මිත්‍යා විශ්වාස

See the source image

මිත්‍යාව යන වචනයට සරල ආදේශකය වන්නේ “බොරු” යන්න ය. එහෙත් බොහෝ මිත්‍යා විශ්වාස ගණයට වැටෙන දේ බොරු යැයි ඔප්පු කළ නොහැකි ය. විද්‍යාත්මක ප්‍රවේශයට අනුව බොරු යැයි ඔප්පු කළ නොහැකි යමක් ඇත්ත යැයි ඔප්පු කළ නොහැකි ය. ඒ නිසා අප මිත්‍යා විශ්වාස ලෙස සැළකිය යුත්තේ ඇත්ත යැයි ඔප්පු කළ නොහැකි දේ ය.

දෙවියන් සිටිනවා යන්න එවන් විශ්වාසයකි. එය බොරු කළ නොහැකි ය. ඒ නිසා එය විද්‍යාත්මක අර්ථයෙන් ඇත්ත යැයි ගත නොහැකි ය. එසේ සිටිනවා යැයි ඔප්පු කළ නොහැකි නිසා ය.

විද්‍යාවට අනුව ලෝකය පාලනය වන්නේ යම් නියමයන්ට අනුකූලව ය. භෞතික විද්‍යාවේ රසායනික විද්‍යාවේ ජීව විද්‍යාවේ සහ එවන් වෙනත් ක්ෂේත්‍රවල එවැනි නියමයන් ගණනාවක් ඇත.

මිත්‍යාව අදහන අය කියන්නේ මේ නියමයන්ට අනුකූල නොවන අධිස්වභාවික සංසිද්ධීන් තිබෙන බව ය. ඒවා ඇසට නොපෙනෙන පලියට විශ්වාස නොකිරීම මෝඩ කමක් බව ය.

යමක් විශ්වාස කිරීමට එය ඇසට පෙනිය යුතු ම නොවේ. කණට ඇසිය යුතු ම නොවේ. වෙනත් ඉන්ද්‍රියකට ඍජුව ම ගෝචර විය යුතු ම නොවේ. එහෙත් ඒ සඳහා පරම්පරාවෙන් එන පුරා වෘත්තියකට එහා ගිය සාක්ෂි තිබිය යුතු ය.

දෙවියන් බොරු කළ නොහැකි වුව ද නිශ්චිත දේව විශ්වාසයන් බොරු කළ  හැකි ය. ලංකාවේ එක එක වැයික්කියකට අදිපති යැයි සැළකෙන දෙවිවරු ඇසට නොපෙනුනත් ඒ දෙවියන් කරනවා යැයි කියන වැඩ දක්වා දෙවියන්ගේ පැවැත්ම සමහරු ඒ අනුව විස්තර කරති. බලා සිටියාක් මෙන් කියති. එයින් එක් වැදගත් සංසිද්ධියක් දෙකක් ගෙන දෙවියන්ගේ පැවැත්ම පිළිබඳ පරීක්ෂණයක් අපට කළ හැකි ය.

එක කාලයක දෙවියන් සිටින බව ඒත්තු ගත්තේ කට වරද්දා ගත් අයට දෙවියන් දඩුවම් කරති යි කියා ය. එහෙත් කාලෝ ෆොන්සේකා කට පමණක් නොව කය ද (පය ද) වරද්දා ගෙන ගිනි පාගා ඒ දේව පැවැත්මට අභියෝග කළේ ය.

ඇත්ත නම් ඇසට පෙනෙන සමහර දෑ පවා මායාවන් විය හැකි බව ය. මිරිඟුව එවැන්නකි. ඒ නිසා ම ඇසට පෙනුනු පලියට වත් යමක් විශ්වාස නොකළ යුතු ය. මිරිඟුව ඇති වන්නේ කුමක් නිසා දැයි භෞතික විද්‍යාව හදාරණ අය දනිති. එහෙත් ඒ දැනුම ලැබීමට පෙර මිනිසුන් එය යම් අභූත බලවේගයක නිර්මාණයක් ලෙස සළකන්නට ඇත.

පංචේන්ද්‍රියන්ට ගෝචර නොවන ඇතැම් දෑ උපකරණ වලට ගෝචර වන්නේ ය. ඒ නිසා ඒවා ආධාරයෙන් අපට සත්‍යය සොයා ගත හැකි ය.

තවමත් සොයා ගෙන නැති දේ බොහෝ ය. ඒත් එසේ සොයා නොගත් පලියට ඒවාට අධිභෙෘතික බලයක් ආරෝපනය කිරීම විද්‍යාව හදාරා ඇති අයට සුදුසු වන්නේ නැත.

අප කළ යුත්තේ කාලාම සූත්‍රය හරහා බුදුන් දෙසූ විචාර ක්‍රමය අනුව සිතීම ය. ඊට විද්‍යාත්මක ක්‍රමය ද එක් කර ගෙන නිශ්චිත පරීක්ෂණයන් පැවැත්වීම ය.

විද්‍යාත්මක ක්‍රමයේ දී නිරීක්ෂණ කිහිපයකින් පමණක් සෑහීමකට පත් වන්නේ නැත. සැළකිය යුතු නියැදියක් අරබයා කරන පරීක්ෂණ වලින් පමණක් නිගමනයකට එළඹීමට එය සූදානම් ය. ඒ සඳහා පරීක්ෂණයට අමතරව පාලක පරීක්ෂණයක් එකතු කර ගන්නේ නිකම්ම නිකම් සම්බන්ධයක් දුටු පමණින් ඊට වැඳ වැටීම විද්‍යාවට තරම් නොවන නිසා ය.

පරීක්ෂණයක මනෝමූලික අංග හැකිතාක් ඉවත් කිරීමට පියවර නොගත හොත් ඇතිවන ප්‍රතිඵලය විශ්වාසනීය වන්නේ නැත. ඒ නිසා විද්‍යාත්මක සමාජය එවැනි පරීක්ෂණයක ප්‍රතිඵල පිලි ගන්නේ නිසි ක්‍රමවේදයන් අනුගමනය කර තිබුනොත් පමණ ය. ප්‍රමාණවත් නියැදියක් ඒ සඳහා යොදා ගෙන තිබුණොත් පමණ ය.

විද්‍යාව හැදෑරූ අය පවා මිත්‍යා විශ්වාස පිටුපස යන්නේ ඔවුන් විද්‍යාත්මක නියමයන් මිසක විද්‍යාත්මක ක්‍රම වේදය නිසි ලෙස උගෙන නැති නිසා ය. එය පරීක්ෂණාගාරයේ පරීක්ෂණ වලට පමණක් සීමා කොට ජීවිතයට යොදා ගැනීමට ඔවුන් ඒ නිසා ම අසමත් නිසා ය.

කපුමහත්තයා, හොරකම්, දෙවියන් හා දේවාලය

දේවාලයට යතත් අපට දෙවියන් හමු නොවේ. හමුවන්නේ එතුමාගේ නියෝජිතයා ය. ඒ කියන්නේ කපු මහත්තයා ය. සාමාන්‍යයෙන් බොහෝ නියෝජිතයන් නියෝජනය කරන තැනැත්තාට වඩා රැස්පොට් ය. ජනතාව නියෝජනය කරන මන්ත්‍රීවරු පමණක් නොව වෙනත් නිලතල නියෝජනය කරන්නන් පවා එසේ ය. කන්තෝරුවේ පියන් – දැන්නම් සිකියුරිටි ගාඩ් – නිලධාරියාට වඩා ගණන් ය. කපුවා එසේ නොවිය යුත්තේ ඇයි?

දෙවාලයක කිසියම් දෙයක් නැති වුනොත් කපුවා පොලීසියට යන නමුත් අපේ මොකක් හරි නැති වුනහම දෙයියන්ගේ උදව් බලා ගෙන අප යන්නේ මේ කියන කපු මහත්තයා ලඟට ය.

ඒ අපේ හිතේ කොතැනක හෝ පොලීසියට වඩා දෙවියන් බලවත් යැයි ලියා තිබෙන නිසා ය. එය කවදා කවුරු ලිව්වාදැයි මතක නැතත් එය මකන්නට බැරි ලෙස ලියා තිබෙන නිසා ය.

හොරකමක් වුනහම ඉස්සෙල්ලම දේවාලයට දුවන්නේ හොරකම් කළ එකා ය. ඒ දෙවියන් ඉදිරියේ දනින් වැටී කපු මහත්තයට ද පංගුව දී පොලීසියෙන් බේරා දෙන ලෙස ඉල්ලන්නට ය.

ඊළගට දේවාලයට යන්නේ හොරකමට ලක් වූ පුද්ගලයා ය. නැතිවූ බඩුව කෙසේ හෝ සොයා දෙන ලෙස කරන ඉල්ලීමක් ද ඇතිව ය. හොඳට බැලුවොත් ඒ ඉතින් ඉතිරි ටිකත් නැති කරගන්නට ය.

හොරකම් කළ තැනැත්තාත් ඊට ලක්වූ තැනැත්තාත් යන දෙන්නාම දෙවියන්ගේ ගෝලයෝ ය. උදේ හවස පහන් තියන්නෝ ය. දෙවියනට වඳින්නෝ ය. කපු මහත්තයාත් දේවාලයත් කොටින්ම කිව්වොත් දෙවියනුත් නඩත්තු කරන්නෝ ය. ඉදින් දෙවියන් කළ යුත්තේ කුමක් ද?

දෙවියන්ට දැන් නම් උභතෝකෝටියකටත් එහා ප්‍රශ්නයක් ඉතිරි වන්නේ ය. මේ දෙන්නාගේම දුක් ගැනවිල්ල සාධාරණ ය. එකෙක්ට අහුවීමේ බය ය. අනෙකාට අහිමි වීමේ දුක ය. කොටින්ම දෙකම දුක හිතෙන ඒවා ය.

දෙවියන්ගේ තීන්දුව කුමක් වනු ඇත් ද?

ඒක නම් දන්නේ දෙවියන්ම පමණකි.

මේක දෙවියන්ගෙන් අසා දැනගන්නට පුලුවන් අයෙක් වේ නම් ඒ සැනින් අපටත් පයිණ්ඩයක් එවනු ඇතැයි අපි උදක්ම විශ්වාස කරමු.

හැබැයි අප සහසුද්දෙන් දන්නා එකක් තිබේ. ඒ හොරාගේත් හොරකම් කරනු ලැබු තැනැත්තාගේත් දුක්ගැනිවිලි දෙකම අත යට ගාණක් තිබ්බහම කිසිදු පැකිලීමකින් තොරව කපු මහත්තයා දෙවියන්ට දන්වන බව ය.

ඊට පස්සෙ වෙන දේ ගැන කපු මහත්තයා වගකියන්නේ නැත. කිසි දෙයක් ගැන කිසි කෙනෙක් වග නොකියන රටක කපු මහත්තයා පමණක් ප්‍රතිඵල ගැන වගකිව යුතු යැයි කියන්නට කාටවත් අයිතියක් ද නැත.