පැරදෙන්න බය ද? දිනන්න බය ද?

  • නිශාන්ත කමලදාස

පැරදෙන්න බය ද? උත්තරය ඔව් නම් ඔබට කවදාවත් දිනන්නට ලැබෙන්නේ නැත. මුල් හේතුව ඔබ කිසි දා තරඟයකට හෝ අවදානමකට විවෘත වෙන්නේ නැති නිසා ය. එසේ නොකොට කිසි දා කිසිවක් දිනන්නට බැරි ය. වෙන එකක් තියා සහකාරයෙක් සහකාරියක් වත් සොයා ගන්නට බැරි ය. දෙවැන්න, ඔබට කිසි දා ඉගෙන ගැනීමට අවස්ථාවක් ඒ නිසා ලැබෙන්නේ නැත. පැරදීමෙන් තොර ව ඉගෙන ගත නොහැකි නිසා ය. කුඩා දරුවෙකු ඇවිදින්නට ඉගෙන ගන්නේ කීපය සැරයක් වැටීම හරහා ය. වැටෙන්නේ නැති ව ඇවිදින්නට ඉගෙනීමට නම් වරක් දෙවරක් වත් වැටිය යුතු ය. එසේ නොවැටී ඇවිද්ද අය මෙලොව නැත.

පැරදුන විට සවුත්තු වෙනවා යැයි සිතීම බයට එක් හේතුවකි. මිනිසුන් තමන්ට සිනාසෙනු ඇතැයි ද තමන් අවතක්සේරු කරනු ඇතැයි ද සිතීම මේ හැඟීමට මුල් වේ. පොඩි දරුවෙකු ඇවිදින විට වැටුණේ යැයි කියා කිසිවෙකු ඔහු/ඇය ලොකු වූ පසු හිනා වෙනවා ඔබ දැක තිබේ ද? ජය ලැබුණු පසු ඒ අතීතය මිනිසුන් තුළින් ගිලිහී යන්නේ ය. ජයේ අයස්කාන්ත දර්ශනය පරාජයේ සියලු පා සටහන් මකා දමන්නේ ය. තවදුරටත් ඒ සිදු වූ පරාජයන් අදාළ වන්නේ නැත. එසේ තිබිය දී බිය වන්නේ ඇයි?

ඒ ඇතැම් විට ඔබ ව බය කර තිබෙන නිසා ය. පරාජය නිසා අවමන් විඳින්නට සිදු වෙතැයි ද ඒ සලකුණු සදාකාලික යැයි ද කවුරු හෝ ඔබේ ඔලුවට දමා තිබෙන නිසා විය හැකි ය. ඔබට බැරි යැයි ඔවුන් කැට තබා ඇති නිසා ය.

ඔබ පරාජය බලා ගෙන තරඟ වැදිය යුතු නැත. ඔබ ජය ගැනීමට සූදානම් විය යුතු ය. ඒ සඳහා අවශ්‍ය බලමුළු සූදානම් කළ යුතු ය. ශක්තිය ගොනු කර ගත යුතු ය. අවශ්‍ය කුසලතා සාදා ගත යුතු ය. අවධානය රඳවා ගත යුතු ය. සියලු වෙර දරා තරඟ කළ යුතු ය. ඒ සියල්ල තිබිය දීත් ඔබ පරදින්නට පුළුවන. ඒ කවරකු හෝ ජය ගත යුතු නිසා ය. ඒ තැනැත්තා ඔබ වුවහොත් වඩා හොඳ ය. එහෙම නොවුන ද ඔබේ සූදානම අපතේ ගියේ යැයි පසුතැවිලි විය යුත්තේ ඇයි? ඔබ තවදුරටත් කලින් සිටි තැනැත්තා නොවේ. දැන් ඔබ ඊට වඩා ශක්තිමත් ඊට වඩා ධෛර්ය සම්පන්න පුද්ගලයෙකි. එය ම මදි ද? ඔබට ජයග්‍රහණය සඳහා තව වෙහෙසිය යුත්තේ ටිකකි. ඔබ ඊට ආසන්න වූ නිසා ය. එය ම ඔබට ඔබ ගැන විශ්වාසය ඇති කර ගැනීමට ප්‍රමාණවත් නොවන්නේ ද? ඒ පිම්ම පැනීමට ඔබ හිත එකලස් කර ගත යුතු ය. ජයග්‍රහණය අද ලැබුණේ නැතිවාට එයට උරුම කීමට හෙට පුළුවන් වනු ඇත. තරඟයට සම්බන්ධ නොවූ බොහෝ අයට වඩා දැන් ඔබ ඉදිරියෙන් ඉන්නා බැවිනි. දැන් ඔබ විසින් කළ යුත්තේ ඊළඟ වටයට සූදානම් වීමට ය. ඒ සඳහා තරඟයේ ඔබට සිදු වූ අඩු පාඩු සොයා ඒවා සාදා ගැනීමට උත්සහ කිරීම ය. ප්‍රතිවාදියාගෙන් ඉගෙන ගන්නට ද ඔබට හැකි ය.

ලෝකය එක තරඟයකින් නිමා වන්නේ නැත. එය ඔබට තවත් තරඟ ගණනාවක් ම පිරි නමනු ඇත. යුද්ධයක් එක සංග්‍රාමයකින් කෙළවර වන්නේ නැත. සංග්‍රාම ගණනාවක් පැරදුන පාර්ශව අවසානයේ යුද්ධය දිනූ බව ඉතිහාසය දෙස බලන විට පෙනේ. ඒ නිසා ඔබේ එක් පරාජයක් ලෝක අවසානය ලෙස බාර ගත යුතු නැත.

එහෙත් ඊළඟ වටයට සූදානම් වන ඔබට මිනිසුන්ගෙන් තවත් කතා අහන්නට සිදු වනු ඇත. ඔය එක පාරක් ගිහිල්ල ඇන ගත්තෙ? පාඩම් ඉගෙන ගන්න පාටක් නැහැ. කරන්න පුළුවන් වැඩක් එපා යැ කරන්න. ඔබ එවැනි කතා අසන්නට මඟ නොරැඳිය යුතු ය. එක කණකින් ඇසුනොත් ඒවා අනෙක් කණෙන් පිට කර දැමිය යුතු ය. ඔය කටහඩවල් වලට උත්තර ඔබ දිය යුත්තේ ඊළඟ වටයේ නැත්නම් තවත් වට කිහිපයකින් හෝ දිනා පෙන්වීමෙන් පමණ ය. ඒවාට උත්තර දෙන්න ට නැවතුනොත් පාඩුව ඔබට ය.

සමහරු දිනනවාට බය ය. හේතුව ජයග්‍රහණය නව අවදානමකට අප ව යොමු කරන නිසා ය. ජයග්‍රහණය හේතුවෙන් අලුත් තත්වයන් බිහි වන නිසා ය. අලුත් අවස්ථා බිහි වන නිසා ය. උදාහරණයක් ලෙස විභාගයක් සමත් වුවහොත් ඒ එක්කෝ තවත් විභාගයකට නැතිනම් රැකියාවකට අවස්ථාවක් වන නිසා ය. ඒ කුමක් වුව ද එය අප පහසුවෙන් ගත කළ ජීවිතයෙන් වෙනස් වෙන්නට අපට බල කරන්නේ ය. එසේ සිතන අය අන් අයගේ බල කිරීම මත තරඟයට අවතීර්ණ වුව ද දිනන්නට අදහසක් ඔවුන්ගේ යටි හිතේ නම් නැත. ඒ නිසා ඔහු/ඇය ට ම නොදැනී පරාජයට සැලසුම් සකස් වන්නේ ය. අශ්වයෙකු දියට ගෙන යා හැකි ය. ඒත් ඌට වතුර පෙවීමට බැරි ය යන ජනප්‍රිය කියමන එවිට අපේ සිහියට නැගේ. අවාසනාව නම් ඒ පුද්ගලයාට පවා පරාජය පැතීමේ මේ යටි හිත  තේරුම් ගැනීමට ඇතැම් විට පුළුවන් කමක් නැති වීම ය.

බාහිර මිනිසුන් කියන නිසා ඔබට බැරි වන්නේ නැත. ඔවුන් කියන නිසා ම ඔබ පරදින්නට බලා ගෙන තරඟ කළ යුතු ද නැත. ඔබ පිළිබඳ තක්සේරුවක් දීමට බොහෝ බාහිර පාර්ශවයන්ට නොහැකි ය. ඔබ ගැන වඩාත් හොඳින් දන්නේ ඔබ ය. අනෙක් අතට පරාජය හා ජය සම සිතින් විඳ ගන්නට ඔබට හැකි නම් ඒ කතා ඔබට අදාළ වන්නේ ද නැත.

ජීවිතය රෝස ගසකට උපමා කර ගන්න. මල් පිපෙන්නට පෙර එය තියුණු කටු සහිත කටුක රුදු ගසකි. මල් පිපුණු වහාම තත්වය හිටි හැටියේ වෙනස් වේ. මුල් අවදියේ ඔබට පෙන්වන්නට තිබෙන්නේ කටු ය. ඒත් රෝස මල් පිපෙනු ඇත්තේ ද ඒ කටු සහිත අත්තේ ම ය. ඒ නිසා කටු ගැන වැලපීම නවතා දමා හෙට පිපෙන මල් ගැන සිතන්න.

එළඹෙන අවස්ථා වලින් ප්‍රයෝජන ගන්න. ඉදිරිපත් වෙන්න. ඇතැම් විට ප්‍රතිඵල පැතූ තරම් සිතූ තරම් සාර්ථක නොවන්නට පුළුවන. ඒත් හැකි උපරිමය යොදා සූදානම් වෙන්න. අනෙක් අයගේ බල කිරීම නිසා නොව ඔබේ උවමනාව නිසා සූදානම් වෙන්න. දිනන්නට කැප වෙන්න. පැරදීම මෙත් සිතින් බාර ගන්න. හූ හඩ මැඩ ගෙන හෙට දින නැගෙන ඔල්වරසන් ගැන අපේක්ෂා දිගට ම රඳවා ගන්න. ඔබ ව දිගින් දිගට පරාජය කිරීමට පුළුවන් වන්නේ නැත.

Leave a comment