පැහැනද පහන් – සුනන්ද කරුණාරත්න කාව්‍ය නිර්මාණය

මිදුල වතුරින් පිරී ගලා යන සැඩ පහරවල් මතු ව අමුතුම ලෝකයක් කුඩා අප ඉදිරියේ මවන වැස්ස අපට අපූර්ව අත්දැකීමකට මග සලසන්නේ ය. එවන් දිනක කඩදාසි ඔරු හදා පා කර ඒවායේ ගමන් මග දෙස නෙත් අයාගෙන බලමින් අපූරු සිහින ලොවකට පිවිසුනේ නැති කුඩා ළමයෙකු සොයා ගැනීමට අපහසු ය. ඒ සඳහා කුඩා අපව මුලින් පොළඹවන්නේ වැඩිහිටියා තුළ ඉන්නා කුඩා දරුවා ම ය. කුඩා අප ඒ ලෝකය තුළ තනිවන විට වැඩිහිටියෝ ඉක්මණින් තමන්ගේ ජීවිතයට මුහුණ දීම සඳහා පසු බසිති. ඇතැම් විටක ඊළග වැසි සමය වන විට දරුවා නැවතත් ඒ අත්දැකීම උදෙසා ආසාවෙන් යොමු වුව ද වැඩිහිටියාට ඊට ඉස්පාසුවක් නැති වෙයි. තමන්ගේ ප්‍රශ්න තුළ අතරමං වන ඔහුට ඇතැම් විට කඩදාසි ඔරුව හදන්නට කඩදාසි කෙසේ නමන්නේ ද යන්න ද අමතකව තිබෙන්නට පුළුවන.

මේ ලෝක දෙක අතර පරතරය අතිශයින් ස්වභාවික ය. සදාතනික ය. එය ඉක්මවන්නට ඉසඹුවක් ලබන දෙමාපියන් වාසනාවන්ත ය. ඔවුන්ගේ දරුවන් ඊටත් වඩා වාසනාවන්ත ය. “පැහැනද පහන්” කාව්‍ය සංග්‍රහය සුනන්ද ආරම්භ කරන්නේ මේ සුවිශේෂී අත්දැකීම අපූරු කවි බසකින් අපට ඉදිරිපත් කරමින් අපේ ජීවිත දෙස නැවත බලන්නට අපව යොමු කරමින් ය. ඒ කවි පෙළේ නම කඩදාසි ඔරු ය. ඔරු කඩදාසි වුනාට කුඩා දරුවාට එය අතිශයින් වටින්නේ ය. අපේ දෙමාපිය භූමිකාව එක් අතකින් ප්‍රශ්න කරමින් ද අනෙත් අතින් අපේ ළමා කාලයේ සොඳුරු මතකයන් ස්පර්ශ කරමින් ද අපූරු කවි මගක අපව ගෙන යන්නට එසේ මේ කවි පොතේ මුල් ම කවියෙන් කවියා   සමත් ව තිබේ.

එකල මහ වැසි වැටුන දවසක

මිදුල සයුරක් මැවූ උදයක

නෙක කොදෙව් හා මහා දීප ද

දික් විජය කරන මෙන් අණවා

පා කළෙමි මා සිඟිති ඔරු පෙළ

කෙනෙකුට අවශ්‍ය නම් මේ කවීයට දේශපාලන අරුතක් ද එක් කළ හැකි ය. ඒ ප්‍රයෝජ්‍යවාදයට/ පාරිභෝජනවාදයට යටවුණු දෙමාපියන් ළමයින්ගේ මේ අපූර්ව ලෝකය අඳුරු කරනවා වැනි අරුතක් දීම හරහා ය. කවියකට තිබිය හැක්කේ එක තේරුමක් නොවේ. ඔබට ඇතැම් විට මෙයින් ඊටත් වෙනස් අර්ථයක් මැවිය හැකි වනු ඇත.

සුනන්දගේ කවි බොහෝමයක අරුත් ගණනාවක් මැවිය හැකි ඒ ගුණය තිබේ. ඒ සඳහා උදාහරණයක් ලෙස මා ඉදිරිපත් කරන්නට කැමති “පැරණි සේයාරුවක්” යන අපූරු කවි පන්තිය ය. කවිය ආරම්භ කරන්නේ “මහගෙදර” පොත් අල්මාරිය අස් කරන කොට වැටෙන පැරණි සේයාරුවක් ගැන කියා ගෙන ම ය. අවසන් කරන්නේ ඒ සේයාරුව කොතෙක් මතක ගුලි කර ගෙන තිබුණත් “අලුත් ගෙදර”ට නම් රැගෙන යා නොහැකි බව කියමින් ය.

ඒ අතර මැද කවි වලින් කියන්නේ ඒ සේයාරුව පිළිබඳ අතීත මතක සටහන් ය. ඒ සේයාරුවේ ඉන්නේ මහගෙදරින් ප්‍රතික්ෂේප වීම නිසා අත්හැර දමනු ලැබූ පැරණි පෙම්වතිය ය. ඉතින් ඈ පිළිබඳ සේයාරුවක් විවාපත් වූ අලුත් පවුලට හිමි අලුත් ගෙදරට ගෙන යෑමට නොහැකි වීම සාධාරණ ය. කවිය මුළුමණින් කියවන ඔබට වැඩි දුරටත් පසක් වනු ඇත්තේ මේ පුද්ගලයා සමාජයට ඔ්නෑ හැටියට ජීවත් වන කෙනෙකු ලෙස ය. ඒ එවැන්නෙකුගේ ජීවිතය ඛේදවාචකයක් වීම ගැන ඔබ තුළ කම්පාවක් ජනිත කරමින් ය. ඔබ මේ කවිය ඔස්සේ ම ඔබ පිළිබඳව තවදුරටත් විමසීමට කැමති නම් ඔබ ද එවන් ශෝචනීය ජිවිතයක උරුමක්කාරයෙකු බව ද මේ අද ලාංකිකයන් මුහුණ දෙන පොදු ඛේදවාචකයක කතාව බව ද පසක් කරගනු ඇත.

කවියේ ආරම්භය මෙසේ ය.

මහගෙදර මගේ පොත් අල්මාරිය

අස්කරන කොට තට්ටුවෙන් තට්ටුව

ඒංගල්ස්ගේ පවුල අස්සෙන්

ෆෝටෝ එකක් වැටුන බිමට

ඉහත කියන සේයාරුව වැටෙන්නේ ඒංගල්ස්ගේ “පවුල” කියන පොත අතරින් ය. ඒංගල්ස්ගේ පවුල කියන පොත කියවූ කෙනෙකුට මේ කවිය හරහා තවත් ඛේදවාචකයක් මුණ ගැසෙනු ඇත. ඒ දේපල ආධිපත්‍ය පවත්වාගෙන යන මේ පවුල නම් අපූරු ඒකකය කෙතරම් දුරට අපේ නිදහස් ජීවිතයට බලපෑමක් කරන්නේ ද යන්න ය.

පරණ පෙම්වතිය මේ සම්ප්‍රදායික ආචීර්ණකාල්පික අදහස් සමග ජීවත්වන්නියක් නොවේ. එය අපට සුනන්ද එලිදරව් කරන්නේ මෙසේ ය.

මුලින් ම අපි ඩයෑන්ගෙ තැනට ගිය දවසෙ

අද මෙහෙ අපට ඉන්න පුළුවන්

කියල ඔයා කිව්වම

හෙල්ලුණා මුලු බිල්ඩිමම

මගෙ පපුවෙ ගිඩිගිඩියට

මේ කවි පෙළේ තීරණාත්මක වචන කිහිපය ගැන අපේ අවධානය යොමු කරමු. “මුලින් ම” – එක වතාවක් නොව කීප වතාවක්, “ඔයා කිව්වහම” – පිරිමියා නොව ගැහැණිය කී විට, “මගෙ පපුවෙ ගිඩිගිඩියට” – ඇගේ පපුව නොව මගේ පපුව. ඒ සියල්ලෙන් කියන්නේ ඇය මේ පුරුෂ පරාණයට වඩා බොහෝ සෙයින් ඉදිරියෙන් ඉන්නා බව ය. කිසිදු බියක් ඇයට නැති බව ය. ඇය සමාජ ආකල්ප මායිම් නොකරන බව ය.

මේ සියල්ල අපට සුනන්ද ගෙන එන්නේ අප තුළ උත්ප්‍රාසයක් ඇති කරමිනි. ඒ සඳහා කවි බස මනාව උපයෝගී කරගනිමිනි. මුලු බිල්ඩිමම හොල්ලන ගිඩිගිඩියක් ගැන කියන විට මවන රූපය කෙතරම් නම් කම්පනය කරන සුලු ද?

මේ පුරුෂ පරානයේ බිය සාධාරණය කරමින් කවි පන්තිය ගලා ගෙන යන්නේ මෙසේ ය.

ඇස් ඇරෙන කොට අපට

බට කැලේ වගෙ ගිනි අරන්

මුලු ඔෆිස් එකම

ටෙලිෆෝන් වයරුත් ගිනි ගත්ත

ගෙවල්වලට ඇවිලෙන කල්ම

සුනන්ද ඉතා මනරම් කවි ශිල්ප දක්වා දිගු කතාවක් ඉතා ප්‍රබල රූපක ඔස්සේ අප ව කම්පනය කරමින් අතිශය සංක්ෂිප්ත ලෙස ගෙන එන්නේ ශූර ලෙස ය. අනාවරණය ඉදිරියේ සමාජය අවි අමෝරන අයුරු ද ඔහු ප්‍රබලව විස්තර කරයි.

අප්පච්චි හැදුවෙ තුවක්කුව අරන්

ඊළඟ සඳුදා ම කොළඹ එන්න

ගෝලු අරන් අම්මයි නැන්දලයි

වැලහින්නියො වගේ පැන්න ඇඟට

දෙමාපිය ආශිර්වාදය මැද කෙරෙන විවාහයට (ඒ පවුලට) මේ අතීත කතාව කාන්දු වෙන්නට බැරි ය. එය ද සුනන්ද ලස්සණට කියන්නේ ය.

ඉතින් මම දැන් අලුත් ගෙදරක

කේතලෙන් මල්ලකුත් අරගෙන

ගෙනියන්න බෑ මට මේ ෆොටෝ එක

වරුණිකාගෙ තියුණු ඇස් යට

තියෙන අපේ අලුත් ගෙදරට

කථකයාට ගැලවිල්ලක් නැත. පරණ “පව්” කවදා හෝ විඳවන්නට වේ දැයි බියෙන් ඔහුට තවදුරටත් ජීවත් වන්නට සිදුවේ. මේ ගෙවන්නේ කුමන ජීවිතයක් ද? එය ඔබට හිතුනා නම් සුනන්ද සාර්ථක ය.

යුද්ධයක දී දිනන්නේ කවුද පරදින්නේ කවුද යන්න ද යුද්ධයේ රුදුරු ස්වභාවය මෙන් ම ඒ පිටුපස ඇති උන්මත්තකභාවය ද මොනවට ඉදිරිපත් කරමින් ගලන මිනිසා හා අශ්ව හිස කවි පන්තිය ද මා සිත් ගත කවි අතර එකකි. සාලිය අසෝකමාලා පුරාවෘත්තිය ද ඉසුරුමුණියේ පෙම් යුවල ළඟින් තිබෙන මිනිසා හා අශ්ව හිස ප්‍රතිමාව ද නැවත කැඳවමින් ඔහු ඉතිහාස කතාව ඔස්සේ යුද්ධයේ සදාතනික සත්‍යය වෙතට අප ලං කරයි. මෙහි දී ඔහු අතිශය දක්ෂ තාක්ෂණික කටයුත්තක් ද කරයි. ඒ අසෝකමාලා – අසෝක හා මාලා ලෙස වෙන් කරමින් ය. ඒ අසෝක යුද්ධයේ දී සටනට යවනු ලබන්නේ ය. ඔහුට අවශ්‍ය ධෛර්ය ලැබෙන්නේ මාලා ඔහු සමග සිටිනවාය යන මායාව නිසා ය. ඒ මායාවෙන් මෙහෙයවනු ලැබ ඔහු මිනිසුන් කැති ගායි.

දෙතිසක් බලකොටු වෙත එක පැහැර

මෙහෙයවා අසු නිබය ව

කැති ගාන මෙන් සොළී සෙනඟ

ලෙළවන කල අසිපත

මා පසුපසින් අසුමත

නුඹ මා වැළඳ සිටිතැයි

ගැලුණෙමි නිරන්තර මායාවක

යුද්ධය දිනා එන විට ඔහුගේ මාලා සාලිය කුමරු රැගෙන ගොස් ය. රටක් ජය ගත් ඔහුට ජීවිතය අහිමි කරනු ලැබ ඇත්තේ එසේ ය.

එහෙත් පෙරළා එන කල

දිනා රණ විරු බුහුමන්

මල්පට පෙරව අප හුන්

අසෝක වනය සිස් ය!

යුද්ධයට යන්නට උඩ ගෙඩි දුන් කවුරුවත් ඔහු වෙනුවෙන් වචනයක් වත් වියදම් කළේ නැත.

කුමරුන් හා එන නුඹට

රන් කෙන්ඩියෙන් පැන් වඩා ආසිරි පැතූ

ඉසුරුමුනියෙහි මුනිවරු

රකිත් මා වෙත මුනිවත

මිනිසා හා අශ්ව හිස අපට සුනන්ද මෙසේ මුණ ගස්වන්නේ ය.

යුදයෙන් ලත් නෙක වණ කැළැල් ඇති

දුබලය මා ගත

සා පවසින් පරිපීඩිත

වෙහෙසය මා හට

තවත් කුමට රැඳෙන්නේ ද මෙහි

හිස සලා විමසයි අසු

දුබලව ඇත්තේ වෙහෙසට පත් ව ඇත්තේ අසෝක පමණක් නොවේ. අසු ද මේ ඛේදවාචකයේ ගොදුරකි. අසු විමසන්නේ තවත් කුමට මෙහි රැඳෙන්නේ ද යන්න ය. මට හැඟුනේ යුද මානසිකත්වය තුළ තවදුරටත් අප රැඳිය යුත්තේ ඇයි දැයි කවියා අප ව ද විමසන බවකි.

සුනන්දගේ කවි හැම එකක් ම විමසන්නට ගියොත් පොතක් ලියන්නට වෙන නිසා මේ සටහන මෙතැනින් නිම කරමි. ඔබට පොත කියවන්නට ලැබුණොත් ඔබ තවත් බොහෝ දෑ සොයා ගනු ඇතැයි මට සහතික ය.

(මේ සටහන ලියන්නට මා පෙළඹුනේ නොවැම්බර් 29 දින පුවත්පත් මණ්ඩල පරිශ්‍රයේ මේ කාව්‍ය සංග්‍රහය පිළිබඳ පවත්වන ලද සාකච්ඡාව ය. එහි දී පළ කළ අදහස් වලින් ද මේ සටහන පෝෂණය වූ බව කෘතඥ පූර්වකව සඳහන් කරමි)

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s