සංවර්ධනය යනු අහවල් දෙයක් ද?

See the source image

සංවර්ධනය යන වචනය භාවිතා කොට යම් සටහනක් ලියන විට හැම විට ම වත්පොතේ මිතුරන් අසන ප්‍රශ්නයක් තිබේ. ඒ සංවර්ධනය යනුවෙන් මා අදහස් කරන්නේ කුමක් ද යන්න ය. මේ උත්සහය ඒ ගැන පැහැදිලි කිරීමට ය.

සංවර්ධනය යන්නට නිර්ණායක බොහෝ ය. ඒ අතරින් මා වඩාත් කැමති නිර්ණායකය පළමුව දක්වනු කැමැත්තෙමි.

ඒ කෑම සඳහා ජීවත් වෙන තත්වයෙන් මිදීමට තරම් මිනිස්සුන් ආර්ථික අතින් හා සංස්කෘතිමය අතින් ශක්තිමත් ද යන්න ය. කොපමණ ප්‍රමාණයකට ඒ තත්වයෙන් මිදී ඇති ද යන්න ය. කෙනෙකු තමන්ගේ සම්පූර්ණ කාලය ම යොදා වැඩ කරන්නේ වුව ද එයින් කාලා ඇඳලා වත් ඉන්නට බැරි නම් එතැන ඇත්තේ නොදියුණුවකි. මිනිසුන් බහුතරයකට උරුම එවැනි ජීවිතයක් නම් ඒ රට සංවර්ධනය වූ රටක් ලෙස සළකන්නට බැරි ය.

අතීතයේ බොහෝ රටවල එසේ කළ හැකි වූයේ සමාජයේ ඉහළ ම ස්ථරයට අයත් අතලොස්සකට පමණ ය. දැන් ඒ තත්වය වෙනස් වෙමින් තිබේ. දියුණු රටවල මිනිසුන් බහුතරයකට ඒ හැකියාව අද ලැබී තිබේ.

රටක් සංවර්ධනය වන විට මිනිසුන්ට තමන්ගේ ආදායමෙන් කෑම සඳහා වැය කිරීමට සිදු වන්නේ සොච්චමකි. ඒ යම්තම් කුමක් හෝ දෙයකින් බඩ පුරවා ගෙන නොවේ. සමබර රසවත් ආහාර වේලක් වළඳින ගමන් ය. ඉතිරි මුදල් ඔහුට සංස්කෘතික ජීවිතයක් ගත කළ හැකි තරමට ප්‍රමාණවත් ය. ඒ මුදලින්, දෙවරක් සිතන්නේ නැතිව, ඔහුට නාට්‍යයක් චිත්‍රපටියක් බැලිය හැකි ය. පොතක් පත්තරයක් ගත හැකි ය. කලා කෘතියක් නිර්මාණය කළ හැකි ය. දේශ ගවේෂණයේ යෙදිය හැකි ය. තමන් වඩාත් කැමති රැකියාවක් කළ හැකි ය. රැකියාව තුළ තමන් අකමැති දේ සිද්ධ වේ නම් තවදුරටත් බලා නොසිට, දෙවරක් නොසිතා, ඉවත්ව යා හැකි ය. ඔහුට/ඇයට නව දේ අත්හදා බැලිය හැකි ය.

ඊට අමතරව සංවර්ධනය වී ඇතැයි කියන්නට නම් සංස්කෘතික වශයෙන් ද මිනිසුන් ශක්තිමත් විය යුතු ය. එසේ ශක්තිමත් වන මිනිසුන් මුදල් වියදම් කරන්නේ භෞතික සැප සම්පත් එක් රැස් කර ගැනීමට පමණක් නොවේ. මුදල් මුදල් ලෙස ම ගොඩ ගසා තබා ගැනීමට ද නොවේ. ජීවිතය විඳීමට ය. ඔවුන්ට මුදල් තිබෙනවා පමණක් නොව ඒවා නිසි ලෙස ජීවිතය විඳීම සඳහා යොදා ගැනීමේ කලාව ද උරුම ව තිබේ. ඒ පමණට අධ්‍යාපනයක් ද ශික්ෂණයක් ද ඔවුන් ලබා තිබේ. ඒ නිසා ම ඔවුන් තුළ සෙසු අයට, තමන්ට වෙනස් අයට පවා, ගරු කිරීමේ වැඩි නැඹුරුවක් දක්නට පුළුවන. මානව හිම්කම් ගරු කිරීමට ඔවුන් කටයුතු කරනු, ඒ සඳහා නීති අණපනත් සම්මත කරනු, දැකිය හැකි ය. භාෂණයේ නිදහස ද සම්මතයන්ට පවා විරුද්ධ වීමේ නිදහස ද ඔවුන් අගයනු දැකිය හැකි ය. ඇමරිකාව ආර්ථික වශයෙන් ඉදිරියෙන් සිටිය ද ඉහත කී සංවර්ධන නිර්ණායකයන් ගැන සැළකීමේ දී එය අදටත් සිටින්නේ එයට වඩා ආර්ථික වශයෙන් දුර්වල බටහිර යුරෝපයේ රාජ්‍යයන්ට පසු පසිනි. චීනය ද ආර්ථික වශයෙන් ශක්තිමත් වෙමින් සිටින රාජ්‍යයක් වුව ද ඉහත සංවර්ධන නිර්ණායකයන්ට අනුව ජන ජීවිතය සකස් වීමට ඔවුන් තව බොහෝ දුර යා යුතු ව තිබෙන්නේ ය.

එසේ ආර්ථික හා සංස්කෘතිකමය අතින් ශක්තිමත් මිනිසුන්ගෙන් සමන්විත රටක් සංවර්ධනය වූ රටක් ලෙස ගිණිය හැකි ය.

සංවර්ධනය මැණීම සඳහා ආර්ථිකය ප්‍රමාණවත් සාධකයක් නොවෙතත් සංවර්ධනය මණින සෙසු දර්ශක අතර ආර්ථික දර්ශකය ද ප්‍රධාන ය. ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදනය එවැනි එක් ආර්ථික දර්ශකයකි. එය පළමුවැන්න තරමට ම ඍජු ලෙස සංවර්ධනය අර්ථ නොගැන්වුවේ වුව ද ඒ දර්ශකයෙන් ඉදිරියට ඇති බොහෝ රටවල් මා සඳහන් කළ මුල් දර්ශකයෙන් ද සාපේක්ෂකව ඉදිරියෙන් සිටින බව පෙනෙනු ඇත. එයින් කියවෙන්නේ ආර්ථිකය අප කලින් සඳහන් කළ තත්වය ඇති කිරීමේ තීරණාත්මක කාර්යයක් කරන බව ය.

කලින් අප සඳහන් කළ නිර්ණායකය මැනීම පහසු නොවෙන නිසා ම ආදේශකයක් ලෙස බොහෝ දෙනා භාවිතා කරනුයේ දෙවැනි කී නිර්ණායකය ය. ඒක පුද්ගල දළ දේශීය නිශ්පාදනය ද ඒක පුද්ගල ශුද්ධ දේශීය නිශ්පාදනය ද එම අගයන් ඒ රට රටවල පාරිභෝගික මිල දී ගැනීමේ හැකියාවට අනුව සකස් කළ තෙවැනි හා සිව්වෙනි දර්ශකයන් ද ඇතැම් විට භාවිතා වෙයි. එයට හේතුව ඇතැම් සංවර්ධනය වූ රටක නගරයක නිවාසයක් මිල දී ගැනීම හෝ වෙනත් එවැනි අත්‍යවශ්‍ය දේ මිල දී ගැනීම වෙනුවෙන් ඊට වඩා අඩු සංවර්ධන මට්ටමක් සහිත වෙනත් රටක සමාන පහසුකම් ඇති තැනක මිල දී ගන්නවාට වඩා වැඩි මිලක් ගෙවන්නට සිදු වන නිසා ආදායම පමණක් සැලකීම යෝග්‍ය නොවන නිසා ය. ඒ ආදායමට ඇත්තට ම ලබා ගත හැක්කේ කුමන ජීවන තත්වයක් ද යන්න සංවර්ධනය මැනීමේ දී වඩාත් අදාළ වන නිසා ය.

තවත් නිර්ණායකයක් වන්නේ පරමායුෂ, සාක්ෂරතාවය සහ ඒක පුද්ගල දේශීය ආදායම යන නිර්ණායක එකතුවෙන් ගොඩ නගනු ලබන මානව සංවර්ධන දර්ශකය ය. පරමායුෂ රටේ සෞඛ්‍ය තත්වයත් සාක්ෂරතාවය රටේ අධ්‍යාපන තත්වයත් ආදායම ආර්ථික තත්වයත් පිළිබිඹු කරන නිසා ය.

ඉහත කරුණු අනුසාරයෙන් සංවර්ධනය යනුවෙන් අප අදහස් කරන්නේ කුමක් දැයි ඔබට තේරුම් ගන්නට පුළුවන් වනු ඇත. එය මුළුමණින් ම අල්ලා ගැනීම පහසු නොවූව ද එය කුමක් දැයි දැනෙන්නට ප්‍රමාණවත් යයි අපි සිතමු. ඔබට ද මේ සංවාදයට දායක විය හැකි ය. ඒ අපට හසු නොවුනු වෙනත් මානයන් දැන ගැනීමට අප කැමති නිසා ය. ඒවා සෙසු අය සමග බෙදා හදා ගැනීමට ද අප කැමති නිසා ය.

අපට අප මදි ය

See the source image

තනි පුද්ගලයෙකු හැම විටම දුර්වල ය. ඔහුට ඔහුගෙන් සෑහීමකට පත් විය නොහැකි ය. ඔහුට ඔහු මදි ය. ඔහුට අවශ්‍ය තමා වඩාත් ‌ශ්‍රේෂ්ඨ වඩාත් උත්කෘෂ්ට වඩාත් උතුම් දෙයකට කැප වී තමාගේ ඒ අඩුව පුරවාලීමට ය.

අපේ ජීවිතයේ එක් එක් අවදියේ දී මේ නිසා අපි එක් එක් දෙයකට කැප වන්නෙමු. කුඩා අවදියේ මෑණියන්ට ය. දෙමාපියන්ට ය. ඊළගට යහළු යෙහෙළියන්ට ය. ඊළගට ආදරයට ය. කෙනෙක් ආගමට ය. ජාතියට ය. රටට ය. තව කෙනෙක් දේශපාලනයට ය. තවෙකෙක් කලාවට ය. ඇතැම්හු ක්‍රීඩාවට ය. ඊළග අවදියේ දී රැකියාවට ය. වෘත්තියට ය. ඊළගට කුටුම්බයට ය. දරුවන්ට ය. සුරතල් සතුන්ට ය.

මේ අපට අප මදි නිසා ය.

මේවා අතරින් එකකට වඩා දේ ගැන කැප වෙන මිනිස්සු ද සිටිති. එහෙත් ඒ අතර ප්‍රමුඛතාවයන් තිබේ. මූලික යමක් තිබේ. ඒ තැන එක් එක් අවදියේ දී එක් එක් දේ වලින් පිරවේ.

මේ හැම විටකම පාහේ සිදු වන්නේ අපට හිමි යමක්, අපට උරුම යමක්, අප සතුටට පත් කරන යමක්, ඒ උත්තුංග අරමුණ වෙනුවෙන් අත් හැරීම ය. ඒ අපේ ධනය, අපේ සම්පත් හා වස්තුව, අපේ කාලය, විශේෂයෙන් අපට ම වෙන් වන විවේක කාලය, අප සතුටට පත් කරන නැටුම් ගැයුම් වැනි අවස්ථා හෝ අප කැමති ආහාර / බීම වැනි ඔ්නෑම දෙයක් විය හැකි ය. මෙහි දී අප කරන්නේ පරිත්‍යාගයකි. අහිමි කර ගැනීමකි. අත්හැරීමකි. පූජාවකි. පූජනීය වූ ඉලක්කය අභිලාෂය උදෙසා පෙරුම් පිරීමකි.

ගිහිගෙය අත්අරින ස්වාමීන් වහන්සේලා ද අවිවාහකව ඉන්නා කතෝලික පූජකයන් ද කරන්නේ පරිත්‍යාගයන් ය. නැටුම් ගැයුම් වාදනයෙන් විනිර්මුක්ත වන බවටත් බ්‍රහ්මචාරයේ හැසිරෙන බවටත් පිළිවදන් දෙන සිල් ඇත්තන් කරන්නේ ද පරිත්‍යාගයන් ය. දරු දෙදෙනා ජූජක බමුණාට පාවා දෙමින් වෙස්සන්තර රජ්ජුරුවන් කළේ ද “උතුම්” පරිතාග්‍යයන් ය. ඇඟේ කටු ගසා ඒවායින් එල්ලෙමින් ශරීරයට වද දෙන අය කරන්නේ ද පරිත්‍යාගයන් ය. කැපකිරීම් ය. පූජාවන් ය.

ඒ පූජාවන් තුළ ඔහු තමන් දෙවැනි තැනට පහළ හෙලීමට ඉදිරිපත් වේ. දණ ගහන්නට ඉදිරිපත් වේ. නමස්කාර කරන්නට ඉදිරිපත් වේ.

ඒ ක්‍රියාකාරිත්වය තුළ ඔහුට දැනෙනු ඇත්තේ ඔහු විමුක්තිය ලබන බව ය. යම් ආහ්ලාදයකට පත් වන බව ය. වෙන අයට ළඟා විය නොහැකි තත්වයකට උසස් කරනු ලබන බව ය.

මෙසේ අඩුව පුරවන දේ අතර ඉහළින් ම ඉන්නේ ආගම ය. කාලීනව වෙනත් දේ ඉදිරියට පැමිණියේ වුව ද ඒවා බොහෝ සෙයින් තාවකාලික වන්නේ ය. ආදරයට කරන කැප කිරීම බොහෝ තැනක විවාහයෙන් කෙළවර වන්නේ ය. දෙමාපියන්ට ඇති කැප කිරීම ඔවුන්ගේ මරණයෙන් අවසන් වන්නේ ය. දරුවන්ට ඇති කැප කිරීම ඔවුන් ලොකු මහත් වීමෙන් අවසන් වන්නේ ය. රැකියාවට ඇති කැප කිරීම විශ්‍රාම යෑමෙන් අවසන් වන්නේ ය. කලාවට ඇති කැප කිරීම අප අබල දුබල වීමෙන් අවසන් වන්නේ ය.

ආගමට එවන් අවසානයක් නැත. ඒ ආගමේ ඉලක්කය කිසි දා ළඟා කර ගත නොහැකි නිසා ය. මරණයෙන් මතු මිසක ළඟා කර ගත නොහැකි නිසා ය. අපට සිතන්නට පුළුවන් තාක් කල් එය පවත්වා ගෙන යා හැකි නිසා ය.

ඊට සමාන යමක් ඇත්තේ නම් ඒ දේශපාලනය ය. සමාජවාදය හෝ අපේ සිහින දේශය බිහි කිරිම ය. රට හා ජාතිය ගොඩ ගැනීම ය. ඒවා ද අපේ ඇස් මානයේ ළගා කර ගත නොහැකි ප්‍රපංචයන් ය. සාක්ෂාත් කර ගත නොහැකි ඉලක්ක ය. දේශපාලනය ද තවත් ආකාරයක ආගමක් වනුයේ ඒ නිසා ය.

විශාල කැප කිරීම් සඳහා විශාල භක්තියක් අවශ්‍ය ය. ප්‍රශ්න කිරීමෙන් තොර ඇදහීමක් අවශ්‍ය ය. එයින් අවසානයේ සිදු වන්නේ අපට අප ද නැතිවීම ය.

තනි බිස්නස් කාරයෙකුගේ වුවමනාව හා බිස්නස් ප්‍රජාවගේ (ධනපති පංතියේ) වුවමනාව

See the source image

තනි ව්‍යාපාරිකයෙකුට අවශ්‍ය විය හැක්කේ තම ලාභ රේට්ටුව ඉහළ දමා ගැනීමට ය. තරඟයෙන් ප්‍රතිවාදීන් පරයා ජය ලබා ගැනීමට ය. ඒ සඳහා ඔහු නිල හා නිල නොවන ක්‍රම පවා ඇතැම් විට අනුගමනය කරනු ඇත. නීතියට පිටින් ගොස් කටයුතු කිරීමට පවා පසුබට නොවනු ඇත. ඒ සඳහා පරිසරය දූෂණය කිරීම ලොකු ප්‍රශ්නයක් කර නොගන්නවා ඇත. කිසිවෙකුට හසු නොවන තාක් සෙසු ජනයාගේ වුවමනාවන් යටපත් කර දැමීමට වුව නොසළකා හැරීමට වුව ඔහු/ඇය ඉදිරිපත් වනු ඇත.

එවන් තැනක ඔහු ඉදිරිපත් කරන තර්කය වනු ඇත්තේ සෙසු ව්‍යාපාරිකයන් ද එය ම කරන නිසා තමන් එසේ නොකළහොත් තරඟයෙන් පැරද ඉවත් වීමට සිදු වන බව ය.

ඔහු ඇත්තටමත් විශ්වාස කරනු ඇත්තේ එය ම ය. පරිසරය විනාශ වීම ඔහුට ද බලපාන නිසා ය. සෙසු තරඟකරුවන් පරිසරය විනාශ කරන ක්‍රියා නොකරන තාක් ඔහු ද එසේ නොකරන්නට ප්‍රතිඥා දීමට පවා ඉදිරිපත් වීමට පුළුවන.

ඔහුගේ චෝදනාව එල්ල වනු ඇත්තේ රජයට ය. පරිසරයට සිදු වන හානියා වැළැක්වීම උදෙසා ව්‍යාපාර නියාමනය නොකරන රජයට ය.

සෙසු තරඟකරුවන් අල්ලස් දෙන තාක් තමන් එසේ නොකර සිටියොත් තරඟයෙන් පැරදීමට සිදු වන නිසා අල්ලසට එරෙහිව කටයුතු නොකිරීම ගැන ඔහු රජයට දොස් පවරමින් ම ඔහු තවදුරටත් අල්ලස් දෙනු ඇත්තේ ය.

ඔහුගේ හදවතට තට්ටු කර බලන්නේ නම් ඔහු අල්ලස් දීමට විරුද්ධ ය. එය නිකරුණේ කරන වියදමක් නිසා ය. අනවශ්‍ය වියදමක් නිසා ය. අල්ලස එන්න එන්නම වැඩි විය හැකි නිසා ය. තරඟය තුළ එය අසීමිත අගයක් ගත හැකි නිසා ය. ඒ නිසා ඔහු කැමති අල්ලස් නොදී සිටීමට වුව ද එසේ නොකොට ඔහුට පැවැත්මක් නැත. ඒ සෙසු අය අල්ලස් දෙන තාක් ය.

බොහෝ දෙනෙකු තේරුම් නොගන්නේ මේ සංසිද්ධිය ය. ඒ තනි ව්‍යාපාරිකයෙකුගේ වුවමනාව පවා ඇතැම් විට නීති ගරුක රටකට බව ය. පරිසර දූෂණයෙන් තොර ලොවකට බව ය.

ඇතැම් තනි ව්‍යාපාරිකයෙකු ඒ කිසිවක් තකන්නේ නැතිව කටයුතු කළේ වුව ද ව්‍යාපාරික ප්‍රජාවගේ වුවමනාව නම් නීති ගරුක රටකට හා පරිසර දූෂණයෙන් තොරව ලොවකට බව ය.

ධනේෂ්වර ක්‍රමයේ ප්‍රතිවිරෝධයන් සමනය වන්නේ මේ හේතු නිසා නොවන්නේ ද? සංවාදයට ආරාධනාවකි.

රන්ජන් සංසිද්ධිය – නළුවන් තරඟ කරන්නේ සෙසු නළුවන් සමග ය

Image may contain: 1 person, standing

රන්ජන් හිරේ යෑම සමහර නළුවන්ට දරා ගන්නට බැරිි ය. ඒ රන්ජන්ට අත් වූ ඉරණම ගැන දුකට නොවේ. ඉරිසියාවට ය.

නළුවන්ට කොහොමටත් තරඟයක් ඇත්තේ සෙසු නළුවන් සමග ය. විජය කුමාරතුංග මරා දැමුයේ තවත් නළුවෙකුගේ නියෝගයකින් බව බොහෝ දෙනෙකුගේ මතය ය. නළුවෙකු කීවාට ඒ වේදිකාවේ හෝ රිදී තිරයේ නළුවෙකු නොවේ. දේශපාලන නළුවෙක් ය.

ඒ නියෝග දුන් තැනැත්තාට වඩාත් අවුල තිබුනේ විජය කුමාරතුංගගේ මුහුණ සමග ය. එය විකෘති වනසේ වෙඩි තියන්නට නියෝග දුන්නේ ඒ නිසා ය.

වීරයන් අහිමිව සිටි මිනිසුන්ට රන්ජන් වීරයෙක් විය. ඔහුගේ කටට බ්රේක් තිබුනේ නැත. ඔහු හිතෙන දේ ඒ හැටියට කීවේ ය. ඔහු සිල් ගත්තේ නැත. ඔහු පෙනී සිටි බොහෝ දේ වෙනුවෙන් සැඟවී නැතිව එලිපිට පෙනී සිටියේ ය. එහි සුදු කළු ඔහුට ප්‍රශ්නයක් වූයේ නැත. ඔහුට චරිත දෙකක් තිබුනේ ද නැත.

රන්ජන් සමාව නොඉල්ලා හිරගෙදර තෝරා ගැනීම එසේ කරන්නට ගටක් නැති අප හැමෝම අතරමං කර ඇත්තේ ය. වැඩියෙන්ම අනාථ වී ඇත්තේ වීරයන් වෙන්නට හිටි අය ය. ඒ වීරත්වයේ ධජය ඩැහැ ගැනීම ගැන ය.

විරුවන් වන්නට පෙරුම් පුරමින් සිටි නළුවන් කවුදැයි දැන ගැනීමට ඔබ කළ යුත්තේ රන්ජන්ගේ රංගනයට බණින අය කවරේදැයි සොයා බැලීම ය. ඒ අය නම් කිරීීීමට අප කරදර වන්නේ නැත. දැනටම ඔවුන් තමන් විසින් නිරාවරණය කර තිබෙන නිසා ය.

ගෝලීය ප්‍රශ්නයන්ට විසඳුම් – අතීතයෙන් නොව අනාගතයෙන්

See the source image

පොලිතීන් හා ප්ලාස්ටික් ලෝකය පුරා ව්‍යාසනයක් මෙන් පැතිර යන්නේ ය. එය මිනිසාට පමණක් නොව සත්ත්වයන්ට ද සමස්ත ජෛව ගෝලයට ද අපමණ හානි සිදු කරමින් පැතිර යන්නේ ය. ගෝලීය උණුසුම විසින් ඇති කරන කාලගුණ විපර්යාසයන් ද ඒ අතරේ අපට ද සතුන්ට ද පරිසරයට ද බැට දෙමින් සිටින්නේ ය. මේ ගෝලීය ප්‍රශ්න සියල්ල සංවර්ධනයේ අතුරු ඵලයන් ය.

මේවාට විසඳුම් සොයන්නට හදන සමහරු නවතින්නේ අතීතයේ ය. වැඩි යමක් නොතිබුණු සරල සුන්දර අතීතයේ ය. යෝජනා එන්නේ ඒ අතීතයට යන්නට ය. සංවර්ධනයට තිත තියන්නට ය.

කනගාටුවට කාරණය නම් එහෙම හැකියාවක් නැති බව ය. තවමත් ජීවන මට්ටමෙන් ඉතා පහළ අඩියක ඉන්නා මිනිසුන්හට නම් එයින් සුගතියක් අත් වන්නේ ම නැත.

මේ ප්‍රශ්නයන්ට පිළිතුරු සඳහා අප ආ ගමන් මග දෙස නැවත හැරී බැලිය හැකි ය. අතීතයේ දී සමාන ප්‍රශ්න අප ජය ගත්තේ කෙසේදැයි විමසිය හැකි ය.

දඩයමෙන් ජීවත්වීම අමාරු වන විට මිනිස්සු බව භෝග වගාව ද සතුන් හීලෑ කර ඇති කිරීම ද තෝරා ගත්තෝ ය. ඒ සඳහා උදව් වුනේ තාක්ෂණය ය. ආයුධ හා මෙවලම් ය. අත්හදා බැලීම් ය.

ජනගහණය වැඩි වන විට කෘෂිකර්මයෙන් ලැබෙන අස්වැන්න ප්‍රමාණවත් නොවී ය. මිනිස්සු වඩා හොඳ අස්වැන්නක් දෙන බීජ නිපදවන්නට පටන් ගත්හ. උදව්වට ආවේ විද්‍යාව හා තාක්ෂණය ය. පර්යේෂණ හා අත්හදා බැලීම් ය.

දිනෙන් දින ඉහළ යන ජීවන අපේක්ෂා වෙනුවෙන් තිබෙන ඛනිජ තෙල් නිධි ප්‍රමාණවත් නැතැයි හැඟී යන විට ද වායුගෝලීය උණුසුම පිළිබඳ සාකච්ඡා උණුසුම් වෙන විට ද මිනිස්සු වැඩි වැඩියෙන් පුනර්ජීවන බලශක්තීන් සොයා ගිය හ. අවසානයේ කෙළින් ම සූර්යාගෙන් ම ශක්තිය ලබා ගැනීමට ඔවුහු පෙළඹුනාහ. පොලීතීන් ප්ලාස්ටික් අපද්‍රව්‍ය වලින් ලෝකය පිරී යන විට මිනිස්සු වැඩි වැඩියෙන් ප්‍රතිචක්‍රීකරණයට යොමු වූහ. මේ සියලු කටයුතු සඳහා අනුග්‍රහය ලැබුණේ විද්‍යාව හා තාක්ෂණයෙන් ය. වැඩි වැඩියෙන් කරනු ලැබූ පර්යේෂණ හා අත්හදා බැලීම් හරහා ය.

එයින් කියන්නේ මේ දැවැන්ත ගෝලීය ප්‍රශ්න විද්‍යාඥයන්ට හා තාක්ෂණයට බාර දී සෙසු මිනිසුන් අත් වැල් බැඳ ගෙන සිටිය යුතු බව ද? නැත. ඒ පර්යේෂණ සඳහා සම්පත් අවශ්‍ය ය. අනුග්‍රහය අවශ්‍ය ය. ඉඩ හසර අවශ්‍ය ය. මේ ප්‍රශ්න ගැන ජනතාව සංවේදී වූ තරමට ඒ ප්‍රශ්න අවසන් කරන ලෙස වගකිවයුත්තන්ට බල කෙරෙන තරමට මේ අත්හදා බැලීම් සඳහා වඩා වඩාත් අනුග්‍රහ ලැබෙනු ඇත.

එහෙත් අතීතයට යන අය අල්ලා ගන්නේ ම වැරදි කොනකිනි. හැම නව දෙයක් දිහා මත් ඔවුන් බලන්නේ සැකයෙනි. ජාන තාක්ෂණය භාවිතය සම්බන්ධයෙන් මිනිසුන් තුළ අවුළුවන ලද බිය මේ අතීතකාමීන්ගේ මැදිහත් වීම් වල ප්‍රතිඵල ය.

සැක කිරීම එකකි. එය බියකට පරිවර්තනය කිරීම හා ඒ බිය පතුරුවමින් නව හැම දෙයකට ම විරුද්ධව මිනිසුන් පෙළගැස්වීම තවත් එකකි.  

මේ ගැන සටහනක් ලියන්නට සිතුණේ ලොව ප්ලාස්ටික් අර්බුදයකට විසඳුමක් ලෙස ප්‍රතිචක්‍රීකරණය කරන ලද ප්ලාස්ටික් වලින් අප්‍රිකාවේ රටවල් කීපයක ආදර්ශ නිවාස සැදීමේ ව්‍යාපෘතියකට නොර්වේජියානු සමාගමක් එක්සත් ජාතීන්ගේ ජනාවාස කොමිසම සමග එක්ව දියත් කරන්නට යන ව්‍යාපෘතියක් සම්බන්ධයෙන් ඇති වූ සංවාදයක් නිසා ය. මගේ ඇතැම් මිතුරෙකු ඒ දෙස බැලුවේ බටහිර රටවල් විසින් සිය අපද්‍රව්‍ය අප්‍රිකාව වැනි අසරණ රටවල්වලට පැටවීමේ කුමන්ත්‍රණයක් ලෙස ය. තව මිතුරෙකු සැක පහළ කළේ ප්ලාස්ටික් නිවාස සෞඛ්‍යයට නුසුදුසු විය හැකිය යන පදනමේ පිහිටා ය.

අපට මග හැරිය‌ නොහැකි සත්‍යයන් කීපයක් තිබේ. ඒ ලෝක ජනගහණය තවදුරටත් වැඩි වෙමින් තිබෙන බව හා එය තව කලකට අඩු වීමේ ඉඩක් නැති බව ය. ‌දැනට පහළ මට්ටමේ ජීවිත ගත කරන මිනිසුන් වැඩි වැඩියෙන් එයින් මිදෙමින් පවතින බව අනෙක ය. ඔවුන් ද සෙසු මිනිසුන් විඳින දේ ඉල්ලා සිටිනු ඇත්තේ ය. ඒ නිසා ම බලශක්තිය ද ප්ලාස්ටික් ද පොලිතීන් ද සම්බන්ධයෙන් ඉල්ලුම තවදුරටත් ඉහළ යනු ඇති බව ය.

අප කළ යුත්තේ සංවර්ධනය නැවැත්වීමට හෝ අතීතයට යෑමට උත්සහ කිරීම නොවේ. අලුත් අභියෝග ජය ගනිමින් ඉදිරියට යෑමට ය. ඒ සඳහා තාක්ෂණය හා විද්‍යාව යොදවා ගන්නට බලාධිකාරයට බල කර සිටීම ය. පරිසරයට හා මිනිසාට අවම හානියක් ගෙන දෙන බලශක්ති හා අමුද්‍රව්‍ය සොයා යෑම ය. අප සංවාදයට මග පෑදූ ඒ සොයා ගැනීම ද එබන්දකි.

අද දවසේ කෙරෙමින් පවතින්නේ ද අවම හානියක් දෙන බලශක්ති හා අමුද්‍රව්‍ය සොයා යෑම ය. අප කළ යුත්තේ එහි වේගය වැඩි කිරීමට අනුග්‍රහයන් සැපයීම ය. හානිකර ප්‍රයත්නයන්ට බදු පනවමින් ඒවා අඩාල කරන අතරේ ඒ බදු මුදල් වඩා යහපත් දේ සොයා ගැනීම සඳහා යොදවන ලෙස ආණ්ඩුවලට බල කර සිටීම ය. කනගාටුවට කාරණය නම් බොහෝ දෙනෙකු කැමති මේ ප්‍රශ්න එලෙස ම තිබෙනවා දකින්නට ය.  අවුල ඇත්තේ එතැන ය.


 

කන්නලව්ව

Image result for worshippiing hindu god

දේව ප්‍රතිමාව ඉදිරියේ දණින් වැටුනු මිනිසාගේ මුවින් පිටවූයේ බලවත් අදෝනාවකි. පුද්ගලයා අදුනාගත නොහැකි තරම් ඈත සිටින කෙනෙකුට වුව ඔහුගේ හැසිරීමෙන් හා නැගෙන අදෝනාවේ ස්ව‍රයෙන් එහි ඇති බරපතල කම හදුනා ගත හැකි වනවා නොඅනුමාන ය. හිස කෙස් කඩා දමමින් ද පපුවට ගසාගනිමින් ද ඔහු සිය කථාව වරෙක වේගවත්ව ද වරෙක නෑසෙන සිහින් ස්වරයකින් ද කියවා ගෙන ගියේ ය.

ඇයි දෙයියනේ මාව මේ ලෝකෙට බිහිකළේ? යැයි දැඩි ස්වරයෙන් නැගුණු අභියෝගාත්මක ප්‍රශ්නයෙන් මම මදක් පසුපසට විසිව ගියෙමි. දෙවියන් පවා ඉන් ගව්වක් දෙකක් ආ පස්සට විසිව ගියේ නැත්නම් ඒ පුදුමයෙකි. මද නැවතීමකින් පසු ඔහු නැවතත් යාදින්න පටන් ගත්තේ ය.

මං පුංචි සන්දියෙ ඉදන්ම දෙමාපියන්ට කීකරු වෙලා හිටිය. තාත්තා කසිප්පු ගොන්නක් බීලා ගෙදර ඇවිත් රණ්ඩු කරද්දිත් ගුටිබැට දෙද්දිත් මම තාත්තට වැන්ද. උන්දෑ කියන දේකට පිටින් ගියේ නෑ දෙයි හාමුදුරුවනේ.

ස්කොලෙදි වෙන එකෙකුගේ වැරැද්දකට කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතිව උද්ධච්ඡ ගුරුවරයෙක් මට දවසක් නොසෑහෙන්න තැලුව. ඒත් මම කරබාගෙන ඉවසුව හාමුදුරුවනේ. අපට බොරුකරපු අපට තළලා සන්තෝස වුනු ගුරුකමට නිගා දුන්නු ගුරුවරුන්ටත් මම නමස්කාර කළා හාමුදුරුවනේ.

ගුරු‍න්ගෙන්වත් දෙගුරුන්ගෙන් වත් හරිහැටි මග පෙන්වීමක් ලැබුනෙ නැති නිසා ද එහෙම නැත්නම් මගේම කාළකන්නි කමට ද මන් දන්නෙ නැහැ මට ඉහළට ඉගෙන ගන්න ලැබුනේ නැහැ.

රස්සාවක් නැතිව ළතවෙද්දි රස්සාවක් දෙනවැයි කිව්ව දේශපාලන ලොක්කො පස්සෙ මාත් ගියා හාමුදුරුවනේ. උන්දැලගේ ඔක්කොම කිළුටු මං ‍හේදුවා. උන්ට ප්‍රශස්ති කිව්වා. උන්ව කරපිටේ තියාගෙන ගියා. අන්තිමේ දි කතිරෙත් ගහල මගේ විතරක් නෙවෙයි තව කීපදෙනෙක්ගේ කතිරෙත් උන් වෙනුවෙන් ගහල ‍උන්ව බලයට පත් කරන්න දර දිය ඇද්දා. මිනිහ දින්න. බලයට පත්වුනාට පස්සෙත් උගේ බැලමෙහෙවරකම් මුරකාරකම් හයිකාරකම් ඔය ඔක්කොටම මාත් සහභාගිවුනා.

අරක්කු බෝතලේට රුපියල් පනහට සීයට මම ඒ උන්දැට මගේ ආත්මය වික්කා. මම හිතුවෙ මට රස්සාවක් ලැබෙනවනම් ජිවත්වෙන්න ආදායමක් ලැබෙනව නම් කමක් නැහැ කියලයි.

දේශපාලකයෝ කොල්ලො කෙල්ලො දඩයම් කරන කොටවත් උන් කරන්නේ වැරැද්දක්ය කියල හිතන්න මට ශක්තියක්වත් ඕනෑකමක්වත් තිබ්බේ නැහැ. මට දැනටමත් ලැබෙන ලාභ ප්‍රයෝජනවලින් විතරක් නෙවෙයි ඉස්සරහට ලැබෙන්න යන ජොබ් එකෙනුත් මම අන්ධ වෙල හිටියෙ.

මම කරන්නේ වැරැද්දක්ය කියල හිතුන වාරත් තිබුන. ඒත් තව ගොඩක් අයත් ඒක කරනවය කියල මම හිත හදා ගත්ත. ස්ත්‍රී දූෂණ මිනීමැරුම් වංචා දූෂණ යන ඔය ඔක්කොටම ප්‍රසිද්ධවෙල හිටිය මගේ දේශපාලන හාම්පුතාට මිනිස්සු ගිහිල්ල පෝලිමේ චන්දෙ දුන්න. ඉතින් මං විතරක් ඌට විරුද්ධවෙල මක්කරන්න ද? ඒ වෙලාවලට එහෙම හිතල මම හිත හදා ගත්ත.

මට අන්තිමේ රස්සාවක් ලැබුන. ඒත් ඒක ලැබෙන කොට මට ගොඩක් දේ අහිමිවෙලයි තිබුනෙ. වෙන එකක් තියා මට හිතන්න ශක්තියක්වත් ඉතුරුවෙල තිබුනෙ නැහැ. අණ දෙනවනම් පිලිපදින්නත් නැත්නම් නිකම් ඉන්නත් මම පුරුදු වුනා. මගේ හිතේ වරින් වර මතුවන පිළිකුළ මම මැඩගත්තේ බීල. නැත්නම් ගෑණීයෙක් හොයා ගෙන ගිහිල්ල බලෙන් හරි සල්ලි වලට හරි මගේ ඇග නිවාගෙන.

ලංකාවෙ මිනිස්සු මේ තරම් බොන්නෙ උන්ගෙ ජීවිත ඇතුළෙන් මතුවන ජුගුප්සාව සමහන් කොරගන්නය කියල පන්සල්වල ඉන්න හාමුදුරුවොවත් පල්ලියෙ ස්වාමියොවත් දන්නෙ නැතුව ඇති. මත්පැන් ප්‍රචාරය තහනම් කරල බාර් වහල අපිව මේ උවදුරෙන් ගලවගන්න ඒ අය කල්පනා කරනවා ඇත්තෙ ඒ හින්දා වෙන්න පුලුවන්. ඒත්මං දන්නව මගේ තියෙන කාළකන්නි හිස් බාවය මං පුරවගන්නෙ බීලා කියල. බිව්වෙ නැති දාට හිතන්න වෙනව. එක භයානකයි හාමුදුරුවනේ. එතකොට අතීතයෙ බියකරු අවතාර පේන්න ගන්නවා. මට ඒවත් එක්ක හැප්පෙන්න ශක්තියක් නැහැ.

කියපු නිසා මං කොළා. අනිත් එවුනුත් කරපු නිසා මාත් කොළා. මං ඒ දවස්වල හිතහදාගත්තෙ එහෙමයි.

ඒත් නොබී ඉන්න කොට මගේම ආත්මය මට කරදර කරනව. ඇයි කියපු නිසා කොළේ උඹටයි කියල මොළයක් තිබුනෙ නැත් ද ඇයි අනුන් කරපු නිසා කොළේ. උඹ රූකඩයක් ද? ඔය වගේ දාහක් ඕන නැති ප්‍රශ්න ඔලුවට එනව. ඒවා මාව හෙම්බත් කොරෝනව. එතකොට මට සියදිවි නහගන්න හිතෙනව. ලංකාවෙ මිනිසුන් බොන එකෙන් විතරක් නෙවෙයි සිය දිවි නහ ගන්න එකෙනුත් ලෝක වාර්ථාව තියන්න ඇත්තෙ ඒ නිසා වෙන්නැති.

අනිත් එවුන් කරන හැම දෙයක්ම කරන මම ඇයි සියදිවිනහගැනීමට විතරක් පහුබාන්නේ. ඇත්තම කියන්න දෙවියනේ අද මගෙ ලග මැහි තෙල් කුප්පියක් ගන්න තරමටවත් පිච්චියක් නැහැ. මැරෙන්න වුනත් ඕනවට වඩා දගලන්න මං ලෑස්ති නැහැ. අමාරු දේ කරලා පුරුද්දක් මට ඇත්තෙත් නැහැ. මේවා අහන ඕන කෙනෙක් කියයි මට පිස්සුයි කියල. මෙහෙම ගියොත් වැඩියෙන්ම පිස්සන් ඉන්න රට හැටියටත් අපේ රට කිරුළු පළදින්න පුළුවන්. මිනීමරාගන්නා එකෙත් වීරත්වයක් තියෙනව. බොන එකත් සිංහ පදමට එන්න බොන්න පුලුවන් නිසා පුංචි වීරත්වයක් ආරූඩ කර ගන්න පුලුවන්. සියදිවිනසා ගැනීම, ඒකත් තරමක් වීරකමක් හැටියට අමාරුවෙන් තර්ක කරල පෙන්නල දෙන්න පුලුවන්. ඒත් පිස්සු වැටීම මොනම විදිහකටවත් වීර ජාතියකට ගැලපෙන්නෙ නැහැ. ඒ නිසාම අපේ මිනිස්සු බය වෙන්න පුලුවන්.

මං පුංචි කාලෙත් බයෙන් පීඩිතව සිටි ළමයෙක්. වැඩිහිටියෙක් හැටියට මං බොහෝ දෙනෙක්ව බයෙන් මුසපත් කරගෙන හිටපු මිනිහෙක්. ඉතින් බයවීම වගේම බය කිරීමත් මගේ ජීවිතයට එක වගේම හුරු යි.

දෙවියනේ මම ඔබතුමාව බියගන්වන්න හදනව නෙවෙයි. ඔබ ඇයි මේ සසල වෙලා. ඔබතුමා හොදටම වෙව්ලනව. ගලක් වගේ කිසිදෙයකට සංවේදී නොවූ ඔබ නිකම්ම මැටි පිළිමයකැයි මා සිතුවා. මගේ ජීවිතයට අධ්‍යත්මික පිටුවහලක් ඕන කරන වෙලාවෙ ඔබතුමා මග හැරිය. ඔබතුමා පිළිමයක් වගේ නිසොල්මනේ හිටිය. ඔබ මහා කම්මැලියෙක් ලෙසයි මා දුටුවේ.

පහුගිය දවස්වල අපි සෙල්ලමට වගේ විසිකළ බෝම්බයකින් පමණක් ඔබ සෙලවිය හැකිවනු ඇතැයි මා සිතුවා.

දැන් සසල වීම තේරුමක් නැහැ. සසල වන්නේ නැති කෙනෙකුට මගේ අදෝනාව කියන්නැයි මට ඕන කළේ. කරුණාකර අතීතයේ කළාක් මෙන් නිශ්ශබ්දව මා කියන්නක් අසන්න.

මට අඩන්න ඕනෑ…. ඒත් ඒක කරන්න හැටියක් නැහැ…දෙවියනේ හෙලන්න සුසුම් මට නැහැ…ඒ සියල්ල යුද්ධයෙන් තම දූ පුතුන් මියගිය අම්මලා විසින් රැගෙන ගොහින්…

මගේ කදුලු මට අහිමිව ගිහින්. යුද්දයෙන් මියගිය සෙබළුන්ගෙ අඹුදරුවන් ඒවා සොරාගෙන..

ඉතින් දෙයියනේ මම මොකද කරන්නෙ? මම හැමදාම මේ අසාධාරණ ප්‍රශ්නෙට උත්තර බලාපොරොත්තු වුනේ අනුන්ගෙන්. හිතන්න කම්මැලි අනෙක් හැම එකෙක්ම වගේ..

මං ළගට ආවේ ඇයි කියල ද ඔය අහන්න හදන්නෙ? ඔබතුමාට කරන්න පුලුවන් ඉටිගෙඩියක් නැති බව මං දන්නව. ඒත් මං වෙන කවුරුන් ලගට යන්නද දෙවියනේ!!!

ඒ අවසන් වදනත් සමගම මිනිසා දේව ප්‍රතිමාව ඉදිරියේ සිහිසුන්ව ඇද වැටුණි. මම තරමක් ලංවී අසරණයා කවුරුන්දැයි හදුනාගන්නට තැත් කළෙමි. දුටු දර්ශනයෙන් මම වික්ෂිප්ත වීමි. අන්දමන්ද වීමි. අසරණ වීමි. මට මා විශ්වාස නැත. සැක හැර දැන ගැනීමට මම වඩාත් නැඹුරුව බැලීමි. ඔබ විශ්වාස කරනු ඇත්දැයි මම නොදනිමි.

ඒ වැටී සිටියේ අපගේ ජාතියේ අධ්‍යාත්මයයි.

සෙක්කුව

https://i0.wp.com/www.dinamina.lk/sites/default/files/news/2019/12/23/Untitled-1dfe.jpg

සෙක්කුව කැරකෙන්නේ එක තැන ය. එහෙම කිව්වහම හරියට ම හරි නැත. එය නිශ්චලව නොපවතින නිරන්තරයෙන් කැරකැවීමට භාජනය වෙන නිසා එසේ කීම හරියටම හරි නැත. එසේ වුව ද එය වැරදිත් නැත. එය ගමන් කරන මුත් එයට එහෙමට ගමනක් නැත. අවසානයේ පෙනෙනු ඇත්තේ එය එක තැනම පල්වෙන එකක් බව ය. එයින් කළ හැකි එකම කාර්යය තෙල් හිඳ ගැනීම ය.

අපේ රටේ ගමන් මග ද ටිකක් ඒ වගේ ය. එය ගමනේ යෙදෙන මුත් ටික දුරක් ගොස් බැලූ විට පෙනෙන්නේ කැරකී ඇත්තේ එක ම තැන බව ය.

අපට ටී ජි ඩබ්ලිව් සිල්වා යන නමින් ලේඛකයෙකු සිටියේ ය. ඔහුගේ ලේඛන කලාවට නොමඳ උපහාසය ද හරි හරියට එක් වී තිබුනේ ය. 1939 තරම් ඈත දී දිනමිණ පුවත්පතට සතර වරම් දෙව් රජුන් ලක්දිවට බැසීම නමින් පළ වූ කෙටි කතාවක් මගින් ලංකාවේ බෞද්ධ භික්ෂූන් ද උපාසික උපාසිකාවන් ද ඔහු දක්වා තිබුනේ ධර්මය පිලි නොපදින, සැප සම්පත් ම හොයන, බොරුවෙන් ජීවත් වන, අය ලෙස ය. කතාවේ හැටියට එය සතර වරම් දෙවියන් ලංකාවට බැස තමන් ම පන්සල්, භික්ෂූන් හා උපාසික උපාසිකා ඇසුරෙන් ලද  අත්දැකීමෙන් ම සොයා දැන ගෙන තිබෙන්නකි. එයින් වසර 80 ට පසු, අද 2019 දී ද, අපට කියන්නට සිදු ව ඇත්තේ ද අඩුවැඩි වශයෙන් ඒ කතාවම ය. අසරණ වූ අයට පිටුපා බලයම වන්දනා මාන කරන බහුතරයක් භික්ෂූන් වහන්සේලාගේ හා බෞද්ධයින්ගේ හැටි ස්වභාවය පිළිබඳ එම කතාව අද කිව්වා නම් සමහර විට ඔහු ඉතිරි වන එකක් නැත. ඔහු අවලාද වලින් ද අවමන් වලින් ද නාවනු ඇත. හිරේ විලංගුවේ දමනු ඇත. නඩු පවරනු ඇත. අදත් එදාත් අතර වෙනසක් ඇත්නම් සිදු ව ඇති වෙනස එපමණ ය. ඒ එදාටත් වඩා අද අප පල්ලම් බැස තිබීම ය.

ධර්මය ප්‍රචාරය කරමින් බුදුන්ගේ මග යන සංඝයා වහන්සේලා අද නැතුවා නොවේ. ඒ එදා හිටි තරමට ය. ඒ අය එදා සිටියේ ද අද සිටින්නේ ද අතලොස්සකි. අප රට වැටී ඇති අගාධයෙන් ගොඩ ගන්නට එහෙම කුඩා පිරිසකට හැකි වේ දැයි යන්න ප්‍රශ්නයකි.

අප මේ බුදු පුතුන්ගේ එක තැන පල්වීම දක්වන්නේ විශේෂ කරුණක් නිසා ය. ඒ සෙසු ආගම්වල අය ඔවුන් තමන්ගේ ලොකු අයියා ලෙස හැඳින්වීමට කැමති නිසා ය. ඔවුන් ගන්නා මග සෙසු ආගම් භක්තියකන්ගේ ජීවිතවලට ද ඒ නිසා ම රටට ද බලපාන නිසා ය. ඔවුන් එක තැන පල්වීම රට එක තැන පල්වීමකට බල පෑ හැකි නිසා ය.

සියල්ල දත්

ඊට අමතරව බුද්ධාගම ගැන පමණක් නොව ඉන් බාහිර කරුණු අනෝරාශියක් ගැන ඔවුන්ට අදහස් තිබෙන නිසා ය. ග්ලයිපොස්පේට් පොහොර සම්බන්ධයෙන් ද කිරිපිටි සම්බන්ධයෙන් ද ගිලන් රථ සම්බන්ධයෙන් ද කාන්තාවන් අඳින ඇඳුම් සම්බන්ධයෙන් ද ගෘහ ජීවිතය ගත කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද ලිංගික එක් වීමක දී බිරිඳ ක්‍රියා කළ යුතු ආකාරය සම්බන්ධයෙන් ද රජය අත්සන් කරන ගිවිසුම් සම්බන්ධයෙන් ද යන විවිධ දේ සම්බන්ධයෙන්, ඒ ඒ ක්ෂේත්‍රයන්වල කටයුතු කරන ප්‍රමාණික බුද්ධිමතුන්ට පවා නැති, කරුණු කාරණා ඔවුන් දන්නා බවක් පෙන්වන නිසා ය. ඒවා ගැන පමණ ඉක්මවා ක්‍රියාත්මක වන නිසා ය. පොඩ්ඩ බැරි වුන ගමන් උපවාස කරන නිසා ය.

එහෙත් ධර්ම කාරණා සම්බන්ධයෙන් සිදු වන සාකච්ඡා නැති තරම් ය. ඔවුන් විසින් කියන හා නොකියන කතා ඇසූ කෙනෙකුට සිතෙනු ඇත්තේ ධර්මය හැරුණු කොට සෙසු සියල්ල ඔවුන් විසින් හදාරා ඇති බව ය.

සිවුරට ඇති බලය සුළුපටු නොවේ. මිනිසුන් කියන්නේ තමන් වඳින්නේ සිවුරට මිසක එය පොරවා ගෙන ඉන්නා සිරුරට නොවන වග ය. ඒ නිසා ම පැරණි පසුගාමීත්වයම මේ සිවුරේ එතී ඇත්නම් අගාධයට යනුයේ බුදු දහම හෝ සංඝ ශාසනය පමණක් නොවේ. මුළු රටම ය.

සංඝයා වහන්සේ ද බෞද්ධ උපාසික උපාසිකාවන් ද තේරුම් ගත යුතු කාරණය නම් බුද්ධාගමේ ආරක්ෂාව තිබෙන්නේ බුදු බණට අනුව තමන්ගේ සිත කය වචනය සංවර කර ගැනීම තුළ බව ය. එහි පරිහානිය ඇති වන්නේ පිටින් එන ආක්‍රමණයන්ගෙන් නොව ඇතුළතින් කුණු වීම තුළ බව ය.

ඒ නිසා ඔවුන් කළ යුත්තේ තවදුරටත් මීට දශක ගණනාවකට ඉහත අනගාරික ධර්මපාල තුමන් සුදු ආණ්ඩුවක සන්දර්භය යටතේ කියූ දෑ නැවත වමාරන්නේ නැතිව අලුතින් ලෝකය දෙස බැලීමට උගෙනීම ය. සර්වකාලීන සත්‍යය බුදු දහමේ ඉගැන්වීම් තුළින් තෝරා බේරා ගෙන, ඒවා වත්මන් සන්දර්භයට යොදා ගැනීම ය.

බුදුන් වහන්සේ ධර්මය දේශනා කළේ බිඳුනු තුවාල වුනු සිත් සුවපත් කරනු පිණිස ය. අද දවසේ බහුතර භික්ෂූන් වහන්සේලා කටයුතු කරන්නේ බලය වන්දනා කිරීමටත් ඒ හරහා වරප්‍රසාද ලබා ගැනීමටත් ය. ඔවුන් කරන්නේ ඒ උදෙසා ධර්මය විකෘති කිරීම ය. මිනිසුන්ගේ සිත් බිඳවීම ය. උන්ගේ සිත් තවදුරටත් තුවාල කිරිම ය. තිබෙන තුවාල පෑරීම ය.

කාක දූපත හා බගලවතී ස්කෝලෙ හාමිනේ ගැන ලියූ ටී ජී ඩබ්ලිව් සිල්වා ලංකාවට හතර වරම් දෙවිවරුන් “වැඩම කරවමින්” මීට දශක අටකට පෙර කළ හෙලිදරව්ව අද ද එලෙසම අදාළ වනවා පමණක් නොව, එය අද වන විට වඩාත් උග්‍ර අතට ද හැරී තිබෙන බව, බෞද්ධයින්ගේ සැළකිල්ලට භාජනය විය යුතු ය.

මෙය තේරුම් ගැනීම පමා කිරීමෙන් සිදු විය හැකි එකම දේ නම් උගත් හා බුද්ධිමත් තරුණ-තරුණියන් ආගමෙන් ඈත් වීම ය. උන්ට ආගම තිත්ත වීම ය. ආගමට අතීතයක් මිස අනාගතයක් නැති වීම ය. සෙක්කුව එක තැන දැනට කැරකෙතත් ඉස්සරහට මේ සෙක්කුව ම ඉතිහාසයේ කුණු බක්කියට ඉක්මණින් තල්ලු වී යෑම ය.

මෙය අදාළ වන්නේ බුද්ධාගම සම්බන්ධයෙන් නොවේ. අප ජිවිතවලට බලපාන බොහෝ දේට ද මේ සෙක්කුවේ උපහැරණය අදාළ ය.

හැම තැන ම සෙක්කු

සිංහල දෙමල වාර්ගික විරසකයේ අතීතය හාරා බැලුව ද අප දකින්නේ ඒ කතාව ම ය. දෙමල ජනතාවගේ සාධාරණ ඉල්ලිම් ලබා දීමට දකුණේ කිසියම් ආණ්ඩුවක් ඉදිරිපත් වූයේ ද විරුද්ධ පක්ෂය විසින් බෞද්ධ භික්ෂූන් වහන්සේලා ඉදිරියට දමා ගෙන, ජවුසම් නටා, ඒවා නවතා දැමුනේ ය. ආණ්ඩුවේ පාට එහි දී වෙනසක් පෙන්නුම් කළේ නැත. එක වරක් විරුද්ධත්වය ඉදිරිපත් වූයේ බණ්ඩාරනායකට ය. ඊළග වතාවේ එය ඩඩ්ලිට ය. තෙවැනි වතාවේ එය ජේ ආර්ට ය. සිව්වෙනි වතාවේ එය චන්ද්‍රිකාට ය. පස්වෙනි වතාවේ එය රනිල්ට ය. ඊළග වතාවේ එය රාජපක්ෂ කෙනෙකුට වුව විය හැකි ය.

රට තුළ හිටි හැටියේ මතුවන ආගමික ගැටුම් ද, ඉතිහාසය නැවත නැවතත් ඒ ආකාරයෙන් ම වාගේ සිදු වන බවට, තව උදාහරණයකි. සිංහල මුස්ලිම් කෝලාහල ආගමික ගැටුමක් ලෙස ආරම්භ වූ බවට වාර්ථා වන්නේ 1915 දී ය. ඒ සිංහලයන් සංවිධානය කරන ලද පෙරහැරක්, පල්ලියක උත්සවයක් පැවැත්වෙන අතරතුර, ඒ පල්ලිය ඉදිරියෙන් ගමන් කරවීමෙන් ඇවිල ගිය ගැටුමකි. ඒ සුද්දාගේ ආණ්ඩුව තිබුන කාලයේ ය. පෙරහැර සඳහා බලපත්‍රයක් නිකුත් කර තිබූ නමුත් ඒ බලපත්‍රයේ කොන්දේසි අනුගමනය නොකිරිම හේතුවෙන් ආරවුල කැන්දා ගනු ලැබූ බවට කතාවක් ද පවතින්නේ ය. ගැටුම් මග හරිනවා වෙනුවට, ගැටුම් සොයා ගෙන යෑමේ පුරුද්ද, අද පමණක් නොව, එදා ද පැවති බව කරුණු සොයා ගෙන යන විට පෙනෙන්නේ ය. එවැනි ම සිද්ධි අලුත්ගම ද බේරුවල ද පසුව දිගන හා තෙල්දෙණියේ ද ඇති වුනු බව නොරහසකි. වසර සියයකට පසුවත් එක ම දේ සිදු වන්නේ එසේ ය.

ඒ හැම වරම ප්‍රදර්ශනය වුනේ සෙක්කුව කැරකෙන්නා සේ අප ද වටේ ට ගමන් කරන ස්වභාවයක පසු වන බව ය. ඉතිහාසයේ නැවත නැවතත් එක ම දේ මෙසේ එකම විදිහට සිදු වෙමින් පැවතියේ ය. එය එක ක්ෂේත්‍රයක පමණක් නොව ක්ෂේත්‍ර ගණනාවක විහිදුනක් විය.

මේ ගැන හොඳම විග්‍රහය කාල් මාක්ස්ගේ ය. ඔහු කීවේ ඉතිහාසය නැවත නැවතත් ප්‍රතිනිර්මාණය වන බව ය. ඔහු කීවේ, පළමු වර සිදු වන විට ඛේදවාචකයක් වන යමක්, දෙවැනි වර නැවත පැන නැගි විට, විගඩමක් වෙන බව ය. කාල් මාක්ස් කියූ දේවල් සමහරකට මෙම ලේඛකයා එකඟ නොවෙතත් ඉතිහාසය සම්බන්ධයෙන් ඔහු පල කළ මේ අදහසට ලේඛකයා ගරු කරන්නේ ය. මේ අතීතය ප්‍රතිනිර්මාණය වීම අප රටේ දෙවරක් නොව, දිගින් දිගට ම සිදු වන නිසා එයට කිව යුත්තේ කුමක් දැයි කාල්මාක්ස්වත් දනී දැයි ලේඛකයාට සැක ය.

වෙනසකට වෙනසක් අවශ්‍ය ය

කිසිවක් වෙනස් වන්නේ නැතිනම් කිසිවක් වෙනස් වන්නේ නැත. කිසිවෙකු වෙනස් වන්නේ නැත්නම් ද කිසිවක් වෙනස් වන්නේ නැත. අපේ රටේ ද කිසිවෙකු හෝ කිසිවක් වෙනස් වන්නේ නැත. ඒ නිසා ප්‍රතිඵලය එක තැන පල් වීම ය.

අපට අවශ්‍ය දේ අප ම නිපදවා ගත යුතු යැයි හාහෝවක් තිබුනේ හැත්තෑව දශකයේ ය. ඒ පරීක්ෂණය කරන්නට ගොස් අපි හාල් පොලු මිරිස් පොලු ද දමා ගෙන පාන් පෝලිම්වල පැය ගණන් රස්තියාදු වුනෙමු. ඒ පරීක්ෂණය නතර වුනේ ඒ ආණ්ඩුව හයෙන් පහක චන්දයෙන් ද පරාජය කරමිනි. බලයට පත් වූ ආණ්ඩුව ඒ වෙනුවට විවෘත ආර්ථිකය හඳුන්වා දුන්නේ ය.  අප එහි හොඳ නරක මැද දශක හතරක් දිවි ගෙවා ඇත්තෙමු. එහෙත් අදට ද ඇහෙන හඩ වන්නේ අපේ දේ අප ම නිපදවා ගත යුතු බව ය. ඒ, අප රට පමණක් නොව උතුරු කොරියාව හැරුණු විට හැම රටක්ම ගෝලීයකරණය වූ ලෝකයක, එහි ආශිර්වාදය මැද ම, දිවි ගෙවමින් ය. මේ ගෝලීයකරණය වූ ලෝකයේ කිසිම වැදගත් දෙයක්, තනි රටක සම්පත් යොදා ගෙන, තනි රටක පමණක් නිපදවීම, සාර්ථක වන්නේ නැත. වෙන එකක් තබා අප නිපදවා ගන්නවා යැයි ආඩම්බරයෙන් කියන අපේ බත, එසේ අප විසින් නිපදවා ගන්නවා යැයි කීම ම, අද විහිළුවක් වී තිබෙන්නේ ය. ඒ සඳහා යොදා ගැනෙන දේ අතර අපේය කියා කිව හැක්කේ ශ්‍රමයත් භූමියත් පමණක් බව අප මේ ලිපි පෙළේ වරින් වර කියා ඇති නිසා ඒ බව මතක් කිරිම පමණක් සෑහේ යැයි සිතමු. ගෙවී ගිය හැත්තෑව දශකය පසු කර වසර පනහක් ගෙවී යන මේ මොහොතේත් අප කියන්නේ අපේ දේ අප හදා ගත යුතු යැයි කියන ඒ බණේම වීම ඒ නිසා විහිළුවක් ව තිබෙන්නේ ය.

ලෝකය ජය ගත හැක්කේ ලෝකයෙන් වෙන් වී ජීවත්විමෙන් නොවේ. එයට වටිනා දේ සපයන, එයින් වටිනා දේ උකහා ගන්නා, අන්තර් පැවැත්මක් ගැන විශ්වාසය කිරීමෙනි. අනාගතයට යා හැක්කේ නැවත නැවතත් පැරණි අතීතයටම යෑමට උත්සහ කිරිමෙන් නොවේ. එයින් තීරණාත්මක ලෙස වෙන්වීමෙනි. චීනය ලෝක බලවතෙකු බවට පත් වුනේ එය සාර්ථකව කිරිමෙනි. ඉන්දියාව ද ගමන් කරමින් ඉන්නේ ඒ මාවතේ ම ය. එහෙත් අප රටේ සිදු වන්නේ එක ම දෙය නැවත නැවතත් කිරීම ය. ඒ සඳහා වෑයම් කිරිම ය. අපට ඒ නිසා ම සිදු වනු ඇත්තේ, තවදුරටත් ලෝකයෙන් වෙන් වී, තනියම ජීවත් වීමට කරන හඩ ගෑම් තුළ, වැනසී යන්නට ය.

මෙයින් පෙනෙන්නේ සෙක්කුව කැරකෙන්නේ ආගම, ජාතිය හා දේශපාලනය වටා පමණක් නොව සමස්ථ සමාජ දේහය ම වටා බව ය.

අපට බලාපොරොත්තු ගොඩක් ඇති නමුත් අප වෙනසට බිය ය. ඒ නිසා ඉන්නේ ගල් ගැසී ගෙන ය. එහෙම නැති අය කැමති වැඩි ඈතකට නොගොස් එක තැන කැරකීමට ය. ඒ නිසා සෙක්කුවේ ගමනට ඔබ්බෙන් ගමනක් අපට නැත.

අලුත් බෝතලයක දමා තිබුන ද ඒවා පරණ වයින් ම නම්, ඒවා බී, අලුත් රසක් අපේක්ෂා කිරීමේ තේරුමක් නැත. පරණ ආකල්ප වල ම ගැලී සිටිමින් අලුත් රටක් අපේක්ෂා කිරීමේ ද එපමණට ම තේරුමක් නැත.

පීලි පැන්න සැහැල්ලු දුම්රිය හා කැලණි වැලි දුම්රිය

See the source image

මෙම බ්ලොග් අඩවියේ මෙතෙක් පල කළේ මා ලියූ දේ පමණ ය. අද එයින් වෙනස් ව සිලොන්ටුඩේ පුවත් පතේ ඉංග්‍රීසියෙන් පල කරන ලද “පීලි පැන්න සැහැල්ලු දුම්රිය හා කැලණි වැලි දුම්රිය” යන පුවතේ මුල කොටස සිංහලට පෙරලා පල කරන්නට අදහස් කළෙමි. ඒ මුල් කොටස තුළ මේ ව්‍යාපෘති සම්බන්ධ ඇති ව තිබෙන විසංවාදයේ ප්‍රධාන පාර්ශව දෙකේ (ලලිතසිරි ගුණරුවන් හා දිමන්ත ද සිල්වා) අදහස් පල ව තිබුනි. මේ ව්‍යපෘති දෙක බොහෝ මග ගෙවා පැමිණිමෙන් පසු හදිසියේ පීලි පැනීමකට ලක් වූ නිසා මහජන අවධානයට ලක් ව තිබේ. සම්පූර්ණ ඉංග්‍රීසි ලිපියට මෙතැනින් පිවිසිය හැකි ය.

https://ceylontoday.lk/news/the-derailed-lrt-kvl-projects?fbclid=IwAR2v7ktOUvc5ISKht2LT4ILmpDQq0wPuLe161N7R5ooPTBdZmCVS5HoH5mo

සමාජ ආර්ථික සංවර්ධනය උදෙසා පොදු ප්‍රවාහන සේවයක් තීරණාත්මක වන අතර 2020 වනවිට ආසියා පැසිෆික් කලාපය අධිවේගී දුම්රිය මාර්ගවලින් ලොව ඉදිරියෙන්ම සිටියි. ගෝලීය ව 2050 වන විට දුම්රිය මගීන් කිමි ට්‍රිලියන පනහක් ගමන් කරනු ඇතැයි පුරෝකථනය කර තිබේ. එහෙත් ශ්‍රී ලංකාව මේ වන විට යටත් විජිත සමයේ ඉදිකරනු ලැබ පසු කලෙක කුඩා වෙනස් කම් වලට පමණක් ලක් කරනු ලැබූ දුම්රිය මාර්ග වලින් සෑහීමකට පත් ව තිබේ. පුදුමය නම් තවම විදුලි බලයෙන් දුවන කිසිදු දුම්රිය මාර්ගයක් ලංකාව තුළ නොතිබිය දී මාලඹේ සිට කොටුවට යෝජිත වූ සැහැල්ලු දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ද කැළණි වැලි දුම්රිය මාර්ග ව්‍යාපෘතිය ද කිසිදු වටහා ගත හැකි හෝ පැහැදිලි හේතුවක් නැතිව අත්හැර දමා තිබීම ය.

මහජනයා අතර මේ පිළිබඳව සංවේදීත්වයක් ඇති ව තිබීමට හේතුව මෑතක දී ඇති කරන ලද හා යෝජිත ව්‍යපෘතීන් අතර මේ ව්‍යාපෘතීන් දෙක පමණක් සමාන්‍ය මිනිසාට ඍජුව ම වාසියක් අත් කර දෙන ව්‍යපෘතීන් වීම ය.

දැනට ඇති පොදු ප්‍රවාහන සේවය අතිශයින් ම මඳ පහසුකම් වලින් යුක්ත වන අතර ඒ සඳහා යම් මැදිහත් වීමක් ඉල්ලා සිටීම අතිශයින් ම සාධාරණ ය. විශේෂයෙන් අහසට උසට නැගෙන ගොඩනැගිලි වලින් ද එකිනෙක පරයන, එහෙත් කරන ලද ආයෝජනයන්ගේ ප්‍රතිලාභ පෙනෙන තෙක් මානයක නැති, වෙනත් ජාත්‍යන්තර ව්‍යාපෘතින් ද තමන් වටකොට නැගෙන පසුබිමක මේ ඉල්ලා සිටීම අතිශයින් යුක්ති සහගත ය.

සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය ජපන් රජයේ ණය ආධාර සපයන JICA ආයතනය විසින් අරමුදල් සපයන ව්‍යාපෘතියක් වන අතර එය අධික පිරිවැයකින් යුක්තය යන පදනම මත ශ්‍රී ලංකා රජය විසින් අත්හිටුවන්නට තීරණය කර තිබේ. මෙහි මුල් අදියරේ දී මාලඹේ IT park හි සිට කොළඹ කොටුවට කිමි 16.7 ක මාර්ගයක් ඉදිකිරීමට නියමිත ය. 2018 දී මේ සම්බන්ධ ශාක්‍යතා අධ්‍යයනයන් අවසන් කර තිබූ අතර මෙයින් ලැබෙන ප්‍රතිලාභය (EIRR) සියයට 20 ඉක්මවන බව එයින් කියවේ. ඒ මගට යන කාලය ඉතිරි වීම ඉන්ධන ඉතිරි වීම හා පරිසර දූෂණය අවම වීම වශයෙන් වන විවිධ ප්‍රතිලාභයන් හරහා ය.

මේ සම්බන්ධයෙන් අදහස් පල කරන මොරටු විශ්වවිද්‍යාලයේ සිවිල් ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ ප්‍රවාහන ඉංජිනේරු අංශයේ දිමන්ත ද සිල්වා මහතා කියන්නේ මේ ව්‍යාපෘතිය සඵල හා සාධාරණිකරණය කළ හැකි එකක් බව ය. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියේ ව්‍යාපෘති කළමනාකරණ ඒකකයේ උපදේශකයෙකු හැටියට කටයුතු කළ ඒ මහතා කියා සිටින්නේ මේ ව්‍යාපෘතිය ගැන ව්‍යාජ තොරතුරු සැපයූ අය විසින් තමන් කරන ලද ප්‍රකාශයන් සහමුලින්ම විකෘති කොට දක්වා ඇති බව ය. ඒ මහතා තවදුරටත් කියා සිටියේ මේ සඳහා කිමී යන වියදම ඒ සඳහා චීන සමාගම විසින් ඉදිරිපත් කළ මිළ ගණන් වලට ආසන්න බව ය.

සිලෝන් ටුඩේ පුවත් පතට ප්‍රකාශයක් කරමින් ඔහු ණය පහසුකම පිළිබඳ මෙවන් විස්තරයක් ඉදිරිපත් කළේ ය. මේ සඳහා ඇස්තමේන්තු කර ඇති ණය ප්‍රමාණය ඇමරිකානු ඩොලර් බිලියන 1.8 ක් වන අතර ඒ සඳහා අය කරන පොලිය 0.1% කි. එය ගෙවිම සඳහා වසර 12 ක සහන කාලයක් ලැබෙන අතර ගෙවිය යුත්තේ අවුරුදු 40 ක් තුළ ය. ඒ සඳහා අරමුදල් වලින් 30% ක් ජපාන නිශ්පාදනය විය යුතු බවට කොන්දේසියක් තිබේ. මෙයින් වැඩි කොටස් දුම්රිය එන්ජින් හා කට්ටල ගෙන්වීම සඳහා වැය කරනු ඇති අතර ඒ මිල ගණන් සාධාරණ දැයි සැසඳීම සදහා අපට පහසුවෙන් සමාන නිශ්පාදන සඳහා ජාත්‍යන්තර මිල ගණන් ලබා ගත හැකි ය. උපදේශන ගාස්තුව 0.01% කි. ණය ලබා දෙන්නේ පියවර වලින් වන අතර මුල් පියවර සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 273 ක් 2019 දී ලබා දීමට නියමිතව තිබිණි. එය ගෙවිය යුතු ව තිබුනේ 2030 දී ය. ඒ වනවිට දුම්රිය මාර්ගය වසර 6 ක් ක්‍රියාත්මක වී තිබීමට නියමිත ව තිබූ අතර ඒ වනවිට අප ව්‍යාපෘතියෙන් ප්‍රතිලාභ ලබමින් සිටිමු. අවසාන ණය වාරිකය ගෙවීමට සිදු වන්නේ 2058 දී ය.

ශාක්‍යතා අධ්‍යයනයේ දී මුළු ව්‍යාපෘති වියදම ලෙස සඳහන් වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 2.2 කි. එයට VAT බදු ඩොලර් මිලියන 300 ක් ද මිල හා වියදම් සංචලනය වෙනුවෙන් හඳුනාගත් ඩොලර් මිලියන 300 ක් ද අයත් ය. ඒ නිසා සමත වියදම සෙසු ව්‍යාපෘතීන් සමග සන්සන්දනයේ දී මේ අයිතම දෙක ඇතුළත් නොවුනු ව්‍යපෘති මිල ගණන් සමග මෙම අගයන් සන්සන්දනය කිරීම වැරදි ය. මෙම ව්‍යාපෘතිය නිශ්ප්‍රභ කරන අය විසින් කිමී ට මිල ගණන් සන්සන්දනයේ දී සමත මිල කිමී ගණනෙන් බෙදා එය කිමී ඇමරිකන් ඩොලර් මිලියන 140 ක් ලෙස දැක්වීම සාවද්‍ය ය. ඇතැම් විවේචනයන් දෙස බලන විට මෙය හිතාමතා කරන දෙයක් දැයි සිතෙන තරම් ය.

මේ සමත වියදමෙන් ඉදිකිරීම සඳහා යන වියදම ඩොලර් බිලියන 1.4 කි. ඒ නිසා මෙහි පිරිවැය ලෙස දැක්විය යුතු ව තිබුනේ කිමීට ඩොලර් මිලියන 85 ක් ලෙස ය. මෙය සාපේක්ෂකව ඉහළ අගයක් බව සැබෑ ය. එයට හේතුව මෙය කිමී 16 ට සීමා වීම ය. මෙවැනි ව්‍යාපෘතියක උපරිම කාර්යක්ෂමතාවය ළඟා කර ගත හැක්කේ අඩු වශයෙන් කිමි 30 ක් වත් දුරකට මෙය ව්‍යාප්ත කිරීමෙන් ය. ඒ සන්නිවේදන උපකරණ සංඥා පද්ධතිය මෙහි ගමන් කරන දුම්රිය එන්ජින් හා කට්ටල සහ දුම්රිය අංගනය යනාදියට යන වියදම එවිට කිමි 30 ට විහිද යෑම ය. දෙවැනි අදියරයක දී මාලඹේ සිට කඩුවෙල දක්වා ද මාලඹේ සිට අතුරුගිරිය හරහා කොට්ටාව දක්වා ද දික්කිරීමෙන් කිමි ට වියදම ඩොලර් මිලියන 61 දක්වා අඩු කර ගැනීමට හැකි ය. දැන් නිර්මාණ කටයුතු අවසන් ව ඇති නිසා මේ සඳහා යන වියදම ඩොලර් බිලියන එකක් බවට නිශ්චය වශ‌යෙන් කිව හැකි ය. ඒ තත්වය යටතේ කිමී ට වියදම ඩොලර් මිලියන 62 ක් වන අතර සැලසුම් කරන ලද ව්‍යාප්ත කිරීම ද සිදු වන්නේ නම් එය ඩොලර් මිලියන 55 ක් පමණ ප්‍රමාණයකට අඩු වීමට ද ඉඩ තිබේ.

මේ සම්බන්ධයෙන් විකල්පයක් ලෙස රාජ්‍ය පෞද්ගලික ඒකාබද්ධ ව්‍යවසායකයක් ලෙස ව්‍යාපෘති යෝජනාවක් ගෙනා චීන ආයෝජකයෙකු කිමි 32.4 ක මාර්ගයක් ඉදිකිරීම සඳහා ඩොලර් බිලියන 2 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබූ අතර ඒ ගණන් හිලව් වලට අනුව කිමි ට ඩොලර් 65 ක මුදලකින් මෙය ඉදි කළ හැකි ය යන පදනමේ සිටිමින් එක් ඉංජිනේරුවෙකු එය ජපන් ආයෝජනය මෙන් හරි අඩකින් කළ හැකි බවට තර්ක කර තිබුණි. 

දිමන්ත ද සිල්වා මහතා කියන්නේ ජපන් ආයෝජනය ඩොලර් බිලියන 1.8 ක් වුව ද අවසාන අගය දැන ගත හැකි වනුනේ තරඟකාරි ටෙන්ඩර් ක්‍රියාවලියෙන් පසුව බව ය. දැනටමත් මේ ව්‍යාපෘතියේ මූලික කටයුතු සඳහා ඩොලර් මිලියන 27 ක් වියදම් කර ඇති බැවින් ඒ මුදල මේ ව්‍යාපෘතිය නතර කරන්නේ නම් කොහොමටත් ගෙවීමට සිදු වන බවත් සඳහන් කරයි.

ඔහු තවදුරටත් කියන්නේ මාලඹේ මාර්ගය රටේ පවතින වඩාත් ම තදබදයක් සහිත මාවත් වලින් එකක් වන බවත් එය භාවිතා කරන රථ ප්‍රමාණයේ වැඩි වීම වැඩිම අගයක් ගන්නා බවත් ය. 2012 දී රථ ප්‍රමාණය 80,000 ක් වූ අතර එය 2019 වන විට 136,000 දක්වා වැඩි වී තිබිණි. එය වසරකට 8% ක වැඩි වීමකි. එය ලංකාවේ ඇති දුම්රිය මාර්ගයකින් සම්බන්ධ නොවන එකම තදබදය සහිත ගමන් මාර්ගය ය. ඉඩම් හිඟකම හා වරින් වර පාර හරහා මාරු වීමට ඇති ස්ථාන නිසා මාර්ග තදබදයක් ඇති වන හෙයින් එකම විකල්පය වනුනේ පවතින මාර්ගයට ඉහළින් එහි මධ්‍ය රේඛාව හරහා දුම්රිය මාර්ගයක් ඉදිකිරීම ය.

පසුගිය ආණ්ඩුවට චීන ආයෝජකයෙකු විසින් රතු නිල් හා කොළ වර්ණ වලින් හඳුන්වා ඇති මාර්ග සඳහා ද සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතියක් යෝජනා කර තිබූ අතර ඒ අතුරින් කිමී 32 ක් වූ මාර්ගය සඳහා කිමී ට ඇමරිකානු ඩොලර් 62 ක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කර තිබුණි. ඒ ගණන් හිලව් දෙස බැලූ විට ද ජපාන පිරිවැයෙන් හරි අඩකින් කළ හැකි ය යන කියමන ද ප්‍රශ්නකාරී වන්නේ ය.   

ඊට අමතරව රාජ්‍ය පුද්ගලික ඒකාබද්ධ ව්‍යවසායක ක්‍රියාවට නැංවීමේ දී රජයට වියදමෙන් 40% ක ප්‍රමාණයක්වත් දැරීමට සිදු වන නිසා දුෂ්කරතා වලට මුහුණ දීමට සිදු වේ. ඩොලර් බි 2 ක ව්‍යපෘතියකට රජය විසින් ඩොලර් මිලියන 800 කින් වත් දායක විය යුතු ය. රජයට එවැනි මුදලක් නැති නිසා වාණිජ ණය ගැනීමට සිදු වේ. නැතිනම් කොළඹ ඉඩම් විකිණීමෙන් මුදල් ඉපදවිය යුතු ය. එසේ විකුණනන්ට ද දැන් ඒ හැටි ඉඩම් කොළඹ නැත. එවැනි ගැටළු නිසා ඒකාබද්ධ ව්‍යවසායක සඳහා යෝජනා ප්‍රවේසමෙන් සළකා බැලිය යුතු ය.

ජපන් තානාපති කාර්යාලය

මේ සම්බන්ධයෙන් ජපන් තානාපති කාර්යාලයෙන් විමසීමක් කළ විට ඔවුන් කියා සිටියේ මේ සම්බන්ධයෙන් තවමත් අවලංගු කිරීමේ නිල නිවේදනයක් නිකුත් කර නැති තත්වයක් යටතේ ඔවුන් රජය සමග මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව ය. “මේ අවලංගු කිරීම සම්බන්ධයෙන් කැබිනට් තීරණයක් ගත් බවට පල වූ ප්‍රවෘත්ති වාර්ථා පිළිබඳ අප දැනුවත් ඒ සම්බන්ධයෙන් රජය සමග සාකච්ඡා කරනවා” තානාපති කාර්යාලයේ ජේෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය.   

“මේ ව්‍යාපෘතිය සඳහා යන ප්‍රාග්ධන ණය ගෙවීම ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලබා ගන්න අවශ්‍ය නැහැ. මෙවැනි කිසිදු ව්‍යාපෘතියක ප්‍රාග්ධන වියදම් එසේ කෙටිකාලීනව ප්‍රවේශපත්‍ර අලෙවියෙන් පියවා ගන්නට යන්නේ නැහැ. එය වසර 40-50 ක කාලයක් තුළ පියවා ගත යුතු එකක්. අප මේ වනවිට ඉදිකර ඇති අධිවේගී මාර්ගවල ප්‍රාග්ධන ණය වත් මුළුමණින් ප්‍රවේශපත්‍ර අලෙවියෙන් ගෙවීමට සැලසුම් කර තියෙනව ද?  අප බැලිය යුතු වන්නේ ව්‍යාපෘතියකින් ලැබෙන ආර්ථික ප්‍රතිලාභය මිස මුල්‍යමය ප්‍රතිලාභය නොවෙයි. ලසිත ගුණරුවන් වැනි ආර්ථික විද්‍යා පසුබිමකින් පැවත එන්නෙකු මේ දෙක කලවම් කර ගෙන තිබෙන්නේ ඇයි ද කියා මා පුදුමයට පත් වුනා” යනුවෙන් දිමන්ත ද සිල්වා මහතා සිය පුදුමය ද පල කළේ ය.

කැලණි වැලි දුම්රිය මාර්ගය

භාණ්ඩාගාරය ආසියානු සංවර්ධන බැංකුවට ලිපියක් යවමින් ඉහත ව්‍යාපෘතියට අරමුදල් සැපයීම අත්හිටුවන්නැයි කියා ඇත. ලසිත ගුණරුවන් මහතා ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය සමග එක්ව එම දුම්රිය මාර්ගය අධික පිරිවැයකින් යුක්ත බව ද ඉහළින් යන නිසා බඩු භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගත නොහැකි බව ද පවසා තිබුනේ ය. එහෙත් මේ වන විටත් මෙම ව්‍යාපෘතියේ විස්තීර්ණ සැලසුම් නිමා කර තිබූ අතර මිල ගණන් කැඳවීමේ ලේඛන ද සකස් කරමින් තිබුනේ ය.   

දිමන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම ව්‍යපෘතියේ පිරිවැය සමහර පාර්ශවයන් විසින් වැරදියට අර්ථගන්වා තිබුනේ මුල් කාලයේ කරන ලද ප්‍රාථමික ඇස්තමේන්තුවක සඳහන් ඩොලර් බිලියන 2.5 ක අගය පදනම් කර ගනිමින් මිස විස්තීර්ණ ඇස්තමේන්තුවක් මත නොවන බව ය. මෙම ප්‍රාථමික ඇස්තමේන්තුව අධික යැයි ද එය නැවත අගැයීමකට ලක් කළ යුතු යැයි ද ආසියානු සංවර්ධන බැංකුව හා ව්‍යාපෘති ඒකක ය, පසුව ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ය, කියා තිබිණි. අධ්‍යයනය අවසන්ව අවසන් විස්තීර්ණ ඇස්තමේන්තු පිළියෙල කළ විට එහි අගය ඩොලර් බිලියන 1.424 ක් වූ අතර ඉදිකිරීමේ වියදම ඩොලර් 1.25 ක් විය. මේ අඩු අගයක් ගැනීමට හේතුන් අතර එකක් වූයේ විනිමය අනුපාතිකයේ වෙනස ය. මුල දී ඩොලරයක් රු 150 ක් ලෙස සළකා ගණන් කිරීම කරන ලද අතර අවසානය වන විට එය රු 179 ක් ලෙස ගෙන සංශෝධනය කර තිබිණි. ඊට අමතරව නිශ්චිත සැලසුම් සකස් කළ විට වඩාත් නිවැරදි දත්ත ලැබුණු නිසා ද අගය සංශෝධනය විය. වරකට වඩා වැඩි අවස්ථාවන් ගණනාවක දී විස්තීරණ ලෙස මේ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර තිබුණ ද යම් නොදන්නා හේතුවක් නිසා ඉංජිනේරු ආයතනය පිරිවැය අඩු කිරීම ඔවුන්ගේ මැදිහත් වීම නිසා සිදු වූ බවට තවමත් ප්‍රකාශ කරමින් සිට්න්නේ ය.  

කැලණි වැලි මාර්ගය නිමැවීමෙන් පසු සාක්ෂාත් කරගන්නේ මිනිත්තු පහක ඉතිරියක් බවට ආචාර්ය ගුණරුවන්ගේ අදහස සහමුළින්ම සාවද්‍ය කරුණු දැක්වීමකි. හෝමාගම හා මරදාන අතර යන ගමන සඳහා වැය වන සාමාන්‍ය කාලය මිනිත්තු 68 ක් වන අතර එය මිනිත්තු 42 ට අඩු කිරීමට සැලසුම් කර තිබේ. එයින් දුම්රිය මගියෙකුට ඇතිවන වාසිය මිනිත්තු 26 කි. දැනට මෝටර් රථයකින් හෝ බස්රථයකින් ගමන් කරන මගියෙකු මේ දුම්රිය තෝරාගන්නේ නම් ඇතිවන වාසිය මිනිත්තු 70 කි. ආචාර්ය ගුණරුවන්ට මග හැරෙන්නේ නව දුම්රියට මෙවැනි මගීන්ගෙන් 90% ක් පමණ ආකර්ෂණය වීම හරහා ලැබීමට නියමිත වාසිය ය. 

දුම්රිය හරහා දිවෙන හරස් පාරවල් නිසා ඇති වන වාහන තදබදය ද විශාල ය. උදාහරණයක් ලෙස බේස්ලයින් පාර හරහා සෑම මිනිත්තු 20 ට ම දුම්රියක් ධාවනය වෙයි. එවන් අවස්ථාවක ඇතිවන වාහන තදබදය මීටර් 450 ක දුරකට පැතිරෙයි. දුම්රිය මිනිත්තු 7 ට වරක් ධාවනය කරන්නේ නම් මේ දුර කිමී ඉක්මවයි. මරදාන සිට අවිස්සාවේල්ලට යන අතරතුර හරස් පාර 148 ක් හමුවේ. පාදුක්කට දක්වා නම් එය 75 ක් ද හෝමාගම දක්වා නම් එය 56 ක් ද වෙයි. මේ අතර ප්‍රධාන හරස් පාර 20 හරහා යන වාහන ප්‍රමාණය දිනකට 12,000 ඉක්මවයි. මේ හේතු නිසා ද එක්කෝ දුම්රිය පාර නැතිනම් රථ ධාවනය වන හරස් පාර ඉහළට එසවිය යුතු ය. සමහර හරස් පාරවල් හරහා ගුවන් පාලම් ඉදිකිරීමට නොහැකි ය. උදාහරණයක් ලෙස කිරිමණ්ඩලමාවත සහ නාරහේන්පිට යන ස්ථාන ගත හැකි ය. ඒ එවැනි ගුවන් පාලම් ඒ ආසන්නයේ පවතින ප්‍රධාන පාරට ඔබ්බෙන් ස්ථාන ගත වන නිසා ය. හරස් පාර ඇති තැන්වල ජනයාගේ සුරක්ෂිතතාවය මෙන් ම ඒ සඳහා වැය වන සමාජ පිරිවැය ද වෙනම සැලකිල්ලට ගත යුතු ව තිබේ. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය විසින් යෝජනා කරනු ලැබූ පොලොව මතින් ඉදිකිරීමේ විකල්පය සඳහා අමතර ඩොලර් මිලියන 200 ක් වැය වන අතර එම පිරිවැය මාලපල්ල දක්වා ඉහළින් ඉදිකිරීමට යන පිරිවැය ඉක්මවන්නේ එවැනි යෝජනා ඉදිරිපත් කිරීමෙන් ඒවා ඉදිරිපත් කළ අයගේ තාක්ෂණික දැනුම පිළිබඳව පුදුමයක් පහළ කරවමිනි. පහළින් යන මාර්ගයක් සඳහා අවශ්‍ය පළල මි 14 ක් වන විට එය ඉහළින් ගමන් කරද්දී මී 12 ට සීමා වේ. ඊට අමතරව රේල්වේ ඇවනිවු වැනි දැනටමත් දුම්රිය මගට සමාන්තරව දිවෙන කිමී 9 ක් පමණ වන පාරවල් සඳහා ද ඉඩම් අත්පත් කර ගැනීමට ඒ නිසා සිදු වේ. 

දැන් දිවෙන මාර්ගයේ බොහෝ වක්‍ර තිබේ. දුම්රිය ස්ථාන පිහිටා ඇත්තේ ද ආසන්නයේ ය. මරදාන හා පාදුක්ක අතර කිමී 35 ක දිගක දුම්රිය ස්ථාන 24 ක් තිබේ. එම ස්ථාන අතර දුර කිමී 0.6 සිට කිමී 1.9 දක්වා වෙනස් වේ. තිරස් පෙල ගැන්නුම සඳහා විකල්ප දෙකක් යෝජනා වී තිබිණි. එකක් වක්‍ර හැකිතාක් දුරට කෙළින් කිරීම මගින් අවම වක්‍රීය අරය මීටර් 120 ක් තුළ පවත්වා ගැනිම ය. ඒ සඳහා අවශ්‍ය ඉඩම් මිල දී ගැනීමට වැයවන මුදල ඩොලර් මිලියන 8.5 කි. දෙවැනි විකල්පය වූයේ වක්‍ර මුළුමණින් ම පාහේ ඉවත් කිරීම මගින් ඍජු දුම්රිය මගක් ඇති කිරීම ය. එහි දී අවම චක්‍රීය අරය මී 300 ක් තුළ පවත්වා ගැනීම ය. ඒ සඳහා අවශ්‍ය ඉඩම් මිල දී ගැනීමට වැය වන මුදල ඩොලර් මිලියන 32 කි. මිලියන 24 ක් අමතරව වියදම්  කළේ වුව ද ඒ සඳහා මිනිසුන් විශාල ගණනක් ඉවත් කරමින් වුව ද ලබා ගත හැකි වාසිය මරදාන හා හෝමාගම අතර මිනිත්තු 5 ක ගමන් කාලයේ අඩුවීමක් පමණක් නිසා පළමු විකල්පය තෝරා ගැනිණි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ විසින් ලංකාවේ යෝජිත ව්‍යාපෘති ගණනාවක් නැවත විවරණය කිරීම සඳහා පත් කරන ලද මහාචාර්ය ගුණරුවන් කැලණි වැලි දුම්රිය ව්‍යාපෘතිය නුසුදුසු යැයි නිගමනය කොට තිබේ. ඔහු කියන්නේ තවත් ප්‍රවාහන ආර්ථික විද්‍යාව පිළිබඳ විද්වතුන්ගෙන් මෙහෙයවනු ලැබූ කණ්ඩායම විසින් ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය ඇතුළු විවිධ මූලාශ්‍ර වලින් කරුණු රැස් කර ගත් බව ය. එසේ එකතු කර ගත් තොරතුරු අනුව මේ ව්‍යාපෘතියට රටට අනවශ්‍ය බව ය.

“අපට දැනටමත් කැලණි වැලි දුම්රිය මාර්ගයක් තිබේ. කළ යුත්තේ එම මාර්ගය වැඩි දියුණු කිරීම ය. ඇතැම් විට එහි ධාවනය සඳහා අලුත් දුම්රිය කට්ටලයන් ද නව නියාමනය ක්‍රමයක් ද හඳුන්වා දීම ප්‍රමාණවත් වනු ඇත”. ඔහු තවදුරටත් කියන්නේ ඔහු කිසිදු ගාස්තුවක් අපේක්ෂා නොකරම මේ ව්‍යාපෘති විමසුම සඳහා ස්වේච්ඡාවෙන් ඉදිරිපත් වූ බව ය. ආසියානු සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා විශාල ණය මුදලක් භාවිතයෙන් ඉදිකිරීමට යන මේ ව්‍යාපෘතිය තුළ අධික පිරිවැයට අමතරව බොහෝ වැරදි ද තිබෙන බව ය. “මේ මුදල පියවා ගන්නේ කෙසේදැයි” ඔහු අසයි. ප්‍රවේශ පත්‍ර විකිණීමෙන් ලැබෙන අදායමෙන් එය කළ හැකි දැයි ඔහු විමසයි. ඒ සඳහා මගියෙකුගෙන් කොතරම් මුදලක් අය කරන්නට සිදු වේ දැයි ඔහු ප්‍රශ්න කරයි. මුල දී ඩොලර් බිලියන 2.4 ක් වූ ඇස්තමේන්තුව තුන් මසකට පසුව ඩොලර් මිලියන 1.5 කට අඩු වූ බව ද ඔහු පෙන්වා දෙයි. “මෙය සිදු වූයේ කෙසේ ද?” ඔහුගේ පැනයයි. ඊට අමතරව මෙය භාවිතා කරන මගීන්ගේ සංඛ්‍යාව පිළිබඳව අවස්ථා දෙකක දී එකිනෙකට වෙනස් සංඛ්‍යාලේඛන දෙකක් ඔහු ඉදිරිපත් කරයි.

“පොළොව මත නැතිව අඩි 7 ක් උඩින් මේ දුම්රිය මග ගෙන යන්නට හදන්නේ ඇයි? දැයි ආචාර්ය ගුණරුවන් අසයි. ඒ තරම් උසින් තිබිය දී භාණ්ඩ පටවන්නේ කෙසේ දැයි ඔහු අසයි. ශ්‍රී ලංකා ඉංජිනේරු ආයතනය මේ ව්‍යාපෘති තීන්දුව වැරදි බවත් අනවශ්‍ය පිරිවැයක් සහිත බවත් ඔහුට කී බව ද එය සත්‍යය බව ඔහුට ද තහවුරු වූ බව ද ඔහු කියයි. “මම මගේ ම සමීක්ෂණයක් කළා. අපට අවශ්‍ය දැන් තිබෙන මාර්ගය වැඩි දියුණු කිරීම යි. ඒ සඳහා මේසා විශාල මුදලක් අවශ්‍ය නොවේ” යැයි ඔහු සඳහන් කරයි. “මෙවැනි ව්‍යාපෘතියක් සාධාරණීකරණය කරන්නේ කෙසේ ද? මේ සඳහා යන පිරිවැයේ වගකීම ගන්නේ කවුද? මේ ණය ආපසු ගෙවන්නේ කවුද? මේ කැලණි වැලි දුම්රිය මාර්ගයේ වේගය පැයට කිමී 30 ක්. සැලසුම් කර ඇති දුම්රිය පවා රටට නුසුදුසු යි. සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය දැනට මත් ඉවතට දමා ඇති නිසා ඒ ගැන කිසිදු ලියවිල්ලක් මට ලැබුණේ නැහැ. ඒ නිසා ඔහු ඒ ගැන කතා කරන්නෙ නැහැ. ඔබ ඩොලරයක් වියදම් කරනවා නම් ඊට වැඩි මුදලක් ඉපදිය යුතු යි” යැයි ඔහු කියයි.”

අප විශ්වාස කළ යුත්තේ කාගේ කතාව ද? තීරණය ඔබට බාර ය.

නායකයෙකු අවශ්‍ය ද?

See the source image

නායකයා හා බලය පිළිබඳ සංවාදයේ දී අපගේ සගයෙකු මතු කළ ප්‍රශ්නයක් වූයේ නායකයෙකු අවශ්‍ය ද යන්න ය. බැලූ බැල්මට අහන්නත් ප්‍රශ්නයක් දැයි සිතුන ද එය විමසා බැලිය යුතු ය. ඒ හරහා අපට බොහෝ දෑ ඉගෙන ගත හැකි නිසා ය.

නායකයෙකුගේ අවශ්‍යතාවය පොදුවේ සතුන්ට ඇති ප්‍රශ්නයකි. රංචු ලෙස හැසිරෙන බොහෝ සතුන්ට නායකයෙකු වෙයි. එය වඳුරු රැලක, අලි රෑනක, දැක ගත හැකි ය. ප්‍රධාන වුවමනාව මතු වන්නේ බාහිර තර්ජන නිසා ය. එවැන්නක දී රංචුව ම එක ම තාලයකට, එක ම වාදනයකට, එක ම අණකට අනුව හැසිරුණේ නැත්නම් සතුරාට යටත් වීමට සිදු වන නිසා ය. එක් අණකට කටයුතු කරන විට සිදු වන්නේ කණ්ඩායම තනි විශාල බලයක් ලෙස නැගී සිටීම ය.

‌ගෝත්‍රයකට නායකයෙකු ආවේ ඒ අනුව ය. ප්‍රදේශ පාලනයට රදලයෙකු පැන නැංගේ ඒ අනුව ය. කුඩා පෙදෙස් එකතුව රාජ්‍ය ගොඩනැගුණේ ද ඒ අනුව ය. කුඩා රාජ්‍ය අධිරාජ්‍ය වූයේ ද ඒ අනුව ය.

සතුන්ට වඩා මිනිසුන් වෙනස් ය. එපමණක් නොවේ. උන් පැරණි හැව ඉවත දමා දිනෙන් දින අලුත් වෙති. මේ තත්වය යටතේ සතුන්ට වඩා වෙනස් ලෙස, ඊයේට වඩා වෙනස් ලෙස, නායකයෙකු සැබෑවට ම අවශ්‍ය දැයි විමසුමට ලක් කිරීම වැදගත් නැද්ද?

මෙහි දී අපේ සැලකිල්ලට ලක් වන්නේ මිනිස් ස්වභාවය ය. කණ්ඩායම් ගතිකත්වය පිළිබඳ පරීක්ෂණය කළ අය සොයා ගෙන ඇත්තේ කණ්ඩායමක් ලෙස සාර්ථක වීමට නම් කණ්ඩායමේ සාමාජිකයන් ගණන හතකට ආසන්න විය යුතු බව ය. ඒ අපට අපේ මනසේ සීමාවන් නිසා කරදරයකින් තොර ව එකවරකට පවත්වා ගෙන යා හැකි සම්බන්ධතා ගණන ය. එයට වැඩි වන අවස්ථාවන් හි බොහෝ විට දැකිය හැක්කේ කණ්ඩායම කැඩී කුඩා කණ්ඩායම් බිහි වීම ය.

මෙය මනා ලෙස නිරීක්ෂණය කළ හැකි අවස්ථාවක් අපට උපන් දින සාදයකට සහභාගි වීමේ දී දැක ගත හැකි ය. මුල දී ඉන්නා ටික දෙනා සතුටු-සාමිචියේ යෙදී ඉන්නේ බොහෝ සුව පහසුවෙන් ය. පිරිස වැඩි වන විට ඒ සාම්‍යය බිඳෙන්නේ ය. ඊළඟ අදියරේ දී ඉබේ ම මේ පිරිස කුඩා කණ්ඩායම් ලෙස වෙන් වෙනු දකින්නට පුළුවන. මේ පිරිස නැවත එකතු කිරීමට නම් නායකයෙකුගේ බිහි වීම අවශ්‍ය වන්නේ ය. නිවේදකයෙකු, ගායකයෙකු, මැජික් ශිල්පියෙකු හෝ කතන්දර කියන්නෙකු ලෙස මතු වන්නේ මේ නායකයා ය. සෙසු අයට අත් පොඩි ගැසීමෙන් පුංචි යමක් කීමෙන් තම දායකත්වය දරා සෑහීමකට පත් වන්නට සිදු වන්නේ ය. නැතිනම් තමන්ට ඒ තැන ගන්නට කිසිවක් කිරීමට සිදු වන්නේ ය. නායකත්වය වරින් වර වෙනස් විය හැකි නමුත් නායකයෙකු පවතින්නේ ය. නැතිනම් කුඩා කව බිහි වන්නේ ය.

ආයතනයකට නායකයෙකු අවශ්‍ය වන්නේ මන් ද යන ප්‍රශ්නය විමසීමට මේ පසුබිම ප්‍රමාණවත් ය. ඊට අමතර සාධක කීපයක් ද එකතු වේ. ආයතනයක පාර්ශව කරුවන් බොහෝ ය. එක් පැත්තකින් පාරිභෝගික අවශ්‍යතාවයන් ය. තව පැත්තකින් ආයතනයේ සේවකයින්ගේ වුවමනා එපා කම් ය. තව පැත්තකින් අයිතිකරුවන්ගේ කොටස් හිමියන්ගේ අපේක්ෂා වන් ය. සැපයුම් කරුවන් ද ණය දෙන ආයතන ද සමාජය ද කරන බලපෑම් ද මේ අතරට එක් වන්නේ ය. මේවා එකිනෙකට වෙනස් ය. එපමණක් නම් මදෑ. ආයතනයකට තරඟ කරුවන් ද බොහෝ ය.

මේ සියල්ල තුලනය කර තීරණ ගත හැකි පරිගණකයක් හෝ කෘතිම බුද්ධියක් තවම ගොඩ නගා නැත. එවන් තත්වයක් යටතේ ඒ සියළු අපේක්ෂා ගොනු කළ හැකි එක් තැනක් අවශ්‍ය ය.  මේවායේ සමස්ත බලපෑම සලකා බලමින් තීරණ ගැනීමට නායකයෙකු අවශ්‍ය ය.

නායකයෙකු යැයි කී විට බොහෝ දෙනෙකුගේ සිතට එන්නේ ම තනි පුද්ගලයෙකු ය. එහෙත් ඇතැම් විට එය නායකත්ව මණ්ඩලයක් විය හැකි ය. එහි ද කටයුතු නියාමනයට එක් පුද්ගලයෙකු පත් කර ගත යුතු ය.

ඇතැම් තැනක දැක ගත හැක්කේ බෙදා හදා ගත් නායකත්වයකි. එයින් අදහස් කරන්නේ නායකත්වය යෙදෙන ප්‍රස්තුතය අනුව කීප දෙනෙකු අතර වරින් වර හුවමාරු විය හැකි බව ය. මේ සඳහා හොඳ ම උදාහරණය නිවස ය. සැමියා හා බිරිඳ වගකීම් බෙදා ගෙන තමන්ගේ වපසරිය තුළ නායකත්වය දරණ අතර උදා වන තත්වය අනුව නායකත්ව භූමිකාව දෙදෙනා අතර මාරු කර ගනු දකින්නට පුළුවන.

නායකත්ව මණ්ඩලයක් තනි නායකයෙකුට වඩා සාර්ථක වීමේ වැඩි ඉඩක් තිබේ. ඇතැම් නායකයන්ට සාමාන්‍ය සාමාජිකයන්ට වඩා දුර පෙනෙන්නේ ය. ඇතැමුන් දක්ෂ සංවිධානයේ ය. ඇතැමුන් දක්ෂ සන්නිවේදනයට ය. මෙහෙයවීමට ය. තවත් අය දක්ෂ වන්නේ නියාමනය ට ය. ඒ සියල්ල එක පුද්ගලයෙකු තුළ නො පිහිටන්නට ඉඩ ඇති නිසා නායකයෙකු වෙනුවට ගොඩ නැගිය යුත්තේ බෙදා හදා ගන්නා නායකත්වයකි.

නායකයෙකු වඩාත් සාර්ථක වන්නේ තමන්ගේ පැවැත්ම හැකිතාක් අඩුවෙන් ප්‍රදර්ශනය කරන්නට හැකි නම් ය. එවන් අවස්ථා එළඹෙන්නේ බලය හැකිතාක් විමධ්‍යගත කළ තත්වයක ය. එහෙත් නායකයෙකු නිශේධනය කරන තරමට නම් අප තවමත් දියුණු වී නැත. එය රාජ්‍යය මිලින ව යනවා යැයි කියූ කොමියුනිස්ට් යුතෝපියානු සිහිනයේ ම නිවුන් සහෝදරයෙකු පමණ ය. සිහින දැකීමේ වරදක් නැත. එහෙත් ඒ සිහින මහ පොළොවේ පැල කිරීමට තවත් කොන්දේසි සම්පූර්ණ කර ගත යුතු ය.

පොල්, පැපොල් හා පොපොල්

See the source image

පොල් පැපොල් නිපදවන්නේ සුළු නිශ්පාදකයින් ය. ඒවා බෙදා හැරීම ද සුළු ව්‍යාපාරිකයන්ගේ වපසරියට අයත් ය. ඒ නිසා ම ඒවා පාරිභෝගිකයා දක්වා එන ගමනේ හැම පියවරක දී ම අලෙවි වන්නේ තරඟකාරී මිලකට ය. ඒ නිසා ම ඒකාධිකාරයන් පවත්වාගෙන යන වෙළඳ පොලක මෙන් සුපිරි ලාභයක් ලැබීමට මේ ගනුදෙනු වලින් කිසිදු පාර්ශවයකට ඉඩ නැත. මේ ආර්ථික විද්‍යාවේ හෝඩිය ය.

ඒ හෝඩිය පවා නොදන්නා විද්වතුන් පිරිසක් මෙහෙයවන ආණ්ඩුව විසින් පොල් ගෙඩියේ මිල අඩුකිරීමට පාලන මිලක් පනවා තිබේ. ඔවුන්ට ප්‍රශ්නයකට තිබුනේ පොල් ගෙඩියක මිල එහි ප්‍රමාණය අනුව තීරණය වීම ය. එයට ද විද්වත් විසඳුමක් ලැබුනේ ය. ඒ වට ප්‍රමාණය අනුව මිල නියම කිරීම ය. පොල් ගාලා අත්දැකීම් ඇති අය මොනවා කිව්වත් සමස්ථ වැඩය ම විද්‍යානුකූල ය.

ප්‍රතිඵලය ආර්ථික විද්‍යාවේ හෝඩිය පාස් ඔ්නෑම කෙනෙකුට පුරෝකතනය කළ හැකි ලෙස පොල් වෙළඳ පොළේ නැති වීම ය. බෙහෙතකටවත් පොල් ගෙඩියක් සොයා ගැනීමට නොහැකි වීම ය. පොල් කර්මාන්තයට කණකොකා හැඩීම ය. මිනිසුන් පොල් කර්මාන්තය වෙනුවෙන් කරන ආයෝජන වලින් ඈත් වීම ය.

විද්වතුන් වැඩේ අත් හැරියේ නැත. ඔවුන් කළේ පොල් සංවර්ධන මණ්ඩලය හරහා ලොරි වලින් පොල් බෙදා හැරීමට සැලැස්වීම ය. ඒත් ඒ සඳහා මග ගෙවා ගමන් ගාස්තු ගෙවා මං සන්දියකට යා යුතු ය. ලැබෙන්නේ පොල් 5 කි. ගමන් ගාස්තුව පොල් ගෙඩි ගණනින් ගෙවූ විට සැබෑ පාලන මිල ලැබෙන්නේ ය.

හමුදාවේ ට්‍රක් රථ මේ සඳහා භාවිතා කිරීමේ ඉඩ හසර තවමත් තිබේ. හැම ප්‍රශ්නයක්ම හමුදාමය ක්‍රමයකට විසඳන යුගයක ඒ පමාව නම් තරමක් පුදුම ය. අවසානයේ හමුදාව විසින් ජනතාව පොල් යුද්ධයෙන් ගලවා ගැනීමේ ඉඩ තිබේ. එවිට ඔබට පොල් විරුවන් වැඳ පුදා ගැනීමේ අවස්ථාව ද හිමි වනු ඇත.

මේ ටික ලිව්වේ කාටවත් අපහාසයක් කිරීමට නොවේ. පුංචි ආතල් එකක් ලබා ගැණීමට විතර ය. පොල් නැතිව කන අපට එහෙමවත් එකක් ලැබිය යුතු යැයි යන සිතුවිල්ලෙන් මෙහෙයවනු ලැබ ය. ඒ නැතිව මේවා ලිව්වා කියා මෙවැනි විද්වත් මැදිහත් වීම් වල ඉවරයක් ඉදිරියේ දී හෝ ඇති වෙතැයි ද සිතිය නොහැකි ය. පාඩම් ඉගෙන ගන්නවා නම් ඉගෙන ගන්නට තිබුණේ සැමන් හා පරිප්පු හරහා ය.

පොල් දැන් පොපොල් වී හමාර ය. එක් කාරුණික ආයාචනයකින් මේ සටහනට තිතක් තැබීම ට මා කැමති ය. පොල් වලට කරන ලද මේ අකටයුත්ත පැපොල් වලට නම් නොකරන ලෙස ය. එය ඇපල් කන්නට වත්කමක් නැති පොදු ජනතාවගේ තවත් කෑමක් නිසා ය.