අවවාදය හා ආදර්ශය

Best Children Praying Clipart #23707 - Clipartion.com

මේ දිනවල රිය අනතුරු බහුල ය. වැඩිමනත් ඒවා දේශපාලනඥයින් හා සම්බන්ධ ය. ජනතා මතය වී ඇත්තේ වගකිව යුතු ලොකු දේශපාලඥයන් මේ චෝදනා වලින් නිදහස් වන බව ය. කුමන හෝ හේතුවක් නිසා ඔවුන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක නොවන බව ය. ලාල් කාන්ත එවන් ලොකු කෙනෙකු නොවුන නිසා ඔහුට පමණක් නීතිය ක්‍රියාත්මක වූ බව ය. බොහෝ අවස්ථාවල වින්දිතයන් හව්හරණක් නැතිව අසරණ වන බව ය. යුක්තිය පසිඳලීම සිදු නොවන බව ය. ඒ නිසා ම දිගින් දිගට ම මෙවැනි අනතුරු සිදු වන බව ය.

මේ කතාව රිය අනතුරුවලින් ඔබ්බට ද විහිද තිබේ. දේශපාලනඥයන් අසුවන අනෙත් කාරණය වී ඇත්තේ ස්ත්‍රි දූෂණ හා ළමා අපචාරයන්ට ය. ඒවායේ දී ද වින්දිතයන්ට මුදල් දී ෂේප් කර ගන්නටත්, තර්ජනය කර නිශ්ශබ්ද කර ගන්නටත්, නීතිය නමන්නටත් ඔවුන් සමත්ව ඇතැයි කියනු ලැබේ.

දේශපාලනඥයන් සම්බන්ධයෙන් චෝදනා එල්ලවන අනෙත් කාරණය ඔවුන් මැර කමේ ද මංකොල්ල කෑමේ ද යෙදෙන බව ය. උන් චණ්ඩින් වී ඇති බව ය. මිනිසුන්ගෙන් කප්පම් ගන්නා බව ය. එවැනි වාර්ථා සෑම සතියකම පාහේ කොහේ හෝ තැනකින් වාර්ථා වෙයි.

මේ සියල්ලට අමතරව තිබෙන සෙසු චෝදනාව වන්නේ වැඩි මනත් මත්ද්‍රව්‍ය ජවාරම් පිටුපස ඉන්නේ ඔවුන් බව ය. කොතරම් දැඟලුවත් මතට තිත තියන්නට නොහැක්කේ ඒ නිසා බව ය. මරණ දඩුවම ගේන බව කීවත් අතෝරක් නැතිව මත් කුඩු අසුවන්නේ ඒ නිසා බව ය. පොඩි මිනිහෙක් ඇතුළට ගියේ වුව ද මේවා පිටුපස ඉන්නා මහමොළකරුවන් දේශපාලනයේ රැකවරණය ද ලැබ නිදහසේ සැරිසරන බව ය.

පුදුමයකට මෙන් මේ දේශපාලනඥයන් සඳහා රැකවරණය ලැබීමට ඔවුන් ආණ්ඩු පක්ෂයේ වීම ද අවශ්‍ය නැති බවක් ද බොහෝ සිද්ධි විමසන විට පෙනෙන්නට තිබේ. හෙට ලැබීමට ඉඩ ඇති බලයක් ද කල් ඇතුව භාවිතා කිරීමට තරම් ඇතැමුන් දක්ෂ නිසා ය.

මේ සිද්ධි දාමයට අමතරව මහ දවල් කැමරා ඉස්සරහ තියාගෙන රටේ උත්තරීතර පාර්ලිමේන්තුව තුළ නැටූ නෙයියාඩගමක පරීක්ෂණ වාර්ථාව ද එලි දැක තිබේ. ඒ වාර්ථා නැතත් සිදු වූයේ කුමක් දැයි මුළු රටම කැමරා ඇස හරහා දැක ගන තිබුනේ ය. එතැන තිබුණේ මුග්ධ බලය භාවිතා කිරීමකි. ශාරිරික ප්‍රචණ්ඩත්වය මුදා හැරීමකි. රටේ උත්තරීතර ආයතනය මැර බලය යොදා කඩාකප්පල් කිරීමකි.

මේ වාර්ථාව මත ක්‍රියාත්මක වෙතැයි ආණ්ඩුව පැත්තෙන් ලොකු කතා කියවුනත් එය ක්‍රියාත්මක කරන තෙක් ජනතාව එය විශ්වාස කරන එකක් නැත. එයට එක් හේතුවක් වී ඇත්තේ පාර්ලිමේන්තු වරප්‍රසාද වලට මුවා වී බේරීමේ, බේරා ගැනීමේ, කතාවක් ද මේ සමග සංසරණය වන නිසා ය.

නිදහසට කියන කරුණු

මේ අය වැරදි කරනවා පමණක් නොවේ. ඒ සම්බන්ධයෙන් ලජ්ජා නොවනවා පමණක් නොවේ. ඒවාට ලැබෙන දඩුවම් වලින් වැළකීමට ද ලජ්ජා නැතිව ඉදිරිපත් වන බව ය. නිදහසට ද කියන්නට උන්ට කරුණු තිබෙන බව ය. ඒවා පිටුපස ඇති තර්ක ද බොහෝ විට ගහට නැග්ගේ තණකොළ කපනන්ට යැයි කියන හේතු පැහැදිලි කිරීමකට එහා යන්නේ ද නැති බව ය. වැරදි වැඩය කර ඇත්තේ තමන්ගේ පිළේ එකෙකු නම්, තම පවුලේ කෙනෙකු නම්, තම දරුවෙකු නම්, ඒ හොරුන් හා තක්කඩියන් රැකීමට ද ඒ බොහෝ දෙනෙකු පසු බාන්නේ නැතිව ඉදිරිපත් වන බව ය. පවුලේ නාමයෙන්, තම කමේ නාමයෙන්, පිළේ නාමයෙන්, ඉදිරිපත් වන බව ය. ඒ සඳහා දහසකුත් එකක් බොරු කියන බව ය. ඩීල් ගහන බව ය. නීතිය නමන බව ය.

මෙතැන කතා කළ යුතු කාරණා කිපයක් තිබේ. එකක් මේ දෙන ආදර්ශය පිළිබඳව ය. පළමුව, මේ අය රටේ නායකයෝ ය. නායකයන් හිට ගෙන කරණ දෙය අනුගාමිකයෝ දුව දුව කරන බව මිනිසුන් කියන්නේ නිකම් නොවේ.

එක් පැත්තකින් ඔවුහු වැරදි වැඩ කරමින් නරක ආදර්ශයක් දෙන අතර සිය බලය භාවිතා කරමින් ඒවාට ලැබිය යුතු දඩුවම් වලින් ද නිදහස ලබති. නීතිය තමන්ට අදාළ නොවන එකක් සේ හැසිරෙති. මේ තත්වය රටක විනයක් ඇති කිරීමට පිටුවහලක් ලබා දෙන්නේ නැත.

අද වැඩියත්ම මිනිසුන්ගේ ඉල්ලීම වී ඇත්තේ විනය යැයි ඇතැම් පාර්ශව වලින් කියනු අපට ඇසේ. ඒ විනය, මෙවැනි කටයුතු සිය නිශ්ශබ්දතාවයෙන් අනුමත කරමින් හදන්නට පුළුවන් අට මගලයක් නම් නොවේ. දෙනවා යැයි කියන එ් විනයත් අවසානයේ ජනතාවට මිසක පාලකයන්ට නොවන්නේ ය. අප දන්නා පමණින් විනය හදන්නට අවශ්‍ය නම් පළමුව ආරම්භ කළ යුත්තේ ඉහළිනි. තමන් ළගිනි. නායකයන් ඇදයට යන ගමන් කෙළින් යන්නට කියන තැනක විනය පිහිටුවීම පහසු කටයුත්තක් වෙන එකක් නැත.

පසුගිය දා මුහුණු පොතේ ලස්සන සටහනක් විය. “රිය අනතුරක් කරලා ලංකාවේ දඩුවම් විදපු එකම සුපිරි පුතා එළාරගේ පුතා විතරයිද කොහේද බං“ යනුවෙන් එහි දැක්වුනේ ය. එළාර රජු විනය හැදුවේ නීතිය තම පුතාට ද එකසේ ක්‍රියාත්මක කරමින් ය. තමන් විසින් පරාජය කරනු ලැබුවේ වුවද ඔහු වෙනුවෙන් සොහොනක් ඉදි කොට ජනතාවට ගෞරව කරන ලෙස දුටුගැමුණු රජතුමන් විසින්  නීති පනවන්නට ඇත්තේ ඇතැම් විට ඒ නිසා විය යුතු ය. විනය හදන්නට යන්නේ පවුලේ අය බේරා සෙසු අයට එම විනය ලබා දීමෙන් නම් රටට අබ සරණ ය. එහෙම විනය ඇති කළ හැක්කේ දරුණු මර්දනයකට ජනතාව යටත් කිරීමෙන් පමණක් නිසා ය.

ජනතා නියෝජනය

දෙවනුව, කිව යුත්තේ මේ විනය කඩන අය ජනතාවගේ නියෝජිතයන් බව ය. එයින් කියන කතාව ද වහකදුරු මෙන් තිත්ත ය. ජනතා නියෝජිතයන් යන්නෙන් අදහස් කරන්නේ ඔවුන් ජනතාව විසින් අනුමත කරන බව ය. ඒ උන්ගේ සියළු නොපනත් කම් එක්ක ය. මේ රටේ ඉන්නා බහුතරය එක්කෝ හය හතර නොතේරෙන ළදරුවන් ය. නැතිනම් ඇස් කන් නැති මිනිසුන් ය. නැතිනම් මොළය කළඳක් නැති සත්ත්ව කොට්ඨාෂයක් ය. එසේ නොවන ජනතාවක් මෙවැනි මිනිසුන් තම නියෝජිතයන් ලෙස පත් කර ගනී ද?

වඩාත් ශෝචනීය කරුණ වන්නේ නායකයන් හොරුන් තක්කඩියන් හා මැරයන් වීම ම නොවේ. ඒ පිළිබඳව වගේ වගක් නැතිව, කෙළ පොදක් හෙලන්නේ නැතිව, උන්ට කඩේ යන මිනිසුන් සිටීම ය. උන් රැකීමට, බොරු කිමට, ඇත්ත වසන් කිරීමට, දහසක් කාරණා ඉදිරිපත් කරන උන් සිටීම ය.

එයට හේතුවක් විය හැක්කේ රටේ බහුතරයක් ද හොරකමින් වංචාවෙන් දිවි ගෙවිමට පුරුදු වී තිබිම විය හැකි ය. එහෙම අයට නායකයන්ගේ වැරදි, වැරදි ලෙස දැකීමට නොහැකි ය. තමන්ගේ පෞද්ගලික වාසියට, තම කණ්ඩායමේ පෞද්ගලික වාසියට, නායකයන් කටයුතු කරනවා නම් නායකයන්ගේ හොරකමේ, මැරකමේ, දිග පළල හොයන්නට එහෙම ජනතාවක් ඉදිරිපත් වන එකක් නැත.

තෙවනුව, මේ විනය කඩන අය රටේ ජනතාවගේ අයිතිවාසිකම් රැකීමට ඉන්නා අය ය. ජනතා අයිතිවාසිකම් රැකීමට ඉන්නා අය ම ජනතා අයිතිවාසිකම් සාහසික ලෙස අමු අමුවේ උල්ලංඝනය කරයි නම් ඒ ගැන කළ හැක්කේ කුමක් ද? වැටත් නියරත් ගොයම් කා නම් කාට කියමු ද ඒ අමාරුව යැයි අපේ මුතුන් මිත්තන් කීවේ මෙහෙම වෙලාවට ය.

මෙයින් කියවෙන ශෝචනීය කතාව නම්, එහෙමට පිලක් නැති, කඳවුරක් නැති, පොදුවේ රටට යහපතක් අපේක්ෂා කරන අවංක සුළුතරයක් මිනිසුන් මේ තුළ අසරණ වන බව ය.

නායකයෝ වැරදි වැඩ කිරීමෙන් නරක ආදර්ශයක් දෙනවාට අමතරව වැරදි කරන්නන් ආරක්ෂා කරමින් වැරදි ආදර්ශයක් දෙනවාට අමතරව තමන්ගේ සියළු පව් කෝවිලක පන්සලක පූජාවකින් සමා කර ගත හැකි යයි අනියමින් පෙන්වමින් ද සිටිති. ඒ, මේ රටේ දේවාල පල්ලි කෝවිල් පමණක් නොව ඉන්දියාවේ තිරුපති කෝවිල ද වැනි තව බොහෝ තැන් ද වන්දනා කරමිනි. ඒවාට පඩුරු පාක්කුඩම් පිරි නමමිනි. මේ තුළ ඔවුන් දෙන්නේ ද තවත් වැරදි ආදර්ශයකි.

පව් සමාකරන පුද පූජා

පළමුව, මේ පුද පූජා වැනි සෝබන කටයුතු වලින් ප්‍රතිඵල ලබා ගත හැකිය යන පණිවුඩය සමාජ ගත කිරීමෙනි. දෙවැනි ව, කොතරම් වැරදි වැඩ කළේ වුව ද මෙවැනි තැනක පිහිට ලබා, හාස්කමකින්, එවැනි වැරදි වලින් දඩුවම් නොලබා බේරිය හැකිය යන පණිවුඩය සමාජ ගත කිරීමෙනි. තෙවනුව, යහපතක් නොකළේ වුව ද, වෙහෙසක් නොදැරුවේ වුව ද, පඩුරු පාක්කුඩම් දෙවියන්ට පිරිනැමිමෙන් ජිවිතය ජය ගත හැකි යයි පෙන්වමින් මිනිසුන් තුළ මිත්‍යාව සමාජ ගත කිරීමෙනි.

තෙවැනි පණිවුඩය ලද මිනිස්සු එහෙමකට යමක් මහන්සි වි කරන්නේ නැතිව ජිවිතය ජය ගත හැකි යැයි සිතා අමාරුවේ වැටෙති.

ඒ සියල්ල මැද්දේ ජනතාවට සිදු ව ඇත්තේ මේ නායකකාරකාදීන්ගේ අවවාද අනුශාසනා වලට ද සවන් දෙන්න ය. ඔවුන්ගෙන් බණ අසන්නට ය. ඒ ඇතැම් විට ලබා දෙන නරක ආදර්ශවලට හිලව්වට විය හැකි ය. එහෙත් වැඩ නැති වචනවලට ඇති වටිනාකමක් නැත. අවවාදයට වඩා ආදර්ශය උතුම් යැයි අපේ පැරැන්නන් කිවේ ඒ නිසා ය. එසේ වුව ද ආදර්ශයන් නැති නිසා දැන් සිදු ව ඇත්තේ අවවාද වලින් සැනසිමට ය. බොක්කේ දඩමස් ද හක්කේ බුදුරැස් ද ඇති මිනිසුන් ඉවසීමට ය.

දේශපාලනඥයන් දෙන අවවාදයන් ප්‍රමාණවත් නැති නිසාදෝ දැන් දැන් අසන්නට ලැබෙන්නේ දරුවන් හදා ගැනීම සඳහා දහම් පාසල් අනිවාර්යය කිරීමේ කතාව ය. ඒ අමතරව අවවාද ටිකක් තව දීමට ය.

ඒ ඇතැම් විට දේශපාලනඥයින්ගෙන් පමණක් නොව බොහෝ යතිවරයන්ගෙන් ද ගත යුතු ආදර්ශයක් නැති නිසා විය හැකි ය. රටේ සිදුවන සැබෑ අකටයුතුකම් කෙරෙහි නොඇසූ කන් ඇතිව, නොදුටු ඇස් ඇතිව, ඉන්නා බොහෝ යතිවරුන් කට අරින්නේ තමන්ට අදාළ නැති සිංහල බෞද්ධ නොවන බලවේගයන්ට එරෙහිව ය. ඇතුළතින් කුණු වෙමින් ඉන්නා සිංහල බෞද්ධයින් ගැන යමක් නොකර මවා ගත් බාහිර අනතුරු ගැන පමණක් කතා කිරීමෙන් ඔවුන් දක්වන අවස්ථාවාදය සපයන්නේ ද නරක ආදර්ශයකි.

ඇතැම් ගුරුවරුන් ද ඊට නොදෙවෙනි ය. ඔවුන් විනය ඇති කරන්නට හදන්නේ දේශපාලනඥයන් අනුගමනය කරමිනි. ඒ තමන්ගේ  විනය පරදුවට තබා ය. ඔවුන් දන්නේ ද කණ තුවාල කර, බෙල්ල මිරිකා, පිහියක් පොල්ලක් පෙන්නා, තර්ජනය කරමින් ඇති කරන විනයක් ගැන ය. විනය සම්බන්ධයෙන් ඔවුන් දෙන ආදර්ශය ද අතිශයින් විනාශකාරී ය.

නායකත්වය යැයි ජනතාවට බැලිය හැක්කේ දේශපාලනඥයන්, යතිවරුන් හා ගුරුවරුන් දෙස ය. ඒ සියල්ලන්ම දෙන ආදර්ශය නිශේධනීය වන විට දරුවන් හා ජනතාව යහපත් වේ යැයි අප අපේක්ෂා කරන්නේ කෙසේ ද?

රටට සිදු ව ඇති අභාග්‍ය ගැන බණින්නේ නම් බටහිරට ය. විජාතික බලවේග වලට ය. සිංහල නොවන බෞද්ධ නොවන බලවේග වලට ය. ඒ වුනත් ප්‍රශ්නය තියෙන්නේ ඇතුළේ ය.

පික් පොකට් කාරයින් ඔන්න හොරෙක් කියමින් දුවන්නේ තමන්ගේ ගැලවිල්ලට ය. බටහිරට විජාතික බලවේගයන්ට බැට දෙන බොහෝ පික්පොකට් කාරයින් ද කරන්නේ තමන්ගේ ගැලවීමට පහසු මගක් පාදා ගැනීම ය. එහෙත් හැමදාමත් වුනාක් මෙන් මෙතැන දී ද සිදු ව ඇත්තේ ජනතාව රැවටීම ය. හොරා පැත්තක සිටිය දී අප හඹා ගොස් ඇත්තේ මවා ගත් බිල්ලෙක්ව ය.

ප්‍රශ්නය ඇත්තේ ඇතුළේ ය

ප්‍රශ්නය ඇත්තේ එලියේ නොව අප තුළ බව පිලිනොගන්නා තාක් අපට ගැලවීමක් නැත. ගැලවිජ්ජාකාරයන් ඉන් ගැලවෙතත් ජනතාවට ඉන් ගැලවීමක් නැත.

බණ කීම නවතා ක්‍රියාවෙන් ආදර්ශයක් දෙන ලෙස නායකයන්ට, ගුරුවර ගුරුවරියන්ට හා යතිවරුන්ට අප කියා සිටිය යුතු ය.

රට තුළ විනය ඇති කිරීමට ප්‍රථමයෙන් තමන්ගේ දරුවන් තුළ, පවුල තුළ, තමන්ගේ පක්ෂ අභ්‍යන්තරයේ, තමන්ගේ පාක්ෂිකයන් තුළ විනය ඇති කළ යුතු බව අප කියා සිටිය යුුතු ය. විනය කඩන්නන් තමන්ගේ හිතේෂින් නිසා ඔවුන් ආරක්ෂා කිරීම විනය කැඩිමකට සමාන බව අප උන්ට පෙන්වා දිය යුතු ය. ක්‍රියාවෙන් විනය ස්ථාපිත කිරීමට අපොහොසත් වන තාක් විනය ගැන කියන කතා හුදු වචන පමණක් බව අප පෙන්වා දිය යුතු ය. විනය මහපාරේ කුණු දැමීම හෝ කෙළ ගැසීමට එහා ගිය වඩා පළල් මාතෘකාවක් බව අප කිව යුතු ය. දැරියක දූෂණය කිරීම ද පාර්ලිමේන්තුවේ යකා නැටීම ද පාරේ කුණු දැමීමට එහා ගිය අපරාධයන් බව අප කියා සිටිය යුතු ය.

සිසු දරුවන්ගේ විනය ඇති කිරීමට පෙර තමන් තුළ ඒ විනය ඇති කර ගත යුතු බව අප ගුරුවර ගුරුවරියන්ට කියා සිටිය යුතු ය. දරුවන්ට පිහි පොලු පෙන්වා උන්ට තර්ජනය කිරීම විනය නොවන බව ගුරුවර ගුරුවරියන්ට අප කියා දිය යුතු ය. දරුවන්ට දඩුවම් කිරීම සම්බන්ධයෙන් හිස් චෙක්පත් ගුරුවරුන්ට කවරෙකුවත් ලියා දී නැති බව උන්ට පැහැදිලිව කිව යුතු ය. විනය කොණ්ඩයට ඇඳුමට සපත්තුවට සීමා නොවන දෙයක් බව අප ගුරුවර ගුරුවරියන්ට කියා සිටිය යුතු ය.

උපාසක උපාසිකාවන්ට පන්සිල් ගැන උගන්වන්නට කලින් තමන් පන්සිල්වත් රැකිය යුතු බව යතිවරුන්ට කියා සිටිය යුතු ය. නීතියේ රැහැනින් ගැලවෙන්නට බොරු කියා පන්සිල් ගැන බණ ටෝක් දීම වැඩක් නැති බව අප කියා සිටිය යුතු ය. පන්සල් වත්තේ අලි පැටව් දමා යන වගේ සුරංගනා කතන්දර අපට නොදිරවන මුසාවාදා ම බව අප යතිවරුන්ට කිව යුතු ය. තක්කඩියන්ට කඩේ යන ගමන් අපට බණ කීමෙන් පලක් නොවන බව ද අප මේ යතිවරුන්ට කියා සිටිය යුතු ය. මෛත්‍රිය කියන්නේ ජීවන දර්ශනයක් මිස භාවනා කරන කාලයේ දී කටපාඩමෙන් කියන දෙයක් නොවන බව අප යතිවරුන්ට පසක් කර දිය යුතු ය.

එසේ නොකොට මේ සියල්ල අපට අයත් නැතැයි සිතමින් තමන්ගේ වැඩක් බලා ගෙන ජිවත් වීමට සිතන මිනිසුන්ට තව බොහෝ දේ අහිමිවීමට නියමිත ය. එහෙම අහිමි වූ දාක ඔවුන්ට ද සිදුවන්නේ තමන්ගේ ම සගයින් ටික දෙනෙකු එකතු කර ගෙන මහපාරේ ඊයේ දවසක ගුරුවරුන් කළාක් මෙන් කෑගසන්නට ය. සුළගට පමණක් මුසුවීමට නියමිත ඒ සද්දයට ජනතාව වෙනස් වන තෙක් පියාපත් නම් ලැබෙන එකක් නැත.අඩු වශයෙන් අහන්නට හරි හමන් කණක් වත් නොලැබෙනු ඇත.

කිසිවෙකු වෙනස් නොවේ නම් – කිසිවක් වෙනස් නොවේ

පාස්කු ඉරිදා ඇති වූ ව්‍යසනය සම්බන්ධයෙන් අවසන් වරට මා දුටු සංඛ්‍යා ලේඛන වලට අනුව, සිද්ධිය නිසා මියගිය සංඛ්‍යාව 290 ක් වන විට තුවාල ලැබූ සංඛ්‍යාව පන්සියයකට අධික වී තිබුනේ ය. එය ලංකාව පමණක් නොව මුළු මහත් ශිෂ්ඨ ලෝකයම කම්පනයට පත් කරන්නට ඇත. මියගිය හා තුවාල ලැබූ බොහෝ දෙනා මේ බෝම්බ තැබීමට කටයුතු කළ කිසිවෙකුට, ඔවුන්ගේ කෙස් ගහකට හෝ ඔවුන්ගේ අරමුණකට, පෞද්ගලිකව නපුරක් කළ අය නොවීම, ඒ කම්පනය දරා ගැනීමට නොහැකි වීමට තව ප්‍රබල හේතුවක් වේ. කොහේවත් නැති මිනිසුන් මෙපමණ සංඛ්‍යාවකට මේසා විශාල නපුරක් කළ හැක්කේ කෙසේ ද? බොහෝ දෙනෙකු උත්තර හොයන්නට දඟලන ප්‍රශ්නය එය විය හැකි ය.

අප රට තිස් අවුරුදු ශාපලත් යුද්ධය අවසන් ව වසර දහයක් තවම සම්පූර්ණ කොට නැත. ඉතිහාසඥයන් කියන විදිහට අපේ රටේ ලේ වැගිරීම් සහිත කළකෝලාහල සෑම වසර හතකට වරක් වත් සිදු වන්නේ ය. ඒ මෑත අතීතයේ අප තැබූ වාර්ථාව ය. ඒත් අප ඒවායින් ඉගෙන ගන්නේ නැත. හේතුව අප

මේ සිද්ධි දෙස අප කලින් බැලූ කෝණයෙන් ම, තවදුරටත් බැලීම ය. වෙනත් කෝණයකින් බැලීම ප්‍රතික්ෂේප කිරීම ය.

දැන් මේ එන්නේ ඊට වඩා දරුණු නපුරක් විය හැකි ය. එසේ වන්නේ ත්‍රස්තවාදය අන් සියල්ල මෙන් ම ගෝලියකරණය වී තිබීම ය.

මේ අප විඳවන්නේ නවසීලන්තයේ මුස්ලිම් පල්ලියට එල්ල කළ ප්‍රහාරයට උත්තරයක ප්‍රතිඵලයක් විය හැකි ය. ඒ ගෝලීයකරණයේ ස්වභාවය ය. ලෝකයේ එක් තැනක ප්‍රශ්නයකට උත්තර ලැබෙන්නේ වෙනත් කොණකින් වීම ගොලීයකරණයේ ස්වභාවය ය.

ඇතැම් විට මේ තුළ පණිවුඩ දෙකක් තිබෙනවාද විය හැකි ය. එකක් ලෝකයට ය. අප කලින් ද සඳහන් කළ පරිදි ඒ නවසීලන්තයේ මුස්ලිම් පල්ලියකට ප්‍රහාරයක් එල්ල කිරීමට උත්තර එම රටෙන් නොව ලොව හතර දිග් භාගයෙන් ම පැමිණිය හැකිය යන්න ය. එසේ කළ, කරන, කණ්ඩායමට අයත් කිසිවෙකු ලොව කොහේ සිටියත් සුරක්ෂිත නැත යන බව අඟවන්නට ය. බෝම්බකරුවන්ගේ ඉලක්කය ක්‍රිස්තියානි පල්ලි හා පාස්කු ඉරිදා උදෑසන ආහාර මේසය වි තිබුනේ ඒ බව කියන්නට ය. අනෙක් පණිවුඩය රටට ය. මුස්ලිම් මිනිසුන්ට එරෙහිව නොපනත්කම් තවදුරටත් දේශීය වශයෙන් ද නොඉවසන බව කියන්නට ය. ඒ අනුව එක ගලෙන් කුරුල්ලන් දෙදෙනෙකු එලා ගැනීම මේ ප්‍රහාරයේ අරමුණ විය හැකි ය.

සන්නිවේදනය අරුම පුදුම එකකි. පණිවුඩය යවන්නා කුමක් කියන්නට තැත් කළ ද පණිවුඩය ලැබෙන තැනැත්තා ඇතැම් විට එයින් ගන්නේ එහෙම පිටින් ම වෙනත් අරුතකි. ඒ නිසා ලැබෙන ප්‍රතිඵලය අනපේක්ෂිත විය හැකි ය.

අපට ගෙනෙන පණිවුඩය

සියළු කළබල වලට මුල ආගම් බව කියන්නට, අනාගමිකයන්ට, මේ අපරාධය කදිම සාක්ෂියකි. ඔවුන්ට අනුව මේ අපරාධ නැති වන්නේ ආගම් නැත්තට ම නැතිවුනු දාට ය. තමන්ගේ බැතිමතුන්ට ආරක්ෂාව සැලසිය නොහැකි දෙවි කෙනෙකු ඇදහිය යුත්තේ මන්ද යන්න, ප්‍රශ්නයක් ලෙස මතුකරමින් ඔවුහු මේ අවස්ථාව තම මතවාදය පතුරුවන්නට භාවිතා කරති. ආගම වෙනුවෙන් ඇති කරන පණිවුඩයක් මෙසේ ආගමට එරෙහි ව යතැයි සිතන්නේ එහෙමත් කෙනෙකි. එහෙත් ඒ ලෝක ස්වභාවය ය. හිතු දේ නොම වෙන නොසිතු දෙයම වන ලෝක ස්වභාවය ය. සංහිඳියාව වෙනුවෙන් වැඩ කළ, වැඩ කරන, අය කියන්නේ මුස්ලිම් ජනතාවට විරුද්ධව කළ ප්‍රකෝපකාරී ක්‍රියා නිසා මුස්ලිම් අන්තවාදීන් ශක්තිමත් වීම මේ තත්වයට තුඩු දුන් බවයි. ඔවුන්ගේ ඇගිල්ල යොමු වන්නේ බොදුබල සේනාවට, රාවණා බලයට හා මහසෝන් බලකායට ය. බේරුවල දිගන සිද්ධි වල වගඋත්තර කරුවන්ට ය. ඔවුන්ගේ අදහස මේ භේද ඇති කරන්නන් ආණ්ඩු මට්ටු කර, ජනවාර්ගික භේද දුරලා, අප වඩවඩාත් ශ්‍රී ලාංකික අනන්‍යතාවයක් ඇති කිරීමට කැප විය යුතු බව ය. සංහිඳියාව වෙනුවෙන් අන් කවරදාටත් වඩා පෙනී සිටිය යුතු බව ය. මුස්ලිම් අන්තවාදීන් ද මුල කියූ කාරණා වලට එකඟ වුව ද ඒ සඳහා දෙන උත්තරයට එකඟ වන්නේ නැත. එම උත්තරය මුස්ලිම් අන්තවාදීන්ගේ අපේක්ෂාව නොවේ. ඔවුන්ට අවශ්‍ය භේද තවදුරටත් වැඩි දියුණු කිරිමටය. නැති භේද ඇති කිරීමට ය. ඒ නිසා මෙතැනදීත් ඔවුන්ගේ පණිවුඩය ෆේල් ය. අසමත් ය.

මුස්ලිම් අන්තවාදීන් මට්ටු කිරීමට ඉදිරිපත් වූ සිංහල බෞද්ධ අන්තවාදී සංවිධාන කියනු ඇත්තේ අප එදා පෙන්වා දුන් විදිහට මුස්ලිම් අන්තවාදින් මට්ටු කළේ නම් අද ඔවැන්නක් කිරීමට ඔවුන් විසින් මෙසේ ශක්තිය ගොනු නොකර ගනු ඇති බව ය. ඒ කියන්නේ එක් කට්ටියක් මේ සිදුව ඇත්තේ ඉල්ලන් කෑමක් යැයි කියන විට, ඊට ප්‍රතිපක්ෂව ප්‍රතිවිරුද්ධ පාර්ශවය කියන්නේ නයි රෙද්ද අස්සේ දමා ගෙන කනවා යැයි දැන් කෑගසන බව ය. කළ යුත්තේ හුරතල් කිරීම නොව ලවක් දෙවක් නැතුව නෙලීම බව ය. වෛරයෙන් වෛරය සංසිඳෙන්නේ නැති බවට මේ සිදුවෙමින් තිබෙන දේ කදිම උදාහරණයක් යැයි එක් බුද්ධ පුත්‍රයන් කෙනෙකු කියන විට තව කෙනෙකු කියනු ඇත්තේ පෙනේ වත් පුප්පන්නේ නැතිව ඔහොම අහිංසක ගානට හිටියොත් දර මිටි බඳින්නටත් ගනු ඇතැයි යන්න මෙයිනුත් ඔප්පු වෙනවා කියා ය. “භූමි පුත්‍ර“ සංකල්පය දරණ අය කියනු ඇත්තේ ප්‍රශ්න ඇති කරන අන්‍ය ජනවර්ගයන් රටින් පිටමං කළ යුතු බව ය. ඒ ඇරෙන්නට වෙන උත්තරයක් නැති බව ය. මෙසේ එකිනෙකට වෙනස් මති මතාන්තර තහවුරු කිරීමට මේ එකම සිද්ධිය භාවිතා කළ හැකි ය.

සිතුදේ නොම වෙයි – නොසිතු දෙයක් වෙයි

බැලූ බැල්මට ඉහත කී එක ද අස්ථානයක් වත් ඇති කිරීම බෝම්බය තැබූ අන්ත වාදීන්ගේ අපේක්ෂාව නොවිය හැකි ය. අනෙත් අතට එවැනි අස්ථානයන් ඇති වීම ම ඔවුන්ගේ අපේක්ෂා බිඳ වැටීමක් ද විය හැකි ය. එහෙත් කණගාටුවට කාරණය නම් එවැනි බිඳ වැටීමක් අතිශයින් තාවකාලික වීම ය. එක් අන්තවාදයක පැවැත්ම අනෙක් අන්තවාදයට උඩ ගෙඩි දීමක් නිසා දිගු කාලීන වශයෙන් සිදු විය හැක්කේ මුස්ලිම් අන්තවාදීන්ගේ අරමුණට එයින් ඔවුන් ද අපෙක්ෂා නොකරන තල්ලුවක් ලැබීම ය. එක් දහස් නමසිය අසූතුනේ කළු ජූලිය ලෙස හැඳින්වෙන ජාති වාදී කෝලාහල එල්ටීටීයට සොල්දාදුවන් නිර්මාණය කර දුන් ලෙසට මුස්ලිම් අන්තවාදීනට අවශ්‍ය භට පිරිස් හදා දීමක් ඒ හරහා සිදු විය හැකි ය.

රටට අවශ්‍ය තද පාලකයෙකු යැයි අදහන අයට මේ සිද්ධිය ඊට ලබා දෙන අග්‍ර සාක්ෂියකි. ඕක තමයි අපි දිගටම කියන්නේ කියමින් ඔවුහු මේ වනවිට හැම තැනකම තම අදහස පතුරුවමින් සිටිති. එවැනි පාලකයෙකු අද හෙටම ගෙන ඒමේ අවශ්‍යතාවය නැවත නැවතත් කියති. ඒ වෙනුවෙන් අද අද ම වැඩ කළ යුතු බවට ශපථ කෙරෙති. ඒ ද බෝම්බය තැබූ අයගේ ඉලක්කය නොවිය හැකි ය. එහෙත් එවැනි තද පාලකයෙකු අන්තවාදයක පැවැත්මට අවශ්‍ය ය. ත්‍රස්තවාදය බොහෝ විට ප්‍රජාතන්ත්‍රවාදය අකුලා දැමීමට ගොඩ නැගෙන උත්තරය වන නිසා ය. එය ත්‍රස්තවාදය වැඩි වර්ධනය වීමට හොඳ තෝතැන්නක් සපයන නිසා ය.

ඒ සඳහා උදාහරණ ලංකාවෙන් සැපයිය හැකි ය. ජනතා විමුක්ති පෙරමුණ පළමු අවස්ථාවේ කැරලි ගසන්නේ බුරුතු පිටින් අත්අඩංගුවට ගැනීමෙන් පසු ය. දෙවැනි වතාවේ අවි අතට ගන්නේ ඔවුන් තහනම් කිරීමෙන් පසු ය. එල්ටීටීඊ ය ගොඩ නැගෙන්නේ ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණ ප්‍රතිඥාවක් ගන්නට බල කිරීමෙන් අනතුරුව පාර්ලිමේන්තුවෙන් පන්නා දැමීමෙන් පසු ය.

එයින් ද පෙනෙන්නේ අන්තවාදීන්ගේ අපෙක්ෂාවන්ට එරෙහිව යතැයි බොහෝ දෙනෙකු සිතන උත්තර අවසානයේ ඔවුන් වෙනුවෙන් ම පෙනී සිටින බව ය. ඒ පැත්තෙන් ගත්තොත් ත්‍රස්තවාදීන් ජය ගෙන තිබෙන්නේ ය.

“රණවිරුවන්“ට විරුද්ධව නඩු පැවරීම සම්බන්ධයෙන් කෝප වී සිටි පිරිස් කියන්නේ මේ නඩු හරහා බුද්ධි අංශ අඩ පණ වීම ත්‍රස්තවාදීන් හිස එසවීමට හේතු වූ බව ය. ඔවුන්ට අනුව මේ අප විඳවන්නේ එසේ නඩු පැවරෙන තැනට වැඩ සිද්ධ විමට ඉඩ සැලසූ නිසා ය. ප්‍රතිවිරුද්ධ පාර්ශවය කියන්නේ යුද්ධය අවසානයෙන් පසු බුද්ධි අංශ මෙහෙයවන ලද්දේ ආණ්ඩුවේ දේශපාලන ප්‍රතිවාදීන් දඩයම් කිරීමට බව ය. එයින් ඇතැමෙක් කප්පම් ගැනීමෙන් වල ඉහ ගැනීමට කල්පනා කළ බව ය. ඒ් නිසා බුද්ධි අංශ අඩපන වූ බව ය. තවත් අය කියන්නේ ඔවුන් විසින් කරන ලද නොපනත්කම් නිසා ද මිනිසුන් අන්තවාදයට තල්ලු කරන්නට රුකුලක් වුනා වන්නට පුළුවන බව ය.

මේ සංවාදයෙන් අදහස් කරන්නේ ප්‍රජාතන්ත්‍රවාදය උදෙසා ත්‍රස්තවාදයට හුස්ම පිඹිය යුතු බව නොවේ. ත්‍රස්තවාදයේ සැපයුමට පහර දීම සඳහා ශක්තිමත් බුද්ධි අංශයක් තිබිය යුතු ය. හුරතල් කරන්නේ නැතිව නීති කඩකරන්නන්ට එරෙහිව අකුරට නීතිය ක්‍රියාත්මක කරන අතරතුර තමනුත් ඒ නිතීයට ගරු කරන පොලීසියක්, ආරක්ෂක හමුදාවක්, සිටිය යුතු ය. ඒ අර්ථයෙන් එවැන්නක් ක්‍රියාත්මක කරන තද පාලකයෙකු ද අවශ්‍ය ය. එහෙත් ඒ නීතියට උඩින් ඉන්නා පාලකයෙකු නොවේ. නීතියට යටත් පාලකයෙකි. ඒ පාලකයා විසින් ආරක්ෂක අංශ මෙහෙයවා ත්‍රස්තවාදීන් අල්ලා උන්ට නීති ප්‍රකාරව දඩුවම් පැමිණවිය යුතු ය. එහෙත් ඒ සියල්ලෙන් පසු ත්‍රස්තවාදය අවසන් වෙතැයි මොහොතකට වත් නොසිතිය යුතු ය.

අලියා හඳුනා ගැනීම

මේ අප කී හැම කතාවකින් ම ප්‍රශ්නයේ එක පැති කඩක් ප්‍රදර්ශනය වනවා වෙන්නට පුළුවන. එහෙත් ඒ එකක්වත් තනිවම සමස්ථ ප්‍රශ්නය අල්ලා ගන්නේ නැත. මේ කතා කියන අය තම තමන්ගේ කතා ගැන කතා කළාට අනෙත් කතා ගැන තබන නිශ්ශබ්දතාවයෙන් පෙන්වන්නේ අලියා හඳුනාගන්නට තැත් කළ අන්ධයින්ගේ ස්වභාවයම ය. තමන් අල්ලා ගෙන ඇති කෑල්ල දක්වමින්, එය ම උඩ දමමින්, සතා මේ යැයි සපථ කර අපට කීමට ය.
ත්‍රස්තවාදයේ සැපයුමට පහර දෙන අතරේ ත්‍රස්තවාදයේ ඉල්ලුම ඇති කරන හේතු ද විමසිය යුතු ය. ඒවා ද නැති කර දැමිමට කටයුතු කළ යුතු ය. ඉල්ලුම ඇති කරන්නේ සුළු ජනවර්ගයන්ට එරෙහිව ක්‍රියාත්මක කෙරෙන හිංසනයේ ය. ඔවුන්ව ප්‍රධාන ධාරාවෙන් අයින් කර දැමිමේ ය. ඔවුන්ගේ දුක් ගැනවිලි හමුවේ කිසි දෙයක් නොකර සිටීමේ ය. ඒ ඉල්ලුම නැති කිරිමේ ක්‍රියාමාර්ගයන් නොගෙන සැපයුම විතරක් නැති කර දැමීම ප්‍රමාණවත් වන්නේ නැත.
බොහෝ දෙනෙකුට අවශ්‍ය තමන් දැනටමත් දරමින් ඉන්නා දේශපාලන හෝ ආගමික මතය තහවුරු කර ගැනීම සඳහා මේ සිද්ධිය සාක්කියක් ලෙස යොදා ගැනීම පමණ ය.

මීට අමතරව සැවොම බලන්නේ සිද්ධියේ වගකීම අන් අය වෙත, ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් වෙත, පවරා තමන් නිදහස් වීමට ය. තමන්ගේ කඳවුර නිදහස් කර ගැනීමට ය. වැරැද්ද ඇත්තේ අනොකාගේ ය. අපට ඒ නිසා වගකීමක් නැත. අපට කළ හැකි දෙයක් නැත. ඉගෙන ගන්නට දෙයක් ඇත්නම් ඒ අනුන්ට ය. තමන්ට නොවේ ය.

මේ හේතු නිසා අප මේ සිද්ධියයෙන් ද පාඩම් ඉගෙන ගන්නා එකක් නැත. සිදු විය හැකි එකම දෙය නම් ලේ වැගිරීම් සහිත කෝලාහල සිදු වන තීව්‍රතාවය තව තවත් වැඩි වීම ය. ඒවා අතර කාලාන්තරය තව තවත් අඩු වීම ය.
ව්‍යාසනයකින් අප යමක් ඉගෙන ගන්නවා නම් ව්‍යාසනය ඇති කරන පාඩුව එක් අතකට තාවකාලික යැයි සැළකිය හැකි ය. එහෙත් ඒ වෙනුවට අප පාඩම් ඉගෙන ගන්නට අසමත් වීම නිසා එය දිගින් දිගට නැවත නැවතත් සිදු වේ නම් එය සදාකාලික අවාසනාවක් වන්නේ ය.

සංවාදයකින් ඉගෙනීම

යම් බරපතල හානියක් ව්‍යාසනයක් සිදු වූ විට අදාළ වගකිවයුත්තන් විසින් ඒ පිළිබඳ ප්‍රමාණවත් සංවාදයක් පැවැත්විය යුතු ය. ඒවා අහුමුළු වල කෙරෙන අවිධිමත් කතාවලට සීමා නොවී විධිමත් ලෙස කළ යුතු ය. ඒ සඳහා ප්‍රමාණික බුද්ධිමතුන්ගේ මතයන් විමසිය යුතු ය. ඔවුන්ට එකිනෙකා හා වාද විවාද කරමින්, ඇති වුනු සිද්ධිය විච්ඡේදනය කරමින්, හරවමින්, පෙරලමින්, බලන්නට අවස්ථාව දිය යුතු ය. ඒවාට හැකිතාක් පුළුල් සහභාගිත්වයක් ලබා ගත යුතු ය. සංවාදය අවසානයේ උගත් පාඩම් ලේඛන ගත කළ යුතු ය. ඒ පාඩම් වලට අනුව නැවත එවැනි ව්‍යාසනයක් ඇති නොවීමට ගන්නා වැඩ පිළිවෙල ප්‍රකාශයට පත් විය යුතු ය. ඒ සඳහා එක් එක් පාර්ශවයට ඇති වගකීම් නිශ්චය ලෙස දැක්විය යුතු ය. ඒ වැඩ පිළිවෙල නිසි පරිදි සිදු වන බවට වග බලා ගැනීමට පසුවිපරම් යාන්ත්‍රණයක් සකස් කළ යුතු ය. ඒ හරහා වැඩ පිළිවෙලේ ප්‍රගතිය වරින් වර සමාලෝචනය කළ යුතු ය. ප්‍රතිඵල ප්‍රමාණවත් නැතිනම් වැඩ පිළිවෙළ නැවත විමසිය යුතු ය.

එසේ නොකර තම මතවාදය තහවුරු කරන සිල්ලර මගකට බොහෝ දෙනෙක් පිවිසෙති. අපේ අවාසනාව එය ය. අපට ඇත්තේ උගත් පාඩම් නොවේ. කප්පරක් වන නූගත් පාඩම් ය. එයට එක් හේතුවක් වන්නේ මේ කතා කියන බොහෝ අය ඉතිහාසය හදාරා නැති වීම ය. මේ ත්‍රස්තවාදීන් බිහිකරන හේතු පිළිබඳව මනෝ විද්‍යාත්මක හෝ සමාජ විද්‍යාත්මක දෘෂ්ඨියකින් කරුණු හදාරා නැති වීම ය. වෙනත් රටවල සමාන සිද්ධි ගැන හදාරා නැති වීම ය. ඒවා ගැන විමසන්නට අවශ්‍ය යැයි ඔවුන්ට හැගෙන්නේ ද නැත. අලුතින් ඉගෙන ගන්නට ඕනෑ යැයි ඔවුන්ට හිතෙන්නේ නැත. වැරදුනේ කොහේ දැයි සෙවීම සඳහා නැවත නැවතත් විමසිය යුතු යැයි ඔවුන් හගින්නේ නැත.

දැනටමත් කොමිසමක් පත් කර තිබේ. ඒ වගකිව යුත්තන් සොයන්නට ය. එය ද අවශ්‍ය ය. එහෙත් වඩාත් අවශ්‍ය උගත හැකි පාඩම් විමසීමට කොමිසමක් පත් කිරීම ය. ත්‍රස්තවාදයේ සැපයුම පමණක් නොව ඊට ඇති ඉල්ලුම ද පාලනය කළ හැක්කේ කෙසේ දැයි සොයා බැලීම ය.
රටවල් ඉදිරියට යන්නේ තමන්ගේ වැරදීම් වලින් ඉගෙන ගන්නට ඔවුන් ගන්නා ක්‍රියාමාර්ගයන් නිසා ය. එසේ නොකරන ජාතීන්ට සිදු වන්නේ සෙසු ජාතීන් තමන් පසු කරමින් යන හැටි බලන්නට ය. එසේ බලමින් ලතවන්නට ය. එකක් පසු පස එකක් එන මෙවැනි ඛේදවාචකයන්ට නැවත නැවතත් මුහුණ දීමට ය.

අප තේරුම් ගත යුත්තේ කිසිවෙකු වෙනස් නොවේ නම් කිසිවක් වෙනස් නොවන බව ය. කිසිවෙකු යන පදයට තමන් ද අයිති බව ය. අනෙකා වෙනස් කිරිමට වඩා පහසු තමන් වෙනස් වීම ය. එවිට එහි ප්‍රතිඵලයක් ලෙස අනෙකා ද වෙනස් වන්නට නියමිත ය. ඉගෙනීම වඩාත් අවශ්‍ය තමන් වෙනස් විය යුත්තේ කෙසේ දැයි සොයා ගැනීමට ය.