උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි

See the source image

අහස් යානයක් උඩට යෑමට මත්තෙන් මහ පොළොව මත නිශ්චිත අධි වේගයක් ළඟා කර ගන්නා තුරු ධාවනය කිරීමට සිදු වෙයි. ඒ උත්සහය යානයට ඉහළ නගින්නට අවශ්‍ය ජවය ලබා දෙන්නේ ය. එක තැන උඩ යන්නේ නැතිව ධාවන පථයක සෑහෙන දුරක් ඒ සඳහා යා යුතු ය.

දේශප්‍රේමී සටන් පාඨ ඒ සඳහා යොදා ගත්තේ යැයි මොහොතකට සිතමු. ඒ කියන්නේ මේ රටේ සම්පත් විදේශ ආයෝජනයන්ට විකුණන්නේ නැති බවට කරන දෙඩවිලි ය. විදේශ ආයෝජනයන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීමට තැත් කළ යට ගිය ආණ්ඩුව විදේශයන්ට රට විකිණීමට කටයුතු කළ බවට කරන අවලාද ය.

ජාතිවාදී සටන් පාඨ ද ජවය ප්‍රමාණවත් නොවේ නම් එකතු කර ගත හැකි ය. ඒ කියන්නේ මේ රට සිංහල බෞද්ධයාට ඔ්නෑ හැටියට භික්ෂුන්ගේ අවවාද අනුශාසනා වලට අනුව පාලනය කරන බවට කරන දෙඩවිලි ය. දෙමළ බසින් ජාතික ගීයවත් කියන්නේ නැති බවට කරන සපථ කෙරිලි ය. යට ගිය ආණ්ඩුව එසේ නොකර සිංහල බෞද්ධයා අනාථ කළ බවට කරන අවලාද ය.  

මේ සඳහා ඉදිරිපත් කළ හැකි තවත් දේ තිබෙතත් තත්වය තේරුම් ගැනීමට මේ ටික වුව ප්‍රමාණවත් ය. මේ සටන් පාඨ වලින් පන්නරය ලැබූ මිනිසුන් අහස් යානය තල්ලු කර ගෙන අවුත් ඊට අවශ්‍ය වේගය ලබා දුන්නෝ ය. ටිකක් නොව බොහෝ උසකට නගින්නට අහස් යානය සමත් විය.

ටික කලක් උඩට වී සිටියේ වුව ද පහළ ජනයා නඟන ඔල්වරසනින් තෙදවත් වුව ද ඉන්ධන මීටරය රතු කට්ටට ආසන්න බව පෙනෙන විට මහ පොළොවේ යතාර්ථය පයිලට්ලාට මතක් වන්නට විය.

ඉන්ධන ලබා ගැනීමට මහ පොළොවට බැසිය යුතු ය. දින 19 දී රුපියල් බිලියන 48 ක මුදල් නෝට්ටු මුද්‍රණය කර ජාම බේරාගන්නට තැත් කළේ වුව ද දිගට ම මේ කාර්යය කළ නොහැකි ය. ඒ සඳහා විදේශ ආයෝජන අවශ්‍ය ය. ආර්ථිකය මනස්ගාත හරහා නොව එහි නියාමයන්ට අනුව පාලනය කළ යුතු ය.

අහස් යානය උඩට දා ගැනීමට වෙහෙස වූ මිනිසුන් ඊට කැමති නැත. එහෙත් මේ විදිහට උඩට වී සිටියොත් වන්නේ ඉන්ධන අවසන් වීමත් සමග හිටිහැටියේ කඩා ගෙන වැටීමට ය.

ආණ්ඩුව නැමැති අහස් යානයට සිදු ව ඇති සංගෙඩිය මෙය ය. විමල්ලාට නොපෙනෙන පයිලට්ලාට පෙනෙන සංගෙඩිය මෙය ය.

වරාය “විකුණන්නේ” නැතිව විදේශ ආයෝජන නැතිව යා හැක්කේ අමතර ඉන්ධන ටැංකිය වූ චීනයේ ආධරයෙනි. ඒත් ඒ කොයි කලකට ද? මොන කොන්දේසි යටතේ ද?

මතක් කර ගත යුත්තේ උඩ පැන්නොත් බිම වැටෙන්න වෙයි යන ගීතය ය. ඒත් ප්‍රශ්නය වන්නේ එය මතක් කර ගන්නට තිබුනේ උඩ පනින්නට පෙර දී වීම ය.

මිනිසුන්ගේ පටු ආවේග අවුස්සා උඩට පනින්නට බලන් ඉන්නා අයට ද ආණ්ඩුවට තරමට ම මේවා හොඳ පාඩම් ය. උඩට පනින්නට හදන බොහෝ දෙනෙකු ඊට පසු රැඳී සිටින්නේ කෙසේ දැයි බලන්නේ නැත. කප්පරක් පොරොන්දු වහසි බස් කටමැත දකින්නට ලැබෙන්නේ ඒ නිසා ය. ඒ නිසා සෙසු අය ද ඉගෙන ගනී දැයි සැක සහිත ය.