දෙව්දත්ට ලියුමක්

පළමුවෙන්ම ඔබට ආමන්ත්‍රණය කළ යුත්තේ කෙසේ දැයි නොදැන මා අතරමං ව සිිටි බව කිව යුතු ය. ඒ ගැටළුව ඇති වූයේ දේවදත්ත කුමාරයා ලෙස ද දෙව්දත් හිමියන් ලෙස ද දේවදත්තයා ලෙස ද ඔබව දක්වා ඇති නිසා ය. සසර පුරා ඇදී ගිය ඔබගේ පාපතර දිවිය නිසා ගරු නම්බු දීමට බැරි ය. ආනන්තරීය පාපකර්මයක් කර ආපායේ ගිය නමුදු ඔබ ද මතු බුදුවන බවට අසා ඇති නිසා දෙකේ කොළයට දමා කතා කරන්නට ද බැරි ය. මා ගැටළුවකට මැදි කළේ ඒ මහා පරස්පරය ය.

සාහිත්‍යයේ සඳහන් වන ලෙස ඔබට තිබිය හැක්කේ අප ඉරිසියාවෙන් පුරවන අපූරු වාසනාවන්ත ගුණයකි. මතු බුදුවන බෝධිසත්ත්වයන්ට එකක් හැර එකක් මුදා හල නපුරුකම් තිබිය දීම ඔහු සමග නැවත නැවතත් ඔය දුර්ලබ යයි අපේ හාමුදුරුවන් කියන මිනිස් ආත්මයක් ද ඇති ව උපදින්නටත් බෝධිසත්තවයන් තිරිසන් ආත්මයකට පහළ බැස ගත් විට ඔබට ද ඔහු අනුව යමින් තිරිසන් ආත්මයක් ලබා ගැනීමට හැකි වීමත් නිසා ඔබ අපූරු වාසනාවන්තයෙකු ලෙස ම හිතන්නට අපට සිදු ව තිබේ. එහි උත්කර්ෂය සනිටුහන් වන්නේ අප මහා බෝධිසත්වයන් බුදුවන ආත්මයේ ම එතුමාගේ ඇඹේනිය බවට පත් වන යසෝදරා කුමරුන්ගේ සොහොයුරා වන්නට ද ඔබ පින් ලබා තිබීම ය.

එවැනි පිනක් ලැබීමට ඔබ කළේ කුමක් දැයි අපට හිතාගන්නටවත් බැරි ය. එහෙත් එවැනි පිනක් දහමක් නොකර එවැනි වාසනාවන්ත තත්වයක් ඇති කර ගැනීමට අපහසු බව මොකක් හෝ හේතුවක් නිසා අපට හැගෙන්නේ ය. කවරෙකු විසින් හෝ අපට දැනගන්නට බැරි වන ලෙස සගවා තිබෙන ඔබේ පින් දහම් කවරේ දැයි දැන ගැනීමේ පිපාසාවක් මට තිබේ. එහෙත් එයට ඉගියක් වත් මා ඇසුරු කළ පොත පතේ වත් මා ඇසූ අනේක ධර්ම දේශණා වල වත් තිබුනේ නැත. මා මේ ලිපිය ලියූ එක් හේතුවක් වන්නේ ඒවා කවරේදැයි ඔබගෙන්ම අසා දැනගන්නට ය.

සසුන රැක ගැනීමට දැඩි විනය නීති පනවා භික්ෂූන් හික්මවිය යුතු යැයි කියමින් බුදුන්ටත් වඩා බුදු කෙනෙකු වීමට ඔබ දැරූ උත්සහය අපට සිහි ගන්වන්නේ වත්මන දකින්නට ලැබෙන බහුතරයක් භික්ෂූන් වහන්සේලා ය. ගිරිය කඩා ගෙන කෑ ගසන දෙමළුන් කොටීන් කර උස්සා පොළොවේ ගසන බුදුන්ටත් වඩා ඉදිරියට යමින් බුදු දහම රැක ගන්නට කැස කවන නූතන සග පරපුර ය. එහෙම බලන විට අපට පෙනෙන්නේ බුදුන්ගේ අනුගාමිකයන්ට වඩා ඔබේ අනුගාමිකයන් අපේ සසුන තුළ ඉන්නා බව ය.

නිර්මාංශව සිටිය යුතු බව ට ඔබ ගෙනා සිල්පදය බුදුන් බැහැර කළ බව සඳහන් වෙතත් එය නැවතත් ඉහළට ඔසවා තබන, විශේෂයෙන් ගව මස් සම්බන්ධයෙන් සුවිශේෂ සිල්පදයක් සමග නැවත දොරට වඩින, එය ස්වාමීන්වහන්සේලා විසින් පමණක් නොව ගිහියන් ද අනුගමනය කළ යුතු බවට දෙසන, ඒ සංඝරත්නයෙන් පෙන්නුම් කරන්නේ ඔබේ නැවත ආගමනය ඔබ අවිචී නිරයෙන් නික්මෙන්නටත් පෙර සිදු ව ඇති බව ය.

අප අසා ඇති හැම කතාවකම බුදුන් හා අවසානය වෙනතෙක් ෆයිට් එකක් දීමට ඔබට වූ හැකියාව නිසි ලෙස අගැයීමට ලක් නොවීම ද පුදුම ය. සාරා සංකේය කල්ප ලක්ෂයක් පෙරුම් පිරූ බුදු වරයෙකුට එරෙහිව එවැනි සටනක් දීමට පව් වල ප්‍රතිමුර්තිය වූ ඔබට හැකි වීම ම අති විශාල ජයක් ලෙස මම නම් සළකමි. මා ඔබට මේ ලියුම ලියන්නට දෙවැනි හේතුව මේ හයිය ඔබ ලබා ගත්තේ කුමන් බලවේගයෙන් ද යන්න දැන ගැනීමට ය. අප හිතුවාට එය කර්ම ශක්තිය නම් නොවිය හැකි නිසා ය.

මේ ලිපිය අවිචියට ගෙන යෑමට සමත් භික්ෂුන් ගණනාවක් ම ශ්‍රී ලංකාව තුළ සිටීම මා ලැබූ වාසනාවකි. එයින් කෙනෙකු අතේ මේ ලියුම ඔබට ලැබිය හැකි ලෙස අන්තර්ජාලයට මම මුදාහරින්නෙමි. අපායේ ඉන්ටර්වල් ලැබුනු වෙලාවක ඔබ මට උත්තරයක් එවනු ඇතැයි අපේක්ෂා කරමි.

(ප.ලි. – හැම වීරයෙකුම උපත ලබන්නේ දුෂ්ඨයෙකුගේ ආධාරය ඇතුව ය. එහෙම බැලුවහම ඔබ බෝධිසත්ත්වයන් ට දී ඇත්තේ අතිශයින් වටනා බකප් එකකි. සමහර විට ඊනියා කර්ම බලවේගය ඒ ගැන අගැයීමක් කරමින් ඔබව නැවත නැවතත් බෝධිසත්ත්වයන් සමගම උත්පත්තිය ලබන්නට ඉඩ හසර ලබා දුන්නා විය හැකි ය. ඒ මගේ අනුමානය ය. ඔබේ උත්තරය මට ඒ අනුමානය තහවුරු කර ගැනීමට හෝ ඉවත ලෑමට අවස්ථාව සලසන බැවින් අතිශයින් වැදගත් ය. ඒ නිසා හැරෙන තැපෑලෙන් උත්තර එව්වොත් ඔබට පින් සිද්ධ වෙනවා ය. දෙව් මිනිස් සැප කෙළවර අමා මහ නිවනට ඒ පින් හේතු වේවා වාසනා වේවා යයි මම අවසාන වශයෙන් පතමි.)

වෙස්සන්තර පිය රජාණන් හට- ජාලිය කුමරුගෙන්

පිය රජුනි

ඔබ ඔබේ මනදොල පුරවා ගත්තෙහි ය. ඔබ සමග අමනාප වීමට හේතු බොහෝ ඇතත් මා එසේ කීවේ අමනාපයෙන් ම නොවේ. ඔබේ මනදොල ආත්මාර්ථය ඉක්මවන්නක් ද ලෙස දැකිය හැකි නිසා මට එක එල්ලේ ඔබ සමග අමනාප විය නොහැකි ය.

බුද්ධත්වය ලැබ එයින් නොනැවතී සෙසු මිනිසුන් ද දුකින් මුදවීමට ද ඔබ ක්‍රියා කළේ ය. ඇලීම හා ගැටීම දුරු කර ගෙන සැනසුම ලැබීමට ඔබ දෙසු දහම නිසා ඇතැම් මිනිසුනට හැකි විය.

එහෙත් ඒ සඳහා ඔබ ගත් මගේ සියල්ල නිවැරදි ද යන්න නැවත විමසිය යුතු ය. කාලාම සූත්‍රයේදී ඔබ දෙසූ අයුරින්ම විමසිය යුතු ය.

එදා ජූජක බමුණා මිය නොයන්නට මටත් ක්‍රිෂ්ණජිනාටත් සිදු වන්නේ වහ කන්න ය. අප ඔබගේ දරුවන් වූ බව ඇත්ත ය. ඔබ අප අත්හැරිය විට ජූජක බමුණු හා යෑම හැරෙන්නට අපට කරන්නට අන් දෙයක් නොවූ බව ඊටත් වඩා ඇත්ත ය. කිසිත් කර ගත නොහැකි කුඩා දරු දෙදෙනෙකුගේ අනාගතය බිල්ලට තබා බුද්ධත්වය ලබන්නට ඔබ කළ උත්සහය ඒ නිසා ම සාපරාධී ය. බුද්ධත්වය ලබන්නට ඊට වඩා සෞම්‍ය වූත් සාමකාමි වූත් මගක් තනන්නට ලෝකයට හෝ එය පාලනය කරන දෙවියන්ට හෝ නොහැක්කේ මන් ද යන්න සිතන විට මට එදා ඇති වූ කම්පනය ඔබ කළ ක්‍රියාව නිසා ඇති වූ කම්පනයට ද වඩා බලවත් විය.

ඔබ ගත් මග විමසන්නට මුල්ම අවස්ථාව ඒ භවයේදී ඔබ ලදුයේ සුදු ඇතා පවරා දීම සම්බන්ධයෙන් ඔබේම රටවැසියන්ගේ මැදිහත් වීම වූ වෙලාවේ ය.

රජ කෙනෙකුට රාජධානියක් පැවරෙන්නේ එහි ඇති සම්පත් භුක්තියට සවි කර ගන්නට හෝ ඒවා තමන් කැමති ඕනෑම අයුරකින් පරිහරණය කිරීමට හෝ නොවේ. වත්මන් යුගයේ රාජ්‍යත්වයට පත් වෙන සාමාන්‍ය මිනිසුන් මෙන්ම ඔබ ද හිතුවේ රාජ්‍ය සතු සම්පත් තමන්ට රිසි සේ භාවිතා කළ හැකි බව ය. ඔබ එහි තාවකාලික භාරකාරයා බව ඔබට අමතක විය. බුද්ධත්වය පිළිබඳ ඔබේ සිහිනය විසින් එය ඔබට අමතක කරන්නට සැලැස්වූවා යැයි කෙනෙකුට සාධාරණ චෝදනාවක් කළ හැකි ය.

දරුවන් සම්බන්ධයෙන් ද ඔබ ක්‍රියා කළේ ඊට සමාන අන්දමට ය. ඔබ විසින් ජාතක කළේ වුව ද ඔවුන් ද ලෙයින් මසින් සැදුනු මිනිසුන් බව ඔබ නොසළකා හැරියේ ය. ඔබ ඔවුන්ගේ තාවකාලික භාරකාරයා බව අමතක කර දැමුවේ ය. දරුවන් සම්බන්ධයෙන් ඔබට යම් අයිතියක් ඇත්නම් ඊට නොදෙවෙනි හෝ ඊට වඩා අයිතියක් ඔවුන්ගේ මවට ඇති බව මුලින් පිළිගෙන මන්ත්‍රී දේවිය එනතුරු තීරණය කල් දැමු ඔබ අවසානයේ එය බුද්ධත්වයට හිලව් කර අමතක කර දැම්මේ ය.

ඔබ බුද්ධත්වය ලබන දිනයේ මාරයාට චක්‍රායුධයක් සමග ඔබ වෙත පැමිණීමට හා ඔබව මෙල්ල කරනු වස් සෙල්ලම් කිරීමට ඉඩ ලැබී තිබුනේ මන්ත්‍රී දේවියගේ අනුමැතිය ලබා ගැනීමට ඔබේ දරු දානය පමා කළ පාපය හේතුවෙන් යැයි ඊයේ බණට කියනු මම අසා සිටියෙමි. මේ ලෝකයේ සාධාරණත්වය යන අංශු මාත්‍රයක් වත් නැතැයි ද පින් හා පව් වලට අර්ථකථන සපයන කරුමය නම් යාන්ත්‍රණය පවා සිනහ උපදවන විහිළුවක් යැයි ද මට සිතුනේ ඉන් පසුව ය.

මිනිසුන් 999 ක් මැරූ අංගුලිමාල නිවන් දකින විට කිසි දෙයක් කර ගැනීමට නොහැකි වූ මාරයාට ඔබ බුද්ධත්වය පත්වන විට දරු දානය පමා කිරීමේ වරදට චක්‍රායුධයක් ගෙන නටන්නට වරම් ලැබුනේ ඒ අපූරු කරුමයේ යාන්ත්‍රණය නිසා විය යුතු ය.

පුංචි දරුවන් මෙහෙකරුවන් ලෙස ද ලිංගික වහලුන් ලෙස ද නාකි මහල්ලන්ට දන් දීමේ චාරිත්‍රය ඔබ ගෙන් ආරම්භ වී යැයි කෙනෙකු යෝජනා කළොත් එය එසේ නොවේ යැයි කීමට මට නොහැකි ය. එය අද සමාජය තුළත් දරුවන් මිහිපිට අපායකට තල්ලු කරන සමාජ චාරිත්‍රයන් ලෙස වෙන වෙනත් ආකාර වලින් සමාජගත වී තිබිම සම්බන්ධයෙන් මට පුදුම විය නොහැක්කේ ඔබ වැන්නෙකු විසින් දී ඇති අතිශයින් නරක පූර්වාදර්ශය නිසා ය.

දරුවන් සම්බන්ධයෙන් වෙනත් ආකාරයක පූර්වාදර්ශයක් සපයන බෝධිසත්වයෙකු වෙන්නට මම ඉටා ගෙන ඇත්තෙමි. එකම ප්‍රශ්නයකට ඇත්තේ එසේ කොට බුදු විය හැකි ද යන්න ය. මා ඔබගෙන් අසන්නේ අන්න ඒ පැනයට උත්තරයක් ය. මේ ලියුම ලීවේ හැම දෙයක්ම ගැන දන්නා ඔබගෙන් ම ඒ බව අසා දැනගන්නට ය.

වාණිජ චිත්‍රපටි කතා හා ජනප්‍රිය බණ කතා

පහු ගිය දින කිහිපයකම බණ ඇසීමේ අවස්ථාව මට ලැබුනේ ය. එකක් පිට එකක් ඇසූ බණ වල මා දුටු අපූරු සමානත්වය මා පුදුමයට පත් කළේ ය. හැම බණ කතාවක ම පුණ්‍ය වන්තයෙකු හෝ කරුමක්කාරයෙකු හෝ ඒ දෙවර්ගයේම අය හෝ සිටියෝ ය.

පුණ්‍යවන්තයා කළ පුංචි පින්කමක් නිසා ඔහු හෝ ඇය දෙව්ලොව උපදින්නේ ය. උදාහරණයක් හැටියට ස්වාමීන්වහන්සේ නමකට සුදු රෙද්දක් එලා ඉමහත් භක්තියෙන් යුතු ව ආසන පැනවීමේ පිනෙන් එක් උපාසිකාවක් දෙවඟනක් වී දෙව්ලොව උපදින්නේ මැණික් පුටුවකට ද හිමිකමක් ඇති ව ය.

සමහර කතා වල තියෙන්නේ කරුමක්කාරයින් ගැන ය. ඒ කරුමක්කාරයා කුමක් හෝ නොහොබිනා වැඩක් කොට නිරයේ උපදින්නේ ය. එක කතාවකට අනුව තම අඹුව දන් දෙන්නට ඉන්නා විට ඇයට බැණ වැදී එය වළක්වා ලීමේ පාපය හේතු කොට ගෙන නිරයේ උපදින්නේ ය. බොන්නට ලැබෙන්නේ උණු කළ ලෝ දිය ය.

තුන්වෙනි වර්ගයේ කතාවල පුණ්‍ය වන්තයා ද කරුමක්කාරයා ද එකට ජීවත් වන්නෝ ය. කතාව අවසානයේ කරුමක්කාරයා යමලොවත් පුණ්‍ය වන්තයා දෙව්ලොවත් යන්නෝ ය. දොරේ ගලායන සතුටකින් බොහෝ දෙනෙකු පිනා යන්නෝ ය. අවසානයේ දෙව් මිනිස් සැප කෙළවර නිවන ද හිමි වන බැවින් ඇත්තට ම තව අමතර සතුටක් ද ඇතිවන්නේ ය.

වාණිජ චිත්‍රපටිත් මේ වගේ ය. තියෙන්නෙ එකම කතාවකි. ඒත් පිටපත තරමක් වෙනස් ය.

වීරයා ලස්සණ අවංක අගනකට පෙම් කරන්නේ ය. දුෂ්ඨයාට ද ඕනෑ ඇය මය. දුෂ්ඨයා මායාවෙන් ද කපටි කමින් ද දුෂ්ඨ කමින් ද කෙල්ල ඩැහැ ගැනීමට බලන්නේ ය. වීරයා එන මගට ගල් පෙරලන්නේ දේවදත්ත සිහි කරමින් ය. වරෙක දුෂ්ඨයාට මග අවුරමින් ද තව වරෙක ඔහු හා සටන් කරමින් ද වීරයා කෙල්ල බේරා ගැනීමට දැඩි සටනක් දෙන්නේ ය. අන්තිමේ දුෂ්ඨයා පැරද පලා යන්නේ ය. මාරයා පැරද පලා ගිය හැටි සිහිපත් කරමින් ය. පලා ගියේ නැතිනම් යන්නේ පොලීසියේ ඇති මිහිපිට අපායට ය. වීරයා කෙල්ල සමග දෙව්ලොව යන්නේ ය. සැනසුම් සුසුමක් හෙලා ළය සැහැල්ලු කර ගෙන අපට නිවනක් ලැබෙන්නේ ඊට පස්සේ ය. සාදු කාරයක් වෙනුවට ප්‍රේක්ෂකාගාරයෙන් විසිල් පහරක් එන්නේ ය.

කතාව එක වුනාට ඒවා එන්නේ විවිධ නම් වලින් ය. රගපාන්නේ විවිධ නළුනිළියන් ය. පසුබිම ටිකක් වෙනස් ය. ඒ නිසා දෝ එකක් දෙකක් නොව තුන හතරක් දහයක් පහළොවක් බැලුවත් අපට ඇති වන්නේ නැත. උපාසක උපාසිකාවන්ට බණ ද ඒ වගේ ය. කොච්චර ඇහුවත් ඇති වන්නේ නැත. බණට කියන කතාව විතරක් නොව එය කියන හාමුදුරුවන්ගේ ලතාව ද වෙනස් ය. එහෙම බැලුවහම එක කතාවක් අනිකට වඩා ටිකක් වෙනස් ය. එපා වෙන්නේ නැති එකේ රහස ඇත්තේ එතැන ය.

පරමාර්ථ වශයෙන් ගත්තත් වාණිජ චිත්‍රපටියක නිශ්පාදකගේත් බණ කියන හාමුදුරුවන්ගේත් ඒ හැටි වෙනසක් නැත. අවසාන බලාපොරොත්තුව සුන්දර අත්දැකීම් හා අපේක්ෂා සැපයීම හරහා තම ව්‍යාපාරික වුවමනාවක් සාක්ෂාත් කර ගැනීම ය.

එක අතකට චිත්‍රපටියක් බලන්නට ඉඩ කඩක් නැති පෝය දවසක ලස්සණ බණ කතාවකින් සප්පායම් ‍ වෙන්නට ඉඩ ලැබීම ම වාසනාවකි. එහෙම බැලුවහම අපේ රට ද එහි වෙසෙන හුදී ජනයා ද වාසනාවන්ත ය.

පන්සලකට ගියත් චිත්‍රපට ශාලාවකට ගියත් එකම තෘප්තිය ලබා ගත හැකි පින් බිමක අප ජීවත් වන්නේ යැයි යන අදහසම ප්‍රීතිය ඇති කරන්නේ ය.

(හැම චිත්‍රපටියක්ම මෙහෙම නැත. හැම බණ කතාවක් ම මෙහෙම නැත. මා කීවේ බහුතරයක් දේ ගැන ය. අපේ මිනිසුන් වැඩි දෙනෙක් ඉල්ලන හා බොහෝ විට ලැබෙන දේ ගැන ය. වැඩිපුර නිශ්පාදනය වන වාණිජ චිත්‍රපටි හා ජනප්‍රිය බණ කතා ගැන ය. අපට බහුලව මුණ ගැසෙන ලංකාව ගැන ය.)