රාජ්‍ය ව්‍යවසා වල ඇති අවුල කුමක් ද?

රාජ්‍ය විසින් ව්‍යාපාරික කටයුතු නොකළ යුතු ය යන්න ධනවාදී ආර්ථික විද්‍යාර්ථීයන් දරන මතයකි. ධනවාදය ගැනත් පොදුවේ ව්‍යාපාරිකයන් ලබන ලාභ ගැනත් අපට ඇත්තේ සොඳුරු හැඟීමක් නොවේ. අප උගෙන ඇත්තේ ලාභය අපුල දෙයක් හැටියට ය. බිස්නස් පවක් හැටියට ය. ඒවා අප ගැට ගසා ඇත්තේ නිහීන කෑදර කමත් සමග ය. ඒ නිසා ඉහත මතය ද අපට දිරවා ගන්නට අමාරු එකකි.

අනෙක් අතට අපට ආණ්ඩුව දැනෙන්නේ අපේ දෙයක් හැටියට ය. මිතුරු දෙයක් හැටියට ය. ලාබෙට යමක් ලැබෙන්නේ, නොමිලේ ලැබෙන්නේ, ආණ්ඩුවේ ආයතනයකින් පමණක් යන්න අපේ අත්දැකීම් අතර එක් ප්‍රධාන අත්දැකීමකි. ඒ නිසා ම සමහරු පෙනී සිටින්නේ ධනවාදී විද්‍යාර්ථීයන් දරන මතයට ප්‍රතිපක්ෂ මතයේ ය. ඒ අයට අනුව අප ඉතිරි ඒවා ද රාජ්‍යයට පවරා ගත යුතු ය.

හැම විට ම ආණ්ඩුවේ වැඩ හා ආයතන හොඳ නොවෙන බව දැන දැනත් අප ආණ්ඩුවට ආණ්ඩුවේ ආයතනය වලට ආදරේ ය. ගෑස් ආණ්ඩුවේ තිබුණු මුල් යුගයේ සිලින්ඩරයක හිමි කරුවෙකු වීමට පවා අවුරුදු ගණන් පෝලිමේ දුක් වින්ද ආකාරය හෝ රාජ්‍ය බැංකු පමණක් තිබුනු කාලයේ ඒවායේ සේවය ලබා ගැනීමට කෑ කට්ට කෙතරම් අප්‍රසන්න ද යන්න හෝ අපට ඒ හැටි මතක නැත. ආණ්ඩුව හා ආණ්ඩුවේ ආයතන සම්බන්ධයෙන් ඇති අපේ බැඳීම සංසාර ගත බැඳීමක් තරමට ප්‍රබල ය. එහෙත් ඒ තත්වය අද වන විට තදින් අභියෝගයට ලක් වෙමින් තිබේ.

ලංකාවේ මෑතක අත්දැකීම රජය විසින් ව්‍යාපාරික කටයුතු නොකළ යුතු ය යන්න සනාථ කරන්නකි. ඒ රාජ්‍ය ව්‍යවසා බහුතරයක් පාඩු ලබන නිසා ය. අකාර්යක්ෂම නිසා ය. ඒවා තුළ ඇති නිලධාරිවාදයෙන් බහුතරයක් සේවා ලාභීන් බැට කන නිසා ය. ලංකාව පමණක් නොව තවත් බොහෝ රටවල් සම්බන්ධයෙන් ද එය සත්‍යය බවට තොරතුරු තිබෙන නිසා ය.

පාඩු ලබන්නේ රාජ්‍ය ව්‍යවසා පමණක් නොවෙතත් දිගින් දිගට පාඩු ලබමින් පවත්වා ගෙන යන්නේ රාජ්‍ය ව්‍යවසා පමණකි. එයට හේතුව රජයට බදු ගැසීමට පමණක් නොව මුදල් අච්චු ගැසීමට ද නීත්‍යනුකූල බලයක් තිබෙන නිසා ය. එසේ එකතු කර ගන්නා මුදල් පාඩු ලබන රාජ්‍ය ව්‍යවසා නඩත්තු කිරීම සඳහා පොම්ප කළ හැකි ව තිබෙන නිසා ය.

රාජ්‍ය ව්‍යවසා පවත්වා ගෙන යනු ලබන්නේ මහජන යහපත උදෙසා යැයි කීව ද බදු බර හා මුදල් අච්චු ගැසීමෙන් අවසාන විශ්ලේෂණයේ දී විඳවන්නේ සාමාන්‍ය ජනතාව ය. ඒ නිසා ම මහජනතාව වෙනුවෙන් මේ ගැන විමසීමට අපට අයිතියක් ද වුවමනාවක් ද තිබේ.

රාජ්‍ය ව්‍යවසා වල අවුල කුමක් ද? ඒවා පාඩු ලබන්නේ මන්ද? ඒවායින් නිසි සේවයක් ලබා ගැනීම අපහසුව ඇත්තේ මන්ද?

පුදුමයකට මෙන් අවුලට හේතුව එය පාලනය කරන්නන්ට පුද්ගලික අයිතිකරුවන්ට මෙන් “ආයතනික” ලාභ අපේක්ෂාවක් නොමැති වීම ය. අප අකමැති “ලාභය” පිළිබඳ වුවමනාව නැති නිසා එය අසාර්ථක යැයි කීම අපට දිරවා ගත නොහැකි බව ඇත්ත ය. එහෙත් ඇත්තත් එය ම ය.

පුද්ගලික ව්‍යවසා වල අයිතිකරුවන්ට ප්‍රතිපක්ෂ ව, රාජ්‍ය ව්‍යවසා පාලනය කරන්නන්ට, ඇත්තේ “ආයතනික ලාභ” අපේක්ෂාව නොව “පෞද්ගලික” ලාභ අපේක්ෂාව ය. එය අප හිතනවාට වඩා දරුණු ය.

රාජ්‍ය ආයතන බොහෝමයක් තිබෙන්නේ ඒවායේ පාලනය බාර ව සිටින අයට හොද්ද බොර කර ගැනීමට ය. කොමිස් හා ‌ටෙන්ඩර් මගඩි ගැන වාර්තා වෙන්නේ ඒ නිසා ය. අති විශාල සේවක සංඛ්‍යාවක් පිළිබඳ වාර්තා වන්නේ ඒ නිසා ය. ඒ සේවකයන් ආයතනයේ කටයුතුවල යොදවනවාට වඩා පාලකයන්ගේ පෞද්ගලික කටයුතු ඉටු කර ගැනීමට යොදවන බවට ආරංචි වන්නේ ඒ නිසා ය. බදු ගැසීමටත් මුදල් අච්චු ගැසීමටත් ආණ්ඩුවක් තිබෙන තුරු මේ කටයුතු බාධාවකින් තොරව කර ගෙන යා හැකි නිසා ලබන අලාභය ගැන ඒ හැටි හිතන්නට වුවමනා නැත. කළ යුත්තේ ලැබෙන පුද්ගලිික “ලාභයෙන්”, යටි මඩි ගැසීමෙන් ලැබෙන අග්‍ර කොටස පිදිය යුත්තන්ට පිදීම පමණ ය.

රාජ්‍ය බැංකු තියෙන්නේ තමන්ගේ හිතවත් ව්‍යාපාරිකයන්ට නැවත නොගෙවන ණය ලබා ගැනීමට ය. ගුවන් සේවා තියෙන්නේ තමන් කියන වෙලාවට තමන්ගේ පරපුර සමග ගුවන් ගත වීමට ය. හමුදාව තියෙන්නේ තමන්ගේ හිතෛෂීන්ගේ ඉදිකිරීම් වල වැඩ කරන කම්කරුවන් හැටියට යොදා ගැනීමට ය. තමන්ගේ පරිවාර සේවකයන් හැටියට පාවිච්චි කරන්නට ය.

ආයතනික ලාභ අපේක්ෂා නැති නිසා සේවකයන් අභිප්‍රේරණය කිරීමට ලොකු උනන්දුවක් ඒවායේ පාලනයේ යෙදී ඉන්නා අයට නැත. වැඩට ඇති කැප වීම වෙනුවට පාලකයන්ට ඇති ලැදියාව වරප්‍රසාද ලැබිය හැකි මාර්ගයක් වීම නිසා අභිප්‍රේරණයක් කර ඇත්තේ ආයතනයේ වර්ධනයට සේවා ලාභීන්ගේ වාසියට නොවන බව හොඳින් බලන කෙනෙකුට පෙනී යනු ඇත. අභිප්‍රේරණය කර ඇත්තේ පාලකයන්ට කඩේ යෑම උදෙසා ය. ඔවුන්ගේ වුවමනා එපා කම් ඉටු කර දීම උදෙසා ය.

විගණන නිලධාරීන් ඇතත් ඒ බොහෝ අය ද විගණනය කරන්නේ “ගාණක්” සොයා ගැනීමේ අපේක්ෂාවෙන් මිසක අකටයුතු කම් නැවැත්වීමේ අපේක්ෂාවෙන් නොවේ. ඔවුන්ට ද විගණනයේ යෙදිය හැක්කේ ඉහළ පාලකයන්ගේ ආදායම් මාර්ග නැවැත්වීමට කටයුතු නොකරන තාක් පමණකි. ඒ ඔවුන් ද මාරු කිරීම් වලට යටත් නිසා ය. ඒ නිසා අවංකව රාජකාරි කරන විගණන නිලධාරියෙකුගේ අනාගතය පහසු නැත.

වෙළඳ පොලේ තරගකාරිත්වයකට මුහුණ දෙන පුද්ගලික ආයතනයකට මෙන් නොව ඔවුන්ට සේවා ලාභීන් ගැන ලොකුවට තකන්නට ඔ්නෑ නැත. බොහෝ විට ඔවුන් සේවය සලසන්නේ නැති බැරි අයට ය. ඒ සල්ලි අච්චු ගැසීමට හෝ බදු පැනවීමට බැරි පුද්ගලික අංශයට කරන්නට නොහැකි නොමිලේ සේවා හෝ අඩු මිලට සේවා සැපයීම හරහා ය. නොමිලේ සේවා සපයන රජයේ රෝහල් මීට එක් උදාහරණයකි. ඒවායේ සේවය ලබා ගැනීමේ දුෂ්කරතා කෙතෙකුත් තිබුනත් සල්ලිය බාගෙ නැති අයට වෙනත් විකල්පයක් නැති නිසා ම ඒවා ඒ ආකාරයෙන් පවත්වා ගෙන යා හැකි ය.

ප්‍රතිසංස්කරණය කිරීමෙන් මේ අවුල අපට විසඳා ගත නොහැකි ද? රාජ්‍ය ව්‍යවසා වල අවුල පිළිගන්නා බොහෝ දෙනෙකුගේ ඊළඟ ප්‍රශ්නය එය ය.  

ආයතනික ලාභය ඇති කිරීම යන මූලික කොන්දේසිය රාජ්‍ය ව්‍යවසායක ඇති කළ නොහැකි ය. ඒ නිසා මෙය රාජ්‍යයට ආවේණික වූ ප්‍රශ්නයකි. කිසිදු ප්‍රතිසංස්කරණයකින් ජය ගත නොහැකි ප්‍රශ්නයකි.

පාඩු ලබමින් දිගට ම පවත්වා ගෙන යා හැකි නිසා පුද්ගලික ආයතනයකට සම සේවා සපයන රාජ්‍ය ආයතනයක් සමග තරගයට යෑමට ද බැරි ය. ඒ නිසා ඇතැම් ක්ෂේත්‍රවල රාජ්‍ය අංශයේ පැවැත්ම පුද්ගලික අංශයක් වර්ධනය වීම ඇණ හිටවා තිබේ. උදාහරණයක් ලෙස පාඩුවට දුවන ඒ සඳහා දිගින් දිගට රජයේ මුදල් පොම්ප කරන දුම්රිය සේවයක් තිබිය දී ඒ මාර්ගයන්ගේ පෞද්ගලික දුම්රිය සේවයකට ඉඩක් ඇති වන්නේ නැත. ඒ නිසා සිදු වන නස්පැත්තිය නම් කාලයත් සමග ඒවා අභාවයට යෑම ය. ඒවා රාජ්‍ය ධනය මකර කටට ඇදගන්නා ජනතාවට පවා එහෙමකට වැඩක් නැති ඒවා බවට පත් වීම ය. අද පුද්ගලික වාහන විශාල වශයෙන් වැඩි වී තිබෙන්නට ද ඒ තත්වය යම් පමණට හේතු වී තිබේ.

රාජ්‍ය ව්‍යවසා වල මේ සියලු අඩු ලුහුඬු කම් තිබිය දී සමහර ආයතන රාජ්‍ය ව්‍යවසා ලෙස පවත්වා ගෙන යෑම අත්‍යවශ්‍ය බව ඇත්ත ය. ඒ පුද්ගලික අංශයට තරගකාරී ව තම කටයුතු කර ගෙන යා නොහැකි ඇතැම් ක්ෂේත්‍ර සම්බන්ධයෙනි. පොලිසිය එවැනි එක් උදාහරණයකි. පොදු මාර්ග සංවර්ධනය තවත් එවැනි ක්ෂේත්‍රයකි.

පුද්ගලික අංශයට එසේ සැපයිය හැකි ඇතැම් සීමිත සේවා කිහිපයක් ද ලාභයක් නැතිව ම ද දරිද්‍ර ජනතාවගෙන් මුදල් අය කිරීමක් නොමැතිව රාජ්‍ය අංශය විසින් පවත්වා ගෙන යා යුතු ය. ඒ රටේ පොදු අභිවෘද්ධිය මෙන් ම පීඩිත ජනතාවට ද යම් සහනයක් වනු පිණිස ය. රෝහල් හා පාසල් අයිති වන්නේ ඒ ක්ෂේත්‍රයට ය.

ඒ හැරෙන්නට ජනතාවගේ පැත්තෙන් සෙසු ව්‍යාපාරික ආයතන රජය විසින් පවත්වා ගෙන යෑමේ කිසිදු තේරුමක් නැත. කිසියම් හෝ තේරුමක් ඇත්නම් ඒ ඒවායේ වරප්‍රසාද භුක්ති විඳින පාලකයන්ට පමණ ය.

රජය විසින් කළ යුත්තේ අවම නියාමනයක් යටතේ පුළුල් තරගකාරිත්වයට ඉඩකඩ සලසන පරිසරයක් නිර්මාණය කිරීම ය. ඉතිරිය කරන්නට පුද්ගලික අංශයට ඉඩ හසර සලසා ව්‍යවසා පවත්වා ගෙන යෑමෙන් තමන් නිදහස් වීම ය. ඒ හරහා දැනට කර ගෙන යනු ලබන බදු බර පැනවීම ද අතෝරක් නැතිව සල්ලි අච්චු ගැසීම ද නතර කිරීම ය.

ලාභය නරක දෙයක් නොවන බවත් ඒ ලාභය කියන හේතුව නිසා ම පුද්ගලික ව්‍යවසායකයින් මනා සේවයක් සැලසීමට – තරගකාරී තත්වයක් යටතේ – යොමු වන බවත් අප තේරුම් ගත යුතු ය. එවිට ඔය කියන අදහස වෙනුවෙන් පෙනී සිටීමට හිත හදා ගැනීමට අපට පුළුවන් වනු ඇත. ඒ තත්වය ඉක්මණින් ඇති කර ගත් තරමට පවතින අර්බුදයෙන් ගොඩ ඒම පහසු ය.

Leave a Reply

Fill in your details below or click an icon to log in:

WordPress.com Logo

You are commenting using your WordPress.com account. Log Out /  Change )

Twitter picture

You are commenting using your Twitter account. Log Out /  Change )

Facebook photo

You are commenting using your Facebook account. Log Out /  Change )

Connecting to %s