ස්වාධීනත්වය හා අල්පෙනෙත්ත

Sri Lanka National Anthem with Animated Flag - YouTube

මිනිසා උත්පත්තියේදී පටන් ම පාහේ අසරණ ය. වෙනත් බොහෝ සතුන්ට ඉපදී ටික වෙලාවකින් නැගිට ගත හැකි වුව ද මිනිසාට ඒ හපන් කම් බැරි ය. ඔහු /ඇය ලොකු මහත් වී තනියම ජීවිතය පටන් ගන්නට, අපේ රට වැනි රටක, ඇතැම් විට වසර විසිපහක් තිහක් වත් වුවමනා ය. ඒ වකවානුවේ ඔහු යැපෙන්නේ දෙමාපියන්ගෙනි.

එසේ වුව ද මිනිස් ළදරුවා ස්වාධීනත්වය පතා කරන අරගලය අරඹන්නේ කුඩා අවදියේ පටන් ය. මුල දී දෙන කෑම ප්‍රතික්ෂේප කිරීමෙනි. ඊට පසු කාලයේ දී තහනම් කරන දෙය ම කිරීමට තැත් කිරීමෙනි. එහෙත් පොඩ්ඩ බැරි වන විට අඩන්නටත් පිහිට පතා කෑ ගහන්නටත් ඔහු අදි මදි කරන්නේ නැත. ස්වාධීනත්වය අගය කළේ වුව ද එහි දුර්විපාක ඔහු/ඇය දන්නේ ය. තනිකරම ස්වාධීන විමේ අවදානම ඔහු/ඇය ඉක්මණින් පසක් කරන්නේ ය.

තරුණ අවදියේ ඔහු ස්වාධීන වෙන්නට කරන උත්සහය නව වටයකින් අරඹන්නේ ය. තමන්ට කැමති දේ ගෙදරින් නැත්නම් පිටින් හෝ කන්නටත් තමන් කැමති යහළුවන් ආශ්‍රය කරන්නටත් කැමති සහකරුවෙකු සහකාරියක සොයා ගන්නටත් ඔහු/ ඇයට වුවමනා වන්නේ ය. මේ අරගලය අවසන් වන්නේ ජීවත් වෙන්නට තමන්ගේ ම මාර්ගයක් සොයා ගෙන ස්වාධීන ජීවිතයක් ගත කිරීම අරඹමිනි.

එතෙකුදු මුල් පවුලට ඇති බැඳීම මුළුමණින් ගලවා දැමීමේ ලා ඔහු/ඇය අසමත් ය.  එපමණක් නොවේ. තමන්ගේ නව ජීවන මාර්ගය නිසා ම තවත් අයගෙන් යැපීම ඒ සමගම ඇරඹෙන්නේ ය. ඒ එක්කෝ තමන්ට වැටුප් ගෙවන හාම්පුතුගෙන් ය. නැතිනම් තමන් වැටුප් ගෙවන කම්කරුවන්ගෙන් ය. අඩු වශයෙන් ඔය අතරතුර තමන්ගේ ම කිව හැකි කාලයක් ද ජීවිතයක් ද වැඩ කරන පැය ගණනින් ඔබ්බෙහි ඔහුට/ඇයට හිමි ය. ඒ නිසා ම ස්වාධීන යැයි කිව හැකි දිවි පෙවතක් ඉතා කෙටි කලකට ඔහු/ඇය රස විඳින්නේ ය.

විවාහ වීමෙන් ඔහු/ඇය නැති කර ගන්නේ මේ කෙටි කලකට රස විඳින්නට අවස්ථාව ලැබුණු ස්වාධීනත්වය ය. දරුවන් ලැබුණු පසු තවදුරටත් තමන්ට වුවමනා හැටියට කටයුතු කරන්නට වඩ වඩාත් දුෂ්කර බව ඔහු ඉක්මණින් පසක් කර ගන්නේ ය.

ඔහු තවදුරටත් මුළුමණින් යැපෙන්නේ නැත. ඔහු ස්වාධීන ද නැත. එකිනෙකා මත යැපෙන නව අවදියකට ඔහු/ඇය එළැඹ සිටින්නේ ය. මේ අන්තර් යැපීම තුළ ස්වාධීනත්වයේ නාම මාත්‍රයක් ඇතත් එය ද යැපීමක් බව ඉක්මණින් ඔහු/ඇය තේරුම් ගන්නේ  ය.

තනිව ජීවත් විය හැක්කේ රොබින්සන් කෘසෝලාට පමණ ය. ඒ සඳහා දූපතක තනි විය යුතු ය. කිසිවෙකු නැති දූපතක තනි විය යුතු ය. සෙසු සියල්ලෝ එකිනෙකා මත යැපෙමින් ජීවත් වන්නෝ ය.

එය පිලි ගන්නා බොහෝ දෙනෙකු පිලි නොගන්නා තව කාරණයක් තිබේ. ඒ නම් අපට ස්වයං පෝෂිත කණ්ඩායමක් ගොඩ නගා ගත නොහැකි ද යන්න ය. ස්වයං පෝෂිත රටක් ස්වයං පෝෂිත ජනවර්ගයක් ජාතියක් ගොඩ නගා ගත හැකි  ද යන්න ය. තනියම ස්වාධීන වීමට බැරි නම් ඊළගට හොඳ දෙය හැටියට මිනිසුන්ට පෙනෙන්නේ ඒක ය.

කොදෙව්වක තනි පුද්ගලයෙකු ලෙස තනි නොවී ජාතියක් ලෙස තනි විය හැකි දැයි බැලීම එහි අරමුණ ය. ‌ෙ

ඉතිහාස කතාව

අතීත ලෝකයේ එහෙම කොදෙව් තිබුනේ ය. මුහුදෙන් වෙන් නොවුනත් වෙනත් ආකාර වලින් වෙන් වුනු කොදෙව් ද ඒ අතර තිබුනේ ය. ඔස්ට්‍රේලියාවේ ඇබොර්ජින් වරුද උතුරු ඇමරිකාවේ රතු ඉන්දියානුවන් ලෙස අප හඳුන්වන ජන කොට්ඨාෂය ද දකුණු ඇමරිකාවේ ඉන්කා වරු ද මායාවරුන් ද උතුරු අත්ලාන්තික් ප්‍රදේශයේ ඇස්කිමෝ වරු ද එසේ වෙන වෙන ම ස්වාධීන ජීවත ගත කළ අය ය.

ඒ ජීවිත බොහෝමයක් සරල ය. ඔවුන්ගේ අවශ්‍යතා අතර ප්‍රමුඛ වූයේ එදිනෙදා ආහාර සොයා ගැනීම ය. ඇඳුම් වල අවශ්‍යතාවය පවා ආවේ සීත රටවල මිනිසුන්ට ය. නැතිනම් විලි වසා ගැනීමට කොල අතු ටිකක් සෑහුනේ ය. සැවොම එක්ව දඩයම්  කිරීමෙන් ද ඵල වැල නෙලා ගැනීමෙන් අල හාරා ගැනීමෙන් ද කණ්ඩායමේ සාමාජිකයන්ගේ වුවමනා එපාකම් පිරිමසා ගැනිණි. තනි  තනිවම ස්වාධීන නොවූවත් කණ්ඩායමක් ලෙස ඔවුහු ස්වාධීන වූහ. බාහිර කිසිවෙකුගෙන් යැපෙන්නේ නැතිව ආඩම්බරයෙන් ජීවත් වූහ.

සියල්ල වෙනස් වුනේ කෘෂිකර්මයත් සමග ය. එදිනෙදා ආහාර නොව මාස ගණනකට ආහාර එකවර ලැබුණු අතර ඒවා ආරක්ෂා කර ගත යුතුව තිබුනේ ය. ඒ සතුන්ගෙන් පමණක් නොවේ. අහාර සොයා ඇවිදින වෙනත් ගෝත්‍ර වලින් ද ආරක්ෂා කර ගත යුතු ව තිබුනේ ය.

ගොවිතැන් කටයුතු බලා කියා ගන්නට වෙනම පිරිසකුත් වගාවන් අස්වැන්න හා දේපල ආරක්ෂා කිරීමට වෙන ම පිරිසකුත් අවශ්‍ය වුනේ ය. පළමු අය වගා කටයුතු කළාට ප්‍රමාණවත් මදි ය. එක මොහොතකින් ඒවා පැහැර ගනු ලැබේ නම් ඒ ව්‍යායාමයෙන් වැඩක් නැත. දෙවනු අය ආයුධ දැරුවාට පමණක් වැඩක් නැත. ඔවුන්ගේ කටවල් ද බඩවල් ද පිරවීමට තවත් කවුරුන් හෝ වගා කළ යුතු විය. එකිනෙකා මත යැපෙන කණ්ඩායම් ඉදිරියට එන්නේ ඒ අනුව ය. අන්තර් යැපීම පුද්ගලයන් අතර නොව වෘත්තීන් අතර ඇති වන්නේ ඒ අනුව ය.

පුද්ගලික දේපල අයිතිය රකින නීති පද්ධතියක් හා ඒ නීති ක්‍රියාත්මක කරමින් ගෝත්‍ර අතර ආරවුල් විසඳීමට මැදිහත් වෙන රජෙක් ද අවශ්‍ය වුයේ ඒ නිසා ය. ගෝත්‍ර කීපයක් එකතුව ප්‍රාදේශීය රාජ්‍යයන් ගොඩ නැගුනේ ඒ අනුව ය. ප්‍රාදේශීය රාජ්‍යයන් අතර ගැටුම් උග්‍ර වන විට ඊට පිලියමක් ලෙස අධිරාජ්‍යයන් ද වුවමනා වූයේ ය. ප්‍රාදේශීය රාජ්‍ය කීපයක් එකතුව අධිරාජ්‍යයන් ගොඩ නැගුනේ එහි ප්‍රතිඵලයක් හැටියට ය. රජු හෝ අධිරාජයා ආරක්ෂාව සැපයූ අතර මිනිස්සු ඔහුට බදු ගෙවූ හ. එක්තරා දුරකට ඔහුගේ නොපනත් කම් ද ඉවසූහ. නොපනත් කම් ඉහවහා ගිය විට කුමන්ත්‍රණ ක්‍රියාත්මක කෙරුණු අතර එවැනි අධිරාජයන්ට කිරුළ ද ජීවිතය ද අහිමි කරනු ලැබුවේ ය. ඒ අහිමි වීම් අන්තර් යැපීම තේරුම් නොගැනීම වෙනුවෙන් ගෙවන්නට සිදු වූ  වන්දියක් ලෙස සළකනු ලැබී ය. ඇතැම් තැනක එක අධිරාජයෙකු පලවා හැරීමට තව අධිරාජයෙකුට උදව් කෙරුණේ ය.

අද වන විට ලෝකය අරුම පුදුම අන්තර් පැවැත්මකට උරුම කියන්නේ ය. වැදගත් කිසිම දෙයක් අද එක මිනිසෙකු නිපදවන්නේ නැත. එක රටක නිපදවන්නේ ද නැත.

චිත්‍රයක් අඳින චිත්‍ර ශිල්පියෙකු පවා කැන්වසය ගන්නේ වෙළඳ පොලෙනි. ඇතැම් විට ඒ  ඉන්දියානු නිශ්පාදනයක් විය හැකි ය. ඔහු භාවිතා කරන තීන්ත බොහෝ විට චීනයේ නිපදවෙන ඒවා වන විට පින්සල් ජපානයේ නිපදවෙන ඒවා වීමට ඉඩ තිබේ. චිත්‍රය මිලට ගන්නේ නෙදර්ලන්ත වැසියෙකු වුව ද අවසානයේ එය එල්ලා තැබෙන්නේ කැනඩාවේ නිවෙසක විය හැකි ය.

අන්තර් පැවැත්ම  

මේ අන්තර් පැවැත්ම පිළිගන්නට බොහෝ දෙනෙකු කැමති නැත. ඔවුන්ගේ අභිප්‍රාය ස්වාධීන වීමට ය. ස්වෛරී වීමට ය. කිසිවෙකුගෙන් නොයැපී ජීවත් වීමට ය. එය උදාර අරමුණක්  විය හැකි ය. එහෙත් එය අද සැළකිය හැක්කේ අමන විහිළුවක් ලෙස පමණ ය. ඒ ලෝකය වෙනස් වී ඇති නිසා ය.

ලෝකය වෙනස් වී ඇතැයි නොදැන අපේ අල්පෙනෙත්ති අප සාදා ගත යුතු යැයි ගෝරනාඩු කරන්නේ ඔවුන් ය. මහාචාර්ය වරුන්ගේ නිවෙස් වල ගෙවත්තේ එළවලු ඔවුන් විසින් සාදා ගත  යුතු යැයි යෝජනා කරන්නේ ඔවුන් ය.

වරදවා තේරුම් නොගැනීම උදෙසා මෙය ද කිව යුතු ය. ලාබෙට හදා ගත හැකි නම් අපේ අල්පෙනෙත්ති අප සාදා ගැනීම හෝ වෙලාව ඉඩකඩ තිබේ නම් එළවලු පාත්තියක් දා ගැනීම හෝ වැරැද්දක් නොවේ. එහෙත් වැරැද්ද ඒවා එසේ නොවීම ගැන බැණ අඩ ගසා ගැනීම ය. පසුතැවීම ය.

මඩ සෝදා ගත් කල ගොවියා රජකමට වුව සුදුසු වුව ද අමරදේව ලවා කුඹුරු කොටවා ගන්නට යෑමේ තේරුමක් නැත. නිවිතිවල කොතරම් යකඩ තිබුන ද අයින්සටයින්ව ගෙවත්තේ නිවිති වගා කිරීමට පෙළඹවීමේ ද තේරුමක් නැත.

අප කළ යුත්තේ අපට වඩාත් හොඳින් කළ  හැකි වැඩ ය. එයින් උපයන මුදල් ගෙවා අපට එතරම් හොඳින් කරන්නට බැරි වැඩ සෙසු මිනිසුන් ලවා කර ගැනීම පාපයක් වන්නේ නැත. ඇත්තටම අප දෙදෙනාට ම එයින් ඇතිවන්නේ ලාභයක් ය. බොහෝ දෙනෙකු මෙය කරන්නේ වුව ද ඔවුන්ගේ වැඩි මනාපය තියෙන්නේ අපේ දේ අපිම නිපදවා ගැනීමට ය. අඩු වශයෙන් තනිවම නැතත් රටක් ලෙස හෝ එය කර ගැනීමට ය. අල්පෙනෙත්ති රට තුළ නිපදවන්නේ නැති එක ගැන ඔවුන් ලසෝ තැවුල් නගන්නේ ඒ නිසා ය.

අපේ ඇඳුම් මිලට ගන්නා ඇමරිකාව මෙතරම් ලොකු රටක් වීත් තමන්ගේ ඇඳුම් තමන්ට ම නිපදවා ගන්නට බැරි වීම ගැන ඒ ආණ්ඩුවට දොස් තබන්නේ නැත.

අල්පෙනෙත්ති ගැන ලොකුවට කතා නොකරතත් අඩු වශයෙන් අපට අවශ්‍ය බත වත් මෙහි ම නිපදවා ගත යුතු යැයි කියන අය බොහෝ ය. ඔවුන්ගේ තර්කය එවිට අපට ස්වෛරී ස්වාධීන රාජ්‍යයක් බවට පත් විය හැකි යැයි කියා ය.

අදහස් කරන්නේ බත් නම් අප දැනටමත් බතට අවශ්‍ය වී  වලින්, සහලින්, ස්වයං පෝෂිත බව ආඩම්බරයෙන් කිව හැකි ය. එහෙත් ඒ ආඩම්බරය රෙද්ද පල්ලෙන් බේරෙන්නේ වී වගාව සහල් නිශ්පාදනය හා අලෙවිය ගැන විපරම් කරද්දී ය.

ඒ වී වගාවට අවශ්‍ය පොහොර, කෘමි නාශක, වල්නාශක පමණක් නොව බිජ ද ගෙනෙන්නේ පිටරටින් නිසා ය. කුඹුරට අවශ්‍ය ජලය සැපයෙන්නේ ද පිටරටින් ගෙන්වන සිමෙන්ති හා යකඩ යොදා ගෙන තනා ඇති නිර්මිතයන් ඔස්සේ නිසා ය. එපමණක් නම් මදෑ. වගා කටයුතු කිරීමට අවශ්‍ය කරන ට්‍රැක්ටර්, අස්වැන්න නෙලන සුනාමි භූතයන් වැනි යන්ත්‍ර ද ගෙනෙන්නේ පිටරටින් නිසා ය. එම යන්ත්‍රවලට අවශ්‍ය අමතර කොටස් ඉන්ධන ලිහිසි තෙල් ද ගෙනෙන්නේ පිටරටින් නිසා ය. එසේ කපා ගත් අස්වැන්න සහල් කරන්නේ ද පිටරටින් ගෙනෙ යන්ත්‍ර සූත්‍රවලින් නිසා ය. ඒවට අවශ්‍ය ලිහිසි තෙල් අමතර කොටස් ද ගෙනෙන්නේ පිටරටින් නිසා ය. එසේ කොටා ගන්නා සහල් පැකට් කරන්නේ පිටරටින් ආනයනය කරන මළු වල අසුරා නිසා ය. ඒවා ප්‍රවාහනය කරන්නේ ද පිටරටින් ගෙනෙන ඩිමෝ බට්ටන් නැතිනම් ඉසුසු ලොරි වලින් නිසා ය. ඒවාට අවශ්‍ය ඉන්ධන ගෙනෙන්නේ ද නැවතත් පිටරටින් නිසා ය.

අතීතයට ආපසු යෑම?

අතීතයේ මේ කෝලම් තිබුනේ නැත. බීජ අපේ ගොවියා හදා ගත්තේ ය. පරහකට තිබුනේ අස්වැන්න මේ තරම් විශාල නැතිවීම පමණ ය. අවශ්‍ය ජලය ද ගස් කඳන් හෝ ගල්වැටි හා මැටි යොදා ගනිමින් තනා ගත් අමුණු භාවිතා කොට ලබා ගත් ඒවා ය. පරහකට තිබුනේ ඒවායින් හැරවිය හැකි ජල ප්‍රමාණය සීමා සහිත වීම ය. පොහොර හැටියට යොදා ගැනුනේ පිදුරුත් ගොමත් පමණ ය. පරහකට තිබුනේ අස්වැන්න ඒ හැටියකට නොලැබීම පමණකි. ට්‍රැක්ටර් නොතිබුණු බව ඇත්ත ය. එහෙත් ඇතිවෙන්න මී හරක් හිටියේ ය. හාන්නට වෙලා ගිය බව පුංචි කොස්සකි. පමා වී හෝ වැඩේ කෙරුණේ ය. තෙල් බෙහෙත් නොතිබුණු බව ඇත්ත ය. අස්වැන්න හානි වුව ද අස්වැන්නක් කෙසේ හෝ ගැනීමට තිබුණු දේශීය ක්‍රම වලින් උදව්වක් ලැබුනේ ය. මිනිස් ශ්‍රමය විශාල වශයෙන් අවශ්‍ය වුව ද දැන් කාලයේ මෙන් නොව ඇති වෙන්නට එය තිබුණු බැවින් යන්ත්‍ර නැතිව වැඩේ කර ගත හැකි වුනේ ය. ප්‍රවාහනයට කරත්ත තිබුනේ ය.

සැබෑ ලෙස ස්වයං පෝෂිත වෙන්නට නම් කළ හැකි එක් දෙයක් නම් ඒ පරණ යුගයට නැවත යෑම ය. එහෙත් ඒ සඳහා දැන් ඉන්නා මිනිසුන්ගෙන් සියයට අනූවකටත් වැඩියෙන් අතුරුදහන් කළ යුතු ය. පැරණි ක්‍රම වේදයන්ගෙන් මේසා විශාල ජනතාවකට ආහාර සැපයිය නොහැකි නිසා ය. ඒ ක්‍රම වේදයන්ගේ අප සඳහන් කළ පරහ ‌කොරහ තිබුණු නිසා ය. අඩුපාඩු තිබුණු නිසා ය.

ඒ තත්වය යටතේ සම්පූර්ණයෙන් ස්වයං පෝෂිත වීම විහිළුවක් පමණ ය. ඒ නිසා ම සම්පූර්ණයෙන් ස්වෛරී ස්වාධීන රටක් තනිව හැදීම ද හීනයක් පමණ ය.

මේ සියල්ල තේරුම් ගන්නා මිනිසුන් නව ලෝකය තුළ අන්තර් පැවැත්මකට හිත හදා ගනු ඇත. සෙසු  මිනිසුන් සමග බෙදා හදා ගැනිමට හිත හදා ගනු ඇත. ස්වාධීන ස්වෛරී රටවල් හැදිය හැක්කේ සෙසු රටවල් සමග එක්ව ලෝකය බෙදා ගැනීමෙන් මිස, ඔවුන් සමග ඒ සඳහා එකඟතාවයන්ට පැමිණීමෙන් මිස, අපේ දේ අපම හදා ගැනීම උදෙසා බදා ගැනීමෙන් නොවන බව ද මානව ශිෂ්ඨාචාරයේ සෙසු ඇගයිම් වලට පිටුපෑමෙන් නොවන බව ද පසක් කර ගෙන ඒ අනුව ජීවත් වනවා ඇත.

අපට බත හදා ගැනීමට අවශ්‍ය දේ පමණක් නොව සුවපහසු ජීවිතයකට අවශ්‍ය දේ ද  පිටරටින් මිල දී ගත හැක්කේ අපට ඒ වෙනුවට ඔවුන්ට දිය හැකි දෙයක් තිබේ නම් පමණ ය.

අප දැනට දෙන්නේ මොනවා ද?  වැඩි මනත් ලෙස ලාභ ශ්‍රමය ය. එය එක්කෝ කෙළින්ම ගෘහ සේවිකාවන් හා කම්කරුවන් අපනයනයෙන් ය. නැතිනම් ඒ ලාභ ශ්‍රමය තේ දල්ලකට හෝ අඳින පළඳින ඇඳුමකට එක් කර ඒ හරහා ය. ඒත් නැතිනම් විදේශ සංචාරකයින්ට සේවා සැපයීම හරහා ය. ඒවා එකකට වත් එහෙමට මිලක් ලැබෙන්නේ නැත.

හෙට දවස

අප තරමක් කුඩාවට නමුත් ඉහළ මිලක් ගන්නා දේ ද කරමින් සිටිමු. ඒ මෘදුකාංග කර්මාන්තයේ ය. ලන්ඩන් කොටස් වෙළඳ පොල දුවන්නේ අපේ රටේ ආයතනයක් විසින් කළමනාකරණය කරනු ලබන මෘදුකාංගයක් හරහා ය. ඒ නිසා ලන්ඩන් වැසියෝ හීනමානයෙන් පෙළෙන්නේ නැත. ඒකවත් කරගන්නට අපට බැරි දැයි කියමින් කම්පා වෙන්නේ නැත.

අප ජෙට් යානා වලට අවශ්‍ය ටයර් නිශ්පාදනය කරමින් සිටිමු. ජෙට් යානා නිපදවන රටවල් ජෙට් නිපදවන අපට ටයර් එකක්වත් හදා ගන්නට බැරි මන් දැයි අසමින් විස්සෝප වන්නේ නැත.

අප මෝටර් රථ සඳහා හදිසි අනතුරක දී පිම්බෙන බැලුමට අදාළ උපාංගයක් නිපදවමින් සිටිමු. ටොයෝටා අයිතිකරුවන් තමන්ට ම ඒ දේ කරගන්නට බැරි වුනා යැයි සිතමින් කම්පා වන්නේ නැත.

අප ද අල්පෙනෙත්තට කම්පා වීම නතර කළ යුතු ය.

අප සෙවිය යුත්තේ එවැනි ඉහළ අගයක් ගත හැකි අපට කළ හැකි නිපදවීම් මොනවා ද යන්න ය. ගෘහ සේවිකාවන් මැදපෙරදිගට යවනවා වෙනුවට උගත් පුහුණු හෙදියන් වෛද්‍යවරුන් ඉහළ වැටුපකට යුරෝපයට යැවිය හැකි ද යන්න ය. ලෝකයේ ම නැතත් කලාපයේ සෙසු රටවල සිසුන්ව හෝ ආකර්ෂණය කර ගත හැකි උසස් අධ්‍යාපන ආයතන බිහි කළ හැකි ද යන්න ය. එසේ නොකොට අල්පෙනෙත්ති පසු පස යන්නේ මෝඩයෝ ය.

පුංචි දරුවෙකු මෙන් අපි ද රටක් හැටියට කාලයක් පරාධීනව සිටි‌මු. ඉන්පසු තරුණයන්ට මෙන් ම අපට ද රටක් හැටියට ස්වාධීනත්වය ලැබිණි. ඒ අහංකාර වන්නට නොව නව අන්තර් පැවැත්මකට යෑමට ය. අල්පෙනෙත්ත ළඟ නතර නොවී ලෝකය සමග යුග දිවියකට පිවිසීමට ය.

විමලරත්න කුමාරගම කිවිඳුන් හා සංවාදය

Image may contain: text that says 'සංහිඳ ළඟ භාරයට කිරි ඉතිරීම කෙම්මුර දවස් වල පානින් සැරසීම වන අතු කඩා ගස් දෙබලක දැවටී ම මම නොකෙරුවත් එය ගැරහීම සාගත වසංගත හා එන නියං වලින් සහනය පතා වන දෙවියන් ළඟට කෙලින් එන මේ පිරිස සැරසීමට නුවණ මලින් පෙළඹෙන අයට අනුකම්පා කරමි මුලින් විමලරත්න කුමාරගම කවියා'

 

නයි නටවලා මිනිසුන් රට රැවටීම
බොරුවෙන් හා මුලාවෙන් ජීවත් වීම
ධාතූන් වහන්සේ පෙන්වා නැලවීම
බුදු පුතෙකුට තරම් නැත ඒ හැසිරීම

නූගත් දනන් හා බැතිමත් සැදැහැතියන්
දපනය දමා නයි හීලෑ කරන ලෙසින්.
බොරුවෙන් මුලා කළ හැටි දැකලා දෙනෙතින්
නිහඩව සිටිනු බැහැ මට ඒ නොදුටු සෙයින්

 

ඔබටත් එක් විය හැකි  ය මේ සංවාදයට

උන්මත්තකයෙකු උත්තමයෙකු ලෙස රඟන නවක වදය

Reflections: The Conversation - VII (On Ragging...Law ...

‘හිර ගෙදර ඉන්නේ ද මනුස්සයෝ ය’. ඒ වැලිකඩ හිරගෙදර ලොකු අකුරින් ලියැවී ඇති වාක්‍යයකි. සරසවියේ බිත්තිවල සමාන අකුරින් ලියවුනේ නැති වුව ද වෙනත් ආකාර වලින් නොපෙනෙන්නට ලියැවී තිබෙන්නේ ද ඒ තුළ ඉන්නේත් මනුස්සයෝය කියා ය. එය සමාජයේම තවත් පැති කඩකි. සමාජය සතුව ඇති සියලු දුර්ගුණ ඒ තුළ ද ඇත. එහෙම බැලුවහම නවක වදය එහි තවත් ආකාරයක ප්‍රකාශ මාන වීමක් පමණ ය.

කුඩා එකකු අල්ලා ගෙන ඌට වද දී විනෝදයක් ලැබීම මා දැක ඇති බොහෝ වැඩිහිටියන්ගේ පුරුද්දකි. සුද්ද සිංහලෙන් කියනවා නම් වැඩිහිටියන් කරන්නේ පොඩි එකා “බයිට්” එකට ගැනීම ය.

එයින් පොඩි එකාට ඇතිවන මානසික පීඩනය ගැන වගේ වගක් මේ ඊනියා වැඩිහිටියන්ට නැත. මෙසේ කරන බොහෝ දෙනෙකු පොඩි එකාගේ නෑදැයින් ය. ළඟම නෑදෑයින් ය. ඇතැම් විට සහෝදර සහෝදරියන් ය. ඇතැම් තැනක අම්මලා තාත්තාලා ය. සරසවියේ ජේෂ්ඨ උත්තමයන්ට සමාන මට්ටමක ඉන්නා අය ය. පොඩි උන් රැක ගැනීමේ වග කීම දැරිය යුතු අය ය.

මේ ඔලොක්කුවට ඔච්චමට අසුවන්නේ පොඩි දරුවන් පමණක් නොවේ. ඇතැම් විට එහි ගොදුර වනු ඇත්තේ ගැහැණිය ය. එසේ සිදුවන්නේ තමන් ගැහැණියකගේ බඩෙන් නොව වෙනත් තැනකින් පහළ වුනා යයි සිතන පිරිමින් අතිනි.

සමහර විට ගොදුරට හසු වන්නේ අබාධිතයන් ය. ශාරීරිකව හෝ මානසිකව යම් ආබාධයක් ඇති තැනත්තන් ය. එවන් තැනැත්තෙකුගේ ඇද කුදයක් සොයමින් සිනාසීමට තරම් මේ නොමිනිසුන් අන්ධ බාල ය. එසේ සිදු වන්නේ තමන්ට කවදාවත් එවැනි ඇබැද්දියක් වෙන්නේ නැතැයි සිතන නැඩ පුරුෂයන් අතින් ය. නැතිනම් යකඩ ගැහැණුන් අතින් ය.

තව තැනක උන්ගේ උසුළු විසුළු වලට හසු වන්නේ මහළු මිනිසුන් සහ ගැහැණුන් ය. ඒ සදාකාලිකව තිරිහන් වී ඉඳීමට නියමිත පරම්පරාවක් අතින් ය.

තවත් අවස්ථාවල ඉලක්කය සමලිංගික නැඹුරුතාවයක් ඇති මිනිසුන් හා ගැහැණුන් ය. ඒ විෂම ලිංගික බව ශ්‍රේෂ්ඨ යැයි සළකන විෂම ලිංගික මිනිසුන් හා ගැහැණුන් අතින් ය. ඇතැම් අවස්ථාවල ඒ පීඩනය එල්ල වනුයේ සංක්‍රාන්තික ලිංගික අනන්‍යතාවයක් ඇති මිනිසුන්ට ය. ගැහැණුන්ට ය. ඒ මේ ලෝකයේ සිටිය යුත්තේ තමන් පමණක් යැයි සිතන නොවෙනස් ලිංගික අනන්‍යතාවයකට උරුම කියන අය අතින් ය.

ඇතැම් විට ගොදුර වන්නේ අන්‍ය ආගමිකයින් ය. ඒ තමන්ගේ ආගම තරම් ලොකු අටමගලයක් ලෝකේම නැතැයි හිතා ඉන්නා ආගමිකයන් අතින් ය. මෙයිනුත් වැඩිම හිංසනයට ලක් වන්නේ සුළුතරයක් මිනිසුන් ඉන්නා ආගම් අදහන්නන්ට ය. ඒ මේ රට බුදුන්ගේ දේශය යයි කියමින් නැති අයිතිවාසිකමක් කියන බෞද්ධයන් අතින් ය.

තව වතාවක දී අසුවන්නේ “සුළු“ ජාතිකයන් ය. ඒ නාමකරණය තුළ ම ඔවුන්ගේ තැන සළකුණු කර තිබීම ම අමතර හේතුවක් හැටියට ගෙන ය. එයින් අදහස් වන්නේ බහුතර ජාතියට අයත් නොවන්නා වූ අන් ජාතිකයන් ය. ඔවුන් පරයින් ලෙස සැළකෙන්නේ තමන් භූමිපුත්‍රයන් යැයි සිතන බහුතර සිංහල ජාතියට අයත් මිනිසුන් අතින් ය.

තවත් විටෙක මේ තරවටුව පීඩනයට අසුවන්නේ කුල හීන යැයි සම්මත කර ගෙන ඇති මිනිසුන්ට ය. ඒ තමන්ගේ කුලය මහා ඉහළ යැයි පාරම්බාන කුලීනයන් අතින් ය.

සුරතල් සතුන් පවා මේ පරපීඩක ආත්මයන්ගෙන් ගැලවෙන්නේ නැත. රතිඤ්ඤා කරලක් බල්ලෙකුගේ වලිගයේ එල්ලා, එය පත්තු කර, සතා පත් වන කලබලය දෙස බලා සිනාසෙන මිනිසුන් කියන්නේ ඒ පුවත ය.

මේ පරපීඩක මානසිකත්වය නොහොත් පරපීඩනයෙන් වින්දනයක් ලැබීම, විවිධ ආකාරයේ පීඩනයන්ට තමන් ලක් වීම නිසා සිදු වන අතුරු ඵලයක් යැයි කෙනෙකුට තර්ක කළ හැකි ය. එතෙකුදු එම පීඩනය නිදහස් වන්නේ තමන් වැනි ම පීඩිතයෙකුගේ කර පිටින් ගොහින් ය. ඉවසන්නට අමාරු ඒ පීඩාව සිදු කරනු ලබන්නේ පීඩනයට විරුද්ධව දෑත් එසවිය නොහැකි අසරණයෙකුට වීම ය.

ප්‍රශ්නය ඇත්තේ එහෙම වටපිටාවක අප සරසවියෙන් පමණක් වෙනසක් අපේක්ෂා කිරීම තුළ ඇත්තේ කුමන සාධාරණයක් ද යන්න ය.

උන් ද උඩ දාගෙන තලන්නේ අප ද තලමින් ඉන්නා “පුංචි” එවුන් ය. එහෙව් කොට උන්ට පමණක් ඇඟිල්ල එල්ල කිරීමට අපට හැකියාවක් නැත.

එවැනි අසාධාරණ අපේක්ෂාවක පදනම විය හැක්කේ සෙසු මිනිසුන් මෙන් නොව සරසවිය තුළ ඉන්නේ හිතන්නට හැකි, විමසන්නට හැකි, ඥානයක් බුද්ධියක් ඇති, පිරිසක් ලෙස අප තුළ ඇති මතය ය. ඒ වැරදි මතය කර තබා ගෙන සිටීම සම්බන්ධයෙන් සරසවි සිසුන් වගකිව යුතු නැත. එවැනි බරපතල චරිතයක් උන්ගෙන් අපේක්ෂා කිරීමෙන් අප කර ඇත්තේ වැරැද්දකි.

උන් බොහෝ දෙනෙකු කට පාඩම් කර, ටියුෂන් ගුරුවරුන්ගේ දක්ෂකම් වලට ද විභාග ප්‍රශ්න පත්තර වල දුර්වලකම් වලට ද ඇතැම් තැනක විභාග ශාලාවල සිදුවන අකටයුතුකම් වලට ද පින්සිදු වන්නට සරසවියට ගොඩ වැදුනු අය ය. ඒ නිසා වැස්සකට සරසවියකට ගොඩ වුනු අය හා උන් අතර එහෙමකට වෙනසක් නැත.

පොදු තත්වය එසේ වුව ද ලංකාවේ බුද්ධිමතුන් යැයි ගැණිය හැකි පිරිසක් ද එයට ඇතුළු වන බව අපට නොසළකා හැරිය නොහැකි ය. ප්‍රශ්නය ඇත්තේ බහුතරයක් වූ ඇතුළතින් හීනමානී වූ ද පිටතින් අධිමානී වූ ද මිනිසුන්ට ඉඩ දී උන් නිහඩ වීම ය. නැතිනම් බහුතර මතයට විරුද්ධව යෑමට පණ නැති කම නිසා උන් ද බහුතරය සමග එකතු වීම ය. නැතිනම් තමන් විශේෂ යැයි සළකා උන් ද ඇඳ ගැනීම ය.

නවක වදයට පක්ෂ අය විසින් ගෙනෙන එක් තර්කයක් වන්නේ නවකයින්ගේ සබකෝලය නැති කොට උන් ද සමාජශීලි පිරිසක් කිරීමේ අරමුණින් මේ සියල්ල ක්‍රියාත්මක කෙරෙන බව ය. එහෙත් නවක වදය ක්‍රියාත්මක වන ආකාරය දෙස බැලූ විට පෙනෙන්නේ නවකයින්ගේ අභිමානය නැත්තට ම නැති කොට උන් වහළුන් බවට පත් කිරීමෙන් එය අවසන් වන බව ය. කියන්නේ එකක් වුනාට කරන්නේ තව එකක් බව ය.

නවක වදයට පක්ෂව ගෙනෙන තව තර්කයක් වන්නේ මේ හරහා ඇතිවන මිත්‍රත්වය මත නවකයින්ගේ වුවමනා එපාකම් බලා ගන්නට ජේෂ්ඨයන් ඉදිරිපත් වන බව ය. නවකයන් කට්ට කෑ යුත්තේ ඒ අනාගත උදව්ව බලාගෙන බව ය.

ඒ තර්කය බොල් ය. තමන්ට වඩා පහල කණිෂ්ඨයන්ට උදව් කරන්නේ උන් දෙකට නැමී ගෙන කියන දේ කරන්නේ නම් පමණක් නම් ඒ උදව්ව සමෘද්ධිය දෙන්නේ දේශපාලකයාගේ රැස්වීම සහභාගි වූ අයට පමණක් යැයි කීමට දෙවැනි වන්නේ නැත.

රැස්වීමකට සහභාගී වීමට අසමත් වීම සමෘද්ධිය අහිමි වීමට හේතුවක් වන රටක නවක වදයට සහභාගී වීම ප්‍රතික්ෂේප කිරීම රැහෙන් එලවා දැමීමට පමණක් නොව ගුටි කන්නට ද සිදුවන පාප කර්මයක් බවට පත් වීම පුදුමයක් නොවන බව ඇත්ත ය. පුදුමය වන්නේ දේශපාලකයින්ගේ පතුරු යවන “අන්තරය” ම උන් අනුගමනය කිරීමේදී කිසිදු වෙනසක් නොපෙන්වීම ය. තමන් විවේචනය කරන දේශපාලනඥයන් සමග ම එක පෙලට ලජ්ජා නැතිව සිට ගැනීම ය.

මේ සන්සන්දනය අපට කියන්නේ බොහෝ තැනක බලය තියෙන එකා අවස්ථාව ලැබුණු විටක නැති එකාව පාගා දමන බව ය. ඒ හරහා තමන්ට අවශ්‍ය විදිහට නැටවෙන රූකඩයක් බවට උන්ව පත් කර ගන්නා බව ය. තමන් වෙනුවෙන් උන් කඩේ යවන බව ය.

වෙනසකට ඇත්තේ බලයේ ප්‍රභවයන් වෙනස් වීම පමණ ය. ඇතැම් තැනක බලය ලැබෙන්නේ බහුතරය නිසා ය. තවත් තැනක එය පාරම්පරික උරුමයක් ලෙස සළකාගෙන ය. තවත් තැනක එය දරණ තානාන්තරයක් නිසා ය. පළඳින ඇඳුමක්, තරුවක් හෝ ඔටුන්නක් නිසා ය. බැජ් එකක් නිසා ය. ජේෂ්ඨත්වය නිසා ය. වයස නිසා ය. ප්‍රභවය කුමක් වුව ද සැවොම කරන්නේ එක ම දෙයකි. ලැබුණු හා ලබා ගත් බලය අමු අමුවේ භාවිතා කර තවකෙකු හෙලීම ය. පෙලීම ය. එය තරුවක් හිමි පොලිස් කාරයෙක් විසින් සිදු කළ ද බැජ් එකක් පැළැන්දු ශිෂ්‍ය නායකයෙකු විසින් කළ  ද ජේෂ්ඨත්වය හිමි සරසවි ජේෂ්ඨ උත්තමයෙකු නැතිනම් ජේෂ්ඨ උන්මත්තයෙකු විසින් කළ  ද වෙනසක් නැත.

ඇතැම්හු මේවා කරන්නේ තමන්ට නැති පොරත්වයක් ලබා ගැනීමට ය. වීරයෙකු වීමට ය. තවත් සමහරු මෙසේ හැසිරෙන්නේ තමන්ගේ තේජස සෙසු අයට පෙන්වන්නට ය. බොරු ෂෝ එකට ය. තවත් අය තමන්ගේ අඩුපාඩුවක් වසා ගැනීමට ය. උන්මත්තයෙකු උත්තමයෙකු බවට රූපාන්තරණය කර ගැනීමට ය. ඒ කුමන හේතුවක් නිසා කළ ද මේ එකක් වත් අහිංසක නැත.

මේ ලිපි පෙළේ එක් ලිපියකින් අපි සරසවිය කෙසේ විය යුතු දැයි සිහිනයක් දැක්කෙමු. අප එහි සටහන් කළේ මේ වචන ය.

“සරසවිය ප්‍රඥාවේ හරඹ පිටියක් විය යුතු ය. නව උත්පාදනයේ තෝතැන්නක් විය යුතු ය. ජාතියේ නැණ පහන් දල්වන ආලෝකය විය යුතු ය. රටට මග පෙන්වන ප්‍රදීපාගාරයක් විය යුතු ය. නැත. එවැන්නක තැන තැන විසිරුණු ලකුණු කීපයක් ඇරෙන්නට එය වඩාත් ආසන්න කාන්තාරයකට ය”.

කාන්තාරයක පිපෙන්නේ පතොක් මල් පමණ ය. ඒවා කටු සහිත ය. විෂ ය. ඒ නිසා අපට අසන්නට ලැබෙන්නේ පරපීඩක නවක වදය පිළිබඳ කතා ය. ඒවා සාධාරණීකරණය කරනු සඳහා නගන බොල් තර්ක ය.

සරසවියේ උගන්නා මේ පරපීඩක මානසිකත්වයෙන් තොර සිසුන්ට සාධාරණයක් වනු පිණිස අපට මේ සම්බන්ධයෙන් තවත් යමක් එකතු කළ යුතුව තිබේ. ඒ අමානුෂික නවක වදය ගෙන යනු ලබන්නේ අතලොස්සක් වූ උන්මත්තකයන් පිරිසක් විසින් බව ය. එම නවක වදයට සම්බන්ධ නොවන විශාල පිරිසක් ද සරසවි වල ඉගෙනුම ලබන බව ය.

එහෙත් එසේ තිබිය දී සරසවි තුළ නවක වදය තිබීමෙන් පෙනී යන්නේ එය නැවැත්වීමට බහුතර සිසුන්ගේ එහෙමට වුවමනාවක් නම් නැති බව ය. එවැනි උණක් ඇති සිසුන් තවමත් ගණනින් අල්ප බව ය. ඒ නිසා ම රටට ප්‍රදර්ශනය වන්නේ සරසවිය විලි සංගේ නැති උන් හිතු හිතු දේ කරන, උන්ගේ දඩ බිමක් ලෙස ය. මේ අපකීර්තිමත් නාමයෙන් සරසවිය ගලවා ගැනිමේ වගකිම වෙන කවරෙකුටත් වඩා තිබිය යුත්තේ සරසවි සිසුන්ට ය. ඔවුන් ඒ වගකීමෙන් කර හැරිය විට සිදු වන්නේ පරිපාලනය මැදිහත් වීම ය. පොලීසිය මැදිහත් වීම ය. මාධ්‍ය නවක වදයේ නිරුවත රස කර කර ප්‍රදර්ශනය කිරීම ය.

නවක වදයට විරුද්ධව ප්‍රමාණවත් උද්ඝෝෂණයක් කිරීමට අසමත් වූ අය ද නවක වදය දුන් අය සමග ම එකතුව දැන් පොලු අමෝරා ගෙන එන්නේ මේ බාහිර කුමන්ත්‍රණය පැරද වීමට ය.

සරසවියට නොගිය උන්ට තමන් සමග ඇරියස් එකක් ඇතැයි කියමින් ද වැස්සකටවත් සරසවියකට ගොඩ වී නැති එකෙකු සරසවිය ගැන කුමක් දන්නේ දැයි පාච්චල් කරමින් ද ඔවුහු නවක වදයට එරෙහිව කතා කරන රටේ මිනිසුන්ට එරෙහිව එකතු වෙති. එතැනදී ද ප්‍රදර්ශනය වන්නේ පුහු මාන්නය ය. අපේ ජාතියට ද පොදුවේ ඇති අප පොරවල් යැයි හිතන අධි මාන්නය ය.

එහෙත් නවක වදය නිසා ම සරසවියට ආයුබෝවන් කී, එහි දුගඳ අත්දැකීම් වලින් සැලී, ඒ බව රටට හෙලි කළ, සරසවි සිසුන්ගේ ම කතාවලට ඇහුම් කන් දීමට ඔවුහු පසු බාති. ඒවාට නෑසූ කන් ඇති ව සිටිති.

සරසවි සිසුන් පමණක් නොව, අප ජාතියක් හැටියට ම තේරුම් ගැනීමට අපොහොසත් වී ඇත්තේ බාහිර  බලවේගයන්ට අපේ අභ්‍යන්තර කටයුතු වලට ඇඟිලි ගැසීමට අවස්ථාව විවර වන්නේ අපේ ම අතලොස්සකගේ උන්මත්තක ක්‍රියා නිසා බව ය. ඔවුන්ගේ ඇඟිලි ගැසීම් සුජාතකරණය වීමට, අප විසින් පාලනය නොකළ, අප අතරම ඉන්නා, උන්මත්තකයින් කීප දෙනෙකුගේ  ක්‍රියා ද හේතු වී ඇති බව ය. අප, අපේ නොහික්මුණු උන් පාලනය කිරීමට අසමත් වෙන තාක් බාහිර බලවේගයන්ට අත පොවන්නට අවස්ථාවක් ඉන් ඇති වන බව ය.

ප්‍රශ්න එතැනින් අවසන් නොවේ. ඊලඟට අපට වද දෙන ප්‍රශ්නය වන්නේ නවක වදය විඳි අය ම ඊළග වසරේ දී ජේෂ්ඨ උන්මත්තකයින්ගේ තැන ගෙන නවකයන් පෙලීමට ඉදිරිපත් වීම ය. වසරින් වසර අමානුෂිකත්වය ද ඒ හා සමගම ඉහළ යෑම ය.

ජේෂ්ඨ උත්තමයන්ට ඇති බිය නිසා ම, උන්ගෙන් එල්ල විය හැකි අතවරයන්ට ඇති බිය නිසා ම, කොන්වෙතැයි සැකය නිසා ම, මුල දී බාරගන්නා මේ සිතුවිලි පරම්පරාව ටික කලක් යන විට තමන්ගේ ම කරගන්නට නවක සිසුන්ට ද සිදු වේ. ඒ කෙනෙකුගේ චර්යාව හා ආකල්ප අතර යම් පරතරයක් ඇති වීම ඔහුට /ඇයට හිරිහැරයක් නිසාත් එයින් ගැලවිය හැක්කේ ආකල්ප වෙනස් කර ගැනීම මගින් නිසාත් ය. ඒ සඳහා කළ යුත්තේ තම චර්යාව සාධාරණීකරණය කරන සිතුවිලි ඇති කර ගැනීම ය. නවකවදය සාධාරණීකරණය වන්නේ ඒ අනුව ය. ඒ වෙනුවෙන් සරසවි සිසුන් පෙනී සිටින්නේ ඒ අනුව ය. ඊළග වසරේ තමන් විඳි නවක වදය තමන්ගේ කණිෂ්ඨයන්ට අත් කර දෙන්නට ඉදිරිපත් වන්නේ ඒ අනුව ය.

අප සරසවියේ ගත කළ කාලයේ අපේ ඉහළ වසරවල මිතුරන් ද පහළ වසරවල මිතුරන් ද අපේ මචං ලා වූ හ. ඒත් දැන් එහෙම නැත. ඉහල වසරවල ඉන්නේ අයියලා අක්කලා ය. පහළ වසරවල නංගිලා මල්ලිලා ය. දැන් අනුගමනය මුලටත් වඩා ලෙහෙසි ය. වැඩිහිටි අයියා කෙනෙකුට විරුද්ධව යෑම මචං කෙනෙකුට විරුද්ධව යෑමට වඩා භයානක ය. ඉතින් පැරණි සම්ප්‍රදාය ගෙන යෑමට, දිගින් දිගට ගෙන යෑමට, සුදුසු වටපිටාවක් සරසවිය තුළ මෙසේ සංවිධානය වී තිබේ.

නවක වදය පිළිබඳ ප්‍රමාණවත් විරෝධයක් තබා ප්‍රමාණවත් සංවාදයක් පවා සරසවි තුළ ඇති නොවන්නේ ඒ හේතුව නිසා ය.

මේ වටපිටාව තුළ, පුස්කොල පොත් තරමට නොවෙතත් පරම්පරා කීපයකට පෙර ලද සෑහෙන පැරණි සටහන් අනුගමනය කරමින් දේශන පවත්වන සරසවිය තුළ, අලුත් දැනුමක් සොයා යනවා වෙනුවට අවම වෙහෙසක් දරා සහතිකය රැගෙන ආ උද්දාමයෙන් පිට වී යෑමට සිතීම ගැන සරසවි සිසුන්ට දොස් පැවරිය නොහැකි ය. එහෙම පිරිසක් තමන්ගේ චාරිත්‍රයක්, එය කොතරම් සමාජය විසින් ප්‍රශ්න කළ ද, නැවත විමසීමට වෙහෙසෙන්නේ නැත.

අපේ සරසවියට ලොව දියුණු රටවල සරසවි වලින් ඉගෙන ගත හැකි ය. ඒවායේ ද නවක සිසුන් සමාජශීලී කිරිමේ වගකීම ජේෂ්ඨ සිසුන් විසින් දරනු ලැබේ. එහෙත් ඒ නවක සිසුන් පීචං කර තමන් උත්තමයන් බවට පත් වීමෙන් නොවේ. නවකයන්ට සරසවිය නිසි ලෙස හඳුන්වා දීමෙනි. ඔවුන් සමග කතා බහ කිරීමෙන් නව පරිසරය පිළිබඳව ඔවුන්ට ඇති චකිතයෙන් ඔවුන් මුදවා හරිමිනි.

බොහෝ දෙනෙකු බටහිර රටවලින් ගුරුහරුකම් ගන්නට මැලි කමක් දක්වති. ඒ අප උන්ට වඩා කෙරුමන් ලෙස ඒ අය විශ්වාස කරන නිසා ය. එහෙම අයට ටිබෙට් රටේ කෙනෙකු වුව ද අපේ ද ජාතික වීරයෙකු වූ ඇස් මහින්ද හිමියන්ගෙන් උපදෙස් ලැබිය හැකි ය.

උස් තැන් දැක හැකිලෙන්නේ

මිටි තැන් දැක පුප්පන්නේ

නිවටුන් බව සිතමින්නේ

මගේ පුතා ලොකු වෙන්නේ

සරසවි සිසුන් ලොකු විය යුතු ය. ඒ තමන්ගේ කණිෂ්ඨයන්ට පිප්පීමෙන් නොවේ. පාසලක ශිෂ්‍ය නායකයින් මෙන් ලොකු අයියාගේ භූමිකාවට පණ දීමෙන් නොවේ. ටිබෙට් ජාතික මහින්ද හිමියන් කියූ ලෙසින්ම, මිටි තැන් දැක පුප්පන්නේ නිවටුන් බව සිතමින්, ලොකු විය යුතු ය. රටේ මිනිසුන් නියෝජනය කළේ වුව ද, ඒ සෙසු මිනිසුන්ට වඩා වෙනස් පරිණත හැසිරීමක් ඔවුන් විසින් පෙන්නුම් කළ යුතු ය. එසේ කිරීමට අසමත් වන්නේ නම් උන් ලබන උපාධියට පිරිපුන් මිනිසුන් අතර නම් වටිනාකමක් හිමිවන එකක් නැත.