වාණිජ චිත්‍රපටි කතා හා ජනප්‍රිය බණ කතා

පහු ගිය දින කිහිපයකම බණ ඇසීමේ අවස්ථාව මට ලැබුනේ ය. එකක් පිට එකක් ඇසූ බණ වල මා දුටු අපූරු සමානත්වය මා පුදුමයට පත් කළේ ය. හැම බණ කතාවක ම පුණ්‍ය වන්තයෙකු හෝ කරුමක්කාරයෙකු හෝ ඒ දෙවර්ගයේම අය හෝ සිටියෝ ය.

පුණ්‍යවන්තයා කළ පුංචි පින්කමක් නිසා ඔහු හෝ ඇය දෙව්ලොව උපදින්නේ ය. උදාහරණයක් හැටියට ස්වාමීන්වහන්සේ නමකට සුදු රෙද්දක් එලා ඉමහත් භක්තියෙන් යුතු ව ආසන පැනවීමේ පිනෙන් එක් උපාසිකාවක් දෙවඟනක් වී දෙව්ලොව උපදින්නේ මැණික් පුටුවකට ද හිමිකමක් ඇති ව ය.

සමහර කතා වල තියෙන්නේ කරුමක්කාරයින් ගැන ය. ඒ කරුමක්කාරයා කුමක් හෝ නොහොබිනා වැඩක් කොට නිරයේ උපදින්නේ ය. එක කතාවකට අනුව තම අඹුව දන් දෙන්නට ඉන්නා විට ඇයට බැණ වැදී එය වළක්වා ලීමේ පාපය හේතු කොට ගෙන නිරයේ උපදින්නේ ය. බොන්නට ලැබෙන්නේ උණු කළ ලෝ දිය ය.

තුන්වෙනි වර්ගයේ කතාවල පුණ්‍ය වන්තයා ද කරුමක්කාරයා ද එකට ජීවත් වන්නෝ ය. කතාව අවසානයේ කරුමක්කාරයා යමලොවත් පුණ්‍ය වන්තයා දෙව්ලොවත් යන්නෝ ය. දොරේ ගලායන සතුටකින් බොහෝ දෙනෙකු පිනා යන්නෝ ය. අවසානයේ දෙව් මිනිස් සැප කෙළවර නිවන ද හිමි වන බැවින් ඇත්තට ම තව අමතර සතුටක් ද ඇතිවන්නේ ය.

වාණිජ චිත්‍රපටිත් මේ වගේ ය. තියෙන්නෙ එකම කතාවකි. ඒත් පිටපත තරමක් වෙනස් ය.

වීරයා ලස්සණ අවංක අගනකට පෙම් කරන්නේ ය. දුෂ්ඨයාට ද ඕනෑ ඇය මය. දුෂ්ඨයා මායාවෙන් ද කපටි කමින් ද දුෂ්ඨ කමින් ද කෙල්ල ඩැහැ ගැනීමට බලන්නේ ය. වීරයා එන මගට ගල් පෙරලන්නේ දේවදත්ත සිහි කරමින් ය. වරෙක දුෂ්ඨයාට මග අවුරමින් ද තව වරෙක ඔහු හා සටන් කරමින් ද වීරයා කෙල්ල බේරා ගැනීමට දැඩි සටනක් දෙන්නේ ය. අන්තිමේ දුෂ්ඨයා පැරද පලා යන්නේ ය. මාරයා පැරද පලා ගිය හැටි සිහිපත් කරමින් ය. පලා ගියේ නැතිනම් යන්නේ පොලීසියේ ඇති මිහිපිට අපායට ය. වීරයා කෙල්ල සමග දෙව්ලොව යන්නේ ය. සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගෙන අපට නිවනක් ලැබෙන්නේ ඊට පස්සේ ය. සාදු කාරයක් වෙනුවට ප්‍රේක්ෂකාගාරයෙන් විසිල් පහරක් එන්නේ ය.

කතාව එක වුනාට ඒවා එන්නේ විවිධ නම් වලින් ය. රගපාන්නේ විවිධ නළුනිළියන් ය. පසුබිම ටිකක් වෙනස් ය. ඒ නිසා දෝ එකක් දෙකක් නොව තුන හතරක් දහයක් පහළොවක් බැලුවත් අපට ඇති වන්නේ නැත. උපාසක උපාසිකාවන්ට බණ ද ඒ වගේ ය. කොච්චර ඇහුවත් ඇති වන්නේ නැත. බණට කියන කතාව විතරක් නොව එය කියන හාමුදුරුවන්ගේ ලතාව ද වෙනස් ය. එහෙම බැලුවහම එක කතාවක් අනිකට වඩා ටිකක් වෙනස් ය. එපා වෙන්නේ නැති එකේ රහස ඇත්තේ එතැන ය.

පරමාර්ථ වශයෙන් ගත්තත් වාණිජ චිත්‍රපටියක නිශ්පාදකගේත් බණ කියන හාමුදුරුවන්ගේත් ඒ හැටි වෙනසක් නැත. අවසාන බලාපොරොත්තුව සුන්දර අත්දැකීම් හා අපේක්ෂා සැපයීම හරහා තම ව්‍යාපාරික වුවමනාවක් සාක්ෂාත් කර ගැනීම ය.

එක අතකට චිත්‍රපටියක් බලන්නට ඉඩ කඩක් නැති පෝය දවසක ලස්සණ බණ කතාවකින් සප්පායම් ‍ වෙන්නට ඉඩ ලැබීම ම වාසනාවකි. එහෙම බැලුවහම අපේ රට ද එහි වෙසෙන හුදී ජනයා ද වාසනාවන්ත ය.

පන්සලකට ගියත් චිත්‍රපට ශාලාවකට ගියත් එකම තෘප්තිය ලබා ගත හැකි පින් බිමක අප ජීවත් වන්නේ යැයි යන අදහසම ප්‍රීතිය ඇති කරන්නේ ය.

(හැම චිත්‍රපටියක්ම මෙහෙම නැත. හැම බණ කතාවක් ම මෙහෙම නැත. මා කීවේ බහුතරයක් දේ ගැන ය. අපේ මිනිසුන් වැඩි දෙනෙක් ඉල්ලන හා බොහෝ විට ලැබෙන දේ ගැන ය. වැඩිපුර නිශ්පාදනය වන වාණිජ චිත්‍රපටි හා ජනප්‍රිය බණ කතා ගැන ය. අපට බහුලව මුණ ගැසෙන ලංකාව ගැන ය.)

 

 

සම හරක් කැමති හරකුන්ට ය.

සමහර දෙනා කැමති හරකුන්ට ය. ඔවුහු ගව ඝාතනය හෙලා දකින අතර ගව මස් නොකති. ඇතැමෙක් ඉනුත් නො නැවතී ගව ඝාතනය තහනම් කරන ලෙස ඉල්ලා කෑකෝ ගසති.

සමහර දෙනා කැමති අලියන්ට ය. ඔවුහු අලින්ව කැලෙන් අල්ලා ගෙන ඇවිත් හීලෑ කරගන්නවාට කැමති නැත. උන් පෙරහැරේ ගෙන යනවාට කැමති නැත. දම්වැල බැඳ තැබීමෙන් ඇති වූ අලි තුවාල පෙන්නා මේක ද තොපේ අවිහිංසාව කියා ප්‍රශ්න කෙරෙති.

හරකුන්ට කැමති සමහර අයට අලින්ට හිරිහැර වූවා ට කමක් නැත. අලින්ට කැමති අයට හරකුන් මැරුවාට කමක් නැත. ගව මස් නොකන සමහරු එළු මස් කති. කුකුල් මස් කති. සමහරු මස් නොකා මාළු කති. ඒ ඔවුන් ගොඩ සතුන්ට ආදරය කරන තරමට ජලජ සතුන්ට ලව් කරන්නේ නැති නිසා ය.

මේ වෙනස්කම් වලට හේතුව තම තමන්ගේ ඥාතිත්වය විය හැකි යයි කීවේ මගේ මිතුරෙකි.

ඇත්තටම අපට හැමෝම ආරක්ෂා කරන්නට සැවොම වෙනුවෙන් පෙනී සිටින්නට බැරි ය. අපි පෙනී සිටිය යුත්තේ ද අපට පෙනී සිටිය හැක්කේ ද අපේ උන් වෙනුවෙනි.

එහෙම බැලුවහම මේ තුන් හතර ගොල්ලන්ටම තමන් පෙනී සිටින අය පිළිබඳ ඥාතිත්වයක් ඇතැයි යන්න සාධාරණ නිගමනයක් ලෙස ද අවශ්‍ය නම් ගත හැකි ය.

වෙන ආකාරයට මෙය විග්‍රහ කරන්නට මා ගත් සියළු උත්සහයන් ව්‍යර්ථ වුනේ ය. අවසානයේ ඔබේ පිහිට පතන්නට වුනේ ඒ නිසා ය. ඔබට වෙනයම් විග්‍රහයක් තිබේ නම් මේ වේදිකාව ඒ සඳහා විවෘත ය. කුණුහරුප නැතිව වේදිකාව භාවිතා කරනු ඇතැයි මේ සියළු සතුන්ගේ නාමයෙන් ඉල්ලා සිටීමට ද කැමැත්තෙමි. ඒ කුණුහරුප වලින් විතරක් යමක් තේරුම් බේරුම් කර ගැනීම අමාරු නිසා ය.