යථා රූපී තථා (අ) කාරී

මිනිසුන් වැඩියෙන් විශ්වාස කරන්නේ විශ්වාස කරන්නට වඩාත් අමාරු දේ ය. මිනිසුන් යන්නේ ම තමනට වංචා කරන මිනිසුන් පස්සෙනි. වංචාවේ ප්‍රමාණයට සාපේක්ෂව ඔවුන් කෙරෙහි මිනිසුන්ගේ භක්තිය ද වැඩේ. හිස කොන්ද හා දණ නමන ප්‍රමාණය වැඩි වේ.

මිනිසුන්ට වැඩියෙන් ම කේන්ති යන්නේ ඇත්ත ඇති සැටියෙන් කීවා ම ය. කුණුහරුප මතක් වීම පිටුපස ඇත්තේ මේ කාරණාව ය.

අරක්කු වැඩියෙන් බොන්නේ පෝය දවසට ය. කාට හෝ ඒ ගැන විචිකිච්ඡාවක් ඇතොත් ඊට කලින්දා බාර් අසල ගැවසෙන සෙනග බැලුවහම ඒ බව හොඳින් ප්‍රත්‍යක්ෂ කර ගත හැකි ය.ලෝකයේ වැඩිපුරම මත් පැන් බොන්නේ වැඩි පුරම බණ අහන රටේ මිනිසුන් ය. මත් පැන් බීම සම්බන්ධයෙන් ප්‍රසිද්ධියක් උසුලන අය අතර මතට තිත තියන්නට කතා කරන දේශපාලනඥයෝ ද පෝයට පමණක් නොව පොඩ්ඩ බැරි වෙන කොට බාර් වහන්නට උඩ පනින චීවරධාරීහු ද සිටිති.

බටහිරට බණින බොහෝ අය කැමති බටහිර ජීවත්වන්න ය. බටහිර අධ්‍යාපනය ලබන්න ය. පුළුවන් නම් දරුවනුත් ඒ දීපංකරේට පිටත් කරන්න ය. දේශප්‍රේමීන් කොහොමටත් වැඩි පුර කැමති රටින් ඈත වාසය කිරීමට ය. මයිග්‍රේට් වෙන්නට ය. ඈත් වුනු තරමට ප්‍රේමය ද වැඩි වන්නේ ය.

ලෝකෙන්ම උතුම් රටේ මිනිසුන්ට තමන්ගේ රට කුණු ගොඩක් කරන තුරු නින්ද යන්නේ නැත. පෙරහැරක් බැලුවත් වන්දනාවේ ගියත් සරුංගල් අැරියත් රැස්වීමකට ගියත් බල්ලන් වැයික්කිය ලකුණු කරන්නට මුත්‍රා කරනවා සේ උන් කරන්නේ කුණු හලන එක ය. තමන් ලග ඇති එකම දේ වූ කුණු හලන එක ය.

ශුද්ධ භූමියේ වැඩි දෙනෙකු ගුගල් සෙවුම් එන්ජිමෙන් සොයන්නේ සෙක්ස් ය. ඒ සමහර විට මෙය ශුද්ධ භූමියක් කිරීම අරමුණු කර ගෙනම මතුපිට දමා ඇති තහංචි වලට පින්සිදු වන්නට ය. එලිපිට කිස් කරන්නට අවසර නැති රටක හොරෙන් සෙක්ස් දෝරේ ගැලීම සිදු වන්නේ ඒ නිසා විය යුතු ය.

මිනිසුන්ගේ යහපත් භාවය ඔවුන්ගේ අතේ බැඳ ඇති පිරිත් නූල් සංඛ්‍යාවට ප්‍රතිලෝමව සමානුපාතික ය. ඕනෑ නම් ගණන් කර බලත හැකි ය.

බණ අහන්නට අකමැති මිනිසුන් අනිත් මිනිසුන්ට බණ අස්සවන්නට කැමති ය. ඒ අනුන් ද තමන් වගේ කරන්නට නොවේ. ඊට වඩා හොඳ අය බවට පත්කරන්නට ය. තමන්ට නිවී සැනසිල්ලේ ඉන්නට හැක්කේ තමන් හොඳ වූ විට නොවේ. අනෙකා මොන තාලයෙන් හෝ හොඳ කර ගත් විට ය. එහෙම බැලුවහම ඒක විතරක් මේ පුදුම ගොඩට ඒ විදිහට ම දමන්නට බැරි ය.

අත්පත් කර ගැනීමට මිනිසුන්ට ඇති ආශාව ඇලීම දුරු කිරීමට ඔවුන් ගන්නා වෙහෙසට ප්‍රතිලෝමව සමානුපාතික ය. වඩාත් ඉසුරු ඇත්තේ සියල්ල අත්හරින්නට කැප වී ඇති පන්සලේ ය. ආරාමයේ ය. නැත වඩාත් ඇත්තේ අලුතින් බිහිවන අසපුවේ ය.

වාණිජ චිත්‍රපටි කතා හා ජනප්‍රිය බණ කතා

පහු ගිය දින කිහිපයකම බණ ඇසීමේ අවස්ථාව මට ලැබුනේ ය. එකක් පිට එකක් ඇසූ බණ වල මා දුටු අපූරු සමානත්වය මා පුදුමයට පත් කළේ ය. හැම බණ කතාවක ම පුණ්‍ය වන්තයෙකු හෝ කරුමක්කාරයෙකු හෝ ඒ දෙවර්ගයේම අය හෝ සිටියෝ ය.

පුණ්‍යවන්තයා කළ පුංචි පින්කමක් නිසා ඔහු හෝ ඇය දෙව්ලොව උපදින්නේ ය. උදාහරණයක් හැටියට ස්වාමීන්වහන්සේ නමකට සුදු රෙද්දක් එලා ඉමහත් භක්තියෙන් යුතු ව ආසන පැනවීමේ පිනෙන් එක් උපාසිකාවක් දෙවඟනක් වී දෙව්ලොව උපදින්නේ මැණික් පුටුවකට ද හිමිකමක් ඇති ව ය.

සමහර කතා වල තියෙන්නේ කරුමක්කාරයින් ගැන ය. ඒ කරුමක්කාරයා කුමක් හෝ නොහොබිනා වැඩක් කොට නිරයේ උපදින්නේ ය. එක කතාවකට අනුව තම අඹුව දන් දෙන්නට ඉන්නා විට ඇයට බැණ වැදී එය වළක්වා ලීමේ පාපය හේතු කොට ගෙන නිරයේ උපදින්නේ ය. බොන්නට ලැබෙන්නේ උණු කළ ලෝ දිය ය.

තුන්වෙනි වර්ගයේ කතාවල පුණ්‍ය වන්තයා ද කරුමක්කාරයා ද එකට ජීවත් වන්නෝ ය. කතාව අවසානයේ කරුමක්කාරයා යමලොවත් පුණ්‍ය වන්තයා දෙව්ලොවත් යන්නෝ ය. දොරේ ගලායන සතුටකින් බොහෝ දෙනෙකු පිනා යන්නෝ ය. අවසානයේ දෙව් මිනිස් සැප කෙළවර නිවන ද හිමි වන බැවින් ඇත්තට ම තව අමතර සතුටක් ද ඇතිවන්නේ ය.

වාණිජ චිත්‍රපටිත් මේ වගේ ය. තියෙන්නෙ එකම කතාවකි. ඒත් පිටපත තරමක් වෙනස් ය.

වීරයා ලස්සණ අවංක අගනකට පෙම් කරන්නේ ය. දුෂ්ඨයාට ද ඕනෑ ඇය මය. දුෂ්ඨයා මායාවෙන් ද කපටි කමින් ද දුෂ්ඨ කමින් ද කෙල්ල ඩැහැ ගැනීමට බලන්නේ ය. වීරයා එන මගට ගල් පෙරලන්නේ දේවදත්ත සිහි කරමින් ය. වරෙක දුෂ්ඨයාට මග අවුරමින් ද තව වරෙක ඔහු හා සටන් කරමින් ද වීරයා කෙල්ල බේරා ගැනීමට දැඩි සටනක් දෙන්නේ ය. අන්තිමේ දුෂ්ඨයා පැරද පලා යන්නේ ය. මාරයා පැරද පලා ගිය හැටි සිහිපත් කරමින් ය. පලා ගියේ නැතිනම් යන්නේ පොලීසියේ ඇති මිහිපිට අපායට ය. වීරයා කෙල්ල සමග දෙව්ලොව යන්නේ ය. සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගෙන අපට නිවනක් ලැබෙන්නේ ඊට පස්සේ ය. සාදු කාරයක් වෙනුවට ප්‍රේක්ෂකාගාරයෙන් විසිල් පහරක් එන්නේ ය.

කතාව එක වුනාට ඒවා එන්නේ විවිධ නම් වලින් ය. රගපාන්නේ විවිධ නළුනිළියන් ය. පසුබිම ටිකක් වෙනස් ය. ඒ නිසා දෝ එකක් දෙකක් නොව තුන හතරක් දහයක් පහළොවක් බැලුවත් අපට ඇති වන්නේ නැත. උපාසක උපාසිකාවන්ට බණ ද ඒ වගේ ය. කොච්චර ඇහුවත් ඇති වන්නේ නැත. බණට කියන කතාව විතරක් නොව එය කියන හාමුදුරුවන්ගේ ලතාව ද වෙනස් ය. එහෙම බැලුවහම එක කතාවක් අනිකට වඩා ටිකක් වෙනස් ය. එපා වෙන්නේ නැති එකේ රහස ඇත්තේ එතැන ය.

පරමාර්ථ වශයෙන් ගත්තත් වාණිජ චිත්‍රපටියක නිශ්පාදකගේත් බණ කියන හාමුදුරුවන්ගේත් ඒ හැටි වෙනසක් නැත. අවසාන බලාපොරොත්තුව සුන්දර අත්දැකීම් හා අපේක්ෂා සැපයීම හරහා තම ව්‍යාපාරික වුවමනාවක් සාක්ෂාත් කර ගැනීම ය.

එක අතකට චිත්‍රපටියක් බලන්නට ඉඩ කඩක් නැති පෝය දවසක ලස්සණ බණ කතාවකින් සප්පායම් ‍ වෙන්නට ඉඩ ලැබීම ම වාසනාවකි. එහෙම බැලුවහම අපේ රට ද එහි වෙසෙන හුදී ජනයා ද වාසනාවන්ත ය.

පන්සලකට ගියත් චිත්‍රපට ශාලාවකට ගියත් එකම තෘප්තිය ලබා ගත හැකි පින් බිමක අප ජීවත් වන්නේ යැයි යන අදහසම ප්‍රීතිය ඇති කරන්නේ ය.

(හැම චිත්‍රපටියක්ම මෙහෙම නැත. හැම බණ කතාවක් ම මෙහෙම නැත. මා කීවේ බහුතරයක් දේ ගැන ය. අපේ මිනිසුන් වැඩි දෙනෙක් ඉල්ලන හා බොහෝ විට ලැබෙන දේ ගැන ය. වැඩිපුර නිශ්පාදනය වන වාණිජ චිත්‍රපටි හා ජනප්‍රිය බණ කතා ගැන ය. අපට බහුලව මුණ ගැසෙන ලංකාව ගැන ය.)

 

 

කණ පිරෙන බණ හා මග හැරෙන නිවන් මග

සෙව්වෙමි අමා මහ නිවන
බණ ද ඇසුවෙමි බණ පොත් ද බැලුවෙමි
සංයුත්ත නිකාය ද පෙරලුවෙමි බැලුවෙමි
සති පට්ඨානය හොඳින් හුරු කළෙමි
අවබෝධ වී යැයි සිතුණ සැණෙකින්
මග හැරී ගිය බව දැනිණ මා පැතූ ඒ නිවන

එක බණක් අසා හැකි යැ
දිගටම අසන්න – කෙළවර ලැබේවි ය නිවන

ඒ ගුරු උවදෙස ද ගෙන
ගියෙමි කිරිබත්ගොඩට
අනුරපුරට හා පොළොන්නරුවට
ඒ අසපුවට අර අරාමයට
මේ පන්සලට අර භාවනා පන්තියට
ඒත් වැටහුණේ නැත නිවන
වැටහුණා යයි දැනුණ විගසම
මග හැරී ගියා එය

ගුවන් විදුලියෙ රූප පෙට්ටයෙ
පාරෙ ලයිට් කණුවෙ ගසා ඇති ස්පීකරයෙ
දිගට හරහට
කණ පිරෙන්න ද ඇසූ මුත්
ලැබුනේ නැතිය මා පැතූ ඒ නිවන

තවත් බණ අසා මිස හඟින්නට බැරි දෝ
බුදුන් දැක මිස ලබන්නට බැරි දෝ
සසර කෙළවර මිස විඳින්නට බැරි දෝ
දෙව් මිනිස් සැප තාම ලැබුණාද මදි දෝ

කිඹුල් ධර්මේ වැඩේ දෙන්නේ ධර්මයෙන්ම ය.

කිඹුල් ධර්මේ වැඩේ දෙන්නේ ධර්මයෙන්ම යයි කියන විට දැනෙන්නේ පොර සූක්ෂම විදිහට ඇගට නොදැනී ගේම දෙන බව ය. ධර්මය හා අධර්මය අතර වෙනස දැන් බොඳවී ගිහින් ය. ඇත්තටම ඒ දෙක අතර වෙනස එකම එක අකුරකට එනම් ‘අ‘ යන්නට සීමා වී තිබේ.

ධර්ම රාජ්‍යයක් ඇති කිරීමට සපථ කළ සමහරු එහි අනුහසින් බෙන්ස් ගෙන ඒවා විකුණා ධර්ම රාජ්‍යය අමතක කළ හ. දැන් ධර්ම රාජ්‍යයට ඉතිරි වී ඇත්තේ සුවපහසු අසපු කීපයක් පමණකි.

පොලීසිය වෙනස් කළ නොහැකි බව දත් එක් පාලකයෙක් ධර්මචක්‍රයක් පළදවා පරිහානියට පත් පොලීසිය ධර්ම පොලීසියක් බවට පත් කළේ ය. සුරා සූදුව ද ගණිකා නිවාස ද වටලන්නේ පොලීසිය යි. එහෙම බැලුවහම ධර්මයටත් වඩා රට පිරිසිදු කිරීමේ වගකීම දැන් දරන්නේ පොලීසියයි. ඉතින් ඊට ධර්ම චක්‍රය නොපළඳවා වෙන කොහේ ඒක පලඳන්න ද කියා කෙනෙකුට ඇසිය හැකි ය.

ධර්මයේ හැසිරෙන්නා ඒ ධර්මයෙන්ම රැකෙතැයි කීවාට ඇත්තටම රැකෙන්නේ එසේ ධර්ම චක්‍රය පැළඳූ පොලීසිය නිසා ය. තමන්ගේ ආරක්ෂාව තමන් විසින්ම සපයා ගන්නට යැයි පාලකයෙකුගෙන් උපදෙස් ලැබුනහම ඒ ආරක්ෂාවත් ඈලියාවට ගොස් ඇති බව පෙනී ගියේ ය. සමහරුන්ට නම් රැකෙන්නට වී ඇත්තේ රකින්න ඉන්නා පොලීසියෙන් වීම ද අභාග්‍යයකි.

ධර්මය රැක ගැනීමට ධර්ම චක්‍රය උරයේ පැළඳූ පොලීසියෙන් විතරක් වැඩක් නැතැයි සැළකූ තව පාලකයෙක් ආගමික පොලීසියක් ඇති කළේ ඒ උරචක්‍රයේ ඇති ධර්මය රකිනු පිණිස ය. එසේ වුයේ භික්ෂූන්ගෙන් පමණක් සමන්විත බල සේනාවකට පමණක් ධර්මය රකින්නට නොහැකි යයි හැගුන විට ය.

තමන්වත් රැක ගන්නට බැරි ධර්මයට අනුන් රකින්නට හැක්කේ කෙසේ දැයි ප්‍රශ්න කරන අය සැබෑ මිථ්‍යා දෘෂ්ඨිකයන් ය. තමන්ට රැකෙන්න විදිහක් නැති බොහෝ අය අනුන් රකින්නට ඉදිරිපත් වී හත්මුතු පරම්පරාවම ගොඩ දාගෙන රැක ගත් බව උන් අමතක කරති. එහෙම බැලුවහම මේ තර්කවල කිසි තේරුමක් නැත.

සමහරු නම් කියන්නේ ධර්මය සරණ ගියේ ඉස්සර බව ය. ඔවුනට අනුව දැන් ඒ වෙනුවට සරණ යන්නේ අබ ය. එහෙම ගත්තහම හාමුදුරුවන් යනු අබ අපමණ ඇති ධර්මය ටිකක් පමණක් ඇති අය වීම අහම්බයක්ම නොවේ. මේ යන විදිහට ගියොත් ධර්මය නැත්තටම නැති වී සාසනයේ අබ විතරක් ඉතිරි වෙන්නටත් පුළුවන.

සරණක් ලැබෙනවා නම් ඒක ධර්මයෙන් වුනාම මොක ද අබ වලින් වුනාම මොක ද? ඔබ සැමට ඉදිරියේදී නම් අබ සරණ ය.