නැත්ත හා ඇත්ත

d6_21012019_frr

ලෝකය ජය ගැනීමට නම් බොරුව අවශ්‍ය යැයි කියනු මා අසා ඇත. කළ යුත්තේ නැති දෙයක් ඇතැයි පෙන්නීම ය. බොරුවක් වුවත් දිගින් දිගට කීමෙන් එය ඇත්තක් යැයි ඒත්තු ගැන්විය හැකි බව මේ මතය දරන්නෝ අදහති. අලෙවිකරණය යනුවෙන් හැඳින්වෙන කර්මාන්තය තුළ තිබෙන්නේ නැත්ත ඇත්ත කිරීමේ මේ කලාව ය.

බොරුව පාපයකි. බොරුව වැරැද්දකි. එහෙත් මේ සංවාදය ඒ සම්බන්ධයෙන් නොවේ. මේ සංවාදය තුළ විමසන්නට අපේක්ෂා කරන්නේ බොරුවෙන් ජීවත් වීමෙන් ප්‍රතිඵල ලබා ගත හැකි ද යන්න ය. එම විමසීම වැදගත් වන්නේ බොහෝ දෙනෙකු ප්‍රතිඵල ලැබේ නම් පාපයක් ද වැරැද්දක් ද යයි සිතන්නේ නැති නිසා ය. බෞද්ධයෙකු ලෙස තමන්ට පැළඳිය හැකි ආඩම්බරකාර ලේබලය මිස, බොහෝ බෞද්ධයන්ට, පව පින, තවදුරටත් මහ ලොකු කාරණා නොවන නිසා ය. වෙන ආගමිකයන් සම්බන්ධයෙන් වුනත් ලොකු වෙනසක් අපට පෙනෙන්නේ නැත. එ්, හැම ආගමකින්ම පාහේ බොරුව පිළිකෙව් කර තිබිය දී ය.

අප බොහෝ දෙනෙකුගේ අත්දැකීම විය හැක්කේත්, ඒ නිසා ම විශ්වාසය විය හැක්කේත්, බොරුවෙන් ප්‍රතිඵල ලබා ගත හැකි ය යන්න ය. ඒ සඳහා කොතෙකුත් උදාහරණ අපට සැපයිය හැකි ය. පාසලට ළමයා දා ගැනීමේ සිට බොහෝ කර්තව්‍යයන් සාර්ථක කර ගත හැකි වූයේ බොරුව නිසා ය. ඒ නිසා ම එම මතය පහසුවෙන් ඉවත හෙලිය හැකි අදහසක් නොවේ. තවදුරටත් විමසිය යුතු එකකි.

මේ සියල්ල කියන්නට වුනේ ඇත්ත හා නැත්ත නමැති පොතක් ලිවීම නිසා, නැත්ත ඇත්ත කිරීම සම්බන්ධයෙන් ද, බුද්ධිමය අයිතිය සොරා ගැනීම සම්බන්ධයෙන් ද, එහි කර්තෘ ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා දඩුවම් ලැබීමෙන් අවසන් වූ නඩුවක් ගැන ඊයේ පෙරේදා වාර්ථා වූ නිසා ම නොවේ. නඩුවේ ප්‍රතිඵල පමණක් ගෙන විමසන්නේ නම් අපට සංවාදයකට යමක් ඉතිරි වන්නේ නැත. බොරු කාරයෙකු දඩුවම් ලබනු ඇත යන්න එයින් තහවුරු වන නිසා ය.

එහෙත් නඩුවේ ඉතිහාසය බැලූ විට පෙනී යන්නේ ඉහත කී නඩුව වසර 10 ක් පුරා අසනු ලැබූ බව ය. ඒසා කල් ගෙන නඩු යන්නට බොහෝ දෙනෙකුට බැරි නිසා බොරුව උසාවිය තුළින් අවසානයක් කරා ගෙන යෑම ලෙහෙසි පහසු කටයුත්තක් නොවන බව එයින් කියවෙන නිසා ම සංවාදය ඉදිරියට ගෙන යෑමට එයින් කොනක් පෑදෙන්නේ ය.

ඊට මෙහායින්, ඒ කියන්නේ නඩු මගට බැසීමට මෙහායින්, බොරුව සම්බන්ධයෙන් ගත හැකි පියවරක් තිබේ ද යන්න ගැන අප උනන්දු ය. උසාවියේ ඔප්පු කළොත් මිස බොරුව, බොරුවක් නොවී පවතිනු ඇද්ද?

දෙදෙනෙකු අතර සම්බන්ධයක පදනම විශ්වාසය ය. එය ඉතා ඈත අතීතයේ දී පවා සම්බන්ධයක පදනම ලෙස සැළකිණි. විශ්වාසා පරමා ඥාතී යන බුදු වදනෙන් ප්‍රකාශයට පත් වූයේ ද එය ය. එයින් පැහැදිලිව කියවෙන්නේ බොරුව ජය ගන්නේ, එය බොරුවක් බවට අනාවරණය වන තෙක් පමණක් බව ය. ඒ සඳහා එය උසාවියක ඔප්පු කිරිම අවශ්‍ය නැත. උසාවියක ඔප්පු කරන්නට අවශ්‍ය වන්නේ වන්දි ලබා ගැනීම පිණිස ය. එහෙත් විශ්වාසය බිඳීමට අවශ්‍ය වන්නේ බොරුව, බොරුවක් බව පෙනී යෑම පමණ ය.

එසේ නම් බොරුවක් කළ බවක් උසාවියකින් ඔප්පු වූ විට ඒ තැනැත්තා මිනිසුන් විසින් අත්හැර දමනු ලැබිය යුතු ය. එය එසේ ම වන්නේ නැති බව අපට නුදුරේදී පෙනී යෑමට නියමිත ය. අප අත්හැර දමන්නේ අපට බොරු කරන මිනිසුන් මිස රටට බොරු කරන මිනිසුන් නොවන බැවිනි.

මහ බොරුව මග හැරී යෑම

බොරු වාලම්පූරියක් විකුණා ලක්ෂ ගණනක් ලබා ගත් බොරු කාරයෙකු ද ඊයේ පෙරේදා පොලිස් අත්අඩංගුවට පත් විය. එහෙත් ඒ පත් වන තෙක් මාධ්‍ය විසින් ඇති කරන ලද අවකාෂය භාවිතා කරමින් ඔහු දිගින් දිගට ජනතාව මුලා කරමින් සිටියේ ය. කොහේවත් නැති වාලම්පූරියකට සාර සුබාවට සම්පත් මැවිය හැකි යයි කියමින් මෝඩ මිනිසුන් මුලා කර ඔහු සුව පහසු ජීවිතයක් ගත කළේ ය.

වඩා වැදගත් කාරණය නම්, අනාවරණය වූයේ ඔහු විසින් සමාජගත කළ මහ බොරුව නොව කුඩා බොරුව බව ය. මහ බොරුව වාලම්පූරියකට සෞභාග්‍යය ගෙනා හැකි බව ය. කුඩා බොරුව වාලම්පූරි කියමින් දී තිබූනේ සැබෑ වාලම්පූරි නොවී ප්ලාස්ටික් කෑල්ලක් වීම ය. මහ බොරුව සමාජය තුළ තවමත් පවතින්නේ ය. ඒ තුළ තව බොරු කාරයෙකුට මතු විය හැකි ඉඩ තිබෙන්නේ ය.

අඩු වශයෙන්, බොරු කාරයා අසුවීම හොඳ දෙයකි. එයින් පෙනෙන්නේ බොරුවේ පැවැත්ම කෙසේ වුවත් බොරුකාරයාගේ පැවැත්ම කෙටි කාලීන විය හැකි බව ය. ඒ බොරුකාරයෙකුට බොරු කිරීමේ සීමාවක් නැති නිසා ය. බොරුව ම ඔහුගේ ජීවිතය නිසා ය. හැම ගහටම කොට කෙට ගිය ද කෙහෙල් ගහට කෙටූ දවසට කොට්ටෝරුවාට ද කෙළ වෙන නිසා ය. එහෙත් ඒ කෙටි කාලය තුළ සියල්ල බොරුව හරහා අත් කර ගන්නට කෙනෙකුට හැකි ය. සම්බන්ධය බිඳ වැටුන ද අවශ්‍ය සියල්ල ඒ වන විට බොරු කාරයා විසින් ලබා ගෙන තිබේ. ඉස්තාලය වහන විට අශ්වයා පැන ගිහින් ය. බොහෝ විට බොරුව සාර්ථක යැයි කියන අය උදාහරණයට දක්වන්නේ මේ කාරණය ය.

පසුව හෝ බොරුවට දඩුවම් ලබා දිය හැකි ය. බොරුවෙන් ලබා ගත් සියල්ල නැවත ආපසු ලබා ගැනීමට උත්සහ දැරිය හැකි ය. අප ඉහත දැක්වූ මුල් නඩුවෙන් එක්තරා දුරකට සිදු ව ඇත්තේ එය ය. එහෙත් බොරුව රජයන සමාජයක එය පහසු නැත. නඩුව වසර 10 ක් ගියේ ඒ නිසා ය. මේ නඩුවේ ප්‍රතිඵලය කියා සිටින්නේ බොරුව නිරාවරණය කර ගැනීම දිගු කාලීන විය හැකි නමුත් එය කවදා හෝ ඉටුකර ගත හැකි බව ද? ඒ ගැන විමසන්නට තව කල් වැඩි ය. මේ නඩුවට විරුද්ධව අභියාචනා ඉදිරිපත් කරන බව දැනටමත් කියවෙන නිසා ය.

නඩුවක් ගිය නිසා ගරු විමල් වීරවංශ මන්ත්‍රීතුමා අහුවුනා මිසක මීටත් වඩා බොරු කියූ හා කියන දේශපාලනඥයෝ අදටත් කිසිදු උපද්‍රවයකින් තොරව ජීවත් වෙති. නිලධාරීන් ද එසේ ම ය. බලවත් බොරු කාරයන් බොහෝමයක් ද එසේ ය.

ඒ නිසා ම බොහෝ බොරුකාරයන් දඩුවම් ලැබෙන්නේ මේ ආත්ම භවයේ නොව ඊළග ආත්ම භවයේ දී විය හැකි තරමට බොරුව රජයන රටක තත්වය ඔඩු දුවා තිබෙන්නට පුළුවන. එයින් කියන්නේ බොරුව අනාවරණය වුව ද එහෙමට සිදු වන දෙයක් නැති බව ය. බොහෝ අවස්ථාවල දත් මිටි කා දරා ගන්නවා හැරෙන්නට කළ හැකි දේ අල්ප බව ය.

යුක්තිය ඉටු වීමේ පමාව

ලංකාවේ අපරාධ නඩු සම්බන්ධයෙන් චුදිතයන් දඩුවම් ලැබූ හා ලබන අවස්ථා අල්ප ය. එය සියයට 4 ත් 6 ත් අතර පසුගිය සමයේ දෝලනය වී තිබේ. එහෙම බැලුවහම උසාවියකින් බොරු කාරයන් දඩුවම් ලැබීමේ ඉඩ අතිශයින් අඩු ය.

ඊටත් අමතරව බොරුව රජයන සමාජයක බොරු කාරයන්ට සෙසු මිනිසුන් යටපත් කර ගත හැකි ය. බොරුව සත්‍යය ලෙස සමාජ ගත කරන්නට ද හැකි ය. බොරුවෙන් ලබා ගත් මුදල් භාවිතා කර මිනිසුන් නිහඩ කරන්නට හැකි ය. නැතිනම් සාක්කි ද සාක්කිකරුවන් ද අතුරුදහන් කරන්නට ද හැකි ය. භෞතිකව පමණක් නොව ආයතනිකව ද අතුරුදහන් කරන්නට හැකි ය.

එක බොරුකාරයෙකු ඉවත් කර සම්බන්ධ විය හැක්කේ තවත් බොරු කාරයෙකු සමග පමණක් නම් බොරුවට ඉඩ දී කම්පා වෙනවා හැරෙන්නට කළ හැකි යමක් ද මිනිසුන්ට නැත්තේ ය. එවැනි තැනක සිදු වනු ඇත්තේ අඩුම හානියක් ඇති කරන බොරුකාරයා තෝරාගැනීම ය. නැතිනම් වනගත වී භාවනා කරන්නට ය. නැතිනම් තවත් ආකාරයක බොරු කාරයෙකු බවට තමන් පත් වන්නට ය.

අවසාන නිගමනය බොරුව පරාජය කිරීම අපහසු බව ය. බොරුව, බොරුව ලෙස පෙනී ගිය කල ද ඊට තවදුරටත් යෝධ ශක්තියක් තිබිය හැකි බව ය. එය ලෙහෙසියෙන් පසු බැස නොයන බව ය.

මේ නිසා ඇතිවන ප්‍රතිඵල කෙබඳු වේ ද? බොරුව හා ඇත්ත අතර වෙනස හඳුනා ගැනීමට නොහැකි තරමට ව්‍යාකූලත්වයක් ඇති වීම ය. ඇත්ත නැත්ත ලෙසත්, නැත්ත ඇත්ත ලෙසත්, සමාජගත වීම ය. බොරුව රජයන සමාජය ඇතුළතින් හිස් වීම ය. කුහරයක් හැදීම ය. පහසුවෙන් කඩා වැටිය හැකි හුඹසක් බිහි වීම ය. මේ අර්බුදය නිසා වැඩි දිනක් නොගොහින් සියල්ල කඩා ගෙන වැටීම ය. බොරුව කඩා ගෙන නොවැටෙන තැනක මෙසේ කඩා ගෙන වැටෙන්නේ බොරුව රජයන සමස්ත සමාජයම ය.

ඒ නිසා ම කෙටිකාලීනව කෙසේ වෙතත්, දිගු කාලීනව, බොරුව පරදින්නේ ය. බොරුවට ගහන මුක්කු ද සමග එය කඩා වැටෙන්නේ ය. බොරුව දරා සිටින සමාජය සමගම එය කඩා වැටෙන්නේ ය. ඒ වන විට වෙන්න ඕන හරිය වෙලා ඉවර ය.

බොරුව කරන්නේ බොරුව සඳහා නොවේ. බොරුව, වංචාව හා දූෂණය සඳහා ය. ඒවා සැඟවීම සඳහා ය. ආයතන හා සමාජය කඩා වැටෙන්නේ බොරුවට වහං වී එන මේ දූෂණය හා වංචා නිසා ය. එ් දෙකේ නිවුන් සොහොයුරන් වන නාස්තිය හා අකටයුතු කම් නිසා ය. අසමත්ජාති වැඩ නිසා ය.

බොරුව සුජාතකරණය වීම

බොරුවක් නිරාවරණය සම්බන්ධයෙන් අපේ බලාපොරොත්තු බොහෝ ය. වැරදි කාරයා දඩුවම් ලැබීමෙන් අපේ අපේක්ෂා නිම නොවේ. අප සිතන්නේ ඒ තැනැත්තා සෙසු සමාජය විසින් ද හෙලා දකිනු ඇති බව ය. එය එසේ ම වනු ඇද්ද? ඉතිහාසය නම් කියන්නේ එය එසේ නොවන බව ය.

බොරුව ඇතැම් විට කරන්නේ තම කඳවුරේ ජයග්‍රහණය සඳහා ය. සමහරු ලජ්ජා නැතිව බොරු කියන්නේ රටින් නැතත් තම කඳවුරෙන් ඒ බොරුවට සමාව ලැබෙන නිසා ය. තමන්ගේ බොරුව ඇත්ත කිරීමට ද බොරුවට දඩුවම් ලැබුනද ඉන් ගලවා ගැනීමට කඳවුරේ මිනිසුන්ගේ උදව් ලැබෙන නිසා ය.

බොරු කළ කෙනෙකුගේ දඩ මුදල ගෙවන්නට ඉදිරිපත් වන ජනතාවක් රට තුළ ඉන්නේ නම් ද, ඒ මුදල් එකතු කර දීමට කැප වන නායකයන්, විශේෂයෙන් ආගමික නායකයන්, ඉන්නේ නම් ද, එහෙම සමාජයක බොරු පැලපදියම් වීම අරුමයක් ද? බොරු කීම තවදුරටත් ලජ්ජාවක් නොවී තිබීම අරුමයක් ද?

බොරුවට ඉඩ නැති සමාජයක මේ තත්වය වෙනස් ය. බොරුව අනාවරණය වූ වහාම එහි කර්තෘවරු කඩා වැටෙන්නා හ. ඔවුහු ඉක්මණින් දඩුවම් ලැබීමට ලක්වන්නෝ ය. ඇතැම් සමාජවල ඔවුහු මුළුමණින් පිටමං කරනු ලබන්නා හ. ඒ සඳහා බොරුව කී කළ තැනැත්තා තමන්ගේ කඳවුරේ ද නැද්ද යන්න කොහෙත්ම අදාළ වන්නේ නැත.

බොරුව බැහැර කළ හැක්කේ කරන හැම දෙයක්ම පාරදෘෂ්‍යව සිදු කිරීමෙනි. සියලු පාර්ශවකරුවන්ට ආයතනයේ සිදු වන දේ පැහැදිලිව දැක ගත හැකි ක්‍රමවේදයන් සකස් කිරීමෙනි.

තොරතුරු දැන ගැනීමේ පනත මේ සම්බන්ධයෙන් අප රට ලද සාධනීය මෙවලමකි. ඒ එය නිසි ලෙස ක්‍රියාත්මක වෙතොත් ය. ආයතනයන් සතුව, ජනතාවට ලබා දිය හැකි, ප්‍රතිපත්ති තීන්දු ගැනීම සඳහා භාවිතා කළ හැකි, විශ්වාසනීය තොරතුරු තිබේ නම් ය. පනතකින් නොනැවතී ජාතික තොරතුරු පද්ධතියක් නිර්මාණය කිරීම, ඒ සම්බන්ධයෙන් ගත හැකි ඊළග පියවර විය හැකි ය. එ් තුළ තොරතුරුවල විශ්වාසනීයත්වය තහවුරු කර ගැනීමේ උපායන් ද ඇතුළත් කළ හැකි ය. එවැනි තොරතුරු පද්ධතියක, උදාහරණයක් ලෙස, එක් එක් පුද්ගලයා විසින් කරන ලද වැරදි සහ ඒ සම්බන්ධයෙන් ඔවුන් ලද දඩුවම්, නිරතුරුවම යාවත් කාලීන කරමින් තිබිය යුතු ය. ඒ තැනැත්තා ඡන්දය ඉල්ලන්නේ නම් හෝ රාජ්‍ය සේවයේ ඉහළ තනතුරකට ඉල්ලුම් කරන්නේ නම් මහජනයාගේ දැන ගැනීම සඳහා ඒ තොරතුරු ප්‍රසිද්ධ කළ හැකි ය.

විචාරයක අවශ්‍යතාවය

බොරු කාරයෙකුට කියූ බොරුව මතකයේ තබා ගැනීමට අමතර උත්සහයක් දරන්නට සිදු වේ. ඇත්ත කියන කිසිවෙකුට ඒ අපහසුව නැත. එහෙත් බහුතරයක් මිනිසුන්ට මතක තිබෙන්නේ සති දෙකක කාලයක් පමණක් නම් බොරුව සති දෙකක් අල්ලාගෙන සිටියහම ඇති ය. මේ නිසා ඇතැම් විට සිදු වන්නේ එක් බොරුවක සිට තව බොරුවකට මාරු වීම ය. ඒ සංක්‍රාන්ති සමය තුළ පළමු බොරුව අමතක කර දැමීම ය. දෙවැනි බොරුව උඩ දමා පළමු බොරුව යටපත් කර දැමීම ය (අප කලින් ඡේදයේ සඳහන් කළ ආකාරයේ ජාතික තොරතුරු පද්ධතියක් තිබේ නම් මේ කටයුත්ත පහසු වන්නේ නැත).

රටකට පමණක් නොව ආයතනයකට ද විචාරකයන් වඩාත් අවශ්‍ය ඒ නිසා ය. බොරුව ප්‍රශ්න කරන මිනිසුන් අවශ්‍ය වන්නේ ඒ නිසා ය. අතීතයෙන් නිරතුරුව ඉගෙන ගත යුත්තේ ඒ නිසා ය. ඉතිහාසය නැවත නැවතත් ඉගෙනීම සඳහා ආවර්ජනය කළ යුත්තේ ඒ නිසා ය.

ඒ අර්ථයෙන් මාධ්‍යවලට එරෙහිව සිවිල් සංවිධාන ගණනාවක් විසින් කළ අමුතුම තාලයේ විරෝධයේ අති විශාල වැදගත් කමක් තිබේ. බොරුව සමාජගත කරන්නේ වැඩි පුර ම මාධ්‍ය අනුග්‍රහය ඇති ව ය. බොහෝ මාධ්‍ය එක් පැත්තක් කියන කතාව පමණක් ජනයාට අසන්නට සලස්වා ජනයාගේ ඇස් වලට වැලි ගැසිමේ ක්‍රියාවක නිරත ව සිටින්නේ ය.

විවාරයක් නැතිව ම, තමන් කඩේ යන පාර්ශවයට පමණක් අවස්ථාව දෙමින්, කරන මේ විකාරයට සක්‍රීය ජනතා නියෝජනයක් විරුද්ධ වීම තුළ පෙනෙන්නේ බොරුව දරා ගැනීමට ලාංකීය සමාජය තවදුරටත් සූදානම් නැති බව ය. මේ විරෝධයට එක් ව සිටි බොහෝ කලාකරුවන් ඉදිරියට ආවේ තමන් මාධ්‍යවලින් කැපී යන බව දැන ගෙන ය. කලාකරුවෙකුට ජනප්‍රිය ව ඉඳීම ඔහුගේ හෝ ඇයගේ වෘත්තීය සාර්ථකත්වයට අතිශයින් වැදගත් ය. එසේ තිබිය දී මේ දැක්වූ විරෝධයට, ඒ තුළ ඔවුන් ප්‍රදර්ශනය කළ කැප කිරීමට, ජනතා ප්‍රණාමය ඔවුන්ට හිමි විය යුතු ය. ඔවුන් කියා සිටියේ එක් දෙයකි. බොරුව සමාජ ගත නොකරන ලෙස ය. සෑම පැත්තක්ම ජනතාවට දක්වන ලෙස ය. තීරණය ගැනීම ජනතාවට බාර දී ප්‍රවෘත්ති කීම පමණක් කරන ලෙස ය.

එහෙත් සිද්ධ වුනේ ඒ විරෝධකරුවන්ට ද ඇතැම් මාධ්‍ය ආයතන විසින් බොරුවෙන් ම ප්‍රහාර එල්ල කිරීම ය. ඔවුන් කරන්නේ තවත් කෙනෙකුට කඩේ යෑමක් යැයි කියා පෑම ය. ඔවුන් කහින්නේ ඩොලර් වලට බව කියා පෑම ය. ඔවුන්ගේ පසුගිය ක්‍රියාකලාපය විමසන කළ ඔවුන් එහෙම කරන අය වග නම් පෙනෙන්නේ නැත. එහෙත් ඒ බොරුව දිගින් දිගට ම කීමෙන් සමාජ ගත කරන්නට මාධ්‍ය වල ආධිපත්‍ය තියන අයට හැකි ය.

ශ්‍යාම් වැනි කලාකරුවන්, තමන් සේවය කරන මාධ්‍ය ආයතන විසින්, සිය සහෝදර කලාකරුවන්ට එල්ල කරන මේ අසාධාරණ විවේචනයන් හෙලා දකිමින්, තමන්ගේ රැකියාවලින් ඉවත් වීම ද බොරුවට එරෙහි අරගලයේ වැදගත් සන්ධිස්ථානයක් සළකුණු කරන්නේ ය. බොරුවට එරෙහි අරගලය ඉදිරියට යන ප්‍රමාණයට රට ද ඉදිරියට යනු ඇත්තේ ය.

සමාජ ජාලා අවකාශය ද බොරුව වපුරන තැනක් වුව ද අවසානයේ නිල ජනමාධ්‍ය මගින් ප්‍රචාරණය කරන බොරුවට යම් හෝ පිළිතුරක් ලැබෙන්නේ ඒ හරහා ය. පාරදෘෂ්‍ය භාවය වැඩි වී තිබෙන්නේ ඒවා නිසා ය. නිල මාධ්‍ය පල නොකරන තොරතුරු පල කරමින් ජනතාවට යම් ප්‍රමාණයක ඇත්තක් දැක ගන්නට ලැබෙන්නේ ඒ නිසා ය.

අප ප්‍රවේසම් වෙතොත්, බොරුවෙන් ඇත්ත වෙන් කර ගෙන, රටේ බොරුවට එරෙහිව හඩක් නැගීමේ ශාක්‍යතාවය ඒවා තුළ තිබේ. ඒ සමාජ ජාලා තුළ ඇතැම් විට නිදහසේ සංසරණය වන බොරුව ද අනාවරණය කරන්නට අපට කැප විය හැකි නම් ය. ඒ සඳහා වන වගකීමට පුද්ගලිකව ද උරදිය හැකි නම් ය.

පැත්තක් ගියත් ඇත්ත කියනවා ද පැත්ත වෙනුවෙන් බොරු කියනවා ද?

1002_31122018_frr

පැත්තක් ගියත් ඇත්ත කියන එක හොඳ ය. සමහරු හිතන්නේ එහෙම ය. එයට හේතුව ඇත්ත කොච්චර තිත්ත වුව ද අපට නිවැරදි අස්ථානයක් ගැනීමට ඒ නිසා හැකි වන නිසා ය.

මගේ පැත්තක් ගියත් ඇත්ත කියන මා පවා අපේ පැත්තට අවාසියක් වෙනවා නම් ඇත්ත සැගවීමට හෝ බොරු කීමට ඉදිරිපත් වන්නට ඉඩ තිබේ. එසේ වීම වරදක් හැටියට අප බොහෝ දෙනෙකු දකින්නේ නැත.

වෙනත් විදිහකට කියනවා නම් මගේ වාසියට බොරුවක් කීම අපුල දැනවිය හැකි වුව ද අපේ අය වෙනුවෙන් මා බොරුවක් කීම සළකනු ලබන්නේ මා කළ ධීර වීර ක්‍රියාවක් ලෙස ය. ඒ අර්ථයෙන් ම තවත් පියවරක් ඉදිරියට තැබූ විට මා එසේ නොකළේ නම් එසේ නොකිරීම කණ්ඩායමට එරෙහිව කරන ද්‍රෝහී කමක් වන්නේ ය. ඒ පළමුවැන්න ආත්මාර්ථකාමී වන විට දෙවැන්න පරාර්ථකාමී වීම නිසා ය. මට වාසියක් ලබා ගැනීම පිළිකුල් සහගත වුව ද අපට වාසියක් ලබා ගැනීම අපේ කණ්ඩායම තුළ අතිශය ප්‍රසන්න කරුණක් වන්නේ ය.

පොහොට්ටුවේ සමාජිකත්වය ගැනීම නිසා මන්ත්‍රී පදවිය අහිමි වෙතැයි ආරංචියට පොහොට්ටුවේ සමාජිකයන් දැක් වූ ප්‍රතිචාරය තුළ අප දුටුවේ මේ කතාව ය. පොහොට්ටුවේ පිළිසරණ අනාගතයේ පැතීමට ඉන්නා ශ්‍රී ල නි ප සමාජිකයන් ද දැරුවේ ඊට සමාන අස්ථානයකි. වෙන එකක් තබා ලැබුණු පළමු මොහොතේ ම ශ්‍රී ල නි පයට කොකා පෙන්නා පොහොට්ටුවේ සමාජිකත්වය ගත් අයට ඔවුන් තවමත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකයන් බවට ලිඛිත සහතික දෙන්නට ද ශ්‍රීලනිපය සූදානම් ය.

පාර්ලිමේන්තුව විසුරවූ වහා ම මහමැතිවරණයක් පැවැත්විමට නියමිත වූ නිසා ලහිලහියේ සිදු වූ මේ පක්ෂ මාරුව පාර්ලිමේන්තුව විසිරුවීම අවලංගු කරමින් දුන් ශ්‍රේෂ්ඨාධිකරණ තින්දුව නිසා හබක් වුනේ ය.

එදා ආඩම්බරයෙන් ප්‍රසිද්ධියේ සිදු කළ කටයුත්ත දැන් ලජ්ජාවෙන් සගවා ගන්නට සිදු ව ඇති දෙයක් බවට පත් ව තිබේ. ඒ සිදු කළ පක්ෂ මාරුවට තමන්ට අයත් සෑම සන්නිවේදන ක්‍රමයක් භාවිතා කොට ප්‍රසිද්ධියක් දුන් අය දැන් ඒ සමාජ ජාලා සටහන් ද විනාශ කරමින් ඇත්ත සගවමින් සිටින්නෝ ය.

දැන් ඔවුන් කියන්නේ එහැම පිටින් වෙනස් කතාවකි. ඒ කතාවට අනුව ඔවුන් ඉල්ලුම් පත් දැම්මා පමණකි. තවම ඒවා පිළිගෙන සාමාජිකත්වය පිරිනමා නැත. ඒ සඳහා විවිධ බොරු ඉදිරිපත් කෙරේ. එක බොරුවක් වසන්නට කප්පරක් බොරු කියන්නට සිදු ව තිබේ.

තමන්ගේ පැත්තට විරුද්ධ වීම ද්‍රෝහී කමක් නිසා එවන් අවස්ථාවක ඇත්ත කීම ද සළකනු ලබන්නේ ද්‍රෝහී කමක් හැටියට ය. ඒ නිසා තමන්ගේ පැත්තේ කෙනෙකු ඇත්ත නොසැගවීම සම්බන්ධයෙන් ද බොරු නොකීම සම්බන්ධයෙන් ද පොහොට්ටුවට හිතැත්තෝ කිපෙනු ඇත්තේ ය.

අවාසනාව සමහරුන්ට බොරු කියන්නට අමාරු වීම ය. එහෙම අය කියන්නේ පක්ෂ සාමාජිකත්වය ගත් බවට සාක්ෂි නැති බව ය. ලිඛිත ලියකියවිලි නැති බව ය. ඒ කියන්නේ ඔවුන් පක්ෂ සාමාජිකත්වය ලබා ගත් බව ප්‍රතික්ෂේප නොකරන මුත් එය ඔප්පු කරන්නට නොහැකි යැයි කියමින් තමන් එහෙමකට බොරුවක් නොකියන බව පෙන්විම ය. එහෙම පෙන්වන අතරේ තමන්ගේ පැත්ත ආරක්ෂා කිරිමට ද කටයුතු කිරිමට ය. ඔවුන්ට සමාවක් ලැබෙන එකක් නැත. හේතුව ඒ ප්‍රකාශය තුළ පක්ෂ සාමාජිකත්වය ගත් බව ප්‍රතික්ෂේප නොවන නිසා  ය. ඔවුන් එසේ කරන්නේ රෙදි ඇඳගෙන සාමාජිකත්වය නොගත් බව කිව නොහැකි නිසා විය හැකි ය. එහෙත් ස්වකිය පැත්ත වෙනුවෙන් රෙදි ගලවන්නට නොහැකි වීම ද්‍රෝහී කමක් වෙනවා ඇත.

පොහොට්ටුවේ කලබැගෑනිය මෑතක දී  සිදු වූ නිසා මේ කතාවට විෂය කර ගත්තා පමණකි. මේ අප කතා කරන්නේ පොහොට්ටුවට පමණක් ආවේනික ප්‍රශ්නයක් ම නොවේ. පොදුවේ අපේ සිතුවිලිවල හා චර්යාවේ ගැටළුවක් පිළිබඳව ය.

බොරු කීම ආඩම්බරයක් වීම

ඒ බොරු කිම නැමැති දුර්ගුණය අපේ පාර්ශවය රැකීමට භාවිතයේ දී සාධු ගුණයක් බවට පෙරලීමේ ගැටළුව ය. එය ලජ්ජාවට නොව ආඩම්බර වීමට හේතුවක් විමේ ගැටළුවය.

බොරුකීම පස්පව් වලින් එකකි. එය දිනපතා මල් පහන් පිදීමෙන් අනතුරුව දෙයියන් බුදුන් ඉදිරියේ අප නොකරන බවට දිවුරා පොරොන්දු වන චර්යාවන්ගෙන් එකකි. එසේ තිබිය දී මේ සිලය අප විසින් කිසිදු හිරිකිතයක් නැතුව බිඳ දමන්නේ කෙසේ ද? ඒ සීලය රැකීම දුර්ගුණයක් (ද්‍රෝහි වීමක්)  ලෙස සළකා එසේ කරන මිනිසුන්ට කුණු බැණුම් එල්ල කරන්නේ කෙසේ ද?

මේ ප්‍රකට කරන්නේ කන්න ඕනෑ වූ විට කබර ගොයා තලගොයා කර ගැනීමේ  න්‍යාය ද? අවසානය නිවැරදි නම් ඒ සඳහා යන මාර්ගය කුමක් වුව ද කමක් නැතැයි කීමේ න්‍යාය ද? ගහල හරි  මරල හරි ගන්න තිබුණා යැයි කියන විට අදහස් කරනු ලබන කතාව ම ද?

මේ සියල්ලෙන් එකක් පැහැදිලි ය. අප, අපේ කණ්ඩායම වෙනුවෙන්, අපේ ආත්මය පාවා දෙන්නට සූදානම් බව ය. බොරු කියන්නට සූදානම් බව ය. වැරදි වැඩ කරන්නට සූදානම් බව ය. නිරුවත් වෙන්නට සූදානම් බව ය. කිච වෙන්නට සූදානම් බව ය. අපායේ යන්නට වුව සූදානම් බව ය.

එවැනි කණ්ඩායම් හැගීමක් ඇති ජාතියක් මේ තරම් නොදියුණු මට්ටමක සිටින්නේ කෙසේ ද? ප්‍රශ්නය තිබෙන්නේ කණ්ඩායම් හැගීමේ නොවේ. ඒ හැගීම විසින් තමන් කෙළෙසීමේ ය. ඊට අමතරව මේ ප්‍රබල කණ්ඩායම් හැගීම තුළ තිබෙන අතිශය දරුණු ස්වාර්ථයේ ය. තමන් කෙළෙසා ගෙන හෝ ලබන ස්වාර්ථයේ ය.

ඒ කුමන ස්වාර්ථයක් ද? අපේ කණ්ඩායමට ජය ලැබේ නම් ඉන් මට ද වාසියක් අත් වෙනවාය කියන ස්වාර්ථය ය. අනෙක් කණ්ඩායම් පාගා දමා හෝ අපේ කණ්ඩායමට වැඩි වාසියක් ගැනීම තුළ ඒ වැඩි වාසියේ කොටස මට ද අත් විම තුළ ය.

මේ තුළ තිබෙන්නේ තනියම නැගිටීමට අපොහොසත් අතිශය දුර්වල මිනිසෙකුගේ මනෝභාවය ය. එහෙමකට නිපුණත්වයක් නැති, එහෙමකට හයියක් නැති, අසරණ නැති බැරි මිනිසෙකුගේ මනෝභාවය ය. එවන්නෙකුට එහෙමට ආත්මයක් නැත. රැක ගත යුතු හර පද්ධතියක් නැත. පුද්ගලික අභිමානයක් නැත. ඒ නිසා තම අභිවෘද්ධිය උදෙසා ඒ වෙනුවෙන් තම කණ්ඩායම දිනවිම උදෙසා කිච වෙන්නට ලජ්ජාවක් ඔහුට නැත.

ඔහු මිරිස් කුඩු වලින් සිය සගයින්ට සංග්‍රහ කරන්නේ ඒ නිසා ය. දෙනෝ දාහක් බලා සිටිය දී මහජන දේපල කඩා බිඳ දමන්නේ ඒ නිසා ය. අප විසින් වන්දනා මාන කරනු ලබන පොත් විරුද්ධවාදින්ට පහර දිමට ඔහු විසින් හිරිකිතයක් නැතිව යොදා ගන්නේ ඒ නිසා ය. ලියුම් විවර කරන්න ගන්නා මෙවලම් ආයුධ බවට පත් කර ගන්නේ ඒ නිසා ය. ඒ සියල්ල අපි පහුගියදා පාර්ලිමේන්තුවේ දී ඇසින් දුටුවෙමු.

එහෙත් මේ දර්ශන දැකීමෙන් තම කඳවුරට අයත් මිනිසුන්ට එහෙමකට ලජ්ජාවක් දැනුනේ නැත. නැත, ඒ ඔවුන්ගේ වීරයන් ය. තම කණ්ඩායම වෙනුවෙන් සටන් වදින විරුවන් ය.

එහෙම ලජ්ජාවක් ඇති වෙනවා නම් මේ රංගනයට සහභාගී වූවන් මීට වඩා පරීක්ෂාකාරී වනවා නොඅනුමාන ය. තමන්ගේ අවිචාර හැසිරීමෙන් එහෙමකට ලජ්ජාවක් සිය ගෝලබාලයන්ට ඇති නොවන බව පමණක් නොව, උන් බොහෝ දෙනා එයින් මුසපත් ව, තමන්ව වන්දනා මාන කරන බව ද ඔවුහු දනිති. ඔවුන් වැඩ පෙන්නුවේ ඒ රූප රාමු තවත් කාලයකට මිනිසුන් අතර සැරිසරන බව නොදැන නොවේ. හොඳින් දැන ය. අප වඩාත් කම්පනය කරන්නේ ඒ යථාර්ථය ය.

අප වෙනුවෙන් අපි

1983 ජූලි මාසයේ හමුදා සෙබළුන් 13 ක් මරා දැමීමෙන් පසුව ඒ වාඩුව ගැනිමට කොළඹ කිසිදු සම්බන්ධයක් නැති අහිංසක නිරායුධ දෙමළ මිනිසුන්ට එල්ල කළ තිරශ්චීන ප්‍රහාරයේ දී දක්නට ලැබුණේ ද ඒ විලි ලජ්ජා නැති මෘග වීරත්වය ය.

අහිංසක මිනිසුන් මරා දැමූ ප්‍රභාකරන්ට ද මේ ලජ්ජාව තිබුණේ නැත. සිය නිහීන අපරාධ සම්බන්ධයෙන් ඔහුට ලජ්ජාවක් නොතිබුණා පමණක් නොව එය වඩාත් දරුණු ලෙස සිදු කර ඒ දර්ශණ ලෝකයට බෙදා හැරීමට ද ඔහු කටයුතු කළේ ය. ඔහු සිය අනුගාමිකයන් තුළ වීරයෙකු වූයේ එසේ ය. එල්ටීටීයේ දේශපාලනය වෙනුවෙන් කඩේ ගිය දෙමළ ජාතිකයන්ට ද මේ අපරාධ නිසා තමන් ලෝකය ඉදිරියේ කිච වෙතැයි හැගීමක් නොවී ය. එල්ටීටීඊ කොඩිය වැනීම ඔවුන්ට ඒ නිසා ලජ්ජා වන්නට කාරණයක් නොවී ය. එල්ටීටීඊ නොවන තමන්ගේ ජාතිකයන් එල්ටීටීඊය විසින් මරා දමනු ලබන විට පවා මේ නිර්ලජ්ජිත විරත්වය ගමන් කරමින් ඇත්තේ කොතැනට දැයි ඔවුන්ට තේරුනේ නැත.

88-89 සමයේ තම අණ නොතකා ගෙවල්වල විදුලි බුබුළු දැල්වූ අහිංසක මිනිසුන් මරා දැමූ දකුණේ පුංචි ආණ්ඩුවට ද දේශප්‍රේමී ජනතා ව්‍යාපාරයට ද ඒ නම ඉදිරියට දමා එම කටයුතු මෙහෙයවූ ජනතා විමුක්ති පෙරමුණට ද ඒ අහිංසකයන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් විලි ලජ්ජාවක් තිබුනේ නැත.

ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදහන් කරන විට ඔහු කොටියෙකු කර එම අතුරුදහන් වීම සාධාරණය කිරීම පිටුපස ද ලසන්ත වික්‍රමතුංගගේ මරණය මිග් ගනුදෙනු ගැන කතා කරමින් යුද රහස් එලි කිරීම යන වැරැද්දට ලඝු කොට සාධාරණීකරණය කිරීම පිටුපස ද තිබුනේ දකුණේ මිනිසුන් ප්‍රදර්ශනය කළ නිර්ලජ්ජිත වීරත්වය ය. මෘගත්වය ය.

අලුත්ගම හා බේරුවල ද දිගන හා අම්පාරේ ද මුස්ලිම් මිනිසුන්ට එරෙහිව හිංසනය ක්‍රියාත්මක කරන විට ද තිබුනේ  ඒ විලි ලජ්ජා නැති වීරත්වය  ය.

අපේ පැත්තේ මිනිසුනට එරෙහිව අනිත් පැත්තෙන් මේ වීරත්වය ප්‍රදර්ශනය කරන විට කෝපයෙන් වෙව්ලා යන අපේ මිනිසුන්, අනිත් පැත්තට මේ වීරත්වය තමන් විසින් ප්‍රදර්ශනය කරන්නේ මහා උජාරවකින් වුව, සියළු ඇඳුම් ගලවා හෙලුවෙන් ය. ලෝකය ඉදිරියේ පීචං වෙලා ය.

අපි බුදුබණට හීලෑ යක්කු බොලව් කිව්වාට මේ යක්කු දන්නා ආගමක් නැත. හීලෑ යයි කියන්නේ බොරුවට ය. ඒ කියමන තුළ ම කඩා දමා තිබෙන්නෙ මුසාවාදා වේරමණී යන සිව්වෙනි පන්සිල් පදය ය. බුද්ධාගමට මේ යකුන්ගේ යම් නෑකමක් ඇත්නම් ඒ ඔසවන කොඩියේ ය. නැතිනම් මතුරන, එහෙත් අනුගමනය නොකරණ, තිසරණ සහිත, නොතේරෙන පාලියෙන් ගන්නා, පන්සිල් වල ය. නැතිනම් අතේ බැඳ ගෙන ඉන්නා පිරිත් නූලේ ය. ඒ සුකුරුත්තම් වලට ඔබ්බේ කිසිවක් නැත. උන්ගේ ප්‍රකාශ තුළ තියෙන්නේ තම කඳවුර වෙනුවෙන් ප්‍රදර්ශනය කෙරෙන නග්න මෘගත්වය ය.

ලජ්ජා නහරය කපා ගැනීම

ජනාධිපති පදවිය අහෝසි කරන බවට දහ අතේ පොරොන්දු දී බලයට පැමිණ එසේ නොකර මග හැරි දුසිම් බාගයක් පමණ වූ ජනාධිපතිවරුන්ට ද එසේ මග හැරිම සම්බන්ධයෙන් හිරිකිතයක් තිබුනේ නැත. ඒ අය බොහෝ දෙනෙකු බැලුවේ තවත් දවසක්, තවත් වාරයක්, වැඩිපුර ඉන්නට ය. අවසානයේ දෙවරකට සීමා වි තිබුණු ජනපති විමේ වරම ඕනෑම වරකට ලබා ගත හැකි ලෙස විලිලජ්ජා නැතිව වෙනස් කර ගත්තේ එසේ පොරොන්දු දී බලයට පැමිණි සෙට් එකේ එක් කෙනෙකි. ඒ සඳහා තුනෙන් දෙකක චන්දයක් ලබා දී දායකත්වය ලබා දුන් මන්ත්‍රීවරුන්ට ද විලිලජ්ජාවක් තිබුනේ නැත. ඒ අතරේ තම පක්ෂයේ නම ලෙස ප්‍රජාතන්ත්‍රවාදය යන වචනය ද යෙදූ ඒ වෙනුවෙන් කැප වෙන බවට පුරසාරම් දෙඩූ ඊනියා විප්ලවවාදී පක්ෂවල නායකකාරකාදීන් ද සිටියෝ ය. ඒ වෙනුවෙන් ම පිල් මාරු කර ගත් අය, අදට ද, ලජ්ජා නැති ඒ සමාන මිනිසුන්ගේ චන්දයේ පිහිටෙන් බලයට පත් ව, තවමත් දියවන්නාව අසල පච මන්දිරයේ සුපුරුදු කරණම් ගසමින් සිටිති.

සියළු අපරාධ, මැරකම්, චණ්ඩිකම්, පමණක් නොව බොරුව හා වංචාව ද, කරනුයේ තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් නිසා එහෙමකට ලජ්ජා වන්නට දෙයක් නැතැයි යන සිතුවිල්ල අප විසින් ප්‍රශ්න නොකරන තාක් මේ විගඩම් දිගින් දිගට බැලීමට අපට සිදු වනු ඇත්තේ ය. ඒ වීරත්වය තුළ ඇත්තේ ස්වාර්ථය පමණක් බව, කණ්ඩායම දිනවීමෙන් අප පතන්නේ අපේම ස්වාර්ථය බව, පිළිගෙන මේ වීරත්වයේ හා ඊනියා පරාර්ථයේ සළු පිළි ගලවන තුරු අපට මින් ගැලවීමක් නැත.

ගෙදර නම්බුව රැකීම හොඳ දෙයකි. එහෙත් ඒ සඳහා හැම රාත්‍රියකම බිරිඳට බැණ වදින්නට අඩම්තේට්ටම් කරන්නට සිදු වේ නම් ඒ නම්බුවෙන් වැඩක් නැත.

ප්‍රජාතන්ත්‍රවාදය රැකීම හොඳ දෙයකි. එහෙත් ඒ සඳහා පිහි ලෙලවන්නට සිදුවන්නේ නම්, චණ්ඩිකම් කරන්නට සිදු වේ නම්, ඒ රකින ප්‍රජාතන්ත්‍රවාදයෙන් ද වැඩක් වන්නේ නැත.

රට රැකීම ද හොඳ දෙයකි. එහෙත් ඒ සඳහා බොරු කීමට අප කිසිවෙකුට ලයිසන් නොදිය යුතු ය. ඒ උදෙසා හොරකම්  කිරීමට වංචා කිරිමට අප අසංවේදී නොවිය යුතු ය. ඒ උදෙසා මැරකමට ජඩකමට ඉඩ නොදිය යුතු ය. අවසානය මෙන්ම ඒ සඳහා යන මාර්ගය ද අපට වැදගත් බව කිව යුතු ය. අප රකින රට බොරුවේ ද්වීපය නොවිය යුතු ය. මැරකමේ දේශය නොවිය යුතු ය. ලොව හිනස්සන රට බවට පත් නොවිය යුතු ය. ලෝකයෙන් අපවාද ලබන රටක් බවට පත් නොවිය යුතු ය. අවසානයේ අපට ඉතිරි වන්නේ ඒ සියල්ල සහිත රටක් නම් ඒ රටෙන් අපට වැඩක් වන එකක් නැත.

අප දැන් බුදුන්ගේ දේශය යැයි කියමින් නාමිකව ඔජ වඩන රට සැබෑ බුදුන්ගේ දේශයක් වනුයේ අප අපේ ම කඳවුරු තුළ ඇති මේ බොරුවට, වංචාවට, මැරකමට විරුද්ධව කටයුතු කරන්නට ඉදිරිපත් වන දාක ය. එතෙක් ඒ රට බුදුන්ට ද ගෙන එනු ඇත්තේ අපහාසය හා උපහාසය පමණකි. නින්දාව පමණකි. බුදුන්ගේ දේශය කියන බෝඩ් ලෑල්ලක ඇත්තේ ඒ සඳහා යෙදවූ ලෑලි වල වටිනාකම විතර ය. බුදුන්ගේ දේශය කුමක් දැයි ඒ දේශයේ මිනිසුන්ගේ හැසිරීම තුළින්, උන් කියන කර දේ තුළින්, ප්‍රදර්ශනය විය යුතු ය. වටිනාකම ගොඩ නැගිය යුත්තේ ඒ චර්යාව හා වැඩපිළිවෙල හරහා ය. අප ඉටා ගත යුත්තේ මේ බුදුන්ගේ දේශය යැයි ලොවට ආඩම්බරයෙන් කිව හැකි දේශයක් ගොඩ නැගීමට ය.

එය බුදුන්ගේ දේශය ලෙස ලොව බහුමානයට ලක් විමට එවිට බෝඩ්වල පිහිට අවශ්‍ය වන එකක් නැත. ස්ටිකර් අලවා ගෙන වාහන කැත කර ගන්නට වුවමනා වන එකක් නැත. අප වෙහෙස විය යුත්තේ ඒ දවස උදාකර ගැනීමට ය. එය ස්ටිකරයක් අලවන තරම්, බෝඩ් ලෑල්ලක් අටවාගන්නා තරම්, පහසු නැති බව ඇත්ත ය. එහෙත් කළ යුත්තේ ඒ අමාරු කාර්යයට කැප වීම ය. ඒ සඳහා ප්‍රතිපත්තිමය තීන්දුවක් ගැනීම ය. තමන්ගේ පිලේ අය හදා ගැනීම, අන් පිලේ මිනිසුන් හදා ගැනීමට වඩා, එසේත් නැත්නම්, අඩුම වශයෙන් ඒ තරමට ම වත්, වැදගත් බව ඒත්තු ගැනීම ය.