අනාගතය එලාරලා හා දුටුගැමුණුලාගේ ද?

සමහරු කැමති අතීතය අනුසාරයෙන් අනාගතය දැකීමට ය. එහිම දිගුවක් ලෙස දැකීමට ය. දුටු ගැමුණු කුමාරයාට වෙස් ගන්වා ජවුසං නටන බොහෝ දෙනෙකු ඒ අතීතය අනුසාරයෙන් අනාගතය දකින්නට කැමති අය ය. ඔවුන් හොයන්නේ සටන් කරන්නට එළාර ලා ය. අනාගතය තුළ ඔවුන් දකින්නට කැමැත්තේ එදා කළ විජිතපුර සටන ම ය. ඒ නිසා මේ මොහොතේ ඔවුන් සොයමින් සිටින්නේ දස මහා යෝධයන් ය. ඥානසාරලා හැටියට මතු වන්නේ ඒ තේරපුත්තාභයලා බව මේ උදවිය අදහති. ඔවුනට අවශ්‍ය වන්නේ අන් මිනිසුන්, මිනිසුන් නොව, තිසරණ සරණ නොගිය බාග මිනිසුන් හැටියට උගන්වන සංඝයා වහන්සේලා ය.

අවසාන අපේක්ෂාව විජාතිකයන්ගෙන් සහ සුළු ජාතිකයන්ගෙන් රට බේරා ගැනීම ය. එදා දුටුගැමුණු කළාක් මෙන් රට බේරා ගැනීම ය.

වසර තිහක යුද්ධය අවසන් වූයේ නන්දිකඩාල්වල කළ එවැනි ම වූ විජිත පුර සටනකිනි. ඒඅනුව ඒ සටනින් පැරදවූයේ ප්‍රභාකරන් නමින් පෙනී සිටි එලාර ය. ඒත් මේ උදවියට අනුව හෙටත් අනිද්දාත් දිගටම අපට සිදු වන්නේ විජිතපුර සටන් වලට සූදානම් වීමට ය. ඒ අනාගතයේ දී නැගිටින්නට නියමිත යැයි කියන එලාරලාට ද එරෙහි ව ය.

ඉතින් මේ අනුව අනාගතය යනු අතීතය දිගින් දිගට නැවත සිදු වීමකි. ඒ නිසා හෙට දවසේත් අපට දුටුගැමුණුලා පමණක් නොව දස මහා යෝධයන් ද අවශ්‍ය වනු ඇත. මහරජ ගැමුණු චිත්‍රපටයට ලැබුණු ප්‍රේක්ෂක ප්‍රතිචාරයෙන් ද නන්දිකඩාල් සටන නැමැති පොත විෂයෙහිලා නැගුණු උනන්දුවෙන් ද පෙන්වන්නේ මේ ජන මනස ය.

මේ මතය සනාථ කරන සාක්ෂි වර්තමානයෙන් ද ලැබෙන බව ඔවුන්ගේ මතය ය. බොහෝ රටවල ජාතික වාදී ව්‍යාපාරයන් ශක්තිමත් වීම ඒ සඳහා ඉදිරිපත් වන එක් ප්‍රබල සාක්ෂියකි. ස්පාඤ්ඤයෙන් වෙන්වීමට කැටලෝනියාව දැගලීම පමණක් නොව ජාතිවාදය කරපින්නා ගත් ට්‍රම්ප්ගේ ආගමනය ද මේ සඳහා ඉදිරිපත් වන සාක්ෂි අතර වෙයි.

ඇත්තටම අනාගතය කෙබඳු වේ ද? හෙටත් අපේ සටන ඇත්තේ එලාරලා සමග ද? මේ ඉදිරිපත් කරන වත්මන් සාක්ෂි වලින් ලෝකය යන දිසාව ඇත්තටම පෙන්නුම් කරන්නේ ද? ඊට ප්‍රතිපක්ෂ සාක්කි තිබේ ද? ඒ මොනවා ද? මේ ලිපියේ අදහස ඒ කරුණු ගැඹුරින් විමසීම ය.

අනාගතය අතීතය අනුසාරයෙන් දැකිය යුතු ය යන මතයට ප්‍රතිපක්ෂ මතයන් දෙකක් තිබේ. ඉන් එකකින් කියවෙන්නේ අනාගතය අතීතයෙන් ස්වාධීනව උත්පත්තිය ලබන බවත් එය කෙසේ දැයි විමසීමට ලෝකයේ විවිධ ක්ෂේත්‍රයන්හි සිදුවෙමින් තිබෙන වෙනස්කම් සැළකිල්ලට ගත යුතු බවත් ය. ඒවා එකතු කොට ඒ අනුසාරයෙන් ලෝකය දැකිය යුතු බවත් ය. ඊළග මතයෙන් කියවෙන්නේ අනාගතය අප විසින් ගොඩ නගා ගත යුත්තක් බව ය. එය දී ඇති දෙයක් නොවන බව ය. එය දැනටමත් සිදුවන දෙයින් පමණක් නොව අප විසින් අද කරන දෙයින් ද ගොඩ නැගෙන බව ය. අප ඊළග ඡේද කීපයෙන් සාකච්ඡා කිරීමට අදහස් කරන්නේ මින් පළමු මතය ය. ඒ දැනට ලෝකයේ තිබෙන ප්‍රවණතා සියල්ල සැළකිල්ලට ගෙන ඒ තුළින් අනාගතය කෙබඳු වේ දැයි බැලීම ය.

එසේ ලෝකය විමසන අපට පෙනෙන්නේ ලෝකය අන් කවරදාටත් වඩා එකිනෙකා මත රඳා පවතින තැනකට තල්ලු වෙමින් පවතින බව ය. අද අප කඩෙන් මිල දී ගන්නා බොහෝ භාණ්ඩ හා සේවාවන් සඳහා රටවල් ගණනාවක ජනයාගේ දායකත්වය ලැබී තිබෙන බව ය.

පහත අප මූණු පොතෙන් උපුටා දක්වන සටහන අපේ මේ රඳා පැවැත්ම හකුලා දක්වන්නේ ය. අපේ වෙඩිම එකම කවලමකි – ප්‍රී ෂූට් මැලේසියාවෙ, කොල්ලගෙ ඇඳුම යුරෝපියන්, කෙල්ලගෙ ඇඳුම ඉන්දියන්, වේල් එක පෘතුගීසි, ගොයින් එවේ එක ගුජරාටි, කේක් ක්‍රිස්තියානි, ජයමංගල ගාථා සිංහල, අෂ්ඨක සංස්කෘත, පෝරුව හින්දි, බෑන්ඩ් එක බටහිර, කෑම චයිනීස්, බීම ඉතාලි, ලියාපදිංචිය රෝම ලන්දේසි, ස්තුති කතාව ඉංග්‍රීසි, මධුසමය සිංගප්පූරුව, බීල කියවන එකා විතරක් පට්ට සුද්ද සිංහල ය. ඒ සේවාවක රඟ ය. භාණ්ඩයක සැකසුම ඊටත් එහා ය.

අප කන හාල් නිපදවන ගොයමට දමන පොහොර එන්නේ එක රටකිනි. කෘමින් විනාශ කරන්නට ඉහින මැහි තෙල් එන්නේ තවත් රටකිනි. කුඹුරු මඩින යන්ත්‍ර ද ගොයම් කපන යන්ත්‍ර ද එන්නේ තව රටකිනි. ඒවා වෙළඳපොලට ගෙන එන වාහන එන්නේ එහැම පිටින් ම වෙනත් රටකිනි. ඒ යන්ත්‍ර සූත්‍ර හා වාහන වලට ගහන තෙල් එන්නේ තවත් රටකිනි. තවමත් අප රටෙන් හාල් නිපදවීම සඳහා යෙදෙන එක ම දෙය ශ්‍රමය පමණක් ම විය හැකි ය. දැන් කන්නේ අපේ රටේ, අප වවන වියෙන් එන, හාල් යැයි කීවා ම ඒක තුළ ඇත්තේ බොරු පුරාජේරුවක් පමණ ය.

ජාතික රාජ්‍යයකට වෙනදා මෙන් තමන්ගේ පුරවැසියන් එහැම පිටින් ම පාලනය කළ නොහැකි ය. එක්සත් ජාතීන්ගේ සංවිධානය ඉදිරිපත් වී කරන බලපෑම් වලට එහැම පිටින්ම පිටුපස හැරවීමට ද ඒවාට නොහැකි ය. එසේ කරන රාජ්‍යයන්ට සම්බාධක පැනවීමට ඉදිරිපත් වන රටවල් ද බොහෝමයකි. එවැනි සම්බාධක ඉදිරියේ නොසැලී සිටිය හැකි රටවල් ඇත්නම් ඒ අතලොස්සකි.

සිරියාවේ ගැටුම් උග්‍රවන විට ලක්ෂ ගණන් සරණාගතයින් සේ එන ජනයා බාර ගැනීමට ජර්මනියට කැනඩාවට සහ තව බොහෝ රවටලට සිදු වුනේ ය. බුරුමයේ රොහින්ගියා ජනයාට විරුද්ධව මිලිටරි මෙහෙයුම් තීව්‍ර වෙන විට උන් සරණාගතයින් වන්නේ ය. අපේ වෙරළෙන් ද ඊයේ පෙරේදා මතු වූයේ එවැනි පිරිසකි. අපේ රටේ ජාති වාදී කෝලාහල නිසා රටින් පැන ගත් අය අදටත් ලෝකයේ විවිධ රටවල රැකවරණය ලැබ සිටිති. මේ මිනිසුන් සිය රටේ ප්‍රශ්න ලෝකයට ම ගෙනියන්නේ ය. එක තැනක අර්බුදයක් තව තැනක අර්බුදයන් රැසක් හදන තරමට ලෝකය ගමක් වී තිබේ. ඒ නිසා ද තනියම ජීවිතයක් ගැන සිතා ගැනීම උගහට ය. රටකට සීමා වුනු බුද්ධිමතුන් දැන් අඩු ය. ඔවුන් සිය සේවාව දේශ සීමාවලින් ඔබ්බට ලබා දෙමින් තිබේ.

තාක්ෂණය නිසා අප එකිනෙකා වඩ වඩාත් කිට්ටු වී තිබේ. ඒ තාක්ෂණය ම ඉංග්‍රීසිය ජාත්‍යන්තර භාෂාවක් බවට පත් කරමින් තිබේ. ඒ නිසා ම බොහෝ දෙනා ඉංග්‍රීසි උගනමින් තිබේ. එහි තේරුම වන්නේ පොදු භාෂාවක් හොයන අපට හෙට අනිද්දා එය අපේ ඔඩොක්කුවට ම වැටෙන්න නියමිත බව ය.

විද්‍යාව විසින් ආගම පිළිබඳ ඇති විශ්වාසයන් ප්‍රශ්න කරමින් තිබේ. බොහෝ ආගම් අදහන අය පවා ආගමේ කියවෙන හැම දෙයක්ම ඒ හැටියට ගැනීමට සූදානම් නැත. ස්වීඩනයේ නිරාගමිකයන් ප්‍රතිශතයක් හැටියට සියයට අසූවකට ආසන්න ය. නෙදර්ලන්තයේ එය සියයට හැට හතකි. දියුණු බොහෝ රටවල සංඛ්‍යා ලේඛන පෙන්නුම් කරන්නේ ආගම භෞතික දියුණුව සමග වල් වැදීමට නියමිත බව ය. යුරෝපයේ බුද්ධාගමට කිසියම් ආකර්ෂණයක් ඇති ව තිබුනත් ඒ ආගමට නොවේ. දර්ශනයට ය.

මේ නිසා ම භාෂාව හා ආගම මුල් කර ගෙන ඇති බෙදීම් හෙට ලෝකය තුළ වඩාත් අඩුවන ලකුණු පෙනෙන්ට තිබේ. රට රටවල සීමා මායිම් පවා බොඳ වෙමින් තිබේ. ඒ සියල්ල සළකා බලන අපට පෙනෙන්නේ අනාගතය තුළ එලාරලාට හා දුටුගැමුණුලාට රගපාන්නට එහෙමට භූමිකාවක් නැති වෙන්නට පුළුවන් බව ය. වත්මන් තේරපුත්තාභයලාට අබසරණ බව ය. විජිතපුරය සිනමාවෙන් මහ පොළොවට ගැනීම අමාරු වෙන්නට පුළුවන් බව ය.

එයින් කියන්නේ සියල්ල සුන්දර බව නොවේ. තව විජිතපුර සටනකට ඉඩ නැති බව නෙවේ. ඈත අනාගතය එකකි. මෑත අනාගතය තව එකකි. අප කතා කළේ ඈත අනාගතය ගැන ය. මෑත අනාගතය සුන්දර හෝ අසුන්දර වනු ඇත්තේ අද අප කරන කියන දේ අනුව ය.

ඒ අනාගතය දෙස බලන්නට අපට ඇති තෙවැනි ක්‍රමය යි. මේ කියන අනාගතය අප විසින් නිර්මාණය කර ගත යුත්තකි. එහි දී අප කරනුයේ අනාගත දිශානතිය වෙන කවුරුන් වත් විසින් නොව අප විසින් ගොඩ නගන්නක් හැටියට සැළකීම ය. එසේ බලන මිනිසුන්ට අතීතය අදාළ වන්නේ පාඩම් ඉගෙන ගැනීමට ය. අතීතයේ කළ වැරදි නොකරන්නට ඉටා ගැනීමට ය. එයින් ස්වායත්තව අනාගතය ගොඩ නගා ගත හැක්කේ කෙසේ දැයි ඔවුහු විමසති.

බලය කොළඹට කේන්ද්‍රගත වීම නිසා ද තමන්ට හුරු බසකින් ගනුදෙනු කර ගත නොහැකි වීම නිසා ද ව්‍යාපාරික අවස්ථා, අධ්‍යයන අවස්ථා, රැකියා අවස්ථා අහිමි කරනු ලැබූ උතුරු නැගෙනහිර ජනතාවට සිය කටයුතු කර ගෙන යෑමට ඉඩ සළසා දීම කෙරෙහි අප යොමු වන්නේ නම් නැවත එලාර කෙනෙකු බිහිවීමට තිබෙන ඉඩ අපට අවම කර ගත හැකි ය.

තමන් අතරම සිදු වුනු ගැටුම් නිරාකරණය කර ගැනීමට සිංහල පොලීසියකට යෑමට බල කෙරුණු ඒ නිසා අසහනයට පත් මිනිසුන්ට මින් ඉදිරියට එවැනි දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු නොවේ නම් ඔවුන්ගේ දුක්ගැනවිලි අවම කළ හැකි ය. බාහිර බලවේගයන් විසින් භාවිතා කරනු ලබන්නේ මේ දුක්ගැනවිලි ය. ඒවා නැතිව ගිය කල කැරැලි ගසන්නට මිනිසුන් ඉදිරිපත් වන්නේ නැත.

යුද්ධය නිසා තමන්ගේ ඉඩම් වලින් පළවා හරිනු ලැබූ ජනයාට ඒ ඉඩම් උරුම කර දිය හැකි නම්, ඒ සඳහා අත හිත දෙන්නට දකුණ ඉදිරිපත් වේ නම්, සමගි සම්පන්න රටකට පාර කැපිය හැකි ය.

1958, 1978, 1981 සහ 1983 ඇති වූවාක් වැනි දෙමළ ජනතාව ඉලක්ක කරගත් හිංසනයන් ද 2014 ඇති වූ බේරුවල අලුත්ගම සිද්ධිය වැනි මුස්ලිම් ජනතාව ඉලක්ක කර ගත් ප්‍රකෝපකාරී ක්‍රියා ද  ඇති නොවීමට මග බලා ගැනීමෙන් මේ රටේ සහජීවනය ගොඩ නැගිය හැකි ය. එවිට පෙරලා කරන පහර දීම් ද සිදු නොවනු ඇත.

බහුතරයක් විසින් සුළුතරයක් පාගා දැමීම පහසු ය. ඒ සඳහා සමාවට කාරණා ගොනු කර ගැනීමේ ලා සමහරු දක්ෂ ය. කපට ය. කරන්නට තිබෙන්නේ අර්ධ සත්‍යයක් හෝ එහැම පිටින්ම බොරුවක් ඇත්තක් සේ ප්‍රචාරය කිරීමට ය. ඒ ප්‍රචාරයන්ට තටු ලැබෙන්නට යන්නේ අතිශය කෙටි කාලයකි. ඒ ඇරත් පුද්ගලයින් දෙදෙනෙකු අතර ප්‍රශ්නයක් ජාතීන් දෙකක් අතර ප්‍රශ්නයක් ලෙස ගැනීමට අවශ්‍ය වන්නේ ආත්මාර්ථයත් පටු ජාතික හැගීමත් පමණ ය. දෙදෙනෙකු අතර ප්‍රශ්නයක් ඔවුන් දෙදෙනා ජාති දෙකකට අයත් වුව ද පුද්ගලික ප්‍රශ්නයක් ලෙස ගෙන විභාග කරන්නට සමත් වෙතොත් බොහෝ ජනවාර්ගික හිංසනයන්ට තිත තැබිය හැකි ය. මේ හරහා ජාතීන් අතර බිඳ වැටී ඇති විශ්වාසය නැවත ගොඩ නැගිය හැකි ය.

අදහන ආගම හා කතා කරන භාෂාව නිසා කිසිවෙකු අගතියකට පත් නොවෙන රටක් හැදිය හැකි නම් කිසි ම එලාරයෙකුට ජාතිය හෝ ආගමික අනන්‍යතා පදනම් කර ගෙන සේනා සංවිධානය කරන්නට ඉඩ ලැබෙන්නේ නැත. එවිට දුටුගැමුණුලාගෙන් අපට ද වැඩක් වන්නේ නැත.

උතුර නැගෙනහිර ඉඩම් ද ඒ පළාත් සංවර්ධනය කිරීමේ වගකීම ද ඒවා ට අවශ්‍ය බලතල ද අප ඒ පළාත් සභාවලට පැවරිය යුතු ය. ඒ පළාත් තුළ අධ්‍යාපන අවස්ථා, රැකියා අවස්ථා, ව්‍යාපාරික අවස්ථා පුළුල් කිරීමට අවශ්‍ය කටයුතු කිරීමට හැකි බලතල ඔවුන්ට ලබා දිය යුතු ය. ඊට අවශ්‍ය දෙස් විදෙස් සහය ද ලබා දිය යුතු ය. ඒ හරහා උතුරු නැගෙනහිර ජනතාවට ද මේ රටේ ආඩම්බර පුරවැසියන් හැටියට ජීවත් වන්නට මං සැළසිය යුතු ය.

දකුණේ සිංහලයන් අතර ජාතිවාදය පිළිකෙව් කරන මිනිස්සු ද නොමදව සිටිති. එහෙත් ඔවුන් ඉන්නේ නිහඩව ය. ඒ නිසා ම ඇසෙන්නේ ජාතිවාදීන්ගේ හඩ ය. එය වෙනත් ජාතිකයන් තුළ සිටිනා අන්තවාදීන්ට ජාතිවාදය ජනිත කිරීමට අමතර උදව්වක් සපයයි. එයින් සිදු වන්නේ විජිතපුරයක් නැවත හෙමින් ගොඩ නැගීමට ඉඩ පාදා ගැනීම ය. අපේ රටේ දිගින් දිගටම සිදුවන පරිදි දශක එකකට දෙකකට වරක් සිය දහස් ගණන් මිනිස් ජීවිත බිලි ගැනීමේ අතිශය ශෝචනීය හා ඛේදනීය තත්වයට මග පාදා ගැනීම ය.

අප ගොඩ නැගිය යුත්තේ එහි ප්‍රතිපක්ෂය ය. දකුණෙන් නැගෙන සාමයේ හඩ, සහෝදරත්වයේ හඩ, ජාතිවාදීන්ගේ හඩ ඉක්මවා පැතිරිය යුතු ය. අන්‍ය ජාතිකයන්ට බිය වනු වෙනුවට ඔවුන්ට අපේ අත දෙමින් අපේම ජනතාවක් බවට පත් කර ගැනීමට බහුතරයක් වූ සිංහලයන් පෙර මග ගත යුතු ය. අනාගතය ගොඩ නැගිය යුත්තේ එසේ ය. එසේ ගොඩ නගන අනාගතයකට දුටුගැමුණුලා වත් එලාරලාවත් අවශ්‍ය නැත. අවශ්‍ය නෙල්සන් මැන්ඩෙලාලා ය. දක්ෂ වන්නේ කවරෙක් ද ඔහු / ඇයගේ පසුබිම නොසළකා පුදන්නට සූදානම් නෙල්සන් මැන්ඩෙලා වැනි නායකයන් ය. සුදු ක්‍රීඩකයින්ගෙන් පමණක් සමන්විත වූ පාපන්දු කණ්ඩායම දිනවන්නට නොබියව ඉදිරිපත් වූ කළු මැන්ඩෙලා වැනි නායකයින් ය. අවශ්‍ය ටෘඩෝලා ය. විවිධ ජාතීන් ගණනාවක් සිටිය දීත් කැනඩාව දියුණු වූයේ යනුවෙන් කියනවා වෙනුවට විවිධ ජාතීන් ගණනාවක් සිටි නිසා කැනඩාවට දියුණු වන්නට ලැබුනේ යැයි කියන්නට ඉදිරිපත් වූ ටෘඩෝ වැනි නායකයින් ය.

එවිට එහි ප්‍රතිරාවය උතුරෙන් ද නැගෙනහිරින් ද කඳුකරයෙන් ද නැගෙනු ඇත.

අනාගතය තීරණය කිරීම සද්ද කරන්නට කැමති, ඒ සඳහා පමණක් දක්ෂ, අගලක් එහා සිතන්නට බැරි, මෝඩ රැලකට නොපවරා ඉදිරිය දැකිය හැකි බුද්ධිමත් ජනතාව විසින් බාර ගත යුත්තේ ඒ නිසා ය. ඔවුන් නොබියව සිය හඩ අවදි කළ යුත්තේ ඒ නිසා ය.

මිනිසාට ප්‍රයෝජනවත් භෝග වැවීම අමාරු ය. වල් ගස් එහෙම නැත. ඒවා පොහොර නැතුවත්, වතුර නැතිවත්, සාත්තුවක් නැතිවත් අන් සියල්ල අභිබවා වැඩෙන්නේ ය. සංහිඳියාව සහ සහජීවනය ද වැවීම අමාරු ය. එහෙත් ජාතිවාදය හා ඒ මත පදනම් ව කරන කුපිත කිරීම් වල් පැල ගාණටම ගණව වැඩෙන්නේ ය. මහන්සියක් නැතිව ම වැඩෙන්නේ ය. නරකම දෙය ඒ වල්පැල හොඳ පැලවල වර්ධනය ද අඩාල කරමින් වැඩීම ය. ඒ නිසා ම වල් පැල උදුරා දැමීමටත් මිනිසාට ප්‍රයෝජනවත් පැල සාත්තු සප්පායම් කොට වර්ධනය කිරීමටත් අප විසින් වග බලා ගත යුතු ය.

නග්න ජාතිවාදය ප්‍රතික්ෂේප කරන සමහරු කියන්නේ ජාතිවාදය කොඤ්ඤං කොඤ්ඤං ගණනකට තිබුනාට කමක් නැතැයි කියා ය. වෙනත් විදියකින් මේ කියන්නේ පොඩ්ඩක් විතර තියෙන්න ඕනෑ කියා ය. ගින්දර පොඩ්ඩක් තිබුනාට කමක් නැති යැයි කියන අය තේරුම් ගත යුත්තේ බුරා බුරා නැගෙන මහා ගින්නක් ඇති කිරීමට ගින්දර පොඩ්ඩක්, ගිනි පුළුගුවක්, ප්‍රමාණවත් බව ය. ඒ නිසා ජාතිවාදය එහි අහිංසකම ආකාරයෙන් වුව නොවලහා නොපමාව ප්‍රතික්ෂේප කළ යුතු බව ය.

ඒ ජාතිවාදීන් මර්දනය කිරීමෙන් නොවේ. ඔවුන්ගේ මතවාදයන් පරාජය කිරීමෙනි.

එසේ කළ යුත්තේ අපට අවශ්‍ය පරිදි අනාගතය ගොඩ නගා ගැනීම සඳහා ය. ඉදිරියට යන රටක් අනාගතයේ දී හෝ බිහි වනු දැකීම සඳහා ය.

 

Advertisements

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out / Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out / Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out / Change )

Google+ photo

You are commenting using your Google+ account. Log Out / Change )

Connecting to %s