මහාවංශයේ කුමන්ත්‍රණය

vijaya

මහාවංශයට අනුව බුදුන් වහන්සේ තුන් වරක්ම මේ ධර්මද්වීපයට වැඩියෝ ය. වෙනකක් තබා තම ශ්‍රී පාද ලාංචනය ද රත්නපුරේ පැත්තේ කන්දක තබා ගියෝ ය. එහෙත් ඒ එක ද වතාවකවත් බුදු සසුන පිහිටුවීමට උන්වහන්සේට බැරි විය.

බුදුන් වහන්සේට කළ නොහැකි වූ ඒ කටයුත්ත කිරීමට සිදු වූයේ අනුබුදු හිමි ලෙස කීර්තියට පත් මහින්ද තෙරුන් වහන්සේට ය. එහෙම බැලුවහම අනුබුදු හිමියන් බුදු හිමියන්ට ද වඩා දක්ෂ ය. ඒ වාක්‍යය සම්පූර්ණ කරගෙන යන විට මට දැනුනේ කොහේ හරි තැනක වැරැද්දක් සිදු වී ඇති බව ය. කාට හෝ වැරදී ඇති බව ය. කුමක් හෝ වැරදුන බව ය. මගේ මුළු ලියවිල්ලම අප්සෙට් ගොසින් ය.

ගැත්තහු හට සමා වන සේක්වා. බුදුන්ට බැරි වුන දේ මහින්ද හිමියන් කළ බව කීවේ මා නොවේ. ඒ බව නොකියා කීවේ මහාවංශයේ කර්තෘ තුමා ය. මේ රට බුදුන්ගේ පාද ස්පර්ශය ලැබූ පින් බිමක් කරන්නට ගොස් අවසානයේ බුදුන් හෑල්ලුවට ලක් කළේ මහාවංශ කර්තෘ මහානාම හිමියන් ය.

වත්මන් පරපුරේ සංඝයා ඉනුත් නොනැවතී බුදුන් ඉපදුනේ ද මේ පින් බිමේ බව කියමින් දැන් ඩෙගා නටන්නේ ය. එයින් සිදුවන්නේ මහාවංශය ද හෑල්ලුවට ලක් වීම ය. එහෙම වුනොත් අපට සිදුවන්නේ මහාවංශය සාහිත්‍ය කෘතියක් බවට පිළිගෙන පල්ලම් බසින්නට ය.

එක් පැත්තකින් නරකක් වන විට තව පැත්තකින් හොඳක් වෙයි. ඒ සිංහයෙකුට දාව බිහි වූ දරුවෙකුගෙන් පැවතෙනවාය කියන සොහොයුරියක් සමග නිදි වැද අභිචාරයකින් ම ආරම්භ වූවා යැයි කියන පුරා වෘත්තය කාගේ හෝ නිර්මාණයක් මිස සැබෑවක් නොවන බව කියා ඉවත දමන්නට හැකි වීම ය.

මේ කුමක් කියන්නේ ද? මහාවංශය ඉවත දැමීම! එය නම් කීයටවත් කළ නොහැකි ය. අපට ඇති එක ම ලිඛිත ඉතිහාසය ඒක ය. වෙන ජාතීන්ට නැති අපට ඇතැයි කියන එක වන්නේ වසර 2600 කට එහා ආරම්භ වෙන මේ ලිඛිත ඉතිහාසය ය (පසු සටහන බලන්න). ඉවත දමන්න යැයි කියන්නේ එවැනි උරුමයක් ය. එය කෙසේ වත් කළ නොහැකි ය. එහෙම වෙන එකක් ද නැත. එක් පැත්තකින් මහාවංශය ද අනිත් පැත්තෙන් වත්මන් සඟ පරපුරේ “නව“ කතාව ද දරා ගෙන ජීවත් වීමට අපේ උපාසක උපාසිකාවන් හිත හදා ගන්නවා ඇත.

දඹදිව මොකද මෙහේ මොකද? මොන විදිහකට හෝ බුදුන් අපට සම්බන්ධ නම් එච්චර ය. නෑයෝත් වෙනවා නම් තවත් හොඳ ය. ජැක්සන් ඇන්තනීට අනුව බුදුන්ගේ නෑයෝ ද ලංකාවේ සිටින්නෝ ය. පසුගිය කාලයේ රජ වූයේ එයින් එක් අයෙකු ය. බුදුන්ගේ නෑයෙකු රජ බවට පත් වූයේ මේ බුදුන්ගේ දේශය වූ නිසා නොවේද? කුමක් හෝ උප්පරවැටියකින් මෙය බුදුන්ගේ දේශය වෙනවා නම් අපට ඇති ය. ඒ සඳහා බොරු කියන්නට සිදු වුවහොත් අපි එය අපුලකින් තොරව කරන්නෙමු.

දෙවනුව මෙය සදහම් දිවයින ය. සදහම් පිරිසිදුව රැකෙන ශුද්ධ වූ දේශය ය. ඒ සහතිකය බුදුන්ගෙන් ලැබෙන්නේ ද මහාවංශ කතුවරයා හරහා ය. ඒ ශුද්ධ භූමියට තිස්තුන් කෝටියක් දේව රැකවරණය ලැබෙන්නේ ද ඒ මහාවංශය හරහා ය.

රැකවරණය ලැබුණා නොලැබුණා වෙනම දෙයකි. ලැබෙන බවට තියෙන විශ්වාසය ම ඇති ය. මහාවංශය ඉවත දැමුවහොත් නැතිවෙන වැදගත්ම දෙය මේ තිස්තුන් කෝටියක් දෙවිතාවුන්ගෙන් ලැබෙනවාය කියන රැකවරණය පිළිබඳ විශ්වාසය ය. ඒක නැතිවුනහම අනාථ වන්නේ රට ය.

ඒ නිසාම බුදුන් දෙවැනි තැනට ඇද දැමුවේ වුව ද මහාවංශය වෙනුවෙන් පෙනී සිටින්නට අපට සිදු වෙයි. එසේ කළා යැයි කියා අමනාප වෙන බුදු කෙනෙකු ද දැන් නැත. ඉතිරිව ඇත්තේ එක කටයුත්තකි. මෙවැනි අමන ප්‍රශ්න මතු කරන මිනිසුන් අල්ලා දඩු කඳේ ගැසීම ය.

(පසු සටහන – මහාවංසය ලිව්වෙ 5 සියවසේ විතර අනුරාධපුර මහාවිහාරයෙ ජීවත් වුනු මහානාම නම් හාමුදුරු කෙනෙක්. උන්වහන්සේ ඈතම අතීතේ ඉඳල මහසෙන් රජුගේ අවසානය (303 AD) දක්වා කාලය තම කෘතියෙන් ආවරණය කරනවා. ඉන්පස්සෙ කොටස් ලියැවුනු කාල ගැන මතභේද තියෙනවා. සමහර දෙනෙක්ගෙ අදහස 12 සියවසෙ ජීවත් වුනු ධර්මකීර්ති කියන හාමුදුරුවො දෙවෙනි කොටස ලිව්වා කියල. ඔහොම නුවර කාලය වෙනකම්ම කොටස් වසයෙන් මෙය ලියැවෙනව. සමහර දෙනෙක් ගෙ අදහස මහානාම හිමි ලියූ මුල් කොටස මහාවංසය ලෙස හැදින්වුනු බවත් ඉතිරි කොටස් චූලවංසය ලෙස හැදින්වුනු බවත්. – පිටස්තරයා -2)

Leave a comment