විවෘත මනස හා සංවෘත මනස

  • නිශාන්ත කමලදාස

සංවෘත මනසක් ඇති අය තමන් විශ්වාස කරන දේ දැඩිව එල්බ ගෙන සිටිති. ඒවා කිසිවකු ප්‍රශ්න කරනවාට පවා ඔවුන් අකමැති ය. එසේ වූ විට ඔවුහු කෝපයට පත් වෙති. ඇතැම් අය අතිශය දරුණු ප්‍රතිචාර ද දක්වති. ප්‍රශ්න කරන අයට විවිධ ලේබල් අලවා ඔවුන් අමනුෂ්‍යයින් බවට පත් කරති. මුහුණු පොතේ නම් කුණු හරුප වලින් ද අපහාස වලින් ද එසේ ප්‍රශ්න කරන්නන්ට සංග්‍රහ කරති, ප්‍රතිචාර දක්වති. හදිසියෙන් අවස්ථාවක අතින් පයින් වුව සංග්‍රහ කිරීමට මැලි නොවෙති. එසේ නොකරන සාමකාමී අය ප්‍රශ්න කරන්නන් මග හැර යති. ඔවුන්ගේ ප්‍රශ්න නොඇසුණා සේ හැසිරෙති.

සංවෘත මනසක් ඇති අය තමන්ගේ විශ්වාස ප්‍රශ්න කරන කරුණු සංඛ්‍යා ලේඛන පවා ප්‍රතික්ෂේප කරති. තර්ක විතර්ක මග හැර යති. නැතිනම් බංකොලොත් (නොගැලපෙන) තර්කයක් ගෙන හැර දක්වා උත්තර දෙති.

සංවෘත හා විවෘත මනස් ඇති අය වශයෙන් කරන මේ බෙදීම අවුලට යන අවස්ථා තිබේ. ඒ ඇතැම් දේ සම්බන්ධයෙන් විවෘත මනසක් ඇති අය පවා ඇතැම් දේ සම්බන්ධයෙන් සංවෘත මනසකින් හැසිරීම නිසා ය. එයින් ඇඟ වෙන්නේ බොහෝ දෙනෙකු තුළ තමන් පූජනීය ලෙස සලකන දේ තිබෙන බව ය. ඒවා සම්බන්ධයෙන් ඔවුන් සංවෘත මනසක් අනුගමනය කරන බව ය. වෙනත් ඔ්නෑ ම කාරණයක් සම්බන්ධයෙන් විවෘත වීමට කැමති ඔවුන් මේ තෝරා ගත් පූජනීය ක්ෂේත්‍රය සම්බන්ධයෙන් නම් කිසිදු ප්‍රශ්න කිරීමක් ඉවසන්නේ නැත.

ඒ නිසා ම විවෘත මනසක් ඇති අය ලෙස හැඳින්විය හැක්කේ කිසිදු දෙයක් පූජනීය දෙයක් ලොව තුළ නැතැයි යන ආකල්පය ඇති අයට ය. ඒ අය ප්‍රතිශතයක් ලෙස අඩු ය. එයට ප්‍රධාන හේතුව වන්නේ අපේ මනස ස්වභාවයෙන් අලස වීම ය. එය වෙහෙස වන්නට කැමති නැත.

තමන් තුළ ඇති දැඩි විශ්වාසයක් නිසා ඒ මත පිහිටා කටයුතු කිරීම ඒ ගැන සැකයකින් කටයුතු කිරීමට වඩා මනසට පහසු ය. මනස අවිනිශ්චිතතාවට අකමැති ය. දෙගිඩියාව ඊට අරහං ය. ඒ නිසා ම අවිනිශ්චිත යමක් සම්බන්ධයෙන් කවුරු හෝ නිශ්චිත මතයක් හෝ අදහසක් සපයනවා නම් එය වැළඳ ගැනීමට ඔවුන් කැමති ය.

මරණයෙන් පසු සිදු විය හැක්කේ කුමක් ද? ඒ ප්‍රශ්නයට උත්තර කිසිවකු දන්නේ නැත. ඒ ගැන ඇත්තේ විවිධ අනුමාන ය. එය ඇති කරන්නේ අවිනිශ්චිතතාවකි. මරණින් පසු උත්පත්තියක් ඇතැයි කෙනෙක් කියන්නේ නම් ද එය තීරණය වන්නේ තමන්ගේ කර්ම විපාක අනුව යැයි දන්වන්නේ නම් ද එතැන අවිනිශ්චිතතාවක් නැත. එසේත් නැත්නම් මරණින් මතු ඔබ කරන ලද ක්‍රියා අනුව දෙවියන් වහන්සේ වෙත එසේත් නැතිනම් අපායට යනවා යයි කෙනෙකු කියන්නේ නම් එතැන ද අවිනිශ්චිතතාවක් නැත. ඒ මත දෙකින් ඔ්නෑ ම මතයක් ගෙනෙන්නේ සහනයකි. ඉතින් එයින් එක් මතයක් ඔබට ඔබේ දෙමාපියන් විසින් කුඩා කල දී ඇත්නම් ඒ ගැන නැවත සෙවීමට විමසීමට ඔබට අවශ්‍ය වන්නේ නැත. ඔබ ඒ මතය සනාථ කිරීමට ඉදිරිපත් කරන ලද කතන්දර වලට ද සවන් දී ඇත. ඒවා රස විඳ ඇත. ඒවා හරහා සැනසුමක් ලබා ගෙන ඇත. වින්දනයක් ලබා ඇත. ඒ සියල්ලට අමතර ව එය කාලයක් තිස්සේ ඔබේ තීරණ ගැනීමේ ක්‍රියාවලියට බලපෑම් කර ඇත්නම් ඒ ක්‍රියාවලිය වඩාත් සරල කර ඇත්නම් ඔබ ඒ ගැන ඇත්තේ බැඳීමකි. ඒ මත පිහිටා ඔබ පන්සලට පල්ලියට ගොස් ඇත්නම් කාලය වැය කර ඇත්නම් ශ්‍රමය වැය කර ඇත්නම් ඔබේ බැඳීම තවත් ඉහළ ය. ඔබට ඒ නිසා ඒ සියල්ල පූජනීය වෙයි. එය ප්‍රශ්න කිරීමට ඉඩක් ඒ ගත කර ඇති ජීවිතය විසින් ඔබට අහිමි කර තිබේ. මෙය ආගම සම්බන්ධයෙන් පමණක් නොව වෙනත් ඔ්නෑ ම විශ්වාසයක් සම්බන්ධයෙන් ඇත්ත ය. මෙයින් අදහස් කරන්නේ පෙර කී මත දෙකින් එකක් හෝ දෙක ම වැරදි බව නොවේ. ඒ දෙක ම අවිනිශ්චිත බව ය. ඒවා ගැන පැහැදිලි නිගමනයකට බැසිය නොහැකි බව ය. එහෙත් අප කැමති අප තෝරා ගත් කතාව හරි යැයි ඇසීමට ය.

ලෝකය නව දැනුම සොයා යන ගමනට මේ බැඳීම බාධාවකි. නව දැනුම සොයා යන ගමනේ අත් හැරිය යුතු ප්‍රධාන කාරණා දෙකක් ඇත. එකක් දන්නා දෙයට තියෙන ඇලීම ය. අප ඉහත විස්තර කළේ ඒ ඇලීම ය. දෙවැන්න නොදන්නා දේ සමග ඇති ගැටීම ය. ඔබේ විශ්වාසය ප්‍රශ්න කරන දේ ඔබ බැහැර කරන්නේ මේ ගැටීම ද නිසා ය. මේ දෙකින් වියෝ වීමෙන් තොර ව නව දැනුම සම්පාදනය කළ නොහැකි ය. සංවෘත මිනිසුන් දැනුම සොයා යන්නේ නැත්තේ මේ නිසා ය. ඔවුන් දැනුමෙන් තෘප්ත වී අවසන් ය.

ඒ නිසා ම දැනුම සොයා ගනු ලැබුවේ ඉතා සීමිත පිරිසක් විසිනි. ඒ ද අතිශය දරුණු විරෝධතා වලට මුහුණ දෙමින් ය. සංවෘත මිනිසුන්ගේ තාඩන පීඩන ඉවසමින් ය. අප විවෘත මිනිසුන් ලෙස දකින්නට කැමති ඒ අය ය. ඔවුන්ට ප්‍රශ්න කළ නොහැකි විශ්වාසයක් නැත. අත හැර දැමිය නොහැකි මතාන්තර නැත. ප්‍රශ්න කිරීමට ලක් කළ නොහැකි මට්ටමේ පූජනීය වූ කිසිවක් නැත. ඔවුන් සතු ව පරම සත්‍යයක් නැත. ඒ නිසා ම සෙසු සමාජය විසින් ඔවුන් සලකනු ලබන්නේ නරුමයන් හැටියට ය.

අතීත ලෝකය තරමක් දුරට ස්ථාවර එකක් විය. වෙනස් වීම පවා සිදු වූයේ හෙමිනි. ඒ නිසා සංවෘත මනසක් ඇති ව ජීවත් වීම අසීරු වූයේ නැත. එහෙත් වත්මන් ලෝකය වෙනස් වන්නේ පිමි වලිනි. ඒ නිසා නව ලෝකය තුළ සංවෘත මනසක් ඇති මිනිසුන්ට ජීවත් වීම අපහසු ය. ඒත් ඔවුන් තමන්ගේ මත අත් හරින්නට සූදානම් නැත. ඔවුන් මේ වෙනස් වන නව ලෝකය දෙස බලන්නේ කම්පාවෙනි. ඔවුන්ට අනුව හෙට දවස අඳුරු ය. උදා වෙමින් ඇත්තේ කලි යුගය ය. ඔවුන් අතීතයෙන් සෑහීමකට පත් වෙන අතර ඔවුන් අතරින් වේගයෙන් ගිලිහී යමින් ඇති අතීතය ගැන කම්පා වෙති. රැක ගන්නට උත්සහ ගනිති.

ඩයිනෝසරයන් වඳ වූයේ කෙසේ ද යන්න ගැන මත ගණනාවක් ඇතත් එයින් ප්‍රබල මතයක් වූයේ වෙනස් වන ලෝකයට අනුව වෙනස් වීමට ඔවුන් අසමත් වීම ය. ඩයිනෝසරයන්ට ද තිබෙන්නට ඇත්තේ සංවෘත මනසකි. තම මත හා පුරුදු ජීවන ශෛලිය දැඩි ව අල්ලා ගත් මනසකි.

මිනිසුන් විවෘත වීමට බිය වන්නේ තමන් සතු වටිනා දේ ද ඒ හරහා අහිමි වේය යන බිය නිසා ය. එය සහේතුක ය. එහෙත් උත්තරය සංවෘත වීම නොවේ. විචාරශීලී මනසක් ඇති කර ගැනීම ය. රැල්ලට සුළඟට ගසා ගෙන නොයන විමසුම් මනසක් ඇති කර ගැනීම ය.

මිනිසුන් සම්බන්ධයෙන් අප කී කාරණා ආයතන සම්බන්ධයෙන් ද එක සේ අදාළ ය. ආයතන ද නව දැනුමට විවෘත විය යුතු ය. යල් පැන ගිය පැරණි දැනුම අත් හැරීමට ඒවාට හැකි විය යුතු ය. අතීතයේ සාර්ථක වූ කල්පිත පූජනීය සේ සලකා අනාගතයට මුහුණ දිය නොහැකි බව ඒවායේ කළමනාකරුවන් අවබෝධ කර ගත යුතු ය.  

ඔබ ඔබෙන් ඇසිය යුතු වන්නේ ඔබ කොතෙක් දුරට විවෘත ද යන්න ය. ඔබ සතු ව විවෘත කරන්නට අකමැති ව හංගා ගෙන රකින දේ තිබේ ද ඒ මොනවා ද යන්න ය.

Leave a comment