ඥානසාර සංසිද්ධිය

ඥානසාර බෞද්ධ භික්ෂුවක් නොවේ. භික්ෂුවකට අවශ්‍ය ප්‍රධානම ශික්ෂාව වෙන උපේක්ෂාව ඔහු ළග නැත. තැන්පත් බව ඔහු ළග නැත. ඔහු සිවුර දරන්නේ එහි බලය දැන ගෙන මිසක එයින් වෙනත් කිසිවක් අගවන්නට නොවේ. මේ සියල්ල වටහා ගැනීමට ඔහුගේ හැසිරීම නිරීක්ෂණය පමණක් ප්‍රමාණවත් ය.

ඥානසාර පුද්ගලයෙකු ඉක්මවයි. ඔහුගේ ශරීර කුඩුව ඉක්මවයි. ඔහු සිංහල බෞද්ධ ජාතිකත්වයේ නූතන සංකේතය වී හමාර ය.

ඔහු සමග හැරෙන්නට කොතරම් කිපෙන සුළු වුවත් නලින් ද සිල්වාට බැරි ය. ඔහු සමග හැරෙන්නට කොතරම් විද්වතෙකු වූව ද ගුණදාස අමරසේකරට බැරි ය. කොතරම් ඉතිහාසය හා පුරා විද්‍යාව දැන උගත් වුව ද එල්ලාවල මේධානන්ද හිමියන්ට ද කොතරම් ප්‍රිය උපදවන සුළු ශරීර ස්වභාවයක් තිබුණත් උඩුවේ ධම්මාලෝක හිමියන්ට ද බැරි ය. ඔහු මෙන් තර්ජනාංගුලිය ඔසවා “සිංහනාද“ කරන්නට මේ කාටවත් බැරි ය. ඔහු මෙන් නිර්භීත බවක් පළ කරන්නට මේ කාටවත් බැරි ය. ඒ සියළු දෙන ඔහු ඉදිරියේ අගුටු මිට්ටන් ය.

ඔහු ඔවුන්ගේ සුදු ඇඳුම් ගලවා තිබේ. ඊනියා ජාතිකවාදීන්ගේ ජාගර සිත් වටා බැඳ තිබුණු ශිෂ්ඨත්වයේ පටලයන් සාහසික ලෙස ඉරා දමා තිබේ. ඊනියා සිංහල බෞද්ධයන් තුළ තිබෙන නිහීන තුච්ඡ සිතිවිලිවලට පියාපත් ලබා දී තිබේ. දැන් සියල්ල නිරුවත් ය. සිංහල බෞද්ධත්වයම ඥානසාරගේ ගල ග්‍රහණයේ තිබෙන්නා සේ ය.

සිවුරේ බලය අවසාන කෙළවර දක්වා පාවිච්චි කරන්නට ඔහු ඇප කැප වී සිටියි. ඒ නිසා ශාසනයට වන අකටයුත්ත වටහා ගැනීමේ වුවමනාවක්වත් ඔහුට නැත. එපමණක් නොවේ. මත්පැන් බොන්නට නටන්නට බී රිය පදවන්නට යන කිසිවකින් වැළකී සිටීමටවත් ඔහුට වුවමනා නැත. ශිෂ්ඨ සම්පන්න ගිහියෙකුවත් භාවිතා නොකරන පදවැලක් ඔහු ලග තිබේ. ඒ කිසිවකින් සිවුරට වන හානිය ගැන ඔහුට වගේ වගක් නැත. බැලූ බැල්මට ඔහුව ආම්බන් කළ හැකි කිසිවෙකු නැත.

හරි වැරදි කියන්නට බුදුන් ඉදිරිපත් වූවත් ඔහු නොම්මර එකේ වාග් ප්‍රහාරයකින්ට බුදුන්ට සංග්‍රහ කරනු ඇත. බෞද්ධ යුගය දැන් අවසන් ය. දැන් ඇරඹී ඇත්තේ සිංහල බෞද්ධ යුගයයි. ඒ යුගයේ බුදුන්ට වුව ඉඩක් නැත.

මේ සියල්ලෙන් කියවෙන්නේ ඥානසාර නම් දුශ්ශීල තනි භික්ෂුවකගේ කතාව නොවේ. ඒ වත්මන් සිංහල බෞද්ධ ජාතිකත්වයේ කතාව ය. අතිශයින් පසු ගාමී, අතිශයින් රණ කාමී, අතිශයින් මුග්ධ, මිය යන අතීතයට මිසක ගොඩ නැගෙන අනාගතයට කිසි සම්බන්ධයක් නැති, සිංහල බෞද්ධ ජාතිකත්වයේ වත්මන් කතාව ය. තවදුරටත් ශිෂ්ඨත්වයෙන් ඔතා නැති නග්න ජාතිකත්වයේ කතාව ය.

තමන් සතු අතිශය දුර්වලකම නිසා බාහිර ලෝකයම ගැන නිරන්තර සැකයෙන් බියෙන් පෙළෙන ඒ නිසාම අතිශය හීනමානයෙන් පිරුණු සිංහල බෞද්ධ ආත්මයේ කතාව ය. අධිමානය ප්‍රදර්ශනය වන්නේ ඒ හීනමානයෙන් මෙහෙයවනු ලැබීමෙන් බව තේරුම් ගන්නට මනෝ විද්‍යා උපාධියක් අවශ්‍ය නැත.

ඥානසාර ඇතිවීම අහම්බයක් නොවේ. තනි පුද්ගලයෙකුගේ ආශ්චර්යයක් නොවේ. එය මහින්දගේ හෝ ගෝඨාගේ පුද්ගලික අභිමතාර්ථ සාධනයට ගොඩ නැගුනක් පමණක් නොවේ.

ඒ යුද්ධයට පෙර සිට මේ රටේ පැවති එහෙත් යුද්ධය නිසා නව ජවයකින් උපත ලැබු සිංහල බෞද්ධ ජාතිකත්වයේ කතාව ය.

ඥානසාර තුළින් එළියට පනින්නේ ඒ මනස ය. එසේ නැතිව මෙය ඥානසාර නම් පුද්ගලයෙකුගේ වැරැද්දක් හැටියට දුටුවොත් අප අනාථ ය. ඒ තුළ මහින්ද හෝ ගෝඨා පමණක් සෙව්වත් අප අනාථ ය.

එය ඊට වඩා වැඩි යමකි. ඉදිරි කාලයේදී ඥානසාරලා පැටව් ගණනින් බිහිවීමට නියමිත නිසා ඥානසාර නම් ශරීර කූඩුව හිර කළ පමණින් අපට සතුටු විය නොහැකි ය. ඒ පැටව් ගේ වැඩ කිඩ ද ඥානසාර හිරභාරයට ගත් දා අපට දැක ගත හැකි විය. රටම අගාධයට ගෙන යෑමේ අති භයානක විභවයක් මේ ප්‍රවණතාවයට තිබේ.

මහින්ද හෝ ගෝඨා බලයට ගෙන ඒමට ඔවුන්ට වුවමනා බවට සැකයක් නැත. එහෙත් එයට ඇති ඉඩකඩ අඩුනම් තුන්වෙනි කෙනෙක් හෝ එහි නායකත්වයට ගෙන ඒමට පවා ඔවුන් කටයුතු කරනු ඇත. මෛත්‍රී වුව ඒ සඳහා පෙළගස්වා ගත හැකි නම් ඔවුන් මහින්දට කුද ගහගන්නට කියා ඔහු පස්සේ යනු ඇත.

ඒ නිසාම අද යුගයේ කාර්යය භාරය මහින්ද විරෝධයෙන් එහාට ගිය මේ ප්‍රවණතාවයේ භයානක විභවය හෙලි කරන එකක් බවට පත් විය යුතු ය.

මේ ඥානසාරලා ගැන කර අධි තක්සේරුවක් නොවේ. ඥානසාරලා අයිති අතීතයට ය. ඒ නිසා ඥානසාරලා පෙන්නන තරම් ශක්තිමත් නැත. ඒ නිසාම ඥානසාරලාට රට ඉදිරියට යන ගමන නවතාලිය නොහැකි ය.

එහෙත් එසේ වූ පමණින් අපට සතුටු විය නොහැකි ය. ඒ ඔවුනට එම ගමන පමා කළ හැකි නිසා ය. තව දශක ගණනක් ආපස්සට තල්ලු කළ හැකි නිසා ය.

සිංහල බෞද්ධ ජාතිකත්වයේ විකාර රූපි බවෙන් දැනටමත් හෙම්බත් වී ඇති රටකට එය අතීශයින් පීඩා කාරී විය හැකි ය.