
ජනතාව පමණක් නොව අරගලකරුවන් ද මේ වන විට උත්තර සොයන ප්‍රශ්නය “අරගලයට මොකද වුනේ” යන්න ය. තමන්ගේ වැරැද්දක් නැතැයි සිතන බොහෝ අය තම පරාජයන්ට හේතු හොයන්නේ බාහිරින් ය. අරගලකරුවන්ට ද සිදු ව ඇත්තේ එය ම ය. එක් පැත්තකින් අරගලකරුවන් අරගලය පාවා දුන්නේ යැයි රනිල්ට චෝදනා කරන අතර අනිත් පැත්තෙන් තමන් සමග එකට සිට ගන්නේ නැතැයි මේ වන විට ජනතාවට ද චෝදනා කරන්නට පටන් ගෙන තිබේ.
අරගලයේ සටන් පාඨ හා දිශානතිය තත්වානුරූපව වෙනස් වන්නේ නැත්නම් අරගලයට මේ ඉරණම අත් වෙන බවට සටහන් කීපයක් ම වරින් වර තබන්නට අපට සිදු විය. එහෙත් අරගලකරුවන්ට ඒවා කියවීමට වෙලාවක් තිබෙන්නට නැත.
අප මුලින් ම කීවේ කෙතරම් විරෝධයක් දැක්වූව ද ගෝඨාභය ස්වේච්ඡාවෙන් නම් අයින් වන එකක් නැති බව ය. එසේ අයින් වීමෙන් අනාරක්ෂිත වීමට මොළය කළඳක් හෝ ඇත්නම් කෙනෙකු අකමැති වන නිසා ය. අප ඒ නිසා කීවේ ඔහු අයින් වන්නේ නැත්නම් සර්ව පාක්ෂික ආණ්ඩුවක් හරහා ගෝඨාභය බලතල රහිත ජනාධිපති කෙනෙකු, පාර්ලිමේන්තුවේ හිරකාරයෙකු, බවට පත් කිරීමට හැකි දැයි සොයා බැලිය යුතු බව ය. ඒ සඳහා පාර්ලිමේන්තුව නියෝජනය කරන අයට බල කළ යුතු බව ය. එසේ කළ හැකි තත්වයක් ඒ වකවානුවේ තරමක් දුරකට තිබුණු බව අපේ විශ්වාසය විය.
එහෙත් අරගලකරුවන් අනුගමනය කළේ ගෝඨා ගෝ හෝම් යන පරණ සටන් පාඨ දිගින් දිගට කියමින් සිටීම ය. පාර්ලිමේන්තුව වෙනස් වී නැතැයි යන නිගමනයේ දිගින් දිගට සිටීම ය. පාර්ලිමේන්තුව මත අරගලයේ බලපෑම අඩුවෙන් තක්සේරු කිරීම ය. ගෝඨා සිටින ආණ්ඩුවකට එක් වන්නේ නැතැයි කන්‍යා භාවය සොයන බලවේග වල කතාවට වශී වී ඒවාට උඩ ගෙඩි දෙමින් සිටීම ය.
එවැනි බලපෑමක් නැති තත්වයක් යටතේ සහ මැයි 9 දා සිදු වූ සිද්ධි දාමයේ අතුරුඵලයක් ලෙස මහින්ද රාජපක්ෂට අස් වීමට බල කෙරුණු තත්වයක් යටතේ රට තුළ රික්තකයක් බිහි වෙමින් තිබුනේ ය. ඒ රික්තය පුර වන ලද්දේ කොහේවත් සිටි රනිල් කෙනෙකු විසිනි.
රනිල් නව තත්වයක් නිර්මාණය කළේ ය. සජිත්ට හා අනුරට කලබල වී තමන් ද සූදානම් බවට ප්‍රකාශ නිකුත් කිරීමට සිදු වූයේ ඒ තත්වයට උත්තර හැටියට ය. ඒ වන විට අස්වයා පැන ගොස් ඉවර ය. ඉස්තාලය වහලා වැඩක් නැති තැනකට පත් ව තිබුණේ ය. තිබූ රික්තය රනිල් විසින් හයිජැක් කර තිබුනේ ය.
රනිල් සර්ව පාක්ෂික ආණ්ඩුවක් සැදීමට කළ ආරාධනා කිසිදු පක්ෂයක් විසින් පිලිගත්තේ නැත. ඒ සඳහා ඉදිරිපත් වී අවම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට තිබු ඉඩකඩ පාර්ලිමේන්තුව නියෝජනය කරන සෙසු බලවේග භාවිතා කළේ නැත. අඩු වශයෙන් රනිල්ට විකල්පයක් ලෙස වෙනස් සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමටවත් කටයුතු කරන්නට තරම් දේශපාලන පරිණතභාවයක් ඒ එක ද බලවේගයකට වත් තිබුනේ නැත. ඒ නිසා රනිල් තහවුරු වුනේ ය. පොදු පෙරමුණ තුළ සිරකරුවෙක් හැටියට ම තහවුරු වුනේ ය.
රනිල් සම්බන්ධයෙන් අරගලකරුවන්ට කරන්නට තිබුණේ බාර ගත්තා නම් මේ මේ දේ කරන්නට යැයි ඔහුට බල කිරීම ය. ඒ සම්බන්ධයෙන් රනිල්ට බලපෑම් කරන ලෙස පාර්ලිමේන්තුවේ නියෝජනය කරන පක්ෂ වලින් ඉල්ලා සිටීම ය. ඒ අතර 20 වෙනි සංශෝධනය ඉවත් කිරීම ප්‍රධාන වන්නට තිබුණි. ඔවුන් විසින් කළ තිබුණේ ඒ හරහා එක්කෝ අවශ්‍ය සංශෝධන කරවා ගැනීම ය. එසේ නොකරන්නේ නම් රනිල් හා පාර්ලිමේන්තුව පිළිබඳ මහජන විරෝධයක් ඇති කිරීමට කටයුතු කිරීම ය.
ඒ වෙනුවට මැයි 9 දා ම ඔවුන් කළේ අරගලය භූමියට ආ සජිත්ව ද පන්නා දමමින් ප්‍රධාන විපක්ෂය වූ සජබය ගැන පවා තමන්ට විශ්වාසයක් නැති බව පල කිරිම හරහා තවදුරටත් තනි වීම ය.
රනිල්ව පාවිච්චි කරනු වෙනුවට ඔවුන්ට අවශ්‍ය වූයේ රාජපක්ෂලා සමග රනිල් ද පළමු වටයේ ම තොලොංචි කර දැමීම ය. හැකි නම් ඒ ගොඩට තල්ලු කර සජිත්ව ද චකබ්ලාස් කර දැමීමට ය.
රාජපක්ෂට විරුද්ධ බලවේග (පොදු ජන පෙරමුණ තුළ පවා ඒ වන විට හැඩ ගැසෙමින් තිබුණු බලවේග ද) එකතු කර ගනු වෙනුවට ඔවුන් කටයුතු කළේ අති පාරිශුද්ධ සුජාත බලයක් සැදීමට ය. ඔවුන් ගණනය නොකළ සාධකය නම් එවන් කෙසඟ බලවේගයක් ගැන මිනිසුන් විශ්වාසය නොතබන බව ය. අරගලයට අවශ්‍ය තත්වයන් පෙරට ද වඩා මෝරා තිබිය දී මිනිසුන් ඊට එකතු නොවන්නේ ඒ නිසා ය. මේ කෙසඟ බලවේගයට ගෝඨා නම් එලවන්නට බැරි බව මේ වන විට බහුතර ජනතාවකට පැහැදිලි වී තිබේ.
මේ තත්වය විසින් බිහි කරමින් ඇත්තේ අතිශය අරාජික තත්වයකි. පාලකයන්ට එරෙහි ව ගොඩ නැගෙන්නට නියමිත ව තිබූ කෝපාග්නිය තමන් අතර ම ඉන්නා මිනිසුන්ට එල්ල කරන තත්වයකට මිනිසුන් පත් වෙමින් තිබේ.
රනිල්ට හා ජනතාවට චෝදනා කිරීම පසෙක තබා අරගලකරුවන් තමන්ට සිදු වූයේ කුමක් දැයි තමන් ඇතුළතට හැරී බැලිය යුතු ය. සුජාත කෙසඟ ව්‍යාපාරයක් තනනු වෙනුවට පළල් ශක්තිමත් රාජපක්ෂ විරෝධී සටන් පෙරමුණක් සැදීම කෙරෙහි ද අවම වැඩ පිළිවෙළක් සහිත බහුතර පක්ෂ නියෝජනයක් සහිත ආණ්ඩුවක් ගොඩ නැගීම කෙරෙහි ද ඔවුන්ගේ අවධානය යොමු විය යුතු ය.
අරගලයේ නායකත්වයට අවශ්‍ය පුද්ගලයන් හෝ සංවිධාන නොවේ. වැඩ පිළිවෙළකි. වැඩි දෙනෙකුට එකඟ විය හැකි වැඩි දෙනෙකුට සහභාගී විය හැකි වැඩ පිළිවෙළකි. තමන්ට බලය දෙන්නැයි ඉල්ලනවා මිසක එවන් අවම වැඩ පිළිවෙළක් ඉදිරිපත් කරමින් තිබෙන දේශපාලන බලවේග ඒ වටා ගොනු කර ගන්නට කිසිදු සංවිධානයකට තවමත් හැකියාවක් ලැබී නැත. ආණ්ඩුව පමණක් නොව විපක්ෂය ද අරගලය ද ජනතාව ද අවසානයේ සමස්ත රට ද ෆේල් ය.
මේ සටහනේ එන එක නිගමනයක් සත්‍යය වූයේ නැත. ඒ ගෝඨාභය ඉවත් නොවනු ඇතැයි යන්න ය. එහෙත් ඔහු ඉවත් විය. ඒ සඳහා කොළඹට ගැලූ ජන ගඟ ප්‍රධාන හේතුව වූ බවට සැකයක් නැත. එහෙත් බොහෝ දෙනෙකු පිලිගන්නට අකමැති තව හේතුවක් එතැන තිබේ. ඒ සුරක්ෂිත විකල්පයක් ලෙස රනිල්ගේ පෙනී සිටීම ය. එහෙම විකල්පයක් එලියේ තිබුණේ නැත. අරගලය තුළ තිබුනේ ද නැත. අප බොහෝ දෙනෙකු මග හැර යන කාරණය ඒක ය. විශේෂයෙන් ම ව්‍යවස්ථානුකූල නව ජනපති කෙනෙකු පත් කර ගත් පසු ද ගේම ඉල්ලමින් අරගලය ඉදිරියට ගෙන යෑමට තැත් කළ සුළුතරයක් වූ අරගලකරුවන්ට විශේෂයෙන් මග හැරුණේ ඒ කාරණය ය.