බලු නොවටින සාක්ෂරතාවය හා උගත්කම

See the source image

සාක්ෂරතාවය අතින් ලංකාව ලොව ඉහළ ම රටවල් අතර තිබේ. එහෙත් උගත්කම අතින් ද අප ඉහළ බවක් එයින් හැඟවෙන්නේ ද? උගත් කම ලබා ගැනීමට සාක්ෂරතාවය අවශ්‍ය ය. එහෙත් අකුරු කියවීමට ලිවීමට දැනගත් පලියට අප ඒවා යොදා ගෙන උගන්නේ ද යන්න ගම්‍ය නොවේ.

සාක්ෂරතාවය අතින් පමණක් නොව අධ්‍යාපන සංඛ්‍යා ලේඛන සමහරක් අතින් ද ලංකාව ඉහළ ය. එයින් පවා අප උගත් ජනතාවක් ඉන්නා රටක් බව හැඟවෙන්නේ ද? අප යම් යම් දේ උගත්තේ වුව ද ඒවා ඇත්තට ම යල් පැන ගිය පල් හෑලි ද ලෝකයට අවශ්‍ය දැනුම ද යන්න ද අතුරු ප්‍රශ්න හැටියට ඉතිරි වන නිසා එයට ද උත්තරය පැහැදිලි නැත.

උගත් කම මැණිය යුත්තේ ලබා ගන්නා සහතික පිරික්සීමෙන් නොවේ. ජනතාවගේ හැසිරීම නිරීක්ෂණයෙනි. එසේ බැලූ විට පෙනී යන්නේ එහෙමට උගතුන් මෙහි නැති බව ය.

රාමු කර ප්‍රදර්ශනයට තබන උපාධි සහතික වලට අමතරව ඒවා පිරිනමන බට සමග ලෝගුවක් හා සංකේතාත්මක තොප්පියක් ඇඳ පෙනී සිටින ඡයාරූප ද අප ආඩම්බරයෙන් ලඟ තබා ගත්තත් අපේ කෙරුවාව අප ඊට සුදුසු යැයි කියා සිටින්නේ නැත.

පාර්ලිමේන්තුවේ අපේ නියෝජනය දෙස බැලීම අප රටේ ජනතාව කොතරම් උගත් දැයි දැන ගත හැකි එක මිම්මකි. දේශපාලනඥයින් ඉදිරියේ වැඳ වැටෙන උගත්තු දෙස බැලීමෙන් ද අපේ උගත්කම ගැන අදහසක් අපට ලබා ගත හැකි ය.

විශ්‍රාම ගිය බාස් උන්නැහේ කෙනෙකු නිපදවූ පැණියකින් නව රෝගයක් වූ කෝවිඩ් සනීප කර ගත හැකි යැයි සිතා ඒ පැණි ගැනීමට පෝලිමේ ගිය ජනතාව දෙස බැලීමෙන් අපේ උගත්කම ගැන තව මිම්මක් ලැබෙන්නේ ය. මොකක් හෝ ශක්තියක් ඇතැයි තමාම කියා ගන්නා මිනිසුන් පසු පස ලුහුබඳින මිනිසුන් දසත දකින විට ද ඒ මිනිසුන් තුළ උගත්තු ද අප්‍රමාණව දකින විට ද නිගමනකයට බැසීමට මණින්න වුවමනා ම නැතැයි සිතෙන්නේ ය.  

ලෝකයේ වෙනත් රටවලට අවශ්‍ය නැව්, අහස් යානා ටයර්, මෘදුකාංග සහා පෝසිලේන් පිඟන් අප විසින් නිපදවද්දී එවැනි කර්මාන්ත වලට දිරිදීම පසෙක තබා අල්පෙනෙත්තක් බයිසිකල් ටයර් එකක් හෝ බෙලෙක් පිඟානක් වත් අප විසින් නිපදවන්නේ නැතැයි කියමින් අඩා වැලපෙන මිනිසුන් උගතුන් ලෙස සළකන්නට හැකි දැයි අප විසින් විමසිය යුතු ව තිබෙන්නේ ය.

නිහීන නවක වදය උඩ දමමින් පවත්වාගෙන යන්නාවූ ද එය නැවැත්වීමට ප්‍රමාණවත් මැදිහත් වීමක් නොකරන්නා වූ ද ශිෂ්‍ය ප්‍රජාවක් උපාධි ලබා ගත්තත් ඒ උපාධියට ඇත්තේ කුමන වටිනාකමක් විය හැකි ද?

ගුරුවරුන් දණ ගැස්සවීමට ඉදිරිපත් වන මහජන නියෝජිතයින්ගෙන් සමන්විත එවැනි නියෝජිතයන් දිගින් දිගට මන්ත්‍රණ සභාවට පත් කර එවන මිනිසුන්ගෙන් රට සමන්විත වන විට එහි උගත් කම ගැන කවර කතා ද?

වසර තිහක යුද්ධයක් නිම කළ ඒ සඳහා තමන්ට ජීවිතයෙන් වන්දි ගෙවන්නට තරම් වූ රාජකාරියක් කළ ලෝකයේ හොඳ ම යුද්ධ හමුදාපති තුට්ටු දෙකේ වැරැද්දකට වසර ගණනාවක් හිර කිරීම රටකට තරම් වේ යැයි සිතන උගතුන් අපට බහුල ය (වැරැද්දකට වැරදි කරුවෙක් කිරීම හා දෙන ලද දඩුවමේ සාධාරනත්වය දෙකක් ලෙස සැලකීමට තරම් වත් උන් උගත් වූයේ නැත). එය එසේ තිබිය දී මිනීමරුවෙකු ලෙස නඩු තීන්දු දෙකකින් ම ප්‍රකාශයට පත් කරනු ලැබ මරණ දණ්ඩනයට නියම වූවෙකු නිදහස් කිරීමෙන් නොනැවතී ඔහුට සංස්ථා සභාපති කමකින් පූජා කිරීමට මැදිහත් වූ ආණ්ඩුවක් ඉවසීමට සමත් ජනතාවක් ද එවන් සභාපති කෙනෙකු ඉවසීමට තරම් සමත් සංස්ථා සේවකයන් රැසක් ද අපට උරුම ය.

උසාවියට අපහාස කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි ජාතීන් හා ආගම් අතර වෛරය පතුරවන බවට ප්‍රසිද්ධියක් උසුලන බීමත් ව රිය පැදවීම ඇතුළු වැරදි ගණනාවකට වැරදිකරුවෙකු වූ චීවර ධාරියෙකු එක රටක් එක නීතියක් උදෙසා ජනාධිපති කාර්ය සාධන බලකායක මුල් පුටුවට පත් වන විට ඒ ගැන විලිලැජ්ජාවක් නැති මැති ඇමතිවරු ඉන්නා රටක් ද අපට උරුම ය.

මැතිවරණයේ දී තමන්ට ජයග්‍රහණය කිරීමට අනුග්‍රහය ලබා දීමේ පදනම මත විශ්ව විද්‍යාල කුලපති වරු පත් කරන ආණ්ඩුවක් ද ඒ පත් වීම් ඉවසන සරසවි ප්‍රජාවක් ද සහිත රටක ඉන්නා උගතුන් කුමන ආකාරයේ උගතුන් දැයි සිතා ගැනීම කියවන ඔබට බාර ය.

වෙන රටවල උගතුන්ට අත ගැසීමට වුවමනා වුව ද ඒවායේ ප්‍රායෝගිකත්වය පිළිබඳ ගැටළු නිසා ම ඉහළ මට්ටමින් කළ නොහැකි යැයි ද සීරුවෙන් කළ යුතු යැයි ද සළකන කාබනික ගොවිතැන සහ පුනර්ජනනීය බල ශක්තිය නැමැති සංකල්ප දෑස් බැඳගෙන බදා ගන්නට තරම් නොඉවසිල්ලක් ප්‍රදර්ශනය කරන විට අපේ උගත් කමේ පරිමාණය ගැන සිතා ගත හැකි ය.

රජය විසින් භාණ්ඩයකට මිලක් නියම කර පමණින් ඒ මිලට භාණ්ඩ ලබා ගත හැකි යැයි විශ්වාස කරන මිනිසුන් ද ආණ්ඩු ද සිටිනා විට ද අපේ උගත් කම ගැන අදහසක් ගත හැකි ය.

මේ ඉතා මෑතක දී සිද්ධ වූ සංසිද්ධි කීපයක් පමණ ය. නිදහසින් පසු අපේ ඉතිහාසය පුරා මෙවැනි කතන්දර ඇසූවාට අමතරව දැන් දැන් ඒවා කිසිදු හිරිකිතයකින් තොරව පැටව් ගසමින් එලි බැසීම අපේ උගත් කමේ තරම පමණක් නොව එය දවසින් දවස පිරිහීමේ තරම ද වටහා ගැනීමට ප්‍රමාණවත් ය.

දැන උගත් කම හැම විට ම සාධනීය වන්නේ නැත. වැරදි දේ දැන උගන තිබීම කිසිත් ඉගෙන නොතිබීමට ද වඩා භයානක ය. ඒ නිසා ම ඇතැම් උපාධි වලට ඇත්තේ ඍණ අගයක් ද විය හැකි ය. ඇතැම් උපාධිකාරයන් රස්සාවට බඳවා ගැනීමට සමහරු අකමැත්තේ ඒ නිසා ය.

අපේ රට ගොඩ ගැනීම අප්‍රිකාව ගොඩ ගැනීමට වඩා ඒ නිසා පමා වන්නට ද පුළුවන. අලුත් දේ ඉගෙනීමට පරණ දේ හල යුතු නිසා ය. දැඩිව ගෙන ඇති දේ පහසුවෙන් හලන්නට බැරි ය. ඒ නිසා තිබෙනවා යැයි කියන උගත්කමට තුට්ටු දෙකක වත් වටිනාකමක් නොතිබෙන්නට ඉඩ තිබෙන අතරතුර එය අමතර බරක් වී ඍණ අගයක් ගැනීමට ද ඉඩ තිබෙන්නේ ය. ඒ නිසා ම මේ ඊනියා උගත්කම ගැන ඉක්මන් සංවාදයක් සමාජය තුළ ඇති කළ යුතු ය. ඒ සඳහා සෑබෑ උගතුන් පෙල ගැසිය යුතු ය.