ගීතයක් දිදුලන්නේ කෙසේ දැයි පැහැදිලි නැත. එසේ දිදුලන්නේ කුමන කරුණක් නිසා දැයි දිදුලන ගීතය තෝරණ අය අපට කියන්නේ ද නැත. එහෙත් සිරස ගුවන්විදුලියේ හිටපු ගමන් එක් ගීයක් පැයේ දිදුලන ගීය බවට නිවේදනය කෙරේ. ඒ ගැන අහන කෙනෙක් ද නැත.
පැයේ කණ පුපුරණ ගීතය හෝ පැයේ නින්ද යන ගීතය නොතෝරා දිදුලන ගීයක් තේරීම එක අතකට හොඳ ය.
අතීතයේ ගුවන්විදුලියෙන් අප කැමති ගීයක් ඉල්ලීමේ අවසරය තිබුනි. එහෙත් දැන් ඒ අවසරය නැතිවා වත් ද? එසේ සිතෙන්නේ ශ්‍රාවකයින් තමන්ට අහවල් ගීතය දෙන්නැයි ඉල්ලන්නේ නැතිව හොඳ ගීතයක් දෙන්නැයි ඉල්ලන නිසා ය. එතකොට ඔවුන්ට ගීතයක් ලැබේ. නොඉල්ලුවානම් හොඳ ගීතයක් නොලැබෙන්නේ ද?
දිදුලන ගීතය හා හොඳ ගීතය තීරණය කරන්නේ කවු ද? මේ ප්‍රශ්න ඇති වූයේ හිත නිස්කලංක වෙලාවක ගුවන් විදුලියට සවන් දෙන අතරේ ය.
ප්‍රශ්න කප්පරක් සමග දිවි ගෙවනා අපට මේවා ප්‍රශ්න ලෙස නොදැනී යාම පුදුමයක් නොවේ.
තමන්ගේ නම යනවා නම් මොන ගීයක් දැම්මා වුවත් මොකද? නම අහන්නට අප ආසා ය. එය හොඳ ගීතයකටත් වඩා කණට රසවත් නිසා විය හැකි ය. එහෙම බැලුවහම කැමති ගීතය නිවේදකයා කැමති එක වුව ද බරපතල ප්‍රශ්නයක් නැත.
මාධ්‍යයට සවන්දෙන අපට බොහෝවිට කල්පනාවට එන්නේ මේ මාධ්‍ය කොතරම් නම් විහිළු සපයනවා ද කියා ය. ඒ විහිළු සහිත ප්‍රසාංගික වැඩසටහන් ඔස්සේ නොවේ. සාමාන්‍ය වැඩසටහන් ඔස්සේ ය. ඒ බාල හුරතල් හා කොමල වලට අමතරව ය.
ප්‍රේමකීර්තිලා නැති අඩුව අපට දැනෙන්නේ මේවා අහන විට ය. බලන විට ය.
සමහරවිට ඔවුන් දෙනවා ඇත්තේ ජනතාව ඉල්ලන ඒවා විය හැකි ය. සත්‍යය එය නම් ප්‍රේමකීර්තිලා දහසක් හිටියත් වැඩක් වන්නේ නැත.
නම කීමට අමතරව සමහර නාලිකා සල්ලි මළු ද ශ්‍රාවකයන්ට ලබා දෙයි. සල්ලි දෙනවා නම් එක අතකට ගුවන් විදුලි නාලිකාවේ උන් මොකක් කිව්වහම මොකද?
සමහර විට සල්ලි දෙනවා ඇත්තේ මේවා ඇසීමට සිදු වීම සම්බන්ධයෙන් වන්දියක් ලෙස විය නොහැකි ද?
ලංකාවේ ජන මාධ්‍ය සංවේදී ජනතාවගෙන් ප්‍රතික්ෂේව වෙමින් තිබේ. ඒ මේ සිල්ලර වැඩ නිසා ය.
ඒවා වැඩිහරියක් කරන්නේ සිය අයිතිකරුවන් පිම්බීම ය. ඔවුන්ගේ න්‍යාය පත්‍රය ක්‍රියාත්මක කිරීම ය. රජයේ වේවා පුද්ගලික වේවා එහි ලොකු වෙනසක් නැත.
යහපාලනය ලැබීමත් සමග රජයේ මාධ්‍යය දැන් පුද්ගලික මාධ්‍යය තරම්ම නරක නැතැයි සිතෙන වෙනසක් ඇතිව තිබේ. බය තව කොතරම් කලක් එය එසේම පවතිනු ඇද්ද යන්න ය.
යටත් වැසියන් හැටියට දෙන මගුලක් බාර ගන්නවා ද පුරවැසියන් හැටියට හඩක් නගනවා ද යන්න පිළිබඳව අප ගන්නා තීරණය අනුව මාධ්‍යවල අනාගතය තීරණය වෙනවා ඇත.