සල්ලි, බලය, විවෘත ආර්ථිකය, මත්පැන්, ගෑණු හා අවි ආයුධ

බොහෝ ව්‍යාසනයන්ට ඛේදවාචකයන්ට මුල සල්ලි ය. සල්ලි ඉස්සරහ දොරින් ගෙට වදින විට මනුස්සකම පෑල දොරින් පිට මං වන්නේ ය. ඒ පිළිබඳ ඇත්ත නැත්ත කෙසේ වෙතත් මේ අපට හිතෙන හැටි ය. ඒ සිතුවිල්ල කොහෙත්ම අසාධාරණ නැත. සල්ලි ලැබුණු පසු නොමිනිසුන් වූ මිනිසුන් අප දැක තිබෙන නිසා ය.

“අහිංසක” අංගුලිමාල කළේ ඔහුගේ ගුරුතුමා ය. ඒ අයුරින් ම අප විසින් දක්නා ලද ඒ “අහිංසක” මිනිසුන් ඝොරතර සපුන් බවට පත් කළේ සල්ලි ය. ඒ අර්ථයෙන් අප හැම කෙනෙක් ම අහිංසක ය. අප නොමිනිසුන් කරන්නේ බාහිර බලවේග විසිනි. එයින් එකක් සල්ලි ය.

සල්ලි ළගට ම එන තව එකක් තිබේ. ඒ බලය ය. බලය ද බොහෝ මිනිසුන් නොමිනිසුන් කරන්නේ ය. ඒ ද ඇත්තකි. අප ඇස් පනා පිට සිදු වූ, සිදු වන,  අපට මග හැර යා නොහැකි සංසිද්ධියකි. සල්ලි බලයට මග පාදන අතර බලය සල්ලි උපයන ඉල්ලමක් ද වී ඇති මේ කාලයේ ඒ දෙක ම ඒකරාශී වුනු විට තත්වය ඉතාම භයානක ය. ඒ නිසා ඒ දෙක ම යක්ෂයාගේ සාපය රැගත් බලවේගයන් ය.

විවෘත ආර්ථිකය මේ රටට හඳුන්වා දෙනු ලැබුයේ 1977 දී ය. බොහෝ අය කියන්නේ අප නොමිනිසුන් බවට පත් කිරීමේ වගකීම එය විසින් ද දැරිය යුතු බවකි. ඒ මතයට අනුව එකිනෙකා පරයා නැගෙන වුවමනාව ඇති කරන ලද්දේ ද සහෝදරත්වය සාමූහිකත්වය නැති කරන ලද්දේ ද ඒ හඳුන්වා දීම නිසා ය. අපේ අහිංසක මිනිසුන් මත කඩා පාත් වූ හෙණයක් ලෙස විවෘත ආර්ථිකය බොහෝ දෙනාගේ විවේචනයට ලක් ව ඇත්තේ ද ඒ නිසා ය. ඒ නිරීක්ෂණයේ ද බැලූ බැල්මට එහෙමට වැරැද්දක් නැත. බඩු භාණ්ඩ සුලභ වීමත් ඒවා ගැනීමට මුදල් අවශ්‍ය වීමත් නිසා මිනිසුන් අන් සියල්ල පසෙකලා මුදල් හරි හම්බ කිරීමට වෙහෙසෙන්නට පටන් ගත්තේ ඉන් පසුව ය. වෙනදා සුහදත්වය පතා දුන් හැම දෙයක් මත් විකුණන්නට පුරුදු වුනේ ද ඒ නිසා ය.

මිනිසා නොමිනිසා කරන තව දේ ද තිබේ. ඒ අතරින් ඉදිරියට එන එකක් මත් පැන් ය. මත් ද්‍රව්‍ය ය. එහි ද අසත්‍යයක් නැත. බීමට ඇබ්බැහි වුනු එකා ගැන කුමන හෝ විශ්වාසයක් තැබිය නොහැකි ය. ඒ නිසා ඒ ද පිටු පෑ යුතු ලයිස්තුවට ඇතුළත් වේ. මතට තිත තියන පොරොන්දුව මහා ආශ්වාදයක් වන්නේ ඒ නිසා ය. බාර් වැහුවහම සතුටු වන්නේ ඒ නිසා ය. මත්ද්‍රව්‍ය ජවාරම්කරුවන්ට එල්ලුම් ගස ගේනවා යැයි කියන විට අපට පස් වනක් ප්‍රීතියක් දැනෙන්නේ ඒ නිසා ය.

ඊළගට එන්නේ ගැහැණිය ය. ඇයගේ සුකුමාර දේහය දකින පිරිමි වියරු වැටෙති. ඒ අහිංසක පිරිමින් ඒ වියරුවෙන් බේරා ගත හැක්කේ ගෑණියකගේ සුන්දරත්වය කුමන හෝ අකාරයකින් මතු වන්නට තිබෙන සියලු ඉඩකඩ වසා දැමීමෙනි. ඒ නිසා කළ යුත්තේ උඩ සිට පහලට ඇය ව වසා දැමීම ය. ඇයට දැරිය නොහැකි ගෝනියක් වගේ එකකින් ඇය වසා තැබීම ය. වික්ටෝරියානු යුගයේ කාන්තා ඇඳුම බොහෝ දික් වූ නිසා කාන්තාවගේ විලුඹ ද ආකර්ශණීය වූ බවක් අප අසා ඇත. ඒ නිසා ඇඳුමෙන් පමණක් මේ නිමිත්තෙන් ගැලවෙන්නට අපට බැරි ය. කළ යුත්තේ හැකිතාක් දුරට කාන්තාව ගේ මුල්ලට ම තල්ලු කර දැමීම ය. රැකියාවෙන් අධ්‍යාපනයෙන් ඉවත් කර තැබීම ය. තලේබාන් මිනිසුන් කරන්නේ අන්න ඒ “උත්තුංග” කටයුත්ත ය.

තුවක්කු හා අවි ආයුධ ද මිනිසුන්ට පේන්නට බැරි ද ඒ නිසා ය. ඒවා මිනිසුන් නොමිනිසුන් කරන්නේ ය. අහිංසක මිනිසුන් මිනීමරුවන් බවට පත් කරන්නේ ය. ඒ නිසා ම ඒවා තහනම් කළ යුතු ය. ප්‍රශ්නයකට ඉතිරි වන්නේ මිනිසෙකු මැරීමට තව බොහෝ දේ ද භාවිතා කරන්නට පුළුවන් වීම ය. ඒ අතර මන්නය පොරොව මෝල්ගහ පමණක් නොව කුස්සියේ මස් කපන පිහිය වැනි බොහෝ දේ ද ඇත. ඒවා තහනම් කිරීම නම් උගහට ය.

අප හිර වන්නේ ඔන්න ඔතන දී ය.

අප මේතාක් කළේ අපේ පිටින් ඇති බාහිර දේ ට වරද පටවා අප අහිංසකයන් බවට පත් කර ගැනීම ය. ඒවා පිළිකුල් කිරීම ය. බැහැර කිරීම ය. හැකි නම් තහනම් කිරිම ය. ඒ හරහා අපේ වගකීමෙන් අප ව නිදහස් කර ගැනීම ය. එය තව දුරටත් කළ නොහැකි ය.

අප කැමති වුව ද අකමැති වුව ද මේ සියල්ල අතීතයේත් පැවති අතර අද මෙන් ම අනාගතයේ දී ත් පවතිනු ඇත. ඒවා අයත් වන්නේ ඇතිවත් බැරි නැතිවත් බැරි ගොඩට ය. ඒ නිසා අප මේ වියවුලෙන් මිදීමට වෙන මගක් සොයා ගත යුතු ය.

අප බොහෝ දෙනෙකු විසින් අමතක කර ඇති, බමුණන් විසින් කිළිටි නොකරන ලද, බුදු වදන් පිහිටට එන්නේ මෙතැන දී ය.

බුදුන් වහන්සේ මේ බාහිර බලවේග සමග ගැටුමකට ගියේ නැත. ඒවා තහනම් කරන ලෙස උන්වහන්සේගේ කුළුපග ශ්‍රාවකයන් වූ රජවරුන්ගෙන් වත් ඉල්ලීමට ගියේ නැත.

උන් වහන්සේ මේවා සතුව තිබූ දූෂ්‍ය ගුණය දැන සිටියහ. ඒ බව සෙස්සන්ට පෙන්වා දුන්හ. උන් වහන්සේ අනු දැන වදාළේ ඒවායින් තමන් කිළිටි නොවන බවට වග බලා ගන්නා ලෙස ය. තම සිත් පිරිසිදු ව තබා ගන්නා ලෙස ය. තමාගේ සිත තුළට ඒවා වැද්ද ගැනීමේ දී පරිස්සම් වන ලෙස ය. ඒවා සමග ගනුදෙනු කිරීමේ දී පරිස්සම් වන ලෙස ය. ඒවායින් තමන්ට අනිසි බලපෑමක් ඇති නොවන තැනට තමන් ශක්තිමත් වන ලෙස ය.

උන් වහන්සේ අදහස් කළේ අධ්‍යාපනය, මෙම පෙළඹවීම් වලින් මිනිසුන් ගලවා ගත හැකි, මාර්ගය හැටියට ය. උන් වහන්සේ දෙසුවේ බාහිර සමග ඔට්ටු වනු වෙනුවට තමන් පිළිබඳ අවධානයෙන් පසු වන ලෙස ය. තමන්ගේ ගැලවීම ඒ හරහා සකසා ගන්නා ලෙස ය.

ඒ බුදු බණ වෙනුවට බොහෝ දෙනෙකු දන්නේ බමුණන් විසින් කිළිටි කරන ලද බණ ය. වේදිකා දෙදරවමින් කතා කරන, බොහෝ විට අද මාධ්‍යයන් විසින් පුම්බා ඇති, හාමුදුරුවන්ගේ බණට සවන් දෙන විට හොඳින් විමසන්නේ නම් පෙනෙනු ඇත්තේ ඒ උන්නාන්සේලා කියන්නේ බුදු බණ නොව බමුණු මත බව ය. තම අභ්‍යන්තරය සමග කරන ගනුදෙනුව අත් හැර ඇති උන්නාන්සේලා “ගේම” ඉල්ලන්නේ බාහිරව පවතින, ඇතැම් විට නොපවතින එහෙත් හිතෙන් මවා ගත්, දේ සමග ය. රටේ අවාසනාවට බොහෝ දෙනෙකු කැමති ඒ බණ අසන්නට ය. ඊට එක් හේතුවක් නම් අප කලින් ද දැක් වූ පරිදි තමන්ට වැරදිකරුවන් වීමේ වගකීමෙන් නිදහස් විය හැකි නිසා ය. තමන්ගේ වැරදි දුර්වලකම් ඒවා මත පටවා නිදහස් විය හැකි නිසා ය. අර්බුදය ඇත්තේ සල්ලි වල වත් බලයේ වත් විවෘත ආර්ථිකයේ වත් මත්පැන් වල වත් ගැහැණු අඟ පසඟ වල වත් අවි ආයුධ වල වත් නොව අපේ සිත් තුළ බව උගන්වන අධ්‍යාපනයක් රටට අවශ්‍ය ය. ඒවා ගැන අනිසි අවධානයක් යොමු කිරීමෙන් අප කරන්නේ අපේ වගකීමෙන් අපව නිදහස් කර ගැනීමේ බොළඳ උත්සහයක නිරත වීම බව කියන අධ්‍යාපනයක් රටට අවශ්‍ය ය.

රජයේ උසස් තනතුරුවලට පත් කිරීමේ නිශ්චිත ක්‍රමයක් අවශ්‍ය නැද්ද?

රජයේ උසස් තනතුරු වලට පත් කිරීම සම්බන්ධයෙන් සංවාදයක් මේ දිනවල සිදු වේ. ඒ මෑතක දී සිදු කරන ලද පත් වීම් කීපයක් නිසා ය. පළමුවැනි පත්වීම නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති ලෙස දුමින්ද සිල්වා පත් කිරීම සම්බන්ධයෙනි. දෙවැන්න මහ බැංකුවේ අධිපති ලෙස අජිත් නිව්රාඩ් කබ්රාල් පත් කිරීම සම්බන්ධයෙනි.

පළමු පත් වීම පිලිබඳ ආන්දෝලනයක් මතු වූයේ පත් කරන ලද පුද්ගලයා මිනීමැරුමක චුදිතයෙකු ලෙස මරණීය දණ්ඩනයට නියමව පසුව ජනාධිපති විශේෂ සමාවක් යටතේ නිදහස් වූවෙකු නිසා ය. දෙවැනි පත්  වීම සම්බන්ධයෙන් ප්‍රශ්නය මතු වූයේ මහ බැංකුව වැනි ස්වාධීනව පැවතිය යුතු ආයතනයක අධිපති ලෙස ඊට පෙර දින තෙක් ම මන්ත්‍රීවරයෙකු රාජ්‍ය ඇමතිවරයෙකු ලෙස කටයුතු කළ කෙනෙකු පත් කිරීම නිසා ය.   

මේ ප්‍රශ්න දෙකින් එකක් වත් කතා කිරීමට අප මේ සටහනින් අපේක්ෂා නොකළ ද මේ ප්‍රශ්න විසින් මතු කරන මහා පොදු ප්‍රශ්නය අපි මේ සටහන සඳහා මාතෘකා කොට ගන්නෙමු. ඒ රජයේ උසස් තනතුරුවලට පත් කිරීම සම්බන්ධයෙන් යම් නියාමනයක් අවශ්‍ය ද එය කෙබන්දක් විය යුතු ද යන්න ය.

රජයේ අවශේෂ තනතුරු සඳහා පත් කිරීමේ දී SOR (එහි අදහස Scheme of recruitment යන්නය) යන රජයේ සේවයේ ප්‍රචලිත නාමයෙන් හඳුන්වන අනුමත බඳවා ගැනීමේ පටිපාටීන් අනුගමනය කළ යුතු ය. ඒ පටිපාටීන් වල යම් තනතුරකට පත් කිරීම සඳහා කෙනෙකු සපුරා ලිය යුතු සුදුසුකම් නිශ්චය වශයෙන් දක්වා තිබේ. ඒවා අතර අධ්‍යාපන සුදුසුකම්, පළපුරුද්ද හා කුසලතා ද සඳහන් ය. අධ්‍යාපන සුදුසුකම් අපොස සාපෙ, අපොස උපෙ, ආදී වශයෙන් නිශ්චය කොට ම දක්වා ඇති අතර පළපුරුද්ද වසර අනුසාරයෙන් නිශ්චිතව දක්වා තිබේ. අවශ්‍ය කුසලතා ඇතොත් ඒවා නිර්ණය කරන ආකාරය ද නිශ්චය කොට දක්වා තිබේ. මේ සුදුසුකම් වලට අමතරව රජයේ සේවකයෙකු ලෙස පත් වීමට නුසුදුසු කම් රාශියක් ද තිබේ. අපරාධයක නීතියෙන් දඩුවම් ලබා තිබීම, ඇතැම් රෝග වැළඳී තිබීම, මේ අතර වෙයි.

ඉහත කාරණා එකක් වත් ඉහළ තනතුරු සඳහා අදාළ නොවේ. ඒ නිසා ම අප මුලදී ම සඳහන් කළ පත් වීම් සිදු වන විට බුද්ධිමත් ජනතාව නගන සාධාරණ ප්‍රශ්නය වන්නේ මෙවැනි පරස්පර ක්‍රමවේදයන් දෙකක් යොදා ගන්නේ ඇයි ද යන්නත් ඒ අතරිනුත් වඩාත්ම පරිස්සමින් තෝරාගත යුතු ඉහළ තනතුරු සඳහා අවම සැළකිල්ලක් දක්වන්නේ ඇයි ද යන්නත් ය. ඒ ප්‍රශ්නයත් සමග ඔවුන් දෙන උත්තරයක් ද තිබේ. ඒ එම තනතුරු සඳහා ද විස්තීරණ බඳවා ගැනීමේ පටිපාටියක් සකස් කර ගත යුතු බව ය. උගත් තරුණ අය බඳවා ගත හැකි සේ ඒ පටිපාටීන් සකස් කළ යුතු බව ය.

අවශේෂ තනතුරු තාක්ෂණික තනතුරු වෙද්දී අප මේ සැළකිල්ලට ගන්නා ඉහළ තනතුරු ඊට වෙනස් ආකාරයක් ගන්නා බව අප මෙහිදී මතක තබා ගත යුතු ය. ඉහළ තනතුරු සඳහා අවශ්‍ය වන්නේ තාක්ෂණික දැනුම නොවන අතර ඒ සඳහා වෙනම කුසලතා ගණනාවක් අවශ්‍ය ය. ඒ අතර ප්‍රධාන වන්නේ සංකල්පීය ලෙස සිතීමේ (conceptual thinking) කුසලතාවයත් නායකත්ව කුසලතාවයත් ය. ඒවා සම්ප්‍රදායික දැනුම් පරාසයන් ඉක්මවන ඒවා ය. කිසියම් උපාධියක් තිබුණු පමණින් අත් නොවන ඒවා ය. ඒවා මැනීමට වෙනම ක්‍රමවේදයන් අවශ්‍ය ය. මේ සටහනේ විශේෂ අවධානය මින් ඔබ්බට යොමු වන්නේ දෙවැනි කුසලතාවය පිළිබඳව ය. එය වඩාත් තීරණාත්මක කුසලතාවය වන නිසාත් සංකල්පීය කුසලතා පිළිබඳ වෙනම සටහනක් ලිවීමට අපේක්ෂා කරන නිසා ත් ය.

අප කල්පනා කරන ලෙස ට නායකයෙකු හැටියට සාර්ථකව ආයතනයක් මෙහෙයවීමට අවශ්‍ය චරිත ලක්ෂණ අවම වශයෙන් හතක් තිබේ. ඒවා අපි මෙසේ දක්වමු.

  1. අත්හදා බැලීම් කිරීමට කැමැත්ත, ඒ සඳහා මැලි නොවීම හා බිය නොවීම පමණක් නොව තමන් යටතේ ඉන්නා අයට ද එසේ කිරීමට අනුබල දීමට බිය නොවීම (ලංකාවේ ආයතන එක තැන පල්වීමෙන් ගලවා ගත හැක්කේ එවන් සූදානමක් නායකත්වය තුළ තිබේ නම් පමණ ය. ඒවා තිබෙන්නේ ගල් වෙලා ය.)
  2. විශේෂඥයන්ට සවන් දීමට හා ආයතනයේ ඉතාම පහළ තනතුරක් දරණ කෙනෙකුට වුව සවන් දීමට තරම් නිහතමානී වීමට හැකියාව (මේ සඳහා අඩුවෙන් කතා කරන වැඩියෙන් සවන් දෙන ගුණය ද තම අදහස් පළකිරීම අවසානය දක්වා රඳවා ගැනීමට ඇති ඉවසීමේ ගුණය ද පළ කරන හැම අදහසක් ම පරිහාසයකින් තොරව බාර ගැනීම ද ඒවා හැකිතාක් අගය කිරීම ද ඇතුළත් ය. බොහෝ ආයතන වල සිදුවන්නේ නායකයා හැම දෙයක් ම දන්නා කෙනෙකු ලෙස පෙනී සිටිමින් උපදෙස් දීමත් විශේෂඥවරුන් එහෙයියන් වී තිබීමත් ය.)
  3. තමන්ගේ ආයතනයේ අය විසින් කරන ලද අත්හදා බැලීමක් වැරදී ගිය විට එහි වගකීම තමන් විසින් දැරීමට ඉදිරිපත් වීම හරහා අත්හදා බැලීම කළ අය ගලවා ගැනීම සහ ඔවුන්ගේ අදහස් අනුව වැඩ කිරීමෙන් ලද ජයග්‍රහණයක් වේ නම් ඒ ජයග්‍රහණයේ නිසි ගෞරවය ඔවුන් වෙත පවරා දීම උදෙසා නිර්ලෝභී වීමට ඇති හැකියාව (ඉහත 1 හා 2 සාර්ථක වන්නේ මේ තෙවැනි කාරණය සම්පූර්ණ වෙතොත් පමණ ය. ඒ නායකයා මග හැරිය විට අත්හදා බැලීම් කළ අය අධෛර්යය වීමත් ජයග්‍රහණය තනිව බදා ගත් විට දායක වූ තමන්ගේ දායකත්වය අගය නොකළේ යැයි අධෛර්යය වීමත් නිසා ය. එහෙත් දැනට අපට දැක ගත හැක්කේ හැම credit එකක්ම බදා ගැනීමටත් හැම blame එකක් ම පහළට තල්ලු කර දැමීමටක් උත්සුක වෙන නායකයින් ය)
  4. විවේචන දරා ගැනීමට ඇති හැකියාව (ආයතනයේ යම් වැරැද්දක් සමාජයට නිරාවරණයට වූ විට එය නිරාවරණය කළ තැනැත්තා සොයා දඩුවම් කරනු වෙනුවට වැරැද්ද නිවැරදි කිරීමටත් එවැනි වැරදි නැවත ඇති නොවීමටත් වග බලා ගැනීම ද ඊට ඇතුළත් ය. දැන් දකින්නට ලැබෙන්නේ වැරදි නිරාවරණය කරන අය සොයා යන මෙහෙයුම් පමණ ය).
  5. තමන්ගේ රට හා පොදු මහ ජනතාව හැරුණු කොට තමන්ගේ වෙන කිසිම ලබැඳියාවක් වෙනුවෙන් තම තනතුර භාවිතා නොකිරීමට ඇති ධෛර්යය (මේ ලබැඳියා අතර පවුලේ උදවිය, ඥාති මිත්‍රාදීන්, දන්නා අඳුනන අය, ගමේ අය, ගම, පාසල, සරසවිය, සේවාව, ජාතිය, ආගම, කුලය යන ආදී සියල්ල ඇතුළත් ය. රට හා මහජනතාව හැරුණු විට අන් සියල්ල අතුළත් ය. දැන් අපට දකින්නට ලැබෙන්නේ රට හා ජනතාව වෙනුවට තමන්ට තමන්ගේ පරපුරට, කුලකයට හා කණ්ඩායමට වරප්‍රසාද ලබා දීමට තනතුරු භාවිතා කරන නායකයින් ය)
  6. තමන් දරන තනතුර රටට හා ජනතාවට වැදගත් දෙයක් කිරීමට මිස තමන්ගේ බැබලීමට භාවිතා නොකිරීමට ඇති හැකියාව  (සුඛෝපභෝගී වාහන, සැප පහසු කාමර, විදේශ ශිෂ්‍යත්ව වැනි වෙනත් වරප්‍රසාද ලබා ගැනීමට ඇති මාර්ගයක් ලෙස නොසළකා යමක් කිරීමට ලැබූ අවස්ථාවක් ලෙස සැලකීම)
  7. තනතුරට නොඇලී සිටීමට ඇති හැකියාව (ප්‍රතිපත්ති වෙනුවෙන් තනතුර අත්හැරීමට ඇති සූදානම. දැනට බහුලව දකින්නට ලැබෙන්නේ ප්‍රතීපත්ති බල්ලාට දමා තමන්ගේ තනතුර රැක ගැනීමට කටයුතු කරන අය ය)

ඉහත සඳහන් කළ නායකත්ව චරිත ලක්ෂණ හා අප පෙරදී සඳහන් කළ සංකල්පීය කුසලතා හැරුණු කොට වෙනත් සුදුසු කම් – විශේෂයෙන් උපාධියක් ලබා තිබීම වැනි සුදුසුකම් ඇතුළත් නොකළ යුතු ද යන්න – බුද්ධිමත් ජනතාව මතු කරන සාධාරණ පැනයකි. රජයේ ඇතැම් නිලධාරීන් මතු කරන්නේ එක්කෝ (තමන් ඇතුළත්) පරිපාලන සේවයට හෝ  වෙනත් සේවා කීපයකට එසේත් නැතිනම් රජයේ සේවකයන්ට පමණක් මෙය සීමා කිරීම ද පිළියමක් විය හැකි බව ය. එසේ කරුණු දැක්වීම පිටුපස තමන්ට තම සේවාවන්ට මේ තනතුරු සීමා කිරීමේ පටු වුවමනාවට අමතරව අහසින් කඩා වැටෙන මිනිසුන් වළක්වා ලීමට පලිහක් හැටියට එය යොදා ගැනීමේ සාධාරණ වුවමනාව ද ඇතුළත් ය.

එහෙත් එයින් අනවශ්‍ය මිනිසුන් මුළුමණින් ම ඉවත් කර ගත නොහැකි ය. ඊනියා උගතුන් අතර ද රජයේ නිලධාරීන් අතර ද එවැනි අනවශ්‍ය අය බොහෝ නිසා ය. ඊට අමතරව ඒ නිසා ම අප කියන සුදුසුකම් සහිත වෙනස් අයට ද වැට කඩොලු බැඳෙන නිසා ය. තේරීම් සඳහා පත් කරනු ලබන මණ්ඩලයක් විසින් short list කර ඇති පුද්ගලයන් අතුරින් අධ්‍යාපන සුදුසුකම් වැඩි අයට පරිපාලන පළපුරුද්ද වැඩි අයට විශේෂ සැළකීමක් සිදු වෙනු ඇතැයි අපේක්ෂිත නිසා ම එය පොදු බාධාකයක් හැටියට යොදා ගැනීම අනවශ්‍යය යනු අපේ අදහස ය.  

මේ සළකා බැලීමට අමතරව ක්‍රියාපටිපාටිය ද අපක්ෂපාතී හා විනිවිද භාවයෙන් යුක්ත වීම අවශ්‍ය ය. ඒ සඳහා පහත පියවර අනුගමනය කළ හැකි ය.

  1. පුරප්පාඩුව සඳහා සුදුසුකම් ඇති එක් අයෙක් සොයනු වෙනුවට සුදුසු අය ගණනාවක් පළමුව තෝරාගැනීම (සිනමා සම්මාන උළෙලක දී සම්මාන සඳහා සිනමා පට කීපයක් ම short list කරන ආකාරයෙන්)
  2. ඒ අය අතුරින් වඩාත් ම සුදුසු පුද්ගලයා, තනි පුද්ගලයෙකු විසින් නොව, නිසි නියෝජනයක් ඇති මණ්ඩලයක් විසින් තෝරා ගැනීම (ඒ මණ්ඩලය තුළ කිසියම් බලවත් පුද්ගලයෙකුගේ තනි අභිමතය බලපැවැත්වීමට ඇති ඉඩ අවම කරනු සඳහා එය සම බලය සහිත පුද්ගලයන්ගෙන් සෑදිය යුතු ය.)
  3. තෝරා ගැනීමෙන් පසු ඒ තෝරා ගැනීම හේතු පාඨයක් ද සමග ප්‍රසිද්ධියට පත් කිරීම හා ඒ හේතු පාඨය තුළ වෙන කෙනෙකු නොව ඔහු ම තෝරා ගැනීමට විශේෂ වූ හේතු සඳහන් කිරීම.
  4. තෝරාගැනීම අභියෝගයට ලක් කිරීම සඳහා නිශ්චිත කාලයක් මහජනතාවට ලබා දීම
  5. අභියෝග ඉදිරිපත් වන්නේ නම් ඒවා විභාග කර බැලීම උදෙසා වෙනත් මණ්ඩලයකට පැවරීම සහ එයින් විරෝධතා සාධාරණ බව පෙනී යන්නේ නම් ඉතිරි සුදුස්සන් අතුරින් දෙවැනි පුද්ගලයෙකු තෝරා ගැනීම සඳහ 2 පියවරට යොමු කිරීම
  6. නිශ්චිත ඉලක්ක ලබා දී නිශ්චිත කාලයකට තනතුර සඳහා තෝරාගත් පුද්ගලයා පත් කිරීම
  7. ඒ වගකීම් ඉටු කිරීමට අවශ්‍ය සම්පූර්ණ අධිකාරී බලය ඔහුට ලබා දීම (දැනට දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට පවා එහෙමට බලයක් නැත. සියල්ල ආයතන කිහිපයක් තුළ සංකේන්ද්‍රණය වී තිබේ. උදාහරණයක් ලෙස දෙපාර්තමේන්තු ප්‍රධානියෙකුට කුඩා ම තනතුරක් සඳහා වුව කෙනෙකු බඳවා ගැනීමේ බලයක් නැත. ඔහු ඒ සඳහා තවත් ආයතනයක් ඇමතිය යුතු ය. එහි අනුග්‍රහය ලැබෙන තෙක් බලා සිටිය යුතු ය.)
  8. අදාළ පුද්ගලයා අප මුලින් සඳහන් කළ චරිත ලක්ෂණ තනතුරේ කටයුතු කරද්දී ප්‍රදර්ශනය කරන්නේ ද යන්න ගැන විමසිලිමත් වීම හා ඒ සඳහා පොදු යාන්ත්‍රණයක් සකස් කිරීම
  9. එවැනි තනතුරු වල කටයුතු කර ගෙන යෑමේ මුහුණ දෙන ගැටළු ඉදිරිපත් කර සහන ලබා ගත හැකි ස්වාධීන බලසම්පන්න යාන්ත්‍රණයක් සකස් කිරිම
  10. සාධාරණ කාලයක් තුළ අපෙක්ෂිත හැසිරීම හා ප්‍රතිඵල ප්‍රකට කිරීමට අසමත් වන්නේ නම් ඔහු ව ඉවත් කිරීම සඳහාත් වෙනත් අනුප්‍රාප්තිකයෙකු තෝරා ගැනීම සඳහාත් දෙවැනි පියවරේ සඳහන් මණ්ඩලයට යොමු කිරීම
  11. තමන්ට ඉලක්කයන් සපුරා ගැනීමට හෝ පොරොන්දු ප්‍රකාරව කටයුතු කිරීමට නොහැකි වූ‌ හේතු ඉදිරිපත් කිරීමට ද ඒවා ප්‍රසිද්ධ කිරීමට ද සාධාරණ අවස්ථාවක් ලබා දීම
  12. ඒ කරුණු සළකා බලා ඒ අනුව රාජ්‍ය සේවය තුළ කළ යුතු වෙනස් කම් කිරීම

මෙවැන්නක් ක්‍රියාත්මක කිරීමට මුළින් ම අවශ්‍ය වන්නේ දේශපාලකයින්ගේ කැමැත්ත ය. අමු සිංහලෙන් කියනවා නම් political will එක ය.

එය නම් පහසුවෙන් ලැබෙන එකක් නොවේ. එවැන්නක් නැතුව මේ සියල්ල සිහිනයක් විතර ය. ඒ නිසා බුද්ධිමත් ජනතාවගේ වගකීම විය යුත්තේ ඒ අයව එවැන්නකට තල්ලු කිරීම ය. ඒ සඳහා පොදු මහජනතාව තුළ මතයක් ඇති කිරීම ය.

මෙවැනි වැඩපිළිවෙලක් නැති කමේ මහා රික්තයක් අපේ රට තුළ තිබෙන්නේ ය. ඒ රික්තය පවතින දේශපාලන බලවේගයන් විසින් ප්‍රයෝජනයට නොගන්නේ නම් නව දේශපාලන බලවේගයකට පහසුවෙන් ඒ රික්තය පිරවිය හැකි තැනකට රට ගෙන ඒම අපගේ කාර්යය විය යුතු ය.

අප ඒ කාර්යයට උර නොදෙන්නේ නම් වැටී ඇති අර්බුදයෙන් රට ගොඩ ගත නොහැකි ය. දැන් සිදු වෙමින් පවතිනවාක් මෙන් හෘද සාක්ෂියක් ඇති නිලධාරීන් අස් වීමත්, හැකි අය රටින් ද ඉවත් වීමත්, දිගින් දිගට ම සිදු වනවා ඇත. ඒ ප්‍රවණතාවය ගොඩ ගැනීමට අමාරු අගාධයකට රටත් ඒ සමග අපත් වඩ වඩාත් තල්ලු කරනු ඇත.

දැන් තියෙන්නේ සීතාම්බර පටල පැළඳ ඉන්නා බවට පාරම් බෑම ය

May be an image of text

ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමති තුමා වැලිකඩ බන්ධනාගාරයට මත් පැන් පානය කොට පිස්තෝලයක් ද වනමින් බලහත්කාරයෙන් ඇතුළු වී “යකා නැටූ” බවට පුවත් පත් වල තොරතුරු පළ විය. ඊට පසු දින ඔහු අනුරාධපුර බන්ධනාගාරයට ද කඩා වදිමින් පිස්තෝලයක් පෙන්වා සිරකරුවන් කීප දෙනෙකුට තර්ජනය කළ බවත් ආරංචි පළ විය. ඔහු වෙන කෙනෙකු නොවී බන්ධනාගාර රාජ්‍ය ඇමතිවරයා වීම ද සිද්ධිය තවදුරටත් ආන්දෝලානාත්මක කිරීමට හේතුවක් විය. ජන කතා කාරයා ඔවැනි දේ හැඳින්වූයේ වැටත් නියරත් ගොයම් කා නම් කාට පවසමි ඒ අමාරුව කියා ය.

දේශපාලනඥයන්ගේ පුතුන්ගේ හැසිරීම බොහෝ තැන්වල අපට සිහිපත් කළේ වළං කඩේට පැන්න ගොනා ගේ හැසිරීම ය. ඒ තාත්තලාගේ බලතල අර ගෙන ය. එහෙත් මොහු තවදුරටත් එවැනි පුතෙකු ගණයේ ලා සැලකිය නොහැක්කේ පියා මියගොස් තිබීම නිසා පමණක් නොවේ. කීපවරක් ම මැති සබයට පත් ව ආ නිසා ය.

උඩතලවින්නේ දස දෙනෙකු මරා දැමීම සම්බන්ධයෙන් ඔහු චෝදනා ලැබ සිටියේ ය. එහෙත් ඔහු පසු ව ඉන් නිදහස් විය. ඒ ගැන තවදුරටත් ඔහු වෙත අපට ඇඟිල්ල දික් කරන්නට ඒ නිසා බැරි ය.

දැන් මේ සිද්ධියේ දී ද වුව තව සුළු පමාවකින් ඔහු නිදොස් කළ හැකි ව තිබුණේ ය. ඒ එවන් හැසිරීමක් පිළිබඳව වාර්ථා වී නැතැයි බන්ධනාගාර ප්‍රකාෂක පමණක් නොව බන්ධනාගාර අධිපති තුමා ද ප්‍රකාශ කළ නිසා ය.

අප ඔවුන් විසින් පාවිච්චි කරන ලද වචන පරිස්සමින් හැදෑරිය යුතු ය. එවන් හැසිරීමක් සිදු වී නැතැයි ඒ දෙපොලම කීවේ නැත. කීවේ එවන් හැසිරීමක් වාර්ථා වී නොමැති බව ය.

බන්ධනාගාර නිලධාරීන්ට වාර්ථා නොවුන ද එය ඒ වනවිට ජීනිවා හි මුළු දී තිබූ මානව හිමිකම් සැසි වාරයට නම් වාර්ථා වී තිබුනේ ය. ඉතාලියේ සංචාරයක යෙදී සිටි අගමැති තුමාට පවා වාර්ථා වී තිබුනු බවට ද ඒ නිසා ම රාජ්‍ය ඇමතිතුමාට පදවිය අත්හරින්නට සිදු වූ බව ද අපි දනිමු.

බන්ධනාගාරයට එහෙම හැසිරීමක් පිළිබඳව වාර්ථා වී නැති තත්වයක් යටතේ පවා රාජ්‍ය ඇමතිතුමාට තම නිලයෙන් සමු ගැනීමට සිදු වීම එක් අතකට අවාසනාවන්ත ය.  

සමහරු කීවේ වගකීම තමන් බාර ගෙන අස් වූ ප්‍රථම ඇමතිවරයා හැටියට ඔහු වාර්ථාවක් තබනු ඇති බව ය. එහෙත් ඇත්ත නම් ඔහුට වගකීම බාර ගැනීමට තරම් දෙයක් එතැන සිදු වී නැති බව ය. බන්ධනාගාර නිලධාරීන් අතින් සිදු වූ අතපසු වීමක් බාර ගෙන ඔහු ඉල්ලා අස් වූවා නම් ඒ ගෞරවයට ඔහුට සුදුසුකම් ලබන්නට තිබුණු නමුත් තමන් ම කරන ලද වැරැද්දක් සම්බන්ධයෙන් වගකීම බාර ගන්නට දෙයක් තිබුනේ නැත. වගකීම බාර ගත්තේ නම් කරන්නට තිබුනේ පොලීසියට ගොස් පාපෝච්චාරණයක් කර තමන්  කරන ලද වැරැද්ද සම්බන්ධයෙන් නීතිය අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටීම ය. එහෙම ඉල්ලා සිටිය බවක් තවම වාර්ථා වන්නේ නැත. ඉදිරියට වාර්ථා වේ යැයි සිතන්නට ද බැරි ය.

මෙයින් සිදු වූ අනෙක් කරුණ නම් බන්ධනාගාර ප්‍රකාශක ද බන්ධනාගාර බාර අධිපති තුමා ද හෑල්ලු වීම ය. තමන්ගේ වපසරියේ සිදු වන දේ ගැන අබමල් රේණුවක අවබෝධයක් නැති වීමේ විපාක නිසා ඔවුන්ට නම් දැන් සිදු වන්නේ තනතුරු වලින් ඉල්ලා අස්වන්නට ය. එසේ තමන්ගේ වගකීම බාර ගෙන අස් වූ මුල් ම රාජය නිලධාරීන් ලෙස ඔවුන්ට නම් වාර්ථාවක් තැබිය හැකි ය. එහෙත් එහෙම දෙයක් වුනේ නැත. වෙන එකක් ද නැත.

ර‌ටේ ඇතැම් උදවිය මේ රාජ්‍ය සේවකයන් දෙදෙනාට එරෙහි ව ව්‍යාපාරයක් ආරම්භ කර තිබේ. ඒ මේ දෙපොලම ලජ්ජාවක් හඳුනන්නේ නැතැයි කියා සිටිමින් ය. සාධාරණව වැඩ කරන රජයේ සේවකයන්ට දඩුවම් මාරු විනය ක්‍රියාමාර්ග ගනිද්දී ඇස් කණ් පියා සිටින අපට ඔවුන්ට මෙවැනි චෝදනා කිරීමට අයිතියක් තිබේ ද? තිස් අවුරුදු යුද්ධය අවසන් කළ ලෝකයේ දක්ෂම සේනාධිනායකයා ලෙස ලංකාවේ මිනිසුන් විසින් ම අභිෂේක කරන ලද සරත් ෆොන්සේකා මහතා පුංචි අතපසුවීමකට හිරේ දමද්දී නිසි විරෝධයක් නොදැක්වූ ජනතාවගෙන් ඔවුන් කුමක් අපේක්ෂා කරන්න ද? පිස්සු බල්ලන් සේ හැසිරෙන මිනිසුන් ආණ්ඩු කරන්නට පත් කළ අපට රාජ්‍ය සේවකයන්ට පමණක් දොස් කිව හැකි ද? ඒ නිසා රාජ්‍ය සේවකයන්ගෙන් ගේම ඉල්ලන අයට ද ඒ මැදිහත් වීම නිසා එහෙමට ගෞරවයක් ලැබෙන එකක් නැත.

ඔන්න ඔය හේතු නිසා මේ සිද්ධියෙන් ඒ කවරෙකුටවත් ගෞරවයක් හිමි වූයේ නැත. එහෙත් ආරංචි අනුව ඔහුට අස්වෙන්නට උපදෙස් ලැබී ඇත්තේ අගමැති තුමාගෙන් ය. ඒ නිසා අඩු වශයෙන් එතුමාට වත් ගෞරවයක් පිරි නමන්නට අපට බැරි ද?  ඒ ප්‍රශ්නය අප නගන්නේ වෙනදා තමන්ගේ මිනිසුන් වැරදි කරන ලද කල අහස දෙස බලා ගෙන සිටි එතුමාට ඒ අහක බලා ගැනීමේ වැරැද්ද තේරුම් ගිය බවක් ඒ උපදෙස් දීමෙන් අපට තේරුම් ගිය නිසා ය. වෙනදා එවැනි කලබැගෑනියක දී කමිටුවක් පත් කර ඒ ගැන සොයා බලන්නට යන බවක් පල කරමින් කර ඇරිය අගමැති තුමා අද වන විට වඩා පරිණත වී ඇති බවක් මේ නිසා පෙන්නුම් කරන්නේ යැයි කියා ද කෙනෙකුට කිව හැකි ය.

එහෙත් ඊට ද පරහක් තිබේ. ඇත්තටම නම් මේ කරන ලද වැරැද්දට ඉල්ලා අස් වීම ප්‍රමාණවත් වන්නේ නැත. වැරැද්ද කළ තැනැත්තාට දඩුවම් ලැබිය යුතු ය. ඒ අනුව අගමැති තුමාට කළ යුතු ව තිබුණේ වහාම රාජ්‍ය ඇමතිවරයාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස පොලීසිය බාර ඇමතිවරයාට නියෝග කිරීම ය. එහෙම එකක් වුනේ නැති වාට අමතරව අපේ රටේ රාජ්‍ය නායකයෙකුගෙන් එවැන්නක් බලාපොරොත්තු වීම පවා තේරුමක් නැති වැඩකි.

එහෙම කලක්, තමන්ගේ එකෙකුට දඩුවම් ලබා දෙන කලක්, අපේ රටට උදාවීමට තව කාලයක් ගත කළ යුතු බව ඒ අනුව පෙනෙන්නේ ය.

මානව හිමිකම් කොමසාරිස් වරිය ද මේ සිද්ධිය හෙලා දකිමින් කතා කර තිබේ. ඒ කියන්නේ අපේ රටේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට ඇය තව වරක් ඉදිරිපත් වී ඇති බව ය. ඇය සම්බන්ධයෙන් කිව හැක්කේ ඇයට නම් ලජ්ජාවක් නැති බව ය. මේ රටේ බොහෝ දෙනෙකුට නුවුමනා මානව හිමිකම් ප්‍රතිෂ්ඨාපනය කිරීමට බැණුම් අහමින් ඇය වෙහෙසෙන්නේ ඒ ලජ්ජා බය නැති නිසා ය.

ඒ අනුව මේ සිද්ධිය විසින් කාගෙ කාගෙත් රෙදි ගලවා තිබෙන බවක් පෙනී යන්නේ ය. දැන් ඉතින් තියෙන්නේ සීතාම්බර පටල පැළඳ ඉන්නා බවට පාරම් බෑමට ය.

බැරි වෙලාවත් අශෝක රජතුමා මුස්ලිම් ආගම වැළඳ ගත්තා නම්

See the source image

අපි ඉන්නේ කෝවිඩ් ඇරෙන්නට වෙන අනම් මනම් කතා කිරීමට බැරි තරමේ අවස්ථාවක ය. එහෙත් කොතෙක් කතා කළත් ඒ සඳහා ලැබෙන උත්තරයක් නැති නිසා වෙන දෙයක් කතා කර හිතට සහනයක් ලබා ගැනීමටත් ඒ අතරවාරයේ අපේ සිතීමේ වපසරිය ටිකක් පළල් කර ගැනීමටත් පුංචි උත්සහ කරමු.

ඉතිහාසය තුළ බොහෝ දේ අහම්බෙන් සිදු වේ. එහෙත් එවැන්නකට පසු දිග හැරෙන ඉරණම අපව එක් නිශ්චිත මගක ගෙනියන්නේ ය.

මේ කතාව කියන්නට සිතුනේ මුහුණු පොතේ පළවූ සටහනක් නිසා ය. ඒ බැරි වෙලාවත් ඉන්දියාවේ අශෝක රජතුමා බුද්ධාගම වෙනුවට මුස්ලිම් ආගම වැළඳ ගත්තේ නම් අද අපි කෙසේ ජීවත් වන්නේ ද යන ප්‍රශ්නය මතු කරමින් ය.

එසේ වූයේ නම් අපගේ ගැලවුම් කරුවා වනුයේ අල්ලා දෙවියන් ය. ලවුඩ්ස්පීකරයෙන් පිරිත් වෙනුවට අල්ලා දෙවියන් වහන්සේට කරන යාඥා වලින් අවකාශය පිරී යනු ඇත. අපට ඒ ශබ්ද දූෂණය ඉවසීමට සිදු වන්නේ බුදුන් වහන්සේගේ නාමයෙන් නොව අල්ලා දෙවියන් වහන්සේගේ නාමයෙන් ය.

එසේ වූයේ නම් අප ගේම ඉල්ලනු ඇත්තේ ඉන්දියාවේ හින්දූන් සමග ය. අනේ එහෙම වුනා නම් බුද්ධාගම ගැන මෙලෝ සංසාරයක් අපට දැන ගන්නට වන්නේ නැත.

ඒ නිසා ම අපේ සංසාර චක්‍රය අවසන් කිරීම වෙනුවෙන් නිවන් යෑමක් ගැන කරදර වෙන්නට ද අපට සිදු වන්නේ නැත. බණ භාවනා කරමින් කාලය ගෙවන්නට සිදු වන්නේ ද නැත. දවසට පස් වතාවක් යාඥා කිරීම පමණක් සෑහෙන්නේ ය. මේ ජීවිතයෙන් චක්‍රය අවසන් වන්නේ එක්කෝ දෙව්ලොව අපට අජරාමර තැනක් හිමි වීමෙන් ය. නැත්නම් නිරයේ දිගට ම පැසෙන්නට වරමක් ලබා ගෙන ය.

අපට බෞද්ධයන් මිත්‍ය දෘෂ්ඨිකයන් වන්නේ ය. දාගැබ් පිළිම නැති රටක අතීත සැමරුම් ලෙස ඉතිරි වනු ඇත්තේ වැව් සහ විශාල පල්ලි පමණ ය.

ඌරු මස් හැරෙන්නට සෙසු සියළු මස් වර්ග ද මාළු ද පව් සිදු වනවාය යන බියෙන් තොරව වැළඳීමට අපට අපේ ආගම අනුව අවසර ලැබෙන්නේ ය. බිරිඳ කැමති නම් තවත් බිරින්දෑ වරුන් සමග එක් වීමට තුන්වෙනි සිල්පදය පිළිබඳ බියකින් තොරව පිරිමි අපට අයිතිය ලැබෙන්නේ ය.

පෝය දවසේ පමණක් නොව අවුරුද්දේ සෑම දිනක ම බාර් වසා තබන බැවින් මත්පැන් නිසා ඇති වන කාන්තා හිංසනය ද අවම වනු ඇත. ඒ සැනසීම නිසා ගැහැණු අපට රෙද්දකින් සිරුර වසා ගෙන සිටීමට සිදු වීමේ කරදරය හා බර කැමැත්තෙන් උසුලා ගැනීමට හිතක් ඇතැම් විට පහළ වන්නට පුළුවන.

විමල් වීරවංශ තලේබාන් සංවිධානය නියෝජනය කිරීමට ඉඩ ඇති අතර මේ වන විට ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් අයිසිස් සංවිධානයේ ලංකාවේ සේනාවේ ඉහළ නිලයක් දරනවා වෙන්නට පුළුවන. මහින්ද රාජපක්ෂ ඇතැම් විට අයතුල්ලා කුමේනී කෙනෙක් වී කුරානය අනුව ජීවත් වන තුරා නායක කම් කරනවා ඇත.

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු නොවන අතර මෛත්‍රීපාල සිරිසේන මහතාට එවැන්නක් සම්බන්ධයෙන් පසු තැවිලි වීමට සිදු නොවීමෙන් එතුමාට අති විශාල සහනයක් දැනෙනු ඇත. හිස මතට කඩා වැටිය හැකි නඩුවක් හෝ හිර දඩුවමක් පිළිබඳ අවසන් නොවන භීතියකින් සිටීමට නම් එතුමාට කොහෙත්ම සිදු වන්නේ නැත.

ඇඳුම් වල උපත්පාලන ජෙල් හෝ කොත්තුවල වඳ පෙති හෝ තිබෙන බවට ලැබෙන පැමිණිලි වලින් ජනයා කලබලයට පත් නොවනු ඇති අතර බියෙන් තොරව ඇඳුම් ඇඳීමටත් කොත්තු කෑමටත් ඉඩ ලැබෙනු ඇත. සාෆි නම් වෛද්‍යවරයාට ද කරදරයක් නැතිව රෝගීන්ට ප්‍රතිකාර කරමින් ජීවත් වීමේ වාසනාව හිමි වනු ඇත.

අන්තර්ජාලයෙන් ඉගෙන ගෙන බුද්ධාගම වැළඳ ගන්නට උත්සහ කරන අයට ඒ බව රහසක් ලෙස සඟවා ගෙන සිටීමට සිදු වන අතර අසු වුවහොත් ජාතියට ද්‍රෝහී වූවන් ලෙස සළකා පරිහාසයට පත් කරනු ලබනවා ඇත. අන්තවාදීනට දැන ගන්නට ලැබුනොත් ෂරියා නීතිය අනුව දඩුවම් ලබන්නට ද ඉඩ ඇත. එහෙත් ආගමට පක්ෂව සිටින තාක් ඔබට ප්‍රශ්නයක් නොවනු ඇත.

අශෝක රජු බැරි වෙලාවත් මුස්ලිම් ආගම වැළඳ නොගෙන හින්දු ආගම තුළ රැඳුනා නම් කුමක් විය හැකි ද? එසේ වූවේ නම් අපට උතුර සමග යුද්ධ කරන්නට සිදු වන එකක් නැති නමුත් ඉහත එකක් වත් සිදු නොවනු ඇත.

එහෙම බැලුවහම අශෝක රජු බුදු දහම වැළඳ ගත්තේ අපේ වෙලාවට ය. ඒ වෙලාවේ හොඳ නරක දන්නේ ඔබ ය. ඒ අනුව ඔබට අශෝක රජ තුමාගේ ගුණ කියන්නටත් නැතිනම් රජුට දොස් කියන්නටත් පුළුවන. මක්නිසා ද වගකිව යුත්තේ ඔහු නිසා ය.

මිත්‍යා විශ්වාස වලට මේ තරම් ලැදි ඇයි?

See the source image

“අපේ රටේ තරුණ පරම්පරාව මිථ්‍යා විශ්වාස කෙරෙහි වැඩි නැඹුරුවක් ඇති බව පෙනේ. ඒකට විශේෂ හේතුවක් තිබෙනවා ද?” මේ මුහුණු පොතේ මිතුරෙකු මට යොමු කළ ප්‍රශ්නයකි. මේ සටහන ඒ සඳහා පිළිතුරක් දීමට මා කරන්නා වූ වෑයමකි. ඔබට ද මේ සංවාදයට දායක විය හැකි ය.

මගේ මිතුරා එම ප්‍රශ්නය සඳහා තරුණ පරම්පරාව පමණක් ඉලක්ක කර ගත්තේ ඇයි ද යන්න නම් මට නොවැටහේ. මක් නිසා ද යත් මෙය පරම්පරාවෙන් පරම්පරාවට යන නිධන් ගත රෝගයක් නිසා ය. මට හිතෙන්නේ එසේ කිරීම මගින් ඔහු වත්මන් තරුණ පරම්පරාවට අසාධාරණයක් කර ඇති බව ය. ඒ නිසා මා කැමති පොදුවේ ලාංකිකයා මිත්‍යා විශ්වාස වලට මේතරම් ලැදි ඇයි දැයි විමසීමට ය.

විචාරය වෙනුවට දීනත්වයේ දයාදය

අපව හුරු කර තිබෙන්නේ ප්‍රශ්න කරන්නට නොව අනුගමනය කරන්නට ය. කරබා ගෙන අනුගමනය කරන්නට ය. අන්දරේගේ අම්මා අන්දරේට කිව්වා වගේ දෙන දේ කා ගෝනා වගේ හිටින්නට ය.

හාමුදුරුවන් බණ කී පසු තිබෙන්නේ සාදු කියන්නට ය. කොතෙක් ප්‍රශ්න තිබුණත් ඒවා ප්‍රසිද්ධියේ අහන්නට බැරි ය. ආගම තියෙන්නේ විශ්වාස කරන්නට මිස විචාරය කරන්නට නොවේ ය.

වැඩිහිටියෙකුට කීකරු වෙනව මිසක ප්‍රශ්න කිරීමට අපට අවසර නැත. එය සහගහන අපරාධයකි. වැඩිහිටියෙකු වැරදි දෙයක් කළ ද ඉවසිය යුතු ය. වැඩිහිටියෙකු හා හරිහරියට සංවාදයක යෙදීම පවා සැළකෙන්නේ එකට-එක කීමක් ලෙස ය.  නොමනා වැඩක් ලෙස ය. තියෙන්නේ අහ ගෙන ඉන්නට ය. හූමිටි තියන්නට ය. වැඳ නමස්කාර කර පිළිගන්නට ය.

ගුරුවරුන් ප්‍රශ්න කිරීම විනය විරෝධී වැඩකි. පාසල් ජීවිතයට ම දුක උරුම කර දෙන වැඩකි. ප්‍රශ්න කරන ලද ගුරුවරයාගේ පමණක් නොව ගුරු පරපුරේමත් දෙමාපියන්ගේත් උදහසට ලක් වන වැඩකි.

දෙවියන් ගැන සැක පහල කිරීම වුව දරුණු විපාක හිමිවන කට වරද්දා ගැනීමකි. ඒවාට පිටින් යන අයට හිමිවන්නේ දෙවියන්ගේ ශාපය ය. නැතිනම් අපාය ය.

විද්‍යාව වෙනුවට විජ්ජාව

ඒ හුරු කිරීම කරන්නේ කුඩා කාලයේ පටන් ය. ජීවිතයේ හැම කටයුත්තකට ම සම්බන්ධ වන එකක් ඇත්නම් ඒ මිත්‍යාව ය.

ලෙඩකට වෛද්‍යවරයෙකු මුණ ගැසුනාට මදි ය. බෝධි පූජාවක් කළ යුතු ය. වතුර කළයක් මැතිරිය යුතු ය. තොවිල් පවිල් කළ යුතු ය. දෙහි කැපිය යුතු ය. මැතිරිය යුතු ය. සෙත් කවි කිව යුතු ය. සෙත් පිරිත් කළ යුතු ය. පිරිත් පැන් පානය කළ යුතු ය. නූල් බැඳිය යුතු ය.

දරුවෙකු උපන් විට මුලින් ම කරන කටයුතු අතර වේලපත්කඩය හැදීම ද එකකි. ඉන්පසු කරන හැම කටයුත්තක දීම – ඉඳුල් කට ගාන්නටත් අකුරු කියවන්නටත් කොටහළු මගුලටත් විවාහ මගුලත් තව එකී නොකී වැදගත් හැම මගුලකටමත් වේලපත්කඩය වුවමනා ය. ඒක බලා සුබ වේලාවන් දැන ගත යුතු ය. අසුබ වෙලාවන් මග හැරිය යුතු ය. ඒ අනුව කටයුතු කළ යුතු ය.

කරදරයක් වුනොත් දුවන්නේ අන්න ඒ කේන්දරේ බලවා ගන්නට ය. ඊට පසු කටයුතු සිදු වන්නේ කේන්දර කාරයා කියන විදිහට ය.

මේ හැසිරීම ප්‍රදර්ශනය නොකළොත් සමාජයෙන් අසන්නට වෙන්නේ අපවාද ය. දරුවා ලෙඩ වෙලාවත් පෙනේ ද බෝධී පූජාවක් වත් කරන්න උනන්දුවක් නෑ – මොකෝ ඔ්ක කළා කියල ඇඟෙන් කෑල්ලක් යනව ද යනුවෙන් නැගෙන අවලාද ය. එවන් අය සළකනු ලබන්නේ නරුමයන් ලෙස ය.

පරිසරය ජය ගැනීම උදෙසා අභියෝගයන් ඉදිරිපත් කළේ නැත

අපේ රටේ ස්වභාවීක විපත් අවම ය. භූමිකම්පා නැත. දරුණු සුළි සුළං නැත. ගංවතුර ඒ හැටි දරුණු නැත. බොහෝ විට මිය යන්නේ ගංවතුර ගණන් නොගන්නා මිනිසුන් ය. නාය යෑම් ඇතත් ඒවා හදිසියේ සිදු වන ටික දෙනෙක් පමණක් මරණයට පත් කරන ඒවා ය. ලැව් ගිනි නැත. ඔරොත්තු නොදෙන සිතලක් නැත. ඒ නිසා ම අපට තිබුනේ සෞම්‍ය ජීවිතයකි.

විලි වසා ගැනීමට අමතරව ඇඳුමක වුවමනාව වත්, හෙවනකට අමතරව ගෙයක වුවමනාව වත්, තිබුනේ නැත. සීතල කාලයට අවශ්‍ය අඩුම කුඩුම එකතු කිරීමක් ද සිදු වූයේ නැත. ඒ නිසා ම විද්‍යාව ඒ හැටියට වුවමනා වූයේ ද නැත. එකම දෙය දිගින් දිගට කර ගෙන යෑමෙන් සෑහීමකට පත් වීමට අපට හැකි විය. ඒ සඳහා අවශ්‍ය වූයේ පුරුද්ද පමණ ය.

මුහුදෙන් වටවූ දිවයිනක් නිසා තරමක ආරක්ෂාවක් ද තිබුණේ ය. වරින් වර සතුරු ආක්‍රමණ ඇති වුන ද සාමාන්‍ය මිනිසාගේ ජීවිත වලට එයින් ඇති වූ බලපෑම අල්ප ය. බොහෝ ආක්‍රමණ සිදු වුනේ ඇතුළත ඉල්ලීමක් අනුව ය. එසේ නොවූ ඒවා ජය ගත්තේ ඇතුළත ආධාරයක් ඇතිව ය. සම්මුතියෙන් ය. ඒ නිසා ද ජන ජීවිතය අවුල් වූයේ නැත.

එකම ප්‍රශ්නයකට තිබුනේ වියලි කලාපයේ ශිෂ්ඨාචාරය පැවතුණු කාලයේ නියං සමයකින් බැට කෑමට සිදු වීම ය. ඒ සඳහා පමණක් අපේ මිනිස්සු විද්‍යාව සොයා ගියෝ ය. වැව් කර්මාන්තය බිහි වුනේ එහි ප්‍රතිඵලයක් ලෙස ය. විශාල චෛත්‍ය හා ආගමික ස්ථාන ඒ ශිෂ්ඨාචාරයේම අතුරු ඵලයන් විය. ඒවා සඳහා ද විද්‍යාව යොදවා ගැනිණි.

වියලි කලාපය පුරා පැතිරුණු මැලේරියා වැනි ලෙඩ රෝග නිසා තෙත් කලාපයට සංක්‍රමණය වීමෙන් පසු ඒ වුවමනාව ද නැති විය.

ඉතිරි වූයේ විද්‍යාවෙන් විසඳුම් ඉල්ලා නොසිටින හෝ එයින් එක එල්ලේ විසඳිය නොහැකි අභියෝග කීපයක් පමණ ය. ඒවා අතර ලෙඩ දුක්, සතුරු කරදර හා වනසතුන්ගේ කරදර තිබිණි. ඒවායින් ගැලවිය හැකි එකම මාර්ගය වාසනාවේ පිහිට පමණ ය. මිත්‍යා විශ්වාස හරහා ඒවාට විසඳුම් සෙවීමට පමණක් මනස යොදවන්නට ඇත්තේ ඒ නිසා විය යුතු ය.

ඒ හැටි අභියෝග නොතිබූ සෞම්‍ය ජීවිතය ඉල්ලා සිටියේ කීකරු කම ය. වසර ගණනාවක් ගත වුන ද මිනිසුන්ගේ ජීවිතවල ඒ හැටි වෙනසක් ඇති නොවුනේ ය. ඒ නිසා කැරලි ගහන්නට, සොයා යන්නට, විචාරය කරන්නට අවශ්‍ය වූයේ නැත.

දැනුම පරම්පරාවෙන් පරම්පරාවට පවරා දෙන ලද්දේ ය. ඒ අතර සරල ශිල්ප ක්‍රම ද මිත්‍යාව ද හරි හරියට තිබුනේ ය. ඒවා වෙන වෙනම නොව මිශ්‍ර කර තිබුණේ ය. එය ලබා ගැනීම සඳහා ද කීකරු කම අනිවාර්යය වූයේ ය. දීන කම කොන්දේසියක් වූයේ ය.

එක ම දෙය දිගින් දිගට කරමින් පරම්පරාවෙන් පරම්පරාවට වැඩ කටයුතු කර ගෙන ගිය මිනිසුන්ගේ ජීවිත නැවත වතාවක් වෙනස් වන්නට පටන් ගත්තේ යුරෝපීයන්ගේ ආගමනයෙනි. එහෙත් ඔවුන්ට පවා මිනිසුන්ගේ ජීවිත වල වෙනසක් කිරීම පහසු වූයේ නැත. කුලියට වැඩ කිරීමට ඉන්දියාවෙන් කම්කරුවන් ගෙන්වා ගන්නට සුද්දන්ට සිදු වුනේ වෙනස් වීමට අපේ මිනිසුන් දැක් වූ අකමැත්ත නිසා ම ය. මිනිසුන් වෙනස් නොවුනා නොවේ. එහෙත් වෙනස් වූයේ හෙමිනි. ඒ සඳහා ඇටුවම් බැස තිබුණු සම්ප්‍රදායික මානසිකත්වය ද හික්මවනු ලැබ තිබුනු පුරුදු චර්යාව ද දැඩි ලෙස බලපෑවේ ය.

කුමක් වෙනස් වුවත් කිඳා බැස තිබූ ජීවිතයේ හැම සංසිද්ධියක් හා බද්ධ වූ මිත්‍යා විශ්වාස නම් වෙනස් වූයේ ම නැත. අද ද අප ඉන්නේ එතැන ය. විද්‍යාව පිළිබඳ ආචාර්යය මහාචාර්යය වරු පවා මිත්‍යාව පසුපස යනු අප තවමත් දකින්නේ ඒ නිසා විය හැකි ය.

ආර්ථික අර්බුද, යුද්ධ, කෝලාහල, කැරලි, වසංගත, උපද්‍රව, ව්‍යාසනයන් තිබෙන කාල වකවානු වල මිනිසුන් මිත්‍යා විශ්වාස මත දැඩිව යැපෙන බව පර්යේෂණ වලින් පෙනී ගොස් ඇත. මිත්‍යාව පසුපස හඹා යෑම පසු ගිය යුද සමයේ ඉහවහා ගොස් පසුව අනුක්‍රමයෙන් පල්ලම් බැස කෝවිඩ් වසංගතය සමග නැවතත් කරලියට බැස්සේ ඒ නිසා විය යුතු ය. බිය අවිනිෂ්චිත බව අසරණ බව මිත්‍යාවට මිනිසුන් තල්ලු කරන සාධක ය.

උගුල

විද්‍යාවත් විජ්ජාවත් කලවමට භාවිතා කරන නිසා අපට ප්‍රතිඵල ලැබෙන්නේ කුමකින් ද යන්න අපට වැටහෙන්නේ නැත. ඒ නිසා විජ්ජාවට තවදුරටත් ජීවත් විය හැකිව තිබේ.

විද්‍යා අධ්‍යාපනය සීමා වී ඇත්තේ විභාග පාස් කරන්නට පමණ ය. එය ජීවන දැක්මක් බවට පත් වූයේ නැත. ඒ සඳහා අප කලින් කී හේතු දැඩි ලෙස බල පෑවේ ය.

රට ජාතිය ආගම මෙන්ම අප කී සියලු මිත්‍යා විශ්වාස ද එකක් හැටියට මිස වෙන වෙනම සැලකීමක් අපට නැත. ඒ නිසා එකකට විරුද්ධ වීම යනු සියල්ලට විරුද්ධව යෑම ය. ගැලවීම අපහසු වීමට මේ බන්ධනය ද බල පා ඇත්තේ ය.

කොහොමටත් කරුණු සංඛ්‍යාලේඛන තර්ක විතර්ක සහිත කර්කෂ විද්‍යාවට වඩා ලස්සණ කතන්දර පුදුම හිතෙන ප්‍රතිඵල සහිත විජ්ජාව ආකර්ෂණීය ය. දිරවීමට පහසු ය. එය ද මේ උගුලේ හිර වීමට හේතුවක් ව තිබේ.

යුද්ධය දිනාගෙන – ආර්ථික යුද්ධය ඇන ගැනීම

See the source image

මොන කටයුත්තේ දී පසුබෑවත් යුද්ධය නිමා කිරීමේ කටයුත්තේ දී ශ්‍රී ලංකාව අනුගමනය කළ උපාය මාර්ගය ඵල දැරූ බව යුද්ධයේ විවේචකයන්ගේ පවා පිළිගැනීම ය. එහි දී සිදු වූයේ අභියෝග රැසක් තිබිය දී ද පසුබැසීමට තීරණය නොකර ආක්‍රමණශීලී උපාය මාර්ගය ම තෝරා ගැනීම ය.

යුද්ධයක් තුළ තාවකාලික පසුබැසීම් කළ යුතු වුව ද හැම විටම මානසිකත්වය ආක්‍රමණශීලී මට්ටමක පවත්වා ගත යුතු ය. අභියෝග ඉදිරියේ පසුබැසීමට හැම විට ම තීරණය කරන හමුදාවකට යුද්ධයක් ජය ගැනීමට බැරි ය.

යුද්ධයේ දී එවකට පැවති ආණ්ඩුව හා හමුදා නායකත්වය දැක් වූ ඒ උපාය මාර්ගය, වත්මන් ආණ්ඩුව ආර්ථික ක්ෂේත්‍රයේ දක්වන බවක් පෙනෙන්නට නැත. දිගින් දිගට ම පෙන්නුම් කරන්නේ පසු බසින ලකුණු ය. කුඩා දෙයකින් ද බිය වන හැටි ය. ඇකිලෙන හැටි ය.

සංචාරක ව්‍යාපාරයට පහර වැදී විනිමය අර්බුදයකට මුහුණ දීමට සිදු වූ මුල්ම වතාවේ සිට කල්පනා කළේ හැකිලෙන්නට ය. ආනයන වලට පොලු දමන්නට ය. ඩොලරය කෘතිම ව පහළ තැනක පවත්වා ගෙන යෑමට ය. මුදල් අච්චු ගැසීමට ය.

එයින් සිදු වුන එක් විපත්තියක් නම් අපනයන කර්මාන්තයට ද පහර වැදීම ය. බොහෝ අපනයන කර්මාන්ත වලට අවශ්‍ය අමුද්‍රව්‍ය එකක් හෝ කීපයක් ආනයනය කිරීමට සිදු වේ. ඊට අමතරව ඒවා නිශ්පාදනය සඳහා යොදවන යන්ත්‍රවල අමතර කොටස් ද ආනයනය කිරීමට සිදු වේ. ඒවාට පොලු දැමීම මගින් සිදු වූයේ අපනයනයට ද කණ කොකා හැඩීම ය. ඒ අතර ලංකවට විදේශ විනිමය සපයන ප්‍රමුඛ පෙලේ අංශයක් වූ තේ වගාව ඇතුළත් අපනයන කෘෂිකර්මය ද වෙයි. ඊට කොක්ක වැටුනේ රසායනික පොහොර තහනම හරහා ය.

පහර වැදුනේ අපනයන කර්මාන්ත වලට පමණක් නොවේ. එහෙත් අපනයන කර්මාන්ත වලට වැදුණු පහර විෂම චක්‍රයකට මග පෑදුවේ ය. ඒ තව තවත් ඩොලර් රටට අහිමි වීමෙන් ය.

ඊට අමතරව දේශීය කර්මාන්ත වලට ද පහර වැදුනේ ය. ඒ අතර දැඩිම පහර එල්ල වූයේ කෘෂිකර්මයට ය. ඒ ද රසායනික පොහොර හා කෘෂි රසායනික ද්‍රව්‍ය තහංචිය නිසා ය. ඒ නිසා කෘෂි නිශ්පාදන ඇතුළු වෙනත් දේශීය නිශ්පාදන ද වෙළඳ පොලේ හිඟ වන්නට පටන් ගත්තේ ය. ඉල්ලුමට ප්‍රමාණවත් සැපයුමක් නැති වීමෙන් බඩු මිල ඒ නිසා ද ඉහළ ගියේ ය.

ඒ තත්වය යටතේ විය යුතු පරිද්දෙන් ම ආනයනය කළ අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ද ඉහළ ගිය අතර ඒවා ද හිඟ විය.

වැඩිවන මිලට පිළියම් හොයන්නට දැමූ මිල පාලනය ඒ භාණ්ඩ නැත්තට ම නැති කළේ ය, නැතිනම් හිඟ කළේ ය. ගෑස් හිඟ විය. සීනි අධික ලෙස මිල ඉහළ යෑමත් සමග ඒවා සගවන ලද්දේ ය.

ඩොලරය පහත මට්ටමක කෘතිම ව පවත්වා ගෙන යෑමට තැත් කිරීමෙන් සිදු වූයේ අපනයනකරුවන්ට ලැබිය යුතු රුපියල් ආදායම අඩු වීම ය. ඒ නිසා ම ඩොලර් නිල මට්ටමෙන් ලංකාවට ගෙන ඒමට ද මිනිසුන් කම්මැලි වීම ය. ඒවා බැංකුවලට විකුණනු වෙනුවට කළු වෙළඳ පොලේ විකිණීමට උනන්දු වීම ය. අන්තිමේ මහ බැංකුවට තවදුරටත් පුද්ගලික බැංකුවල ඩොලර් මිල තීරණය කිරීමට නොහැකි තත්වයක් උද්ගත වීම ය.

මුදල් අච්චු ගැසීමෙන් තත්වය තවත් බරපතල වූයේ ඩොලරයට ලැබුණ රුපියල ද ඒ නිසා අවප්‍රමාණ වීම ය. ඒ නිසා අපනයන කර්මාන්තයට තවදුරටත් පාඩු සිදු විය.

හැම පසුබැසීමක ම අවසාන ප්‍රතිඵලය වූයේ තව පසුබැසීමකට තල්ලු වීම ය. ගන්නා ලද හැම පියවරක් ම භූමරංගයක් ව නැවත පැමිණියේ ය. තවත් විටෙක ඒවා තව තවත් පහළට යමින් පඩි පෙලකට තල්ලු කරන ලද රෝදයක් මෙන් පතුලට ම පෙරලී යන බවක් පෙන්නුම් කරමින් සිටින්නේ ය.

ඒ සියල්ලෙන් පෙනෙන්නේ පසු බසින මානසිකත්වය වැළඳ ගත් හමුදාවක නොනවතින පසුබෑම ය.  

මෙය නැවැත්විය හැක්කේ ආක්‍රමණශීලී වීමට තීරණය කිරීම මගින් ය. ඒ ආනයන සීමා අවම කිරීමත්, ඩොලරය පාවීමට ඉඩ හැරීමත්, නිසි මුල්‍ය පාලනයක් ඇති කර ගැනීමත්, නාස්තිය හා දූෂණය අවම කිරීමත්, ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග ගිවිසුමකට එළඹීම හරහා තාවකාලික හුස්මක් ගැනීමට අවකාශ සළසා ගැනීමත් හරහා ය. ඒ අතරේ කෝවිඩ් අර්බුදය ජය ගැනීමට අවශ්‍ය සෑම සම්පතක් ම ඒ සඳහා මැදිහත් වී ඇති පාර්ශවයන්ට ලබා දීමටත් කටයුතු කිරීම හරහා ය.

එහි දී තාවකාලික හානි සිදු විය හැකි බව සැබෑ ය. එහෙත් එසේ නොකළහොත් ඊටත් වඩා ශෝචනීය තත්වයකට දිගුකාලීන ව මුහුණ දීමට රටට ම සිදු වන්නේ ය.

පෙරමුණු කීපයක ම සටන් කිරීමට සිදු වී ඇති අපට තීරණාත්මක අභියෝගය එල්ල වන්නේ ඒ එකකින් වත් නොව වසංගතයෙනි. බොහෝ යුද්ධ පැරදුනේ සතුරු හමුදාවල දක්ෂතාවය නිසා හෝ මිත්‍ර හමුදාවල අදක්ෂතාවය නිසා නොවේ. මිත්‍ර හමුදාවන්ට කාලගුණය හෝ දේශගුණය හරස් වීම නිසා ය. නැත්නම් එවැනි වෙනත් බාහිර කරුණක් නිසා ය. ඒ අවස්ථාවල බලමුළු වල ආරක්ෂාව සඳහා පසුබැසීම ද යුද්ධයේ දී අවශ්‍ය ය. අප ඒ වෙනුවට කරන්නේ ඒ පසුබැසීම් පමා කරමින් අපගේ බලමුළු ඒවාට නිරාවරණය කිරීම ය. එයින් වාසිය අත්වන්නේ සතුරු හමුදාවලට ය. ඒ ඔවුන්ට මුහුණ දීමට සිදු වන විට අප දුර්වල වී සිටිය හැකි නිසා ය. ඒ සංවේදීතාවය පවා අපට නොමැති වූයේ කෙසේ ද? පුදුම වන්නට දෙයක් නැත. සංග්‍රාමයේ දක්ෂයෙකු වූ හිට්ලර්ට ද එයින් ගැලවීමට බැරි විය. ඔහුගේ හමුදා පරාජය ලබන්නේ රුසියාවේ අධික සීතලට ඔරොත්තු දෙනු බැරිව ය. ඒකාධිපතියෙකු වූ හිට්ලර්ට තම හමුදා පිළිබඳ සංවේදිත්වය හෝ සෙසු අයගේ අදහස් විමසීමට අවශ්‍ය නිහතමානිත්වය හෝ නැති වීමෙන් වූයේ අන්ත පරාජයකට මුහුණ දී ජීවිතයෙන් ද සමුගැනීමට ය. හිට්ලර්ගෙන් ඉගෙනීමට අදහස් කරන අයට කිව යුත්තේ ඔහුගේ තාවකාලික ජයග්‍රහණයෙන් පමණක් නොව ඔහුගේ අන්ත පරාජය සනිටුහන් කළ දුර්වලකම් වලින් ද අප ඉගෙන ගත යුතු බව ය.

චීනයෙන් අපි බොහෝ දේ ගෙන ඇත්තෙමු. ඒවා අතර ගුවන් තොටුපල වල්, වරාය වල්, නෙළුම් කුළුණු, වරාය නගරය, ණය, භාණ්ඩ හා ආයෝජන ද වේ. නොගන්නා එක ම දෙය පාඩම් ය. හිට්ලර්ගෙන් පාඩම් ඉගෙන ගන්නට අසමත් වූ අපට එය මහා දෙයක් නොවන්නට පුළුවන. එහෙත් අප දැන්වත් වෙනස් විය යුතු ය. අප හැම දෙයක් ම ගන්නා චීනයෙන් පාඩම් ද ගත යුතු ය. විශේෂයෙන් ආර්ථික ක්ෂේත්‍රය තුළ ඔවුන් ලද ජයග්‍රහණයෙන් පාඩම් ගත යුතු ය.

චීනය ද ස්වයං පෝෂිත ආර්ථිකයක් ගැන (සමාජවාදය ගැන ද) විශ්වාසය තබමින් ගමනක් ගොස් ඇණ ගත්තේ ය. චීනය විශාල රටක් නිසා ස්වයං පෝෂිත ආර්ථිකයක් තැනීමට අපට වඩා ශාක්‍යතාවයක් තිබිය දී ත් ඇණ ගත්තේ ය. චීනය විසින් කරන ලද පරීක්ෂණයේ ප්‍රතිඵලය වූයේ මිලියන ගණනක් මිනිසුන් සාගතයෙන් මිය යෑමය. ඉතිරි වූ අයට සිදු වූයේ දරුවන් වෙනත් රටවලට දන් දී දරුවන්ගේත් තමන්ගේත් ගැලවුම සොයා ගැනීම දක්වා දුරක් යෑමට ය.

ඒ අගාධයට ගිය ගමන වෙනස් කිරීමට ඒ ගමනට නායකත්වය දුන් මා ඔ් සේතුං මැරෙන තුරු සිටීමට චීනයට සිදු විය. එසේ වූයේ, අප රටේ බො‌හෝ දෙනෙකු උඩ දමන, ඒකාධිපතිත්වයට පින් සිදු වන්නට ය. අවසානයේ ඔහුගේ මරණය චීනයට නව අවස්ථාවක් උදා කළේ ය. වාසනාව ගෙනාවේ ය.

ඒ පසුව බලයට පත් වූ ඩෙන්සියාඔ් පිං ට පින්සිදු වන්නට ය. ඔහු චීනය විවෘත කළේ ය. විදේශ ආයෝජනයන්ට විවෘත කළේ ය. ගෝලීය ආර්ථිකයෙන් හැංගෙනවා වෙනුවට, එයට බිය වී පසුබසිනවා වෙනුවට, එයට මුහුණ දීමට ඔහු තීරණය කළේ ය. ආනයනයන්ට ඇතුළු වන්නට අවකාශ සැළසුවේ ය. ලෝක ප්‍රසිද්ධ සමාගම් වලට චීන වෙළඳ පොල විවෘත කළේ ය. මැක්ඩොනල්ඩ් පීසා හට් වැනි සමාගම් පමණක් නොව තාක්ෂණික මෙවලම් නිපදවන කර්මාන්ත ශාලා ද චීනය තුළ ඉදිකරන්නට පමණක් නොව ඒවායේ නිශ්පාදන චීනය තුළ විකුණනන්ට ද අවසර දුන්නේය. ඒවා සමග තරග කරන්නට චීන කර්මාන්ත කරුවන්ට බල කළේ ය. චීනයේ දැවැන්ත කර්මාන්ත බීහි වුනේ ආරක්ෂණ ප්‍රතිපත්තියේ ප්‍රතිපලයක් හැටියට නොවේ. මේ විවෘත කිරීමේ ප්‍රතිඵලයක් හැටියට ය. ඒ නිසා බිහි වූ තරඟයේ හා ඊට සමගාමී ව ගෝලීය ව්‍යාපාරිකයන් සමග ඇති කර ගත් සහයෝගයේ ප්‍රතිඵල හැටියට ය.

අපනයන ක්ෂේත්‍රයට මුල් තැනක් දීමට ඔහු වග බලා ගත්තේ ය. රටට අවශ්‍ය දේ පමණක් නිපදවීමෙන් ගොඩ එන්නට නොහැකි බව තීරණය කළ ඔහු ලෝකයට අවශ්‍ය දේ නිපදවන්නට උත්සුක විය. ඊට අවශ්‍ය විදේශ ආයෝජනවලට අවශ්‍ය පරිසරයක් ඔහු හදා දුන්නේ ය. ඊට අවශ්‍ය එක් කොන්දේසියක් වූයේ ආනයන සීමා වලින් දමන විවිධ තහංචි වලින් ව්‍යවසායකයන්ට නිදහස ලබා දීම ය. ඔහු ඒ සියල්ල කළේ ය.   

ලෝකය ඉදිරියේ බියෙන් පසුබැසීමේ උපායමාර්ගය ඉවත හෙලා ලෝකයට නිර්භයව මුහුණ දෙන්නට තීරණය කිරීම හරහා, ඔහු ලෝකයෙන් බොහෝ දේ ඉගෙන ගැනීමට, පූර්ව ඩෙන්සියාඔ් පීං යුගයේ කිසි දිනෙක ඉගෙන නොගත් බොහෝ දේ ඉගෙන ගැනීමට, අවස්ථාව චීන ජනතාවට ලබා දුන්නේ ය.

අප ඉන්නේ හැරවුම් ලක්ෂයක ය. ගන්නා ලද වැරදි තීරණ වලින් ඉගෙන ගන්නවා ද නැත්නම් ඒවා වඩාත් තදින් කරන්නට තීරණය කර අර්බුදය ව්‍යාසනයකින් ඈවර කර ගන්නවා ද යන මං සන්දියේ ය. ආණ්ඩුවට වැරදුනේ විද්‍යාර්ථීන් වෙනුවට අයිඩියොලොජි කාරයන්ට සවන් දීමට යෑම නිසා ය. ඒ පූර්ව ඩෙන්සියාඔ් පිං යුගයේ චීනයට වූ සන්තෑසියම ය. බොරු මාන්නය ඉවත දමා ඒ වැරැද්ද නිවැරදි කර නොගන්නේ නම් ඇන ගන්නේ ආණ්ඩුව පමණක් නොවේ. ඔබ හා මමත් ඇතුළු සමස්ත රට ම ය.

සමනල නැටුම

See the source image

නැටුමක් පෙනේ මල් ගොමු අතරින් බේරී

සමනල ජෝඩුවට නැහැ වෙහෙසක් උන් මීරී

පියපත් සලන ලීලය වටයක් නාරී

එකෙක් නටයි අනෙකා වෙනුවෙන් පේවී

…………………………………………………………………..

සමනල නැටුම පානා පෙළහර අහසේ

අනෙකා වටා කැරකී රඟමින් වාසේ

මෙතෙක් කලක් පද බැඳි පෙම් කව රහසේ

හදේ ගැඹුරු තැන් දැන් අමතන්නට වෙහෙසේ

………………………………..

ඒ ලස්සන නැටුමට ඉවරයක් නැති

පෙම් කෙරුමට ඒ ලොව තහනමක් නැති

මාලිග තනන්නට හෙම නියමයක් නැති

මල් වතු තිබේ නැටුමට අඩුපාඩු නැති

……………………………….

හිතේ දුකක් කිසි දා ඇති වෙන්න එපා

සතුටේ ඉමක් කිසි දා හමුවෙන්න එපා

නටන උඹට වෙහෙසක් ඇති වෙන්න එපා

උඹලගෙ පෙමට මතු බාධා වෙන්න එපා

……………………………….

වසන්තය සදහට පිපෙන්නයි

සසර පුරා සමනල භව ලබන්නයි

ඒ හැම විටම ඇය හමු වී නටන්නයි

මගේ පැතුම උඹලට පැනි පිරෙන්නයි

…………………………………….

@ නිශාන්ත කමලදාස