ඇදෙන මගුල් සහ ඉලාස්ටික් බණ

මගුල් ගෙවල් වලට දිනපතා අයිටම් එක එක එකතු වෙන්නේ ය. ඉස්සර තිබුනේ මගුල ඡයාරූප පමණකි. ඇල්බම් එකක් ගෙන ඒ ඡයාරූප දා ගැනීම අපේ කටයුත්තක් විය. දැන් බාර ගන්නේ කෙලින්ම ඇල්බම් ය. ප්‍රී ෂූටිං ද එයට එකතුව තිබේ. එය සිදුවන්නේ ස්ක්‍රිප්ට් එකකට අනුව ය. ස්ක්‍රිප්ට් එක කැමරා කාරයාගේ ය. ඉස්සර මගුල් ගෙදර මෙහෙයවූයේ අෂ්ඨක කියන තැනැත්තා සහ වැඩිහිටියන් ය. දැන් කැමරා මන් ය. වැඩිහිටියන් විසි වෙලා ය. මගුල් නැටුම් ද අලුත් වෙසක් ගෙන තිබේ. පෙරහැරේ යන්නේ එක් නැටුම් කණ්ඩායමකි. අතරමග නටන්නට තවත් නැටුම් දක්වන්නෝ සිටිති. ඒ නැටුමට දැන් මනාල යුවල ද ඔවුන්ගේ පරිවාර සෙනග ද එක් ව තිබේ. ඒ නැටුම් පුහුණු කරන්නෝ ද මේ පෙරහැරට ම එක් ව සිටිති. මේ සඳහා පුහුණුව ද මාස ගණනක සිට සිදු කළ යුතු ය.

එක එක එකතු වෙනවා විනා අඩුවෙන්නේ නැත. මෝස්තර වල හැටි ස්වභාවය එසේ ය. හැම එකකටම වෙළඳ වටිනාකමක් ඇත. සියල්ල බිස්නස් එකකි. එලියේ කියන අදහස පාරිභෝගිකයාට උපරිම සේවය සැලසීම ය. ඇතුළත ඇති අදහස සියල්ල ලාභයකට පෙරලා ගැනීම ය.

වැඩේ නරක නැත. මේ යන විදිහට ගියහොත් දෙකින් එකක් වෙනවා ඇත. බඳින බොහෝ අය එක්කෝ හිගන්නන් වෙනවා ඇත. නැතිනම් මගුලක් ගන්නේ නැතිව හොරෙන් පැනලා යන්නට හිත හදා ගන්නවා ඇත.

මේ සියල්ල හාමුදුරුවන්ගේ බණට ද සිදු වෙමින් තිබේ.

ඉස්සර බණ ආරම්භ කිරීමට පෙර කියන පාලි ගාථා කීපයකට පමණක් සීමා වූ ප්‍රාරම්භක පාලිය  දැන් පාලියට අමතරව සිංහල පරිවර්තනයකින් ද යුක්ත ය. එයට අමතර සිංහල පමණක් නිර්මාණ ද ඊට එකතු ව තිබේ. බෝධිවන්දනා ගාථා ශ්‍රේණිය එයින් වඩාත් කැපී පෙනෙයි. හාමුදුරුවන් වඩින විට උපාසික උපාසිකාවෝ ආරම්භ කරන ගාථා පාලියකින් ඇරඹෙන මේ මුළු කටයුත්ත නිමා වන විට පැය භාගයක් පමණ අවසන් ව තිබේ. පැයේ බණ දැන් පැය දෙක වී තිබෙන්නේ මේ විකාර නිසා ය.

බණ ගෙදරට පැමිණෙන උදවියට ඉස්සර ලැබුනේ විස්කොතුවක් කේක් කැබැල්ලක් හා තේ එකකි. දැන් ආහාර වේලකින් මෙහා මිනිසුන් සෑහීමකට පත්වන්නේ නැත. එපමණක් නම් මදෑ. වෙනදා මිනිසුන් යමක් ගෙනාවේ ගෙදර කට්ටිය විසින් සපයන තේ පැන් සංග්‍රහයට ඔවුනට කෘත ගූණ වශයෙනි. දැන් ඒ ගෙනෙන සියල්ල හාමුදුරුවන්ට ය. ඉතින් එවැනි වටපිටාවක පාරිභෝගිකයන්ට වඩා හොඳ සේවයක් සැළසිය යුතු යැයි හාමුදුරුවන්ට සිතුනේ නම් එහි ද වැරැද්දක් නැත.

සමහර හාමුදුරුවරුන් බණ කියන්නේ තමන්ගේ ශබ්ද විකාශණ පද්ධතියක් භාවිතා කරන්නේ නම් පමණකි. ඒ සඳහා වැය වන ගාස්තු ආරාධනය කරන තැනැත්තා විසින් ගෙවිය යුතු ය.

මගුල් ගෙදර කටයුතු තරමට බණ දේශනාවේ කටයුතු ද මෙසේ ඇදෙමින් තිබෙන්නේ මිනිසුන්ට වෙනදා ඇති තරම් විවේක ඇති නිසා නොවේ. වෙනදා මහමග පැයක් අරගල කර ගෙදර පැමිණෙන මිනිසුන්ට දැන් පැය දෙකක් ඒ සඳහා වැය කළ යුතුව තිබෙන කලෙක එවන් විවේකයක් පහල වී ඇතැයි සිතිය නොහැකි ය.

මට හිතෙන්නේ මේ ඇදිල්ලට තවත් අමතර හේතුවක් වන්නේ සංසාරය දුක බව ඒත්තු ගැන්වීමට බව ය. සසර ගැන කළකිරෙන්නේ නැතිනම් එසේ කළකිරෙන බවට අප විසින් වග බලා ගත යුතු ය. මේ කරන්නේ ඒ කාරණය නොවිය හැකි ද?

ඕනෑ ම දෙයක් වැඩිපුර ගත් විට විස වේ. මේ අප පාර කපන්නේ ඒ දෙසට ය. මගුල ද බණ ද විස වී අවසානයේ විසි වී යන තැනට ය.

බුදුන්ගේ දේශය

සියල්ල අත්හැර අබිනික්මන් කළ

බුදුන් කැදවලා කනෙන් ඇද පහර දී

බාර දුන්නා දේශයක්

කිව්වාය ඊට මේ බුදුන්ගේ දේශය

හිටෙව්වා හතර වටේට බුදු පිළිම

වැට ඉණි වෙනුවට මායිම් ලෙසට

ඉවසුවා බුදුන් මුවින් නොබැණම

කාට කියන්නට හැකි අවනඩු ද මේ?

 

කලියුගය ද කොහෙද කලින් ඇවිදින් වගෙ

වැළලුවා මෙත් කරුණා සමගම මුදිතා

ලෙළලුවා ෂඩ් වරුණ ධජ පතාක

පෙන්නුවා ලෝකෙටම වැඩකිඩ

සැගවුනා බුදුන් ඉඩදී පිළිමයට

ඉවසනු බැරිව පානා අග දගර

 

මර සෙනග නැටුවා පිළිමය වටේ

ඇදුම් ඇදලා වුනත් හිටියෙ උන් හෙලුවෙන්

උන්ම බැන්නා බිකිණි ඇදගත් ගැහැණුන්ට

නැටුවා කියා හෙලුවෙන් බුදු පිළිම අභියස

සුරාවෙන් ඇතිකළ

මතට තිත තියා

මත්වුනා උන් ආගමේ නාමයෙන්..

 

සිරේ ලූ බුදුන් නිදහස් කරන්නට

සැබෑ බුදු පුතෙකු එනතුරු

ඉන්නවා බුදුන් පාර දෙස බලමින්ම

එනවා මෙන් පේන බුදුපුතුන්

පැත්තකට හැරී මග හැර යනවා

පිළිමයට පසග පිහිටුවා වැද

බුදුනට පිටුපා.. උන් යනව

හොර කඩෙන් ගන්නැහැකි උපාධි සොයාගෙන..

වේකන්සියක් තියෙනව සැබෑ බුදු පුතෙකුට

පිළිමය කඩා බුදුන් මතුකරගන්ට!

 

සයිටම් අර්බුදය තුළ නොදකින පැතිකඩ

ලංකාවේ මිනිසුන් කේවල් කිරීම හරහා සම්මුතියකට පැමිණිම සම්බන්ධයෙන් කොතරම් නොතරම් දැයි තේරුම් ගැනීමට හැකි එක් හොඳ උදාහරණයක් නම් සයිටම් ප්‍රශ්නය ය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව පියවර ගණනාවකින් පසු බැස අවසානයේ එය අහෝසි කරන බවට ප්‍රකාශ කර ඇතත් තාමත් උත්තර නැති ප්‍රශ්න ගණනාවක් ඉතිරි ව තිබේ. තව වටයකින් මේ ප්‍රශ්නය නැවත මතුවන්නට පෙර මෙය විමසිය යුත්තේ ඒ නිසා ය.

මෙය ද ඇතුළත් ව ඕනෑ ම කේවල් කිරීමක් අවසන් විය හැකි ආකාර කීපයක් තිබේ. ඉන් පළමුවැන්න එක් පාර්ශවයක් ජය ගෙන අනෙත් පාර්ශවය පරාජය වීමෙන් කෙළවර වීම ය. අනෙක පාර්ශව දෙකම පැරදීමෙන් විනාශ වීමෙන් අවසන් වීම ය. තෙවැන්න පාර්ශව දෙකම කිසියම් ජයක් ද කිසියම් පරාජයක් ද ලැබ අවසන් වීම ය. සිව්වැන්න පාර්ශව දෙකම ජය ලැබ අවසන් වීම ය.

අපේ කාලකන්නි කමේ මහත කොතරම් ද යන්න  අපේ වදන් වැලේ පරාජය යනුවෙන් ඇති වචනය තුළ ඇති අර්ථයෙන් ම පෙනේ. පරාජය යනු පර-ජය, එනම් අනෙකාගේ ජය ය. ඉදින් ඒ අනුව එක් කෙනෙකුට දිනිය හැක්කේ අනෙකා පරාජය කිරීමෙන් පමණකි. ඒ නිසා ම පාර්ශව දෙකම විනාශ වී යන තුරු අප කරන්නේ මාරාන්තික සටනකි. ඒ කියන්නේ මරා ගෙන මැරෙන සටනකි.

ඇත්තටම කියනවා නම් අප බොහෝ දෙනෙකුට අනෙකා විනාශ වන්නේ නම් ඒ උදෙසා තමන් බිලි වන්නට සිදු වුව ද කමක් නැත. ඒ නිසා බොහෝ විට දිනන්නේ තමන්ගේ පැත්තට වන දහසක් පාඩු දිගින් දිගට දරා සිටීමට හැකි අය ය.

පාර්ශවකරුවන්

සයිටම් ප්‍රශ්නයට පාර්ශවකරුවන් බොහෝ ය. එයින් ප්‍රධාන වන්නේ වෛද්‍ය සිසුන් හා ආණ්ඩුව ය. වෛද්‍ය සිසුන් පිටුපස සෙසු සරසවි සිසුන් ද රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ද තිබේ. සරසවි සිසුන් පිටුපස ජනතා විමුක්ති පෙරමුණ ද පෙරටු ගාමීහු ද සිටිති. රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පිටුපස වෛද්‍යවරුන් වැඩි වීමෙන් තමන්ට තර්ජනයක් වෙතැයි සිතන වෛද්‍ය වරු ද මේ අර්බුදය ඇසුරෙන් පාලන බලය ලබා ගැනීමට පාර කපා ගත හැකි යයි සිතන ඒකාබද්ධ විපක්ෂය ද සිටිති. ඊට අමතරව මේ අරගලය නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් යැයි සිතා ඊට සහය දක්වන ජනතාවක් ද සිටිති.

ආණ්ඩුව පිටුපස සයිටම් ආයතනය ද පුද්ගලික වෛද්‍ය විද්‍යාල බිහිකිරීමට කැමති ව්‍යාපාරික ප්‍රජාව ද සිටිති. ඊට අමතරව මේ රටේ උසස් අධ්‍යාපනයෙන් බැහැර කරනු ලැබ සිටින ඒ සඳහා සුදුසුකම් සපුරා ඇති තරුණ තරුණියන්හට මුදල් ගෙවා හෝ අවස්ථාවක් ලබා දිය යුතු යැයි සිතන ජනතාව ද සිටිති. එපමණක් නොවේ මේ කරන අරගලය පටු වුවමනාවන් වෙනුවෙන් කරනු ලබන අරගලයක් යැයි සිතන ඒ නිසා ම එය වැරදි යැයි දකින ජනතාවක් ද සිටිති.

වෛද්‍ය සිසු පාර්ශවයේ වුවමනාවන් හා සාංකා

වෛද්‍ය සිසුන්ගේ වුවමනාවන් විමසන විට පෙනෙන්නේ පහත දැක්වෙන දේ ය.

  1. වෛද්‍යවරුන් වැඩි වීම නිසා තමන්ගේ වෘත්තීය ඉල්ලුම අඩුවේය යන බිය
  2. පුද්ගලික විශ්ව විද්‍යාල නිසා නිදහස් අධ්‍යාපනය අර්බුදයකට යනු ඇතැයි ද ඒ නිසා දුප්පත් සිසුන්ගේ නිදහස් අධ්‍යාපන අයිතිය නැතිවනු ඇතැයි යන බිය
  3. සයිටම් ආයතනයේ ප්‍රමිතිය දුර්වල වීම හරහා වෛද්‍යවරුන්ගේ ප්‍රමිතිය බාල වෙනු ඇතැයි යන බිය

මේ අතුරින් සමහර ඒවාට එහෙමට පදනමක් නැත. උදාහරණයක් ලෙස තමන්ගේ වෘත්තීය ඉල්ලුම අඩුවේය යන බිය ගෙන බලමු.

ජනගහණයේ දහසකට ඉන්නා වෛද්‍යවරුන් ගණන අනුව ලංකාව සිටින්නේ 127 වෙනි තැන ය. ඒ කියන්නේ රටවල් 126 ක අපට වඩා වෛද්‍යවරුන් ඉන්නා බව ය. වෛද්‍ය ක්ෂේත්‍රයේ විවිධ විශේෂඥතාවයන් අලුතින් බිහිවෙමින් තිබේ. ඒ නිසා ද බොහෝ රටවල ජනයා-වෛද්‍ය අනුපාතය තවදුරටත් වැඩි වනු ඇත. ඒ තත්වය යටතේ ප්‍රමාණවත් ලෙස වෛද්‍යවරුන් බිහි නොවෙතොත් අප රට තවදුරටත් පහළ දර්ශකයකට තල්ලු වනු ඇත.

පශ්චාත් උපාධිය හදාරන්නට වෙනත් රටවලට යන අය නැවත ලංකාවට එන්නේ නැතැයි යන මැසිවිල්ල ද ප්‍රබල ය. එයින් කියන්නේ අප වෛද්‍යවරුන් නිපද වූව ද ඔවුන් බොහෝ දෙනෙකු රට හැර යන බව ය. සයිටම් වෛද්‍ය පීඨයෙන් පිට වෙන අය විශේෂයෙන් රට යෑමට ඇති ඉඩ වැඩි ය. ඒ නිසා ද ඔවුන් තර්ජනයක් වීමේ හැකියාව අඩු ය. ලෝකයේ බොහෝ රටවල ජනගහණය වයසට යමින් තිබෙන අතර වෛද්‍ය විද්‍යාවේ දියුණුව නිසා ම එය වඩ වඩාත් වැඩියෙන් සිදු වනු ඇත. ඊට සමානුපාතිකව ලෝකයේ ම වෛද්‍ය වරුන්ට ඇති ඉල්ලුම වැඩි වනු මිසක අඩුවන ලකුණු නැත. ඒ නිසා ලංකාවේ වැඩි වන ජනගහණයට මෙන් ම වෙන රටවල වැඩිවන ජනගහණයට ද සරිලන වෛද්‍යවරුන් බිහිකිරීමට අපට කටයුතු කළ හැකි ය.

එහෙත් අපට ඇත්තේ දූපත් මානසිකත්වයකි. ඒ කියන්නේ හිතන බොහෝ දෙනෙකුගේ ලෝකය කරදිය වළල්ලෙන් මෙහාට සීමා වෙන බව ය. ඒ නිසා මෙය පුහු බියක් යැයි කීවාට බොහෝ දෙනෙකුට තේරෙන්නේ නැත. බය අපේ ජාතික ලක්ෂණයක් බවට මේ වන විට පත් වී ඇත. තියෙන තත්වයේ ඕනෑම වෙනසකට අප බිය ය.

නිදහස් අධ්‍යාපනය පිළිබඳ බිය

දෙවැන්නට ද ඇත්තේ අර්ධ පදනමකි. දැනටමත් වෛද්‍ය විද්‍යාව හැර අන් සියල්ල ලංකාව තුළ දී මුදල් ගෙවා ලබා ගත හැකි ය. වෛද්‍ය උපාධිය ද දැනටමත් ලංකාවෙන් පිට දී මුදල් ගෙවා ලබා ගත හැකි ය.

අනෙත් අතට ලංකාවේ ප්‍රාථමික අධ්‍යාපනය පවා නිදහස් නැත. ශිෂ්‍යත්ව විභාගය හරහා කීර්තිමත් පාසලකට ළමයෙකු ඇතුළත් කර ගැනීම සඳහා තරගයේ දී ජය ගත හැක්කේ මුදල් තියෙන අයට ය. ඒ දරුවන්ට හා අම්මලාට ලැබෙන ශිෂ්‍යත්ව ටියුෂන් හරහා ය. ද්විතීයක අධ්‍යාපනය කොහොමටත් එහෙම ය. පාසලින් පමණක් උගෙන සරසවි යන අය දැන් හොයා ගැනීමට නැත.

උසස් අධ්‍යාපන ප්‍රස්තා දැන් හරි හරියට පුද්ගලික අංශයෙන් සැපයේ. ඒ නිසා ඒ ගැන ද කියන්නට ඇත්තේ එය කොහොමටත් දැනටමත් නිදහස් නැති බව ය.

එහෙත් සයිටම් වැනි පුද්ගලික විශ්ව විද්‍යාල නිසා මේ තර්කයට අදාළ එක දෙයක් සිදු වීමේ ඉඩ තිබේ. ඒ සයිටම් වල ප්‍රමිතිය ඉහළ ගියොත් ය. ඒ තුළ රජයේ විශ්ව විද්‍යාල උපාධිය දෙවන මට්ටමකට වැටෙතොත් ය. එහෙත් සටන් පාඨය ඇත්තේ එහි ප්‍රමිතිය ප්‍රමාණවත් නොවන බව මිසක එය ප්‍රමිතියෙන් ඉහළ බව කියා නොවේ. එය ද පුහු බියකි. අප දන්නා පරිදි පුද්ගලික බැංකුවල ආගමනයෙන් රජයේ බැංකු වැසුනේ නැත. සිදු වුනේ ඒවා වඩා කාර්යක්ෂම වීම හා ඒවායින් ද වඩා හොඳ සේවයක් ජනයාට ලැබීම පමණ ය.

එහෙම බැලුවහම දෙවැනි බිය සම්බන්ධයෙන් ඉතිරි වෙන එක ම කරුණ නම් සල්ලි නැති දුප්පත් දරුවන්ට මේ අධ්‍යාපනය විවෘත නැති බව ය. ඒ තුළ යම් අසාධාරණයක් විය හැකි බව ය. දැනටමත් වෙන ක්ෂේත්‍රවල මේ තත්වය තිබෙන වටපිටාවක වෛද්‍ය ක්ෂේත්‍රය තුළ පමණක් මේ සාධාරණත්වය තිබිය යුත්තේ ඇයි ද යන්න ප්‍රශ්නයකි.

ඊටත් අමතරව මේ සඳහා රජය ද මැදිහත් වී ගත හැකි එක් පියවරක් තිබේ. ඒ වෛද්‍ය අධ්‍යාපනය ලබා ගැනීමට කැමැත්තෙන් සිටින ඊට සුදුසුකම් සපුරා සිටින සිසුන්ට ණය මුදලක් ප්‍රදානය කිරීම ය. ඒ ණය මුදල රැකියාවක් කරන කාලයේ විදි දෙකකින් ගෙවීමට ද කටයුතු සම්පාදනය කළ හැකි ය. එකක් තමන් ලබන වැටුපෙන් ප්‍රතිශතයක් ලෙස ය. අනෙක දුෂ්කර පළාත්වල සේවය කිරීමෙන් කරන කපා හැරීමක් ලෙස ය. එසේ කිරීම හරහා දුප්පත් සිසුන්ට ද මෙහි අධ්‍යාපනය ලැබිය හැකි ලෙස කටයුතු සම්පාදනය කළ හැකි ය. මෙය ආණ්ඩුව තවමත් මැදිහත් නොවුණු එහෙත් ආණ්ඩුවට මැදිහත් වන්නට හැකි කටයුත්තකි.

ප්‍රමිතිය පිළිබඳ ගැටළුව

අවසාන බිය යුක්ති යුක්ත ය. ප්‍රමිතියෙන් අඩු අය වෛද්‍ය වෘත්තියට ඇතුළත් කර ගැනීම නිසා අර්බුදයක් ඇති වුව හොත් එය වෛද්‍ය වෘත්තිකයන් හැමට ද සමස්ථ සෞඛ්‍ය ක්ෂේත්‍රයට ම බල පාන්නේ ය. මේ ප්‍රමිතිය අදාළ වෛද්‍ය ක්ෂේත්‍රයට පමණ ද?

වෛද්‍ය විද්‍යාව පූජනීය වන්නේ එය වෙනත් සෙප්පඩ විජ්ජා මෙන් නොව හැබෑ ම විද්‍යාවක් යන මතය මේ තර්ක කරන්නන් සතුව තිබේ. ඔවුන්ට අනුව එය මිනිසෙකුගේ ජීවිතය හා මරණය අතර ගනුදෙනුවකි. එහෙත් සෑම විද්‍යාවක්ම වැරදියට යෙදුවොත් ඒවායින් ද මිනිසුන් මරණයට පත් වේ. ගොඩනැගිල්ලක් කඩා වැටුනොත් මියෙන අත්පා අහිමිවන මිනිසුන් බොහෝ ය.

ශ්‍රී ලංකා වෛද්‍ය සභාවට මේ ප්‍රමිතිය සම්බන්ධයෙන් කටයුතු කළ හැකි ය. දැනටමත් විදේශවල පිළිගත් විශ්වවිද්‍යාලවල ශාස්ත්‍රය හදාරා එන වෛද්‍යවරුන් ද වෛද්‍ය සභාව විසින් පවත්වනු ලබන විභාගයකට වාඩි වී තම ප්‍රමිතිය ඔප්පු කළ යුතු ය. මීට අමතරව සායන කටයුතු වල ඇතැයි කියන අඩුපාඩු ද යම් රෝහලකට අනුයුක්ත කොට ලබා දීමෙන් සම්පූර්ණ කළ හැකි කාරණා ය.

එහෙම බැලුවහම වෛද්‍ය සිසුන්ගේ වුවමනාවන් හා අපේක්ෂා ඉටුවන අයුරින් මේ ගැටළුව විසඳීමේ ඉඩකඩ තිබෙන්නේ ය. එහෙත් නොවන්නේ ද එය ම ය.

අප අමතක කරන අනෙත් කාරණය නම් වෛද්‍ය ප්‍රමිතිය වෛද්‍ය අධ්‍යාපනයේ ප්‍රමිතිය ඇති කිරීමෙන් පමණක් සාක්ෂාත් කර ගත නොහැකි බව ය. ඒ සඳහා අඩු ප්‍රමිතයකින් යුත් වෛද්‍යවරුන්ගේ ලියා පදිංචිය අවලංගු කිරීමත් ඇතැම් විට ඔවුන් නැවතත් පුහුණු කිරීමට යොමු කිරීමත් අවශ්‍ය ය.

සමහරු ප්‍රශ්න විසඳෙනවාට කැමති නැත. හිඟන්නන් තුවාල වේලෙනවාට කැමති නැතිවා වාගේ ය. ප්‍රශ්නයක් තිබුනු පමණට ඔවුන්ට ආතල් ය. ඔවුන් උඩ එනවා ය. ඔවුන්ට පිළිගැනීමක් ලැබෙනවා ය. ඇතැම් විට ප්‍රශ්න විසඳන්නට අමාරු මේ නිසා ය.

ආණ්ඩුව පැත්තෙන් ආණ්ඩුව පියවර කීපයක් පසු පසට ගෙන තිබේ. එහෙත් ප්‍රතිපක්ෂය මේ එක ද හැසිරීමකටවත් සාධනීය ප්‍රතිචාර දක්වා නැත.

නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් දිවි දීම

ඔවුන් දිගින් දිගට කියන්නේ තමන් නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් ජීවිතය පුද කිරීමට පවා සූදානම් බව ය. ඔවුන් කියන නිදහස් අධ්‍යාපනයක් මේ රටේ නැත. උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් නම් එය කොහෙත්ම නැත. එය වෛද්‍ය උසස් අධ්‍යාපනය සම්බන්ධයෙන් පවා දැනටත් නැත. විදෙස් රටවල උගෙන පැමිණ වෛද්‍ය සේවයට ඇතුළත් වීමේ ඉඩ තිබෙන නිසා ය. එයින් පෙනෙන්නේ ඔවුන් දිවි දෙන්නට හදන්නේ සැබෑවට නැති නිදහස් උසස් අධ්‍යාපනයක් වෙනුවෙන් බව ය.

එයින් පෙනෙන්නේ මේ දිවි දෙන්නට යන්නේ ඒ සඳහා නම් නොවන බව ය. ඇතැම්හු දිවි දෙන්නට යන්නේ තමන්ගේ ඒකාධිකාරය දිගටම තියා ගන්නට ය. ඒ වෛද්‍යවරුන් ගණනින් අඩු වු විට වටිනාකම වැඩි කර ගත හැකි නිසා ය. තවත් ඇතැම්හු දිවි දෙන්නට යන්නේ දේශපාලන වුවමනා වෙනුවෙන් ය. තමන්ගේ පිළේ දේශපාලනය ශක්තිමත් කර ගැනීමට ය. ඇතැම් අයට මේ දෙකම වුවමනා ය. ඒ නිසා ම මේ කවුරු කවුරුවත් දෙපාර්ශවයේ ම ජය ඇති විසඳුමක් වෙනුවෙන්, තෙවැනි විසඳුමක්, වෙනුවෙන් පෙනී සිටින්නේ නැත. ඒ නිසා පුද්ගලික වෛද්‍ය අධ්‍යාපනය අවසන් කළ යුතු ය යන අවසන් අස්ථානයට මෙහා කිසි දු විසඳුමක් ඔවුන් පිළිගන්නේ නැත.

ඔවුන්ගේ මේ හඩට සුජාත භාවය ලැබෙන තව එක් කරුණක් තිබේ. ඒ දුප්පත් සිසුන්ට මේ නිසා අසාධාරණයක් වෙන බව ය. ඒ සම්බන්ධයෙන් ආණ්ඩුව විසින් තවදුරටත් කළ යුතු වැඩක් තිබේ. ඒ නම් අප කලින් සඳහන් කළ පරිදි අවශ්‍ය සිසුන්ට වෛද්‍ය අධ්‍යාපනය මිලදී ගැනීම සඳහා ණය මුදලක් ප්‍රදානය කිරීම ය. ඔවුන් ණය උගුලකට අසු වීම වැළැක්වීම සඳහා දුෂ්කර පළාත්වල සේවය කිරීම හරහා එය මුදලින් නොවන ක්‍රමයකින් ද ගෙවීමට ඉඩක් ලබා දීම ය. එයින් සයිටම් ප්‍රශ්නයට පමණක් නොව දුෂ්කර පළාත් වල වෛද්‍යවරුන්ගේ හිගයට ද පිළියම් සොයා ගත හැකි ය.

ජනතාවගේ බදු මුදල් වලින් නිදහස් වෛද්‍ය අධ්‍යාපනය ලබා මේ රටේ සැළකිය යුතු කාලයක් සේවය නොකර විදෙස් ගත වන වෛද්‍යවරුන්ගෙන් ද ඒ සඳහා රජය කළ මුදල පියවා ගැනීමට කටයුතු කිරීම හරහා වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කිරීමට හා ණය දීමට අවශ්‍ය මුදල් රජයට සොයා ගැනීමට ද හැකි ය. එසේ කරන්නේ නම් මහජනයා ඉදිරියේ තම සුජාතභාවය පවත්වා ගෙන යෑමට මේ මස් රාත්තලම ඉල්ලා සිටින පාර්ශවයන්ට ඉඩ නොලැබෙන්නේ ය.

රටේ ඉදිරිමග හා අධ්‍යාපනය

රටට ඇති විශාලම සම්පත මානව සම්පත ය. ඒ සම්පත සංවර්ධනය කිරිමට හැකි සෑම දෙයක් ම කිරීම රජයේ වගකීම ය. රජයේ ම මුදලින් එය කිරීමට නොහැකි නම් ඒ සඳහා විය පැහැදම් කිරීමට කැමති අයට එසේ කිරීමට ඇති නිදහස සහතික කිරීම ද රජයේ වගකීමකි. ඒ නිසා ම මස් රාත්තලම ඉල්ලන අය ඉදිරියේ දණ ගැසීමට රජය කටයුතු නොකළ යුතු ය.

ලංකාව දැනට වැඩිමනත් ලෙස පිටරට යවන්නේ ගෘහ සේවිකාවන් රියැදුරන් හා යන්ත්‍ර ක්‍රියාකරුවන් ය. ඒ මැද පෙරදිගට ය. රජය කළ යුත්තේ හෙදියන් වෛද්‍යවරුන් හා ඉංජිනේරුවන් පුහුණු කර රට රස්සාවලට යැවීම ය. ඒ හරහා යන අයට ද රටට ද වැඩි ආදායමක් ලබා ගැනීමට ඉඩ පාදා ගැනීම ය.

එපමණක් නොවේ. රටේ සෞඛ්‍ය සේවා හා අධ්‍යාපන සේවා වර්ධනය කොට ඒවා ලබා ගැනීමට විදෙස් වලින් එන පිරිස වැඩි කර රටට එන අදායම වැඩි කර ගැනීම ය. ඒ හරහා සංචාරක කර්මාන්තය ද දියුණු කිරීම ය. දැනට ඉන්දියාවට සිංගප්පූරුවට යන අපේ රටේ රෝගීන් මේ රට තුළ ම රඳවා ගැනීම හරහා විනිමය ඉතිරි කර ගැනීම ය. අපේ රටේ දක්ෂ උගත් තරුණ තරුණියන්ට රැකියා ලබා දීම ය. ඒ හරහා රට පනින්නට ඔවුන් තුළ ඇති උමතුව අවම කර ලීම ය.

ඒ හැම දෙයම රජයකට විශේෂයෙන් අකාර්යක්ෂම හා දුෂිත රාජ්‍ය යන්ත්‍රයකට තනිවම පහසුවෙන් කළ නොහැකි ය. පුද්ගලික ආයෝජන මෙන් ම විදෙස් ආයෝජන ඒ සඳහා ලබා ගත යුතු ය. මේ අරගල කරුවන්ට එහෙම දැක්මක් නැත. ඔවුන් දන්නේ අතීතයේ තමන්ට තිබුණු තැන රැක ගන්නේ කෙසේ ද යන්න පිළිබඳව බැලීමට පමණ ය. ඒ නිසා ම මේ සම්බන්ධයෙන් වඩා පළල් සමාජ සංවාදයක් ගෙන යා යුතු ය. මේ අරගල කරුවන්ගෙන් කොටසක් සැම ම දිනන විසඳුමක් වෙනුවෙන් දිනා ගත යුතු ය.

මේ සම්බන්ධයෙන් මහජන මතය කුමක් ද යන්න පිළිබඳව මෙතෙක් සමීක්ෂණයක් කර නැත. ඒ සඳහා ස්වාධීන ආයතනයකට ඉදිරිපත් විය හැකි ය. එවැන්නක් නැති නිසා සමාජ මතය ලෙස ප්‍රකාශ වන්නේ වැඩිපුර සද්දය ඇති මත ය. ඒ නිසා මේ ගැන නිවැරදි අස්ථානයක් තුළ දිගින් දිගටම රැඳෙන්නට ආණ්ඩුව ද බිය ය.

මේ ප්‍රශ්නයෙන් ඉක්මණින් ගොඩ ආ යුතු ය. ඒ සඳහා කළ යුතු සමාජ සංවාදය සඳහා විද්වතුන් නොබිය ඉදිරියට ආ යුතු ය. එය ජනතාව ඉදිරිගාමී ජනතාවක් බවට පත් කිරීමට ද අනාගත ප්‍රශ්න වලදී නිවැරදිව සිතන්නට ඔවුන් යොමු කිරීමට ද උදව් වෙනු ඇත.

http://www.dinamina.lk/2017/11/14/%E0%B7%80%E0%B7%92%E0%B7%81%E0%B7%9A%E0%B7%82%E0%B7%8F%E0%B6%82%E0%B6%9C/44300/%E0%B7%83%E0%B6%BA%E0%B7%92%E0%B6%A7%E0%B6%B8%E0%B7%8A-%E0%B6%85%E0%B6%BB%E0%B7%8A%E0%B6%B6%E0%B7%94%E0%B6%AF%E0%B6%BA%E0%B7%9A-%E0%B6%B1%E0%B7%9C%E0%B6%AF%E0%B6%9A%E0%B7%92%E0%B6%B1-%E0%B6%B4%E0%B7%90%E0%B6%AD%E0%B7%92%E0%B6%9A%E0%B6%A9

 

ලේබල් ඇලවීමේ ඛේදවාචකය

ඔහුගේ මව සිංහල පවුලකට අයත් ය. පියා දෙමළ ය. ඔහු සිංහල ද දෙමළ ද එකසේ හසුරුවයි. ඔහු අයත් වන්නේ කුමන ජාතියකට ද?

ඇය කතා කරන්නේ සිංහල ය. දෙමළ හොඳින් හැසිරවීමට ද ඇය අපොහොසත් ය. එහෙත් නම නම් දෙමළ ය. ඒ තාත්තාගේ නම දෙමළ වූ නිසා ය. ඇයගේ ජාතිය කුමක් ද?

ඔහුගේ පියා දෙමළ භාෂාව කතා කරන පවුලකින් පැවත එන්නෙකි. මව සිංහල ය. ඔහුට දී ඇත්තේ සිංහල නමකි. ඔහු අයත් වන්නේ කුමන ජාතියකට ද? මේ සියලු ප්‍රශ්න එන්නේ ආණ්ඩුවේ තොරතුරු වල ජාතිය සඳහන් කරන්නට සිදු වූ විට ය.

ජාතිය ලේබල් වීම

ජාතිය එක් යුගයක වැදගත් ලේබලයක් වන්නට ඇත. ඒ මිනිසුන් වැඩිය මිශ්‍ර නොවුනු වටපිටාවක ය. ඒ යුගයේ පවා ඒ සඳහා ද වැඩිපුර සැළකුනේ භාෂාව ය. යම් ප්‍රජාවක් එකතු කරනු ලැබුයේ, ඔවුන් එකිනෙකාගෙන් උගෙන එක් ආකාරයක ජීවිතයකට හුරු වුනේ, මේ භාෂාව නිසා ය. එසේ එකම ජීවන ශෛලියකට හුරු වූ එකම භාෂාව කතා කරන ප්‍රජාවක් සුවිශේෂී සංස්කෘතියකට ද උරුම කම් කීවේ ය. ඒ තමන් අගයන්නේ කුමක් ද බැහැර කරන්නේ කුමක් ද යන හර පද්ධතියක් ගොඩ නගා ගනිමිනි. ඒ තුළ හැසිරීම පහසු විය. ඒ ප්‍රජාවෙන් බැහැර ව ගනුදෙනු කිරීමේ දී තත්වය ඊට වඩා සංකීර්ණ විය.

එහෙත් මිනිසුන් ලෝකය පුරා විසිර යන්නට වූ විට එකිනෙකා හා මිශ්‍ර වන විට ජාත්‍යන්තර භාෂාවන් කතා කරන විට ඒ නිර්ණායකයේ වැදගත් කම අඩු විය. යටත් විජිතයන් බිහිවන විට ඒ හරහා ආගමික ආක්‍රමණයන් සිදු වන විට එකම භාෂාවක් කතා කරන අය අතර පවා පැහැදිලි සංස්කෘතික වෙනස් කම් ඇති විය.

සංක්‍රමණය මේ  සියල්ල තව වටයකින් අවුල් කළේ ය. සිංහල නොදන්නා එහෙත් සිංහල පවුල්වලින් පැවත එන ඕස්ට්‍රේලියානු ජාතිකයන් සෑහෙන පිරිසක් මේ වන විට ඕස්ට්‍රේලියාවේ ජීවත් වෙති. ඔවුන්ගේ ජාතිය කුමක් ද?

සිංහල බස හැසුරුව ද ක්‍රිස්තියානි ආගම අදහන ප්‍රජාවක හර පද්ධතිය සිංහල බස හසුරුවන බුද්ධාගමෙන් හික්මවනු ලැබූ ප්‍රජාවක හර පද්ධතියට තරමක් වෙනස් විය. ඒ අනුව සිංහල හෝ දෙමළ ලේබලය අහවල් සංස්කෘතිය නියෝජනය කරන්නේ යැයි කියන්නට ද බැරි ය.

ජාතිය මෙසේ අවැදගත් අර්ථ විරහිත නිර්ණායකයක් බවට පත් වෙමින් තිබෙන්නේ වුව ද කෙනෙකුට කතා කළ හැකි භාෂාව නම් තවදුරටත් වැදගත් අර්ථවත් නිර්ණායකයක් විය හැකි ය. කතා කරන භාෂාව වෙනුවට වර්තමානයේ එහෙමට කියන්නට අර්ථයක් නැති ජාතිය මත පදනම් කරගෙන මිනිසුන් වර්ග කරන්නේ ඇයි ද යන්න ප්‍රශ්නයකි. ශ්‍රී ලංකාවේ රජයවත් අඩු වශයෙන් තම ලියකියවිලි වල මේ ලේබලය ඉවක් නොකරන්නේ ඇයි ද යන්න ඒ හරහා ම මතුවන ප්‍රශ්නයකි. රජය ද ශ්‍රී ලාංකික යැයි රටේ ජනතාව නොහඳුන්වා සිංහල දෙමළ මුස්ලිම් අනන්‍යතාවයක් තවදුරටත් තහවුරු කරන්නේ ඇයි ද යන්න ගැටළුවකි.

මිනිසුන් තමන් සිංහල දෙමළ හෝ මුස්ලිම් ලෙස හඳුන්වා ගැනීම ගැටළුවක් නොවේ. තවදුරටත් මේ ප්‍රජාවන් තුළ කිසියම් සංස්කෘතික අනන්‍යතාවයක් භාෂාව අභිබවා තිබෙන හෙයිනි. එහෙත් එය දියව යන අනන්‍යතාවයකි. මිශ්‍ර විවාහයන් තුළ මේ යැයි නිශ්චය ලෙස කිව නොහැකි අනන්‍යතාවයකි. ගැටළුව නම් ආණ්ඩුව ඒ වෙනස තවදුරටත් තහවුරු කිරීමට යෑම ය. ඒ තුළ අප සඳහන් කළ වර්ගයේ පුද්ගලයින් අපහසුතාවයට පත් කිරීම ය.

ආගමේ හණ

ආගම ජාතියටත් එහා ගිය එකකි. අප ආගම ලෙස ගන්නේ අපේ දෙමාපියන්ගේ ආගම ය. එය පරම්පරාවෙන් පරම්පරාවට යන එකක් ලෙස ද සළකනු ලැබේ. අන් ආගමකට හරවා ගැනීම පාප කර්මයක් කර තිබේ. එය අතීතයෙන් අප ගෙන එන ලේබලයකි. ඊට වඩා වැඩි වටිනාකමක් ආගමකට නැත. ප්‍රශ්නය ඇත්තේ ඒ ලේබලය අයින් කොට වෙන ලේබලයක් අලවන්නට ගිය විට ය.

බොහෝ අයට බෞද්ධ ලේබලය ඇතත්, ඒ හා සම්බන්ධ චාරිත්‍රයක් වාරිත්‍රයක් හදිසියේ කරතත්, ඉන් එහා බෞද්ධ කමක් ඔවුන් තුළින් ප්‍රදර්ශනය වන්නේ නැත. බොහෝ ආගමිකයන් සම්බන්ධයෙන් ද තත්වය ඊට වෙනස් නැත. මේ නිසා ම තමන් විසින් කරන ප්‍රකාශනයකින් මිස කවරෙකුගේ හෝ ආගම අහවල් එකකැයි සහතික කර ගැනීමේ ක්‍රමයක් ද නැත.

දේශපාලන සටනේ දී ලබා ගත හැකි වාසිය පිණිස තම ආගම අතහැර බුද්ධාගම වැළඳගත් දේශපාලනඥයෝ ද අමතර විවාහයක් කර ගැනීමට මුස්ලිම් ආගම වැළඳගත් පාරම්පරික බෞද්ධයෝ ද අප අතර සිටිති. ඒ කියන්නේ මේ ලේබලය වුව ගලවා ඉවත් කර පහසුවෙන් වෙන එකක් අලවා ගන්නට හැකි බව ය.

ආගමක් දහමක් නොඅදහන එකා නරුමයෙක් වන සමාජයක කුමක් හෝ ආගමක් කෙනෙකුට තියෙන එක හොඳ ය. ඉතින් දෙමාපියන් දායාද කළ එක තියා ගැනීම ඒ සඳහා පහසුම එක ය.

වෙසක් දිනයක කොඩියක් එල්ලා තැබීමෙන් ඉඩ අවසර තියෙන පෝය දිනයක පන්සලකට ගොඩ වැදීමෙන් හිතේෂියෙකු මැරුණු විට පාංශුකූලය දීමෙන් හත් දවසේ තුන් මාසයේ වසරේ දානය දීමෙන් මේ ලේබලයට සාධාරණය ඉෂ්ඨ කිරීමට බෞද්ධයෝ පෙළඹී සිටිති. සෙසු ආගම් වල ද මෙවැනි චාරිත්‍රයන් කීපයක් අනුගමනය කිරීමෙන් ලේබලයට අවශ්‍ය සුදුසු කම් සපුරාලිය හැකි ය.

මේ එක ද කටයුත්තක් වත් නොකළත් ලේබලය අලවා ගෙන සිටින අය ද වෙති.

ප්‍රශ්නය මිශ්‍ර විවාහ නිසා මේ කටයුත්ත සංකීර්ණ වීම ය. තාත්තා ක්‍රිස්තියානි වී අම්මා බෞද්ධ වූයේ නම් ගත යුත්තේ කාගේ ආගම ද? බොහෝ දරුවන් මේ නිසා අසරණ වේ. තීරණය බොහෝ විට වැඩි බලයක් පවුල තුළ ඇත්තේ කාටද යන්න මත හෝ වැඩි බලපෑමක් කළ හැක්කේ කාට ද යන්න මත හෝ තීරණය වනවා ඇත.

අප මේ කුලල් කාගන්නේ එහෙමට මේ යැයි කියන්නට පදනමක් නැති ආගමක් අල්ලා ගෙන ය. සමහරු දිවි දෙන්නට යන්නේ ද පදනමක් නැති මේ ලේබල් එකට ය.

කුලයේ රඟ

කුලය ඊටත් එහා ය. ගමක නම් අහවලා අහවල් කුලයේ ය යන්න පරම්පරාවෙන් පරම්පරාවට බාර දුන් තොරතුරුවල ගැබ්ව තිබුනේ ය. දැන් නගරයේ දී මේ කුලය හොයා ගන්නට බැරි ය. එහෙම වුනහම සොයා ගත්තේ නම බැලීමෙනි. සියම් නිකායේ මහණ කරන්නට කෙනෙකු හොයන එක දැන්වීමක තිබුනේ පෙලපත් නම “ගේ“ යන්නෙන් ඉවර වෙන අය නොව “ලාගේ“ යනුවෙන් ඉවර වෙන අය අයැදුම් කළ යුතු බව ය. මේ නම ද දැන් ඕනෑ වෙලාවක වෙනස් කළ හැකි නිසා නමෙන් ද එහෙමට කුලය කියන්නට එන්න එන්න ම බැරි වන්නේ ය. ජාතිය සම්බන්ධයෙන් දුර්වල නිර්ණායකයක් ලෙස භාෂාව තිබුන ද එහෙමවත් එකක් කුලයට නැත. දිනෙන් දින කුල හංවඩුව පවත්වාගෙන යෑම අසීරුවෙමින් තිබේ.

එසේ වුව ද පන්සලේ දී නම් මහණ වෙන්නට ද ගිහි ජිවිතයේ නම් විවාහයක් කරගන්නට ද කරන උත්සහයන් හි දී මේ ඔප්පු කරගන්නට පවා අමාරු කුලය ඉදිරියට  පැමිණෙයි. අරණායක කන්දක් නාය ගියේ ය. ස්වභාව ධර්මය එහි දී කුලය සළකා බැලුවේ නැත. අගතියට පත් පාර්ශවයන් අතර කුල වන්තයෝ ද කුල හීනයෝ ද සිටියෝ ය. ඒ දෙගොල්ලන්ට ම සමව බෙදන්නට සූදානම් ආණ්ඩුවේ ආයතන වලට තර්ජන පැමිණියේ ය. දෙගොල්ලන්ටම එක සමාන ගෙවල් දීම කුලවන්තයන්ගේ කෝපයට හේතු වී තිබුනේ ය.

ඒ කියන්නේ තවමත් කුලය මිනිසුන් අතරමං කරන බව ය.

ලේබලයේ බර

මේ සියල්ලෙන් කියන්නේ කොටු ගසා අපව බෙදා වෙන් කරන මේ ලේබල් වල එහෙමට හරයක් නැති බව ය. එයට යම් වටිනාකමක් අතීතයේ තිබුනා නම් එය ද මේ වන විට ක්ෂය වෙමින් තිබෙන බව ය. මේවා එල්ලා ගෙන සිටීම අනාගතයට යන ගමනක බාධක බවට පත් විය හැකි බව ය. මේ ලේබල් බොහෝ විට ගැටුම් වලට හේතු වී ඇති බව ය.

මේ ලේබල් නිසා සිදු වන ඊළග දේ නම් සැබැ ස්වරූපය වසන් වීම ය. ඒවා බොහෝ තන්හි පාවිච්චියට ගැනෙන්නේ ද සැබෑ ස්වරූපය වුවමනාවෙන් වසන් කිරීම සඳහා ය.

අත පුරා පිරිත් නූල් දුසිම් ගණනක් බැඳ සිටින නීල හොරු පන්සලේ එකත්පස්ව බණ අහන විට සිය සැබෑ ස්වරූපය වසන් කර ගන්නේ ය. කෙනෙක් වේදිකාවේ ජාතිය වෙනුවෙන් කෑ මොර දෙන විට ද තම සැබෑ ස්වරූපය යටපත් කර ගන්නේ ය. වෙනත් ලෙසකින් කියන්නේ නම් මේ ලේබල්, හොරුන්ට හා වංචාකාරයින්ට සැගව ගන්නට මනරම් ආවරණයක් සපයන්නේ ය.

මේ ලේබල් නිසා සැබෑ ස්වරූපය මතු වන අවස්ථා ද තිබේ. ඒ වසලයෙක් වන්නේ ජන්මයෙන් නොව ක්‍රියාවෙන් යැයි කියූ බුදුන්ගේ ශ්‍රාවකයන් තමන් බවට ලේබලයක් අලවා ගනිමින් ඒ ශරීරයෙන් ම කුල හීනයන් යැයි ගරහමින් අන් මිනිසුන්ට මග අහුරන්නට ලජ්ජා නැති ව ඉදිරියට එන විට ය. බෞද්ධ ලේබලය පලා ගෙන එවිට මතුවන්නේ ම්ලේච්ඡත්වය යි.

ලේබල් පැටලීම

බෞද්ධ ලේබලයක් සමග කුල ලේබලයක් අලවා ගත නොහැකි ය. එය සමාන කළ හැක්කේ අරක්කු වීදුරුවක් අතේ ඇතිව අමද්‍යප සටන් පාඨ හඩ නගන කෙනෙකුට ය. නැතිනම් අරක්කු විදුරුවක් තොලගාන අතරතුර සුරාමේරා සිල් පදය මතුරන කෙනෙකුට ය. ලොකු බොරුවක් කියන්නට තතනමින් මුසාවාදා සිල්පදය කියන ස්වාමින් වහන්සේ නමකට ය.

බෞද්ධ ලේබලයක් සමග ජාති ලේබලයක් භික්ෂුවකට අලවා ගත නොහැකි ය. ඒ බුදුන් වහන්සේ සිය පියාණන් අමතා තමා අයිති ශාක්‍ය වංශයට නොව බුද්ධ වංශයට බව අසා එයින් පාඩමක් භික්ෂූන් විසින් උගත යුතුව තිබුණ නිසා ය. එවන්නෙක් ජාතිය බේරා ගැනීම උදෙසා සෙසු මිනිසුන් හිංසනයට අවඥාවට ලක් කරන්නට ඉදිරියට එන විට ඔහුගෙන් ගිලිහෙන්නේ බෞද්ධ ලේබලය ය.

අලවා ගෙන ඇති ලේබලය ඇත්තටම කුමක් දැයි සෙසු මිනිසුන්ට සැක පහළ වන්නේ මෙවන් විටක ය. ඒ ගැන සැකයක් ඇති කර ගත යුතු නැත. මෙසේ දිගින් දිගට විමසා බලන්නට කැමති නම් අවසානයේ නැවත නැවතත් පෙනෙන්නේ මේ ලේබල් වල එහෙමට අර්ථයක් නැති බව ය. සැබෑ වටිනාකමක් නැති බව ය. මේ ඔක්කොම බොරුව පදනම් ව පවතින බව ය.

පරණ ලේබල් වෙනුවට අලුත් ඒවා

මෑතක දී සමාජ ගත වෙමින් තිබෙන තවත් ලේබලයක් තිබේ. ඒ පාසල පාදක කරගෙන ය. ඒ මම ආනන්දියන් මම නාලන්දියන් මම පුස්බෙටේරියන් ලෙස ය. ඒ ඔක්කොමත් අර කලින් සඳහන් කළ ලේබල් වගේ ම පුස් ය. පුස්ම පුස් ය.

මේ පාසල් වලින් බිහිවුණු වටිනා මිනිස්සු සිටිති. ඒ අතරම මේ පාසල් වලින් ම බිහිවුණු අමනුස්සයෝ ද සිටිති. දෙවැනි කොට්ඨාෂය ගැන දැන ගත්තොත් මේ පාසලක පස් පාගන්නටත් මිනිසුන් දෙවරක් සිතන්නට ඉඩ තිබේ. ඔවුන්ව පස්සට දමා කීර්තිමත් මිනිසුන් ඉදිරියට ගැනීමෙන් පාසලටත් ඒ පාසලට ගිය හැමටත් බැබලිය හැකි ය. වෙන්නේ ඒක ය.

පාසල පමණක් නොවේ. ශිල්ප ලද සරසවිය ද හැදුණු වැඩුනු ගම් පළාත ද ප්‍රදේශය ද ලේබලයක් අලවා ගැනීමට නිමිත්තකි. වමෙන් ගියත් අපි දකුණේ යනුවෙන් වාහන වල වචනයෙන් ලියමින් කියා ඇත්තේ මේ ප්‍රදේශ පාදක ලේබලයක උරුමය ය. තමන්ගේ වෘත්තීය ද ඇතැම් විට සේවාව ද මේ ආකාරයෙන්ම ලේබල් අලවා ගැනීමට යොදා ගැනේ.

මේවා දියුණු යැයි කියන ලෝකය තුළ ගොඩ නැගී ඇති වැඩවසම් ලක්ෂණ පෙන්වන වෙනත් නම් වලින් හැඳින්වෙන කුල ගෝත්‍රයන් ය.

ලේබලයේ වටිනාකම

මේ හැම ලේබල් කාරයෙකුම උත්සහ කරන්නේ තමන්ට නැති අලංකාරයක් ලබා ගැනීමට ය. මේවා වැදගත් වන්නේ නැණ ගුණ නැති මිනිසුන්ට ය. කියන්නට තරම් වටිනාකමක් තමන් සතුව නැති මිනිසුන්ට ය. තමන් තනිව ගත් විට නිකම් ම නිකම් මිනිහෙකු වුනහම බැබලෙන්නට බාහිර අලංකාරයන් වුවමනා ය. මේ ලේබල් අඩුවැඩි වශයෙන් සපයන්නේ ඒ බාහිර අලංකාරය ය.

මේ ලේබල් වලට සැබෑ වටිනාකමක් නැති වුව ද ප්‍රායෝගික ලෝකයේ ඒවාට වටිනාකමක් ලැබී තිබේ. ඒ මේ ලේබල් අලවා ගෙන ඉන්නා කණ්ඩායම් විසින් මේවා සමාජ ගත කිරීම හරහා ය.

වෙළෙන්දන් විසින් ප්‍රචාරණය හරහා මිනිසුන් නොමග ගෙනියන ආකාරයට ම, නොවටිනා දේ වටිනා දේ ලෙස සමාජ ගත කරමින් විකුණන ආකාරයට ම, මේ ලේබල් හිමිකරුවන් විසින් ද ප්‍රචාරණය හරහා මේ ලේබල් වලට නැති වටිනාකමක් ඇති කොට පවත්වාගෙන යනු ලැබේ. එසේ කරන අයට මේ ලේබල් හිමිකරුවන්ගේ විශ්වාසය හා කැමැත්ත ද දිනාගත හැකි ව තිබේ. තමන්ගේ ලේබලය උඩ දාන මේ උදවිය ප්‍රතිපක්ෂ ලේබල් යට දාන්නට ද වග බලා ගන්නේ වෙළඳ ප්‍රචාරණයන් නැවත නැවතත් සිහි ගන්වමින් ය.

ලේබලයේ අභාග්‍යය

නීතිය ඉදිරියේ හැම දෙනා සමාන යයි කීව ද එසේ නොවන්නේ ද මේ ලේබල් නිසා ය. නීතිය නැමිමට ද මේ ලේබල් නිසා නීතිය ක්‍රියාත්මක කරන, යුක්තිය පසිඳලන, ආයතන වලට සිදු වේ.

එකම ලේබලය අලවා ගත් අය එකිනෙකාගේ පිට කසා ගැනීමට එකිනෙකා වෙනුවෙන් ඉදිරිපත් වන නිසා ම කල්ලි ගැසීමට ද අවස්ථාවක් මේ ලේබල් නිසා ලැබී තිබේ. ඒ කල්ලි අතර ආරවුල් ද ගැටුම් ද ඒ නිසා ඇති වේ. ඒ කල්ලි අතර එකිනෙකා අභිබවන්නට ද මඩින්නට ද වුවමනාව ඇති වේ. ආයතනයන් තුළ ඇති බෙලිකැපීම්, කකුළෙන් ඇදීම්, වෘත්තීය හිණි මගේ උඩට ගැනීම්, වැනි කටයුතු වලට අනුග්‍රහයක් ද මේ කල්ලි වලින් ලැබේ. ඇතැම් අය සුපර් ස්ටාර්ලා වෙන්නේ ද තමන්ගේ පළාතේ ලේබලය ඉදිරියට දමමින් චන්දය හිගමනේ යෑමෙන් ය. කල්ලියේ අනුග්‍රහය ලබා ගැනීමෙන් ය.

මේ ලේබල් වලින් සිදු වන නරක ම දෙය දක්ෂ ගුණ යහපත් මිනිසුන් යට යෑම ය. හරි ලේබලය නොතිබුණොත් උන් කැපී විසි වී යෑම ය. විශේෂයෙන් ලේබලය භාවිතා කිරීමට ලජ්ජාවක් ඇති යහපත් මිනිසුන් වැඩි වැඩියෙන් පසු පසට යෑම ය.

රටක් ඉදිරියට යෑමට නම් ඉදිරියට ගත යුත්තේ ලේබල් කාරයින් නොාවේ. ගුණ යහපත් දක්ෂ මිනිසුන් ය. ඒ නිසා ද මේ ලේබල් පිළිකෙව් කළ යුතු ය. ඒවා දූරිභූත කළ යුතු ය. ලේබල් නැති ලෝකයක් සෑදිය යුතු ය.

අනාගතය එලාරලා හා දුටුගැමුණුලාගේ ද?

සමහරු කැමති අතීතය අනුසාරයෙන් අනාගතය දැකීමට ය. එහිම දිගුවක් ලෙස දැකීමට ය. දුටු ගැමුණු කුමාරයාට වෙස් ගන්වා ජවුසං නටන බොහෝ දෙනෙකු ඒ අතීතය අනුසාරයෙන් අනාගතය දකින්නට කැමති අය ය. ඔවුන් හොයන්නේ සටන් කරන්නට එළාර ලා ය. අනාගතය තුළ ඔවුන් දකින්නට කැමැත්තේ එදා කළ විජිතපුර සටන ම ය. ඒ නිසා මේ මොහොතේ ඔවුන් සොයමින් සිටින්නේ දස මහා යෝධයන් ය. ඥානසාරලා හැටියට මතු වන්නේ ඒ තේරපුත්තාභයලා බව මේ උදවිය අදහති. ඔවුනට අවශ්‍ය වන්නේ අන් මිනිසුන්, මිනිසුන් නොව, තිසරණ සරණ නොගිය බාග මිනිසුන් හැටියට උගන්වන සංඝයා වහන්සේලා ය.

අවසාන අපේක්ෂාව විජාතිකයන්ගෙන් සහ සුළු ජාතිකයන්ගෙන් රට බේරා ගැනීම ය. එදා දුටුගැමුණු කළාක් මෙන් රට බේරා ගැනීම ය.

වසර තිහක යුද්ධය අවසන් වූයේ නන්දිකඩාල්වල කළ එවැනි ම වූ විජිත පුර සටනකිනි. ඒඅනුව ඒ සටනින් පැරදවූයේ ප්‍රභාකරන් නමින් පෙනී සිටි එලාර ය. ඒත් මේ උදවියට අනුව හෙටත් අනිද්දාත් දිගටම අපට සිදු වන්නේ විජිතපුර සටන් වලට සූදානම් වීමට ය. ඒ අනාගතයේ දී නැගිටින්නට නියමිත යැයි කියන එලාරලාට ද එරෙහි ව ය.

ඉතින් මේ අනුව අනාගතය යනු අතීතය දිගින් දිගට නැවත සිදු වීමකි. ඒ නිසා හෙට දවසේත් අපට දුටුගැමුණුලා පමණක් නොව දස මහා යෝධයන් ද අවශ්‍ය වනු ඇත. මහරජ ගැමුණු චිත්‍රපටයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් ද නන්දිකඩාල් සටන නැමැති පොත විෂයෙහිලා නැගුණු උනන්දුවෙන් ද පෙන්වන්නේ මේ ජන මනස ය.

මේ මතය සනාථ කරන සාක්ෂි වර්තමානයෙන් ද ලැබෙන බව ඔවුන්ගේ මතය ය. බොහෝ රටවල ජාතික වාදී ව්‍යාපාරයන් ශක්තිමත් වීම ඒ සඳහා ඉදිරිපත් වන එක් ප්‍රබල සාක්ෂියකි. ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැටලෝනියාව දැගලීම පමණක් නොව ජාතිවාදය කරපින්නා ගත් ට්‍රම්ප්ගේ ආගමනය ද මේ සඳහා ඉදිරිපත් වන සාක්ෂි අතර වෙයි.

ඇත්තටම අනාගතය කෙබඳු වේ ද? හෙටත් අපේ සටන ඇත්තේ එලාරලා සමග ද? මේ ඉදිරිපත් කරන වත්මන් සාක්ෂි වලින් ලෝකය යන දිසාව ඇත්තටම පෙන්නුම් කරන්නේ ද? ඊට ප්‍රතිපක්ෂ සාක්කි තිබේ ද? ඒ මොනවා ද? මේ ලිපියේ අදහස ඒ කරුණු ගැඹුරින් විමසීම ය.

අනාගතය අතීතය අනුසාරයෙන් දැකිය යුතු ය යන මතයට ප්‍රතිපක්ෂ මතයන් දෙකක් තිබේ. ඉන් එකකින් කියවෙන්නේ අනාගතය අතීතයෙන් ස්වාධීනව උත්පත්තිය ලබන බවත් එය කෙසේ දැයි විමසීමට ලෝකයේ විවිධ ක්ෂේත්‍රයන්හි සිදුවෙමින් තිබෙන වෙනස්කම් සැළකිල්ලට ගත යුතු බවත් ය. ඒවා එකතු කොට ඒ අනුසාරයෙන් ලෝකය දැකිය යුතු බවත් ය. ඊළග මතයෙන් කියවෙන්නේ අනාගතය අප විසින් ගොඩ නගා ගත යුත්තක් බව ය. එය දී ඇති දෙයක් නොවන බව ය. එය දැනටමත් සිදුවන දෙයින් පමණක් නොව අප විසින් අද කරන දෙයින් ද ගොඩ නැගෙන බව ය. අප ඊළග ඡේද කීපයෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මින් පළමු මතය ය. ඒ දැනට ලෝකයේ තිබෙන ප්‍රවණතා සියල්ල සැළකිල්ලට ගෙන ඒ තුළින් අනාගතය කෙබඳු වේ දැයි බැලීම ය.

එසේ ලෝකය විමසන අපට පෙනෙන්නේ ලෝකය අන් කවරදාටත් වඩා එකිනෙකා මත රඳා පවතින තැනකට තල්ලු වෙමින් පවතින බව ය. අද අප කඩෙන් මිල දී ගන්නා බොහෝ භාණ්ඩ හා සේවාවන් සඳහා රටවල් ගණනාවක ජනයාගේ දායකත්වය ලැබී තිබෙන බව ය.

පහත අප මූණු පොතෙන් උපුටා දක්වන සටහන අපේ මේ රඳා පැවැත්ම හකුලා දක්වන්නේ ය. අපේ වෙඩිම එකම කවලමකි – ප්‍රී ෂූට් මැලේසියාවෙ, කොල්ලගෙ ඇඳුම යුරෝපියන්, කෙල්ලගෙ ඇඳුම ඉන්දියන්, වේල් එක පෘතුගීසි, ගොයින් එවේ එක ගුජරාටි, කේක් ක්‍රිස්තියානි, ජයමංගල ගාථා සිංහල, අෂ්ඨක සංස්කෘත, පෝරුව හින්දි, බෑන්ඩ් එක බටහිර, කෑම චයිනීස්, බීම ඉතාලි, ලියාපදිංචිය රෝම ලන්දේසි, ස්තුති කතාව ඉංග්‍රීසි, මධුසමය සිංගප්පූරුව, බීල කියවන එකා විතරක් පට්ට සුද්ද සිංහල ය. ඒ සේවාවක රඟ ය. භාණ්ඩයක සැකසුම ඊටත් එහා ය.

අප කන හාල් නිපදවන ගොයමට දමන පොහොර එන්නේ එක රටකිනි. කෘමින් විනාශ කරන්නට ඉහින මැහි තෙල් එන්නේ තවත් රටකිනි. කුඹුරු මඩින යන්ත්‍ර ද ගොයම් කපන යන්ත්‍ර ද එන්නේ තව රටකිනි. ඒවා වෙළඳපොලට ගෙන එන වාහන එන්නේ එහැම පිටින් ම වෙනත් රටකිනි. ඒ යන්ත්‍ර සූත්‍ර හා වාහන වලට ගහන තෙල් එන්නේ තවත් රටකිනි. තවමත් අප රටෙන් හාල් නිපදවීම සඳහා යෙදෙන එක ම දෙය ශ්‍රමය පමණක් ම විය හැකි ය. දැන් කන්නේ අපේ රටේ, අප වවන වියෙන් එන, හාල් යැයි කීවා ම ඒක තුළ ඇත්තේ බොරු පුරාජේරුවක් පමණ ය.

ජාතික රාජ්‍යයකට වෙනදා මෙන් තමන්ගේ පුරවැසියන් එහැම පිටින් ම පාලනය කළ නොහැකි ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් වී කරන බලපෑම් වලට එහැම පිටින්ම පිටුපස හැරවීමට ද ඒවාට නොහැකි ය. එසේ කරන රාජ්‍යයන්ට සම්බාධක පැනවීමට ඉදිරිපත් වන රටවල් ද බොහෝමයකි. එවැනි සම්බාධක ඉදිරියේ නොසැලී සිටිය හැකි රටවල් ඇත්නම් ඒ අතලොස්සකි.

සිරියාවේ ගැටුම් උග්‍රවන විට ලක්ෂ ගණන් සරණාගතයින් සේ එන ජනයා බාර ගැනීමට ජර්මනියට කැනඩාවට සහ තව බොහෝ රවටලට සිදු වුනේ ය. බුරුමයේ රොහින්ගියා ජනයාට විරුද්ධව මිලිටරි මෙහෙයුම් තීව්‍ර වෙන විට උන් සරණාගතයින් වන්නේ ය. අපේ වෙරළෙන් ද ඊයේ පෙරේදා මතු වූයේ එවැනි පිරිසකි. අපේ රටේ ජාති වාදී කෝලාහල නිසා රටින් පැන ගත් අය අදටත් ලෝකයේ විවිධ රටවල රැකවරණය ලැබ සිටිති. මේ මිනිසුන් සිය රටේ ප්‍රශ්න ලෝකයට ම ගෙනියන්නේ ය. එක තැනක අර්බුදයක් තව තැනක අර්බුදයන් රැසක් හදන තරමට ලෝකය ගමක් වී තිබේ. ඒ නිසා ද තනියම ජීවිතයක් ගැන සිතා ගැනීම උගහට ය. රටකට සීමා වුනු බුද්ධිමතුන් දැන් අඩු ය. ඔවුන් සිය සේවාව දේශ සීමාවලින් ඔබ්බට ලබා දෙමින් තිබේ.

තාක්ෂණය නිසා අප එකිනෙකා වඩ වඩාත් කිට්ටු වී තිබේ. ඒ තාක්ෂණය ම ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක් බවට පත් කරමින් තිබේ. ඒ නිසා ම බොහෝ දෙනා ඉංග්‍රීසි උගනමින් තිබේ. එහි තේරුම වන්නේ පොදු භාෂාවක් හොයන අපට හෙට අනිද්දා එය අපේ ඔඩොක්කුවට ම වැටෙන්න නියමිත බව ය.

විද්‍යාව විසින් ආගම පිළිබඳ ඇති විශ්වාසයන් ප්‍රශ්න කරමින් තිබේ. බොහෝ ආගම් අදහන අය පවා ආගමේ කියවෙන හැම දෙයක්ම ඒ හැටියට ගැනීමට සූදානම් නැත. ස්වීඩනයේ නිරාගමිකයන් ප්‍රතිශතයක් හැටියට සියයට අසූවකට ආසන්න ය. නෙදර්ලන්තයේ එය සියයට හැට හතකි. දියුණු බොහෝ රටවල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ ආගම භෞතික දියුණුව සමග වල් වැදීමට නියමිත බව ය. යුරෝපයේ බුද්ධාගමට කිසියම් ආකර්ෂණයක් ඇති ව තිබුනත් ඒ ආගමට නොවේ. දර්ශනයට ය.

මේ නිසා ම භාෂාව හා ආගම මුල් කර ගෙන ඇති බෙදීම් හෙට ලෝකය තුළ වඩාත් අඩුවන ලකුණු පෙනෙන්ට තිබේ. රට රටවල සීමා මායිම් පවා බොඳ වෙමින් තිබේ. ඒ සියල්ල සළකා බලන අපට පෙනෙන්නේ අනාගතය තුළ එලාරලාට හා දුටුගැමුණුලාට රගපාන්නට එහෙමට භූමිකාවක් නැති වෙන්නට පුළුවන් බව ය. වත්මන් තේරපුත්තාභයලාට අබසරණ බව ය. විජිතපුරය සිනමාවෙන් මහ පොළොවට ගැනීම අමාරු වෙන්නට පුළුවන් බව ය.

එයින් කියන්නේ සියල්ල සුන්දර බව නොවේ. තව විජිතපුර සටනකට ඉඩ නැති බව නෙවේ. ඈත අනාගතය එකකි. මෑත අනාගතය තව එකකි. අප කතා කළේ ඈත අනාගතය ගැන ය. මෑත අනාගතය සුන්දර හෝ අසුන්දර වනු ඇත්තේ අද අප කරන කියන දේ අනුව ය.

ඒ අනාගතය දෙස බලන්නට අපට ඇති තෙවැනි ක්‍රමය යි. මේ කියන අනාගතය අප විසින් නිර්මාණය කර ගත යුත්තකි. එහි දී අප කරනුයේ අනාගත දිශානතිය වෙන කවුරුන් වත් විසින් නොව අප විසින් ගොඩ නගන්නක් හැටියට සැළකීම ය. එසේ බලන මිනිසුන්ට අතීතය අදාළ වන්නේ පාඩම් ඉගෙන ගැනීමට ය. අතීතයේ කළ වැරදි නොකරන්නට ඉටා ගැනීමට ය. එයින් ස්වායත්තව අනාගතය ගොඩ නගා ගත හැක්කේ කෙසේ දැයි ඔවුහු විමසති.

බලය කොළඹට කේන්ද්‍රගත වීම නිසා ද තමන්ට හුරු බසකින් ගනුදෙනු කර ගත නොහැකි වීම නිසා ද ව්‍යාපාරික අවස්ථා, අධ්‍යයන අවස්ථා, රැකියා අවස්ථා අහිමි කරනු ලැබූ උතුරු නැගෙනහිර ජනතාවට සිය කටයුතු කර ගෙන යෑමට ඉඩ සළසා දීම කෙරෙහි අප යොමු වන්නේ නම් නැවත එලාර කෙනෙකු බිහිවීමට තිබෙන ඉඩ අපට අවම කර ගත හැකි ය.

තමන් අතරම සිදු වුනු ගැටුම් නිරාකරණය කර ගැනීමට සිංහල පොලීසියකට යෑමට බල කෙරුණු ඒ නිසා අසහනයට පත් මිනිසුන්ට මින් ඉදිරියට එවැනි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු නොවේ නම් ඔවුන්ගේ දුක්ගැනවිලි අවම කළ හැකි ය. බාහිර බලවේගයන් විසින් භාවිතා කරනු ලබන්නේ මේ දුක්ගැනවිලි ය. ඒවා නැතිව ගිය කල කැරැලි ගසන්නට මිනිසුන් ඉදිරිපත් වන්නේ නැත.

යුද්ධය නිසා තමන්ගේ ඉඩම් වලින් පළවා හරිනු ලැබූ ජනයාට ඒ ඉඩම් උරුම කර දිය හැකි නම්, ඒ සඳහා අත හිත දෙන්නට දකුණ ඉදිරිපත් වේ නම්, සමගි සම්පන්න රටකට පාර කැපිය හැකි ය.

1958, 1978, 1981 සහ 1983 ඇති වූවාක් වැනි දෙමළ ජනතාව ඉලක්ක කරගත් හිංසනයන් ද 2014 ඇති වූ බේරුවල අලුත්ගම සිද්ධිය වැනි මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගත් ප්‍රකෝපකාරී ක්‍රියා ද  ඇති නොවීමට මග බලා ගැනීමෙන් මේ රටේ සහජීවනය ගොඩ නැගිය හැකි ය. එවිට පෙරලා කරන පහර දීම් ද සිදු නොවනු ඇත.

බහුතරයක් විසින් සුළුතරයක් පාගා දැමීම පහසු ය. ඒ සඳහා සමාවට කාරණා ගොනු කර ගැනීමේ ලා සමහරු දක්ෂ ය. කපට ය. කරන්නට තිබෙන්නේ අර්ධ සත්‍යයක් හෝ එහැම පිටින්ම බොරුවක් ඇත්තක් සේ ප්‍රචාරය කිරීමට ය. ඒ ප්‍රචාරයන්ට තටු ලැබෙන්නට යන්නේ අතිශය කෙටි කාලයකි. ඒ ඇරත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ප්‍රශ්නයක් ජාතීන් දෙකක් අතර ප්‍රශ්නයක් ලෙස ගැනීමට අවශ්‍ය වන්නේ ආත්මාර්ථයත් පටු ජාතික හැගීමත් පමණ ය. දෙදෙනෙකු අතර ප්‍රශ්නයක් ඔවුන් දෙදෙනා ජාති දෙකකට අයත් වුව ද පුද්ගලික ප්‍රශ්නයක් ලෙස ගෙන විභාග කරන්නට සමත් වෙතොත් බොහෝ ජනවාර්ගික හිංසනයන්ට තිත තැබිය හැකි ය. මේ හරහා ජාතීන් අතර බිඳ වැටී ඇති විශ්වාසය නැවත ගොඩ නැගිය හැකි ය.

අදහන ආගම හා කතා කරන භාෂාව නිසා කිසිවෙකු අගතියකට පත් නොවෙන රටක් හැදිය හැකි නම් කිසි ම එලාරයෙකුට ජාතිය හෝ ආගමික අනන්‍යතා පදනම් කර ගෙන සේනා සංවිධානය කරන්නට ඉඩ ලැබෙන්නේ නැත. එවිට දුටුගැමුණුලාගෙන් අපට ද වැඩක් වන්නේ නැත.

උතුර නැගෙනහිර ඉඩම් ද ඒ පළාත් සංවර්ධනය කිරීමේ වගකීම ද ඒවා ට අවශ්‍ය බලතල ද අප ඒ පළාත් සභාවලට පැවරිය යුතු ය. ඒ පළාත් තුළ අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට හැකි බලතල ඔවුන්ට ලබා දිය යුතු ය. ඊට අවශ්‍ය දෙස් විදෙස් සහය ද ලබා දිය යුතු ය. ඒ හරහා උතුරු නැගෙනහිර ජනතාවට ද මේ රටේ ආඩම්බර පුරවැසියන් හැටියට ජීවත් වන්නට මං සැළසිය යුතු ය.

දකුණේ සිංහලයන් අතර ජාතිවාදය පිළිකෙව් කරන මිනිස්සු ද නොමදව සිටිති. එහෙත් ඔවුන් ඉන්නේ නිහඩව ය. ඒ නිසා ම ඇසෙන්නේ ජාතිවාදීන්ගේ හඩ ය. එය වෙනත් ජාතිකයන් තුළ සිටිනා අන්තවාදීන්ට ජාතිවාදය ජනිත කිරීමට අමතර උදව්වක් සපයයි. එයින් සිදු වන්නේ විජිතපුරයක් නැවත හෙමින් ගොඩ නැගීමට ඉඩ පාදා ගැනීම ය. අපේ රටේ දිගින් දිගටම සිදුවන පරිදි දශක එකකට දෙකකට වරක් සිය දහස් ගණන් මිනිස් ජීවිත බිලි ගැනීමේ අතිශය ශෝචනීය හා ඛේදනීය තත්වයට මග පාදා ගැනීම ය.

අප ගොඩ නැගිය යුත්තේ එහි ප්‍රතිපක්ෂය ය. දකුණෙන් නැගෙන සාමයේ හඩ, සහෝදරත්වයේ හඩ, ජාතිවාදීන්ගේ හඩ ඉක්මවා පැතිරිය යුතු ය. අන්‍ය ජාතිකයන්ට බිය වනු වෙනුවට ඔවුන්ට අපේ අත දෙමින් අපේම ජනතාවක් බවට පත් කර ගැනීමට බහුතරයක් වූ සිංහලයන් පෙර මග ගත යුතු ය. අනාගතය ගොඩ නැගිය යුත්තේ එසේ ය. එසේ ගොඩ නගන අනාගතයකට දුටුගැමුණුලා වත් එලාරලාවත් අවශ්‍ය නැත. අවශ්‍ය නෙල්සන් මැන්ඩෙලාලා ය. දක්ෂ වන්නේ කවරෙක් ද ඔහු / ඇයගේ පසුබිම නොසළකා පුදන්නට සූදානම් නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් ය. සුදු ක්‍රීඩකයින්ගෙන් පමණක් සමන්විත වූ පාපන්දු කණ්ඩායම දිනවන්නට නොබියව ඉදිරිපත් වූ කළු මැන්ඩෙලා වැනි නායකයින් ය. අවශ්‍ය ටෘඩෝලා ය. විවිධ ජාතීන් ගණනාවක් සිටිය දීත් කැනඩාව දියුණු වූයේ යනුවෙන් කියනවා වෙනුවට විවිධ ජාතීන් ගණනාවක් සිටි නිසා කැනඩාවට දියුණු වන්නට ලැබුනේ යැයි කියන්නට ඉදිරිපත් වූ ටෘඩෝ වැනි නායකයින් ය.

එවිට එහි ප්‍රතිරාවය උතුරෙන් ද නැගෙනහිරින් ද කඳුකරයෙන් ද නැගෙනු ඇත.

අනාගතය තීරණය කිරීම සද්ද කරන්නට කැමති, ඒ සඳහා පමණක් දක්ෂ, අගලක් එහා සිතන්නට බැරි, මෝඩ රැලකට නොපවරා ඉදිරිය දැකිය හැකි බුද්ධිමත් ජනතාව විසින් බාර ගත යුත්තේ ඒ නිසා ය. ඔවුන් නොබියව සිය හඩ අවදි කළ යුත්තේ ඒ නිසා ය.

මිනිසාට ප්‍රයෝජනවත් භෝග වැවීම අමාරු ය. වල් ගස් එහෙම නැත. ඒවා පොහොර නැතුවත්, වතුර නැතිවත්, සාත්තුවක් නැතිවත් අන් සියල්ල අභිබවා වැඩෙන්නේ ය. සංහිඳියාව සහ සහජීවනය ද වැවීම අමාරු ය. එහෙත් ජාතිවාදය හා ඒ මත පදනම් ව කරන කුපිත කිරීම් වල් පැල ගාණටම ගණව වැඩෙන්නේ ය. මහන්සියක් නැතිව ම වැඩෙන්නේ ය. නරකම දෙය ඒ වල්පැල හොඳ පැලවල වර්ධනය ද අඩාල කරමින් වැඩීම ය. ඒ නිසා ම වල් පැල උදුරා දැමීමටත් මිනිසාට ප්‍රයෝජනවත් පැල සාත්තු සප්පායම් කොට වර්ධනය කිරීමටත් අප විසින් වග බලා ගත යුතු ය.

නග්න ජාතිවාදය ප්‍රතික්ෂේප කරන සමහරු කියන්නේ ජාතිවාදය කොඤ්ඤං කොඤ්ඤං ගණනකට තිබුනාට කමක් නැතැයි කියා ය. වෙනත් විදියකින් මේ කියන්නේ පොඩ්ඩක් විතර තියෙන්න ඕනෑ කියා ය. ගින්දර පොඩ්ඩක් තිබුනාට කමක් නැති යැයි කියන අය තේරුම් ගත යුත්තේ බුරා බුරා නැගෙන මහා ගින්නක් ඇති කිරීමට ගින්දර පොඩ්ඩක්, ගිනි පුළුගුවක්, ප්‍රමාණවත් බව ය. ඒ නිසා ජාතිවාදය එහි අහිංසකම ආකාරයෙන් වුව නොවලහා නොපමාව ප්‍රතික්ෂේප කළ යුතු බව ය.

ඒ ජාතිවාදීන් මර්දනය කිරීමෙන් නොවේ. ඔවුන්ගේ මතවාදයන් පරාජය කිරීමෙනි.

එසේ කළ යුත්තේ අපට අවශ්‍ය පරිදි අනාගතය ගොඩ නගා ගැනීම සඳහා ය. ඉදිරියට යන රටක් අනාගතයේ දී හෝ බිහි වනු දැකීම සඳහා ය.