ගෝනි බිල්ලා වෙනුවට නත්තල් සීයා

220px-Jonathan_G_Meath_portrays_Santa_Claus

කුඩා ළමුන් ආනන්දනයට පත් කරන චරිතයක් නම් කරන්නට යමෙකුට කීවොත් නත්තල් සමයේ නම් ඉදිරියට එන නම නත්තල් සීයාගේ ය. සැන්ටා ක්ලෝස් ගේ ය.

අපේ රටේ කුඩා ළමුන් යහමගට යොමු කිරීම සඳහා සම්ප්‍රදායිකව අප ඉදිරියට ගෙන තිබුණේ මීට වඩා බෙහෙවින් කර්කශ චරිතයකි. ඒ ගෝනි බිල්ලා ය. නරක ළමුන් අල්ලා ගෙන යෑමට ගෝනියක් ද රැගෙන ඇවිදින ගෝනි බිල්ලා ය. ඒ බය හිතෙන චරිතයට වඩා ළමුන් යහ මගට යොමු කිරීම සඳහා කල් පසු වී හෝ කරුණාබරිත සෙනෙහෙවන්ත සීයා කෙනෙකු ලැබීම හොඳ දෙයකි.

නත්තල් සීයා ගෝනි බිල්ලා මෙන් ළමුන් කුදලා ගෙන යන්නේ නැත. අනෙත් අතට නත්තල් සීයා හොයා ඇවිදින්නේ නරක ළමුන් නොවේ. හොඳ ළමුන් ය.

ඒ අතින් ගත්තහමත් සීයා හොඳ ය. අප බොහෝ දෙනෙකු සෑහීමකට පත්වන්නේ ළමුන් පමණක් නොව වැඩිහිටියන් ද නරක වැඩ නොකර සිටියොත් ය. නරක වැඩ නොකර සිටියාම වන්නේ පතෝල වගේ වීම ය. නරකකුත් නැත. එහෙමට කියා හොඳකුත් නැත. ලී කොටයකට වැඩි වෙනසක් නැත. ඊට වඩා හොඳ වැඩ කරන අය සොයා යෑම ඔවුන් ගැන අවධානය දැක්වීම ම හොඳ ය. ඒ තුළ හොඳ වැඩ කිරීමට අමතර දිරියක් ලැබෙන බැවිනි.

ඊටත් අමතරව කුඩා දරුවන්ගේ සිත් පුදුමයෙන් ද ආශ්ලාදයෙන් පුරවන්නට මේ අපූරු තෑගි සමත් වෙයි. එයම සතුටක් වන්නේ ය.

මේ විදිහට බලා ගෙන ගියහම නත්තල් සීයා අපූරු නිර්මාණයකි. එතෙකුදු වුව එය බොරුවකි. පට්ටපල් බොරුවකි. ළමුන් මුලාවේ දමන කෙබරයකි. ඒ ගැන හිතන විට අපට මතු වන එක් ප්‍රශ්නයක් වන්නේ මෙසේ බොරු කියා ළමුන් රැවැට්ටීම අනුමත කළ හැකි ද යන්න ය.

කුඩා කාලයේ බොරුව හා ඇත්ත අතර වෙනස හඳුනා ගැනීමට ළමෝ අසමත් වෙති. ඔවුන් තමන්ගේ මවා ගත් කල්පනා ලෝක වල අපූරු සුන්දර සිහින දැකීමේ ද සමත් ය. ළමා කතා වල වැඩිපුර සැරිසරන්නේ සැබෑ ලෝකයේ නැති සුරංගනාවන් ය. සැබෑ ලෝකයේ කළ නොහැකි දේ කිරීමට සමත් කාටූන් චරිත ය. එහෙම බැලුවහම මේ ලෝකයට තව බොරුවක් එකතු කිරීම මහා පාප කර්මයක් වන්නේ නැත.

ප්‍රශ්නය ඇත්තේ ළමුන් අනුක්‍රමයෙන් වැඩෙන විට ඔවුන්ට මෙහි ඇත්ත දැන ගැනීමට වුවමනා වීම ය. දහසක් ප්‍රශ්න ඔවුන්ගේ සිත් වල ඇති වෙමින් වැඩිහිටියන් ඉදිරියේ අවසානයේ මතු කරන්නේ මේ වුවමනාව පහළ වූ විට ය.

නත්තල් සීයා ඇත්තට ම එන්නෙ පිණි මුවන් බැඳි කරත්තයකින් ද? රෑට රැක ගෙන හිටියොත් දකින්නට බැරිද? ඒ කරත්තය එන්නේ අහසින් ද? ඔහු චිමිනය දිගේ බහින්නේ ඇයි? දැලි ගෑවෙන්නේ නැති ද? එක රැයකින් ලෝකයේ තිබෙන සියලු ගෙවල්වලට ඔහු යන්නේ කොහොම ද? මේසා විසාල තෑගි සම්බාරයක් ඔහු එක කරත්තෙකින් ගේන්නේ කොහොම ද? ඒ ප්‍රශ්න හමුවේ වැඩිහිටි අප කුමක් කළ යුතු ද?

නත්තල් සීයා බොරුවක් බවත් මෙසේ වසරක් පාසා අප කළේ රැවටිල්ලක් බවත් අප පිළිගත යුතු ද? එසේ කොට දරුවන්ගේ සුන්දර ලෝකය කඩා බිඳ දැමිය යුතු ද? නැතිනම් තවත් කලක් මේ බොරුව පවත්වා ගෙන යෑම සඳහා, ඕනෑම බොරුවක් පවත්වා ගැනීමට කරන්නට සිදු වෙන විදිහටම, තවත් බොරු ගණනාවක් කියා මේ බොරුව තවදුරටත් තහවුරු කළ යුතු ද? එසේ කළ හැකි ද?

බැරිම නැත.

නත්තල් සීයා අප වගේ සාමාන්‍ය මිනිසෙකු නොවේ. ඔහු සුවිශේෂී කෙනෙකි. පුණ්‍ය වන්තයෙකි. ඔහු සතු ව අසීමිත බලයක් තිබේ. එකම මොහොතේ සිය දහස් තැනක පෙනී සිටීමට ඔහුට හැකි ය. ඔහුගේ කරත්තයට බඳින පිණි මුවෝ දිව්‍ය වරම් ලද්දෝ ය. උන්ට අපේ පිණි මුවන්ට මෙන් නොව පියාපත් ද තිබේ. ඒ නිසා ඒ කරත්තයට අහසින් පැමිණිය හැකි ය. චිමිනය දිගේ එන්නේ ළමුන් පුදුම කර හොරෙන් තෑගි තියා යන්න ය. ඒ නිසා රැකවල් ලා ඉන්නා බව දැන ගත්තොත් එන එකක් නැත. දෑලි ගෑවෙන්නේ නැත්තේ දෑලි නාල්ලන රශ්මියක් ඔහු කෙරෙන් විහිදෙන නිසා ය. තෑගි ගේන්නට ම ඕනෑ නැත. තෑගි මවන්නට ද ඔහුට හැකි ය.

මේ බොරු සියල්ල හරහා අර මුල් බොරුව වැසිය හැකි ය. එහෙත් අප එසේ කළ යුතු ද?

අපේ සම්ප්‍රාදායික විශ්වාස බොහෝමයක් අප පවත්වාගෙන යන්නේ ද මෙවැනි පැහැදිලි කිරීම් හරහා නොවේ ද? ඉදින් ඒවා අපට කැප නම් මේ බොරු පමණක් අපට අකැප වන්නේ කෙසේ ද?

රහතන් වහන්සේලාට අහසින් වැඩිය හැකිය යන්න ඒ බව නොදැකම විශ්වාස කරන අපට පිණිමුවන් සහිත කරත්තය අහසින් යන්නේ යැයි කීම බොරුවකැයි සිතෙන්නේ මන් ද? යමා මහ පෙළහර පාද්දී, පිච්චෙන්නේ නැතිව එක නැහැයකින් ගිනි දැල් ද තව නහයකින් ඉවරයක් නැතිව වතුර ද පිට කරන්නට පුළුවන් යැයි විශ්වාස කරන අපට දැලි නොගාගෙන චිමිනියකින් බහින නත්තල් සීයා කෙනෙක්ගේ කතාව බොරුවක් යැයි හිතෙන්නේ ඇයි ද?

ඒ තෑගි නත්තල් සීයා විසින් නොව, අප විසින් ම සම්පාදනය කර දරුවන්ට රහසේ ලැබෙන්නට සළස්වන නිසා මුළු කතන්දරය ම බොරුවක් බව අප හොඳින් දන්නා නිසා ය. ඒ බොරුවේ අප ද හවුල් කාරයින් නිසා ය.

නත්තල් සීයා ඇත්ත බව කියන්නට ගොතන බොරු, බොරු යැයි ගන්නා අප, අප විසින් මනස තුළ පවත්වාගෙන යන ඊට සමාන විශ්වාස, බොරු නොවන බව අදහනවා පමණක් නොවේ. ඒවා බොරු නොවන බව අපි අපේ දරුවන්ට ද සැකයකින් තොරව ම කියා සිටිමු. ඒ බව ඔවුන් විසින් ප්‍රශ්න නොකර ම පිළිගත යුතු බව ද තදින්ම කියා සිටිමු.

දරුවන් ලොකු වන විට නත්තල් සීයා අපේ නිර්මාණයක් බව පිළිගන්නට තරම් නිහතමානී වන අපි, අප කළේ බොරුවක් බව පිළිගන්නට නිහතමානී වන අපි, ඉතිරි විශ්වාස සම්බන්ධයෙන් අඩු වශයෙන් විවෘතව බලන්නට නොපෙළඹෙන්නේ ඇයි? එසේ බලන ලෙස දරුවන්ට ඉඩ හසර සළසන්නට මැලි වෙන්නේ ඇයි?

නත්තල් සීයාගේ ආගමනයෙන් ඒ මගේ සිතට නැගුණු ප්‍රශ්නයන් ය.

තේරෙන වයස එන විට දරුවන්ගේ මනසට ප්‍රශ්න මතු වන එක වළක්වන්නට අපට බැරි ය. අපට හැකි එකම දෙය නම් එසේ ප්‍රශ්න අසන දරුවන් මග හැර යෑම ය. නැතිනම් උන්ට ප්‍රශ්න අහන එක එපා කරවන උත්තර දීම ය. ඇතැම් දේ ප්‍රශ්න කිරීම ම පවක් ලෙස දක්වා සිටීම ය. ප්‍රශ්න සම්බන්ධයෙන් තහංචි පැනවීම ය.

ඒ හැම උපක්‍රමයක් ම ප්‍රශ්න තාවකාලිකව යටපත් කරන්නට උදව් වෙතත්, ප්‍රශ්නයෙන් පැන යන්නට උදව් වෙතත්, ප්‍රශ්න වලට උත්තර නම් දෙන්නේ නැත.

අපෙන් නොලැබෙන උත්තර පතා දරුවන් වෙනත් දිසා වලට හැරිම ද ඒ නිසා වළකනු බැරි ය.

ඒවාට නිසි උත්තර ලැබුනු දාකට අපේ උත්තර හෑල්ලුවට පත් වෙනු, ඒ නිසා ම අප ද හෑල්ලුවට පත්වෙනු, වළක්වන්නට ද බැරි ය. අප ඇතැම් විට බොරුකාරයන් ලෙස සැළකෙන්නට ද පුළුවන. ඉන්පසු දරුවන් අප වෙත ප්‍රශ්න ඉදිරිපත් කිරීම ද නතර වෙනු පමණක් නොව උත්තර පතා ඔවුන් ප්‍රශ්න ඉදිරිපත් කිරීමට වෙනත් මූලාශ්‍රයන් ද සොයා ගනු ඇත.

ඒ නිසා ම දරුවන්ගේ වැඩීමේ එක් අවදියක නත්තල් සීයා පිළිබඳ බොරුව පිළිගත් තරමට ම සෙසු විශ්වාසයන් පිළිබඳව ද සත්‍යයට අප මුහුණ දිය යුතු ය.

සත්‍යයට මුහුණ දීම අමාරු ය. එය අප විසින් මෙතෙක් හදා වඩා ගෙන ආ විශ්වාසයන් සියල්ල විනාශයට – අව්වට වැස්සට සුළගට – නිරාවරණය කරන්නේ ය. ඒ නිසා අප දිගින් දිගට කරන්නේ බොරුවේ ආවරණයෙන් එම විශ්වාසයන් වසා තැබීම ය.

මේ ආවරණය ශක්තිමත් කළ හැක්කේ කෙසේ ද?

එක විදිහක් නම් චාරිත්‍ර වාරිත්‍ර විධි ජීවිතයට එක් කර ගැනීම ය. ඒ ක්‍රියාකාරකම් තුළ විශ්වාසයන් තහවුරු වන විදිහට එක ම දෙය නැවත නැවතත් කීම ය. ඇහෙන්නට සැලැස්වීම ය. නිතර අහන යමක් සත්‍යය ලෙස ගැනීමට මිනිසුන්ගේ සහජ පෙළඹවීම මෙහි දී භාවිතයට ගත හැකි ය. චාරිත්‍ර වාරිත්‍රවලට හැගීමෙන් බැඳෙන මිනිසුන්ගේ යටි හිතට මේ සියුම් පණිවුඩය නිතර ඇතුළු කිරීම හරහා මේ බොරුව පදම් කළ හැකි ය. සත්‍යයට ඔරොත්තු දෙන විදිහට පදම් කළ හැකි ය. දැන් සත්‍යයයෙන් විශ්වාසය ආරක්ෂා කර ගැනීම සඳහා අප යොදා ඇති ආවරණය ශක්තිමත් ය.

නුදුටු දේ පිළිගැනීමටත්, විශ්මය ජනක දේ පුදුමයට පත් නොවී විශ්වාස කිරීමටත්, ඒ තුළ අපට හැකියාව ලැබෙන්නේ ය.

අප බොහෝ දෙනෙකු ජීවිතයේ ඇතැම් තැනක අසරණ වන වෙලාවක් තිබේ. පහසුවෙන් හොඳ නොවන ලෙඩක් දුකක් ඇති වූ විට, තමන් නැතත් හිතේෂියෙකු මරණාසන්න වූ විට, විශ්මය ජනක දෙයක මැදිහත් වීම නැතිව ගැලවීමට බැරි ලෙස අප අසරණ වූ විට, මේ විශ්වාසයන් අප තුළ නව ශක්තියකින්, නව ජවයකින්, නැගිට ගන්නේ ය. එවිට නුදුටු දේ පිළිගන්නට අපට සිදු වේ. අපේ ගැලවුම ඇත්තේ ඒ තුළ බව දන්නා නිසා දැන් බොරුවක් ද යන්න විමසන්නට අපට ඉස්පාසුවක් නොලැබේ.

අප අසරණ වෙන තරමට දරුවන් ද අසරණ වෙන බැවින් එය දරුවන්ව මේ බොරු වැලේ එල්ලෙන්නට පෙළඹවිය හැකි හොඳම වෙලාව ය. එවැනි පසුබිමක ප්‍රශ්න නොඅසා විශ්වාසයන්ගේ පිළිසරණ පැතීමේ මාවතට දරුවන් තල්ලු කර ගත හැකි ය. එහෙම වුනොත් පමණක් දරුවන් හා අප අතර ඇති විය හැකි පරතරය පියවා ගත හැකි ය.

මෙය හැම විටම සාර්ථක වන්නේ නැත.

ඇතැම් තැනක හරහට හිටින්නේ විද්‍යාව ය. දිනෙන් දින නව සොයා ගැනීම් කරන විද්‍යාව ය. ලෝකයේ ආරම්භය ගැනත් මිනිසාගේ සම්භවය ගැනත් නව දේ ලෝකයට කියන විද්‍යාව ය. නව ග්‍රහයන්ට එහා යමින් තවත් ග්‍රහලෝක සෞර්ය ග්‍රහ මණ්ඩලයේ ඇතැයි කරන විද්‍යාවේ නව සොයා ගැනීම් ය. නව ජීව ප්‍රභේදයන් උත්පාදනය කරමින් දෙවියන්ගේ කාර්යය තමන් වෙතට පවරාගෙන ඇති ජාන විද්‍යාවේ ගවේෂණයන් ය. තොවිලකින් පවා ඇතැම් තැනක පලවා හැරිය නොහැකි යක්ෂයින් කුඩා බෙහෙත් පෙත්තකින් පළවා හැර දෙන වෛද්‍ය විද්‍යාවේ හා ඖෂධවේදයේ විස්මයන් ය.

තවත් තැනක හරහට හිටින්නේ තාක්ෂණය ය. ඍද්ධි බලයක් නැතිව ම උඩින් යන්නට අපට උපකරණ සපයන තාක්ෂණය ය. ටෙලිපති නැතිව ලෝකයේ ඕනෑම තැන් දෙකක ඉන්නා මිනිසුන් දෙදෙනෙකු හඩින් පමණක් නොව රූපයෙන් ද සම්බන්ධ කරන තාක්ෂණය ය. ඉතිහාසයේ අපව පුදුම කළ දෙය, සුවිශේෂි දේව බැල්ම ලත් පුද්ගලයෙකුට මිස, දෙවියයෙකුට මිස, කළ නොහැකි යයි අප විශ්වාස කළ දෙය, පුදුම උපදවන ලෙස නිමවා අප ඉදිරියේ හාස්කම් පාන තාක්ෂණය ය. හොල්මන් කියන්නේ අඳුර තුළ අපට තේරුම් ගත නොහැකි ව ඇති එහෙත් එලිය තිබෙන කළ පැහැදිලි වන තවත් විගඩමක් පමණක් බව අපට පසක් කරන, ආලෝකය අපට දායාද කළ, තාක්ෂණය ය.

වෙනත් තැනක බාධාව ධර්මයේ ම සඳහන් උපදෙස් ය. උදාහරණයක් ලෙස කාලාම සූත්‍රය ගත හැකි ය. පොත පතේ තිබූ පමණින් වත් ශාස්තෘන් වහන්සේ කෙනෙකු කී පලියටවත් තර්කයට ගැලපුණු පමණින් වත් පිළිගන්නට එපා යැයි සඳහන් උවදෙස් ය.

අපේ විශ්වාසයන් පිළිබඳ සැක ඇති වුව ද ඒවා අපට ප්‍රයෝජනවත් වන බැවින් කෙසේ හෝ රැක ගත යුතු නොවේ ද? නත්තල් සීයා යනු ප්‍රවාදයක් වුනත් එයින් දරුවන් ප්‍රීතියට පත් වෙන නිසා අප එය පරම්පරාවෙන් පරම්පරාවට ගෙනියන්නට තීන්දු කර ඇති ලෙසට ම ඉතිරි විශ්වාස ද නොයෙකුත් ප්‍රයෝජන ඇති කරන බැවින් එසේ ගෙන යා යුතු නැද්ද?

සූර්යයා මීන රාශියෙන් මේෂ රාශියට පැමිණිමේ වැදගත් කමක් නොදකින සමාජය පවා ඒ නිමිත්තෙන් පැවැත්වෙන අවුරුදු චාරිත්‍රවල සමාජ වටිනාකමක් දැක එය පවත්වාගෙන යන්නාක් මෙන් සෙසු විශ්වාස ද අප විසින් පවත්වා ගෙන යා යුතු නැද්ද?

ඒ ප්‍රශ්නය අපට තවත් ප්‍රශ්නයක් මතු කරයි. මේ විශ්වාසයන් මිනිසුන්ට දී ඇත්තේ වාසි පමණ ද? ඒවා ඔවුන් අමාරුවේ දා නැද්ද? ඔවුන්ගේ කාලය අපතේ යවා නැද්ද? ඔවුන්ගේ පසුම්බියට විද ඔවුන් දුප්පත් කමේ දමා නැද්ද? ඔවුන් විසින් කළ යුතු වැඩ කරගන්නට නොහැකි කර නැද්ද? ඔවුන්ට තහංචි පනවා ඔවුන් බැඳ දමා නැද්ද? ඔවුන් අකර්ණම්‍ය කර දමා නැද්ද? ඔවුන්ගේ විවාහයන් පමා කර ඔවුන්ගේ දරුවන් අයාලේ යවා නැද්ද?

මේ සියල්ල අනුව අප විසින් හළා දැමිය යුත්තේ කුමන ඒවා ද පවත්වාගෙන යා යුත්තේ කුමන එවා ද යන අමතර ප්‍රශ්නයක් ද මතු වේ.

නත්තල් සීයා නම් මුල දී පවත්වාගෙන ගොස් පසු කලෙක හලා දමන විශ්වාසයකි. සෙසු විශ්වාසයන් ගැන අපේ අස්ථානය කුමක් විය යුතු ද?

නත්තල් සීයාගේ ආගමනයෙන් මතු වන ප්‍රශ්නවල ඉවරයක් නැත. ඒ ආගමනය අප වෙත ඉදිරිපත් කරන්නේ ප්‍රශ්නයක් නොවේ. ප්‍රශ්න පත්තරයකි. මේ ලිපියේ අරමුණ ඒ ප්‍රශ්න සියල්ලට උත්තර දීමට නොවේ. ඒ ප්‍රශ්න ඔබ විසින් ම උත්තර සොයා ගත යුතු ඒවා බව කියන්න ය. සාර්ථක ජිවිතයකට නම් මේ විභාගයෙන් සමත් විය යුතු ය. ඒ සඳහා දැනටමත් පේවී ඉන්නා ටියුෂන් මාස්ටර්ලාගෙන් ගත හැකි පිළිසරණ නම් අවම ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Google photo

You are commenting using your Google account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s