මගේම අනෙකා

මට අනෙකෙක් සිටිය හැකි ද? ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ පොතක එහෙම කෙනෙක් හිටියා මට මතක ය. කතා නායකයා තමන්ගේ මේ අනෙකාට කියා තිබුනේ අඩ හඳයා කියා ය.

මටත් අනෙකෙක් සිටියි. ඌට නමක් නම් තවම දාගෙන නැත. මගේ අනෙකා මුණ ගැසීම එක් අතකට ප්‍රීතියක් ද තව අතකට බියක් ද ගෙනෙන්නේ ය. ප්‍රීතිය මා ගැන මා අකමැති බොහෝ දේ මගේ අනෙකා තුළ නැති බැවිනි. ඒ නිසා පරිපූර්ණ කෙනෙකු මුණ ගැසුනා හා සමාන හැගීමක් ඌ මුණ ගැසීමෙන් මට ලැබේ. බිය ඒ පිළිබඳ දැනුමම මගේ ජීවිතයම තර්ජනයට පත් කරන බැවිනි.

ඔය බොරුව නවතා ජීවත් වෙයන්!

මේ අනෙකා මට නිතර කියන කතාවකි.

බොරුව නතර කළොත් වෙන්නේ ජීවත් වන්නට නොව වහ කන්නට ය.

මිනිසුන් ඇත්තට බිය ය. මම ඒ ඇත්ත ඔවුන්ට මුණ ගස්වන විට ඔවුන් පළා යන්නේ ඒ ඇත්තෙන් පමණක් නොවේ. මගෙන් ද ඉවතට ය. මට එවිට සිදුවන්නේ තනි වන්නට ය. මා ඊට බිය ය. එවිට මට ඉතිරි වන්නේ මගේම අනෙකා පමණකි. ඇගිල්ලෙන් ඇන ඇන වැරදි පමණක් පෙන්වන මේ මගේ අනෙකා සමග ජීවත් වීම ලෙහෙසි වැඩක් නොවේ. ඒ නිසා මම  බොරුව අත හරින්නට නොකැමැත්තෙමි. එය අත්හරින්නට බල කරන මගේම අනෙකාට බිය වෙමි.

හදිසියේ මගේම අනෙකා මුණ ගැසීමට මගේ අකමැත්තක් නැත. සමහර වෙලාවට මම මගේ අනෙකා මුණ ගැසෙන තෙක් ආසාවෙන් බලා සිටිමි. මේ කලබලකාර ජීවිතයේ ඊට වෙලාවක් හොයා ගැනීමම ගැටළුවකි. කෙසේ හෝ වෙලාවක් හොයාගෙන අමාරුවෙන් මුණ ගැසුන ද ඉන් සැබෑ ආශ්වාදයක් ලැබුන ද එය දිගින් දිගට රඳන්නේ නැත. මගේ අනෙකා ඉතිරි මිනිසුන් මා වෙතින් ඉවතට පළවා හරින බැවිනි.

මගේ ඇත්ත මගේ බොරුව තරම් ලස්සණ නැත. මා ඇත්ත පැත්තට යන විට මා වටා සිටින අයට ද එක්කෝ ඔවුන්ගේ ඇත්තට මුණ ගැසීමට සිදු වේ. නැතිනම් මා වෙතින් පලා යෑමට සිදුවේ. පළමුවැන්න අමාරු නිසා ඔවුන් තෝරාගන්නේ දෙවැන්න ය.

මා මගේ අනෙකාට බිය වීම දැන්වත් සාධාරණ යැයි ඔබ හිතන්නේ ද? ජීවත්වන්නට වුවමනා බොරුව නම් ඇත්ත සෙවිය යුත්තේ අහවල් මගුලකට ද?

වද නොදී මගේ පාඩුවේ ජීවත් වෙන්නට ඉඩ දෙන්නැයි මගේම අනෙකාට කියන්නට මට සිදුව ඇත්තේ ප්‍රීතිය වෙනුවට ජීවිතය තෝරාගැනීමට මට බල කෙරී ඇති නිසා ය.

කොරියාව – මොන කොරියාව ද?

මුඩුක්කු හා පැල්පත් වලින් සමන්විත පෙදෙසක් තිබුනේ නම් එය හැදින්වීමට භාවිතා වූ වචනය කොරියාව ය. එයට හේතුවක් තිබුනේ ය. කොරියාව එක් යුගයක කොතරම් දිළිඳුව තිබුනේ ද යත් බොහෝ කොරියානුවන් වාසය කළේ එවැනි පැල්පත් සමූහවල ය.

1961 ශ්‍රී ලංකාවේ ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදනය ඇමරිකානු ඩොලර් 142 ක් වන විට කොරියාවේ එය 92 ක් පමණක් වූයේ ය. 1966 ශ්‍රී ලංකාවේ එම අගය 153 ක් වන විට කොරියාවේ එය 130 ක් වූයේ ය.

එහෙම බැලුවහම ඒ කාලයේ කොරියාවට ඔලොක්කු කරන එකේ වැරැද්දක් දකින්නට බැරි ය. සීත කාලයක් ඇති රටක ඒක පුද්ගල ආදායම අඩුවීම අප වගේ රටක එහි අඩුවීමට වඩා ශෝචනීය තත්වයක් ඇති කරන නිසා කොරියාවේ තත්වය ඉලක්කම් වලින් පෙන්වනවාටත් වඩා පහළ ය.

අද කොරියාවේ ආර්ථික තත්වය අතිශයින් පැහැබර ය. අපේ ඒක පුද්ගල දළ ජාතික නිශ්පාදනය 6531 වන විට කොරියාවේ එම අගය 31389 කි. මේ අගයන් නිරපේක්ෂ අගයන් නොවේ. එක් එක් රටේ පාරිභෝජන ශක්තිය මත පදනම් වූ සකස් කරන ලද අගයන් ය. ඒ නිසාම වඩා නිවැරදි සන්සන්දනයක් සඳහා යොදාගත හැකි අගයන් ය. නිරපේක්ෂ අගයන් සසඳතොත් පරතරය මීට බෙහෙවින් වැඩි ය.

මේ නිසාම කොරියාව යයි යමෙක් කියන විට මොන කොරියාව දැයි අසන්නට අපට සිදු වේ. හැටේ දශකයේ මුල් කාලයේ තිබූ කොරියාව ද අද වර්තමාන තියෙන කොරියාව ද? එය අහසට පොළොව තරමේ පරතරයකි.

අද කොරියාවට යන්නට පොරකන තරුණයින් රැසක් අපට ලංකාවෙන් හමු වේ. ඒ මැද පෙරදිගට වඩා එය අතිශයින් ආකර්ෂණිය නිසා ය. ඒ සඳහා කොරියන් බස ඉගෙන ගන්නට ද විශාල උනන්දුවක් ඇති ව තිබේ. ඒ මැද පෙරදිගට මෙන් බස නොදැන කොරියාවට යා නොහැකි නිසා ය.

කොරියාව යන වචනයේ අර්ථය කොරියාව විසින් වෙනස් කොට තිබේ.

ලංකාවට ඉස්සර කොචොක් කළේ සිංගප්පූරුව ය. ඒ සිංගප්පූරුව ලංකාවක් කරනවා ය කියා ලංකාවට සිංගප්පූරුවක් කරන්න වෙන තරමට වැඩ සිද්ධ කළ ලී ක්වාන් යූ ගේ වැඩ හරහා ය.

දැන් ඒ පෝලිමට කොරියාව ද එකතු වී සිටි යි. ඒ පැල්පත් මුඩුක්කු සහිත රටට යන්නට පොරකන පිරිසක් පොරවල් සිටින රටකින් සොයා ගැනීම හරහා ය.

Down below is an extract from a Blog written by Milinda Moragoda.

කොරියාවේ රැකියා අවස්ථා සොයන ශ්‍රමිකයන් ගැන තොරතුරු මාධය වාර්තා කරයි. කොරියන් භාෂාව ඉගැනීමට තරුණ පෙළ දක්වන්නේ විශාල උනන්දුවකි. කොරියාවට පැනගතහොත් ජීවිතය ජයගත හැකි යැයි අලූත් අදහසක් මෑතක සිට පවතී. ඇමරිකාවට, බ්‍රිතාන්‍යයට, ජපානයට හා ඔස්ට්‍රෙිලියාවට පසු අද වන විට විදේශ ගතවන කැමැත්තෙන් සිටින තරුණයන්ගේ වැඩිම අවධානයට ලක්ව ඇති රට දකුණු කොරියාවයි.

කොරියානු රැකියා ඉල්ලූම් පත්‍රයක් ලබාගන්නට දහස් ගණනින් කොළඹ නගරයේ රැස්වූ තරුණයන් වෙනුවට අද අමාත්යංශ ඉදිරිපිටත්, කාර්යාල අසලත් විරෝධතා දක්වන තරුණන් තමන් රවටා ඇති බව ප්‍රසිද්ධියේ කියන්නට පටන්ගෙනඇත.

This is our Korea. මේ අප අද දකින කොරියාව ය.

සල්ලි දෙවියන්ගෙ මල්ලී ය

දෙවියන්ට මල්ලිලා කොයින් ද? ඒත් සල්ලි කොහොමින් කොහොමින් හරි දෙවියන්ට මල්ලි කෙනෙක් වුනේ ය. කපු මහත්තයා ඉස්සෙල්ලා ඉල්ලන්නේ දෙවියන්ගේ මල්ලීව ය. මල්ලි හරි නම් දෙවියන් ලගට ඊළගට ප්‍රවේශ මාර්ගය ලැබේ.

මල්ලි හරි මල්ලි. සල්ලි තමයි දෙවියන්ගෙ දැන් මල්ලි.

සල්ලි ඇතුවත් බැරි ය. නැතිවත් බැරි ය. තිබුනහම රටේ ලෝකේ නැති යාළුවො ඇවිදින් අපව නාස්ති කර දමනවා ය. නැතිවුනහම බොහෝ යහළුවන් බෙහෙතකටවත් සොයා ගන්නට ලැබෙන්නේ නැත. දැන් කාලයේ දෙවියන් නැතිව ජීවත් වන්නට පුලුවන. එහෙත් සල්ලි නැතිව බැරි ය. සල්ලි නැති එකාට අබ සරණ ය. වෙන සරණක් නැත. එහෙම බැලුවහම මල්ලී අයියාට වඩා රැස්පොට් ය. ඒ කාලයේ හැටි ය. දෙල් ඉදෙන්නත් දැන් පොල් පැලේ ය.

හැම දේකට සල්ලි ඕනෑ බව හැබෑ ය. ඒත් හැම දේකට බැණුම් අහන්නේත් සල්ලි ය.

ඕකා මෘගයෙක් කළේ සල්ලි තමයි. සල්ලි කිට්ටු වුනොත් ඉතින් ඔක්කොම ඉවරයි. අහිංසක සල්ලිවලට සමහර මිනිසුන් බණින්නේ එහෙම කියලා ය.

මිනිසුන් වැරදි නැත. වැරදි අප්‍රාණික දේවල් ය. එක්කෝ ෆේස් බුක් ය. නැතිනම් එන්ජීඕ ය. ඒත් නැතිනම් මිනිසුන් ගගට තල්ලු කරන මහානාම පාලම වගේ අචේතනික වස්තු ය. එහෙම එකේ සල්ලිවලට විතරක් ගැලවීමක් තිබිය හැකි ද?

සල්ලි දෙවියන්ගේ මල්ලි වුනාට මොකද දිගින් දිගට බාල්දු වෙනවා මිසක අගයේ වැඩිවීමක් නම් වෙන්නේ නැත. දෙවියන්ගේ අයියා වෙන්නට තරම් හයියක් තිබුණු සල්ලි මල්ලි වෙන්නට ඇත්තේ මේ දුර්වල කම නිසා වන්නටත් පුලුවන.

සල්ලි නැතිවුනහම සමහරු අහන්නේ මං සල්ලි ගස් වලින් කඩන්න දැයි කියා ය. එයින් කියන්නට හදන්නේ සල්ලි ගස් නැතැයි කියා ය. ඒ වුනාට ඉස්සර කාලේ මැතිවරණයකට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු ප්‍රතිවාදියා සල්ලිවලට චන්ද ගන්න බව කීවේ මෙන්න මෙසේ ය. ඔන්න මං සල්ලි ගහක් හොලවනව. ඔබට තියෙන්නෙ ඒවත් අහුලගෙන ගිහිල්ල මට චන්දෙ දාන්න කියලා ය.

සල්ලි මදි වුනහම ආණ්ඩුව නම් කරන්නේ සල්ලි අච්චු ගහන එක ය. ඒක සමහර විට ගස්වලින් කඩනවාටත් වඩා ලෙහෙසි ය. සමහරු නම් කියන්නේ සල්ලිවල වටිනාකම එන්න එන්නම අඩුවන්නේ ආණ්ඩුව කරන මේ අලුගේත්තුරු වැඩේ නිසා කියා ය.

ඒ වුනාට සල්ලි ගස් වලින් කඩන්නත් බැරි නම් සල්ලි ඇත්තේත් නැතිනම් සල්ලි අච්චු ගහන්නේ නැතිව කරන්නේ කුමක් ද කියා ආණ්ඩුවට ඇසිය හැකි ය. ඒත් එහෙම කියල ආණ්ඩුව සල්ලි අච්චු ගැහුවාට ඔබ තමුන්නාසේලා නම් එහෙම කරන්නට යන්න එපා ය. එතකොට නීතිය ක්‍රියාත්මක වෙන්නට ඉඩ තියෙනවා ය. නිදා ගෙන වගේ හිටියාට නීතියත් හිටපු ගමන් ක්‍රියාත්මක වෙනවා ය.

දෙවිවරු තිස්තුන් කෝටියක් ඉන්නා නිසා සල්ලි මොන දෙවියන්ගේ මල්ලි දැයි හරියට ම කියන්නට පුලුවන් ජගතෙක් නැත. එහෙත් නොවරදවාම කිව හැක්කේ දේවාලයට ලැබෙන සල්ලි නොලැබුනොත් ඕනෑම දෙවිකෙනෙක් එවන් තැනක නොරැඳ අතුරුදහන් වන බව ය. ඒ සමහරවිට මල්ලීට ඇති සහෝදර ප්‍රේමය නිසා ද විය හැකි ය. දෙවියන් වුනත් මාර්ග ඵල ලබා නැතිනම් අප වගේ පෘතග්ජන ය.

රන් වටින – කා දමන / මිලක් ඇති- වගක් නැති කාලය

කාලය රන් හා සමාන යයි කතාවක් තිබේ. ඒ කරන්නට වැඩ ගොඩක් තිබුන විට ය. ගමේ යන්නට ගොඩ වන්නට තිබෙන ඊලග බස් එකට තව පැය තුනක් තියෙන විට කාලය ඉක්මණින් නොයන්නේ මන්දැයි හිතෙන්නේ ඉබේටම ය. වෙනත් විදිහට කියන්නේ නම් එතකොට කාලය බලු වටින්නේ නැත.

කාලයට මිලක් ඇතැයි සමහරු කියති. ඒ විකුණන්නට යම් කුසලතාවයක් ඇති අයගේ කාලයට ය. ඒ වුනාට හැමෝම කාලයට මිලක් ඇතැයි සිතන්නේ නැත. ඔවුහු කාලය නොමිලේම ඉල්ලා සිටිති.

කාලය කා දමන්නට එන්නේ ඉහත කී අය ය. එහෙම කිව්වහම හිතෙන්නේ එයත් ආහාරයක් කියා ය. කන්න හැක්කේ ආහාර පමණක් යැයි හිතන්නේ බඩම ජීවිතය යයි හිතන අය ය. ඔවුහු තමන්ගේ බඩ ගැන බලාගන්නවා විනා අනුන්ගේ බඩකුඩුත්තු ගැන නොසිතන නිසා ගුටි නොකති. කාලය වගේම ආහාරයක් නොවන ගුටි ද කත හැකි බව ඔවුන්ට නොහැගෙන්නේ ඒ නිසා ය. ඔවුනට අනුව බඩට නොවැටෙන කිසිවක් කන්නට බැරි ය. කාලය හා ගුටි ඒ නිසා කන්නට බැරි ය.

කෙනෙකුට හරියන්න නම් කාලය එන්නට ඕනෑ යැයි කියමනක් තිබේ. එහෙම හිතන අය කාලය එනතුරු බලා සිට අවසානයේ දී හෙම්බත් වෙති. කාලයට ඉඩ දෙන්න කියන පණ්ඩිත වාක්‍යය ද ඒ අයගේ නිර්මාණයක් වෙන්නට ඉඩ තිබේ. වෙන කරන්නට කිසිම දෙයක් නැතිවුනහම නම් කරන්නට තිබෙන්නේ කාලයට ඉඩ දෙන්න ය.

සමහරු කියන්නේ වැඩ කරන්නට වුවමනා කාලයේ තාලයට බව ය. එහෙම කෙරුවහම කරදර එන්නේ නැති බව හැබෑ ය. කාලයේ තාලයට හැම දෙයක්ම කරන අය නිර්මාණකරුවෝ නොවෙති. කාලයට හරස් වන අය පමණක් නව දේ ලොවට බිහිකිරීමේ සමත් ය. ඒ නිසා කාලය ගැන කියන හැම උපදේශයක් ඒ හැටියට නොගත යුතු ය.

බොහෝ ඒවා කාලයේ වැලිතලයේ සැගවී යන බව ද සමහරු කියති. ඒ කතාව ඇත්ත ය. මතකය කාලය සමග ගිලිහී යන බැවිනි. ඒ වුනාට වැලි ගොඩ දාන සමහරුන්ට එසේ කාලයේ කෙසේ වෙතත් වැලිතලයේ සැගවී ගිය දේ හමුවේ. පුරා විද්‍යාව හැදෙන්නේ එසේ සොයාගත් දේ අනුසාරයෙනි. නිකම් ම වැලිතලයේ පමණක් නොව කාලයේ වැලිතලයේ සැගව ගොස් ඇතැයි අප සිතන දේ ද හිටිහැටියේ මතුව අපව බියට පත් කරන්නට ඉඩ තිබේ. ඒ නිසා කිසිවක් විශ්වාස කළ ද ඔය කාලයේ වැලිතලය ගැන නම් විශ්වාස නොකළ යුතු ය.

කාලය ගැන දන්නා සියල්ල ලියන්න නම් කාලය මදි ය. ඒත් මේ ටිකට මම ඔබේ කාලය සොරා ගෙන ඇත්තෙමි.

ඔබේ කාලය යම් තරමකින් හෝ හොරාගත්තාට වචනයේ අර්ථයෙන් නම් මම සොරෙක් නොවෙමි. ඒත් එයින් කියවෙන්නේ කාලය සොරකම් කළ හැකි බව ය. ඒ එය රන් හා වටිනා නිසා නම් නොවේ. අනුන්ගේ කාලය හොරකම් කළාට එම කාලයෙන් හොරකම් කරන්නාට කිසිදු වැඩක් වන්නේ නැති නිසා ය. මා හොරෙකු නොවන්නේ ඒ අරුතෙනි.

අවසාන වශයෙන් කිව යුත්තේ කාලයෙන් ඔබ හරිහමන් වැඩක් ගන්නේ නැති තාක් එය හොරකම් කළ ද ඒ බවක් ඔබට පවා වැටහෙන එකක් නැති බව ය.