අන්තිමේ මැච් එකක් දිනා ගන්නට ලැබුනේ ය. ඒ මැතිව්ස්ට පින්සිදු වෙන්නට ය.
මැතිව්ස් උත්තර දී තිබුනේ ය. ඒ බැටි එකෙන් ය. අතිශය විශිෂ්ඨ ලෙස ය.
මැතිව්ස්ට එරෙහිව නැගුනු එක් චෝදනාවක් වූයේ පිරිත් නූල අල්ලන්නට අකමැති වීම ය. මැතිව්ස් ක්‍රිස්තියානි ය. ඉතින් ඔහු පිරිත් නූල ඇල්ලිය යුත්තේ ඇයි? තමන් නොඅදහන ආගමක චාරිත්‍ර වෙනත් ආගමක කෙනෙකු විසින් පිලිපැදිය යුත්තේ ඇයි?
ඒ ප්‍රශ්නවලට උත්තරයක් තිබේ. මේ බුදුන්ගේ රට ය. අනිත් අය ඉන්නේ සිංහල බොදුනුවන්ට පින්සිදු වෙන්නට ය. එහෙව් රටේ ඉන්න කොට පිරිත් කියන්නේ නම් මොකා වුනත් යටත් වී නූල ඇ්ල්ලිය යුතු ය.
ඉතින් දිගින් දිගට සිදු වූ පරාජයන් හමුවේ මේ කළ යුතු යුතුකම් ඉටු නොකළ අබෞද්ධයා ඉවත් කිරීමට මූණු පොතේ කට්ටිය සේනා සංවිධානය කළෝ ය.
අවසානයේ පිරිත් නූල ඇල්ලූ අයත් බැඳගත් අයත් පැත්තකින් සිටිය දී එසේ නොකළ එකා මැදිහත් වී මැච් එක දිනාගත්තේ ය. මේ වැඩේ එහෙම පිටින් ම අප්සෙට් ය. මා කල්පනා කළේ මේ නාරාවලෙන් ගොඩ ආ හැකි විදිහක් ගැන ය. අන්තිමේ පොටක් පෑදුනේ ය.
පිරිතේ බලය ඇත්තේ සිවු වරම් දෙවිවරුන්ගේ සීමාවේ ය. ඉන් එපිට එහි බලයක් නැත. සිදු වුනේ ඒ අඩුපාඩුව විය හැකි ය.
තව පොඩි අපසෙට් එකක් තිබේ. මැතිව්ස් ක්‍රිස්තියානි ය. දකුණු අප්‍රිකාව ද ක්‍රිස්තියානි ය. අන්තිම මොහොතේ හෝ මැතිව්ස් ජයග්‍රහණයේ වීරයා කළේ ඒ රටේ දෙවියෝ වෙන්නට පුළුවන. මීට පස්සේ ක්‍රිස්තියානි රටකට යනවා නම් පල්ලියේ ආශිර්වාදය ලබා ගෙන යන එක හොඳ ය.
ඒකත් ඉතින් ටිකක් විතර අප්සෙට් ය. දිනිය යුත්තේ ක්‍රිකට් ද ආගම ද යන්න ගැන දෙගිඩියාවක් මේ තුළ ඇති වීම නිසා ය.
සිංහල බෞද්ධයෙකුට එහෙම දෙගිඩියාවක් ඇති වෙන්නට බැරි ය. දැන්නම් වැඩේ හොඳට ම හබක් ය.
කළ යුත්තේ එක ම දෙයකි. දිනුවත් පැරදුනත් පිරිත් නූල ඇල්ලීම අනිවාර්ය කිරීම ය. එහෙම කරන්නට බැරි අය කණ්ඩායමෙන් නෙරපීම ය. ඕන නම් ජනාධිපති තුමාගෙන් අහලා බලා මේ වැඩේ කරන්නට ආශිර්වාද ලබා ගත හැකි ය. මේ දිනවල එතුමා සිංහල බෞද්ධ සංගිස්කුරුතිය රැක ගන්නට කළ යුතු ඕනෑම දෙයක් කරන්නට පේවී සිටින නිසා ය. අපට ඇත්තේ මේ ගැන එතුමාට පොඩ්ඩක් මතක් කිරීම පමණ ය (එහෙම නොකරන්නේ නම් මහින්ද සමග නැගිටින බව රහසෙන් වගේ කීවා නම් වැඩේ තවත් ෂුවර් ය).
අපේ මිනිස්සු ආගම ධර්මෙ ඔළුව උඩ තියාගෙන ඉන්නකං මේ රට හදන්න බෑ. මේ කපේ ඒක බිමින් තියයි කියල හිතන්නත් බෑ.