සමාජ ක්‍රියාකාරීන් සමාජය ගැන දන්නවා ද?

See the source image

රටක ඉදිරිගමන පිළිබඳ තීරණාත්මක සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය ය. ඒ උදෙසා කැප වීම ඒ නිසා ම බොහෝ සමාජ ක්‍රියාකාරිහු තම යුතුකමක් සේ සළකති. බොහෝ සමාජ ව්‍යාපාර වල න්‍යාය පත්‍රය තුළ මේ අංගය ඉදිරියෙන් ම තිබෙන්නේ ද ඒ නිසා ය.

එහෙත් ඔවුන් බොහෝ දෙනෙකුට නොවැටහෙන කාරණය වනුයේ රටේ පවතින නීතිය හා මිනිසුන් විසින් ඉහළින් සළකනු ලබන චාරිත්‍ර වාරිත්‍ර අතර නොගැලපීමක් පවතින බව ය. විසල් පරතරයක් තිබෙන බව ය.

දැනට වසර කීපයකට ඉහත පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක තිබුනේ එවකට සිටි තැපැල්පති තුමා විසින් තමන්ගේ ගමේ සෑම පහසුකමක් ඇති තැපැල් කාර්යාලයක් විවෘත කිරීමක් ගැන ය. ප්‍රවෘත්තිය කියවන විට එතුමා එහි දී කරන ලද ප්‍රකාශයක් ද දැක ගන්නට ලැබුනේ ය. එහි තිබුනේ තමන් උපන් ගමට මෙවැනි අංගසම්පූර්ණ තැපැල් කාර්යාලයක් ලබා දීමට තමන්ට හැකි වීම ගැන ආඩම්බර වන බව ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට වකුගඩු රෝහල පිහිටුවන්නට ඔ්නෑ වුනේ පොළොන්නරුවේ ය. මහින්ද රාජපක්ෂ ජනපති තුමාට අහස්යානා නැව් නොපැමිණිය ද ගුවන් තොටුපලක් හා වරායක් තැනීමට අවශ්‍ය වූයේ හම්බන්තොට ය. මේ ලයිස්තුව බොහෝ සෙයින් දිග ය. එහෙත් මේ හැම දෙනාගේ ම වුවමනාව එකකි. තමන්ගේ ගමට සැලකීම ය.

මේ නිසා ලංකාව තුළ බොහෝ ආයතන තිබෙන්නේ ආර්ථික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් වඩාත් කාර්යක්ෂම යැයි කිව හැකි, වඩාත් ම යෝග්‍ය යැයි කිව හැකි, ස්ථාන වල නොවේ. අදාළ ආයතනය පිහිටුවීමට කටයුතු කළ දේශපාලනඥයාගේ ගම් පළාතේ ය.

ඒවා එසේ වෙනත් තැන් වල පිහිටුවන්නේ ඒ ඒ තනතුරු දරන අය විසින් තමන්ට තනතුර හරහා ලබා දී ඇති බලතල භාවිතා කරමින් ය. ඒ බලතල වරප්‍රසාදයක් ලෙස සළකමින් ය. ඇත්තට ම නම් ඔවුන් කරන්නේ තනතුර අපහරණය කිරීමකි. රාජ්‍ය තනතුරු තිබෙන්නේ තමන්ට කැමති අයට නැතිනම් තමන්ගේ අයට සළකන්නට නොවේ. පොදු මහජනතාවට සේවය කිරීමට ය. එහි දී අගතියෙන් තොරව මහජනතාවට සේවය කරතැයි අපේක්ෂා කෙරේ. එයින් පිට පනින්නන් නීතිය ඉදිරියේ වරදකරුවන් විය යුතු ය. එහෙත් එසේ වන්නේ නැත.

මේ කී එක ද කරුණක් ගැන වත් රටේ මිනිසුන් කුපිත වන්නේ නැත. ඔවුන්ට එය නීතියට පටහැනි යැයි තේරෙන්නේ නැත. ඔවුන් බනින්නේ එහෙම නොකළා නම් ය. අපේ කියල ඇමති කෙනෙක් හිටියට මොකවත් ගමට කළේ නෑනෙ. ඔවුන් මුව පුරා දොස් කියනු ඇත. කන්නංගර ඇමති රටට නිදහස් අධ්‍යාපනය ලබා දුන් නිසා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැළකෙතත් එතුමා මන්ත්‍රී ධුරය දැරූ ආසනයේ මහජනයාට ඔහු පෙනුනේ ගමට සේවය නොකළ කෙනෙකු හැටියට ය. ඒ නිසා තමන්ගේ පෞද්ගලික වියදමින් කුඩා පාසලක් ගොඩ නැගූ ප්‍රතිවාදියාට ඔහු පරදවා  මතුගම ආසනය ජය ගත හැකි වූයේ ය.

තමන්ට එසේ සළකන කෙනෙකු තමන්ගේ කෙනෙකු ලෙස දකින්නට පමණක් නොව ඔහුට වන්දනා මාන කිරීමට ද මිනිස්සු ඉදිරිපත් වෙති. තමන් රැක බලා ගන්නා රදළ ස්වාමියෙකු ලෙස ජනයාගේ මනස තුළ ඔහු/ඇය ඒ නිසා ම ස්ථාන ගත වන්නේ ය. මේ මිනිසුන්ගේ රට යනු ගම ය. තමන්ගේ කණ්ඩායම වෙසෙන වපසරිය ය.

මේ ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ගේ සංස්කෘතික මනස ය. ඔවුන් දන්නා එක ම නීතිය එය ය. ඒ තුළ ඇත්තේ තමන්ගේ මිනිහා රැක බලා ගන්නා ක්‍රමයකි. ඒකා වැරැද්දක් කළ ද එය ඉවසන විදිහකි. විශේෂයෙන් නායකයා තමන් ව රැක බලා ගන්නේ නම්, තමන් වැරදි කළ ද ඒ ගැන වුව නොතකා රැක බලා ගන්නේ නම්, ඔහු කොතෙක් වැරදි වුව ද රජෙකු සේ ඔහු ට සළකන හුරුවකි. කණ්ඩායම හරහා තමන්ගේ අවදානම අඩු කර ජීවිතය ගෙන යා හැකි විධි ක්‍රමයකි. තමන්ගේ අයට එක් නීතියකුත් අනෙත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කිරීම මේ හුරුව අනුව නපුරක් ලෙස සැළකෙන්නේ නැත. පවතින කුමන නීතියක් වුව තමන්ට හා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් නායකයාට නමන්නට ඉඩකඩක් ඒ තුළ අපේක්ෂා කෙරෙන්නේ ය. සිවුර ඉදිරියේ ඇකිලෙන නීතියක් රට කරවන දේශපාලනඥයා ඉදිරියේ ඇකිලෙන නීතියක් අවශ්‍ය කෙරෙන්නේ ය. අධිකරණය පවා මේ නායක දෙවර්ගය ඉදිරියේ ඇකිලිය යුතු යැයි අපේක්ෂා කරන්නේ ය. එසේ නොවන වෙනත් නීතියකට ආයතනයකට පුද්ගලයින්ට ඉඩක් මේ තුළ නැති තරම් ය.

සමාජ ක්‍රියාකාරීන්ට වැඩ කිරීමට සිදු ව ඇත්තේ මෙවැනි සමාජයක ය. ඒ සමාජය සම්මත නීතිය පයිසෙකට මායිම් කරන්නේ නැත. ඔවුන්ට නීතිය අවශ්‍ය ගමේ පිළිවෙල තුළ අවසන් කළ නොහැකි ඉඩම් හබ විසඳ ගැනීමටත් වැඩිහිටියන්ට සමථයකට පත් කළ නොහැකි කසාද කටු කා දැමීමටත් වෙනත් සිල්ලර ආරවුල් නිරාකරණය ගැනීමටත් වැනි සීමාසහිත වැඩ කීපයකට පමණ ය.

පෙර කරුමයට බොහෝ දේ බැර කර සිත හදා ගන්නා ඔවුන් මේ තියෙන ක්‍රමයේ වෙනසක් නම් සොයන්නේ නැත. මේ ක්‍රමය තුළ ම එහා මෙහා වෙමින් සීරුවෙන් මාරුවෙන් තමන්ගේ වැඩ කර ගැනීමේ කලාව ප්‍රගුණ කර ගත් විට ඔවුන්ට ඒ හොඳට ම ඇති ය. නායකයාට ගොට්ට ඇල්ලීමේ ආගමික නිල ඇල්ලීමේ සිට මේ සඳහා විවිධ උපාය මාර්ග භාවිතා කෙරෙන්නේ ය. මේ නිසා තමන් පවා දිගින් දිගට අගාධයට තල්ලු වන බව වත් ඔවුන්ට තේරෙන්නේ නැත. වැඩිම වුනොත් ඔවුන් කල්පනා කරන්නේ කරුමය වළක්වන්නට බැරි නිසා සියල්ල සිදු වන බව ය. ඒ තත්වය සම්බන්ධයෙන් තමන්ගේ ක්‍රියාපටිපාටියේ සම්බන්ධයක් නැති බව ය. තමන්ගේ වගකීමක් නැති බව ය.  

පෝර ටික, වතුර ටික, කෘෂි රසායනික නැති වුනහම මිනිසුන් කෑ ගසන බව ඇත්ත ය. ඒවා මොන ආකාරයකින් හෝ ලැබුනහම ඒ විරෝධය අවසන් වන්නේ ය. ගෑස් ගන්නට පෝලිමේ ඉන්න වුනහම ගෑස් ටැංකි පුපුරන්නට වුනහම කෑම ටිකේ මිල ඉහළ ගියහම දෙස් දෙවොල් තියන බව ඇත්ත ය. ඒත් ඒවා තරමක් හෝ මොන ක්‍රමයකින් හෝ තාවකාලිකව සමනය කර දෙන්නේ නම් ඒ කට ද වහගන්නට ඔවුන් සූදානම් ය. ඒවා එසේ වන්නේ කවර හේතුවකින් දැයි සොයන්නට ඔවුන්ට අවශ්‍ය නැත. ඒවා ඔවුන්ගේ වැඩ නොවේ. නායක කාරකාදීන්ගේ වැඩ ය.  

මේ සංස්කෘතික මනසට අභියෝග නොකර නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට බැරි ය. ඒ සංස්කෘතික මනසට අභියෝග නොකර ආර්ථිකය ගොඩ නගන්නට බැරි ය. ඒ මනසට අභියෝග නොකර අධ්‍යාපනය නංවන්නට බැරි ය. කොටින් ම රටක් ඉදිරියට ගෙන ගිය නොහැකි ය. අප නිදහස ලැබූ දා සිට පසුපසට යන්නේ මේ පටු සංස්කෘතික මනස නිසා ය.

ඒ සංස්කෘතික මනස ගොඩ නැගුනේ ලෝකයෙන් වියෝ වූ හුදකලා ගමක ජීවිතය ගෙවන්නට සිදු වීම නිසා ය. ගම දැන් දකින්නට නැතත් ඒ ග්‍රාමීය මනස තවමත් නොසෙල්වී තිබෙන්නේ ය. නගර පුරා ද හොල්මන් කරන්නේ ය.

සමාජ ක්‍රියාකාරීන්ගේ එල්ලය විය යුත්තේ මේ සංස්කෘතික මනස පුපුරුවා හැරීම ය. ඉතිරි සියල්ලට දොර විවර වන්නේ එසේ කළ හැකි නම් පමණ ය.

මෙය ඉතා දක්ෂ ලෙස කරමින් ඉන්නා ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ගැන මම දනිමි. ඒ අතර ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ද උඩුවාහර ආනන්ද හිමියන් ද විශේෂ ය. ඔවුන් මේ ඊනියා ලාංකික සංස්කෘතික මනස වෙනස් කිරීමට යොදා ගන්නේ බුද්ධ වචනය ය. සමාජ ක්‍රියාකාරීන්ට ඔවුන් අනුගමනය කළ නොහැකි බව මම දනිමි. එහෙත් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් කළ යුත්තේ කුමක් දැයි ඉගෙන ගැනීමට ඔවුන්ට බාධාවක් නැත.

අලුත් තාලයේ “නිදහස්” අධ්‍යාපන ක්‍රමයක් රටට අවශ්‍ය ය

See the source image

ලංකාවේ බොහෝ ප්‍රශ්න වල කොනක ඇත්තේ අධ්‍යාපනය ය. දෙමාපියන්ගේ රිස්ස යන්නේ ද මෙන්න මේ කියන එක දරුවන්ට ලබා දීමට වෙහෙස වීම නිසා ය. කොළඹ රථවාහන තදබදය සම්බන්ධයෙන් ද වැඩිපුර වගකිව යුත්තේ මේ අධ්‍යාපන ක්‍රමය ය. දරුවන්ගේ පමණක් නොව දෙමාපියන්ගේ ද මානසික ආතතියට වැඩිපුර ම වගකිව යුත්තේ මේ අටමගලය ය. ළමුන්ගේ අධ්‍යාපනයට කැප වෙනවා විනා ව්‍යායාමයක් වත් කරන්නට වෙලාවක් දෙමාපියන්ට නැත. ඒ හේතුවෙන් ම සෞඛ්‍ය සඳහා යන වියදම් ද ඉහළ ගොස් ඇතිවාට සැක නැත.

අනෙත් අතට කවුරුන් අකමැති වුව ද එය ලාභ දායක ව්‍යාපාරයක් බවට පත් වී අවසන් ය. දැන් ක්‍රිකට් තරඟයක විස්තර ප්‍රකාශය අතරතුර දමන වෙළඳ දැන්වීම් වැඩි ප්‍රමාණයක ඉන්නේ ද ටියුෂන් ගුරා ලා ය. පුද්ගලික විශ්වවිද්‍යාල වහන්නට දත කන කිසිවෙකුට මේ ටියුෂන් කඩ වහන්නට ධෛර්යක් නැත. අන්තර්ජාතික පාසල් පමණක් නොව ජාතික පුද්ගලික පාසල් ද දැන් බොහෝ නගරවල දකින්නට ඇත. ඒවාට ද කිසිවෙකුගේ විරෝධයක් නැත. පාසල්වල අධ්‍යාපන කාර්යය සාධනය අතර ඇත්තේ අති මහත් පරතරයන් ය. එය පළාත් අතර ද පළාත තුළ ම ද දකින්නට ලැබෙන්නකි. ඒ නිසා වඩා හොඳ ආණ්ඩුවේ පාසලකට දරුවෙකු ඇතුළත් කර ගැනීම සඳහා විශාල මිලක් අනියමින් ගෙවිය යුතු ය. එසේ වුව ද විභාගවලට අවශ්‍ය සහය මුළුමණින් ම ඒවායින් ලැබෙන්නේ නැත. දරුවන්ගේ අධ්‍යාපනය උදෙසාම නගරයට සංක්‍රමණය වූ මිනිසුන් අපමණ ය. බොහෝ පළාත්වල වෘත්තීමය සේවාවන් වල නියැලෙන්නට මිනිසුන් හිඟ වී ඇත්තේ ද මේ පරතරය නිසා සිදුවන සංක්‍රමණයන් හේතුවෙන් ය.

අවසාන ඉලක්කය විභාගය ය. ළමුන්ගේ පමණක් නොව පාසලක අධ්‍යාපන කාර්ය සාධනය මනින්නේ ද විභාග ප්‍රතිඵල අනුව ය.

මෙසේ විභාග සමත් වූ සියල්ලන් රටට වැඩ දායක වී තිබේ ද? නැත. විභාගය අවසානයේ ටික දෙනෙකුට සරසවි වරම හිමි වෙතත්, ඉතිරි අයට හිමි වන දෙයක් නැත. අඩු වශයෙන් සරසවි වරම හිමි වී උපාධිය ලබා ගත් සියල්ලන් රටට වැඩ දායක වී තිබේ ද? ඒත් නැත. බොහෝ දෙනෙකු රැකියා දියව් යන සටන් පාඨය අතැතිව මහ පාරේ රස්තියාදු වෙනු දකින්නට පුලුවන. අවසානයේ ආණ්ඩුවට සිදු වන්නේ දැනටමත් රටට බරක් වී ඇති රාජ්‍ය සේවයට ඔවුන් තොග පිටින් බඳවා ගැනීම ය. හරි හමන් තනතුරක් පවා නැති ව බඳවා ගැනීමට ය.

ඒ කියන්නේ විභාගය රටට අවශ්‍ය මිනිසුන් බිහිකිරීමට අසමත් ව ඇති බව ය. විභාගය අසමත් වූ අයගෙන් ලබන ප්‍රයෝජනයවත් ඇතැම් විභාග සමත් වූ අයගෙන් රට නොලබන බව ය.

ප්‍රශ්නය ඇත්තේ විභාග වල ද? විභාග ප්‍රමිතියේ ද?

විභාග බොහෝමයක පරීක්ෂාවට ලක්වන්නේ වන-පොත් කිරීමේ හැකියාව ය. කට පාඩම් කොට ඒවා ඒ ලෙස ම නැවත පුනරුච්ඡාරණය කිරීමේ හැකියාව ය. ඊට තරමක් වෙනස් මගක් ගන්නේ නම්, ඒ විද්‍යාව හා ගණිත විෂයයන් පමණ ය.

මේ තත්වයට උත්තර බඳින ඇතැමෙකු කියනු ඇත්තේ දැනුම වැදගත් බව ය.

වැදගත් වන්නේ දැනුම ද ඒ දැනුම භාවිතා කිරීමේ හැකියාව ද?

වැදගත් වන්නේ පවතින දැනුම ද? ඒ දැනුම ප්‍රශ්න කිරීමේ හැකියාව ද? යල් පැන ගිය දැනුම ඉවත දමා නව දැනුම උත්පාදනය කිරීමේ හැකියාව ද?

පාසල දැනුම සපයනවා විනා එය භාවිතා කරන්නට ඉඩ හසර සලසන්නේ නැත. ඒ දැනුම ප්‍රශ්න කරන්නට නම් කොහෙත්ම පොළඹවන්නේ නැත. ඒ නිසා දැනුම භාවිතා කිරීමක් වත් නව දැනුම නිපදවීමක් ඒ තුළ සිදු වන්නේ නැත.

පාසල වෙනුවෙන් තීරණය කරනු ලබන විෂය මාලාවක් සඳහා පාසල විසින් සම්පාදනය කරන ලද දැනුමක් ඉන් ලබා දේ. විභාග වල දී පරීක්ෂාවට ලක්වන්නේ ඒ දැනුම ය.

පාසලෙන් ලැබෙන්නේ අලුත් දැනුම ද? යල් පැන ගිය දැනුම ද? දැනුම ලබා ගැනීමේ මාර්ගය පාසල පමණ ද? පාසල හැරුණු කොට දැනුම ලබා ගත හැකි විවිධ මාර්ග අන්තර්ජාලය විසින් විවෘත කර තිබේ. ප්‍රශ්නයකට ඇත්තේ දැනුම පමණක් නොව දැනුම ලෙස ලේබල් කර ඇති කුණු කන්දල් ද ඒ තුළ තිබීම ය. අප කළ යුත්තේ දැනුම ලබා ගැනීමේ මාර්ග විවෘත කර දීම ත් නිවැරදි දැනුම වැරදි දැනුමෙන් වෙන් කර හඳුනා ගැනීමට අවශ්‍ය කුසලතාවයන් බිහිකර දීම ද නැතිනම් ඒ හේතුව දක්වමින් දිගින් දිගට දරුවා පාසලකට ගාල් කර තැබීම ද? පාසල බිහිකළ වකවානුවේ පාසලට හිමි ව තිබූ කාර්යය භාරය මේ වත්මන්‌ මොහොතේ කොතෙක් දුරට වලංගු වේ ද? අධ්‍යාපනය ප්‍රතිසංස්කරණ කරන්නට තටමන කවරෙකුට වුව මේවා මග හැරිය නොහැකි ප්‍රශ්න ය.

පාසල ලමුන් සුදානම් කරන්නේ විභාගයට ය. ඒ සඳහා පාසලක් අවශ්‍ය ද? සමහරු මේ ප්‍රශ්නය තවත් දිගු කොට අසන්නේ විභාගයක් පවා අවශ්‍ය ද යන්න ය. කොටසක් සමත් කරන කොටසක් අසමත් කරන විභාගයක් කොතෙක් දුරට යුක්ති යුක්ත වන්නේ ද යන්න ඒ සමගම ඔවුන් නගන අතුරු ප්‍රශ්නයකි.

වෘත්තීයවේදියෙකු වීමට නිශ්චිත කුසලතා අවශ්‍ය ය. ගණිතයට දුර්වල කෙනෙකුට ඉංජිනේරුවෙකු වීමට බැරි ය. ජීව විද්‍යාව ගැන දැනුමක් නැති කෙනෙකුට ඒ දැනුම තුළින් යම් නිගමනයන් පැමිණීමේ කුසලතාවය නැති කෙනෙකුට වෛද්‍යවරයෙකු විය නොහැකි ය. නීතිඥයෙකුට නීතිය ගැන හසල දැනුමක් තිබීමත් පැරණි නඩු තීන්දු කට පාඩමින් දැන ගෙන සිටීමත් අවශ්‍ය ය. ඊට අමතරව ඒ නඩු තීන්දු හා නීති පදනම් කර ගෙන විනිශ්චයන්ට බැසිය හැකි තර්ක ඥානය ද තිබිය යුතු ය. මතක තබා ගැනීමේ ශක්තිය නැති තර්ක ශක්තිය නැති කෙනෙකුට හොඳ නීතිඥයෙකු වීමට බැරි ය. ඒ නිසා උසස් අධ්‍යාපනය සඳහා තෝරා ගැනීමේ දී යම් අගැයීමක් අවශ්‍ය ය.

පවතින විභාග ක්‍රමය ඒ කුසලතා හඳුනා ගැනීමේ ලා කෙතරම් සඵල ද යන්න අප විමසිය යුතු ය. විභාග පවතින අර්ථයෙන් අහෝසි කළ හැකි වුව ද කිසියම් ආකාරයක අගැයීමක් නැතිව බැරි ය.

මගේ අපේක්ෂාව අප වඩාත් කාර්යක්ෂම හා සඵල අගැයීම් ක්‍රමයක් සොයා ගත යුතු බව ය. අවම වශයෙන් විභාග සඳහා ඉදිරිපත් කරන ප්‍රශ්නවල ස්වරූපයේ වත් වෙනසක් මුල් වටයේ සිදු කිරීමට කටයුතු කළ යුතු බව ය. විභාගය කොටසක් සමතුන් කරන කොටසක් අසමතුන් කරන කඩුල්ලක් වෙනුවට එක් එක් පුද්ගලයාට තමන් යා යුතු මාවත තෝරා දෙන මං සන්දියක් විය යුතු බව ය.

ඒ සඳහා විභාගයක් නැතිනම් වෙනත් ක්‍රමවේදයක් තිබිය යුතු ය. එහෙත් යම් නිශ්චිත පාසලකට හෝ සරසවියකට ඒ සඳහා ඇතුළත් විය යුතු ය යන කොන්දේසිය තවදුරටත් පවත්වා ගත යුතු ද?

දැනුමේ ඒකාධිකාරය පාසලට හෝ ආයතනයකට සින්න වී තිබුනේ ඉස්සර ය. කුසලතා සම්බන්ධයෙන් ද එය සත්‍යය ය. කුසලතා රැස්කර ගත හැකි මාර්ග අපමණ ය. සමහර කුසලතා හෝ දැනුම එක ආයතනයකින් ද තවත් ඒවා තවත් ආයතනයකින් ද ලබා ගැනීමේ නිදහස ඉගෙන ගන්නා අයට තිබිය යුතු ය. දැනටමත් බොහෝ සිසුන් අපොස උසස් පෙළ විභාගයට අවශ්‍ය දැනුම ලබා ගන්නේ ඒ නිදහස භුක්ති විඳිමින් ය. එහෙත් ඔවුන් තවමත් නිල ලෙස පාසලකට ගැට ගසා තිබේ. එසේ වුව ද ඔවුන් පාසලට එන්නේ විභාගය සඳහා ඉල්ලුම් පත් දැමීමට අවශ්‍ය අවම කොන්දේසි සම්පූර්ණ කිරීමට ය. එවන් තත්වයක් පවත්වා ගත යුත්තේ ඇයි ද යන්න අප විසින් විමසිය යුතු ය. එය බොහෝ දෙනෙකුගේ කාලය කා දැමීම හැරුණු කොට වැඩකට නැති නිසා ය.

පාසලකට හෝ එවන් නිශ්චිත ආයතනයකට ගැට ගසා නැති නිදහස් අධ්‍යාපනයක් වෙනුවෙන් අප ඉක්මණින් පෙනී සිටිය යුතු ය. පාසලකට ගොස් හෝ නොගොස් තමන්ට නිසි කුසලතා ඇතැයි අගැයීමක දී පෙන්වීමට ඔ්නෑ ම වයසක දී දරුවෙකුට හැකි විය යුතු ය. එසේ කරන්නේ නම් ‌ළමුන් සෑහෙන පිරිසකට සරසවි අධ්‍යාපනය දැන් මෙන් නාකි වන්නට පෙර සම්පූූූූර්ණ කර ගත හැකි වනු ඇත. ඒ හරහා තම දායකත්වය ඉක්මණින් රටට ලබා දීමට හැකි වනු ඇත.

නියුට්‍රල් එකේ ගියහම බ්රේක් ගැසීම අමාරු ය

See the source image

ඊළග මැතිවරණය සඳහා වැඩ කරන්නේ දේශපාලනඥයා ය. රාජ්‍ය තාන්ත්‍රිකයා වැඩ කරන්නේ ඊළග පරම්පරාව ඉලක්ක කර ගෙන ය. වෙනත් වචන වලින් කියතොත් දේශපාලනඥයා කෙටිකාලීන දැක්මකින් ද රාජ්‍ය තාන්ත්‍රිකයා දිගු කාලීන දැක්මකින් ද මෙහෙය වෙන්නේ ය.

රටක බලය ඇති, ඊළග මැතිවරණයේ දී ද ඉදිරිපත් වීමට අපේක්ෂිත, පුද්ගලයකුගේ හැසිරීම විමසන අපට හමුවන ඒ නිර්ණායකය බලය නැති මුත් බලය බලාගෙන හැසිරෙන අය සම්බන්ධයෙන් ද යොදා ගත හැකි එකකි.

මැතිවරණයක් නිශ්චිත කාල රාමුවක පවතින්නකි. ඒ කාල වකවානුවට යටත් ව වැඩ කරන විට බලය අපේක්ෂා කරන අයට ද ෂෝට් කට් සෙවීමට සිදු වන්නේ ය. කෙටි කාලීන උපාය මාර්ග අනුගමනය කිරීමට සිදු වන්නේ ය.

ඒ වැඩ පිළිවෙල තුළ මිනිසුන්ට පෙනෙන්නටවත් පන්සල් වන්දනා කරන්නට සිදු වන්නේ ය. සමරිසි අයිතිවාසිකම් ගැන ප්‍රසිද්ධියේ කතා නොකර ඉන්නට සිදු වන්නේ ය. ශාසනයේ පවතින නිකාය භේදය ශාසනය විසින් විසඳාගත යුතු වැඩක් ලෙස දක්වා ජාම බේරාගන්නට සිදු වන්නේ ය. යමක් ප්‍රතිපත්තිමය වශයෙන් වැරදි වුව ද සංස්කෘතිය රැක ගැනීම උදෙසා පෙනී සිටින බැවින් ඒ වැරැද්ද මතු නොකර සිටීමට වග බලා ගත යුතු වන්නේ ය.

මිනිසුන් ඉදිරියට තල්ලු කරන වැඩය තාවකාලිකව පැත්තකට තබා මිනිසුන් සිටින තැනට වී මිනිසුන්ගේ වැරදි හැසිරීම් හා පටු අදහස් පිළිබඳව මුවින් නොබැන බලා සිටීමට සිදු වන්නේ ය. එසේ වන්නේ කෙටි කාලයකින් මිනිසුන් වෙනස් කළ නොහැකි බැවිනි. හෙට අනිද්දා බලය ලබා ගැනීමට සූදානම් වන කණ්ඩායමකට මිනිසුන් වෙනස් කිරීම පසෙක තබා මිනිසුන්ට අනුව තමන් හැඩ ගස්වා ගැනීමට ඒ අනුව සිදු වන්නේ ය. ඒ මිනිසුන්ගේ කැමැත්ත ගැනීම ප්‍රථම රාජකාරිය කර ගැනීමට ඔවුන්ට සිදු ව ඇති නිසා ය.

ඔවුන්ගෙන් දිගින් දිගට ප්‍රශ්න කරන විට ප්‍රසිද්ධියේ නොකියන දෙයක් ඔවුන්ගෙන්, විශේෂයෙන් ඔවුන්ගේ නායකයන්ගෙන්, ගිලිහෙන්නේ ය. ඒ බලය ලබා ගත් පසු ඒ බලය ද භාවිතයට ගෙන මිනිසුන් වෙනස් කරන බව ය.

බැලූ බැල්මට එහි ඇති වැරැද්දක් නොපෙනේ. මිනිසුන් වෙනස් කර බලය ලබා ගන්නවාට වඩා බලය ලබා ගෙන මිනිසුන් වෙනස් කිරීම පහසු යැයි පෙනෙන නිසා ය.

එසේ කියන අය රට ගොඩ නගන්න හදන්නේ මිනිසුන් සමග එකතු ව නොවේ. මිනිසුන් පිටුපස සිට මෙහෙය වීමෙනි. ඒ කියන්නේ කිසියම් ආකාරයක බලයක් මිනිසුන් කෙරෙහි බල පැවැත්වීමෙනි.

බලහත්කාරයෙන් වැඩක් කර වීම පහසු කාර්යයක් නොවේ. ඒ සඳහා පිටුපසින් සිටිය යුතු ය. කෙවිටක් ගත යුතු ය. එයින් අවසානයේ සිදු වන්නේ එලියට පෙනෙන්නට මිනිසුන් හැසිරෙන ආකාරය වෙනස් වීම ය. ඇතුළතින් තවමත් මිනිසුන් පරණ සුපුරුදු තැන රැඳීමට තැත් කිරීම ය. පරණ කුණු කන්දල් වෙනත් සියුම් ස්වරූපයන්ගෙන් ක්‍රියාත්මක වීම ය. ඒවා යටිබිම් ගත වීම ය.

ඉරාන විප්ලවයට පෙර මිනිසුන් නිවෙස් තුළ ආගම ඇදහූ අතර එලියේ නිදහසේ විනෝද වූ බවත් විප්ලවයෙන් පසු ව නිවෙස් ඇතුළේ විනෝද වීමට හා එලියේ ආගම ඇදහීමට යොමු වූ බවත් කියවෙන්නේ ඒ නිසා ය.

ඇතැම් තැනක විරෝධයන් එලියට ම මතු විය හැකි ය. බලයට එනකොට නම් ඔය මොකක්වත් කිව්වෙ නෑ. දැනං හිටිය නම් චන්දෙ දෙනවා තිය හිතන්නෙවත් නෑ. යන පාඨයන් මිනිසුන්ගේ මුවින් ගිලිහිය හැකි ය.

සමහර විටක දිගු කාලීන දර්ශනය ජන ගත නොවී සඟවා තැබූ නිසා ම ඒ ගැන නොදත් ඒ ව්‍යාපාරයේ ම අය තුළින් විරෝධයන් මතු විය හැකි ය. ඒවා නායකත්වයට කරන තර්ජනයන් ලෙස සළකමින් තමන්ගේ ම අනුගාමිකයන් පවා මර්දනය කිරීමට එවිට නායකත්වයට ම සිදු වන්නේ ය. විරෝධයන් පාලනය කිරීමට වාරණයන් පැනවීමට සිදු වන්නේ ය. ඒ සියල්ලෙන් වන්නේ ප්‍රජාතන්ත්‍රවාදයට කෙළ වීම ය.

නායකයාට සිදු වනුයේ ජනතාව ගැන විශ්වාසය තබනු වෙනුවට මර්දනකාරී රාජ්‍ය යාන්ත්‍රණය ගැන විශ්වාසය තැබීමට ය.

වෙනසක් සඳහා මිනිසුන් බල මුළු ගැන්විය යුතු ව්‍යාපාරයක් මැතිවරණය වෙනුවෙන් මිනිසුන්ට අවශ්‍ය විදිහට තමන් වෙනස් කර ගැනීමට කටයුතු කිරීමෙන් අත් විය හැකි යහපත් ප්‍රතිඵලයක් නැත. ඊට ප්‍රතිපක්ෂව අපට කිව හැක්කේ එවැනි ව්‍යාපාරයකට බැරි වෙලාවත් බලය ලැබුණොත් ඇති විය හැකි ප්‍රතිඵල භයානක විය හැකි බව පමණ ය. අප තේරුම් ගත යුත්තේ නියුට්‍රල් දමා පල්ලම් බහින වාහනයක තිරිංග තද කිරීමට නොහැකි විය හැකි බව ය. තාවකාලික ඉන්ධන වාසියක් සිදු වුව ද එවැනි ක්‍රියා අනතුරකට අත වනන බව ය.