මැතිවරණ/ප්‍රතිපත්ති ප්‍රකාශන නව ආරකින් ලියන්නට බල කරමු

එළඹෙන්නේ මැතිවරණ සමයකි. පොරොන්දු උතුරා යන අවදියකි. මැතිවරණ ප්‍රකාශන උත්සවාකාරයෙන් දොරට වඩින අවදියකි.

මිනිස්සු ඡන්දය දෙන්නේ මුළුමණින් මැතිවරණ ප්‍රකාශන පදනම් කර ගෙන නොවේ. හුදු ප්‍රකාශන ගත් කළ ඒවා කියවන පිරිස පවා ඉතා අල්ප ප්‍රමාණයක් විය හැකි ය. එහෙත් වේදිකා දෙදරවන්නේ එහි ඇති යෝජනා ගැන කියමින් ය.  ඇතැම් සංවේදී කරුණු අත් පත්‍රිකාවලට ඇතුළු වී ගෙවල්වලට ද පිවිසෙන්නේ ය. පුවත් පත් බබලවන්නේ ය. ඒවා කියවන ඇතැම්හු ඒ පිළිබඳ විවරණයන් ඉදිරිපත් කරති. ප්‍රකාශන නොකියවන අය වුව ද ඒ විවරණ කියවති. ඒවායින් සංවාද වල දී දමා ගසති. ඒ නිසා ප්‍රකාශන නොකියෙව්වාට ඒවායේ බලපෑමක් නැතැයි අපට කිව නොහැකි ය.

බලයට පත් වූ පසු ඇතැම් දෑ ක්‍රියාත්මක කරන්නේ එහි ඇති වගන්ති උපුටා දක්වමින් ය. තමන්ට ජනවරමක් ලැබී ඇත්තේ ඒ ප්‍රකාශනය පදනම් කර ගෙනය යන්න ද අපට බොහෝ විට ඇසී ඇති කතාවකි. රජයේ ප්‍රතිපත්ති සම්පාදනයේ දී ද බලයට පත් පක්ෂයේ / සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය උපයෝගී කර ගත් අවස්ථා රාශියක් ද අපි අත්දැක ඇත්තෙමු. මේ කරුණු නිසා ම එයට විශාල බලයක් හිමි වේ.

මේ ප්‍රකාශන තුළ ප්‍රශ්නකාරී දේ රැසක් අඩංගු විය හැකි ය. ඒවා අතරින් ජනතාවට වඩාත් ප්‍රබල බලපෑම කරන්නේ ඒවායින් යෝජිත “අල්ලස්” ය.

පොදු ජන පෙරමුණේ පසුගිය මැතිවරණ ප්‍රකාශනය තුළ අඩංගු එවැනි “අල්ලස්” අතර පහත දේ ද දක්නට ලැබිණ.

  • අලුතින් බඳින ජෝඩුවලට රු ලක්ෂ 2ක් සහ අලුත් නිවසක්
  • තරුණයන්ට රු 5000
  • මහපොල රු 6000
  • පෞද්ගලික අංශයට රු 3000
  • රාජ්‍ය සේවක අවම වැටුප රු 25000

මේ සියල්ල ලැබෙන්නේ තමන් බලයට පත් කරතොත් ය. මේ මුදල් දෙන්නේ ආණ්ඩුවේ භාණ්ඩාගාරයෙන් මිසක කාගේවත් බූදලයකින් නොවේ. ඒ නිසා මේවා පැහැදිලිව ම ආචාර ධාර්මික නොවන්නේ ය. අල්ලස් ගණයට වැටෙන්නේ ය.

මෙයින් කීයක් ඉටු වූයේ දැයි අප දන්නේ නැත. දන්නා තරමට නම් ඒ එකදු යෝජනාවක් වත් ක්‍රියාවට නැගුණේ නැත. ඒ කියන්නේ මේ තුළ අල්ලසට අමතරව වංචාව ද තිබුණු බව ය.

අප මෙහි දී උදාහරණයට ගත්තේ පොදුජන පෙරමුණ වුව ද සෙසු පක්ෂ/සන්ධාන වල කැරැට්ටුව ද මීට ආසන්න ය. එය ඈත අතීතයට පවා දිව යන්නකි. 1977 දී ජේ ආර් කීවේ තමන් බලයට පත් කරන්නේ නම් ඇට අටක් දෙන බව ය. ඇට අට ගැනීමට මිනිස්සු පෝලිමේ ගොස් කතිර ගසා වාර්තා ගත වැඩි ඡන්දයකින් ජේ ආර් බලයට පත් කළේ ය. එතැන තිබුණේ අල්ලසකට ඉගියකි. ඒත් එහෙම ඇට අටක් ලැබුණේ නැත. ඒ ඇට ගැන විමසූ අයට අසන්නට ලැබුණේ ඇට අටක් නෙවෙයි ඇට ජාති ගණනාවක් වෙළඳ පොළේ ඇති බව ය. අල්ලසට අමතරව වංචාව එතැන ද හරි හරියට තිබුණේ ය.

යහපාලන ආණ්ඩුව නියෝජන කළ බලවේග රාජ්‍ය සේවක වැටුප රු දසදහසකින් වැඩි කරන බව කීවේ ය. එය ද අල්ලසකි. එහෙත් එය ක්‍රියාත්මක කළ නිසා වංචනික අදහසක් තිබුනේ යැයි කිව නොහැකි ය. ඒත් ඒ නිසා රටට දරාගන්නට වූ බර සාධාරණ ද? අල්ලස් දෙන්නේ මහජන මුදල් වලිනි. ඒ නිසා රාජ්‍ය සේවකයන් නොවන අයට කෙතරම් නම් බදු බරක් දරන්නට වූයේ ද?

මේ මැතිවරණ ප්‍රකාශන බොහෝමයක ජාතිවාදී ආගම්වාදී යෝජනා ද ඇත. ගමකට චෛත්‍යයක් බැගින් වෛත්‍ය අහවල් සංඛ්‍යාවක් හදනවා යැයි කීවේ සමගි ජන බලවේගය ය. හදන්නේ මහජන මුදලිනි. එහෙත් කියන්නේ තමන් ගෙදරින් ගෙනා මුදල් යොදනවා වැනි අදහසක් ජනිත කරවමිනි. ගෙදරින් ගෙනාවා වුව ද මෙය අල්ලසක් ම ය. මේවායේ අදහස ද කිසියම් ආගමකට ජාතියකට අයත් ජන පිරිසකගේ සහය ගැනීම ය.

අල්ලස ගණයට නොවැටෙන හෝ ජාතිවාදී/ආගම් වාදී නොවන ඇතැම් සාධනීය යෝජනා ඉදිරිපත් කළේ වුව ද ඒවා ක්‍රියාත්මක කරන්නට නම් මුල සිට ම වුවමනාවක් ප්‍රදර්ශනය නොකළ අවස්ථා ද මැතිවරණ ප්‍රකාශන ඉතිහාසය තුළ දක්නට ලැබේ. ඒවා අතර ඉහළින් ම තියෙන්නේ විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීමේ යෝජනාව ය. එහි බලතලවත් අඩු කිරීමට කටයුතු කළේ යහපාලන ආණ්ඩුව පමණ ය. ඉතිරි සියලු දෙනා එය භාවිතා කළේ ඡන්ද එකතු කර ගැනීමට ය. එවැනි යෝජනා අකුලා ගැනීමට සාධාරණ හේතු තිබුනේ ද නැත. ඒ යෝජනා ක්‍රියාත්මක කිරීමට එහෙමට පිරිවැයක් වැය වන්නේ ද නැත. එහෙත් ඒ සම්බන්ධයෙන් ජනතාවට කළ හැකි කිසිවක් තිබුනේ ද නැත. එය සැබෑවක් කර ගැනීමට අධිකරණයේ පිහිට පැතීමට පවා බැරි ය. ඒ මේ මැතිවරණ ප්‍රකාශන නීත්‍යානුකූල බැඳිමකින් තොර නිසා ය. හිස් වචන තරමට ම ඒවා හිස් නිසා ය.  

ඇතැම් මැතිවරණ ප්‍රකාශන වල වැරදි ප්‍රතිපත්ති තිබුණේ ය. ඒවා නම් කොළයට ම සීමා වී තිබුණේ නම් යහපත් විය හැකි වර්ගයේ ඒවා ය. “සෞභාග්‍ය දැක්මේ” තිබූ බදු අඩු කිරීමේ යෝජනාව ඊට එක් උදාහරණයකි. ඒ බදු අඩු කිරීම කොළයට සීමා නොවී ක්‍රියාත්මක විය. ඒ පොරොන්දුව ඒ වර්ගයේ තවත් වැරදි ප්‍රතිපත්ති රාශියක් සමග එක් ව අප වැටුණු වත්මන් ආර්ථික අර්බුදය බිහි කළේ ය.

සමහර මැතිවරණ ප්‍රකාශන වල ඇත්තේ බොරු ය. තවත් සමහර මැතිවරණ ප්‍රකාශන වල ඇත්තේ එක් තැනක ඇති දෙය තවත් තැනක තිබෙන දෙයින් ප්‍රතික්ෂේප කරන සුළු කාරණා ය. එක ප්‍රතිපත්තියක් තව ප්‍රතිපත්තියකට විරුද්ධව නැගී සිටින අයුරු ය. ඒවායේ ඒකාබද්ධ බවක් නැත.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කෘෂිකර්මයේ ප්‍රතිපත්තිය පරිසර ප්‍රතිපත්තියට ප්‍රතිපක්ෂ ය. පරිසර ප්‍රතිපත්ති ඒ ඉදිරියේ අකුලා ගැනීමට සිදු වී ඇත. කාබනික ගොවිතැන ප්‍රවර්ධනය පිළිබඳ ඔවුන් ඉදිරිපත් කරන ප්‍රතිපත්ති උදාහරණයක් හැටියට ගෙන බලමු. කොම්පෝස්ට් පොහොර හදන්නට නම් ගිනිසීරියා වැනි කොළ සහිත ශාක වැවිය යුතු ය. කාබනික ගොවිතැන ලංකාව පුරා ප්‍රචලිත කිරීමට කොතරම් ගිනිසීරියා වැනි පත්‍ර සහිත වගාව කුමන ප්‍රමාණයකින් අවශ්‍ය වේ දැයි අපේ විද්වතුන් ගණන් බලා තිබේ ද? ඒ සඳහා කැලෑ කොපමණ ප්‍රමාණයක් කැපිය යුතු ව තිබේ ද? නවතම වාර්තා කියන්නේ ලංකාවේ කැලෑ ප්‍රතිශතය 16% දක්වා තවදුරටත් පහල බැස ඇති බව ය. ඒ තත්වය තුළ පරිසරය රැක ගැනීමත් කාබනික කෘෂිකර්මය පදනම ලෙස ගෙන කෘෂිකර්මාන්තයෙන් රට ගොඩ නැගීමත් එකට කරන්නට නම් බැරි ය.

තවත් මැතිවරණ ප්‍රකාශන වල තිබෙන්නේ ප්‍රායෝගික නොවන යෝජනා ය. සෞභාග්‍යයේ දැක්මේ විදුලි බලය හා බල ශක්තිය සම්බන්ධයෙන් වන යෝජනාවේ තියෙන්නේ 2030 වන විට පුනර්ජනනීය බල ශක්තිය 70% දක්වා වැඩි කරන බව ය. මෙතරම් කෙටි කාලයකින් මෙසේ කළ රටක් ගැන වාර්තා නැත. මෙය රෑ එලි වෙන කොට රට කාබනික කිරීමේ ක්‍රියාවට ඉතා කිට්ටු එකකි. ඊට අමතර ව මෙය විශාල පිරිවැයක් සහිත ක්‍රියාවලියකි. මේ 70% මට්ටම අප වැනි ආර්ථික වශයෙන් දුර්වල රටකට කොහොමටවත් දැරිය නොහැකි ඉලක්කයකි. ඒත් දැන් විදුලි බල මණ්ඩලයේ ඉදිරි සැලැස්ම සඳහා මේ ඉලක්ක යොදා ගෙන ඇත.

ප්‍රායෝගික නොවන යෝජනා වලට අමතරව සමහර ඒවා ව්‍යාකූල යෝජනා ය. කාලරාමුවක් නැති නිශ්චිත මිනුමකින් මිණිය නොහැකි යෝජනා ය. කොටින් ම ඒවා SMART (Specific, measurable, achievable, realistic and time bound) නැත. ඊටත් අමතරව ඒවා ප්‍රතිලාභ නිෂ්චය ලෙස කිව නොහැකි අවදානම් සහගත දැවැන්ත ආයෝජනයන් ය. ඒ  තුන් වර්ගයට ම අදාළ උදාහරණයක් ජාතික ජන බලවේගයේ මැතිවරණ ප්‍රකාශනයෙන් ද ගත හැකි ය.

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනය තුළ. “දේශීය හා විදේශීය ගොවි වෙළඳ පොල ඉලක්ක කර ගනිමින් කෘෂි වෘත්තිකයින් 100000 ක් පුහුණු කිරීම සඳහා සිව් අවුරුදු සැලැස්මක්” යනුවෙන් ප්‍රකාශයක් සඳහන් ව ඇත. ඒ කියන්නේ රට රැකියා වලට යැවිය හැකි සේ ඔවුන් පුහුණු කිරීම නම් එහි කිසියම් අර්ථයක් ඇත. එහෙත් ප්‍රශ්නය ඇත්තේ දේශීය කතාවක් ද කියවෙන නිසා ය. කෘෂිකර්මයෙන් මිනිසුන් ඉවත් කළ යුතු ව තිබෙන තැනක තවත් ඊට එක් කිරීමේ තේරුමක් නැති නිසා ය. ඊට අමතරව කෘෂිකර්මයේ දැනට කෘෂිකර්මයේ නියැලෙන පිරිස ඊට වඩා ඵලදායී ක්ෂේත්‍ර වලට යොමු කරන්නට ද වැඩ පිළිවෙළක් ඒ තුළ නැති නිසා ඒ කතාව අනතුරක සේයාවක් මතු කරන නිසා ය.

වෘත්තිකයන් ලක්ෂයක් පුහුණු කිරීම සුළුපටු කාරණයක් නොවේ. එහෙම එකක් ලියන්නට කලින් එහි දිග පළල කල්පනා කළා දැයි යන්න ගැටළු සහගත ය. මේ ප්‍රකාශය ගැන පමණක් නැගිය ප්‍රශ්න මෙසේ ගොනු කරමි.

  • මේ අයට දෙන පුහුණුවේ ඉලක්කය නැතිනම් අරමුණ කුමක් ද?
  • පුහුණුව දෙන්නේ කෙතරම් කාලයකට ද?
  • මේ ලක්ෂයක පිරිස තෝරාගන්නේ කවුරු අතරින් ද?
  • පුහුණුව දෙන්නේ කවුරුන් විසින් ද? රට රැකියා සඳහා පුහුණු කරන පිරිස පුහුණු කරන්නේත් ලංකාවේ පුහුණුකරුවන් ද?
  • ඒ නිසා රටට අත්විය හැකි යැයි අපේක්ෂා කරන ප්‍රතිලාභ මොනවාද?
  • ඒ සඳහා යන වියදම කවරේ ද?
  • ඒ වියදම සඳහා යන අරමුදල් සම්පාදනය කරන්නේ කෙසේ ද?
  • එවන් පුහුණුවක් වෙනුවට වෙනත් සාඵල්‍ය පුහුණු කිරීම් තිබේ දැයි පරීක්ෂා කර බලා තිබේ ද?

මේ කාරණා නිසා බොහෝ පක්ෂවල මැතිවරණ ප්‍රකාශන සැලකිය යුතු වන්නේ නිසි අධ්‍යයනයකින් නොකොට සකස් කෙරෙන, ඡන්ද ගොඩ වැඩි කර ගැනීම උදෙසා ම කඩිමුඩියේ බිහිකරන, යටි පෙල කියවන්නේ නම් බොරු හා අර්ධ සත්‍යයන් ගෙන් ගහන යයි පෙනෙන, මතුපිටින් පවා අල්ලස හා වංචනිකත්වය ප්‍රදර්ශනය කරන බව වටහා ගත හැකි, ආල වට්ටම් පමණක් බව ය. වම ද දකුණ ද යන භේදයකින් තොරව එය එසේ සිදු වන බව ය.

අරගලය ඉල්ලා හිටියේ ද මේ දේශපාලන සංස්කෘතියේ වෙනසකි. එහෙත් ඒ වෙනස වෙනුවට අපට පෙනෙන්නේ පුරුදු පරිදි ළග එන ඡන්දයට පිට පොට ගසන, ඒ සඳහා බලමුළු පෙල ගැස්වීමට පාරට බැස ඇති, පැරණි දේශපාලන බලවේගයන්ගේ හැසිරීම පමණ ය.

අල්ලස යැයි සැක කළ හැකි වගන්ති මැතිවරණ ප්‍රකාශනයට ඇතුළත් කළ නොහැකි සේ නීති සකස් කිරීමත් ඒ සඳහා මැතිවරණ කොමිසමට බලය පැවරීමත් වෙනසක් සඳහා මුල් පියවර ය. අධික පිරිවැයක් වැය වන ආයෝජන සියල්ල ඇස්තමේන්තු කොට ඉදිරිපත් කළ යුතු යැයි ද ඒ සඳහා මුදල් සොයා ගන්නා අන්දම ඇතුළත් කළ යුතු යැයි ද නීති පැනවිය හැකි ය. ව්‍යාකූල යෝජනා වෙනුවට නිෂ්චිත (SMART) යෝජනා ඉදිරිපත් කළ යුතු යැයි ද නීති පැනවිය හැකි ය. System change ගනයට වැටෙන යෝජනා කෙරෙන ව්‍යවස්ථා නීති අණපනත් වල වෙනස් කම් සඳහා නිෂ්චිත කාල රාමු සැපයිය යුතු බවට ද නීති ගෙන ආ හැකි ය. ඒවා සම්බන්ධයෙන් නීතියෙන් බැඳී සිටිය යුතු බවට අණ පනත් සකස් කළ හැකි දැයි සොයා බැලිය හැකි ය. මැතිවරණ ප්‍රකාශනයේ එක් එක් කොටස සකස් කළ හා ප්‍රකාශනය අවසන් වශයෙන් සංස්කරණය කළ විද්වතුන් කවරේදැයි ප්‍රසිද්ධ කෙරෙන නීති පවා ගෙන ආ හැකි ය.

එවැනි නීතිමය ප්‍රතිසංස්කරණ වලට අමතරව මේ මැතිවරණ ප්‍රකාශන විවරණය කර ඒවායේ අඩුපාඩු පෙන්වා දීමේ වගකීම සිවිල් සංවිධාන වලට ද බාර ගත හැකි ය. එසේ කරන්නාවූ විවරණ ජනතාවගේ දැන ගැනීම සඳහා මාධ්‍ය ආවරණය සැපයීමේ වගකීම මාධ්‍ය ආයතන විසින් බාර ගත යුතු ය. අවශ්‍ය වියහියදම් රජය විසින් හෝ වෙනත් ස්වේච්ඡා සංවිධාන විසින් (අරගලය අවස්ථාවේ පරිදි) දැරිය හැකි ය. එසේ විවරණය කරනු හැකි වන සේ කල්වේලා ඇතිව බාර දීමේ වගකීම දේශපාලන පක්ෂයන්ට පැවරේ. අවශ්‍ය වෙතොත් ඒ සම්බන්ධ දින වකවානු නීතිගත කළ හැකි ය.

මේ යෝජනාවලිය දළ අදහසක් පමණ ය. එය සංවාද ආශ්‍රයෙන් තවදුරටත් ශක්තිමත් කළ යුතු ය. අවසාන වශයෙන් එකක් කිව යුතු ය. අප දේශපාලනය කරන ශෛලියේ වෙනස් කම් නොකරන්නේ නම් වෙනස් ප්‍රතිඵල අපේක්ෂා නොකළ යුතු ය. 75 වසරක සාපය තවත් කාලයක් පවත්වාගෙන යෑමට අකමැත්තේ නම් මේ ප්‍රතිසංස්කරණයන්ට පිටු නොපෑ යුතු ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s