මා සිට ගත යුත්තේ කොතැනක ද?

මා සිට ගත යුත්තේ කොතැනක ද?

ඔබ එක්කෝ අප සමග ය. නැත්නම් ත්‍රස්තවාදීන් සමග ය. මෙසේ කීවේ ඇමරිකාවේ 9-11 සිද්ධිය කාලේ ජනාධිපති ව සිටි ජෝර්ජ් බුෂ් ය. ත්‍රස්තවාදයට විරුද්ධව මැදපෙරදිග හා ඇෆ්ඝනිස්ථානයේ  ඊනියා යුද්ධය ආරම්භ කරමින් හා පැවති සටන් තීව්‍ර කරමින් ය.

අප මේ තත්වයට ඇද දැමූ මුල් ම හා අවසාන පුද්ගලයා ඔහු නොවේ. ලංකාවේ යුද්ධය පැවති වකවානුවේ ද එහි දෙපාර්ශවය ම සෙසු ජනතාව කෙරේ අනුගමනය කළේ ඒ ක්‍රියාමාර්ගය ය. දකුණේ නම් යුද්ධය ගැන සැක පහළ කළ, වෙනත් විකල්ප දේශපාලන ක්‍රියාමාර්ගයන් යෝජනා කළ, අය ව සැලකුණේ ත්‍රස්තවාදීන් ම හැටියට ය. කොටි හිතවාදීන් හැටියට ය. ඒ නිසා මෙය අපට ද ඉතා හුරු පුරුදු කතාවකි.

මෙවැනි මහා දේශපාලන කාරණා සම්බන්ධයෙන් පමණක් නොව ජීවිතයේ සිල්ලර කරුණු සම්බන්ධයෙන් ද අපෙන් ඉල්ලා සිටින්නේ දෙකෙන් එකක් තෝරා ගැනීමට ය. ඒ ඉල්ලීම දෙපැත්තේම අන්තවාදීන් විසින් කිරීම ද සුවිශේෂ ය.

ඊට අමතරව මැද ඉන්නා අය දෙස බලන තවත් ආකාරයක් තිබේ. ඒ අවස්ථාවාදීන් හැටියට ය. මඩේ සිට වූ ඉණි හැටියට ය. වැට උඩ ඉන්නා මෙලෝ රහක් නැති මිනිසුන් හැටියට ය. කිසිම දෙයක් සම්බන්ධයෙන් අස්ථානයක් ගත නොහැකි වැනෙන චරිත හැටියට ය. දෙපැත්තේම  අන්තවාදීන් කියන්නේ මැද ඉඳිමින් ඔවුන් සහය දක්වන්නේ ප්‍රතිවාදී පිලට ය කියා ය.

මට ද මේ අත්දැකීමට ජීවිතයේ අවස්ථා ගණනාවක සිදු ව තිබේ. අද මා මුහුණ දී තිබෙන්නේ ද ඒ අභාග්‍යයට ය. ඉතිහාසයෙන් පටන් ගනිමින් මගේ මේ අත්දැකීම අද දක්වා පැමිණි මග පළමුව ඔබ හා බෙදා ගන්නෙමි.

LTTE සංවිධානයේ දේශපාලන අරමුණ වූ දෙමල ජනතාවට ස්වයං පාලනයක් පිළිබඳ අදහසට මා එකඟ නමුත් ඒ සඳහා ඔවුන් අනුගමනය කළ අමානුෂික ත්‍රස්ත උපායමාර්ගයන් සමග එකග වීමට මට නොහැකි විය. එම අමානුෂික උපායමාර්ගයන් වලට තිත තැබීම සඳහා ආණ්ඩුව යුද වැදීම සම්බන්ධයෙන් මට විරුද්ධ විය නොහැකි වූ නමුත් ඒ සඳහා ආණ්ඩුව අනුගමනය කළ දෙමළ ජනතාව සතු සියල්ල පරදුවට තබන – ඔවුන් නොසළකා හැර – ක්‍රියාත්මක කළ යුද්ධයේ ස්වරූපය සමග එකඟ වීමට මට නොහැකි විය. ඒ නිසා ම ඒ ගැන මගේ හඩ අවදි කිරීමට මට සිදු විය.

ජනතාව වල පල්ලට තල්ලු කළ ආණ්ඩුවට එරෙහිව ජනතාව ආරම්භ කළ අරගලයට මගේ පක්ෂපාතිත්වය පළ කළේ වුව ද ඒ තුළ මතුවුනු ත්‍රස්තවාදය හා ආරාජිකත්වය සමග එකඟ වීමට මට නොහැකි විය. ගෝඨා එලවන තුරු අරගලයට දැක් වූ පක්ෂපාතිත්වය පාර්ලිමේන්තුව නව ජනාධිපතිවරයෙකු පත් කළ පසුත් නොකඩවා පවත්වගෙන යෑම නිසා දිගින් දිගට පළ කළ නොහැකි තැනකට මම පත් වී ඇත්තෙමි. ඒ පත් කළ ජනපතිට ඇති සුවිශේෂ කැමැත්තක් නිසා නොවේ. රටට විරාමයක් අවශ්‍ය යැයි හැගෙන නිසා ය. ඒ නිසා ම පත් කළ ජනපති රටට අරාජිකත්වයෙන් මුදවා ගැනීමට කරන උත්සහය සමග එකඟ වීමට කැමති මට ඔහු ඒ සඳහා අනුගමනය කළ භට පිරිස් යොදවා කැරලිකරුවන්ට පසු පස එලවමින් කළ පහර දීම සම්බන්ධයෙන් එකඟ විය නොහැකි විය ය. අත්අඩංගුවට පත් වන කැරලි නායකයින්ගේ ඇතැම් හැසිරීම ගැන මගේ එකඟත්වයක් නැති නමුත් ඔවුන් අත්අඩංගුවට ගනිමින් මේ රගන වත්මන් නාඩගම ගැන ද මට එකඟ විය නොහැකි ය.

අන්ත දෙකින් එකක් තෝරාගන්නට බල කරන මිනිසුන්ගෙන් අපට අඩුවක් නැත. ඒ අය තම ප්‍රතිවාදීන් දෙස බලනවාට ද වඩා වෛරයෙන් බලන්නේ කඳවුරක් තෝරා ගැනීමට අකමැති මිනිසුන් දෙස ය. අදාළ අර්බුදයන් උත්සන්න වන අවස්ථා වල ප්‍රතිවාදී කඳවුරු දෙකේ ම නිර්දය විවේචනයන්ට පමණක් නොව පහර දීම් වලට ද ඔවුන් ලක් වෙයි. මේ බව යුද්ධය උත්සන්න වූ අවස්ථාවල ද සාම සාකච්ඡා ඉදිරියට ඇදෙන අවස්ථාවල ද 88-89 කැරල්ල සිදු වුනු කාලය තුළ ද අසීමාන්තික විදිහට උත්සන්න වූ බව අපට මතක ය. සමහර අවස්ථාවල එසේ පහර එල්ල කරන්නේ කවුරුන් දැයි සිතා ගැනීමට පවා නොහැකි වෙයි. විජය කුමාරණතුංග ප්‍රේමකීර්ති ද අල්විස් ඇතුළු කිසිදු අපරාධයක් නොකළ මිනිසුන් පවා මරා දැම්මේ කවර කණ්ඩායමක් විසින් ද යන්න අදට ද අභිරහසකි. වෛරය එසේ එල්ල වන්නේ ඔවුන් වඩාත් අසරණ කරනු ලබන්නේ ප්‍රතිවාදීන්ගේ තර්කයන් විසින් නොව මෙවැනි කඳවුරකට ගාල් කළ නොහැකි නිදහස් මිනිසුන්ගේ තර්කයන් නිසා ය.

දරුවා නෑවීමෙන් පසු ඉතිරි වූ කුණු වතුර එලෙස ම තබා ගැනීමට මට කිසිදු වුවමනාවක් නැති නමුත් බාල්දිය සමග දරුවා විසි කිරීමට ද මට වුවමනාවක් නැත. ප්‍රශ්නය ඇත්තේ අන්ත දෙකින් එකක් තෝරාගන්නා ලෙස බලකරමින් හඩ නගන මිනිසුන් ඉදිරියේ මට පය ගසා ගැනීමට තැනක් අහිමි කරනු ලැබ තිබීම ය. මා සිට ගත යුත්තේ කොතැන දැයි සම්බන්ධයෙන් ඔබට වත් උපදෙසක් දිය හැකි වෙනු ඇතැයි මම සිතමි.