අපේ සිහින වෘත්තීය සමිති

888888_31072017_FRR_CMY

වෘත්තීය සමිති තිබෙන්නේ වෘත්තීය අයිතිවාසිකම් දිනාගැනීමට කේවල් කිරීමට ය. අරගල කිරීමට ය. ඒ වෙන රටවල ය. අපේ රටේ වෘත්තිය සමිති තියෙන්නේ ඒවායේ නායකයන්ට අවශ්‍ය දේ ලබා ගැනීම සඳහා කඩේ යැවීමට ය. නායකයන්ට අවශ්‍ය කාරණා අතර ඇත්තේ සුළු පටු දේ පමණක් නොවේ. ඇතැම් විට ඒ අතර දේශපාලන බලය හා ඇමති කම් යන එකී නොකී දේ තිබේ.

එක් වෘත්තීය සමිති නායකයෙක් කලෙක ප්‍රසිද්ධව හිටියේ රජුන් තනන්නෙකු හැටියට ය. එසේ රජෙකු තනන අතරේ හෙතෙම තමන්ට ද ඇමති තනතුරක් ලබා ගත්තේ ය. එසේ රජුට ආවඩා ඇමතිවරු වූ වෘත්තීය සමිති කීපයක නායකයෝ වත්මන් ඇමති මණ්ඩලය තුළ ද සිිටිති. සමහර වෘත්තීය සමිති නායකයන් ප්‍රසිද්ධ වූයේ මුට්ටි කාසි එකතු කරන්නන් හැටියට ය. මේ සෑම දෙයින් ම පෙනී යන එක් කරුණක් තිබේ. සමාජිකයන්ට වඩා වෘත්තීය සමිති වැදගත් වන්නේ නායකයන්ට බව ය. එවැනි වතාවරණයක මිනිසුන් වෘත්තීය සමිති වටා ගොනු වනුයේ කෙසේ ද? මිනිසුන් ඒ තරම්ම මෝඩ ද?

ඔවුන් මෝඩ නැත. එහෙත් ඔවුන් අසරණ ය. මහා බලයක් ඇති තම නායකයාගේ රැකවරණයෙන් මිදුනොත් ආතක් පාතක් නැති වනු ඇතැයි ඔවුන්ට ඔවුන්ගේ ඒ අසරණ කම හරහා ඒත්තු ගන්වා තිබේ. ඒ වටා මිනිසුන් රැස් කරගන්නේ ඔවුන්ට ලැබිය යුතු අයිතිවාසිකම් ලබා දීමෙන් ම නොවේ. ඔවුන් නොවන වෙනත් මිනිසුන්ගේ අයිතිවාසිකම් කුමන හෝ උප්පර වැට්ටියක් දමා යටපත් කර ගැනීම ද හරහා ය. තමා නොවන අනෙකාගේ පරාජය අපේ ජය ලෙස අර්ථ දක්වා ඇති විටක ඒ ජය ගැන උදම් ඇනිය හැකි වීම ද මේ ගොනුව තුළ තිබේ. වඩාත් සාර්ථක වෘත්තීය සමිති බවට පත්ව ඇත්තේ ම සමාන්තර හෝ වෙනත් සේවාවන් වල දියුණුව ප්‍රගතිය වළක්වා ලීමේ හැකියාව ඇති වෘත්තීය සමිති වලට වීම ඒ නිසා අහම්බයක් නොවේ.

වත්මන් ශ්‍රී ලංකාවේ වඩාත්ම බලය ඇති වෘත්තීය සමිතියේ -රජයේ වෛද්‍ය නිලධාරී සංගමයේ- ක්‍රියාකාරිත්වය විමසන කෙනෙකුට ඒ බව වඩාත් හොඳින් පැහැදිලි වනු ඇත. ඔවුන්ගේ වෘත්තීය සමිති ක්‍රියාකාරිත්වය තුළ වඩාත් මතුව ඇත්තේ ඔවුන් හා එකට වැඩ කරන වෙනත් සේවාවන් යටපත් කර තබා ගැනීමේ වුවමනාව ය. එය මිනිසුන් රැස් කර ගැනීමේ එකම උපාය මාර්ගය නොවේ. එහෙත් එය මුල් පෙලේ උපාය මාර්ගයකි.

ඊළග උපාය තමන්ට අයිති නැති කොටසක් – වෘත්තීය අයිතිවාසිකමක් ලෙස සැළකිය නොහැකි දේ ද- ඉල්ලා සිටීම ය. දරුවන්ට ජාතික පාසල් ලබා දෙන ලෙස කරන ඉල්ලීම තුළ ඇත්තේ මේ උපාය මාර්ගය ය.

තුන් වැන්න ගෝනි බිල්ලා පෙන්වීම ය. ඉන්දියානු ගෝනි බිල්ලා, සයිටම් ගෝනි බිල්ලා එවැනි උදාහරණ ය. සයිටම්වල ප්‍රමිතිය ඇතිකිරීම වෙනුවෙන් පෙනී සිටීමට එහා ගොස් එය ජනසතු කරන ලෙස ඉල්ලන්නේ ඒ නිසා ය. කෙනෙකු තවත් කෙනෙකු වෙතට ඇද ගත හැකි හොඳම උපක්‍රමය ඔහුට හෝ ඇයට තර්ජනයක් තිබෙන බව අගවා  තමන් එය යටපත් කර ලීමට කටයුතු කරන බව පෙන්වා සිටීම ය.

හතර වැන්න රටේ හෝ ආයතනික නීතිවලින් නිදහස ඉල්ලා සිටීම ය. ඇගිලි අත්සන ප්‍රතික්ෂේප කිරීම තමන් අධීක්ෂණයට ලක් වීම ප්‍රතික්ෂේප කිරීම වැනි කටයුතු ඉස්සරහට එන්නේ ඒ අනුව ය. එසේ කළ විට වෘත්තීය අයිතිවාසිකම් අවශ්‍ය නොවේ. වැඩ කරන අයට එසේ කිරීමට මෙන්ම නොකරන්නන්ට නොකර සිටීමටත් නිදහස ඒ මගින් තහවුරු වන නිසා ය.

බොහෝ වෛද්‍ය වෘත්තිකයන් ඉතා දුෂ්කර සේවයක සිටින බවට සැකයක් අපට නැත. ඒ සේවයේ සංවේදිත්වය භාවිතා කරමින් නිසි ලෙස සේවය නොසලසන වෛද්‍යවරුන් ද ඊට මුවා වී ආරක්ෂා කරමින් එම වෘත්තීය සමිතිය කර ගෙන යන වැඩ කොටස ඒ සේවයේ යෙදී සිටින්නන්ගේ ගරුත්වය සමාජය විසින් ප්‍රශ්න කරන තැනකට ගෙනැවිත් තිබේ. එයින් අදහස් වන්නේ වෘත්තීය සමිතිය සමාජිකයන් කඩේ යවමින් කර ඇත්තේ සමාජිකයන්ගේ සමාජ බලය අඩපණ කර දැමීම බව ය. එය සිහිපත් කරවන්නේ රජුගේ නින්දට බාධා කළ මැස්සෙකු මැරීමට සිය කඩුවෙන් රජුට කෙටූ රජුගේ ආරක්ෂකයා පිළිබඳ කතාවට ය.

එක් වෘත්තීය සමිතියක් ගත්තේ උදාහරණයට ය. අනෙත් වෘත්තීය සමිති පිළිබඳ කතාව ද ඊට නොදෙවෙනි ය. වෛද්‍ය නිලධාරී සංගමයේ කෙනිත්තීම් ගැන කොඳුරන සෙසු සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති වල තත්වය පවා ඊට නොදෙවෙනි ය. තමන්ට කරන කෙනිත්තීම් ගැන සංවේදී ඔවුන්ට ඔවුන් වෙනත් සේවාවන්ට කරන කෙනෙත්තීම් නිසා ඇති වන වේදනාව ගැන වගේ වගක් නැත.

වෘත්තීය සමිතියක් විසින් දැරිය යුතු එක් විශාල වගකීමක් නම් ආයතනයේ විධි ක්‍රම සිය වෘත්තීය අයිතිවාසිකම් ආරක්ෂා වනු පිණිස ද ආයතනයේ ක්‍රියාකාරිත්වය ඉහළින් ම සිදු කිරීම පිණිස ද ප්‍රතිසංවිධානය කිරීමට උර දීම ය. දෙවැන්න හරහා ද සිය වෘත්තීයේ ගෞරවය වැඩි දියුණු වන බැවින් එය ද වෘත්තීය සමිතියක් විසින් දැක්විය යුතු පරාර්ථ ක්‍රියාවක් ම නොව ස්වාර්ථය වෙනුවෙන් දැරිය යුතු අතවශ්‍ය වගකීමක් ලෙස මෙහි දී සළකා තිබේ. එහෙත් නොකෙරෙන්නේ ද එය ය. ඔවුන් වඩාත් උත්සුක වන්නේ සිය හිතේෂී සාමාජිකයන්ගේ පුද්ගලික අභිමතාර්ථ වෙනුවෙන් මේ විධි ක්‍රම වටේ යෑමට ය. ඒවා මග හැර යෑමට ය. ඒ නිසා ම ස්ථාන මාරු ප්‍රතිපත්තියක් හදනවාට වඩා ඔවුන් කැමති තිබෙන එවැනි ප්‍රතිපත්තීන් එහා මෙහා කිරීමට ඉඩක් ලබා ගැනීමට ය (මේ සම්බන්ධයෙන් නම් අතීතයේ වගකීමක් ඇති හැසිරීමක් රජයේ වෛද්‍ය නිලධාරී සංගමය විසින් ප්‍රකට කළ බව හරි දේ අගය කරමින් සටහන් කළ යුතු ය. එය තවමත් එසේ ම තිබේ දැයි තොරතුරු අප සතුව නැත). සේවාව ලබා දීමේ අනුගමනය කළ යුතු ක්‍රියාවලි වඩා කාර්යක්ෂමව හා පහසුකරනවාට වඩා ඔවුන් කැමති ඒ ක්‍රියාවලි රිසි පරිදි වෙනස් කිරීමට ඉඩ හදා ගැනීමට ය. මේ නිසා ද වෘත්තීය ගරුත්වය ගොඩ නැගීම තම යුතුකමක් ලෙස නොසළකන නායකයින්ගෙන් බොහෝ වෘත්තීය සමිති සමන්විතව තිබේ.

බොහෝ වෘත්තීය සමිතිවල නායකත්වයට පත්වන්නේ වැඩට එතරම් කැමැත්තක් නොදක්වන අය ය. වැඩ තුළින් සතුටක් නොලබන අය ය. සමිතිය තුළ ලබන සමාජ බලයට ආශාවක් තිබෙන අය ය. එයින් තමන්ට ද යම් පුද්ගලික සෙතක් අත් වෙතැයි විශ්වාස කරන අය ය. සෙසු අය සළකන්නේ ඒ වගකීම කරදරයක් හැටියට ය. අනවශ්‍ය බරක් හැටියට ය. පෞද්ගලික ජීවිතයට වැටෙන හෙවනැල්ලක් හැටියට ය. මේ හේතූන් නිසා නායකත්වයට පත්වෙන අය බොහෝ විට දේශපාලනඥයන් වැනි අය ය. බහුතරයක්  දෙනා දේශපාලනයට ද සම්බන්ධ අය ය. එසේ නොවන අය පත් වුව ද කෙටි කලෙකින් එක්කෝ ඉවත්ව යෑමටත් නැතිනම් පරිවර්තනයකට ලක් වීමටත් නියමිත ය.

දේශපාලනඥයන් නැතිනම් ඔවුන්ගේ කපාපු පලු වන ඔවුන් බලයට කෑදර ය. නායකත්වයට පත් වූ පසු ලෙහෙසියෙන් එය අත්හැර දමන්නේ නැත. ඒ නිසා ම ඉන් බොහෝ දෙනෙක් යාවජීව නායකයෝ ය. තර්ජනයක් විය හැකි අය සංගමයේ බලය යොදා ගෙන ම තටු කපා තැබේ. ඒ සඳහා ඇතැම් විට පරිපාලනයේ ද සහය ලබා ගැනේ. නැත්නම් සන්ධාන ගත වී සහායකයෙකු කර ගනු ලැබේ.

ආයතනයේ නායකත්වයට අලුතින් පත්වන ඕනෑම කෙනෙකුට පෙනය පුප්පවා බය ගන්වා දැපනේ දා ගැනීම ඔවුන්ගේ මුල් පියවර ය. එසේ යටත් නොවන අයට හිරිහැරයක් වීම ඊළග පියවර ය. යටත් වන්නේ නම් සන්ධානයක් හදා ගැනීම ඊළග පියවර වන්නේ ය. මේ සන්ධාන ගිවිසුම යටතේ බලය කිසියම් ප්‍රමාණයකට බෙදා ගැනේ. එසේ කළොත් දෙගොල්ලන්ම ගොඩ ය. නැතිනම් වන්නේ ආයතන ප්‍රධානියාට වහ කන්න ය. ආයතන ප්‍රධානියා ඍජු පාලකයෙකු වුවහොත් ඔහු/ ඇය ඉවත් වන තුරු රිදවන්නට උත්සහ දැරෙන්නේ ය. ප්‍රධානියා එලවා දැමීම සඳහා ඊට සමාන වුවමනා ඇති අය සමග සන්ධාන ගත වන්නේ ය.

දක්ෂ පාලකයෝ වෘත්තීය සමිති නායකයන්ගේ නිල හොඳින් අල්ලා ගන්නෝ ය. ඔවුන්ට තැනක් දෙන බව පෙන්වමින් රග පාන්නෝ ය. ඔවුන් අල්ලේ නටවන්නෝ ය. ඔවුන්ව පාවිච්චි කරන්නෝ ය. බොහෝ විට අප දකින්නේ වේදිකාවේ කරන රග පෑම පමණ ය. තිරය පිටුපස ලියැවෙන තිර පිටපත අපට පෙනෙන්නේ නැත. අපට ඇත්තේ අප ඉදිරියේ පෙනෙන වේදිකාව මත බලමුළු ගැන්වෙන නාඩගම දෙස බලා සිටීමට ය. ඒ විගඩම රස විඳීිමට ය. ආතල් එකක් දැනුනොත් විසිල් ගැසීමට ය. අත්පුඩි තැලීමට ය.

වෘත්තීය සමිති නායකයෙකු වීම අපේ රටේ සිවුරක් දා ගන්නවා වැනි කටයුත්තකි. සමාජ බලයක් ලබා ගත හැකි මාවතකි. තමන් නීතියට උඩින් සිටිතැයි හිතෙන සෙසු අය සමග එක් විය හැකි ඒ පැලැන්තියට යා හැකි ප්‍රවේශ පත්‍රයකි. අප වගේ නීතිය නමන්නට හැකි රටක් තුළ අද්විතීය බලයක් ඇති තනතුරකි. මේ බලයෙන් උදම් වන අයගේ ඊළග තාර්කික පියවර දේශපාලනයට පිවිසීම ය. නිරපේක්ෂ බලය හඹා යෑම ය.

එහි මුල් පියවර තමන්ගේ වෘත්තීය සමිතිය දේශපාලන නායකයන් වෙනුවෙන් කඩේ යැවීම ය. වෘත්තීය ගරුත්වය පසෙකලා ඉල්ලීම් ලබා ගැනීමට මෙහෙයවීම ය. වෘත්තීය ගරුත්වය මහ දවල් විකුණා දැමීම ය. තමන්ව දේශපාලනඥයෙකු ලෙස හැඩ ගස්වා ඉදිරියට ගනු ඇතැයි අපේක්ෂා කළ හැකි නායකයෙකුට උගස් කර දැමීම ය.

බහුතරයක් වෘත්තීය සමිති විසින් මහ ඉහළින් සමරනුයේ මැයි දිනය ය. ඒ ලෝක කම්කරුවන්ගේ දිනය ය. ඒ දිනය සමරන සැමරිල්ල නරඹන ඕනෑම කෙනෙකුට පෙනෙන්නේ වෘත්තීය සමිති විසින් අත් පත් කර ගෙන ඇති ශෝචනීය ඉරණම ය. සීනි නැතිව තේ බිව්වේ ද රෙදි නැතිව පාරේ ගියේ ද එසේ සිය වෘත්තීය ගරුත්වය විකුණූ මිනිසුන් ය.

අපේ සිහින වෘත්තීය සමිති වෙනස් ය. ඒ තුළ වඩාත් දැඩිව ආරක්ෂා කරන්නේ වෘත්තීය ගරුත්වය යි. වෘත්තීය අයිතිවාසිකම් පවා දෙවැනි තැනට දමමින් වඩාත් දැඩි ලෙස වෘත්තීය සමිති ඒ වෙනුවෙන් පෙනී සිටිති. ඔවුන් තම වැදගත් කම පෙන්වන්නේ සේවය අතැර දැමීමෙන් නොවේ. වඩාත් දැඩිව ඒ සඳහා කැපවීමෙනි. ජනතාව ගල ග්‍රහණයට ගෙන කප්පම් ඉල්ලීමෙන් නොවේ. ජනතා ආදරය දිනා ගැනීමෙන් ලබන බලය භාවිතා කිරීමෙනි. ඒ නිසා ජනතාව ජීවත් කිරීමට ඉඩ ලබා ගැනීම සඳහා ඒ ජනතාව ම මරන්නට, දුකට හා පීඩනයට පත් කරන්නට, ඔවුන් ඉදිරිපත් වන්නේ නැත.

තමන්ගේ කටයුතු වලින් වැඩි කාලයක් ඔවුන් යොදවන්නේ ද මේ වෘත්තීය ගරුත්වය ඉහළ දැමිය හැකි පරිදි ආයතන හා වෘත්තීය නැවත සංවිධානය කරන්නට ය. ඒ නිසා ම සමාජ බලය ලැබෙන්නේ නායක පදවි හොබවන පුද්ගලයන්ට නොව වෘත්තියට ය. ඒ වෘත්තිකයන්ට ය.

ඒ සිහින සමිති වැරදි කරන තම සාමාජිකයන්ගේ ආරක්ෂාව වෙනුවෙන් පෙනී නොසිටිති. ඒ වෙනුවට ඔවුන්ට නිසි දඩුවම් ලබා දීම වෙනුවෙන් පෙනී සිටිති. ඒ තුළ වෘත්තීය ගරුත්වය හා අභිමානය තහවුරු කරන්නට වෙහෙසෙති.

යාවජිව නායකයින් ඒ සමිති වල නැත. ව්‍යවස්ථාව තුළම නායකයෙකුට පත්විය හැකි වාර ගණනට සීමාවන් දමා තිබේ. ඊළග නායකයා ගොඩ නගා ඉදිරිපත් කිරීම තත්කාලීන නායකත්වය දරණ අයගේ වගකීමක් ලෙස සළකනු ලැබේ. නායකත්වය දරණ කාලය තුළ නායකයින් දේශපාලන ආගමික හා ජාතික කටයුතු වලින් ඈත් ව සිටිය යුතු යැයි නායකයින් සඳහා වන ආචාර ධර්ම පද්ධතියේ සඳහන් කර තිබේ. තම තනතුර පුද්ගලික ලාභ ප්‍රයෝජන ලබා ගැනීම සඳහා භාවිතා කිරීම ද ඒ තුළ වැරැද්දක් ලෙස අර්ථ ගන්වා තිබේ. නායකත්වයට පත් වෙන අය වෘත්තීය දක්ෂතා ඇති අය වන බවට ද වෙනත් අභිචාරයන්හි නොයෙදෙන අය බවට ද සමාජිකත්වය විසින් වග බලා ගනු ලැබේ.

අපේ සිහින වෘත්තීය සමිති සෙසු වෘත්තිකයන්ගේ අභිවෘද්ධිය වෙනුවෙන් ද පෙනී සිටිති. අන්තර් වෘත්තීය ප්‍රශ්නයන් විසඳා ගැනීම සඳහා ස්වාධීන විද්වත් මණ්ඩලයකගේ සහාය ලබා ගැනීමට සූදානම් නිසා වෙනත් වෘත්තිකයන්ට අසාධාරණ සීමා කිරීමට ඉදිරිපත් වීමට ඔවුන්ට ඇති ඉඩ ඔවුන් විසින් ම අවම කර ගෙන තිබේ.

වෘත්තීය වපසරියෙන් ඔබ්බට ගොස් රටේ ප්‍රතිපත්ති වලට සමිති බලය යොදා ගෙන බලපෑම් කරන්නට ඒවා ඉදිරිපත් නොවේ. ඒ වෙනුවට රටක ජාතික ප්‍රතිපත්ති සැදීමේ ක්‍රියාවලිය තුළ සියලු වෘත්තිකයන්ගේ සහභාගිත්වය වෙනුවෙන් පමණක් ඒ සමිති පෙනී සිටිති.

සාමාජිකයන්ගේ පෞද්ගලික වුවමනාවන් ද සාධාරණව ඉටු කර ගත හැකි ප්‍රතිපත්ති ආයතන තුළ ස්ථාපිත කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ වුව ද ඒ වුවමනාවන් ඉටුකර ගැනීම සඳහා ආයතනයේ නීති රීති නැමීම හා ක්‍රම සහ විධි මග හැර යෑමට එවැනි සමිති කටයුතු නොකරති. අවශ්‍ය වන්නේ නම් ඒ නීතිරීති වල වෙනසක් කිරීම වෙනුවෙන් පමණක් ඔවුහු පෙනී සිටිති.

තම වෘත්තීය අයිතිවාසිකම් පවතින සන්දර්භය සැළකිල්ලට ගනිමින් ඉදිරිපත් කිරීමට ද එවැනි සමිති කටයුතු කරති. එයින් අදහස් වන්නේ ඔවුන් ෂයිලොක් මෙන් මස් රාත්තලම ඉල්ලීමට ඉදිරිපත් නොවෙන බව ය. සමාජයට සංවේදී බව ය. තම ඉල්ලීමට ඔබ්බෙන් ඇති ලොකු පින්තූරය දෙස බලන බව ය.

මේ සිහින වෘත්තීය සමිති දේශපාලකයන්ගේ අතකොළු ලෙස ක්‍රියාත්මක කිරීම ප්‍රතික්ෂේප කරන අතර කිසි දු දේශපාලනඥයෙකුට කඩේ යෑමෙන් ද වැළකේ.

මේ හේතුන් නිසා වෘත්තීය සමිතිය එහි සාමාජිකයන්ගේ පමණක් නොව වෘත්තීය සමිතිය කඩේ යන දේශපාලන ව්‍යාපාරවල පමණක් නොව පොදු ජනයාගේ ද සමස්ත සමාජයේ ද ප්‍රසාදයට ලක් වේ. වගකීමක් සහිත සමාජ බලවේගයක් ලෙස එය විශාල පිළිගැනීමක් හා බලයක් ද ලබා ගනී. කේවල් කිරීමේ දී සුවිශේෂී වාසියක් ඒ නිසා අයත් කර ගනී. නායකයන්ගේ නොව සමස්ත සාමාජිකයන්ගේ අභිවෘද්ධිය ඒ හරහා උදා කර ගනී.

අපේ සිහින ආදරය

19-love-photos_17072017_FUG

ආදරයට බාධක බොහෝ ය. තහංචි බොහෝ ය. කෙනෙහිලි කම් බොහෝ ය.

හිරු සඳු තාරකා පවා සැදී පැහැදී ඉන්නේ ආදරයට හරස් වීමට ය. ඒ ඔවුන් කේන්දරේ එක එක කොටු තුළ ස්ථාන ගත වී කරන සෙල්ලමක ප්‍රතිඵලයක් ලෙස ය. හතර කේන්දරේ පාලු වුනොත් ඉතින් ආදරය කර හමාර ය. එසේ නොවුනත් ආදරය කරන තැනැත්තාගේ කොටුවල මේ අය ඉන්නා විදිහට ඒ තැනැත්තා සමග ආදරය දිගටම කර ගෙන යෑමට පොලු වැටෙන්නේ ය. ඒ පොරොන්දම් යනුවෙන් හැඳින්වෙන අපූරු සෙල්ලමක් හරහා ය. එවිට ආදරයට වූ පොරොන්දු නිශේධව යන්නේ ය. පොරොන්දම් දුන් පොරොන්දු අභිබවා නැගිටින්නේ ය.

හිරු සඳු තාරකාවලින් නිදහස් වුනත් සමාජයෙන් නිදහස් වීම අමාරු ය. ජාති ආගම් කුල මල සියල්ල ඉදිරියට එන්නේ ය. ආදරයට ද්‍රෝහී වුනත් ජාතියට ද්‍රෝහී වීමට බැරි ය. ආදරයට පිටුපෑවත් ආගමට පිටුපාන්නට බැරි ය. ආගමට පිටුපාන්නට බැරි වුනත් ආගමේ කියවෙන කුලමල භේද ඉවත ලන්නැයි යන කියමනට ද පිටුපා ආදරයට ද පස්ස හරවන්නට වෙන්නේ කුල මල භේද සියලු බේද ඉක්මවන නිසා ය.

සමාජ තත්වය හා රැකියාව ද ඉක්මවන්නට අමාරු බාධක බවට පත් වන්නේ ය. දෙදෙනාගෙන් එකකු ඉස්සර වී දෙදෙනා අතර පරතරය වැඩි වීම අවසානයේ අවසන් වන්නේ ආදරය දෙදරා යෑමෙනි.

ඊළගට හරස් වන්නේ වයස ය. එහෙමත් නැත්නම් වයස පරතරය ය. ගැහැණිය පිරිමියාට වඩා අඩු වයසකින් යුක්ත විය යුතු ය. වයස ලඟට එන්නේ උස ය. ගැහැණිය පිරිමියාට වඩා උසෙන් අඩු විය යුතු ය. අපේ පුංචි වාසනාවකට බර හෝ මහත මේ සමීකරණයට ඇතුළත් වී නැත. ඒ ගැන අප ජීවත්වන සමාජයට ස්තුතිවන්ත විය යුතු ය. මේ නිර්ණායකන් තුළ තිබෙන්නේ යුග දිවිය තුළ පිරිමියා ඉහළිනුත් ගැහැණිය පහළිනුත් සිටිය යුතුය යන සංකල්පය ය. ගැහැණිය වයසින් හෝ උසින් වැඩි නම් පිරිමියාට හිමිවන්නේ දෙවැනි තැනකි. එය සුදුසු නැත. ආදරය තුළ මෙසේ ධුරාවලියක් තැනීම ආදරයේ සුන්දරත්වයට කරන්නේ හතුරු කමකි.

සමාජ තත්වය හා රැකියාව ද මේ සමීකරණයට රිංගන්නේ ඒ අනුව ය. ගැහැණියට වැඩි යමක් තිබුනොත් මිසක පිරිමියෙකුට ආදරය කරන්නට බැරි ය. එවැනි ආදරයක් පිළිගන්නට හෝ එවැන්නකට උල්පන්දම් දීමට ද ගැහැණියෙකුට අපහසු ය. එවැනි ආදරයක් ඇති වුව ද මේ සමාජ මතයන් දෙදෙනාගේ යුග දිවිය පුරා හොල්මන් කිරීම අවසන් වන්නේ නැත. එය විසින් මහා බරක් දෙදෙනා මත ම පැටවෙනු ඇත.

පොලු ඉවර නැත. ආදරය කළ හැක්කේ විෂම ලිංගිකයන්ට ය. සමලිංගිකයෙකුට ආදරය කිරීම පොළොව නුහුලන අපරාදයකි. සමාජය විසින් ගරහනු ලැබීමට සූදානම්ව එවන් ආදරයක් ඇරඹිය යුතු ය. ඉතින් සිදු වන්නේ හැංගි හැංගි වෙස් බඳින එකට සීමා වී සිටීම ය. එලියේ නටන්නට නම් අවසරයක් ඇත්තේ ම නැත.

ඒ සියල්ලෙන් සම්පූර්ණ වුව ද ප්‍රමාණවත් නැත. අනුමැතිය අවශ්‍ය ය. දෙමාපිය අනුමැතිය අවශ්‍ය ය. නෑදෑ හිතවතුන්ගේ ආශිර්වාදය අවශ්‍ය ය. දෙවැන්න නැතිවුවහොත් දෙමාපිය අනුමැතිය ද අවසානයේ නැති වන්නේ ය.

මේ සියලු බාධක ජය ගත්ත ද දෙදෙනාට එකට සිටීමට අවස්ථාවක් නැත. එකිනෙකා තේරුම් ගැනීමට පවා අවකාශයක් ලැබෙන්නේ කසාද බැන්දාට පසු ය. එතෙක් උකුසු ඇසින් ගැලවී සිටින්නේ කෙසේ දැයි කල්පනාවෙන් පසු විය යුතු ය. උද්‍යායනකට ගියොත් සුකුයුරිටි කාරයන්ගෙන් ගැලවීමක් නැත. මුහුදු වෙරළකට ගියත් වෙනසක් නැත. ගෙදරක පවා එහි නිවැසි ප්‍රේක්ෂකයින්ගෙන් ගැලවී නිදහසේ කතා බහ කිරීම අමාරු ය. සිනමා හලක අඳුරේ මිසක පහසුවෙන් හමු විය හැකි තැනක් මේ පොළෝ තලය මත නැත. එවිට කළ හැක්කේ එකිනෙකාගේ සිරුරේ උණුසුම සෙවීම පමණ ය. සිත් සතන් කවරේදැයි ඒ අඳුරේ සෙවිය නොහැකි නිසා ය. එකට පුද පූජා පැවැත්වීමට පන්සලකට පවා ගොඩ විය නොහැකි ය. ඉදින් ආදරය ඇතත් හරි හැටි එකිනෙකා තේරුම් ගැනීමට හැක්කේ කසාද බැඳීමෙන් පසු ය.

කසාද බැඳිම ද ලෙහෙසි නැත. එය කප්පරක් වියදම් යන වැඩකි. ජීවිතයටම ණය විය හැකි වැඩකි. වෙළඳ ව්‍යාපාරිකයෝ මගුල් දිනය අමුතුම දිනයක් කිරීමට තරගයට කැප වෙති. ඒ සියල්ලේ බර දැරිය යුතු වන්නේ බැඳෙන දෙදෙනා ය. මගුල ඉවර වෙන විට ජීවත්වන්නට යොදා ගන්නට තිබූ සබ්බ සකළ අවසන් ය. දැන් නැවත මුල සිට පටන් ගත යුතු ය. ණය බර සමග ජීවන මග ගමන් ඇරඹිය යුතු ය.

ගැලපෙන නොගැලපෙන බව දැන ගත හැක්කේ එසේ සෑහෙන වියදමක් කර ලෝකෙටම එක් වුනා යැයි හඩ ගා ප්‍රකාශ කිරීමෙන් පසු ය. නොගැලපුන ද බැඳ ගත් බෙරය දැන් ගැසිය යුතු ය.

තමන් ආදරය කර ඇත්තේ තමන්ගේ හදවතේ සිටි කුමාරයාට හෝ කුමරියට මිස මේ අත්පැන් වත් කර ගෙට කැන්දා ගත් තැනැත්තාට හෝ තැනැත්තියට නොවන බව තේරුම් ගන්නා විට පෙරහැර ගිහිල්ලා ය. ගැලපෙනවා යැයි කීවේ පොරොන්දම් මිසක අනිකා නොවේ ය. ඒ නිසා හොඳටම ගැලපෙනවා යැයි කිවූ නක්ෂත්‍රකරුවාට ද ඇඟිල්ල දිගු කරන්නට නොහැකි ය. අනුමැතිය දුන් අයට ද මගුල ජෝඩු කළ අයට ද දොස් කියා පලක් නැත. මගුල් සැළසුම් කරන්නට ගත් කාලයෙන් දහයෙන් එකක් ජීවිතය සැලසුම් කරන්නට වෙන් කළා නම් මේ නොගැලපීම් හඳුනාගන්නට තිබිණි. දැන් ඉතින් කුමක් කරන්න ද? ආදරය කරනු මිස! ඒත් එහෙම හිතා ගන්නට බැරි තරමට නොගැලපේ නම් පිහිටට දෙවියනුත් නැත.

මෙහෙම නොවෙන වාසනාවන්ත ආදරවන්තයෝ ද සිටිති. ඔවුන් එකිනෙකාට ගැලපෙන්නේ ජාඩියට මූඩිය වගේ ය. එහෙත් ඉන්පසු සියල්ලෝ සතුටින් ජීවත් වූවෝය යැයි කියන්නට බැරි ය.

හනිමූන් සමය ඉක්මණින් අවසන් කිරීමට බල කිරීම් ලැබෙන්නේ ය. එකිනෙකාට ආදරය පල කිරීමට සිදුවන්නේ මිනිසුන් ඇස් වසා සිටින විට පමණ ය. එහෙත් උන්ගෙන් ඊට අවස්ථාව ලැබෙන්නේ කලාතුරකිනි. එකිනෙකා සිප ගැනීමකට පවා ඉඩක් නැත. ඒවා සළකනුයේ මළ කෝලම් හැටියට ය.

මේ ආදර කැදැල්ලට කුරුළු කූඩුවට ගල් ගසන්නට පේවී සිටින මිනිසුන්ගෙන් බේරී සිටීම ද පහසු නැත. දෙන්නාට දෙන්නා ගැලපෙතත් එසේ නොවෙතැයි කියන්නට අනියමින් අගවන්නට ඉදිරිපත් වන හිතේෂීන්ගෙන් ද මිතුරන්ගෙන් ද බේරී ජීවත්වීම අමාරු ය. නැන්දම්මලා මාමලා නෑනලා මස්සිනාලා පමණක් නොව සීයලා ආත්තම්මලා ද මේ සමීකරණයේ තැනක් ඉල්ලා සිටිති. අදහස් උදහස් වල ද ඇනුම් පද හා දොස් වල ද සීමාවක් නැත. ඒවා කෙළින්ම ද වක්‍රව ද ප්‍රකාශයට පත් වේ. එකට ජීවත්වන්නේ නම් ගැලවීම බොරු ය. වෙන් වුනාය කියා වෙන්වෙන්නට හැක්කේ සීමා සහිත ව ය. නැවත නැවතත් මුණ ගැහෙන සමාජ චාරිත්‍රයන් හි ඒවාට නැවත අවස්ථාව ලැබේ. නිදහස අවශ්‍ය නම් එක්කෝ වනගත විය යුතු ය. නැතිනම් නැව් නැගිය යුතු ය.

මෙසේ රැහෙන් නෙරපනු ලැබීමෙන් හෝ ඉවත්වීමෙන් දෙදෙනා අතර සම්බන්ධය ද තරමක් දුරට අර්බුදයට යන්නේ ය. දැන් දෙදෙනා වඩාත් තදින් එකිනෙකාගෙන් යැපෙන්නට සිදු වීම අර්බුදයට මුල ය.

ආදර ජීවිතයට අමුතුම බලපෑමක් එල්ල වන්නේ බණ දේශනා හරහා ය. කිසි දාක ගිහි දිවියක් ගත කර නැතැයි අප හිතන පූජක පක්ෂය ගිහි ජීවිතය සම්බන්ධයෙන් දෙසන අනුශාසනා කෙළින්ම නැතත් අනියමින් මේ ආදර ජීවිතයට බල පාන්නේ ය. ඒ උවදෙස් වලට අනුව කාමය දුරු කළ යුතු එකකි. මේ බොහෝ උපදෙස් අනියමින් කියන්නේ ආදරය දරුවන් වැදීමට සීමා විය යුතු බව ය. එයින් එහාට කරන දේ “වල්“ වැඩ ය. නොකට යුතු වැඩ ය. දුරු කළ යුතු වැඩ ය. අත්හැරිය යුතු වැඩ ය.

ආදරය “වල්“ වැඩක් නිසා ආදරය කිරීම සඳහා ගෙදර හැම දෙනෙක්ම ගොරවමින් නිදියන තෙක් හොර ගල් අහුලමින් සිටිය යුතු ය. එහෙම වැඩ අප නම් නොකරන බවට සහතිකයක් දෙන තරමට මේ සිද්ධියේ දී පරිස්සම් විය යුතු ය. බොහෝ දවස්වල ඒ වෙලාව එන විට කප්පරක් නිදි මත ද පැමිණ තිබේ. ඉදින් ආදරය නොපාම නිදා ගැනීමට සිදු වේ.

සිය කායික අවශ්‍යතා සම්පූර්ණ කර ගැනීම සඳහා මහපාරේ, වැඩ බිමේ හෝ බස් රථයේ අවස්ථාව සොයන පිරිසක් අප රට තුළ බිහි ව ඇත්තේ ආදරය සම්බන්ධ වූ මේ සමාජ ආකල්ප වලින් මඩින ලද ශරීරයන් මිනිසුන්ට තිබෙන නිසා ය. ගණිකා වෘත්තිය නීති විරෝධී කර ඇති රටක ගණිකාවන් 40,000 ක් ඉන්නවා යැයි වාර්ථා වන්නේ ද ඒ නිසා ය.

අපේ සිහින ආදරය මීට සපුරා වෙනස් ය. ඊට බාධා එල්ල කළ හැකි ජගතෙක් මේ සක්වල නැත. එහි තේරුම හිරුට සඳුට හෝ ග්‍රහලෝකයන්ට ද ඒ සඳහා කිසිවක් කළ නොහැකි බව ය. සමාජයට නෑදෑ පරපුරට පමණක් නොව දෙමාපියන්ට ද ඒ සම්බන්ධයෙන් කිසිවක් කළ නොහැකි බව ය. ජාති ආගම් කුලමල ලිංගික නැඹුරුතා කිසිවක් මෙහිදී අදාළ නොවන බව ය. ඒ බැමි පසෙකලා මිනිසුන් දෙදෙනෙකුට එකිනෙකාට ආදරය කළ හැකි බව ය.

වයස හෝ උස ද වෙනත් එවැනි ශාරීරික නිර්ණායකන් ද අදාළ නොවන බව ය. රැකියාව හෝ සමාජ තත්වය අතින් පිරිමියෙකුට තිබිය යුතු යැයි සිතන ඉහළ ස්ථානය ද අදාළ නොවන බව ය. මිටි පිරිමියෙකුට උස ගැහැණියකට ආදරය කළ හැකි බව ය. සමාජ තත්වයෙන් පහළ යැයි සැළකෙන පිරිමියෙකුට ඉහළ යැයි සැළකෙන ගැහැණියකට ආදරය කළ හැකි බව ය. ආදරය තුළ එකෙක් අනෙකාට උඩින් සිටීමේ සදාචාරය අහෝසි වී ඇති බව ය.

අපේ සිහින ආදරයට අදාළ වන්නේ දෙදෙනාගේ කැමැත්ත පමණ ය. එවැනි ආදරයක් මල් ඵල ගැන්වීමට ඒ දෙදෙනාට නිදහසේ තම ආදරය පළ කළ හැකි එකිනෙකා සමග අදහස් හුවමාරු කර ගත හැකි වටපිටාවක් බාධාවක් නැති සමාජයක් වුවමනා ය. ඔවුන්ට එකිනෙකා අඳුනා ගැනීමට ද එකිනෙකාට ඇති ආදරය පල කිරීමට ද ඉඩ හසර තිබිය යුතු ය. නිදහසේ එක් විය හැකි මල් ගොමු උද්‍යාන තිබිය යුතු ය.

රිදී තිරයට පමණක් කැප, රට තුළ අකැප, ආදරය කරන දෙදෙනෙකුට නිදහසේ විනෝද වීමට ද ගස් වැල් වටේ කැරකෙමින් ගැයීමට හා නැටීමට ද සිප වැළඳ ගැනීමට ද අවස්ථාව නැවත රට තුළ ස්ථාපිත කරනු ලැබේ. එසේ විනෝද වීමට බාධා කරන කවරෙකු හෝ නීතියේ දණ්ඩනයට යටත් කරනු ලැබේ.

ආදරය ළමයි බිහිකිරීමට පමණක් නොව වඩා පළල් මානව අයිතියක් ලෙස සැළකෙන සමාජයක් තිබිය යුතු ය. එය අපරාධයක් නොව සුන්දර ක්‍රියාවක් ලෙස පිළිගැනෙන සමාජයක් තිබිය යුතු ය. ලිංගික අධ්‍යාපනය දීම මගින් ලිංගික ආශාව පාපයක් බවත් ලිංගික ක්‍රියාවල යෙදීම මහා වරදක් බවටත් කරන අර්ථ දැක්වීම් ඉවත් කර දැමිය යුතු ය. ඒ වෙනුවට ලිංගික ආශාව කෑමට තිබෙන ආශාව තරමට ස්වභාවික බවටත් ලිංගික ක්‍රියාව සෞඛ්‍ය සම්පන්න සමබර මිනිසෙකු බිහිකරන බවටත් පිළිගැනීමක් ලැබිය යුතු ය.

ලිංගික තෘප්තිය ලබා ගැනීමේ කටයුත්ත දෙදෙනාගේ කැමැත්ත ඇතිව සිදු විය යුතු බව අවධාරණය කෙරේ. ලිංගික හිංසනයට හා අඩම්තේට්ටම් කිරීමට ද නීතිය යටතේ එක් ව ඉන්නා අයට පවා අවසරයක් නැතැයි ද දැඩිව අවධාරණය කෙරේ.

එක් වන්නට පමණක් නොව නොගැලපේ නම් වෙන්වන්නට ද ඒ තුළ අවසර තිබිය යුතු ය. එසේ වෙන් වූ අය දෙස වපරැසින් නොබලන, එවැනි අයට බාධාවකින් තොරව නැවත එක් වීමට ද හැකි, නිදහස් පරිසරයක් රට තුළ තිබිය යුතු ය.

අප දකින සිහිනය තුළ, ආදරය යනු ජීවිතයේ එක් මොහොතක කෙනෙකු විසින් දිනා ගත යුතු යමක් නොව, දෙදෙනෙකු විසින් එක්ව ගොඩ නැගිය යුතු යමක් ලෙස සැළකේ. තරග වැද දිනාගත යුතු කුසලානයක් නොව පොහොර වතුර යොදා හදා වඩා ගත යුතු පැලයක් ලෙස සැළකේ.

දෙමාපියන් හා දූ දරුවන් අතර ආදරය ගැන පුන පුනා කියන ආගම් විසින් පිරිමියෙකු හා ගැහැණියෙකු අතර ද මිනිසුන් දෙදෙනෙකු අතර ද ඇති ආදරයට ද වටිනා කමක් එක් කර කතා කරනු දක්නට ලැබේ. දෙමාපියන් හා දූ දරුවන් අතර ශක්තිමත් බැඳීමක් ඇති කර ගැනීම සඳහා දෙමාපියන් එකිනෙකා කෙරෙහි ආදරයෙන් පසු වීම අවශ්‍ය බව අවධාරණය කෙරේ. ඊට අවශ්‍ය පරිසරය ඇති කිරීම සමාජ වගකීමක් ලෙස සළකනු ලැබේ.

ගෘහ ජීවිතය තුළ ලිංගික තෘප්තිය හා නිදහස් ආදරය භුක්ති විඳීමට හැකි වීම නිසා තවදුරටත් පොදු වාහන වල කෙරෙන අඩම්තේට්ටම් ද ස්ත්‍රී දූෂණ ද නැති වී ඇත. ගණිකාවන් සොයා යන පිරිස ද අඩු වී ඇත.

ආදරයට ඇති බාධා සියල්ල ඉවත් ව ඇති නිසා ප්‍රේමය හේතුවෙන් ඇති වන සිය දිවි නසා ගැනීම් අඩු වී ඇත. දික්කසාදය හා සම්බන්ධ අපකීර්තියක් තව දුරටත් නොපවතින නිසා ද සිය දිවි නසා ගැනීම් අඩු වී ඇත. ඊට අමතරව දුක් විඳිමින් තවදුරටත් යුග දිවිය තුළ හිරකරුවෙකු හිරකාරියක් බවට පත් ව සිටීමේ අවශ්‍යතාවය ද අහෝසි වී ඇත.

විවෘතව හා නිදහසේ ආදරය කිරීමට පමණක් නොව එය ඉවසීමට ද සැදී පැහැදී තිබෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්වනු ඇත්තේ ය.

 

අපේ සිහින අධිකරණ සේවය

201_07082017_FRR

ඩේලිමිරර් පුවත්පතේ පළ වූ වාර්තාවකට අනුව අධිකරණය විසින් 2016 දෙසැම්බර් 31 දා වන විට විසඳිය යුතුව තිබුණු නඩු ගණන 725,944 කි. එයින් 699,784 ක් ම ඊට කලින් වර්ෂයේ සිට එන ඒවා ය. එයින් තවදුරටත් කියන්නේ විසිපන්දහසකටත් වඩා නඩු සංඛ්‍යාවක් 2016 වසරේ දී ද අධිකරණයට ගොනු වුනු බව ය. එය ම මේ නඩු කොපමණ කලක් තිස්සේ එන ඒවා විය හැකි ද යන්න ගැන දල ඇස්තමේන්තුවක් කෙනෙකුට ඇති කරගන්නට උදව් වෙනු ඇත. ලංකාවේ අධිකරණ විශාල සංඛ්‍යාවක් නැත. ඒ අධිකරණවලට නඩුවක් විසඳීම සඳහා ගතවන කාලය ද කුඩා නොවන බව අපි දනිමු.

එහි තේරුම කුමක් ද? මේ නඩුවලින් සෑහෙන කොටසක් මේ කපේ දී නම් විසඳිය නොහැකි බව ය. නඩුවක තීන්දුව ලැබෙන විට එයින් වාසි ලැබෙන අය පමණක් නොව දඩුවම් ලබන අය ද ජීවතුන් අතර නැති වීමට ඇති ඉඩ වැඩි බව ය. ඊටත් වඩා භයානක කාරණය නම් නඩුවකට ගොනු කර ඇති සාක්කිකරුවන් ද නඩුව අග වන විට සොයා ගැනීමට නොහැකි වන්නට ඉඩ තිබීම ය. හිටියත් ඔවුන්ගේ මතකය ගැන විශ්වාසයක් නැති තරමට එම නඩුවට ප්‍රස්තුත වූ සිද්ධිය පමා වී තිබීම ය. ඒ නිසා ම ඒවා සාධාරණ විනිෂ්චයකින් තොරව ම අවසන් වීමට ඉඩ ඇති බව ය. යුක්තිය ඉටු වීම පමා වීම යුක්තිය ඉටුනොවුනා හා සමාන යයි යන පිරුල පිටුපස ඇත්තේ මේ කාරණය විය හැකි ය.

මෙසේ නඩු පමා වීමට හේතු ගණනාවකි. එකක් නම් පැමිණිල්ලේ අඩුපාඩු ය. අනෙක නීතිඥයින්ගේ අඩුපාඩු ය. තුන්වැන්න නීතිඥයින් තමන්ට කළ නොහැකි තරමේ වැඩ කන්දරාවක් උසාවි ගණනාවක බාර ගැනීම නිසා ඔවුන්ට දින නැතිවීම ය. අනික නීතිඥයන් විසින් හිතාමතාම නඩු පමා කිරීම ය. නඩුව අහන්නට ගත්තත් මුදල් ය. කල් දැම්මත් මුදල් ය.

නඩු ඉක්මණින් අවසන් කරන විනිසුරන්ට එරෙහිව නීතිඥ ප්‍රජාව පෙළ ගැහෙන බවට ද කතාවක් අප අසා ඇත. ඒ බව අපේ උගත් නීතිඥ මහතුන් නම් එලිපිට පිළිගන්නා එකක් නැත. ගින්නක් නැතුව ම දුමක් නොනගින නිසා අධිකරණය ප්‍රතිශෝධනය කරන කෙනෙකුගේ අවධානයට හා පිරික්සුමට මේ කතාව ලක් විය යුතු ය. ඒ එහි ඇත්ත නැත්ත සෙවීම සඳහා ය.

ඊළග කාරණය උසාවියේ ක්‍රියාපාටිවල අඩුලුහුඩු කම් ය. නඩුවක දී වැඩිම කාලය යන්නේ කලින් දින නඩුවේ වාර්තාව නිවැරදි කිරීමට ය. හඩ පටයක උදව් නැතිව ලඝු ලේඛිකාවට ඇහෙන යමක් ඔහුට ඇයට හැගුන විදිහට සිදු වූ දේ ලෙස වාර්තාගත කිරීම නිසා මෙය සිදු වෙයි. නව තාක්ෂණය උසාවියට තවම පැමිණ නැත.

ඊළග කාරණය නම් මේ රටේ වැරදි සිදු වන ප්‍රමාණයට සාපේක්ෂව තිබෙන අධිකරණයන් ප්‍රමාණවත් නොවන බව ය. යුක්තිය විසඳීම පමාවන විට මිනිසුන් වැරදි කිරීමට ඇති ඉඩ ද වැඩිවන නිසා නඩු නැවතත් වැඩි වෙයි. මේ බිහිව ඇත්තේ විෂම චක්‍රයකි.

වැරැද්ද පිළිගන්නට පවා චුදිතයෙකුට නීතිඥයෙකු මත යැපෙන්නට සිදු වී ඇත. නඩු කියන්නට යන්නේ මෝඩයින් යැයි මිනිසුන් කියන්නට පෙළඹී ඇත්තේ මුළු සේසතම නීතිඥ ගාස්තු ලෙස ගෙවීමට අවසානයේ සිදු වන නිසා ය. ඒ නිසා කෙනෙක් නඩු මගට බැසිය යුත්තේ ම මහමගට බැසීමට සූදානම් වෙලා ය.

බොහෝ මිනිසුන් උසාවියෙන් බාහිරව තමන්ගේ ක්‍රමවලින් නඩු විසඳාගන්නට හදන්නේ ද මේ නිසා ය. නීතිය අතට ගන්නේ මේ නිසා ය. තමන් විසින්ම වැරදි කරුවන්ට දඩුවම් කරන්නට යන්නේ මේ නිසා ය. චුදිතයන්ගේ ගෙවල් ගිනි තියන්නට ඉදිරිපත් වන්නේ මේ නිසා ය. එහෙම කරන්නට ගොස් ඔවුන් අවසානයේ මගහරින්නට තැත් කළ උසාවියටම ගාල් වෙන අවස්ථා ද තිබේ. වෙනත් විදිහකට කියන්නේ නම් මේ ආයතනය මග හැරිය නොහැකි ලෙස අපේ ජීවිතයට අපේ කැමැත්ත ඇතිව හෝ නැතිව සම්බන්ධ වන බව ය.

යුක්තිය ඉබේ ඉටු නොවන රටක යුක්තිය පතා අධිකරණයේ පිහිට පැතීමට නිරන්තරයෙන් සිදු වන රටක මෙය මගහැරිය නොහැකි කාරණයකි.

වඳින්න යන සමහර දේවාල ඔලුව උඩට කඩා වැටෙන්නේ ය. මේ දේවාලය තුළ ද එවැන්නක් සිදු විය හැකි ය. ඒ යම් අතපසුවීමක් උසාවියට අපහාසයක් ලෙස අර්ථ ගැන්විය හැකි බැවිනි. පහුගිය දිනක වර්ණ සහිත ඇඳුමක් ඇඳ ගෙන ඒම සම්බන්ධයෙන් උසාවියට අපහාස කිරීමක් යටතේ දඩුවම් පැමිණවීමට ගිය කතාවක් වාර්තා වී තිබිණි. කමතේ මෙන්ම පන්සලේ මෙන් ම උසාවියක දී ද කතා කළ යුතු වෙනම භාෂාවක් ඇත. නඩු කාරයාට ආමන්ත්‍රණය කළ යුත්තේ ස්වාමීනි කියා ය. ඒ සාමාන්‍ය මිනිසුන් දෙවියන් වහන්සේට ද පුරාණ පිළිවෙත් රකින ගෑණියෙක් තම ස්වාමියාට ද ආමන්ත්‍රණය කරන විදිහ ය. ඒ විදිහට ම නඩු කාරයා ඇමතීම පිටු පස ලොකු කතන්දරයක් තිබේ. උසාවියට අපහාස විය හැකි නිසා එ් ගැන තීරණයක් ගැනීම පාඨකයන්ට ම භාර කර අපි නිහඩ වෙමු. එහෙත් මේ උසාවියට සීමා වූ සංස්කෘතියම අහිංසක මිනිසුන්ට එරෙහිව යොදා ගත හැකි ආයුධයක් වී තිබීම ශෝචනීය ය.

නඩුකාරයෙකුට තමන්ගේ නඩුව ඇසිය නොහැකි යයි කියා තිබුණ ද අපහාසයක් ලෙස කරන අර්ථ දැක්වීමක දී මුලින්ම කඩ වන්නේ ඒ ඇණවුම ය. නඩුකාරයෙකුට තමන්ගේ නඩුව ඇසිය නොහැකිය යන තහංචිය බිඳ හෙලූ අවස්ථා වෙනත් අවස්ථා අරබයා පවා වාර්ථා වී තිබුණ ද ඒවාට එරෙහිව පියවර ගත් බවක් දැන ගන්නට නැත.

අපට ඒත්තු ගන්වා ඇති එක් මතයක් නම් අධිකරණය ස්වාධීන බව ය. ඒ වුනාට දේශපාලනඥයින් නම් නිතර කියන්නේ අධිකරණය ස්වාධීන නැති බව ය. වැඩි හරියක් එහෙම වෙන්නේ ඒ අයට විරුද්ධ තීන්දු අධිකරණයෙන් දුන්නහම ය. චෝදනා වලින් නිදහස් කරන්නේ නම් ඒ කටින් ම ඔවුන් කියන්නේ ආණ්ඩුවට වුවමනා පරිදි නටන්නට ලෑස්ති නැති අධිකරණයක් පවතින බව ය. අධිකරණය ස්වාධීනව කටයුතු කළ බව ය. එයින් අදහස් වන්නේ මේ ප්‍රශ්නය සම්බන්ධයෙන් කුකුසක් පවතින බව ය. එය මෙසේ මතු කළ හැක්කේ ම ඒ නිසා ය.

යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය තුළ කාන්තාවන් දෙදෙනෙකු මුහුන දුන් කර්කෂ අත්දැකීම් පාදකකරගනිමින් ප්‍රවීන සිනමාවේදී ප්‍රසන්න විතානගේ විසින් නිර්මාණය කරනලද “උසාවිය නිහඬයි” වාර්ථා චිත්‍රපටය කියන්නේ යුක්තිය පසිඳා ගැනීම සඳහා අප ගොඩ වදින දේවාලය සෙසු දේවාල වලින් වෙනස් වන්නේ නැති බව ය. කපුවන් දේවාලය තුළ පහරන්නට තිබෙන ඉඩ ඕනෑම දේවාලයක් සම්බන්ධයෙන් සත්‍යය විය හැකි බව ය.

යාළු කම් මත, දේශපාලන හිතවත්කම් මත, ලැබෙන පඩුරු පාක්කුඩම් මත, අධිකරණය තීන්දු ගන්නවා යැයි අපට කිව නොහැකි ය. එහෙත් එසේ වන බවට චෝදනා නම් අපි නිරතුරුව අසමු. ඉහත චිත්‍රපටය අපට කියන්නේ ද ඒ ඉඩ පවතින බව ය. භයානක මට්ටමක පවතින බව ය.

සමහර විට අභියාචනයකට ඉඩ සලසා ඇත්තේ ඒ නිසා විය හැකි ය.

ඒ සම්බන්ධයෙන් කිව යුත්තේ නැවත වතාවක් නඩු කීම සඳහා පෙරකදෝරුවන්ට ගෙවීමට ඒ අනුව සිදු වන බව ය. අභියාචනය අනුව තීන්දුව වෙනස් වීමට ඉඩ ඇතත් කලින් තීන්දුව දුන් විනිශ්චයකරුට ඒ සම්බන්ධයෙන් උත්තර බඳින්නට සිදු වන බවක් අප අසා නැත. එය එසේ නම් එයින් පෙනෙන්නේ දිගින් දිගටම වැරදි තීන්දු දෙමින් අධිකරණය තුළ ජීවත් විය හැකි බව නොවේ ද? වැරදි තුළින් ඉගෙන නොගන්නා විට සිදු වන හරිය ගැන තවත් අටුවාටිකා ලියන්නට අවශ්‍ය නැත.

අප එල්ලුම් ගස ගෙනෙන්නට ඉල්ලන්නේ මෙවැනි අඩුලුහුඩුකම් රාශියක් සහිතව ක්‍රියාත්මක වන ආයතනික පද්ධතියකින් බවත් අප මෙහි දී සිහිපත් කළ යුතු ය. අපට කුමක් හෝ දැඩිව දැනුනහම අප අන් සියලු සාධක අමතක කර ඒ දැඩිව දැනුන දෙයෙහිම එල්ලෙමු. එල්ලුම් ගහ ද දැඩි ව අල්ලා ගත්තේ ඉහළ යන අපරාධ සම්බන්ධයෙන් උරණ වූ අපේ මනස ය. මීට කලකට ඉහත දී මේ මනස ම නීතිය ක්‍රියාත්මක වීමේ පමාව හා අවභාවිතය දැක පොලීසියම නඩු නොඅසා අපරාධ කරුවන් එලොව යැවිය යුතු යැයි කියා සිටියා පමණක් නොව එවැනි භාවිතයන් පොලීසිය හරහා ක්‍රියාත්මක වූ කල ඒවා ඉහළින්ම අනුමත ද කළේ ය. ඒත් නොබෝ කලකින් අපට දෘෂ්‍යමාන වූයේ පොලීසිය අපරාධ සම්බන්ධයෙන් සැක පිට අල්ලා ගත් ඇතැම් අය අහිංසක බව පොලීසියට ම පිළිගන්නට වූ බව ය. අඩුපාඩු සහිත පොලීසියකට මරණ දඩුවම පනවන්නට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් පමණක් නොව අඩුපාඩු කම් ඇති අධිකරණ පද්ධතියකට මරණ දඩුවම ක්‍රියාත්මක කිරීමට ඉඩ ලබා දීම සම්බන්ධයෙන් ද දෙවරක් සිතිය යුතු බව පමණක් අපි දැනට සිහිපත් කරමු. ඒ අතර පොලීසියට වඩා දඩුවම් පැමිණවීමේ සාධාරණ අයිතියක් සියලු දුර්වලකම් මධ්‍යයේ පවා අධිකරණයට ඇති බව අපට ප්‍රතික්ෂේප කළ නොහැකි බව ද කියා සිටිමු. ඒ මරණ දණ්ඩනය වැනි නැවත ආපස්සට හැර විය නොහැකි කාරණයක් ගැන අපේ සැක සාංකාව තවදුරටත් පවත්වා ගෙන යන අතරේ ය.

දඩුවම වැඩි කළ ද ඒ දඩුවමට ලක්වන්නට කෙනෙකුට ඇති ඉඩ අවම නම් ඒ දඩුවමෙන් වැඩක් නැත. අහුවෙන්නට ඇත්තේ අවම ඉඩක් නම් මිනිසුන් දඩුවමේ ස්වභාවය අමතක කර දමනු ඇත. අධිකරණ පද්ධතිය හා නීතිය ක්‍රියාත්මක කිරීමට වග කියන සෙසු ආයතන නිසි මගට ගැනීම සහ කාර්යක්ෂම කිරීම ඒ අරුතින් මරණ දඩුවම පමුණුවනවාට වඩා අපරාධ අවම කිරීමට හේතු වනවා ඇත. මේ සටහන ලිව්වේ ම ඒ වෙනුවෙනි.

නීතියේ ආධිපත්‍ය රටක සංවර්ධනයට, සාමයට හා සංහිඳියාවට අවශ්‍ය ය. පුරවැසියන්ගේ මානසික සතුටට ද සැනසීමට ද එය අවශ්‍ය ය. ඒ සඳහා සතර අගතියෙන් තොර අධිකරණ පද්ධතියක් ද කාර්යක්ෂම මෙන් ම අගතිගාමී නොවන පොලීසියක් ද අවශ්‍ය ය.

ඒ නිසා ම අපි දැන් මේ විවරණය කරමින් තිබෙන අධිකරණය පිළිබඳ අපේ සිහිනය වුවමනාවෙන් හා උනන්දුවෙන් මෙසේ දකිමු.

අපේ අධිකරණ පද්ධතිය තුළ විනිෂ්චයාසනා රූඩව ඉන්නේ සතර අගතියෙන් තොර, කරුණු සළකා බලා අපක්ෂපාතීව තීන්දු තීරණ ගන්නා, නීතිය කාටත් සම බව කතාවෙන් හා ක්‍රියාවෙන් ස්ඵුට කරන මිනිසුන් ය. එසේ නොහැසිරෙන පුද්ගලයන් විනිෂ්චකාර ධුරයෙන් පහ කරනු ලැබේ. ඒ සම්බන්ධ නියාමනයක් පවත්වා ගෙන යනු ලැබේ.

අධිකරණය යුක්තිය ඉටු කරනු පමණක් නොව එසේ ඉටු කරන බව පෙන්වන්නට ද කටයුතු කරනු ඇත. පමා වී ඉටු කරන යුක්තිය, ඉටුනොවුනු යුක්තියක් ලෙස දකින එය ඉක්මණින් යුක්තිය පසිඳලීමට හැම දෙයක් ම කරනු ඇත. නඩු පමා නොවී එහෙත් නිසි ලෙස අවසන් කරන විනිෂ්චයකරුවන්ට නිසි ගෞරවය හිමිවනු ඇත.

තාක්ෂණය භාවිතයෙන් අධිකරණයේ කටයුතු වඩා නිරවද්‍ය හා කාර්යක්ෂම කර තිබේ. තවදුරටත් පහුගිය නඩු දිනයේ වාර්ථා නිවැරදි කිරීමට උසාවි කාලය නාස්ති කිරීමක් දක්නට නොලැබේ.

උසාවිය තුළ නිලයේ ගරුත්වය තරමට නිහතමානිත්වය ද පෙන්නුම් කරන විනිසුරුවෝ සිටිති. අහිංසක මිනිසුන්ට තේජස් පතුරුවනු වෙනුවට දැනමුතුකම් දෙන සංස්කෘතියක් නිර්මාණය වී තිබේ.

නීතිඥයින් විසින් අසරණ මිනිසුන් ගසා ගෙන කෑම වැළැක්වීම සඳහා අවශ්‍ය ක්‍රම වේදයන් සකසා තිබේ. නීතිඥයන්ගේ හැසිරීම ද නියාමනය කරන යාන්ත්‍රණයක් හරහා එය ක්‍රියාත්මක වේ. සේවා සැපයීමේ දී අසාධාරණ ලෙස සිය ගනුදෙනුකරුවන්ගෙන් මුදල් අය කරන හා වෙනත් වංචාවල නිරත වන නීතිඥයන් නීතිඥ වෘත්තියෙන් ඉවත් කෙරේ.

නඩු පමාව වළකනු වස් රාත්‍රී මුරයක් ද වෙනත් විනිෂ්චයකරුවන් යටතේ ක්‍රියාත්මක වේ. ඒ සඳහා විනිෂ්චයකාර වරුන්ගේ ප්‍රමාණය දැනට මෙන් දෙගුණයක් දක්වා ක්‍රමයෙන් වැඩි කෙරේ.

නඩු සමථයකට ගෙන ඒම සඳහා අධිකරණ ක්‍රියාවලියට සමගාමී ව උසාවියෙන් බැහැර යාන්ත්‍රණයක් වෙනම ක්‍රියාත්මක කෙරේ. චුදිතයා විසින් වින්දිතයාට කරනු ලබන නිසි වන්දි ගෙවීමක් වරද පිළිගැනීමක් ඇතුළු කොන්දේසි යටතේ නඩු සමථයකට පත් කිරීමට ඒ මගින් උත්සහ දැරේ.

නීතිය තමන් අතට ගන්නේ නැතිව ඒ ගැන විශ්වාසයෙන් අධිකරණයේ පිහිට පතන, ඒ අවශ්‍ය පිහිට අධිකරණයෙන් ලැබෙන නිසා ඉන් සතුටට හා සැනසීමට පත් වුනු මිනිසුන්ගෙන් රට පිරී තිබේ. මිනිසුන් දැන් නඩු මගට යන්නේ මහ මගට වැටෙන්නේ නැතැයි යන විශ්වාසයෙනි. යුක්තිය ඉටු වෙතැයි ඉක්මණින් එය ඉටුවෙතැයි යන අපේක්ෂාවෙනි.

වැරදි කරන අය ඉක්මණින් දඩුවම් ලබන නිසා ද බේරීමට ඇති ඉඩ අවම වන නිසා ද රටේ අපරාධ අඩු වී තිබේ. තවදුරටත් මිනිසුන් එල්ලුම් ගස ඉල්ලා උද්ඝෝෂණය කරන්නේ නැත.

අපේ සිහින මාධ්‍ය

me101_14082017_FUG

මාධ්‍ය සතුව ඇති වගකීම මතු කර පෙන්වන්නේ එය රටක තුන්වෙනි ආණ්ඩුව යැයි කියන කියමනෙනි. එහෙත් අපේ ආණ්ඩු මෙන්ම එය ද කරන්නේ ජනතාවට මග පෙන්වනු වෙනුවට ජනතාව පසු පස යෑම ය. ජනතාවගේ ඉතාම පසුගාමී අදහස් පසු පස යෑම ය. ඒවා පෝෂණය කිරීම ය. ඒවාට තව තවත් ආරළු බුරළු එක් කිරීම ය. ඒ හරහා රේටින් වැඩිකර ගැනීමට ය. ජනප්‍රියත්වය නැතිනම් මනාපය ලබා ගැනීම ය.

අඳුරෙන් එලියට ගන්නට සමත් මාධ්‍ය විසින් මිනිසුන් අඳුරට ම තල්ලු කර දමන්නේ ය. ඉන්නා අඳුර, මහාර්ඝ නිධානයක් සේ දක්වන විට එයට කම්මැලියන් කැමති ය. ඒ තමන්ගේ වෙනස් කරන්නට දෙයක් නැති නිසා ය. වෙනසක් කරන්නට වෙහෙසක් දරන්නට සිදු නොවන නිසා ය. මිනිසුන් බහුතරය කම්මැලි ය. වෙනස් වීමට අකමැති ය. ඉතින් තමන් ඉන්නා තැන ලොව අග්‍රම තැන ලෙස අර්ථ දක්වන කල එයින් සතුටට පත් වීම ස්වභාවික ය. සතුටට පත් කිරීම මනාපය දිනා ගත හැකි පහසු මගකි. අවුරුදු 18-25 ත් අතර තරුණ ජනගහණයෙන් 60% ක් හොඳින් හෝ නරකින් රටින් පැනීමට සපථ කළ රටක් ලෝකෙන් උතුම් රට බවට පත් වන්නේ ඒ අනුව ය.

එයින් නොනැවතී සමහර මාධ්‍ය ජනතාවට අල්ලස් ද දෙන්නේ ය. ඇහැව්වත් සල්ලි අහනවා කියල කිව්වත් සල්ලි ලැබෙන්නේ ඒ අනුව ය. ඇතැම් තැනක අල්ලස රත්තරනෙනි. තවත් තැනක එය බඩු මල්ලකි. තවත් තැනක බිල් ගෙවීමට ඉදිරිපත් වීමෙනි. ඒ කුමක් වුව ද මේ සියල්ලන් කියන්නේ දෙන තෑගි සඳහා මිසක මේවායේ ගන්නට එතරම් දෙයක් නැති බව ය. වටිනා දෑ මිනිසුන් හොයා යන්නේ තමන් අතින් ගෙවලා ය. මේ එහි අනිත් පැත්ත ය. කැමැත්ත ගන්නා පළමු ක්‍රමය මිනිසුන් ඉල්ලන දේ දීම වන විට දෙවන ක්‍රමය තෑගි දීම වී තිබෙන්නේ එලෙස ය.

එහෙත් ලංකාවේ බහුතරයකට එය අල්ලසක් ලෙස දැනෙන්නේ නැත. දෙවියන්ට පඩුරු ඔප්පු කර යහපතක් යදින මිනිසුන්ට අල්ලස නුහුරු දෙයක් නොවේ. අකැප දෙයක් නොවේ. අල්ලස දීම හෝ ගැනීම ලජ්ජාවට කරුණක් ද නොවේ. දෙන එක්කෙනා දෙනවා ය. ගන්න එක්කෙනා ගන්නවා ය. ඉතින් අපට මොකෝ යනුවෙන් නොදෙන නොගන්නා අයත් හිතන තත්වයට පත් වී ඇති නිසා ඒ ගැන තවත් කතා කරන්නට දෙයක් ද නැත.

මේ උපාය මාර්ගයන් දෙක වෙනස් නොවන තාක් අපට මාධ්‍ය වලින් වැඩි යමක් අපේක්ෂා කළ නොහැකි ය. මාධ්‍ය නම් පහසුවෙන් වෙනස් වන්නේ නැත. වෙනස් විය යුත්තේ ජනතාව ය. ඔවුන් හොඳ දේ ඉල්ලන්නේ නම් මාධ්‍ය ඒ සඳහා කැප වෙනු ඇත්තේ ය. ඔවුන් අල්ලස ප්‍රතික්ෂේප කරන්නේ නම් මනාපය ලබා ගැනීමට මාධ්‍ය ආයතනවලට මහන්සි වීමට සිදු වන්නේ ය. මේ වෑයම ඒකට ය. ජනතාව වෙනස් කිරීමට ය. මාධ්‍ය වලින් ලැබෙන කුඩා ඉඩක් හරහා එය ඉටුකර ගැනීමට ය.

අප හිතන්නේ මාධ්‍ය ආයතන තොරතුරු බෙදීම සිය මෙහෙවර ලෙස තබා ගෙන ඇති බව ය. ඇත්ත කතාව එය අතුරු අරමුණක් වඩාත් නිවැරදිව කියන්නේ නම් ප්‍රාථමික අරමුණ ජය ගැනීම සඳහා තිබෙන එක් උපාය මාර්ගයක් පමණක් බව ය. බොහෝ මාධ්‍ය ආයතන වල හැසිරීම නිරීක්ෂණය කරන විට පෙනෙන්නේ ඒවායේ මුඛ්‍ය අරමුණ මාර්කටින් බව ය. ඔවුන් කරන්නේ ව්‍යාපාරිකයන්ට සිය කටයුතු වැඩි දියුණු කර ගැනීමට අවශ්‍ය මාර්කටින් කාර්යය ඉටු කර ගැනීම සඳහා වේදිකාව සපයා දීමක්  බව ය. ඇත්තටම මාධ්‍ය ආයතන වල ප්‍රධාන සේවා ලාභියා තොරතුරු සොයන ග්‍රාහකයා නොවේ. දැන්වීම් පළ කරන ව්‍යාපාරිකයා ය. ග්‍රාහකයා රඳවා ගැනීම අවශ්‍ය ව්‍යාපාරිකයා එන්නේ ග්‍රාහකයා ඉන්නා තැනට බැවිනි. ඒ නිසා ම මාධ්‍ය ආයතන වඩාත් කැමති ව්‍යපාරිකයාට වග කියන්න ය. ඒ සීමාව තුළ පමණක් ග්‍රාහකයා නඩත්තු කිරීමට ය.

ඒ නිසා ම බොරුව ජීවිකාව කර ගෙන යන ව්‍යාපාරිකයාට ද මේ බොහෝ මාධ්‍ය තුළ ඉඩක් තිබේ. එහෙම කිව්වොත් හරි මදි ය. ඇත්තටම මාධ්‍ය වල වැඩි සැළකිල්ලට ලක්වන්නේ ඔවුන් ය. ඒ වඩාත්ම දැඩි ලෙස මාධ්‍ය භාවිතා කරන්නේ ඔවුන් වන බැවිනි. යම් ප්‍රයෝජනවත් භාණ්ඩයක් හෝ සේවාවක් විකුණන ව්‍යාපාරිකයෙකු දැන්වීමකට වියදම් කරන මුදලට වඩා විශාල මුදලක් ගෙවමින් විශාල කාලයක් වෙන් කර ගන්නේ වැඩි මහන්සියක් නොවී මුහුදෙන් අහුලා ගන්නා වාලම්පූරියක්, තඹයක් නොවටිනා තඹ සුරයක් හෝ ජීවම් කළේ යැයි කියන නිකම් නිකම් නූලක් විකුණන ඔවුන් වන බැවිනි.

ඔවුන් වෙනුවෙන් මිත්‍යාව නඩත්තු කිරීමේ වගකීම මාධ්‍ය ආයතන විසින් බාර ගැනීම සම්බන්ධයෙන් පුදුම හිතෙන්නට දෙයක් නැත්තේ ඒ නිසා ය.

මේ වුවමනාව මිනිසුන් සතු සහජ දුර්වලකමක් සමග අවියෝජනීය ලෙස බැඳී පවතී. ඒ අස්වාභාවික සිදු වීම් පස්සේ හඹා යෑමට මිනිසාට ඇති කුතුහලය ය. තනි කඳක් සහිත ව අප සාමාන්‍ය යෙන් දකින පොල්ගසේ දෙබලයක් ඇති වීම නැතිනම් එහි කඳ තුන හතරට බෙදී තිබීම අප හැම දෙන එවැන්නක් දෙස නැවත බලන්නට පොළඹවන අරුමයකි. අප පුදුම කරවනු ලැබීමට කැමති ය. ඉතින් රසවත් පුනරුප්පත්ති කතාවක් ගොඩ නැගිය හැකි නම් එය පුවත් පතක පළවන කෙටි කතාවකට වඩා ආකර්ෂණය දිනා ගත හැකි එකකි. එවිට සිදු වන්නේ ඒ කතාවේ අඩුපාඩු සකස් කර කපා කොටා දිස්නය දෙන ලෙස ඉදිරිපත් කිරීම ය. ඒත්තු ගන්වන ලෙස ඉදිරිපත් කිරිම ය. අවශ්‍ය කුඩා නිමිත්තකි. හෝඩුවාවකි. ඉතිරි ටික තියෙන්නේ වාර්තාකරුගේ නිර්මාණශීලිත්වය තුළ ය. බොරුව ඇත්ත කිරීමට සමත් නිර්මාණශීලිත්වය තුළ ය.

කිසිදු පර්යේෂණාත්මක කටයුත්තක් නොකර ම ඩෙංගු පිළිකා ඇතුළු අලුත් රෝග පවා සුවපත් කරන විධික්‍රම දන්නා දේශීය වෛද්‍යවරුන් පත්තර පිටු අතරින් බිහිවන්නේ ද ඒ පුදුමයට ඇති අපේ කැමැත්තට ඉඩ දෙමින් ය. රෝගීන් අමාරුවේ වැටුනාට කමක් නැත. අනුග්‍රාහකයන් පිනවන අතරේ ග්‍රාහකයන් ද රඳවා ගත හැකි නම් ඒ ඇති ය.

ව්‍යාපාරිකයෝ විවිධ ය. ඇතැම් අය විකුණන්නේ භාණ්ඩ හා සේවා ය. තවත් අය විකුණන්නේ මනාපය ය. දෙවැන්නන් ව්‍යාපාරිකයන් වුව ද අපි ඔවුන් හඳුන්වන්නේ දේශපාලනඥයින් කියා ය. ඔවුන් නිල වශයෙන් මුදල් ගෙවා දැන්වීම් දාන්නේ මැතිවරණ සමයේ විතරක් වුව ද නොනිල වශයෙන් යම් යම් දේ ගෙවා ප්‍රවෘත්ති පළ කරන්නේ අතුරු කාල වකවානුවල දී ය.

ඇතැම් දේශපාලනඥයින් ගොඩ නැගීම පිටුපස ද ඔවුන් වල දැමීම පිටුපස ද මාධ්‍ය විශේෂ කාර්යයක් ඉටු කරමින් සිටී. ඇතැම් දේශපාලනඥයන්ට තමන්ගේම මාධ්‍ය තිබෙන්නේ ද ඒ වෙනුවෙනි. ඉතිරි අය සෙසු මාධ්‍ය හරහා තමන්ට ඉඩක් ලබා ගැනීමට ගෙවීම් කරති. ඇතැම් මාධ්‍යවලට ප්‍රවෘත්ති වන ඇතැම් දේ සමහර මාධ්‍යවලට ප්‍රවෘත්ති නොවන්නේ නැතිනම් භාග ප්‍රවෘත්ති වන්නේ ඒ නිසා ය. එළි කළ භාගයක් අපට ප්‍රවෘත්තිය දුන් බව කියන්න ය. සැගවූ භාගය තමන්ගේ හිතේෂී වන්ත භාවය ගැන කියන්න ය.

කර්තෘ කෙනෙකු නැතිව යම් යම් දේ සිදු වන බව ඇතැම් විට අප දකින්නේ මේ නිසා ය. යමක් සිදු වී ඇත. එහෙත් කළ කෙනෙක් නැත. කළ කෙනා සගවන්නට වුවමනා ය. මා නිතර කියන කාරණයක් නම් ලංකාවේ මිනිසුන් කර්ම කාර්ක වාක්‍ය තනන්නට ඉගෙන ගත්තොත් ප්‍රමාණවත් කියා ය. ඒ බොහෝ කටයුතු සම්බන්ධයෙන් කළ කෙනෙක් නැති වීම ය.

ඇතැම් කෙනෙකු කියන්නේ ලංකාවේ ප්‍රවෘත්ති හැබෑ ලෙස දැන ගන්නට නම් එක මාධ්‍යයක් විමසා නොහැකි බව ය. මාධ්‍ය කීපයක පළවන දේ එක් කළොත් සත්‍යයට තරමක් ආසන්න ප්‍රවෘත්තියක් අපට හදා ගත හැකි බව ය. මගේ අත්දැකීම නම් එහෙම කළත් කෑලි කීපයක් තවමත් හිඩැස් ලෙස පවතින බව ය.

අපේ මාධ්‍යවේදීන් දේශපාලනඥයින්ගෙන් ප්‍රශ්න අසන්නේ වොලි බෝල් ක්‍රීඩාවේ ඩෑෂ් පහරක් එල්ල කරන්නට පන්දුව උස්සා දෙන අයුරින් ය. අත දිගහැර පහර දෙන්නට හැකි සේ ය. බැට් එකට ෆුල්ටොස් පන්දුවක් දෙනවා සේ ය. දේශපාලනඥයා ඉන්පසු උඩ පැන පැන උත්තර දෙනවා දකින්නට පුළුවන.

ජනතාව ඇත්ත දැන නොගැනීමේ හේතුවෙන් පාර්ලිමේන්තුව හොරුන් වංචාකරුවන්ගෙන් පිරී ගියාට කමක් නැත. අවශ්‍ය අනුග්‍රාහක භවතුන් රැක ගැනීම ය.

ව්‍යාපාරකයින්ගෙන් තුන්වෙනි පාර්ශවය විකුණන්නේ විශ්වාසයන් ය. ඇදහිලි ය. ජාතිය ය. ආගම ය. අන් සියළු ගොඩනැගිලි සමග තරගයට මෙන් පන්සල් පල්ලි කෝවිල් ඉදිවන්නේ මේ අනුහසින් ය. අත් හැරීමට අපට බණ දෙසන අය බදා ගැනීමට තව තවත් දේ හඹා යන්නට වරම් ලබන්නේ මේ අනුහසින් ය. පිංකැටයක් අතුරුදහන් වීම මිනිසෙකු අතුරුදහන් වීමට වඩා භයානක වන්නේ ඒ නිසා ය.

එකම පුවත්පත් ආයතනයකින් ප්‍රකාශයට පත් කරන සිංහල පුවත්පතක පළවන ප්‍රවෘත්තිය ඊට වෙනස් අයුරකින් එම ආයතනයේ ම ඉංග්‍රීසි පුවත් පත වාර්ථා කරන්නේ මේ හැම වර්ගයේම ව්‍යාපාරිකයන් සනසාලීම සඳහා ය. ඊට අමතරව මේ එක් එක් කණ්ඩායමේ ග්‍රාහකයන් ද තමන් වෙත රඳවා තබා ගැනීම සඳහා ය. “තරුණියක් දූෂණය කළ මුස්ලිම් තරුණයා දැලේ“ ලෙස සිංහල පුවත්පතක් වාර්ථා කරන විට A youth arrested for molesting a girl ලෙස එය ම ඉංග්‍රීසි පුවත්පතක පළවන්නේ ඒ නිසා ය.

මේ වාර්ථාකරණය හේතුවෙන් රටේ ගිනි ඇවිලී ගියාට කමක් නැත. අනුග්‍රාහකයන් හා ග්‍රාහකයන් පිනවිය හැකි නම් කල්ල මරේ ය.

මාධ්‍ය කරන ඊළග ජාවාරම කඳුළු විකිණීම ය. දුක විකිණීම ය. අභාග්‍ය විකිණීම ය. අනුන්ගේ ඛේදවාචකය මිනිසුන්ට ආතල් ගෙනෙන්නේ ය. ඉතින් ඒවා විකුණන එක ලාභ ලැබිය හැකි කෙටි මාවතකි. සිය දිවිනසා ගැනීම් අනතුරු මිනී මැරීම් අපරාධ මේ සියල්ලට ලක් වූ මිනිසුන්ගේ කඳුළු හා ඛේදවාචකයන් ඒ අනුව විකිණේ.

මේ මාධ්‍ය හරඹයට අලුතින්ම එක් වී ඇත්තේ මූණු පොත නැමැති සමාජ ජාලා ය. නිර්ණාමිකව හෝ වෙනත් අනන්‍යතාවයකට මුවා වී ලිවිය හැකි නිසා සම්ප්‍රදායික මාධ්‍ය වලට වඩා නිදහසකුත් සාහසිකත්වයකුත් බොරුවකුත් මේ හරහා වේදිකා ගත වේ. නීතියට හසු කර ගැනීම දුෂ්කර නිසා මේ මාධ්‍ය අතිශයින් භයානක වීමට ද ඉඩ තිබේ. එක තැනක පල වෙන බොරුවක් ඉක්මණින් තටු ලැබ ඉගිල්ලෙන නිසා ද මෙය භයානක ය.

මේ වාතාවරණය තුළ මාධ්‍යවලින් නිසා මෙහෙවරක් අපේක්ෂා කිරිම ඉබ්බාගෙන් පිහාටු පැතීම වැනි ය. එහෙත් අපි සිහින දැකීම අත් හරින්නට අකමැත්තෙමු. මක් නිසා ද යත් සාක්ෂාත් වන්නේ දකින සිහින බැවිනි. ඒ නිසා ම මාධ්‍ය ගැන අපට සිහිනයක් තිබේ.

ඒ සිහිනය තුළ මාධ්‍ය ආයතන හැම එකක් ම දැඩි ආචාරධර්ම පද්ධතියකට යටත් ව ක්‍රියාත්මක වේ. මාධ්‍යවේදීහු සිය වෘත්තීය ගරුත්වය රැකියාවට ඉහළින් සළකති. මාධ්‍ය ආයතන වල අකටයුතුකම් පිළිබඳ සංවේදී ජනතාවක් සිටින නිසා ම මාධ්‍ය ආයතන ද ආචාර ධර්මයන් ප්‍රකාශයට පත් කර ඒ අනුව කටයුතු කරති.

මිත්‍යා විශ්වාස තහවුරු කරන නිර්මාණයන් කිරීමෙන් මාධ්‍ය වේදීහු බැහැර වෙති. ඒ වෙනුවට මිත්‍යා වීශ්වාස ප්‍රශ්න කිරීමට මාධ්‍ය හරහා වේදිකාවක් නිර්මාණය ව තිබේ.

පර්යේෂණ මත පදනම්ව සොයා ගෙන ඇති දේ ජනතාව ඉදිරියේ තබමින් ජනතාව සැබෑ ලෙස දැනුවත් කිරීමට ඔවුහු පෙළ ගැසී සිටිති. ඊනියා විද්වතුන්ගේ මති මතාන්තර නිසි සංඛ්‍යාලේඛන මතු කරමින් ප්‍රශ්න කිරීමට ද ඔවුහු කටයුතු කරති. ඒ සඳහා කියවීමට ද ගවේෂණයට ද ඔවුහු යොමුව සිටිති. කට ඇති දූ පුතුන් පමණක් නොව දැන උගත් උදවිය ද නිවේදක නිවේදිකාවන් හැටියට මාධ්‍ය වේදීන් හැටියට කටයුතු කරති.

ප්‍රශ්නයක විවිධ පැතිකඩ නියෝජනය වන ආකාරයට වැඩ සටහන් සංවිධානය කර තිබේ. කිසිදු මතවාදයකට ආගමකට පක්ෂයකට පුද්ගලයින්ට පක්ෂපාතිත්වය ප්‍රකාශ නොකරන මාධ්‍ය විසින් සමබර ප්‍රවෘත්ති ද සමබර වැඩසටහන් ද විකාෂය කෙරේ.

ජනතාව වෙනුවෙන් දේශපාලනඥයින්ගෙන් නිසි ප්‍රශ්න ඇසීමට බිය නොවන මාධ්‍ය  කරුවෝ හැම මාධ්‍යයකම සිටිති. ඔවුහු බේරි පලා යෑම සඳහා නොව කොටු කර අල්ලා ගැනීම සඳහා ප්‍රශ්න අසන නිසා ම දේශපාලනඥයින්ගේ සැබෑ අරමුණු ජනතාව පහසුවෙන් තේරුම් ගනිති.

හැගීම් ඇවිස්සිය හැකි ප්‍රශ්න වෙනුවට සැබෑ ප්‍රශ්න මාධ්‍ය තුළ සාකච්ඡා වේ. මතුපිට අත ගෑමෙන් තොරව ගැඹුරට කරන විමසීමක් මේ සාකච්ඡා තුළින් මතු වෙයි.

කඳුල වේදනාව විකිණීම තවදුරටත් සිදු නොවන අතර මිනිසුන්ගේ පෞද්ගලිකත්වයට ගරු කරන මාධ්‍ය සදාචාරයක් බිහි ව තිබේ.

ජාති ආගම් කුලමල බේද ඇති කරන ප්‍රවෘත්ති වාර්තා කරණයෙන් මාධ්‍ය මුළුමණින් මිදී ඇති අතර එවැනි අදහස් පතුරුවන්නන්ට ඉඩක් ඒ තුළ නොලැබේ. කිසිදු ආගමකට ජාතියකට කුලයකට අයත් වීම හේතුවෙන් ද ස්ත්‍රී පුරුෂ සමාජභාවය ස්වභාවික විවිධ ලිංගික නැඹුරුතා අබාධිත බව හෝ වයස හේතුවෙන් මිනිසුන්ට කෙරෙන අපහාස හෝ අවමන් වලට ද ඉඩක් ඒ තුළ නැත.

සංවර්ධනය හා පරිසරය අතර තුලනයක් පවත්වා ගෙන යෑම වෙනුවෙන් එය පෙනී සිටී. සංවර්ධනය නිසා තමන්ගේ දේපළ ගම් බිම් ජීවනෝපායන් අහිමි වන ජනතාව වෙනුවෙන් ද ඒ නිසා ප්‍රතිලාභ අත් වීමට නියමිත ජනතාව වෙනුවෙන් ද ඒ නිසා එකවර එය පෙනී සිටී.

ගරු කටයුතු සම්ප්‍රදායන් රැකීම වෙනුවෙන් ද යල් පැන ගිය සම්ප්‍රදායන් ප්‍රශ්න කිරීම වෙනුවෙන් ද ඒ දෙවර්ගය නිවැරදිව හඳුනා ගැනීම වෙනුවෙන් ද පෙනී සිටීම සිය වගකීමක් ලෙස මාධ්‍ය විසින් සළකනු ලැබේ.

එකිනෙකා ඇන කොටා ගන්නා සංවාද වෙනුවට ප්‍රශ්න වලට එක්ව විසඳුම් හොයන සංවාද වලින් මාධ්‍ය පොහොසත් වී තිබේ.

ප්‍රවෘත්තිය මුලින් ගෙනාවේ තමන් බව කියන්නට තතනන මාධ්‍ය වලට වඩා නිවැරදිම ප්‍රවෘත්ති වාර්ථාකරණය කළේ තමන් බව කියන්නට උනන්දු වන මාධ්‍ය නිසා මිනිසුන් තුළ මාධ්‍ය පිළිබඳ විශ්වාසයක් ඇති ව තිබේ.

මාධ්‍ය ආණ්ඩුව තනන්නන් පමණක් නොව ජනතාව තනන්නන් බවට ද රූපාන්තරණය වී තිබේ.

අපේ සිහින පොලීසිය

po2_26062017_FRR

පොලීසිය යනු රටකට ඇතුවත් බැරි නැතුවත් බැරි ආයතනයකි. නැතිව බැරි වන්නේ නීතිය ක්‍රියාත්මක කිරීම සඳහා ඒ ආයතනය පැවතිය යුතු නිසා ය. නීතිය කඩන මිනිසුන් අධිකරණය හමුවට පමුණුවන්නට බලය ලත් ආයතනයක් අවශ්‍ය නිසා ය. එසේ නොවුනහොත් බොහෝ දෙනා නීතිය පසෙකලා තමන්ට රිසි ලෙස ක්‍රියාකිරීමට යෑමෙන් වියවුල් ඇති වන නිසා ය. මොන අඩුපාඩු කම් තිබුනත් පොලීසිය මේ සම්බන්ධයෙන් සැළකිය යුතු අගය කළ යුතු කාර්යය භාරයක් බොහෝ දුෂ්කරතා මධ්‍යයේ ඉටු කරමින් ඉන්නා නිසා ය.

ඇතුව බැරි එසේ ලබා ගත් බලය ඇතැම් විට අයුතු විදිහට භාවිතා වන නිසා ය. නීතිය රකින ඉන්නා අය ම ඒ නීතිය කඩන නිසා ය. නැතිනම් අලුත්ම ක්‍රමයට අනුව නීතිය නවන නිසා ය. ඒසා බලයක් ඉදිරියේ සාමාන්‍ය මිනිහා අන්ත අසරණ තත්වයකට පත් වෙන නිසා ය.

කුඩා එකෙකුගේ වරදට පස්සෙන් පන්නන පොලීසිය ලොකු අය කරන වැරදි නුදුටුවා සේ සිටින්නේ ය. තල්මසුන් ඇතැම් විට පොලීසියට කොචොක් කරමින් යද්දී හාල්මැස්සන් පස්සෙන් පන්නා අල්ලා ගන්නේ ඇතැම්විට පොලීසියේ ඒ ස්වභාවය නිසා ය. ඇතැම් කාලවල මැරයන්ට සැලියුට් ගහන්නට ද පොලීසියට සිදු වූ බව අප අසා ඇත. සැලියුට් ගසා තමන්ගේ ආරක්ෂාව, පැවැත්ම හෝ සංවර්ධනය ඇති කර ගැනීමට ඇතැම් නිලධාරීන් කටයුතු කිරීම එසේ වාර්ථා වූවා වන්නට ද පිළිවන.

උස් තැන් දැක හැකිලෙන මිටි තැන් දැක පුප්පන අයගෙන් පොලීසිය සමන්විත වී ඇත්තේ පොලිසියේ නිලධාරීන්ගේ වරදින් ම නොවේ. ක්‍රමය ම සකස් වී ඇත්තේ ඒ අයුරිනි. වරද කාගේ වුව ද අවසාන ප්‍රතිඵලය ලැබ විඳවන්නට සිදු වන්නේ බලය නැති මිනිසුන්ට ය.

පොලීසිය හැංගි මුත්තන් කිරීමට ද දක්ෂ ය. විශේෂයෙන් වාහනවලට දඩ ගැසීම සඳහා මේ හැංගි මුත්තම් සෙල්ලම නිතර භාවිතාවේ. ඒ නීතියෙන් එවැන්නකට අවසර නැතුව තිබිය දී ය.

ගසන ලද දඩය ගෙවීමට පහසු නැත. එය තැපැල් කන්තෝරුවකට ගෙවා ඒ කුවිතාන්සය පොලීසියට ඉදිරිපත් කළ යුතු ය. නිවාඩු දිනයක නම් බඩුම තමා ය. මේ ක්‍රමය නිසා වෙන පළාතකින් පැමිණි රියැදුරෙකුට ඒ සඳහා අපමණ රස්තියාදුවක් විඳීමට සිදු වේ. ඉතින් පහසුම හා ඇතැම් විට ලාභ ම ක්‍රමය, ටිකක් අඩුවෙන් එ වෙලේ ම, පුද්ගලික මට්ටමින් රාළහාමිට ගෙවා දැමීම ය.

පොලීසියේ මේ ස්වභාවය දන්නා නිසා ම රියැදුරන් සිය සහෝදර රියැදුරන්ට පොලීසිය ළග ඉන්නා බවට ලාම්පු එලි දල්වා අනතුරු ඇගවීමට පවා ඉදිරිපත් වේ. සමහරුන් කියන්නේ ජාති ආගම් භේදයකින් තොරව සාමූහිකව ලංකාවේ මිනිසුන් එකතු වන එකම අවස්ථාව එය විය හැකි බව ය. පොදු සතුරාට එරෙහිව විරුද්ධ වීමේ දී තරම් වෙන කිසිම එකක දී අපේ කම මතුවන්නේ නැති නිසා ය.

පොලීසිය මැජික් සන්දර්ශනයේ ද දක්ෂ ය. මිනී මැරුමක් රිය අනතුරක් බවට පත් කරන්නට ද එය නැවතත් මිනී මැරුමක් බවට පත් කරන්නට එයට පුළුවන. අවශ්‍ය වන්නේ ඉහළින් ලැබෙන අණක් පමණ ය. එක අතකට මේවා සම්බන්ධයෙන් පොලීසියත් එක්ක අමනාප වී වැඩක් නැත. පොලීසිය තියෙන්නේ නීතිය ආරක්ෂා කරන්න ය. අවාසනාවට මේ රටේ නීතිය කියන්නේ පාලකයන්ගේ වචන ය.

සැක කරුවෙකු අල්ලන්නට වුවමනා නම් අල්ලන්නටත් එසේ නොකොට නාල්ලා ඉන්න ඕන නම් එසේ කරන්නටත් අපේ පොලීසිය දක්ෂ ය. සාක්කි සොයා ගන්නට මෙන්ම හංගන්නටත් ඊට පුළුවන.

පොලීසිය බාරයේ ඉන්නා අය අපූරු ක්‍රමවලින් මරණයට පත් වේ. සමහරු තමන් හැංගූ අවි ආයුධ පෙන්නන්න ගිහිල්ලා ය. කාලයක් එසේ සැකකරුවන් “සිය දිවි නසා ගැනීම“ මෝස්තරයක් වී තිබුණේ ය. සමහරු නම් කියන්නේ යුක්තිය පසිඳලීම පමා වන නිසා ඊට කෙටි මාවතක් සහිත ප්‍රතිකර්මයක් පොලීසිය යෙදූ බව ය. එයින් උද්දාමයට පත් මිනිසුන් ඒ පිළිබඳව පොලීසියට උපහාර දක්වන්නට ද ඉදිරිපත් වූ යුගයක් තිබුණේ ය.

ඒ යුගය නිමා වුනත් පොලීසියේ සෙසු දස්කම් වල නම් ඉවරයක් වී නැත.

මෑතක දී පොලීසිය අනතුරු වළක්වා ගැනීමට එසේ අනතුරු බහුල ස්ථාන වල පිරිත් කීමට ද පොලීසියේ නිලධාරීන්ට මෙත් සිත් වැඩීමට හැකි වන පරිදි භාවනා පන්ති සංවිධානය කිරීමට ද කටයුතු කළේ ය. භාවනා පන්තියට නිසි උනන්දුව නොදැක්විම සම්බන්ධයෙන් භාවනාව සංවිධානය කළ අයගෙන් පහර කෑමට සිදු වූයේ භාවනා පන්තියට අනුග්‍රහය දැක් වූ කෙනෙකුට ය. ඒ ගැන සංවිධාකයන්ට දොස් කියන්න බැරි ය. මිනිසුන් හොඳ වැඩ මග හරින නිසා කළ යුත්තේ උන් ලවා බලෙන් ඒවා කර ගැනීම ය. ඒ පිළිවෙත දැන් වන විට රට තුළ පහල වෙමින් තිබෙන ධර්ම ප්‍රවාහයට ද අනුකූල ය.

කවුරු මොනවා කිව්වත් පොලීසියට ද වැඩ කරන්නට සිදු ව ඇත්තේ දහසකුත් අමාරුකම් මැද්දේ ය. එහෙම බැලුවහම නීතියෙන් පිට පිළිසරණ පැතීම ගැන කම්පා වීමට ද අයිතියක් අපට නැත්තේ ය.

මීට වසර කීපයකට පෙර අධික වේගයෙන් රථයක් ධාවනය කළ දේශපාලනඥයෙකුට දඩුවම් කරන්නට ගොස් ගුටිත් කා ගෙදරටත් වාහනයටත් අලාභ හානි සිදු කර ගනිමින් අවසානයේ රැකියාවෙනුත් අස් කර දමනු ලැබූ පොලිස් නිලධාරියෙකු ගැන පුවත්පත් වල ද සමාජ වෙබ් අඩවි වල ද වාර්ථා වුනේ ය. පාඩු සියල්ල තනියම විඳ ගන්නට සිදු වුනා මිසක ඔහුගේ පිහිටට ආ කෙනෙකු නැත.

අධිකරණය භාර විනිෂ්චයකරුවෙකුහට තනි ඉර කැපීමේ වරදට දඩුවම් ලබා දීමේ මහා බරපතල වරදට තවත් පොලීසියේ නිලධාරියෙකුට සිදු වුනේ නිල ඇඳුම පිටින් දණින් වැටී සමාව ගන්නට ය.

තවත් අවස්ථාවක අධික වේගයෙන් බීමත් ව රිය පැද වූ හාමුදුරු නමක් නවත්වා නීතිය ක්‍රියාත්මක කරන්නට ගොස් පොලිස් නිලධාරී පිරිසකට වූයේ තිත්ත කුණුහරුප වරුසාවකට තෙමීමට ය. මේ අප කී සියල්ල එක යුගයකට අයත් ය. ඒ යුගය වෙනස් වූවා කියා සියල්ල යහපත් වී නැත. තවමත් රාජකාරී කිරීමට සිදු ව ඇත්තේ බය සැක ඇතිව ය. කවුරු කුමන කඳවුරේ ඉන්නේ දැයි ඇතැම් විටක ගණන් හදා බලමින් ය.

ඒ තත්වය යටතේ මෙහෙමවත් රාජකාරී කර ගෙන සිටීම ගැන අප පොලිස් නිලධාරීන්ට එක් අතකින් ගෞරවය පුද කළ යුතු ය.

ප්‍රශ්නය ඇත්තේ අනුන්ගේ ගෑස් බැලීමට සිදු ඇති පොලීසියේ ඇතැම් නිලධාරීන් පොඩි මිනිහාට ගෑස් දැමීමට යෑම ය. වදයට ලක් කිරීම ය. ලොකු මිනිසුන් ළග වකුටු වුනු නීතිය පොඩි මිනිසුන් ළග පිම්බී දිග හැරීම ය.

ඇතැම් නිලධාරීන් නිල කබාය භාවිතා කරන්නේ කප්පම් ගැනීමට ය. ඒ නිසා එකමත් එක කාලෙක කප්පම් කල්ලි ද පොලිස් වෙස් ගත්ත බව අපට මතක ය.

මස් කඩේකට ගියොත් කටු නැති මස් ලැබීම ට ද බාර් එකකට ගියොත් නොමිලේ සූර් වීමට ද අවස්ථාව ලැබෙන්නේ ය. සමා වන්න. ඇතැම් නිලධාරීහු ඒ අවස්ථාව ලබා ගන්නෝ ය. එහෙම බැලුවහම කාකි සූට් එක ඇතැම් අයට සිතු පැතූ සම්පත් පහළ වෙන කප් රුකක් ලෙස ද අවශ්‍ය නම් අර්ථ ගැන්විය හැකි ය. බලය තියෙන ඕනෑම තැනක දූෂණයට ද ඉඩ තිබේ. පොලීසියට පමණක් එය වෙනස් වන්නට හේතුවක් නැත.

මේ නිසා බොහෝ විට යම් නීති විරෝධී ක්‍රියාකාරිත්වයක් කිසියම් පෙදෙසක සිදු වන්නේ නම් බොහෝ දෙනෙකු කියන්නේ එක්කෝ පොලීසියේ කවරෙකු හෝ ඊට සම්බන්ධ බව ය. නැතිනම් අඩු වශයෙන් අනුග්‍රහ දක්වන බව ය. එසේත් නැතිනම් පොලීසියට බලපෑම් කළ හැකි දේශපාලනඥයෙකු හෝ වෙනයම් බලවතෙක් මේ පිටුපස සිටින බව ය. එයින් අදහස් කරන්නේ අවශ්‍ය නම් අකටයුතුකම් මැඩලීමේ බලයක් හා හැකියාවක් පොලීසියට ඇතැයි මිනිසුන් විශ්වාස කරන බව ය. අනෙත් අතට නැත්තේ අවශ්‍ය ඕනෑ කම බව මිනිසුන් සිතන බව ය. පළමුව පොලීසිය ගැන සහතිකයක් ලබා දෙන අතර දෙවැන්න පොලීසිය ගැන කළු පැල්ලමක් පෙන්වා දෙන්නේ ය.

දේශපාලනඥයින් හැරුණු කොට නීතිඥවරුන්, අධිකරණ නිලධාරීන් හා වෛද්‍යවරුන් විශේෂයෙන් අධිකරණ වෛද්‍යවරුන් සම්බන්ධයෙන් පොලීසියේ නිලධාරී මහත්තුරු විශේෂයක් කිරීමට කැමති ය. ඒ ඔවුන් තමන්ගේ පැවැත්මට හා ආරක්ෂාවට අවශ්‍ය නිසා ය. ඔවුන් අමනාප කර ගත හොත් කරන සෙල්ලම් වැරදිය හැකි නිසා ය. එයින් තවත් එකක් ඇඟවෙයි. මේ අය හා එකතු වුනොත් පොලීසියට බොහෝ අකටයුතුකම් වලින් ගොඩ ආ හැකි බව ය.

අනෙත් පැත්තෙන් පොලීසියේ බොහෝ අය අකමැති කට්ටියක් ද වෙයි. ඒ මාධ්‍යවේදීන් විශේෂයෙන් මාධ්‍ය ඡයාරූප ශිල්පීන් ය. ඒ සැඟවිය නොහැකි සාක්කි මතු කර ගත හැකි නිසා ය. අඩු වශයෙන් එවැන්නක සැකයක් ඇති කළ හැකි නිසා ය. අකටයුත්තක් කර බේරී යෑමට ඇති ඉඩ එයින් වළකන නිසා ය. එයින් එහා ඔවුන් නුරුස්සන  කවුරුන් හෝ සිටී නම් ඒ පොලීසිය තුළම සිටින ඔවුන්ගේ ම අවංක සගයින් ය. රාජකාරිය නිසි ලෙස ඉටු කරන පොලිස් නිලධාරීන් ය. පොලීසියේ නිලධාරියෙකුගේ අකටයුතුකම් වලට එරෙහිව යා හැකි බලයක් තිබේ නම් ඒ ඔවුන්ගේ ම අවංක සගයින්ට පමණක් නිසා ය.

අප සිහින දකින පොලීසිය වෙනස් ය. ඒ තුළ නීතිය අකුරට ක්‍රියාත්මක වේ. එසේ ක්‍රියාත්මක කරන නිලධාරීන්ට නොබිය ව සැකයෙන් තොරව සිය කටයුතු ගෙන යෑමට අවශ්‍ය පරිසරය පොලීසියේ ඉහළ කළමනාකාරිත්වය විසින් ඇති කර දී තිබේ.

උසස් වීම් ලබා දීමේ දී ද වෙනත් වරප්‍රසාද ලබා දීමේ දී ද නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන්, විශේෂයෙන් බලවතුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක වූ අවස්ථා සම්බන්ධයෙන්, විශේෂ සැළකිල්ලක් දැක්වේ. ඒ නිසා ම අධික වේගයෙන් රිය පැදවූ දේශපාලකයෙකු දඩ ගෙවන ඡයාරූපයක් ද බීමත්ව රිය පැදවූ මහේස්ත්‍රාත්වරයෙකුගේ රියැදුරු බලපත්‍රය උසාවියක දී තහනමට ලක් වූ ප්‍රවෘත්තියක් ද වැනි පුවත් පත්තරවල පල වේ.

උසස් වීම් ලබා දීමේ දී ඒ බල ප්‍රදේශය තුළ වාර්ථා වෙන අපරාධ හෝ නීතිවිරෝධී ක්‍රියා අතීතයට සාපේක්ෂව කෙතරම් අඩුව තිබේ ද යන්න විශේෂයෙන් සැළකිල්ලට ගනු ලැබේ. ඒ නිසා ම අපරාධ අල්ලා ගැනීම වෙනුවට අපරාධ සිදු වීම නැවැත්වීම කෙරේ පොලීසියේ අවධානය යොමුව තිබේ.

නීතිය ක්‍රියාත්මක කිරීමේ දී අගතියක් දක්වා ඇති නිලධාරීන් සම්බන්ධයෙන් විශේෂයෙන් බලවතුන්ට එරෙහි ව නීතිය ක්‍රියාත්මක කිරීම මග හැර කටයුතු කළා වූ ද අහිංසක මිනිසුන්ට එරෙහිව නීතිය අයුතු ලෙස යොදා ගත්තා වූ ද නිලධාරීන් සම්බන්ධයෙන් සොයා බලන හා එවැනි සොයා බැලීමක දී එවැන්නක් තහවුරු වුවහොත් නොපමාව දඩුවම් දෙන ක්‍රමයක් ක්‍රියාත්මක වේ.

මේ ක්‍රියාකාරිත්වය විමසීම සඳහා CCTV කැමරා වැනි නව තාක්ෂණය යොදා ගැනෙන අතර ඉතා අවංක නිලධාරීන්ගේ සමන්විත විශේෂ ඒකකයක් පොලීසියට එරෙහි පැමිණිලි විමර්ශනය කිරීම සඳහා ස්ථාපිත කර තිබේ. ඒ සඳහා පැමිණිලි කිරීමට අවශ්‍ය අයට පොලීසියට නොයා නව සන්නිවේදන තාක්ෂණය භාවිතා කරමින් එසේ කිරීමේ ඉඩකඩ ද සපයා තිබේ. කිසියම් පොලීසියක් විසින් පැමිණිල්ලක් බාර ගැනීම ප්‍රතික්ෂේප කළ විට ද මේ තාක්ෂණ ක්‍රමවේදය හරහා එවැනි පැමිණිල්ලක් කිරීමේ ඉඩ ද සකසා තිබේ. ඒ හරහා නිසි පැමිණිල්ලක් කිරිමේ ඉඩ ද අවශ්‍ය වුවහොත් පසුව විවර කර දෙනු ලැබේ.

රථවාහන නීති උල්ලංඝණය උදෙසා පැනවෙන දඩ මුදල් ගෙවීම පහසු කරනු සඳහා ද නව තාක්ෂණය යොදා ගැනෙන නිසා පොලිස් රථවාහන අංශයේ නිලධාරීන්ට අල්ලස් දීමට තිබෙන පෙළඹවීම අවම වී තිබේ.

පොලීසිය ආගමික බැඳීම් නොපෙන්විය යුතු බවට නියෝග පනවා තිබේ. නිල ඇඳුමෙන් සැරසී ආගමික වතාවත් කිරීම වරදක් බවට පත් කර තිබේ. තම ප්‍රදේශයේ පැවැත්වෙන යම් උත්සවයකට රාජකාරීය සඳහා හැර වෙනත් මට්ටමකින් පොලිස් නිලධාරීන්ට සහභාගි විය හැක්කේ ඒ මගින් එම  ප්‍රදේශයේ අපරාධ අඩු කිරීමට යම් මෙහෙයක් වෙනවා නම් පමණ ය.

පොලීසිය භාරයේ සිටින අය සම්බන්ධයෙන් වග කීමට පොලීසිය බැඳී සිටින අතර ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා ඔවුන් රඳවා තබන ස්ථානයන්ගේ CCTV කැමරා රඳවා තැබිය යුතු වෙයි.

අපරාධ සම්බන්ධයෙන් නිර්නාමික ඔත්තු සැපයීම සඳහා වෙබ් තාක්ෂණය පදනම් කර ගත් වේදිකාවක් ද නිර්මාණය කර දී තිබේ. එවැනි ඔත්තු සම්බන්ධයෙන් ඇති වූ ප්‍රගතිය ද ඒ ඔත්තුව සැපයූ පුද්ගලයාට බලා ගත හැකි වන පරිදි එම වේදිකාව සකස් කර තිබේ. එවැනි ඔත්තු සම්බන්ධයෙන් පොදු ප්‍රගතිය සාමාන්‍ය ජනයාට ද බලා ගත හැකිවන පරිදි දෛනිකව යථාවත් කරනු ලැබේ. ලැබී ඇති ඔත්තු සංඛ්‍යාව, විමසනු ලැබ ඇති ඔත්තු සංඛ්‍යාව, විමසා ඒ සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරනු ලැබූ අවස්ථා ගණන, දඩුවම් ලබා දුන් ගණන වැනි දත්ත ඒ අතර තිබේ. මේ තුළින් පොලීසිය පිළිබඳ මහජනයා තුළ විශ්වාසයක් ඇති කිරීමට අපේක්ෂා කෙරේ.

පොලීසියේ නිලධාරීන් සම්බන්ධයෙන් වත්කම් ප්‍රකාශනයන් ලබා ගන්නා බැවින් හා කිසියම් නිලධාරියෙකු අසාමාන්‍ය ලෙස වත්කම් වැඩි කර ගෙන ඇත් ද ඒ කිනම් මාර්ග හරහා ද යන්න විමසුමට ලක් කෙරෙන බැවින් පොලීසියේ නිලධාරීන් අල්ලස හා දූෂණයෙන් වැළකී ඇත.

පොලීසියේ නිලධාරීන්ගේ මාරුවීම් නිශ්චිත ක්‍රමවේදයකට අනුව සිදු වේ. ඒ සම්බන්ධයෙන් දේශපාලන මැදිහත් වීම් අවම වී තිබේ. ඒ නිසා නිදහස් ව සිය රාජකාරිය කර ගෙන යෑමට පොලීසියේ නිලධාරීන්ට හැකියාව ලැබී තිබේ.

තොරතුරු දැනගැනීමේ අයිතිය යටතේ පොලීසියේ ගවේෂණවල ප්‍රතිඵල පිළිබඳ විමසන ජනතා ප්‍රශ්නවලට නොපමාව පිළිතුරු ලැබේ. මාධ්‍යවේදීන්ට එරෙහි අඩම්තේට්ටම් කරන පොලීසියේ නිලධාරීන්ට විරුද්ධව නොපමාව විනයානුකූල කටයුතු කරනු ලැබේ.

 

අපේ සිහින සිපිරිගෙය

සිපිරි ගෙය

සිරකරුවෝත් මනුෂ්‍යයෝ ය. ඒ සිර ගෙදර බිත්තියට ය. ඇතුළත කතාව ඒ තරම් සොඳුරු නැත.

සිරගෙදර බාර කරුවන් සිතන්නේ ඔවුන් මිහිපිට අපාය තනන්නට දෙවියන් විසින් වරම් ලැබූ කොටසක් හැටියට ය. පව් කාරයින්ට දඩුවම් දීමට සිටින යමපල්ලන් හැටියට ය. (සෑම නිලධාරියෙකුම මේ ගොඩට දැමිය නොහැකි ය. එහෙත් එසේ නොවන ස්වල්ප දෙනෙකුට ද ඒ හැටි බලයක් නැත.)

හිරේට ගිය බොහෝ දෙනෙකු නැවතත් හිරේට යන්නට විනා සමාජයට සුදුසු ලෙස වෙනස් වී මිනිසුන් බවට පත් වන්නේ නැත. හිර ගෙදර පුනරුත්ථාපන මධ්‍යස්ථානයක් විය යුතු වුව ද එය හොරු පුහුණු කරන පුහුණු අයාතනයක් හැටියට සංවිධානය වී ඇත.

අප හිතන්නේ අපාය තියෙන්නේ නරක මිනිසුන් හො෦ඳ මිනිසුන් බවට පත් කරන්නට කියා ය. ඒ අපට උගන්වා තිබෙන හැටි ය. එහෙත් ඇත්ත තත්වය නම් නහයට උඩින් ගියහම ඔලුවට උඩින් යන එක මහ කජ්ජක් නොවේ යැයි සිතෙන නිසා එකවරක් අපායේ ගිය මිනිහෙකුට තව වරක් යන එක මහ දෙයක් නොවේ ම ය. ඒ අර්ථයෙන් හිර ගෙදර ද එක් වරක් ගිය එකෙකුට තව වරක් යෑම ප්‍රශ්නයක් නොවන තැනට වැඩ කටයුතු සිද්ධ වේ.

එ් ඇතුළත කතාව නිසා පමණක් නොවේ. ඉන් පිටත මැදිහත් වීම් ද නිසා ය.

හිරේ ගිය එකාට සමාජය ද ලේබලයක් අලවන්නේ ය. ඒ ලේබලය අපූරු පරස්පරයන්ගෙන් යුක්ත ය. බලපුළුවන් කාරයෙක් හිරේ ගියහම වීරයෙක් හැටියටත් සාමාන්‍ය මිනිහෙක් ගියහම කණ්ඩෙම් වූ අපරාධ කරුවෙකු හැටියටත් ය. සාමාන්‍ය මිනිහෙක් නම් හිරේ වරක් තැප ආවාට පසු කොච්චර හොඳ උනත් ඉන් පස්සේ එහෙම යැයි මිනිසුන් පිළිගන්නේ නැත. ඒ නිසා වරක් හිරේ ගිය මිනිහෙකුට වගතුගක් නැත. ඔහු සමාජය දක්කන්නට හදන්නේ ම හිරේ ට ය.

වාසනාව කොහොමටත් සල්ලි කාරයා එහෙමත් නැත්නම් බලපුළුවන් කාරයා පස්සේ දුවන නිසා එවැන්නෙක් හිරෙන් නිදහස් වුනහම මඩ සෝදා ගෙන සුදු රෙද්දක් ඇඳ සමාජයට එන්නට හැකියාව ලැබේ. කරුමය කරුමක්කාරයා පසුපස එන නිසා අසරණ මිනිසෙකුට එවැනි ගැලවීමක් නැත.

රක්ෂිත බන්ධනාගාරගත කළ මිනිසුන් පවා ඉන්නේ කැලි කසල ගොඩේ ය (මේ කියන්නේ පෙර කළ පිනෙන් හිරේදී අසනීප වන අය ගැන නොවේ). ඒවා පිරිසිදු කෙරෙන්නේ නැත. ඒ කැලිකසල ගොඩ වෙන එක වළක්වන්නට ඒ හැටි උත්සහයක් ගැනෙන්නේ නැත. කොළඹ කුණු ගොඩේ ඉන්නා පුද්ගලයා මීතොටමුල්ලේ මිනිසුන් දෙස බලන විට හිර ගෙදර එලියට වඩා හොඳ වෙන්නට විදිහක් නැතැයි හිත හදා ගත්තොත් මිසක මේ මිහිපිට අපාය මිනිසුන් ජීවත් වන තැනකැයි හිතන්නට හේතුවක් නැත.

හිර ගෙදර ඉන්නා කාලයේ වුව එය හැම මිනිහෙකුටම අපායක් වෙන්නේ නැත. හිරකරුවන් අතර වරප්‍රසාද ලාභීහු සිටිති. හිරෙන් එලියට ආ විට සුදනන් ලෙස ජීවත් වීමට පමණක් නොව හිරේ ඉන්නා විට ද වැඩි මනත් කරදරයක් නැති ව දිවි ගෙවීමට ඔවුන්ට හැකි ය.

ඒ වැඩි පුර බන්ධනාගාර රෝහලේ හෝ මහ රෝහලේ ගත කිරීමට වරම් ලැබීම නිසා පමණක් නොවේ. වෙනත් සුව පහසුකම් ද ඇතුළත තිබෙන නිසා ය.

හිර ගෙදර ජන ගහණය වැඩි ය. එක්කෙනෙකුට අයිති ඉඩේ විස්සක් තිහක් සිටින නිසා හැරෙන්නට පෙරලෙන්නට තරමක් අමාරු ය. ආණ්ඩුවේ මහ ඉස්පිරිතාල ද ඒ වගේ නිසා ද ඒවායේ ද අගුපිල්වල මිනිසුන්ට බල්ලන් බළලුන් මෙන් ලගින්නට සිදු වන නිසා ද ඒවා බලා හිර ගෙදර ගැන හිත හදා ගත්තොත් මිසක නැතිනම් අමාරු ය.

හිර ගෙදර ගැන හිත හදා ගන්නට කැමති මිනිසුන්ට තේ වතුවල ලැයිම්වල මිනිසුන් දෙස ද කොළඹ වතු ආශ්‍රිත මිනිසුන් ද දෙස ද බලන්නට හැකි ය. ඒ අතින් බැලුවහම හිරේ දැන් ඉන්න තරමට වඩා නරක එකක් කළ යුතු යැයි බන්ධනාගාර පරිපාලකයන් සිතීම පිටුපස මෙවැනි හිරෙන් බාහිර කතන්දර ද තිබිය හැකි ය.

අපි පොදුවේ හිරගෙදර යැයි කීවාට එහි දෙජාතියක මිනිසුන් සිටිති. රක්ෂිත බන්ධනාගාරයේ සැකයට භාජනය වූ අය ය. හිර ගෙදර විනිශ්චයට භාජනය වූ අය ය. ඒ දෙක අතරින් වඩාත් නරක කුමක් දැයි මම නොදනිමි. එහෙත් රක්ෂිත බන්ධනාගාරය නම් නරාවලක් බව මම දනිමි.

ඒ කියන්නේ සැක කරුවන් හැටියට ඉන්නා අය එසේ වීම තුළ ම දඩුවම් විඳින බව ය. ඇතැම් විට වැරදි නොකර දඩුවම් විඳින බව ය. අඩු වශයෙන් ඔවුන්ට වත් මානුෂිකව සළකන්නට අපට යුතු කමක් තිබේ. ඔවුන් චුදිතයන් විනා වින්දිතයන් නොවන බැවිනි.

එසේ නොකරන්නට ද මේ සමාජයට සාධාරණ හේතු ඉදිරිපත් කරන්නට පුළුවන. අපරාධකරුවන් අල්ලා ගෙන ඔවුන්ට එරෙහිව ඇති චෝදනා ගොනු කොට අධිකරණයක් මගින් ඔවුන්ට දඩුවම් කිරීම අතින් අප ඉන්නේ බොහෝ රටවලට පහලිනි. එයින් කියවෙන්නේ වැඩි චුදිතයන් ප්‍රමාණයක් අධිකරණයේ දී නීතිඥයින්ගේ දක්ෂතා මත, පැමිණිල්ලේ අදක්ෂතාවය මත සහ වෙනත් විවිධ හේතු මත නිදහස් වෙන නිසා ය. ඒ නිසා පසුගිය කාලයේ සමාජය තුළ පැතිර ගියේ අල්ලා ගත් පසු අධිකරණයට යුක්තිය පසිඳලනු සඳහා ඉදිරිපත් නොකරම ඉවරයක් කළ යුතු බව ය.

ආයුධ පෙන්වන්නට ගොස් එසේ එලොව මිනිසුන් යැවීම එක් කලෙක සාමාන්‍ය දෙයක් බවට පත් වෙමින් තිබුනේ ජනතාවගේ මේ ආශිර්වාදය මැද්දේ ය. අදටත් එසේ සිතන මිනිසුන් බොහෝ ය. ඒ තමන්ගේ කවුරු හරි අභූත චෝදනාවකට අල්ලා ගන්නා තුරු පමණ ය.

එහෙම බැලුවහම රක්ෂිත බන්ධනාගාරය නරාවලක් කිරීමට අපේ සිතිවිලි පරම්පරාව තුළ ඇති වුවමනාව බන්ධනාගාර පරිපාලනය තුළ ද දකින්නට ලැබුනොත් අපට පුදුම විය නොහැකි ය. බන්ධනාගාර පරිපාලකයන් ද මනුෂ්‍යයෝ ය. වෙන රටකින් ආ විදේශිකයන් නොව අපේ රටේ ම මනුෂ්‍යයෝ ය.

වැරදි කිරීම මිනිස් ගතියකි. සමාව දීම දේව ගතියකි.

මා කුඩා කල එවැනි කතාවක් අසා තිබේ. ඒ ඉස්සර ය. දැන් අප ඉන්නේ ඇහැට ඇහැක් ගන්නට ඉදිරියට එන සමාජයක ය. ගේම ම ඉල්ලන සමාජයක ය. එය පිරී ඇත්තේ මස් රාත්තලම ඉල්ලන ෂයිලොක් ලා ගෙන් ය. මේ තත්වය වෙනස් විය යුතු ව තිබේ.

හිරෙන් එලියට එන කෙනෙකු පහසුවෙන් සමාජයට අන්තර්ග්‍රහණය කර ගන්නා ලෙස සමාජය ද වෙනස් විය යුතු ව තිබේ. ඔවුන් නැවත හිර ගෙදරට අඩිය නොතබන ලෙස ඔවුන් පුනරුත්ථාපනය කරන සිරගෙයක් බිහිවිය යුතු ව තිබේ.

මා දකින සිහින සිපිරි ගෙය පිරිසිදු ය. එහි පාලනය මිනිසුන්ට දඩුවම් දීම නොව මිනිසුන් පුනරුත්ථාපනය මූලික ඉලක්කය කර ගෙන තිබේ. එහි සිටින්නේ මිනිසුන් බව තාප්පය බැලූ විට නොව හිර ගෙය ඇතුළට පැමිණ නේවාසිකයන්ට තිබෙන පහසුකම් බලන විට තහවුරු වේ. එය සිත නිවන තැනකි. පන්සලක පල්ලියක ඇති සාම්‍යය ඒ තුළ දැකිය හැකි ය.

වැරදි පිළිගන්නා අයට ඉක්මන් නිදහසක් ලැබේ. ඒ වැරැද්දට භාජනය වූ තැනැත්තා සමාව දෙන්නේ නම් හා ඒ පුද්ගලයාට පිළිගැනෙන වන්දියක් ගෙවීමට වින්දිතයා කටයුතු කරන්නේ නම් පමණි.

හිරයට පත් කාලය අවසන් වන තෙක් මසකට වරක් එවැනි වින්දිතයෙකු පැමීණ සිර ගෙදර දිනක් ගත කොට යා යුතු ය. ඒ වැරැද්ද සිහිපත් කොට ඒ ගැන පසුතැවිලි වීම සඳහා ය.

හිරගෙදර සියල්ලන්ම සමාන ය. වරප්‍රසාද ලාභීන් නැත.

සිරකරුවන්ගේ පෞද්ගලිකත්වය ආරක්ෂා වන සේ වෙන් වෙන් කුටි තනා තිබේ. ඔවුන්ට කියවීමට පොත් ද කියවීම සඳහා අවශ්‍ය පහසුකම් ද ලිවීම ට අවශ්‍ය දෑ ද සපයා තිබේ. වෙනත් කලා කටයුතු වල නියැලීමට කැමති මිනිසුන්ට එවන් දේ සඳහා ඉඩ කඩ ද ලබා දී තිබේ. ඒ ඉඩ වෙසක් සැරසිලි වලින් ඔබ්බට ද ලාබ දී තිබේ.

සිරකරුවන් අතර බුද්ධීමය සංවාදයන් ඇති කිරීමට හැකි වැඩසටහන් සිපිරි ගෙය තුළ ක්‍රියාත්මක කෙරේ. එවැනි වැඩසටහන් සඳහා බාහිර විද්වතුන්ගේ සහභාගිත්වය ද ලබා ගැනේ.

මානසික රෝගයන්ගෙන් පීඩා විඳින සිරකරුවන් සඳහා විශේෂ සායන ඇති කර තිබේ. උපදේශන පහසුකම් සපයා තිබේ. සිය පවුලේ සමාජිකයින් සමග වඩා සමීප සම්බන්ධකම් ඇති කර ගැනීමට ද පහසුකම් සපයා තිබේ. විශේෂයෙන් කුඩා දරුවන් ඉන්නා වින්දිතයන්ට ඔවුන් සමග සම්බන්ධ වීමට වැඩි ඉඩක් සකසා දී තිබේ.

වින්දිතයෙකු පිළිබඳ සහකම්පනය ඇති සමාජයක් හිර ගෙදරින් පිටත තිබේ. එවැන්නෙකු සමාජයට සම්බන්ධ කර ගැනීමේ වගකීම සමීපතම වැඩිහිටි සියලු මිනිසුන් විසින් පෞද්ගලිකව දරනු ලැබේ.

විද්‍යාත්මක ක්‍රමයකට සකස් කරන ලද අධ්‍යාපනික වැඩසටහන් වලට ඔවුන් යොමු කෙරේ.

අංගුලිමාල තෙරුණ්ගේ කතා වස්තුව තුළ ඉගෙන ගත යුතු පාඩම් අංගුලිමාල පිරිත කියනවාට වඩා වැඩි උනන්දුවකින් කියන භික්ෂුන් වහන්සේලා පිරිසක් සසුනේ සිටී. ඔවුන් වැරදි කරුවෙකු සදාකාලිකව ප්‍රතික්ෂේප කිරීමට එරෙහිව බණ කියනු ඇත. ක්‍රිස්තුත් වහන්සේ ද විනිශ්චාසනයකින් නියම කරන ලද දණ්ඩනයකින් කුරුසයේ ඇණ ගැසූ සැටි කියන පියතුමන්ලා ද කතෝලික හා ක්‍රිස්තියානි පල්ලි ආශ්‍රිතව සිටී.  සිරකරුවන් සම්බන්ධ කතිකාව තුළ මේ චරිත නැවත නැවතත් මතු කරමින් ඔවුන් හා සහකම්පනය පල කරන පූජක පක්ෂය නිසා ම සමාජය ද දයානුකම්පාවෙන් ඔවුන් දෙස බලන තත්වයක් උදා වී තිබේ.

විවිධ ලෙස කොන් කරනු ලැබ තිබෙන මනුෂ්‍ය කොට්ඨාෂ ගැන වැඩ කරන ඔවුන් වෙනුවෙන් පෙනී සිටින සංවිධාන ඇතත් සිර කරුවන්ගේ හෝ චුදිතයන්ගේ හිර ගෙදර ජීවිතය දෙස බලන සංවිධාන තිබේ දැයි නිච්චියක් මට නැත. බිත්තියේ ලියා තිබුනාට සමහර විට සිරකරුවන් මනුෂ්‍යයින් යැයි විශ්වාස කරන මිනිසුන් නැතිවා වන්නට පුළුවන. මේ ලිපියේ අරමුණ එවැනි මිනිසුන් ඇති කිරීම ය.

අන් මිනිසුන්ගේ, විශේෂයෙන් සමාජය විසින් සිය පහසුව සඳහා බැහැර කර ඇති මිනිසුන්‍ගේ, ජීවිත දෙස දයාබර බැල්මක් හෙලීමට සහකම්පනය පළ කිරීමට හැකි සමාජයක් හැම විටම නිවුනේ වෙයි. සැනසුනේ වෙයි. සතුට පත් වුනේ වෙයි. සෞභාග්‍ය ලැබුවේ වෙයි.

අප ඉල්ලා සිටිය යුත්තේ එල්ලුම් ගස නොවේ. දයාව හා කරුණාව ය.

අවසාන සිහිනය විය යුත්තේ හිරගෙදරකින් තොර සමාජයක් ය. එහෙමත් නැත්නම් කෞතුක වටිනාකමකට පමණක් ලඝු වූ මිනිසුන් නැති හිරගෙදරක් ය.

අපේ සිහින අධ්‍යාපනය

din-nm-01-bps10072017

මුල් ලිපිය දිනමිණ පුවත් පතේ ඉහළ පින්තූරයත් සමග පළ වූයේ 2017 ජූලි 11 දින ය.

පොත් බෑගයේ බරින් ළමුන් කුදු වී ඇතැයි පහු ගිය දිනෙක කතිකාවට ලක් වූ මාතෘකාවක් විය. ඇත්තටම ළමුන් පෙළෙන්නේ පොත් බෑගයේ බරින් පමණක් නොවේ. සමස්ත අධ්‍යාපන ක්‍රමයේ බරින් ය.

අපේ පාසල් අධ්‍යාපනය වැඩිමනත් වෙන් කොට තිබෙන්නේ අප “සිතිය යුත්තේ ‍මොනවාද?“ යැයි අපට දැන්වීමට ය. දැනුම කප්පරක් මිටි බැද ඇති පොත්පත් කොන්ද කුදු වනතෙක් දරා ගෙන පාසල් යන අපට “සිතන්නේ කෙසේ ද?“ යන්න බැරිවෙලාවත් එහිදී කියා දෙන්නේ නැත. සත්‍යය සොයා ගන්නා හැටි නොව හොයාගත් සත්‍යය මේ යැයි අපට එහිදී දැනුම් දෙනු ලැබේ.

අවාසනාවකට පාසලෙන් එලියට යන විට උගත් අකුරු හා ගණන් ශාස්ත්‍රය හැරුණු විට මෙසේ ලද සෙසු දැනුම පිළුණු වෙලා ය. ඉගෙන ගත් සත්‍යය බොරු වෙලා ය.

දැනුමෙන් පිරිලා නිසාම ඒවා පරම සත්‍යය ලෙස අදහන්නට කියා දී ඇති නිසාම අලුත් දැනුමක් ලද විට ඒ දෙස බලන්නටවත් අපට සිත් දෙන්නේ නැත. පිරුණු බදුනකට වත් කරන ජලයට ඒ තුළ ඉඩක් නැත. එකතු කරන දේ පිටට ගලා යනවා පමණ ය.

අලුත් දැනුම පරීක්ෂාවට ලක් කිරී‍මේ මෙවලම් අප සතුව නැත. ඒ නිසා අප සතු දැනුම පිළුණු වූවාට අමතරව නැවුම් දැනුම එකතු කර ගැනී‍මේ හැකියාව ද අපට නැත. ඒවා තෝරා බේරා ගැනීමේ හැකියාව අපට නැත.

ඒ නිසාම අලුත් දැනුමට පස්ස හරවන අපට, පරම්පරා ගණනකට පෙර මිනිහා දැන සිටි දැනුම මුලිච්චි වන්නේ ය. එයින් කළ හැක්කේ කොපුවක්, ගුහාවක්, නැතිනම් කටුවක් හදා ගෙන ඒ තුළට වි සෙසු ලෝකයෙන් වෙන් වීම පමණ ය.

 

වැඩලෝකය හා අධ්‍යාපනය

විධිමත් අධ්‍යාපන ක්‍රමය වැඩකට නැති මිනිසුන් බිහි කරන්නේ එලෙස ය. දැනුම ගැන කියන්නේ එය නැවුම් කිරි වගේ කියා ය. ඉක්මණින් කල් ඉකුත් වන්නට ඉඩ තිබෙන බව ඉන් ඇගවෙන්නේ ය. ඉතින් කල් ඉකුත් වූ දැනුමක් පරම සත්‍යය ලෙස අදහන මිනිසුන් දැනුම නැති මිනිසුන්ටත් වඩා කාලයට ආයතනයන්ට නොගැලපෙන මිනිසුන් වීම අරුමයක් වන්නේ නැත.

ඒ නිසාම කළමනාකරුවන්ට ඔවුන් නැවත හැඩ ගස්වා ගැනීමට සිදු වේ. අමු මැටි පිඩක් හැඩ ගැන්වීම ලෙහෙසි ය. එහෙත් දැනටම හැඩ ගැන්වූ එකක් එසේ වෙනස් කිරීම අමාරු ය. එහෙත් බොහෝ කළමනාකරුවන් ද එවැනි වූ අය නිසාම ඔවුන්ට ඒ ගැන නිනව්වක් නැත. අප අද මුහුණ පා තිබෙන අර්බුදයේ එක් ප්‍රධාන පැතිකඩක් ඒක ය.

 

වනපොත් කිරීම සහ ටියුෂන්

අධ්‍යාපන අධීකාරීන් කල්පනා කරන විදිහට දැනුම යනු ඔවුන් සතු දැනුම ය. එහි ඒකාධිකාරය තිබෙන්නේ ඔවුන්ට ය. ළමුන් ඉගෙන ගත යුත්තේ ඒ දැනුම ය. ඒ දැනුම ද ඉගෙන ගත යුත්තේ ඔවුන් දෙන වචන වලිනි. ඒ කියන්නේ අවසානයේ දරුවන් විසින් ඒවා වන පොත් කළ යුතුව තිබෙන බව ය. විභාගය තුළ පරීක්ෂා කරන්නේ ඒ දැනුම ඒ වචනවලින් මතක තබා ගෙන නැවත වමාරන්නට පුළුවන් කම ය. ටියුෂන් කර්මාන්තය අතිශයින් ලාබ ලබන කර්මාන්තයක් බවට පත්ව ඇත්තේ මේ නිසා ය. වඩා හොඳින් වන පොත් කිරීමේ කලාව ඒ තුළ ඉගැන්වේ.

අධ්‍යාපන විශේෂඥයින් කියන්නේ පන්ති කාමරයක සිටිය යුතු ප්‍රශස්ත සිසුන් ගණන විස්සක් පමණක් බව ය. එතෙකුදු බොහෝ ටියුෂන් ගුරුවරුන්ගේ පන්ති කාමරවල ළමුන් සිටින්නේ සිය ගණනිනි. එසේ වන්නේ ඇයි? වන පොත් කිරීමේ කලාව උගන්නට නම් ඒ සඳහා දාහක් වුවත් එකට ගාල් කළ හැකි බව ය.

කල්ප ගණනක් පැරණි මිත්‍යා විශ්වාස මේ රට තුළ ප්‍රචලිත ය. තමන් මහන්සියෙන් උපයා ගන්නා ධනයත්, තමන්ගේ “වටිනා“ කාලයත්, මේවා වෙනුවෙන් යොදවන, ඒ නිසා තමන්ගේ ජීවිත අවුල් කරගන්නා, මිනිසුන්ගෙන් රට පිරී තිබේ. මේ එක ද විශ්වාසයක්වත් මේ අධ්‍යාපනය තුළ ප්‍රශ්න කරන්නේ නැත. ඒ වෙනුවට ඒවා ගෙඩි පිටින් දරුවන්ට ගිල්ලවන්නට සැදී පැහැදී සිටින විදුහල්පතිවරු හා ආචාර්යවරුන්ගෙන් එයට අමතර තල්ලුවක් ලැබී තිබේ. විභාගයට පෙනී ඉන්නා සිසුන්ට සෙත් පිරිත් කියවන්නේ ම ඇතැම් විට පාසලින් ය. සිසුන්ට විභාගයේ දී ලිවීමට ආශිර්වාද කර ඇති පෑන් පැන්සල් සැපයීම පවා ධන උල්පතක් පහල කරවන ජාවාරමක්ව තිබෙන්නේ මේ නිසා ය.

මෙවැනි ෂෝට් කට් වලට පුරුදු කරන ලද සිසුවාට තමන්ගේ මහන්සියෙන් සිය ජීවිතය පාදාගන්නවා වෙනුවට ඊට  වෙනස් මාර්ගයන් හොයන්නට පෙළඹීම සම්බන්ධයෙන් අපට දොස් නැගිය හැකි ද?

 

ප්‍රශ්නය පාසල් නොයෑම ද යෑම ද?

මෑතක දී ප්‍රකාශයට පත් වුනු සමීක්ෂණ වාර්ථාවකට අනුව කිසි දිනෙක පාසල් නොගිය අවුරුදු 5ත් 17ත් අතර ළමුන් ගණන 51,249 කි. එම වයස් කාණ්ඩයේ දැනට පාසල් ගමන නවතා සිිටින ගණන 452,661 කි. ඒවා පිළිවෙලින් මුළු ගණනින් 1.12% ක් හා 9.9% ක් වේ. අප ඒ සංඛ්‍යාලේඛන ගැන කම්පා වෙතත් පාසල් යන 4,118,781 ළමුන්ට නොලැබෙන දේ ගැන කම්පා නොවෙමු. සැබෑ ප්‍රශ්නය තියෙන්නේ එතැන ය. සියයට අනූවක් දෙනා ආවරණය වෙතැයි අප හිතන අධ්‍යාපනයේ දිග පළල සීමා සහිත වීම ද එය ඍණාත්මක වීම ද තුළ ය.

මේ අතරින් ඇතැම් අය දෙමාපිය මග පෙන්විම නිසා ද වෙනත් මාර්ගෝපදේශයන් හා නිරාවරණයන් නිසා ද තමන්ගේම දක්ෂතාවය නිසා ද අධ්‍යාපනයට ඇට්ටකුණා කිරීමට නොහැකි වූ වාසනාවන්ත පිරිසට අයිති වෙති. රටේත් ලෝකයේත් ජය කෙහෙලි නංවන්නේ ඔවුන් ය. පහසුවෙන් මුදල් හම්බ කිරීමට ඉදිරිපත් වන කපටි ව්‍යාපාරිකයන්ගෙන් ගැලවෙන්නේ ඔවුන් ය. දේශපාලන අනාථයන්ගේ ද දේශපාලන තක්කඩියන්ගේ ද මුලාවලට ගොදුරු නොවන්නේ ඔවුන් ය. වෛරය පතුරුවන අන්තගාමී ආගමික නායකයන්ගේ හස්තයෙන් ගැලවෙන්නේ ඔවුන් ය.

ඔවුන්ට තනියම ඉගෙන ගැනීමට හැකි ය. පුරුදු ය. උගත් දේ වැරදි නම් අතැරීමට ඔවුන් සූදානම් ය. ඔවුන් විවෘත ය. එහෙත් අපේ කරුමය නම් මෙවැනි මිනිසුන් මේ යදම් බැඳුනු දේශය තුළ සෙස්සන් මෙන් හිර කොට තබා ගැනීමට බැරි වීම ය. මේ දිවයිනේ දකින්නට ලැබෙන අමනකම් වලින් ඉක්මණින් වෙහෙසට පත් වන ඔවුන් සියල්ල දා වෙන කොදෙව්වකට ඉගිලෙන්නට  ඉදිරිපත් වීම ය.

 

දෙබිඩි චරිත

අපේ අධ්‍යාපනය තුළ අප ගොඩ නගන්නේ දෙබිඩි චරිත ය. බුද්ධාගම ගුරුවරයා සතුන් මැරීමෙන් වළකින්නට උපදෙස් දෙන අතර ආර්ථික විද්‍යා ගුරුවරයා දිවයින වටා ඇති මුහුදේ මත්ස්‍ය සම්පතක් ඇති බව කියයි. සෞඛ්‍ය පාඩමට සමබර ආහාර වේලක් යටතේ මස් මාංශ ගැන ද කියවෙයි. දැන් කළ යුත්තේ කුමක් ද? බුද්ධාගම ප්‍රශ්න පත්‍රයට සතුන් මැරීම පාපයක් බවත් ආර්ථික විද්‍යාව ප්‍රශ්න පත්‍රයට මත්ස්‍ය නිශ්පාදනය පුළුල් කිරීමේ වාසි ගැනත් ලිවීම ය. සෞඛ්‍ය ප්‍රශ්නපත්‍රයට ප්‍රොටීන් ලබා ගත හැකි ආහාර අතර මස් මාළු ඇතුළු කිරීම ය.

පාසලෙන් බෙදන මේ දෙබිඩ්ඩාගේ චරිතය ගෙදර දී පන්සිල් ගත් අම්මා කැරපොත්තන් මීයන් මරන්නට වස දමනු දකින විට වඩාත් තිරසාර එකක් බවට පත් වෙයි. ජීවත් විය යුත්තේ එසේ යැයි ඔහු ඇය අඩුවක් නැතිවම උගනී. හරි දෙයත් කරන දෙයත් අතර පරතරය දරා ගන්නට ද ඒ මගින් පුරුදු පුහුණු වෙයි. පරිසරය රැක ගන්න රචනා ලියන අතරේ කිසිදු හිරිකිතයක් නැතිව පාරවල් දිගේ කුණු දමන්නේ මේ දෙබිඩි අධ්‍යාපනයෙන් ගොඩ නගන චරිතයයි.

 

විශේෂඥයින් හා ප්‍රාඥයින්

යමක ගැඹුර දකින්නට උගන්නන අධ්‍යාපනය එහි ම පළල දැකීමට දිරි නොදෙයි. ගැඹුරට යන්නට යන්නට පළල නොපෙනී යයි. ගැඹුරට පිවිසීමට පෙර පළල හඳුනාගත යුත්තේ ඒ නිසා ය. යමක විවිධ පැතිකඩ විමසන්නට ඒ නිසා සිසුන් නොපෙළඹේ.

කොස් ගස් බේරා ගැනීම සඳහා තහංචි දාන්නේ ඒ උදවිය ය. කුඹුරු ඉඩම් පොල් ඉඩම් බේරා ගැනීමට නීතිය ඉදිරියට ගේන්නේ ඒ පරපුර ය. අපරාධ අඩු කිරීමට එක පැත්තකින් එල්ලුම් ගස යෝජනා කරන්නේ ද අනෙක් පැත්තෙන් දහම්පාසල් අනිවාර්ය කළ යුතු යැයි කියන්නේ ද ඒ උගතුන් ය. බණ පිරිත් භාවනා වැඩසටහන් වලින් ආයතන පුරවන්නේ ද ඒ අයම ය. නීතිය හා බණ දහමට අමතරව වෙනත් උපාය මාර්ගයන් ඔවුන්ගේ මනසට නොඑන්නේ ගැඹුර මිස පළල නොදකින නිසා ය. නීතිය හා දහම පමණක් ඔවුන් වෙත පාසලින් පටවා ඇති නිසා ය. ඒවා ගැඹුරටම උපයෝගී කරන්නට තැත් කළ ද විකල්ප ගැන වගේ වගක් ඔවුන්ට නැත. පටු විශේෂඥයින් මිසක පළල ප්‍රාඥයින් පාසලට බිහි කළ නොහැක්කේ මේ නිසා ය. තමන්ගේ විෂය ක්ෂේත්‍රයේ දැනුම් තේරුම් ඇති වුව ද ඉන් පිටතට ගිය කල ළදරුවන්ටත් අන්ත ප්‍රකාශ මේ විශේෂඥයින් විසින් කරනු අප දකින්නේ ඒ නිසා ය.

 

රැකියා ඉල්ලන්නන් වෙනුවට උත්පාදනය කරන්නන්

අපේ අධ්‍යාපන ක්‍රමය තුළ කළ යුත්තේ කුමක් දැයි කියනවා මිසක කළ යුත්තේ කුමක් දැයි විමසීමට දරුවන්ට අවසර දෙන්නේ නැත. කවුරුන් හෝ අහවල් දේ කරන්නට යැයි කිව්වොත් මිසක, කරන්නේ කුමක් දැයි නොදන්නා උදවිය, මේ ක්‍රමය විසින් බිහිකර තිබේ. එසේ පුරුදු පුහුණු කළ උදවියට, කළ හැක්කේ කවුරුන් හෝ ලග රැකියාවක් කිරීමට පමණකි. රැකියා ඉල්ලා උද්ඝෝෂණය කරන අය මිසක රැකියා උත්පාදනය කරන අය මේ අධ්‍යාපනයට බිහි කළ නොහැක්කේ ඒ නිසා ය. ව්‍යපාරිකයන් වී ඉදිරියට ගිය බොහෝ දෙනෙකු අධ්‍යාපනයට ඕනෑ විදිහට හීලෑ කර ගැනීමට අපොහොසත් වූ අය වී ඇත්තේ ද ඒ නිසා ම ය.

බොහෝ විට රජයට ආරක්ෂණ වාදී ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන ලෙස බල කරන්නේ මේ පාසලෙන් බලාත්මක කරනු නොලැබූ මිනිසුන් ය. ඉන්දියාවෙන් එන තර්ජනයක් ගැන භිතිකාවෙන් පෙලීම සම්බන්ධයෙන් අප ඇගිල්ල දික් කළ යුත්තේ මිනිසුන්ට නොවේ. අධ්‍යාපන ක්‍රමයට ය. අලුතෙන් එන ඕනෑම දෙයක් දෙස බියෙන් හා සැකයෙන් බලන්නට බොහෝ අය පෙළඹී ඇත්තේත් මේ හේතුව ද නිසා ය. අලුත් දෑ එන්න එන්නම පැරණි දේ තව තවත් බදාගන්නට පෙළඹෙන අපේ රටේ බොහෝ මිනිසුන් අපට කියන්නේ ද අධ්‍යාපනයේ හිඩැස පිළිබඳ මේ කතාව ම ය.

 

වැරදි නොකර ඉගෙනීම හා වැරදි තුළින් ඉගෙනීම

අධ්‍යාපනය තුළ උගන්වන්නේ වැරදි නොකර කිරීමට ය. වැරදිවලට පාසලින් දඩුවම් ලැබෙන්නේ ඒ නිසා ය. වැරදි නොකර කිරීමට ඉගෙන ගත හැක්කේ වැරදි කිරීමෙන් පසු ය. වැරදි කිරීමට නිදහස අහිමි වූ තැන උගෙනීමට නොහැකි ය. විශේෂයෙන් අභ්‍යාසයෙන් ප්‍රගුණ කළ යුතු වැඩ වැරදි නොකර ප්‍රගුණ කළ නොහැකි ය. ඉංග්‍රීසි භාෂාව හැසිරවීමට බොහෝ දෙනෙකු අපොහොසත් ව ඇත්තේ ද අධ්‍යාපනය තුළ අනුගමනය කරන වැරදි නොකර හැම දෙයක් ම කිරීමට බල කිරීමේ ප්‍රතිපත්තිය නිසා ය. වැරදි නොකර සිටිය හැකි හොඳම ක්‍රමය මුකුත් නොකර සිටීම ය. මුවින් නොබැන සිටීම ය. බොහෝ පාසල් සිසුන් හිත හදා ගෙන ඉන්නේ එහෙම කරන්න ය. ඒ කියන්නේ නොකරන්න ය.

 

සහතිකයෙන් අවසන් වන ඉගෙනීම

අධ්‍යාපනය සහතික පිරිනමන්නේ ය. සමාජය පුරුදු පුහුණු කර තිබෙන්නේ ද ඒ සහතිකවලට වටිනාකමක් දෙන්න ය. පාසල ඒ සම්බන්ධයෙන් අවශ්‍ය මග පෙන්වීම සමාජයට කර තිබේ. සිසුන්ට ද සහතිකය අරමුණ වී තිබේ. එය සැළකෙන්නේ ප්‍රවේශ පත්‍රයක් හැටියට ය. වැඩ ලෝකයට ප්‍රවේශ පත්‍රයක් හැටියට ය. ඒ නිසා අධ්‍යාපනය සහතිකයත් සමග නිමාවට පත්වේ. විශේෂයෙන් තව සහතිකයක් සඳහා ඉගෙන නොගන්නේ නම් තවදුරටත් ඉගෙනීම අවශ්‍ය යැයි බොහෝ දෙනෙකුට හැගෙන්නේ නැත. ඒ නිසා ම අපේ රටේ බොහෝ වැඩිහිටියන් පොත් මිල දී ගන්නේ ළමුන්ගේ පරිහරණය සඳහා ය. ඔවුන් උගෙන අවසන් ය.

පාසල් සමයේත්, උසස් අධ්‍යාපනය ලබන්නේ නම් ඒ සමයේත්, බොහෝ දෙනා කියවන්නේ තමන්ගේ විෂය ක්ෂේත්‍රයට අදාළ පොත්පත් පමණ ය. නවකතා කියවීම සහ පොදුවේ සාහිත්‍ය පරිශීලනය තරුණ වියෙන් පසු අමතක කර දමනු ලැබේ. පාසල හා දෙමාපියන් ද දිරි දෙන්නේත් රැගෙන දෙන්නේත් ඒ පොත් පත් පමණ ය. පොදුවේ කියවීමේ රුචිය වැඩි කිරීම තමන්ගේ වගකීමක් ලෙස පාසල හෝ දෙමාපියන් කල්පනා කරන්නේ නැත. සහතිකය ලබා ගැනීම සඳහා එය ඍජුව සේවයක් නොකරන්නේ යැයි සැළකෙන බැවිනි.

 

අපේ සිහිනය

අපේ සිහින අධ්‍යාපන ක්‍රමය මීට සහමුලින් වෙනස් ය. දරුවන්ට සිතන්නට ඉඩකඩ සළසන, දරුවන්ට ප්‍රශ්න කරන්නට, විමසන්නට, ඉඩකඩ සළසන, එය විවෘත මනසකින් යුතු දරුවෙකු බිහිකිරීම සිය ඉලක්කය කර ගෙන සිටී. මනස වැඩ කරන ආකාරය ගැන, ඒ තුළ තීරණ ගැනීමේ ක්‍රියාවලිය සිදු වන ආකාරය ගැන, දරුවන් දැනුවත් කරනු ලැබේ. තීරණ ගැනීමේ දී මිනිසුන් වැටෙන බොරුවලවල් ගැන අනතුරු අගවා තිබේ. එසේ වැටුන අවස්ථා නැවත විමසා බලන්නට සිසුන් දිරි ගන්වා තිබේ.

දැනුම මේ යැයි කියනු වෙනුවට අවශ්‍ය දැනුම ලබා ගත හැකි ආකාරයන් ගැන, ඒ දැනුම පිරික්සා නිවැරදිව දැන ගත යුතු විධික්‍රමය ගැන, ළමුන් දැනුවත් කරනු ලැබේ. දැනුම දෙනු වෙනුවට දැනුම සොයා යෑමට දරුවන්ට දිරි ගන්වනු ලැබේ.

ආගම ඉගැන්වීමෙන් පාසල නිදහස් කර තිබේ. ඒ වෙනුවට හැම ආගමකම පාහේ අවධාරණය කෙරෙන විශ්ව ආචාර ධර්ම පිළිබඳ දරුවන් දැනුවත් කෙරේ. පාසල තුළ ක්‍රියාත්මක කිරීමට සුදුසු ආචාර ධර්ම පද්ධතියක් යෝජනා කිරීමට හා සංවාදයට බඳුන් කිරීමට කටයුතු සළසා තිබේ. ඊට අනුකූලව ජීවත්වීමට දරුවන්ට මග පෙන්වා තිබේ.

විශ්වාසයක සත්‍යයතාවය සොයන්නේ කෙසේ ද යන්න පිළිබඳව දරුවන් දැනුවත් කරනු ලැබේ. පවතින සම්ප්‍රදායික විශ්වාස පිළිබඳ පිරික්සන්නට විමසන්නට දරුවන් පොළඹවා තිබේ.

විභාගයක දී මැනෙන්නේ දැනුම නොවේ. විමසීමේ හැකියාව ය. ඒ නිසා දැනුමෙන් ඔලුගෙඩි පුරවා ගැනීමේ බැරි බරෙන්, අනවශ්‍ය බරෙන්, දරුවන් නිදහස් කර තිබේ.

යමක ගැඹුරට පිවිසීමට පෙර එහි පළල දෙස බලන්නට දිරි ගන්වනු ලැබේ. තෝරාගත් විෂයයන් කීපයකට සීමා වී ඒ එක් එක් විෂයයයේ ගැඹුරට යනු වෙනුවට යමක් දෙස විවිධ කෝණයන්ගෙන් බැලීමට දරුවන්ට දිරි ගන්වා තිබේ. ඒ සඳහා විවිධ විෂයයන්ගේ මිණුම් දඩු භාවිතයට දරුවන්ට උදව් ලබා දේ.

ඉගෙනීම ජීවිතය අවසන් වන තුරු කළ යුතු දෙයක් ලෙස ඒත්තු ගන්වා තිබේ. සහතිකයක වටිනාකම සීමාසහිත බවත් එය අවසාන මිණුම් දණ්ඩ නොවිය යුතු බවත් යන මතය අධ්‍යාපනය තුළ ද ඒ නිසා ම සමාජය තුළ ද ස්ථාවර ව තිබේ.

අත්හදා බැලීම් කිරීමට වැරදි කිරීමට සිසුන්ට අවසර දී තිබේ. සිසුන් පාසලේ සියලු වැඩකටයුතු වල දී තීරණ ගැනීම සඳහා සහභාගි කර ගනු ලැබේ. පාසලේ භූමි අලංකරණය, ආපන ශාලාව කළමනාකරණය, සතිපතා පැවැත්වෙන රැස්වීම මෙහෙයවීම සහ එය වඩාත් සිසුන්ට ප්‍රයෝජනවත් වන ලෙස සංවිධානය කිරීම වැනි කටයුතු ඔවුන්ට ම කර ගෙන යා හැකි පරිසරයක් නිර්මාණය කර දී තිබේ. අත්හදා බැලීමක් ලෙස ඔවුන්ට එකතු වී ව්‍යාපාර ආරම්භ කිරීමට හා නව නිපැයුම් හඳුන්වා දීමට දිරි දෙනු ලැබේ. ඇතැම් පන්ති පැවැත්වීමට ද ඒවා නවතාවයෙන් මෙහෙයවීමට ද ඔවුන් බලාත්මක කරනු ලැබේ.

තමන් කැමති විෂයයන් සම්බන්ධයෙන් සංවාදයන් පැවැත්වීමට ද ගවේෂණයන් කිරීමට ද සිසුන්ට ඉඩ සළසා දී තිබේ.

ගුරුවරුන් දැනුම සපයන භූමිකාවෙන් මුදවා ඒ සඳහා පහසුකම් සපයන්නෙකුගේ භූමිකාවට මාරු කර තිබේ. ඒ සඳහා අවශ්‍ය පුහුණුව හා කුසලතා ගුරුවරුනට ලබා දී තිබේ.

කේන්ද්‍රය විසින් සම්පාදනය කරනු ලබන අධ්‍යාපන බැමි තුළ සිරකළ ගුරුවරුන් වෙනුවට තමන්ගේ ම වූ අත් හදා බැලීම් කිරීමට බලය ඇති සහ ඒ සඳහා කැප වුනු ගුරුවරුන් බිහිව තිබේ.

යැපෙන මානසිකත්වයෙන් නිදහස් වූ, ස්වාධීනව වැඩ කළ හැකි, අවශ්‍ය අවස්ථාවල කණ්ඩායම් ගත විය හැකි, විමසිය හැකි, වගකීම කරට ගන්නා, උගත් දේ තුළ සිය ජීවිතය හැඩ ගසා ගත්, නිර්මාණශීලී දරු පරපුරක් බිහි කරන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක වේ.