අවසානයේ සාමය

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/12/09/Fea02.jpg

(මෙය මුල් වරට පල වූයේ 2019 දෙසැම්බර් 10 දිනමිණ පුවත් පතේ ය. කාලයත් සමග සියල්ල වෙනස් වන්නේ වුව ද ඒ කාල වකවානුවේ තබා බලන්නේ නම් අදහස තේරුම් ගත හැකි ය).. එදා අද අතර ද කෙරම් නම් දේ වෙනස් වි ඇද්ද?).

අවසානයේ සාමය පැමිණියේ ය. නොසිතූ මොහොතක නොසිතූ විලාශයෙන් එය පැමිණියේ ය. එය කොතරම් අනපේක්ෂිත අයුරින් සිදු වූවේ ද යත් බොහෝ දෙනෙකුට එය විශ්වාස කිරීමට පවා බැරි විය. බොහෝ දෙනෙකු අන්ද මන්ද කරමින් එය පැමිණියේ ය.

පූර්ව මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා පමණක් නොව බොහෝ කොට සිදුවන පශ්චාත් මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා ද සාපෙක්ෂව අඩු වූ මැතිවරණයක් ලෙස පසුගිය මැතිවරණය සහතික ලබමින් සාමයේ පණිවුඩය ගෙනාවේ ය. බලය මාරු වීම බලය නැති වූ එකාගේ අවාසනාවක් වන රටක් මෙසේ හැසිරීම ම සාමය පිළිබඳ නව බලාපොරොත්තු ඇති කරන්නේ ය. අතරින් පතර ඇති වූ ප්‍රචණ්ඩ ක්‍රියා සම්බන්ධයෙන් ද වගකිව යුත්තන්ට නඩු පැවරීමට කටයුතු කරන්නේ නම් ඇති වූ කුඩා කළු පැල්ලම් කීපය ද ඉවත් කර ගත හැකි ය. මේ ගැටුම් පිටුපස බොහෝ විට තියෙන්නේ පෞද්ගලික කෝන්තර ය. මැතිවරණ ජය ඒ කෝන්තර පිරමසා ගනු පිණිස ලබා ගන්නා ආවරණයන් ය. ඒ නිසා ම ඒවාට සම්බන්ධ අයට නිසි දඩුවම් ලබා දී අනාගත සාමය සඳහා පැහැදිලි ආයෝජනයක් කළ යුතු ය.

මහවිරු සැමරුම තවදුරටත් රජයට අභියෝගයක් වූයේ නැත. තමන්ගේ මියගිය ඥාතීන් සැමරීමට කළ උත්සහයක් ලෙස සළකා එය අමතක කර දැමීමට රජය කටයුතු කළේ ය. එයින් පුදුම වන්නට ඇත්තේ දකුණේ මිනිසුන් පමණක් නොවේ. උතුර ද පුදුම වන්නට ඇත.

එකිනෙකා කෙරෙහි අහිතම පතුරුවන්නට කටයුතු කළ බලවේගයන්ට රජයේ ඒ අස්ථානය අලුත් පාඩමක් කියා දුන්නේ ය. උතුර දකුණ පාලම අලුත් තාලයකට ඉදිවෙමින් තියෙන්නේ ය.

වෙන එකක් තබා බොදු බල සේනා හා රාවණා බලය විසුරුවා හැරීමට ද නියමිත ය. එක යුගයක සාමයට බාධා කළ බලවේග අතර දකුණ නියෝජනය කළා වූ මේ සංවිධාන විසුරුවා හැරීම ම සාමයට කළ ආරාධනාවකි.

ඉන්දියාව මිතුරෙකු ලෙස

ඉන්දියාව තවදුරටත් සතුරෙකු ලෙස සැළකෙන්නේ නැත. ඉන්දියානු ගිලන් රථ සේවයට විරුද්ධව කතා කළ අය ද මෝදි ලංකාවට පැමිණෙන විට කළු කොඩි දැමූ අය ද ඒ වෙනුවෙන් මහ හඩින් ඝෝෂා කළ අය ද දැන් ඉන්දියාව මිතුරෙකු සළකන්නට සූදානම් ය.

ඉන්දියාවේ වුවමනා එපාකම් ගැන ලංකාව සංවේදී බව ජනාධිපතිතුමා කියා සිටියේ ය. චීනයට උගස් කළ වරාය නැවත ලබා ගැනීම පිළිබඳ සළකා බලන බව ද එතුමා කීවේ ය. ඉන්දියාව අපේ අසල්වැසියා ය. ඉන්දියාවේ ආරක්ෂාව සම්බන්ධයෙන් අප සංවේදී වීමෙන් අප අපේ අසල්වාසියාට දිගු කළේ මිත්‍රත්වයේ හස්තය ය.

ඉන්දියාව නොරොක් කර ගැනීමේ පාඩම් අප විඳ ඇත්තෙමු. එක වකවානුවක අප රටේ ත්‍රස්තවාදයේ පුහුණු කඳවුරු නඩත්තු කළේ ඉන්දියාව ය.

මිලේනියම් චැලෙන්ජ් ගිවිසුම සම්බන්ධයෙන් ද පරීක්ෂා කිරීමෙන් පසු තීරණයක් ගන්නා බව ආණ්ඩුව පැත්තෙන් ප්‍රකාශ විය. එය ආධාර මුදලක් නිසා අනවශ්‍ය කොන්දේසි නැත්නම් ඒ ආධාරය ලබා ගැනීම වරදක් වන්නේ නැත.

වාර්ථා වන විදිහට කොන්දේසි ඇත්තේ මානව හිමිකම් පිළිබඳ ක්ෂේත්‍රයේ ය. නව ආණ්ඩුව මානව හිමිකම් සම්බන්ධයෙන් සාධනීය ප්‍රවේශයක් අනුගමනය කරන බව මහවිරු සැමරුම් සම්බන්ධයෙන් අනුගමනය කළ වතාවත් වලින් පෙනෙන නිසා ප්‍රශ්නයක් ඇතිවන්නට විදිහක් නැත.

ගෝලීයකරණය වූ ලෝකයක සියල්ලන් සමග යහපත් මිත්‍ර සම්බන්ධතා පවත්වා ගැනීම වැදගත් ය. ඒ සියල්ල යහපත් අනාගතයක සළකුණු ය.

ජනාධිපති තුමා ජාතික ඇඳුම අඳින්නේ නැත. සාටකයක් පළඳින්නේ නැත. පොදු ජනතාවගේ වත්මන් ඇඳුම වන කලිසමකින් හා කමිසයකින් එතුමා සැරසී සිටින්නේ ය.

පෙළවහට ගන්නට කලිසම් කමිස අඳින සොයන යුවතියන් චන්දය දෙන්නට ජාතික ඇඳුම අඳින කෙනෙකු සොයන යුගයට ඒ අනුව තිතක් වැටුනේ ය. එය ද සාමයට රුකුලකි. වුවමනා නැති මායම් නැතිව කෙලින් ජීවත් වන නායකයෙකු රටකට වාසනාවන්ත ය.

ජනපතිවරණයේ ප්‍රතිඵල වල ආතල් එක පිට වීදිවල දෙමළ නාම පුවරු ඉවත් කළ පිරිසක් සිටියෝ ය. ඕනෑම රටක කරදර කැන්දන පිරිසක් සිටින අතර සෙසු මිනිසුන් නිහඩව සිටියොත් හා පාලකයන් නිහඩව සිටියොත් උන් පොරවල් වන්නෝ ය. මෙතැන දී කළ අකටයුත්ත වහාම නිවැරදි කරන ලද අතර එවැනි ජඩ වැඩ වලට විරුද්ධ නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට නිවේදන ද නිකුත් වුනේ ය. ඒ සියල්ල ද යහපත් ලක්ෂණ ය.

කිරි බඳුනට ගොම?

නගර ගම් දනව් පිරිසිදු කරමින් පවතී. වෙනදා නැති උද්යෝගයකින් අදාළ ආයතන ද ස්වේච්ඡා සේවකයන් ද ඒ කාර්යයේ නිරත වනු අපට පෙනේ. එය ද සිතේ සාමයට අත්‍යවශ්‍ය මැදිහත් වීමකි. කුණු තියෙන වටපිටාවක හිතේ සාමයක් ඇති වන්නේ නැති නිසා ය.

කුණු නිසි ලෙස බැහැර කරන්නේ නම් කුණු ප්‍රශ්නයක් අනාගතයේ ඇතිවන එකක් නැත. කුණු බැහැර කිරීම සඳහා මහජන සහයෝගය මෙන් ම කුණු බැහැර කිරීමේ විද්‍යාත්මක ක්‍රම භාවිතය ද වැදගත් ය. ඒ මීතොටමුල්ලක් නැවත ඇති නොවනු පිණිස ය.

ආණ්ඩුවේ හා ජනාධිපතිතුමාගේ මේ සියලු සාධනීය පියවර අහෝසි කර දැමීමට සමත් අතිශය භයංකර සිද්ධියක් මේ අතර වාර්ථා වුනේ ය. ඒ ස්විස්ටර්ලන්ත තනාපති කාර්යාලයේ නිලධාරිනියක් පැහැර ගෙන ගිය බවට පළවූ වාර්ථාව ය. එය කෙසේවත් සාමයට උඩ ගෙඩි දෙන්නේ නැත. එවැනි සිද්ධියක් වූවා නම් ඊට උදව් කළ සියලු දෙනා පමා නොවී නීතිය හමුවට ගෙන ඒමෙන් ඒ නරක පූර්වාදර්ශයට තිත තැබිය හැකි ය. පොලීසිය විසින් අවශ්‍ය පර්යේෂණ කටයුතු කරන නිසා අපි ඒවායේ ප්‍රතිඵල දෙස ඕනෑකමින් බලා සිටිමු.

ඒ අතර තාප්ප අලංකරණය වැඩ සටහනක් ද සමාන්තර ක්‍රියාත්මක වෙමින් තිබෙන්නේ ය. එය කලකට උඩ දී ආරම්භ වුව ද ආණ්ඩු පෙරලියත් සමග ඊට අමතර ජවයක් එකතුව තිබෙන්නේ ය. එසේ වුව ද එය සිදු වන්නේ ආණ්ඩුවේ අනුග්‍රහය පවා නැතිව ය. රට අලංකරණය කිරීම යහපත් දෙයකි. එහෙත් අලංකරණයේ නාමයෙන් සාමයට එරෙහි පණිවුඩ ජනගත කිරීමට අවස්ථාව සැලසීම ගැන නම් දෙවරක් සිතිය යුතු ය. එසේ සිතෙන්නේ නිර්මාණය කර ඇති ඇතැම් චිත්‍ර දකින විට ය. මේ චිත්‍රකර්මය කරන අතරතුර පෝස්ටර් ගැසීමටත් සීමිත අවකාශයක් වෙන් කිරීමට පියවර ගැනීමට සංවිධායකයන් විසින් වග බලා ගත යුතු ය. නැත්නම් ඒ අවකාශය කෙසේ හෝ ලබා ගැනීමට ඉඩ තිබේ. එය අනතුරකට අත වැනීමක් වනවා ඇත.

මේ ඇතැම් චිත්‍ර තුළ අන්තවාදීත්වයට අත වණන ස්වරූපයක් පෙනෙන බව අපි කීවෙමු. ඒවා දැනට දකුණේ අන්තවාදයට උඩ ගෙඩි දෙන අතර උතුරේ අන්තවාදීන්ට ද සමානව ප්‍රතිචාර දැක්වීමේ ආරාධනාවක් ඉන් සැපයෙන්නේ  ය. මෙහි අවසාන ප්‍රතිඵලය වනු ඇත්තේ තාප්ප යුද්ධයකි. ඒ නිසා ම මේ චිත්‍ර ව්‍යාපාරය තුළ යම් චාරයක් ඇති කළ යුතු ව තිබෙන්නේ ය.

මේ අප යන්නේ අසීරු ගමනකි. රටේ ආර්ථිකය තිබෙන්නේ අතිශයින් දුර්වල තැනක ය. රට වැටී ඇති ඒ තත්වය යටතේ අපට අද අත්‍යවශ්‍යව ඇත්තේ රට ගොඩ නැගීම සඳහා ඉස්පාසුවකි. ඒ සඳහා අවශ්‍ය මූලික කොන්දේසිය අනවශ්‍ය ගැටුම් වලින් තොර සාමකාමී පරිසරයකි. ආයෝජකයන් පැමිණෙන්නේ ගැටුම් රහිත රටවලට ය. ඔවුන් අනවශ්‍ය අවදානම් නොගන්නා නිසා ය. එවැනි රටවල් තව කොතෙකුත් තිබිය දී ගැටුම් සහිත රටවල්වලට ඒම ම පිස්සුවක් නිසා ය.

ජනාධිපතිතුමා කියා සිටියේ වසර පහක් තමාට දෙන ලෙස ය. වසර පහ අවසානයේ තමාව විනිශ්චය කරන ලෙස ය.

පසුගිය ආණ්ඩුව ඇති කළ ලිහිල් වටපිටාව නිසා ම බොහෝ ‍දෙනා අසාධාරණ ඉල්ලීම් පවා ඉදිරිපත් කරමින් උද්ඝෝෂණයන්හි නියැලුනු බව අපට මතක ය. එවන් දේ මතු නොවන්නට ආණ්ඩුව පමණක් නොව ඊනියා උද්ඝෝෂකයින් ද වග බලා ගත යුතු ය.

අනෙත් අතට ආණ්ඩුව පැත්තෙන් ද සාධාරණත්වය ඉටු විය යුතු ය. ගින්නක් නැතිව දුමක් හටගන්නේ කලාතුරකිනි. ඒ නිසා දුම් නැවැත්වීම උදෙසා ගිනි ඇවිල නොවීමට ද ආණ්ඩුව පැත්තෙන් වග බලා ගත යුතු ය.

අතීතයෙන් මිදෙමු

හැම දේශපාලන කඳවුරකම පාහේ අතීතය සොඳුරු නැත. අතීතය ම කබල් ගාමින් නොඉඳ අනාගතය දෙස බැලීමට අපට ඕනෑ තරම් කරුණු යෙදී තිබේ. ඒ නිසා ම මේ මොහොතේ අතීතය අමතක කර අනාගතය සියල්ලන් හා එක් ව සුන්දර කරන්නට අප විසින් වග බලා ගත යුතු ය. සාමයට වටිනාකමක් ලැබෙන්නේ එවැනි වටපිටාවක ය.

ඒ සඳහා විරුද්ධවාදීන් සාධාරණ හේතු නැතිව දඩයම් කිරීම් නොකට යුතු ය.

ඉදිරි වසර ඇතුළත තවත් මැතිවරණ කීපයක් පැවැත්වීමට නියමිත ය. එයින් මහමැතිවරණය ප්‍රධාන ය. අමතරව පළාත් සභා මැතිවරණ ද තිබේ. ඒ හැම එකකට ම යොදන්නට සිදු වන්නේ දුෂ්කරතා ගහන ආර්ථිකයක බැරි මරගාතේ උපදවන මුදල් ය.

ලංකාවේ මැතිවරණ වැඩි ය. මෙසේ මැතිවරණ කීපයක් පවත්වනවා වෙනුවට එක මැතිවරණයකින් ප්‍රාදේශීය සභා, පළාත් සභා, පාර්ලිමේන්තුව හා ජනාධිපති ඇතුළු සියලු මට්ටම් වල නියෝජිතයන් තෝරාගත හැකි ක්‍රමයක් හඳුන්වා දීම ගැන ද නව රජයට අවධානය යොමු කළ හැකි ය. ප්‍රාදේශීය සභා මට්ටමෙන් තෝරාගන්නා නියෝජිතයන්ට පළාත් සභා මට්ටමේ නියෝජිතයන් ද ඔවුන්ට පාර්ලිමේන්තු නියෝජිතයන් ද තෝරාගත හැකි ක්‍රමයක් ගැන අපට සිතිය හැකි ය. එවන් වටපිටාවක විශාල වියදම් දැරීමට කිසිදු දේශපාලනඥයෙකුට හෝ පක්ෂයකට සිදු නොවනු ඇත. දූෂිතයන් පලවා හැර සැබෑ ජනතා නියෝජිතයන් පත් කර ගැනීමට ද එයින් ජනතාවට අවස්ථාවක් ලැබෙනු ඇත.

එසේ නොකොට දැනට පවතින ක්‍රමයට මැතිවරණ පවත්වන්නේ නම් මුදල් යහමින් ඇති මැර බලය ඇති අයට නොමිනේෂන් දෙන්නට පක්ෂවලට සිදු වනු ඇති අතර කැබිනට්ටුව හැදීමට සිද්ධ වන්නේ දැන් මෙන්ම බාල ලී වලින් ම ය.

මැතිවරණයට ඉදිරිපත් විය හැකි අපේක්ෂකයන් සම්බන්ධයෙන් ද යම් සීමාවන් පැනවිය යුතුව තිබේ. නැතිනම් සිදු වන්නේ මහජන මුදල් වැය කරමින් මිනිසුන් නොදන්නා අපේක්ෂකයන්ට චන්ද පත්‍රිකාවල ඉඩක් වෙන් කිරීමට ය. එසේ සීමාවන් පැනවිය යුත්තේ ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතියට ද ගරු කරමින් ය. ඒ නිසා ම ඇප මුදල ඉහළ දැමීමට වඩා නිර්මාණශීලි නිර්ණායකයන් අනුගමනය කළ යුතු ය. මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමේ සභාපති තුමාගේ හා සෙසු සාමාජිකයින්ගේ අදහස් ද දේශපාලන පක්ෂවල අදහස් ද වැදගත් විය හැකි ය.

සාමය බෙර ගසා පැමිණියේ වුව ද එය කොයි මොහොතේ හෝ පෑල දොරින් වල් වදීවි දැයි කිව නොහැකි ය. ඒ නිසා මේ ලද සාමය ආරක්ෂා කරමින් එය වඩාත් ඉදිරියට ගෙන යෑමට අප කටයුතු කළ යුතු ය. ඒ සම්බන්ධයෙන් සංවාදයන් ඇති කිරීම රටේ ඉන්නා සැබෑ විද්වතුන්ගේ වගකීමක් වන්නේ ය.

ආර්ථික සංවර්ධනය

රටේ ඌන ආර්ථික සංවර්ධනය වාර්ගික ගැටුම් තීව්‍ර කිරීමට බල පෑ බව ඇත්ත ය. එහෙමට සංවර්ධනයක් නැති රටක සැමටම බෙදා ගත හැකි තරම් සම්පත්, අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා හා ව්‍යාපාරික අවස්ථා බිහි වන්නේ නැත. ඒ නිසා ම නිපදවන සොච්චම බෙදා ගැනීමට විවිධ බෙදීම් හදා ගෙන රණ්ඩු සරුවල් ඇති කර ගැනීම ස්වභාවික ය. වර්ගවාදයට අවශ්‍ය පදනම සපයන්නේ ද මේ රණ්ඩු සරුවල් ය. එහෙම බැලුවහම ආර්ථික සංවර්ධනය ද මේ වාර්ගික අන්තවාදයන් නැති කිරීමට අවශ්‍ය එක පූර්ව කොන්දේසියක් බවට සැකයක් නැත.

එහෙත් එයින් පමණක් සියල්ල විසඳේ යැයි සිතීම මිරිඟුවකි. යම් භූගෝලීය ප්‍රදේශයක එකම භාෂාවක් කතා කරන ජනතාවක් වෙසෙන කල ඔවුන්ට තමන්ගේ ප්‍රදේශය තමන්ට වඩාත් රිසි පරිදි පාලනය කර ගැනීමේ වුවමනාවක් ඇති වීම ස්වභාවික ය. වෙන වෙනම රටවල් අතීතයේ හැදුනේ එවැනි වුවමනාවන් ඉටු කර ගැනීමට ය. ආර්ථික ගැටළු නැති කැනඩාවේ ද මහා බ්‍රිතාන්‍යයේ ද ස්වයං පාලනයක් සඳහා කියුබෙක් ප්‍රාන්තයෙන් ද ස්කොට්ලන්තයෙන් හා අයර්ලන්තයෙන් ද ඉල්ලීම් ඉදිරිපත් වන්නේ ඒ නිසා ය.

ලංකාව තුළ තවත් රටක් හැදීමට තරම් ඉඩක් නැත. පළාත් සභාවලින් අපේක්ෂා කළේ නොබෙදුනු රටක් තුළ බලය යම් තාක් දුරකට බෙදීම ය. ඒ සඳහා ප්‍රමාණවත් උත්සහයක් ගැනීම ද ආර්ථික සංවර්ධනයට අමතරව සාමය සඳහා අවශ්‍ය ය.

අප සුද්දාගෙන් නිදහස ඉල්ලා සිටියේ සුදු පාලනය නරක නිසා ම නොවේ.  අපට අපේම පාලනයක් වුවමනා වූ නිසා ය. අපේ අය බාරගත්තාට පසු පාලනය ඒ තරම් ම හොඳ නොවූ නිසාවෙන් නැවතත් සුද්දාට ම රට දිය යුතු යැයි විහිළුවට කියන්නට පටන් ගත් හැටි අපට මතක ය. හැම ජාතියක්ම යම්තාක් දුරට සෛවරීත්වයක් විඳීමට කැමති ය.

බෙදිය යුතු බලය පිළිබඳ යම් සංවාදයක් ඇති කිරීම ඒ නිසා වැදගත් ය. දහතුන්වෙනි සංශෝධනය ඒ සඳහා පාදම වශයෙන් ගත හැකි ය. බලය බෙදීම ද අවසානයකට ගෙන ගොස් සැමට එකඟ විය හැකි තත්වයක් නිර්මාණය කළ හැකි නම් සාමය ස්ථාපිත කළ හැකි ය. එසේ කළ හැකි දාට නිත්‍ය වශයෙන් ම අප දිනුම් ය. ඒ සඳහා අවශ්‍ය තරම් බලයක් ද හැකියාවක් ද වත්මන් රජයට ඇත.

අවශ්‍ය සහය

එය පමණක් ප්‍රමාණවත් නැත. ඒ සඳහා රජයට බෞද්ධ භික්ෂූන් වහන්සේලාගේ ද වියතුන්ගේ ද සහය ද නොඅඩුව ලැබිය යුතු ය.

ජාත්‍යන්තර ආධාර ඇතිව හිස ඔසවන මුස්ලිම් අන්තවාදය ද අපේ සාමයට මෑතකදි එල්ල වුනු මරු පහරකි. ඒ අන්තවාදය හිස එසවූයේ ද දකුණේ සිංහල බෞද්ධ අන්තවාදින්ගේ නොමද සහය ඇතිව ය. ඒ වෙනුවට අප කළ යුත්තේ සාමයට කැමති සාමාන්‍ය මුස්ලිම් ජනයා දිනා ගැනීම ය. අන්තවාදය පරාජය කිරීමට ඔවුන්ගේ අධාර පැතීම ය. සෙසු ජනයාට තරමට ම මේ මුස්ලිම් අන්තවාදය මුස්ලිම් ජනතාවට ද ප්‍රශ්නයක් වී තිබේ. ඒ නිසා ම ඔවුන් ත්‍රස්තවාදීන්ගේ ගොඩට තල්ලු කර නොදමා සාමයේ කඳවුර වෙත දිනා ගැනිමේ අමතර අභියෝගය ද අප වෙත තිබේ. ඒ සඳහා ද ප්‍රමාණික විද්වතුන්ගේ ද සෑම ආගමකම පූජකවරුන්ගේ ද සහය අවශ්‍යව තිබේ.

අද අපට වඩාත් අවශ්‍ය සාමය ය. එය ලැබෙන්නේ නම් ජාතික ආරක්ෂාව ඉබේම ලැබෙනු ඇත්තේ ය. ඒ දෙක ම අවශ්‍ය වන්නේ වැටී ඇති ආර්ථිකය තවදුරටත් නොවැටී බේරා ගනු ද පිණිස ය. අවශ්‍ය සංවර්ධනය දියත් කිරීමට හුස්මක් ද ගනු පිණිස ය. ඉස්පාසුවක් ද ගනු පිණිස ය.

මේ ලැබී ඇත්තේ අවසන් අවස්ථාව ය. මෙතෙක් හැම බස් එකක් ම අපට වැරදුනේ ය. මේ අන්තිම බස් එක නම් අල්ලා නොගෙන බැරි ය. ඒ සඳහා කැප වෙන හැම කෙනෙකුටම අනාගත පරම්පරාවල ප්‍රණාමය පුද දෙනු ඇත.

අප එහිලා අසාර්ථක වුවහොත් තවදුරටත් දිවි එපා කියා මේ භූමියෙන් පැන යන අපේ දරුවන් දෙස බලමින් සෝ සුසුම් හෙලීමට අපට සිදු වනු ඇත. අපට ම සාප කරගනිමින් පසුතැවිල්ලක් හිතැතිව මිය යන්නට ද අපට සිදු වනු ඇත.

මං පොර ජාතකයේ පූරකගේ ආරම්භය

Speech & Drama Success • Performing Arts News • Arts & Culture • B

ජවය තෙදවත් ය
මදය නාඹර ය
මනස වියවුල් ය
මොළය හොල්මන් ය
නවකයින් රැගත් නැව එන්නේ
ඔන්න ඔය කියන වරායට ය.

 

උන් නම් පීචං ය
අපි අති උතුම් ය
ඒ වසරක වෙනස ය
මං පොර ජාතකයට
සභාව විවෘත ය

 

මං වෙනුවෙන් මට
කියන එක හරියටම හරි නැති නිසා
අපි වෙනුවෙන් අපට
කියාගෙන මේ එන්නෙ
නවක වද කෝළම ය

 

උන් ලද පීඩනය
අනුන් මත හෙලන්නට
රිසි සේ පෙලන්නට
නැතිවන තුරු නෙලන්නට
නවකයන්ගේම අවසරත් අරගෙන
ඌ සබයට එන්නේ ය
ලබන වසරේ උන්ටත් එයම ලැබිය හැකි බව කියාගෙන ම

 

ඒ කොහොම වුනත් මේ සියල්ල
අපි වෙනුවෙන් අපට ය
– නිශාන්ත කමලදාස

ජනපතිවරණ අපේක්ෂකයින් හා අපේ අපේක්ෂා

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/10/21/Untitled-2.jpg

(මෙය මුල්වරට දිනමිණ පුවත්පතේ පළ වූයේ ජනාධිපතිවරණයට පෙර ය. එහෙත් මෙය වඩාත් රසවත් විය හැක්කේ දැන් කියවන විට ය).

මුළු රටම ජනපතිවරණයට සූදානම් ය. ලස්සණ මුහුණු වලින් තාප්ප හැඩ වෙන්නේ ය. රතිඤ්ඤා දැල්වෙන්නේ ය.  කණ දෙදරවන හඩින් ප්‍රතිඥා ද සපථ කිරීම් ද ඇසෙන්නේ ය. වියත්තු ද කලා කාරයෝ ද බෙර තම්මැට්ටම් වයමින් නලා පිඹිමින් තම තමන්ගේ තෝරාගැනීම් වලට අදාළ සහතික ද රැගෙන පෙරහැරේ යෑමට පටන් ගෙන තිබෙන්නේ ය. පක්ෂ සමාජිකයන් අතර බලාපොරොත්තු ද ඒවාට අනුව දැල්වෙන්නේ ය.

තම තමන්ගේ අපේක්ෂකයන්ගේ අතීත කැරැට්ටු තුළ තිබූ අමිහිරි මතකයන් ඉවත් කරන්නට ද මිහිරි මතකයන් ඔප මට්ටම් කර ඉදිරිපත් කරන්නට ද ඇත්තේ තරගයකි. ප්‍රධාන මාධ්‍යයන් පමණක් නොව සමාජ ජාලා ද වෙන කිසිදු ප්‍රශ්නයක් රටේ නැති ගණනට තම තමන්ගේ අපේක්ෂකයන්ට කඩේ යන මධ්‍යස්ථාන බවට පත් ව තිබේ.

ඒවා දෙස බලන අපට පෙනෙන්නේ ඉදිරිපත් වී ඇත්තේ කැත නැති ඉතාම වටිනා පූජනීය චරිත බව ය. අප ළඟ නැති සියලු ගුණාංග ඔවුන් ළඟ තියෙන බව ය. ඒ නිසා ම පූජාවට උන් සුදුසු බව ය. ඒ නිසා ම සමහරු මේ චරිත ඉදිරියේ වඳින්නේ දෙකට නැමී ගෙන අංශක අනූවට ය. අප කොහොමටත් පුරුදුව ඇත්තේ අප ළඟ නැති ගුණාංග තිබේ යැයි අප ම කුමක් හෝ හේතුවක් නිසා විශ්වාස කරන මිනිසුන් දේවත්වයට පත් කොට, ඒ මිනිසුන්ට පමණක් නොව ඔවුන් පරිහරණය කළ දේ වලට ද වන්දනා මාන කොට ඒ පිනෙන් අපේ ජීවිත ද ගොඩ දා ගැනීම ය. හොඳ මිනිහෙක් වෙන එක අමාරු ය. එවැන්නෙකුට වැඳ පින් ලබා ගෙන ඒ හරහා යමක් කර ගැනීම පහසු ය. මේ වෙන මට්ටමකට සිදු වන්නේ ද එය ම ය. මේ සංසිද්ධියේ  දී පමණක් ඒ පුරුද්දෙන් අපට ගැලවීමට නොහැකි ය.

තමන් ම කුණු දමා විනාශ කරන නගරය නැවත ලස්සණ කර ගැනීමට අපට එවන් නායකයෙකු, “ශක්තිමත්” නායකයෙකු, අවශ්‍ය ය. අප ම ආරවුල් ඇති කර ගෙන ගිනි ලන දේශයට, දෙතුන් දෙනෙකුට පහර දී හෝ අතුරුදහන් කර හෝ වෙනයම් ඕනෑම බලහත්කාරයකින්, “සාමය” ගෙන ඒමට හැකි නායකයෙකු සමහරුන්ට අවශ්‍ය ය.

අප එසේ විවිධ අයුරින් එළඹෙන චන්දය සඳහා ලක ලෑස්ති වන විට, එහාටත් මෙහාටත් පනින දේශපාලන අවස්ථාවාදීන් කරනු ලබන සන්දර්ශන ද ඒ සමගම එලි දැක්වෙන්නේ ය. ඒ පැනීම් වලින් සමහරක් මුදල් හදල් සමග ද සමහරක් බලයට පත් වූ පසු ලැබීමට නියමිත තනතුරු සමග ද ඇතැම් විටක ඒ දෙක සමග ම ද සම්බන්ධ ය.

අලුත් බෝතල් වල පරණ වයින්

ප්‍රධාන ධාරා දෙකේම ඇත්තේ අලුත්ම නොවුන ද අලුත් යැයි කිව හැකි මුහුණු ය. විකල්ප ධාරා වල ද අලුත් මුහුණු ඇත. අලුත් බෝතල්වල ඇත්තේ පරණ වයින් යැයි කීවාට මිනිසුන් විශ්වාස කරන්නේ නැත. තීන්ත තෙත යැයි කීවාට අල්ලල බලන්නට හිතෙන හිත, මෙතැනදී ඉස්සර වී, නිගමන වලට පනින්නේ නැතිව, බීලා බැලිය යුතු බව මිනිසුන්ට කියන්නේ ය.

අපේක්ෂකයන් සම්බන්ධයෙන් එසේ බලන්නට දිව ගා තොල ගා බැරි ය. බලය දී බැලිය යුතු ය.

හැමදාමත් බලාපොරොත්තු කඩ වූ මුත් හැමදාම මෙන් ම මෙදාත් මෙවර නම් යමක් වේ යැයි විශ්වාස කරන ජනතාව ද බහුතරයකි. ඒ නිසාවෙන් මේ ජනපතිවරණය ද හඳුන්වා දෙනු ඇත්තේ රටේ මෙතෙක් පැවති තීරණාත්මක මැතිවරණය ලෙසිනි.

එසේ සියල්ලන් සැරසෙන්නේ බලයක් නැතැයි කියන ජනපති තනතුරට බලවන්තයෙකු පත් කර ගැනීමට ය. ඒ හරහා රට්ටු උත්සහ කරන්නේ රටේ සියළු ප්‍රශ්නයන්ට උත්තර සොයා ගැනීමට ය. ඒ අතරින් මොළේ “ටිකක්” තියෙන අය උත්සහ කරන්නේ රටේ ප්‍රශ්නවලට කෙසේ වෙතත් තමන්ගේ ප්‍රශ්න වලට උත්තර සොයා ගන්නට ය.

සමහරුන්ට තියෙන්නේ සිල්ලර ප්‍රශ්න ය. ලොකු පුතාට රස්සාවක්, පොඩි එකාට ජාතික පාසලක්, බිරිඳට මාරුවක්, තමන්ට ආණ්ඩුවේ ඉඩම් කෑල්ලක්, ගමට බෝක්කුවක් වැනි කාරණා ය.

තවත් අයට තියෙන්නේ ඉහළ තනතුරක් ලබා ගැනිම, සුපිරි ලාබ ලබන ඉන්ධන පිරවුම් හලක්, මත්පැන් හලක්, පාරක් හදන කොන්ත්‍රාත් එකක්, වැනි ව්‍යාපාරික අවස්ථාවක් ලබා ගැනීම, අපරාධ වංචා දූෂණ නඩු වලින් නිදහස ලබා ගැනීම වැනි තරමක් බරපතල කාරණා ය.

එහෙම බැලුවහම පෙනෙන්නේ මේ කොයි දේත් කරගන්නට හැකියාවක් මේ හරහා ලැබිය හැකි බව ය.

එසේ කටයුතු සිදු වන හැම වතාවකම තව බොහෝ දෙනෙකුට හිමි විය යුතු නීත්‍යානුකූල අවස්ථා මග හැරෙන්නේ ය. සම්මතයෙන් පිට පනින හැම විටක ම සිදු වන්නේ සම්මතය දුර්වල වීම ය. ක්‍රමය දුර්වල වීම ය. අප රට අද මුහුණ පා තිබෙන ප්‍රශ්න ගණනාවක මුල ක්‍රමයක් නැති කම ය. වෙන රටවල මෙන් “සිස්ටම්ස්“ නැති කම ය. තියෙන යම් “සිස්ට්ම්“ එකක්, නැත්නම් ක්‍රමයක්, වේ නම් දේශපාලන බලය ඉදිරියේ කඩා වැටී තිබීම ය.

කරුමය එසේ ක්‍රම බිඳ හෙලීම හා “සිස්ට්ම්” කඩා දැමීම අපේ ද අපේක්ෂාව වීම ය. එසේ කරන බව ප්‍රසිද්ධියේ කියන සමහරු වටා එකතුවීමට සිල්ලර වුවමනාවන් ඇති මිනිසුන් රොද බැඳීම ය.

සිල්ලර ප්‍රාර්ථනා

සිල්ලර අපේක්ෂා ඇති පළමු කට්ටිය පෝස්ටර් ගැසීම, රැස්වීම් වලට යෑම, ඒවාට සෙනඟ ඇදීම යන සිල්ලර වැඩ හරහා, ඒ සඳහා දරදිය අදින අතර වඩා බරපතල අපේක්ෂා ඇති දෙවැන්නෝ ඒ සඳහා මුදලින් ද වෙනත් ආකාරයන්ගෙන් ද බරපතල ලෙස මැදිහත් වෙති.

තම තමන්ගේ ජොකියන්ට ඔට්ටු අල්ලන සූදු අන්තුවන්සේ ආයෝජකයන් ද මතු බලාපොරොත්තු ඇතිව මේ සටනට තම දායකත්වය සපයනු ඇත. පක්ෂ අරමුදල් වලට ජනපතිවරණ අරමුදල් වලට දායක වනු ඇත. ඇතැම්හු දෙපැත්තට ම සළකනු ඇත.

අතලොස්සකට ප්‍රජාතන්ත්‍රවාදය, සාමය, සංහිඳියාව, ජාතික ආරක්ෂාව, ආර්ථිකය ගොඩ නැගීම වැනි ප්‍රශ්න තිබෙන්නට පුළුවන. ඒත් ඒවා වැඩිපුර භාවිතාවන්නේ චන්ද ගැනීමටත් කැඩිමටත් අවශ්‍ය ආවරණ ලෙස පමණකි. වැඩි දෙනෙකුට ඒවා ගැන ලොකු තැකීමක් නැත. තමන්, තමන්ගේ ගෑණි හා පොල් මුදලාලි සිටියොත් ඇතැයි සිතන අයට එහෙම ලොකු ප්‍රශ්න පෙනෙන්නේ නැත. පෙනෙන්නට විදිහක් නැත. පොල් මුදලාලි හිටියොත් පොල් ටික විකුණාගෙන ගෙදරට අවශ්‍ය කළමනා ටික ලබා ගැනීමට පුළුවන. ගෑණි හිටියොත් ඒවා උයා පිහා ගත හැකි ය. එහෙව් සරල ජීවිතයකට ලොකු ප්‍රශ්න ජීරණය වන්නේ නැත. ලොකු ප්‍රශ්න සෙසු අයට විකිණීමට ය. උන් තමන්ගේ පිල වෙත දිනා ගැනීමට ය. තමන්ට ඒවායින් වැඩක් නැත.

තමන්ගේ ජොකියා බලයට පත් වුනු පසු ඔහුට කිට්ටුවන මිනිසුන් තමන්ගේ අපේක්ෂා ඉටු කරන ලෙස ඔහුට බල කරනු ඇත.

එතැනට පත් වීමට මග පෑදු මේ ඉණිමං ටික බලා ගත යුතු ය. නැතිනම් අහගන්නට වෙන්නේ නැගපු ඉණිමගට පයින් ගැසුවේය යන අවලං කතාව ය. ඒ නිසා බලයට පත් වෙන කවුරු කවුරුත් මොළේ කළඳක් තිබෙන්නේ රට බලා ගන්නට ඉස්සර මේ අන්තේවාසිකයන්ගේ ඕනෑ එපාකම් ගැන බලා ගනු ඇත. එක් එක් අපේක්ෂකයා වටේ ඉන්නේ කුමන වර්ගයේ මිනිසුන් දැයි බැලීමෙන් සිදුවිය හැකි දෙය ගැන යම් යම් අනුමානයන් කළ හැකි ය.

ඉතිරි වූ අප දෙස බැලිය හැක්කේ තමන්ට බලය ලබා දුන් අයගේ ඕනෑ එපාකම් ඉටු කළ පසු ය. එතකොට ඊළග මැතිවරණය එළඹිලා ය.

මේ ගැන බලයට පත් වෙන අයටවත් ඔවුන්ට බලය ලබා දීම සඳහා කඹුරන අයටවත් කළ හැකි යමක් නැත. ඒ ක්‍රමයේ හැටි ය. මේ ක්‍රමය තියෙන්නේ උදව් කරන අයගේ වුවමනාවන් ඉටු කර දීමට ය. ඒ වුවමනාවන් අතර ඉදිරියෙන් ඇත්තේ වැලි පර්මිට් නම්, බාර් ලයිසන් නම්, ක්‍රමයට ඒ ගැන කළ හැකි දෙයක් නැත. ක්‍රමය, ජනතා වුවමනාවන් සපුරනවා මිස, ජනතාවට තමන් ඇති කර ගත යුත්තේ මෙවැනි වුවමනා යැයි කියා දෙන්නට යන්නේ නැත.

පත් කර ගත යුත්තේ අලුත් ජනතාවකි

මේ ක්‍රමය අනුව අපට ලැබෙන්නේ අපට ගැලපෙන නායකයන් ය. ඒ නිසා නායකයා අප්සෙට් නම් ඒ ගැන ඔහුට දොස් පවරා වැඩක් නැත. එහි වගකීම ඇත්තේ අප අතේ ය. කළ යුත්තේ පාලකයන් පත් කර ගැනීම නොව අලුත් ජනතාවක් පත් කර ගැනීම යැයි සමහරු කියන්නේ ඒ නිසා ය.

මා මේ කරුණු සඳහන් කළේ ලොකු බලාපොරොත්තු ඇති කර ගෙන අවසානයේ පසු තැවිලි වීමට නියමිත අපේ පාඨකයන්ට පිහිට වනු පිණිස ය. මේ ජනපතිවරණයෙන් කවුරුන් පත් වුව ද රටේ ලොකු ප්‍රශ්නවලට පිළිතුරු ලැබෙන්නේ නැත. ඒ අවබෝධය ඇතුව ඔබ කුමක් කළ ද කම් නැත.

අපට ලොකු ප්‍රශ්නවලට උත්තර අවශ්‍ය නම් අප ඒ සඳහා සක්‍රීය ව මැදිහත් විය යුතු ය. ඒ බලයට පත් වූ පසු බලපෑම් ඇති කිරීම හරහා ය. බලයේ ඉන්නේ බාප්පොච්චී වුව ද හරි දේට හරි යැයි ද වැරදි දේට වැරදි යැයි කීම හරහා ය. වැරදි දේ කරන අයව වර්ජනය කිරීම හරහා ය. එවැනි සක්‍රීය ජනතාවකට පමණක් රට වෙනස් කළ හැකි ය. චන්දය දීම හා මැතිවරණයන් හරහා වෙනසක් අපේක්ෂා කරන අයට පව් ය. ඔවුන් අපේක්ෂා කරන වෙනස මේ කපේ දී වෙන්නේ නැත.

චන්දය දෙන අය විසින් සහතික කළ යුත්තේ එක් දෙයකි. අප මේ කියන ජනතා මැදිහත් වීම් කළ හැකි වාතාවරණයක් දිනා ගැනීම සඳහා  චන්දය පාවිච්චි කිරීම ය. එවැන්නකට ඉඩ හසර ලබා දීමට සූදානම් නැති අපේක්ෂකයන් පරාජය වන බවට වග බලා ගැනීම ය.

කළ හැකිව තිබෙන තව දෙයක් නම් තමන් කඩේ යන අපේක්ෂකයන් ඒ සඳහා කැප වෙන බවට ඔවුන් ලවා හගිස්සවා ගැනීම ය. සපථ කර ගැනීම ය. ප්‍රශ්නයකට ඇත්තේ එවැනි සපථ කිරීම් ද වචන වලට එහා නොයෑමට ඉඩ තිබීම ය. ඒවා එසේ සපථ කරන අය විසින් තුට්ටුවකටවත් නොසැළකීමට ඉඩ තිබීම ය. සපථ කළ දේ කරන බවට බල කිරීමට අන්තිමේ අපට ම සිදු වීම ය.

ඒ වැඩේට කම්මැලි නම් කරන්නට තිබෙන්නේ වෙනදා කළාක් මෙන් ඊළග මැතිවරණයේ දී බොරු කිරීම සම්බන්ධයෙන් පාඩමක් ඉගැන්වීමට බලා සිටීම ය. අප විසින් ම බලයෙන් පහ කරන ලද අනෙකා නැවතත් ගෙනැවිත් සිංහාසනාරූඩ කිරීම ය. නැවතත් සෙක්කුව කර ගහගෙන දිවීමට ය. එය කරන්නට පවා සාධාරණ මැතිවරණයකට ඉඩ ඇති වාතාවරණයක් අවශ්‍ය ය. අසීමිත බලය කෙනෙකුට පිරිනැමීම ඉදිරියේ එහි අනාගතය ද සැක සහිත ය. ඒ නිසා ද චන්දය පරිස්සමින් භාවිතා කළ යුතු ය.

ශපථ කළ දේ නොකර මගහැරීම වැළැක්වීමට අපේ දේශපාලනය ජනපතිවරණයට හෝ මැතිවරණයට සීමා කිරීමෙන් අප වැළකී සිටිය යුතු ය. බලයට පත් වන්නේ කවරෙකු වුව ද ඒ අයට බලපෑම් කරන සැබෑ ජන බලවේගයක් බවට අප පත් විය යුතු ය. ඒ සඳහා ඉඩ හසරක් මැතිවරණයක දි පාදා ගැනිමට කටයුතු කළ යුතු ය.

මල් නොතලා රොන් ගැනීම

බලපෑම් කිරීමෙන් අදහස් කරන්නේ අද සිදු වන්නාක් මෙන් පාරට බැස මිනිසුන්ට හිරිහැර කළ යුතු බව නොවේ. තමන්ගේ සේවාලාභීන් අතරමං කර පෞද්ගලික ඉල්ලීම් දිනා ගැනීමට අරගල කිරිම නොවේ. රටේ ආර්ථිකය කඩාකප්පල් කරන ක්‍රියා සංවිධානය කිරීම නොවේ. පොලීසිය සමග යුද්ධ කිරීමට ඉදිරිපත් වීම නොවේ.

එසේ කරන ලද මැදිහත් වීම් වල අරමුණ කුමක් වුව ද ඒ බොහෝමයක් අවසානයේ යොදා ගැනෙන්නේ පවතින රජය අපහසුතාවයට පත් කොට වෙනත් පාර්ශවයකට බලය උරුම කර දීමට ය.

අප කළ යුත්තේ එක් එක් අයගේ බල ව්‍යාපෘති සාර්ථක කර ගැනීම සඳහා හවුල් වීම නොවේ. අපේ පටු අරමුණු දිනා ගැනීමට තනියම සටන් වැදීම නොවේ. රටේ පොදු යහපත පිණිස කරන මැදිහත්වීම් සඳහා බල කිරීමට ජනතාවට සමග එක් වීම ය. ඒ සඳහා කරනු ලබන වඩාත් සක්‍රීය මැදිහත් වීම් සාමකාමී තලයක පවත්වාගෙන යෑමට ක්‍රම සම්පාදනය කිරීම ය. නවෝත්පාදනයේ යෙදීම ය.

ජනපතිවරණ හා මැතිවරණ සම්බන්ධයෙන් අප තේරුම් ගත යුතු අනෙත් වැදගත් ම කාරණය නම් “අපේ මිනිහා” බලයට පත් කරන්නට දර දිය අදින්නට ගොස් තමන්ගේ සැබෑ හිතවතා සමග අමනාප කම් ඇති කර නොගැනීමට අප ප්‍රවේසම් විය යුතු බව ය. එසේ කිරීමට දේශපාලකයන් උඩ ගෙඩි දෙතත් ඒ අය එක වල්ලේ පොල් වගේ ඉන්නේ සහෝදරත්වයෙන් ය. අවසානයේ මෝඩ වන්නේ කොහේවත් යන එකෙකු වෙනුවෙන් අපේ  හිතවතා සමග විරසක වූ අප ය.

මෙසේ වන්නේ අප කැපවන ජොකියා පැරදුනොත් ඇති වන වස ලජ්ජාව හේතු කොට ගෙන ය. බොහෝ දෙනෙකු ඒ තරමට ම තමන්ගේ ජොකියා වෙනුවෙන් කඩේ යන්නෝ ය. ඔහු සමග අනන්‍ය වන්නෝ ය.

දර්ශනයක් දැක්මක් වෙනුවෙන් පෙනී සිටින අයට එහෙම ප්‍රශ්නයක් නැත. ඒ දර්ශනයේ හෝ දැක්මේ හරි වැරැද්ද ජනතා චන්දය අනුව තීරණය නොවන නිසා ය. තමන් පෙනී සිටින දෙය වෙනුවෙන් වෙන කිසිවෙකු නැතිව වුව ද පෙනී සිටීමට එවැනි අය නිර්භීත ය. ඒ දර්ශනය හෝ දැක්ම වැරදි යැයි පෙනී ගිය කලක එය අත්හැරීම ද ඔවුන්ට ප්‍රශ්නයක් වන්නේ නැත. වහල් බැම්මක්, කිසිවකු සමග හෝ කිසිවක් සමග නැති, ඔවුන් නිදහස් මිනිසුන් ය.

එවැන්නෙකුට ජනපතිවරණයේ ජය හෝ පරාජය මිතුරන් සමග ගනුදෙනුවේ දී ප්‍රශ්න ඇති කරන්නේ නැත. මිතුරන් අමනාප කර ගැනීමට ඔවුන්ට මිතුරාගේ දේශපාලන පක්ෂපාතිත්වය උඩගෙඩි දෙන්නේ නැත. මිත්‍රත්වය දේශපාලන මතවාදයන්ට ඉදිරියෙන් තබන්නට තරම් ඔවුන් බුද්ධිමත් ය.

බෙදුම් රේඛාව

අපට බෙදී වෙන්වන්නට ඇති තරම් හේතු තිබේ. ජාතිය ආගම හා කුලය මත පදනම් ව බෙදිය හැකි ය. ගැහැණු පිරිමි ලෙස බෙදිය හැකි ය. උගත් පාසල හෝ සරසවිය අනුව බෙදිය හැකි ය. වෘත්තිය අනුව බෙදිය හැකි ය. තරුණ මහළු ලෙස ද උගත් නූගත් ලෙස ද යනාදි වශයෙන් ඇති කර ගත හැකි බෙදීම් විවිධ ය. ඒ අතරට තවත් බෙදීමක් අවශ්‍ය වන්නේ මක්නිසා ද? දේශපාලන නායකයන් නම් කැමති අප හැකිතාක් බෙදී ඉන්නවා නම් ය. ඇත්තටම කළ යුත්තේ සියලු දේශපාලනඥයන් එක පැත්තකට දමා අප අනෙත් පසට වීම ය. බෙදුම් රේඛාව හැකි නම් බලය ඇති හා නැති අය අතරින් පාදා ගැනීම ය. බලයට පත් වන කවරෙකු වුව කරන නිවැරදි වැඩ වලට සහය දැක්වීමටත් වැරදි වැඩ වලට විරුද්ධ වීමටත් අප ජනතාවක් ලෙස අත් වැල් බැඳ ගැනීම ය. අප සැබෑ ජයක් අත් කර ගනු ඇත්තේ එදාට ය.

අප කලින් ද සඳහන් කළ පරිදි සමහරු නම් කියන්නේ මේ ලංකාවේ පවත්වන තීරණාත්මක ම මැතිවරණය බව ය. එසේ කීවේ මේ මැතිවරණය ගැන පමණක් නොවේ. මේ අමුතු රටේ මෙතෙක් පවත්වන ලද සියළු මැතිවරණ සම්බන්ධයෙන් ම මෙසේ කියනු මා අසා ඇත. ඒ නිසා ඒ ගැන ද කලබල විය යුතු නැත.

මට දැනෙන හැටියට තීරණාත්මක වන්නේ අප මැතිවරණයක දී දමන චන්දය පමණක් නොවේ. එය අපේ අයිතියක් නිසා එය පාවිච්චි කළ යුතු ය. ඒ හරහා සමාජයට පණිවුඩයක් ද දිය හැකි ය.

වඩාත් තීරණාත්මක වන්නේ මැතිවරණයන් අතරතුර, අපට දුන් මැතිවරණ පොරොන්දු ඉටු කර ගැනීමට, අප දරණ සාමූහික ප්‍රයත්නයන් ය. බෙදී වෙන්වී නොව, එක් වී කරන, සාමූහික ප්‍රයත්නයන් ය. ඒ සඳහා උත්සහයන් කිරීමට අපේක්ෂා නොකරන අය විසින් දෙනු ලබන චන්දයේ, එය කවරෙකුට දුන්න ද, වටිනාකමක් නැත. ඒ චන්ද හොඳ සුභ සිහින දැකිමටත් ප්‍රතිවාදී කඳවුර තෝරාගත් අපේ ම මිත්‍රයාට හා සගයාට උච්ච් උච්චි කීමටත් ය. ඒ ඇරෙන්නට ඒවායේ ගත යුත්තක් නැත.

ජනාධිපතිවරණය සමග ගනුදෙනුව නිසි ලෙස කරගත හොත් අප දිනුම් ය. නැතිනම් කවුරු දිනුව ද අප පරාද ය.

නව ආරක සුරංගනා කතාවක්

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/11/04/Untitled-1fds.jpg

මිනිසුන් සුරංගනා කතා වලට කැමති ය. යථාර්ථයට වඩා ඒවා මනබන්ධනීය ය. යථා ලොවේ කළ නොහැකි අපූරු වැඩ සුරංගනා කතා වල කෙරෙන්නේ ය. අපේ ආශ්වාදය පිණිස සිදු වන්නේ ය. මුල මැද මොනවා සිදු වුනත් අවසානයේ අපේ වීරයා ජය ගන්නේ ය.

කළ හැකි වැඩ පවා කල් ගන්නේ නැතිව වේගයෙන් කෙරෙන බැවින් එය ද සිත සනසන සුළු ය. යථා ලෝකයේ දී මහන්සි වී කරන වැඩ සුරංගනා කතා වල හාස්කම් වලින් සිදු කෙරෙන්නේ ය. ඒ නිසා ම මහන්සි වන්නට කම්මැලි සිතකට සුරංගනා කතා ගෙන එන්නේ නොමඳ අස්වැසිල්ලකි.

වඩාත් ම වැදගත් දේ නම් වෙනත් කවරෙකුට හෝ කරන්නට කිසිවක් ඉතිරි නොකර වීරයා ම සියල්ල කිරීම ය.

සුරංගනා කතා වල එන අපේ වීරයන් තුළ අපේ ලෝකයේ අප දකින චරිත වල මෙන් අඩුපාඩු නැත. ඒවා තනි සුදු චරිත ය. ගුණයෙන් පමණක් නොව බලයෙන් ද නැණයෙන් ද ඒවා උතුම් ය. සර්ව සම්පූර්ණ ය.

සුරංගනා කතා අසන, ඒවා නිසා කුල්මත් වන, මිනිසුන්ට ඒ කතා සැබෑ ලෝකයේ ද විඳින්නට වුවමනා වන්නේ ය. ජනපතිවරණ දේශපාලන වේදිකා වල අප දැන් අසමින් සිටින්නේ ඒ සුරංගනා කතා ය. සොයමින් ඉන්නේ එවැනි සුරංගනා කතා දක්ෂ ලෙස කියන්නට හැකි අය ය.

මුල දී කියවෙන්නේ තිබෙන දෙයෙහි අජූව ය. දෙවනුව කියන්නේ නිර්මාණය කරන්නට යන දෙයෙහි සුන්දරත්වය ය. ආනුභාවය ය.

මේ කතා වල අපට කරන්නට කිසි දෙයක් නැත. සියල්ල ඔවුන් කර දෙන්නෝ ය. කිසිවක් නැතැයි කීවාට ඒක හරියට ම හරි නැත. අපට කරන්නට දෙයක් තිබේ. ඒ අපේ චන්දය හරියට දැමීම ය. ඉතිරි ටික ඇත්තේ ඔවුන්ගේ බාරයේ ය.

බලයට පත් වූ පසු බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ සියල්ල අපේ වීරයා විසින් නැති භංග කරනවා ඇත. ඒ දේවාලයේ කපු මහත්තයා අපේ භූත දෝෂ, භූමි දෝෂ, ග්‍රහ දෝෂ වැනි අඨෝරාශියක් දෝෂ නැති භංගස්ථාන කරන දමන අයුරින් ය. කරන්නේ කෙසේ ද යන ප්‍රශ්නය අප විසින් මේ අවස්ථාවේ නොඇසිය යුතු ය. කපුමහත්තයාගෙන් පමණක් නොව, අපව ඒ සියල්ලෙන් නිදහස් කරවන්නට මේ වෙලාවේ පහළ වී ඇති දේශපාලනඥයාගෙන් ද, නොඇසිය යුතු ය. ඒවා ඔවුන් බලා ගනු ඇත. ඇත්තටම බටහිර අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණ පරාජය කරන ශබ්දය කොතරම් බලවත් ද යත්, එවන් අවස්ථාවක වේදිකාව දෙදරා යන ආකාරය කෙතරම් දරුණු ද යත්, අධිරාජ්‍යවාදියෙකු එය අසා සිටියොත් එවෙලේම වෙව්ලා මිය යනු ඇත. එසේ තිබිය දී ඒ ගැන තවත් සහතික කුමකට ද? කරන්නට තිබෙන්නේ බලය දී බලන එක ය. සුරංගනා කතා කියවද්දී ද අප කළ යුත්තේ වීරයා ගැන විශ්වාසය තබා ඉදිරියට කියවා ගෙන යෑම ය.

දෙමල හා මුස්ලිම් අන්තවාදයෙන් රට බේරා ගනු ඇත. ඒ සුරංගනා කතාවේ එන වීරයා මකරුන් පරදන විලසින් ය. අවශ්‍ය වුවහොත් තනිවම සටන් වැදීමෙන් ය. ඒ සඳහා අපට කරන්නට තිබෙන්නේ මිනිසුන් කීප දෙනෙකු කුළු ගන්වා ඔවුන්ව විරුවන්ට අන්දා අපේ මහා වීරයාගේ සහයට යැවීම ය. ඊට පසු කරන්නට තිබෙන්නේ සුරංගනා කතාවේ ඉතිරිය කියවන්නට ය. අන්තවාදය පැරදවීම සඳහා, අනවශය ලෙස මහන්සි වී, ඒවා ඇති කරන මූලයන් හොයා, ඒවාට විසඳුම් දීම අවශ්‍ය නැත. අවශ්‍ය වන්නේ යුද්ධ කිරීම ය. යුද බිමේ මැරී වැටෙන්නට මිනිසුන් පොළඹවා ගැනීම ඒ තරම්ම අමාරු නැත. දුප්පත් කමෙන් පීඩා විඳින මිනිසුන් ඉන්නා තාක් එය අමාරු වෙන්නේ නැත (ඒ නිසා අපට සහ අපේ පුතාලාට යුද්ධයට යෑමට සිදු නොවීම අපූරු සහනයක් නිසා දිගටම සුරංගනා කතාව කියවමින් ඉන්නට අපට හැකියාව ලැබෙන්නේ ය).

භූමියක් අරා සිටින හමුදාවක් යුද්ධයෙන් පැරදිය හැකි නමුත් වරින් වර ත්‍රස්ත ක්‍රියා කර සිදු කර හැංගෙන සංවිධානයක් යුද්ධයකින් පැරදවිය නොහැකි ය. ඒ සඳහා ඒ සංවිධානයේ මතවාදය පැරදවිය යුතු ය. ඔවුන් තමන් නියෝජනය කරනු ලබන්නේ යැයි කියන ජනතාවගෙන් වෙන් කළ යුතු ය. එල්ටීටීය පරාජය කළ හැකි වූයේ ඔවුන් භූමිය අල්ලා ගෙන රටක් ප්‍රකාශයට පත් කළ නිසා ය. දිගින් දිගට ත්‍රස්ත ක්‍රියා සිදු කරමින් හැංගි මුත්තන් කෙළියේ නම් එසේ කළ නොහැකි ය. එවැනි කාරණා මිනිසුන්ට අදාළ නැත. සුරංගනා කතා වල දී එහෙම අමාරු වැඩ නැත. ඕනෑ අමාරු වැඩක් වීරයාට ටොයිස් ය. ඔහුගේ වැඩ ක්ෂණික ය.

කළ යුත්තේ අසීමිත බලයක් ඔහුට දීම ය. නීතිය පයිසයකට ගණන් නොගෙන වැඩ කළ හැකි ලෙස ඔහුගේ දෑත් ශක්තිමත් කිරීම ය. නීතිය නැවීමට හැකියාව දීම ය. සිස්ටම් කැඩිමට හා ඇඹරීමට ශක්තිය දීම ය. සම්මතය වෙනස් නොකොට, එහෙත් සම්මතයෙන් බැහැරව වැඩ කිරීම, සාධාරණීය කිරීම ය. මිනිසුන් අතුරුදහන් කළ ද මීක් නැතිව හිඳින ලෙස ජනතාව නිහඩ කිරීම ය. ඒ හරහා වීරයාට තමාට රිසි සේ ත්‍රස්තයන් මර්දනය කළ හැකි වාතාවරණයක් සෑදීම ය.

අපේ  වීරයා ණය බරින් මිරිකී ඇති රට සංවර්ධනය කරනු ඇත. ඒ මැජික් දණ්ඩක් වැනීමෙන් ය. සුරංගනා කතාවේ වගේ ම ය. කරන්නේ කෙසේදැයි අනවශ්‍ය ප්‍රශ්න මතු කර වීරයා අමාරුවේ දා කිංඩි දමන්නේ එන්ජීඕ කාරයෝ ය. උන්ව නම් තියෙන්නේ සුරංගනා කතාවල මෙන් අතුරුදහන්  කර දමන්නට ය. සුරංගනා කතා බාසාවෙන් කිවහොත් චුත කර දමන්නට ය.

අපේ වීරයා රට සංවර්ධනය කරන්නේ එක කැලෑවක්වත් කපා නොදමා ය. කිසිදු මිනිසෙකුගෙන් බදු නොගසා ය. කිසිම මිනිහෙකුට මහන්සි වෙන්නට ඉඩක් නොතබා ය. ඔහු කෙරේ විශ්වාසය තබන්න. ඔහු අපට ආශිර්වාදය ද සෞභාග්‍යය ද ගෙනෙනු ඇත. බන්දේසියක තබා පුදනු ඇත. අපට කරන්නට තිබෙන්නේ වැළඳීමට සූදානම් වීම පමණ ය. එකක් නම් සහසුද්දෙන්ම කිව හැකි ය. ඔබට දුකෙන් සිටීමට නම් ඔහු කිසි විටෙක ඉඩ දෙන එකක් නැත.

අපේ වීරයා ගොඩ නගන්නට යන්නේ කාටවත් අත පාන්නට අවශ්‍ය නැති කාටවත් යටත් නැති ස්වාධීන ස්වෙරී රාජ්‍යයකි. අප කන බතට අවශ්‍ය වී නිශ්පාදනය පවා අප කරන්නේ පිටරටින් ගෙනෙන ඉන්ධන යොදා, පිටරටවලින් ගෙනෙන ට්‍රැක්ටර් වලින් කුඹුරු සකස් කර, පිටරට බීජ භාවිතා කොට පැල හදා, පිටරටින් ගෙනෙන පොහොර යොදා ඒවා ලොකු මහත් කොට, පිටරට මැහිතෙල් ඉහලා ඒවා ආරක්ෂා කරලා ය. ඉන් පසු ඒවා කොටා සහල් ලෙස සකසා ගන්නේ ද පිටරටින් ගෙනෙන යන්ත්‍රානුසාරයෙන් ය. ඊට පසු ඒවා බෙදාහරින්නේ ද පිටරටින් ගෙනෙන ඉන්ධන වලින් දුවන, පිටරටින් ගෙනෙන ලොරිවලින් ය. එහෙව් අපේ රට ස්වෛරී කරන්නේ කෙසේ ද ස්වාධීන කරන්නේ කෙසේදැයි ඔහු කියන්නේ නැත. එහෙම රටවල් මේ ලෝක තලයේ කිසියම් තැනක හෝ මේ වන විට නැත. එසේ තියෙනවා යැයි කියන එකම රට වන උතුරු කොරියාව ද “හුස්ම ගන්නේ” චීනයට පින්සිදු වන්නට ය. එය අපට අදාළ නැත. අපේ රට එහෙම රටක් කරනවා නම් කෙතරම් නම් අපූරු ද? එය කරන්නේ කොහොමදැයි දැන ගන්නටත් ඕනෑ ද? සුරංගනා කතා වල කරන්නේ කොහොම ද යන ප්‍රශ්නයන්ට උත්තර දෙන්නේ නැත. බොහෝ දේ සිදුවන්නේ හාස්කම් වල ආධාරයෙන් ය.

අපගේ අයිතීන් සඳහා සටන් කිරීමට මින් ඉදිරියට අපට සිදු නොවනු ඇත. අප ඉල්ලන්නේ කුමක් ද එය දීමට ඔහු ලෑස්ති ය. අපට තියෙන්නේ ඉල්ලන්න එක විතර ය. ත්‍රී වීලර් මල්ලිලාට පාරේ විනයත්, බස් රියැදුරන්ට දඩ නැතිව පාරේ යෑමටත්, අවශ්‍ය නම් කරන්නට තිබෙන්නේ ඔහුගෙන් ඉල්ලීම ය. වෛද්‍ය සංගමයට කියන්නට තිබෙන්නේ තමන්ට අවශ්‍ය සෞඛ්‍ය ඇමතිවරයා කවරෙක්දැයි කියා ය. එය ඉටුවෙනු ඇත. සුරංගනා කතා මීට වඩා ලස්සණ යැයි කෙනෙකු කියන්නේ නම් ඔහුට අමු කැවිලා විය යුතු ය.

අපේ ජාතිය සිංහල ය. ආගම බෞද්ධ ය. සෙසු උන් සිටිය යුත්තේ මේ දෙකට පහළිනි. අපේ අනුකම්පාව යටතේ එකත් පස්ව ය. අප දෙන දෙයක් කාලා දෙන දෙයක් ඇඳලා අප කියන විදිහට ය. අපේ වීරයා ඔවුන් එසේ හැසිරෙන බවට වග බලා ගනු ඇත්තේ ය. ආඥා පනවනු ඇත්තේ ය. එසේ ඉන්නට බැරි අයට, ත්‍රස්තවාදී ලේබලය අලවා, පාඩම් උගන්වනු ඇත්තේ ය. අපේ වීරයා කෙරෙහි බියෙන් උන් මුළු ගැනී සිටිනු ඇත්තේ ය. අපට නිදහසේ අපට අවශ්‍ය විදිහට පාරේ බැස යා හැකි ය. පෙරහැර කළ හැකි ය. කොඩි සේසත් ලෙල දිය හැකි ය. උන්ට අබසරණ පතමින් පෙලපාලි ගිය හැකි ය.

නීතියෙන් කරන්නට බැරි ඒවා අපේ වීරයා මැරයන් ලවා කරවනු ඇත්තේ ය. මැර බල සේනා යොදා කරවනු ඇත්තේ ය. අපට තියෙන්නේ ඒවා දැක සතුටු වෙමින් ඉන්න ය. ඒවා ගැන උරණ වෙන මිනිසුන්ට ලේබල් අලවා උන් අයින් කරන එක ය. අස් කරන එක ය. තොලොංචි කර දමන එක ය.

ඒවා අමතක කරන්නට යහපත් පිළියම් ද තිබේ. ඒ පන්සල් වන්දනා කිරීම ය. දානමය පින්කම් පැවැත්වීම ය. ධර්ම දේශනා සංවිධානය කිරීම ය. චෛත්‍යය තැනීම ය. ඒවාට හුණු පිරියම් කිරීම ය. ධාතූන් වහන්සේලා වැඩැම් වීම ය. බුදුන්ගේ ගුණ වැයීම ය. බුද්ධ ධර්මයේ අපරාජිතත්වය ගැන කීම ය. හාමුදුරුවන්ට යාන වාහන ලබා දීම වැනි පුන්‍ය කර්මයන් ආණ්ඩුවේ මුදලින් ම කරමින් තරමක් ලොකුවට සංග්‍රහ කිරීම ය. හාමුදුරුවන් ලවා පව් සමා කර ගැනීම ය. සහතික ලබා ගැනීම ය.

පොඩි පොඩි අඩුපාඩු කම් තිබෙන්නට පුළුවන. හොරකම් වෙන්නට පුළුවන. අපෙන් පෞද්ගලිකව හොරකම් නොකරන තාක් ඒ ගැන හිතේ කහටක් ඇති කර ගන්නට ඕනෑ නැත. මහ භාණ්ඩාරයෙන් ගත්තාට අපට කමක් නැත. ඒ දේපල අපේ නොවේ ය. ඒවා පොදු දේපල ය.

පඩුරු පාක්කුඩම් නැතිව දෙවියන් වහන්සේ වත් වැඩ නොකරන ලෝකයක අපේ වීරයා පොඩි පොඩි දේ හොරා ගත්තා ය, ඒවා වලින් නෑදෑ හිතමිතුරන්ට සැළකුවා ය කියා නෝක්කාඩු කිව යුතු නැත. අපේ සුරංගනා කතාව එවැනි මඩ වලින් අවලස්සණ කිරීමට එන එවුන්ට කියන්න වෙන්නේ කුණු හරුප ය.

අපේ වීරයා තමාට සපයා ගත හැකි සියළු ආරක්ෂක විධිවිධාන මැද්දේ සුරක්ෂිතව සිටිය ද, පරිවාර රථ හා සේනා සහිතව ගමන් බිමන් ගියේ වුව ද, තම ආරක්ෂාව වෙනුවෙන් පාරවල් වසා දමන්නේ වුව ද, අවශ්‍ය වුවහොත් අප වෙනුවෙන් විදුලි පුටුවට වුව යෑමට තරම් කැප වීමක් ඇති කෙනෙකු බව අපි හොඳින් ම දනිමු. එසේ ජාතිය ආගම වෙනුවෙන් තමන්ගේ ජීවිතය පරිත්‍යාග කිරීමට හැමට ම බැරි ය. ඒ අතින් අප වෙසෙන්නේ ම සුරංගනා ලෝකයක ය.

අප නොලබන සැප අපේ වීරයාට ලැබීම ගැන අපේ පසුතැවිල්ලක්, කම්පාවක්, නැත. සුරංගනා කතා වල පවා කුමාරිය ලැබෙන්නේ වීරයාට ය. ඒ වීරයාගේ කැප කිරීමට ලැබෙන දිව්‍ය වරප්‍රසාදයන් ය. ත්‍යාගයන් ය. ඒ නිසා ම රටේ මුදලින් ගෙවල් ඉදි කළාට, සුර සැප වින්දාට, පරපුරට ම යාන වාහන දැසි දස්සන් ලබා දෙමින්, රට රටවලට ණය වුනාට ප්‍රශ්නයක් නැත. ඔහු ලැබිය යුත්තෙකි. ලැබිය යුත්තාට ලැබිය යුතු ම ය.

අප ලබන ලොකුම වරප්‍රසාදය අපේ වීරයා වෙනුවෙන් කඩේ යෑමේ ඉඩකඩ ය. සුරංගනා කතාවකටවත් වඩා, මේ අප ජීවත්වන ලෝකය, ප්‍රසාද ජනක වෙන්නේ ඒ නිසා ය. සුරංගනා කතාව කියා ගෙන යන විට අපේ වීරයා වෙනුවෙන් අපට කරන්නට තිබෙන්නේ අනේ එයාට එහෙම මුකුත් වෙන්න එපා කියා හදවතින් පැතීම විතර ය. දැන් අපට අපේ වීරයා වෙනුවෙන් යමක් කළ හැකි ය. වීරයාගේ ඇඟේ මඩ ගාන්නට උත්සහ කරන අයට දෙහි කැපිය හැකි ය. කුණු හරුපෙන් සංග්‍රහ කළ හැකි ය. තර්ජනය කළ හැකි ය. බලයට ආ පසු නිසි සංග්‍රහයන් කරන බවට අනතුරු ඇඟවිය හැකි ය. මූණු පොතේ නම් අන්ෆ්රෙන්ඩ් ද කළ හැකි ය. ඒ අපේ මට්ටමෙන් අපට කළ හැකි දේ ය.

වීරයාගේ ඇද කුද පෙන්නන විට ඊට හිලව්වට දුෂ්ඨයාගේ ඇද කුද ද පෙන්විය හැකි ය. දුෂ්ඨයා වෙනුවෙන් පෙනී  සිටින ගෝලබාලයින්ගෙන් ගේම ඉල්ලිය හැකි ය. එහෙම බැලුවහම වීරයා හා හරි හරියට දුෂ්ඨයා සමග සටන් කිරීමේ ඉඩක්, කුඩා කල අප සුරංගනා ලෝකයට පිවිසි විට නොලද ඉඩක්, මේ අලුත් සුරංගනා ලෝකයේ තිබෙන්නේ ය. ඒ නිසා මේ ලෝකය වඩා ආතල් ය.

සුරංගනා කතා බොහෝමයක් අවසන් වෙන්නේ ඉනික්බිති සියල්ලෝ සතුටින් ජීවත් වූහ කියා ය. මේ කතාවත් එහෙම වුනොත් හොඳ ය.

එහෙත් මේ සුරංගනා කතාව බොහෝ විට අවසන් වීමට ඉඩ ඇත්තේ අන්තිමේ දී බොහෝ දෙනාගේ බලාපොරොත්තු සුන් වූවාය කියා ය. ඒ වුනාට සුරංගනා කතා කියවන අය, ඒවාට ආසා අය, ඒ කතාව විශ්වාස කරන එකක් නැත. කිසිදු සුරංගනා කතාවක් එවැනි බලාපොරොත්තු බිඳ වැටීමකින් මෙතෙක් අවසන් වී නැති නිසා ය.

ඇත්ත තිත්ත ය. ඒ තිත්ත ඇත්ත එලියට ගෙනෙන එකා එය ඇත්ත වුව ද තිත්ත නිසා ම ගුටි කෑමට නියමිත ය. ඒ නිසා මේ ලිපිය මෙසේ අවසන් කිරීමට කැමැත්තෙමි. මැතිවරණයෙන් පසු, බලාපොරොත්තු බිඳ වැටීමට ඉඩක් නැති, ඔබ කුඩා කල කියවූ සුරංගනා කතා කියවීමට පුරුදු වන්න. එවිට පොත කියවා අවසානයේ අඩු වශයෙන් ඔබට සැනසුම් සුසුමක් වත් හෙලීමට පුළුවන. මේ කතාවෙන් යම් සිත් තැවුලක් වූයේ නම් එය දරා ගැනීමට ඔබට ඉන් පහසුවක් ලැබෙනු ඇත.

ඇත්ත තිත්ත වුව ද එයට පිටුපා වැඩක් නැත. අද නැතත් හෙට එයින් ඔබ විස්සෝපයට පත් වන්නට නියමිත නිසා ය.

ඇත්ත කුමක් ද? අද ඔබ දකින සුරංගනා කතාව ආහ්ලාද ජනක වුව ද එහි අවසානය  කුඩා කල කියවූ සුරංගනා කතා තරම් යහපත් නොවීමේ ඉහළ ඉඩක් තිබෙන බව ය. දැන ගියොත් කතරගම ය. නොදැන ගියොත් අතර මග ය. සුරංගනා කතා සම්බන්ධයෙන් ද එය අදාළ ය.