“අවශ්‍ය දේශපාලනය” ඇත්තේ “පක්ෂ දේශපාලන”යෙන් ඔබ්බෙහි ය.  

දේශපාලනය අපේ ජීවිතයට එහි සෑම අංශයකට ම සම්බන්ධ ය. අද අප මුහුණ දෙන අර්බුදය ප්‍රමාණවත් දේශපාලනයක අප නොයෙදීම නිසා ඇති වූවක් ලෙස ද සැලකිය හැකි ය. ඒත් බොහෝ දෙනෙකු දේශපාලනය කරනවා යන්නෙන් අදහස් කරන්නේ නායකයෙකු හෝ පක්ෂයක් තෝරාගෙන කඩේ යන එකට ය. ඒ නිසා දේශපාලන මැදිහත් වීම යන්නෙන් අදහස් කරන්නේ කුමක් දැයි තෝරා බේරා ගැනීම අවශ්‍ය ය.

අප ඉන්නේ නායකයෙකු පත් කර ඔහු/ඇය විසින් අපට සෞභාග්‍ය උදා කර දීමේ සිහිනයක ය. ඒ නිසා එකෙක් පරාජිකව ගිය කල අප සොයන්නේ ඔහුගේ/ඇයගේ තැනට ආදේශකයක් ය. ඒ නිසා ම ඒ තෝරාගත් පුද්ගලයාට කඩේ යෑම දේශපාලනය හැටියට සැලකීම අරුමයක් නොවේ.

රටේ පවතින බොහෝ ප්‍රශ්න තනි පුද්ගලයෙකුට විසඳිය හැකි සිල්ලර ඒවා නොවේ. ඒ සඳහා ජන සහභාගිත්වයක් අවශ්‍ය ය. ජන මනසේ පෙරලියක් අවශ්‍ය ය. සෑම මට්ටමක ම වෙනසක් අවශ්‍ය ය.

ලංකා දේශපාලනයේ ඉහළින් ම ඇති ප්‍රශ්නයක් නම් නායකයාට වන්දනා මාන කිරීම ය. ඒ ප්‍රශ්නය නායකයෙකුට විසඳිය හැකි ද? සමහරුන්ගේ උත්තරය විය හැක්කේ විසඳිය හැකි නම් ඒ ඔහුට පමණක් බව ය. එහෙත් ඇත්ත කතාව ඉඳුරා ම වෙනස් ය. වන්දනා මාන නොකිරීම ගැන නායකයා උරණ නොවූව ද අනුගාමිකයන් උරණ විය හැකි ය. ඇත්තට ම නම් වඩාත් උරණ වන්නේ නායකයා නොව අනුගාමිකයන් ය. ඉතින් එය නායකයෙකුට විසඳිය හැකි ප්‍රශ්නයක් ද?

ලාංකීය දේශපාලනයේ ඉහළින් ම තැබිය යුතු දෙයක් වන්නේ විවේචනයට මුහුණ දීමේ දක්වන පරිණත භාවය ය. තම කඳවුරේ වුව ද වැරැද්දක් වැරැද්දක් ලෙස දැකිය හැකි වීමේ ප්‍රාගුණ්‍ය ය. නැත්තේ ම ද ඒක ය. ඊට ම අදාළව පැන නැගිය යුතු ඊළග ප්‍රාගුණ්‍ය වන්නේ විරුද්ධ මතයක් දැරීමට කෙනෙකුට ඇති අයිතිය වෙනුවෙන් ඒ මතයට විරුද්ධ වෙමින් ම ප්‍රමාණවත් ව නැගී සිටිමේ හැකියාව ය. එය නම් කොහොමටවත් ම නැත. මේවා ඔඩු දුවා ඇති තුවාල ය. ඒ තුවාල සනීප කිරීම සඳහා ජන මනසේ වෙනසක් අවශ්‍ය ය. දේශපාලන පක්ෂයක් බලයට පත් කිරීමෙන් මේවා විසඳිය නොහැක්කේ බලයට පත් වීම සඳහා ම සෑම දේශපාලන බලවේගයක් ම මේ නොසණ්ඩාල අදේශපාලනික උපාය මාර්ගයන් අනුගමනය කරන නිසා ය.

දේශපාලනය වැඩ කරන්නේ සංස්කෘතික සන්දර්භයක ය. ලාංකීය දේශපාලනය තුළ නොඅඩුව ම ක්‍රියාත්මක වන සංස්කෘතික වටිනාකම කුමක් දැයි ඇසුවොත් කියන්නට තිබෙන්නේ ඒ “අපේ කම” කියා ය. ඒ තුළ බලයට පත් වෙන දේශපාලන බලවේගයට සිදු වන්නේ පළමුව “අපේ මිනිහා” ගැන වග බලා ගැනීමට ය. පරයන් පැත්තකට තල්ලු කිරීම ය. තනතුරු ප්‍රදානයේ පටන් වරදාන දීම දක්වා සලකනු ලබන ප්‍රධාන නිර්ණායකය එය ය. ඒ අපේක්ෂාව අහිංසක නොවන බව ඒත්තු ගැන්වීමට බලයට පත්වීමෙන් පසු බැරි ය. බලයට පත් වීමට පෙර කතා කිරීමෙන් බලය ලබා ගැනීමට ඇති ඉඩ අහෝසි වන්නේ ය. ඒ නිසා කිසිදු දේශපාලන බලවේගයක් ඒ ගැන කතා කරන්නේ නැත. අප නිරත විය යුතු දේශපාලනය පක්ෂ වපසරියෙන් ඔබ්බට යා යුත්තේ ඒ නිසා ය.

බලයට පත් වීමට පුල පුලා බලා සිටින දේශපාලන කණ්ඩායම් වලට රට තුළ ඇති වන අර්බුද පිළිබඳ පණිවුඩ ගෙනෙන්නේ ප්‍රීති දායක ආරංචි ය. ඔවුන්ට ඒ අර්බුද විසඳන්නට වුවමනාවක් නැත. ඔවුන් ඇත්තට ම කැමති ඒවා ඔඩු දුවන තරමට ය. උග්‍ර වන තරමට ය. අර්බුදයක් නැති තැනක වුව එහෙම එකක් අවුළුවා ගන්නට ඔවුන්ට අවශ්‍ය ය. ඒ නිසා අර්බුදයේ දිග පළල ගැන රසවත් කතන්දර ඇද බානවා මිසක් විසඳුමක් ගෙන එන්නට ඔවුන් කටයුතු කරන්නේ නැත. ඔවුන් දිගට ම කියනු ඇත්තේ බලය අපට දෙන්න, අප විසඳනවා කියා ය. බලයට පත් වූ පසු ඔවුන්ට ඒ පොරොන්දු පිළිබඳ වගේ වගක් නැත. ඔවුන්ට විසඳීමට ඊට වඩා වැදගත් ඔවුන්ගේ ම වූ ප්‍රශ්න තිබෙන බැවිනි. එකක් ලබා ගත් බලය පරිහරණය කිරීම ය. අනෙක බලය ලබා දුන් පාර්ශව කරුවන් සතුටින් තැබීම ය. තෙවැන්න බලය පවත්වා ගෙන යෑම ය. ඇත්තට ම කියනවා නම් ඔවුන්ට වුවමනා වුව ද කරන්නට පුළුවන් කමක් නැත. කරන්න කුමක් දැයි කල්පනා කර නිගමනවලට එන්නට ඔවුන්ට වෙලාවක් තිබුනේ නැත. දැන් කොහොමටවත් නැත. ප්‍රශ්න ඒ තරමට විශාල ය. ප්‍රශ්න වලට බාල ගිරි දෝෂය වැළඳෙන්නේ ඒ නිසා ය. ඒවා අද නොව හෙට විසඳනු ඇත්තේ ය. පක්ෂ වපසරියෙන් එහා දේශපාලනයක් අවශ්‍ය වන අනෙක් හේතුව ඒක ය. අපේ දේශපාලනය හුදු අයිතීන් ඉල්ලීමෙන් ඔබ්බට ගොස් විසඳුම් ඉදිරිපත් කර ඒවා ක්‍රියාත්මක වන ලෙස බලකිරීම දක්වා පළල් විය යුත්තේ එහෙයිනි. ඒ බලයට පත් වීමට බලා සිටින අය නොකරන වැඩකි. මක් නිසා ද බැරි වෙලාවත් ඒවා ක්‍රියාත්මක කළොත් තමන්ට බලයට ආ හැකි මං ඇහිරෙන බැවිනි.

දේශපාලනය පක්ෂ සීමාවෙන් ඔබ්බට ගෙනි යන්නට වැඩි වැඩියෙන් මිනිසුන් එකතු වූ දිනයක මේ රට ගොඩ නැගිය හැකි ය. එතෙක් 74 වසරක සුපුරුදු සෙල්ලම (ඇතැම් විටක අලුත් ක්‍රීඩකයන් සමග වේ වයි) නැවත නැවතත් නැරඹිය හැකි ය.

අල්මේදාගේ හත් දවස

මේ පොතේ කතාව කියන්නේ ද එහි කතානායක අල්මේදා ය. ඒ නිසා මේ පොතින් කතුවරයා (Shehan Karunathilaka) කරන්නේ අපට අල්මේදාගේ කෝණයෙන් ලෝකය දෙස බලන්නට ඇරයුමකි. ඒ සඳහා අප පළමුව අල්මේදාව තෝරා බේරා ගත යුතු ය.

ඔහු ඡයාරූප ශිල්පියෙකි. ඔහු ඡයාරූප ශිල්පියෙකු හැටියට හමුදාවට ද කලක් සේවය කරයි. ජාත්‍යන්තර සංවිධාන වලට ද ජාත්‍යන්තර මාධ්‍ය ආයතන වලට ද සිය ඡයාරූප විකුණයි. ඊට අමතරව ඔහු මැදිහත් කරුවෙකුගේ භූමිකාවක් ද රඟපායි. ඒ යුද්ධය පවතින පහසුවෙන් යා නොහැකි තැන්වලට ඇතැම් අය ගෙන යෑම ද හරහා ය. ඒ සඳහා ඔහු ඔහුගේ පැරණි වෘත්තීය සබඳතා භාවිතා කරයි. මාධ්‍යවේදියෙකු සතු අයිතීන් ද නිදහස ද භාවිතා කරයි.

ඔහු සිය ඡයාරූප ඉහළ ගණන් වලට විකුණන අතරේ ඒවායේ මුල් පිටපත් සුරක්ෂිතව ද තබා ගනියි. ඒ මුදල් වලින් සූදුවේ ද යෙදෙයි. මත්පැන් මත්ද්‍රව්‍ය පමණක් නොව ලිංගික ඇසුර ද ලබා ගනියි.

ඔහුට සිය පියා සමග ද මව සමග ද ආරවුල් තිබේ. ඔවුන් විසින් ඔහුව අත හැර දමා ඇති බවක් පෙනේ. එය ඔහුගේ මනසේ දිගින් දිගට ම වද දෙන කරුණක් බව පෙනේ. එහෙත් වෘත්තීය ජීවිතය දිග හැරෙන්නේ පියා විසින් ඔහුට උපන්දිනයට තෑගි දුන් කැමරාව ඔස්සේ ය. පියාව මග හැරී යෑම සම්බන්ධයෙන් ඔහු සිය මවට දොස් නගන බවක් ද පෙනේ. මේ දෙදෙනාම නිතර නිතර ඔහුගේ මනසට ජීවිතයට සම්බන්ධ වෙයි. කතාව තුළ නැවත නැවතත් මතු වෙයි. ඒ දරුවෙකු අත්හරින ලද දෙමාපියන් වශයෙනි. ඒ සම්බන්ධයෙන් තරහින් පෙලෙන දරුවෙකු අපට දක්වමිනි.

ඔහු අසම්මත චරිතයකි. ඒ සම ලිංගික දිශානතිය නිසා ම පමණක් නොවේ. නිදහසේ ඔ්නෑම තැනක තරාතිරම නැතිව ලිංගික ව එක් වන චරිතයක් ලෙස ය. ඒ අතර ඔහුට පෙම්වතෙකු ද සිටියි. ඔහු සමග පෙමින් බැ‌ඳෙතත් ඔහු සෙසු අය සමග ලිංගික ඇසුර ද එම පෙම්වතාට හොරෙන් පවත්වා ගෙන යයි.

ඔහුගේ ජීවිතය ම ඡයාරූප ගොන්නකි. ඒවා අතර සිය වෘත්තීය ජීවිතය විසින් ඉල්ලා සිටිනු ලබන යුද්ධයට හිංසනයට අදාළ ඡයාරූප වලට අමතරව ස්වභාව සෞන්දර්ය හා ආදරය  පිළිබිඹු කරන ඡයාරූප ද ඇත. ඒවාට ඔහුට ඇති තද බැඳීම ඉතාම පැහැදිලිව කතාව පුරා ම පෙනේ.

ඒ ඡයාරූප අතර ඇති බොහෝ ඡයාරූප මිනිසුන් ඔවුන්ගේ වගතුග නම් ගම් සහිතව එලි කරන ඡයාරූප ය. ඔවුන්ගේ හෙලුව ලොවට කියා පාන ඡයාරූප ය. ඒ ඡයාරූප මගින් නිරාවරණය කරනුයේ එක් එක් පුද්ගලයන් පමණක් නොවේ. විවිධ ජන කොටස් ද කණ්ඩායම් ද සංවිධාන ද ඒ සමග හෙලිදරව් වන්නේ ය.  

ඒ නිසා ම ඔහුට එළඹිය හැකි අනතුර ගැන ද ඔහු දනියි. එහෙත් ඒ පිළිබඳව ද ඔහුගේ ජීවිතය පිළිබඳව ද විශාල බියක් ඔහුට තිබෙන බවක් පෙනේනේ නැත. ඔහුගේ අසම්මත බව පවා ලොවින් සඟවන්නට වෙහෙසන බවක් ද පෙනෙන්නේ නැත.

අල්මේදාගේ මව දෙමල හා බර්ගර් මිශ්‍ර ය. පියා සිංහල ය. අල්මේදා ගැන මේ තොරතුරු අසන කිසිවෙක් (ඒ කවුදැයි මේ ලියන්නාට මතක නැත) එසේ නම් ඔහු කවරෙක් වන්නේ දැයි ඔහුගෙන් අසයි. එවැනි satires කතාවේ හැම තැන ම ඇත. කතාව කියවා ගෙන යන්නට එයින් ලැබෙන අනුබලය මහත් ය.

සූදු කෙලින අල්මේදා statistical probabilities මත තීන්දු තීරණ ගන්නා කෙනෙකි. එයින් විපුල ප්‍රයෝජන ලබාගත් කෙනෙකි.

මේ සියල්ල කතාව දිග හැරෙන කල අපට වරින් වර දැනෙන්නට ලැබෙන්නේ ය. දැන් අපි අල්මේදා ගැන යම් පමණකට දනිමු.

මේ අල්මේදා මැරෙන්නේ ය. මැරී හොල්මනක් වන්නේ ය. ඒ හොල්මනට පාවී යා හැකි ය. සිදු වන හැම දෙයක් ම දැකිය හැකි ය. ඇසිය හැකි ය. ඒ දින හතක් යන තෙක් ය. එතැනින් ඒ ගන්දබ්බ අවදිය අවසන් වන්නේ ය. කතාවේ විස්තර වන්නේ ඒ දින හත ගැන ය. ඒ අල්මේදාගේ කටින් ය. ඒ කතාව කියන ඔහුට තමන් මළේ කෙසේ දැයි අමතක ය. ඔහු සොයා යන්නේ ඒ තොරතුර ය. අවසන් දින වන තෙක් එය ඔහුට ද අපට ද දැන ගන්නට ලැබෙන්නේ නැත. කතාවේ plot එක ඇත්තේ එතැන ය.

සිද්ධිය දිග හැරෙන විට අපට ඒ මරණය සිදු කළේ යැයි සැක කළ හැකි කීප දෙනෙක් ම කණ්ඩායම් කීපයක් ම හමුවේ. ඒ හැමට ම ඔහුගෙන් විශේෂයෙන් ඔහුගේ ඡයාරූප වලින් ගැලවීමට අවශ්‍ය වන හේතු ඒ ඡයාරූප තුළ තිබුනේ ය. ඒ කණ්ඩායම් අතර හමුදාව, ආණ්ඩුවේ දේශපාලන හස්තය, ජනතා විමුක්ති පෙරමුණ, එල්ටීටී සංවිධානය ද තිබිය හැකි බවට තොරතුරු අපට ලැබේ. ඊට අමතරව ඔහු සතු මුදල් අයිති කර ගැනීම උදෙසා හෝ ඔහුට ගෙවීමට ඇති මුදල් නොගෙවා පැහැර හැරීමට අවසර ලබා ගැනීම උදෙසා ඔහු මරන්නට ඇතැයි සැක හිතෙන කාරණා ද යෙදේ. එහෙත් වඩාත් සැකයට භාජනය වන්නේ ආණ්ඩුවේ ආශිර්වාද ලබන 88-89 කාලය තුළ ක්‍රියාත්මක වූයේ යැයි ද සැක කරන මැර කණ්ඩායම් ය.

අල්මේදාගේ පෙම්වතා වන ඩීඩී ද ඩීඩීගේ ඥාති සොහොයුරිය වන ජැකී ද අල්මේදා අතුරුදහන් වීමෙන් සංවේගයට පත්ව ඔහුට සිදු වූයේ කුමක් දැයි සොයන්නට වෙහෙසෙයි. ඒ අල්මේදාගේ මව ද සමග ය (ඇය එක මොහොතක දී සිය පුතු සොයා දෙන ලෙස ඉල්ලා පොලීසියට අල්ලසක් ද දෙයි).

දැන් ඔබට ඩිඩීගේ පියා හඳුන්වා දිය යුතු ය. ඔහු දමිළ දේශපාලනඥයෙකි. ආණ්ඩුවේ ඇමතිවරයෙකි. දෙමල නිජ බිම් ගැන විශ්වාස කරතත් දේශපාලනයේ දී උපාය මාර්ගික විය යුතු යැයි සිතා ආණ්ඩුව සමග වැඩ කරන (ඩග්ලස් දේවානන්ද, කරුණා, පිල්ලෙයාන් වැනි) දේශපාලනඥයෙකි. ඔහු අල්මේදා සමග ඩීඩීගේ ඇති සම්බන්ධයට කැමති නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් ඩීඩී ඉදිරියේ එදිරිවාදුකම් පාන්නට ද ඔහු අසමත් ය. ඩීඩීගේ මව ඔහු කුඩා කල මිය ගියා ය. සමහර විට ඩීඩීට දැඩි වාරණයක් පනවන්නට ඔහු අසමත් වන්නේ ඒ නිසා විය හැකි ය.

අල්මේදාගේ අතුරුදහන් වීමෙන් කලබලයට පත් වුනු තව කණ්ඩායමක් සිටී. ඔවුන් දමිල හිතවාදීන් ය. ඔවුන් කම්පනය වී ඇත්තේ අල්මේදාගේ අතුරුදහන් වීම ගැන නොවේ. ඔවුන්ට ලැබිය යුතු ඡයාරූප නොලැබී යනු ඇතැයි කියා ය. ඔවුන් කියන්නේ ඔවුන් දැනටමත් ඒවාට මුදල් ගෙවා ඇති බවකි.

අවසානයේ ඡයාරූප එකතුවට පොලීසිය ද අප කලින් කී දමිල හිතවාදී සංවිධානය ද ජැකී ද රණ්ඩු වෙති. ඩිඩීගේ පියා පොලිසිය බාර ඇමතිවරයාට මීට මැදිහත් වන ලෙස කියයි. ඔහු පැමිණ ඒ ජ්‍යාරූප සියල්ල ඔහුගේ බාරයට ගනියි. මේ සියල්ල අපට කියන්නේ මේ තැන් වල රස්තියාදු ගසමින් ඉන්නා අල්මේදාගේ අවතාරය බව ඔබට නැවතත් මතක් කරමි.

අල්මේදාගේ ජීවිතය වැදගත් වී තිබුණේ ජැකීට හා ඩිඩී ඇතුළු අල්මේදාගේ යාළුවන්ට පමණකි. තුනීයට මවට ද ඒ හැගීම තිබෙන්නට ඇත. ඒ යාළුවන් අතර අල්මේදාගේ ඡයාරූප වලින් ලෝකයට නිරවාරණය කළ යුතු පණිවුඩය ගැන සංවේදී මිතුරන් කීප දෙනෙකු ද සිටියෝ ය. ඔවුන් හත් වෙනි දිනයේ ඡයාරූප ප්‍රදර්ශනයක් පවත්වමින් ඒ පණිඩුඩය මුදා හැරියේ තමන්ගේ ජීවිත ද පරදුවට තබමිනි. ඒත් ලෝකයට ඒ පණිවුඩය ඇසුනේ නැත. ඡයාරූප ප්‍රදර්ශනය නැරඹීමට පැමිණියේ අතලොස්සක් පමණ ය. ඒ අය අතර පොලීසිය බාර ඇමති ද සිටියේ ය. ඔහු තමන්ගේ ඡයාරූප සියල්ල එකතු කර ගෙන ගියේ ය. ඒ ගැන විරුද්ධ වන්නට වත් ප්‍රදර්ශනය භූමිය තුළ කිසිවෙකු නොසිටියේ ය.

පියවි ලෝකයේ මේ සියල්ල සිදු වෙමින් තිබෙන අතරතුර හොල්මන් ලෝකයේ ද වෙනම ගතිකයන් ක්‍රියාත්මක වුනේ ය. පියවි ලෝකයේ ඒ හැටියට දක්නට නොලැබුණු හොඳ හා නරක අතර සටනක් හොල්මන් ලෝකය තුළ ක්‍රියාත්මක වුනේ ය. නරක පවා ඉදිරියත් වූයේ හොද සමග ය. දැන් ඒ ගැන කියන්නට අවසර. හොඳ ආචාර්ය රාජිනි (තිරණාගම යැයි සැක කළ හැකි) ගෙන් නියෝජනය වු අතර මුළුමනින් හොඳ නොවූ සෙසු පක්ෂය සේන (ජවිපෙ, එල්ටීටී සහ සියදිවි නසාගත් සෙසු අවතාර වලින් සමන්විත) මෙහෙය වූයේ ය. රාජීනි අහිංසක කිසිවෙකු මරණයට පත් කිරීම කොතරම් හොඳ අරමුනක් අරබයා වුව ප්‍රතික්ෂේප කළ අතර සේන අරමුණ හොඳ නම් අහිංසකයන් කීප දෙනෙකු බිලි දෙන්නට සිදු වුව ද කමක් නැතැයි ඇදහුවේ ය. ඒ සේන තම ගෝල බාලයන් සමග එක්ව මිනිසුන් අතුරුදහන් කරන ප්‍රධානීන් කීප දෙනෙකු එලොව යන්නට මග පාදා ගත්තේ ය. ඒ තවත් අහිසංකයන් ගණනාවකට ද ඒ ඉරණම අත් කර දෙමින් ය. ඒ හොල්මන් අතර විශේෂ බලයක් තිබූ අතලොස්සක් දෙනා ගේ අනුග්‍රහය ලැබ ගෙන ය.

හොල්මන් ලෝකය හා පියවි ලෝකය අතර ගනුදෙනු සිදු වෙමින් කතාව ගලා ගියේ ය. සත් වෙනි දින අල්මේදා තමන් මරා දැමුයේ ඡයාරූප නිසා නොව ඩිඩී නිසා බව දැන ගන්නේ ය. ඔහුව මරා දමනු ලබන්නේ තමන්ගේ පෙම්වතා වූ ඩිඩීගේ පියා විසින් බව පසක් කර ගන්නේ ය. ඔහු පමණක් නොව අප ව ද වෙනස් ම යතාවක් ඉදිරියේ එසේ අතරමං කරමින් කතාව අවසන් විය යුතු ව තිබුණේ ය. ජාතිවාදය තරමට ම පන්තිභේදය තරමට ම නැත්නම් ඊටත් වඩා දුක්ඛදායක LGBT+ ප්‍රජාවගේ පීඩාව නීතිය අභිබවා ක්‍රියාත්මක වන හැටි පෙන්වමින් අවසන් විය යුතු ව තිබුණේ ය. නැගී සිටිය යුත්තේ සියලු ආකාරයේ පීඩයන්ට එරෙහි ව බව කියමින් අවසන් විය යුතු ව තිබුණේ ය. ඒ පණිවුඩය දක්ෂ ලෙස ගෙන ආවේ වුව ද එයින් පසු ද කතාව ඇදගෙන යෑමෙන් කතුවරයා තමන්ගේ කතාවට අසාධාරණයක් කර ඇතැයි මට සිතුනේ ය.

කතාව නිම කළ යුතු ව තිබුනේ අල්මේදා ම තම මරණය සිදු වූ දා ඩිඩීට කියන්නට හිතා ගෙන සිටි පණිවුඩය අනාවරණය කරමිනි. ඒ අනුන්ට ඔ්නෑ හැටියට නොව අපට ඔ්නෑ හැටියට ජීවත් වෙන්න පුළුවන් රටකට ගිහින් අපි අලුත් ජීවිතයක් අරඹමු යන්න ය.

පොතේ මා කැමති විශේෂත්වය ඒ තුළ political and other satire නොඅඩුව පැවතීම ය. ඒ හරහා අපේ මනස තුළ පෙරලියක් ඇති කිරීමට එය උත්සහ කිරීම ය. ඇතැම් තැනක ඒ satire වල ඉලක්කය බවට ජාත්‍යන්තර සංවිධානය ද බටහිර රටවල් ද හසු වෙයි. එහෙත් වැඩි මනත් ලෙස එය ඉලක්ක කර ගන්නේ අප ව ම ය. අපේ පරම්පරාවේ ඉතිහාසය අල්මේදාගේ ඡයාරූප හරහා මුදා හරිමින් අපට මග හැරී ගිය තැන් වලට අප ව යොමු කර ඒවා දෙස විමසුම් ඇසින් බලන්නට පොත දිරි දෙයි. මා දිගින් දිගට පොත තුළ රඳවා තිබීමට කතුවරයා සමත් වූයේ ඒ නිසා ම පමණක් නොවේ. ඊළග මොහොතේ කුමක් සිදු වේ දැයි යන කුතුහලය ජනිත කිරීමට පොත දිගින් දිගට ම සමත් වීම නිසා ය. ඊට අමතරව අල්මේදා වරෙක අප බොහෝ දෙනෙකුට ලං වන වරෙක අප අතර සමහරෙක් බැහැර කිරීමට ද කැමති වන චරිතයක් නිසා ම ඔහුගේ චරිතය පිළිබඳ කියවීම ද කුතුහලයක් වීම නිසා ය. මේ පොත දේශපාලනයෙන් පිරී තිබුන ද ඉහත කී කාරණා නිසා ම සාහිත්‍ය කෘතියක් ලෙස ද වෙන ම අගය කළ හැකි ය.

ඉටු නොවන සිහිනයක්ද? පුරවැසි මූලික, විවෘත සහ වගවන රාජ්‍ය සේවයක්

වරින් වර රාජ්‍ය සේවය ගැන කතා කිරීමට සිදු ව තිබේ. අද මේ සටහන ඉදිරිපත් කරන්නේ රාජ්‍ය සේවය ප්‍රතිසංවිධානය ගැන සාකච්ඡාවක් නැවත ආරම්භ වී ඇති නිසාත් ප්‍රාග්ධන හා ප්‍රතිපාදන සීමා නිසා බහුතරයක් ආයතනවල වැඩ ප්‍රමාණාත්මක ව අඩු වී තිබීම නිසා ප්‍රතිසංවිධානයන් කිරීමේ ඉඩ හසර ද ඒ සමග ම විවෘත ව ඇති නිසාත් ය. ඊට අමතරව ආර්ථික හා දේශපාලන අර්බුදය විසින් ඇතැම් ප්‍රතිසංවිධානයන් කිරීම අත්‍යවශ්‍ය වී ඇතැයි හැඟී යන නිසා ත් ය. ඒ සඳහා අනු මාතෘකා කිහිපයක් යටතේ කරුණු දැක්වීමට අපේක්ෂා කරතත් එයින් අදහස් වන්නේ ඒ ක්ෂේත්‍රවල පමණක් ප්‍රශ්න ඇති බව නොවේ.

විමධ්‍යගත සේවයක්

මේ විමධ්‍යගත කිරීම දේශපාලන බලය සම්බන්ධයෙන් නොවේ. සේවාවන් සැපයීම සම්බන්ධයෙන් ඇති විධායක බලය සම්බන්ධයෙනි.

හැකි තාක් සේවාවන් විමධ්‍යගත කිරීම මගින් කොළඹට හෝ වෙනත් ප්‍රධාන නගරයකට ඒමට ඇති අවශ්‍යතාව හා ප්‍රධාන කාර්යාලවල තදබදය අහෝසි කිරීම පළමු යෝජනාව ය. මේ යෝජනාව අලුත් යෝජනාවක් නොවන බව ඇත්ත ය. එහෙත් එය තවමත් හරි හැටි ක්‍රියාත්මක නොවුනු අර්ථයෙන් අලුත් ය.

අප පළමුව විමසිය යුත්තේ විය යුතු මට්ටමට එය නොවුනේ මන්ද යන්න ය. බලය විමධ්‍යගත නොවීමට එක් හේතුවක් නම් අවදානම් ගැනීමට ඇති බිය ය. විමධ්‍යගත කරන ලද බලය අපහරණය කරනු ඇතැයි යන බිය ය. ඒ සඳහා අනුගමනය කළ යුත්තේ අපහරණය කරන තැනැත්තන්ට දඩුවම් පමුණුවන තැනකට යෑම මිස ඉහල බලය රඳවා ගැනීම නොවේ. ඉහළ බලය රඳවා ගත් තැන්වල ද අපහරණයන් සිදු වන බැවින් එහි අමතර වලංගුභාවයක් ද නැත. දෙවැන්න බලය අත් හැරිමට බලය දරන්නන්ගේ ඇති අකමැත්ත ය. ඒ සඳහා කළ යුත්තේ මේ ක්‍රියාවලිය ප්‍රශ්න කිරීමට ජනතාවට අවස්ථාව ලබා දීමට ය. සිස්ටම් චේන්ජ් සිදු කළ හැක්කේ ඒ හරහා ය. මේ දෙක ම සිදු කිරීම පහසු නැත. ඒ ජන විඥානය තුළ පැලපදියම් වී ඇති වැඩවසම් සංස්කෘතික මනස ය.  

අප දෙවනුව විමසිය යුතු වන්නේ එය කවර මට්ටමකට විමධ්‍යගත විය යුතු ද යන්න ය. ගමට නිලධාරියෙකු සිටියි. ඔහු/ඇය ග්‍රාම නිලධාරියා ය. බොහෝ සේවාවන් ඔහුට සැපයියි නොහැකි ද? දැන් සිදු වන්නේ බහුතරයක් සේවා සම්බන්ධයෙන් ඔහුගේ නිර්දේශය ගෙන තවත් තැනකට (ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ද එයිනුත් නොනැවතී මධ්‍යම රාජ්‍ය ආයතනයකට) යෑමට සිදු වීම ය. අඩු වශයෙන් ඒ ආයතන වලට කටයුතු යොමු කොට සේවාව සැලසීමේ වගකීමවත් ඔහුට/ඇයට පැවරිය නොහැකි ද?

බලය පහල මට්ටමට පවරන රාජ්‍ය සේවයක්

එක ම ආයතනයක් තුළ වුව ද බලය ඒ ආයතනයේ පහල මට්ටමට පවරන්නේ නම්, සේවාලාභීන් සමග කෙළින් ම ගනුදෙනු කරන නිලධාරීන්ට පවරන්නේ නම්, සේවාලාභීන්ට වඩා හොඳ සේවයක් කිරීමට ඒ නිලධාරීන්ට හැකි ය. එපමණක් නොවේ. ඉහළ නිලධාරීන්ට ඔවුන්ට අයත් උපාය මාර්ගික රාජකාරී කිරීමට හා ප්‍රතිපත්ති වල අදාළ වෙනස් කම් කිරීම වැනි ඔවුනට අයත් රාජකාරී කිරීමට ඒ නිසා කාලය ඉතිරි වන්නේ ය.

මෙයට හරස් වන්නේ ද විමධ්‍යගත කිරීම යටතේ සාකච්ඡා වුනු කාරණා ම ය. ලොක්කන්ගේ බලය අහිමි වීම ඔවුන්ට දරා ගත නොහැකි වීමේ “අවනඩුව” ය. ඊට අමතරව ලොක්කන් බොහෝ දෙනෙකු දන්නේ ද පහළ මට්ටමේ රාජකාරී ඉටු කිරිමට පමණක් වීම ය. ඒ නිසා ඔවුන්ට කරන්නට වැඩක් නැතිව ඔවුන් අනවශ්‍ය ගණයට වැටෙතැයි ඔවුන්ට ඇති බිය ය.  

වඩා සකසුරුවම් රාජ්‍ය සේවයක්

රාජ්‍ය සේවය තුළ “යහ” පුරුදු අභිභවන “වහ” පුරුදු ගණනාවක් තිබේ. එකක් නම් තනතුරේ ලොකු කම හැම දෙයකින් ම පෙන්නීමේ උවමනාව ය. එය භාවිතා කරන මේසයේ, කාමරයේ, පරිවාර සෙනඟේ සිට යන වාහනයේ මට්ටම දක්වා ද දිව යයි. ඒ නිසා ඉහළ ම අයගේ ඉහළ තත්වය ප්‍රදර්ශනය සඳහා ලොව ඉහළම මිලක වාහනයක් ලබා දිය යුතු ය. නිලධාරීන්ට ඉහළින් ඇමතිවරයාට ද සෙසු ඇමතිවරුන්ට ඉහළින් අගමැතිට ද ඊටත් ඉහළින් ජනාධිපතිට ද මේ සියල්ල ලබා දිය යුතු ය. මේ අධික වියදම් සහිත කටයුත්ත කාර්යක්ෂමතාවයට හෝ සඵලත්වයට අවශ්‍ය නොවේ. ඇත්තට ම මේ “වහ” පුරුදු හරහා සිදු වන්නේ ඒ දෙකට ම කෙළ වීම ය. ඒවා නිසා සකසුරුවම් රාජ්‍ය සේවයක් ගොඩ නැගීමට අපහසු වීම ය.

අනෙක නම් පැරණි පුරුදු අත්හැරීමට ඇති නොකැමත්ත ය. අලුත් දේට ඇති බිය ය. ඔ්ස්ට්‍රේලියාවේ රාජ්‍ය සේවය සතු වාහන අට දහසක් පමණ තිබිය දී අපේ රාජ්‍ය සේවය සතු වාහන හැට හය දහසක් තිබෙනවා යයි පසුගිය දවසක මුහුණු පොතේ සටහන දකින අපට පුදුමයක් නූපදින්නේ ඒ නිසා ය. පැරණි සම්ප්‍රදායට අනුව තවමත් නිලධාරීන්ට වාහන ලබා දිය යුතු යැයි සිතන්නේ නිලධාරීන් ඒ සම්බන්ධයෙන් උරන වනු ඇතැයි සිතීමට අමතරව වෙනසක් කිරීමට ඇති බියෙන් මෙහෙයවනු ලැබීම ද නිසා ය. තනි තනි පුද්ගලයින්ට වාහන වෙන් කර ඇතිවා පමණක් නොව ඔවුන් බොහෝ දෙනෙක් ඒ වාහන වැඩිමනත් ලෙස භාවිතා කරනුයේ කාර්යාලයට පැමිණීමටත් දරුවන් පාසලට ඇරලීමටත් බිරිඳ ගෙදර ඉන්නේ නම් ඇයට සාප්පු යෑමටත් කටයුතු සම්පාදනයටත් ය. වාහනයක් වෙනුවට මේ අයට දීමනාවක් දී කැමති දෙයක් කර ගන්නට ඉඩ දුන්නා නම් රජයට විශාල ධනයක් ඉතිරි වෙනවා නො අනුමාන ය. ඒ දීමනාව පුද්ගලික වැඩ කටයුතු සඳහා ද රාජකාරී කෙටි ගමන් ආවරණය කර ගනු සඳහා ද ප්‍රමාණවත් මට්ටමකට සැපයුව ද ඒ හරහා රජයට ඉතිරි කර ගත හැකි මුදල විශාල ය. එවිට වාහන සංචිතය දුර ගමන් රාජකාරී සඳහා සීමා කෙරෙන කුඩා වාහන ප්‍රමාණයකින් නඩත්තු කළ හැකි ව තිබෙන නිසා ය. එවැනි නව චින්තනයක් මේ කපේ දී පහළ වන්නේ නැත. අලුත්‌ දේ ගැන ඒ තරමට ම බිය ය. අවදානම් ගැනීමට කොහොමටත් සූදානමක් රාජ්‍ය සේවය තුළ නැත. රටේ ද නැත.

තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම

ඉහත මාතෘකා දෙක යටතේ ම කතා කළ ප්‍රශ්න සම්බන්ධයෙන් ඇති වූ අභියෝග ගණනාවක් තොරතුරු තාක්ෂණය හරහා ඉෂ්ට කර ගත හැකි ය. බලය පවරන ලද නිලධාරීන් එය කෙසේ භාවිතා කරනවා දැයි බැලීමට පමණක් නොව එය හරියාකාරව භාවිතා වන බවට වග බලා ගැනීමට ද තොරතුරු තාක්ෂණය භාවිතා කළ හැකි ය. එහෙත් තොරතුරු තාක්ෂණය යොදා ගන්නා තෙක් ඉහත කාරණා දෙක සම්බන්ධයෙන් ගන්නා පියවර කල් දැමිය යුතු නැත.

තොරතුරු තාක්ෂණය භාවිතා කිරීම මගින් තවත් බොහෝ දේ සාක්ෂාත් කර ගත හැකි ය. කාර්යක්ෂමතාවය, සේවා ලබා දීමේ ඉක්මන් කම, ආදී බොහෝ දේ ඒ අතර ඇත.

නිවසේ සිට ම බොහෝ සේවාවන් ලබා ගැනීමේ ඉඩ හසර ඒ මගින් සේවා ලාභීන්ට ලබා දිය හැකි ය. ලිපිගොනු අස්ථාන ගත වීම්, ඒවා නැවත ආපසු එනතුරු වැඩ කිරීමට නොහැකි වීම්, ආදී බොහෝ කාර්යාල තුළ පවතින අභියෝග ඒ හරහා ඉවත් කර ගත හැකි ය.

එහෙත් මේ හරහා ප්‍රදර්ශනය කෙරෙන පාරදෘෂ්‍ය භාවය රාජ්‍ය සේවයේ වත්මන් හුරුවට තර්ජනයකි. වත්මන් හුරුව වී ඇත්තේ තමන්ගේ අයට සෙසු අයට ඉහළින් සැලකීම ය. තමන්ගේ කියන්නේ තමන්ගේ නෑදෑයින්ට ය. අසල්වාසීන්ට ය. මිතුරන්ට ය. එක පන්තියේ සිටි අයට ය. එකට සරසවියේ සිටි අයට ය. එකට වෙනත් තැනක වැඩ කළ අයට ය. ඒ මදිවාට තමන්ට කීයක් හරි අත මොලවන අයට ය. පාරදෘෂ්‍යභාවය පවතින තැනක වැට බැඳෙන්නේ ඒ සංග්‍රහයන්ට ය. තමන්ගේ මිනිහෙකුට සලකන්නට බැරි රැකියාවකින් කාරි නැතැයි සිතන බොහෝ දෙනෙකු මේ පාරදෘෂ්‍ය භාවය ඉවසන එකක් නැත. “අපේ කම” වැඩවසම් ක්‍රමයෙන් අප දායාද කරගත් තවත් සංස්කෘතික උරුමයක් නිසා ය.

වටිනාකමක් නැති පියවර ඉවත් කරමින් ක්‍රියාවලීන් නැවත ප්‍රතිසංවිධානය කිරිම

ඇතැම් ක්‍රියාවලිවල සමහර පියවර තිබෙන්නේ එය ඉවත් කළ විට කිසියම් තනතුරක අවශ්‍යතාවය නැතිව යන නිසා ය. තවත් පියවර තිබෙන්නේ පරීක්ෂා කරන අය ගණනින් වැඩි වූ විට සිදු විය හැකි වැරදි අවම වේය යන විශ්වාසය නිසා ය. පළමුවැන්න සම්බන්ධයෙන් කිව යුත්තේ ඒ ප්‍රශ්නයට ඇති එකම උත්තරය ඒ තනතුරු අහෝසි කිරීම බව ය. දෙවැන්න සම්බන්ධයෙන් කිව යුත්තේ එසේ පරීක්ෂා කිරීමට නියමිත නිලධාරියා කරන එක ම දෙය එය පහළින් අනුමත වී පැමිණියේ දැයි බැලීම පමණක් බව ය. ඒ නිසා ම එයින් අමතර පරීක්ෂාවක් සිදු නොවන බව ය. ඒ නිසා එම පියවර පහසුවෙන් අහෝසි කළ හැකි එකක් බව ය.

තවත් අවස්ථාවල එවැනි පියවරින් සිදු කරන්නේ අවදානම සහමුලින් අහෝසි කිරීම ය. අවම මට්ටමකට ගෙන ඒම නොව මුළුමණින් අහෝසි කිරීම ය. ඒවා ඇතුළත් කර ඇත්තේ සියයට 99.9 කින් නොසෑහී 100% ක් සුරක්ෂිත වීමට ය. නවීන ම මෝටර් රථ සඳහා ද කලෙක දුම් සහතිකය අනිවාර්යය කර තිබුණේ ය. විමසන විට දැනගන්නට ලැබුණේ දහසකට එකක් නවීන රථ ද දුම් සහතිකය අසමත් වන බව ය. ඒ කියන්නේ ඒ පියවර ඇතුළත් කළ අයට 99.9% ක් දුම් විමෝචනය නොකිරීම ප්‍රමාණවත් නොවන බව ය.

තවත් අවස්ථාවල පියවරක් අතුළත් කර ඇත්තේ කුමකට දැයි සොයා ගන්නට ද බැරි ය. පුද්ගල හැඳුනුම් පත් ලබා ගැනීම වැනි ඇතැම් කටයුතු සඳහා මාස 6 කට වඩා පැරණි නොවන උප්පැන්න සහතිකයක් සැපයිය යුතු ය යන තීරණයට එළැඹ තිබුනේ ඒ සඳහා පැහැදිලි හේතුවක් දක්වන්නට ද නොහැකි ව ය.

මේ හැම එකකින් ම කරන්නේ මිනිසුන් රස්තියාදුවේ යැවීම ය. ඔවුන්ගේ තුට්ටු දෙකට තට්ටු කිරීම ය. මාර්ග තදබදය, සේවා තදබදය, විදේශ විනිමය අර්බුදය උග්‍ර කිරීම වැනි අතෝරක් ප්‍රශ්න නිර්මාණය කිරීම ය.

තමන්ගේ බල පරාක්‍රමය පැතිරිය හැකි නම් ඊට වඩා දෙයක් සමහර නිලධාරීන්ට නැත. බලය ලැබුණු විට කරන්නේ ඒ බලය භාවිතා කර අනෙකාට පොලු දැමිය හැකි විදි කල්පනා කිරීම ය. බලය පෙන්නීමට හුරු වී ඇති නිලධාරීන් තමන් සතු බලය මිනිසුන්ට සහන සැලසීම සඳහා යොදවන්නට යොමු කිරීම පහසු කටයුත්තක් නොවේ. ග්‍රාම සේවක යන නම ප්‍රතික්ෂේප කර ග්‍රාම නිලධාරී යන නාමය ද දිස්ත්‍රික් ලේකම් වෙනුවට මහ දිසාපති යන නාමය ද භාවිතා කිරීමට ඉදිරිපත් වන පාලක පැලැන්තියක එය කොහොමටත් අමාරු ය. ලොක්කන්ගෙන් පටන් ගෙන කොණ්ඩයේ දිග පළල හොයන ගුරුවරු හරහා මිනිසුන්ට පුස් පාට් දාන සිකුරුටි අයියලා දක්වා ම දිවෙන මේ අනෙකා පාගා දැමීමෙන් තමන් මතු වන්නට දරන මානසිකත්වය අපට ලැබෙන්නේ අපට පරපුරෙන් උරුම වූ වැඩවසම් සංස්කෘතිය නිසා ය. සංස්කෘතියක් වෙනස් කිරීම දින මාස අවුරුදු වලින් කළ හැකි වැඩක් නොවේ.

තොරතුරු හැකිතාක් ජනගත කිරීම හා විවෘත කිරීම

අපේ ආයතන වල තොරතුරු රකින්නේ කිකිළියක් සිය බිජු රකින්නාක් සේ ය. ඒ තරම් පරිස්සමට ය. හේතුව තොරතුරු සතු ව ඇති බලය ය. තොරතුරු අයිතිකාරයා විසින් තම භුක්තියට සවි කර ගෙන ඇත්තේ ඒ බලය ය. ඒවා නිකම් නම් කොහොමටත් ලැබෙන්නේ නැත. සමහර අවස්ථාවල මුදල් ගෙවා වත් ලබා ගන්නට බැරි ය. එහෙම ඉඩකඩ පවා සකස් කර නැත. ඒ අත යට ලබා ගත හැකි මුදල ඊට වඩා විශාල කර ගත හැකි නිසා ය. කොහොමටත් යමක් දුර්ලභ වූ විට ඒ සඳහා ගෙවන්නට වෙන මිල ඉහළ ය. මේ නිසා සිදු වී ඇත්තේ එක් තැනක තොරතුරු තිබිය දී තව තැනක එම තොරතුරු වලට ප්‍රවේශයක් නොමැති වීම හේතුවෙන් තීරණ ගැනීමේ අඩුපාඩු සිදු වීම ය.

තොරතුරු රකින දෙවැනි හේතුවක් තිබේ. ඒවා අසම්පූර්ණ නිසා ය. විශ්වාසනීය නොවන නිසා ය. ඒ බව එලිදරව් වීම තමන්ට ද තම ආයතනයට ද හොඳ නැති නිසා ය.

තොරතුරු රකින තෙවැනි හේතුවක් ද තිබේ. ඒ තොරතුරු නිරාවරණය වූ විට තමන් ද හෙලිදරව් වන නිසා ය. තමන් විසින් අත යට කරනු ලබන වැඩ තවදුරටත් කර ගෙන යෑමට එයින් බාධා එල්ල වන නිසා ය. ඒ තොරතුරු ම භාවිතා කර පෙරලා මිනිසුන් ප්‍රශ්න කරන නිසා ය. ඒ හරහා දූෂණය වංචාව පමණක් නොව අකාර්යක්ෂමතාවය හා නාස්තිය ද හෙලිදරව් වන නිසා ය. නොකළ යුතු වැඩ කරන බව ද කළ යුතු වැඩ මග හරින බව ද නිරාවරණය වන නිසා ය.

අප කියන්නේ තොරතුරු විවෘත කිරීම පමණක් නොව ජනගත කිරීම ද අවශ්‍ය බව ය. දැනුවත් ජනතාවක් සෑම විටම වඩා නිවැරදි තීරණයන්ට එළැඹීමට ඉඩ තිබෙන නිසා ය.  

නැවත වතාවක් කියන්නට සිදු ව තිබෙන්නේ වැඩවසම් සංස්කෘතික මනසක් එවැනි වීවෘත කිරීමකට නම් පහසුවෙන් නම්මා ගත නොහැකි බව ය.   

දුක්ගැනවිලි හා සන්නිවේදනය සඳහා සමාජ ජාලා / වෙබ් අඩවි භාවිතා කිරීම

අප කාටත් රජයේ කාර්යාල සමග වැඩ කරන්නට ගොස් විඳින්නට වූ ගැහැට පිළිබඳ කතන්දර බොහෝමයක් තිබේ. ඒත් ඒවා යහළු මිත්‍රයන් අතර බෙදා ගන්නවා විනා අදාළ තැන් වලට යොමු කිරීමට අපට ඉස්පාසුවක් හෝ අවස්ථාවක් නැත. ඇතැම් ලිඛිත ඉදිරිපත් කිරීම් වලට පවා උත්තර බඳින්නට යොමු කරන්නේ ද හොරාගේ අම්මාට ම නිසා ලිඛිත ඉදිරිපත් කිරීම් වලින් ද වැඩක් වන්නේ නැත. ඒ බව දන්නා මිනිසුන් නම් එවැනි දේට සිය වටිනා කාලය යොදවා අපතේ යවන්නේ නැත. රජයේ ආයතන නිවැරදි නොවීමට මේ හේතුව ද බලපාන්නේ ය.

අපගේ දුක් ගැනවිලි හා යෝජනා ඉදිරිපත් කිරීමට විශ්වාසනීය සමාජ ජාලා පිටුවක් හෝ වෙබ් අඩවියක් වේ නම් එයින් විපුල ප්‍රයෝජන රටට ලබා ගත හැකි ය. මුහුණු පොතේ රා.සේ.පි. යනුවෙන් පිටුවක් ඇතත් එහි පලවෙන්නේ එවැනි දුක්ගැනවිලි පමණක් ම නොවේ. බොහෝ විට ඉල්ලන්නේ ආයතනය වැඩ කරන කවුරු හරි සම්බන්ධ කර ගැනීමට දුරකථන අංකයක් මිසක ආයතනයේ වැඩ කටයුතු ප්‍රතිසංවිධානයකට යෝජනා නොවේ. අනෙක් අතට බොහෝ දෙනෙකුට අවශ්‍ය තමන්ගේ වැඩය කර ගැනීමට මගක් මිස කාටත් තම වැඩ කර ගත හැකි මාර්ග සකස් කර ගැනීමට නොවේ. අනෙක් අතට සමස්ත රාජ්‍ය සේවය ගැන ම සටහන් පල වෙන නිසා එල්ලයක් ඇතිව යම් ආයතනයක වෙනස් කම් ඇති කිරීමේ ලා එය සමත් නැත.

එක් එක් ආයතනයට වෙන් වූ වාරණයට යටත් නොකරන සමාජ ජාලා පිටුවක් පවත්වා ගෙන යා හැකි නම් දුක් ගැනවිලි සම්බන්ධයෙන් අමතර උනන්දුවක් ආයතනයට ඇති වන්නට පුළුවන. එහෙත් ඒ සම්බන්ධ අධිකාරී බලය ආයතනයට නොතිබිය යුතු ය. එය කිසියම් ස්වාධීන ආයතනයක වගකීමක් විය යුතු ය.

ආයතන ප්‍රධානීන් පත් කිරීම හා ඔවුන්ගේ වගවීම

ආයතනයක ප්‍රධානියා මාරු වීමත් සමග බොහෝ ආයතන වල ප්‍රතිපත්ති, වැඩ සටහන් සහ ක්‍රියාකාරකම් වෙනස් වේ. ආයතන පවතින්නේ නායකයින්ගේ පුද්ගල අභිමතය ක්‍රියාත්මක කිරීමට නොවන බවත් ආයතනයක් හැටියට එය සියලු පාර්ශවයන්ට වගකීමෙන් බැඳෙන බවත් ඒ නිසා මෙසේ වෙනස් කම් කිරීම ආයතනයක පැවැත්මට හා එහි ප්‍රතිරූපයට හානිකර බවත් බොහෝ ආයතන ප්‍රධානීන්ට වැටහෙන්නේ නැත.

ආයතන ප්‍රධානීන් බොහෝ විට ආයතන සලකන්නේ තමන්ගේ ආගම පැතිරවිය හැකි පැතිරවිය යුතු තමන් අයිති දේශපාලන ව්‍යාපාරය නඩත්තු කළ හැකි එසේ කළ යුතු එකක් ලෙස ය. ආයතන ප්‍රධානීන් හැටියට පත් වන්නේ ම පාක්ෂිකයන් නිසා (වෙනත් සුදුසුකම් අවශ්‍ය නොවන නිසා) දෙවැන්න අමතර යුතුකමක් හැටියට ද සැලකේ. බොහෝ විට ප්‍රධානියා මාරුවීම සමග ප්‍රතිපත්ති වෙනස් වීමට ද මේ හැඟීම බල පාන්නේ ය.

වැඩවසම් ක්‍රමය තුළ නින්ද ගමක් ලැබුණු විට ඒ වපසරියේ තමන්ට ඔ්නෑ ම‌ දෙයක් කිරීමේ නිදහස ඒ රදළයාට ලැබේ. අපේ ආයතනවලට පත් වන අය ද සලකන්නේ තමන්ට ලැබුණු ආයතනය තමන්ගේ නින්ද ගමක් ලෙස ය.

රජයට සුළු සේවකයෙකු බඳවා ගන්නා විට ද ඔහු අපරාධ සම්බන්ධයෙන් වැරදිකරුවෙකු වී ඇද්දැයි සලකා බලන නමුත් ආයතන ප්‍රධානීන් හැටියට අපරාධ කරුවන් පත් කරන ලද අවස්ථා ද අප ර‌ටේ තිබේ. ඒ ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා නිර්ණායක නැති නිසා ය. රටේ නායකයාගේ කැමැත්ත පමණක් ඊට සෑහෙන්නේ ය. ඒ ද වැඩවසම් ක්‍රමයෙන් අප ලද උරුමයකි. රටේ නායකයාට එවැනි බලතල ලැබිය යුතු යැයි සිතන ජනතාවගේ මානසිකත්වය ද ඒ වැඩවසම් ක්‍රමයෙන් ඔබ්බට යන්නේ නැත.

පත් කළ ප්‍රධානියා ආයතනයට දක්වන දායකත්වය මැනෙන්නේ නැත. ඔහු / ඇය තමන් පත් කළ නායකයාට කෙතරම් පක්ෂපාතිව සේවය කරන්නේ යන්න පමණක් මැනෙන නිසා මේ අය ආයතනයේ ප්‍රධානීන් හැටියට සලකන්නට බැරි ය.

එසේ වුව ද ආයතන ප්‍රධානීන් පත් කිරීමේ නිර්ණායක ඇති කරන්නට හෝ ඒ සඳහා ක්‍රමවත් ක්‍රියාපටිපාටියක් සකසන්නට හෝ රටේ නායකයන් කල්පනා කරන්නට තිබෙන ඉඩ අඩු ය. නින්ද ගම් බාර දුන්නේ ද එවැනි පටිපාටි අනුගමනයෙන් නොවේ. නායකයාගේ අභිමතයට ය. ඒ ගැන මිනිසුන් ප්‍රශ්න නොකරන තාක් මේ වැඩවසම් ක්‍රමය වෙනස් වන්නේ නැත. ඒ සඳහා ජන මනස ද වෙනස් විය යුතු ය.

ආයතනවල වගවීම සමග ආයතනවල ස්වාධීනත්වය හා ආයතන බලාත්මක කිරීම සම්බන්ධ කිරීම

ආයතන වල ප්‍රධානීන්ට වගකීම් පැවරෙන අවස්ථා වල (නායකයන් විසින් නැතත් තනතුර විසින් එවැනි වගකීම් පැවරෙන විට) පවා ඒවා ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය අධිකාරී බලය ඔවුන්ට ලැබෙන්නේ නැත. ඒවා ඉහළින් දමන පොලුවලට යටත් ය. ඒ නිසා ඔවුන්ගෙන් වගවීමක් අපේක්ෂා කළ නොහැකි ය. අපේක්ෂා කළ ද වැඩක් වන්නේ නැත. ඔවුන්ගෙන් ඒ ගැන කරුණු විමසන විට ඔවුන්ට දෙන්නට සමාවට කාරණා අටෝරාසියක් තිබේ. ඒ සඳහා ඉඩ හසර ලැබෙන්නේ ඔවුන්ට අවශ්‍ය අධිකාරී බලය පවරා නැති නිසා ය. ඒවා ඇතැම් තැනක ඇත්තේ අමාත්‍යංශ ලේකම් ට ය. නැත්නම් රාජ්‍ය පරිපාලන අමාත්‍යංශයට ය. එහෙමත් නැතිනම් මහ භාණ්ඩාගාරයට ය. ඔවුන් කියනු ඇත්තේ අවශ්‍ය සම්පත් ලබා නොදුන් නිසා ඒවා කළ නොහැකි වූ බව ය. ඒ නිසා අප ආයතන ප්‍රධානීන්ගෙන් වගවීමක් අපේක්ෂා කරනවා නම් මුලින් ම කළ යුත්තේ ආයතන පළමුවෙන් ස්වාධීන කිරිම ය. ආයතන ප්‍රධානීන්ට ආයතනය සම්බන්ධයෙන් තීරණය ගැනීමට පළල් නිදහසක් දීම ය. අප කලින් ද කතා කළ පරිදි ඉහල ඉන්නා අය බලය පවරන්නට අකමැති නිසා ආයතන ප්‍රධානීන්ට පවා නිසි බලයක් ලැබෙන්නේ නැත. නැවතත් අපට ආරම්භ කළ තැනට යන්නට මේ නිසා සිදු වේ.

ඒ නිසා අපට මේ සටහන අවසන් කිරීමට සිදු වන්නේ වැඩ වසම් ජන මනසට අභියෝග නොකර කළ හැකි කිසිදු රාජ්‍ය ප්‍රතිසංස්කරණයක් නැතැයි නැවත වරක් කියමින් ය.

අවසන් වූ අරගලයට පසු වදනක්

අරගලය ආරම්භ වෙන්නෙ ගෑස් තෙල් පොහොර හිඟයත් එක්ක. ඒ ගැන මිනිසුන්ගේ තියෙන කලකිරීම එක්ක. ආණ්ඩුව මේ තත්වයට පත් වෙන්න ඉඩ දීල බලා සිටීම සම්බන්ධයෙන් විරෝධයත් එක්ක. බොහෝ අය හිතන විදිහට මිනිසුන් සිස්ටම් චේන්ජ් කරන්න ම ආවා නොවෙයි.

ඒකෙ පෙරමුණ ගත්තෙ රටේ පීඩිත ම කොටස නෙවෙයි. මධ්‍යම පංතිය කියල කියන කොටස. ඉගෙන ගත්ත මධ්‍යම කළමනාකාරිත්වයට අයත් රස්සාවල් කරන අය හා වෘත්තීය වේදීන්. ඒ අතර ව්‍යාපාරිකයන් ද හිටිය. ඒ අයට තමයි ඩොලර් අර්බුදයෙ පහර වැඩිපුරම දැනුනෙ. සල්ලි තිබුණත් බඩු ගන්න විදිහක් නැහැ. ඒ වගේ ම ඔවුන්ට තමයි දැනුනෙ සහ තේරුණේ මේ අර්බුදයට බලයේ සිටි පාලකයන් ඍජුව ම වග කියන්නට ඔ්නෑ බව.

ඒක නිර්පාක්ෂික නැගිටීමක් වුනත් දේශපාලන වශයෙන් සංවේදී පිරිසක ගෙ නැගිටීමක් – ආරම්භය සම්බන්ධයෙන් අරගලය කියනවට වඩා විරෝධයක් කියල හඳුන්වන එක වඩාත් නිවැරදියි.

කොහුවල, රාජගිරිය, මිරිහාන, විහාර මහා දේවි උද්‍යානය වැනි තැන් වලින් කුඩා කණ්ඩායම් ලෙස එකතු වෙමින් ශක්තිමත් වෙමින් අවසානයේ ගෝල්ෆේස් පිටිය තුළට අප්‍රේල් 9 දා ඒකරාශි වූ විරෝධතාකරුවන් ඒ තුළ පැල් බැඳ ගත්තා. සැලසුමක් අනුව ම නොවුනත් එවැනි කඳවුරු බැඳීමකට අවශ්‍ය තත්වයක් ඒ වන විට රට තුළ මෝරමින් තිබුණ.

ඒක ඉදිරියට යන කොට, පිරිස ගණනින් වැඩි වන විට, දේශපාලන වශයෙන් සංවේදී මිනිසුන්ට හා උගත් මධ්‍යම පංතික පිරිස් වලට අමතරව, සාමාන්‍ය මිනිස්සු ද එකතු වුනා.

දේශපාලන පක්ෂ මේ නිර්පාක්ෂික නැගිටීම සම්බන්ධයෙන් පුදුමයට පත් වුනා. කලබලයට ද පත් වුනා. විශේෂයෙන් අරගලය තමන්ගෙ භුක්තියට සම්බන්ධ කර ගෙන තිබුණු බලවේග විශේෂයෙන් කලබලයට පත් වුනා. නිසි සංවිධානයක් නැති ව ගෙන යන මේ අරගලය අරාජිකත්වයකට මග පාදන බවක් කියවුනා.

ඒ අතර අරගලය නිශ්චිත දේශපාලන පක්ෂයක නායකත්වයක් යටතේ සිදු නොවීම ම බොහෝ දෙනෙකුට මේ ධජය යටතේ සිට ගන්නට පහසුවක් වුනා. අරගලය දලු ලා වැඩීමට තීරණාත්මක සාධකයක් වුනා.

ගෝඨා ගෝ හෝම් කියල පටන් ගත්තත්, පස්සෙ කාලෙක ඒක මයිනා ගෝ හෝම් කියල මහින්දත් ආවරණය වන විදිහට පළල් වුනත්, ගෝඨාට සහ රාජපක්ෂ පවුලට පමණක් නොවෙයි ඔවුන් නියෝජනය කළ මතවාදයට ද එරෙහි ව විරෝධය ක්‍රියාත්මක වුනා. ජාතිවාදය ප්‍රතික්ෂේප කෙරුණා. බහුතරය ගැන විශ්වාසය තබා සෙස්සන් බැහැර කළ රාජපක්ෂ මතවාදය සියලු ජන කොටස් වලට විවෘත කෙරුණු ගෝල්ෆේස් ක්‍රියාදාමය මගින් බැහැර කරනු ලැබුවා. පවතින පාලනය පිළිබඳ කලකිරීම හා විරෝධය ප්‍රකාශ කිරීම යන මූලික කොන්දේසිය යටතේ බහුවිධ අදහස් වලට ඉඩ ඇති තැනක් ගෝල්ෆේස් භූමිය තුළ නිර්මාණය වී තිබුණා.  

වෙනදා කරන අරගලවල දී මෙන් පොලීසියත් එක්ක ගැටුම් ඇති කර නොගෙන සාමකාමී උපාය මාර්ගයක ට සීමා කෙරුණු ඒ අරගලයට ඒ නිසා ආදරයේ අරගලය ලෙස හඳුන්වන්නට ද සමහරු පෙලඹුණා. අරගල භූමිය සංවාදවලට කලා ක්‍රියාකාරකම් වලට ඉගෙන ගැනීමට පොත් කියවීමට පොලඹවන තැනක් බවට පත් වුනා. දේශපාලන සංවිධාන වලින් මෙහෙයවන උද්ඝෝෂණ වල දක්නට ලැබෙන මෘග බලය වෙනුවට නිර්මාණාත්මක ආකාරයන්ගෙන් විරෝධය පල කිරීම කැපී පෙනෙන කරුණක් වුනා.

ගොඩ වැඩි කර ගැනීමේ සහ ඩිල් දැමීමේ සම්ප්‍රදායික දේශපාලන පක්ෂ වල ක්‍රියා පාටිය සම්බන්ධයෙන් තිබූ කලකිරීම 225 ම එපා යන සටන් පාඨයෙන් ඉහල ට ඔසවා තබනු ලැබුවා.

විරෝධයට සහය රටේ හැම තැනින් ම ලැබෙමින් තිබුණා “ගෝඨා-ගෝ” ගම් ප්‍රධාන නගර ආශ්‍රිතව ද පැන නැංගා. ආණ්ඩුව හැම ක්ෂේත්‍රයක ම දුර්වල වෙමින් තිබුණා. ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශව දෙක අතර ජනාධිපති හා අගමැති අතර ගැටුම ඊට සමාන්තරව උග්‍ර වෙමින් තිබුණා. තමන්ගේ ගැලවීම වෙනුවෙන් අනෙකා කැප කිරීම ට දෙපාර්ශවය ම සූදානම් වෙමින් සිටියා. අගමැතිට අස්වන ලෙස ජනාධිපතිගේ බලපෑම් ඇති වෙමින් තිබුනා. අරලිය ගහ මන්දිරයට අගමැතිට සහය පල කරන්නට පිරිස එක් වන්නේ ඒ අතරතුරේ දී. ඒ රැස්වීම අවසානයේ ගෝල්ෆේස් අරගල භූමියට කඩා වැදුනු පිරිස් විසින් එල්ල කරන ලද ප්‍රහාරයෙන් පසු එලැඹි හෝරාව තුළ වඩ වඩාත් පිරිස් ගෝල්ෆේස් පිටියට එක් වී ඊට විරුද්ධත්වය පල කළා. රට පුරා වාහන හා ගෙවල් ගිනි තැබීම් ආරම්භ වීමත් සමග අගමැතිට තවදුරටත් තනතුරේ සිටිය නොහැකි තත්වයක් උදා වුනා. අරගලයේ පළමු උච්චස්ථානය එසේ මැයි 9 දා සනිටුහන් වුනා.

ඇති වූ දේශපාලන හිඩැස පිරවීමට කිසිදු සාධනීය ක්‍රියාවක් ගැනීමට විපක්ෂ බලවේග කටයුතු කළේ නැහැ. උත්සන්න කළ අර්බුදය විසින් තමන්ගේ ඔඩොක්කුවට බලය ලබා දෙනු ඇතැයි ඔවුන් විශ්වාස කළා. ඊළඟ මැතිවරණයේ දී ගොඩ වැඩි කර ගැනීමට මිසක අර්බුදය විසඳීමට දේශපාලන නායකත්වයක් දීමට ඔවුන්ට ඔ්නෑ කමක් හෝ හැකියාවක් තිබුණේ නැහැ. ඒ සඳහා තැතක් දැරූ එක ම පුද්ගලයා වූයේ චම්පික රණවක පමණයි. ඒත් ඔහුගේ දේශපාලන පක්ෂය එතරම් ශක්තිමත් එකක් වුනේ නැහැ. වෙන කිසිවෙකුත් ඒ ව්‍යායාමයට එක් කර ගැනීමට ඔහුට නොහැකි වීමෙන් ඒ ව්‍යායාමය අත හැර දැමීමට ඔහුට ද බල කෙරෙනවා.

ලංකා ඉතිහාසය තුළ සිදු වූ වඩාත් උත්ප්‍රාස ජනක සංසිද්ධිය ඒ සමග සිදු වුනා. ආසනයක්වත් ජය ගන්නට නොහැකි වූ ජාතික ලැයිස්තුවෙන් එක් ආසනයක් පමණක් උරුම කර ගෙන ඒ මතින් මැති සබයට ආ රනිල් අගමැති තනතුරට පත් වුනා. රනිල්ගෙන් බේරා ගත් රට නැවතත් රනිල්ට ම බාර දීමට පොහොට්ටු පක්ෂයට සිදු වුනා. දේශප්‍රේමයට බටහිර අධිරාජ්‍යවාදයේ කූජීත නියෝජිතයා තමන්ගේ ගැලවුම් කාරයා ලෙස පිලි ගැනීමට බල කරනු ලැබ සිටියා.

තවත් මාස දෙකක් ගත වෙන්නේ කිසිදු වෙනසක් රටේ සිදු වන්නේ නැතිව. රනිල් විශ්වාසයෙන් යුතු ව අර්බුදයට මුහුණ දීමට කැමැත්ත හා වුවමනාව ප්‍රකාශ කළත් ඔහුට ද ඒ කාලය තුළ විශාල වෙනසක් කරන්නට හැකි වන්නේ නැහැ. ඒ වන විට අරගල බිමේ යම් වෙනස් කම් ගණනාවක් සිදු වෙමින් තිබුණා. ඒ ජවිපෙ පෙරටුගාමී පක්ෂය වෘත්තී සමිති හා අන්තර් විශ්වවිද්‍යාල ශීෂ්‍ය බල මණ්ඩලය අරගලයේ තීරණාත්මක කොටස් කරුවන් බවට ක්‍රමයෙන් පත් වෙමින් තිබීම යි. ඊට සමාන්තරව ගෝඨාට මෙන් ම රනිල්ට ද විරුද්ධව සටන් පාඨ වේදිකාවට එනවා. රනිල් වික්‍රමසිංහ රනිල් රාජපක්ෂ ලෙස භෞතීස්ම කරනු ලබනවා.

මාසයේ 9 වෙනිදා දිනය තෙවැනි වතාවටත් තීරණාත්මක එකක් බවට පත් කරමින් ජූලි 9 දා අරගලය අවසන් කිරීමට එක් වන ලෙස ලැබෙන ආරාධනය පිළිගෙන මහජන ගඟක් කොළඹට ගලනවා. අරගලයේ ප්‍රධාන සටන් පාඨය වූ ගෝටා ගෝ හෝම් ජයග්‍රහණය කිරීමෙන්, ගෝඨාගේ ඉල්ලා අස්වීමෙන්, අරගලය ජයග්‍රාහී උච්ච ස්ථානයකට පැමිණෙනවා.

ඒ සමග ම අරගලයට සටන් පාඨ අහිමි වීමේ තර්ජනයක් එනවා. රනිල් එලවන සටන් පාඨයේ ඔවුන් එල්ලෙනවා.

ඇති වූ හිස් තැන් පුරවන්නට නැවතත් දේශපාලන බලවේගයන්ට අවස්ථාව ලැබෙනව. වැඩ පිළිවෙළක් වටා බලවේග එක් රැස් කරන්නට කටයුතු කරන්නේ නැතිව නැවතත් පරණ පුරුදු පුද්ගලයන් වටා එක් රැස් වන්නට ඔවුන් කටයුතු යෙදෙනවා. පොහොට්ටුවට එක්තරා ආකාරයක අනියම් ජයක් සනිටුහන් කරමින් රනිල් ජනාධිපති වෙනව. ඡන්ද ගැන කරන විශ්ලේෂණ වලදි පොහොට්ටුවට බාහිර ජන්ද ද රනිල් ලැබී ඇති බවට කතා පල ව තිබුණා.

රනිල් ජනාධිපති හැටියට ඉක්මනින් ස්ථාපිත වෙන්න උත්සහ කළත් ඔහු එල වන තැනට ගෝල්ෆේස් බිමේ සටන් පාඨ නැවතත් නැගෙන්න පටන් ගන්නවා. ඒත් ඒ සටන් පාඨ තවදුරටත් ආකර්ෂණීය වන්නේ නැහැ. එන එන අය එලවමින් ඉඳීමේ තේරුම ප්‍රශ්න කෙරෙනවා. රටේ ව්‍යවස්ථාව අනුව මිසක වෙනත් ආකාරයකට කටයුතු කරන්නට බැරි කමක් එනවා. එවැනි විකල්ප විප්ලවකාරී මැදිහත් වීමකට නායකත්වයක් දෙන්නට තරම් පිළිගත් දේශපාලන බලවේගයක් මහ පොළොවේ නැති යථාර්ථයට මුහුණ දෙන්නට අරගලයට බල කෙරෙනවා. තවදුරටත් ඉදිරියට යන්න බැරි තැනකට අරගලය පත් වෙනව. මහජන අරගලයකට පවතින තත්වයකට විරෝධය දක්වන්නට අති මහත් ශක්‍යතාවක් තිබෙන බව වගේ ම ඒ තත්වය වෙනස් කිරීම සම්බන්ධයෙන් ඔවුන්ට කළ හැකි දේ අතිශයින් අල්ප බව ද ජූලි 9 දායින් පසු පැහැදිලිව පෙනෙන්නට ගන්නවා.

තත්වය තේරුම් ගත් කණ්ඩායම් කීපයක් අරගල භූමියෙන් ඉවත් වෙනවා. ජූලි 9 දා ජයග්‍රහණයත් සමග ව්‍යවස්ථාවට අනුව ඉදිරි කටයුතු කර ගෙන යෑමට ඉඩ සලසමින් ජයග්‍රාහී තැනක සිට තමන් ඉවත් වන බවත් නව පාලනය නිසි පරිදි කටයුතු නොකරන්නේ නම් තමන් නැවත වතාවක් අගනුවර වට කරන බවත් කියමින් අරගලය අවසන් නොකිරීමේ බරපතළ වැරැද්ද ගෝල්ෆේස් හා අවට ගොඩනැගිලි වල රැඳෙමින් කල් මරන අය කරනවා. අරගලය මරා දැමීමේ ම ප්‍රධාන අලුගෝසුවා බවට ඔවුන් තමන් ව ම පත් කර ගන්නවා. ජූලි 9 මහජනතාව ප්‍රදර්ශනය කළ ශක්තිය මත අරගලය තවදුරටත් ගෙන යා හැකි යැයි ඔවුන් කල්පනා කළා වෙන්නට පුළුවන්.

ඒත් රනිල් පැන්නීමේ නව අරගලයක් ගෙන යෑමට සූදානමින් රැඳෙන කොටස ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඉවත් කරන්නට රනිල් හමුදා බලය ජූලි 21 දා මහ රෑ යොදනවා. ඒක ඉවත් කිරීම ධජය යටතේ සිදු වුනත් ඉවත් වන අයට පස්සෙන් පන්නා ගහන්නට පවා හමුදාව පෙලඹෙනවා. ඒ මර්දනය නොකටයුතු වුවත් මැයි 9 මැර ප්‍රහාරයෙන් පසු එක් වුනාක් මෙන් ජනතාව ඊට විරුද්ධ එක් වුනේ නැති බව පැහැදිලිව පෙනෙන්නට වුනා. එක ම ජනතාවක් මෙසේ වෙනස් විදිහට කටයුතු කරන්නේ මන්දැයි අරගලකරුවන් විපිළිසර කෙරුණා.

රට දිගින් දිගට අරාජිකත්වය තුළ තබා ගත නොහැකි බව පළල් ජනතාවකට තේරුම් යමින් තිබීමත් තෙල් හා ගෑස් ප්‍රශ්න වලට තරමක් සාධනීය විසඳුම් ලැබෙන ක්‍රමයක් ඇති වෙමින් තිබීමත් මේ වෙනසට බලපාන කරුණු අතර තිබුණා. රාජපක්ෂලාට වඩා යම් සාධනීය වෙනසක් රනිල් විසින් කරනු ලැබේ යැයි මධ්‍යම පන්තියට අයත් සමහර ස්ථරයන් විශ්වාස කිරීමත් මේ තත්වයට බලපාන්නට ඇති.  වටපිටාවේ සිදු වෙමින් තිබුණු මේ පරිවර්තනය ගැන අරගලයේ රැඳෙමින් උන් අය තේරුම් ගත්තේ නැහැ. මැයි 9 දා මැර ප්‍රහාරයෙන් පසු ජනතාව දැක් වූ සහයෝගය ජුලි 21 දා ප්‍රහාරයෙන් පසු නොලැබුනේ ඇයි දැයි විග්‍රහ කර ගන්නට බැරිව ඒ නිසා ඔවුන් අතරමං වුනා.

ආණ්ඩුව දියත් කළ මර්දනයට මුහුණ දෙන්නේ කෙසේ දැයි කල්පනා කරන තැනකට ඔවුන් වැටුනා. ඒ සඳහා ප්‍රමාණවත් මහජන සහයෝගයක් ලබා ගැනීමට නොහැකි වීම ගැන බොහෝ චෝදනා අහන්නට ලැබුනා.

අරගලය නැවත පණ ගැන්වීමට ගත් සියලු උත්සහයන් මේ වන විට අසාර්ථක වී තිබෙනවා. දෙවන වටයක් ගැන කතා කළත් ඒ අරගලයට දෙවැනි වටයක් නැහැ. ඒක දැන් ඉවරයි. එයින් අදහස් කරන්නේ නව අරගලයක් නැවත කිසි දා මතු නොවන බව නොවේ. ඒ අරගලය ඒ ආකාරයෙන් දෙවැනි වටයකට කැඳවිය නොහැකි බව පමණයි. ඒ අරගලය පසු බැසිය යුතු අවස්ථාවේ පසු නොබැස රඳවා ගැනීමට උත්සහ කළ අය විසින් මරා දමනු ලැබ තිබෙනවා.

ඒත් අරගලයේ අපේක්ෂා තවමත් මුළුමනින් ඉටු වී නැහැ. තවමත් සමහර කටයුතු සිදු වන්නේ පරණ ක්‍රමයට ම තමා. පොහොට්ටුවේ බලය සෙලවුනත් එය නැති වී නැහැ. රනිල් පොහොට්ටුව මෙහෙයවනවා ද පොහොට්ටුව රනිල් මෙහෙයවනවා ද යන්නත් තවම අපැහැදිලියි. ආර්ථිකය මෙහෙයවීම සම්බන්ධයෙන් රනිල්ට යම් නිදහසක් ලැබී ඇති බව පෙනෙන්නට තියෙනවා. ඒත් ඉතිරි දේ සම්බන්ධයෙන් ඔහු සිර වී ඇති බවක් පෙනෙන්නට තියෙනවා. කෙසේ වුවත් විපක්ෂයේ අසමත් භාවය නිසා ම රනිල් මේ වන විට සිරකරුවෙකු ලෙස සිටිමින් ම රටේ එක ම ගැලවුම් කරුවාගේ භූමිකාව ද රඟපාමින් ඉන්නවා.

පවතින අර්බුදය රටේ විශාල වෙනස් කම් ඉල්ලා සිටිනවා. ඒ ගැන ආණ්ඩුව මෙන් ම විපක්ෂ බලවේග ද ප්‍රමාණවත් ලෙස සංවේදී බවක් නම් තවම පෙනෙන්නට නැහැ. ඔවුන් දැන් ඊළග මැතිවරණයට සූදානම් වෙමින් ඉන්නවා.

ඊළඟ අරගලය සිදු වන්නේ විපක්ෂය මැතිවරණයක් ඉල්ලා කරන මැදිහත් වීම තුළ ද නැතිනම් මැතිවරණයෙන් පත් වන ඊළඟ ආණ්ඩුව පලවා හැරිම සඳහා ජනතාව කරන මැදිහත් වීම තුළ ද යන්න තවම පැහැදිලි නැහැ.

රටේ පවතින අර්බුදය ඉල්ලා සිටින්නේ දේශපාලන වාසි ලබා ගැනීම සඳහා ගොඩ බෙදා ගැනීමේ මානසිකත්වයෙන් මිදී සියලු දේශපාලන බලවේග වලට පොදු වැඩ පිළිවෙළකට එක් වීමට යි. එසේ සිදු වන බවක් නැහැ. විරෝධය දැක්වීම ප්‍රශ්නයක් මතු කර ගැනීමේ මාර්ගයක් වූවා ට ප්‍රශ්නයක් විසඳීමට ඊට හැකියාවක් නැහැ. ඒ සඳහා නිර්මාණාත්මක උත්සහයක් ඔ්නෑ. විශේෂයෙන් අර්බුදය බරපතල වූ විට ඒ සඳහා ප්‍රතිකර්මයන් සංකීර්ණ වූ විට බහු පාර්ශවික උත්සහයක් ඔ්නෑ. එසේ නොවන පසුබිමක ඔ්නෑ ම දෙයක් සිදු විය හැකි යි. ඒ නිසා ම අතීතය විග්‍රහ කළ හැකි වුවත් අනාගතය අතිශයින් අවිනිශ්චිත යි. ඒ ගැන පුරෝකථනය කරන්න නම් බැහැ.

ජන සභා – මැජික් විසඳුමක් ද? බියකරු සෙවනැල්ලක් ද? ‌

ජන සභා ද නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ද?

පාර්ලිමේන්තුවට ජනතාව විසින් ම පත් කළ නියෝජිතයන් පිස්සු කෙළින නිසා ජනතාවට ඒ බලය කෙළින්ම ලබා දිය යුතු බවට සංවාදයක් මතු ව තිබේ. හරි හමන් නියෝජිතයෙකු පත් කර ගන්නට නොහැකි ජනතාවක් තමන් විසින් ම තීන්දු ගැනීමේ දී නිවැරදි තීන්දු ගන්නේ කෙසේ දැයි යන මූලික ප්‍රශ්නය මොහොතකට පැත්තකින් තබා සිදු විය හැකි දේ කුමක් ද යන්න දෙස බලමු.

පළමුව ජන සභාවක දී බාහු බලය වාග් බලය හා බහුතර බලය යන සාධක තර්ක විතර්ක කරුණු අභිබවා යන්නට ඉඩ තිබීම ය. හැගීම් වලට යටත් වී තීන්දු තීරණ ගැනීමට ඉඩ තිබීම ය. දිගුකාලීන ප්‍රතිඵල ගැන ප්‍රමාණවත් අවධානයක් නොකොට ක්ෂණික වුවමනාවන් සාක්ෂාත් කර ගන්නට යොමු වීමට ඉඩ තිබීම ය. පහුගිය දවස්වල ඇතැම් තැනක සිදු වුනා සේ ගමේ පිරවුම් හලේ ඉන්ධන නිකුත් කිරීමේ දී ප්‍රමුඛතාවය හිමි විය යුත්තේ ගමේ මිනිසුන්ට බව තීරණය කරන්නට ඉඩ තිබීම ය.

දෙවැන්න සුළුතරයකගේ වුවමනා එපාකම් පසෙකට ලා බහුතරයේ හැගීම් හා වුවමනාවන්ට යටත් වීමට ඉඩ තිබීම ය. උදාහරණයක් ලෙස රෝගීන්ගේ දරුවන්ගේ නින්දක් ලැබීමේ අයිතිය පසෙකලා බහුතරය කැමති (අඩුවශයෙන් ඔවුන් එලිපිට විරුද්ධ නොවන) පිරිත් ඇසීමට රෑ පුරා ඉඩ දීමට සිදු වීම ය. සරසවිය තුළ ද අද ද සිදු වන වාක් මෙන් පළමු වසරේ ජේෂ්ඨ උත්තමයන් නියම කරන ඇඳුමකින් සැරසී සිටිමට නවන සිසුන්ට තවත් බොහෝ තැන්වල ද සිදුවන්නට ඉඩ තිබීම ය.

තෙවැන්න පුද්ගල වුවමනාවන් පසෙකලා බහුතර වුවමනා එපා කම් වලට මුල් තැන දීමට සිදු වීම ය. මා කළ යුත්තේ කුමක්  ද නොකළ යුත්තේ කුමක් ද යන්න පිළිබඳ තීරක බලය මගෙන් ඉවත් කොට කණ්ඩායම සතු කරගන්නට ඉඩ තිබීම ය. උදාහරණයක් ලෙස මා බඩු ගත යුත්තේ කුමන කඩ වලින් ද වර්ජනය කළ යුත්තේ කුමන කඩ ද යන තීරණය පහුගිය කාලයේ එක් වකවානුවක මගෙන් අහිමි කිරීමට උත්සහ ගත්තා වැනි දේ සිදු වීමට ඉඩ තිබිම ය.

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය මේ අලකලංචි වලින් නිදහස් ද? එය මේ සංවාදයේ දී නැගිය යුතු අතිශයින් සාධාරණ ප්‍රශ්නයකි. ඍජු උත්තරයක් දෙතොත් කියන්නට තියෙන්නේ මුළුමණින් නිදහස් නැත යන්න ය. එහෙත් ඒ තුළ මේවා මතු වීමට ඇති ඉඩ අහිමි කර තිබේ.

නියෝජිතයෙකු වීමට ඡන්දය ලබා ගත යුතු ය. එහි දී හැම ඡන්දයකට ම ඇත්තේ සමාන වටිනාකමකි. ඡන්දය අයිති බහුතරයකට ද සුළුතරයකට ද නැත්නම් පුද්ගලයෙකුට ද යන්න අදාළ නැති නිසා ය. ඒ නිසා ඡන්ද අපේක්ෂකයින්ට මේ වුවමනාවන් අතර තුලනයක් ඇති කිරීමට සිදු වේ. හැම විට ම බහුතරයේ වුවමනාවන් පමණක් බලන අපේක්ෂකයන්ට සුළුතරයේ ඡන්ද හිමි නොවන අතර බහුතරය පවා හැමවිටම සමජාතීයය නැති නිසා ඒවා අතර ප්‍රතිවිරෝධයන් පවා තුලනය කිරීමට සිදු වේ.

ඊට අමතරව නීති පැනවීමේ නිශ්චිත යාන්ත්‍රණයක් තිබේ. පනතක් හරහා මිස පනතකින් බලය ලබා මිස නීතියක් පැනවිය නොහැකි ය. ඊට අමතරව එවැනි පනතක් සම්මත කර ගැනීමේ ක්‍රමවේදයක් ද තිබේ. පනත ඉදිරිපත් කිරීමට පෙර එය මහජනයාට දැක බලා ගත හැකි ලෙස ගැසට් කළ යුතු ය. ඒ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට ගොස් විරුද්ධත්වය පළ කිරීමේ අයිතියක් තනි පුද්ගලයෙකුට පවා තිබේ. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව විසින් පනවා ඇති පුද්ගල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමේ ප්‍රතිපාදන යටතේ ය.

පනත පිළිබඳ සංවාදයක් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍ය හරහා කළ හැකි ය. එහි දී විද්වත් මතයන්නට සවන් දීමට සිදු වේ. මේ හේතු නිසා හැගීම් මත පමණක් තීරණ ගැනීමට අවකාශය අඩු ය.

ජනාධිපතිගේ වචනය නීතිය යැයි අපේ හිටපු ජනාධිපති පැවසුවාට ඒ කතාවට රාජ්‍ය යාන්ත්‍රණය තුළ (විධායකය හා අධිකරණය තුළ) පිළිගැනීමක් නැත. එවන් යාන්ත්‍රණයකින් තොර ජන සභාවක තීන්දු කෙසේ වනු ඇද්ද?

නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය පවා හොඳින් ක්‍රියාත්මක වන්නේ දැනුවත් සමාජයක ය. එසේ තිබිය දී ජන සභා වෙනත් පසු බිමක කෙසේ වත් හොඳින් ක්‍රියාත්මක වීමේ ඉඩක් නැත.

ඒ නිසා කළ යුත්තේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය ජන සභාවලින් විස්ථාපනය කිරීම නොවේ. නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය නිසි ලෙස ක්‍රියාත්මක කළ හැකි වන පරිදි දැනුවත් ජනතාවක් නිර්මාණය කිරීමේ ය. ඒ වගකීම බාර නොගෙන ජනතාවට බලය දෙනවා යැයි කියන ජනප්‍රිය සටන් පාඨයට කළ හැක්කේ වඳුරෙකුට දැලි පිහියක් දෙනවාට සමාන කටයුත්තකට අනුබල දීම පමණකි.

මා සිට ගත යුත්තේ කොතැනක ද?

මා සිට ගත යුත්තේ කොතැනක ද?

ඔබ එක්කෝ අප සමග ය. නැත්නම් ත්‍රස්තවාදීන් සමග ය. මෙසේ කීවේ ඇමරිකාවේ 9-11 සිද්ධිය කාලේ ජනාධිපති ව සිටි ජෝර්ජ් බුෂ් ය. ත්‍රස්තවාදයට විරුද්ධව මැදපෙරදිග හා ඇෆ්ඝනිස්ථානයේ  ඊනියා යුද්ධය ආරම්භ කරමින් හා පැවති සටන් තීව්‍ර කරමින් ය.

අප මේ තත්වයට ඇද දැමූ මුල් ම හා අවසාන පුද්ගලයා ඔහු නොවේ. ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ ද එහි දෙපාර්ශවය ම සෙසු ජනතාව කෙරේ අනුගමනය කළේ ඒ ක්‍රියාමාර්ගය ය. දකුණේ නම් යුද්ධය ගැන සැක පහළ කළ, වෙනත් විකල්ප දේශපාලන ක්‍රියාමාර්ගයන් යෝජනා කළ, අය ව සැලකුණේ ත්‍රස්තවාදීන් ම හැටියට ය. කොටි හිතවාදීන් හැටියට ය. ඒ නිසා මෙය අපට ද ඉතා හුරු පුරුදු කතාවකි.

මෙවැනි මහා දේශපාලන කාරණා සම්බන්ධයෙන් පමණක් නොව ජීවිතයේ සිල්ලර කරුණු සම්බන්ධයෙන් ද අපෙන් ඉල්ලා සිටින්නේ දෙකෙන් එකක් තෝරා ගැනීමට ය. ඒ ඉල්ලීම දෙපැත්තේම අන්තවාදීන් විසින් කිරීම ද සුවිශේෂ ය.

ඊට අමතරව මැද ඉන්නා අය දෙස බලන තවත් ආකාරයක් තිබේ. ඒ අවස්ථාවාදීන් හැටියට ය. මඩේ සිට වූ ඉණි හැටියට ය. වැට උඩ ඉන්නා මෙලෝ රහක් නැති මිනිසුන් හැටියට ය. කිසිම දෙයක් සම්බන්ධයෙන් අස්ථානයක් ගත නොහැකි වැනෙන චරිත හැටියට ය. දෙපැත්තේම  අන්තවාදීන් කියන්නේ මැද ඉඳිමින් ඔවුන් සහය දක්වන්නේ ප්‍රතිවාදී පිලට ය කියා ය.

මට ද මේ අත්දැකීමට ජීවිතයේ අවස්ථා ගණනාවක සිදු ව තිබේ. අද මා මුහුණ දී තිබෙන්නේ ද ඒ අභාග්‍යයට ය. ඉතිහාසයෙන් පටන් ගනිමින් මගේ මේ අත්දැකීම අද දක්වා පැමිණි මග පළමුව ඔබ හා බෙදා ගන්නෙමි.

LTTE සංවිධානයේ දේශපාලන අරමුණ වූ දෙමල ජනතාවට ස්වයං පාලනයක් පිළිබඳ අදහසට මා එකඟ නමුත් ඒ සඳහා ඔවුන් අනුගමනය කළ අමානුෂික ත්‍රස්ත උපායමාර්ගයන් සමග එකග වීමට මට නොහැකි විය. එම අමානුෂික උපායමාර්ගයන් වලට තිත තැබීම සඳහා ආණ්ඩුව යුද වැදීම සම්බන්ධයෙන් මට විරුද්ධ විය නොහැකි වූ නමුත් ඒ සඳහා ආණ්ඩුව අනුගමනය කළ දෙමළ ජනතාව සතු සියල්ල පරදුවට තබන – ඔවුන් නොසළකා හැර – ක්‍රියාත්මක කළ යුද්ධයේ ස්වරූපය සමග එකඟ වීමට මට නොහැකි විය. ඒ නිසා ම ඒ ගැන මගේ හඩ අවදි කිරීමට මට සිදු විය.

ජනතාව වල පල්ලට තල්ලු කළ ආණ්ඩුවට එරෙහිව ජනතාව ආරම්භ කළ අරගලයට මගේ පක්ෂපාතිත්වය පළ කළේ වුව ද ඒ තුළ මතුවුනු ත්‍රස්තවාදය හා ආරාජිකත්වය සමග එකඟ වීමට මට නොහැකි විය. ගෝඨා එලවන තුරු අරගලයට දැක් වූ පක්ෂපාතිත්වය පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයෙකු පත් කළ පසුත් නොකඩවා පවත්වගෙන යෑම නිසා දිගින් දිගට පළ කළ නොහැකි තැනකට මම පත් වී ඇත්තෙමි. ඒ පත් කළ ජනපතිට ඇති සුවිශේෂ කැමැත්තක් නිසා නොවේ. රටට විරාමයක් අවශ්‍ය යැයි හැගෙන නිසා ය. ඒ නිසා ම පත් කළ ජනපති රටට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට කරන උත්සහය සමග එකඟ වීමට කැමති මට ඔහු ඒ සඳහා අනුගමනය කළ භට පිරිස් යොදවා කැරලිකරුවන්ට පසු පස එලවමින් කළ පහර දීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි විය ය. අත්අඩංගුවට පත් වන කැරලි නායකයින්ගේ ඇතැම් හැසිරීම ගැන මගේ එකඟත්වයක් නැති නමුත් ඔවුන් අත්අඩංගුවට ගනිමින් මේ රගන වත්මන් නාඩගම ගැන ද මට එකඟ විය නොහැකි ය.

අන්ත දෙකින් එකක් තෝරාගන්නට බල කරන මිනිසුන්ගෙන් අපට අඩුවක් නැත. ඒ අය තම ප්‍රතිවාදීන් දෙස බලනවාට ද වඩා වෛරයෙන් බලන්නේ කඳවුරක් තෝරා ගැනීමට අකමැති මිනිසුන් දෙස ය. අදාළ අර්බුදයන් උත්සන්න වන අවස්ථා වල ප්‍රතිවාදී කඳවුරු දෙකේ ම නිර්දය විවේචනයන්ට පමණක් නොව පහර දීම් වලට ද ඔවුන් ලක් වෙයි. මේ බව යුද්ධය උත්සන්න වූ අවස්ථාවල ද සාම සාකච්ඡා ඉදිරියට ඇදෙන අවස්ථාවල ද 88-89 කැරල්ල සිදු වුනු කාලය තුළ ද අසීමාන්තික විදිහට උත්සන්න වූ බව අපට මතක ය. සමහර අවස්ථාවල එසේ පහර එල්ල කරන්නේ කවුරුන් දැයි සිතා ගැනීමට පවා නොහැකි වෙයි. විජය කුමාරණතුංග ප්‍රේමකීර්ති ද අල්විස් ඇතුළු කිසිදු අපරාධයක් නොකළ මිනිසුන් පවා මරා දැම්මේ කවර කණ්ඩායමක් විසින් ද යන්න අදට ද අභිරහසකි. වෛරය එසේ එල්ල වන්නේ ඔවුන් වඩාත් අසරණ කරනු ලබන්නේ ප්‍රතිවාදීන්ගේ තර්කයන් විසින් නොව මෙවැනි කඳවුරකට ගාල් කළ නොහැකි නිදහස් මිනිසුන්ගේ තර්කයන් නිසා ය.

දරුවා නෑවීමෙන් පසු ඉතිරි වූ කුණු වතුර එලෙස ම තබා ගැනීමට මට කිසිදු වුවමනාවක් නැති නමුත් බාල්දිය සමග දරුවා විසි කිරීමට ද මට වුවමනාවක් නැත. ප්‍රශ්නය ඇත්තේ අන්ත දෙකින් එකක් තෝරාගන්නා ලෙස බලකරමින් හඩ නගන මිනිසුන් ඉදිරියේ මට පය ගසා ගැනීමට තැනක් අහිමි කරනු ලැබ තිබීම ය. මා සිට ගත යුත්තේ කොතැන දැයි සම්බන්ධයෙන් ඔබට වත් උපදෙසක් දිය හැකි වෙනු ඇතැයි මම සිතමි.

ජනවරම කරේ තබා ගෙන යා හැකි තරමට සුජාත ද?

අද වඩාත් වර නැගෙන වචනය ජනවරම යන්න ය. එය වඩාත් දැඩි ලෙස භාවිතා වූයේ රනිල්ගේ අගමැති හා වැඩබලන ජනාධිපති ප්‍රාප්තිය හෑල්ලු කරනු සඳහා ය. අද එය ඔහුගේ ජනාධිපති ප්‍රාප්තිය සාධාරණීකරණය කරනු සඳහා ප්‍රතිපක්ෂය විසින් ද භාවිතා කරන්නට පටන් ගෙන තිබේ. එක ම කාරණය ප්‍රතිවිරුද්ධ ලෙස භාවිතා කිරීමේ පුදුම හැකියාවක් තර්කයට තිබේ.

හෑල්ලු කරනු සඳහා ගෙනෙන තර්ක අතර තිබෙන්නේ ඔහුට සිය ආසනය පවා ජය ගන්නට බැරි වූ බවත් එසේ වූ ඔහු පක්ෂයට ලැබෙන ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය යොදා ගනිමින් “හොර” පාරෙන් පාර්ලිමේන්තුවට පැමිණි බවත් ය. සාධාරණීකරණය කරනු සඳහා ඉදිරිපත් වන තර්කය නම් ඔහු පත් වන්නේ ජනවරමක් ඇතුව පැමිණි මන්ත්‍රිවරුන්ගේ නීත්‍යානුකූල ඡන්දයෙන් බවත් ඒ නිසා එය ව්‍යවස්ථානුකූල වනවාට අමතර ව නව ජනවරමක් සහිත බවත් ය.

සමහරු කරේ තියාගෙන වටේ යන, තවත් අය ප්‍රතිවාදියාට පහර දීම පිණිස භාවිතා කරන, තවත් අය නැතිව ම බැරි යයි සිතන මේ ජනවරම ඇත්තට ම කුමක් ද?

මේ ජනවරම වනාහි ඊනියා බැංකු “හොරෙකු” ගෙදර යැවූ නිසා අතිශය ප්‍රබල ලෙස පෙන්වා ඉහළ ලංසුවක් තැබිය හැකි වූ ද ඒ බැංකු හොරා ඇල්ලූ කෝප් කමිටුවේ සභාපති පැරදවීම හරහා දෙකේ කොළයට පහළ ගියා වූ ද අටමගලයකි.

ඊට දිය හැකි ආසන්න ම ලාංකික අර්ථ කථනය නම් අපරාධ නඩු ගණනාවක් තියෙන අපේක්ෂකයින් (හොරකම්, මැරකම්, වංචා හා දූෂණ සම්බන්ධයෙන් චෝදනා රාශියක් තිබෙන, ඇතැම් තැනක ඒ නිසා රක්ෂිත බන්ධනාගාර ගත වී සිටින, අපේක්ෂකයින් පවා) ඉතා ඉහළ මනාපයෙන් තෝරා පත් කර ගැනීමට ලැජ්ජාවක් හෝ බියක් නැති මිනිසුන් රැලක් විසින් කරන අපූරු පරිත්‍යාගයක් යන්න ය.

ජනතාවට අභිප්‍රායයන් තිබේ. ඒවා බොහෝමයක් සාධාරණ විය හැකි ය. ඒ අතුරින් සමහර ඒවා එක කණ්ඩායමකට වාසියක් සලසන අතරේ තව කණ්ඩායමකට අවාසියක් සලසන ඒවා විය හැකි ය. ජනවරම ලැබෙන්නේ බහුතරයකට වාසිදායක තැන හිට ගැනීමෙන් පමණකි. ඇතැම් තැනක ඒ නිසා සුළුතරය අතිමහත් පීඩාවන්ට ලක් වෙන බව ජනවරම වෙනුවෙන් නොසලකා හැර තිබේ. ඒ නිසා ජනවරමක් තිබේ ද යන්න පමණක් නොව ඒ ජනවරමේ සුජාත භාවය ද ප්‍රශ්න කළ යුතු ය.

ජනතාවට ඇත්තේ අභිප්‍රායයන් පමණක් නොවේ. ඔවුන්ට ඒ අභිප්‍රායයන් ජය ගත හැක්කේ කෙසේ ද යන්න ගැන මතයක් ද තිබේ. ඒ සඳහා කළ යුත්තේ කුමක් ද යන්න ගැන පමණක් නොව ඒ සඳහා වුව නොකළ යුත්තේ කුමක් ද යන්න ගැන ද ඔවුන්ගේ අදහසක් තිබේ. ඔවුන්ගේ කී පමණින් ඒවා ඔවුන්ගේ නොවන බවත් ඒ ඔවුන් තුළ ඇති කර තිබෙන එකක් මිස ඔවුන් තනිව ම හදා ගත් දෙයක් නොවන බව ඇත්ත ය. එහෙත් ඔවුන් විසින් එය ඔවුන්ගේ කර ගෙන තිබෙන නිසා ඔවුන්ගේ ම බව ද අප විසින් පිළිගත යුතු ව තිබේ. ජනවරම ලබා ගැනීම සඳහා අභිප්‍රායයන් පමණක් නොව එම වැඩ පිළිවෙළ ද වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. ඒවා පරස්පර වුව ද ඒවා වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. වැඩ පිළිවෙළ හරහා ගොස් අභිප්‍රායන් ඉටු කර ගැනීමට බැරි වුව ද ඒ ගැන කිසිවක් නොකියා ඒ වෙනුවෙන් පෙනී සිටිය යුතු ය. උදාහරණයක් ලෙස ආර්ථික අර්බුදය විසඳීම සඳහා ඇතැම් රාජ්‍ය ආයතන පෞද්ගලීකරණය කිරීම වැනි මිනිසුන් අකමැති වැඩ රාශියක් කළ යුතු වුව ද ඒවා නොකරන බව කිව යුතු ය. ඒවැනි සංවේදී ඒවා හංගා, ආර්ථික අර්බුදය වෙනුවෙන් තඩි බෑමට වෙනත් සුදුසු මුව හමක් තෝරා ගත යුතු ය. එහෙම කරන්නට ඉදිරිපත් වන එකා ට ජනවරම ලැබෙන්නේ ය. ඒ නිසා ද ජනවරමේ සුජාත භාවය ප්‍රශ්න කළ හැකි ය.

ජනතාවට පෞද්ගලික සිල්ලර වුවමනාවන් තිබේ. වහලෙට ටකරමක්, පාරට බෝක්කුවක්, පොඩි එකාට ජාතික පාසලක්, බිරිඳට මාරුවක්, ලොකු එකාට රස්සාවක්, තමන්ට වැලි පර්මිට් එකක්, බලපත්‍රයක්, ව්‍යාපාරික අවස්ථාවක්, කොන්ත්‍රාත් එකක් ලෙස මේ ලයිස්තු දිග හැරෙන්නේ ය. ඒ ඔ්නෑම එකක් (සුදුසුකම් පැත්තකට දමා) කර දෙන්නේ නම් ජනතාව ජනවරමක් ලබා දෙන්නේ ය. ඒවා ගැනෙන්නේ අල්ලස් හැටියට ය. ඒ නිසා ද ජනවරමේ සුජාත භාවය ප්‍රශ්න කළ යුත්තේ ය. සිස්ටම් චේන්ජ් කරන්නට උත්සහ කරන්නේ නම් විශේෂයෙන් ප්‍රශ්න කළ යුත්තේ ය.

ජනතාව තමන්ගේ එකෙකු ද පරයෙකු ද යැයි කිසිවෙකු හඳුනා ගන්නා ක්‍රමයක් තිබේ. ජනවරම සඳහා එය ද බලපාන්නේ ය. තමන්ගේ ජාතියට, කුලයට, ආගමට අයත් නම් ද ඒ අනන්‍යතා වෙනුවෙන් නිර්ලජ්ජීව පෙනී සිටින්නේ නම් ද ඒ ලක්ෂණ ඇඳුම තුළ, හැසිරීම තුළ, වචන තුළ, පරම්පරාව තුළ, පෙනෙන්නේ නම් ද ඔවුන් එවැනි අයට මනාප ය. ඩලස් සිය දශක ගණනාවක දේශපාලන ඉතිහාසයේ ශේෂ පත්‍රයේ බැලන්ස් එක ලෙස පෙන්වා දෙන්නේ තමන් බුලත් විට කන විදුහල්පති වරයෙකුගේ පුතෙකු බව ය. වෙන කිසිවක් ගිණුමේ නැති වුව ද ඒ වචන හද කම්පනය කරනු තරම් ප්‍රබල ය. ජනතාව එයින් තේරුම් ගත යුත්තේ තමන්ගේ නියෝජිතයන් විසින් පරාජය කරනු ලැබ තිබෙන්නේ “අපේ” මිනිහෙකු බව ය.

ලංකාවට බොහෝ අභියෝග මැද නිදහස් අධ්‍යාපනය හඳුන්වා දුන් කන්නංගර මහතා ආසනයෙන් පරදවා, ආසනය තුළ කුඩා පාසලක් ඉදි කළ කෙනෙකුට ජනවරම ලබා දීමට මිනිසුන් ක්‍රියා කළ දුරාතීතයක් ද අපට තිබේ. ජනවරම ගැන නැවත සිතා බැලීමට මේ සියල්ල ප්‍රමාණවත් මදි ද?

මේ කියන්නේ ජනවරම වැදගත් නැතැයි කියා ද? එය තුට්ටුවකට නොසැළකිය යුතු යැයි කියා ද? ඒ වෙනුවට වෙනත් විකල්පයක් ඇතැයි කියා ද?

නැත. කිසිසේත් නැත. ඒත් මේ සටහන පැහැදිලිව ම කියන්නේ ජනවරම ඉතා සුජාත එකෙකැයි කියා මොහොතකටවත් නොසිතිය යුතු බව ය. එය ඉතා ඉහළින් සැළකීම සහ එය කර තබා ගෙන වටේ යෑම අශෝභන බව ය.

ජනවරමේ සැබෑ ස්වභාවය ඒ අටමගලය කර තබා ගෙන අයට වැටහීමට නම් තවත් මැතිවරණයක් තැබිය යුතු ය. එයට තවත් කාලයක් ගත වෙතැයි සිතන නිසා මා යෝජනා කරන්නේ ඔය කරේ තබා ගෙන යන එක අවබෝධයෙන් යුතු ව බිමින් තබන ලෙස ය.

ඒ අතර ජනවරම බුද්ධිමත් එකක් කිරීම සඳහා අප විසින් විශාල වැඩ කොටසක් කළ යුතු ව තිබෙන්නේ ය. අවලාද හා ඒක පාක්ෂික නියෝග පනවනු වෙනුවට සංවාද ගොඩ නැගිය යුතු ව තිබෙන්නේ ය. ආවේගවලට ආමන්ත්‍රණය අවම කොට බුද්ධියට ආමන්ත්‍රණය කිරීමට කටයුතු කළ යුතු ව තිබෙන්නේ ය.

ජනතාවට ඉවක් තිබෙන බව ඇත්ත ය. ඒ ඉව ඇත්තේ යමක් වූ පසු එයින් තමන්ට කෙළ වූයේ ද නැද්ද යන්න නිශ්චය කිරීමට ය. ගෝඨාගේ පාලනය ඉදිරියට යන විට ඔවුන් තුළ අවදි වූයේ ඒ ඉව ය. අරගලය ගොඩ නැගුණේ ඒ ඉව විසින් මෙහෙයවනු ලැබීමෙනි. එහෙත් ඔවුන්ට තවමත් තමන්ට දිගු කාලීන ව ඉදිරියට යා හැක්කේ කුමන මාවතේ ද යන්න ගැන පැහැදිලි අදහසක් නැත. ඒ නිසා තවත් කාලයක් ඔවුන් රවටමින් ජන වරම දිනා ගැනීමේ හැකියාව “කළු බලවේග” සතු ය.

අප සටන් කළ යුත්තේ එය වෙනස් කිරීමට ය. ජනතාව හැදෑරීමට පෙළඹවීමට ය. ඔවුන් දැනුමෙන් බලාත්මක කිරීමට ය. ඒ සඳහා ජනවරම වැනි අතිශය දුර්වල අටමගලයක් ඉස්සරහට දමා ගෙන සටන් පාඨ වැමෑරීමේ තේරුමක් නැත.

එලවීමේ අරගලය පහසු වුව ද ගොඩ නැගීමේ අරගලය අපහසු ය. අප අද ඉන්නේ ඒ අභියෝගය ඉදිරියේ ය.

අරගලය ගැන කව් ගී ලියවුනා මදි ය

සුවිශාල ජනවරමක් සහිත බලයට පත් වූ, වරෙක රටේ විශාල පිරිසකගේ ගෞරවාදරයටත් තවත් වරෙක සැළකිය යුතු පිරිසකගේ භීතියටත් හේතූ වූ, පාලක පරපුරක් ම එලවා දැමීමට අරගලයට හැකි විය.

අපකීර්තිමත් යුද ජයග්‍රහණයේ කිර්තිය හොඳින් හා නරකින් තමන්ගේ තනි භුක්තියට සවි කර ගෙන එහි ප්‍රතිඵලයක් ලෙස රටේ බහුතරය සෑහෙන කාලයක් තිස්සේ මුලා කිරීමට සමත් ව සිටි පාලක පරපුර බිංදුවට ම බැස්සේ ය. මහ රජාණන් ද අප්පච්චී ද බලු නොවටිනා තැනකට වැටුනේ ය. ඔවුන්ට ලියූ කවි ගී ඔවුන්ට ම පාරා වළල්ලක් වී වීදියේ තෙල් පෝලිම් වල උපහාසයට ගැයුනේ ය.

ගැලවුම් කාරයා ලෙස පෙනී සිටිමින් බලය ලබා ගත් නමුත් නොබෝ දිනකින් ම රටට ඔවුන්ගෙන් ගැලවීමට සිදු වන තැනට වැඩ සිද්ධ වුනේ ය.

එලවා දැමීමේ කටයුත්තේ නායකත්වය ගන්නට විකල්පයක් තිබුණේ නැත. නිර්පාක්ෂික ධජයක් යටතේ මිනිසුන් එක් රැස් වූයේ ඒ නිසා ය. එය දුර්වලකමක් ලෙස බොහෝ අය දුටුව ද වඩාත් දැඩි ශක්තියක් අරගලයට ගෙනාවේ ඒ නිර්පාක්ෂිකත්වය ය. ඒ නිසා ම ඒ ධජය යටතේ ලජ්ජාවකින් තොරව සිට ගැනීමට බොහෝ අයට හැකි විය.

රටේ තෙල් අඩුවන වේගයට අරගලයට තෙල් සැපයුනේ ය. පාලකයන් අසමත් වන තරමට අරගලය ශක්තිමත් වුනේ ය.

තිස් අවුරුදු ශාපලත් යුද්ධය නිර්මාණය කළේ පාලකයන් ය. අරගලය ද ඒ අර්ථයෙන් ඔවුන්ගේ නිර්මාණයක් විය.  ඒ අර්ථයෙන් අරගලය හා යුද්ධය සමාන විය. එසේ වුව ද පාලකයන්ට එරෙහි අවිගත් උතුරේ තරුණයන්ගේ යුද්ධය අසාර්ථක වෙද්දී පාලකයන්ට එරෙහි ව අවිහිංසාවේ මාවත තෝරාගත් අරගලකරුවන් සාර්ථකත්වය ලබා ගත්තේ ය. ආදරය මුල් කරගෙන ද අරගල කළ හැකි බව ඔවුහු ලොවට කීහ. ඇතැම් තැනක වෛරය ඉරිසියාව හා සොර සිත අරගලයේ කීර්තිය උදුරාගන්නට තැත් කළ ද ඒවා ව්‍යාතිරේඛයන් පමණක් විය. ප්‍රධාන ධාරාව තුළ විනය ඉහළින් ක්‍රියාත්මක වූයේ ය.

යුද්ධය තුළ එල්ටීටිය හැරුණු කොට ඉතිරි සියලු බලවේග විනාශ කර තනි බලයක් ගොඩ නගන්නට පාලකයන්ට එරෙහි වූ පිරිස තැත් කළ ද සුළු සිද්ධි කිහිපයක දී ඇරෙන්නට අරගලය සියලු අයට ඊට එකතු වන්නට අවස්ථාව සැලසීය. වඩාත් පළල් සන්ධානයන් බිහි වූයේ ඒ හරහා ය.

යුද්ධය ඇති කළ මූලයන් එසේ තිබිය දී යුද්ධයට මිලිටරි විසඳුම් සෙව්වා සේ ම අරගලයට හේතු බීජ එලෙස ම තබා ගෙන අරගලයට ද බලය යොදවන්නට පාලකයන්ට වුවමනා වූයේ ය. එහෙත් අරගලයේ අවිහිංසා ක්‍රමවේදයත් පළල් බලවේගයන්ට ඒ තුළ ඉඩ තිබීමත් හේතුවෙන් පාලකයන්ට ඒ කටයුත්ත පහසු වූයේ නැත. නීතිඥ සංගමය ද මානව හිමිකම් කොමිසම ද තවත් එවැනි සංවිධාන හා පුද්ගලයන් ද ඒ සමග සිටීම ඒ අපහසුතාවයට හේතු විය.

කුඩා ව්‍යාතිරේඛයන් (සජිත් අරගල භූමියෙන් එලවා දැමීම, රාජිතට පහර දීම, ඇතැම් නිවාස හා දේපලවලට මැයි 9 හා ජූලි 9 දා කරන ලද අලාභහානි) කිහිපයක් හැරුණු විට බරපතල මානව හිමිකම් කඩ වීම් සම්බන්දයෙන් අරගලයට චෝදනා කිරීමට ආණ්ඩුවට නොහැකි විය.

ඒ නිසා ම සමස්තයක් ලෙස අරගලයට මල් මිටක් පුද කළ යුතු ය. කවි ගී ලිවිය යුතු ය. මේ සටහන ඒ උදෙසා ය.

කඩා දමා ජයකොඩි නැංවූයෙමු. දැන් තියෙන්නේ ඉදිකිරීම ය.

ඔ්නෑම බූරුවෙකුට වී බිස්සක් කඩා බිඳ දැමිය හැකි ය. එහෙත් එවැන්නක් නැවත ඉදිකිරීමට දක්ෂ වඩුවෙකු වුවමනා ය. මේ ප්‍රසිද්ධ ප්‍රකාශය මට මතක් වූයේ අරගලයේ ජයග්‍රහණයේ සතුට තුනී වී ගෙන යන මොහොතේ ය. එයින් අදහස් කරන්නේ අරගල, විශේෂයෙන් ම මේ අරගලය, ඔ්නෑම බූරුවෙකුට කළ හැකි බව නොවේ. සංකේන්ද්‍රණය වූ බලයකට එරෙහි කරන ඔ්නෑ ම අරගලයක් අමාරු ය. මේ අරගලය, සුවිශාල ජනවරමක් සහිත බලයට පත් වූ, වරෙක රටේ විශාල පිරිසකගේ ගෞරවාදරයටත් තවත් සැළකිය යුතු පිරිසකගේ භීතියටත් හේතූ වූ, පාලක පරපුරක් ම එලවා දැමීම නිමිති කොට ගෙන පැවති නිසා ද ඒ තුළ සැළකිය යුතු අවදානමක් තිබුණු නිසා ද එය වී බිස්සක් කඩා දැමීමකට කෙසේ වත් සමාන කළ නොහැකි ය.

එහෙත් දැන් අපට දක්ෂ වඩුවෙකු (ඇතැම් විට වඩුවන් ගණනාවක් ම) ඔ්නෑ බව නම් කිසිවෙකුට ප්‍රතික්ෂේප කළ නොහැකි ය. සැබෑ අරගලය, වඩා අභියෝගාත්මක අරගලය, ඒ නිසා ම තියෙන්නේ ඉදිරියට ය. ඒ කඩා බිඳ දමන ලද දේ අයින් කොට නව සමාජය බිහි කිරීමේ ය.

මගේ මුල් තක්සේරුව වූයේ අරගලයේ අප විසින් ඊයේ පසු කළ පියවර සඳහා මිනිස් ජීවිත ගණනාවක් බිල්ලට දීමට සිදු විය හැකි බව ය. අප අරගලයේ දිසානතිය වෙනස් කිරීමට යෝජනා කළේ ඒ සන්දර්භය හමුවේ ය. එහෙත් එය එසේ නොවි අවසන් වීම ගැන අපට ඇත්තේ සතුටකි. අරගලය මා සිතුවාට වඩා ශක්තිමත් ව වැඩී ගියේ පසු විපාක නැතිව ම ආණ්ඩුවට අකුලා ගන්නට බල කරමින් ය. ඒ සම්බන්ධයෙන් අරගලයට සම්බන්ධ වූ ඒ වෙනුවෙන් තමන්ගේ බොහෝ දේ කැප කළ හැමට ගෞරවය හිමි විය යුතු ය.

අරගලයේ දිසානතිය වෙනස් කිරීමට යෝජනා කරමින් අප ඒ දින වල කීවේ සර්ව පාක්ෂික විකල්ප ආණ්ඩුවක් සෑදීමට (ගෝඨා ඉවත් විය යුතු බව ට කොන්දේසි ඉදිරිපත් කරමින් නොසිට) කැප විය යුතු බව ය. ජූලි 9 දා ඉලක්ක කර ගෙන අරගලය මෝදු වන විට අප කීවේ විකල්ප සර්ව පාක්ෂික සන්ධානයක් සාදා ඊට බලය ලබා දෙන ලෙස බල කරන සාධනීය සටන් පාඨ ඉදිරිපත් කරමින් අරගලය දියත් කළ යුතු බව ය. එය ද සිදු වූයේ නැත. අරගලය දිගින් දිගට ම පාලකයන් ඉවත් වීම වෙනුවෙන් පෙනී සිටිමින් ඉදිරියට ගිය අතර ඉන් පසු සිදු වන්නේ කුමක් ද යන ප්‍රශ්නය නොසළකා හරින ලද්දේ ය. එය ඒ වෙලාවට බලා ගත හැකි යයි නිරන්තරයෙන් කල් දමනු ලැබුවේ ය.

ගෝඨා ඉවත් වීමට දින වකවානු දී ඇති සන්දර්භයක එය තවදුරටත් කල් දැමිය නොහැකි ය. දැන් විකල්ප සර්ව පාක්ෂික ආණ්ඩුවක් හැදිය යුතු ය. වඩුවන් අවශ්‍ය ඒ සඳහා ය. මේ රටේ අපට නැත්තේ ද ඒ පිරිස ය.

අපට තිබුණේ නායකත්ව අර්බුදයකි. අපේ රටේ කිසි දාක ජාතික නායකයන් සිටියේ නැත. නායකයින් සිටියා නම් ඔවුන් නායක කම් කළේ කුඩා පිරිසකට ය. එක ගෝත්‍රයකට ය. එක වාර්ගික කණ්ඩායමකට ය. එක පන්තියකට ය. එක පැලැන්තියකට ය. එක සමාජ කණ්ඩායමකට ය.

රාජපක්ෂලා පිරවූයේ ඒ මහා රික්තය ය. ඒ රටට නායකත්වය දීමෙන් නොවේ. බහුතරයක් වූ ඊනියා සිංහල බෞද්ධයින්ගේ ගැලවුම් කාරයා ලෙස පෙනී සිටීමෙන් ය. උන්ගේ හැගීම් අවුලුවා ඔවුන්ගේ ඡන්දය ලබා ගැනීමෙන් ය. ඔවුන්ගේ කපටි ආරක්ෂකයා විමෙන් ය. අප්පච්චී වීමෙන් ය.

අප්පච්චීලා කළේ නොකළ යුතු දේ පමණ ය. අවසානයේ ප්‍රතිඵල එන විට පෙරහැර ගොස් තිබුණේ ය. තමන් විසින් පූජාසනයේ සිටුවන ලද අප්පච්චීලා සියල්ල බිමට ඇද දමන්නට ජනතාව ඉදිරිපත් වන විට විය යුතු හරිය සිදු ව තිබුනේ ය. රට නැවත ගොඩ ගැනීමට නොහැකි ලෙස පල්ලමකට තල්ලු වෙමින් පැවතියේ ය. මිනිසුන්ට තෙල් හිඟවන තරමට අරගලයට තෙල් ලැබුනේ ය. නැවත නොහැරෙන තැනකට තල්ලු කරනු ලැබූ අරගලය විසින් අවසානයේ ඊනියා ගැලවුම් කරුවන් ඉවත් කරනු ලැබ තිබේ.

දැන් නැවතත් මහා රික්තය මතු ව තිබේ. අරගලයේ දෙවැනි පියවර පළමු පියවර තරම් භයානක නැති බව ඇත්ත ය. එහෙත් එය පළමු පියවර තරමට සරල නැත. ජාතියක් හැටියට අපේ හැකියාව උරගා බලනු ඇත්තේ මේ පියවරේ දී ය. අප දිගින් දිගට කීවේ මේ පියවර කල් ඇතුව ගන්නා ලෙස ය. එහෙත් එය පමා කරනු ලැබීම ය. ජූලි 13 දාට පසු එය තවදුරටත් පමා කළ නොහැකි ලෙස අප ඉදිරියේ මතුවන්නේ ය. රටක් හැටියට අප ඊට සූදානම් ද?

අරගලයට මොකද වුනේ?

ජනතාව පමණක් නොව අරගලකරුවන් ද මේ වන විට උත්තර සොයන ප්‍රශ්නය “අරගලයට මොකද වුනේ” යන්න ය. තමන්ගේ වැරැද්දක් නැතැයි සිතන බොහෝ අය තම පරාජයන්ට හේතු හොයන්නේ බාහිරින් ය. අරගලකරුවන්ට ද සිදු ව ඇත්තේ එය ම ය. එක් පැත්තකින් අරගලකරුවන් අරගලය පාවා දුන්නේ යැයි රනිල්ට චෝදනා කරන අතර අනිත් පැත්තෙන් තමන් සමග එකට සිට ගන්නේ නැතැයි මේ වන විට ජනතාවට ද චෝදනා කරන්නට පටන් ගෙන තිබේ.

අරගලයේ සටන් පාඨ හා දිශානතිය තත්වානුරූපව වෙනස් වන්නේ නැත්නම් අරගලයට මේ ඉරණම අත් වෙන බවට සටහන් කීපයක් ම වරින් වර තබන්නට අපට සිදු විය. එහෙත් අරගලකරුවන්ට ඒවා කියවීමට වෙලාවක් තිබෙන්නට නැත.

අප මුලින් ම කීවේ කෙතරම් විරෝධයක් දැක්වූව ද ගෝඨාභය ස්වේච්ඡාවෙන් නම් අයින් වන එකක් නැති බව ය. එසේ අයින් වීමෙන් අනාරක්ෂිත වීමට මොළය කළඳක් හෝ ඇත්නම් කෙනෙකු අකමැති වන නිසා ය. අප ඒ නිසා කීවේ ඔහු අයින් වන්නේ නැත්නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හරහා ගෝඨාභය බලතල රහිත ජනාධිපති කෙනෙකු, පාර්ලිමේන්තුවේ හිරකාරයෙකු, බවට පත් කිරීමට හැකි දැයි සොයා බැලිය යුතු බව ය. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට බල කළ යුතු බව ය. එසේ කළ හැකි තත්වයක් ඒ වකවානුවේ තරමක් දුරකට තිබුණු බව අපේ විශ්වාසය විය.

එහෙත් අරගලකරුවන් අනුගමනය කළේ ගෝඨා ගෝ හෝම් යන පරණ සටන් පාඨ දිගින් දිගට කියමින් සිටීම ය. පාර්ලිමේන්තුව වෙනස් වී නැතැයි යන නිගමනයේ දිගින් දිගට සිටීම ය. පාර්ලිමේන්තුව මත අරගලයේ බලපෑම අඩුවෙන් තක්සේරු කිරීම ය. ගෝඨා සිටින ආණ්ඩුවකට එක් වන්නේ නැතැයි කන්‍යා භාවය සොයන බලවේග වල කතාවට වශී වී ඒවාට උඩ ගෙඩි දෙමින් සිටීම ය.

එවැනි බලපෑමක් නැති තත්වයක් යටතේ සහ මැයි 9 දා සිදු වූ සිද්ධි දාමයේ අතුරුඵලයක් ලෙස මහින්ද රාජපක්ෂට අස් වීමට බල කෙරුණු තත්වයක් යටතේ රට තුළ රික්තකයක් බිහි වෙමින් තිබුනේ ය. ඒ රික්තය පුර වන ලද්දේ  කොහේවත් සිටි රනිල් කෙනෙකු විසිනි.

රනිල් නව තත්වයක් නිර්මාණය කළේ ය. සජිත්ට හා අනුරට කලබල වී තමන් ද සූදානම් බවට ප්‍රකාශ නිකුත් කිරීමට සිදු වූයේ ඒ තත්වයට උත්තර හැටියට ය. ඒ වන විට අස්වයා පැන ගොස් ඉවර ය. ඉස්තාලය වහලා වැඩක් නැති තැනකට පත් ව තිබුණේ ය. තිබූ රික්තය රනිල් විසින් හයිජැක් කර තිබුනේ ය.

රනිල් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදීමට කළ ආරාධනා කිසිදු පක්ෂයක් විසින් පිලිගත්තේ නැත. ඒ සඳහා ඉදිරිපත් වී අවම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට තිබු ඉඩකඩ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු බලවේග භාවිතා කළේ නැත. අඩු වශයෙන් රනිල්ට විකල්පයක් ලෙස වෙනස් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටවත් කටයුතු කරන්නට තරම් දේශපාලන පරිණතභාවයක් ඒ එක ද බලවේගයකට වත් තිබුනේ නැත. ඒ නිසා රනිල් තහවුරු වුනේ ය. පොදු පෙරමුණ තුළ සිරකරුවෙක් හැටියට ම තහවුරු වුනේ ය.

රනිල් සම්බන්ධයෙන් අරගලකරුවන්ට කරන්නට තිබුණේ බාර ගත්තා නම් මේ මේ දේ කරන්නට යැයි ඔහුට බල කිරීම ය. ඒ සම්බන්ධයෙන් රනිල්ට බලපෑම් කරන ලෙස පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ වලින් ඉල්ලා සිටීම ය. ඒ අතර 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම ප්‍රධාන වන්නට තිබුණි. ඔවුන් විසින් කළ තිබුණේ ඒ හරහා එක්කෝ අවශ්‍ය සංශෝධන කරවා ගැනීම ය. එසේ නොකරන්නේ නම් රනිල් හා පාර්ලිමේන්තුව පිළිබඳ මහජන විරෝධයක් ඇති කිරීමට කටයුතු කිරීම ය.

ඒ වෙනුවට මැයි 9 දා ම ඔවුන් කළේ අරගලය භූමියට ආ සජිත්ව ද පන්නා දමමින් ප්‍රධාන විපක්ෂය වූ සජබය ගැන පවා තමන්ට විශ්වාසයක් නැති බව පල කිරිම හරහා තවදුරටත් තනි වීම ය.

රනිල්ව පාවිච්චි කරනු වෙනුවට ඔවුන්ට අවශ්‍ය වූයේ රාජපක්ෂලා සමග රනිල් ද පළමු වටයේ ම තොලොංචි කර දැමීම ය. හැකි නම් ඒ ගොඩට තල්ලු කර සජිත්ව ද චකබ්ලාස් කර දැමීමට ය.

රාජපක්ෂට විරුද්ධ බලවේග (පොදු ජන පෙරමුණ තුළ පවා ඒ වන විට හැඩ ගැසෙමින් තිබුණු බලවේග ද) එකතු කර ගනු වෙනුවට ඔවුන් කටයුතු කළේ අති පාරිශුද්ධ සුජාත බලයක් සැදීමට ය. ඔවුන් ගණනය නොකළ සාධකය නම් එවන් කෙසඟ බලවේගයක් ගැන මිනිසුන් විශ්වාසය නොතබන බව ය. අරගලයට අවශ්‍ය තත්වයන් පෙරට ද වඩා මෝරා තිබිය දී මිනිසුන් ඊට එකතු නොවන්නේ ඒ නිසා ය. මේ කෙසඟ බලවේගයට ගෝඨා නම් එලවන්නට බැරි බව මේ වන විට බහුතර ජනතාවකට පැහැදිලි වී තිබේ.

මේ තත්වය විසින් බිහි කරමින් ඇත්තේ අතිශය අරාජික තත්වයකි. පාලකයන්ට එරෙහි ව ගොඩ නැගෙන්නට නියමිත ව තිබූ කෝපාග්නිය තමන් අතර ම ඉන්නා මිනිසුන්ට එල්ල කරන තත්වයකට මිනිසුන් පත් වෙමින් තිබේ.

රනිල්ට හා ජනතාවට චෝදනා කිරීම පසෙක තබා අරගලකරුවන් තමන්ට සිදු වූයේ කුමක් දැයි තමන් ඇතුළතට හැරී බැලිය යුතු ය. සුජාත කෙසඟ ව්‍යාපාරයක් තනනු වෙනුවට පළල් ශක්තිමත් රාජපක්ෂ විරෝධී සටන් පෙරමුණක් සැදීම කෙරෙහි ද අවම වැඩ පිළිවෙළක් සහිත බහුතර පක්ෂ නියෝජනයක් සහිත ආණ්ඩුවක් ගොඩ නැගීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු විය යුතු ය.

අරගලයේ නායකත්වයට අවශ්‍ය පුද්ගලයන් හෝ සංවිධාන නොවේ. වැඩ පිළිවෙළකි. වැඩි දෙනෙකුට එකඟ විය හැකි වැඩි දෙනෙකුට සහභාගී විය හැකි වැඩ පිළිවෙළකි. තමන්ට බලය දෙන්නැයි ඉල්ලනවා මිසක එවන් අවම වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරමින් තිබෙන දේශපාලන බලවේග ඒ වටා ගොනු කර ගන්නට කිසිදු සංවිධානයකට තවමත් හැකියාවක් ලැබී නැත. ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද අරගලය ද ජනතාව ද අවසානයේ සමස්ත රට ද ෆේල් ය.