කුලකයේ ගෞරවය – මංගල කෙළෙසුවා ද?

See the source image

මංගල සමරවීර උපහාස රසය නොමඳව ඇති ටෙලියක රඟන්නේ ය. මංගලගේ ඇතැම් අනුගාමිකයන්ට පවා ඒ කටයුත්ත ඇලර්ජික් වී තිබෙන්නේ ය. ඔවුන්ට අනුව එය මංගල සමරවීර නම් සීරියස් දේශපාලනඥයා විසින් නොකට යුතුව තිබූ බාල වර්ගයේ වැඩකි.

දේශපාලනඥයින් විසින් කරනු ලබන වංචා දූෂණ අපරාධ වැනි මීට වඩා බාල වර්ගයේ වැඩ කප්පරක් තිබිය දී මේ අහිංසක කටයුත්ත බාල වර්ගයේ වැඩක් වෙන්නේ ඇයි දැයි මට නම් පැහැදිලි නැත. ඒ රඟපෑම හෝ එසේ ඔහු රඟ පෑ ටෙලිය හෝ අති ශ්‍රේෂ්ඨ ඒවා ලෙස මම වර්ග නොකරමි. එහෙත් සීරියස් මංගලට එවැන්නක් කිරීමට ඇති බාධාව මට නම් පෙනෙන්නේ නැත.

මේ ගැන කල්පනා කරන විට මට මගේ ම අත්දැකීමක් මතක් විය.  

මම වෘත්තියෙන් ඉංජිනේරුවෙක්ව සිටියෙමි. ඒ ටික කලකට පෙර ය. ඒ කාලයේ මගේ නමින් ඇතැම් ලිපියක් පළ කළ විට, විශේෂයෙන් ඒ ලිපියට සුවිශේෂී ඉහළ ප්‍රතිචාරයක් ලද විටක, මගේ ඉංජිනේරු සගයින් ඇසුවේ, ඉංජිනේරුවන් තමන්ගේ නම ඉදිරියෙන් ලියන, ඉංජි යන පදය ඒ ලිපි පළ කරන විට මා නොයොදන්නේ ඇයි ද යන්න ය. ඔවුන් සිතුවේ මා යම් ගෞරවයක් ලබන්නේ නම් ඉන් කොටසක් ඔවුන්ට ද ඉංජිනේරුවන් වශයෙන් හිමි විය යුතු බව ය.

පසු කලෙක සමාජ සංවාදයන් කිහිපයකට සහභාගී වී මගේ අදහස් විවෘතව පළ කළ විට හා සමහර සංසිද්ධීන් නිර්දය ලෙස විවේචනය කළ විට, ඒවා දෙස උපහාසයෙන් බලා ඒවා ප්‍රශ්න කළ විට, ඔවුන් මගෙන් ප්‍රශ්න කළේ වෘත්තීය ගරුත්වය පසෙකලා තුන්වෙනි පන්තියේ වැඩ කරන්නේ ඇයි ද යන්න ය. ඔවුන් සිතුවේ මා කරන වැඩ නිසා ඔවුන් ද අපකීර්තියට පත් වෙන බවකි.

මේ යස අයස දෙක ම මට තේරුම් ගැනීමට බැරි ය.

ඉංජිනේරු සංහතියට පමණක් උරුම නැති මේ අලකලංචිය, මේ අරුම පුදුම සම්බන්ධය, අපේ රටේ ද ඇතැම් විට තවත් රටවල් වල ද දැකිය හැකි ය.

පාසල ජාතිය රට ආගම මේ හැම දෙයක්ම ඔළුව උඩ තබාගෙන ඉන්නා අය මේ සම්බන්ධයට අතිශය ආසක්ත ය. ඔවුන්ට අනුව ඔවුන්ගේ කෙනෙකු, ඔවුන්ගේ පාසලේ ජාතියේ ආගමේ රටේ හෝ ඔවුන් අයත් කල්ලියේ කෙනෙකු යම් ඉහළ වැඩක් කළොත්, ඒවා ප්‍රසිද්ධියට පත් කොට එයින් ලැබෙන කීර්තියෙන් පංගුවකට ඔවුන්ට ද හිමිකාරිත්වය ලැබිය යුතු බව ය. ඔවුන්ට අනුව ඔවුන්ගේ පාසලේ ජාතියේ ආගමේ රටේ කවුරුන් හරි ඉත්තේරුවෙන් ම ශ්‍රේෂ්ඨ උතුම් හෝ දක්ෂ යැයි කිව හැකි වැඩක් කළොත් එයින් ආඩම්බර වීමට ඔවුන්ට ද අයිතියක් ඇත්තේ ය.

ඒ අයිතිය ලැබුනේ කොයින් දැයි මම නොදනිමි.

පාසලෙන් එක ම‌ හොරෙකුවත් මදාවියෙකුවත් වංචනිකයෙකුවත් අදක්ෂ මැට්ටෙකුවත් නිපදවා නැත්නම් එවන් පාසලක උගත් කෙනෙකුට තමන්ගේ පාසල සම්බන්ධයෙන් යම් ආඩම්බරයක් ඇති වීම සාධාරණ ය. අවාසනාවකට හෝ වාසනාවකට මේ ශ්‍රී ලංකා ද්වීපයේ නම් එවැනි පාසල් නැත. එහෙත් දහසකුත් එකක් හොරුන් බිහි කළ පාසලක හෝ ජාතියක එක පුඟුලෙකු යමක් ඉහළින් කළ පමණින් එයින් කොටසක් තමන්ගේ කර ගැනීමට, ඒ හරහා ආඩම්බර වීමට, ඒ පාසලේ ජාතියේ අයට අයිතියක් තිබේ ද? මට තේරුම් ගත නොහැක්කේ එය ය.

අනිත් අතට තමන්ගේ කුලකයේ කෙනෙකු හැටියට මා පවත්වා ගැනීම වෙනුවෙන් ඔවුන් මගෙන් ඉල්ලන්නේ මා විසින් ඔවුන් අනුමත නොකරන කිසිවක් නොකළ යුතු බව ය. මගේ ඇඳුම මගේ වචන මගේ හැසිරීම මගේ ආකල්ප ඔවුන්ට අගෞරවයක් නොවන සේ මා විසින් පවත්වා ගෙන යා යුතු බව ය. එය ද මට තේරුම් ගත නොහැක්කකි. ඒ හැම එකකින් ම පළුදු වෙනවා නම් පළුදු වන්නේ මගේ ගෞරවය මිස ඔවුන්ගේ ගෞරවය නොවන බැවිනි. මා එයින් අදහස් කරන්නේ මට කිසිදු බැඳීමක් මා අයත් කුලකය සම්බන්ධයෙන් නැති බව නොවේ. මා යම් වෘත්තියක නියැලෙන්නෙක් නම් ඒ වෘත්තියට අයත් ආචාර ධර්ම පද්ධතියට මා ගරු කළ යුතු ය. වෘත්තීය ආචාර ධර්මයන් පිලිපැදිය යුතු ය. එයින් බාහිර ඒවා මගේ රුචිය අනුව මට සිදු කළ හැකි විය යුතු ය. එය කුලකය විසින් ප්‍රශ්න නොකරනු ලැබිය යුතු ය.  

මංගලගේ රඟපෑම සම්බන්ධයෙන් ද ඇති වන ඇතැම් සංවාදයන් පිටුපස ඇත්තේ ද මේ නොකටයුතු දේ කළ නිසා ඇති වන ගෝත්‍රික තිගැස්ම ය.

වාණිජ චිත්‍රපටි කතා හා ජනප්‍රිය බණ කතා

පහු ගිය දින කිහිපයකම බණ ඇසීමේ අවස්ථාව මට ලැබුනේ ය. එකක් පිට එකක් ඇසූ බණ වල මා දුටු අපූරු සමානත්වය මා පුදුමයට පත් කළේ ය. හැම බණ කතාවක ම පුණ්‍ය වන්තයෙකු හෝ කරුමක්කාරයෙකු හෝ ඒ දෙවර්ගයේම අය හෝ සිටියෝ ය.

පුණ්‍යවන්තයා කළ පුංචි පින්කමක් නිසා ඔහු හෝ ඇය දෙව්ලොව උපදින්නේ ය. උදාහරණයක් හැටියට ස්වාමීන්වහන්සේ නමකට සුදු රෙද්දක් එලා ඉමහත් භක්තියෙන් යුතු ව ආසන පැනවීමේ පිනෙන් එක් උපාසිකාවක් දෙවඟනක් වී දෙව්ලොව උපදින්නේ මැණික් පුටුවකට ද හිමිකමක් ඇති ව ය.

සමහර කතා වල තියෙන්නේ කරුමක්කාරයින් ගැන ය. ඒ කරුමක්කාරයා කුමක් හෝ නොහොබිනා වැඩක් කොට නිරයේ උපදින්නේ ය. එක කතාවකට අනුව තම අඹුව දන් දෙන්නට ඉන්නා විට ඇයට බැණ වැදී එය වළක්වා ලීමේ පාපය හේතු කොට ගෙන නිරයේ උපදින්නේ ය. බොන්නට ලැබෙන්නේ උණු කළ ලෝ දිය ය.

තුන්වෙනි වර්ගයේ කතාවල පුණ්‍ය වන්තයා ද කරුමක්කාරයා ද එකට ජීවත් වන්නෝ ය. කතාව අවසානයේ කරුමක්කාරයා යමලොවත් පුණ්‍ය වන්තයා දෙව්ලොවත් යන්නෝ ය. දොරේ ගලායන සතුටකින් බොහෝ දෙනෙකු පිනා යන්නෝ ය. අවසානයේ දෙව් මිනිස් සැප කෙළවර නිවන ද හිමි වන බැවින් ඇත්තට ම තව අමතර සතුටක් ද ඇතිවන්නේ ය.

වාණිජ චිත්‍රපටිත් මේ වගේ ය. තියෙන්නෙ එකම කතාවකි. ඒත් පිටපත තරමක් වෙනස් ය.

වීරයා ලස්සණ අවංක අගනකට පෙම් කරන්නේ ය. දුෂ්ඨයාට ද ඕනෑ ඇය මය. දුෂ්ඨයා මායාවෙන් ද කපටි කමින් ද දුෂ්ඨ කමින් ද කෙල්ල ඩැහැ ගැනීමට බලන්නේ ය. වීරයා එන මගට ගල් පෙරලන්නේ දේවදත්ත සිහි කරමින් ය. වරෙක දුෂ්ඨයාට මග අවුරමින් ද තව වරෙක ඔහු හා සටන් කරමින් ද වීරයා කෙල්ල බේරා ගැනීමට දැඩි සටනක් දෙන්නේ ය. අන්තිමේ දුෂ්ඨයා පැරද පලා යන්නේ ය. මාරයා පැරද පලා ගිය හැටි සිහිපත් කරමින් ය. පලා ගියේ නැතිනම් යන්නේ පොලීසියේ ඇති මිහිපිට අපායට ය. වීරයා කෙල්ල සමග දෙව්ලොව යන්නේ ය. සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගෙන අපට නිවනක් ලැබෙන්නේ ඊට පස්සේ ය. සාදු කාරයක් වෙනුවට ප්‍රේක්ෂකාගාරයෙන් විසිල් පහරක් එන්නේ ය.

කතාව එක වුනාට ඒවා එන්නේ විවිධ නම් වලින් ය. රගපාන්නේ විවිධ නළුනිළියන් ය. පසුබිම ටිකක් වෙනස් ය. ඒ නිසා දෝ එකක් දෙකක් නොව තුන හතරක් දහයක් පහළොවක් බැලුවත් අපට ඇති වන්නේ නැත. උපාසක උපාසිකාවන්ට බණ ද ඒ වගේ ය. කොච්චර ඇහුවත් ඇති වන්නේ නැත. බණට කියන කතාව විතරක් නොව එය කියන හාමුදුරුවන්ගේ ලතාව ද වෙනස් ය. එහෙම බැලුවහම එක කතාවක් අනිකට වඩා ටිකක් වෙනස් ය. එපා වෙන්නේ නැති එකේ රහස ඇත්තේ එතැන ය.

පරමාර්ථ වශයෙන් ගත්තත් වාණිජ චිත්‍රපටියක නිශ්පාදකගේත් බණ කියන හාමුදුරුවන්ගේත් ඒ හැටි වෙනසක් නැත. අවසාන බලාපොරොත්තුව සුන්දර අත්දැකීම් හා අපේක්ෂා සැපයීම හරහා තම ව්‍යාපාරික වුවමනාවක් සාක්ෂාත් කර ගැනීම ය.

එක අතකට චිත්‍රපටියක් බලන්නට ඉඩ කඩක් නැති පෝය දවසක ලස්සණ බණ කතාවකින් සප්පායම් ‍ වෙන්නට ඉඩ ලැබීම ම වාසනාවකි. එහෙම බැලුවහම අපේ රට ද එහි වෙසෙන හුදී ජනයා ද වාසනාවන්ත ය.

පන්සලකට ගියත් චිත්‍රපට ශාලාවකට ගියත් එකම තෘප්තිය ලබා ගත හැකි පින් බිමක අප ජීවත් වන්නේ යැයි යන අදහසම ප්‍රීතිය ඇති කරන්නේ ය.

(හැම චිත්‍රපටියක්ම මෙහෙම නැත. හැම බණ කතාවක් ම මෙහෙම නැත. මා කීවේ බහුතරයක් දේ ගැන ය. අපේ මිනිසුන් වැඩි දෙනෙක් ඉල්ලන හා බොහෝ විට ලැබෙන දේ ගැන ය. වැඩිපුර නිශ්පාදනය වන වාණිජ චිත්‍රපටි හා ජනප්‍රිය බණ කතා ගැන ය. අපට බහුලව මුණ ගැසෙන ලංකාව ගැන ය.)