අපේ සිහින ගුරුවරයා

new folder029

ගුරු දිනය යෙදී තිබුණේ පසු ගිය සතියට ය. ඒ වෙනුවෙන් ගුරු උපහාර උළෙලවල් විශේෂයෙන් පාසල් පාදක කොට ගෙන පවත්වනු දක්නට ලැබුණේ ය. ඇතැම් අය තමන් අකුරු කළ ගුරුවරුන් සිහිපත් කරමින් ලියූ සටහන් ද අපට කියවන්නට ලැබිණි. ඒ සියල්ල අපට අපේ සිහින ගුරුවරයා මතු කර ගැනීමට දිරි දුන්නේ ය.

ගුරුවරුන්ට ළමුන්ගේ අනාගතය යහපත් කරන්නට මෙන් ම අඳුරු කරන්නට ද පුළුවන. ළමුන්ට තහංචි දැමීම සහ තහංචි කඩන තෙක් බලා සිට ඔවුන්ට දඩුවම් කිරීම එසේ සිසු අනාගතය අඳුරු කරවන ගුරුවරුන්ගේ විනෝදයකි. ඔවුන් හරියට හැංගී සිට දඩ ගහන රථවාහන පොලීසියේ රාළහාමිලා වගේ ය. ළමුන් අවමානයට පත් කිරීම, මානසික හා ශාරීරික හිරිහැර කිරීම, එවැනි ගුරුවරයෙකුගේ සිරිත ය. ඔවුන් නිතර කියන කතාවක් නම් හැඳි නොගා හදන හොද්දත් ගුටි නොදී හදන ළමයාත් වැඩක් නැති බව ය.

ඇස උකුසු වුනාට ළමයෙකුගේ හොඳක් නම් ඔවුන්ගේ ඒ උකුසු ඇසට හසු වන්නේ නැත. හසුවුනත් දකින බවක් පෙන්නන්නේ නැත. ඒ ගැන වචනයක් පිට කරන්නේ නැත. පිට කරතත් ඒ හොඳ වැඩේ තුළ සිදුවුනු යම් අඩුපාඩුවක් ගැන ය. හොඳ වැඩ මග හැර යන ඔවුන් කරන්නේ තවත් උනන්දු වි නරකක් ම අල්ලා ගැනීමට දැල එලීම ය. යම් සුළු හෝ මග හැරිමක් වෙතොත් ඒවා නම් අඩුපාඩුවක් නැතිව ම අල්ලා ගැනේ. ඇතැම් විට නැති අඩුපාඩු ද මවා ගැනේ.

පාසල ළමුන්ට තිත්ත පීළිකුල් බිය ජනක තැනක් බවට පත්වන බවට ඔවුහු වග බලා ගනිති. මිනිසුන් පිළිබඳ විශ්වාසය බිඳ හෙල දමති. ලෝකය දුක් කරදර පිරුණු තැනක් බවට පත් කිරීම ඔවුහු සිය ආදර්ශ පාඨය කර ගනිති.

කණගාටුවට කාරණය වන්නේ ඔවුන් මේ සියල්ල කරන්නේ ළමුන්ගේ අනාගතය නාමයෙන් වීම ය. ළමයින්ගේ සුභ සිද්ධිය වෙනුවෙන් වීම ය. එක අතකට ඒ සම්බන්ධයෙන් මේ ගුරුවරුනට පමණක් දොස් කිමේ තේරුමක් නැත. මෙසේ ගුටි කෑ බයෙන් ජීවත් වූ සිසුන් වැඩිහිටියන් වූ පසු ගුටි කෑමේ ආනිශංස ගැන කියා මේ ගුරුවරුනට උල්පන්දම් දෙනු අපි දකින නිසා ය. වැරදි වැඩක් හොඳ වැඩක් හැටියට දකින තත්වයක වැරදි වැඩ නිවැරදි වන්නට විදිහක් නැත.

මේ හිංසනය ඔය දඩුවම් ලැබූ අය පසු කලෙක වර්ණනා කොට කියතත් අහිංසක එකක් නම් නොවේ. එය විසින් ළමයාට ඇති කරන ආතතියට පීඩාවට අමතරව, ළමා මනස තුළ පැලපදියම් කරන්නේ යමක් කර ගැනීමට පහසු ම මග බලය පාවිච්චි කිරීම බව ය. එහි ප්‍රතිඵල කෙසේ වත් අහිංසක නැත. හරි වැරැද්ද ගැන සංවාදයක් කරනු වෙනුවට එය බලය යොදා තීරණය කිරීමට මිනිසුන් පෙළඹවීම මෙහි ඇති භයානක ම අනතුර ය.

මෙසේ හිංසනය යොදා ගෙන ආණ්ඩුමට්ටු කරන ගුරුවරුන් බොහෝ දෙනෙකුගේ පාසල් දිවිය පිරික්සා බැලුවහොත් ඔවුන් ද කුඩා කල හිංසනයේ ගොදුරු වී ඇති බව පැහැදිලි වනු ඇත. මේ පරපුරෙන් පරපුරට දායාද කරනු ලබන්නේ ඒ ලද හිංසනය යි. මෙය අපට සිහිපත් කරන්නේ නවක වදය සමයේ බියෙන් ජීවත් වෙමින් නවක වදයටත් එහි නිරත වන ජේෂ්ඨයින්ටත් සාප කළ නවකයෙකු ඊළග වසර වන විට එහි මහත් ඵල ආනිශංස කියමින් ඊළග පරපුරට ඒ පීඩනය ම එල්ල කරන්නට තැත් කරන විලාසය යි. ඊට ලක ලෑස්ති වන ආකාරය යි. පළමු වර නවක වදය ලැබීමෙන් පීචං වන සරසවි ශිෂ්‍යා දෙවැනි වර එය දීමෙන් පීචං වන ආකාරය යි.

හිංසනය භාවිතා කරන ඇතැම් ගුරුවරු එසේ කළේ වුව ද ඉගැන්වීම ද සිය ප්‍රථම රාජකාරිය ලෙස සළකා කටයුතු කිරීමට වග බලා ගනිති. එහෙත් වැඩි දෙනෙක් දන්නේ හිංසනයේ යෙදීමට පමණ ය. තමන්ගේ අදක්ෂ කම හා නොහැකියාව යටපත් කර ගැනීමට මේ දෙවැනි කී කාණ්ඩය හිංසනය අමතර වශයෙන් භාවිතා කරනු දකින්නට පුළුවන.

ඊළග වර්ගය වන්නේ හිංසනය ද නොකරන ඉගැන්වීම ද නොකරන ගුරුවරු ය. ඒ අය ළමුන් ලවා කරවන එකම වැඩය පිටපත් ලිවීම ය. නැතිනම් බලා කියවීම ය. සරලව කියතොත් ඔවුන් උගැන්විම පිළිබඳ මෙලෝ සංසාරයක් දන්නේ නැත. වෙන දෙයක් දන්නේ ද නැත.

තවත් වර්ගයක් වන්නේ උගැන්වීමට වෙහෙස මහන්සි වන ගුරුවරු ය. ඔවුන්ගෙන් ඇතැමෙක් තමන්ගේ සියළු ශක්තිය යොදා උගැන්වීමේ නිරත වෙතත් දරුවන්ට රසවත් වන ලෙස පාඩම සංවිධානය කර ගැනීමට ඔවුන්ට බැරි ය. ඒ සඳහා පුහුණු වීමක් ලැබි නැත. ඉඩ ඉස්පාසුවක් තිබී නැත. ඉගැන්වීමේ කලාව ඔවුන් දන්නේ නැත. ඒ බොහෝ දෙනෙකුට නිසි පුහුණුවක් ලැබී නැත.

තවත් ගුරුවරු වර්ගයක් ආල වට්ටම් දමා රසවත් ලෙස ඉගැන්වීමේ යෙදෙතත් දරුවන්ට එක දිසාවකට කෙරෙන දේශනයකට වැඩි යමක් දායාද කිරිමට ඔවුන්ට වෙලාව නැත. ඔවුන්ගේ දායකත්වය වටින්නේ ය. එහෙත් දරුවන් බලාත්මක කිරීමට ඔවුන්ගෙන් සිදු වන වැඩ කොටස නම් අල්ප ය.

අපේ සිහින ගුරුවරයා ඊට වෙනස් ය. ඔහු/ඇය විසින් සිසු ජීවිතය ද සිසු අනාගතය ද යන දෙකම එකවර එලිය කෙරේ. සිසු අනාගතය උදෙසා සිසු ජීවිතය අපායක් කළ යුතු ය යන අදහස ඔවුහු ප්‍රතික්ෂේප කරති. තමන්ගේ ම ජීවිතයේ ළමා කාලයේ ලද හිංසනයන් මතක් කර ගනිමින් ඒවා තමන්ගේ සිසු දරුවන් හරහා නිදහස් කර යවන්නට වුවමනාවක් ඔවුන්ට නැත. ඔවුන් තමන් ආ මග ඔස්සේ නැවත යන්නට නොව හිස් කොලයක සිසු ජීවිතයේ මාවත පාදා ගන්නට නව සැළැස්මක් ගොඩ නගා ගැනීමට සැදී පැහැදී සිටිති. තමන්ට වු ගැහැටෙන් නිදහස් ව ගොඩ නැගෙන ප්‍රීතිමත් ශිෂ්‍යයෙකු දැකීමට ඔවුන් කැමති ය.

එවැනි ගුරුවරයෙකු දැකීම ද සතුටට කාරණයකි. ඔවුන් හැමවිටම ඉන්නේ මද හසකින් මුව සරසා ගෙන ය. කාරුණික හදවතකින් විහිදෙන එලියක් ඇතුව ය. සිසුන්ට කන් දෙන කණ් දෙකක් ඇති ව ය. සිසුන් සමග මුසු වීමට සූදානම් ශරීරයක් හා ඔවුන්ගේ තැනට බැස සිතන්නට සූදානම් මනසක් ඇති ව ය. සිසුන්ට අනුකම්පා කරනු වෙනුවට ඔවුන් සමග සහකම්පනයක් ඇති කර ගැනීමට සූදානම් හැසිරීමක් ඇති ව ය.

සිය සිසුන්ගේ අනාගතය එලිය කරන ගුරුවරයා ළමුන් බලාත්මක කරයි. යමක් කියන්නට, කරන්නට, නිදහස හා ඉඩහසර ළමුන්ට සලසා දෙන ඒ ගුරුවරයා  වැරදෙන්නට අවසර දෙයි. වැරදුන විට කරුණාවෙන් නිවැරදි කර ගන්නා ආකාරය කියා දෙයි. ඒ නිසා ම ඉංග්‍රීසි වැනි දුෂ්කර යැයි සැළකෙන විෂයයන් පවා ඉගෙනීම දුෂ්කර ක්‍රියාවක් නොවෙයි. වැරදි වැරදී කතා කරන්නට අවසර ඇති නිසා ද වැරදෙන විට ඒ දෙස උපේක්ෂාවෙන් බලන නිසා ද ළමුන් භීතියකින්  තොරව ඉංග්‍රීසි කතා කරන්නට ඉදිරිපත් වේ.

එවැනි ගුරුවරුන් තම සිසුන්ට අභීතව නැගී සිටීමට දිරි දේ. ප්‍රශ්න අසන්නට උනන්දු කරයි. තර්ක කරන්නට ප්‍රතිතර්ක ඉදිරිපත් කරන්නට අවසර දෙයි.

පාසල ළමුන්ට ප්‍රියජනක තැනක් බවට පත් කරන්නට ඔවුහු වෙහෙස ගනිති. ළමුන්ගේ වැරදි ඉදිරියේ සන්සුන්ව කරුණු පහදා දීමට ද ඔවුන්ගේ දක්ෂකම් ගුණයහපත් කම් මතුකර ඒවා අගය කිරීමට ද ඔවුහු සැදී පැහැදී සිටිති. එවැනි ගුරුවරුන්ට අනුව පන්තියක හොඳ ළමුන් හා නරක ළමුන් යනුවෙන් ළමුන් වර්ග දෙකක් නැත. ඉන්නේ එක වර්ගයකි. ඒ ළමයි ය.

සිතිය යුත්තේ කුමක් ද යන්න කියනවා වෙනුවට සිතිය යුත්තේ කෙසේ දැයි ඔවුහු දරුවන්ට උගන්වති. ඒ නිසා හරි වැරැද්ද කුමක් ද යනු තේරුම් ගැනීමට බණ දේශනා කිරීමට සිදු නොවේ. සිසුන් ම තමන් ලද අභ්‍යාසයන්ගෙන් මග පෙන්වීම ලබමින් මේ දේ නිවැරදි ය මේ දේ වැරදි ය කියන්නට සමත් ය. මෙය නිවැරදි ය, මෙය වැරදි ය, යනුවෙන් අර්ථ නිරූපනයන් දෙනවා වෙනුවට හරි වැරැද්ද තෝරා ගත හැකි නිර්ණායකයන් ඔවුන් විසින් සිය සිසුන්ට ලබා දීම ඒ හැකියාව පිටුපස තිබේ.

පාඩම සඳහා සිසුන් සහභාගී කර ගනු ලැබේ. පාඩම ඉදිරියට යන්නේ සිසුන් සමග කරන සාකච්ඡාවක ස්වරූපයෙනි. සිසුන්ගේ අදහස් වලින් පෝෂණය ලබමිනි. එක මතවාදයක් වෙනුවට බහු විධ මතවාදයන් සාකච්ඡාවට ලක් කෙරේ.

උදාහරණයක් ලෙස ගබ්සාව ගැන කරන සාකච්ඡාවක දී ඒ සම්බන්ධයෙන් විවිධ ආගම්වල ඇති මතිමතාන්තර කුමක් ද යන්නත් වෛද්‍ය මතය කුමක් ද යන්නත්  රටේ නීතිය ඒ සම්බන්ධයෙන් ගන්නා අස්ථානය කුමක් ද යන්නත් සාකච්ඡා කෙරේ. ඊට අමතරව විවිධ රටවල ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්වය ද ඉදිරිපත් කෙරේ. දරු කළලයේ පැත්තෙන් ද මවගේ පැත්තෙන් ද සමාජය පැත්තෙන් ද විවිධ අවස්ථාවල ඇතිවන ගැටළු ප්‍රතිවිපාක ද සාකච්ඡා කෙරේ. දූෂණයට භාජනය වුනු ගැහැණියකට ඒ නිසා උපන් කළලයක් දරා සිටීමේ හා ඒ හරහා දරුවෙකු බිහි කර හදා වඩා ගැනීමේ දී ඇති විය හැකි මානසික පීඩනය පමණක් නොව ඇයට හා දරුවාට සමාජයෙන් එල්ල වන ගැරහීම් ද සාකච්ඡා කෙරේ. ගබ්සාවකට ගැහැණියක් පෙළඹෙන අනෙකුත් සමාජ කාරණා ද මතු කෙරේ. එසේ පෙළඹවෙන මවක දරණ අවදානම ද සංඛ්‍යා ලේඛන සහිත ව ඉදිරිපත් කෙරේ. ඒ හරහා ගබ්සාව සම්බන්ධයෙන් තමන් දැරිය යුතු අස්ථානය කවරේදැයි දරුවන්ට ම තීරණයකට එළඹිය හැකි වටපිටාවක් සැකසේ. මේ අභ්‍යාසය හරහා යන දරුවෙකු වෙන ඕනෑම ගැටළුවක දී වුව තමන් යම් ප්‍රශ්නයකට පිවිසිය යුත්තේ කෙසේ ද ඒ ප්‍රශ්නයේ විවිධ පැති කඩ විමසිය යුත්තේ කෙසේ ද ඒ එක් එක් පැති කඩ ගැඹුරින් විග්‍රහ කර ගත යුත්තේ කෙසේ දැයි උගනියි. ප්‍රශ්නයක පළල හා ගැඹුර යන දෙකම විමසමින් නිවැරදි අස්ථානයකට ආ හැක්කේ කෙසේ දැයි උගනියි.

විෂය රසවත් කිරීමට ඊට ආනුපාන එකතු කිරීමට ඔවුහු උත්සුක වෙති. ඒ සඳහා කතන්දර, චිත්‍ර, නැටුම්, ගීත, කවි උපයෝගී කර ගනිති. විෂයය කරුණු මතක තබා ගැනීම පහසු කරන ක්‍රම ඔවුහු හඳුන්වා දෙති. විෂයය කරුණු මතක තබා ගැනීම සඳහා කවි, ගී, නැටුම් ඇතුළු විවිධ නිර්මාණයන් කිරීමට දරුවන් ද පොළඹවති.

ඒ සිහින ගුරුවරයා එකිනෙකාගෙන් ඉගෙන ගැනීමට ද එකිනෙකාට ඉගැන්වීමට ද සිසුන්ට අනුබල දෙයි. වඩාත් හොඳින් ඉගෙන ගත හැක්කේ අනුන්ට කියා දීම මගින් බව ඔහු/ ඇය සිසුන්ට කියා දේ.

ඇස් රතු නොවෙන තාක් පාසල තුළ විහිළු තහළු වලට ඉඩක් තිබේ. ඔහු/ ඇය තමන්ට ම සිනාසෙන්නට තරම් සරල ය. එතැනින් නොනැවතී තමන්ට ම තමන්ගේ දුර්වලකම්වලට ම සිනා සෙන්නට ද සිසුන් දිරිමත් කරවීමේ ලා දක්ෂ ය. විහිළු තහළුවේ සමත් සිසුන්ට පන්තිය තුළ පිළි ගැනීමක් ලැබේ. උත්ප්‍රාසය උත්තේජකයක් ලෙස සළකනු ලැබේ.

පන්තිය හැමට ප්‍රීතිමත් තැනක් වනු දැක්ම ඔහුගේ අභිලාශය ය. ඒ නිසා ම සිසුන් උදෑසන නැගිට තමන්ගේම උනන්දුවෙන් පාසලට පිවිසෙනු දැකීම ඔහුගේ කැමැත්ත ය. ඒ සඳහා සෑම දරුවෙකු සතු කිසියම් ගුණයක් අගය කර ඒ සඳහා ප්‍රශංසාවක් කිරීමට ඔහු වග බලා ගනී.

අපේ සිහින ගුරුවරිය නිහතමානී ය. ඇය කුඩා සිසුන්ට ද නිසි ගෞරවය දෙමින් කතා කරන්නී ය. ඔවුන්ට ද සෙසු අයට ගෞරව කරන්නට මග පෙන්වන්නී ය. තමන්ගේ වැරැද්දකට නොපැකිල ව සිසුන්ගෙන් සමාව ගන්නා ඇය කරන ලද වැරැද්දක් පිළිගැනීමට ද ඒ සම්බන්ධයෙන් සමාව ඉල්ලීමට ද සිසුන් යොමු කරවන්නී ය.

ඔහු දරුවන් දණ ගසා වැඳීම හෝ කොන්ද නමාගෙන වැඳීම රුස්සන්නේ නැත. ඒ නිසා පෞර්ෂය අහිමිකර ගත් දරුවන් ඇතිවෙනු දැකීමට එවන් ගුරුවරයෙකුගේ කැමැත්තක් නැත. ලෝකෙට පරකාසෙට හෝ සමාජ සම්මුතියට දණ ගැසුවාට හදවතේ ඒ ගරුත්වය නැත්නම් එයින් ඵලක් නැතැයි ඔවුහු සිතති. ඒ නිසා ම ගෞරවය එලියට ප්‍රදර්ශනය කිරීමට වඩා හදවතේ රැඳී තිබෙනු දැකීමට ඔහු කැමති ය. ගෞරවයටත් වඩා දරුවන්ගේ සෙනෙහසත් ආදරයත් දිනා ගැනීමට ඔහු වඩාත් කැමති ය. ඍජු කයකින් නැගෙන ආයුබෝවන් හඩට එවන් ගුරුවරයෙකු දණ ගසා වැඳීමකට වඩා කැමති වන්නේ ද ඒ නිසා ය.

අපේ සිහින ගුරුවරයා වඩාත් තෘප්තිමත් වන්නේ තමන් ව ප්‍රශ්න කිරීමට දරුවන්ට හැකියාව ඇති කිරීමෙනි. ඔවුන් එසේ තමන් ප්‍රශ්න කරනු දැකීමෙනි. තමන්ගේ මතය පරදවමින් ප්‍රතිතර්ක ගෙන ඒමට ඔවුන් කටයුතු කරනු දැකීමෙනි. තමන් නොදුටු කිසි දා නොසිතූ මානයන් ඉදිරිපත් කරමින් තමන්ගේ ඉගැන්වීම් අභියෝගයට ලක් කිරීමට පොහොසත් කිරීමට සිසුන් ඉදිරිපත් වනු දැකීමෙනි. ඔවුන්ගෙන් ඉගෙනීමට අවස්ථාව තමන් ලැබීමෙනි.

ඒ නිසා ම මේ සිහින ගුරුවරයා දරුවන්ගෙන් අන්ධ කීකරු බවක් ඉල්ලා නොසිටී. ඒ වෙනුවට ඇතැම් තැනක අකීකරු වීම, කීකරු වීමට වඩා යහපත් යැයි දරුවන්ට ඉගැන්වේ. අහිංසක අංගුලිමාල වූයේ ගුරුවරයෙකුට විමසීමකින් තොරව කීකරු වීමේ වරද නිසා බව ඇය විසින් පසක් කර ගෙන තිබේ. ඒ නිසා හැම දෙයක් ම ප්‍රශ්න කිරීමට වැඩිහිටියන්ගේ උපදෙස් පවා ප්‍රශ්න කිරීමට ළමයාට ඇති අයිතිය ඇය අවධාරණය කරන්නී ය. ළමා අපචාර වැඩි හරියක් සිදු වන්නේ ළමුන්ට ආසන්න වැඩිහිටියෙකුගෙන් බව ඇය දනී. ඒවායින් ආරක්ෂා වීමට හොඳ ක්‍රමය නොමනා දෙයට අකීකරු වීම බව ඇය පෙන්නුම් කර දෙයි.

ඒ සමාන අවධාරණයකින් එවැනි ගුරුවරයෙකු / ගුරුවරියකු පැරණි විශ්වාසයන් පවා ඒ ලෙස පිළි ගන්නේ නැතිව ප්‍රශ්න කිරීමේ අවශ්‍යතාවය පෙන්වා දෙයි. නව දේ ඉදිරියට එන්නේ යල් පැන ගිය පැරණි දෙය විස්ථාපනය කිරීමෙන් බව ඒ ගුරුවරයා නැවත නැවතත් දරුවන්ට පෙන්වා දෙයි. ඒ නිසා ම පැරණි දේ ප්‍රශ්න කළ යුතු බවත් නව දේ සොයා යා යුතු බවත් ඔහු/ ඇය කියයි.

බහුතරයේ මතය හැමවිටම නිවැරදි මතය නොවන බවත් වසර දහස් ගණනක් පැරණි වූ පලියට යමක් නිවැරදි නොවන බවත් එවන් ගුරුවරයෙකු පෙන්වා දෙයි. යම් දෙයක් පිළිබඳව ඇලීමෙන් ගැටීමෙන් තොරව ස්වාධීනව බැලීමේ අවශ්‍යතාව උදාහරණ දක්වමින් ඔහු පෙන්වයි. අපේ කෙනෙක් කළ විට යමක් හරි වන්නටත් ඒ දෙය ම වෙනත් කෙනෙක් කළ විට වැරදි වන්නටත් විදිහක් නැති බව ඔහු පෙන්වා දෙයි. ආලයෙන් හෝ ද්වේශයෙන් තොරව ප්‍රශ්නයක බාහිර පාර්ශව කරුවෙකු විදියට බලන විට එය වඩා හොඳින් තේරුම් ගත හැකි බව ඔහු තවදුරටත් අවධාරණය කරයි.

ජාති, ආගම්, කුල මල හා පන්ති හේද ඉවත දමමින් ද පිරිමි, ගැහැණු, සමලිංගික, විෂම ලිංගික වැනි භේද ද ඉවතලමින් ද මිනිසුන් දෙස මිනිසුන් හැටියට බලන්නට ළමුන් පෙළඹවීමට අපේ සිහින ගුරුවරයා කටයුතු කරයි. වෙනස්කම් පසෙකලා මිනිසුන්ට මිනිසුන් හැටියට ගරු කරන්නට ළමුන්ට ආත්ම ශක්තියක් එයින් ලැබේ යැයි ඇය විශ්වාස කරන්නී ය. ඒ නිසා ම ගැටුම් අවම ලෝකයක් බිහිවෙනු දැක්ම මේ සිහින ගුරුවරයාගේ පැතුම ය.

මෙවැනි සිහින ගුරුවරුන් නිසා දරුවන් ප්‍රීතිමත්ව ද ශක්තිමත් ව ද අභිමානයෙන් යුතු ව ද වැඩෙන අතර ඔවුන් වඩා ප්‍රයෝජනවත් පුරවැසියන් බව ට ද පත්වනු ඇත. අවසානයේ එයින් රටත් සමාජයත් බැබලෙනු ඇත. රටේ පුරවැසියන් සාමයෙන් සැනසුමෙන් ජීවත් වනු ඇත.

එවැනි ගුරුවරයෙකු උදෙසා නිබ්බුත පද ගැයීමට සැවොම ඉදිරිපත් වනු ඇත.

අපේ සිහින තර්ක විතර්ක

ELECTION_1_CI

පහුගිය දවසක මහත් ආන්දෝලනයක් ඇති කළ සිල් රෙදි නඩුව අපේ මිනිසුන් නගන තර්ක කෙතරම් බොල් ද යැයි හඳුනා ගැනීමට අගනා අවස්ථාවක් සැපයූවේ ය. බෙදුවේ සිල් රෙදි ය. නියම වුනේ හිරේට ය. දානමය පිංකමක් හිරේ යන වරදක් ලෙස ගැනිය නොහැකි යන්න තර්කයකි. අප රටේ මෙහෙම තර්ක වැහි වැහැලා ය. මේ මතුපිට තියෙන සරල තර්කයෙන් එහාට යන්නට බොහෝ දෙනෙකුට නොහැකි ය.

ආණ්ඩුව බෞද්ධ ශාසනයේ උන්නතිය සඳහා බැඳී සිටී. සිල් රෙදි බෙදීම ඒ අනුව රජයක් විසින් කළ යුතුව ඇති කටයුත්තකි. එවැන්නක් සම්බන්ධයෙන් රජයේ නිලධාරියෙකු වැරදිකරුවෙකු කරන්නේ කෙසේ ද? බැලුවහම තර්කානුකූල ය. ඒ මතුපිට තර්කයෙන් ඔබ්බට නොයා බැලුවොත් ය.

ලලිත් වීරතුංග මහතා කාර්යක්ෂම නිහතමානී රාජ්‍ය සේවකයෙකි. එතුමා හොරකම් කළ කිසිවක් නැත. ඒ නිසා එතුමා හිරේට දැමීම නොහොබී. බැලුවහම ඇත්ත වගේ ය. පළමු වැකියේ සඳහන් දේ ගැන එකග නොවන කෙනෙකු නැත. ඔහු කාර්යක්ෂම නිහතමානී නිලධාරියෙකි. දෙවැනි වාක්‍යය ගැන ද බොහෝ දෙනෙකුට සැකයක් නැත. ඒ සමග එන තෙවැන්න පළමු වැකි දෙකෙන් එළඹෙන තර්කානුකූල නිගමනයක් බව මතුපිටින් බලන විට පෙනේ. ඇත්ත ඒක ද?

දත්ත මග හැරි යෑම

අප මේ දකින්නේ කුමක් ද? දත්ත තොරතුරු රාශියක් තිබෙන තැනකින් තමන්ට අවශ්‍ය දත්ත පමණක් තෝරා ගැනීමට පෙළඹෙන අනිත් දත්ත වුවමනාවෙන් මග හරින අප බොහෝ දෙනෙකු සතු ආත්මය ය.

දැන් අප මග හැර ගිය දත්ත දෙස බලමු. සිල් රෙදි බෙදුවේ මැතිවරණයක් ආසන්නයේ ය. ඒ සිල් රෙද්ද බහා ලූ පැකැට්ටුවේ ජනපති වරණයට ඉදිරිපත් වන අපේක්ෂකයෙකුගේ රුවක් ද ඔහුගේ පණිවුඩයක් ද තිබුනේ ය. ඒ සඳහා වැය කළේ බුද්ධ ශාසන අමාත්‍යංශයේ මුදල් ප්‍රතිපාදන නොවේ. දුරකථන කොමිසමේ මුදල් ප්‍රතිපාදන ය. ඒ ද නිසි අනුමැතියකින් තොරව ය. ඒ සියල්ල සිදු වූයේ කඩිමුඩියේ ය. නිසි අවසරයක් ලබා ගැනීමට නොහැකි වීම ද මේ කඩිමුඩියට බලපෑවේ ය. හදිසි අවස්ථාවක දී එසේ කළේ නම් යම් සමාවක් දිය හැකි ව තිබුන ද සිල් රෙදි එසේ හදිසියේ බෙදා දීමේ නිමිත්තක් රට තුළ තිබුනේ නැත. සිල් රෙදි නොලැබීම නිසා රට අර්බුදයකට යන තත්වයක් තිබුනේ නැත. මේ කටයුත්ත නොකට යුතු බවට එකල මැතිවරණ කොමසාරිස් විසින් නීතියක් ද පනවන්නට යෙදුනේ ඒ අනුව ය. එතුමා ද කීර්තිමත් රජයේ නිලධාරියෙකි. එතුමාට පෙනුන දේ ලලිත් වීරතුංග මහතාට නොපෙනුනේ ය. ඉහත ගොඩ නැගූ තර්ක වලට මේ දත්ත ඇතුළු කළ විට ද මතුපිට තර්කයෙන් සෑහීමකට පත් නොවී ගැඹුරට තර්ක කළ විට ද ඉහත ඉදිරිපත් කළ මුල් තර්කයන් බොල් බව මනාව පැහැදිලි වේ.

උසාවිය තුළ මේ සියල්ල සළකා බැලෙන්නට ඇත. එහෙත් අපට ඇසෙන්නට ඉදිරිපත් වූ මුල් තර්ක තුන ම මතු වුනේ උසාවි නියෝගයෙන් පසු ය. ඊට අමතරව මේ සඳහා ඉදිරිපත් වූ ප්‍රති තර්කයක් ද තිබේ. හොරකම් කරන්නේ දන් දීම සඳහා නම් එය නිවැරදි ද යන්න ය. ඒ කිසිවක් නොසළකා මෙසේ තර්ක කරන්නට මිනිසුන් ඉදිරිපත් වූයේ ඇයි?

නිගමනයට එන්නේ හැගීම් වලිනි

ඊට ප්‍රධාන හේතුව වන්නේ තමන්ගේ හෝ තමන්ගේ කෙනෙකුගේ වැරැද්දක් වැරැද්දක් හැටියට සමහරු නොසළකන නිසා ය.‍ ඔවුන්ට ඒ වගක් නොදැනෙන නිසා ය. එසේ කරන අය නිගමනයන්ට එන්නේ තර්ක පදනම් කර ගෙන නොවේ. හැගීම් පදනම් කර ගෙන ය. කරන්නේ එසේ පැමිණි නිගමනය සනාථ කිරීමට තර්ක ගෙන ඒම ය. ඒ තර්කවලට අදාළ කරුණු පමණක් තෝරා බේරා ගෙන ඉදිරිපත් කිරීම ය. අනිත් ඒවා නොදුටු සේ නොඇසුණු සේ නොදැනුණු සේ මග හැර යෑම ය.

ඒ අයට අනුව මිනිසෙකු හොඳ වෙන්නේ හෝ නරක වෙන්නේ ඒ පුද්ගලයාගෙන් තමන්ට වාසියක් ලැබෙන්නේ ද නැද්ද යන්න මත ය. ඒ මිනිසා වැරදි හෝ නිවැරදි වන්නේ ද ඒ අනුව ය. එවැනි මිනිසුන් සමග තර්ක කරන්නට ගිය විට අවසානයේ සිදු වන්නේ කුණුහරුප වලින් උත්තර අසා ගන්නට ය. මක්නිසා ද යත් ඔවුන් එතෙක් මෙහෙයවා ඇත්තේ ද හැගීම් වලින් ම නිසා ය. තර්කය ඒ හැගීම් සාධාරණය කිරීමට පමණක් ගොඩ නැගූ දේ නිසා ය. ඒවා බංකොළොත් තර්ක හා පුහු තර්ක නිසා ය. මතුපිට පමණක් අත ගාන තර්ක නිසා ය. ඒවා බිඳ දමන විට ඔවුන්ගේ හැගීම් ඇවිස්සෙන නිසා ය.

නැති දත්ත හා කරුණු නිර්මාණය

අප මෙතෙක් කතා කළේ තිබෙන දත්ත මග හැර යෑම ගැන ය. මේ පුද්ගලයින් එයින් ද නොනැවතී නව දත්තයන් සම්පාදනයේ ද යෙදෙන්නෝ ය. ඊට හොඳම උදාහරණය සැපයුනේ මෑතක දී සමාජ ජාලා වල පැන පැන බෙදා ගත් ලිපියකිනි. ඒ ලිපියේ ලිපි ශීර්ෂයේ සඳහන් ව තිබුනේ මුස්ලිම් සංවිධානයක් යැයි හැගවෙන නමකි. ඒ ලිපියේ අන්තර්ගතය තුළ තිබුනේ මියන්මාරෙන් පැන එන සරණාගතයින් බාර ගැනීමට රජය ගෙන ඇති තීරණයක් පිළිබඳව ස්තුතියකි. එයින් මේ ලිපිය නිර්මාණය කළ අයට පෙන්වන්නට අවශ්‍ය වූයේ රජය සරණාගතයින් බාර ගැනීමට තීරණයක් ගෙන ඇති බව ය. පසුව මේ ලිපිය ව්‍යාජ එකක් බව පෙනී ගියේ ය. එහි වූ දෙමළ හා අරාබි අකුරු වැරදි ය. දුරකථනය ක්‍රියාන්විත නැති එකකි. එහෙම සංවිධානයක් රටේ ද නැත. එහෙත් මෙය දිගින් දිගට ප්‍රචාරය විය. ඒ නිසා ම තාමත් සමහරු විශ්වාස කරන්නේ රජය සරණාගතයින් බාර ගැනීමට තීරණය කර ඇති බව කි. මේ දත්ත සම්පාදනය කරන මිනිස්සු ඒවා නුදුරු දිනයක බොරු වන බව දනිති. එහෙත් ඒ හරහා ජන මනස තුළ ඇති කළ හැකි මැකීමට අපහසු, තාවකාලික යැයි අප හිතන, එහෙත් එසේ නොවන, සිතුවිල්ල පමණක් වුව ඔවුන්ට සෑහේ. අතීතයේ දෙමළ මිනිසුන් සම්බන්ධයෙන් ද වර්ථමානයේ මුස්ලිම් මිනිසුන් සම්බන්ධයෙන් ද ගෙන යන දහසක් ප්‍රචාර මේ සඳහා දිය හැකි උදාහරණ ය. මෙයින් බොහෝමයක් අසත්‍ය ය. එහෙත් ජන මනස තුළ පැලපදියම් වූ චිත්‍රය වෙනස් කිරීමට ඒ අසත්‍ය බව ඔප්පු වූ පසු ද නොහැකි ව තිබේ.

තිබෙන දත්ත වුවමනාවෙන් මග හැර යෑමත් නැති දත්ත නිශ්පාදනයටත් අමතරව ඔවුහු අදාළ නොවන දත්ත ද ඉදිරිපත් කර එ්වාට නැති සුජාත භාවයක් ලබා දෙති. ඒ තුන්වෙනි ක්‍රමය ය.

අදාළ නොවන කරුණු කාරණා

කෙනෙකුට ළමයි නැති වීම ඔහුගේ අදක්ෂභාවයක් ලෙස, අසාර්ථකත්වයක් ලෙස, දක්වා සිටීම එවැන්නකි. එහෙම දෙයක් වත් කර ගන්නට බැරි එකෙක් නෙ මෙහෙම කතා කරන්නේ යැයි කියමින් අදාළ පුද්ගලයා හෑල්ලුවට ලක් කරන්නට ඔවුහු ඉක්මන් වෙති. පිරිමියෙකුට ළමයෙක් බිහිකිරීමට යන්නේ විනාඩි ගණනකි. එය මහා ලොකු වැඩක් නොවේ. එවැන්නෝ වැඩ කාරයෝ නම් එවැන්නන්ගෙන් අඩුවක් ලංකාවට නැත. එහෙත් ලංකාව සාර්ථක වී ඇත් ද? ළමුන් වැඩියෙන් ඉන්නා තාත්තලා වැඩ කාරයෝ ද? මේ අදාළ නොවන තර්කයන් නැවත විමසන්නට මේ තර්ක කරන්නන්ට ද ඒවා නැවත නැවත බෙදා ගන්නන්නට ද ඉස්පාසුවක් නැත. එයින් පෙනී යන්නේ ද ඔවුන් තර්කය ඔස්සේ නිගමනයකට පැමිණියා නොව හැගීම් ඔස්සේ පැමිණි නිගමනයකට පිළිසරණ පතා තර්ක සොයා ගියා පමණක් බව ය.

කෙනෙකුට රැවුලක් වවා තිබීම හෝ නැති වීම, කෙනෙකු උස හෝ මිටි වීම, කෙනෙකු ආගමික හෝ නිරාගමික වීම, ශරීරයේ පච්චයක් කොටා ගෙන සිටීම හෝ නැතිවීම, සතර පෝයට සිල් ගැනීම හෝ නොගැනීම, ශරීරය මුළුමනින් වැසෙන සේ ඇඳීම හෝ විශාල කොටසක් නිරාවරණය වන සේ ඇඳීම, ඔහුගේ හෝ ඇයගේ හැකියාවට හෝ ගුණයහපත් කමට බලපාන්නේ නැත. අපරාධ අඩු සාමකාමී රටවල වැඩි දෙනෙක් නිර්ආගමික ය. ඇතැම් රටවල මිනිසුන් වඩා ප්‍රිය ග්‍රීස්ම කාලයේ රස්නයට ඔරොත්තු දෙන සේ වඩා නිරාවරණය වූ ඇඳුම් ඇඳීමට ය. ගුණ යහපත් කමට මේවා බලපාන්නේ නැත. එහෙත් මේවා අවශ්‍ය වූ විට භාවිතා කළ හැකි අදාළ නොවන කාරණා ය.

අදාළ නොවන සංඛ්‍යාලේඛන

සිව්වෙනි ක්‍රමය ඊටත් වඩා ප්‍රතිඵල ජනක ය. ඒ නොගැලපෙන අදාළ නොවන සංඛ්‍යාලේඛන ඉදිරිපත් කිරීම හරහා ය. සංඛ්‍යාලේඛන කොහොමටත් නිකම් නිකම් කරුණුවලට වඩා ප්‍රබල ය. ඒත්තු ගන්නා සුළු ය.

එල්ලුම් ගස ගෙන ඒමට ඉදිරිපත් කළ හැකි එක් වැදගත් සංඛ්‍යාලේඛනයක් නම් මිනීමැරුම් වැඩිම රටේ එල්ලුම් ගස ක්‍රියාත්මක නොවන බව කීම ය. එය සත්‍යයකි. එහෙත් මිනිමැරුම් වැඩිම රටවල් 10 ගෙන බැලුවොත් පෙනෙන්නේ එයින් 6 කම මරණ දඩුවම ක්‍රියාත්මක වන බව ය. මරණ දඩුවම ක්‍රියාත්මන නොවන රටවල් ඇත්තේ 4 ක් පමණක් බව ය. සංඛ්‍යාලේඛණ වල විශ්වාසනීයත්වය ලැබෙන්නේ නියැදිය විශාල වූ තරමට ය. නියැදිය අපේ මතය සනාථ කරනු පිණිස තැනින් තැනින් අහුලා නොගෙන අහම්බෙන් තෝරාගත් විට බව ය. එහෙත් මෙවැනි විමසුමකට අපේ ජාගර සිතේ ඉඩක් නැත. ඒ සංඛ්‍යාලේඛනය කොතරම් අදාළ නොවූව ද අපේ මතය සනාථ කරන්නේ නම් වැඩිපුර නොවිමසාම එය බදා ගන්නට අප ලෝභය. බෙදා ගන්නට අප නිර්ලෝභී ය.

නොගැලපෙන තර්ක

පස් වෙනි ක්‍රමය ද අපූරු එකකි. ඒ නොගැලපෙන සංඛ්‍යා ලේඛන නොව නොගැලපෙන තර්ක ඉදිරිපත් කිරීම ය. යන්නේ කොහෙද යන්නට මල්ලෙ පොල් උත්තරයක් දීම ය. උදාහරණයක් ලෙස සිල් රෙදි සම්බන්ධ සිද්ධියේ දී බොහෝ දෙනෙකු ඉදිරිපත් කරන තර්කයක් නම් බැඳුම්කර වංචාවට වඩා සිල් රෙදි පලහිලව්ව බරපතල ද යන්න ය. ඒ අවධානය වෙනතක යොමු කිරීම සඳහා ය. තමන්ගේ එකා බේරා අනෙකා පස්සේ දුවන ලෙස ඉගි කර වීමට ය. මෙවැනි උප්පරවැට්ටි මිනිසුන් බොහෝ විට යොදාගන්නේ සතෙකුගේ නැත්නම් කුඩා ළමයෙකුගේ අවධානය වෙනතක යොමු කිරීමට ය. බැඳුම් කර වංචාව ගැන පරීක්ෂණ තවම අවසන් නැත. එහෙත් ඉදිරියට ඇදී යන පරීක්ෂණ වලින් පෙනෙන්නේ බරපතල මගඩියක් එහි දී ද සිදු ව ඇති බව ය. එය වෙනම විභාග කළ යුතු අතිශය වැදගත් සංසිද්ධියකි. ඒ විභාගය අවසානයේ වැරදි කරුවන් අය හඳුනා ගෙන දඩුවම් කළ යුතු කාරණයකි. එහෙත් එය වෙන එකක් වැසීමට භාවිතා කළ හැකි වස්ත්‍රයක් නොවේ. එහෙත් බොහෝ අය එසේ කරති. බැඳුම් කර වංචාව ගැන කතා කරන විට ද ඊට සමාන තර්කයන් ඉදිරිපත් වේ. ඒ පසු ගිය ආණ්ඩුව විසින් කරන ලද දැන් පෝලිම් ගසා ඇති වංචා සහ මගඩි ය. ඒවා නව ආණ්ඩුවට දූෂණයේ යෙදීමට ලයිසන් ලබා දෙන්නේ නැත.

අනාගතය ගැන කරන මවා පෑම්

හයවෙනි ක්‍රමය මේ විදිහට ගියොත් අනාගතය මෙසේ වෙතැයි කියන අපූරු මවාපෑම් හරහා ය. ඒ මවාපෑම් වල වැඩිපුර ඉන්නේ බිල්ලන් ය. මුණ හෝදන බේසමේ ද කිඹුලන් ඇතැයි බිය පත් වෙන මිනිස්සුන්ට පෙන්වා බය කළ හැකි බිල්ලන් ය. එයින් එක කතාවකට අනුව මේ රට අල්ලා ගන්නේ මුස්ලිම් මිනිසුන් ය. තව කතාවකට අනුව දෙමළ මිනිසුන් ය. ඉතින් එය වැළැක්වීම සඳහා කළ යුත්තේ ඒ ජාතීන් දෙක පාගා යටත් කර ගෙන සිටීම ය. ඒ කරන වැඩ නිසා ඇත්තටම සිදු වන්නේ ඒ ජන කොට්ඨාෂ වලට සිය ආරක්ෂාව පතා සංවිධානය වීමට ය. ඇත්තටම මේ උඩ ගෙඩි දෙන්නේ ඒ සඳහා ය. බෙදීම ශක්තිමත් කරනු සඳහා ය. හොඳින් බැලුවොත් අනාගත ලෝකයේ මේ බෙදීම් අඩු වී යනු ඇත. ඒ සංවර්ධනය හා අධ්‍යාපනයේ පැතිරීම නිසා ය. අප බොහෝ දෙනෙක් ගෝලීය වූ ලෝකයක විශ්ව පුරවැසියන් වනවා ඇත. ඇමරිකා එක්සත් ජනපදය තුළ පසුගිය දශකයේ දී නිරාගාමික මිනිසුන්ගේ සංඛ්‍යාව කතෝලික ජනගහණය අභිබවා වර්ධනය විය. අනාගතයේ බොඳවන මේ සීමා තව තවත් දැඩි කොට අල්ලා ගන්නේ ම අප වැනි දිළිඳු පසුගාමී රටවල් ය. ඒ රටවලත් එසේ වන්නේ ලෝකය දැක නැති ලෝකයේ සිදු වන ප්‍රවණතා ගැන අවබෝධයක් නැති ගමින් එහා ට මනසින් අඩිය තබා නැති මිනිසුන් නිසා ය. එවන් රටවල ද අඩුවැඩි වශයෙන් ඉන්නා අප වැනි මිනිසුන්ගේ මේ අන්ත ආගමික කෝලාම් පිළිබඳ සීමාසහිත වාර්ථා දැක බය වෙන ජනයා නිසා ය.

ඉන්නා තැන අනුව තර්කය තෝරා ගැනීම

හත් වෙනි ක්‍රමය ඉන්නා තැන අනුව තර්කය තෝරා ගැනීම ය. විපක්ෂයේ ඉන්නා විට තෝරාගන්නා තර්ක වලට එහෙම පිටින්ම වෙනස් තර්ක ආණ්ඩුවේ ඉන්නා විට තෝරා ගැනේ. උදාහරණයක් හැටියට අධිකරණයේ ස්වාධීනත්වය විපක්ෂයේ ඉන්නා විට වැදගත් වන අයට ආණ්ඩුවට පැමිණි විට එය වහ කදුරු වේ. අධිකරණය එවිට ප්‍රගතියට අකුල් හෙලන, රාජ්‍ය පාලනයට අනවශ්‍ය ලෙස ඇගිලි ගසන, තැනක් බවට පත් වේ.

මෙසේ සත් වැදෑරුම් සීමාසහිත වූ ද ආන්තික වූ ද දුර්වල තර්ක ක්‍රමය නිසා අප ගන්නා තීරණ වරදින්නේ ය. අප තවදුරටත් පැරණි මඩ ගොහොරුව තුළ ගිල්වන්නේ ය. ඒ නිසා අපි සිහිනයක් දකිමු. නිවැරදි සත්‍ය දැකීමේ සිහිනයක් දකිමු. පාට කණ්ණාඩි නොදා ඇත්ත ඇති සැටියෙන් දැකීමේ සිහිනයක්  දකිමු.

අපේ සිහිනය

ඒ සිහිනය තුළ මතුපිට තර්කයෙන් මිනිසුන් සෑහීමකට පත් නොවෙති. තමන්ගේ හැගීම් වලට වහල් නොවී නිවහල් තර්කයේ නිර්මලත්වයම සොයති.

තර්ක විතර්ක ගොඩ නැගීමේ දී තෝරාගැනීමක් නොකර ම සියලු කරුණු සැළකිල්ලට ගනිති. නිගමනයට එළඹෙන්නේ ඒ සියලු කරුණු පමණක් නොව අදාළ සංඛ්‍යාලේඛන ද විමසා බැලීමෙන් පසු ය. ඒ කරුණු හා සංඛ්‍යාලේඛණ වල විශ්වාසනීයත්වය පිරික්සීමෙන් පසු ය. ඒවායේ මූලාශ්‍ර සොයා බැලීමෙන් පසු ය. ඒවා නිපදවා ඇති බේගල් දැයි විමසීමෙන් පසු ය.

එපමණක් නොවේ. දෙපැත්තම ඉදිරිපත් කරන සියලු තර්ක විතර්ක (ප්‍රතිතර්ක) සළකා බැලීමෙන් පසු ය. නැවත නැවතත් විමසීමෙන් පසු ය. තර්ක අදාළ ද නැද්ද යන්න ගැන කරන නිසි විමසීමකින් පසු ය. තර්ක ප්‍රශ්නයෙන් ඈත් කිරීම සඳහා යොදා ඇති උප්පරවැට්ටි දැයි උරගා බැලීමෙන් පසු ය. තර්කය එන්නේ ඉදිරිපත් කරන තැනැත්තාගේ අවස්ථාවාදී වුවමනාවන් සපුරා ගැනීම සඳහා ද යන්න විමසීමෙන් පසු ය.

මෙසේ සීරුවෙන් තර්ක විතර්ක තෝරා බේරා ගන්නා නිසා ප්‍රතිවාදියාට කුණුහරුපයෙන් සංග්‍රහ කිරීමටවත්, නම් අඩ ගසා අවමාන කිරීමටවත්, කාටවත් සිද්ධ වන්නේ නැත. මිනිසුන් එකිනෙකා පැරදවීමට නොව එකිනෙකාගෙන් ඉගෙනීමට පේවී සිටින නිසා රට අභිවෘද්ධිය කරා ඉක්මණින් ලඟා වෙනු ඇත.

සමස්ත ක්‍රියාවලිය තුළ ම අරමුණ වනු ඇත්තේ සත්‍යය සොයා ගැනීම ය. හරි වැරැද්ද වෙන්කර ගැනීම ය. නිවැරදි වීමට අවශ්‍ය කරුණු තේරුම් බේරුම් කර ගැනීමට ය. අනෙකා අභිබවා තමන්ගේ තර්කය ජයග්‍රහණය කර වීමට නොව රටත් ජනතාවත් ජයග්‍රහණය කර වීමට ය. ජනවර්ග අතර සාමයත් සහජීවනයත් සැනසුමත් ඇති කර ලීමට ය. හොරු වංචාකාරයින් අල්ලා ඒ මගඩි වලට තිතක් තැබීම ය. නිවැරදි තීරණයන් ගෙන රට ඉදිරියට මෙහෙයවීමට ය.