සංවර්ධනය යනු අහවල් දෙයක් ද?

See the source image

සංවර්ධනය යන වචනය භාවිතා කොට යම් සටහනක් ලියන විට හැම විට ම වත්පොතේ මිතුරන් අසන ප්‍රශ්නයක් තිබේ. ඒ සංවර්ධනය යනුවෙන් මා අදහස් කරන්නේ කුමක් ද යන්න ය. මේ උත්සහය ඒ ගැන පැහැදිලි කිරීමට ය.

සංවර්ධනය යන්නට නිර්ණායක බොහෝ ය. ඒ අතරින් මා වඩාත් කැමති නිර්ණායකය පළමුව දක්වනු කැමැත්තෙමි.

ඒ කෑම සඳහා ජීවත් වෙන තත්වයෙන් මිදීමට තරම් මිනිස්සුන් ආර්ථික අතින් හා සංස්කෘතිමය අතින් ශක්තිමත් ද යන්න ය. කොපමණ ප්‍රමාණයකට ඒ තත්වයෙන් මිදී ඇති ද යන්න ය. කෙනෙකු තමන්ගේ සම්පූර්ණ කාලය ම යොදා වැඩ කරන්නේ වුව ද එයින් කාලා ඇඳලා වත් ඉන්නට බැරි නම් එතැන ඇත්තේ නොදියුණුවකි. මිනිසුන් බහුතරයකට උරුම එවැනි ජීවිතයක් නම් ඒ රට සංවර්ධනය වූ රටක් ලෙස සළකන්නට බැරි ය.

අතීතයේ බොහෝ රටවල එසේ කළ හැකි වූයේ සමාජයේ ඉහළ ම ස්ථරයට අයත් අතලොස්සකට පමණ ය. දැන් ඒ තත්වය වෙනස් වෙමින් තිබේ. දියුණු රටවල මිනිසුන් බහුතරයකට ඒ හැකියාව අද ලැබී තිබේ.

රටක් සංවර්ධනය වන විට මිනිසුන්ට තමන්ගේ ආදායමෙන් කෑම සඳහා වැය කිරීමට සිදු වන්නේ සොච්චමකි. ඒ යම්තම් කුමක් හෝ දෙයකින් බඩ පුරවා ගෙන නොවේ. සමබර රසවත් ආහාර වේලක් වළඳින ගමන් ය. ඉතිරි මුදල් ඔහුට සංස්කෘතික ජීවිතයක් ගත කළ හැකි තරමට ප්‍රමාණවත් ය. ඒ මුදලින්, දෙවරක් සිතන්නේ නැතිව, ඔහුට නාට්‍යයක් චිත්‍රපටියක් බැලිය හැකි ය. පොතක් පත්තරයක් ගත හැකි ය. කලා කෘතියක් නිර්මාණය කළ හැකි ය. දේශ ගවේෂණයේ යෙදිය හැකි ය. තමන් වඩාත් කැමති රැකියාවක් කළ හැකි ය. රැකියාව තුළ තමන් අකමැති දේ සිද්ධ වේ නම් තවදුරටත් බලා නොසිට, දෙවරක් නොසිතා, ඉවත්ව යා හැකි ය. ඔහුට/ඇයට නව දේ අත්හදා බැලිය හැකි ය.

ඊට අමතරව සංවර්ධනය වී ඇතැයි කියන්නට නම් සංස්කෘතික වශයෙන් ද මිනිසුන් ශක්තිමත් විය යුතු ය. එසේ ශක්තිමත් වන මිනිසුන් මුදල් වියදම් කරන්නේ භෞතික සැප සම්පත් එක් රැස් කර ගැනීමට පමණක් නොවේ. මුදල් මුදල් ලෙස ම ගොඩ ගසා තබා ගැනීමට ද නොවේ. ජීවිතය විඳීමට ය. ඔවුන්ට මුදල් තිබෙනවා පමණක් නොව ඒවා නිසි ලෙස ජීවිතය විඳීම සඳහා යොදා ගැනීමේ කලාව ද උරුම ව තිබේ. ඒ පමණට අධ්‍යාපනයක් ද ශික්ෂණයක් ද ඔවුන් ලබා තිබේ. ඒ නිසා ම ඔවුන් තුළ සෙසු අයට, තමන්ට වෙනස් අයට පවා, ගරු කිරීමේ වැඩි නැඹුරුවක් දක්නට පුළුවන. මානව හිම්කම් ගරු කිරීමට ඔවුන් කටයුතු කරනු, ඒ සඳහා නීති අණපනත් සම්මත කරනු, දැකිය හැකි ය. භාෂණයේ නිදහස ද සම්මතයන්ට පවා විරුද්ධ වීමේ නිදහස ද ඔවුන් අගයනු දැකිය හැකි ය. ඇමරිකාව ආර්ථික වශයෙන් ඉදිරියෙන් සිටිය ද ඉහත කී සංවර්ධන නිර්ණායකයන් ගැන සැළකීමේ දී එය අදටත් සිටින්නේ එයට වඩා ආර්ථික වශයෙන් දුර්වල බටහිර යුරෝපයේ රාජ්‍යයන්ට පසු පසිනි. චීනය ද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් සිටින රාජ්‍යයක් වුව ද ඉහත සංවර්ධන නිර්ණායකයන්ට අනුව ජන ජීවිතය සකස් වීමට ඔවුන් තව බොහෝ දුර යා යුතු ව තිබෙන්නේ ය.

එසේ ආර්ථික හා සංස්කෘතිකමය අතින් ශක්තිමත් මිනිසුන්ගෙන් සමන්විත රටක් සංවර්ධනය වූ රටක් ලෙස ගිණිය හැකි ය.

සංවර්ධනය මැණීම සඳහා ආර්ථිකය ප්‍රමාණවත් සාධකයක් නොවෙතත් සංවර්ධනය මණින සෙසු දර්ශක අතර ආර්ථික දර්ශකය ද ප්‍රධාන ය. ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදනය එවැනි එක් ආර්ථික දර්ශකයකි. එය පළමුවැන්න තරමට ම ඍජු ලෙස සංවර්ධනය අර්ථ නොගැන්වුවේ වුව ද ඒ දර්ශකයෙන් ඉදිරියට ඇති බොහෝ රටවල් මා සඳහන් කළ මුල් දර්ශකයෙන් ද සාපේක්ෂකව ඉදිරියෙන් සිටින බව පෙනෙනු ඇත. එයින් කියවෙන්නේ ආර්ථිකය අප කලින් සඳහන් කළ තත්වය ඇති කිරීමේ තීරණාත්මක කාර්යයක් කරන බව ය.

කලින් අප සඳහන් කළ නිර්ණායකය මැනීම පහසු නොවෙන නිසා ම ආදේශකයක් ලෙස බොහෝ දෙනා භාවිතා කරනුයේ දෙවැනි කී නිර්ණායකය ය. ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදනය ද ඒක පුද්ගල ශුද්ධ දේශීය නිශ්පාදනය ද එම අගයන් ඒ රට රටවල පාරිභෝගික මිල දී ගැනීමේ හැකියාවට අනුව සකස් කළ තෙවැනි හා සිව්වෙනි දර්ශකයන් ද ඇතැම් විට භාවිතා වෙයි. එයට හේතුව ඇතැම් සංවර්ධනය වූ රටක නගරයක නිවාසයක් මිල දී ගැනීම හෝ වෙනත් එවැනි අත්‍යවශ්‍ය දේ මිල දී ගැනීම වෙනුවෙන් ඊට වඩා අඩු සංවර්ධන මට්ටමක් සහිත වෙනත් රටක සමාන පහසුකම් ඇති තැනක මිල දී ගන්නවාට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු වන නිසා ආදායම පමණක් සැලකීම යෝග්‍ය නොවන නිසා ය. ඒ ආදායමට ඇත්තට ම ලබා ගත හැක්කේ කුමන ජීවන තත්වයක් ද යන්න සංවර්ධනය මැනීමේ දී වඩාත් අදාළ වන නිසා ය.

තවත් නිර්ණායකයක් වන්නේ පරමායුෂ, සාක්ෂරතාවය සහ ඒක පුද්ගල දේශීය ආදායම යන නිර්ණායක එකතුවෙන් ගොඩ නගනු ලබන මානව සංවර්ධන දර්ශකය ය. පරමායුෂ රටේ සෞඛ්‍ය තත්වයත් සාක්ෂරතාවය රටේ අධ්‍යාපන තත්වයත් ආදායම ආර්ථික තත්වයත් පිළිබිඹු කරන නිසා ය.

ඉහත කරුණු අනුසාරයෙන් සංවර්ධනය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක් දැයි ඔබට තේරුම් ගන්නට පුළුවන් වනු ඇත. එය මුළුමණින් ම අල්ලා ගැනීම පහසු නොවූව ද එය කුමක් දැයි දැනෙන්නට ප්‍රමාණවත් යයි අපි සිතමු. ඔබට ද මේ සංවාදයට දායක විය හැකි ය. ඒ අපට හසු නොවුනු වෙනත් මානයන් දැන ගැනීමට අප කැමති නිසා ය. ඒවා සෙසු අය සමග බෙදා හදා ගැනීමට ද අප කැමති නිසා ය.

කොතලාවල ද රාජ්‍ය විශ්ව විද්‍යාල ද?

කොතලාවල පීඨය හා රාජ්‍ය විශ්ව විද්‍යාල ආකෘති වලින් වඩාත් සාධනීය කුමක් ද යන්න ගැන සංවාදයක් අද රටේ පවතියි. ඒ සංවාදය මට පරණ සංසිද්ධියක් සිහිපත් කළේ ය.

“රෑට කන්න මොනව හරි ගේන්න”.

“සර්, බුරියානි ද ෆ්රයිඩ් රයිස් ද? “

මට තිබුනේ දෙකෙන් එකක් තෝරා ගැනීමට ය. වෙන විකල්පයක් නැත. රෑට මා වඩා කැමති සැහැල්ලු ආහාරයකට ය. එහෙත් ඒ තෝරා ගැනීම අද මා සතු ව නැත. ජීවිතයේ වරක් මුහුණ දුන් මේ අලකලංචිය මට නැවතත් මුණ ගැහුනේ විශ්ව විද්‍යාල මාදිලි අතරින් එකක් තෝරාගැනීමට මුහුණු පොතේ සගයන් මට බල කරන්නට වූ විට ය. මට තිබුණේ මිල්ටරිය යටතේ පාලනය වන කෝතලාවල විද්‍යා පීඨයේ ආකෘතිය හෝ විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම යටතේ පාලනය වන රජයේ විශ්ව විද්‍යාල ආකෘතිය යන දෙකින් එකක් තෝරා ගැනීමට ය.

මා මිලිටරි පාලනයකට කොහෙත් ම කැමති නැත. නිදහස අහිමි කරනු ලැබ යන්ත්‍ර සේ සිසුන් සළකන ඒ ආකෘතියට මට එකඟ විය නොහැකි ය. ඒ තුළ නිදහස් චින්තනයකට ඉඩක් නැත. විචාරයට ඉඩක් නැත. ප්‍රශ්න කිරීමට ඉඩක් නැත. එසේ ඉහලින් එන අණට යටත් කොට ශාස්ත්‍රඥයන් බිහි කරන්නට නොහැකි ය.

අන්තර් ශිෂ්‍ය බල මණ්ඩලයේ පාලනයට යටත් ව නිදහස අහිමි කරනු ලැබ ඇති සිසුන් සහිත රජයේ සරසවිය ද මට ඒ තරමට පිළිකුල් ය. ඒ විකල්ප දේශපාලන කණ්ඩායම් කීපයක නායකත්වයේ ඍජු හා වක්‍ර සහයෝගයෙන් පවත්වා ගෙන යනු ලබන නවක වදය යන තුච්ඡ සංස්කෘතිකරණයකට ලක් කරනු ලැබූ සිසුන් තුළ ද නිදහස් මනසකට ඉඩක් ඇති වන්නේ නැති නිසා ය.

අදහස් ප්‍රකාශ කිරීමට ඉඩක් නැති බලහාත්කාරය පාලනය සඳහා යොදා ගන්නා කිසිදු තැනක සරසවිය නම් රැඳෙන්නේ නැත.

එසේ සිසුන් යටත් කරනු ලබන්නේ ආණ්ඩුවේ මර්දන යන්ත්‍රයෙන් ද නැතිනම් ජේෂ්ඨ උත්තමයන්ගේ අත්තනෝමතිකත්වයෙන් ද යන්න අවසාන ප්‍රතිඵලයට බල පාන්නේ මද වශයෙනි. දෙකින් ම කරන්නේ එකක් ය. ප්‍රතිඵලය නිර්වින්දනය කරනු ලැබ ඇති මනුෂ්‍ය ප්‍රාණීන් ය. රොබෝ යන්ත්‍ර ය. මැෂින් ය.

ඒ අය පාලනයේ නියෝග වලට යටත් බව ඇත්ත ය. ඒ තුළ යම් ආකාරයක සාමයක් ද පැවතිය හැකි ය. එහෙත් ඒ සාමය මතුපිට පවතින ප්‍රයෝගයක් පමණ ය. ඒ පාලනයෙන් මිදුණු පසු ඉතිරි වන්නේ හරය මිරිකා ඉවත් කළ හපයකි. හපයක මුකුත් නැත. හමුදාවෙන් ඉවත් වූ අයගේ චර්යාවෙන් ද සරසවියෙන් ලෝකයට පා තැබූ අයගේ චර්යාවෙන් ද පෙන්නුම් කරන්නේ අපට මග හැර යා නොහැකි ඒ සත්‍යය ය.

මගේ සිහින සරසවිය මීට ඉඳුරා වෙනස් ය. ඒ ගැන සම්පූර්ණ බ්ලොග් සටහනක් ලියා ඇති නිසා නැවත ලියන්නට යන්නේ නැත. ඔබට අවශ්‍ය නම් පහත යොමුව හරහා ගොස් එය කියවිය හැකි ය.

එකක් කිව යුතු ය. රටක් හැටියට අපට හැදෙන්නට නම් ආණ්ඩු කරවන අය පමණක් වෙනස් කොට මදි ය. කරවන්නට බලාපොරොත්තු වන අයව ද වෙනස් කළ යුතු ය.

අපේ සිහින සරසවිය | වචන සෙල්ලම් (wordpress.com)

ජේ ආර් “මළේ” නැත. අදට ද ඔහු ජීවමාන ය.

See the source image

මිය ගිය, අතීතයට අයත්, අය ගැන කතා කිරීම සමහරු සළකන්නේ කාලය නාස්ති කිරීමක් ලෙස ය. සමරු උත්සවයකට සීමා විය යුතු වැඩක් ලෙස ය. ජීවත් ව සිටින, අතිශයියන් ක්‍රියාකාරී, තීරණාත්මක නායකයින් ඉන්නා සමයක, ඔවුන් ගැන කතා කිරිම පැත්තකින් තබා, මැරුණු, කල්ඉකුත් වී ගිය, කෙනෙකු ගැන කතා කිරීම කාලෝචිත වැඩක් නොවේ යැයි ද කෙනෙකුට තර්ක කළ හැකි ය. එයින් අවධානය අවශ්‍ය කාරණා වලින් ඔබ්බට යන බවට චෝදනාවක් ද කළ හැකි ය. මේ සටහන ලියන්නේ ඒ හැම දෙයක් ම දැන ගෙන ය. ඒවා ගැන අවබෝධයක් ඇතුව ය.

“ජේ ආර් මරමු”. මේ 88-89 යුගයේ තාප්ප වල ලියවුනු ජනප්‍රිය සටන් පාඨයකි. එහෙත් ජේ ආර් මරන්නට කිසිවෙකුට බැරි විය. පසු කලෙක ඔහු ශාරීරිකව මිය ගිය ද අදට ද ඔහු දේශපාලනිකව “මරන්නට” හැකි ජගතෙක් අපේ රටේ නැත. ඔහුගේ අවතාරය තවමත් අපේ දේශපාලනය ලෝකයේ හොල්මන් කරන්නේ ය. ඇතැමුන්ට එ් හොල්මන වැහී ඔවුන් ආතුර වී ඇත්තේ ය.

පුදුමයකට මෙන් එසේ වී ඇත්තේ ඔහු ඇසුරු කළ උදවියට හා ඒ අය අයත් කඳවුරටත් වඩා ප්‍රතිවාදී කඳවුරට වීම එක් අතකින් උත්ප්‍රාස ජනක ය. අනෙත් අතට ඒ නිසා ම මේ අවතාරය පිළිබඳ ව ප්‍රවේසමෙන් සොයා බැලිය යුතු යයි අපට බල කෙරෙන්නේ ය.

ජේ ආර් විසින් දයාද කළ බොහෝ දේ විවේචනය වුව ද ඒවා වෙනස් වෙන, වෙනස් කරන, ලකුණු අහල මායිමක නැත. ඒ වෙනුවට ඇත්තේ ඒවා වඩාත් දැඩි ව ක්‍රියාත්මක කරන ලකුණු ය. ඒ නිසා ද ජේ ආර් නැවත කියවිය යුතු චරිතයකි.

බහුභූත ව්‍යවස්ථාව

ජේආර් කළ අදටත් ආපස්සට කැරකිය නොහැකි එක් වැඩක් නම් විධායක ජනාධිපති පදවිය ඇති කිරීම ය. එය ඉවත් කරන්නට සපථ කළ කිසිවෙක් එය වෙනස් කළේ නැත. ඒ ලයිස්තුවට වසර දහය බැගින් රට පාලනය කළ චන්ද්‍රිකා ජනපතිනිය හා මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ද ඇතුළත් ය. ඔවුන්ට ඒවා වෙනස් කිරීමට බලයක් තිබිය දී පවා ඒ සඳහා ඇති තරම් කාලයක් තිබිය දී පවා එසේ කරන්නට ඔවුන් උනන්දුවක් දැක්වූයේ නැත. මහින්ද රාජපක්ෂ මහතා ඒ වෙනුවට කළේ 18 වෙනි සංශෝධනය හරහා වඩාත් බලතල පවරා ගැනීමත් ජේආර් පැනවූ වාර දෙකේ සීමාව පවා ඉවත් කර ගෙන තවදුරටත් ජනාධිපති තනතුර ශක්තිමත් කිරීමත් ය. ජේආර්ගේ බහුභූත ව්‍යවස්ථාව තවත් බහුභූත කිරීම ය.

ජනාධිපති පදවිය තාවකාලිකව දුර්වල කරන ලද එක ම තැනැත්තා, පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් හිමි ව රට ආණ්ඩු කළ, මෛත්‍රීපාල සිරිසේන වීම ව්‍යාතිරේඛයකි. සමහර විට ඊට එකඟ වන්නට ඔහුට සිදු වූයේ ම ඒ සුළුතරය පමණක් ඔහු සතු වූ නිසා වන්නට ද පුළුවන. ඔහු සිටියේ යහපාලන සන්ධානයේ පමණක් නොව, ඔහු පිට පසුව පටවන ලද, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ද, හිර කරුවෙකු ලෙස ය.

එහෙත් ඒ තත්වය වැඩි කලක් පැවතුනේ නැත. විධායක ව්‍යවස්ථාව පමණක් මදි වී එය දරා සිටීමට හිට්ලර් වැනි ඒකාධිපතියෙකු අවශ්‍ය යැයි, අවාසනාවකට මෛත්‍රිය ම සිය ජීවන මාර්ගය කරගත්, ස්වාමීන් වහන්සේලා පවා කියන්නට ඉදිරිපත් වන තැනට පසු කලෙක කටයුතු යෙදුනේ ය. ඒ කතාව අනුමත කරමින් අතිවිශාල ජනවර්මක් ලබා දී වත්මන් පාලකයන් බලයට පත් කිරීමට ජනතාව ද කටයුතු කළ අතර අවසාන ප්‍රතිඵලය වූයේ වඩාත් ශක්තිමත් ජනාධිපති පදවියක් නැවතත් බිහි වීම ය. ඒ දෙකින් ම පෙනී යන්නේ ජේආර් පටන් ගත් දේ, කවුරු මොනවා කිව්වත්, පහසුවෙන් අවසන් වෙන්නේ නැති බව ය. මළ ගිය ජේ ආර්ට හැකි නම් ඔහු සිය සොහොන් ගැබේ සිට අපට සිනා සෙනවා ඇත.

නීතියේ ස්වාධිපත්‍ය විනාශ කිරීම

ජේ ආර් නීතියට ගරු නොකළේ ය. ලාම්පු කළ ගෙඩි සෙල්ලමක් කර තමන්ගේ හයෙන් පහේ බලය නීති විරෝධීව තවත් කාලයක් පවත්වා ගත්තේ ය. උසාවියට තමන්ගේ හෙංචයියලා ලවා ගල් ගස්සවා, ජනතාව සිය විරෝධය පල කරන්නට ඇතැයි කියා, උසාවියට අපහාස ද කළේ ය. අගවිනිසුරුට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන එමින් තමන් ම සම්පාදනය කළ ව්‍යවස්ථාව යොදා ගෙන අධිකරණය ම ආණ්ඩු මට්ටු කරන්නට කටයුතු කළේ ය.

මෛත්‍රීපාල සිරිසේන ඉදිරියට දමා ගෙන ක්‍රියාත්මක වූ යහපාලන ආණ්ඩුව යන ව්‍යාතිරේඛය හැරුනු කොට ඊට පසු බලයට පත් හැම පාලකයෙකු ම කළේ ඒ සම්බන්ධයෙන් ඔහු අනුගමනය කිරීම ය.

එය චන්ද්‍රිකා සමයේ සිට ම පෙනෙන්නට තිබුණු කාරණයකි. එසමයේ වික්ටර් අයිවන් ඒ අරබයා කළ සටන ගැන බොහෝ දේ ලියැවී ඇති නිසා අවශ්‍ය කෙනෙකුට ඒ විස්තර සොයා ගෙන කියවිය හැකි ය. ශිරාණි බණ්ඩාරනායකව අස්කිරීමෙන් කූටප්‍රාප්තියටපත් මහින්ද සමයේ අධිකරණයට කරන ලද මැදිහත් වීම් තවමත් පරණ වී නැත. ඒ ගැන විස්තර බොහෝ දෙනෙකුට තවමත් මතක ඇතිවාට සැක නැත. ස්වාධීන කොමිසම් සභා අහෝසි කිරීම හරහා අධිකරණයට ද මැදිහත් වීමට අවශ්‍ය බලය, වත්මන් පාලකයන් ද, එක් රැස් කර ගෙන ඇති පසුබිමක, අපට කිව හැක්කේ ජේආර් ඒ අර්ථයෙන් ද මිය ගොස් නැති බව ය.

පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් කිරීම

මන්ත්‍රීවරන්ගෙන් අස්වීමේ ලිපි ලබා ගෙන පාර්ලිමේන්තුව රූකඩයක් බවට පත් කිරීමට ජේ ආර් කටයුතු කළේ ය. මහින්ද රාජපක්ෂ පාලන සමයේ මන්ත්‍රීවරුන්ට පක්ෂ මාරු කිරීමට හැකි වනසේ ආණ්ඩුව විසින් අවශ්‍ය නීතිමය පසුබිම සකස් කර ගත් අතර ඒ නිසා තුනෙන් දෙකක් ම හිමි කර ගෙන පාර්ලිමේන්තුව අනියම් අයුරින් රූකඩයක් බවට පත් කර ගැනීමට මහින්දට ද හැකි විය.

නැවත වතාවක් පාර්ලිමේන්තුව බල ගැන්වුනේ මෛත්‍රීපාල සිරිසේන යුගයේ ව්‍යාතිරේඛයක් ලෙස ය. තාවකාලික ව වුව ද එහි බලය, මෛත්‍රීපාල ම පසු කලෙක මැදිහත්ව කළ ආණ්ඩු කුමන්ත්‍රණය ඉදිරියේ අනභිබවනීය ලෙස නැගී සිටියේ ය.

කේන්ද්‍රගත කරන ලද විධායක බලය ඉදිරියේ දැන් පාර්ලිමේන්තුව නැවතත් රූකඩයක් වී තිබේ.

ද්‍රවිඩ ජනයා නොසළකා හැරීම

ද්‍රවිඩ ජනයාගේ බලය විමධ්‍යගත කිරීමේ ඉල්ලීම ජේ ආර් නොසළකා හැරියේ ය. ඔවුන් අවිගත් විට අවියෙන් මර්දනය කරන්නට තැත් කළා විනා ඒ සඳහා දේශපාලන විසඳුමක් දිය යුතු යැයි ඔහු කල්පනා නොකළේ ය. ඒ වෙනුවට ඔහු කළේ යුද්ධය තෝරා ගැනීම ය.

දියාරු කරන ලද දිස්ත්‍රික් සභා දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාෂයෙන් කිසි ලෙසකින් වත් නිරූපනය නොකළේ ය. ඉන්දියාව මැදිහත් නොවන්නට පළාත් සභා වර්ගයේ විසඳුමක් පවා ඇති නොවන්නේ ය. එය පවා නිසි ලෙස ක්‍රියාත්මක කළ නොහැකි සමගාමී ලයිස්තුව වැනි විවිධ බාධක වලින් වට කර ඇත්තේ ය. ඒ තත්වය සමහන් කරන බවට දුන් පොරොන්දු ‌ජේආර් තරමට ම ඔහුගේ අනුප්‍රාප්තිකයෝ ද කඩ කළෝ ය.

ජේ ආර්ගේ දෙමළ විරෝධය වඩාත් ප්‍රකට ව ප්‍රදර්ශනය වූයේ ජූලි කලබල ඇවිල ගිය විට ය. සන්සුන් වන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු වෙනුවට රාජ්‍ය නායකයා කියා සිටියේ සිංහල ජනයාගේ ඉවසීම සීමාව ඉක්මවා ගොස් ඇති බව ය. එසේ කියමින් අනියමින් ඔහු දෙමළ ජන සංහාරය යුක්ති යුක්ත කළේ ය.

විජය කුමාරතුංගගේ බිරිඳ වූ චන්ද්‍රිකා පවා අන්තිමේ ජේආර් ගිය මග ම ගියේ ය. ඒ පෝලිම අවසන් වූයේ මහින්ද ගෙන් ය. ඒ දෙමළ අරගලය යුද්ධය හරහා සම්පූර්ණයෙන් පාගා දැමීම හරහා ය. යුද්ධය අවසන් වී ත්‍රස්තවාදයට තිතක් තැබීමෙන් පසුව වත් දේශපාලන විසඳුමක් දීමේ අභිලාශයක් මහින්දට නොවී ය. ඒ වෙනුවට යුද්ධය සිය පාලනය දිගින් දිගට ගෙන යා හැකි මහානුභාසම්පන්න යන්ත්‍රයක් ලෙස පවත්වා ගැනීමට ඔහුට ඔ්නෑ විය.

අදට ද දෙමළ ජනතාවගේ දේශපාලන අභිලාශයන් වෙනුවෙන් පෙනී සිටින එකම දේශපාලන බලවේගයක් වත් දකුණේ නැත. එජාප ය ප්‍රමුඛ යහපාලන කණ්ඩායම මහින්ද රාජපක්ෂ පරාජය කරනු සඳහා දෙමළ ජාතික සන්ධානය සමග සන්ධානයකට පැමිණිය ද දෙමළ ජනතාවගේ අභිලාෂයන් ඉටු කිරීම විවිධ හේතු ඉදිරිපත් කරමින් කල් මැරුවේ ය.

මෛත්‍රීපාල එජාපය ප්‍රමුඛ යහපාලන හවුල සුළු කලකට නැවත වතාවක් දෙමළ ජනයාගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සහන සලසන ප්‍රවේශයක් අනුගමනය කරමින් ව්‍යාතිරේඛයක් ලෙස පෙනී සිටිය බව ඇත්ත ය. එහෙත් පසුව මෛත්‍රීපාල ම එයින් පැහැදිලිව ම කර හැරියේ ය. ජනතා විමුක්ති පෙරමුණ පවා දෙමළ ජනතාව දෙස වෛරයෙන් නොබැලුව ද සහකම්පනයෙන් බලන බවක් අදටත් පෙනෙන්නට නැත.

දෙමළ ජනයාට එරෙහි ජාතිවාදය සම්බන්ධයෙන් එකිනෙකා අතර වෙනස් කම් තිබුන ද ජේ ආර්ට විකල්ප මතවාදයක් දෙමළ ජනතාවගේ ප්‍රශ්නය සම්බන්ධයෙන් සමස්ත දකුණට ම නැත.

වංචාව හා දූෂණය

ජේ ආර් සිය අනුගාමිකයන් නඩත්තු කළේ දූෂණයට ඉඩ හසර සැලසීම හරහා ය. රිසි සේ මත්පැන් බලපත් ඉන්ධන පිරවුම් හල් බලපත් පමණක් නොව රජයේ ඉඩම් ද ඔවුන්ගේ පරිහරණයට මුදා හැරුණේ ය.

ඔහු හොරකම් නොකළා විය හැකි ය. ඒත් ඊට ඉඩ හසර ඔහු සලසා දුන්නේ ය. අඩු වශයෙන් ඒවා ඉදිරියේ අහක බලා ගත්තේ ය. ඔහු පාරම්බෑවේ තමන් සල්ලි හම්බ කර ගන්නට මාර්ග විවෘත කර ඇති බව ය. ඒ නිසා කාට කාටත් හම්බු කර ගත හැකි බව ය.

ඔහුගෙන් පසු පැමිණි පාලකයන් ඒ ප්‍රතිපත්තිය ම අනුගමනය කළා පමණක් නොව එය රටේ සාමාන්‍ය දෙයක් බවට ද පත් කළෝ ය.

ඔවුන්ට සහතික දුන් ඇතැම් සංඝයා වහන්සේලා පවා ඒ බව අනියමින් පිළිගත්තෝ ය. ඒ හොරකම් කළාට රට බේරා ගත්තා නොවේදැයි යනුවෙන් සමාවට කාරණා ඉදිරිපත් කිරීම හරහා ය.

මර්දනය හා ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රියා කලාපය

මර්දනය ද ජේආර් දායාද කළ උරුමයකි. සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහෝසි කිරීම, 83 ජාති වාදී කළු ජූලියට කිසිම සම්බන්ධයක් නැති ජනතා විමුක්ති පෙරමුණ හා නව සමසමාජ පක්ෂය ඊට වගකිව යුතු බව කියමින් අසාධාරණ ලෙස තහනම් කිරීම, විජය කුමාරතුංගයන් නක්සලයිට් කාරයෙකු යැයි කියමින් අත් අඩංගුවට ගැනීම ඇතුළු තවත් බොහෝ දේ ජේ ආර් ගේ මර්දන ලයිස්තුවට ඇතුළත් ය.

ඒ මර්දනය විවේචනය කරමින් පසුව ආ අනුප්‍රාප්තිකයන් සැවොම, නැවත වතාවක් මෛත්‍රීපාල ඉදිරියට දමා ගොඩ නැගූ යහපාලන ආණ්ඩුව නම් ව්‍යාතිරේඛය නැතිව, මර්දනය සම්බන්ධයෙන් ජේ ආර් ගේ ක්‍රමය තවදුරටත් ඉදිරියට ගෙන ගියේ ය. ඒ ගැන අටුවා ටිකා ලියන්නට ගියොත් මේ ලිපිය තව බොහෝ දික් වන්නේ ය.

එහෙත් කිව යුතු එකක් තිබේ. එය නොලියා ම බැරි ය. ඒ මෙම මර්දනයට අඩු නැතිව හසු වූ ජනතා විමුක්ති පෙරමුණ පවා තමන්ගේ පුංචි ආණ්ඩු පාලනය පැවති කලාපය තුළ නිහීන මර්දනයක් දියත් කරමින් තමන් ද අඩුපාඩු නැතිව ම තමන්ගේ විරුද්ධවාදියා අනුගමනය කළ බව ය. ලිපිය දික් වන නිසා ම ඒ ගැන විස්තර ද අප සඳහන් කරන්නට යන්නේ නැත.

විවෘත ආර්ථිකය

ජේ ආර් ගේ උරුමයේ වැදගත් ම කොටස විවෘත ආර්ථිකය ය. සංවෘත ආර්ථිකයෙන් බැට කා සිටි ජනතාවට එය එක් අතකින් ආකර්ෂණය වූ අතර ඒ හදිසි විපර්යාසයම තව අතකින් ඔවුන්ට මහා තිගැස්මක් ඇති කළේ ය. ඒ නිසා ම ඔවුන් අවුලට පත් විය. භාණ්ඩ සුලබ වන වේගයට මිනිසුන් සතුව ඒවා ගැනීමට මුදල් තිබුනේ නැත. ඒ නිසා මිනිසුන් එකවර ප්‍රීතියටත් කෝපයටත් පත් විය.

සියල්ල මුදලට විකණෙන ක්‍රමයකට මග පෑදුනු නිසා මානුෂීය හැගීම් පවා අතුරුදහන් ව ගියේ ය. එය ක්‍රමික ව සිදු නොවී එක රැයින් සිදු කිරීම හේතුවෙන් බොහෝ දෙනා අතරමං වූ බව පෙනුනේ ය. ඒ අතර උතුරේ ජනතාව ප්‍රමුඛ ය. ඔවුන්ගේ කෘෂි නිශ්පාදනය විවෘත ආර්ථිකය නිසා තරගයට මුහුණ දිය නොහැකිව අනතුරේ වැටුනේ ය.

චන්ද්‍රිකා බලයට එන විට විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක් දෙනු විනා විධායක ජනාධිපති පදවිය මෙන් එය නැති කරන්නට සපථ කළේ නැත. මහින්ද හෝ ඔහුගේ මලණුවන් වන ගෝඨාභය පවා එවැන්නක් පිළිබඳ ඉඟියක් වත් පල කළේ නැත.

අදට ද විදේශ විනිමය නැති නිසා හදිසියේ දේශීය ආර්ථිකයක් ගැන කතා කළ ද ප්‍රායෝගිකව සංවෘත ආර්ථිකයකට නැවත යෑමට නොහැකි තරමට අප ගෝලීයකරණය වී තිබේ. ඒ නිසා අද මේ දමන තහංචි ආර්ථිකය නැවත ක්‍රියාත්මක වීමත් සමග ඉවත් කිරීමට නියමිත ඒවා මිසක විවෘත ආර්ථික ක්‍රමය අහෝසි කරන හෝ පාලනය කරන ඒවා නොවේ.

ජේ ආර් වඩාත් දැඩිව විවේචනය කරන ජනතා විමුක්ති පෙරමුණ පවා විවෘත ආර්ථිකයට විකල්පයක් මේ වෙන තෙක් අපට දැන ගන්නට ලැබී ඇති පරිදි යෝජනා කොට නැත.

පුද්ගලීකරණය

අප රටේ ජනසතුවේ ආරම්භය බණ්ඩාරනායක නම් පුද්ගලිකකරණයේ ආරම්භය ජේ ආර් ය. එය විවෘත ආර්ථිකයට පමණක් දෙවැනි වන මැදිහත් වීමකි.

චන්ද්‍රිකා ද එය ඉදිරියට රැගෙන ගියා මිසක ආපස්සට හැරවූයේ නැත. මහින්ද පවා පුද්ගලීකරණය කරන ලද ඒවායින් අතිශය ස්වල්පයක් හැර වෙන කිසිවක් නැවත පවරා ගන්නට ගියේ නැත. එසේ පවරා ගන්නා ලද එකක් නම් ශ්‍රී ලන්කන් ගුවන්‌ සේවය ය. ඒ ද සිදු වූයේ ඔහුගේ ගුවන් ගමනකට සම්බන්ධ පෞද්ගලික අමනාපයක ප්‍රතිඵලයක් නිසා බව කියවේ. රක්ෂණ සංස්ථාව හා ඇපලෝ රෝහල සෙසු ඒවා අතර විය. ඒවා පමණක් නැවත පවරා ගන්නට හේතුව ආණ්ඩුවේ පොදු ප්‍රතිපත්ති තීරණයකට එහා ගිය එකක් බව පෙනෙන්නේ පුද්ගලීකරණය කරන ලද බොහෝ තීරණාත්මක ආයතන තවදුරටත් පුද්ගලික අයිතිය යටතේ පවත්වාගෙන යෑමට ඉඩ සලසා දුන් නිසා ය. ඊට අමතර ව විදේශ ආයෝජකයන්ට කොළඹ වටිනාම ඉඩම් විකිණීම මගින් එම රජය තවදුරටත් කියා සිටියේ පෞද්ගලික අංශයට රජයේ වත්කම් පවරා දීමට තමන්ට පැකිලීමක් නැති බව ය.

වත්මන් පාලනය ද දැනටමත් තමන් පෞද්ගලීකරණය අනුගමනය කරන බව කියා සිටින්නේ ය. ඒ විදුලි බල මධ්‍යස්ථානයක කොටස් ඇමරිකන් සමාගමකට පවරා දීම හරහා ය.

ඊට අමතරව ජේ ආර්ට පසු ඇති වූ කිසිම පාලනයක් රාජ්‍ය ව්‍යවාස අලුතෙන් ඇති කිරීමට පවා තීරණාත්මක යමක් කර නැත. ඒ අය විසින් අතරින් පතර කරන ලද සුළු මැදිහත් වීම් කිසිවක් ආර්ථිකයේ ස්වභාවයේ තීරණාත්මක වෙනසක් කිරීමට තරම් ප්‍රමාණවත් වී නැත.  

ජේ ආර් මැරුනත් තවමත් ඇත්තේ ඔහුගේ පාලනයකි

මේ සියල්ල සළකා බැලූ විට පෙනෙන්නේ කවුරුන් රට පාලනය කළ ද ඒ සියල්ලන් මෙහෙයවන අදෘෂ්‍යමාන නූල වන්නේ ජේආර් බව ය. අඩු වශයෙන් ඔහුගේ අවතාරය බව ය.

ඔහු විසින් දියත් කරන ලද ඉහත සඳහන් කිසිම ප්‍රතිපත්තියකට විකල්පයක් පාලක පක්ෂයේ කිසිදු කණ්ඩායමකට නැති බව ය. පාලක කල්ලියෙන් එලියේ සිටින විකල්ප කණ්ඩායම් තවමත් එහෙමට පාලනයට සම්බන්ධ වී නැති නිසා ඔවුන් ගැන නිශ්චිත අනාවැකියක් කීමට අමාරු ය. එහෙත් ඔවුන්ට පවා යම් බලපෑමක් කළ හැකි තැන්වල හා අවස්ථාවල – විශ්ව විද්‍යාල ශිෂ්‍යයින් අතර හා පුංචි ආණ්ඩුව පැවති කාලවකවානුව තුළ – පල කර ඇත්තේ ජේආර්ගේ හැසිරීම ය.

ජේ ආර් ගෙන් ඉගෙනීම

ජේආර් නැවත කියවිය යුතු වන්නේ ඔහුගෙන් ගත යුත්තේ කුමක් දැයි සොයා බැලීමට ය. දුරු කළ යුත්තේ කුමක් දැයි සොයා බැලීමට ය. අප කල්පනා කරන පරිදි ඔහුගේ ආර්ථික මූල ධර්මයන් බොහෝ දුරට නිවැරදි ය. ඔහුගේ දේශපාලන හැසිරීම පලේ පල් ය.

ඔහු අනුදත් ආර්ථික ක්‍රියාවලිය ඉදිරියට ගෙන යෑමට නොහැකි වූ එක් හේතුවක් නම් ඔහු ඉතිරි කළ දේශපාලන උරුමයේ මඩ ගොහොරුව ය. දියත් කළ ආර්ථිකය, ඔහු විසින් ම මඩ කළ, ඒ මඩ ගොහොරුවේ එරුනේ ය.

ඉදිරි විකල්ප දේශපාලන බලවේගයකට රට ගොඩ ගත හැකි වන්නේ ජේ ආර් හරියකට කියවා ගත්තොත් ය. ‌ජේආර් ගේ නිවැරදි පියවර අනුගමනය කිරීමට බිය නොවීමටත්, ඔහුගේ වැරදි නොකිරීමට වග බලා ගැනීමටත්, හැකි වන්නේ එවිට ය. ජේආර් ළඟින් නැවතුණු රටේ දේශපාලනයට ඉදිරියට යා හැක්කේ එවැනි කියවීමක් හරහා පමණ ය.

පැනීමට පෙර මුට්ටි ඔබා බැලීමේ ගිනස් වාර්තාව

ආණ්ඩුව මේ වැඩේ දිගින් දිගට ම කරන්නේ ය. පොලු පහරවල් වැදී මුට්ටිය ද බිඳ ගෙන පසු බසින්නට ඊට සිදු වූයේ වරක් දෙවරක් නොවේ.

ආසන්න සිද්ධිය අර්ජුන ඇලෝෂියස්ගේ මෙන්ඩිස් සමාගමට මත් පැන් නිශ්පාදනයට නැවත වතාවක් අවසර දීමත් ඒ සම්බන්ධයෙන් ඇති වූ සමාජ සංවාදය ඉදිරියේ එම තීරණය අකුලා ගැනීමත් ය.

තමන් ගත් තීරණයක් වැරදි යැයි හැඟුන විටක එය අකුලා ගැනීම ඒ හැටි වැරැද්දක් නොවේ. වැරැද්දක් නොවනවා පමණක් නොව ඇතැම් අවස්ථාවල එය බුද්ධි ගෝචර ද වන්නේ ය. එහෙත් මෙතැන ප්‍රශ්නය මුළුමණින් වෙනස් ය.

ඒ බව අපට ‌පෙනෙන්නේ මේ සමාගමේ බලපත්‍රය අහිමි කරනු ලැබුයේ කුමන පදනමක් යටතේ ද එය ඉවත් කර ගත්තේ කුමන පදනමක් යටතේ දැයි විමසීමේ දී ය. මේ අහිමි කිරීමට හේතුව පිටු පස ඊනියා බැංකු “මංකොල්ලය” ද තිබුණේ ය. ඊට අමතරව ආදායම් බදු නොගෙවීම ද දක්වා තිබුනේ ය. ඒ හේතු රට ම දන්නා නමුත් බලපත්‍ර දීමට හේතුව අපට නම් පැහැදිලි නැත. අප දන්නා පරිදි රටට ද පැහැදිලි නැත.

බොහෝ දෙනෙකුට මෙය ප්‍රශ්නයක් වූයේ අති විශාල ධනස්කන්ධයක් රටට අහිමි කළේ යැයි දැන් ආණ්ඩු කරවන පාර්ශවය විසින් ම චෝදනා කරන ලද පුද්ගලයාට එරෙහිව නඩුව ද තිබිය දී හිඟ බදු මුදල් ද එලෙසම තිබිය දී තහනම් කරන ලද බල පත්‍රය දීමට තරම් ඇති වූ වෙනස කුමක් දැයි පැහැදිලි නොවීම ය. විරුද්ධතාවයන් පල වූයේ ඒ නිසා ය.

එක්කෝ බල පත්‍රය අහිමි කිරීමේ මුල් තීන්දුව වැරදි ය. නැතිනම් එය නැවත ලබා දීමේ තීන්දුව වැරදි ය. ඒ සාධාරණ සිතුවිල්ල ඇති වන්නේ මේ කිසිවක් සිදු වන්නේ සැක දුරු කිරීමට සමත් වන තරමේ පාරදෘෂ්‍ය භාවයකින් තොර ව බැවිනි.

ආණ්ඩුව වෙනුවෙන් උත්තර දෙන්නට ආණ්ඩු කරවන පාක්ෂික හිතවතුන් අසමත් වෙද්දී ඔවුන් ආණ්ඩුවට පීඩනයක් එල්ල කරන්නට ඇත. ඒ නිසා තව වතාවක් ආණ්ඩුව රිවර්ස් ගියරයට ගියේ ය. මුට්ටිය බිඳ ගත් නිසා “ගෙදරට හොරෙන් පැනීමේ” අදහස අත් හැර ගත්තේ ය.

ඒත් ඒ තීරණයේ බරින් ආණ්ඩුව නිදහස් වුනා යැයි කෙනෙකු සිතන්නේ නම් එය මුලාවකි. රෙද්ද ගැලවුනාට පසු ඇඳ ගත්තාට රෙද්ද ගැලවීමෙන් ඇති වූ ලජ්ජාවෙන් ගැලවෙන්නට බැරි ය.

මේ සියලු රිවස් ගැහිලි පිටුපස එක් ප්‍රධාන හේතුවක් වෙයි. ගන්නා තීරණ කිසිවක් දත්ත කරුණු හා නිවැරදි තර්කනයන් මත නොපිහිටීම ය. ආණ්ඩු කරවන අය මන්ද බුද්ධික යැයි නොසිතන මිනිසුන් ඒවා පිටුපස ඩීල් ඇතැයි සැක කරන්නේ ද ඒ නිසා ය.

තව දුරටත් රිවස් ගියරයට යෑමට සිදු වන හදිසි කාරණා තවත් දෙකක් ආණ්ඩුව ඉදිරියේ තිබෙන්නේ ය. එකක් රසායනික පොහොර ආනයනය තහනම් කිරීමේ තීන්දුව ය. අනෙක ඇති වන තිබෙන ආර්ථික අර්බුදයට පිළියමක් ලෙස ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග එකඟතාවයට ඒමට අකමැති වීමේ තීන්දුව ය. ඒවා සම්බන්ධයෙන් ආණ්ඩුව කුමක් කරනු ඇද්දැයි බොහෝ දෙනා බලා සිටිති.

අපට හිතෙන හැටියට නම් මේ තීන්දු ද ඉදිරියේ දී වෙනස් වීමට නියමිත ය. එහෙත් අනෙත් බොහෝ අවස්ථා වල මෙන් ම ඒවා අකුලා ගන්නා විට ද වෙන්න ඔ්න හරිය වෙලා ඉවර වීමට බොහෝ දුරට ඉඩ තිබේ.

ඒවාත් දැම්ම රිවර්ස් කර ගන්නවා නම් අවම හානියකින් ඒ වැඩ ගොඩ දා ගත හැකි ය. අපට කළ හැකි ව තිබෙන්නේ ඒවා එසේ නොකරන්නේ කුමක් නිසා දැයි අනුමාන කරමින් සිටීමට පමණ ය.

විද්‍යාවට පිටුපාන නායකයෙකුට රටක් ගොඩ ගත නොහැකි ය

See the source image

“නැවත නැවතත් කිව යුත්තේ විද්‍යාවට පිටු පෑ කිසිදු නායකයෙකු රටක් ඉදිරියට නොගෙන ගිය බව ය. වල පල්ලටම දැක්කූ බව ය”. ඉහත දැක්වෙන්නේ මා මුහුණු පොතේ පල කල වැකියකි. මේ ගැන වඩා විස්තර සහිත පැහැදිලි කිරීමක් අවශ්‍ය බවට එයට ප්‍රතිචාරයක් වශයෙන් මගේ මිතුරෙකු ලීවේ ය.

මෙහි ඇත්ත නැත්ත බැලිය හැක්කේ ලෝකයේ රාජ්‍ය නායකයන්ගේ හැසිරීමත් ඒ රටවල දියුණුවත් අතර සම්බන්ධයක් ඇති දැයි සොයා බැලීම හරහා ය. අපි අපේ රට ගෙන බලමු. පාලනය ගෙන ගිය බොහෝ අය විද්‍යාවට පිටු පා මිත්‍යාව වැළඳ ගත් අය ය. මෑතක ම උදාහරණය වත්මන් පාලනය ය.

එන්නත් ගෙන්වීමට කඩිනම් පියවර ගන්නවා වෙනුවට අපේ පාලකයන් කළේ බාස් උන්නැහේ කෙනෙකු හැදූ පැණියක් ප්‍රමෝට් කරන්නට ඉදිරිපත් වුන එක ය. මුට්ටි ගඟේ දැමීමට ද පිරිත් සජ්ජායනා කිරීමට ද පිරිත් පැනි රට පුරා ඉහීමට ද කටයුතු කරන එක ය. මේ වන විට ඉන්න තැන පවා සොයා ගන්නට නොහැකි ඒලියන්ත වයිට් නම් රාජකීය වෛද්‍යවරයාගේ විශ්වකර්ම බෙහෙත් ගැන විශ්වාස කරමින් කල් ගත කිරීම ය. අපි අද එහි ප්‍රතිඵල භුක්ති විඳිමින් ඉන්නෙමු.

පසු ගිය ජනාධිපතිවරණයෙන් බයිඩන් බලයට පත් වීමට පෙර ඇමරිකාවට හිටියේ ද විද්‍යාවට පිටු පා මිත්‍යාව වැළඳ ගත් ජනාධිපති වරයෙකි. ඒ ට්‍රම්ප් ය. ඔහු වෛද්‍ය උපදෙස් මායිම් නොකළා පමණක් නොව තමන් නිශ්පාදනය කළ බොරු ද වෛද්‍ය උපදෙස් වලට පිටු පා ජනගත කරන්නට උත්සහ කළේ ය. සිදු වූයේ පස්ස බිම ඇන ගැනීම ය. බයිඩන් පැමිණිමත් සමග තත්වය මුළුමණින් ම ආපස්සට හැරුණේ ය. මේ වන විට ඇමරිකාව කොරෝනාව ජය ගනිමින් තිබෙන්නේ ය. ඒ ජනගහණයෙන් වැඩි පිරිසකට එන්නත් ලබා දීම හරහා ය. එසේ වුව ද තවමත් මිත්‍යාව අදහන්නන් පිරිසක් එන්නත ලබා ගැනීම ප්‍රතික්ෂේප කරමින් සිටිති. ඒ වැඩි දෙනා ට්‍රම්ප්ගේ ගෝලයන් ය.

ඉන්දියාවේ මෝඩි මිලියන ගණනාවක් ජනතාව එක තැනකට රොක් වන ආගමික උත්සවයකට වෛද්‍ය උපදෙස් නොතකා අනුමැතිය දුන්නේ ය. ඉන්දියාව ඇන ගත්තේ එයින් පසු ය.

නයිජීරියාවේ ලෝක වෙදෙක් සිටින්නේ ය. ඔහු සතුව එක ම එක බෙහෙතක් තිබේ. එය කෝකටත් තෛලයකි. එයින් දියවැඩියාව ද හෘද රෝග ද තුවාල ද හොඳ වේ. එය බොන්නට ද ඇඟේ ගාන්නට ද පුළුවන. ඔහුට සහතික සපයන්නේ එරට සිටි හා සිටින රාජ්‍ය පාලකයන් ය. දුප්පත් මිනිසුන් තමන් උපයන තුට්ටු දෙක ඔහුට පුදා මේ අරුම පුදුම බෙහෙත රැගෙන යන්නේ අප පැණි අරන් ආ ආකාරයට දිගු පෝලිම් වල ඉඳලා ය. නයිජීරියාව දිගින් දිගට දුප්පත් කමේ පතුලට ම රැගෙන විත් තිබෙන්නේ මේ ජරා පාලකයන් ය. මේ දියත තුළ ඒ හොර වෙදාට කළ නොහැකි කිසිවක් නැති බව කියන ඔහුගේ වෙබ් අඩවියට පිවිසීමෙන් ඒ ගැන වැඩි විස්තර දැන ගත හැකි ය. Sheik Bismillah Islamic Nigerian Herbal Healer – Culture – Nigeria (nairaland.com) මේ ඒ වගේ ම ඒ රටේ තව එක් කෙනෙි. Controversy surrounds Nigerian ‘healer’ (iol.co.za). පාලකයන් මිත්‍යාව වැළඳ ගන්නා විට මෙවැනි හොර වෙදුන් පහල වන්නේ පඳුරු ලන ආකාරයට ය. පොකුරට ය.

තම රටවලට දියුණුව සලසන නායකයින් මිත්‍යා මත පදනම් ව ආර්ථික ප්‍රතිපත්ති ගොඩ නගන්නේ නැත. ඔවුන් වකුගඩු රෝගවලට හේතු කාරක සොයන්නට කවුරුන් හෝ දැක්කා යැයි කියන සිහින විමසන්නට යන්නේ නැත. දෙවියන් සිහිනයෙන් ඇවිත් කාට හෝ කියන යමක් විශ්වාසයට ගෙන මිනිසුන් බඩ ගින්නේ තබන, ගොවියන් අනාථ කරන, කෘෂිකර්ම ප්‍රතිපත්ති ගොඩ නගන්නේ ද නැත.

දියුණු බොහෝ රටවල නිරාගමික පිරිස වැඩි ය. ලෝක සිතියමේ දියුණු රටවල් හා නිරාගමිකයන් වැඩි රටවල් සමපාත වෙන බව බලන කෙනෙකුට පැහැදිලි වන්නේ ය.

ඒ නිසා මුහුණු පොතේ දැක් වූ වැකිය තවදුරටත් විකාශනය කළ යුතු ය. ඒ ජනතාව ද අසු වන ආකාරයට ය. විද්‍යාවට පිටු පාන නායකයන්ට පමණක් නොව එසේ කරන ජනතාවකට ද රටක් ගෙන ගිය හැක්කේ වල පල්ලට පමණක් බව කියමින් ය.

දියුණු රටවල, ඒවායේ නායකයන් පමණක් නොව ජනතාව ද පසු ගාමී “ආගමික” අදහස් වල එල්බ ගෙන නැත. ඔවුන්ගේ දියුණුවේ රහස එතැන ය. එයින් අදහස් කරන්නේ ඔවුන් නිරාගමික බව ම නොවේ. ආගම හා රාජ්‍ය පාලනය දෙකක් ලෙස සළකා කටයුතු කරන බව ය. රාජ්‍ය පාලනය සඳහා විද්‍යාවේ උපදෙස් ලබන බව ය. විද්‍යාව ම ගුරු කොට ගන්නා බව ය. ඒ ගැන ඒ රටවල ආගම් අදහන මිනිසුන් පවා එකඟ බව ය. ඒ ආගම ලෝකෝත්තර කරුණු වලට සීමා කොට ලෞකික ජීවිතය විද්‍යාව හරහා කර ගන්නට තරමට ඔවුන් බුද්ධිමත් නිසා ය.

ඒවායේ වෙසෙන නායකයින් මැතිවරණ තබන්නේ තමන්ට හොඳ නැකත් බලා නොවේ. ජනතාව පවා වැඩ කරන්නේ නැකතට නොවේ. රාහු කාලය මග හැර නොවේ. බොරු සාස්තර කරුවන්ගේ උපදෙස් ලබා ගෙන නොවේ. කිසිදු පදනමක් නැතිව නිපදවන ඊනියා බෙහෙත් පසු පස ගොස් නොවේ. හූනන් කෑ ගහන, කපුටන් කාක් කියන, පූසන් ගමන් කරන විදි බලා නොවේ. ඔවුන් තීරණ ගන්නේ නාගරාජයන් විසින්, නාග ලෝකයෙන්, වඩම්මනවා යැයි කියන ධාතුන් වහන්සේලාගේ පණිවුඩ අසා නොවේ. ඔවුන්ට එවැනි ම බුද්ධියක් සහිත නායකයන් සමග එක් ව, රටවල් ඉදිරියට ගෙන ගිය හැක්කේ ඒ නිසා ය.

රාජ්‍ය අංශය ද පෞද්ගලික අංශය ද?

See the source image

අම්ම ද නැත්නම් ඔබගේ බිරිඳ ද? මේ ප්‍රශ්නය නගමින් ගැයෙන වාද බයිලාවක් ඔබ අසා ඇතුවාට සැක නැත. ගම ද නගරය ද? තවත් එවැනි ම වාදයකට ප්‍රස්තූත වෙන යුගලයකි. අද අප සාකච්ඡා කරන්නට යන්නේ ද තවත් එවැනි යුගල පදයක් ගැන ය. ඒ වඩා හොඳ රාජ්‍ය අංශය ද පුද්ගලික අංශය ද යන්න ය. මේ වාදය සඳහා අප නිර්ණායක කීපයක් යොදා ගැනීමට අපේක්ෂා කරන්නෙමු.

වඩා කාර්යක්ෂම කුමක් ද යන්න එක් නිර්ණායකයකි. ඒ අප සතු සීමිත සම්පත් අපතේ නොයවා වැඩ කටයුතු කළ යුතු හෙයිනි. නාස්තිය මෙන් ම පරිසර දූෂණය ද අවම කර ගැනීම එහි අපේක්ෂාව ය.

වඩා සේවාලාභීන්ට හිතකර වන්නේ කුමක් ද යන්න දෙවැනි නිර්ණායකය ය. එයින් අදහස් කරන්නේ වඩා පහසුවටත් ලාභයටත් සේවාලාභීන්ට සේවාව ලබා ගත හැක්කේ කුමකින් ද යන්න සොයා බැලීම ය.

වඩා රටටත් පොදු ජනතාවටත් හිතකර වන්නේ කුමක් ද යන්න තුන්වෙනි නිර්ණායකය ය. එයින් අදහස් කරන්නේ බදු ආදායමක් හැටියට රජයට වැඩි පුර ලැබෙන්නේ කුමකින් ද යන්නත් ඒ ආයතන නඩත්තු කිරීමට බදු ආදායමෙන් කවර ප්‍රමාණයක් වියදම් වන්නේ ද යන්නත් සොයා බැලීම ය.

මේ විමසුම සඳහා අප දන්නා ආයතන කිහිපයක් විමසන්නට අපි අපේක්ෂා කරන්නෙමු. සමහර ඒවා සම්බන්ධයෙන් ප්‍රමාණික දත්ත අප සතු ය. සෙසු ඒවා සම්බන්ධයෙන් පරිවාර සාක්කි අප සතු ය. ඔබට දත්ත ඉදිරිපත් කර මේ සංවාදය තව දුරටත් පොහොසත් කළ හැකි ය. වෙනත් මානයන් අවශ්‍ය නම් එක් කළ හැකි ය. සම්පූර්ණයෙන් ම වෙනස් නිගමනයන් ඉදිරිපත් කළ හැකි ය.

ගෑස්

ගෘහස්ථ ගෑස් සිලින්ඩර විකිණීම රාජ්‍ය ඒකාධිකාරයක්ව තිබුණු සමයේ පාඩු ලැබූ ගෑස් සමාගම නඩත්තු කිරීම සඳහාත් බදු ආදායම් යොදන්නට සිදු වි තිබුණේ ය. ඒත් නඩත්තු වුනේ මුළුමණින් නොවේ. බාගෙට ය. ඒ නිසා ම අලුත් සිලින්ඩර සඳහා ඔවුන් ආයෝජනය කළේ නැත. සිලින්ඩර ලබා ගැනීම සඳහා මාස ගණන් බලා සිටිය යුතු විය.

එය ෂෙල් සමාගමට පැවරීමත් සමග ගෑස් සිලින්ඩර දුර්භික්ෂය අවසන් විය. එයට තවත් සමාගමක් පසු ව එකතු වූ හෙයින් තරඟකාරී මිලකට ගෑස් මිල දී ගැනීමට ද ජනතාවට වරම් ලැබුනේ ය.

සමාගම් දෙක ම දැන් ආදායම් බදු ගෙවන නිසා තව දුරටත් බදු ආදායම් වලින් ආයතනයක් නඩත්තු කිරීමට ආණ්ඩුවට සිදු නොවීය.

දුර කථන

දුර කථන කතාව ද ගෑස් කතාවට සමාන ය.

රජයේ විදුලි සංදේශ දෙපාර්තමේන්තුව කලෙක ඒකාධිකාරය ඉසිලුවේ ය. එය පැවතුනේ දුර කථන සැපයීමෙන් හෝ අදාළ සේවාවන් සැපයීමෙන් ලද ආදායමෙන් පමණක් නොවේ. රජයේ බදු ආදායමෙන් තමන්ගේ පාඩුව ද පියවා ගැනීමෙනි.

ගෑස් සිලින්ඩර වලට මෙන් ම දුරකථන ලබා ගැනීමට ද දිගු පෝලිමක බලා සිටීමට සිදු විය. ගෑස් සිලින්ඩර වලට සමානව ම ඒ සඳහා ඇතැම් වෙලාවක මාස ගණන් අවුරුදු ගණන් බලා සිටීමට සිදු විය. කල් ඇතුව ලබා ගැනීමට පුළුවන් කම ලැබුනේ එක්කෝ බල පුළුවන්කාරයින්ට ය. නැත්නම් ඔවුන්ගේ පිහිට භාවිතා කොට ය. නොවඳිනා වැඳුම් වැඳලා ය.

එය පුද්ගලීකරණය කිරීමෙන් පසු සියල්ල වෙනස් විය. රැහැන් දුරකථන සඳහා සන්ටෙල් පුද්ගලික සමාගම පිවිසීමෙන් තත්වය තවත් සතුටුදායක විය. ජංගම දුර කථන පැමිණිම සමග ආ තරඟයෙන් තවදුරටත් වෙනස් විය. යහපත් අතට වෙනස් විය. රජයේ නියාමන කොමිසම අත නොපොවන්නට වඩාත් තරඟකාරී මිලක් වුව ලබා ගත හැකි ව තිබෙන්නේ ය.

ඛණිජ තෙල්

ඛණිජ තෙල් විකිණීම සඳහා ආයතන දෙකක් ඇත. එකක් දේශීය රජයේ ආයතනයක් වන ඛණිජ තෙල් නීතිගත සංස්ථාව ය. අනෙක විදේශීය රාජ්‍ය- පෞද්ගලික හවුල් ආයතනයක් වන, IOC යන ප්‍රචලිත නාමයෙන් හඳුන්වන ලබන, ඉන්දියානු තෙල් සමාගම ය. (ඉන්දියානු තෙල් සමාගම ඉන්දීය රජයේ සමාගමක් වන නමුදු එහි කොටස් ඉන්දීය කොටස් වෙළඳ පොලේ විකිණනු ලබයි. ඒ නිසා එහි ස්වරූපය වඩා ළඟ පෞද්ගලික සමාගමකට ය. ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගමට තරමක් දුරට සමාන ය. 2018 සැප්තැම්බර් මාසයේ දී එහි කොටස් අගයෙන් 57% ක් රජයට ද ඉතිරි 43% වෙනත් පාර්ශවයන්ට ද හිමි ව තිබුනි).

මෑත කාලයේ ඉන්ධන මිල ඉහළ දමමින් ඛණිජ තෙල් පිළිබඳ අමාත්‍ය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළ ආකාරයට ඛණිජ තෙල් සංස්ථාව වසර ගණනාවක් තිස්සේ කෝටි ගණන් පාඩු ලබමින් තිබේ. 2020 වසර වන විට ඛණිජ තෙල් සංස්ථාව ලැබ තිබෙන සමස්ත පාඩුව ඩොලර් මිලියන 300 ක් ඉක්මවන බව කීවේ රාජ්‍ය ආයතන ප්‍රතිසංස්කරණය පිලිබඳ රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල් මහතා ය.

ඛණිජ තෙල් සමාගම පාඩු ලබන බව කියතත් ඉන්දියානු තෙල් සමාගමේ ලංකා ශාඛාව වාර්ථා කරන්නේ අධික ලාභයකි. මාධ්‍ය වල ප්‍රකාශ වුනු ආකාරයට එය 2020/21 ආදායම් වර්ෂය සඳහා ලැබූ ලාභය රුපියල් කෝටි 87 ට වැඩි ය. (ඉන්දියානු තෙල් සමාගමට 2020 වසරේ ඉන්දියාවේ Fortune India 500 ලයිස්තුවේ දෙවැනි ස්ථානය ද හිමි ව තිබුනේ ය. එය 2020-21 ආදායම් වර්ෂය සඳහා ලැබූ ශුද්ධ ලාභය ඇමරිකන් ඩොලර් බිලියන 6.1 ක් විය.)

ඉන්දියානු තෙල් සමාගම සිය මිල තනිවම ඉහළ නංවා තිබූ මාස කීපයකට සීමා වූ කාල වකවානුවක් තිබුනේ වුව ද ඉන්ධන මිල ගණන් වැඩි කාලයක් පැවතියේ සම මට්ටමේ ය. ඊට අමතරව ඉන්දියානු තෙල් සමාගමට ඇත්තේ ලංකාවේ වෙළඳ පොලෙන් සියයට දහයක පමණ ප්‍රමාණයක් බව ද අපේ සැලකිල්ලට ගත යුතු ය. එසේ තිබිය දීත් එය ලාභ ලබන්නේ කෙසේ ද?

අපට සිතා ගත හැකි එක ප්‍රධාන හේතුවක් වන්නේ ආයතන දෙකේ කාර්යක්ෂමතාවය ය.

ආණ්ඩුවේ මිල පාලනය නිසා පාරිභෝගිකයන්ට මේ දෙ තැනින් ම ගන්නට සිදු ව ඇත්තේ එක ම මිල ගණන් වලට බව සැබෑ ය. එසේ වුව ද ඉන්දියානු තෙල් සමාගම වෙළඳ පොලට පිවිසීමෙන් පසු තෙල් පිරවුම් හල් වඩාත් ඉඩකඩ ඇති අයුරිනුත් වඩාත් සිත් ගන්නා අයුරිනුත් ප්‍රතිසංස්කරණය වූ බවත් ඒ නිසා ඛණිජ තෙල් සංස්ථාවේ පිරවුම් හල ද ඒ වෙනස් කම් අනුගමනය කරමින් වෙනස් වුනු බව ද අපට ඊට අමතරව මතක ය.

පාඩු ලබන රාජ්‍ය ආයතනයක් පවත්වා ගැනීමට රටේ සීමිත බදු ආදායම වෙන් කරන්නට සිදු වීම නිසා ඛණිජ තෙල් සංස්ථාව රටට ගෙන දෙන්නේ පාඩුවකි. ජනතාවට මේ පාඩු ලබන ආයතනය නඩත්තු කිරීමට අමතර බදු ගෙවන්නට සිදු වීම නිසා පොදු මහජනතාවට ද අත් වන්නේ පාඩුවකි. ලාභ ලබන නිසා ඉන්දියානු තෙල් සමාගම බදු ගෙවමින් රටට ආදායමක් උපයා දෙන්නේ ය. ජනතාවට අමතර බරක් ඇති නොකරන්නේ ය.

උදාහරණ නම් තව රාශියකි

බැංකු ක්ෂේත්‍රය තවත් එවැනි ම ක්ෂේත්‍රයකි. රාජ්‍ය බැංකු පාඩු ලැබුවේ නැති වුව ද සලසන ලද සේවය ඉතා දුර්වල විය. පෝලිම් බහුල විය. කුඩා වැඩක් කර ගැනීමට පවා විශාල වශයෙන් බැංකු තුළ රස්තියාදු විමට සිදු විය.

සම්පත් බැංකුව තරඟයට පිවිසීමෙන් ආරම්භ වූ පුද්ගලික බැංකු විසින් ක්ෂේත්‍රය මේ වන විට උඩු යටි කුරු කර තිබේ. දැන් බැංකුවක් ඇතුළට යන්නේ නැතුව ATM යන්ත්‍ර හරහා බොහෝ දේ කර ගත හැකි ය. මහ බැංකුව විසින් නියාමනය නොකරන්නට මීට වඩා වැඩි පොලියක් ලබා ගැනීමේ ඉඩ ද සේවා ලාභීන්ට අයත් වන්නට තිබුනේ ය.

ශ්‍රී ලන්කන් ගුවන් සේවය ද කලෙක රජයේ ආයතනයක් ව පාඩු ලබමින් තිබී කළමනාකරණය පුද්ගලීකරණය කිරීම නිසා ලාභ ලැබීමට පටන් ගත් ආයතනයකි. පසු ව නැවතත් රජයට පවරා ගැනීමෙන් නැවතත් පාඩු ලැබීමට පටන් ගත් අතර, මේ වන විට රජයට දරා ගත නොහැකි මට්ටමේ පාඩුවකට හිමිකම් කියන, ආයතනයකි.

තවත් පාඩු ලබන ආයතන ගණනාවක් ඇත. ලිපිය දික් වන නිසා හැම දෙයක් ගැන ම ලියන්නට හැකියාවක් නැත.

හේතු සාධක

මෙසේ වීමට හේතු සාධක මොනවා ද?

අයිතිකරුවෙකු නැති වීම එක් ප්‍රධාන හේතුවකි. අයිතිකරුවෙකු සිටී නම් ඔහු විවිධ කටයුතු කරමින් කාර්යක්ෂමතාවය වැඩි දියුණු කර ගැනීමට උත්සහ කරනවා ඇත. තමන්ගේ ගැලවුම සඳහා රාජ්‍ය භාණ්ඩාගාරයක් ම තිබිය දී මේ ආයතන බාර ගන්නා අයට එහෙම ගායක් ඇති වන්නට හේතුවක් නැත. එහෙම උණක් ඇති අයට පවා මෙවැනි ආයතන තුළ පහත දැක්වෙන හේතූන් නිසා වැඩි කලක් රැඳෙන්නට වෙන්නේ නැත.

දෙවැන්න, මේ ආයතන බාර දෙන්නේ දේශපාලන අධිකාරියේ හිතවතුන්ට මිස දක්ෂ කළමනාකරුවන්ට නොවීම ය. එයට උප හේතුවක් වන්නේ තමන්ට රිසි පරිදි ආයතනය මෙහෙයවීමට එහෙයියන් මිසක දක්ෂයින් නම්මවා ගැනීමට නොහැකි නිසා ය.

තුන්වැන්න, මේ ආයතන දේශපාලන අධිකාරිය හා ඒවායේ පාලනය බාර දී ඇති නිලධාරී තන්ත්‍රය විසින් සළකන්නේ තමන්ගේ පෞද්ගලික නින්දගම් ලෙස වීම ය. තමන්ට තමන්ගේ සහචරයන්ට පමණක් නොව නැදෑ සනුහරයට ද පිණුම් ගැසිය හැකි කෙළි බිම් ලෙස ය.

සිව්වෙනුව, මේ ආයතන දේශපාලන අධිකාරිය විසින් සැළකෙන්නේ තමන්ට කඩේ ගිය මිනිසුන්ට රැකියා හෝ ව්‍යාපාරික අවස්ථා සලසා දිය හැකි කප් රුකක් ලෙස වීම ය.

සේවා ලාභියාගේ වුවමනාව හා රටේ වුවමනා එපාකම් එන්නේ ඒ සියල්ලට ඉඩ දී ඉන්පසු ඉතිරි වන වපසරිය තුළ ය.

මේ කියන දේශපාලන අධිකාරියට හෝ නිලධාරී තන්ත්‍රයට සමීප වීමෙන් තමන්ටත් යම් සොච්චම් වරප්‍රසාදයක් ලබා ගත හැකි නම් එයින් සෑහීමකට පත් වෙන ජනතාවක් සිටින රටක දේශපාලනඥයන්ට මේ තත්වය වෙනස් කිරීමේ කිසිදු වුවමනාවක් ඇතිවන්නට හේතුවක් ද නැත. එය පස් වෙනි හේතුව ය.

පුද්ගලික අංශය හැම තැනට ම ගැලපේ ද?

නොමිලේ සේවා ලබා දෙන තැනක පුද්ගලික අංශයට කළ හැකි කාර්යය භාරය සීමා සහිත ය. හොඳම උදාහරණය අපට ලැබෙන්නේ අධ්‍යාපනය හා සෞඛ්‍ය සේවා අරබයා ය.

එහි දී පවා අපට පෙනෙන්නට ඇති දෙය නම් මිනිසුන් නොමිලේ දෙන අඩු ගුණාත්මක සේවය පසෙකලා මිලක් ගෙවා වඩා හොඳ සේවයක් ලබා ගන්නට මුදල් ඇත්නම් පසු බට නොවෙන බව ය. ජාත්‍යන්තර පාසල් පුද්ගලික පාසල් පෞද්ගලික රෝහල් පෞද්ගලික චැනල් සේවා වලින් පෙන්නුම් කරමින් තිබෙන්නේ එය ය.

එතැන දී වුව වඩා හොඳ සේවයක් සැලසෙන්නේ පුද්ගලික වීම නිසා ම නොවේ. ඊට අමතරව තරඟයක් ද තිබෙන නිසා ය.

අධ්‍යාපනය හා සෞඛ්‍ය සඳහා වියදම් කළ නොහැකි ජනතාවට රජයෙන් යම් මුදලක් හෝ යම් රක්ෂණ ආවරණයක් ලැබෙන්නේ නම් ඔවුන් ද මිල කළ පෞද්ගලික සේවාවන් තරඟකාරී මිලකට ඇති වටපිටාවක ලබා ගැනීමට උනන්දු වනවා ඇත. ඒ සඳහා අවශ්‍ය තත්වයන් සම්පාදනය කළ හැකි නම් අධ්‍යාපනය හා සෞඛ්‍ය ක්ෂේත්‍ර වලට පවා පෞද්ගලික අංශයේ කාර්යක්ෂමතාවය සහිත දායකත්වයක් ලබා ගත හැකි වනු ඇත.

පුද්ගලික අංශය කෝකටත් තෛලයක් නොවේ. නිසි පරිසරය සෑදිය හැකි නම් එයින් මීට වඩා වැඩ ගත හැකි බව කියමින් මේ ලිපිය දැනට අවසන් කරමු.

රජ අණින් සිල් ගැන්වීම

See the source image

බුදුන් වහන්සේ බොහෝ රජවරු ඇසුරු කළ කෙනෙකි. එහෙත් ඒ මිත්‍රත්වය කිසිදා අපහරණය නොකළ කෙනෙකි.

පන්සිල් පහ පැනවූයේ මිනිසුන්ට ය. ඒවා ක්‍රියාත්මක කිරීම සඳහා රාජ්‍ය අංශයේ පිහිට උන්වහන්සේ පැතුවේ නැත. මිනිසුන්ට බලෙන් සිල් ගන්වන්නට වුවමනාවක් බුදුන්ට තිබුණේ නැත. සිල් ගත් අයට ඉගැන්වූයේ නිහතමානී වන ලෙස ය. උස් ආසන මහා ආසන නොසොයන ලෙස ය. සෙස්සන් සමග එකට සිටින ලෙස ය.

පුන් පොහොයට මත්පැන් සල් වසා තබන්නට කියා උන් වහන්සේ රජවරුන්ට පින්සෙණ්ඩු වූයේ නැත.

ගව ඝාතනය තහනම් කරන නීති ගෙන එන්නැයි කියා ගිනි තබා ගත්තේ නැත. මස් මාංශ අනුභවය පවා භික්ෂූන්ට වත් අකැප යැයි කීවේ ද නැත.

සිනමා ශාලා නෘත්‍ය ශාලා වසන්නට නියෝග කරන්නැයි කීවේ නැත. ගණිකා මඩම් වත් වසන්නට කීවේ නැත. ඒ වෙනුවට උන් වහන්සේ කළේ ගණිකාවන්ට ද ශාසනයට ඇතුළු වන්නට ඉඩ හසර සලසා දීම ය. ඔවුන්ට දහම් දේශනා කිරීම ය.

දහම් පාසල් අනිවාර්යය කරන්නට යැයි කීවේ නැත. ආගම විෂය නිර්දේශයට ඇතුළත් කරන්නට යැයි කීවේ ද නැත. පන්සල් වල නාම ලේඛන ලකුණු කරන්නට කීවේ නැත. දහම් පාසල් යන අයට විශේෂ වරප්‍රසාද දෙන්නැයි කීවේ ද නැත.

අපේ හාමුදුරුවන් බුදුන්ටත් වඩා බෞද්ධ ය. උන් වහන්සේ ලා මේ සියල්ල ම ඉල්ලති.

පුන් පොහොයට මත් පැන් විකිණීම තහනම් කර තිබීමෙන් සෑහීමකට පත් නොවන උන් වහන්සේලා දැන් ඉල්න්නේ වෙසක් සතිය හා පො‌සොන් සතිය පුරාම මත්පැන් ශාලා වසා තබන්නට ය. මේ සෙල්ලම අවසානයේ කොතැනින් නතර වේ දැයි සිතා ගන්නට බැරි ය.

මේ සියල්ලෙන් වන්නේ දහම විහිළුවක් වීම ය. සිල් රාජ නියෝගයක් අනුගමනය කරන තත්වයට පිරි හෙලීම ය. ආගම රජයේ කුක්කෙකු කිරීම ය.

සිල් ගන්නේ සිත පහන් කර ගැනීම සඳහා ය. සිල් රජයට ගැට ගසා ගැනීමට යෑමෙන් සිදු වන්නේ එය නිකම් ම නීතියක් වීම ය.

අප අසරණ වෙලා වගේ හිතට දැනෙනවා

Image result for religions

“වෙලාව තමයි”. කුමන හෝ අභාග්‍යයක් අපේ හිස මත හිටි හැටියේ කඩා පාත් වූ අවස්ථාවක, ඒ සඳහා සාධාරණ හේතු කාරණාවක් දෙන්නට අපට නොහැකි වූ විට, අපි එසේ කියමු. සමහරු එසේ කියන්නේ ග්‍රහතාරකා අපල උපද්‍රව පෙර කරුමය නිසා එවැන්නක් මග හැරිය නොහැකි යයි සිතා විය හැකි වුව ද මා එසේ කියන්නේ මගේ හිත සනසා ගැනීමට ය.

නාය ගොස් පවුලක් ම නැත්නම් මිනිසුන් ගණනාවක් ම ඊට යට වූ විට පවා අප එසේ කියන නමුත් එයින් සැනසීමක් ලබා ගෙන පමණක් නැවතීම හරි ද?

නාය යෑම් නිසා විනාශ වූ ජීවිත ගැන අපට අසන්නට ලැබුණු ශෝක ජනක ප්‍රවෘත්ති මැද මට අතීත කතාවක් සිහිපත් විය.

එක්තරා ව්‍යාපෘතියක මා වැඩ කරන සමයේ රත්නපුරයේ නාය යෑමේ අනතුර ඇතැයි සළකුණු කොට තිබූ කන්දක පදිංචිව සිටි පවුල් කීපයක් මුණ ගැසීමේ අවස්ථාව මම ලදිමි. ඔවුන්ට සුරක්ෂිත ස්ථාන වල ඉඩම් ලබා දී තිබුන ද ඔවුන් ට පදිංචි තැනින් ඉවත් වන්නට කැමැත්තක් තිබුනේ නැති බව පැහැදිලි විය. අනතුරු පැහැදිලි කළ විට ඔවුන් දුන්නේ අපූරු උත්තරයකි.

“මහත්තයො මැරෙන්න තියෙනව නම් ඒක වළක්වන්න කාටවත් බෑ. කොහෙ හිටියත් මැරෙනව.”

මේ දෘෂ්ඨවාදය එන්නේ ආගම මෙහෙයවීමෙන් බව කියන්නට මම ඉක්මන් නොවෙමි. එහෙත් එහි අවිඥානක හෝ බලපෑමක් නැතැයි කිසිවෙකුට කිව හැකි ද?

උදේ හවස අහන ඔ්න ම දෙයක් උඩු හිතට නැතත් යටි හිතට වැටෙන එක වැළැක්විය නොහැකි ය. ඒක අපේ ජීවිතයේ ඉදිරි මග සකස් කරන ලස්සණ අන්දරයක කොටසක් වූ විට එහි බලපෑම කොහොමටත් පොඩි නැත.

බුදු දහමේ නියාම ධර්ම පහක් ගැන කියා ඇතත් මිනිසුන් බය කරන්නට හාමුදුරුවන් වැඩි පුර ම කැමති කර්මය යන නියාමය මතු කර සෙසු ඒවා නැති ගාණට ම දැමීමට ය. ඒ මිනිසුන් නියාමනය කළ හැකි හැඩ ගැස්විය හැකි එක ම නියාම ධර්මය එය නිසා විය හැකි ය. අනෙත් නියාම ධර්මයන් අපේ පාලනයෙන් ඔබ්බේ ඇති නිසා ය.

පෙර භවයක් හෝ පෙර භවයක කරන ලද කර්ම විපාකයක් හැටියට කිසිවක් වෙතැයි මා විශ්වාස නොකරතත් කර්මය එක් නියාම ධර්මයක් හැටියට මේ භවයේ කටයුතු සඳහා පිළිගන්නට මා ද සූදානම් ය. ඒ කර්මයට ම, කළ දේ මෙන් ම නොකරන දේ ද අඩංගු කිරීමට ඊටත් වඩා මා කැමති ය.

ඉතින් මේ උවදෙස් දුන් තැනැත්තා එය නොපිළිගෙන එතැන රැඳී සිටින්නේ නම් ඔහු හා පවුලේ අය මිය යන්නේ ඔහු විසින් නොකර ලද ඒ ක්‍රියාව (කර්මය) නිසා ය. ඒ උපදෙස් ලැබිලාත් එය නොපිලි ගැනීම හේතුවෙන් ය. මා කැමති මේ සිද්ධියත් කර්මයට එහි ඇති නෑ කමත් ඒ අයුරින් විස්තර කිරීමට ය.

අනතුරු ඇඟවීමක් නැතිව ම නාය යෑමක් නිසා ඔවුන් අනතුරට පත් වූයේ නම් එය ධම්ම නියාමයේ (ස්වභාවික සිද්ධියක) ප්‍රතිඵලයක් හැටියට දැක් විය හැකි වුව ද දැන දැන නොකර සිටීම නම් වැටෙන්නේ අඩුපාඩුවක් නැතිව ම කර්ම නියාමයට ය.

මෙය පැහැදිලිව කිව හැකි ස්වාමීන් වහන්සේලා අපට අද අවශ්‍ය ව තිබේ.

මෙය බෞද්ධයන්ට පමණක් අදාළ කරුණක් නොවේ. බෞද්ධයන්ට මෙය කර්මය නොහොත් කරුමය වන විට ක්‍රිස්තු භක්තිකයන්ට එය දෙවියන්ගේ කැමැත්ත වී තිබේ. වචන වෙනස් වුව ද දෘෂ්ඨිවාදය එක ය.

මේ කතාව කෝවිඩ් වලට ද අදාළ ය. එන්නත ප්‍රතික්ෂේප කරන අය හා සංචරණ නීති කඩන අය අතුරින් ඇතැම් දෙනෙකු ද වැටෙන්නේ මේ කියන දෘෂ්ඨි වාදීන්ගේ ගොඩට ය.

අපට පමණක් නොව කෝවිඩ් සම්බන්ධයෙන් නම් ඇමරිකාව ද අද මේ ප්‍රශ්නයට මුහුණ දී තිබේ. ඒ නිසා දෙවියන් අපට මොළයක් ප්‍රදානය කර ඇත්තේ භාවිතයට ගැනීමට බවත් එය භාවිතා නොකිරීම නිසා සිදු වන දේ දෙවියන්ගේ කැමැත්තට බැර කිරීම අසාධරණ බවත් පැහැදිලිව කිව හැකි දේවගැතිතුමන්ලා ඔවුන්ට ද අවශ්‍යව තිබීමෙන් පෙනී යන්නේ මෙය දේශීය ප්‍රශ්නයක් පමණක් නොව ගෝලීය ප්‍රශ්නයක් ද වන බව ය. ඒ තනි ආගමක ප්‍රශ්නයක් නොව බහු ආගමික ප්‍රශ්නයක් වීමට අමතරව ය.

හානා හීය පානා අඬහැරෙන් දැනේ – වස විස නැති ගොවිතැනේ නොදකින පැති

වස විස නැති ගොවිතැන යහපත් දෙයක් ද?

ඔව්

වස විස එකතු වෙන්නේ කොහොම ද?

ගොවිතැනට යොදන කෘමිනාශක වල් නාශක රසායනික පොහොර වගේ ඒවයෙ අවභාවිතය නිසා. මතක තියා ගන්න භාවිතය නිසාමත් නොවෙයි අවභාවිතය නිසා.

කාබනික නිශ්පාදන වල වස විස නෑ නේද?

ඒවා ප්‍රකාශිත ආකාරයට ම කාබනික නම් වස විස නැති වීමේ ඉඩකඩ ඉහළයි. ඒ වුනත් වස විස සම්පූර්ණයෙන් ම නෑ කියල ම කියන්න බෑ.

මිනිසුන් ඒවා භාවිතා නොකරන්නේ ඇයි? ඒවාට ඉල්ලුමක් නැත්තේ ඇයි?

ඒවාට ඉල්ලුමක් තියෙනව. ඒත් ඒවා ගණන්. ඒ නිසා සාමාන්‍ය මිනිසුන්ට මිල දී ගන්න අමාරුයි.

කාබනික එළවලු/නිශ්පාදන ගණන් ඇයි?

රසායනික පොහොර නොදමන නිසා අස්වැන්න අඩුයි. කෘමි නාශක භාවිතා නොකරන නිසා කෘමින්ගෙන් ආරක්ෂා කර ගන්නට අමතර වියදමක් දරන්නට වෙනව. වල් නාශක නොදමන නිසා වල් උදුරා දැමීමට අමතර වෙහෙසක් වියදමක් ද දරන්නට වෙනව. ඒ සියල්ල පාරිභෝගිකයාගෙන් අය කර ගන්න වෙනව.

ඒවාගෙ කෘතිම රසායනික යොදන්න වෙලා තියෙන්නෙ ඇයි? ඉස්සර ඒවා භාවිතා කළේ නෑ නේද?

අතීතයේ වැඩි දෙනෙක් ජීවත් වුනේ ගොවිතැනින්. ඒ අතරින් වැඩි ප්‍රතිශතය තමන්ගේ ආහාර තමන්ම වගා කර ගත්තා. ඔවුන්ට අතිරික්තයක් නිපදවන්න වුනේ රජ්ජුරුවන් හා සංඝයා නඩත්තු කරන්නත් වෙනත් සීමිත රැකියා නිරත සුළු ප්‍රතිශතයක් මිනිස්සු නඩත්තු කරන්නත් විතරයි. අද ඒ තත්වය සපුරා වෙනස්. බොහෝ දෙනෙක් වෙනත් නිශ්පාදන කාර්යය වල නිරත වෙලා ඉන්න නිසා අධික ජනගහණයක් නඩත්තු කරන්න විශාල අතිරික්තයක් නිපදවන්න වෙනව. මේ තත්වය 1950 ගණන් වන විට ලෝකයට ම අභියෝගයක් වුනා. ආහාර හිඟය නිසා මිනිස්සු බඩ ගින්නේ මිය යන තත්වයක් ඇති වුනා. හරිත විප්ලවය ආවේ ඒකට උත්තර හැටියට. ඒ විප්ලවයේ ප්‍රතිඵලය තමයි වැඩි අස්වැන්නක් දෙන බීජ හඳුන්වා දීම. ඒවා කලින් භාවිතා කළ බීජ වලට වඩා කීප ගුණයක් අස්වැන්න ලබා දෙන්න සමත්. ඒත් හැම යහපත් දෙයක් එක්ක ම ප්‍රශ්නයකුත් ගැට ගැහෙන්න පුළුවන් නෙ. මේ බීජ සම්බන්ධයෙනුත් එහෙම ප්‍රශ්නයක් පැවතුනා. ඒ මේවායින් අස්වැන්න ගන්නට රසායනික පොහොර යොදන්නට සිදු වීමත් ඒ අස්වැන්න සහතික කර ගන්නට කෘමි/වල් නාශක භාවිතා කරන්නට සිදු වීමත්.

ලංකාව සම්බන්ධයෙන් තවත් ප්‍රධාන සාධකයක් මේ සඳහා බලපෑව. අපි ගොඩ ගොවිතැන් කළේ හේන් වල. ඒ කියන්නෙ කැලේ කපලා ගිනි තියල ඒකෙන් ලැබෙන ඛණිජ වල ආධාරයෙන්. මුල් වටයේ ඇල් වී, කුරහන්, අමු මෙනේරි වගේ ධාන්‍යත් ඊළග වටයෙ මුං බෝංචි වගේ රනිල කුලයේ ශාඛාත් වශයෙන් සශ්‍ය මාරුවක් එහෙමත් ක්‍රියාත්මක වුන. එක චක්‍රයකට පස්සෙ අපි ඒකෙ නැවත කැලේ වැවෙන්න හැරිය. ඒ වෙනුවට කැලේ වෙන පැත්තක් තෝරා ගෙන ආයෙමත් ඒ වැඩේ කළා. පරණ තැනකට යන්නේ තව අවුරුදු 10-12 කින්. එතකොට ආයේ කැලේ වැවිල ගිනි තියල ඛණිජ ලබා ගන්න පුළුවන් ගාණට. ජනගහණය වැඩි වීමත් සමග මේ වැඩේ දිගින් දිගට කරන්න බැරි වුන. කැලේ අඩු වෙන කොට කැලේ වටිනාකම තේරුණා. හේන් වගාවට තිත වැටුන. එකම බිමක දිගින් දිගට වගා කරන කොට අවශ්‍ය ඛණිජ ලවණ අඩුවෙල යනව. ඊට පස්සේ කෘතිම පෝර නැතිව බැරිව ගියා.

කෘතිම පෝර නැති ව බැරි ම ද?

බැරි ම නෑ. ඒත් අස්වැන්න විශාල වශයෙන් අඩුවීමක් එයින් සිදු වෙන්න පුළුවන්. ඒ නිසා ඉදිරියේ දී සාගත තත්වයක් ඇතිවෙන්න පුළුවන්.

එතකොට කාබනික පොහොර?

රසායනික පොහොර හා සන්සන්දය කරන විට කාබනික පොහොර විශාල ප්‍රමාණයක් සමාන ප්‍රතිඵල ගැනීම සඳහා අවශ්‍ය වෙනව. වී වගාව පමණක් සැලකුවහොත් කොම්පෝස්ට් අවශ්යතාවය මෙට්රික් ටොන් මිලියන 6 ඉක්මවා ගිය අගයක් ගන්නා බව පොහොර ගැන කළ එක සාකච්ඡාවක දී අනාවරණය වුනා. ඊට අමතරව කාබනික පොහොර වල වස විස නෑ කියල සහතික කරන්න අමාරුයි. කාබනික පොහොර හදන්න යොදා ගන්නෙ මොනව ද කියන එක අනුව ඒවයෙ තියෙන්න පුළුවන් වස විස තීරණය වෙනව. සමහර ප්‍රභවයන් නිසා ඇතැම් විට වඩාත් වැඩි වස විස ප්‍රමාණයක් තිබිමේ ශාක්‍යතාවයත් තියෙන්න පුළුවන්. ඊටත් අමතරව ඒවා නිසා ඇතැම් විට බෝග වලට වෙනත් දිලීර වගේ රෝග වැළඳීමේ ඉඩ කඩත් තියෙනව.

ගිනිසීරියා නැත්නම් ලාඩප්ප වගා කිරීම හරහා කාබනික පොහොර නිපදවන්න වැඩ පිළිවෙලක් තිබුන. තවමත් තියෙනව. ඒත් ඒ සඳහා විශාල භූමි භාගයක් අවශ්‍යයි.

එහෙම තෝරා ගැනීමක් එක්ක යහපත් ප්‍රභවයන්ගෙන් පමණක් මිල දී ගෙන කාබනික පොහොර භාවිතා කරන්න ගියොත් දැනට නිශ්පාදනය වන පොහොර ප්‍රමාණය රට තුළ ගොවිතැනට සෑහෙනව ද?

නැහැ කොහෙත්ම නැහැ. බොහෝ කාබනික ගොවිතැන් කරන අය ඒ සඳහා තමන්ගේ ම ගොවිපලේ සතුන්ගේ ගොම වගේ දේ භාවිතා කර තමන්ම නිශාපදනය කර ගත් කාබනික පොහොර තමයි භාවිතා කරන්නෙ. වෙළඳ පොලේ තියෙන්නෙ ඉතා සීමිත ප්‍රමාණයක්. ඊට අමතරව ඒවායේ ගුණාත්මක භාවය පමණක් නොවෙයි ඒ ගුණාත්මක භාවයේ ස්ථාවරත්වය ගැනත් ඇගයීම අමාරුයි. ඒ කියන්නෙ එක් එක් තොගයේ වෙනස් සංයුතීන් තියෙන්න පුළුවන් කියන එකයි.

කාබනික පොහොර ආනයනය කරන්න බැරි ද?

පුළුවන්. ඒත් ආනයනය කරන රටේ ඉන්න ක්ෂුද්‍ර ජීවින් ඒ පොහොරත් සමග එන්න පුළුවන්. බොහෝ රටවල් තමන්ගේ භූමියට සත්තු හා ශාක හා ඒවායින් නිපදවන ද්‍රව්‍ය ආනයනය කිරීමට තහංචි යොදා තියෙන්නෙ ඒ නිසා. එහෙම ආ වසංගතයන් නිසා සමස්ත බෝග ප්‍රභේදයන් ම මිය ගිය අවස්ථා තියෙනව. එවැනි රෝග සත්තුන්ටත් මිනිසුන්ටත් හැදෙන්න මේ නිසා ඉඩ විවර වෙනව.

ක්ෂුද්‍ර ජීවීන් නැති කාබනික පොහොර ගෙන්වන බව ඇමතිවරයා කියනව. එහෙම කළොත් හරි නේද?

කාබනික පොහොර පොහොර වෙන්නෙම ක්ෂුද්‍ර ජීවින් නිසා. ක්ෂුද්‍ර ජීවින්ගේ ක්‍රියාකාරිත්වය නිසා. ක්ෂුද්‍ර ජීවින් වර්ග දෙකක් ඉන්නවා. එක කට්ටියක් අපට අවශය කරන ජීව රසායකික ප්‍රතික්‍රියාවලට අවශය කරන අනුබලය සපයනවා. අනෙක රෝග ඇති කරනවා. එකක් නැතිව අනෙක ගන්න බෑ. ජීවානුහරණය කළාම දෙවර්ගයම නැති වෙනව. ඒ නිසා ඇමතිතුමා මේ ප්‍රකාශය කරල තියෙන්නෙ නොදැනුවත් කම නිසා.

කෙටි කාලීනව බැරි වුනත් දිගු කාලීන වැඩ පිළිවෙලක් යටතේ වස විස නැති ගොවිතැනක් ගොඩ නගා ගන්න බැරි ද?

රසායනික පොහොර හා කෘමි / වල් නාශක නිසි අයුරින් නිර්දේශයන්ට අනුව භාවිතා කරන්නේ නම් ලොකු ප්‍රශ්නයක් ඇති වන්නේ නැහැ. ඒ සඳහා නිසි ක්‍රමවේදයක් සකස් කිරීමයි කළ යුතු වන්නේ. ඊට ගොවීන්ට නිසි දැනුම ලබා දීම වගේ ම ආහාර ප්‍රමිතිය පරීක්ෂා කරන ක්‍රමවේදයන් සකස් කිරීම ද ඇතුළත් කළ හැකි යි.

දැනට ගොවි නිශ්පාදන වල වස විස ගැන පරීක්ෂන සිදු වෙනවා ද? ඒවායේ ප්‍රතිඵල මොනවා ද?

එහෙම පරීක්ෂණ ලංකාවේ සිද්ධ වෙන්නෙ නෑ. ඒ සඳහා අවශ්‍ය සංවේදී උපකරණ අප සතු ව නැහැ.

දිගු කාලීනව කාබනික ගොවිතැනට යොමු වෙන්න බැරි ද?

කාබනික ගොවිතැන තවදුරටත් ප්‍රවර්ධනය කළ හැකියි. ඒත් සම්පූර්ණයෙන් ම රසායනික භාවිතයෙන් තොර ගොවිතැනක් කියන්නෙ හීනයක්. වත්මන් තත්වය යටතේ හීනයක්.

සියයට සියයක් කාබනික පොහොර පමණක් භාවිතා කරන කෘතිම වල්/කෘමි නාශක භාවිතා නොකරන රටවල් නැද්ද?

නැහැ තවම බිහි වී නැහැ. ලෝකයේ රටවල් අතරින් රටවල් 16 ක තමයි තමන්ගේ ගොවි නිශ්පාදන වලින් 10%ට වඩා කාබනික වගාවෙන් ලැබෙන රටවල් තියෙන්නෙ. වැඩිම කාබනික ගොවි නිශ්පාදන නිපදවන්නෙ Liechtenstein කියන අප්‍රසිද්ධ රටේ. ඒ ප්‍රමාණය 38.5% ක් පමණයි. ඒක ඉතා කුඩා රටක් වර්ග කිමි 160 ක 38749 ජනගහණයකින් යුක්ත. දෙවැනි තැනට එන්නෙ අප්‍රිකාවේ සැමෝවා රාජ්‍යය 34.5% ක් සමගින්. තුන්වෙනි තැන ඔස්ට්‍රියාවට 24.5% ක් නිපදවමින්.

හයිඩ්‍රෝෆෝනික් වැනි නව තාක්ෂණයන් යොදා ගෙන හරිතාගාර වල වල් නාශක අවශ්‍ය නැති කෘමින්ගෙන් ආරක්ෂිත වූ තත්වයන් යටතේ කෙරෙන වගාවන් තියෙනව. ඒත් ඒවාටත් රසායනික පොහොර භාවිතා කරනව.

දැනට රටේ ක්‍රියාත්මක වන වැඩ පිළිවෙල නිසා කුමක් විය හැකි ද?

නිශ්පාදනය පහළ යන්නත් ඒ නිසා නිශ්පාදන වල මිල ඉහළ යන්නත් හේතු වෙන්න ඉඩ තියෙනව. සමහරුන්ට ගොවිතැන එපා වෙන්නත් මෙය බලපාන්න පුළුවන්. ඉහළ යන මිල නිසා සාගතයෙන් මන්දපෝෂණයෙන් මිනිසුන් පෙලෙන්න පුළුවන්. තේ වගේ ද්‍රව්‍ය සඳහා ලෝක වෙළඳ පොලේ තියෙන සන්නාමයන් පවා අනතුරට වැටෙන්න පුළුවන්. පොහොර රසායනික ද්‍රව්‍ය ආනයනය නොකිරීම නිසා ඉතිරි වන මුදල මෙන් කීප ගුණයක් මුදල් ගෙවා ආහාර ආනයනය කරන්නට සිදු වෙන්න පුළුවන්. ආනයනය කරන කාබනික පොහොර නිසා පැතිර යා හැකි ජීව වසංගතයක් මගින් බව‌ භෝග මුළුමණින් විනාශ වී යන්න පුළුවන්. ඒ වගේ ම වසංගත තත්වයන් ඒ හරහා එන්න පුළුවන්. වැරදි ප්‍රභවයකින් ආනයනක කරන පොහොර නිසා ඇතැම් විස ශරීර ගත වෙන්නත් පුළුවන්.

තව එක ප්‍රශ්නයක් ඉතිරි වෙලා තියෙනව අවසාන වශයෙන් ඔබෙන් අහන්න. අපි අහල තියෙනව ලංකාව හැඳින්වුනෙ පෙරදිග ධාන්‍යාගාරය කියල බව. ඒ කියන්නෙ අපේ මුතුන් මිත්තන් දක්ෂ ගොවීන් වෙන්නට ඔ්න. වෙන රටවලටත් ධාන්‍ය අපනයන කරන්න සමත් වුනු. ඒ එක්කම මිනිස්සු කියනව මේ බිම පින් බිමක්. වියලි දණ්ඩක් පස් වලට යට කරත් දළු දානව කියල. ඒ කාලෙ හිටිය මිනිස්සු යෝධයො වගේ සවි ශක්තිය ඇති මිනිස්සු කියල. අපේ පැරැන්නන් වස විස නැති භෝග සරුවට වවන්න කිසියම් හැකියාවක් ඇතුව හිටිය කියල ඒ කතාවෙන් කියවෙනව. අන්න ඒ තාක්ෂණය මතු කරල ගන්න අපට බැරි ද?

ප්‍රශ්නය දිග නිසා උත්තරයත් දිග වෙනව. පළමුවෙන් අපි පෙරදිග ධාන්‍යාගාරය කියන කතාව අර ගෙන බලමු. මේ ගැන ඇතැම් ඉතිහාසඥයන් කියන්නෙ අපි ධාන්‍යාගාරයක් වුනේ අපි ම නිපදවපු ධාන්‍ය අපනයනය කරපු නිසා ම නෙවෙයි. අපි ධාන්‍ය ප්‍රතිඅපනයනය කරපු තොටක් හැටියට වැඩ කළ නිසා කියල. එක පැත්තකින් චීනයෙන් එන නැව් තව පැත්තකින් අරාබි කරයෙන් එන නැව් තම තමන්ගෙ භාණ්ඩ හුවමාරු කරගන්න ඇත්තෙ මේ තොටින් කියල.

ඒ කොහොම වෙතත් ලංකාවේ ඉතිහාසයෙ සෞභාග්‍ය සහිත කාලයක් තිබුණු බව ඇත්ත. ඒත් ඒක 12 වන සියවසෙන් පස්සේ (පොළොන්නරු යුගයෙන් පස්සෙ වගේ) ක්‍රමයෙන් අභාවයට යනව. ඒ කාලයෙන් පස්සෙ ඉදි කෙරුණු වාරි ක්‍රම ගැන සඳහන් වෙන්නෙ අඩුවෙන්. නටබුන් පවා තියෙන්නෙ අඩුවෙන්. මේ පරිහානියට හේතු හැටියට දකුණු ඉන්දියාවෙන් පැමිණි ආක්‍රමණ වගේ ම මිනිසුන්ට වගේ ම භෝග වලටත් බෝවෙන්නට ඇති විවිධ වසංගත හේතු වෙන්න පුළුවන් කියල අනුමාන කෙරෙනව. ඒ විතරක් නෙවෙයි ඒ සෞභාග්‍යමත් කාල වල පවා සාගතයන් පැමිණි බවට තොරතුරුත් තියෙනව. ඊට පස්සෙ සෞභාග්‍යමත් කාලයක් හැටියට සඳහන් වෙන්නෙ කෝට්ටෙ යුගය. ඒත් අපි ඒ වන විට කුළු බඩු නිශ්පාදකයෙක් හැටියට තමයි ඉදිරියට යන්නෙ.   

පැරැන්නන් සතුව තිබුණු බොහෝ තාක්ෂණ විධි පිළිබඳ විස්තර අද නෑ. අපි කරන අනුමාන විතරයි තියෙන්නෙ.

අනෙත් එක අප මතක තියා ගන්න ඔ්න කාරණය තමයි අද ලෝකය එදාට වඩා වෙනස්. කෘමීන් වගේ ම පැලෑටිත් පරිණාමය වෙලා. ඒ වගේ ම ගෝලීයකරණ වෙචච ලෝකයක ඉන්න අප එදා ට වඩා රෝග වලට (මිනිසුන්ට පමණක් නොව පැලෑටි වලටත් හැදෙන) නිරාවරණය වෙලා. එදා භාවිතා කළ තාක්ෂණ ක්‍රම අමාරුවෙන් සොයා ගත්තත් ඒවා අද ලෝකයට ගැලපෙන එකක් නෑ.

ඒ වුනත් නව තාක්ෂන ක්‍රම සොයන එක අප අත්හැරිය යුතු නෑ. ඇතැම් පැරණි ක්‍රම අත්හදා බැලීමේ වැරැද්දකුත් නෑ. ඒත් ඒවා නිශ්චිත විසඳුම් හැටියට හඳුන්වා දීමේ දී අපි පරිස්සම් විය යුතු යි. විශේෂයෙන් ඒවා පිළිබඳ සොයා නොබලාම ඒ අතීතය නැවත ප්‍රතිනිර්මාණය කරන්නට පෙර හා ඒ වෙනුවෙන් නව දේ අත් හැරීමට පෙර දෙවරක් නොව කීප වරක් සිතිය යුතු යි.

කෝවිඩ් අස්සේ ආ වැහි කෝඩය

මන්දාරම් වැහි බීරම අහස පුරා පැතිරිලා

පැත්ත පළාතක නොසිටම ඉර කොහේද සැඟවිලා

පාළුවක් ද තනිකමක් ද ගත පුරා ම දැවටිලා

කිම ද කළු ව මේ තරම් ම අප වෙත අද ලංවෙලා

තහංචි බැමි හතර වටේ අවවාදත් ඇහෙනවා

මාංචු නැති හිර ගෙයකින් අඳෝනාව නැගෙනවා

තොන්තු වී නගන සුසුම් හදවතට ම දැනෙනවා

නිව් නෝමල් වෙන්නට ඇති දවස් ගණන ගණිනවා