ඡන්ද ප්‍රතිඵල විමසමු

යමක් වූ පසු ඒ දෙස ආපසු හැරී බැලීමෙන් බොහෝ දේ උගත හැකි ය. අප මේ හැරී බලන්නට යන්නේ අවසන් වූ මැතිවරණය දෙස ය. ගැඹුරට විමසන කෙනෙකුට මතුපිට අත ගාන කෙනෙකුට වඩා බොහෝ දේ සොයා ගත හැකි ය.

බොහෝ දෙනෙකුට එහෙම ඉස්පාසුවක් නැත. ප්‍රතිඵල අසා ජය පැන් බොන්නටත් පරාජය හමුවේ පසුබෑමටත් හැර බොහෝ දෙනා ඉගෙනීමට සිත යොමු කරන්නේ නැත. වැඩි දෙනෙක් කරන්නේ කලබල වී ඊළගට කළ යුත්තේ කුමක් දැයි කල්පනා කිරිම ය.

අවසන් වූ ඡන්දයේ ප්‍රතිඵල තුළින් එක් එක් පක්ෂයට උගත හැකි පාඩම් කවරේද? ඒ ඒ පක්ෂයට ඉදිරියට යෑමට කවර වෙනස්කම් කළ යුතු ද?

එක්සත් ජාතික පක්ෂය

අපි මුලින් රජය කරවන එක්සත් ජාතික පක්ෂය දෙස බලමු. වාර්ථාගත ඉතිහාසය තුළ ආණ්ඩු කරන පක්ෂයක් ආණ්ඩු බලයට පත්විමෙන් පසු පවත්වන පළමු ඡන්දයේ දී, පළාත් පාලන ඡන්දයක දී, පරාජය වී නැති බව කියවේ. එහෙම බැලුවහම එක්සත් ජාතික පක්ෂය පැහැදිලි පරාජයක් මේ තුළ ලබා තිබේ.

2015 අගොස්තු මස පැවති මැතිවරණයේ දී ලක්ෂ 51 ට ආසන්න ජනවරමක් ලැබූ එම පක්ෂය මේ මැතිවරණයේ දි ලබා ගෙන ඇත්තේ ලක්ෂ 36 ක් පමණ ය. ප්‍රතිශතයක් ලෙස ගත හොත් 2015 අගොස්තු මාසයේ 45.7% ක් ලබා ගන්නා එම පක්ෂය නියෝජනය කළ එජාපෙ මෙවර මැතිවරණයේ ලබා ගන්නේ ප්‍රතිශතයක් ලෙස 32.6% ක ප්‍රමාණයකි. මුස්ලිම් කොන්ග්‍රසය වෙනම තරග කළ ඡන්ද ද එකතු කළ ද අගයේ විශාල වෙනසක් වන්නේ නැත. එය අතිවිශාල අඩුවීමකි.

ඒ සඳහා බල පෑ හැකි එක් ප්‍රධාන හේතුවක් නම් බැඳුම්කරය සම්බන්ධව ගොඩ නැගුණු ගැටළුකාරි තත්වය ය. එක්සත් ජාතික පක්ෂය යහපාලනය ගෙන එතැයි ද ඒ නිසා ම දූෂණයෙන් තොර රටක් ඇති කරනු ඇතැයි ද තිබූ අපෙක්ෂා සොළවා දැමීමට ඒ සිද්ධීය සමත් විය. දූෂිතයන් සොයා ගැනීම සඳහා කොමිසමක් පත් කළේ වුව ද එහි ලකුණු වැටුනේ ජනපති තුමන්ට ය. ඒ වැටුනු ලකුණු එජාපයට වැටෙන්නට තිබුණු ලකුණු ය. එජාපයෙන් ගිලිහුණු ලකුණු ය. එජාපයෙන් ගිලිහුණු ඡන්ද එක්තරා ප්‍රමාණයක් එජාපයට අභියෝග කරමින් එක්සත් ජනතා සන්ධානය මෙහෙයවූ ජනපති විසින් ලබා ගන්නා විට ඉතිරියට සුළුවෙන් හෝ උරුම කීවේ ජනතා විමුක්ති පෙරමුණ ය.

දෙවැනි කාරණය නම් ආණ්ඩුව කලින් පාලනය විසින් සිදු කළ කිසි දු ප්‍රධාන හොරකමක් දූෂණයක් භීෂණයක් සම්බන්ධයෙන් දඩුවම් දීමට හෝ අඩු වශයෙන් නඩු පැවරීමට අපොහොසත් වූ බව ය. ඒ වෙනුවට කුඩා නොවැදගත් කීපයක් පමණක් උඩට ගත් බව ය. එයින් සිදු වුනේ ප්‍රධාන ඒවා යටපත් කිරිමට ආණ්ඩුව ඇතුළෙන් ම යම් යම් බලවේග ක්‍රියාත්මක වූ බවට ජනතාව අතර සැකයක් හට ගැනීම ය. එය ජනතාව අතර ප්‍රචලිත වූයේ ද ප්‍රචලිත කරනු ලැබුවේ ද ඩීල් දේශපාලනය ලෙස ය. ඒ සම්බන්ධයෙන් පිළිගැනෙන උත්තරයක් දීමට රජය අපොහොසත් විය. එජාපය එවැනි තැනක සිටින්නේ නම් එවැනි කණ්ඩායමකට ඡන්දය දිය යුත්තේ ඇයි ද යන්න ඡන්ද දායකයන් අතර ප්‍රශ්නයක් වන්නට ඇත.

තුන්වෙනි කාරණය නම් රට පුරා ඒකාබද්ධ විපක්ෂය විසින් ඇති කළ ඔවුන් පසු පස සිට මෙහෙය වූ විරෝධතා ව්‍යාපාරයන්ට දෛනිකව පාරවල් වසා තබන්නට ඉඩ දීම හරහා  ආණ්ඩුව ආණ්ඩු කිරීමෙන් ඉවත් වූ බවට ජනතාවගෙන් චෝදනා නැගුණ නමුත් ඒ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් නොගැනිම ය.

සිව්වෙනි කාරණය නම් ආණ්ඩුව විසින් ජනතාවට ලබා දෙන සේවා අඛණ්ඩව ලබා දීමට අපොහොසත් වීම ය. ඛණිජ තෙල් පොහොර මේ සඳහා දිය හැකි උදාහරණ දෙකකි. මීතොටමුල්ල කුණු කන්ද කඩා වැටීමෙන් අනතුරුව ඇති වූ කුණු ප්‍රශ්නය දිගින් දිගට ඇදී යෑම තව උදාහරණයකි.

ඉහත කාරණා තුන ම පසුගිය පාලනය සම්බන්ධයෙන් සාපේක්ෂව වඩා සාධනීය පින්තූරයක් ඇති කිරීමට සමත් වන්නට ඇත. ඒ නිසා ම එජාපයෙන් මේ පදනම මත ගිලිහුණු ඡන්ද ඇතැම් ප්‍රමාණයක් පොදුජන පෙරමුණට ලැබුනා වන්නට පිළිවන.

බලය ලැබීම බොහෝ දෙනෙකු අන්ධ කරන්නේ ය. එසේ අන්ධ වූ විට තමන් කරන දේ නොපෙනෙන්නේ ය. කියන දෙයෙහි හොඳ නරක නොපෙනෙන්නේ ය. නැති බලයක් තමන් භාවිතා කරන බව තේරුම් නොගන්නේ ය. තමන්ට නොපෙනෙන දේ ඡන්ද දායකයාට පෙනෙන බව ඔවුන්ට නොදැනෙන්නේ ය. ඒ කියන්නේ සමහර පුද්ගලයන්ගේ විශේෂයෙන් මැති ඇමතිවරුන්ගේ මේ වර්ගයේ හැසිරීම් ඔවුන්ගේ කියුම් කෙරුම් ද වහසි බස් ද මිනිසුන් එජාපයෙන් ඈත් කරන්නට හේතූ වන්නට ඇති බව ය.

එජාපය මේ නිසා ඉගෙන ගත යුතු පාඩම නම් මේ රටේ ජනතාව දූෂණය හා භීෂණය නොඉවසන බව ය. සේවා බිඳ වැටීම් හා කඩාකප්පල් කාරී ක්‍රියා පාලනය කිරීමට නොහැකියාව නොඉවසන බව ය. ආණ්ඩුව තිබුනු පලියට තවදුරටත් පළාත් පාලන ආයතන ආණ්ඩුවට දීමට, පොරොන්දු ඉටු නොකරන ආණ්ඩුවකට දීමට ජනතාව සූදානම් නැති බව ය. ජන ප්‍රසාදය ඉතා ටික කලෙකින් දිය වී යා හැකි බව ය. වරම මේ යුගයේ හිමිවන්නේ ටික කලකට බව ය.

මෙසේ සිදු වූයේ ආණ්ඩුව රැගෙන තිබුණු සාධනීය පියවර රාශියක් තිබිය දී බව ද එජාපය විසින් තේරුම් ගත යුතු ය. ඒවා අතර 19 ව්‍යවස්ථාව, ස්වාධීන කොමිසම් සභා, තොරතුරු දැන ගැනීමේ පනත, ජී ඇස් පී ප්ලස් සහනය, ධීවර කර්මාන්තයට පනවා තිබූ යුරෝපා සංගමයේ තහනම ඉවත් කරලීම, මාධය නිදහස තහවුරු කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය ස්ථාපිත කිරීම පමණක් නොව රජයේ සේවක වැටුප් වැඩි කිරීම විශ්‍රාමික දීමනා වැඩි කිරීම තෙල් මිල ගෑස් මිල අඩු කිරීම යන කටයුතු ද තිබුණි.

එහෙත් පොදුවේ ආණ්ඩු කරන ඕනෑම පක්ෂයක් තේරුම් ගත යුත්තේ කරන හොඳ෦ වැඩ අභිබවා කරන නරක වැඩ ආණ්ඩුව කල් යන විට ජනතා සිත්සතන් තුළ මතු වි හොඳ වැඩ පසු පසට තල්ලු කර දමන බව ය. අතීතයේ තරම් කාලයක් ඒ සඳහා ගත නොවන බව ය.

එක්සත් ජනතා නිදහස් සන්ධානය

එජාපයෙන් ගිලිහුණු ඡන්ද වලින් වැඩි කොටසක් වැටුනේ එක්සත් ජනතා නිදහස් සන්ධානයට හා ශ්‍රීලනිපයට ය. ඒ දෙක එකතු වී ලබා ගත් ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 14.8 කි. මේ ඡන්ද පැහැදිලිව පොදු ජන පෙරමුණට හා මහින්ද රාජපක්ෂට විරුද්ධ ඡන්ද ලෙස සැළකිය හැකි ය.

එජනිස / ශ්‍රීලනිප යහපාලන ආණ්ඩුවේ අනෙක් පාර්ශවය ය. එසේ ගත් විට යහපාලන ආණ්ඩුවට 47.4% ක ප්‍රතිශතයක් ඇතැයි ගත හැකි ය. එය පොදු ජන පෙරමුණ ලබා ගත් ප්‍රතිශතයට වඩා 2.7% ක් වැඩි ය.

යහපාලන ආණ්ඩුවේ විරසකය නිසා ද ඡන්ද අඩු වූ බව නොසැළකුව ද තවමත් මහජන මතය ඇත්තේ යහපාලන ආණ්ඩුවේ සීමාව තුළ බව මෙහි දී සැළකිය හැකි ය. මෙයින් අප තේරුම් ගත යුතු ප්‍රධානම කාරණය නම් තවමත් බහුතර ජනතාවක් යහපාලන ආණ්ඩුව අනුමත කරන බව ය. බේද දුරලා වැරදි හදා ගෙන ශක්තිමත් ව ඉදිරියට එන්නේ නම් එයට තවදුරටත් පැවැත්මක් ඇති බව ය.

ඒ නිසා ආණ්ඩුව විසිරුවා හරින ලෙස පොදුජන පෙරමුණ ඉදිරිපත් කරන ඝෝසාව අඩු වශයෙන් දැනට පදනම් විරහිත ය. එසේ වුව ද යහපාලන ආණ්ඩුවේ පාර්ශව ඉදිරියේ දී හැසිරෙන විදිහ අනුව එවැනි පදනමක් නිර්මාණය වීමට බැරි නැත.

යහපාලන ආණ්ඩුවට පාර්ශව දෙකේ ම වැරදි ගැන විග්‍රහයක යෙදෙමින් නැවතත් ප්‍රතිසංවිධානය වීමට ඉඩකඩ තිබේ. නව සම්මුතියකට පැමිණිමේ ඉඩකඩ තිබේ.

ජනතා විමුක්ති පෙරමුණට ගිය ඇතැම් ඡන්ද ද නැවත අද්දා ගැනීමට මෙවැනි වැඩ පිළිවෙලක් තුළ හැකි වනවාට අමතරව ජනතා විමුක්ති පෙරමුණ ද මේ ධජය ඇතුළට ගැනීමට එවැනි ප්‍රතිසංස්කරණයක් තුළ තැත් කළ යුතු ය.

මෛත්‍රීපාල සිරිසේන ජනපති තුමා ද එජනිස ය ද තේරුම් ගත යුත්තේ එජාපය හා පොදුජන පෙරමුණ දෙකම ඉවත දා තනි ගමනක් යෑමට එක්සත් ජනතා නිදහස් සන්ධානයට ජන වරමක් ලැබි නැති බව ය.

එජනිසයට හා ශ්‍රීලනිපය ඇතුළු  මෛත්‍රී පිලට ලැබී ඇති ඡන්ද වලින් කියවෙන්නේ යහපාලන ආණ්ඩුවේ එජාප පාර්ශවයට අනතුරු ඇගවීමක ලකුණු ය. ඒ ඡන්ද ඉදිරි මැතිවරණයක දී පොදු ජන පෙරමුණට යෑමට තිබෙන ඉඩ අඩු ය. එය නැවතත් යහපාලන පාර්ශවයට හෝ එජාපයට දිනා ගැනීමට නම් වල් වැදුණු තැනින් නැවත හරි පාරට පැමිණිය යුතු බව ඔවුන් තේරුම් ගත යුතු ය. නැතිනම් ඒ ඡන්ද වැටිමට නියමිත ජනතා විමුක්ති පෙරමුණට ය. නැතිනම් කුණු ගොඩට ය.

අපි දැන් ජයග්‍රාහකයාගේ පැත්තට හැරෙමු.

පොදු ජන පෙරමුණ

ජයග්‍රාහී පොදු ජන පෙරමුණ ලබා ගත් මුළු ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 49.4 කි. එය ප්‍රතිශතයක් ලෙස 44.7% කි. 2015 ජනවාරි 8 දා පැවතුනු ජනපති වරණයේ දී ඔවුන් ලබා ගත් ඡන්ද සංඛ්‍යාව සමග සසඳන කල එය ලක්ෂ 8 ක පමණ අඩුවීමකි. ඔවුන් ජයග්‍රහණය ලැබුව ද එදා ඡන්දය දුන් ලක්ෂ 8 ක් ඔවුන්ගෙන් මේ වන විට බැහැරව ගොස් තිබේ. එයට දිය හැකි එක් පැහැදිලි කිරිමක් නම් ඡන්දය දුන් මුළු ගණනේ අඩුවක් තිබිය හැකි බව ය. ඒ නිසා අප ඒ සංඛ්‍යාවන් අමතක කර ප්‍රතිශත දෙසට හැරෙමු. එදා ජනපතිවරණයේ ඔවුන් ලබා ගත් ඡන්ද ප්‍රතිශතය 47.6 කි. එයින් අදහස් කරන්නේ ප්‍රතිශතයක් ලෙස ගත්තත් 3.1% පසු බෑමක් ඔවුන් ද වාර්ථා කර ඇති බව ය.

ඒ නිසා ඔවුන් තේරුම් ගත යුත්තේ තමන් ලද ජයග්‍රහණය ඊට පසුපසින් සිටින පක්ෂයට සාපේක්ෂව මිස ගත වූ කාලයට සාපේක්ෂව නොවන බව ය. ඒ කියන්නේ පැහැදිලි ජයක් වාර්ථා කර ගෙන තිබුන ද ජනතාව අතර පසුබෑමක් ද සිදු ව ඇති බව ය. තමන් කළ වැරදි පිළිබඳ පාපෝච්ඡාරණයක් නොකර නැවත ජනතාව දිනා ගැනීම තමන්ට පහසු නොවන බව ය.

ඔවුන් තේරුම් ගත යුතු අනෙත් වැදගත් ම කාරණය නම් සැළකිය යුතු සුළු ජාතික ඡන්ද පදනමක් ඇති හැම තැනකම එක්කෝ ඔවුන් පරාජය වී ඇති බව ය. නැතිනම් දිනා ඇත්තේ යහපාලනයේ විරසකයට පින් සිදු වෙන්නට බව ය. විශේෂයෙන් ප්‍රධාන නගර ගණනාවක ද මායිම් ගම්මාන ලෙස නම් දරණ ප්‍රදේශ වල ද මේ තත්වය පැහැදිලිව පෙනෙන්නට තිබිණි.

තමන්ගේ ජයග්‍රහණය සඳහා පමණක් නොව රටේ ඉදිරිය සඳහා ද දැන්වත් පොදු ජන පෙරමුණු දේශපාලනයේ තනි “සිංහල බෞද්ධ“ ලකුණ වෙනස් විය යුතු බව ඔවුන් තේරුම් ගත ය. එසේ නැතිව ඇති වන පාලනයක දී නැවත වතාවක් සුළු ජාතිකයන් රට තුළ දී ම රටේ ප්‍රධාන ධාරාවෙන් පිටට තල්ලු වනු ඇත. එය සාමය හා සහජීවනය සඳහා අවහිරයක් වනු ඇති අතර පොදුවේ රටට ද අහිතකර වනු ඇත.

ජනතා විමුක්ති පෙරමුණ

ජනතා විමුක්ති පෙරමුණ මේ මැතිවරණයේ දී 6.3% ක් ලබා ගෙන ඉදිරි පිම්මක් තබා තිබේ. එය ඔවුන් 2015 පාර්ලිමේන්තු මැතිවරණයේ දී ලබා ගත් 4.8% ක ඡන්ද ප්‍රමාණය සමග සසඳන විට 1.5% ක වැඩි වීම කි. මේ ඡන්ද ද එජාපයෙන් ගිලිහුණු ඡන්ද වීමට බොහෝ දුරට ඉඩ තිබේ. එජාපය තමන්ගේ කඳවුර තුළ ම දූෂණ වලට වැට බැඳීමට අපොහොසත් වීම නිසා එජාපයට 2015 අගෝස්තු මාසයේ ඡන්දය දුන් පිරිසක් මේ වාරයේ ඒ ඡන්ද ජවිපෙට දෙන්නට ඇත. එහෙත් ඒ වැඩිවීම 2020 බලය ඉල්ලූ, මේ වතාවේ ගමේ බලය ඉල්ලූ, පක්ෂයකට තරම් නොවන අඩු මට්ටමේ වැඩි වීමකි. එයින් කියවෙන්නේ ජවිපෙ හොරකම් හා දූෂණය නොකරන බවට කිසියම් විශ්වාසයක් ඇතත් ඉතිරි ප්‍රශ්න ගැන ජවිපෙ ස්ථාවරය තවමත් පසුගාමී ලෙස පෙනී යෑම විය හැකි ය.

පොදු ජන පෙරමුණේ සිංහල බෞද්ධ ඡන්ද කඩා ගැනීමට එක්සත් ජනතා නිදහස් සන්ධානයත් ජවිපෙයත් වැඩ කළේ වී නමුදු එය කෙසේවත් සිදු කළ හැකි දෙයක් නොවන බව මේ ප්‍රතිඵල වලින් පෙනි යා යුතු ය. ඒ ධජය මහින්ද රාජපක්ෂට තරම් හොඳින් එසවීමට එතුමා සිටින තුරු කිසිවෙකුට නොහැකි වනු ඇත යනු මගේ හැගීම ය. ඒ නිසා ඒ පසු පස යෑමෙන් ජවිපෙට පලක් වන්නේ නැත.

කළ යුතුව තිබෙන්නේ එ් “සිංහල බෞද්ධ“ ලකුණේ තිබෙන සීමිත කම පෙන්වා දීම ය. ඒ සඳහා තවමත් ජනතා විමුක්ති පෙරමුණට කොන්දක් ඇතැයි පේන්නේ නැත. කාන්තාවට මත් පැන් මිලදී ගැනීම අකැප කරමින් පැනවූ නීති සම්බන්ධයෙන් එම පක්ෂයේ ස්ථාවරයෙන් එය මනාව පැහැදිලි විය (ඒ ගැන කාන්තාව හා මත්පැන් යනුවෙන් ලිපියක් මේ කොළමටම ලේඛකයා විසින් ලියා ඇත).

එපමණක් නොවේ. ජනතා විමුක්ති පෙරමුණේ ඉතිහාසය තුළ කරන ලද බරපතල වැරදි තිබේ. විශේෂයෙන් 88-89 භීෂණ සමයේ කරන ලද වැරදි ඒ අතර ප්‍රමුඛ ය. ඒවා ගැන නිසි පාපෝච්චාරණයක් ඔවුන් විසින් සිදු කර නැත. ඒවා මිනිසුන් තුළින් ඉවත් කරලීමට එවැනි පාපෝච්චාරණයක් අවශ්‍ය ය.

ඊට අමතරව තුන්වෙනි කාරණයක් ද තිබේ. ඒකාබද්ධ විපක්ෂයේ කඩාකප්පල් කාරී විරෝධතා වලට හරි හරියට ඔවුන් සම්බන්ධ වීම ද ඔවුන් පිළිබඳ විශ්වාසය පලුදු වීමට හේතුවක් ව තිබේ. ආණ්ඩු බලය ඉල්ලන පක්ෂයක් ඊට වඩා වගකීමෙන් හැසිරිය යුතු ය.

අවසාන වශයෙන් කිව යුත්තේ හොරකම් මැරකම් නැති වූ පලියට රටක් ඉදිරියට ගෙන යෑ නොහැකි බව ය. ඒ සඳහා වැඩ පිළිවෙලක් අවශ්‍ය ය. තමන් බලයට පත් වූ පසු අනුගමනය කරන ප්‍රතිපත්ති පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක්, විශේෂයෙන් මෙතෙක් බලයට පත් නොවූ පාර්ශවයක් ලෙස, ඔවුන් විසින් කළ යුතු ය.

එසේ නොකොට අනුන්ගේ වැරදි පෙන්නීමෙන් පමණක් බලය ලබා ගැනීමට යෑම නුවණට හුරු නැත.

උතුරු නැගෙනහිර ප්‍රතිඵල

උතුර නැගෙනහිර පළාත් දෙකේම ජාතික පක්ෂවලට කළ හැකි බල පෑම තවදුරටත් සිමා සහිත බව මේ මැතිවරණය ද නැවත වතාවක් ඔප්පු කර සිටියේ ය. එයින් කියන්නේ ඔවුන් ප්‍රධාන ධාරාවෙන් තවදුරටත් වෙන්ව ජිවත්වන බව ය. හිතන පතන බව ය. ඒ පිළිබඳ අවිශ්වාසයෙන් පෙළෙන බව ය. එය නොකියා කියන්නේ ඒ පළාත් දෙක වෙනම රටක් බව ය.

තමන්ගේ ජය ගැන කරන කිසිදු විශ්ලේෂණයක ජාතික පක්ෂ ඒ පළාත්වල තමන්ගේ ප්‍රතිඵල ගැන සඳහන් කරන්නේ නැත. එය වෙනම රටක පවතින බව ඔවුන් පිළිගත්තා සේ ය.

උතුරු නැගෙනහිර ජනතාවට සමස්ත ඡන්ද ප්‍රතිඵලය ගෙන එන්නේ අසුභ පණිවුඩයකි. ඒ පණිවුඩයෙන් කියවෙන්නේ ඔවුන් අපේක්ෂා කළ ව්‍යාවස්ථා සංශෝධනයන් මේ කපේ දී සිදු නොවන බව ය. ඒ, එසේ කරන බවට පොරොන්දු දුන් සම්මුති ආණ්ඩුව තවදුරටත් සම්මුති ආණ්ඩුවක් නොවන නිසා ය. ඒ විසම්මුතිය තුළ ව්‍යවස්ථා සංශෝධනයට විරුද්ධ පොදු ජන පෙරමුණ ලද ජය නිසා ය.

දකුණෙන් ලබා ගැනිමට බැරි යැයි පැහැදිලි වන දේ ලබා ගැනිමට ඔවුන් කුමක් කරනු ඇද් ද? රටේ අනාගතය ඒ මත ද තීන්දු වනු ඇත.

අවසාන වශයෙන් කීමට ඇත්තේ රට නිවැරදි මාවතට ගැනීමට පක්ෂ නිවැරදි වීමටත් වඩා ජනතාව නිවැරදි වීම අවශ්‍ය බව ය. ඔවුන් වෙනස් කිරීමට ඉදිරිගාමී පක්ෂ විසින් අමතර උත්සහයක් දැරිය යුතු බව ය.

පීචං මිනිසුන්

සමහර දෙනෙකු සෙසු අයට ගෞරව කිරීමට දන්නේ නැත. වෙන කෙනෙකු වෙනුවෙන් ඉඩ සළසන්නට නැමෙන්නට ඔවුන්ට බැරි ය. පාරක යතොත් ඒ යන්නේ පාරේ අයිතිකාරයා තමන් බව අඟවමින් ය. රථයක යන්නේ නම් නලාව හඩවමින් සියල්ලන්ට අයින් වන ලෙස සන් කරමින් ය. අනෙකාගේ මං තීරුවට දැනුම් දීමක් පවා නොකර බලාහාත්කාරයෙන් ඇතුළු වෙමින් ය. බස් රථයක වාඩි වුනොත් පුළුවන් තරම් ආසනයේ වපසරියක් පැතිරීමට වග බලා ගනිමින් ය. ඒ තුළ ඉදිරියට යන්නේ සෙසු උන් තල්ලු කර දමමින් ය. පෝලිම් කඩන්නේ තොපි කවුද යැයි අගවමින් ය.

පාසලක පස් පාගලා නැතැයි සිතුවත් මේ බොහෝ අය විභාග පාස් කර ඇති අය ය. පන්සලකට පල්ලියකට කෝවිලකට අඩිය තබා නැතැයි සිතෙතත් මේ සැවොම හොඳම බැතිමතුන් ය. අඩුවශයෙන් පිරිත් නූල් දුසිමක් වත් අත් වල බැඳ ඇති, නළලේ නිතර අලු ගා ගන්නා, කුරුස එල්ලා ගෙන සැම විටම ඒවා සිප ගනිමින් තමන්ට ආශිර්වාද ඉල්ලා සිටින බැතිමතුන් ය.

මේ හැසිරීම දෙස බලන විට කොහේදෝ වැරැද්දක් වී ඇතැයි සිතෙන්නේ ය. අතිමහත් බහුතරය මෙසේ නොවෙතැයි හිත හදා ගන්නවා විනා වැරැද්ද නිවැරදි කරගන්නා ක්‍රමයක් සිතට නොනැගෙන්නේ ය.

ඔහොම කොට කොට පලයන්. කෙහෙල් ගහක් අහුවෙනකම්. එසේ කියමින් හිත හදා ගන්නට බොහෝ දෙනෙකු පෙළඹී සිටින්නේ පැටලිලා අර්බුද ඇති කරගෙන ජීවිතය කොට කරගන්නට අකමැති නිසා ය.

එසේ වුව ද තත්වය ඊටත් වඩා බරපතල බව බොහෝ දෙනෙකුට පෙනෙන්නේ නැත.

මිටි තැන් දැක පුප්පන්නෝ

විශේෂයෙන් තමන්ට වඩා දුර්වල මිනිසුන්ට ගෞරව කිරීමට නම් අති මහත් බහුතරයක් ම කොහොමටත් දන්නේ නැත. ඒ කියන්නේ සාමාන්‍යයෙන් සෙසු මිනිසුන්ට ඉඩ දෙන අය පවා මිටි තැන් දැක පුප්පන බව ය. ඒ උස් තැන් දැක හැකිලෙන ගමන් ය.

මේවා ඇතැම් විට ඉතා සියුම්ව සැගවී ගෙන ද ඇතැම් විට එලිපිට සිය නිරුවත සැමට ප්‍රදර්ශනය කරමින් ද කෙරෙන්නේ ය. වෙන විදියකින් ඔවුන් කියන්නේ පුංචි එකා පුංචි එකා විදිහට සිටිය යුතු බව ය. හැකිලී සිටිය යුතු බව ය. උන් හකුළුවනු පිණිස ලොකු එකා කරන්නේ තමන් පිප්පීම ය. ඝෝර නාඩු කිරීම ය. නැති පොරත්වයක් ආරූඪ කර ගැනීම ය.

පොඩි දරුවන්ට ගරු සරුවක් මේ උදවියගේ නැත. උන්ට ඔලොක්කු කර ඔච්චම් කර මේ ලොකු මිනිසුන් විනෝදය ලබන්නෝ ය.

මේ ඔලොක්කුවට ඔච්චමට අසුවන්නේ පොඩි දරුවන් පමණක් නොවේ. ඇතැම් විට එහි ගොදුර වනු ඇත්තේ ගැහැණිය ය. එසේ සිදුවන්නේ තමන් ගැහැණියකගේ බඩෙන් නොව වෙනත් තැනකින් පහළ වුනා යයි සිතන පිරිමින් අතිනි.

සමහර විට ගොදුරට හසු වන්නේ අබාධිතයන් ය. ශාරීරිකව හෝ මානසිකව යම් ආබාධයක් ඇති තැනත්තන් ය. නැතිනම් මහළු මිනිසුන් සහ ගැහැණුන් ය. ඒ තමන්ට කවදාවත් එවැනි ඇබැද්දියක් වෙන්නේ නැතැයි සිතන නැඩ පුරුෂයන් අතින් ය. නැතිනම් යකඩ ගැහැණුන් අතින් ය. සදාකාලිකව තිරිහන් වී ඉඳීමට නියමිත පරම්පරාවක් අතින් ය.

තවත් අවස්ථාවල ඉලක්කය සමලිංගික නැඹුරුතාවයක් ඇති මිනිසුන් හා ගැහැණුන් ය. ඒ විෂම ලිංගික බව ශ්‍රේෂ්ඨ යැයි සළකන විෂම ලිංගික මිනිසුන් හා ගැහැණුන් අතින් ය. ඇතැම් අවස්ථාවල ඒ පීඩනය එල්ල වනුයේ සංක්‍රාන්තික ලිංගික අනන්‍යතාවයක් ඇති මිනිසුන්ට ය. ගැහැණුන්ට ය. ඒ මේ ලෝකයේ සිටිය යුත්තේ තමන් පමණක් යැයි සිතන නොවෙනස් ලිංගික අනන්‍යතාවයකට උරුම කියන අය අතින් ය.

ඇතැම් විට ගොදුර වන්නේ අන්‍ය ආගමිකයින් ය. ඒ තමන්ගේ ආගම තරම් ලොකු අටමගලයක් ලෝකේම නැතැයි හිතා ඉන්නා ආගමිකයන් අතින් ය. මෙයිනුත් වැඩිම හිංසනයට ලක් වන්නේ සුළුතරයක් මිනිසුන් ඉන්නා ආගම් අදහන්නන්ට ය. ඒ මේ බුදුන්ගේ දේශය යයි කියමින් නැති අයිතිවාසිකමක් කියන බෞද්ධයන් අතින් ය.

ඊළග ගොදුර නිරාගමිකයන් ය. ඒ උන් නම් අන් ආගම් අදහන හැම කෙනෙකුටමත් වඩා නරුමයන් යැයි කියන ආගමිකයන් අතින් ය.

තව වතාවක දී අසුවන්නේ “සුළු“ ජාතිකයන් ය. ඒ නාමකරණය තුළ ම ඔවුන්ගේ තැන සළකුණු කර තිබීමම අමතර හේතුවක් හැටියට ගෙන ය. එයින් අදහස් වන්නේ බහුතර ජාතියට අයත් නොවන්නා වූ අන් ජාතිකයන් ය. ඔවුන් පරයින් ලෙස සැළකෙන්නේ තමන් භූමිපුත්‍රයන් යැයි සිතන බහුතර සිංහල ජාතියට අයත් මිනිසුන් අතින් ය.

තවත් විටෙක මේ තරවටුව පීඩනයට අසුවන්නේ කුල හීන යැයි සම්මත කර ගෙන ඇති මිනිසුන්ට ය. ඒ තමන්ගේ කුලය මහා ඉහළ යැයි පාරම්බාන කුලීනයන් අතින් ය.

හැම වැඩිහියෙක්ම දරුවන්ට ඔලොක්කු කරන්නේ නැත. හැම පිරිමියෙක්ම ගැහැණියෙක් තමන්ට වඩා අඩු යැයි සිතන්නේ නැත. අනිත් කාරණා ගත්තත් තත්වය එසේ ම ය. එහෙත් බොහෝ දෙනෙකු මේ සියල්ල ඉවසා දරා ගෙන මුණිවත රැකීම නිසා ම මේ අගතිගාමී කොටස්වල සහායකයන් බවට අනියමින් පත් ව සිටිති.

ආයතනය තුළ උස් මිටි තැන්

සමාජය තුළ මේ  සිදු වන හිංසනය ආයතනය තුළ මේ අන්දමට ම සිදු වෙනු දකින්නට පුළුවන. ඒ ආයතනය තුළ මීට අමතරව තවත් හිංසනයන් ගණනක් ද ක්‍රියාත්මක වෙද්දී ය.

එයින් එක් අරියාදුවක් සිදු වන්නේ ආයතනය තුළ බලය නැති අයට ය. බලය අඩු අයට ය. ඒ බලය නිසා තමන්ට කැමති දෙයක් කළ හැකි යයි විශ්වාස කරන බලපුළුවන්කාර නායකයන් අතින් ය.

අනෙත් අරියාදුව ආයතනයෙන් සේවය ලබා ගන්නට පැමිණෙන ගනුදෙනුකාර භවතුන්ට ය. ඒ එහි සේවය කරන කප්පරක් මිනිසුන් අතිනි. මුර කපොල්ලේ සිටින මුරකරුවාගේ සිට කාර්යාල කාර්ය සහායක හරහා ඉහළම ලොක්කා දක්වා ම ඉන්නා මිනිසුන් අතිනි. ලාභය පදනම්ව කර ගෙන ව්‍යාපාරික ආයතන තුළ මේ තත්වය එතරම් නරක නැතත් මුළුමණින්ම පහවී ඇතැයි අපේක්ෂා නොකළ යුතු ය. මේවා වඩාත් ප්‍රචලිතව දැක ගත හැක්කේ බලය හොබවන පොලීසිය, උසාවිය, ග්‍රාමසේවා කාර්යාලය වැනි ආයතන වල ය. විශේෂයෙන් ම මේවා සිදු වන්නේ අහිංසක මිනිසුන්ට හා ගැහැණුන්ට එරෙහිව ය.

ඒ ගණනට නැතත් පාසල තුළ ද ඊට තරමක් අඩුවෙන් විශ්වවිද්‍යාල තුළ ද මේ දේ ම සිදු වේ. පාසලේ ගුරුවරුන්ගේ විදුහල්පතිගේ පීඩනයට අමතරව ශිෂ්‍ය නායකයන්ගේ ගෑස් බැලීමට ද ඔවුන්ගේ ඔලොක්කු විඳීමට ද සෙසු දරුවන්ට සිදු වන අතර සරසවියේ ද ආචාර්ය මණ්ඩලයට අමතරව වඩා ජේෂ්ඨ ශිෂ්‍යයින්ගේ හා සරසවියේ දේශපාලන කරන ව්‍යාපාරයන්හි ශිෂ්‍ය නායකකාරකාදීන්ගේ ආඥාවන්ට යටත් වීමට ද සෙසු ශිෂ්‍යයින්ට සිදු වේ.

අපේ නිවෙස් පවා මේවායින් නිදහස් නැත. අයියලා විසින් මල්ලිලා නංගිලා ද තාත්තලා විසින් දරුවන් ද ස්වාමිපුරුෂයා විසින් බිරිඳ ද (කලාතුරකින් තැනක ගැහැණිය බලවන්ත නම් එහි ප්‍රතිපක්ෂය ද) මේ හිංසනයට ඔලොක්කුවට ලක් කෙරේ.

එහෙම බැලුවහම පෙනෙන්නේ බලය තියෙන්නේ කොහෙද ඒ ඕනෑම තැනකින් මේ පිප්පීම බලාපොරොත්තු විය යුතු බව ය.

බලයේ සොබාව

බලයේ ප්‍රභවයන් වෙනස් ය. ඇතැම් තැනක එය බහුතරය නිසා ය. තවත් තැනක එය පාරම්පරික උරුමයක් ලෙස සළකාගෙන ය. තවත් තැනක එය දරණ තානාන්තරයක් නිසා ය. පළඳින ඇඳුමක්, තරුවක් හෝ ඔටුන්නක් නිසා ය. ප්‍රභවය කුමක් වුව ද සැවොම කරන්නේ එක ම දෙයකි. ලැබුණු හා ලබා ගත් බලය අමු අමුවේ භාවිතා කර තවකෙකු හෙලීම ය. පෙලීම ය.

ඇතැම්හු මේවා කරන්නේ තමන්ට නැති පොරත්වයක් ලබා ගැනීමට ය. වීරයෙකු වීමට ය. තවත් සමහරු මෙසේ හැසිරෙන්නේ තමන්ගේ තේජස සෙසු අයට පෙන්වන්නට ය. බොරු ෂෝ එකට ය. තවත් අය තමන්ගේ හොරකමක් වසා ගැනීමට ය. අවධානය වෙන පැත්තකට යොමු කිරීමට ය. ගැලවිමේ මගක් හැටියට ය. තවත් සමහරු මතු ආරක්ෂාවට ය.

ඒ කුමන හේතුවක් නිසා කළ ද මේ එකක් වත් අහිංසක නැත.

බලය ඇති මුත් එසේ නොකරන මහත්මා ගති ඇති මිනිසුන්ට ද ඒ පිප්පීම් වලට එරෙහිව කතා කරන සෙසු මිනිසුන්ට ද සිදු වන්නේ අවමානයට ලක් වන්නට ය. ඔවුන්ව හැඳින්වෙන්නේ නිවටයන් හැටියට ය. පොන්නයන් හැටියට ය. ඒ අප කී පරිදි බලය අතට ගෙන ජවුසං නටන අර කී කිසියම් ආකාරයකට බලවත් වූ මිනිසුන්ගේ මුවෙන් ය.

මැර චීවරධාරීන් විසින් අන්‍යාගමිකයන්ට එරෙහිව කරනු ලබන මෙවැනි අපකීර්තිමත් රංගනයක් පිළිබඳව කිසිවෙක් විවේචනය කරතොත් අපේක්ෂා කළ යුත්තේ ගල් මුගුරු ය. කුණු බිත්තර ය. මුව නොසෑහෙන සේ වෑහෙන කුණුහරුප ය. ජාතකය පවා ප්‍රශ්න කෙරෙන කතා ය.

අන් ජාතිකයන්ගේ අයිතිවාසිකම් රැකිය යුතු යැයි කියන විට ඇසෙන්නේ දේශද්‍රෝහියෙකු බවට ජාති ද්‍රෝහියෙකු බවට කරන චෝදනා ය. එන්ජීඕ කාරයෙකු ඩොලර් කාක්කෙකු බවට කරන චෝදනා ය. ඇතැම් විට වෙඩි තබා මරණ බවට කරන තර්ජනයන් ය. මළ මිනියවත් දණ හිසෙන් ඉහළට ඔසවා ගෙන යෑමට ඉඩ නොදෙන බවට කරන බිය වැද්දීම් ය. ඒවා කතා කරන අජීවී ආයතන පවා බෝම්බ ගසා විනාශ කරන බවට කරන ඝෝරනාඩු ය.

හෙලීම හා පෙලීම සමාජගත කිරීම

එයින් කියන්නේ මේ තත්වය ඉවසා දරා ගෙන සෙසු මිනිසුන් සිටිය යුතු බව ය. ඒ තත්වයේ වෙනසක් වෙනුවෙන් කතා කිරීම ද ඒ තත්වයේ වෙනසක් කිරිම සඳහා ඉදිරිපත් වීම ද අතිශය අවදානම් සහිත ක්‍රියාවක් විය හැකි බවට මතයක් සමාජගත කිරීමට මේ බලය තිබෙන මිනිසුන් විසින් වුවමනාවෙන් කටයුතු කරමින් සිටින බව ය. මේ නිසා ම මෙම ක්‍රියාමාර්ග ඉදිරියේ මුණිවත රකින්නට මනිසුන් හිත හදාගෙන සිටින බව ය.

එසේ වුව ද අප තේරුම් ගත යුත්තේ එසේ මුණිවත රකින හැම ම, එය කරන්නේ සාධාරණ බිය නිසා වුව ද, මේ කටයුත්තට අනියමින් දායක වෙමින් සිටින බව ය.

වෙනස හා හිංසනය සාධාරණීකරණය කරමින් සමාජ ගත කිරීමට වුවමනා නිසා ම මේ වැඩි දෙනෙකු තමන් කරන වෙනස්කම් හා ඇති කරන පීඩනයන් හොර රහසේ කිරීමට පවා පරිස්සම් වන්නේ නැත. ඒ තර්ජනයන් ලස්සණ වචන තුළ සගවන්නට වත් ඔවුන්ට වුවමනා නැත. ඉතාම අමු අමුවේ ඇතැම් විට පරුෂ වචන ද යොදා ගනිමින් ඔවුහු ඒ තර්ජනයන්හි නිරත වෙති. ඇත්තටම කියතොත් ඔවුන් වඩාත් කැමති ඒ දේ ප්‍රසිද්ධියේ දෙනෝ දාහක් ඉදිරියේ කිරීමට ය. හැකි ඉහළම විදිහට පීඩනය එල්ල කරමින් කිරීමට ය. ගලගොඩ අත්තේ ඥානසාරගේ සිට කමල් ගුණරත්න දක්වා අයගේ හැසිරීමෙන් පෙන්වන්නේ මේ වුවමනාව ය. චන්දය නැතිවේය යන බියෙන් මේවා වෙනුවෙන් එලිපිට පෙනී නොසිටින දේශපාලනඥයින් පවා මේ උදවියට සැගවී සහය දෙන්නේ ද එසේ සමාජගත කිරීම ඔවුන්ගේ ද වුවමනාව නිසා ය.

එහෙම බැලුවහම අන් මිනිහෙකුට ගෞරව කිරීමට නොදන්නා මිනිසුන්ගේ සිට වුවමනාවෙන් ම අන් මිනිසුන් පාගා දැමීමට ඉදිරිපත් වන මිනිසුන් දක්වා අතිශය පළල් ලෙස විහිදී ගිය පරාසයක මිනිසුන්ගේ නොපනත් කම් වලින් මේ සමාජය පිරී ඉතිරී ඇති බව පෙනී යන්නේ ය. සිය නිහඩතාවය මගින් ඉතිරි මිනිසුන්ගෙන් සෑහෙන පිරිසක් ද මේ නිහීන හැසිරීම අනියමින් අනුමත කරමින් මේ පෙළට හිට ගෙන පරාසය තව තවත් දිගු කර ඇති බව දැනෙන්නේ ය.

ආදීනව හා උත්තර

මේ රටේ මත්පැන් පානය ඉහළ යෑමට, සිය දිවි හානි කිරීම් වැඩි වීමට, මානසික ආබාධයන් පැතිර යෑමට මේ තත්වය ද බල පා තිබේ. බොහෝ පුවත්පත්වල වැඩියෙන්ම  ඉඩ ගෙන ඇති ස්ත්‍රී දූෂණ, ළමා අපචාර, මිනීමැරුම්, දික්කසාද, පවුල් ආරවුල් හා ගැටුම් ද මේ පෙලීම ද හෙලීම ද හේතු කොට ගෙන ඇති වන ඒවා ය. එකිනෙකාට ගරු කිරීමට අසමත් වීම හේතුකොට ගෙන ඇති වන ඒවා ය.

හැම වසර අටකට දහයකට වරක් රට තුළ පැන නැගී ජීවිත බිලිගන්නා ජන සංහාරයන් පිටුපස ද ඇත්තේ මේ හේතුව ම ය.

වසරකට පොලීසියට ලැබෙන සුළු පැමිණිලි සංඛ්‍යාව ලක්ෂ 11 ඉක්මවන්නේ මේ නිසා ය.

එපමණක් නොවේ. රටේ ව්‍යාපාර පසුබැසීමට ඒවායේ ඵලදායීතාවය අඩු වීමට මේ තත්වය හේතු සාධක වී තිබේ. රටක් හැටියට ඉදිරියට නොයෑමට ද මේ තත්වය හේතු සාධක වී තිබේ. ඒ අවස්ථා දෙකේ දී ම පසුබෑමට එක් ප්‍රධාන හේතුවක් වී ඇත්තේ මේ පෙලීම හා හෙලීම හේතුවෙන් ඇති වන අනවශ්‍ය ගැටුම් සහ හිත් නොහොඳකම් ය.

මේ තත්වයේ වෙනසක් කිරීමට අප හිතන විදිහ උඩු යටිකුරු කළ යුතු ය. අපේ හර පද්ධතිය තුළ විශාල වෙනසක් සිදු විය යුතු ය.

දැන් අප ගෞරව කරන්නේ වැඩිහිටියන්ට ය. ජේෂ්ඨයන්ට ය. ගුරුවරුන්ට ය. දෙමාපියන්ට ය. පූජකයන්ට ය. ඉහළ කළමනාකරුවන්ට ය. මේ ගෞරවය දෙපැත්තටම සිදු වන එකක් බවට අප විසින් වග බලා ගත යුතු ය. පුංචි දරුවන්ට වැඩිහිටියන් ද කණිෂ්ඨයන්ට ජේෂ්ඨයින් ද සිසුන්ට ගුරුවරුද දරුවන්ට දෙමාපියන් ද අනුගාමිකයන්ට පූජකයන් ද ගෞරව කළ යුතු ය.

විවිධත්වයට වෙනස්කම් වලට ගෞරව කිරීමට අප උගත යුතු ය. අප තරමට ම අපට වඩා වෙනස් උදවියට ද මේ මහ පොළොවේ අයිතිය ඇතැයි පසක් කළ යුතු ය.

මිනිසෙකුට ගරු කළ යුත්තේ ඔහුගේ වයස, තරාතිරම, ඇඳුම පැළඳුම හෝ පසුබිම සළකා නොව ඔහුගේ ගතිගුණ හා හැකියාවන් සළකා බව අප තේරුම් ගත යුතු ය. හැම විටම පහසුවෙන් මග හැරෙන සුළුතරය ගැන විශේෂ වගකීමක් බහුතරය තුළ තිබිය යුතු ය.

අධිමානය පළකරමින් අනුන් පෙළන්නේ, ඇතුළත හිස්, තමන් පිළිබඳ හීනමානයෙන් පෙළෙන මිනිසුන් ය. එලියට පොරත්වයක් ප්‍රදර්ශනය කිරීමට සිදු වන්නේ ඇතුළත ඇති හිස් බව නිසා ය. ඇතුළතින් අභිමානවත් මිනිස්සු පිටතින් ප්‍රදර්ශනය කරන්නේ නිහතමානය ය. තමා දැනටමත් විශාල නිසා පිම්බී විශාලත්වය පෙන්නන්නට ආසාවක් ඔවුන්ට ඇති නොවේ. අප සෑදිය යුත්තේ ඇතුළතින් අභිමානවත් පිරිපුන් මිනිසුන්ව ය. එවන් මිනිසුන් සෙසු මිනිසුන්ට ද ගෞරවයෙන් සළකනු ඇත.

එකිනෙකා කෙරේ ගෞරවය පළවන විට එකිනෙකා පිළිබඳ ඇති සැකය, බිය හා අවිශ්වාසය ඉවත්ව යනු ඇත. ගැටුම් වලට තුඩු දෙන අඳුරු වළා පහව ගොස් සහෝදරත්වයේ සාමයේ එලිය උදා වනු ඇත.

ගෝනි බිල්ලා වෙනුවට නත්තල් සීයා

220px-Jonathan_G_Meath_portrays_Santa_Claus

කුඩා ළමුන් ආනන්දනයට පත් කරන චරිතයක් නම් කරන්නට යමෙකුට කීවොත් නත්තල් සමයේ නම් ඉදිරියට එන නම නත්තල් සීයාගේ ය. සැන්ටා ක්ලෝස් ගේ ය.

අපේ රටේ කුඩා ළමුන් යහමගට යොමු කිරීම සඳහා සම්ප්‍රදායිකව අප ඉදිරියට ගෙන තිබුණේ මීට වඩා බෙහෙවින් කර්කශ චරිතයකි. ඒ ගෝනි බිල්ලා ය. නරක ළමුන් අල්ලා ගෙන යෑමට ගෝනියක් ද රැගෙන ඇවිදින ගෝනි බිල්ලා ය. ඒ බය හිතෙන චරිතයට වඩා ළමුන් යහ මගට යොමු කිරීම සඳහා කල් පසු වී හෝ කරුණාබරිත සෙනෙහෙවන්ත සීයා කෙනෙකු ලැබීම හොඳ දෙයකි.

නත්තල් සීයා ගෝනි බිල්ලා මෙන් ළමුන් කුදලා ගෙන යන්නේ නැත. අනෙත් අතට නත්තල් සීයා හොයා ඇවිදින්නේ නරක ළමුන් නොවේ. හොඳ ළමුන් ය.

ඒ අතින් ගත්තහමත් සීයා හොඳ ය. අප බොහෝ දෙනෙකු සෑහීමකට පත්වන්නේ ළමුන් පමණක් නොව වැඩිහිටියන් ද නරක වැඩ නොකර සිටියොත් ය. නරක වැඩ නොකර සිටියාම වන්නේ පතෝල වගේ වීම ය. නරකකුත් නැත. එහෙමට කියා හොඳකුත් නැත. ලී කොටයකට වැඩි වෙනසක් නැත. ඊට වඩා හොඳ වැඩ කරන අය සොයා යෑම ඔවුන් ගැන අවධානය දැක්වීම ම හොඳ ය. ඒ තුළ හොඳ වැඩ කිරීමට අමතර දිරියක් ලැබෙන බැවිනි.

ඊටත් අමතරව කුඩා දරුවන්ගේ සිත් පුදුමයෙන් ද ආශ්ලාදයෙන් පුරවන්නට මේ අපූරු තෑගි සමත් වෙයි. එයම සතුටක් වන්නේ ය.

මේ විදිහට බලා ගෙන ගියහම නත්තල් සීයා අපූරු නිර්මාණයකි. එතෙකුදු වුව එය බොරුවකි. පට්ටපල් බොරුවකි. ළමුන් මුලාවේ දමන කෙබරයකි. ඒ ගැන හිතන විට අපට මතු වන එක් ප්‍රශ්නයක් වන්නේ මෙසේ බොරු කියා ළමුන් රැවැට්ටීම අනුමත කළ හැකි ද යන්න ය.

කුඩා කාලයේ බොරුව හා ඇත්ත අතර වෙනස හඳුනා ගැනීමට ළමෝ අසමත් වෙති. ඔවුන් තමන්ගේ මවා ගත් කල්පනා ලෝක වල අපූරු සුන්දර සිහින දැකීමේ ද සමත් ය. ළමා කතා වල වැඩිපුර සැරිසරන්නේ සැබෑ ලෝකයේ නැති සුරංගනාවන් ය. සැබෑ ලෝකයේ කළ නොහැකි දේ කිරීමට සමත් කාටූන් චරිත ය. එහෙම බැලුවහම මේ ලෝකයට තව බොරුවක් එකතු කිරීම මහා පාප කර්මයක් වන්නේ නැත.

ප්‍රශ්නය ඇත්තේ ළමුන් අනුක්‍රමයෙන් වැඩෙන විට ඔවුන්ට මෙහි ඇත්ත දැන ගැනීමට වුවමනා වීම ය. දහසක් ප්‍රශ්න ඔවුන්ගේ සිත් වල ඇති වෙමින් වැඩිහිටියන් ඉදිරියේ අවසානයේ මතු කරන්නේ මේ වුවමනාව පහළ වූ විට ය.

නත්තල් සීයා ඇත්තට ම එන්නෙ පිණි මුවන් බැඳි කරත්තයකින් ද? රෑට රැක ගෙන හිටියොත් දකින්නට බැරිද? ඒ කරත්තය එන්නේ අහසින් ද? ඔහු චිමිනය දිගේ බහින්නේ ඇයි? දැලි ගෑවෙන්නේ නැති ද? එක රැයකින් ලෝකයේ තිබෙන සියලු ගෙවල්වලට ඔහු යන්නේ කොහොම ද? මේසා විසාල තෑගි සම්බාරයක් ඔහු එක කරත්තෙකින් ගේන්නේ කොහොම ද? ඒ ප්‍රශ්න හමුවේ වැඩිහිටි අප කුමක් කළ යුතු ද?

නත්තල් සීයා බොරුවක් බවත් මෙසේ වසරක් පාසා අප කළේ රැවටිල්ලක් බවත් අප පිළිගත යුතු ද? එසේ කොට දරුවන්ගේ සුන්දර ලෝකය කඩා බිඳ දැමිය යුතු ද? නැතිනම් තවත් කලක් මේ බොරුව පවත්වා ගෙන යෑම සඳහා, ඕනෑම බොරුවක් පවත්වා ගැනීමට කරන්නට සිදු වෙන විදිහටම, තවත් බොරු ගණනාවක් කියා මේ බොරුව තවදුරටත් තහවුරු කළ යුතු ද? එසේ කළ හැකි ද?

බැරිම නැත.

නත්තල් සීයා අප වගේ සාමාන්‍ය මිනිසෙකු නොවේ. ඔහු සුවිශේෂී කෙනෙකි. පුණ්‍ය වන්තයෙකි. ඔහු සතු ව අසීමිත බලයක් තිබේ. එකම මොහොතේ සිය දහස් තැනක පෙනී සිටීමට ඔහුට හැකි ය. ඔහුගේ කරත්තයට බඳින පිණි මුවෝ දිව්‍ය වරම් ලද්දෝ ය. උන්ට අපේ පිණි මුවන්ට මෙන් නොව පියාපත් ද තිබේ. ඒ නිසා ඒ කරත්තයට අහසින් පැමිණිය හැකි ය. චිමිනය දිගේ එන්නේ ළමුන් පුදුම කර හොරෙන් තෑගි තියා යන්න ය. ඒ නිසා රැකවල් ලා ඉන්නා බව දැන ගත්තොත් එන එකක් නැත. දෑලි ගෑවෙන්නේ නැත්තේ දෑලි නාල්ලන රශ්මියක් ඔහු කෙරෙන් විහිදෙන නිසා ය. තෑගි ගේන්නට ම ඕනෑ නැත. තෑගි මවන්නට ද ඔහුට හැකි ය.

මේ බොරු සියල්ල හරහා අර මුල් බොරුව වැසිය හැකි ය. එහෙත් අප එසේ කළ යුතු ද?

අපේ සම්ප්‍රාදායික විශ්වාස බොහෝමයක් අප පවත්වාගෙන යන්නේ ද මෙවැනි පැහැදිලි කිරීම් හරහා නොවේ ද? ඉදින් ඒවා අපට කැප නම් මේ බොරු පමණක් අපට අකැප වන්නේ කෙසේ ද?

රහතන් වහන්සේලාට අහසින් වැඩිය හැකිය යන්න ඒ බව නොදැකම විශ්වාස කරන අපට පිණිමුවන් සහිත කරත්තය අහසින් යන්නේ යැයි කීම බොරුවකැයි සිතෙන්නේ මන් ද? යමා මහ පෙළහර පාද්දී, පිච්චෙන්නේ නැතිව එක නැහැයකින් ගිනි දැල් ද තව නහයකින් ඉවරයක් නැතිව වතුර ද පිට කරන්නට පුළුවන් යැයි විශ්වාස කරන අපට දැලි නොගාගෙන චිමිනියකින් බහින නත්තල් සීයා කෙනෙක්ගේ කතාව බොරුවක් යැයි හිතෙන්නේ ඇයි ද?

ඒ තෑගි නත්තල් සීයා විසින් නොව, අප විසින් ම සම්පාදනය කර දරුවන්ට රහසේ ලැබෙන්නට සළස්වන නිසා මුළු කතන්දරය ම බොරුවක් බව අප හොඳින් දන්නා නිසා ය. ඒ බොරුවේ අප ද හවුල් කාරයින් නිසා ය.

නත්තල් සීයා ඇත්ත බව කියන්නට ගොතන බොරු, බොරු යැයි ගන්නා අප, අප විසින් මනස තුළ පවත්වාගෙන යන ඊට සමාන විශ්වාස, බොරු නොවන බව අදහනවා පමණක් නොවේ. ඒවා බොරු නොවන බව අපි අපේ දරුවන්ට ද සැකයකින් තොරව ම කියා සිටිමු. ඒ බව ඔවුන් විසින් ප්‍රශ්න නොකර ම පිළිගත යුතු බව ද තදින්ම කියා සිටිමු.

දරුවන් ලොකු වන විට නත්තල් සීයා අපේ නිර්මාණයක් බව පිළිගන්නට තරම් නිහතමානී වන අපි, අප කළේ බොරුවක් බව පිළිගන්නට නිහතමානී වන අපි, ඉතිරි විශ්වාස සම්බන්ධයෙන් අඩු වශයෙන් විවෘතව බලන්නට නොපෙළඹෙන්නේ ඇයි? එසේ බලන ලෙස දරුවන්ට ඉඩ හසර සළසන්නට මැලි වෙන්නේ ඇයි?

නත්තල් සීයාගේ ආගමනයෙන් ඒ මගේ සිතට නැගුණු ප්‍රශ්නයන් ය.

තේරෙන වයස එන විට දරුවන්ගේ මනසට ප්‍රශ්න මතු වන එක වළක්වන්නට අපට බැරි ය. අපට හැකි එකම දෙය නම් එසේ ප්‍රශ්න අසන දරුවන් මග හැර යෑම ය. නැතිනම් උන්ට ප්‍රශ්න අහන එක එපා කරවන උත්තර දීම ය. ඇතැම් දේ ප්‍රශ්න කිරීම ම පවක් ලෙස දක්වා සිටීම ය. ප්‍රශ්න සම්බන්ධයෙන් තහංචි පැනවීම ය.

ඒ හැම උපක්‍රමයක් ම ප්‍රශ්න තාවකාලිකව යටපත් කරන්නට උදව් වෙතත්, ප්‍රශ්නයෙන් පැන යන්නට උදව් වෙතත්, ප්‍රශ්න වලට උත්තර නම් දෙන්නේ නැත.

අපෙන් නොලැබෙන උත්තර පතා දරුවන් වෙනත් දිසා වලට හැරිම ද ඒ නිසා වළකනු බැරි ය.

ඒවාට නිසි උත්තර ලැබුනු දාකට අපේ උත්තර හෑල්ලුවට පත් වෙනු, ඒ නිසා ම අප ද හෑල්ලුවට පත්වෙනු, වළක්වන්නට ද බැරි ය. අප ඇතැම් විට බොරුකාරයන් ලෙස සැළකෙන්නට ද පුළුවන. ඉන්පසු දරුවන් අප වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීම ද නතර වෙනු පමණක් නොව උත්තර පතා ඔවුන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට වෙනත් මූලාශ්‍රයන් ද සොයා ගනු ඇත.

ඒ නිසා ම දරුවන්ගේ වැඩීමේ එක් අවදියක නත්තල් සීයා පිළිබඳ බොරුව පිළිගත් තරමට ම සෙසු විශ්වාසයන් පිළිබඳව ද සත්‍යයට අප මුහුණ දිය යුතු ය.

සත්‍යයට මුහුණ දීම අමාරු ය. එය අප විසින් මෙතෙක් හදා වඩා ගෙන ආ විශ්වාසයන් සියල්ල විනාශයට – අව්වට වැස්සට සුළගට – නිරාවරණය කරන්නේ ය. ඒ නිසා අප දිගින් දිගට කරන්නේ බොරුවේ ආවරණයෙන් එම විශ්වාසයන් වසා තැබීම ය.

මේ ආවරණය ශක්තිමත් කළ හැක්කේ කෙසේ ද?

එක විදිහක් නම් චාරිත්‍ර වාරිත්‍ර විධි ජීවිතයට එක් කර ගැනීම ය. ඒ ක්‍රියාකාරකම් තුළ විශ්වාසයන් තහවුරු වන විදිහට එක ම දෙය නැවත නැවතත් කීම ය. ඇහෙන්නට සැලැස්වීම ය. නිතර අහන යමක් සත්‍යය ලෙස ගැනීමට මිනිසුන්ගේ සහජ පෙළඹවීම මෙහි දී භාවිතයට ගත හැකි ය. චාරිත්‍ර වාරිත්‍රවලට හැගීමෙන් බැඳෙන මිනිසුන්ගේ යටි හිතට මේ සියුම් පණිවුඩය නිතර ඇතුළු කිරීම හරහා මේ බොරුව පදම් කළ හැකි ය. සත්‍යයට ඔරොත්තු දෙන විදිහට පදම් කළ හැකි ය. දැන් සත්‍යයයෙන් විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා අප යොදා ඇති ආවරණය ශක්තිමත් ය.

නුදුටු දේ පිළිගැනීමටත්, විශ්මය ජනක දේ පුදුමයට පත් නොවී විශ්වාස කිරීමටත්, ඒ තුළ අපට හැකියාව ලැබෙන්නේ ය.

අප බොහෝ දෙනෙකු ජීවිතයේ ඇතැම් තැනක අසරණ වන වෙලාවක් තිබේ. පහසුවෙන් හොඳ නොවන ලෙඩක් දුකක් ඇති වූ විට, තමන් නැතත් හිතේෂියෙකු මරණාසන්න වූ විට, විශ්මය ජනක දෙයක මැදිහත් වීම නැතිව ගැලවීමට බැරි ලෙස අප අසරණ වූ විට, මේ විශ්වාසයන් අප තුළ නව ශක්තියකින්, නව ජවයකින්, නැගිට ගන්නේ ය. එවිට නුදුටු දේ පිළිගන්නට අපට සිදු වේ. අපේ ගැලවුම ඇත්තේ ඒ තුළ බව දන්නා නිසා දැන් බොරුවක් ද යන්න විමසන්නට අපට ඉස්පාසුවක් නොලැබේ.

අප අසරණ වෙන තරමට දරුවන් ද අසරණ වෙන බැවින් එය දරුවන්ව මේ බොරු වැලේ එල්ලෙන්නට පෙළඹවිය හැකි හොඳම වෙලාව ය. එවැනි පසුබිමක ප්‍රශ්න නොඅසා විශ්වාසයන්ගේ පිළිසරණ පැතීමේ මාවතට දරුවන් තල්ලු කර ගත හැකි ය. එහෙම වුනොත් පමණක් දරුවන් හා අප අතර ඇති විය හැකි පරතරය පියවා ගත හැකි ය.

මෙය හැම විටම සාර්ථක වන්නේ නැත.

ඇතැම් තැනක හරහට හිටින්නේ විද්‍යාව ය. දිනෙන් දින නව සොයා ගැනීම් කරන විද්‍යාව ය. ලෝකයේ ආරම්භය ගැනත් මිනිසාගේ සම්භවය ගැනත් නව දේ ලෝකයට කියන විද්‍යාව ය. නව ග්‍රහයන්ට එහා යමින් තවත් ග්‍රහලෝක සෞර්ය ග්‍රහ මණ්ඩලයේ ඇතැයි කරන විද්‍යාවේ නව සොයා ගැනීම් ය. නව ජීව ප්‍රභේදයන් උත්පාදනය කරමින් දෙවියන්ගේ කාර්යය තමන් වෙතට පවරාගෙන ඇති ජාන විද්‍යාවේ ගවේෂණයන් ය. තොවිලකින් පවා ඇතැම් තැනක පලවා හැරිය නොහැකි යක්ෂයින් කුඩා බෙහෙත් පෙත්තකින් පළවා හැර දෙන වෛද්‍ය විද්‍යාවේ හා ඖෂධවේදයේ විස්මයන් ය.

තවත් තැනක හරහට හිටින්නේ තාක්ෂණය ය. ඍද්ධි බලයක් නැතිව ම උඩින් යන්නට අපට උපකරණ සපයන තාක්ෂණය ය. ටෙලිපති නැතිව ලෝකයේ ඕනෑම තැන් දෙකක ඉන්නා මිනිසුන් දෙදෙනෙකු හඩින් පමණක් නොව රූපයෙන් ද සම්බන්ධ කරන තාක්ෂණය ය. ඉතිහාසයේ අපව පුදුම කළ දෙය, සුවිශේෂි දේව බැල්ම ලත් පුද්ගලයෙකුට මිස, දෙවියයෙකුට මිස, කළ නොහැකි යයි අප විශ්වාස කළ දෙය, පුදුම උපදවන ලෙස නිමවා අප ඉදිරියේ හාස්කම් පාන තාක්ෂණය ය. හොල්මන් කියන්නේ අඳුර තුළ අපට තේරුම් ගත නොහැකි ව ඇති එහෙත් එලිය තිබෙන කළ පැහැදිලි වන තවත් විගඩමක් පමණක් බව අපට පසක් කරන, ආලෝකය අපට දායාද කළ, තාක්ෂණය ය.

වෙනත් තැනක බාධාව ධර්මයේ ම සඳහන් උපදෙස් ය. උදාහරණයක් ලෙස කාලාම සූත්‍රය ගත හැකි ය. පොත පතේ තිබූ පමණින් වත් ශාස්තෘන් වහන්සේ කෙනෙකු කී පලියටවත් තර්කයට ගැලපුණු පමණින් වත් පිළිගන්නට එපා යැයි සඳහන් උවදෙස් ය.

අපේ විශ්වාසයන් පිළිබඳ සැක ඇති වුව ද ඒවා අපට ප්‍රයෝජනවත් වන බැවින් කෙසේ හෝ රැක ගත යුතු නොවේ ද? නත්තල් සීයා යනු ප්‍රවාදයක් වුනත් එයින් දරුවන් ප්‍රීතියට පත් වෙන නිසා අප එය පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නට තීන්දු කර ඇති ලෙසට ම ඉතිරි විශ්වාස ද නොයෙකුත් ප්‍රයෝජන ඇති කරන බැවින් එසේ ගෙන යා යුතු නැද්ද?

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණිමේ වැදගත් කමක් නොදකින සමාජය පවා ඒ නිමිත්තෙන් පැවැත්වෙන අවුරුදු චාරිත්‍රවල සමාජ වටිනාකමක් දැක එය පවත්වාගෙන යන්නාක් මෙන් සෙසු විශ්වාස ද අප විසින් පවත්වා ගෙන යා යුතු නැද්ද?

ඒ ප්‍රශ්නය අපට තවත් ප්‍රශ්නයක් මතු කරයි. මේ විශ්වාසයන් මිනිසුන්ට දී ඇත්තේ වාසි පමණ ද? ඒවා ඔවුන් අමාරුවේ දා නැද්ද? ඔවුන්ගේ කාලය අපතේ යවා නැද්ද? ඔවුන්ගේ පසුම්බියට විද ඔවුන් දුප්පත් කමේ දමා නැද්ද? ඔවුන් විසින් කළ යුතු වැඩ කරගන්නට නොහැකි කර නැද්ද? ඔවුන්ට තහංචි පනවා ඔවුන් බැඳ දමා නැද්ද? ඔවුන් අකර්ණම්‍ය කර දමා නැද්ද? ඔවුන්ගේ විවාහයන් පමා කර ඔවුන්ගේ දරුවන් අයාලේ යවා නැද්ද?

මේ සියල්ල අනුව අප විසින් හළා දැමිය යුත්තේ කුමන ඒවා ද පවත්වාගෙන යා යුත්තේ කුමන එවා ද යන අමතර ප්‍රශ්නයක් ද මතු වේ.

නත්තල් සීයා නම් මුල දී පවත්වාගෙන ගොස් පසු කලෙක හලා දමන විශ්වාසයකි. සෙසු විශ්වාසයන් ගැන අපේ අස්ථානය කුමක් විය යුතු ද?

නත්තල් සීයාගේ ආගමනයෙන් මතු වන ප්‍රශ්නවල ඉවරයක් නැත. ඒ ආගමනය අප වෙත ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්න පත්තරයකි. මේ ලිපියේ අරමුණ ඒ ප්‍රශ්න සියල්ලට උත්තර දීමට නොවේ. ඒ ප්‍රශ්න ඔබ විසින් ම උත්තර සොයා ගත යුතු ඒවා බව කියන්න ය. සාර්ථක ජිවිතයකට නම් මේ විභාගයෙන් සමත් විය යුතු ය. ඒ සඳහා දැනටමත් පේවී ඉන්නා ටියුෂන් මාස්ටර්ලාගෙන් ගත හැකි පිළිසරණ නම් අවම ය.

කාන්තාව හා මත්පැන්

300px-Common_alcoholic_beverages

මාතෘකාව කාන්තාව වූ විට තහනම් වචනය මත්පැන් ය. ඒ බොන්නට නොවේ. ගන්නට ය.

බොන්නට හොඳ නම් ගන්නට බැරි මොකදැයි කෙනෙකුට ඇසිය හැකි ය. උත්තරය- බොන්නට නම් ගන්නට වුවමනා ය. ගන්නට බැරි විට බොන්නට බැරි ය.

ප්‍රශ්න වල කෙළවරක් නැත. වෙන කෙනෙකු ගත් දෙයක් බොන්නට බැරි ද? එහෙම පුළුවන් ය. තනිවම හිතු මතේ අරගෙන බොන්නට බැරි ය. ඒ සඳහා අඩු වශයෙන් තව පිරිමියෙකුගේ අවසරය වුවමනා ය. දැන් ප්‍රශ්නය පැහැදිලි ය. ගැහැණියකට බොන්න අවශ්‍ය නම් ඒ සඳහා පිරිමියෙකුගේ සහය හා ඒ නිසා ම අවසරය වුවමනා ය.

මුදල් ඇමති තුමා විසින් අවලංගු කළේ මේ නීතිය ය. එය පරණ නීතියකි. එය අවලංගු කළේ එය යල් පැන ගිය නීතියක් කියා ය. ඒ තුළ කාන්තාවගේ අයිතිවාසිකම් වල විලංගු දා තිබුණේ යැයි කියා ය. ඔවුන්ට සම පුරවැසියන් ලෙස සිටිමට එය බාධාවක් වූවා යැයි කියා ය. ඒ කී නීතියෙන් කාන්තාව දමා තිබුනේ වයස 18 ට අඩු දරුවන්ගේ ගණනට ය. ඔවුන් සමග එකට ය.

එහෙත් බොහෝ අය කල්පනා කළේ එ් හරහා කාන්තාවන් බීමට ඇබ්බැහි වනු ඇති බව ය. එසේ කියන අය හිතන්නේ කාන්තාවන් බීමට ඇබ්බැහි වීම පිරිමින් ඊට ඇබ්බැහි වීමට වඩා භයානක විය හැකි බව ය. එක් අයෙකු මෙය වඩාත් විස්තර කර කීවේ බීමත් කාන්තාවන්ට කුස්සිය හොයා ගැනීමට බැරි විය හැකි බව ය. ඒ කියන්නේ පිරිමින්ට කෑම සැපයීම සඳහා කාන්තාවන් මතින් බැහැර කොට තැබිය යුතු බව ය. එසේ නොකළ හොත් මහා අර්බුදයක් නිර්මාණය වීමට ඉඩ ඇති බව ය. බීමට අවශ්‍ය නම් පිරිමින්ගේ අවසරය ඇතිව බීමට ඉඩ සලසා ඇත්තේ ඒ නිසා විය යුතු ය.

ජනතා විමුක්ති පෙරමුණේ ජාතික සංවිධායක විජිත හේරත් මැතිතුමාට අනුව මේ නීතිය අවලංගු කිරීම නිසා සිදුවන ව්‍යාසනය ඊට වඩා දරුණු ය. ඒ ගැන වාර්ථාවක් ගෙන එන බීබීසී සිංහල වෙබ් අඩවිය කියන්නේ මෙසේ ය.

“ඒ පිළිබඳව බීබීසී සිංහල සේවය විමසීමක් කළ අවස්ථාවේ පක්ෂයේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මන්ත්‍රීවරයා කියා සිටියේ, ශ්‍රී ලංකාවේ පවත්නා සංස්කෘතිය සහ “වැඩවසම් සමාජ ක්‍රමය තුළ” මත්පැන් පානය කිරීම හෝ විකිණීම සඳහා කාන්තාවන්ට අවසර දීම පක්ෂය අනුමත නොකරන බවය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් ප්‍රකාර කාන්තාවන්ට සහ පුරුෂයන්ට ලිංගිකත්වය මත පදනම් වී වෙනස් නීති පැණවීම අනුමත නොකරන නමුත් කිසියම් ප්‍රතිපත්තිමය කරුණක් ගැන තීරණ ගන්නා විට රටේ සංස්කෘතිය මත පදනම් වී පියවර ගැනීම අත්‍යවශ්‍ය කරුණක් බව ද ඔහු පැවසීය.“

ඒ කියන්නේ මත්පැන් බිම සංස්කෘතික ප්‍රශ්නයක් බව ය. රටේ ව්‍යවස්ථාවට ඉහලින් සංස්කෘතිය පවතින බවත් එයින් එක්තරා දුරකට ගම්‍ය වන්නේ ය. තම පක්ෂයේ සමානාත්මවාදී ප්‍රතිපත්තිවලට ද උඩින් සංස්කෘතිය පවතින බව ඔහු එයින් හඩගා කියන්නේ ය.

සංස්කෘතිය රැක ගැනීමට අවශ්‍ය වන ප්‍රමාණයට වත් කාන්තාවන්ට හා පුරුෂයන්ට ලිංගිකත්වය මත පදනම් ව වෙනස් නීති පැනවිම අනුමත කිරීමට, තමන්ට හා තම පක්ෂයට සිදු වන බව ඔහු සපථ කොට කියන්නේ ය.

“ලංකාවේ සංස්කෘතිය, ආගමික වටපිටාව, ආසියාතික වැඩවසම් සමාජ ක්‍රමය තුළ යුරෝපයේ තියෙන දේවල් ඒ විදියටම කරන්න යාම සමාජය තුළ ගැටලු, අර්බුද මතුවෙන එකක්,” විජිත හේරත් මැතිතුමා තවදුරටත් කියා සිටින්නේ ය.

“සමාජ සාධාරණත්වය සහ මාක්ස්වාදය විශ්වාස කරන පක්ෂයක් වැඩවසම් සමාජ ක්‍රමයට අනුබල දෙන්නේ කෙසේ දැයි විමසූ අවස්ථාවේ මන්ත්‍රීවරයා කියා සිටියේ, පවතින වැඩවසම් ක්‍රමය “ක්‍රමානුකූලව පියවරෙන් පියවරට වෙනස් වෙමින්” පවතින බැවින් “චීනයේ සංස්කෘතික විප්ලවය සිදු කළ ආකාරයට,” කටයුතු කිරීමේ හැකියාවක් නොමැති බවය.“

වැඩවසම් වූවත් සංස්කෘතිය, සංස්කෘතිය ම බව එයින් තවදුරටත් කියවෙන්නේ ය. එයට අත තැබීමට රටේ ඉදිරියෙන් සිටිනා “විප්ලවවාදී“ පක්ෂයකට වුව බැරි බව ද එයින් පැවසෙන්නේ ය. එහෙම වටපිටාවක ආණ්ඩුවකට මෙවන් දෙයක් කිරීමට බැරි ය. හකුළා ගන්නේ ඒ නිසා විය යුතු ය.

මෙයින් ගම්‍ය වන අනෙත් පණිවුඩය නම් වෙන ඕනෑම දෙයක් විප්ලවකාරී ආකාරයට වෙනස් කළ හැක්කේ වුව ද සංස්කෘතිය එසේ කළ නොහැකි දෙයක් බව ජනතා විමුක්ති පෙරමුණ ද පිළිගන්නා බව ය.

නීතිය තියෙන්නේ මත්පැන් මිල දී ගැනීම සම්බන්ධයෙන් පමණක් නිසා අප මෙයින් තේරුම් ගත යුත්තේ කාන්තාවන් මත් පැන් බීම සංස්කෘතිය දෙදරවන්නක් නොවන බවත් එය පිරිමියෙකුගේ අවසරය හෝ සහය නැතිව මිලදී ගැනීම සංස්කෘතියට තර්ජනයක් ගෙන දෙන බවත් ය. ඒ කියන්නේ සංස්කෘතිය මත්පැන් ගැන ප්‍රශ්නයකට වඩා පිරිමි අවසරය ගැන ප්‍රශ්නයක් බව ය. ඒ ප්‍රශ්නය, ප්‍රශ්නයක් ලෙස ලංකාවේ පෙරටුගාමී විප්ලවවාදී පක්ෂ ද බරපතල ලෙස කල්පනා කරන බව ය.

දැන් මේ ප්‍රශ්නය ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයේ ය. ඒ, මේ සම්බන්ධයෙන් නීතිය කෙසේ විය යුතු ද යන කාරණය සම්බන්ධයෙනි. නීතිය හා ව්‍යවස්ථාව අනුව මෙය කෙසේ විසඳිය යුතු දැයි තීරණයක් දෙන්නට ඒ නිසා අපට බැරි ය. ඒත් මේ නිසා මතු ව ඇති අතුරු සමාජ ප්‍රශ්න රාශියක් තිබේ. ඒවා මතු කිරීමට නීතිය බාධාවක් නොවේ.

කාන්තාවට බෝතලයක් අතට ගත නොහැකි වුවත් තුවක්කුවක් දැරිය හැකි ය. අපේ රටේ තුවක්කු දරණ කාන්තා සෙබළු වෙති. ඒ කියන්නේ බෝතලය, තුවක්කුවකට වඩා බරපතල විය හැකි බව ය. ඇතැම් විට බෝතලය මිලදී ගැනීමේ වරම වගේ ම කොකා ගැස්සීම සඳහා විධානයේ වරම ද පිරිමියෙකු සතු නිසා එය ප්‍රශ්නයක් ලෙස නොදැක්කා වන්නට ද ඉඩ තිබේ. එසේ නොවන්නේ නම් ඉන් කියවෙන්නේ පිරිමින් අතේ කෙසේ වුව ද කාන්තාවක් අතේ බෝතලයක් පැවතීම තුවක්කුවක් පැවතීමට වඩා බරපතල බව ය.

බෝතලය තරමට ම මහණ කම ද කාන්තාවන්ට අකැප ය. මෙහෙණි සස්නක් පිහිට වීමට දරණ උත්සහයන් පිරිමි පූජක පක්ෂය විසින් අතිශය දැඩි සීමා පණවමින් වළක්වා තිබේ. එපමණක් නොවේ. ශ්‍රී මහා බෝ මළුවට පිවිසීම ද කාන්තාවන්ට අකැප ය. දන්ත ධාතූන් වහන්සේ සමීපයට පිරිමින් තරමට කිට්ටු වීම ද කාන්තාවන්ට අකැප ය. දළදා මාලිගාව ඇති මහනුවර දිසාපති වීම ද දළදා මාලිගාවේ දියවඩන නිලමේ තේරීමේ දී චන්දය දීම ද කාන්තාවන්ට අකැප ය. එහෙම බැලුවහම පෙනෙන්නේ මේ අප කතා කරන කාරණය බෝතලය පිළිබඳ ප්‍රශ්නයකට එහා ගිය ප්‍රශ්නයක් බව ය. ජනතා විමුක්ති පෙරමුණේ ප්‍රචාරක ලේකම් විජිත හේරත් මහතාට අවසානයේ දී ලජ්ජාවෙන් කියන්නට සිදු වූ තමන් විසින් ද ආරක්ෂා කිරීමට කැප වන්නේ යැයි කියන “වැඩවසම්“ සංස්කෘතිය සම්බන්ධ ප්‍රශ්නයක් බව ය.

ඇත්තටම මේ සංස්කෘතිය රැක ගැනීමට නම් අප විසින් කළ යුතු තව බොහෝ දේ තිබෙන බව විජිත හේරත් මැතිතුමා සහ එතුමාගේ පක්ෂය ප්‍රමුඛ සංස්කෘතික ලෝලීන් වෙත කියා සිටිය යුතු යැයි අපට සිතේ. එකක් නම් කාන්තා මලල ක්‍රීඩා ඉසව් ද වෙනත් එවැනි නොහික්මුණු ඇඳුම් ඇඳගෙන දුවන පනින ක්‍රීඩා ද තහනම් කළ යුතු බව ය. එකක් ඇඳුම නිසා ය. අනෙක විසාකා තොමෝ පැමිණි විලාසයෙන් යන්නේ නැතිව මේ කාන්තාවනට ඒ ක්‍රීඩා ඉසව්වලදී දුවන්නට සිදු වන නිසා ය. මේ ඇඳුම ගැන ප්‍රශ්නය තමන් ද තමන්ගෙන් කැඩි ගිය පෙරටුගාමීන් ද සමන්විත විශ්ව විද්‍යාල ශිෂ්‍ය ව්‍යාපාරය විසින් බරපතලව සරසවි තුළ ගෙන ඇති නිසා ම මේ ගැන මතයක් ඉදිරිපත් කිරීම අලුතින් යමක් කිරීමක් නොවන නිසා ද මෙය නොපමාව ඉදිරියට ගත හැකි ය. දැන් තරගය ඇත්තේ වඩාත් දැඩිව ආගම ජාතිය හා සංස්කෘතිය රැක ගන්නේ කවුදැයි තේරීමට නිසා ම මේ මගින් ද ලකුණු දමා ගත හැකි ය. ඒ තරගයේ දී ඉක්මන් වන තරමට හොඳ ය. නැත්නම් ධජය වෙන කෙනෙකු උස්සාගෙන දුවන්නට පුළුවන.

හොඳට ම කල්පනා කරන්නේ නම් කාන්තාවන් සිටිය යුත්තේ ගෙදර ය. එයිනුත් වැඩිපුර කුස්සියේ ය. ඒ අපේ සිතේ ඉන්නා, රටේ නැති, සංස්කෘතික කාන්තාව ය. ඔවුන් මිරිස් කොටන්නේ වංගෙඩියේ ය. අඹරන්නේ මිරිස් ගලේ ය. උයන්නේ රස හා ගුණය රැකෙන දර ලිපේ ය. ඒ සියල්ල උඩුයටි කුරු කළේ යුරෝපයෙන් ගෙනා සුකුරුත්තම් ය. දැන් ඒ පසුපස විජිත හේරත් ලේකම් තුමා කියන යුරෝපයේ කරන කියන දෑද එන්නේ ය. අප ඒ සියල්ලට විරුද්ධව අලුත් තාලේ විප්ලවයක් කළ යුතු ව ඇත.

එයින් කියන්නේ පැරණි ජිවන ශෛලියට අනුකූලව කාන්තාවන් විසින් ඇල්ලිය යුත්තේ හැඳි මිටක් හෝ ඊට අඩු යමක් බව ය. බෝතලයක් නම් එය පොල්තෙල් හෝ විනාකිරි වලට එහා ගිය එකක් නොවිය යුතු ය. ප්‍රශ්නය මේ ඉර පැනීම ය.

ඉස්සර කාන්තාවන් උගත්තේ නැත. ඉගෙන ගත්තා නම් ඒ ඉවුම් පිහුම් ය. මැහුම් ගෙතුම් ය. දැන් උන් හැම මගුලක්ම උගනිති. මේ කලියුගයේ සියල්ල කණපිට පෙරලිලා ය. කාන්තාවන් නැති තැනක් දැන් නැති ගානට ය. උන් ආම්බාම් කිරිම පිරිමින්ට එන්න එන්නම අමාරු ය. මහෞෂධ පණ්ඩිතයන්ට කන්ට්‍රෝල් අමරා දේවීන් දැන් ඇත්තේ ම නැති ගාන ය.

ගැහැණුන් වඩාත්ම නිදහස ලබන්නේ රැකියාවලට යෑම නිසා ය. සම්ප්‍රාදායික සංස්කෘතික ගැහැණිය නැවත තැනීමට, අමරා දේවිය නැවත ලබා ගැනීමට, කළ යුතු තව එක් දෙයක් තිබේ. ඒ රැකියාවලට යෑම තහනම් කොට ළමුන් බලා කියා ගෙන ගෙදර දොරේ වැඩක් කර ගෙන ගෙදරට වී සිටිමට උන්ට සැලැස්වීම ය. විශේෂයෙන් ගැහැණුන් තනි පංගලමේ පිටරට යෑම වැළැක්වීම ය. මේ වැඩවසම් සංස්කෘතියේ ආරක්ෂකයින්ට කළ හැකි වැඩ ය. ඔවුන් සංස්කෘතිය ගැන සැබෑවට උනන්දු වන්නේ නම් කළ යුතුව ඇති වැඩ ය. සංස්කෘතිය රැක ගැනීම සම්බන්ධයෙන් මත්පැන් නීතිවලට අදාළ මැදිහත්වීම් වැනි පැලැස්තර අලවනවාට වඩා මෙවැනි සැලසුම් සහගත වැඩ පිළිවෙලක් අනුගමනය කිරීම සම්බන්ධයෙන් ඇතැම් විට ඉදිරියේ දී විප්ලවවාදී හා පෙරටුගාමී පක්ෂවල අවධානය යොමු වනවා ඇත. එපා වාහෙට හොදි බෙදන්නා වැනි වැඩ වලින් රටටවත් රැක ගන්නට හදන සංස්කෘතියටත් හරි හමන් සේවයක් නොවන නිසා එවැනි බරපතල මැදිහත් විමකින් සංස්කෘතිය රැක ගැනීම ගැන ඔවුන් විසින් සිතා බැලිය යුතු ය.

මේ මෑතක දී ගැහැණුන් දේශපාලනයට ද එන්නට මාවතක්  හදා ගත්තෝ ය. එය 25% ක නියෝජනයක් නීතියෙන් සහතික කර ගැනීම හරහා ය. එය පළමුවරට ඉදිරියට එන පළාත් පාලන මැතිවරණයේ අත්හදා බැලීමට ද නියමිත ය. මේ මත්පැන් නිතිය හීන් නූලෙන් ආවේ ඒ අල්ල පනල්ලේ ය. හැම දෙයක් ම අපට හොරා හෙමින් සීරුවේ සිදුවෙමින් තිබෙන්නේ ය.

මේ බව ඉදිරිය දකින පක්ෂ විපක්ෂ සියලු දේශපාලනඥයන් විසින් පෝලිමේ අවබෝධ කරගනිමින් ඉන්නා බවත් පෙනෙන්නට තිබේ.

එහෙම කල්පනා කළ විට සංස්කෘතිය ඉස්සරහට දැම්මේ වුව ද ප්‍රශ්නය එහෙම පිටින් ම වෙන එකක් ද විය හැකි ය. මෙය පිරිමින්ගේ ආධිපත්‍ය ඍජු ලෙස ප්‍රශ්න කරන කතන්දරයක තවත් එක් පරිච්ඡේදයක් ලෙස මේ “වැඩවසම්“ සහ “දේශීය“ සමාජය විසින් සළකා තිබෙන්නට පුළුවන. විරෝධය මතුවන්නේ ඒ නිසා විය හැකි ය.

සංස්කෘතිය පිළිබඳ ප්‍රශ්නය අමතක කොට මේ මත්පැන් ප්‍රශ්නය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස ද ගත හැකි ය. මත්පැන් සෞඛ්‍යයට අහිතකර ය. ඒ වැඩිමනත් පානය කිරීම හේතුකොට ගෙන ය. මද පමණට ගැනීමෙන් නොවේ. ඈත අතීතයේ සිටම අපේ ම දේශීය වෙදකමේ කොටසක් ලෙස ද මත්පැන් එක් කර ගෙන තිබේ. අරිෂ්ඨ වල මත්පැන් අඩංගු ය. ඇතැම් ඖෂධ වල අබිං ද අඩංගු ය. ඒ සීමා සහිතව ය. නියමිත මාත්‍රාවලට අනුව ය. එහෙම බැලුවහම පෙනෙන්නේ ප්‍රශ්නය ඇත්තේ මත්පැන් වල නොව මත්පැන් අවභාවිතයේ බව ය.

මත්පැන් වල ද සංස්කෘතියක් තිබේ. ඒ දියුණු රටවල ය. ඒ රටවල බොහෝ දෙනෙකු මත්පැන් ගන්නේ සීමා සහිතව ය. ඒ බොහෝ විට උත්සව අවස්ථාවලට, ජය පැන් බොන අවස්ථාවලට හා විවේකය අත්විඳින අවස්ථාවලට සීමා වේ. ගන්නේ ද ආනුපාන හැටියට මිසක ප්‍රධාන ආහාර වේල හැටියට නොවේ. බොහෝ බේබද්දන් කරන්නාක් මෙන් නාන්නට නොවේ.

ලංකාවේ ගැහැණුන්ට මත්පැන් ලංකාව තුළ මිලදි ගැනීමට නොහැකි වුව ද පිටරට දී හෝ ගුවන් තොටුපල තීරු බදු රහිත සංකීර්ණයේ දී හෝ මිලට ගැනීමට නීතියෙන් බාධාවක් නැත. ඇතැම් විට එයට හේතුවන්නට ඇත්තේ පිටරටවලට නිරාවරණය වී ඇති ගැහැණුන් අපේ රට තුළම ගාල් වුනු නොදියුණු ගැහැණුන්ට වඩා යුරොපාකරයේ මත්පැන් සංස්කෘතිය දන්නා අඳුනන නිසා අගුණයක් කර ගන්නේ නැතැයි යන විශ්වාසය නිසා විය හැකි ය. අප එසේ සිතුවේ වෙන හේතුවක් හිතා ගැනීමට අපට නොහැකි වූ නිසා ය. නැත්නම් විප්ලවවාදි පක්ෂ ඒවාට එරෙහිව ද අවි අමෝරා ගනු ඇතැයි මෙහි දී උපකල්පනය කෙරී ඇත.

අපට අවශ්‍ය වන්නේ ද එවැනි සංස්කෘතියක් ගොඩ නගා ගැනීම ය. විවිධ මත්පැන් ගැන, එ්වායේ ආදීනව ගැන, මත්පැන් වල ක්‍රියාකාරිත්වය ගැන දැනුවත් ජනතාවක් ඇති කිරිම ඒ සඳහා අවශ්‍ය ය. මත් පැන් පිළිබඳ සෞඛ්‍ය මතය අනුව ගැහැණුන් පිරිමින් තරමට නොබිය යුතු බවක් ද කිය වේ. පිරිමින් හා ගැහැණුන් සම්බන්ධයෙන් පනවා ඇති වෙනස් සීමාවන් ගැන ද මේ නිසා සමාජය අවබෝධය ඇති කර ගත යුතු ය. යුරෝපා රටවල ගැහැණුන් අතර සාන්ද්‍රණයෙන් අඩු වයින් වර්ග වඩාත් ජනප්‍රියව ඇත්තේ ඒ අවබෝධය නිසා විය යුතු ය. මත්පැන් වැඩියෙන් බොන මිනිහා වීරයෙක් ලෙස සමාජගතව තිබීම අප විසින් ප්‍රශ්න කළ යුතු ය. සාදයක දී බෝතලය ඉවර නොකරන්නේ නම් දුර්වල කමක් ලෙස සැළකීම අප විසින් ප්‍රශ්න කළ යුතු ය. මත්පැන් වලට ඇබ්බැහි වීමේ හැකියාව පිළිබඳව ජනතාව දැනුවත් කළ යුුතු ය. මත්පැන් මත යැපෙන ජිවිතයක් ඇති කරගැනීමේ දුර්වල කම ගැන දැනුවත් සමාජයක් අප විසින් ඇති කළ යුතු ය.

ඒ මත් පැන් ගැහැණුන්ට පමණක් නොව පිරිමින්ට ද අගුණ විය හැකි නිසා ය.

අවශ්‍ය දේ නොකොට වැඩවසම් සංස්කෘතියට මුවා වී නීති පැනවීමෙන් මත් පැන් වලින් ජනතාව මුදා ගත නොහැකි ය. කළ හැක්කේ උන් මුලා කිරීම පමණකි.