන්නකි. එවැනි පදනම් ගණනාවක් ලෝකයේ ඇති අතර අපේ රටේ ව්‍යාපෘතීන් ගණනාවකට ඔවුන්ගේ ආධාරය ලැබේ. ඒ රාජ්‍ය නොවන සංවිධාන හරහා ය. ඒ නයින් ඔවුන් සමාජය ද ඉහළට ඔසවා තබති. පුද්ගල දියුණුවට දිරි දෙන අවකාශ සපයන සමාජ සාමූහිකව ද ඉදිරියට ගොස් ඇත්තේ මේ නිසා ය.

විල් තෙර භාවනාව – විග්‍රහයක් සමගින්

දියෙන් කිරි වෙන් කරල ගන්නව වගේ හොඳ දෙයින් නරක දෙය වෙන් කර ගන්නට නම් ඒ දේවල් වල සියලු පැතිකඩ (හැම පැත්තක්ම) බලන්න ඔ්න. දකින්න ඔ්න. ඒවාගේ පළල විතරක් නෙවෙයි ගැඹුරත් දකින්න ඔ්න. ඒක කරන්න බැහැ කැළඹුනු සිතකට – ආවේග වලින් පරල වුනු සිතකට. ඇලීම ගැටීම ඇතිව බලන සිතකට. ඒ හැකියාව ලැබෙන්නේ සන්සුන් සිතකට විතරයි. මාළු ආවේග වලින් කැළඹුනු සිතක් නියෝජනය කරද්දි හංසයා සන්සුන් සිතක් නියෝජනය කරනව. හංසයන්ට දියෙන් කිරි වෙන් කර ගන්නට පුළුවන් බවත් අපේ පැරණි සාහිත්‍ය කරුවා කියා තිබෙනවා. සන්සුන් බව අවශ්‍ය වෙන්නෙ හරි හැටි දකින්න ඔ්න අයට තමයි – වැරැද්දෙන් හරි දේ වෙන් කරල ගන්න අවශ්‍ය අයට තමයි ඒ සන්සුන් බව අවශ්‍ය වෙන්නෙ. මේක බුදු බණටත් සම්බන්ධයි. විපස්සනා භාවනාව වඩන්න කියන්නෙ සමථ භාවනාවෙන් පස්සෙ. සමථ භාවනාවෙන් කරන්නෙ සිත සන්සුන් කර ගන්න එක. එහෙම සන්සුන් සිතකට විතරයි ගැඹුරට සිතන්න පුළුවන් වන්නෙ. මේ කැළඹුණු පොකුනක පතුල නොපෙනෙන කතාව බුදු දහමේ එන එකක්. හැබැයි කවියෙන් කියන කතාව අපේ සාමාන්‍ය ජීවිතයට වඩාත් අදාළයි කියල තමයි මට හිතෙන්නෙ.

හැත්තෑ පස් වසරක සාපය ද දෙතුන් වසරක ඉතිරිය ද?

හැත්තෑ පස් වසර තුළ (අවසන් වසර තුන හතර හැරුණු විට) අපේ රට ගමන් මග විමසීමේ පෙනී යන්නේ ඒ තුළ කොතෙක් පසුබෑම් අනාථ වීම් අතරමං වීම් තිබුන ද ඉදිරියට ගිය වගකි. ඒ සඳහා ආර්ථික සංඛ්‍යා ලේඛන පිරික්සීම ප්‍රමාණවත් ය.

එහෙත් අප ඒ සමග ම මතක තබා ගත යුත්තේ ඒ අතරමං වීම් අනාථ වීම් සියල්ල ද මේ අර්බුදය මෝදු කිරීමට අනූපමේය සහයක් දුන් බව ය.

මේ ලිපියේ අදහස මුලින් ම ඒ අතරමං වීම් අනාථ වීම් කවරේදැයි බැලීමට ය. බොහෝ දෙනෙකු එය ලඝු කරන්නේ දේශපාලනය විසින් කරන ලද හොරකම් වලට ය. දූෂණය හා නාස්තියට ය. අප බොහෝ විට ප්‍රශ්නයක දකින්නේ එක පැත්තකි. ඒ සියල්ල රට මේ තත්වයට වැටීමට හේතු කාරක වූ බව ඇත්ත ය. එහෙත් එය අර්ධ සත්‍යයක් පමණ ය. එතැනින් නැවතුනොත් අපට බොහෝ දේ මග හැරෙන්නේ ය.

සුබසාධන ආර්ථිකය හා දේශපාලනය

පළමුව අප රට කළ පාලකයන් ඔවුන් හොරකම් කළ තරමට හෝ ඇතැම් විට ඊටත් වඩා ජනතාව සතුටින් තබා ගැනීම සඳහා කළ සුබසාධන දේශපාලනය නිසා ද රටට හානි කළෝ ය. ඒවායින් බරපතල ම කාර්යය නම් විශාල ලෙස රැකියා සපයමින් රාජ්‍ය අංශය අවසානයේ රටට ම බරක් වෙන තැනට පත් කිරීම ය. එය ඔවුන්ගේ ම කටින් දැන් කියවෙන්නෙ හරියට ඒවා කළේ අප වගේ හැගීමක් ඇති කරමිනි. ජනතාවට ද ඒ සම්බන්ධයෙන් වගකීමක් ඇති බව ඇත්ත ය. දියව් දියව් රැකියා දියව් කියමින් පාරවල් දෙවනත් කළේ ඔවුන් ය. ඒ රට කිසිදා පාලනය නොකළ දේශපාලන සංවිධාන වල ඍජු දායකත්වය ලබා ගෙන ය. ඔවුන් විසින් මෙහෙයවනු ලැබීම ඉදිරියට යෑමට තල්ලුවක් ලෙස භාවිතා කරමින් ය.

ඊළග බරපතල කාරණය නම් රාජ්‍ය අංශයට සියලු දෙය පවරා ගනිමින් ඒවා පාඩු ලබද්දී ඒවා නොමිලේ හෝ අඩුමිලට කරන මහජන සේවය පිණිස මෙහෙයවීම ය. ඒ එම ආයතන භාවිතා කරමින් තමන්ගේ හොරමැරකම් පමණක් නොව දේශපාලන කටයුතු ද කර ගන්නා අතරතුර ය. ඒ හොර මැරකම් අතර තමන්ගේ හෙංචයියන්ට රස්සාවල් දීම තනතුරු දීම පර්මිට් දීම කොන්ත්‍රාත් දීම වැනි කටයුතු ද තමන්ට අවශ්‍ය කටයුතු සඳහා ඒවා යොදාගැනීම වැනි කටයුතු ද නිල වශයෙන් ලැබෙන වාහනවලට අමතර ආණ්ඩුවේ වියදමින් තෙල් ගසා දුවන වාහන තමන්ට පමණක් නොව අන්තේවාසිකයන්ට ද ඒ හරහා ලබා ගැනීම ද සමග ය. නොමිලේ හා අඩු මිලට සපයන ලද සේවා අතර සෞඛ්‍ය හා අධ්‍යාපනය වැනි මූලික මිනිස් අවශ්‍යතාවයන් සපුරන සේවා පමණක් නොව උසස් අධ්‍යාපනය, විදුලි බලය හා ගෘහස්ත ජල සැපයීම, පමණක් නොව එළවලු (අලෙවි කිරීමේ දෙපාර්තමේන්තුව), මාළු (ධීවර සංස්ථාව), කිරි (කිරි මණ්ඩලය), ඇඳුම් (සළුසල), කුළුබඩු (සතොස හා සමූපකාර අලෙවි සල්), මස් (ජාතික පශු සම්පත් මණ්ඩලය), කුඹුරට වතුර (වාරිමාර්ග දෙපාර්තමේන්තුව), කෘෂි සේවා (කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හා ගොවි ජන සේවා – පසු කලෙක ගොවිජන සංවර්ධන – දෙපාර්තමේන්තුව), යන එකී නොකී භාණ්ඩ හා සේවාවන් ගණනාවක් විය.  

ඊට අමතරව නොමිලේ හාල් දීම නොමිලේ පාසල් පොත් ලබා දීම නොමිලේ යුනිෆෝම් ලබා දීම නොමිලේ සිල් රෙදි ලබා දීම වැනි ව්‍යාපෘති ද කරමින් මිනිසුන්ගේ සිත් දිනා ගෙන ඊළග චන්දය දිනා ගැනීමේ උපාය මාර්ගයන් ද අනුගමනය කරන්නට යෙදුනේ ය.

මේ සියල්ල කරද්දී අපට ‌අඟවන ලද්දේ ඒවාට අවශ්‍ය මුදල් තමන්ගේ පෞද්ගලික බූදලයෙන් යොදා ඇති බවක් ය.

වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය

ඊළඟට අප දකින්නේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති අනුගමනය කරමින් රට ආපස්සට ගෙන ගිය අකාරය ය. කාර්මික කරණයට අඩු බරක් තබමින් කෘෂිකර්මය සඳහා විශාල ආයෝජනයන් කළ ඩීඇස්ගේ කාලයේ සිට අප ප්‍රමුඛතා අඳුනා ගෙන තිබුණේ නැත. ඒ කාලයේ පටන් ම අපේ කල්පනාව වූයේ අතීත ශ්‍රී විභුතිය ඇති කිරීම මිස අනාගත ලෝකයක් ගොඩ නැගීම නොවේ. ඒ නිසා ම විදුලි බලය දියුණු කිරීමට ලැබුණේ කුඩම්මාගේ සැලකිලි ය. මේ ගැන විමලසුරේන්ද්‍ර නම් ඉංජිනේරුවාට මුහුණ දීමට සිදු වූ ගැටළු අධ්‍යායන කිරීම ප්‍රමාණවත් ය.

දෙවැනි ලෝක යුද්ධයේ අළු ගසා ජපනුන් නැගිටින විට ඔවුන් කළේ ලෝක වෙළඳපොල ඉලක්ක කරගනිමින් නිෂ්පාදනයේ යෙදීම ය. ජපන් බෝනික්කන්ගෙන් ඇරඹුනු ඒ ගමන ඔවුන් දැන් ලොවට රොබෝ යන්ත්‍ර විකුණන තත්වයට දියුණු කර ගෙන තිබේ. අපට ඔ්නෑ වුනේ අපට අවශ්‍ය දේ ලංකාවේ හදා ගැනීමට විනා ලෝකය ජය ගැනීමට නොවේ. ඒ බාහිරට යොමුවුනු ආර්ථික දැක්මක් අපට උරුම නොවීමේ කරුමය අද අර්බුදයට ද හේතුවකි. අද ද අප ආඩම්බර වන්නේ අපට අවශ්‍ය කහ අපේ රටේ නිෂ්පාදනය කර ගැනීමට ලැබීම ගැන ය.

ඒ නිසා අප විසින් කරන ලද්දේ රටට ලාබෙට පිටරටින් ගෙන්විය හැකි දේට තහංචි හෝ අධික බදු දමමින් ඒවා ඈත් කොට තැබීම ය. එයින් සිදු වුනේ පිටරට හා තරඟ කළ හැකි මට්ටමට දියුණු වීමට තරම් අභිප්‍රේරණයක් ලාංකීය ව්‍යාපාරික ප්‍රජාවට නොලැබීම ය. ඔවුන් ද ඉල්ලා හිටියේ ආණ්ඩුවේ ආරක්ෂාව ය.

ඒ සඳහා පැහැදිලි උදාහරණ රාශියක් ඇත්තේ අදටත් ඇතැමුන් ස්ත්‍රොත ගී ගයන සිරිමාවෝ ගේ පාලන කාලයේ දී ය. ඇය උත්සහ කළේ රට තුළ නිෂ්පාදනය ඉහළ නැංවීමට පමණක් නොවේ. එක් එක් පළාත ද තමන්ගේ දේ නිෂ්පාදනය කර ගත යුතු බව කියන්නට ය. ඒ නිසා තහංචි වැටුනේ පිටරටින් එන දේ ට පමණක් නොවේ. ඒවාට බදු ගැසීම වෙනුවට සම්පූර්ණ තහංචි වැටුනු බව ඇත්ත ය. ඒ දේශීය නිෂ්පාදකයා අත හිත දෙන බැනරය යටතේ ය. එහෙත් මිරිස් පොලු හාල් පොලු වැටුනේ එක් පළාතක දේ අනෙත් පළාතට ද විකුණනු වැළැක්වීමට ය. ඒ එක් ඒක් පළාතේ නිෂ්පාදකයා සෙසු පළාත් වල තරඟයෙන් ආරක්ෂා කර ගැනීමට ය. එහි උත්ප්‍රාසය තේරුම් ගැනීමට නම් අපේ වී නිෂ්පාදනයේ භූගෝලය දැන සිටිය යුතු ය. වියලි කලාපයේ ලබන අස්වැන්නෙන් තුනෙන් එකක් වත් ලබන්නට තෙත් කලාපයේ ගොවියෙකුට නොහැකි ය. වී නිෂ්පාදනය ඒ වනවිට ත් වියලි කලාපය තුළ දියුණුවක් ලැබ තිබුණේ ය. ඒ මිනිසුන්ට තමන්ගේ අතිරික්තය විකිණිය හැකි ව තිබුනේ කොළඹට ය. හාල් පොල්ලෙන් එය ද අධෛර්යමත් කරනු ලැබුවේ ය.

පුද්ගලික අංශයේ බොහෝ දේ රජයට පවරා ගනු ලැබුවේ ජනතාවට ඒවායින් යහපත් සේවයක් සිදු නොවන බව කියමිනි. එසේ පවරා ගත් ආයතන අතර එවකට තරගකාරී ලෙස ක්‍රියාත්මක වුනු ඉන්ධන බෙදා හැරීම ද ගෑස් බෙදා හැරීම ද බස් ගමනාගමනය ද තව එකී නොකී දේ ද තිබුණේ ය. එයින් සිදු වුනේ පුද්ගලික අංශයක් බිහි වීම අධෛර්ය කිරීම ය. තමන්ගේ ව්‍යාපාරයන් රජයට පවරා ගැනීමට ඉඩ තිබෙන වතාවරණයක ව්‍යවාසයන් ගොඩ නැගීමට ඉදිරිපත් වන්නේ මොන මෝඩයා ද?

පුද්ගලික ව්‍යවාස ලබන ලාභය සූරා කෑමක් ලෙස වර නැගුණු රටක් පුද්ගලික ව්‍යවාසයන්ට පහර ගැසීම මිනිසුන්ගේ ආශ්වාදයට ද හේතු විය. ඒ නිසා ම මේ කටයුතු දේශපාලන වාසි පිණිස ම විය.

ඩොලරය ආණ්ඩුව නියම කරන ගණනකට සීමා කිරීම මගින් අපනයන කරුවන් ද අධෛර්මත් කරන ලද්දේ ය. ඩොලර් ලබා ගත හැකි වූයේ අපනයන කරන අයට පමණක් නිසා ම අපනයනකරුවන්ගෙන් ස්වායත්ත ව්‍යාපාරික ප්‍රජාවක් බිහි වීමේ ඉඩ ද අහුරා තිබුණේ ය.

උසස් අධ්‍යාපනය ආණ්ඩුවේ රාජකාරියක් කර ගෙන සිටි නිසාත් පුද්ගලික අංශයට ඒ සඳහා මග අහුරන ලද නිසාත් ඒ ප්‍රතිපත්තිය දිගින් දිගට පවත්වාගෙන යෑමට විරුද්ධ පක්ෂයේ හැම බලවේගයක ම සහය ලැබුණු නිසාත් ඒ හරහා මුදලට අධ්‍යාපනය විකිණීමේ “අපරාධය” වළක්වා ගත හැකි යැයි නිදහස් අධ්‍යාපනය ලැබූවන් විසින් ම අවධාරණය කළ නිසාත් නව අධ්‍යාපනික අවස්ථා ලංකාවේ සිසුන්ට නිරාවරණය වූයේ නැත. ඉන්දියාව අපට කලින් මෘදුකාංග කර්මාන්තය ඩැහැ ගැනීමට එක් හේතුවක් වූයේ මේ “පිරිසිදු” නිදහස් උසස් අධ්‍යාපන ප්‍රතිපත්තිය ය.   

මතක තබා ගත යුත්තේ මේ සියල්ල කරන ලද්දේ ජනතාවගේ නාමයෙන් බව ය. මා මේ දක්වන ලද්දේ සම්පූර්ණ කතාව ම නොවේ. ආර්ථික විද්‍යාව දන්නා අයට මෙයට තව දේ එක් කළ හැකි ය. එහෙත් මේ ගැන සොයන්නට විමසන්නට මේ කරුණු ප්‍රමාණවත් යැයි හඟිමි.

මීට අමතරව කිසිදු වග විභාගයකින් තොරව ඉතාම අවම ප්‍රතිලාභයක් ලැබෙන ව්‍යපෘති රැසකට වාණීජ විදේශ ණය ගනිමින් 2007 න් පසු පාලකයන් අනුගමනය කළ ප්‍රතිපත්තිය ද (යහපාාල කාලයේ ණය ගත්තේ කලින් ගත් ණය ගෙවීමට බව කියවෙන කතාව ද යුක්ති යුක්තභාවය පතා සිහිපත් කළ යුතු ය) මේ වැරදි ආර්ථික ප්‍රතිපත්ති අතර ඉහළින් ම තැබිය යුතු එකකි.

ජනවාර්ගික යුද්ධය

අප ඊළගට වරද්දා ගත්තේ ජනවාර්ගික ගැටළුවක් නිර්මාණය කර ගැනීම හරහා යුද්ධයක් කැඳවා ගැනීමෙන් ය. ඒ සඳහා බොහෝ ආණ්ඩු කටයුතු කළේ වරමක් ගත් යකැදුරන් පරිද්දෙනි. ඩීඇස් යටතේ උතුරු නැගෙනහිර පළාත් වල සිදු වූ ජනපදකරණය හා සිංහල බලවේගයන්ගේ බලපෑම් මත තීරණාත්මක ස්ථානවල සේවයක් කළ දෙමල ජාතිකයන් ඉවත් කිරීමට කටයුතු කිරීම, බණ්ඩාරනායකගේ සිංහල රාජ්‍ය භාෂා ප්‍රතිපත්තිය, ඒ නිසා විශාල ලෙස සිංහල නොවන අයට රාජ්‍ය සේවයේ රැඳී සිටීමට නොහැකි වීම, පංච මහා බලවේගයේ එක් පෙරමුණක් වූ භික්ෂුන් මැදිහත් වීමෙන් බලතල විමධ්‍යගත කිරීමට බණ්ඩාරනායක ඉදිරිපත් කළ පනත ඔහු විසින් ම අකුලා ගැනීම, ශ්‍රී අකුරක් මෝටර් රථ සඳහා යොදා ගෙන සිංහල නොවන ජාතීන් ප්‍රධාන ධාරාවෙන් බැහැර කිරීමට උත්සහ කිරීම ප්‍රමිති කරණය හරහා දෙමළ සිසුන්ට සරසවියට පිවිසීම සීමා කිරීම, ඩඩ්ලිගේ බඩේ මසල වඩේ කියමින් ජනවාර්ගික ප්‍රශ්නය විසඳීම ඩඩ්ලි ගෙනා දෙමල භාෂා විශේෂ විධි විධාන පනත අකුලා දැමීමට වමේ පක්ෂ වල සහය ද ඇතිව විපක්ෂය විසින් වග බලා ගැනීම, බලය ලබා ගැනීම සඳහා ජාතිවාදය යොදා ගැනීම නිසා සිදු වූ ජාතිවාදී කෝලාහල යන එකී නොකී කාරණා මීට අදාළ ය. ඒවා දකුණේ පාලකයන් විසින් කරන ලද්දේ දෙමල ජනතාවගේ පැත්තෙන් ද ජාතිවාදය ම ප්‍රකට කෙරෙන කටයුතු නිසා ලැබු අනුග්‍රහය ද ලබා ගෙන ය.

දකුණේ අන්තවාදය උතුරේ අන්තවාදය ද උතුරේ අන්තවාදය දකුණේ අන්තවාදය ද මොනවට පෝෂණය කළෝ ය. යුද වැදීමෙන් මිසක සංවාදයෙන් ප්‍රශ්න විසඳා ගන්නට බැරි තැනකට එය අප ව තල්ලු කර දැම්මේ ය.

සිංගප්පූරුව බිහි කළ එහි ප්‍රථම අග්‍රාමාත්‍ය පදවියට පත් ලී ක්වාන් යූ කියන්නේ තමන් රට ස්ථාපිත කරන විට කටයුතු නොකළ යුත්තේ කෙසේදැයි දක්වන ආදර්ශයන් ලෝකයේ තිබුණු බවත් ඒ නිසා ම ඒවා මග හැර කටයුතු කිරීමට ඔහුට හැකි වූ බවත් ය. ඔහු උදාහරණයට ගත්තේ ලංකාව ය. ඒ ජනවාර්ගික ප්‍රශ්නය සම්බන්ධයෙන් අප අනාගත් බව කියමිනි. ඒ 1965 තරම් ඈත දී ය. ඔහු විසින් ම ලියන ලද ඔහුගේ ජීවිත කතාවේ මේ බව සඳහන් ව ඇත.

ඉහත සාධක තුනේ එකතුව

සුබසාධන දේශපාලනය, වැරදි ආර්ථික ප්‍රතිපත්ති හා ජනවාර්ගික ප්‍රශ්නය ඇතැම් විට එක ම මුලකින් ඇරඹෙන බවක් ද එකිනෙක වෙලී ඉදිරියට යන බවත් ද පෙනේ. සුබසාධනය බොහෝ විට පොදුවේ රටේ ජනතාවට ඇරුණේ වුව ද එහි වැඩි ඵල ලැබුවේ දකුණේ අය ය. අධ්‍යාපනයට ඇති අවස්ථා සම්බන්ධයෙන් පමණක් නොව රැකියා හා ව්‍යාපාරික අවස්ථා සම්බන්ධයෙන් ද එය එසේ ම විය. වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා ප්‍රමාණවත් තරමට අධ්‍යාපන ව්‍යාපාරික සහ රැකියා අවස්ථා බිහි වුනේ නැත. එයින් ද ඇතැම් තැනක වැඩිපුර පීඩාවට ලක් වූයේ උතුරු නැගෙනහිර ජනයා ය. යුද්ධය නිසා හමුදාවේ රැකියා ද ඉහළ ගිය අතර ඒ තුළ පවා ඉඩ ලැබුනේ දකුණට ය. රජයේ ව්‍යවසා වැඩි ප්‍රමාණයක් ගොඩ නැගුණේ දකුණේ ය. සේවා සැලසීම සම්බන්ධයෙන් ද වැඩි ප්‍රතිලාභ ඔවුන්ට හිමි වූයේ ය. අනෙත් අතට ආර්ථිකය එක තැන පල් වීමට හා කඩා වැටීමට යුද්ධය ද බලපෑවේ ය. විදේශ ණය ඉහළ ගියේ ද යුද්ධයට අවශ්‍ය ආම්පන්න මිලට ගැනීමට ය. රජයේ වියදම් ඉහළ ගියේ ද විශාල හමුදාවක් නඩත්තු කරනු පිණිස ය. හමුදාවට දිරී දීම සඳහා ඔවුන්ට සෑහීමකට පත් විය හැකි තත්වයන් නිර්මාණය කිරීමට ය. ඒ සියල්ලෙන් කියන්නේ මේ සාධක එකක් අනෙකෙන් පෝෂණය කරමින් වැඩුනු බව ය.

හැත්තෑ පස් වසරක සාපයට වග කිව යුත්තෝ

ඒ සාපය සම්බන්ධයෙන් බොහෝ දෙනෙකු විත්ති කූඩුවට නංවන්නේ රටේ පාලකයන් ය. ඔවුන් වගකිව යුතු බව ඇත්ත ය. ඒ ගැන විවාදයක් නැත. එහෙත් ඔවුන් ඒ සියල්ල කළේ විපක්ෂයේ බලපෑම ද ජනතාවගේ වැඩි කොටසකගේ බලපෑම ද ඇති ව ය. වරද්දා ගත් හැම තැන ම විපක්ෂය ද ජනතාව ද සිටියෝ ය. එහි දී විශේෂ කණ්ඩායම් දෙකක් ගැන සඳහන් නොකර බැරි ය. පළමුවැන්න භික්ෂූන් වහන්සේ ලා ය. ඔවුන් ඉතාම පහසුවෙන් සිවුරු කරට ගෙන පාරට බැස්සේ විමසීමකින් පවා තොරව ය. අදට ද මේ හැසිරීම අපට නිරීක්ෂණය කළ හැකි ය. දෙවැන්න වමේ ව්‍යාපාරය ය. කුලවාදයට එරෙහිව අරගල කරමින් ප්‍රගතිශීලි තැනක සිටි වමේ ව්‍යාපාරය ඉක්මණින් රටේ තත්වයට ම පිරිහුණේ ය. ඒ සම්ප්‍රදායික වාමාංශයට පමණක් නොව අද වමට ද ඍජුව ම එල්ල කළ හැකි චෝදනාවකි. සුබසාධනය ක්‍රියාත්මක වූයේ ද වැරදි ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාත්මක වූයේ ද යුද්ධයට අත වැනුයේ ද ඔවුන්ගේ අනියම් මෙන් ම ඍජු සහය ද ඇති ව ය.

වත්මන් අර්බුදය

අප කලින් ද සඳහන් කළ පරිදි වත්මන් අර්බුදය සම්බන්ධ සම්පූර්ණ වගකීම 75 වසරට පොදුවේ දමා ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අවසාන පාලක පැලැන්තියට පැන යන්නට ඉඩ දීම වැරදි ය. බදු අඩු කර රටේ ආදායම අඩු කිරීමෙන් පටන් ගෙන ඩොලරය රු 200 ට තබා ගැනීම වෙනුවෙන් සියලුම සංචිත වියදම් කිරීම, කාබනික පොහොර නාඩගම ක්‍රියාත්මක කළ රටේ කෘෂිකර්මය වල පල්ලට යැවීම දක්වා සියල්ල කරන අතරතුර කළ යුතු ව තිබූ ණය ප්‍රතිව්‍යුහගත කිරීම අර්බුදයෙන් ගැලවීම සඳහා කලට වේලාවට ජාත්‍යන්තර මුල්‍ය අරමුදලට නොයෑම ඇතුළු දෑ මග හැර දැමූ ඒ පාලනය මේ තීව්‍ර වූ අර්බුදයට වග කිව යුතු ය. ඒ කෝවිඩ් නිසා ද යුක්රේන් යුද්ධය නිසා ද පොදුවේ ලෝකයට මුහුණ දීමට සිදු වූ අභාග්‍යය ද ලංකාවට බලපෑ බව සිහියේ තබා ගනිමින් ය.

කවුරු හෝ කී පමණින් සැත්තෑ පස් වසරක සොරාකෑමේ සාපය යයි කියා පුනරුච්චාරණය නොකොට සිදු වූයේ කුමක් දැයි බැලීම, විමසුම් මනසක් ඇති අයගේ යුතුකම ය. මේ සටහන ඔවුන්ට තවත් එකතු කරන්නට ඇතොත් එකතු කොට සම්පූර්ණ කරන්නට ය.

වැව් තෙර ආරෝව – විග්‍රහයක් සමග

අප ජිවත් වන්නේ ලේබල් අලවන ලද ලෝකයක ය. සෙසු කුරුල්ලන්ගේ හඩ විහඟ ගීයක් වන විට කාක්කෙකුගේ හඩ අපට කංකරච්චලයක් වන්නේ ය. කාක්කාට අවමන් කරනු සඳහා අප ඌ කොළඹ කාක්කෙක් ලෙසට ද හඳුන්වන්නෙමු. මේය සුදු කළු බේදයකි. කාක්කා කළු වීමෙන් එය වඩාත් තීව්‍ර කෙරේ. සුදු යහපත් ය කළු අයහපත් ය යනුවෙන් වර්ගීකරණය කරන අපේ ලෝකයට ඒ වෙනස වඩාත් අදාළ ය. සුදු කළු ඇත්තේ දෙතැනක යැයි සිතුව ද එය බොහෝ විට ඇත්තේ එකම තැනක ය. එහෙම බැලුවහම මේ වර්ගීකරණය සාධාරණ වන්නේ ද? යහපත අයහපත වශයෙන් දෙකක් තිබෙන බව ඇත්ත ය. එහෙත් එහි බෙදුම් රේඛාව අප හිතන තරමට පැහැදිලි ද? කළු වෙසින් සුදු ද සුදු වෙසින් කළු ද පැමිණිය හැකි නොවේ ද? ඒ නිසා ම ඒවා පවතින්නේ එක පොදියට පොරකමින් ය. අරගලයෙන් කළු ජය ලබන වාර වැඩි ය. මේ වාදයෙන් ඉවත්ව ස්වභාව ධර්මයා දෙස බලන්න. එය කොතරම් අපූරු ද? එය නිරන්තරව වෙනස් වෙමින් මවන චමත්කාරය අපව මොහොතකට සියළු වාද අමතක කරන්නේ ය. එය ගෙනෙන රැය අඳුරු යැයි සැළකුව ද අපට කළු සුදු වර්ගීකරණය අමතක කර මොහොතකට සුවය සදන්නේ ය. ලේබල් නොඅලවා ලොව දකින්නට කියන බුදු බණ ද මෙය ම නොවන්නේ ද? අප අලවන ලේබල් දිහා නැවත බලන්නට අවශ්‍ය නොවන්නේ ද? ඒවා විනිවිද නොදැකිය යුතු ද?

හෙල්මට් වලින් ගසා මැරීමට දෙන දඩුවම කුමක් ද? දඩුවම් කළ යුත්තේ කාට ද?

11 වසරේ ඉගෙනුම ලබන පාසල් සිසුන් තිදෙනෙකු විසින් පහර දෙනු ලැබ වැඩිහිටි පියෙකු මරණයට පත් වූ නිවසක් නිසා පසුගිය දින වල මුහුණු පොතේ විශාල සංවාදයක් ඇති විය. බොහෝ දෙනෙකු ප්‍රාර්ථනා කොට තිබුනේ මේ සිසුන්ට මරණය ය. තවත් අය ආයුධ පෙන්නන සූත්‍රය භාවිතා කරන ලෙස ද තවත් සමහරු සවුදි අරාබියේ දඩුවම් ලබා දෙන ලෙස ද කියා තිබුණේ ය.

සිසුන්ට මරණය ප්‍රාර්ථනා කර අත පිහදා ගන්නට අදහස් කළ අයට අමතරව මේ සිද්ධියට හේතු විය හැක්කේ කුමන සාධක ද යන්න පිළිබඳව තම තම නැණ පමණින් කරුණු ඉදිරිපත් කරන්නට ද බොහෝ දෙනා ඉදිරිපත් වී තිබුණේ ය. එවැනි එක් හේතු දැක්වීමක තිබුණේ වැඩිහිටියන්ට ගරු නොකළ යුතු බවට මතවාදයක් සමාජගත කළ උදවිය මෙයට වගකිව යුතු බව ය. ඔවුන් අනියමින් කියන්නේ වැරැද්ද ඇත්තේ වැඩිහිටියෙකු ඝාතනය වීම හේතු කොට ගෙන බව ය. සම වයසේ කෙනෙකු මෙවැනි ඉරණමකට අත් වීම යුක්ති යුක්ත ද? ජීවිතය ජීවිතයක් වන්නේ වැඩිහිටියෙකු වීම නිසා ද?

පොදුවේ අනෙකාගේ ජීවිත වලට ගරු නොකරන ඒවාට වටිනාකමක් නොදෙන සමාජයක් ඇති ව තිබෙන බව ඇත්ත ය. එයට හේතු මොනවා ද? ඒ තත්වය ඇති කරන ලද්දේ කවුරුන් විසින් ද? අප ඒ ප්‍රශ්න වලට උත්තර සොයා ගත යුතු ය.

අප රට කැරලි දෙකක් හා දිග්ගැස්සුණු යුද්ධයක් තිබූ රටකි. ඒ කැරලි වල දී ද යුද්ධ වල දී ද දෙපාර්ශවය ම ප්‍රදර්ශනය කළේ කුමක් ද? තමන්ගේ අරමුණ ඉටුවන්නේ නම් අහිංසක ජීවිත බිලි වීම ගණන් ගත යුතු නැති බව ය. ඒවා ඔ්නෑ ම කැරැල්ලක යුද්ධයක සිදු වන සාමාන්‍ය දේවල් බව ය. වෙන එකක් තබා යුද්ධයෙන් බාහිර ව සිදු කරන ලද ඇතැම් හමුදා භටයෙකුගේ නොපනත් කමකට ද සමාව දෙන්නට තරම් මතයක් රට තුළ ඇති කර තිබුණේ ය. අධිකරණයෙන් වැරදි කාරයෙකු කරන ලද එවැනි හමුදා භටයෙකු ජනාධිපති සමාව ලැබීමට තරම් පොළඹවන ප්‍රබල මතයක් රට තුළ ඇති කර තිබුණේ ය.

මිනිමැරුම් වලට වැරදි කරුවන් වූ පුද්ගලයන් දෙදෙනෙකුට ද ජනාධිපති සමාව ලැබීම ජනාධිපවරුන් දෙදෙනෙකු යටතේ ම සිදු වීම ද එයින් එක් අයෙකු සමාව ලැබීමෙන් පසු නිවාස අධිකාරියේ සභාපති තනතුරෙන් පිදීම ද නිසා අන් මිනිසුන්ගේ ජීවිත වලට එහෙමට සංවේදී වීමක් අවශ්‍ය නොවන බව රටේ ඉහළම තැන් වලින් ම කියමින් තිබුණේ ය.

මරණීය දණ්ඩනය සඳහා තීන්දු වුනු අය එල්ලා මැරීමට නීති සම්පාදනය වී තිබුණ ද ඒ එක ද දඩුවමක් සඳහාවත් කාලයක සිට ජනාධිපතිගේ අනුමැතිය නොලැබීම හේතුවෙන් එල්ලුම් ගස ක්‍රියාත්මක වුනේ නැත. ශිෂ්ඨ රටවල් බොහෝමයක ද එය ක්‍රියාත්මක වීම අත්හිටුවා ඇති තත්වයක පවා නැවතත් එය ගෙන ඒම ට උත්සහ කළ ජනාධිපති කෙනෙකු අපට නැවත වතාවක් ලැබී තිබුණේ ය. ඒ ගැන කළ මත විමසුම් වල දී පෙනී ගියේ බහුතර ජනතාව එල්ලුම් ගහේ නැවත ආගමනය පිළිබඳව අපේක්ෂාවෙන් සිටි හා සිටින බව කි. ඔවුන් ද මරණයට මරණයෙන් සංග්‍රහ කිරීමට ඉටා ගෙන සිටි බවකි. ඒ සතෙකු පවා මරණයට පත් කිරීම පවක් ලෙස සලකන අංගුලිමාල වැනි මිනීමරුවෙකු පවා රහත් වූ පසු රහතන් වහන්සේ කෙනෙකු හැටියට පිළිගන්නා මිනිසුන් ඉන්නා රටක වීම බාහිර කෙනෙකු පුදුමයට පත් කරන හේතුවකි. ඒත් අපේ රටේ වැඩි දෙනෙකුට එය පුදුමයක් වුනේ නැත. ඒ බහුතරය ඒ මරණය අනුමත කළ නිසා ය.

මේ රට තුළ මරපිය කියන සටන් පාඨයට අමතර ව ඇසෙන අනෙත් සටන් පාඨය ගහපිය යන්න ය.

ගහන්න කියන්නේ ගුරුවරුන්ට හා දෙමාපියන්ට ය. ඒ සිසුන්ට හා තම දරුවන්ට ය. ඒ හැඳි නොගා හදන හොද්දත් නොගහ හදන ළමයාත් වටිනාකමක් නැතැයි කියන පැරණි මතවාදයට අනුව ය.

මේ සිද්ධියේ දීත් වරද නොගැසූ ගුරුදෙගුරුන්ට පැවරීමට සමහරු ඉක්මන් වූයේ ඒ නිසා ය. ශාරීරික හිංසා නැවැත්වීමට නීතිය කළ මැදිහත් වීම පවා බොහෝ දෙනෙක් ප්‍රශ්න කරනු අපි ඇසුවෙමු. දුටුවෙමු.

ගුටි කෑ වැඩිහිටියන් ද ගුටි කෑමේ ආනිශංස දක්වමින් තමන් හැදුනේ එහි ප්‍රතිඵලයක් ලෙස කියමින් නැවතත් සමාජ ගත වෙනු ද දක්නට ලැබිණි.

තමන් විඳපු ඒ ගුටිකෑමේ අත්දැකීම ප්‍රශ්න කරන්න විමසුම් බුද්ධියක් බොහෝ දෙනෙකුට නැත. ඒ වෙනුවට ඔවුන් කරන්නේ ඒ අත්දැකීම මග හැර යා නොහැකි දෙයක් බවට යටි හිතෙන් පත් කර ගැනීම ය. ඒක විය යුතු දෙයක්. ඒක එහෙම තමයි වෙන්නෙ. එසේ කියමින් හිත හදා ගැනීම ය. ගහපු ගුරුවරුන්ට හොඳ කියමින් ඒ මිනිසුන්ට ඒ මග යන්නත් වෙන්නෙ ඒ සිතුවිලි පරම්පරාවත් සමග ය. විමසුම් බුද්ධියෙන් බැලිය හැකි කෙනෙකු ඒක නොවිය යුතු ව තිබුණු දෙයක් හැටියට සලකන නිසා ම ඒක ඉදිරියට නොවෙන්න කුමක් හෝ කළ යුතු යැයි සිතයි. එහෙත් බහුතරයකට සිදු වන්නේ එය ආත්ම ගත කර ගනිමින් ජීවත් වන්නට ය.

අප තේරුම් ගත යුත්තේ ගුටි ගහන්න වුවමනා වෙන්නෙ ගුටි කාපු අයට බව ය. නවක වදය දෙන්නෙ නවක වදය ලබපු අය බව ය. සෙසු අයට බණින්නෙ බැණුම් අහන්න හුරු වුනු අය බව ය. නැවත දෙන්න පුළුවන් වන්නේ කෙනෙකුට ලැබුණු දෙයක් පමණක් බව ය. ඒ අර්ථයෙන් මිනිසුන්ට සැබැවින් ම ආදරය කරන්නට හැකි වන්නේ ආදරය ලද දරුවන්ට පමණක් බව ය.

මේ සිද්ධියේ දී ළමුන් හැසිරී ඇති ආකාරය විමසන විට තවත් කාරණයක් අපට පැහැදිලි වෙයි. ඔවුන් ගහන්නේ හෙල්මට් පවා නොදා පදිකයන් ගැන ද නොතකා තනි රෝදයෙන් වේගයෙන් මෝටර් සයිකල් පැදීම ප්‍රශ්න කරන කෙනෙකුට ය. ගැහීමට පොරොතුව පවා ඔවුන්ගේ මානසිකත්වය පිරික්සන කෙනෙකුට පෙනෙන්නේ “මං පොර” යන හැගීමෙන් ඔවුන් කටයුතු කරමින් තිබූ බව ය.

චණ්ඩි කම හා මැර කම, වීරකම හා පිරිමිකම සමග සමපාත කරමින් මත වාද ගොඩ නැගූ සමාජය මේ “මං පොර” මානසිකත්වය මේ දරුවන්ට හිමි වීම සම්බන්ධයෙන් වග කිව යුතු නැද්ද? උසාවිය පවා නොතකා ඒ තුළ ජවුසං නැටීම හේතුවෙන් භික්ෂූන් වහන්සේ නමක් හිර බත් කන විට මේ දරුවන්ට ලැබෙන ආදර්ශය කුමක් ද? එසේ දඩුවම් ලැබූ භික්ෂූන් වහන්සේ ඉතා කෙටි කලකින් ජනාධිපති සමාවක් ලැබ නිදහස් වන විට එයින් සමාජයට දෙන පණිවුඩය කුමක් ද? 

අප ඉන්නේ ඉතා මෑත කාලයක දළදා මාලිගාව අභියස පවා පාරවල් වසමින් රජ දරුවන්ට රේස් පදින්නට ඉඩ සලසා දුන් රටක ය. රජ දරුවන් එසේ කරන විට අපේ දරුවන්ට තමන්ට තියෙන සයිකලයකින් වසා නැති පාරක වුව ද රේස් පදින්නට වුවමනාවක් ඇති වීම ගැන පමණක් අපට උරණ විය හැකි ද? එකෙක් වැරැද්දක් කළ පමණින් සෙසු අයට වැරදි කිරීමට අවසර නොලැබෙන බව ඇත්ත ය. එහෙත් නායක කාරකාදීන් දෙන ආදර්ශ පිළිපැදීම සම්බන්ධයෙන් අපට උත්තර තිබේ ද?

පිරිහී ඇති සමාජයක ඒ පිරිහීමට ම බඳුන් වී වරදේ පෙළඹෙන දරුවන්ට මරණ දඩුවම දීමට ඉක්මන් වන අය මේ සමාජය මේ මට්ටමට වැටීම ගැන මුවින් නොබැණ සිටීම අප තේරුම් ගත යුත්තේ කෙසේ ද?

මේ පහර දීම විසින් අපට දමා ගසන්නේ උත්තර නොවේ. තව තවත් ප්‍රශ්න ය. ඒ ප්‍රශ්න මග හැර හිතට එන ආවේගයකින් කොල්ලන්ට දඩුවම් කරන්නට යන අය ගැන මට නම් ඇති වන්නේ ජුගුප්සාවකි. ඔවුන් දඩුවම් ලැබිය යුතු ය. එහෙත් ඔවුන් මරණයට දක්වා අත් පිහදා ගෙන සිත නිදහස් කර ගැනීමට නම් මේ වැඩිහිටියනට ඉඩ නොදිය යුතු ය.

කාන්තාව විෂයයෙහි අපගේ හැසිරීමට බෞද්ධ සාහිත්‍ය කොතෙක් දුරට බලපා තිබේ ද?

අතිශය කෘර ලෙස සිය පෙම්වතිය මහ දවල් මරා දැමූ ‌පුවතක් මේ දවස් වල බොහෝ ‌තැනක මාතෘකා වෙයි. සමහරු කියන්නේ ගුණ ධර්ම පුරුදු පුහුණු කර තිබුණේ නම් මෙවැන්නක් සිදු නොවනු ඇති බව ය. මේ කියන බොහෝ දෙනෙක් ගුණ ධර්ම පුහුණු කිරීම සඳහා හැරෙන්නේ ආගමට ය. එහෙත් ආගම ඒ ලා සමත් වන්නේ ද? ඇත්තට ම නම් මේ පිරිහීමට එක්තරා දුරකට ආගම ද වගකිවය යුතු නැද්ද?

ආගමික සාහිත්‍යයේ එන ඇතැම් කරුණු පිරිමින්ට කාන්තාවන් පිළිබඳ ගරුත්වය හීන කරණ බමුණු මත බව මට සිතේ. උම්මග්ග ජාතකයෙ අමරා දේවිය සම්බන්ධ කතාව වගේ ම මාතංග ජාතකයේ දිට්ඨ මංගලිකා සම්බන්ධයෙන් බෝසතුන් හැසිරෙන ආකාරය ද මීට නිදසුන් ය. අමරා දේවිය පිළියෙල කළ කෑම අතිශයින් ප්‍රණීත බව දැන දැන ම ඒවායේ නුගුණ කියමින් ඒවා ඇගේ ඇඟේ නහවමින් අව්වේ සිටවා දුන් වද බොහෝ දෙනෙක් දනිතත් දිට්ඨ මංගලිකා සම්බන්ධයෙන් නම් කරුණු කාරණා බොහෝ දෙනෙකු නොදන්නා විය හැකි ය. “මෙදුක් මට වූයේ දිට්ඨ මංගලිකාව නිසාය. ඉදින් මම පිරිමියෙක්මි වී නම් ඇය මට පාද පරිචාරිකා කරවමියි සිතා වෙව්ලමින්” යැයි කීමෙන් පෙනී යන්නේ ඔහු ‌(මාතංග බෝසතුන්) කෝප වූ බවත් පලි ගැනීමට සිතූ බවත් ය. මේවා බෝසත් ගුණ ලෙස අර්ථ දක්වන ලද සංස්කෘතියක් තුළ කාන්තාවන්ට මේ තරමින් වත් ගෞරව කිරීම එක් අතකට අරුමයක් ම නොවන්නේ ද? මේ නිගරු කිරීමට දෙන සමාවක් නොවේ. එහෙත් හේතුඵල වාදය ගැන කියන බුදුදහම ම ගෙන මේ තත්වය විමසීමට ඔබට කරන යෝජනාවකි.

මේ ගැන විග්‍රහයක යෙදෙන කේ ජයතිලක ශූරින් කියන්නේ දිට්ඨ මංගලිකා පාරම්පරිකව පුරුදු කරවනු ලැබීම නිසා සිය රූපය, කුලය (බමුණු කුලය නොවේ), වස්තුව ගැන ආඩම්බර වන බවත් මාතංග තම පිරිමකම ගැන අභිමානයෙන් සිහිකරන්නේ එබඳු බාහිර පෙළඹවීමක් ද නැතිව බවත් ය (සිංහල කතා කලාවේ විකාසනය, 37 පිටුව).

ඔහු තවදුරටත් මෙසේ කියයි. “මාතංගට අවශ්‍ය වූයේ දිට්ඨමංගලිකාගේ මන් බිඳීම නම් ඒ බිඳ ගෙන තම යටතට පත් ඇයට ඉතාමත් අමානුෂික වද දෙන්නේ කුමකට ද? ඔහු ඇයට වද දෙන්නේ මෙසේ ය”. ඊළග ඡේදයෙ ඒ වද දීම පිළිබඳ දීර්ඝ විස්තරයක් කියවෙයි. මෙ පවත් ඔහු උපුටා අපට ද්න්නේ අමාවතුර ග්‍රන්ථයෙනි.

ඒ වද දීම අමානුෂික ය. ඔහුට ඇවිද ගත නොහැකි යයි කියා ඔහුව ඔසවා ගෙන මුළු නුවර පුරාම ඇය ව ඇවිද්දවන්නේ මාර්ගය පවා නොපවසා වද දෙනු පිණිස ම ය. ඒ වද දීමේ විස්තරය මෙහි බහා ඔබට වද දීමට මම අදහස් නොකරමි.

මේ බෞද්ධ සාහිත්‍ය යැයි කෙනෙකුට බැහැර කළ හැකි ය. ඒත් බුදු දහම තරමට ම ‌නැත්නම් ඊටත් වඩා අපේ සිත් සතන් සකස් කිරීමේ ලා බෞද්ධ සාහිත්‍යයේ බලපාන බව අපට අමතක කළ නොහැකි ය.

කාන්තාවන් විෂයෙහි ලා ‌බෞද්ධ සාහිත්‍යකරුවාගේ දැක්ම මේ දැක්වූ අවස්ථාවල අතිශයින් ම නිහීන ය. එය අඩු මරා දැමීමකට පමණ ය.

බෞද්ධ සාහිත්‍යය රැකවල් ලා රැක ගත යුතු, ඉස් මුදුණින් පිළිගෙන වන්දනා කළ යුතු, දෙයක් නොව අතිශය තියුණු ලෙස විචාරයකට ලක් කළ යුතු දෙයක් යැයි අප‌ යෝජනා කරන්නේ ඒ නිසා ය.

මැතිවරණ/ප්‍රතිපත්ති ප්‍රකාශන නව ආරකින් ලියන්නට බල කරමු

එළඹෙන්නේ මැතිවරණ සමයකි. පොරොන්දු උතුරා යන අවදියකි. මැතිවරණ ප්‍රකාශන උත්සවාකාරයෙන් දොරට වඩින අවදියකි.

මිනිස්සු ඡන්දය දෙන්නේ මුළුමණින් මැතිවරණ ප්‍රකාශන පදනම් කර ගෙන නොවේ. හුදු ප්‍රකාශන ගත් කළ ඒවා කියවන පිරිස පවා ඉතා අල්ප ප්‍රමාණයක් විය හැකි ය. එහෙත් වේදිකා දෙදරවන්නේ එහි ඇති යෝජනා ගැන කියමින් ය.  ඇතැම් සංවේදී කරුණු අත් පත්‍රිකාවලට ඇතුළු වී ගෙවල්වලට ද පිවිසෙන්නේ ය. පුවත් පත් බබලවන්නේ ය. ඒවා කියවන ඇතැම්හු ඒ පිළිබඳ විවරණයන් ඉදිරිපත් කරති. ප්‍රකාශන නොකියවන අය වුව ද ඒ විවරණ කියවති. ඒවායින් සංවාද වල දී දමා ගසති. ඒ නිසා ප්‍රකාශන නොකියෙව්වාට ඒවායේ බලපෑමක් නැතැයි අපට කිව නොහැකි ය.

බලයට පත් වූ පසු ඇතැම් දෑ ක්‍රියාත්මක කරන්නේ එහි ඇති වගන්ති උපුටා දක්වමින් ය. තමන්ට ජනවරමක් ලැබී ඇත්තේ ඒ ප්‍රකාශනය පදනම් කර ගෙනය යන්න ද අපට බොහෝ විට ඇසී ඇති කතාවකි. රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ද බලයට පත් පක්ෂයේ / සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය උපයෝගී කර ගත් අවස්ථා රාශියක් ද අපි අත්දැක ඇත්තෙමු. මේ කරුණු නිසා ම එයට විශාල බලයක් හිමි වේ.

මේ ප්‍රකාශන තුළ ප්‍රශ්නකාරී දේ රැසක් අඩංගු විය හැකි ය. ඒවා අතරින් ජනතාවට වඩාත් ප්‍රබල බලපෑම කරන්නේ ඒවායින් යෝජිත “අල්ලස්” ය.

පොදු ජන පෙරමුණේ පසුගිය මැතිවරණ ප්‍රකාශනය තුළ අඩංගු එවැනි “අල්ලස්” අතර පහත දේ ද දක්නට ලැබිණ.

  • අලුතින් බඳින ජෝඩුවලට රු ලක්ෂ 2ක් සහ අලුත් නිවසක්
  • තරුණයන්ට රු 5000
  • මහපොල රු 6000
  • පෞද්ගලික අංශයට රු 3000
  • රාජ්‍ය සේවක අවම වැටුප රු 25000

මේ සියල්ල ලැබෙන්නේ තමන් බලයට පත් කරතොත් ය. මේ මුදල් දෙන්නේ ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් මිසක කාගේවත් බූදලයකින් නොවේ. ඒ නිසා මේවා පැහැදිලිව ම ආචාර ධාර්මික නොවන්නේ ය. අල්ලස් ගණයට වැටෙන්නේ ය.

මෙයින් කීයක් ඉටු වූයේ දැයි අප දන්නේ නැත. දන්නා තරමට නම් ඒ එකදු යෝජනාවක් වත් ක්‍රියාවට නැගුණේ නැත. ඒ කියන්නේ මේ තුළ අල්ලසට අමතරව වංචාව ද තිබුණු බව ය.

අප මෙහි දී උදාහරණයට ගත්තේ පොදුජන පෙරමුණ වුව ද සෙසු පක්ෂ/සන්ධාන වල කැරැට්ටුව ද මීට ආසන්න ය. එය ඈත අතීතයට පවා දිව යන්නකි. 1977 දී ජේ ආර් කීවේ තමන් බලයට පත් කරන්නේ නම් ඇට අටක් දෙන බව ය. ඇට අට ගැනීමට මිනිස්සු පෝලිමේ ගොස් කතිර ගසා වාර්තා ගත වැඩි ඡන්දයකින් ජේ ආර් බලයට පත් කළේ ය. එතැන තිබුණේ අල්ලසකට ඉගියකි. ඒත් එහෙම ඇට අටක් ලැබුණේ නැත. ඒ ඇට ගැන විමසූ අයට අසන්නට ලැබුණේ ඇට අටක් නෙවෙයි ඇට ජාති ගණනාවක් වෙළඳ පොළේ ඇති බව ය. අල්ලසට අමතරව වංචාව එතැන ද හරි හරියට තිබුණේ ය.

යහපාලන ආණ්ඩුව නියෝජන කළ බලවේග රාජ්‍ය සේවක වැටුප රු දසදහසකින් වැඩි කරන බව කීවේ ය. එය ද අල්ලසකි. එහෙත් එය ක්‍රියාත්මක කළ නිසා වංචනික අදහසක් තිබුනේ යැයි කිව නොහැකි ය. ඒත් ඒ නිසා රටට දරාගන්නට වූ බර සාධාරණ ද? අල්ලස් දෙන්නේ මහජන මුදල් වලිනි. ඒ නිසා රාජ්‍ය සේවකයන් නොවන අයට කෙතරම් නම් බදු බරක් දරන්නට වූයේ ද?

මේ මැතිවරණ ප්‍රකාශන බොහෝමයක ජාතිවාදී ආගම්වාදී යෝජනා ද ඇත. ගමකට චෛත්‍යයක් බැගින් වෛත්‍ය අහවල් සංඛ්‍යාවක් හදනවා යැයි කීවේ සමගි ජන බලවේගය ය. හදන්නේ මහජන මුදලිනි. එහෙත් කියන්නේ තමන් ගෙදරින් ගෙනා මුදල් යොදනවා වැනි අදහසක් ජනිත කරවමිනි. ගෙදරින් ගෙනාවා වුව ද මෙය අල්ලසක් ම ය. මේවායේ අදහස ද කිසියම් ආගමකට ජාතියකට අයත් ජන පිරිසකගේ සහය ගැනීම ය.

අල්ලස ගණයට නොවැටෙන හෝ ජාතිවාදී/ආගම් වාදී නොවන ඇතැම් සාධනීය යෝජනා ඉදිරිපත් කළේ වුව ද ඒවා ක්‍රියාත්මක කරන්නට නම් මුල සිට ම වුවමනාවක් ප්‍රදර්ශනය නොකළ අවස්ථා ද මැතිවරණ ප්‍රකාශන ඉතිහාසය තුළ දක්නට ලැබේ. ඒවා අතර ඉහළින් ම තියෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ය. එහි බලතලවත් අඩු කිරීමට කටයුතු කළේ යහපාලන ආණ්ඩුව පමණ ය. ඉතිරි සියලු දෙනා එය භාවිතා කළේ ඡන්ද එකතු කර ගැනීමට ය. එවැනි යෝජනා අකුලා ගැනීමට සාධාරණ හේතු තිබුනේ ද නැත. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමට එහෙමට පිරිවැයක් වැය වන්නේ ද නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් ජනතාවට කළ හැකි කිසිවක් තිබුනේ ද නැත. එය සැබෑවක් කර ගැනීමට අධිකරණයේ පිහිට පැතීමට පවා බැරි ය. ඒ මේ මැතිවරණ ප්‍රකාශන නීත්‍යානුකූල බැඳිමකින් තොර නිසා ය. හිස් වචන තරමට ම ඒවා හිස් නිසා ය.  

ඇතැම් මැතිවරණ ප්‍රකාශන වල වැරදි ප්‍රතිපත්ති තිබුණේ ය. ඒවා නම් කොළයට ම සීමා වී තිබුණේ නම් යහපත් විය හැකි වර්ගයේ ඒවා ය. “සෞභාග්‍ය දැක්මේ” තිබූ බදු අඩු කිරීමේ යෝජනාව ඊට එක් උදාහරණයකි. ඒ බදු අඩු කිරීම කොළයට සීමා නොවී ක්‍රියාත්මක විය. ඒ පොරොන්දුව ඒ වර්ගයේ තවත් වැරදි ප්‍රතිපත්ති රාශියක් සමග එක් ව අප වැටුණු වත්මන් ආර්ථික අර්බුදය බිහි කළේ ය.

සමහර මැතිවරණ ප්‍රකාශන වල ඇත්තේ බොරු ය. තවත් සමහර මැතිවරණ ප්‍රකාශන වල ඇත්තේ එක් තැනක ඇති දෙය තවත් තැනක තිබෙන දෙයින් ප්‍රතික්ෂේප කරන සුළු කාරණා ය. එක ප්‍රතිපත්තියක් තව ප්‍රතිපත්තියකට විරුද්ධව නැගී සිටින අයුරු ය. ඒවායේ ඒකාබද්ධ බවක් නැත.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්මයේ ප්‍රතිපත්තිය පරිසර ප්‍රතිපත්තියට ප්‍රතිපක්ෂ ය. පරිසර ප්‍රතිපත්ති ඒ ඉදිරියේ අකුලා ගැනීමට සිදු වී ඇත. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය පිළිබඳ ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති උදාහරණයක් හැටියට ගෙන බලමු. කොම්පෝස්ට් පොහොර හදන්නට නම් ගිනිසීරියා වැනි කොළ සහිත ශාක වැවිය යුතු ය. කාබනික ගොවිතැන ලංකාව පුරා ප්‍රචලිත කිරීමට කොතරම් ගිනිසීරියා වැනි පත්‍ර සහිත වගාව කුමන ප්‍රමාණයකින් අවශ්‍ය වේ දැයි අපේ විද්වතුන් ගණන් බලා තිබේ ද? ඒ සඳහා කැලෑ කොපමණ ප්‍රමාණයක් කැපිය යුතු ව තිබේ ද? නවතම වාර්තා කියන්නේ ලංකාවේ කැලෑ ප්‍රතිශතය 16% දක්වා තවදුරටත් පහල බැස ඇති බව ය. ඒ තත්වය තුළ පරිසරය රැක ගැනීමත් කාබනික කෘෂිකර්මය පදනම ලෙස ගෙන කෘෂිකර්මාන්තයෙන් රට ගොඩ නැගීමත් එකට කරන්නට නම් බැරි ය.

තවත් මැතිවරණ ප්‍රකාශන වල තිබෙන්නේ ප්‍රායෝගික නොවන යෝජනා ය. සෞභාග්‍යයේ දැක්මේ විදුලි බලය හා බල ශක්තිය සම්බන්ධයෙන් වන යෝජනාවේ තියෙන්නේ 2030 වන විට පුනර්ජනනීය බල ශක්තිය 70% දක්වා වැඩි කරන බව ය. මෙතරම් කෙටි කාලයකින් මෙසේ කළ රටක් ගැන වාර්තා නැත. මෙය රෑ එලි වෙන කොට රට කාබනික කිරීමේ ක්‍රියාවට ඉතා කිට්ටු එකකි. ඊට අමතර ව මෙය විශාල පිරිවැයක් සහිත ක්‍රියාවලියකි. මේ 70% මට්ටම අප වැනි ආර්ථික වශයෙන් දුර්වල රටකට කොහොමටවත් දැරිය නොහැකි ඉලක්කයකි. ඒත් දැන් විදුලි බල මණ්ඩලයේ ඉදිරි සැලැස්ම සඳහා මේ ඉලක්ක යොදා ගෙන ඇත.

ප්‍රායෝගික නොවන යෝජනා වලට අමතරව සමහර ඒවා ව්‍යාකූල යෝජනා ය. කාලරාමුවක් නැති නිශ්චිත මිනුමකින් මිණිය නොහැකි යෝජනා ය. කොටින් ම ඒවා SMART (Specific, measurable, achievable, realistic and time bound) නැත. ඊටත් අමතරව ඒවා ප්‍රතිලාභ නිෂ්චය ලෙස කිව නොහැකි අවදානම් සහගත දැවැන්ත ආයෝජනයන් ය. ඒ  තුන් වර්ගයට ම අදාළ උදාහරණයක් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙන් ද ගත හැකි ය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ. “දේශීය හා විදේශීය ගොවි වෙළඳ පොල ඉලක්ක කර ගනිමින් කෘෂි වෘත්තිකයින් 100000 ක් පුහුණු කිරීම සඳහා සිව් අවුරුදු සැලැස්මක්” යනුවෙන් ප්‍රකාශයක් සඳහන් ව ඇත. ඒ කියන්නේ රට රැකියා වලට යැවිය හැකි සේ ඔවුන් පුහුණු කිරීම නම් එහි කිසියම් අර්ථයක් ඇත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ දේශීය කතාවක් ද කියවෙන නිසා ය. කෘෂිකර්මයෙන් මිනිසුන් ඉවත් කළ යුතු ව තිබෙන තැනක තවත් ඊට එක් කිරීමේ තේරුමක් නැති නිසා ය. ඊට අමතරව කෘෂිකර්මයේ දැනට කෘෂිකර්මයේ නියැලෙන පිරිස ඊට වඩා ඵලදායී ක්ෂේත්‍ර වලට යොමු කරන්නට ද වැඩ පිළිවෙළක් ඒ තුළ නැති නිසා ඒ කතාව අනතුරක සේයාවක් මතු කරන නිසා ය.

වෘත්තිකයන් ලක්ෂයක් පුහුණු කිරීම සුළුපටු කාරණයක් නොවේ. එහෙම එකක් ලියන්නට කලින් එහි දිග පළල කල්පනා කළා දැයි යන්න ගැටළු සහගත ය. මේ ප්‍රකාශය ගැන පමණක් නැගිය ප්‍රශ්න මෙසේ ගොනු කරමි.

  • මේ අයට දෙන පුහුණුවේ ඉලක්කය නැතිනම් අරමුණ කුමක් ද?
  • පුහුණුව දෙන්නේ කෙතරම් කාලයකට ද?
  • මේ ලක්ෂයක පිරිස තෝරාගන්නේ කවුරු අතරින් ද?
  • පුහුණුව දෙන්නේ කවුරුන් විසින් ද? රට රැකියා සඳහා පුහුණු කරන පිරිස පුහුණු කරන්නේත් ලංකාවේ පුහුණුකරුවන් ද?
  • ඒ නිසා රටට අත්විය හැකි යැයි අපේක්ෂා කරන ප්‍රතිලාභ මොනවාද?
  • ඒ සඳහා යන වියදම කවරේ ද?
  • ඒ වියදම සඳහා යන අරමුදල් සම්පාදනය කරන්නේ කෙසේ ද?
  • එවන් පුහුණුවක් වෙනුවට වෙනත් සාඵල්‍ය පුහුණු කිරීම් තිබේ දැයි පරීක්ෂා කර බලා තිබේ ද?

මේ කාරණා නිසා බොහෝ පක්ෂවල මැතිවරණ ප්‍රකාශන සැලකිය යුතු වන්නේ නිසි අධ්‍යයනයකින් නොකොට සකස් කෙරෙන, ඡන්ද ගොඩ වැඩි කර ගැනීම උදෙසා ම කඩිමුඩියේ බිහිකරන, යටි පෙල කියවන්නේ නම් බොරු හා අර්ධ සත්‍යයන් ගෙන් ගහන යයි පෙනෙන, මතුපිටින් පවා අල්ලස හා වංචනිකත්වය ප්‍රදර්ශනය කරන බව වටහා ගත හැකි, ආල වට්ටම් පමණක් බව ය. වම ද දකුණ ද යන භේදයකින් තොරව එය එසේ සිදු වන බව ය.

අරගලය ඉල්ලා හිටියේ ද මේ දේශපාලන සංස්කෘතියේ වෙනසකි. එහෙත් ඒ වෙනස වෙනුවට අපට පෙනෙන්නේ පුරුදු පරිදි ළග එන ඡන්දයට පිට පොට ගසන, ඒ සඳහා බලමුළු පෙල ගැස්වීමට පාරට බැස ඇති, පැරණි දේශපාලන බලවේගයන්ගේ හැසිරීම පමණ ය.

අල්ලස යැයි සැක කළ හැකි වගන්ති මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කළ නොහැකි සේ නීති සකස් කිරීමත් ඒ සඳහා මැතිවරණ කොමිසමට බලය පැවරීමත් වෙනසක් සඳහා මුල් පියවර ය. අධික පිරිවැයක් වැය වන ආයෝජන සියල්ල ඇස්තමේන්තු කොට ඉදිරිපත් කළ යුතු යැයි ද ඒ සඳහා මුදල් සොයා ගන්නා අන්දම ඇතුළත් කළ යුතු යැයි ද නීති පැනවිය හැකි ය. ව්‍යාකූල යෝජනා වෙනුවට නිෂ්චිත (SMART) යෝජනා ඉදිරිපත් කළ යුතු යැයි ද නීති පැනවිය හැකි ය. System change ගනයට වැටෙන යෝජනා කෙරෙන ව්‍යවස්ථා නීති අණපනත් වල වෙනස් කම් සඳහා නිෂ්චිත කාල රාමු සැපයිය යුතු බවට ද නීති ගෙන ආ හැකි ය. ඒවා සම්බන්ධයෙන් නීතියෙන් බැඳී සිටිය යුතු බවට අණ පනත් සකස් කළ හැකි දැයි සොයා බැලිය හැකි ය. මැතිවරණ ප්‍රකාශනයේ එක් එක් කොටස සකස් කළ හා ප්‍රකාශනය අවසන් වශයෙන් සංස්කරණය කළ විද්වතුන් කවරේදැයි ප්‍රසිද්ධ කෙරෙන නීති පවා ගෙන ආ හැකි ය.

එවැනි නීතිමය ප්‍රතිසංස්කරණ වලට අමතරව මේ මැතිවරණ ප්‍රකාශන විවරණය කර ඒවායේ අඩුපාඩු පෙන්වා දීමේ වගකීම සිවිල් සංවිධාන වලට ද බාර ගත හැකි ය. එසේ කරන්නාවූ විවරණ ජනතාවගේ දැන ගැනීම සඳහා මාධ්‍ය ආවරණය සැපයීමේ වගකීම මාධ්‍ය ආයතන විසින් බාර ගත යුතු ය. අවශ්‍ය වියහියදම් රජය විසින් හෝ වෙනත් ස්වේච්ඡා සංවිධාන විසින් (අරගලය අවස්ථාවේ පරිදි) දැරිය හැකි ය. එසේ විවරණය කරනු හැකි වන සේ කල්වේලා ඇතිව බාර දීමේ වගකීම දේශපාලන පක්ෂයන්ට පැවරේ. අවශ්‍ය වෙතොත් ඒ සම්බන්ධ දින වකවානු නීතිගත කළ හැකි ය.

මේ යෝජනාවලිය දළ අදහසක් පමණ ය. එය සංවාද ආශ්‍රයෙන් තවදුරටත් ශක්තිමත් කළ යුතු ය. අවසාන වශයෙන් එකක් කිව යුතු ය. අප දේශපාලනය කරන ශෛලියේ වෙනස් කම් නොකරන්නේ නම් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා නොකළ යුතු ය. 75 වසරක සාපය තවත් කාලයක් පවත්වාගෙන යෑමට අකමැත්තේ නම් මේ ප්‍රතිසංස්කරණයන්ට පිටු නොපෑ යුතු ය.

පැහැනද පහන් – සුනන්ද කරුණාරත්න කාව්‍ය නිර්මාණය

මිදුල වතුරින් පිරී ගලා යන සැඩ පහරවල් මතු ව අමුතුම ලෝකයක් කුඩා අප ඉදිරියේ මවන වැස්ස අපට අපූර්ව අත්දැකීමකට මග සලසන්නේ ය. එවන් දිනක කඩදාසි ඔරු හදා පා කර ඒවායේ ගමන් මග දෙස නෙත් අයාගෙන බලමින් අපූරු සිහින ලොවකට පිවිසුනේ නැති කුඩා ළමයෙකු සොයා ගැනීමට අපහසු ය. ඒ සඳහා කුඩා අපව මුලින් පොළඹවන්නේ වැඩිහිටියා තුළ ඉන්නා කුඩා දරුවා ම ය. කුඩා අප ඒ ලෝකය තුළ තනිවන විට වැඩිහිටියෝ ඉක්මණින් තමන්ගේ ජීවිතයට මුහුණ දීම සඳහා පසු බසිති. ඇතැම් විටක ඊළග වැසි සමය වන විට දරුවා නැවතත් ඒ අත්දැකීම උදෙසා ආසාවෙන් යොමු වුව ද වැඩිහිටියාට ඊට ඉස්පාසුවක් නැති වෙයි. තමන්ගේ ප්‍රශ්න තුළ අතරමං වන ඔහුට ඇතැම් විට කඩදාසි ඔරුව හදන්නට කඩදාසි කෙසේ නමන්නේ ද යන්න ද අමතකව තිබෙන්නට පුළුවන.

මේ ලෝක දෙක අතර පරතරය අතිශයින් ස්වභාවික ය. සදාතනික ය. එය ඉක්මවන්නට ඉසඹුවක් ලබන දෙමාපියන් වාසනාවන්ත ය. ඔවුන්ගේ දරුවන් ඊටත් වඩා වාසනාවන්ත ය. “පැහැනද පහන්” කාව්‍ය සංග්‍රහය සුනන්ද ආරම්භ කරන්නේ මේ සුවිශේෂී අත්දැකීම අපූරු කවි බසකින් අපට ඉදිරිපත් කරමින් අපේ ජීවිත දෙස නැවත බලන්නට අපව යොමු කරමින් ය. ඒ කවි පෙළේ නම කඩදාසි ඔරු ය. ඔරු කඩදාසි වුනාට කුඩා දරුවාට එය අතිශයින් වටින්නේ ය. අපේ දෙමාපිය භූමිකාව එක් අතකින් ප්‍රශ්න කරමින් ද අනෙත් අතින් අපේ ළමා කාලයේ සොඳුරු මතකයන් ස්පර්ශ කරමින් ද අපූරු කවි මගක අපව ගෙන යන්නට එසේ මේ කවි පොතේ මුල් ම කවියෙන් කවියා   සමත් ව තිබේ.

එකල මහ වැසි වැටුන දවසක

මිදුල සයුරක් මැවූ උදයක

නෙක කොදෙව් හා මහා දීප ද

දික් විජය කරන මෙන් අණවා

පා කළෙමි මා සිඟිති ඔරු පෙළ

කෙනෙකුට අවශ්‍ය නම් මේ කවීයට දේශපාලන අරුතක් ද එක් කළ හැකි ය. ඒ ප්‍රයෝජ්‍යවාදයට/ පාරිභෝජනවාදයට යටවුණු දෙමාපියන් ළමයින්ගේ මේ අපූර්ව ලෝකය අඳුරු කරනවා වැනි අරුතක් දීම හරහා ය. කවියකට තිබිය හැක්කේ එක තේරුමක් නොවේ. ඔබට ඇතැම් විට මෙයින් ඊටත් වෙනස් අර්ථයක් මැවිය හැකි වනු ඇත.

සුනන්දගේ කවි බොහෝමයක අරුත් ගණනාවක් මැවිය හැකි ඒ ගුණය තිබේ. ඒ සඳහා උදාහරණයක් ලෙස මා ඉදිරිපත් කරන්නට කැමති “පැරණි සේයාරුවක්” යන අපූරු කවි පන්තිය ය. කවිය ආරම්භ කරන්නේ “මහගෙදර” පොත් අල්මාරිය අස් කරන කොට වැටෙන පැරණි සේයාරුවක් ගැන කියා ගෙන ම ය. අවසන් කරන්නේ ඒ සේයාරුව කොතෙක් මතක ගුලි කර ගෙන තිබුණත් “අලුත් ගෙදර”ට නම් රැගෙන යා නොහැකි බව කියමින් ය.

ඒ අතර මැද කවි වලින් කියන්නේ ඒ සේයාරුව පිළිබඳ අතීත මතක සටහන් ය. ඒ සේයාරුවේ ඉන්නේ මහගෙදරින් ප්‍රතික්ෂේප වීම නිසා අත්හැර දමනු ලැබූ පැරණි පෙම්වතිය ය. ඉතින් ඈ පිළිබඳ සේයාරුවක් විවාපත් වූ අලුත් පවුලට හිමි අලුත් ගෙදරට ගෙන යෑමට නොහැකි වීම සාධාරණ ය. කවිය මුළුමණින් කියවන ඔබට වැඩි දුරටත් පසක් වනු ඇත්තේ මේ පුද්ගලයා සමාජයට ඔ්නෑ හැටියට ජීවත් වන කෙනෙකු ලෙස ය. ඒ එවැන්නෙකුගේ ජීවිතය ඛේදවාචකයක් වීම ගැන ඔබ තුළ කම්පාවක් ජනිත කරමින් ය. ඔබ මේ කවිය ඔස්සේ ම ඔබ පිළිබඳව තවදුරටත් විමසීමට කැමති නම් ඔබ ද එවන් ශෝචනීය ජිවිතයක උරුමක්කාරයෙකු බව ද මේ අද ලාංකිකයන් මුහුණ දෙන පොදු ඛේදවාචකයක කතාව බව ද පසක් කරගනු ඇත.

කවියේ ආරම්භය මෙසේ ය.

මහගෙදර මගේ පොත් අල්මාරිය

අස්කරන කොට තට්ටුවෙන් තට්ටුව

ඒංගල්ස්ගේ පවුල අස්සෙන්

ෆෝටෝ එකක් වැටුන බිමට

ඉහත කියන සේයාරුව වැටෙන්නේ ඒංගල්ස්ගේ “පවුල” කියන පොත අතරින් ය. ඒංගල්ස්ගේ පවුල කියන පොත කියවූ කෙනෙකුට මේ කවිය හරහා තවත් ඛේදවාචකයක් මුණ ගැසෙනු ඇත. ඒ දේපල ආධිපත්‍ය පවත්වාගෙන යන මේ පවුල නම් අපූරු ඒකකය කෙතරම් දුරට අපේ නිදහස් ජීවිතයට බලපෑමක් කරන්නේ ද යන්න ය.

පරණ පෙම්වතිය මේ සම්ප්‍රදායික ආචීර්ණකාල්පික අදහස් සමග ජීවත්වන්නියක් නොවේ. එය අපට සුනන්ද එලිදරව් කරන්නේ මෙසේ ය.

මුලින් ම අපි ඩයෑන්ගෙ තැනට ගිය දවසෙ

අද මෙහෙ අපට ඉන්න පුළුවන්

කියල ඔයා කිව්වම

හෙල්ලුණා මුලු බිල්ඩිමම

මගෙ පපුවෙ ගිඩිගිඩියට

මේ කවි පෙළේ තීරණාත්මක වචන කිහිපය ගැන අපේ අවධානය යොමු කරමු. “මුලින් ම” – එක වතාවක් නොව කීප වතාවක්, “ඔයා කිව්වහම” – පිරිමියා නොව ගැහැණිය කී විට, “මගෙ පපුවෙ ගිඩිගිඩියට” – ඇගේ පපුව නොව මගේ පපුව. ඒ සියල්ලෙන් කියන්නේ ඇය මේ පුරුෂ පරාණයට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් ඉන්නා බව ය. කිසිදු බියක් ඇයට නැති බව ය. ඇය සමාජ ආකල්ප මායිම් නොකරන බව ය.

මේ සියල්ල අපට සුනන්ද ගෙන එන්නේ අප තුළ උත්ප්‍රාසයක් ඇති කරමිනි. ඒ සඳහා කවි බස මනාව උපයෝගී කරගනිමිනි. මුලු බිල්ඩිමම හොල්ලන ගිඩිගිඩියක් ගැන කියන විට මවන රූපය කෙතරම් නම් කම්පනය කරන සුලු ද?

මේ පුරුෂ පරානයේ බිය සාධාරණය කරමින් කවි පන්තිය ගලා ගෙන යන්නේ මෙසේ ය.

ඇස් ඇරෙන කොට අපට

බට කැලේ වගෙ ගිනි අරන්

මුලු ඔෆිස් එකම

ටෙලිෆෝන් වයරුත් ගිනි ගත්ත

ගෙවල්වලට ඇවිලෙන කල්ම

සුනන්ද ඉතා මනරම් කවි ශිල්ප දක්වා දිගු කතාවක් ඉතා ප්‍රබල රූපක ඔස්සේ අප ව කම්පනය කරමින් අතිශය සංක්ෂිප්ත ලෙස ගෙන එන්නේ ශූර ලෙස ය. අනාවරණය ඉදිරියේ සමාජය අවි අමෝරන අයුරු ද ඔහු ප්‍රබලව විස්තර කරයි.

අප්පච්චි හැදුවෙ තුවක්කුව අරන්

ඊළඟ සඳුදා ම කොළඹ එන්න

ගෝලු අරන් අම්මයි නැන්දලයි

වැලහින්නියො වගේ පැන්න ඇඟට

දෙමාපිය ආශිර්වාදය මැද කෙරෙන විවාහයට (ඒ පවුලට) මේ අතීත කතාව කාන්දු වෙන්නට බැරි ය. එය ද සුනන්ද ලස්සණට කියන්නේ ය.

ඉතින් මම දැන් අලුත් ගෙදරක

කේතලෙන් මල්ලකුත් අරගෙන

ගෙනියන්න බෑ මට මේ ෆොටෝ එක

වරුණිකාගෙ තියුණු ඇස් යට

තියෙන අපේ අලුත් ගෙදරට

කථකයාට ගැලවිල්ලක් නැත. පරණ “පව්” කවදා හෝ විඳවන්නට වේ දැයි බියෙන් ඔහුට තවදුරටත් ජීවත් වන්නට සිදුවේ. මේ ගෙවන්නේ කුමන ජීවිතයක් ද? එය ඔබට හිතුනා නම් සුනන්ද සාර්ථක ය.

යුද්ධයක දී දිනන්නේ කවුද පරදින්නේ කවුද යන්න ද යුද්ධයේ රුදුරු ස්වභාවය මෙන් ම ඒ පිටුපස ඇති උන්මත්තකභාවය ද මොනවට ඉදිරිපත් කරමින් ගලන මිනිසා හා අශ්ව හිස කවි පන්තිය ද මා සිත් ගත කවි අතර එකකි. සාලිය අසෝකමාලා පුරාවෘත්තිය ද ඉසුරුමුණියේ පෙම් යුවල ළඟින් තිබෙන මිනිසා හා අශ්ව හිස ප්‍රතිමාව ද නැවත කැඳවමින් ඔහු ඉතිහාස කතාව ඔස්සේ යුද්ධයේ සදාතනික සත්‍යය වෙතට අප ලං කරයි. මෙහි දී ඔහු අතිශය දක්ෂ තාක්ෂණික කටයුත්තක් ද කරයි. ඒ අසෝකමාලා – අසෝක හා මාලා ලෙස වෙන් කරමින් ය. ඒ අසෝක යුද්ධයේ දී සටනට යවනු ලබන්නේ ය. ඔහුට අවශ්‍ය ධෛර්ය ලැබෙන්නේ මාලා ඔහු සමග සිටිනවාය යන මායාව නිසා ය. ඒ මායාවෙන් මෙහෙයවනු ලැබ ඔහු මිනිසුන් කැති ගායි.

දෙතිසක් බලකොටු වෙත එක පැහැර

මෙහෙයවා අසු නිබය ව

කැති ගාන මෙන් සොළී සෙනඟ

ලෙළවන කල අසිපත

මා පසුපසින් අසුමත

නුඹ මා වැළඳ සිටිතැයි

ගැලුණෙමි නිරන්තර මායාවක

යුද්ධය දිනා එන විට ඔහුගේ මාලා සාලිය කුමරු රැගෙන ගොස් ය. රටක් ජය ගත් ඔහුට ජීවිතය අහිමි කරනු ලැබ ඇත්තේ එසේ ය.

එහෙත් පෙරළා එන කල

දිනා රණ විරු බුහුමන්

මල්පට පෙරව අප හුන්

අසෝක වනය සිස් ය!

යුද්ධයට යන්නට උඩ ගෙඩි දුන් කවුරුවත් ඔහු වෙනුවෙන් වචනයක් වත් වියදම් කළේ නැත.

කුමරුන් හා එන නුඹට

රන් කෙන්ඩියෙන් පැන් වඩා ආසිරි පැතූ

ඉසුරුමුනියෙහි මුනිවරු

රකිත් මා වෙත මුනිවත

මිනිසා හා අශ්ව හිස අපට සුනන්ද මෙසේ මුණ ගස්වන්නේ ය.

යුදයෙන් ලත් නෙක වණ කැළැල් ඇති

දුබලය මා ගත

සා පවසින් පරිපීඩිත

වෙහෙසය මා හට

තවත් කුමට රැඳෙන්නේ ද මෙහි

හිස සලා විමසයි අසු

දුබලව ඇත්තේ වෙහෙසට පත් ව ඇත්තේ අසෝක පමණක් නොවේ. අසු ද මේ ඛේදවාචකයේ ගොදුරකි. අසු විමසන්නේ තවත් කුමට මෙහි රැඳෙන්නේ ද යන්න ය. මට හැඟුනේ යුද මානසිකත්වය තුළ තවදුරටත් අප රැඳිය යුත්තේ ඇයි දැයි කවියා අප ව ද විමසන බවකි.

සුනන්දගේ කවි හැම එකක් ම විමසන්නට ගියොත් පොතක් ලියන්නට වෙන නිසා මේ සටහන මෙතැනින් නිම කරමි. ඔබට පොත කියවන්නට ලැබුණොත් ඔබ තවත් බොහෝ දෑ සොයා ගනු ඇතැයි මට සහතික ය.

(මේ සටහන ලියන්නට මා පෙළඹුනේ නොවැම්බර් 29 දින පුවත්පත් මණ්ඩල පරිශ්‍රයේ මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ පවත්වන ලද සාකච්ඡාව ය. එහි දී පළ කළ අදහස් වලින් ද මේ සටහන පෝෂණය වූ බව කෘතඥ පූර්වකව සඳහන් කරමි)

ආණ්ඩුවේ දේශපාලනය හා විපක්ෂයේ දේශපාලනය

බොහෝ දෙනෙකු කැමති ආණ්ඩුව ගැන කතා කරන්නට ය. ආණ්ඩුවේ දේශපාලනය ගැන කතා කරන්නට ය. ආණ්ඩුව කරන නොකරන වැඩ ගැන කතා කරන්නට ය. විපක්ෂය සම්බන්ධ කතිකාව ගැන එවන් උනන්දුවක් නැත. තිබේ නම් එය ඉතා අල්ප ය.

එය එක අතකින් සාධාරණ ය. අපේ ජීවිත වලට වැඩි බලපෑමක් කරන්නේ ආණ්ඩුව කරන හා නොකරන වැඩ ය. ආණ්ඩුව දක්වන ශිල්ප හා නොදක්වන ශිල්ප ය. එහෙත් එයින් මුලු පින්තූරය අපට මග හැරෙන්නේ ය. ආණ්ඩුවේ හා විපක්ෂ ක්‍රියාකාරිත්වය අතර ඇති ගතිකත්වය (එකක් අනෙකෙන් ප්‍රතිපෝෂණය වන බව) අපට නොපෙනී යන්නේ ය. ඒ නිසා රට තුළ සිදු වන දෑ තේරුම් ගැනීමට අපට හරිහැටි නොහැකි ව යන්නේ ය. යා යුතු ගමන නොයා, නොයා යුතු ගමන් යෑමට අප පෙලඹෙන්නේ ය.

ඇත්තට ම කියනවා නම් ආණ්ඩුවක් කරන වැඩ සම්බන්ධයෙන් ආණ්ඩුව පමණට ම විපක්ෂය ද වග කිව යුතු ය. ජනතාව පාරට බැස්සේ විපක්ෂය ඒ වගකීම ඉටු නොකර ඇඹරෙමින් සිටින විට ය. විපක්ෂය එක්තරා දුරකට ආණ්ඩුවට නටනු පිණිස බෙර පද තාලය අල්ලන තරමට, ආණ්ඩුව හා විපක්ෂය එකිනෙකට සම්බන්ධ ය.

තවත් අතකට අප විවරණය ආණ්ඩුවට සීමා කරන විට විපක්ෂය විකල්ප ආණ්ඩුව බව අපට ඉන් අමතක වන්නේ ය. අපට පමණක් නොව විපක්ෂයට ද එය අමතක වන්නේ ය. එහි අවසාන ප්‍රතිඵලය වන්නේ ඊළඟ නිලවරණය ආ විට ඒ හරහා ආණ්ඩුවක් පිහිටුවීම සඳහා නොව තියෙන ආණ්ඩුව පරාජය කිරීමට අපට සිදු වීම ය. ඒ නිසා විපක්ෂය කල්යල් බලන්නේ ම ආණ්ඩුව කුණු වී බිමට වැටී ආණ්ඩු බලය තම ඔඩොක්කුවට වැටෙන කම් ය. ඒ සඳහා කළ යුතු යැයි ඔවුන් විශ්වාස කරන්නේ ආණ්ඩුව විවේචනය කිරීම ය. ආණ්ඩුවේ “ෆයිල්” එකතු කර තියා ගැනීම ය.

ආණ්ඩුවට වගේ ම විපක්ෂයට ද එහෙමට වැඩ පිළිවෙළක් නැත. ඔවුන් කියන එක ම දේ අපට බලය දෙන්න අප කොරන්නම් කියා ය. ආණ්ඩුව කරන වුන් කළු වුනාට අප සුදුයි කියා ය. විපක්ෂය ගැන එහෙම අප පොදුවේ කීවාට විපක්ෂය කියන්නේ සමජාතිය එකකට නොවේ. එය විවිධ හැඩ තල ඇති සංවිධානය ගණනකින් සෑදුණකි. එක් එක් සංවිධානය තමන්ට අනන්‍ය භූමිකාවක් නිර්මාණය කර ගෙන තිබේ. ඒවා එකිනෙකට වෙනස් ය.

සමහර සංවිධාන උත්සහ කරන්නේ විකල්ප ආණ්ඩුවක් පිහිටු වීමට නොවේ. විකල්ප ආණ්ඩුවක කොටස් කාරයෙකු වීමට ය. සහයට ඩැනී කෙනෙකු වන්නට ය. සමහරු කැමති ආණ්ඩුවක රිමෝට් කන්ට්‍රෝල් එක වන්නට ය. සමහරු කැමති විරෝධය දක්වමින් දිගින් දිගට විපක්ෂයට වී සිටීමට ය.

විකල්ප ආණ්ඩුවකට පිහිටු වීමට උත්සහ දරන කණ්ඩායම් දෙකක් අපට මේ අය අතුරින් අඳුනා ගත හැකි ය. එකක් සමගි ජන බලවේගය ය. අනෙක ජාතික ජන බලවේගය ය. එහෙත් මේ බලවේග දෙක ම කරමින් ඉන්නේ ආණ්ඩුවට ඔරිජිනල් විකල්ප නොව ඩුප්ලිකේට් විකල්ප වීමට ය. ආණ්ඩුව නියෝජනය කරන දේශපාලනය ආගමික වන විට ඔවුන් ඊටත් වඩා ආගමික වන්නේ ය. සජිත් චෛත්‍ය හැදීමේ වැඩ පිළිවෙළක් යෝජනා කරන්නේ ද ජාජබය පන්සල් වලට ශබ්ද විකාශන යන්ත්‍ර බෙදමින් යන්නේ ද ඒ සඳහා ය. ආණ්ඩුව කරන දේශපාලනය සුබසාධනය වන විට ඔවුන් ද සුබසාධනය කරට ගන්නේ ය. ආණ්ඩුව ටකරන් බෙදන විට ජාජබ ග්‍රාම සංවර්ධන සමිති වලට ප්ලාස්ටික් පුටු බෙදන්නට ද සජබ ය මහණ මැෂින් දෙන්නට ද ඉදිරිපත් වන්නේ ඒ සඳහා ය. ඒත් ඒවා අතිශය දුප්පත් විකල්පයන් ය.

ආණ්ඩුවේ වැඩ පිළිවෙළට ප්‍රතිපක්ෂ විකල්ප නොව ඒවා පසු පස යන පසුගාමී විකල්ප ය. ආණ්ඩුව දේශපාලනය පසුගාමී ආගමික සංස්ථා හා විශ්වාස සමග පටලවන්නට යන විට ඒ උපායමාර්ගයේ නිර්ලජ්ජී භාවය හා භයානක අතුරුඵල පෙන්නා දෙනු වෙනුවට ඊට අනුකූල වෙමින් ඒත් ඊට වඩා දුප්පත් වන නමුත් තවදුරටත් නිර්ලජ්ජී අනුගාමී උපාය මාර්ගයකට තල්ලු වීමෙන් විධිමත් විකල්ප ආණ්ඩුවක් පිහිටුවීමට බැරි ය. එහෙත් ආණ්ඩුවේ ම කුණු වීම නිසා එය කඩා වැටෙන  විට ඒ තැන ගන්නට ඊට ඉඩක් ඒ හරහා ලැබෙන්නට ඉඩ තිබේ. මේ කුරුමානම ඒකට ය. එය එක් කුණු වූ දේශපාලනයක් වෙනුවට තවත් කුණු වූ දේශපාලනයක් ආදේශ කිරීමකට එහා නොයන්නේ ය.

විකල්ප විපක්ෂය අඳුනා නොගන්නා තවත් කරුණක් තිබේ. ඒ සල්ලි බලය හා රාජ්‍ය බලය ඇති ආණ්ඩුවක් සමග ඒ ක්ෂේත්‍රයන්හි හැප්පෙන්නට ඔවුන්ට නොහැකි බව ය. ඒ සඳහා දරණ උත්සහයන් උත්ප්‍රාසය පමණක් ඇති කරන බව ය. ඒ අඩුව ඔවුන් මකන්නට උත්සහ ගන්නේ ආණ්ඩුවට එරෙහි කරන විවේචනයන් උත්සන්න කිරීමෙනි. ඔවුන්ට මග හැරෙන කාරණය නම් පවතින ආණ්ඩුව විවේචනය කිරීමෙන් පමණක් විකල්ප ආණ්ඩුවක් ලෙස පෙනී සිටිය නොහැකි බව ය. ඒ සඳහා අර්බුදයට තමන්ගේ විකල්ප විසඳුම් ද ඉදිරිපත් කළ යුතු බව ය. ඒ සඳහා දරණ ප්‍රයත්නයන්ගේ වුව පැහැදිලි වෙනස් වැඩ පිළිවෙලක් ඉදිරිපත් කිරීමට හෝ එසේ ඉදිරිපත් කරන වැඩ පිළිවෙළක ඇති විශ්වාසනීයත්වය තහවුරු කිරීමට හෝ විපක්ෂය සමත් ව නැත.

උදාහරණය ඩොලර් අර්බුදය සම්බන්ධයෙන් විසඳුමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ සහය පැතීම හා පාඩු ලබන රාජ්‍ය ආයතන විදේශ ආයෝජකයන්ට විකිණීම ආණ්ඩුව පැත්තෙන් යෝජනා වන විට ජාජබ ය ඒ සඳහා ඉදිරිපත් කරන්නේ විදේශ වල සිටින තමන්ගේ දේශපාලන සහෘදයන්ගේ සම්ප්‍රේෂණ වලින් එය සාක්ෂාත් කර ගන්නා බව ය.

විකල්ප ආණ්ඩුවක් ලෙස පෙනී සිටීම සඳහා පවතින ආණ්ඩුවට දක්වන හුරු විරෝධය නොසෑහෙන බවත් ඒ සඳහා විකල්ප මෙන් ම “විශ්වාසනීය” වැඩ පිළිවෙළක් ඉදිරිපත් කළ යුතු බවත් ආණ්ඩුවක් පිහිටුවීමට පිට පොට ගසන බලවේග වලට අවබෝධ වී නැත. අවබෝධ වුව ද ඒ සඳහා සෑහීමකට පත් විය හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමේ ලා ඔවුන් සමත් වී නැත.

ආණ්ඩුවට අභියෝගයක් විය හැකි වැඩ පිළිවෙළක් ඉදිරිපත් කිරීමට නොහැකි වන තාක් ආණ්ඩුව වෙනස් කිරීමට බැරි ය. ආණ්ඩු බලය වෙනස් කිරීමට ද බැරි ය. ආණ්ඩුවේ භාග්‍යය රැඳී ඇත්තේ විපක්ෂයේ මේ අභාග්‍යයේ ය. ආණ්ඩුවේ දේශපාලනය පිළිබඳ විවේචනයෙන් නොසැහී විපක්ෂය විවේචනය කිරීමට දේශපාලන විචාරකයන් කටයුතු කළ යුත්තේ ඒ නිසා ය.