ජන සභා – මැජික් විසඳුමක් ද? බියකරු සෙවනැල්ලක් ද? ‌

ජන සභා ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ද?

පාර්ලිමේන්තුවට ජනතාව විසින් ම පත් කළ නියෝජිතයන් පිස්සු කෙළින නිසා ජනතාවට ඒ බලය කෙළින්ම ලබා දිය යුතු බවට සංවාදයක් මතු ව තිබේ. හරි හමන් නියෝජිතයෙකු පත් කර ගන්නට නොහැකි ජනතාවක් තමන් විසින් ම තීන්දු ගැනීමේ දී නිවැරදි තීන්දු ගන්නේ කෙසේ දැයි යන මූලික ප්‍රශ්නය මොහොතකට පැත්තකින් තබා සිදු විය හැකි දේ කුමක් ද යන්න දෙස බලමු.

පළමුව ජන සභාවක දී බාහු බලය වාග් බලය හා බහුතර බලය යන සාධක තර්ක විතර්ක කරුණු අභිබවා යන්නට ඉඩ තිබීම ය. හැගීම් වලට යටත් වී තීන්දු තීරණ ගැනීමට ඉඩ තිබීම ය. දිගුකාලීන ප්‍රතිඵල ගැන ප්‍රමාණවත් අවධානයක් නොකොට ක්ෂණික වුවමනාවන් සාක්ෂාත් කර ගන්නට යොමු වීමට ඉඩ තිබීම ය. පහුගිය දවස්වල ඇතැම් තැනක සිදු වුනා සේ ගමේ පිරවුම් හලේ ඉන්ධන නිකුත් කිරීමේ දී ප්‍රමුඛතාවය හිමි විය යුත්තේ ගමේ මිනිසුන්ට බව තීරණය කරන්නට ඉඩ තිබීම ය.

දෙවැන්න සුළුතරයකගේ වුවමනා එපාකම් පසෙකට ලා බහුතරයේ හැගීම් හා වුවමනාවන්ට යටත් වීමට ඉඩ තිබීම ය. උදාහරණයක් ලෙස රෝගීන්ගේ දරුවන්ගේ නින්දක් ලැබීමේ අයිතිය පසෙකලා බහුතරය කැමති (අඩුවශයෙන් ඔවුන් එලිපිට විරුද්ධ නොවන) පිරිත් ඇසීමට රෑ පුරා ඉඩ දීමට සිදු වීම ය. සරසවිය තුළ ද අද ද සිදු වන වාක් මෙන් පළමු වසරේ ජේෂ්ඨ උත්තමයන් නියම කරන ඇඳුමකින් සැරසී සිටිමට නවන සිසුන්ට තවත් බොහෝ තැන්වල ද සිදුවන්නට ඉඩ තිබීම ය.

තෙවැන්න පුද්ගල වුවමනාවන් පසෙකලා බහුතර වුවමනා එපා කම් වලට මුල් තැන දීමට සිදු වීම ය. මා කළ යුත්තේ කුමක්  ද නොකළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ තීරක බලය මගෙන් ඉවත් කොට කණ්ඩායම සතු කරගන්නට ඉඩ තිබීම ය. උදාහරණයක් ලෙස මා බඩු ගත යුත්තේ කුමන කඩ වලින් ද වර්ජනය කළ යුත්තේ කුමන කඩ ද යන තීරණය පහුගිය කාලයේ එක් වකවානුවක මගෙන් අහිමි කිරීමට උත්සහ ගත්තා වැනි දේ සිදු වීමට ඉඩ තිබිම ය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මේ අලකලංචි වලින් නිදහස් ද? එය මේ සංවාදයේ දී නැගිය යුතු අතිශයින් සාධාරණ ප්‍රශ්නයකි. ඍජු උත්තරයක් දෙතොත් කියන්නට තියෙන්නේ මුළුමණින් නිදහස් නැත යන්න ය. එහෙත් ඒ තුළ මේවා මතු වීමට ඇති ඉඩ අහිමි කර තිබේ.

නියෝජිතයෙකු වීමට ඡන්දය ලබා ගත යුතු ය. එහි දී හැම ඡන්දයකට ම ඇත්තේ සමාන වටිනාකමකි. ඡන්දය අයිති බහුතරයකට ද සුළුතරයකට ද නැත්නම් පුද්ගලයෙකුට ද යන්න අදාළ නැති නිසා ය. ඒ නිසා ඡන්ද අපේක්ෂකයින්ට මේ වුවමනාවන් අතර තුලනයක් ඇති කිරීමට සිදු වේ. හැම විට ම බහුතරයේ වුවමනාවන් පමණක් බලන අපේක්ෂකයන්ට සුළුතරයේ ඡන්ද හිමි නොවන අතර බහුතරය පවා හැමවිටම සමජාතීයය නැති නිසා ඒවා අතර ප්‍රතිවිරෝධයන් පවා තුලනය කිරීමට සිදු වේ.

ඊට අමතරව නීති පැනවීමේ නිශ්චිත යාන්ත්‍රණයක් තිබේ. පනතක් හරහා මිස පනතකින් බලය ලබා මිස නීතියක් පැනවිය නොහැකි ය. ඊට අමතරව එවැනි පනතක් සම්මත කර ගැනීමේ ක්‍රමවේදයක් ද තිබේ. පනත ඉදිරිපත් කිරීමට පෙර එය මහජනයාට දැක බලා ගත හැකි ලෙස ගැසට් කළ යුතු ය. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විරුද්ධත්වය පළ කිරීමේ අයිතියක් තනි පුද්ගලයෙකුට පවා තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පනවා ඇති පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රතිපාදන යටතේ ය.

පනත පිළිබඳ සංවාදයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා කළ හැකි ය. එහි දී විද්වත් මතයන්නට සවන් දීමට සිදු වේ. මේ හේතු නිසා හැගීම් මත පමණක් තීරණ ගැනීමට අවකාශය අඩු ය.

ජනාධිපතිගේ වචනය නීතිය යැයි අපේ හිටපු ජනාධිපති පැවසුවාට ඒ කතාවට රාජ්‍ය යාන්ත්‍රණය තුළ (විධායකය හා අධිකරණය තුළ) පිළිගැනීමක් නැත. එවන් යාන්ත්‍රණයකින් තොර ජන සභාවක තීන්දු කෙසේ වනු ඇද්ද?

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවා හොඳින් ක්‍රියාත්මක වන්නේ දැනුවත් සමාජයක ය. එසේ තිබිය දී ජන සභා වෙනත් පසු බිමක කෙසේ වත් හොඳින් ක්‍රියාත්මක වීමේ ඉඩක් නැත.

ඒ නිසා කළ යුත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ජන සභාවලින් විස්ථාපනය කිරීම නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක කළ හැකි වන පරිදි දැනුවත් ජනතාවක් නිර්මාණය කිරීමේ ය. ඒ වගකීම බාර නොගෙන ජනතාවට බලය දෙනවා යැයි කියන ජනප්‍රිය සටන් පාඨයට කළ හැක්කේ වඳුරෙකුට දැලි පිහියක් දෙනවාට සමාන කටයුත්තකට අනුබල දීම පමණකි.