දූෂණය හා වංචාව නැති කිරීම රට ගොඩ ගැනීම සඳහා කෙතරම් දායකත්වයක් දෙනු ඇද්ද?

ආයෝජකයන්ට වැඳ නමස්කාර කර ගෙන්වා ගැනීමේ අවශ්‍යතාවයක් නැති බවත් දූෂණය හා වංචාව නැති කිරීමෙන් හා මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීමෙන් රට ගොඩ දා ගත හැකි බවත් මගේ මිතුරෙක් ෆේස්බුක් සටහනකට ප්‍රතිචාරයක් ලෙස ලියා තිබුණේ ය.

දූෂණය හා වංචාව නැති කිරීම ද මිනිසුන්ගේ ආකල්ප වෙනස් කිරීම ද අමාරු වැඩ ය. ඒ අමාරු වැඩ දෙක ම කළේ යැයි සිතමු. එසේ කළ පමණින් රටට ගොඩ යා හැකි ද?

අද රට මුහුණ දී ඇත්තේ විදේශ විනිමය අර්බුදයකට ය. ඒ කියන්නේ අප විදේශ වලට යවන දේ (අපනයනය) ට වඩා විදේශ වලින් ගෙන්වා ගන්නා දේ (ආනයනය) වැඩි බව ය. ඒ නිසා අර්බුදයෙන් ගොඩ යෑමට නම් අප කළ යුත්තේ එක්කෝ ආනයනය අඩු කිරීම ය. නැතිනම් අපනයනය වැඩි කිරීම ය. නැතිනම් ඒ දෙක ම ය.

විදේශ වලින් අප ගෙන්වා ගන්නේ අපට මෙහි හදන්නට බැරි දේ ය. එසේත් නැතිනම් අපට ලාබෙට හදන්නට බැරි දේ ය. පළමු වර්ගයට අයත් වන්නේ ඉන්ධන ය. කෘෂි රසායනික ය. යකඩ වැනි ලෝහ වර්ග ය. රෙදි වැනි අමුද්‍රව්‍ය ය. දෙවැන්නට අයත්වන්නේ යන්ත්‍ර සූත්‍ර ය. වාහන ය. ඉලෙක්ට්‍රොනික උපකරණ ය.

මේ කතාවට කෙනෙකු උදහස් වන්නට පුළුවන. අප ඇපල් ගෙන්වන්නේ නැද්ද? විදේශ ආහාර වර්ග ගෙන්වන්නේ නැද්ද? විදේශ මත්පැන් ගෙන්වන්නේ නැද්ද? ඒවාත් අවශ්‍ය ද? බැලූ බැල්මට නම් ඇපල් චීස් හෝ ඔය කියූ වෙනත් දේ රටට අවශ්‍ය නැත. ඒවා ගෙන්වා ගන්නවා ඇත්තේ වංචාවෙන් මුදල් හම්බු කරන අයගේ පරිභෝජනයට ය. ඒවා නැවැත්විය හැකි ය. එහෙත් අපේ අපේක්ෂාව විදේශ විනිමය නිපදවා ගැනීම නම් ඒ සඳහා අපට ඇති එක් වැදගත් ක්ෂේත්‍රයක් වන සංචාරක කර්මාන්තයට, සංචාරකයන්ට, අවශ්‍ය දෑ සැපයිය යුතු ය. ඉතින් ඒවා නොගෙන්වා පුළුවන් ද?

අනෙත් අතට අප අප රටට අවශ්‍ය දෑ නිපදවා ගන්නවා යන උපාය මාර්ගය දෙස බලමු. අප අපේ රටට අවශ්‍ය සහල් නිපදවා ගන්නවා නම් ඒ සඳහා අපට වැඩි අස්වැන්නක් ගත හැකි බීජ වර්ග අවශ්‍ය ය. රසායනික පොහොර අවශ්‍ය ය. කෘෂිරසායනික වර්ග අවශ්‍ය ය. ගොවිතැන් කරන උපකරණ හා යන්‍ත්‍රසූත්‍ර අවශ්‍ය ය. අස්වැන්න නෙලා ගන්නා උපකරණ හා යන්ත්‍ර සූත්‍ර අවශ්‍ය ය. වී සහල් කර ගන්නා යන්ත්‍රසූත්‍ර අවශ්‍ය ය. ඒවා ප්‍රවාහනය කරන වාහන අවශ්‍ය ය. ඒ සියල්ල ගෙන්වා ගන්නේ පිටරටිනි. ඒවා බොහෝමයක් ලංකාවෙන් ලබා ගත නොහැකි නිසා ය. ඉතින් ඒවා නොගෙන්වා පුළුවන් ද?

නැවතත් නව තර්කයකට මුහුණ දීමට අපට සිදු වේ. පරණ මුතුන් මිත්තන් වගා කළේ ඔ්වා පිටරටින් ගෙනල්ලා ද? පැරණි ක්‍රමයට වගා කිරීමට අපට නොහැකි මන් ද? කම්මැලි කම මිස? ආකල්ප වෙනස් කිරීමෙන් එය කළ නොහැකි ද?

මෙය පැරණි දිවි පෙවෙතට ගොස් ගොඩ යා හැකි අර්බුදයක් නොවේ. හේතුව එදා ට වඩා වැඩි ජනගහණයක් සිටීම ය. ඒ අයට අවශ්‍ය ආහාර පැරණි ක්‍රම භාවිතයෙන් නිපදවීමට අවශ්‍ය තරම් ඉඩම් අප සතුව නොතිබීම ය. එදාට වඩා වුවමනාවන්ගෙන් අපේ ජීවිත පිරී තිබීම ය. එදා අප භාවිතා නොකළ ඖෂධ විශාල සංඛාවක් ද තවත් බොහෝ පාරිභෝගික භාණ්ඩ ද හරහා අද අප විසින් භාවිතා කර අපේ ජීවිත පහසු කර ගෙන තිබීම ය. අප තවදුරටත් ගමක ජීවත් නොවීම ය. ඒ වෙනුවට මහල් නිවාස වලට ගොනු වී සිටීම ය. නැවතත් ගමට යෑමට ගමේ ඉඩක් නැත.

ඒ නිසා උත්තරය ඇත්තේ විදේශවලින් ගෙනෙන දෑ අඩු කිරීමෙන් නොවේ. විදේශවලට යවන දෑ වැඩි කිරීමෙන් ය.

ඒ කියන්නේ විදේශවලට අප විසින් නිපදවන දේ වැඩිපුර යැවීමෙන් තොරව අපට තවදුරටත් පැවැත්මක් නැති බව ය.

අප විදේශවලට යවන බොහෝමයක් විදේශ ආයෝජනය සමග බැඳී තිබේ. අපට ගෝලීය වෙළඳ පොල ජය ගන්නට, ඊට පිවිසෙන්නට, ඒ සහය අවශ්‍ය ය. යන්ත්‍රසූත්‍ර මිල දී ගැනීමට ඒ සහය අවශ්‍ය ය. තාක්ෂණය ලබා ගැනීමට ඒ සහය අවශ්‍ය ය. කළමනාකරණ ක්‍රමවේදයන් සකසා ගැනීමට ඒ සහය අවශ්‍ය ය. අමුද්‍රව්‍ය ලබා ගැනීමට පවා ඒ සහය අවශ්‍ය ය. වෙනදාටත් වඩා විදේශ විනිමය අර්බුදයක් ඇති අද අවශ්‍ය ය.

අප දැන් ලෝකයේ වෙනත් රටවල අත්දැකීම් දෙස බලමු. ඒ අය ගොඩ ගියේ කෙසේ ද? චීනය එක් කලෙක සාගත වලින් මිනිසුන් ලක්ෂ ගණන් මිය ගිය රටක් ව තිබුණේ ය. ඒ මාඔ් සේතුංගේ කාලයේ ය. දැන් එය ඇමරිකාවට ද අභියෝග කරමින් දියුණු වෙමින් පවතින්නේ ය. ඒ වෙනස ඇති කළේ කෙසේ ද?

විදේශ ආයෝජනයන්ට රට විවෘත කිරීමෙන් ය. සංකේතාත්මක කෝකා කෝලා කොම්පැණියේ සිට වෙනත් බොහෝ කොම්පැණි දක්වා චීනයට ආරාධනා කිරීමෙන් ය. විදේශ ප්‍රාග්ධනයට පාවඩ එලීමෙන් ය.

චීනය මූලිකත්වය දුන්නේ දූෂණ වංචා මැඩලීමට නම් නොවේ. චීනය තුළ දූෂණ වංචා වෙනත් බොහෝ රටවලට වඩා වැඩි ය. ඔවුන් පිටරට දේශපාලන නායකයන්ට පවා අල්ලස් දීමේ ප්‍රසිද්ධ ය. ට්‍රාන්ස්පෙරන්සි ඉන්ටර්නැෂනල් ආයතනයෙන් පල කරන දූෂණ දර්ශකයට අදාළ ව චීනය අද ඉන්නේ කෙසේ ද යන්න විමසා බැලීමෙන් ඒ තත්වය ගැන වැටහීමක් ඇති කර ගත හැකි ය.

දූෂණය හා වංචාව නැති කිරීම නරක නැත. එය ආයෝජකයන්ට පවා අමතර දිරිගැන්වීමක් සපයනු ඇත. එහෙත් එය රටක් ගොඩ නැගීම සඳහා ප්‍රමාණවත් වන්නේ නැත. මූලික කොන්දේසියක් වන්නේ ද නැත. චීනය ඒ සඳහා ද සාක්කි දරන්නේ ය.

අප රටේ පසුගිය සමයේ සිදු වූයේ මහ දවල් කොල්ලකන ආකාරයේ වංචා දූෂණ බව සැබෑ ය. ඒවාට තිත තැබිය යුතු බව ද සැබෑ ය. ඒ සඳහා ඒ කොල්ල කෑ කල්ලිය එලවීම වැදගත් ය. එන කවරෙකුට හෝ එවන් දේ කිරීමට නොහැකි තත්වයක් ඇති කිරීම වැදගත් ය. ඒ සඳහා අවශ්‍ය සිස්ටම් චේන්ජ් කිරීම වැදගත් ය. ව්‍යවස්ථා සංශෝධන ගෙන ඒම වැදගත් ය. ඒවාට එරෙහි ව අරගල කිරීම වැදගත් ය.

එහෙත් සුදෝ සුදු නායකයෙකු මතු ව අවුත් එක් පැහැර ඒ සියල්ල නැති කර දමතැයි ද එයින් පසු ව රට බලා සිටිය දී ගොඩ එතැයි ද සිතීම නුවණක්කාර නැත. ගැලවුම් කාරයෙකු පැමිණ අප ගලවා ගන්නේ නැත. අප අප විසින් ම ගලවා ගත යුතු ය. එය කළ හැක්කේ එක් ව වැඩ කිරීමෙන් පමණ ය. එක් ව අරගල කිරීමෙන් පමණ ය.