සමාජ ක්‍රියාකාරීන් සමාජය ගැන දන්නවා ද?

See the source image

රටක ඉදිරිගමන පිළිබඳ තීරණාත්මක සාධකයක් වන්නේ නීතියේ ආධිපත්‍යය ය. ඒ උදෙසා කැප වීම ඒ නිසා ම බොහෝ සමාජ ක්‍රියාකාරිහු තම යුතුකමක් සේ සළකති. බොහෝ සමාජ ව්‍යාපාර වල න්‍යාය පත්‍රය තුළ මේ අංගය ඉදිරියෙන් ම තිබෙන්නේ ද ඒ නිසා ය.

එහෙත් ඔවුන් බොහෝ දෙනෙකුට නොවැටහෙන කාරණය වනුයේ රටේ පවතින නීතිය හා මිනිසුන් විසින් ඉහළින් සළකනු ලබන චාරිත්‍ර වාරිත්‍ර අතර නොගැලපීමක් පවතින බව ය. විසල් පරතරයක් තිබෙන බව ය.

දැනට වසර කීපයකට ඉහත පුවත්පතක පළ වූ ප්‍රවෘත්තියක තිබුනේ එවකට සිටි තැපැල්පති තුමා විසින් තමන්ගේ ගමේ සෑම පහසුකමක් ඇති තැපැල් කාර්යාලයක් විවෘත කිරීමක් ගැන ය. ප්‍රවෘත්තිය කියවන විට එතුමා එහි දී කරන ලද ප්‍රකාශයක් ද දැක ගන්නට ලැබුනේ ය. එහි තිබුනේ තමන් උපන් ගමට මෙවැනි අංගසම්පූර්ණ තැපැල් කාර්යාලයක් ලබා දීමට තමන්ට හැකි වීම ගැන ආඩම්බර වන බව ය.

මෛත්‍රීපාල සිරිසේන ජනාධිපති තුමාට වකුගඩු රෝහල පිහිටුවන්නට ඔ්නෑ වුනේ පොළොන්නරුවේ ය. මහින්ද රාජපක්ෂ ජනපති තුමාට අහස්යානා නැව් නොපැමිණිය ද ගුවන් තොටුපලක් හා වරායක් තැනීමට අවශ්‍ය වූයේ හම්බන්තොට ය. මේ ලයිස්තුව බොහෝ සෙයින් දිග ය. එහෙත් මේ හැම දෙනාගේ ම වුවමනාව එකකි. තමන්ගේ ගමට සැලකීම ය.

මේ නිසා ලංකාව තුළ බොහෝ ආයතන තිබෙන්නේ ආර්ථික වශයෙන් හෝ වෙනත් ආකාරයකින් වඩාත් කාර්යක්ෂම යැයි කිව හැකි, වඩාත් ම යෝග්‍ය යැයි කිව හැකි, ස්ථාන වල නොවේ. අදාළ ආයතනය පිහිටුවීමට කටයුතු කළ දේශපාලනඥයාගේ ගම් පළාතේ ය.

ඒවා එසේ වෙනත් තැන් වල පිහිටුවන්නේ ඒ ඒ තනතුරු දරන අය විසින් තමන්ට තනතුර හරහා ලබා දී ඇති බලතල භාවිතා කරමින් ය. ඒ බලතල වරප්‍රසාදයක් ලෙස සළකමින් ය. ඇත්තට ම නම් ඔවුන් කරන්නේ තනතුර අපහරණය කිරීමකි. රාජ්‍ය තනතුරු තිබෙන්නේ තමන්ට කැමති අයට නැතිනම් තමන්ගේ අයට සළකන්නට නොවේ. පොදු මහජනතාවට සේවය කිරීමට ය. එහි දී අගතියෙන් තොරව මහජනතාවට සේවය කරතැයි අපේක්ෂා කෙරේ. එයින් පිට පනින්නන් නීතිය ඉදිරියේ වරදකරුවන් විය යුතු ය. එහෙත් එසේ වන්නේ නැත.

මේ කී එක ද කරුණක් ගැන වත් රටේ මිනිසුන් කුපිත වන්නේ නැත. ඔවුන්ට එය නීතියට පටහැනි යැයි තේරෙන්නේ නැත. ඔවුන් බනින්නේ එහෙම නොකළා නම් ය. අපේ කියල ඇමති කෙනෙක් හිටියට මොකවත් ගමට කළේ නෑනෙ. ඔවුන් මුව පුරා දොස් කියනු ඇත. කන්නංගර ඇමති රටට නිදහස් අධ්‍යාපනය ලබා දුන් නිසා නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැළකෙතත් එතුමා මන්ත්‍රී ධුරය දැරූ ආසනයේ මහජනයාට ඔහු පෙනුනේ ගමට සේවය නොකළ කෙනෙකු හැටියට ය. ඒ නිසා තමන්ගේ පෞද්ගලික වියදමින් කුඩා පාසලක් ගොඩ නැගූ ප්‍රතිවාදියාට ඔහු පරදවා  මතුගම ආසනය ජය ගත හැකි වූයේ ය.

තමන්ට එසේ සළකන කෙනෙකු තමන්ගේ කෙනෙකු ලෙස දකින්නට පමණක් නොව ඔහුට වන්දනා මාන කිරීමට ද මිනිස්සු ඉදිරිපත් වෙති. තමන් රැක බලා ගන්නා රදළ ස්වාමියෙකු ලෙස ජනයාගේ මනස තුළ ඔහු/ඇය ඒ නිසා ම ස්ථාන ගත වන්නේ ය. මේ මිනිසුන්ගේ රට යනු ගම ය. තමන්ගේ කණ්ඩායම වෙසෙන වපසරිය ය.

මේ ක්‍රියාත්මක වන්නේ මිනිසුන්ගේ සංස්කෘතික මනස ය. ඔවුන් දන්නා එක ම නීතිය එය ය. ඒ තුළ ඇත්තේ තමන්ගේ මිනිහා රැක බලා ගන්නා ක්‍රමයකි. ඒකා වැරැද්දක් කළ ද එය ඉවසන විදිහකි. විශේෂයෙන් නායකයා තමන් ව රැක බලා ගන්නේ නම්, තමන් වැරදි කළ ද ඒ ගැන වුව නොතකා රැක බලා ගන්නේ නම්, ඔහු කොතෙක් වැරදි වුව ද රජෙකු සේ ඔහු ට සළකන හුරුවකි. කණ්ඩායම හරහා තමන්ගේ අවදානම අඩු කර ජීවිතය ගෙන යා හැකි විධි ක්‍රමයකි. තමන්ගේ අයට එක් නීතියකුත් අනෙත් අයට තව නීතියකුත් ක්‍රියාත්මක කිරීම මේ හුරුව ඒ අනුව නපුරක් ලෙස සැළකෙන්නේ නැත. පවතින කුමන නීතියක් වුව තමන්ට හා තමන්ගේ කණ්ඩායම වෙනුවෙන් නායකයාට නමන්නට ඉඩකඩක් ඒ තුළ අපේක්ෂා කෙරෙන්නේ ය. සිවුර ඉදිරියේ ඇකිලෙන නීතියක් රට කරවන දේශපාලනඥයා ඉදිරියේ ඇකිලෙන නීතියක් අවශ්‍ය කෙරෙන්නේ ය. අධිකරණය පවා මේ නායක දෙවර්ගය ඉදිරියේ ඇකිලිය යුතු යැයි අපේක්ෂා කරන්නේ ය. එසේ නොවන වෙනත් නීතියකට ආයතනයකට පුද්ගලයින්ට ඉඩක් මේ තුළ නැති තරම් ය.

සමාජ ක්‍රියාකාරීන්ට වැඩ කිරීමට සිදු ව ඇත්තේ මෙවැනි සමාජයක ය. ඒ සමාජය සම්මත නීතිය පයිසෙකට මායිම් කරන්නේ නැත. ඔවුන්ට නීතිය අවශ්‍ය ගමේ පිළිවෙල තුළ අවසන් කළ නොහැකි ඉඩම් හබ විසඳ ගැනීමටත් වැඩිහිටියන්ට සමථයකට පත් කළ නොහැකි කසාද කටු කා දැමීමටත් වෙනත් සිල්ලර ආරවුල් නිරාකරණය ගැනීමටත් වැනි සීමාසහිත වැඩ කීපයකට පමණ ය.

පෙර කරුමයට බොහෝ දේ බැර කර සිත හදා ගන්නා ඔවුන් මේ තියෙන ක්‍රමයේ වෙනසක් නම් සොයන්නේ නැත. මේ ක්‍රමය තුළ ම එහා මෙහා වෙමින් සීරුවෙන් මාරුවෙන් තමන්ගේ වැඩ කර ගැනීමේ කලාව ප්‍රගුණ කර ගත් විට ඔවුන්ට ඒ හොඳට ම ඇති ය. නායකයාට ගොට්ට ඇල්ලීමේ ආගමික නිල ඇල්ලීමේ සිට මේ සඳහා විවිධ උපාය මාර්ග භාවිතා කෙරෙන්නේ ය. මේ නිසා තමන් පවා දිගින් දිගට අගාධයට තල්ලු වන බව වත් ඔවුන්ට තේරෙන්නේ නැත. වැඩිම වුනොත් ඔවුන් කල්පනා කරන්නේ කරුමය වළක්වන්නට බැරි නිසා සියල්ල සිදු වන බව ය. ඒ තත්වය සම්බන්ධයෙන් තමන්ගේ ක්‍රියාපටිපාටියේ සම්බන්ධයක් නැති බව ය. තමන්ගේ වගකීමක් නැති බව ය.  

පෝර ටික, වතුර ටික, කෘෂි රසායනික නැති වුනහම මිනිසුන් කෑ ගසන බව ඇත්ත ය. ඒවා මොන ආකාරයකින් හෝ ලැබුනහම ඒ විරෝධය අවසන් වන්නේ ය. ගෑස් ගන්නට පෝලිමේ ඉන්න වුනහම ගෑස් ටැංකි පුපුරන්නට වුනහම කෑම ටිකේ මිල ඉහළ ගියහම දෙස් දෙවොල් තියන බව ඇත්ත ය. ඒත් ඒවා තරමක් හෝ මොන ක්‍රමයකින් හෝ තාවකාලිකව සමනය කර දෙන්නේ නම් ඒ කට ද වහගන්නට ඔවුන් සූදානම් ය. ඒවා එසේ වන්නේ කවර හේතුවකින් දැයි සොයන්නට ඔවුන්ට අවශ්‍ය නැත. ඒවා ඔවුන්ගේ වැඩ නොවේ. නායක කාරකාදීන්ගේ වැඩ ය.  

මේ සංස්කෘතික මනසට අභියෝග නොකර නීතියේ ආධිපත්‍ය පිහිටුවීමට බැරි ය. ඒ සංස්කෘතික මනසට අභියෝග නොකර ආර්ථිකය ගොඩ නගන්නට බැරි ය. ඒ මනසට අභියෝග නොකර අධ්‍යාපනය නංවන්නට බැරි ය. කොටින් ම රටක් ඉදිරියට ගෙන ගිය නොහැකි ය. අප නිදහස ලැබූ දා සිට පසුපසට යන්නේ මේ පටු සංස්කෘතික මනස නිසා ය.

ඒ සංස්කෘතික මනස ගොඩ නැගුනේ ලෝකයෙන් වියෝ වූ හුදකලා ගමක ජීවිතය ගෙවන්නට සිදු වීම නිසා ය. ගම දැන් දකින්නට නැතත් ඒ ග්‍රාමීය මනස තවමත් නොසෙල්වී තිබෙන්නේ ය. නගර පුරා ද හොල්මන් කරන්නේ ය.

සමාජ ක්‍රියාකාරීන්ගේ එල්ලය විය යුත්තේ මේ සංස්කෘතික මනස පුපුරුවා හැරීම ය. ඉතිරි සියල්ලට දොර විවර වන්නේ එසේ කළ හැකි නම් පමණ ය.

මෙය ඉතා දක්ෂ ලෙස කරමින් ඉන්නා ස්වාමීන් වහන්සේලා කීප දෙනෙක් ගැන මම දනිමි. ඒ අතර ගල්කන්දේ ධම්මානන්ද හිමියන් ද උඩුවාහර ආනන්ද හිමියන් ද විශේෂ ය. ඔවුන් මේ ඊනියා ලාංකික සංස්කෘතික මනස වෙනස් කිරීමට යොදා ගන්නේ බුද්ධ වචනය ය. සමාජ ක්‍රියාකාරීන්ට ඔවුන් අනුගමනය කළ නොහැකි බව මම දනිමි. එහෙත් ඒ ස්වාමීන් වහන්සේලාගෙන් කළ යුත්තේ කුමක් දැයි ඉගෙන ගැනීමට ඔවුන්ට බාධාවක් නැත. ඒ වෙනුවට සමාජ ක්‍රියාකාරීන් කරන්නේ ‌නස්රුදින් කළ වැඩේ ය. යතුර නැති වූ තැන සොයනු වෙනුවට එලිය තියෙන තැන සෙවීම ය. ඔවුන්ට යතුර ලැබෙන්නේ නැත. එහෙත් තමන් යතුර සෙවීම වෙනුවෙන් යමක් කරන බව සිතා සැනසිය හැකි ය.

One thought on “සමාජ ක්‍රියාකාරීන් සමාජය ගැන දන්නවා ද?

  1. මේ ආකාරයටම එවකට නාවින්න අමාතයවරයා සිටින අවධියේ 2004 – 2005 වාරියපොලට ආර්ථික මධ්‍යස්තානයක එවකට මිලියන 75ක පමන වියදමින් ඉඳිකලා.
    එය අද දක්වාම වසා ඇත. අවසන්වරට දැක්කේ 2019දී, කිසිදු ප්‍රයෝජනයක් නොමැතිව වසා තිබින. මෙවැනී යෝජනාවලට අනුග්‍රහය දක්වන උගත් නිලධාරී පන්තියක්ද බිහිවී ඇත. ඔවුන් සෑම විටම කථාකරන්නේ මේවයෙන් ලැබෙන අතිමහත් ලාභ ගැනය. මෙවැනි සිදුවීම් අද පමනක් නොව පෙර රජ දවසේද සිදුවී ඇත්තේයැයි සිතේ.ඉදිරියටද සිදුවනු ඇත. මේ රටේ බහුතරයක් සිතන ආකාරයෙන් බැහැරව සිතන්නේ යම් හේතුවක් නිසාවෙන් hybrid වී ඇති මිනිසුන් පමනක්දැයි සිතේ.

Leave a comment