මට අනෙකෙක් සිටිය හැකි ද? ආචාර්ය ලියනගේ අමරකීර්තිගේ පොතක එහෙම කෙනෙක් හිටියා මට මතක ය. කතා නායකයා තමන්ගේ මේ අනෙකාට කියා තිබුනේ අඩ හඳයා කියා ය.
මටත් අනෙකෙක් සිටියි. ඌට නමක් නම් තවම දාගෙන නැත. මගේ අනෙකා මුණ ගැසීම එක් අතකට ප්‍රීතියක් ද තව අතකට බියක් ද ගෙනෙන්නේ ය. ප්‍රීතිය මා ගැන මා අකමැති බොහෝ දේ මගේ අනෙකා තුළ නැති බැවිනි. ඒ නිසා පරිපූර්ණ කෙනෙකු මුණ ගැසුනා හා සමාන හැගීමක් ඌ මුණ ගැසීමෙන් මට ලැබේ. බිය ඒ පිළිබඳ දැනුමම මගේ ජීවිතයම තර්ජනයට පත් කරන බැවිනි.
ඔය බොරුව නවතා ජීවත් වෙයන්!
මේ අනෙකා මට නිතර කියන කතාවකි.
බොරුව නතර කළොත් වෙන්නේ ජීවත් වන්නට නොව වහ කන්නට ය.
මිනිසුන් ඇත්තට බිය ය. මම ඒ ඇත්ත ඔවුන්ට මුණ ගස්වන විට ඔවුන් පළා යන්නේ ඒ ඇත්තෙන් පමණක් නොවේ. මගෙන් ද ඉවතට ය. මට එවිට සිදුවන්නේ තනි වන්නට ය. මා ඊට බිය ය. එවිට මට ඉතිරි වන්නේ මගේම අනෙකා පමණකි. ඇගිල්ලෙන් ඇන ඇන වැරදි පමණක් පෙන්වන මේ මගේ අනෙකා සමග ජීවත් වීම ලෙහෙසි වැඩක් නොවේ. ඒ නිසා මම බොරුව අත හරින්නට නොකැමැත්තෙමි. එය අත්හරින්නට බල කරන මගේම අනෙකාට බිය වෙමි.
හදිසියේ මගේම අනෙකා මුණ ගැසීමට මගේ අකමැත්තක් නැත. සමහර වෙලාවට මම මගේ අනෙකා මුණ ගැසෙන තෙක් ආසාවෙන් බලා සිටිමි. මේ කලබලකාර ජීවිතයේ ඊට වෙලාවක් හොයා ගැනීමම ගැටළුවකි. කෙසේ හෝ වෙලාවක් හොයාගෙන අමාරුවෙන් මුණ ගැසුන ද ඉන් සැබෑ ආශ්වාදයක් ලැබුන ද එය දිගින් දිගට රඳන්නේ නැත. මගේ අනෙකා ඉතිරි මිනිසුන් මා වෙතින් ඉවතට පළවා හරින බැවිනි.
මගේ ඇත්ත මගේ බොරුව තරම් ලස්සණ නැත. මා ඇත්ත පැත්තට යන විට මා වටා සිටින අයට ද එක්කෝ ඔවුන්ගේ ඇත්තට මුණ ගැසීමට සිදු වේ. නැතිනම් මා වෙතින් පලා යෑමට සිදුවේ. පළමුවැන්න අමාරු නිසා ඔවුන් තෝරාගන්නේ දෙවැන්න ය.
මා මගේ අනෙකාට බිය වීම දැන්වත් සාධාරණ යැයි ඔබ හිතන්නේ ද? ජීවත්වන්නට වුවමනා බොරුව නම් ඇත්ත සෙවිය යුත්තේ අහවල් මගුලකට ද?
වද නොදී මගේ පාඩුවේ ජීවත් වෙන්නට ඉඩ දෙන්නැයි මගේම අනෙකාට කියන්නට මට සිදුව ඇත්තේ ප්‍රීතිය වෙනුවට ජීවිතය තෝරාගැනීමට මට බල කෙරී ඇති නිසා ය.