ආගමෙන් සුසිරිත් මිනිසුන් බිහි කළ හැකි ද?

දරුවෙකු ඉතා හොඳ චරිතයක් ඇත්තෙකු කිරීමට වහල් වන එකම උපක්‍රමය වනාහි ඔහුට ආගම ඉගැන්වීමය යනු අප රට බොහෝ දෙනා දැඩිව ගත් මතයකි. මේ මතය දැඩිව ගත්තන් වඩාත් දක්නට ලැබෙන්නේ නූගතුන් අතර නොව උගතුන් අතර ය. අප රට දරුවන්ගේ චරිතයේ නොයෙකුත් අඩුපාඩු දක්නට ලැබෙන්නේ මේ මතයෙහි එල්බගත්තන්ගේ උදාසීනත්වය නිසා යයි සිතමි (සිංහල ලකුණ, පිටු 152, මාර්ටින් වික්‍රමසිංහ)

එසේ තම “ආගම කවචයක් නොවේ” යන පරිච්ඡේදය අරඹන වික්‍රමසිංහයන් ඊළගට මෙසේ ද කියයි.

“බෞද්ධයන් දුසිරිත් හා සුසිරිත් විනිශ්චය කරනු සඳහා වහල් කොට ගන්නා මිනුම ක්‍රිස්තියානීන්ගේ මිනුමට වෙනස් වෙයි. ඔවුන් දෙගොල්ලන්ගේම මිනුම් මුස්ලිම් කාරයාගේ මිනුමට වෙනස් වෙයි. හින්දූන්ගේ මිනුම් ඇතැම් විට බෞද්ධයන්ගේ මිනුමට සමාන වුව ද බොහෝ විට වෙනස් වෙයි.

දුසිරිත් සුසිරිත් විනිශ්චය කරනු පිණිස වහල් කොට ගන්නා මිනුම් ඒ ඒ ආගම් අදහන්නන් අතර පමණක් නොව එකම ආගම් අදහන්නන් අතර ද වෙනස් වන බව මෙයින් හෙළි වෙයි මිනුම් එකම ජනතාවක් අතර වුව ද කලින් කල වෙනස් වෙයි. වෙනස් නොවන මිනුමක් නොලැබිය හැකි කල හොඳ හා නරක මිනිසුන් විනිශ්චය කිරීමේදී  බොහෝ දෙනා ඔවුනොවුන්ගේ අදහස් උදහස්වල ද අචීර්ණ කල්පික සිරිත්වල ද අවිචාර මතයන්හි ද එල්බගන්නා බව කිවමනා නොවේ”.

ඔහු එසේ කලින් කලට නිර්ණායක වෙනස් වීම ගැන උදාහරණ ද දෙයි.

“පස් හැවිරිදි දරුවෙකු වුව ද ගෙදරදී සෙළුවෙන් ඇවිදීම අසභ්‍ය චාරිත්‍රයක් ලෙස මීට අවුරුදු තිහ-හතළිහකට පෙර ගම්බද ජනයා නොසැලකූහ. බිරිඳ සැමියා ඉදිරියේ සම අසුනෙහි හිඳගැනීම, මීට පෙර ගම්බද ජනයා සැලකුවේ කුල ධර්ම දූෂණයක් ලෙස ය.”

එවැනි වටපිටාවක ආගම හැඩ ගස්වන්නේ විවිධ චරිත බැවින් ද ඒවා පවා කාලයත් සමග වෙනස් වන බැවින් ද ආගම ඉගැන්වීමෙන් සුසිරිත් චරිතයක් ඇති වෙනවා යැයි කීමෙන් අදහස් කරන්නේ කුමන සුචරිතය දැයි ඔහු අනියමින් අපෙන් ප්‍රශ්න කරයි.

ඔහු සඳහන් නොකළේ වුව ද අප බොහෝ දෙන දන්නා තව කරුණක් වෙයි. ඒ එක් එක් භික්ෂූන් වහන්සේලා සුසිරිත ලෙස දකින දෑ ද එකිනෙකට වෙනස් වන බව ය. බෞද්ධාගමේ පමණක් නොව වෙනත් ආගම්වල ද එය එසේ ම බව ය. එකම ආගමක වුව ද විවිධ භේද ඇති බව ය. නිකායවල් ඇති බව ය. ගුරුකුල ඇති බව ය. ඒවා අනුව ආගමික ඉගැන්වීම් වලට දෙන අර්ථකථනයන් ද වෙනස් වන බව ය.

ඒ නිසා ම චරිතයන් හැඩ ගැස්වීම ආගම් වලට බාර දී සිටියොත් එවැනි රටකට අබසරණ ය.

අද අවශ්‍ය වන්නේ සුචරිතය කුමක් ද යන්න පිළිබඳ සංවාදයන් ය. ඒ අපට වඩා පළල් ඒකමතිත්වයක් ළඟා කර ගැනීමේ අපේක්ෂාවෙනි. සුචරිතය මේ යැයි කාලානුරූප ව අර්ථ දැක්විය හැකි විචාර බුද්ධියක් දරුවන්ට ලබා දීමෙන් පමණක් ඔවුන් සුදුසු චරිත ඇත්තන් බවට පත් කළ හැකි ය. ඒකමතිත්වයක් ළඟා කර ගනු වස් කරන සංවාදයන්ගෙන් දරුවන්ගේ අවශ්‍ය විචාරශීලී භාවය ද වැඩි දියුණු කළ හැකි වනු ඇත.

 

වාණිජ චිත්‍රපටි කතා හා ජනප්‍රිය බණ කතා

පහු ගිය දින කිහිපයකම බණ ඇසීමේ අවස්ථාව මට ලැබුනේ ය. එකක් පිට එකක් ඇසූ බණ වල මා දුටු අපූරු සමානත්වය මා පුදුමයට පත් කළේ ය. හැම බණ කතාවක ම පුණ්‍ය වන්තයෙකු හෝ කරුමක්කාරයෙකු හෝ ඒ දෙවර්ගයේම අය හෝ සිටියෝ ය.

පුණ්‍යවන්තයා කළ පුංචි පින්කමක් නිසා ඔහු හෝ ඇය දෙව්ලොව උපදින්නේ ය. උදාහරණයක් හැටියට ස්වාමීන්වහන්සේ නමකට සුදු රෙද්දක් එලා ඉමහත් භක්තියෙන් යුතු ව ආසන පැනවීමේ පිනෙන් එක් උපාසිකාවක් දෙවඟනක් වී දෙව්ලොව උපදින්නේ මැණික් පුටුවකට ද හිමිකමක් ඇති ව ය.

සමහර කතා වල තියෙන්නේ කරුමක්කාරයින් ගැන ය. ඒ කරුමක්කාරයා කුමක් හෝ නොහොබිනා වැඩක් කොට නිරයේ උපදින්නේ ය. එක කතාවකට අනුව තම අඹුව දන් දෙන්නට ඉන්නා විට ඇයට බැණ වැදී එය වළක්වා ලීමේ පාපය හේතු කොට ගෙන නිරයේ උපදින්නේ ය. බොන්නට ලැබෙන්නේ උණු කළ ලෝ දිය ය.

තුන්වෙනි වර්ගයේ කතාවල පුණ්‍ය වන්තයා ද කරුමක්කාරයා ද එකට ජීවත් වන්නෝ ය. කතාව අවසානයේ කරුමක්කාරයා යමලොවත් පුණ්‍ය වන්තයා දෙව්ලොවත් යන්නෝ ය. දොරේ ගලායන සතුටකින් බොහෝ දෙනෙකු පිනා යන්නෝ ය. අවසානයේ දෙව් මිනිස් සැප කෙළවර නිවන ද හිමි වන බැවින් ඇත්තට ම තව අමතර සතුටක් ද ඇතිවන්නේ ය.

වාණිජ චිත්‍රපටිත් මේ වගේ ය. තියෙන්නෙ එකම කතාවකි. ඒත් පිටපත තරමක් වෙනස් ය.

වීරයා ලස්සණ අවංක අගනකට පෙම් කරන්නේ ය. දුෂ්ඨයාට ද ඕනෑ ඇය මය. දුෂ්ඨයා මායාවෙන් ද කපටි කමින් ද දුෂ්ඨ කමින් ද කෙල්ල ඩැහැ ගැනීමට බලන්නේ ය. වීරයා එන මගට ගල් පෙරලන්නේ දේවදත්ත සිහි කරමින් ය. වරෙක දුෂ්ඨයාට මග අවුරමින් ද තව වරෙක ඔහු හා සටන් කරමින් ද වීරයා කෙල්ල බේරා ගැනීමට දැඩි සටනක් දෙන්නේ ය. අන්තිමේ දුෂ්ඨයා පැරද පලා යන්නේ ය. මාරයා පැරද පලා ගිය හැටි සිහිපත් කරමින් ය. පලා ගියේ නැතිනම් යන්නේ පොලීසියේ ඇති මිහිපිට අපායට ය. වීරයා කෙල්ල සමග දෙව්ලොව යන්නේ ය. සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගෙන අපට නිවනක් ලැබෙන්නේ ඊට පස්සේ ය. සාදු කාරයක් වෙනුවට ප්‍රේක්ෂකාගාරයෙන් විසිල් පහරක් එන්නේ ය.

කතාව එක වුනාට ඒවා එන්නේ විවිධ නම් වලින් ය. රගපාන්නේ විවිධ නළුනිළියන් ය. පසුබිම ටිකක් වෙනස් ය. ඒ නිසා දෝ එකක් දෙකක් නොව තුන හතරක් දහයක් පහළොවක් බැලුවත් අපට ඇති වන්නේ නැත. උපාසක උපාසිකාවන්ට බණ ද ඒ වගේ ය. කොච්චර ඇහුවත් ඇති වන්නේ නැත. බණට කියන කතාව විතරක් නොව එය කියන හාමුදුරුවන්ගේ ලතාව ද වෙනස් ය. එහෙම බැලුවහම එක කතාවක් අනිකට වඩා ටිකක් වෙනස් ය. එපා වෙන්නේ නැති එකේ රහස ඇත්තේ එතැන ය.

පරමාර්ථ වශයෙන් ගත්තත් වාණිජ චිත්‍රපටියක නිශ්පාදකගේත් බණ කියන හාමුදුරුවන්ගේත් ඒ හැටි වෙනසක් නැත. අවසාන බලාපොරොත්තුව සුන්දර අත්දැකීම් හා අපේක්ෂා සැපයීම හරහා තම ව්‍යාපාරික වුවමනාවක් සාක්ෂාත් කර ගැනීම ය.

එක අතකට චිත්‍රපටියක් බලන්නට ඉඩ කඩක් නැති පෝය දවසක ලස්සණ බණ කතාවකින් සප්පායම් ‍ වෙන්නට ඉඩ ලැබීම ම වාසනාවකි. එහෙම බැලුවහම අපේ රට ද එහි වෙසෙන හුදී ජනයා ද වාසනාවන්ත ය.

පන්සලකට ගියත් චිත්‍රපට ශාලාවකට ගියත් එකම තෘප්තිය ලබා ගත හැකි පින් බිමක අප ජීවත් වන්නේ යැයි යන අදහසම ප්‍රීතිය ඇති කරන්නේ ය.

(හැම චිත්‍රපටියක්ම මෙහෙම නැත. හැම බණ කතාවක් ම මෙහෙම නැත. මා කීවේ බහුතරයක් දේ ගැන ය. අපේ මිනිසුන් වැඩි දෙනෙක් ඉල්ලන හා බොහෝ විට ලැබෙන දේ ගැන ය. වැඩිපුර නිශ්පාදනය වන වාණිජ චිත්‍රපටි හා ජනප්‍රිය බණ කතා ගැන ය. අපට බහුලව මුණ ගැසෙන ලංකාව ගැන ය.)

 

 

බොදු බලසේනාවට විවෘත ලිපියක්…..(මුස්ලිම් අන්තවාදීන්ට කොපියක් සමග)

ඔබ කියනා ලෙසට ඔබ පෙනී සිටින්නේ බුදු දහමේ පැවැත්ම වෙනුවෙන් ය. සිංහලයාගේ උන්නතිය වෙනුවෙන් ය.

මේ දෙක එකවිට කරන්නේ කෙසේ දැයි මට මුලින්ම එන ප්‍රශ්නය මම නොනගා නවතින්නෙමි. මට අවශ්‍ය ඔබ සමග දාර්ශනික සංවාදයකට පැටලීමට නොවේ. දාර්ශනික සංවාදයකට ඇති සංයමය ඔබ කෙරෙන් කිසිදා මම දැක නැත්තෙමි.

දහමේ වෙසෙන්නා දහමෙන්ම ආරක්ෂා කරන බව කීවේ බුදුන් වහන්සේ ය. එහෙව් දහමකට බලසේනාවක ආරක්ෂාව අවශ්‍ය දැයි යන ප්‍රශ්නය ඔබගේ සැහැසි වාග් ප්‍රහාර වලින් සහ ඔබට සහය දෙන අයගේ උත්තර වලින් බොරු කර ඇතැයි ඔබ සිතන නිසා ඒ ගැන ද කතා කිරීමට මම අදහස් නොකරමි.

සැහැසි වචන හා මැර බලය සරණ ගිය ඔබ සමග කතා කිරීමම වැඩක් ඇති දෙයක් දැයි මට විටෙක සිතේ. එහෙත් තමන්ගේම මතයක් නැති මිනිසුන් ඔබේ හඩ ඉදිරියේ ගාල් වෙනු දකින විට ඒ වැඩක් නැති කතාව කළ යුතු යැයි මට සිතිණි.

ඔබ අනුයන සමහරු ඔබගේ හැසිරීම මුළුමනින් අනුමත නොකරති. එහෙත් ඔබ පෙනී සිටින්නේ යහපත් අරමුණක් වෙනුවෙන් නිසා ඔබෙන් නිතර ගි‍ලිහෙන පරුෂ වචන සහ ඔබගේ මැර හැසිරීමට සමාවක් දීමට ඔවුන් සූදානම් ය. ඔවුන් නොදන්නා සහ අමතක කරන කාරණය නම් බුදුන් අරමුණ පමණක් නොව එය කරා යන මාවත ද යහපත් විය යුතු යැයි විශ්වාස කළ කෙනෙකු බව ය. ඒ බව ඔවුන්ට අමතක කරවන්නට හැකිවීමම එක් අතකට ඔබගේ ජයග්‍රහණයක් බව අපට පිළිගන්නට සිදු වේ.

තමන් ආගම රකින්නට යන්නේ ආගමට විරුද්ධ වීමෙන් බව නොදන්නා තරමට ඔබ අනුයන මිනිසුන්ගේ බුද්ධිය මොට කිරීමට ඔබට හැකිවීම ද ජයග්‍රහණයක් බව ඇත්ත ය.

ඔබ ඒ සදහා භාවිතා කරන්නේ බොරුව හා අර්ධ සත්‍යයන් ය. බොරුවටත් වඩා අර්ධ සත්‍යයන් ය. ඒවා මහා හඩින් කී විට ඒවාට බලයක් ලැබෙතැයි යන ඔබේ උපකල්පනය නිවැරදි ය. මිනිස්සු සද්දයට බය ය. සද්දයට ආසා ය. සද්දයම ශක්තිය වෙන, බලය වෙන, වටපිටාවක බුද්ධියට ඉඩක් නැත. සිතන්නට ඉඩක් නැත. ඒ සද්දයම, බලයම, ඔවුන්ට පිහිට වෙතැයි ඔවුන්ට හැගී යාම ඔබගේ තව ජයග්‍රහණයකි.

ඒ සද්දයම, බලයම, ඔබගේ වැඩ පිළිවෙළට විරුද්ධ මිනිසුන් පවා නිහඩ කරවන්නට ද හේතුවක් වී ඇත.

එකම දේ නැවත නැවතත් කීමෙන් බොරුව පවා ඇත්ත වෙන බව ද ඔබ දනී. මනෝ විද්‍යාවේ මිනිසුන් මුලා කිරීම සම්බන්ධයෙන් ඇති සියළු උපා ඔබගේ වැඩ පිළිවෙළ ඇතුළේ දැකිය හැකි ය.

මිනිස්සු තමන්ව අනෙකා විසින් යටපත් කරනු ලැබේ යැයි නිරන්නතර බියකින් පෙ‍ළෙති. පරිණාමයේ ශේෂයක් හැටියට පවතින ඒ බිය ඔබ විසින් තුච්ඡ ලෙස ප්‍රයෝජනයට ගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් කිව යුත්තේ මෙසේ කරන ලද එකම බලවේගය ඔබ නොවන බව ය. ඉතිහාසය පුරා මතුවුනු එවැනි බලවේග අපි රට ඇතුළත ද වෙනත් රටවල ද දැක ඇත්තෙමු.

ඔබ විරුද්ධවන වත්මන් මුස්ලිම් අන්තවාදී සංවිධාන විසින් ද ප්‍රයෝජන ගනු ලබන්නේ ඒ බිය යි. ඒ කාරණය ගෙන බැලූ කල පැහැදිලිව හෙලිවන කරුණ නම් ඔබ විරුද්ධ වන එම මුස්ලිම් අන්තවාදී සංවිධාන ද ඔබේම නිවුන් සොහොයුරන් බව ය. ඔවුන් ඔබගෙන් බොහෝ වෙනස් නොවේ. වෙනස් වනවා නම් ඒ ඔවුන් පක්ෂපාතිත්වය දරණ ආගමික ලේබලයෙන් හා ඒ වෙනුවෙන් ඔවුන් පෙන්වන මෘග භාවයෙන් පමණ ය.

ඔවුන්ගේ වැඩ පිළිවෙළ ඔබව ශක්තිමත් කරන අතර ඔබේ වැඩපිළිවෙළ පෙරලා ඔවුන්ව ශක්තිමත් කෙරෙන අයුරු අපි සංවේගයෙන් යුතුව බලා සිටියෙමු.

ඔබ සියල්ලන් අපව ගෙන යන්නේ යුද්ධයට ය. හිංසනයට ය. එකිනෙකාට එරෙහි ගහ මරා ගන්නා අනාගතයකට ය.
අප ඔබට විරුද්ධ වන තරමටම අනෙත් අන්තවාදී සංවිධානවලට ද විරුද්ධ වන්නෙමු. ඒවාට ඔබ විසින් අනියමින් ලබා දෙනු ලබන ශක්තිය අඩ පණ කිරීමට නම් ඔබව ද හෙලිදරව් කර දුර්වල කළ යුතු ව තිබේ.

වෛරයට පිළිතුරු වෛරය නොවන්නා සේම අන්තවාදයට පිළිතුර තවත් අන්තවාදයක් නොවේ.

සෑම ආගමකම සැබෑ පණිවුඩය සාමය හා සහජීවනයයි. එසේ වුව ද ආගමික අන්තවාදීන් විසින් එය විකෘති කොට එහි ප්‍රතිපක්ෂය ඉදිරියට ගෙන වුත් තිබේ. ඔබ ඊට තවත් එක් උදාහරණයක් පමණ ය.

නාසිවාදය ජර්මනිය සිය අණසකට ගත්තේ ය. මුළු ලෝකයම යුද පිටියක් කළේ ය. එ‍් තරමට එහි ශක්තිය වැඩි ගොස් තිබුණේ ය. එහෙත් අවසා‍නයේ එය පරාජය විය. වෛරය හා මැරබලය මත පදනම් වන සියළු අන්තවාදී සංවිධාන ද හිටි හැටියේ වර්ධනය වීමට සමත් විය හැකි නමුදු වැඩි දිනක් නොයාම අභාවයට පත්වන්නේ ය. ප්‍රශ්නය ඇත්තේ ඒ පවතින කෙටි කල තුළ මහා විනාශයක් කිරීමට ඊට හැකියාව ලැබීම ය. ඒ නිසා හැම ආගමකම සිටින බැතිමතුන්ගේ යුතුකම වන්නේ තමන්ගේ ආගමේ මුවාවෙන් වෛරය බිය හා සැකය පැතිරවීමට අන්තවාදීන්ට අවස්ථාවක් නොදීමට ඉටා ගැනීම ය.

සත්‍යය මිනිසුන් විසින් සොයා ගත යුතු අවබෝධ කරගත යුතු එකක් මිස ඔවුන් මත බලහාත්කාරය ‍යොදා පැටවිය යුතු දෙයක් නොවන බව තේරුම් ගැනීමට තරම් මිනිසා දියුණු වී ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු. තවදුරටත් නොදියුණු ළිංමැඩියන්ට මේ දියුණු ලෝකයේ පිනුම් ගැසීමට ඉඩ දීම අපට තරම් නොවේ. ඔවුන් ලෝකයට සිය පණිවුඩ ගෙන එන්නේ මොන ළි‍ඳෙන් ද යන්න නොසළකා ඔවුන්ගේ පටු පණිවුඩ හෙළිදරව් කිරීම අපේ යුතුකම ය.

ඒ නිසා ඔබ අසන්නට සූදානම් වුවත් නැතත් ඔබේ වෛරී වැඩ පිළිවෙළ අපට හැකි අයුරින් අපි හෙලිදරව් කරන්නෙමු. අප ආදර්ශයට ගෙන මුස්ලිම් භක්තිකයන් ද වෙනත් ආගමිකයන් ද ඔවුන්ගේ ආගමික අන්තවාදීන් හෙලිදරව් කරනු ඇතැයි අපි උදක්ම අපේක්ෂා කරමු.

ඔබේ ඔය පාපකාරී වැඩ පිළිවෙළ අතැර බුදුදහමේ චිරස්ථිතිය පිළිබඳ සැබෑ වැඩපීළිවෙළකට පැමිණෙන්නේ නම් අපේ සහයෝගය ඔබට ලබා දීමට ද කැමැත්තෙමු.

අප කුඩා කල අපේ දෙමාපියන් පාරේ වඩින සංඝයා වහන්සේ නමක් පෙන්වා අපට කියා සිටියේ ඒ නිවුනු චරිතය අනුගමනය කරන ලෙස ය. දැන් දෙමාපියන්ට සිදු වී ඇත්තේ රූපවාහිනියේ දිගහැරෙන චීවර ධාරීන්ගේ අසැබි ආවේගාත්මක මැර හැසිරීම බලා සුසුම් හෙලන්නට ය. ළමයින් ඒ විසූක දස්සණ නොබලන බවට වග බලා ගැනීමට ය. කොටු දැමිය යුත්තේ මත්පැන් හා දුම් වැටිවලට නොව මේ අසභ්‍ය රංගනයන්ට යයි කියන දෙමාපියන් අපට කොතෙකුත් මුණ ගැසී ඇත. ඒ ඔබ විසින් සංඝයා වහන්සේලා සම්බන්ධයෙන් ගොඩ නගා ඇති ප්‍රතිරූපයයි. ඔබගේ හැසිරීමෙන් ආදර්ශයන් ගන්නා ළමයි පමණක් නොව වැඩිහිටියන් ද කල්පනා කරනු ඇත්තේ ප්‍රශ්න විසඳන බෞද්ධ මාර්ගය වැටී ඇත්තේ කුණුහරුප, පරුෂ වචන හා මැරබලය හරහා බව ය. අද දවසේ සමාජය පුරා පැතිරී යන හිංසනය හා මැර ක්‍රියාවලට ඔබගේ නොමද දායකත්වය ද හේතු සාධක වී තිබේ. එසේ කල්පනා කරන කල අප ඉහත කරන ලද ඉල්ලීම විහිළුවක් වන්නට හොඳටම ඉඩ තිබේ. කෙරෙන නොකෙරෙන බව නොසළකා එ‍වන් ඉල්ලීමක් කළේ පුංචි හෝ ඉඩක් ඉතිරිව තිබේ නම් එය පිරික්සන්නට ය. අඩුවශයෙන් ඔබ සමග එක්වී සිටින වඩා මධ්‍යස්ථ හා කල්පනා කළ හැකි පිරිස් අමතන්නට ය.

ඔබේ හැසිරීමෙන් ඇති වූ සාධාරණ කෝපය බොහෝ අය විසින් පිට කර හරිනු ලබන්නේ ඔබේ හැසිරීමේම ප්‍රතිබිම්භය බවට පත්වීම හරහා ය. ඔවුහු එක්කෝ ඔබේ සංවිධානය තහනම් කරන ලෙස යෝජනා කිරීමට නැත්නම් ඔබේ සංවිධානයේ ඉන්නා දුර්වල වැරදි සහගත පුද්ගලයන් කීප දෙනෙකුගේ වංචා දූෂණ අක්‍රමිකතා හෙලිදරව් කිරීම හරහා ඔබට පහර ගැසීමට සූදානමින් සිටින්නෝ ය.

පණිවුඩයට මිස පණිවුඩකාරයාට පහර දීම අපගේ ප්‍රතිපත්තිය නොවන්නේ ය. ඔබට විරුද්ධවීම සදහා ඔබේ මට්ටමට වැටීම ද අපට අපුල ගෙන දෙන කාරණයකි. කෝපය මත පදනම්ව ක්‍රියාකාරිත්වයක් ගොඩ නැගීම ද අපි ප්‍රතික්ෂේප කරමු. ඒ නිසාම ඔබට විරුද්ධ වීමේ අපේ ක්‍රියාමාර්ගය තුල මේ කිසිවක් නැත.

මෙය වඩාත් පැහැදිලි කළ යුතු කාරණයකි. පණිවුඩයට පහර නොදී පණිවුඩකාරයාට පහර දෙන බොහෝ දෙනෙක් එසේ කරන්නේ පණිවුඩයට පහර දීමට ඔවුන්ට නොහැකි නිසා වෙනි. අපට එවැනි බැරිකමක් නැත.

පණිවුඩයට පහර නොදී පණිවුඩය ගෙනෙන්නාට පහර දීමෙන් වන්නේ ඔහුගෙන් ගිලිහෙන පණිවුඩය තව කෙනෙකු විසින් අහුලා ගැනීම ය. ඒ නිසා එහි ඇත්තේ කෙටි කාලීන අගයක් පමණකි. අපට අවශ්‍ය ඔබේ සංවිධානය පරාජය කිරීමට නොව එය ගෙනෙන නිහීන මතවාදය පරාජය කිරීමට ය. අපට අවශ්‍ය තාවකාලික ජයග්‍රහණයන් නොව කල්පවතින ජයග්‍රහණයන් ය.

ඒ නිසා කිසිවෙකු ඔබේ සංවිධානය තහනම් කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නම් අපි ඊට එරෙහි වෙමු.

අවසාන වශයෙන් ඔබේ මෑතක ක්‍රියාපටිපාටිය ගැන සදහනක් කිරීමට කැමැත්තෙමු. ඒ රටේ නම වෙනස් කිරීමට ඔබ විසින් යෝජනා කරනු ලැබ තිබීම ය. ජාතික කොඩිය වෙනස් කිරීමට යෝජනා කරනු ලැබ තිබීම ය.
ඒ දෙකින්ම ඔබට වුවමනා කර තිබෙන්නේ වෙනත් ජාතීන් බැහැර කර තැබීමට ය. ඔවුන් සිංහලයින්ට යටත් දෙවැනි පුරවැසියන් කොටසක් බවට පත් කිරීමට ය. ඔවුන් කෙරෙහි ආධිපත්‍ය පතුරන්නට ය. රටම සිංහලයන් වෙනුවෙන් අල්ලා ගැනීමට ය.

අපට නම් රට අල්ලා ගත යුතු භූමියක් නොවේ. ආධිපත්‍ය පැතිරිය යුතු භූමි භාගයක් ද නොවේ.

අපට නම් එය කුවේණිගේ පරපුරෙන් එන අයටත් විජයගේ පරපුරෙන් එන අයටත් වැද්දන්ගේ පරපුරෙන් එන අයටත් මෙහි දැන් පදිංචිකරුවන්ව සිටින වෙන රටක උරුමයක් නැති සියළු දෙනාටමත් සමාන අයිතිවාසිකම් ඇතිව ජීවත්වන්නට හැකි පොළොවේ තිබෙන තවත් එක් භූමියකි.

ඒ හැම එක්වී ගොඩ නගන අනාගතයක් වෙනුවෙන් රටක් වෙනුවෙන් අපි පෙනී සිටිමු.

එසේ කියන අපට දමා ගසන එක් සුවිසල් ආයුධයක් තිබේ. ඒ අප නිවට බව ය. බිය බව ය. ඔබ භාවිතා කරන පිළිකුල් භාෂාවෙන් කියන්නේ නම් අප පොන්නයන් බව ය.

ශක්තිමත් මිනිසුන් නිබය මිනිසුන් පාරම්බාන්නේ නැත. පුප්පන්නේ නැත. ඔවුන්ට තමන්ගේ ශක්තිය ගැන විශ්වාසයක් තිබේ. බල්ලන් උදාහරණයකට ගන්නේ නම් වැඩියෙන් බුරන්නේ උන් අතරින් හොදටෝම බය උන් ය. බුරන බල්ලෝ හපා කන්නේ නැත. ඒ නිසා ඒ ආයුධය භාවිතා කිරීමෙන් වැඩක් නැත.

අපට වැදගත් වන්නේ රටේ නම නොවේ. රටේ නමට ලැබෙන ප්‍රතිරූපයයි. විරූපි කතකට සුරූපි යයි නමක් දැම්මාට වැඩක් නැත. ඒ අර්ථයෙන්ම වැඩවලින් ද වචනයෙන් ද හැසිරීමෙන් ද රට බුදුන්ගේ දේශයක් ලෙස නොපෙනේ නම් මේ බුදුන්ගේ දේශය යයි එය නම් ක‍ළාට වැඩක් නැත. එසේ කළ විට අවමානය බුදුන්ට ය.

ආඩම්බරයෙන් මේ අපේ රට යැයි කිව හැක්කේ එහි විසූක දස්සන නැත්නම් පමණකි.

රටක ප්‍රතිරූපය තිරණය වන්නේ රට සහ එහි වැසියන් පෙනී සිටින ආචාර ධර්ම වලිනි. එහි මිනිසුන්ගේ ආචාරශීලිත්වයෙනි. ඒ මිනිසුන්ගේ වචනයෙන් ද ක්‍රියාවෙන් ද ලොවට පෙන්වන ඔවුන්ගේ චරිතයෙනි. ඒවා විපරීත වී නමින් රටේ නම සුපිරි වීමෙන් පළක් නැත.

රටේ නම නොව ඔබ සංවිධානයේ නම වෙනස් කිරීම ගැන ඔබේ අවධානය යොමුවනු ඇතැයි අපි සිතමු. මක්නිසා ද යත් රටේ වත්මන් නම වූ ශ්‍රී ලංකාව නිසා සිදුවන විනාශයක් නැතත් අති විශාල විනාශයක් රටටත් ආගමටත් ඔබේ සංවිධානයේ නම – බොදු බල සේනා – නිසා සිදුවන නිසා ය.

බටහිර ලෝකයේ වඩාත් වැඩියෙන් පැතිරෙන ආගමක් වෙයි නම් ඒ බුද්ධාගම ය. ඔබේ ක්‍රියාකාරිත්වයෙන් විය හැකි එකම දෙය එය අඩාල වීම ය. ඔබේ නම ඒ සඳහා අතිරේක තිරිංගයක් වී ඇති බව ඔබ සංවිධානය සම්බන්ධයෙන් වෙනත් රටවල පළවන මාධ්‍ය වාර්ථාවලින් මොනවට පෙනේ. ඔබ ඉටුකරන්නේ කාගේ හෝ කොන්ත්‍රාත්තුවක් දැයි යන සැකය ඒ නිසාම බොහෝ දෙනා තුළ පහළ වී තිබේ.

ඔබ සම්බන්ධයෙන් ලියන්නට ඇති දේ ලිපියකින් ගොනු කිරීම අමාරු ය. ඒ සඳහා පොතක් ලිවිය යුතු ය. තේරුම් ගන්නා කෙනෙකුට පොත් ලියන්නට වුවමනා නැත. තේරුම් ගැනීම ප්‍රතික්ෂේප කර ඇති කෙනෙකුට පුස්තකාලයක් පිරෙන්නට ලිව්වත් වැඩක් වන්නේත් නැත. ඒ නිසා ලිපිය මෙතැනින් සමාප්ත කරමි.

අද ඔබගේ විය හැකි ය. එහෙත් හෙට දවස සැබැවින්ම අපේ ය. රැවටීමට හා මුලාවට සීමාවක් ඇති බැවිනි. ඔබට ඔබ අනුයන අබ සරණත් රටට හා ජනතාවට තෙරුවන් සරණත් අපි අවසාන වශයෙන් පතමු.

Albert Camus
(මේ ලිපිය මට ලැබුනේ Albert Camus විසින් ලියන ලද Resistance, Rebellion and Death යන පොතේ පිටු අතර ය. සාහිත්‍යයට හිමි නොබෙල් තාග්‍යෙයන් 1957 පිදුම් ලද, 1960 මිය ගිය මෙම ප්‍රංශ ඇල්ජීරියානු ලේඛකයා එක් දහස් නමසිය හතලිස් ගණන් වල ලියන ලදැයි සැළකෙන පොතක මේ ලිපිය තිබුනේ කෙසේ දැයි ඔබ පුදුම වන මම දනිමි. ඇත්තටම මට ඇති පුදුමයත් එයම ය. )

මා සිතා සිටියේ වචන තියෙන්නේ සෙල්ලම් කිරීමට කියා ය. එහෙත් මේ ලිපිය ලිවීමෙන් ඇල්බට් කැමූස් පෙන්වා දෙන්නේ වචනවලින් ඊට වඩා වැදගත් කාර්යයක් කළ හැකිය කියා ය. සෙල්ලමකටත් වඩා වැදගත් දෙයක් තිබේ යැයි විශ්වාස නොකරන මට මෙය අලුත් අත්දැකීමක් විය. මෙය මෙසේ ඔබ සමග බෙදාගන්නට හිතුවේ ඔබේ අදහස දැන ගැනීමටත් එක්ක ය.

බෙහෙත්, වෙඩි බෙහෙත් සහ දත් බෙහෙත්

බෙහෙත් දෙන්නේ ලෙඩට ය. එතකොට වෙඩි බෙහෙත් දෙන්නේ මොන ලෙඩේට ද?

සමහර අයට අනුව ඒකත් ලෙඩකට දෙන බෙහෙතක් ය. ඒ සමාජ රෝගවලට ය.

සමාවෙන්න. සමාජ රෝග කිව්වහම පොඩ්ඩක් පැටලෙන සුළු ය. මේ කියන්නේ ලිංගික ආශ්‍රිත රෝග ගැන නොවේ. සමාජ ප්‍රශ්න ඔඩු දුවා හැදෙන ලෙඩට ය. හැම බෙහෙතකින් ලෙඩ හොද වෙන්නේ නැත. ලෙඩා මලත් බඩ සුද්දයි කියන්න පුලුවන් වර්ගයේ බෙහෙත් ද තිබේ. සමහරු කියන්නේ වෙඩි බෙහෙත් ද ලෙඩා මරා බඩ සුද්ද කරන බෙහෙතක් කියා ය. අන්තිමේ බඩ සුද්ද වුනත් ලෙඩා පරලෝකප්‍රාප්ත වෙලා ය.

එතකොට දත් බෙහෙත් අයිති මොන වර්ගයට ද? එය දෙන්නේ ද ලෙඩකට බව ඇත්ත ය. එහෙත් අනිත් බෙහෙත් දෙක මෙන් හැදුනාම නොවේ. හැදෙන එක වළක්වා ගන්නට ය.

මිනිසුන් හැදුනාම බෙහෙත් ගන්නට වුවමනාව දැක්වූවත් ඒ සමාන උනන්දුවක් වළක්වා ගැනීම සම්බන්ධයෙන් ගන්නේ නැත. දොස්තරලාට වෙන කාටවත් නැති තරමට බිස්නස් තියෙන්නේ මිනිසුන්ගේ මේ දුර්වල කම නිසා ය. ලෝකයේ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධානය අභිබවා යුද්ධය ජය ගන්නට පුළුවන් වූ අපට ඒ යුද්ධය ඇති වීම වළක්වා ගන්නට ශක්තියක් තිබුනේ නැත්තේත් ඒ නිසා විය යුතු ය.

එහෙම බැලුවහම දත් බෙහෙත් ඇතත් දත් ආශ්‍රිත රෝග ද ඒ සමානවම ප්‍රචලිත වීම පුදුමයට කරුණක් වෙන්නට බැරි ය.

බෙහෙත් වර්ග පිළිබඳ ලයිස්තුව එතැනින් ද අවසන් නොවේ. තවත් ආකාරයක බෙහෙත් වර්ගයන් ද තිබේ. ඒ වර්ගයන් හදුන්වන්නේ සිංහල හා ඉංග්‍රීසි බෙහෙත් ලෙස ය. වර්ගවාදය කොයි තැනත් මතුවන උඩ දමන එකක් නිසා බෙහෙත් වලට විතරක් ඒකෙන් වෙන්ව විසීමට පුලුවන් කමක් ලැබී නැත.

සිංහල ජාතිය ගැන කතා කරන බොහෝ අයට ඉංග්‍රීසි රටවල පුරවැසි භාවය ඇති වාක් මෙන්ම සිංහල බෙහෙත් වර්ණනා කරන බොහෝ දෙනෙක් ද තමන්ට හෝ තම ඥාතී හිතේෂීයෙකුට අමාරුවක් වුනහම සොයා යන්නේ ඉංග්‍රීසි බෙහෙත් ය.

ඒ සිංහල බෙහෙත් (කසාය) තිත්ත නිසාම නොවේ. කට මොනවා කිව්වත් දිවට බොරු කියන්න බැරි නිසා ය. එකක් කියලා එකක් කිරීම ජාතික චාරිත්‍රයක්ය කියන තරමට කියන බණත් පිලිපදින බණත් අතර මහා ආගාධයක් ඇති නිසා ය. වැදි බණ බුදු බණ අභිබවා ගොස් තිබෙන නිසා ය.

තවත් ලියන්න ගියොත් වෙන්නේ මටත් බෙහෙත් බොන්න ය. ඒ නිසා ඔය හොඳටම ඇති ය.